“යො වො ආනන්ද මයා ධම්මෝ ච විනයෝ ච දෙසිතෝ පඤ්ඤත්තෝ, සො වො මමච්චයෙන සත්ථා” (මහාපරිනිබ්බාණ සූත්‍රය) යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් ඇ‍ඳෙහි වැතිර හිඳ අනඳ මාහිමිපාණන් වහන්සේ අමතා ලෝකසත්වයන් කෙරෙහි පතළ මහා කරුණාවෙන් දේශනා කර වදාළ බුද්ධ අවවාදය අනුව ඒ භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් අප සැමදෙනාට තථාගත දේශිත බුද්ධ වචනය ශාස්තෘන් වහන්සේ වන්නේය. ඒ තථාගත බුද්ධ වචනය රස වශයෙන් එකම එක විමුක්ති රසයක් ඇති අතර ධර්ම විනය වශයෙන් දෙවැදෑරුම් වන බව ද, විනය සූත්‍ර අභිධර්ම වශයෙන් ත්‍රිපිටකයක් වන බව ද, නිකාය වශයෙන් පස්වැදෑරුම් වන බව ද, අංග වශයෙන් නවාංග ශාස්තෘ ශාසනයක් වන බව ද ධර්මයෙහි සඳහන් වේ. එබැවින් ඒ සමස්ථ ත්‍රිපිටකයෙහි ලා නිර්වාණ ප්‍රතිලාභය පිණිස උපකාරී නොවන එකද ධර්ම කොට්ඨාසයක් හෝ නොමැත්තේය. එතකුදු වුවත් වර්තමානයේ ඇතැම් පිරිස් ත්‍රිපිටකය තුළ නිවන් ගමනට උපකාරී නොවන දේශනා ඇති බවට සාවද්‍ය ප්‍රකාශ ගෙනහැර දක්වමින් ධර්මයේ මුවාවෙන් බොහෝ දෙනාගේ නිර්වාණ ප්‍රතිලාභය වළක්වන බව දක්නට ලැබේ. විශේෂයෙන්ම මෙම විවේචනයට ලක්වන්නේ ත්‍රිපිටකයෙහි අති ගාම්භීර දේශනය වන්නා වූ ද, සෑම බුදුවරයෙකු විසින්ම අත නොහැර පවත්වන්නා වූ ද, විශේෂයෙන්ම සෑම පුද්ගලයකුගේම නිවන පිණිස වන විදර්ශනා භාවනාවට අත්‍යවශ්‍ය වූ ද අභිධර්ම පිටකයයි. ඇතැම් පිරිස් අභිධර්ම පිටකය බුද්ධ දේශනයක් නොවන බවට මතවාද පළ කරන අතර ඇතැම් පිරිස් අභිධර්මය දෙවියන් උදෙසා කරන ලද දේශනයක් බැවින් මිනිසුන්ගේ නිර්වාණ ප්‍රතිලාභයට අවශ්‍ය  නොවන්නක් යැයි ද පවසමින් මෙය බැහැර කරත්. ඒ අතර බොහෝ සැදැහැවත් බෞද්ධයන් අභිධර්මය බුද්ධ දේශනයක් බවට පිළිගන්නා බැවින් ඒ පිළිබඳ කරුණු ගෙනහැර දැක්වීමට මෙහි අභිප්‍රාය නොවේ. එතකුදු වුවත් අභිධර්මය දෙවියන් උදෙසා කරන ලද දේශනයක් බවත්, මිනිස් ලොව දේශනා නොකරන ලද බවත්, හුදු චිත්ත-චෛතසික පිළිබඳ විග්‍රහයක් පමණක් බවත්, මිනිසුන්ට නිවන් අවබෝධයට අවශ්‍ය නොවන දේශනයක් බවත් පවසමින් නිර්වාණ අවබෝධයට හේතු සම්පත් ඇති පුද්ගලයන් වෙතින් අභිධර්ම පිටකය දුරස් කරවමින් ක්‍රමිකව බුද්ධ ශාසනයේ පරිහානිය උදෙසා කටයුතු කරන බලවේගයන් වෙතින් ප්‍රවේසම් විය යුතු. ඒ පිළිබඳ නිර්වාණාවබෝධයට නැමුණු සිතැති ධර්මකාමී සාධු ජනයාගේ දැනගැන්ම උදෙසා කරනු ලබන දැනුවත් කිරීමක් මෙම ලිපියේ අරමුණ වේ.

තව්තිසා දෙව් ලොව අභිධර්ම දේශනය

තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ බුද්ධත්වයෙන් සත්වන වස තව්තිසා දෙව් ලොවට වැඩම කොට සියලු බුදුවරයන් වහන්සේලා අනුව යමින් මාතෘ දිව්‍ය රාජයා හට අනුග්‍රහ කරමින් එතුමන් ප්‍රමුඛ දෙව් බඹුන් අරබයා අභිධර්ම පිටකය දේශනා කොට වදාළ සේක. එබැවින් මෙය මනුලොව කරන ලද දේශනයක් නොවන බවත්, දෙවියන් උදෙසා පමණක් කරන ලද දේශනයක් බවත්, එබඳු දේශනයකින් මිනිසුන්ට ප්‍රයෝජනයක් නොමැති බවත් වර්තමානයේ ඇතැම් දේශකයන් වහන්සේලා පවසත්. මේ නිසා පළමුකොටම අභිධර්ම දේශනය දෙව්ලොව පැවැත්වීම පිළිබඳ පසුබිම සොයා බැලිය යුතු වේ.

අභිධර්මය දෙවියන් අරබයා දේශනා කරනු ලබන්නේ එය මිනිසුන්ට අවබෝධ කරගත නොහැකි සියුම් ධර්මයක් නිසාවෙන් යැයි පැවසීම සාවද්‍ය ප්‍රකාශයක් වේ. මන්ද මිනිස් ලොව අභිධර්මය අවබෝධ කරගෙන නිවන් දුටු අය පිළිබඳ බොහෝ නිදසුන් හමුවන බැවිනි. එබැවින් අභිධර්ම දේශනය තව්තිසා දෙව් ලොව දේශනා කරනු ලබන්නේ මාතෘ දිව්‍ය රාජයා හට මාර්ගඵල නිවන් සාක්ෂාත් කරදීමට එසේ කිරීම සියලු බුදුවරයන් වහන්සේලාගේ සිරිතක් මෙන්ම ධර්මතාවයක් නිසාවෙන් වේ. එපමණක්ද නොව අභිධර්මය දෙව් ලොව දේශනා කිරීම සඳහා හේතු වූ තවත් කරුණු වේ.

බුදුරජාණන් වහන්සේලාගේ ධර්ම දේශනා කිරීමේ දී එක් ධර්ම දේශනයක් කොටස් වශයෙන් දේශනා නොකොට සියල්ල එකවරම දේශනා කිරීම විශේෂ ලක්ෂණයක් වේ. අභිධර්මය වනාහී ප්‍රකරණ සතක් තුළ සංග්‍රහ කරන ලද්දේ නමුදු එකම ධර්ම දේශනයක් වේ. ඒ බව අභිධර්මය හදාළ අය මැනවින් දන්නවා ඇත. එසේ එකම ධර්ම දේශනයක් වන අභිධර්ම දේශනය අතිශය දීර්ඝ දේශණයක් වේ. අභිධර්ම පිටකයේ ධම්මසඞ්ගණී අර්ථකථාවෙහි දැක්වෙන අන්දමට අතරක් නෑර නොනවත්වාම වේගයෙන් පවත්වන ලද අභිධර්ම දේශනය මිනිස් ලොව කාලයෙන් මාස තුනක් පැවතියේය. එබඳු දේශනයක්  මිනිස් ලොව පවත්වන ලද්දේ නම් නොනවත්වාම මාසතුනක් වැනි දීර්ඝ කාලයක් ආහාර ගැනීම් ආදියකින් තොරව ධර්මශ්‍රවණය කළහැකි කිසිදු පුද්ගල‍යෙක් නැත්තේය. එහෙත් දෙව් ලොව කාල නිර්ණය මනු ලොවට වඩා වෙනස් වන්නේය. අභිධර්මපිටකයේ විභඞ්ගප්පකරණයේ ධම්මහදය විභඞ්ගයේ සඳහන් වන අන්දමට මිනිස් ලොව වර්ෂ සියයක් (100) තව්තිසා දෙව් ලොවට එක් රෑ දවාලකි. එබඳු දින තිසක් (30) මාසයක් වන අතර මාස දොළොසක් වර්ෂයකි. එබැවින් මිනිස් ලොව කාලයෙන් තුන් මාසයක් මුළුල්ලේ දේශනා කරනු ලබන දේශනය තව්තිසා දෙව්ලොවට මිනිත්තු කිහිපයක් වැනි කෙටි කාලයකි. එබඳු කෙටි කාලයක් ධර්ම ශ්‍රවණය කිරීම දෙවියන් හට අපහසුවක් නොවන නමුදු මිනිසුන්ට කළහැකි දෙයක් නොවන බැවින් අභිධර්ම දේශනය මිනිස් ලොව පැවැත්විය හැකි නොවේ. එබැවින් ද සියලු බුදුවරයන් වහන්සේලා දෙව් ලොවම අභිධර්මය දේශනා කරත්.

