භාග්‍යවතුන් වහන්සේ මහත් භික්ෂු සංඝයා පිරිවරාගෙන හිරණ්‍යවතී නදියෙන් එගොඩව කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවත්තන නම් සල් උයනට වැඩි සේක. එහිදී අනද මා හිමියන් ඇමතූ භාග්‍යවතුන් වහන්සේ යමා සල් රුක් අතර හිස උතුරු දෙසට සිටින සේ ඇඳක් පනවන සේ වදාළ සේක. ඒ පිරිනිවන් ඇදෙහි හිස පිහිටි පැත්තෙන්ද පා පිහිටි පැත්තෙන්ද සල් රුක් පේළි දෙකක් තිබූ අතර හිස හා පය අසලින් වැඩුණු තරුණ සල් රුක් දෙකක් එකිනෙක මුල් වලින්, කඳින්, අතුපතරින්, පත්‍රවලින් වෙළී තිබුණු බැවින් ඒ සල් ගස් දෙක ‘යමාසල් රුක්’ ලෙස හැදින්වේ. ඒ යමා සල් රුක් අතරෙහි අනදමාහිමියන් විසින් ඇදක් පනවන ලද කල්හි ප්‍රකෘති හස්තීන් කොටි දහසකගේ බලයක් ඇති භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් ඒ බලය පිරිහෙමින් පැවති බැවින් ද, පාවා නගරයේ පටන් කුසිනාරාව බලා ගව් තුනක් දුර මහත් උත්සාහයෙන් වැඩම කොට වෙහෙසට පත්ව සිටි බැවින්ද “ආනන්දයෙනි, ක්ලාන්තයෙමි. වැදහෙනු කැමැත්තෙමි”යැයි වදාරා සිහි නුවණින් යුතුව දකුණැලයෙන්, සිංහසෙය්‍යාවෙන් වැඩහුන් සේක. මෙසේ භාග්‍යවතුන් වහන්සේ මහත් වෙහෙසක් දරාගෙන කුසිනාරාව බලාම වැඩම කරන ලද්දේ කවරහෙයකින්ද? අන් තැනෙක්හි පිරිනිවන් පෑමට නොහැකි වේද? යත්, හේතු තුනක් සලකා බලා කුසිනාරාවටම වැඩම කරන ලද සේක.

(1) කුසිනාරාවට වැඩම කිරීමෙන් මහා සුදස්සන සූත්‍රය දේශනා කිරීමට අවකාශ සැලසීම. තමන් වහන්සේ පෙර සුදස්සන නම් සක්විති රජව දිව්‍ය ලෝකයෙහි අත්විදිය යුතු සම්පත් මනුෂ්‍ය ලෝකයේම අත්විදි බව මහජනයාට ප්‍රකට කරවමින් මෙම සුදස්සන සූත්‍රය දේශනා කර වදාළ කල්හි බොහෝ මහජනයා ඒ අනුව ගොස් කුසල් කරගන්නා බව දැක වදාළ සේක.

(2) අන් තැනක පිරිනිවන් පෑ කළ සුභද්‍ර පරිබ්‍රාජක තෙමේ භාග්‍යවතුන් වහන්සේ මුණ ගැසීමට අවකාශ නොලබන බව දැක වදාළ සේක. හෙතෙමේ කුසිනාරාවෙහි පිරිනිවන් පානා තැනට විත් පැනයක් විචාරයි. ඒ පැනය විසදූ කළ තිසරණය සමාදන්ව තමන්වහන්සේ සමීපයේ පැවිදි උපසම්පදාව ලැබ කමටහන් වඩා අරිහත්වයට පත්වන පච්ඡිම ශ්‍රාවකයන් වහන්සේ බවත්, ඔහු හික්මවීම බුදුන්වහන්සේට පමණක්ම කළහැකි බවත් (බුද්ධ වෙනෙය්‍යක) දැක වදාරා කුසිනාරාවේ පිරිනිවීමට වැඩි සේක.

