ඇසළ මාසයේ පටන් ලංකාවේ බොහෝ පළාත්වල පවතින අධික උණුසුම් කාලගුණයක් වුවද දඹදිව භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි මධ්‍ය දේශයෙහි මෙම කාලය වැසි සමයකි. නොනවත්වා ඇද හැලෙන වර්ෂාව නිසා හාත්පස මඩින් වැසී ගිය මං මාවත් වහන්සේලා හේතුවෙන්උන්වහන්සේලාට  ඒ මේ දිශාවන්හි රිසි සේ ගමන් කිරීමට නොහැකි වීය. වැසි සමයත් සමග පොළොවෙන් මතු වී ආ කුඩා පැළෑටි වර්ග සහ කුඩා ප්‍රාණීන් භික්ෂූන් වහන්සේලාගේ පා වලට පොඩි වී විනාශ වී ගියේය.  කුඩා පැළෑටි වලට ප්‍රාණය ඇතැයි යන සංඥාව පැවැති ඒ යුගයේ ඇතැම් මනුෂ්‍යයෝ පැළෑටි වල සිදුවන හානියත්  ප්‍රාණීන්ට සිදුවන හානියත් දැක භික්ෂූන් වහන්සේලාගේ නුගුණ කියන්නට වූහ.

“කෙසේ නම් වනාහි ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ හේමන්තයේ ද ගිම්හානයේ ද වස්සානයේ ද ඒකින්ද්‍රිය සහිත වූ නිල්වන් තෘණ පෙළමින් ප්‍රාණීන් විනාශයට පමුණුවමින් චාරිකාවෙහි හැසිරෙන්නාහ ද? දුරක්ඛාත වූ ධර්මයෙහි හැසිරෙන්න අන්‍ය තීර්ථකයෝ ද වස් කාලයෙහි වස් විසීමේ ඇලෙත්. පක්ෂීහු ද ගස් මුදුන්වල කූඩු තනාගෙන වැසි කාලයෙහි ඒ කූඩු වල ඇලී වාසය කරත්. කෙසේ නම් වනාහි ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ හේමන්තයේ ද ගිම්හානයේ ද වස්සානයේ ද හැසිරෙන්නාහ ද?” යනුවෙනි.

තථාගත බුදුපියාණන් වහන්සේ හට මෙම පුවත සැල කළ පසු වස් කාලයේ දී භික්ෂූන් වහන්සේලා හට වස් එළඹීම සඳහා ශික්ෂා පදයක් පනවා වදාළහ.

“ අනුජානාමි භික්ඛවේ වස්සානේ වස්සං උපගන්තුං –  මහණෙනි,  වස්සාන ඍතුවේ වස් එළඹීමට අනුදනිමි ”

එම ප්‍රඥප්තිය ඉක්මවන භික්ෂුවට දුකුළා ඇවතක් සිදුවේ.