මෙහිදී ඇතමකුට ඇති විය හැකි ගැටළුවක් වන්නේ මිනිසකු වන බුදුරජාණන් වහන්සේ කෙසේ නම් මෙබඳු කාලයක් ධර්මය දේශනා කළේ ද? යන්නයි. ඒ පිළිබඳ ධම්මසඞ්ගණී අර්ථකථාවෙහි සඳහන් වන අන්දමට බුදුරජාණන් වහන්සේ සෑම දිනකම දහවල දන් වළඳන වේලාව සලකා බලා නිර්මිත බුදුරුවක් මවා මෙපමණ කළක් ධර්ම දේශනය අඛණ්ඩව පැවතේවා යැයි අදිටන් කොට මනු ලොවට වැඩම කරන සේක. එහිදී අනවතප්ත විලෙන් පැන් පහසු වී උතුරුකුරු දිවයිනේ පිණ්ඩපාතය කරගෙන අනවතප්ත විල සමීපයේ දන් වළඳන සේක. දම් සෙනෙවි සැරියුත් තෙරුන් වහන්සේ එහි වැඩම කොට බුදුරජාණන් වහන්සේට වත්පිළිවෙත් කොට එකත්පසෙක වැඩ හිඳින අතර භාග්‍යවතුන් වහන්සේ ‘සාරිපුත්‍රයෙනි මෙපමණ ධර්මයක් මවිසින් දේශනා කරන ලද්දේය’ යැයි එතෙක් දේශනා කරන ලද අභිධර්මය පිළිබඳ නය පමණක් සංක්ෂිප්තව වදාරණ සේක. පටිසම්භිදාප්‍රාප්ත අග්‍රශ්‍රාවක වූ ප්‍රඥාවෙන් අග තැන්පත් ධර්ම සේනාපතීන් වහන්සේ ඒ සංක්ෂිප්තව දේශනා කරනු ලබන ධර්මය නය දහසින්, නය දසදහසින් අවබෝධ කරගන්නා සේක. දිවා විහරණයෙන් වැඩ හිඳින තථාගතයන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ දී පැමිණ සිටින කුලපුත්‍රයන් හට ධර්ම දේශනා කරන වේලාවට ආපසු තව්තිසා දෙව් ලොවට වැඩම කරන සේක. මෙසේ තෙමසක් මුළුල්ලේ දේශනා කරන ලද ධර්මය මෙපමණක් යැයි ගණන පිරිසිඳීමක් කළ නොහැකි අනන්ත අපරිමාණ ධර්ම සාගරයක් වේ. එබැවින් දෙව් ලොව අභිධර්ම දේශනය සිදු කිරීමට හේතුව ඇතමුන් පවසන අන්දමට මනුලොව මිනිසුන්ට අවබෝධ කරගත නොහැකි ධර්මයක් නිසාවෙන් නොවන බව පැහැදිලි වේ.

මිනිස් ලොව අභිධර්ම දේශනය

මෙසේ තෙමසක් මුළුල්ලේ දෙව් ලොව දේශනා කරන ලද අභිධර්ම දේශනය ඒ ඒ දිනයේ දී සංක්ෂිප්තව සාරිපුත්ත තෙරුන් වහන්සේට දේශනා කරන ලද බව ඉහතින් දැක්වීමු. එබැවින් බුදුරජාණන් වහන්සේ මිනිස් ලොව අභිධර්ම දේශනයක් නොකරන ලද්දේ යැයි යමෙක් පවසන්නේ නම් එයද සාවද්‍ය වේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද අභිධර්මය සාරිපුත්ත තෙරුන් වහන්සේ මිනිස් ලොව පුද්ගලයෙක්ව අවබෝධ කරගත් බැවින් දෙවියන්ට පමණක් නොව මිනිසුන්ට ද කරන ලද දේශනයක් බවට පත්වේ. එපමණක් ද නොව අනඳ මාහිමිපාණන් වහන්සේ අග්‍ර උපස්ථායක ධූරයට පිළිගැනීමේ දී ඉල්ලන ලද වර අට (8) අනුව බුදුරජාණන් වහන්සේ අන්තැනක දේශනා කරන ලද සියලු ධර්මයන් ආනන්ද මාහිමියන් වහන්සේට යළි දේශනා කිරීමට එකඟ වූ සේක් තව්තිසා දෙව් ලොව දේශනා කරන ලද අභිධර්ම දේශනය ඒ අනඳ මාහිමියන් වහන්සේට ද දේශනා කළ සේක. ඒ අනුව පළමු ධර්ම සංගායනාවේ දී ආනන්ද මහරහතන් වහන්සේ ඒ අභිධර්ම පිටකය සංගායනාවට ලක් කළහ. එසේ ද බුදුරජාණන් වහන්සේ මනුලොව දේශනා කරන ලද අභිධර්ම දේශනයක් පවතින්නේමය.

බුදුරජාණන් වහන්සේ ඒ ඒ දිනයේ සාරිපුත්ත තෙරුන් වහන්සේට දේශනා කරන ලද අභිධර්ම නය විස්තරාත්මකව අවබෝධ කරගත් උන්වහන්සේ ඒ ඒ ධර්ම කොටස විස්තරාත්මක නොවූත්, සංක්ෂිප්ත නොවූත් ආකාරයකට සිය සද්ධිවිහාරික (තමා වෙත පැවිදි වූ) භික්ෂූන් පන්සිය නමකට උගැන්වූහ. සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ තෙමස මුළුල්ලේ කරන ලද අභිධර්ම දේශනයේ නිමාවත් ඒ පන්සියයක් භික්ෂූන්ගේ සප්තප්‍රකරණ උගැනීමත් එකටම සිදු විය. එබැවින් අභිධර්ම පිටකය වර්තමානයේ පවතින ආකාරයට ප්‍රකරණ වශයෙන් සකස් කොට කරන ලද වාචනා මාර්ගය සාරිපුත්ත ස්ථවිරයන් වහන්සේගේ විසින් සකසන ලද්දක් යැයි ධම්මසඞ්ගණී අර්ථකථාව ‘අභිධම්‌මෙ වාචනාමග්‌ගො නාම සාරිපුත්‌තත්‌ථෙරප්‌පභවො’ යැයි පවසයි. ඒ පන්සියයක් භික්ෂූහු තමන් උගත් අභිධර්මයම සම්මර්ශනය කිරීම් වශයෙන් අර්හත්වයට පත්වූහ. එබැවින් අභිධර්මය උගෙන අවබෝධ කරගත් භික්ෂූන් බුද්ධ කාලයේ පටන්ම සිටි බව ප්‍රකට වේ.