(3) තමන් වහන්සේ අන් තුනක පිරිනිවි කළ ධාතූන් වහන්සේලා බෙදා ගැනීමට මහත් කෝලහාළයක් වන බවත්, කුසිනාරාවේ දී ද්‍රෝණ බ්‍රාහ්මණයා මැදිහත්ව ධාතූන් වහන්සේලා බෙදා දෙන බවත් දැක වදාරා එහිම පිරිනිවීමට වැඩි සේක. මෙසේ භාග්‍යවතුන් වහන්සේ කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවත්තන නම් සල් උයනේ යමා සල්රුක් අතර පනවන ලද ඇදෙහි වැඩහුන් කල්හි පෘථිවි තලයේ පටන් සක්වල කෙළවර ද, ඉන් ඔබ්බෙහි බඹලොව දක්වා ද රැස් වූ මහත් පිරිසකගේ මහා උත්සව වීය. ඒ සල් උයනේ රුක් නොකල් මලින් මුළුමනින්ම ගැවසී ගත්තාහු වෙත්. තථාගතයන් වහන්සේට පූජා වශයෙන් ඒ මල් ශ්‍රී ශරීරය මත වැටෙත්. විසිරෙත්. දිව්‍යමය මදාරා මල් අහසින් ගොස් තථාගත ශ්‍රී ශරීරයෙහි වැටී විසිරෙත්. දිව්‍යමය සදුන් සුණු අහසින් ගොස් ශ්‍රී ශරීරය මත වැටී විසිරෙත්. දිව්‍යමය තූර්යවාදන, දිව්‍යමය ගායනා අහසේ පැවතෙත්.

ඒ සියල්ල දුටු තථාගතයන් වහන්සේ අනද මාහිමියන් අමතා “ආනන්දයෙනි, මෙතෙකින් තථාගතයන් වහන්සේට සත්කාර ගරුකාර කරන ලද්දේ නොවේ. යම් භික්ෂුවක්, භික්ෂුණියක්, උපාසකයෙක් හෝ උපාසිකාවක් ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි යෙදී, සම්‍යක් ප්‍රතිපදාවෙහි යෙදී, අනුධම්මචාරීව වෙසෙයිද, හෙතෙමේ ම උතුම් පූජාවෙන් තථාගතයන් වහන්සේට සත්කාර ගරුකාර කරයි”යනුවෙන් වදාරා ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි, සම්‍යක් ප්‍රතිපදාවෙහි අනුධම්මචාරීව විසීමට අවවාද දුන් සේක.

සැදැහැවත් කුලපුත්‍රයන් හට දක්නට සුසුදු සංවේගනීය ස්ථාන 04 

අනද මාහිමියන් වහන්සේගේ ප්‍රකාශයක් අරබයා භාග්‍යවතුන් වහන්සේ සැදැහැවත් කුලපුත්‍රයන් හට දක්නට සුදුසු සංවේගනීය ස්ථාන 04ක් වදාළ සේක.
(1) තථාගතයන් වහන්සේ උපන් ස්ථානය හෙවත් බෝසත් උපත සිදුවූ ස්ථානය සැදැහැවත් කුලපුත්‍රයන් හට දක්නට සුදුසු සංවේගනීය ස්ථානයකි.
(2) තථාගතයන් වහන්සේ අනුත්තර සම්‍යක් සම්බෝධිය අවබෝධ කළ මහබෝමැඩ සැදැහැවත් කුලපුත්‍රයන් හට දක්නට සුදුසු සංවේගනීය ස්ථානයකි.
(3) තථාගතයන් වහන්සේ විසින් අනුත්තර වූ ධර්මචක්‍රය පවත්වන ලද ස්ථානය හෙවත් දම්සක් පැවතුම් සූත්‍ර දේශනා කළ ස්ථානය සැදැහැවත් කුලපුත්‍රයන් හට දක්නට සුදුසු සංවේගනීය ස්ථානයකි.
(4) තථාගතයන් වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවි තැන සැදැහැවත් කුලපුත්‍රයන් හට දක්නට සුදුසු සංවේගනීය ස්ථානයකි.

මෙසේ වදාරා තවද සැදැහැවත් භික්ෂු-භික්ෂුණී-උපාසක-උපාසිකාවෝ මෙම සංවේගනීය ස්ථාන දක්නට පැමිණෙන බවත්, යම් කෙනෙකුන් චෛත්‍යස්ථාන වදිමින්, පුදමින්, වත්පිළිවෙත් කරමින් අඩුම තරමේ චෛත්‍යය වදිමියි නික්ම අතරතුරෙහි දී හෝ පහන් සිතින් යුතුව කළුරිය කරයි නම්, සුගතියේ උපදින බවද වදාළ සේක.