ඉහත පැනවීම භික්ෂූන් වහන්සේලාගේ දෙපා බැඳ දමන්නක් ලෙස මතුපිටින් පෙනෙන්නේ ය.  ඒ භික්ෂුව හට සිත්  සේ එහා මෙහා ගමන් කිරීමට නොහැකි වන බැවිනි. අසමසම වූ තිලෝගුරු මහා කාරුණිකයන් වහන්සේගේ සෑම වදනක්ම පසුපස ඇත්තේ ලෝ සත්වයා හට යහපත සලසන්නා වූ ගුණයයි. මෙම පැනවීම ද භික්ෂු-භික්ෂුණීන්ගේ නිවන් මගට උපකාර සලසන්නකි. එය සිදුවන්නේ මේ ආකාරයෙනි. බුදු සසුනෙහි පැවිද්ද ලබන භික්ෂූන් වහන්සේලා අඩු වැඩි වශයෙන් ආත්මාර්ථය මෙන් ම පරාර්ථ සාධනය කරන්නා වූ නොයෙක් ආකාරයේ ශාසනික කෘත්‍යයන්හි නිරත වෙත්. බණ භාවනා කටයුතු සඳහා ඒ ඒ භික්ෂූන් වහන්සේලා තුළ ඇති රුචිකත්වය සහ යෙදීම නා නා ආකාරවේ. බුද්ධ කාලයේ සිටම මෙම නානාකරණය පැවතුණු අතර වස්සාන සිකපදය මගින් ඒ ඒ භික්ෂූන් වහන්සේලා අභිමත පරිදි තම ප්‍රතිපත්තිය දැඩි කරමින් පුරා යෙදීමට ඉඩ සැලසුණි. අඛණ්ඩව මාස තුනක කාලයක් එක් ස්ථානයකට වී සිටීම නිසා තමන් ආරම්භ කරන කටයුතු අත් නොහැර පවත්වාගෙන යෑම සඳහා ඉඩක් සැලසේ. අතීතයේ පටන් වස් කාලය තුළ ළඟා කරගැනීමට අවශ්‍ය ඉලක්කයන් සඳහා අධිෂ්ඨාන පිහිටුවාගැනීමට භික්ෂූන් වහන්සේලා පුරුදුව සිටියහ.  ග්‍රන්ථ ධූරයෙහි යෙදෙන භික්ෂූන් වහන්සේලා තමන් ප්‍රගුණ කරන්නා වූ ග්‍රන්ථ සම්බන්ධව මෙපමණ මෙපමණ කොටසක් සම්පූර්ණ කරන්නෙමු යැයි ද විදර්ශනා ධුරයේ යෙදෙන භික්ෂූන් වහන්සේලා තමන්  නොලැබූ ධ්‍යාන, අභිඥා , විදර්ශනා ඥාණ, මාර්ගඵල ලබන්නෙමු යැයි ද අධිෂ්ඨාන කරමින් වස්කාලය ඇරඹූහ . වස් කාලය සඳහා වූ තථාගත පැනවීම අනුව හික්මෙමින් අප්‍රමාදීව වීර්යය වඩා නිවනින් සැනසුනු බුද්ධ පුත්‍රයන් වහන්සේලා ගණන සංඛ්‍යා වශයෙන් ප්‍රමාණ කර දැක්විය නොහැක.

ගිහි පින්වතුන්ට ද වස්සාන සමය ආධ්‍යාත්මික වශයෙන් මහත් ඵල ඇති කරවන කාලයකි. මේ  ඒ පිළිබඳ කතා ප්‍රවෘත්තියකි.  බුදුරජාණන් වහන්සේගෙන් අර්හත්වය දක්වා කර්මස්ථාන ඉගෙනගත් භික්ෂූන් වහන්සේලා  සැට නමක් පමණ වස් එළඹීම සඳහා සුදුසු ස්ථානයක් සොයමින් ඒ මේ අත වැඩියහ. පර්වතයක් පාමුල පිහිටි ගමක මාතිකා මාතා නම් උපාසිකාවක් භික්ෂූන් වහන්සේලා වස් එළඹීමට තැනක් සොයා වඩිනා බව දැන උන් වහන්සේලාගේ දෙපා මුල වැටී “ඉදින් ස්වාමීන් වහන්සේලා වස් තුන් මාසය ම මෙහි වාසය කරන්නේ නම් මම තිසරණ සහිත පන්සිල් සමාදන් වී උපෝසථ දිනයන්හි සිල් සමාදන් වෙමි”  යැයි එම ගමෙහි වස් වාසය කිරීමට ආරාධනා කළාය. භික්ෂූන් වහන්සේලා ද අප මෙම උපාසිකාව නිසා පිණ්ඩපාතයෙන් ක්ලාන්ත නොවී  භවයෙන් එතෙර වීමට ගුණ පුරා ගන්නෙමු යැයි ඇයගේ ආරාධනාව ඉවසූ සේක.