තව ද අභිධර්ම පිටකයේ ධම්මසඞ්ගණී ප්‍රකරණ පෙළෙහි අවසානයේ දැක්වෙන අර්ථකථා කාණ්ඩය නැමති කොටස භාග්‍යවතුන් වහන්සේ දෙව්ලොව දේශනා කරන ලද කොටසක් නොවන බව එම අටුවාව පවසයි. සාරිපුත්ත ස්ථවිරයන් වහන්සේගේ එක්තරා සද්ධිවිහාරික භික්ෂුවකට ධම්මසඞ්ගණීප්පකරණයෙහි නික්ඛේප කාණ්ඩයේ අර්ථ සලකාගත නොහැකිව සාරිපුත්ත ස්ථවිරයන් වහන්සේ වෙත පැමිණ ඒ පැන විචාරා සිටියේය. එහි දී සැරියුත් තෙරනුවෝ එම භික්ෂුව කැඳවාගෙන ශාස්තෘන් වහන්සේ සමීපයට ගොස් එකී ප්‍රශ්නය ඉදිරිපත් කළ අවස්ථාවේ භාග්‍යවතුන් වහන්සේ මෙම අර්ථකථා කාණ්ඩය දේශනා කර වදාළ සේක. ඒ අනුව ද මනුලොව දේශනා කරන ලද අභිධර්ම දේශනාවක් ඇත්තේය. එබැවින් යමෙක් අභිධර්මය යනු දෙව්ලොව පමණක් දේශනා කරන ලද්දක් බැවන් මිනිසුන්ට නිෂ්ප්‍රයෝජන ඇත්තක් යැයි පැවසීම සාවද්‍ය ප්‍රකාශනයක්ම වන්නේය.

හුදු චිත්ත-චෛතසික විභාගයක් පමණක් නොවන බව

අභිධර්මය මිනිසුන්ගේ නිර්වාණ ප්‍රතිලාභයට ප්‍රයෝජනයක් නැති දෙයක් යැයි පවසන ඇතැම් දේශකයන් වහන්සේලා ගෙනහැර දක්වන දුර්මතයක් වන්නේ අභිධර්මය යනු හුදු චිත්ත-චෛතසික විභාගයක් පමණක් බවයි. එම ප්‍රකාශයේ සාවද්‍ය බව අභිධර්ම පිටකය හදාරා නැති නමුදු යටත්පිරිසෙයින් අභිධර්මාර්ථ සංග්‍රහය හෝ උගත් අය හොඳාකාරවම දනිති.

අභිධර්මයේ විග්‍රහ කෙරෙන පරමාර්ථ ධර්ම සතරක් ඇත්තේය. එනම් චිත්ත, චෛතසික, රූප සහ නිර්වාණ පරමාර්ථය වේ. එකී පරමාර්ථ ධර්මයන් ස්කන්ධ වශයෙන් පඤ්චස්කන්ධයක් වන අතර ආයතන වශයෙන් දොළොසක් ද, ධාතු වශයෙන් අටළොස් ධාතුවක් ද යනාදී වශයෙන් අභිධර්මයෙහි විග්‍රහ වේ.  මීට අමතරව අභිධර්මයෙහි පුග්ගලපඤ්ඤත්තිප්පකරණයෙහි පුද්ගල විභාගයන් ද , පට්ඨානප්‍රකරණයෙහි දී සූවිසි  ප්‍රත්‍ය පිළිබඳ සූක්ෂම විග්‍රහයක් ද පැමිණේ.  යම් පුද්ගලයෙක් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්නේ නම් මෙකී පරමාර්ථ ධර්මයන් අවබෝධ කරගනී. ඒ බව සූත්‍ර දේශනා වලින්ම බුදුරජාණන් වහන්සේ වදාළ සේක. ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දී දුක, සමුදය, නිරෝධ, මාර්ග යන චතුරාර්ය සත්‍යය විග්‍රහ කරන අතර දුක්ඛ සත්‍යයට පඤ්චඋපාදානස්කන්ධයම ඇතුළත් කරමින් ‘සඞ්ඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා’ යැයි වදාළ සේක. එබැවින් චිත්ත, චෛතසික, රූප යන ත්‍රිවිධ පරමාර්ථයන්ම දුක්ඛ සත්‍යයට අයත් වේ. නිර්වාණ පරමාර්ථය නිරෝධ සත්‍යයට අයත් වේ. නිර්වාණාවබෝධ කරගන්නා පුද්ගලයා අවබෝධ කරගන්නා පරමාර්ථ ධර්මයන් මෙමගින් ප්‍රකාශිත වේ. අභිධර්මය යනු එකී සකලවිධ පරමාර්ථ ධර්මයන් පිළිබඳව කෙරෙන විස්තරාත්මක විග්‍රහය බැවින් නිවන් සාක්ෂාත් කරගැනීම පිණිස ඒ ධර්මතාවයන් හැදෑරීම අතිශය වැදගත් වේ. එසේ උගෙන ගැනීමෙන් නුවණක් ලබන අතර එය සුතමය ඤාණය ලෙස හැඳින්වෙන අතර ඒ සුතමය ඤාණය චින්තාමය හා භාවනාමය ඤාණය පිණිස උපකාර වේමය. මේ අනුව අභිධර්මය යනු හුදු චිත්ත-චෛතසික විභාගයක් පමණක් බව පැවසීම ඒ පිළිබඳව ඇති නොදැනුවත්කම මත කරන ප්‍රකාශයක් වේ.

නිර්වාණ ප්‍රතිලාභය උදෙසා අභිධර්මයේ වැදගත් කම

අභිධර්මය පිළිබඳව වැරදි මත ඉදිරිපත් කරන සියල්ලෝම එමගින් පැවසීමට උත්සහ දරනුයේ මිනිස් ලොව පුද්ගලයන්ගේ නිර්වාණ ප්‍රතිලාභය පිණිස අභිධර්මය නොවැදගත් බවයි. පහසුවෙන් අවබෝධ කරගත හැකි සූත්‍ර දේශනා විද්‍යාමාන වන කල්හි අභිධර්මය වැනි ගැඹූරු ධර්ම හැදෑරීම සඳහා කාලය වැය කිරීම නිෂ්ප්‍රයෝජන ඇති බව ඔවුන් ගේ අදහසයි. එසේ වුවද අභිධර්මය යන්න සෑම දෙනාගේම නිර්වාණය පිණිස අතිශය මහෝපකාරී වන බව සනාථන සත්‍යයක් වේ. අතීතයේ මිනිසුන්ට පමණක් නොව ධර්මාවබෝධය කළ නොහැකි තිරිසන් සතුන්ට පවා අභිධර්මය ශ්‍රවණය කිරීම් මාත්‍රයෙන් නිර්වාණයට උපනිශ්‍රය වීය. සාරිපුත්ත ස්ථවිරයන් වහන්සේ වෙතින් පළමුව අභිධර්මය උගත් භික්ෂූන් පන්සිය නම එබඳු උපනිශ්‍රය ඇත්තෝ ය.

ඒ භික්ෂූන් පන්සිය නම කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ තලවවුල් යෝනියේ ඉපිද එක්තරා ගල් ගුහාවක එල්ලී සිටින අතරතුර එහි සිටි භික්ෂූන් දෙනමක් අභිධර්මය සජ්ඣායනය කළහ. ඒ තලවවුලන් තිරිසන් බැවින් ධර්මාවබෝධයට අසමත් වුවද එසේ සජ්ඣායනය කෙරෙන අභිධර්ම ස්වරයේ නිමිත්ත ගත්හ. ඒ පන්සියයක් තලවවුලන් මරණයට පත් වී කිසිදු ධර්මාවබෝධයකින් තොරව අභිධර්ම ස්වරයේ නිමිත්ත ගත් මාත්‍රයෙන් දෙව් ලොව ඉපදුණහ. බුද්ධාන්තරයක් දෙව් ලොව වැස අපගේ ශාන්තිනායකයන් වහන්සේ වැඩසිටි සමයේ මිනිස් ලොව ඉපිද ලොව්තුරු බුදුරජාණන් වහන්සේ තීර්ථකයන්ගේ වාද දුරු කිරීම පිණිස ගණ්ඩබ්බ රුක් මුල යමක මහා ප්‍රාතිහාර්ය පවත්වනු දැක බුදුසසුනේ පැහැදී සාරිපුත්ත ස්ථවිරයන් වහන්සේ වෙත පැවිදි වූහ. එසේ අතීත ආත්ම භාවයේ තිරිසන්ව හිඳ නමුදු අභිධර්මය ශ්‍රවණය කළ මාත්‍රෙයන් ඔවුහු සාරිපුත්ත මහරහතන් වහන්සේ වෙතින් අභිධර්මය උගෙන එය හදාරන්නාහු උතුම් අරිහත්වය සාක්ෂාත් කළහ. මෙසේ තිරිසන් සත්වයන්ට පවා අභිධර්මය ශ්‍රවණය කිරීම නිර්වාණ ප්‍රතිලාභයට උපනිශ්‍රය වූයේ නම් ක්ෂණ සම්පත්තියෙන් යුතු අප වැනි මිනිසුන් හට නිර්වාණය සඳහා අභිධර්මයේ ඇති සප්‍රයෝජනවත් බව වටහා ගැනීම නුවණැතියන් හට අපහසු නොවනු ඇත.