අනද තෙරුන් වහන්සෙගේ පැන විසදීම්

මෙහිදී ආනන්ද මාහිමියන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙතින් විශේෂ ප්‍රශ්න කිහිපයක් ඇසූහ. එනම්, පළමුව මාගම සම්බන්ධයෙන් කටයුතු කළයුතු ආකාරය විමසා සිටි විට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ලද්දේ, “මාගම නොදැකීමද, දැක කථා නොකිරීමද, කථා කළයුතුම තැනකදීඇයගේ වයස සලකා මවය, සොහොයුරියය, දූය යනාදී ලෙස සිහි එළවා කථා කළයුතු” බවත් ය. අනතුරුව තථාගත ශ්‍රී දේහය සම්බන්ධයෙන් පිළිපැදිය යුතු ආතාරය විමසා සිටි විට භාග්‍යවතුන් වහන්සේ අනද මාහිමියන් වහන්සේට තථාගත ශ්‍රී දේහය සම්බන්ධව
පිළිපැදීමට උත්සහවත් නොවන ලෙස උපදෙස් දුන් සේක. එසේම නුවණැති ක්ෂත්‍රිය, බ්‍රාහ්මණාදීහු තථාගත දේහය පිළිබද පූජා සත්කාර කරන බව වදාරා, ඔවුන් විසින් සක්විති රජකුගේ දේහය පිළිබද පිළිපදින ආකාරයට තථාගත ශ්‍රී දේහය පිළිබද පිළිපැදිය යුතු බවත් වදාළ සේක. සක්විති රජකුගේ සිරුර පළමුව අළුත් පිළියෙන් වෙළා, ඉක්බිති මනාව පොළන ලද කපු පුළුනෙන් වෙළත්. යළි අළුත් පිළියෙන් වෙළා කපුපුළුනෙන් වෙළත්. මෙම ක්‍රමයෙන් යුග පන්සියයකින් සකිවිති රජුගේ සිරුර වෙළා රන්මුවා තෙල් දෙණක බහා, රන්මුවා දෙණෙකින් වසා සියලු සුවද දරින් චිතකයක් කොට එ සිරුර දවත්. සක්විතිරජුගේ සිරුර දවා ඉතිරි වූ ධාතූන් වහන්සේලා තැන්පත් කොට සිව්මංසලක ස්ථුපයක් කරත්. මෙසේ සක්විති රජකුගේ සිරුර පිළිබදව මෙන් තථාගත ශ්‍රී දේහය පිළිබදවද කටයුතු කළයුතු අතර තථාගතයන් වහන්සේ උදෙසා ද සිව්මංසලෙක චෛත්‍යයක් ඉදි කළයුතු බවද වදාළහ. යම් කෙනෙකුන් ඒ ස්ථූපය වෙත මල් හෝ සුවද හෝ සුවද සුණු හෝ පුදන්නාහු වෙත්ද, ආදරයෙන් වදින්නාහු හෝ වෙත්ද, එය ඔවුනට බොහෝ කල් වැඩ පිණිස සුව පිණිස වන්නේය යැයිද වදාළ සේක.

ථූපාරහ පුද්ගලයෝ
යම් පුදුගලයෙකු උදෙසා චෛත්‍යයක් ඉදිකිරීම සුදුසු වේද, එබදු ථූපාරහ (චෛත්‍ය ඉදිකිරීමට සුදුසු) පුද්ගලයන් සතරදෙනෙක් (04) බව භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එනම්, තථාගත අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේය, පසේ බුදුරජාණන් වහන්සේය, තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේය, සක්විති රජ යනසතරදෙන ථූපාරහ වෙත්. ඒ චෛත්‍යයන් දක්නා බොහෝ දෙනා, මේ භාග්‍යවතුන් වහන්සේගේ ථූපය යැයි, මේ පසේබුදුරජාණන් වහන්සේගේ ථූපය යැයි, මේ තථාගත ශ්‍රාවකයන් වහන්සේගේ ථූපය යැයි, මේ සක්විතිරජුගේ ථූපය යැයි සිත පහදවා ගනිත්. එසේ සිත පහදවාගෙන මරණින් මතු සුගතිගාමී වෙත්. එහෙයින් ඔවුහු ථූපාරහ වන බව වදාළ සේක.

ආනද තෙරුන් වහන්සෙගේ ආශ්චර්ය ධර්ම දේශනා කිරීම

අනද තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සෙගේ පිරිනිවන් පෑම පිළිබදව ශෝක කරමින් හඩමින් සිටි අතර එහිදී භාග්‍යවතුන් වහන්සේ අනද තෙරුන් කැදවා උන්වහන්සේ අස්වසා, භික්ෂු සංඝයා අමතා ආනන්ද තෙරුන් වහන්සේගේ ආශ්චර්ය, අද්භූත ධර්ම සතරක් දේශනා කර වදාළ සේක.