උපාසිකාව උන්වහන්සේලාට වාසය කිරීම සඳහා කුටි සෙනසුන් පිළියෙල කර දුන්නාය.  භික්ෂූන් වහන්සේලා එක් දිනක් රැස්වව එකිනෙකා හට මෙසේ අවවාද කර ගත්හ. “ඇවැත්නි, අප විසින් ප්‍රමාද විහරණයෙන් වාසය කිරීමට සුදුසු නොවේ. අපගේ මහගෙදර වූ අට මහා නිරයේ දොරවල් තවමත් විවෘතය. ජීවමාන තථාගත බුදුපියාණන් වහන්සේගෙන් කර්මස්ථාන ගෙන අප පැමිණියෙමු. බුදුරජාණන් වහන්සේගේ පියවරක් පියවරක් පාසා පසුපසින් හැසිරුණත් කපටි බවින් උන්වහන්සේගේ සිත සතුටු කිරීමට නොහැක. අප්‍රමාදව වවු..!! දෙදෙනෙකු විසින් එක් ස්ථානයක නොහිඳිය යුතුය. සවස තෙරුන් වහන්සේ වන්දනා කරන වේලාවේදී සහ පිණ්ඩපාතයේ හැසිරෙන වේලාවේදී එක්වෙමු. සෙසු අවස්ථාවලදී දෙදෙනෙක් එකට නොසිටින්නෙමු. ඉදින් ගිලන් බවක් ඇති වන්නේ නම් ගිලන් භික්ෂුව විසින් විහාර මධ්‍යයේ ගෙඩියට (ලී වලින් තැනු ගණ්ඨාවක්) ගසා දැන්වූ කල්හි සියලු දෙනා පැමිණ උපස්ථාන කරමු” යැයි කතිකාවතක් ඇති කරගත්හ. එක් දිනක් සවස් කාලයේදී උපාසිකාව තම සේවකයන් සමඟ ගිතෙල් පැණි සකුරු ආදී ගිලන්පස රැගෙන විහාර මධ්‍යයට පැමිණ භික්ෂූන් වහන්සේලා නො දැක ගෙඩියට ගැසූ කල උන්වහන්සේලා නොයෙක් දිශාවලින්   පැමිණෙනු දැක  මවිතයට පත් වූවාය.  ඒ භික්ෂූන් වහන්සේලා අතර කලහයක් ඇති වී නොයෙක් තැන්වලට  වී සිටී යැයි සිතූ බැවිනි.

මේ පිළිබඳව විමසූ විට ඇයට දැනගන්නට ලැබුණු ප්‍රවෘත්තිය නම් භික්ෂූන් වහන්සේලා තම තමාට අයත් ස්ථානවලට වී විවේකීව භාවනා කරන බවයි. ඉන්පසු ඇයට ද භාවනා කිරීමට අවශ්‍ය වූ අතර කර්මස්ථානයක් ඉල්ලුූවාය.  ඇයට ද්වත්තිංසාකාරය පදනම් කරගෙන භාවනා මාර්ගය ඉගැන්වූහ. එතැන් පටන් තමාට ලැබුණු උපදෙස් පරිදි භාවනා කොට අනාගාමී ඵලයට පැමිණ ලෞකික අභිඥා උපදවා ගැනීම ඇය සමත් වූවාය.   ඇය දිවැසින් භික්ෂූන්වහන්සේලා අරමුණු කළ පසු දුටුවේ උන්වහන්සේ එක්  නමක්වත් මාර්ග ඵලවලට පැමිණ නොමැති බවයි.  ඊට හේතු විමසන විට ඇයට පෙනී ගියේ උන් වහන්සේලාට පුද්ගල සප්පාය, සේනාසන සප්පාය ලැබී තිබුණ ද ආහාර සප්පාය නොමැති නිසා සිතේ සමාධිය නොලැබෙන බවය. එතැන් පටන් ඒ උපාසිකාව නොයෙක් ආකාරයේ ප්‍රණීත කැඳ  කැවිලි භෝජන සකස් කොට භික්ෂූන් වහන්සේලා තමාගේ නිවසේ වඩා හිඳුවා ඔබ වහන්සේලා යම් යම් ආකාරයකට ආහාරයකට රුචි කෙරේ ද ඒ ඒ භෝජන වළඳන සේක්වා යැයි  ආරාධනා කළාය.  එතෙක් අඩුපාඩුවක් පැවති  සප්පාය ආහාර  ලැබෙන්නට වූ උන් වහන්සේලාගේ සිත් සමාධිමත් වීය. සමාධිමත් සිතින් විදර්ශනා වඩා පටිසම්භිදා ප්‍රාප්තව අර්හත්වයට පත්විය. වස් පවාරණය අනතුරුව තථාගතයන් වහන්සේ වෙත එළඹ වන්දනාමාන කොට මේ පුවත සැළ කළහ.