අනෙක් අතට අභිධර්මය අවශ්‍ය නොවන බවත්, සූත්‍ර දේශනා පමණක් ප්‍රමාණවත් බවත් පවසන දේශකයන් බොහෝ සූත්‍ර දේශනයන්හි නිවැරදි අර්ථය වටහා නොගෙන සූත්‍ර දේශනයේ මතුපිට අර්ථය පමණක් ග්‍රහණය කරගන්නා බවද පැවසිය යුතු වේ. විශේෂයෙන්ම විදර්ශනා භාවනාවට ඍජුවම සම්බන්ධ වන සූත්‍ර දේශනාවන්හි අර්ථය මැනවින් ග්‍රහණය කරගැනීමට නම් අභිධර්ම දැනුම අත්‍යවශ්‍ය වේ. අභිධර්ම දැනුමකින් තොරව සූත්‍රය කියවන තැනැත්තා එහි එන කථාව හෝ ධර්ම කරුණු කියවූ පමණින් තමා බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියවූයේ යැයි සතුටට පත්වේ. ඇතැම් විට තවත් අයෙකුට එය කියා දේ. එහෙත් පරමාර්ථ ධර්ම පිළිබඳ අබබෝධයක් නොමැති නම් ඔහුට විදර්ශනා භාවනාවක් ඒ මගින් සම්පූර්ණ නොවේ. මන්ද විදර්ශනාව සම්පූර්ණයෙන්ම පරමාර්ථ ධර්ම මත පදනම් වන බැවිනි. අභිධර්ම ඤාණය ඇති තැනැත්තාට තමන් කියවන හෝ ශ්‍රවණය කරන සූත්‍රයෙහි එන ධර්ම කරුණු නුවණින් මෙනෙහි කිරීම් වශයෙන් ඔහු කලින් ලබා ඇති පරමාර්ථ ධර්ම පිළිබඳ දැනුම උපකාරී කොට ගෙන විදර්ශනා නුවණක් උපදී. බුදුරජාණන් වහන්සේ වෙතින් පවා ධර්ම ශ්‍රවණයෙන් නිවන් දුටු සියලුම දෙනා මෙවන් උපනිශ්‍රයක් නිසාවෙන්ම නිවන් සාක්ෂාත් කළහ. සතරපද ගාථාවක් ඇසීම් මාත්‍රයෙන් නිවන් සාක්ෂාත් කළ සාරිපුත්ත (උපතිස්ස පරිබ්‍රාජක තුමා) මොග්ගල්ලාන (කෝලිත පරිබ්‍රාජකතුමා) තෙරුන් වහන්සේලා පවා පූර්ව ආත්මභාවයන්හි ත්‍රිපිටකධරී වූහ. එසේ තමන් ලබා තිබූ අභිධර්ම ඤාණය සතරපද ගාථාවක් ශ්‍රවණය කිරීමෙන් නිවන් සාක්ෂාත් කරගැනීමට ඉවහල් විය. එබැවින් තමන්ට ධර්මය අවබෝධ කරගැනීමට පමණක් නොව අන් අයට ධර්ම දේශනා කිරීමටද අභිධර්ම දැනුම ඉවහල් වේ. අභිධර්මය දත් භික්ෂුවම ධර්ම කථිකයා යැයි සඳහන් වන්නේ ද එබැවිනි. (ආභිධම්‌මිකභික්‌ඛූයෙව කිර ධම්‌මකථිකා නාම, අවසෙසා ධම්‌මකථං කථෙන්‌තාපි න ධම්‌මකථිකා) ආභිධර්මික නොවන භික්ෂූහු එක් කර්මයක් තවත් කර්මයක් සමඟ අවුල්කොට ද, එක් විපාකයක් තවත් විපාකයක් සමඟ අවුල්කොට ද, රූප අරූප පිරිසිඳීම් දෙක අවුල්කොට ද, එක් ධර්මයක් තවත් ධර්මයක් සමඟ අවුල්කොට ද ධර්මය දේශනා කරන බව ධම්මසංගණී අටුවාවෙහි දැක්වේ. වර්තමානයේ ඇතැම් ධර්ම දේශකයන්ගේ දේශනාවලින් මෙය මනාව ප්‍රකට වේ.

ථෙරවාදී බෞද්ධයන් අතර අත්‍යාදරයට පත් කෘතියක් ලෙස මිලින්දප්‍රශ්නය හැඳින්විය හැකි වේ. එහිලා මිලිඳු රජුගේ වාදයන් බිඳ ධර්මය ඉස්මතු කළ, බුදු සසුනට දිරි දුන් නාගසේන මහරහතන් වහන්සේ ද අභිධර්ම කථාවකින් ධර්ම දේශනා කරනුයේ ඒ දේශනා කරන ධර්මයම මෙනෙහි කොට ඒ ධර්මාසනයේ දීම උතුම් සෝවාන් මාර්ගඤාණයෙන් නිවන් සාක්ෂාත් කළහ. ඒ නාගසේන තෙරුන් වහන්සේ පැවිදි වූ අලුත පළමුවම සිය ඇදුරු හිමියන් වූ රෝහණ තෙරුන් වහන්සේ විසින් අභිධර්ම පිටකයේ සප්තප්‍රකරණයම කටපාඩම් කිරීමට  සැලැස්වූ බව මිලින්ද ප්‍රශ්නයේ නිදාන කථාවෙහි විස්තර වේ. ඒ ගාම්භීර අභිධර්ම ඤාණය උන්වහන්සේට ධර්ම දේශනා කිරීමේ දීම සෝවාන් වීමට ද, මිලිඳු රජුගේ උභතෝකෝටික ප්‍රශ්න විසඳා බුදුසසුන රැකගැන්මට ද ඉවහල් විය. එබැවින් නිර්වාණ ප්‍රතිලාභය උදෙසා අභිධර්මය නිෂ්ප්‍රයෝජන යැයි පැවසීම පදනම් විරහිත වේ.

දෙවියන් උදෙසා කරන ලද දේශන මිනිසුන්ට ප්‍රයෝජනවත් නොවන්නේද?