මහා සුදස්සන සූත්‍ර දේශනය

ඉක්බිති ආනන්ද තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත කුසිනාරා නුවර වන මෙම කුඩා නගරයේ, විසම නගරයේ, මහා වෘක්ෂයන්හි ශාඛාවක් බදු වූ ශාඛා නගරයේ නොම පිරිනිවන් පානා ලෙස ද, චම්පා, රාජගහ, සැවැත්, සාකේත, කොසඹෑ, බරණැස් යනාදී වූ අනෙක් මහ නුවරක පිරිනිවන් පානා ලෙස ද ඇරයුම් කළහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘ආනන්දය එසේ නොකියව, මෙම නගරි කුඩා නුවරක්, විසම නුවරක්, ශාඛා නගරයක් යැයි නොකියව’යැයි තමන් වහන්සේ මෙම නගරයේ සම්පත්තිය වදාරනු පිණිසම නොයෙක් වර හිදිමින්, සිටිමින් මහත් උත්සාහයෙන්, මහත් පරාක්‍රමයෙන් මෙහි පැමිණි බව දක්වමින් මහා සුදස්සන සූත්‍ර දේශනය වදාළ සේක. ඉක්බිති මල්ල රජදරුවන් වෙත අද දින රාත්‍රියේ පශ්චිම යාමයෙහි භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පානා බව දැනුම් දෙන ලෙස අනද තෙරුන් වහන්සේ වෙත භාර කළ සේක. ආනන්ද තෙරුන් වහන්සේ හැද පෙරව, පා සිවුරු ගෙන තමන් වහන්සේම එහි වැඩම කොට ඒ බව දැනුම් දුන්හ. ඉක්බිති කුසිනාරා වැසි මල්ලයන් පැමිණ කුල පරපුර වශයෙන් භාග්‍යවතුන් වහන්සේ වැන්දහ.