ඉහත කතා ප්‍රවෘත්තියෙන් සියලුම දෙනා හට ගත හැකි ආදර්ශ බොහෝ වේ. පැවිද්දන් අධිෂ්ඨානශීලීව තම තමන්ගේ ශ්‍රමණ ධර්මයන් වස් කාලයේ දී සම්පූර්ණ කිරීමට උත්සාහ කරන අතරතුර එම පැවිද්දන්ට උපකාර වන අන්දමින් සිව්පසයෙන් උපස්ථාන කිරීමට ගිහියන්ට අවස්ථාවකි.  වස්කාලය තුලදී පමණක් භික්ෂුවකට රැකිය හැකි අතිරේක ශික්ෂාපද කිහිපයක් ආරක්ෂා කරමින් සීලස්කන්ධය ශක්තිමත් කරගෙන, ඉන් නොනැවතී ගුණ පුරන භික්ෂූන්ට උපස්ථාන කිරීමෙන් වැඩි  ආනිසංස ලැබෙන පුණ්‍ය කර්මයන් සිදු වේ. තමාට අනුරූප වූ භාවනාමය වශයෙන් හෝ ධර්ම අධ්‍යයන වශයෙන් හෝ ශාසනික කටයුත්තක යෙදී එයින් දියුණුවට පත්වීමට ගිහියන්ට හැක. ගිහියන් සහ පැවිද්දන් එකිනෙකා කෙරෙහි මනාව පිළිපැද නිවන් අවබෝධ කරගන්නා බව බුදුපියාණන් වහන්සේ වදාළහ.

“සාගාරා අනගාරා ච – උභො අඤ්‌ඤොඤ්‌ඤනිස්‌සිතා

ආරාධයන්‌ති සද්‌ධම්‌මං – යොගක්‌ඛෙමං අනුත්‌තරං.”

“ගෘහස්ථයෝ ද ප්‍රව්‍ර‍ජිතයෝ ද යන දෙ පක්‍ෂය ඔවුනොවුන් ඇසුරු කරන්නාහු (ප්‍ර‍තිපත්ති ප්‍ර‍තිවෙධ) සද්ධර්‍මය ද, අර්හත්ත්‍වය හා නිවණ ද සම්පාදනය කෙරෙත්.”

වස්කාලය තුලදී බුද්ධ සාසනයේ දියුණුවට පත්වීම සඳහා ගිහි ඔබට අධිෂ්ඨාන පසක් සිදුකල හැක.

  1. වස් කාලය පුරා සෑම දිනකදීම නුවණ මෙහෙයවා අවම තරමින් අසරණ සත්වයෙකුට ආහාර ස්වල්පයක් පමණවත් දන් දෙමින් දානය පුරුදු කිරීම.
  2. නිති පන්සිල් රකින්නේ නම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන්  සීලය ආරක්ෂා කිරීම.
  3. නිතර විහාරස්ථානයට ගොස් මලුපෙත් ඇමදීම, චෛත්‍ය වන්දනා, බෝධි පූජා, සංඝෝපස්ථාන සිදු කිරීම.
  4. නිවැරදි ලෙස ධර්මය දේශනා කරන්නාවූ ධර්ම දේශකයන් වහන්සේලාගේ ධර්මය දේශනා ශ්‍රවණය කිරීම, අතනොහැර දහම් පත් පොත්කියවීම.
  5. දවස තුළ කාල වේලාවක් යොදා ගෙන බුදු ගුණ භාවනාව පමණකින් වත් භාවනාවක් පුරුදු කිරීම්.

පිහිටුවාගන්නා ලද අධිෂ්ඨාන හොඳින් ක්‍රියා ක්‍රියාත්මක කිරීම මගින් වස්සානය අර්ථාන්විතව ගත  කිරීමට හැකිවන්නේය. බුදු පසේබුදු මහරහතන් වහන්සේලා ගේ ප්‍රශංසාවට සුදුසු යහපත් උපාසකයෙක් උපාසිකාවක් වන්නේය.

වස් සිව් මාසයේදී සුවසේ ගුණ දම් පිරීමට සියලු දෙනා හට සියලු යහපත් සුඛ විහරණ වෙවා…!!!

සම්පාදක
පූජ්‍ය කඩුවෙල අතුලඤාණ හිමි