මීළඟට විමසා බැලිය යුතු කරුණක් වන්නේ අභිධර්මය දෙවියන් උදෙසා දේශනා කරන ලද්දේ නම් එයින් මිනිසුන්ට ප්‍රයෝජනයක් නැත්තේ ද යන්නයි. ඇතැම් දේශකයන් වහන්සේලා පැහැදිලි කරන අන්දමට බුදුරජාණන් වහන්සේ අභිධර්ම දේශනය දෙව්ලොව දී දෙවියන් මුල් කොටගෙන දේශනා කළ බැවින් මිනිසුන්ට එයින් ඇති ප්‍රයෝජනයක් නොමැති බවයි. ඔවුන්ගේ මෙම ප්‍රකාශය පදනම් විරහිත වන්නේ බුදුරජාණන් වහන්සේ දෙවියන් උදෙසා කරන ලද සූත්‍ර දේශනා බොහොමයක් සූත්‍ර පිටකයේද ඇති බැවිනි. විශේෂයෙන්ම සමස්ථ බෞද්ධයන් නිරන්තරයෙන් එදිනෙදා භාවිතා කරන සූත්‍රයක් වන මහාමංගල සූත්‍රය, පිරිත් පොතේ එන පරාභව සූත්‍රය ආදිය දෙවියන් උදෙසා කරන ලද දේශනා වේ. තවද සංයුත්ත නිකායේ එන දේවතා සංයුත්තය සහ දේවපුත්ත සංයුත්තය යන සංයුත්ත දෙකම ද දෙවිවරුන් උදෙසා කරන ලද දේශනා වේ. දෙවියන් උදෙසා කරන ලද දේශනය මිනිසුන්ට නිෂ්ප්‍රයෝජන යැයි පවසන්නේ නම් මෙම සංයුත්ත දෙකම ඉවත් කළයුතු වේ. එසේ වුවද මිනිසුන්ගේ නිවන් ගමන උදෙසා උපකාරී වන ඔඝතරණ සූත්‍රය, ජටා සූත්‍රය ආදී සූත්‍ර දේශනා බොහොමයක් මෙම සංයුත්තයන්හි අඩංගු වේ. ඒ නිසාවෙන්ම සංගීතිකාරක මහරහතන් වහන්සේලා මෙම සියලු සූත්‍ර දේශනා ද, අභිධර්මය ද ත්‍රිපිටකයෙහිලා සංග්‍රහ කළහ. එසේ ත්‍රිපිටකයෙහි සංගෘහිත කිසිදු බුද්ධ දේශනයක් ඒ අවස්ථාවේ සිටි ශ්‍රාවකයන් පිළිබඳ සලකා බැහැර නොකළ යුතු බවත් දෙවියන් උදෙසා හෝ වේවා, බ්‍රහ්මයන් උදෙසා හෝ වේවා, යක්ෂයන් උදෙසා හෝ වේවා, මිනිසුන් උදෙසා හෝ වේවා දේශනා කරන ලද සියලු බුද්ධ දේශනයන් නිර්වාණාවබෝධය පිණිස උපකාරී වන බවත් පැවසිය යුතු වේ.

එකල භික්ෂූන් අභිධර්මය භාවිතා කළ බව

අභිධර්මය දෙවියන් උදෙසා දේශනා කළ නිසාවෙන් හෝ වෙතන් හේතුවක් මත බැහැර නොළ යුතු බව ඉහත දක්වන ලදී. වර්තමානයේ පමණක් නොව අතීතයේ බුදුරජාණන් වහන්සේ වැඩසිටි අවධියේ පවා භික්ෂූන් අභිධර්මය අතනොහැර භාවිතා කළ බව සූත්‍ර දේශනයන්හි පවා ප්‍රකට වේ. අභිධර්මය යන්න නිවන් දැකීමට අවශ්‍ය නොවන දේශණයක් වන්නේ නම් එකල සිටි සාරිපුත්ත මොග්ගල්ලාන අග්‍රශ්‍රාවක මහරහතන් වහන්සේලා ඇතුළු මහරහත් උතුමන් වහන්සේලා අභිධර්මය පිටුදකිනවා ඇත. එහෙත් උන් වහන්සේලා අභිධර්මය භාවිතා කළ අතර උන්වහන්සේලාගේ අභිධර්ම සාකච්ඡාවන් බුදුරජාණන් වහන්සේ ද ප්‍රශංසා කළ සේක. ඒ පිළිබඳ වැදගත් සාක්ෂියක් මහා ගෝසිඞ්ග සූත්‍රයෙන් හෙළිවේ.

එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ ගෝසිඞ්ග සාල වනෝද්‍යානයේ වැඩ වාසය කරන සේක් සාරිපුත්‍ර, මොග්ගලාන, මහා කාශ්‍යප, අනුරුද්ධ, රේවත යන මහරහතන් වහන්සේලා සහ ආනන්ද මාහිමිපාණන් වහන්සේ අතර ඇති වූ දෙබසක් මෙම සූත්‍රයෙහි සඳහන් වේ. ඒ අනුව සැරියුත් මාහිමිපාණන් වහන්සේ සෙසු භික්ෂූන්ගෙන් කෙබඳු ස්වභාව ඇති භික්ෂුවක් නිසාවෙන් ගෝසිඞ්ග සාල වනෝද්‍යානය ශෝභමාන වන්නේදැයි ඇසූහ. එහිදී මුගලන් මහරහතන් වහන්සේ පවසනුයේ භික්ෂූන් දෙනමක් අභිධර්ම කථා කරත් ද, ඔවුන් එකිනෙකාගෙන් ප්‍රශ්න අසත්ද, අසන ප්‍රශ්න විසඳත්ද, කරුණු යටපත් නොකරත්ද, ඔවුන්ගේ ධර්ම කථාව නොකඩවා පවත්නා සුළු වේද මෙබඳු ස්වරූප ඇති භික්ෂුවකගෙන් මෙම ගෝසිඞ්ග සාල වනෝද්‍යානය ශෝභමාන වන බවයි. (“ඉධාවුසො සාරිපුත්‌ත, ද්‌වෙ භික්‌ඛූ අභිධම්‌මකථං කථෙන්‌ති. තෙ අඤ්‌ඤමඤ්‌ඤං පඤ්‌හං පුච්‌ඡන්‌ති, අඤ්‌ඤමඤ්‌ඤස්‌ස පඤ්‌හං පුට්‌ඨා විස්‌සජ්‌ජෙන්‌ති, නො ච සංසාදෙන්‌ති, ධම්‌මී ච නෙසං කථා පවත්‌තිනී හොති. එවරූපෙන ඛො, ආවුසො සාරිපුත්‌ත, භික්‌ඛුනා ගොසිඞ්‌ගසාලවනං සොභෙය්‍යා”ති.) මෙයින් සුප්‍රකට වන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ පවා භික්ෂූහු අභිධර්මය අතනොහැර භාවිතා කළ බව වේ. එසේම මුගලන් මහරහතන් වහන්සේගේ මෙම ප්‍රකාශය භාග්‍යවතුන් වහන්සේ සාධුකාර දෙමින් අනුමත කළ අතර මුගලන් මහරහතන් වහන්සේ සැබෑ ධර්ම කථිකයෙක් යැයි ද වදාළ සේක. (“සාධු සාධු, සාරිපුත්‌ත, යථා තං මොග්‌ගල්‌ලානොව සම්‌මා බ්‍යාකරමානො බ්‍යාකරෙය්‍ය. මොග්‌ගල්‌ලානො හි, සාරිපුත්‌ත, ධම්‌මකථිකො”ති.) බුදුරජාණන් වහන්සේගේ මෙම බුදුවදනින්ම අභිධර්මය අගය කරන, අභිධර්මය අනුගමනය කරන, අභිධර්ම ඤාණයෙන් යුතුව දහම් දෙසන භික්ෂුවම ධර්ම කථිකයෙක්ය යන්න බුදුරජාණන් වහන්සේ ද පිළිගත් බව පැහැදිලි වේ.

තව ද විනය පිටකයෙහි භික්ෂු විභඞ්ගයෙහි පාචිත්තිය පාළි කොටසෙහි විලේඛන සිකපදයේ අනාපත්ති වාරයේ සඳහන් වන “ඉඞ්‌ඝ ත්‌වං සුත්‌තන්‌තෙ වා ගාථායො වා අභිධම්‌මං වා පරියාපුණස්‌සු, පච්‌ඡා විනයං පරියාපුණිස්‌සසී’ති භණති” යන ප්‍රකාශයෙන් ද බුද්ධ කාලයේ පටන්ම භික්ෂූහු අභිධර්මය භාවිතා කළ බව ප්‍රකට වේ. එසේම විනය පිටකයේ භික්ෂුණී විභඞ්ගයේ, ඡත්තුපාහන වග්ගයේ දොළොස්වන (12) සිකපදයේ ද අභිධර්මය පිළිබඳව සඳහන් වේ. (“පඤ්‌හං පුච්‌ඡෙය්‍යාති සුත්‌තන්‌තෙ ඔකාසං කාරාපෙත්‌වා විනයං වා අභිධම්‌මං වා පුච්‌ඡති, ආපත්‌ති පාචිත්‌තියස්‌ස. විනයෙ ඔකාසං කාරාපෙත්‌වා සුත්‌තන්‌තං වා අභිධම්‌මං වා පුච්‌ඡති, ආපත්‌ති පාචිත්‌තියස්‌ස. අභිධම්‌මෙ ඔකාසං කාරාපෙත්‌වා සුත්‌තන්‌තං වා විනයං වා පුච්‌ඡති, ආපත්‌ති පාචිත්‌තියස්‌ස.) මෙම ප්‍රකාශයෙන් පැහැදිලි වන වැදගත් කරුණක් වන්නේ භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂූන්ගේ අභිධර්මය පිළිබඳ කථාබහ, ප්‍රශ්න ඇසීම් ආදිය අනුමත කරන ලද බවයි. එසේ බුදුරජාණන් වහන්සේගේ සම්භාවනාවට පාත්‍ර වූ අභිධර්ම කථාබහ, අභිධර්මය පිළිබඳ ප්‍රශ්න ඇසීමාදිය වර්තමාන ඇතැම් දේශකයන් වහන්සේලා හෑල්ලුවට ලක් කරන අතර එසේ නොකළයුතු බවත්, ගාම්භීර බුද්ධ දේශනයක් වන අභිධර්මය සියලු දෙනාගේම සම්භාවනාවට පාත්‍ර විය යුතු බවත් සඳහන් කළයුතු වේ. යමෙක් එසේ අභිධර්මය පිටු දකින්නේ වේ නම්, හෙතෙම ධර්ම මාර්ගයෙන්, නිවන් මාර්ගයෙන් බැහැර වේ.