සුභද්‍ර පරිබ්‍රාජක වස්තුව

එසමයෙහි සුභද්‍ර පිරිවැජි තෙම කුසිනාරාවෙහි වාසය කරන අතර අද දින රාත්‍රියෙහි භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පානා බව අසා, තමන් වෙත ඇති යම් සැකයක් දුරුකරගැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේගෙන් පැනයක් විමසීම පිණිස එහි පැමිණියේය. පැමිණ ආනන්ද තෙරුන් වහන්සේ මුණගැසීමට අවශ්‍ය බව පැවසීය. එහිදී ආනන්ද තෙරුන් වහන්සේ තෙවරක් දක්වා භාග්‍යවතුන් වහන්සේ වෙහෙසට පත් නොකරන ලෙස ඉල්ලා සිටිමින් සුභද්‍ර පිරිවැජියාගේ ප්‍රශ්න ඇසීම වැළැක්වූහ. එය ඇසුණු භාග්‍යවතුන් වහන්සේ අනද තෙරුන් අමතා සුභද්‍ර පිරිවැජියා හට පැමිණීමට ඉඩ දෙන මෙන් දන්වා සිටි සේක. සුභද්‍ර පිරිවැජි තෙම භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවන් සමයෙහි අවසන් වරට ධර්මාවබෝධය කිරීමට උපනිශ්‍රය සම්පත් ඇත්තෙක් විය. පෙර අතීතයේ සොහොයුරන් දෙදෙනෙක් එකතුව කෙතක් වැපිරූ අතර ඔවුනතුරින් දෙටු සොහොයුරු තෙම නව වාරයක් අග්‍ර ශෂ්‍ය දන් දී මෙම බුදු සසුනේ කොණ්ඩඤ්ඤ තෙරුන් ව ප්‍රථමයෙන් ධර්මාවබෝධ කළහ. කණිටු සොහොයුරු තෙම අසුවනු නෙලා පසුව දානයක් දුන් අතර ඒ පිනෙන් මෙසේ සුභද්‍ර පිරිවැජිව පිරිනිවන් සමයෙහි ශාස්තෘන් වහන්සේ දක්නා කැමැත්තේ විය. එසේ පැමිණි කළ හෙතෙම අන් තීර්ථකයකු බැවින්ද, ඔවුහු සිය දෘෂ්ටීන් අත නොහැර සිටිනා කළ භාග්‍යවතුන් වහන්සේට බොහෝ වෙහෙසව ධර්මදේශනා කිරීමට සිදුවන බැවින් ද අනද තෙරුන් වහන්සේ ඒ සුභද්‍ර පිරිවැජිගේ ගමන වැළැක්වූහ. එහෙත් තිර ද්වාරයෙහි සිට කරන ලද ඒ සංවාදය ප්‍රකෘතියෙන්ම ශ්‍රවණය කළ භාග්‍යවතුන් වහන්සේ, තමන් වහන්සේ මෙම සුභද්‍රයන් උදෙසාම මහත් උත්සාහයෙන් මෙහි වැඩම කළ බැවින් අනද තෙරුන් වහන්සේව වළකාලමින් සුභද්‍ර හට පැමිණීමට ඉඩ දෙන ලෙස වදාළසේක. අනතුරුව ආනන්ද තෙරුන් වහන්සේ සුභද්‍ර හට භාග්‍යවතුන් වහන්සේ අවසර දෙන බව පවසා භාග්‍යවතුන් වහන්සේ වෙත යන ලෙස දැනුම් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹි සුභද්‍ර පිළිසදර කථා කොට සතුටු විය යුතු, සිහි කළයුතු කථා නිමවා භාග්‍යවතුන් වහන්සේගෙන් පැනයක් විචාලේය. එනම් පූරණ කස්සප ආදී සියලු දෙනා තමන් ප්‍රතිඥා කරන ආකාරයට සත්‍ය අවබෝධ කළාහුද? එසේ නොවේද? නැතහොත් ඇතමෙක් පමණක් එසේ සත්‍ය අවබෝධ කරගෙන දහම් දෙසන්නේද? යන ප්‍රශ්නයයි. සුභද්‍ර මෙයින් අසන්නේ ඒ ෂඩ් ශාස්තෘන්ගේ ප්‍රතිඥාව නෙනර්යාණිකද? යන්නයි. ඔවුන්ගේ ඒ ප්‍රතිඥාවන් අනෛර්යාණික බව දන්නා භාග්‍යවතුන් වහන්සේ එහි නෛර්යාණික භාවය පිළිබද කථා කිරීම තේරුමක් නැති දෙයක් සහ ඒ සදහා කාලවේලාවක් ද නැති බැවින් මහාකරුණාවෙන් යුතුව මෙම පැනයට පිළිතුරු දීම පසෙක තබා සුභද්‍ර හට ධර්මය දේශනා කළ සේක. මන්ද භාග්‍යවතුන් වහන්සේ රාත්‍රී පඨම යාමයෙහි මල්ලයන් හට දහම් දේශනා කොට, මධ්‍යම යාමයෙහි සුභද්‍ර පිරිවැජියා හට දහම් දෙසා, පශ්චිම යාමයෙහි භික්ෂු සංඝයා හට අවවාද දී ඒ පැසුළුයම කෙළවර පිරිනිවන් පාන්නෙමි යැයිම වැඩම කළ බැවිනි. ඒ අනුව භාග්‍යවතුන් වහන්සේ, “සුභද්‍රයෙනි, යම් ධර්ම විනයක (ශාසනයක) ආර්ය අෂ්ඨාංගික මාර්ගය නැත්තේද, එහිලා පළමු සෝතාපන්න මහණද, දෙවන සකදාගාමි මහණද, තෙවන අනාගාමි මහණද, සිව්වන අරිහත් මහණද නැත්තේය. යම් සසුනක ආර්ය අෂ්ඨාංගික මාර්ගය ඇත්තේද, එහි මෙම පළමු, දෙවන, තෙවන හා සිව්වන මහණ ඇත්තේය. සුභද්‍රයෙනි, මේ සසුනේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය ඇත. මේ සසුනෙහිම පළමු, දෙවන, තෙවන හා සිව්වන මහණ ලැබෙන්නේය. මේ මහණුන්ගෙන් අන්‍ය වූ පරප්‍රවාදයෝ සත්‍යයෙන් ශූන්‍යය. සුභද්‍රෙයනි මේ මහණහු නිසි පරිදි වසන්නාහු නම් ලොව රහතුන්ගෙන් සිස් නොවන්නේය” යනුවෙන් වදාළ සේක. මෙහිලා සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරිහත් යන සතර ආර්යයන් වහන්සේලා ආරද්ධ විපස්සක හෙවත් ඒ ඒ මාර්ගඵලය පිණිස විදසුන් වඩන්නා ය, මාර්ගස්ථ තැනැත්තා ය, ඵලස්ථ තැනැත්තා ය යන ආකාර වශයෙන් දොළොස් දෙනෙක් ලැබේ. ඒ දොළොස් මහණුන්ගෙන් අන්‍යවූ පරප්‍රවාදයෝ, අන් ශාසනයෝ හිස් බව, ශූන්‍ය බව වදාළ සේක. ඒ අනුව පළමුව අනියම වශයෙන් බුදු සසුනේ නෛර්යාණික භාවය වදාරා, අනතුරුව නියමයෙන්ම වදාළ සේක. ඒ දොළොස් මහණහු නිසි පරිදි වසන්නාහු නම්, සෝතාපන්න තෙමේ අනෙක් අය ඒ තත්වයට පත් කිරීමට ද, මාර්ගස්ථයා අන් අය මාර්ගස්ථ භාවයට පමුණුවන්නටද, ආරද්ධ විපස්සක තෙමේ සෙස්සන් වෙත තමාගේ ප්‍රගුණ කර්මස්ථානය කියා දෙමින් ඔවුන් ද ආරද්ධ විපස්සකයන් කරවමින් වාසය කරන්නාහු නම් ලොව රහතුන්ගෙන් සිස් නොවන බව වදාළ සේක. අනතුරුව ගාථා කිහිපයකින්ද දහම් දේශනා කළ අතර සුභද්‍ර පරිව්‍රාජක තෙමේ සතුටුව සසුනේ පැවිදි උපසම්පදාව ඉල්වීය. භාග්‍යවතුන් වහන්සේ අනද තෙරුන් අමතා සුභද්‍ර පැවිදි කරවීමට වදාළ අතර එවේලේම පැවිදිව, භාග්‍යවතුන් වහන්සේ වෙතින් උපසම්පදාව ලැබ කමටහනක් ගෙන එකලාව වෑයම් කොට සිව්පිළිසිඹියාපත් සහිතව අරිහත්වයට පත්ව පැමිණ භාග්‍යවතුන්වහන්සේට වන්දනා කළහ. උන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ අවසන් ප්‍රත්‍යක්ෂ ශ්‍රාවකයන් වහන්සේ වූහ. මෙහිදී ඇතමෙක් තථාගත පරිනිර්වාණයෙන් පසුව ‘ඇවැත්නි ශෝක නොකරව්’ යනාදී ලෙස අභද්‍ර වචන කියන ලද්දේ මෙම සුභද්‍ර තෙරුන් වහන්සේ විසින් යැයි සිතත්. එහෙත් එය මිථ්‍යාවකි. එහිදී අභද්‍ර වචන කියන ලද්දේ වියපත්ව පැවිදි බව ලැබ, පැවිදිව සිටි තම දරු දෙදෙනා සමග අකැප දනක් පිළියෙල කළ බුද්ධ ප්‍රමුඛ භික්ෂු සංඝයාට වළදවන්නට උත්සහ දරා එය ප්‍රතික්ෂේප කරමින් ගරිහා කර සිකපදයක් පවා පමුණුවන්නට කටයුතු කළ බැවින් භාග්‍යවතුන් වහන්සේ සමග අමනාපව සිටි සුභද්‍ර භික්ෂුව බව දතයුතුය. එසේ නොවී අවසන් වරට පැවිද්ද ලැබූ අරිහත් උතුමන් වහන්සේ නමකගේ මුවින් එබදු වචනයක් නිකුත් නොවන බව ද දතයුතු.