තථාගතයන් වහන්සේගේ ‘සුගතෝ ගුණය අභියෝගයට ලක් කිරීම

තථාගතයන් වහන්සේගේ ‘සුගතෝ’ බුද්ධ ගුණයෙන් අදහස් වන අර්ථ කිහිපය අතරින් එක් අර්ථයක් වන්නේ මනා වදන් ඇති බවයි. එනම් තථාගතයන් වහන්සේ කිසිදු විටක අභූත වූ අසත්‍ය වූ අනර්ථ සංහිත වූ වචනයක් කිසිවිටකත් නොම වදාරන බවයි. ඒ බව තථාගතයන් වහන්සේම අභයරාජකුමාර සූත්‍රයේ මෙසේ වදාරණ සේක. “යං තථාගතො වාචං ජානාති අභූතං අතච්‌ඡං අනත්‌ථසංහිතං සා ච පරෙසං අප්‌පියා අමනාපා, න තං තථාගතො වාචං භාසති. යම්‌පි තථාගතො වාචං ජානාති භූතං තච්‌ඡං අනත්‌ථසංහිතං සා ච පරෙසං අප්‌පියා අමනාපා, තම්‌පි තථාගතො වාචං න භාසති. යඤ්‌ච ඛො තථාගතො වාචං ජානාති භූතං තච්‌ඡං අත්‌ථසංහිතං සා ච පරෙසං අප්‌පියා අමනාපා, තත්‍ර කාලඤ්‌ඤූ තථාගතො හොති තස්‌සා වාචාය වෙය්‍යාකරණාය. යං තථාගතො වාචං ජානාති අභූතං අතච්‌ඡං අනත්‌ථසංහිතං සා ච පරෙසං පියා මනාපා, න තං තථාගතො වාචං භාසති. යම්‌පි තථාගතො වාචං ජානාති භූතං තච්‌ඡං අනත්‌ථසංහිතං සා ච පරෙසං පියා මනාපා තම්‌පි තථාගතො වාචං න භාසති. යඤ්‌ච තථාගතො වාචං ජානාති භූතං තච්‌ඡං අත්‌ථසංහිතං සා ච පරෙසං පියා මනාපා, තත්‍ර කාලඤ්‌ඤූ තථාගතො හොති තස්‌සා වාචාය වෙය්‍යාකරණාය. = තථාගතයන් වහන්සේ යම් අභූත (අවිද්‍යමාන) වූ, අසත්‍ය වූ, අනර්ථ සහිත වූවක් දන්නේ වුව ද, එය අන් අයට අප්‍රිය අමනාප වේද, තථාගතයන් වහන්සේ එබඳු වචනයක් නොම වදාරන සේක. තව ද තථාගතයන් වහන්සේ යම් භූත (විද්‍යමාන) වූ, සත්‍ය වූ, අනර්ථ සහිත වූවක් දන්නේ වුව ද, එය අන් අයට අප්‍රිය අමනාප වේ ද, තථාගතයන් වහන්සේ එබඳු වචනයක් ද නොම වදාරන සේක. එසේම තථාගතයන් වහන්සේ යම් භූත (විද්‍යමාන) වූ, සත්‍ය වූ, අර්ථ සහිත වූවක් දන්නේ වුවද, එය ද අන් අයට අප්‍රිය අමනාප වේද, එහිලා තථාගතයන් වහන්සේ එබඳු වචනයක් දේශනා කිරීම සඳහා සුදුසු කල් දනී. තථාගතයන් වහන්සේ යම් අභූත (අවිද්‍යමාන) වූ, අසත්‍ය වූ, අනර්ථ සහිත වූවක් දන්නේ වුව ද, එය අන් අයට ප්‍රිය මනාප වේද, තථාගතයන් වහන්සේ එබඳු වචනයක් නොම වදාරන සේක. තථාගතයන් වහන්සේ යම් භූත (විද්‍යමාන) වූ, සත්‍ය වූ, අනර්ථ සහිත වූවක් දන්නේ වුවද, එය අන් අයට ප්‍රිය මනාප වේ ද, තථාගතයන් වහන්සේ එබඳු වචනයක් ද නොම වදාරන සේක. එසේම තථාගතයන් වහන්සේ යම් භූත (විද්‍යමාන) වූ, සත්‍ය වූ, අර්ථ සහිත වූවක් දන්නේ වුවද, එය අන් අයට ප්‍රිය මනාප වේද, එහිලා තථාගතයන් වහන්සේ එබඳු වචනයක් දේශනා කිරීම සඳහා සුදුසු කල් දන්නා සේක. (මජ්ඣිම නිකාය, අභයරාජකුමාර සූත්‍රය)

ඒ භාග්‍යවතුන් වහන්සේ දිව්‍ය ලෝකයේ දී දේශනා කරන ලද අභිධර්ම දේශනය පැවැත්වීමේ දී ඒ ඒ දිනයේ දහවල සාරිපුත්‍ර මහරහතන් වහන්සේට අභිධර්ම නය දේශනා කරන බවද දන්නා සේක. එම අභිධර්මය සාරිපුත්‍ර මහරහතන් වහන්සේ සිය ශිෂ්‍ය භික්ෂූන් පන්සිය නමකට උගන්වන බවද දන්නා සේක. යම් හෙයකින් ඒ අභිධර්මය මිනිසුන්ට උපකාරී නොවන්නේ නම්, අනර්ථ සහිත වේ නම් භාග්‍යවතුන් වහන්සේ එබඳු ධර්මයක් දේශනා නොකරන සේක. දෙව් ලොව දේශනා කරන ලද ඒ දේශනය යළි මනුලොව සාරිපුත්ත මහරහතන් වහන්සේට දේශනා නොකරන සේක. එබැවින් අභිධර්ම දේශනය යනු සකල ලෝක වාසී දෙව් මිනිස් සියලු දෙනාටම නිර්වාණය පිණිස උපකාරී වන අර්ථ සහිත දේශනයක්ම වන්නේය. යමෙක් එබඳු දේශනයක් දෙවියන්ට පමණක් උපකාර වන බවත්, මිනිසුන්ට නිෂ්ප්‍රයෝජන බවත් පවසන්නේ නම් එය තථාගතයන් වහන්සේගේ සුගතෝ ගුණය අභියෝගයට ලක් කිරීමක් වේ. එය සුලුපටු අකුසලයක් නොවන අතර සිය ශ්‍රාවකයන් ද එම අඳුරු දෘෂ්ටියෙහි සමාදන් කරවා ඒ අයද අකුසලයේ සමාදන් කරවීමෙන් ඔවුන්ගේ නිර්වාණ ගමනද අඩාල කරනු ලැබේ.