තථාගතයන් වහන්සේගේ අවසන් වචනය

අනතුරුව භාග්‍යවතුන් වහන්සේ අනද තෙරුන් මුල් කරගෙන භික්ෂු සංඝයාට අවවාද දෙන්නට ඇරඹූ සේක. ඒ අනුව භාග්‍යවතුන් වහන්සේ, “සියා ඛො පනානන්‌ද, තුම්‌හාකං එවමස්‌ස – ‘අතීතසත්‌ථුකං පාවචනං, නත්‌ථි නො සත්‌ථා’ති. න ඛො පනෙතං, ආනන්‌ද, එවං දට්‌ඨබ්‌බං. යො වො, ආනන්‌ද, මයා ධම්‌මො ච විනයො ච දෙසිතො පඤ්‌ඤත්‌තො, සො වො මමච්‌චයෙන සත්‌ථා.” = ආනන්දයෙනි, නුඹලාට ‘ප්‍රවචනය (පෙළ දහම) ඉක්මවූ ශාස්තෘහු ඇති එකක්ය, අපගේ ශාස්තෘහු නැතිය’ යැයි මෙබදු සිතක් ඇතිවිය හැකි වේ. ආනන්දයෙනි, මවිසින් යම් ධර්මයක් දේශනා කරන ලද්දේද, යම් විනයක් පනවන ලද්දේද, එය මාගේ ඇවෑමෙන් නුඹට ශාස්තෘ වෙයි. “යථා ඛො පනානන්‌ද, එතරහි භික්‌ඛූ අඤ්‌ඤමඤ්‌ඤං ආවුසොවාදෙන සමුදාචරන්‌ති, න ඛො මමච්‌චයෙන එවං සමුදාචරිතබ්‌බං. ථෙරතරෙන, ආනන්‌ද, භික්‌ඛුනා නවකතරො භික්‌ඛු නාමෙන වා ගොත්‌තෙන වා ආවුසොවාදෙන වා සමුදාචරිතබ්‌බො. නවකතරෙන භික්‌ඛුනා ථෙරතරො භික්‌ඛු ‘භන්‌තෙ’ති වා ‘ආයස්‌මා’ති වා සමුදාචරිතබ්‌බො.” = ආනන්දයෙනි, දැන් භික්ෂූහු එකිනෙකාට ආවුසො වාදයෙන් (ඇවැත්නි යන වචනයෙනි) කථා කරත්. මගේ ඇවෑමෙන් එසේ කථා නොකළ යුතු, වැඩිහිටි භික්ෂුවක් විසින් නවකතර භික්ෂුවකට නාමයෙන් හෝ ගෝත්‍රෙයන් හෝ ආවුසොවාදයෙන් කථා කළයුතුය. නවකතර භික්ෂුවක් විසින් වැඩිහිටි භික්ෂුවකට ‘භන්තේ = වහන්ස’ යැයි හෝ ‘ආයස්මා’ යැයි හෝ කථා කළයුතු. “ආකඞ්‌ඛමානො, ආනන්‌ද, සඞ්‌ඝො මමච්‌චයෙන ඛුද්‌දානුඛුද්‌දකානි සික්‌ඛාපදානි සමූහනතු.” = ආනන්දයෙනි, සංඝ තෙමේ කැමති වන්නේ නම්, මාගේ ඇවෑමෙන් කුඩා අනුකුඩා සිකපද සමූහනනය කෙරේවා (උදුරා ඉවත් කෙරේවා). “ඡන්‌නස්‌ස, ආනන්‌ද, භික්‌ඛුනො මමච්‌චයෙන බ්‍රහ්‌මදණ්‌ඩො දාතබ්‌බො”ති. = ආනන්දයෙනි, මගේ ඇවෑමෙන් ඡන්න භික්ෂුවට බ්‍රහ්මදණ්ඩය දිය යුතුය. යනුවෙනි.

කෙසේ නමුදු පළමු ධර්ම සංගායනාවේ දී මහාකාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රමුඛ කොටගෙන පන්සියයක් මහරහතන් වහන්සේලා විසින් කර්මවාක්‍යයක් තබමින් මේ සසුනෙහි කිසිදු කුඩා අනුකුඩා සිකපදයක් සමූහනනය කළ නොහැකි බවට සම්මත කළහ. එහෙයින් වර්තමානයේ කිසිදු භික්ෂුවකට බුදුරජාණන් වහන්සේගේ මෙම ප්‍රකාශය මත පදනම්ව සිකපද නොසලකා හැර, ව්‍යතික්‍රමණයන් කළ නොහැකි වේ. මහාකාශ්‍යප මහරහතන් වහන්සේ විසින් එසේ සම්මත කරන බව බුදු ඇසින් දුටු භාග්‍යවතුන් වහන්සේ ඒ මහාකාශ්‍යප මහරහතන් වහන්සෙගේ බලය දක්වනු පිණිසම පිරිනිවන් ඇදෙහි සිටියදී මෙසේ වදාළ බවද දතයුත්තේය. අනතුරුව භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා අමතා යම් භික්ෂුවකට බුදුරජාණන් වහන්සේ කෙරෙහි හෝ ධර්ම රත්නය කෙරෙහි හෝ සංඝරත්නය කෙරෙහි හෝ මාර්ගය කෙරෙහි හෝ පිළිවෙත කෙරෙහි හෝ සැකයක්, විමතියක් ඇත්නම් විචාරණ ලෙස දන්වා වදාළ සේක. එකද භික්ෂුවක් කිසිදු පැනයක් නොම වැචිළ බැවින් අනද තෙරුන් වහන්සේ එය ආශ්චර්යයක් යැයි පවසා තමන් භික්ෂු සංඝයා කෙරෙහි පැහැදුණු බව පැවසූහ. එහිදී භාග්‍යවතුන් වහන්සේ වදාළේ මෙම භික්ෂු පිරිසෙහි ගුණවශයෙන් අවසන්ම භික්ෂුවද සෝතාපන්න මගඵලලාභී බවය. අනතුරුව භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් අමතා අවසන් බුදු වදන වදාළ සේක. එනම්, “හන්‌ද දානි, භික්‌ඛවෙ, ආමන්‌තයාමි වො, වයධම්‌මා සඞ්‌ඛාරා අප්‌පමාදෙන සම්‌පාදෙථා”ති. = මහණෙනි, දැන් තොප අමතමි, සංස්කාරයෝ නැසෙන සුළුය. එබැවින් නොපමාව අරිහත්වය පිණිස කළයුතු දෑ සම්පාදනය කරවු යනුවෙනි මෙසේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් මඤ්චකයෙහි වැඩ සිටිනුයේ පන්සාලිස් වසරක් පුරාවට දුන් සියලු අවවාදයෝ එක් ම අප්‍රමාද පදයෙහි ම බහාලා වදාළ සේක. එනම් ස්මෘති විප්‍රවාස නොවී එළඹ සිටි සිහියෙන් යුතුව සියලු කෘත්‍යයන් සම්පාදනය කළයුතු බවයි. අප්‍රමාද පදයෙහි අර්ථය නම් එළඹසිටි සිහියෙන් යුතු බවයි.

භාග්‍යවතුන් වහන්සේ පිරිනිවීම

අනතුරුව භාග්‍යවතුන් වහන්සේ පිළිවෙලින් පළමු, දෙවන, තෙවන, සිව් වන ධ්‍යානයන්ට සමවැදී නැගී සිට, ආකාසානඤ්චායතන, විඤ්ඤානඤ්චායතන, ආකිඤ්චඤ්ඤායතන, නෙවසඤ්ඤානාසඤ්ඤායතන යන අරූප සමාපත්තීන්ට සමවැදී නැගී සිට නිරෝධ සමාපත්තියට සමවැදුණු සේක. එහිදී අනද තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවියේදැයි සිතා අනුරුද්ධ මහරහතන් වහන්සේගෙන් ඒ බව ඇසූ අතර භාග්‍යවතුන් වහන්සේ තවමත් නොම පිරිනිවි බවත්, නිරෝධ සමාපත්තියට සමවැදුණු බවත් පැවසූහ. අනතුරුව භාග්‍යවතුන් වහන්සේ යළිත් නේවසඤ්ඤානාසඤ්ඤායතනයේ පටන් ප්‍රථම ධ්‍යානය දක්වා පිළිවෙලින් සමවැදී, නැවතත් ප්‍රථම ධ්‍යානයේ පටන් චතුර්ථ ධ්‍යානය දක්වා සමවැදී චතුර්ථ ධ්‍යානයෙන් නැගී සිට ඉන් අනතුරුව පිරිනිවී වදාළ සේක.
ඒත් සමගම මහපොළොව කම්පා විය. සහම්පති මහා බ්‍රහ්ම රාජයාද, සක් දෙවිදුන්ද, එතැනට විත් ගාථා කීහ. ආයුෂ්මත් අනුරුද්ධ මහරහතන් වහන්සේ ද ගාථා සජ්ඣායනා කළහ. ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝද ගාථාවක් කීහ. පහ නොවූ රාග ඇති (අරිහත් නොවූ) ඇතැම් භික්ෂූහු ‘භාග්‍යවතුන් වහන්සේ ඉක්මනින්ම පිරිනිවියේ ’යැයි හඩන්නට වූහ. පහ කළ රාග ඇති අරිහත් උතුමෝ සංස්කාරයන්ගේ අනිත්‍යත්වය මෙනෙහි කරමින් නොසැලී සිටියහ.

සම්පාදක
තිස්සදත්ත හිමි