වර්තමාන භාවනා ක්‍රම වලට අදාළ කරගැනීම

අභිධර්ම දේශනය ප්‍රතිබාහනය කරන සෑම දෙනෙකුගේම පාහේ දැකිය හැකි පොදු ලක්ෂණයක් වන්නේ ඔවුන් වෙත පිරිසිදු භාවනා මාර්ගයක් විද්‍යාමාන නොවීමයි. භාග්‍යවතුන් වහන්සේගේ සූත්‍ර දේශනාවක් ගෙන එය සජ්ඣායනය කිරීමෙන් හෝ එහි එන ධර්ම කොටස් මතුපිටින් හඳුනාගෙන මෙනෙහි කිරීමෙන් තමන් විදර්ශනා භාවනාවක් කරනවා යැයි ශ්‍රාවකයන් ද මුලා කිරීම දැකිය හැකි වේ. එහෙත් ක්‍රමානුකූලව වැඩෙන භාවනා මාර්ගයක් බුද්ධ කාලයේ පටන්ම ථෙරවාදීන් සතු විය. භාග්‍යවතුන් වහන්සේ ඒ ඒ සූත්‍ර දේශනයන්හි සහ අභිධර්ම පිටකයේ දේශනා කර වදාළ බෞද්ධ භාවනා මාර්ගය භදන්තාචරිය බුද්ධඝෝෂ ඇදුරුපාණෝ විශුද්ධිමාර්ගයේ දී හෙළිදරවු කළ අතර එය ප්‍රායෝගිකව භාවිතා කරන භාවනා මධ්‍යස්ථාන වර්තමානයේ ලක්දිව මෙන්ම බුරුමය, තායිලන්තය ආදී රටවල ද ඇත්තේය. ඒ අතර විශුද්ධිමාර්ගය පදනම් කරගත් සමථ පූර්වාංගම භාවනා මාර්ගයක් ලෙස බුරුමයේ පා-අවුක් භාවනා ක්‍රමය හඳුනාගත හැකි වේ. එසේම ශුෂ්ක විදර්ශක භාවනා මාර්ගයක් ලෙස මහා සී භාවනා ක්‍රමය දැක්විය හැකි වේ. මෙම සෑම භාවනා මාර්ගයක්ම නිවන දක්වා පිරිසිදුව, පැහැදිලිව සඳහන්ව ඇති අතර ඒ සෑම පියවරක්ම ත්‍රිපිටක දේශනා සමඟ මැනවින් ගලපා ග්‍රන්ථාගතව ඇත්තේය. ඒවා පරිශීලනය කිරීමෙන් විදර්ශනා භාවනාව සඳහා අභිධර්මයේ ඇති සප්‍රයෝජනත්වය ප්‍රකට වේ.

කෙටියෙන් පැහැදිලි කරන්නේ නම් රථ විනීත සූත්‍රයේ සඳහන් වන සප්ත විශුද්ධි ක්‍රමයට නිර්වාණය දක්වා භාවනා මාර්ගය පැහැදිලි කිරීමේ දී සමථ පූර්වාංගම යෝගාවචරයා දිට්ඨි විශුද්ධිය පහළ කරගැනීම උදෙසා නාම රූප ධර්මයන් එකිනෙක පිරිසිඳ දැකිය යුතු වේ. එහිදී ආයතන වශයෙන් හෝ දෙතිස් කුණප වශයෙන් හෝ සමස්ථ කය පුරාවට සියලු නාම රූප ධර්ම වෙන්කොට හඳුනාගත යුතු වේ. උදාහරණයක් ලෙස චක්ඛායතනයේ රූප හඳුනා ගැනීම සඳහා එහි ඇති රූප කලාප පිළිබඳ අවබෝධය වැදගත් වේ. එහිලා හටගන්නා නාමධර්ම හඳුනාගැනීම සඳහා චක්ඛුවිඤ්ඤාණය සහ ඒ සම්ප්‍රයුක්ත චෛතසික පිළිබඳ අවබෝධය උපකාර වේ. මෙසේ සෙසු ආයතන සම්බන්ධව ද රූප ධර්ම සහ නාම ධර්ම සම්මර්ශනය කළයුතු වේ. මෙසේ රූප කලාප හෝ නාම ධර්ම හඳුනාගැනීම කළ නොහැකි යැයි ඇතැම් දේශකයන් වහන්සේ නමක් පැවසිය හැකි වේ. එහෙත් ක්‍රමානුකූලව භාවනා මාර්ගයෙහි ගමන් කරන යෝගාවචරයන් වහන්සේ සමථ පූර්වාංගම නම් වඩන ලද සමාධියේ උපකාරයෙන් පහසුවෙන් මෙම නාම රූප ධර්ම නුවණින් දකින බව අත්දැකීමෙන්ම දන්නවා ඇත. ශුෂ්ක විදර්ශනාවක යෙදෙන යෝගාවචරයන් වහන්සේට ද විදර්ශනාව වැඩීම් වශයෙන් උපදින සමාධියෙන් නාමරූප වශයෙන් වැටහෙනු ඇත. අභිධර්ම අවබෝධයක් ඇති යෝගාවචරයා හට මෙම නාම රූප සම්මර්ශනය වඩාත් පහසු වේ. සෙසු විශුද්ධීන්හි පවා අභිධර්ම අවබෝධය වැදගත් වන බව එකී භාවනා මාර්ගය පිළිවෙලින් වඩන යෝගාවචාරයා හට ප්‍රකට වනු ඇත. එබැවින් යම් දේශකයන් වහන්සේ නමක් අභිධර්මය ප්‍රතිබාහනය කරන්නේ නම්, විදර්ශනාව සඳහා අභිධර්මය අනවශ්‍ය බව පවසන්නේ නම් ඔවුන් වෙත නිවන දක්වා විහිදුනු පිරිසිදු භාවනා මාර්ගයක් නොමැති බව පිළිගත යුතු වේ.

අභිධර්මය ප්‍රතිබාහනය කිරීමේ විපාකය

ඉහත දක්වන ලද කරුණු වලින් නිර්වාණාවබෝධය සඳහා අභිධර්මයේ ඇති වැදගත්කම නුවණැතියන්ට මනාව වැටහෙනු ඇත. එසේ තිබියදී ඇතැම් දේශකයන් වහන්සේලා අභිධර්මය නොවැදගත් දේශනයක් සේ ප්‍රතික්ෂේප කිරීමේ සහ සෙසු පුද්ගලයන් එහි සමාදන් කරවීමේ විපාකය පිළිබඳව ද මදක් විමසා බැලිය යුතු වේ. අභිධර්මය බුද්ධ දේශනයක් නොවන බවට ඇතැමෙක් මතවාද පළ කරන අතර ඒ තුළින් බුද්ධ භාෂිතය අබුද්ධ භාෂිතයක් ලෙස පවසමින් අතිමහත් අකුසලයක් රැස්කරගනිත්. අභිධර්ම දේශනය මිනිසුන්ට ධර්මාවබෝධය පිණිස ප්‍රයෝජනයක් නොමැති බව පවසන බුදුරජාණන් වහන්සේගේ සුගතෝ බුදුගුණය අභියෝගයට ලක් කරන අතර බුදුරජාණන් වහන්සේ අනර්ථ සහිත වූවක් දේශනා කරන බව පවසමින් අකුසල් කරගනිත්.

මෙසේ අභිධර්මය ප්‍රතික්ෂේප කිරීම වර්තමානයේ පමණක් සිදු වූවක් නොව දෙවන ධර්මසංගායනාව සිදුවූ අවධියේ ථෙරවාදීන්ගෙන් වෙන්ව බිහිවූ මහාසාංඝිකයන් විසින්ද සිදු කරන ලද්දක් වේ. ඒ බව දීපවංශයෙහි මෙසේ සඳහන් වේ.

‘‘පරිවාරං අත්‌ථුද්‌ධාරං, අභිධම්‌මං ඡප්‌පකරණං;

පටිසම්‌භිදඤ්‌ච නිද්‌දෙසං, එකදෙසඤ්‌ච ජාතකං;

එත්‌තකං විස්‌සජ්‌ජෙත්‌වාන, අඤ්‌ඤානි අකරිංසු තෙ.

මෙහි අදහස වනුයේ ඒ මහාසාංගිකයන් විනය පිටකයේ අර්ථෝද්ධාරය වූ පරිවාරපාළියත්, අභිධර්මයේ කථාවත්ථුප්පකරණය හැර සෙසු ප්‍රකරණ සයත් (කථාවත්ථුප්පකරණය සම්පූර්ණ වන්නේ තෙවන ධර්ම සංගායනාවේදී ය), සූත්‍ර පිටකයේ පටිසම්භිදා මග්ගයත්, චූල නිද්දේස මහා නිද්දේස දෙකත්, ජාතක වල ඒක දේශයකුත් ඒ මහාසාංගිකයෝ අතහැරියහ. වර්තමානයේ ද අභිධර්මය ප්‍රතික්ෂේප කරන බොහොමයක් දෙනා මේ සියල්ල ප්‍රතික්ෂේප කරති. ඒ අනුව ඔවුහු ථෙරවාදී මහරහතන් වහන්සේලා විසින් සිදු කරන ලද දෙවන ධර්ම සංගායනාව පිළිනොගෙන මහාසාංගිකයන් පිළිගන්නා බවයි. ඒ අනුව ඔවුන්ගේ ධර්ම පැහැදිලි කිරීම නිර්වාණය පිණිස පවතින ධර්මයක් නොව මහායාන සංකල්ප පතුරවන ධර්මයක් බව පිළිගත යුතු වේ.

මෙසේ අභිධර්ම ආදී බුද්ධ දේශනයන් ප්‍රතිබාහනය කිරීම අටළොස් භේදකර වස්තූන් අතරින් එකක් වන ධර්මය අධර්මය යැයි පැවසීම වේ. එබැවින් සංඝභේදයක් වැනි බරපතල අකුසලයක්, ශාසනික හානියක් දක්වා යා හැකි කටයුත්තක් වේ. එබඳු ක්‍රියාවක් කල්ප ගණනක් නිරයගාමී වීමට තරම් අකුසලයක් බව බුදුරජාණන් වහන්සේම වදාරා ඇත්තේය. එය ඍජුවම බුදුරජාණන් වහන්සේගේ ජින චක්‍රයට පහර දීමක් බව, සර්වඥතා ඤාණය ප්‍රතිබාහනය කිරීමක් බව ධර්මයේ සඳහන් වේ. අභිධර්ම පිටකයේ ධම්මසඞ්ගණී ප්‍රකරණ අටුවාවේ සඳහන් වන්නේ “අභිධම්‌මං පටිබාහෙන්‌තො ඉමස්‌මිං ජිනචක්‌කෙ පහාරං දෙති, සබ්‌බඤ්‌ඤුතඤ්‌ඤාණං පටිබාහති, සත්‌ථු වෙසාරජ්‌ජඤ්‌ඤාණං පටිනිවත්‌තෙති, සොතුකාමං පරිසං විසංවාදෙති, අරියමග්‌ගෙ ආවරණං බන්‌ධති, අට්‌ඨාරසසු භෙදකරවත්‌ථූසු එකස්‌මිං සන්‌දිස්‌සති උක්‌ඛෙපනීයකම්‌මතජ්‌ජනීයකම්‌මාරහො හොති. තං තං කම්‌මං කත්‌වා උය්‍යොජෙතබ්‌බො ‘ගච්‌ඡ විඝාසාදො හුත්‌වා ජීවිස්‌සසී’ති.” (අභිධර්මය ප්‍රතිබාහනය කරන්නා මෙම ජිනචක්‍රයෙහි පහරක් දෙයි. සර්වඥතා ඤාණය ප්‍රතිබාහනය කරයි. ශාස්තෘන් වහන්සේගේ චතුවෛශාරද්‍ය ඤාණය නවත්වයි. අසනු කැමැත්තන් විසංවාදනය කරයි (අනිත්‍යාදිය නිත්‍ය යැයි කීම් වශයෙන් වරදවයි). ආර්ය මාර්ගය ආවරණය කරයි. අටළොස් භේදකර වස්තූන් අතරින් එකෙක දිස්වෙයි. උක්ෂේපනීය කර්මය කරනු ලැබීමට (සසුනෙන් බැහැර කරන විනය කර්මය උක්ෂේපනීය කර්මයයි), තජ්ජනීය කර්මය කරනු ලැබීමට (යම් වරදක් නොකරන ලෙස තර්ජනයක ස්වරූපයෙන් කරන විනය කර්මය තජ්ජනීය කර්මයයි) සුදුසු වෙයි. ඒ ඒ උක්ෂේපනීය ආදී විනය කර්ම කොට ‘යව ඉඳුල් කන්නෙක්ව දිවි ගෙවව’ යැයි පිටත් කර හැරිය යුතු වේ.) මෙසේ අභිධර්ම ප්‍රතික්ෂේප කරන්නන් ලොව්තුරු බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම මාර්ගයට පටහැනි අධර්මකාමීන් බව පැහැදිලි වේ.

සමාප්තිය

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පන්සාලිස් වසරක් මුළුල්ලේ දේශනා කර වදාළ සමස්ථ බුද්ධ දේශනය විනය, සූත්‍ර හා අභිධර්ම වශයෙන් ත්‍රිපිටකය වේ. ඒ සමස්ථ ත්‍රිපිටක ධර්මයම විමුක්ති රසයෙන් යුතු බැවින් නිවන් අවබෝධය සඳහා උපකාරී වන බව පිළිගත යුතු වේ. ඒ අතරින් එක ද ධර්ම කොට්ඨාසයක් හෝ නිර්වාණ ප්‍රතිලාභයට උපකාරී නොවන්නේ යැයි ඉවත් කළ නොහැකි වේ. එයින් තථාගතයන් වහන්සේගේ ධර්මය ප්‍රතිබාහනය කළා වේ. තමන්ගේ නිවන අවුරා ගන්නා ලද්දේ මෙන්ම අනෙක් අයගේ ද නිවන් මග අවුරා දමන ලද්දේ වෙයි. නිර්මල බුදු සසුනෙහි පරිහානිය පිණිස කටයුතු කරන ලද්දේ වෙයි. දෙව්දත් තෙරුන් මෙන් සමඟි සංඝයාගේ බිඳවීම පිණිස හේතු වන බරපතල වරදක් කරන ලද්දේ වෙයි. ථෙරවාදයට පටහැනි මහායානිකයන්ගේ පක්ෂය ගෙන ථෙරවාදී බුදුසසුනේ විනාශය පිණිස කටයුතු කරන ලද්දේ වෙයි. කල්ප ගණනකිනුදු ගෙවා අවසන් කළ නොහැකි අතිමහත් අකුසලයක් රැස් කරගෙන අන් අයද එවන් අකුසලයක සමාදන් කරන ලද්දේ වෙයි. එබැවින් දුර්ලභව ලද බුද්ධෝත්පාදයෙහි, දුර්ලභව ලද මනුසක් බවෙහි, දුර්ලභව ලද  ක්ෂණ සම්පත්තියෙහි නිසි ප්‍රයෝජනය ගනු පිණිස නිවැරදි ධර්මය දේශනා කරන සත්පුරුෂයන් ඇසුරු කොට නිවැරදි සද්ධර්මය ශ්‍රවණය කළයුතු වේ. එසේ නිසි සත්පුරුෂයන් ඇසුරුකොටගෙන, නිසි සද්ධර්ම ශ්‍රවණය කොට, යෝනිසෝ මනසිකාරයෙන් හා ධර්මානු ධර්ම ප්‍රතිපදාවෙහි නිරත වන්නන් හට සෝතාපන්න විය හැකි බව බුදුරජාණන් වහන්සේ වදාළ සේක. එතකුදු වුවත් අභිධර්මය වැනි බුද්ධ දේශනාවක් හෑල්ලුවට ලක් කරන කෙනෙකුට, එබඳු ධර්මයක නෛර්යාණික බව පිළිබඳ සැකයක් හෝ ඇති කරන්නකු වෙතින් මෙම නිවන් මාර්ගය දුරස් වේ. එබැවින් නිවන් දකිනු කැමති සත්පුරුෂයෝ ත්‍රිපිටකයේ කිසිදු කොටසක් බැහැර නොකොට සියලු බුදුවදන හැකි පමණින් සත්පුරුෂයන් ඇසුරෙන් උගෙන හදාරා පිළිපැද ස්වකීය නිවන් මඟ සපුරාගනිත්වා!

සම්පාදක

පූජ්‍ය මහව ඤාණාලෝක හිමි