ක්‍රි. පූ. 6වන සියවස වූකලී ලොව පුරා නොයෙකුත් දාර්ශනික මතවාදයන් බිහිවෙමින් පැවති පුනරුද යුගයක් වූ අතර එකල දඹදිව්තලයෙහි පහළව ලෝක සත්වයා හට ඓහලෞකික සේම පාරලෞකික අභිමතාර්ථයක් උදෙසා දහම් දේශනා කරන ලද සම්මා සම්බුදුරජාණන් වහන්සේ පන්සාලිස් වසරක් මුළුල්ලේ වදාළ රස වශයෙන් එකම විමුක්ති රසයක් ඇති, ධර්ම විනය වශයෙන් දෙවැදෑරුම් වූ, විනය-සූත්‍ර-අභිධර්ම වශයෙන් ත්‍රිපිටකයෙක්හිලා සංගෘහිත වූ බැවින් ත්‍රිපිටකය යන නම් ලද්දා වූ, නිකාය විසින් දීඝනිකායාදී පස් වැදෑරුම් වූ, සූත්‍ර, ගෙය්‍ය ආදී නවාංග ශාස්තෲ ශාසනයක් වූ, ධර්මස්කන්ධ විසින් අසූහාරදහසක් වූ [1] ඒ ත්‍රිපිටක ධර්මය පර්යාප්ති ශාසනය ලෙස හැදින්වේ [2]. මෙම පර්යාප්ති ධර්මය වනාහී පෙළ අර්ථකථා වශයෙන් දෙවෑදෑරුම් වන අතර එහිලා භාග්‍යවතුන් වහන්සේ ඒ ඒ අවස්ථානුරූපීව දේශනා කර වදාළ මූලික දේශනය පෙළ ධර්මය ලෙසද එහි අර්ථ විග්‍රහ කරමින් කරන ලද විස්තරාත්මක දේශනය අර්ථකථාව ලෙසද සංක්ෂිප්තව හැඳින්විය හැකි වේ. මෙම සමස්ථ ත්‍රිපිටක ධර්මය ප්‍රථම ධර්ම සංගායනාවේ දී සංගීතිකාරක මහරහතන් වහන්සේලා විසින් සංගෘහිත කරන ලද ආකාරයට ශුද්ධ මාගධී භාෂාවෙන්ම පෙළ දේශනය වෙනමම ද එහිලා අර්ථ විග්‍රහ කරන ලද අර්ථකථාව වෙනමම ද සංගෘහිතව පැමිණෙන ලදී. අනුබුදු මිහිදු මහරහතන් වහන්සේ විසින් ඒ අයුරින්ම දඹදිවින් ලක්දිවට රැගෙන එන ලද මෙම සමස්ථ ත්‍රිපිටක ධර්මය ශුද්ධ මාගධී භාෂාවෙන් පැවති අතර පසුකාලීනව සිංහල මහරහතන් වහන්සේලා විසින් එහි අර්ථ විග්‍රහය සිංහල බසින් ද, පෙළ දහම එහි මුල් ස්වරූපය වූ මගධී බසින්මද පවත්වාගෙන ආහ. ක්‍රි.ව. 5 වන සියවසේදී භදන්තාචරිය බුද්ධඝෝෂ මාහිමියන් ප්‍රමුඛ කරගත් අටුවාචාරීන් වහන්සේලා විසින් මහාවිහාරීය මහතෙරුන් වහන්සේලාගේ අනුදැනුම පිට සිංහල බසින් පැවති අර්ථකථාව සමස්ථ ලෝකවාසීන්ගේ අර්ථ සිද්ධිය පිණිසත්, එහි දීර්ඝකාලීන අසංකරභාවය පිණිසත් යළි ශුද්ධමාගධී භාෂාවට පෙරළන ලද අතර කාලයත් සමග සිංහල අටුවා මෙහිම අභාවප්‍රාප්ත වූහ. ක්‍රි.ව. 12වන සියවසේදී පොළොන්නරු රාජ්‍ය හෙබවූ මහලු පැරකුම්බා රජු විසින් ඇති කරන ලද නිකාය සාමග්‍රියෙන් පසුව ත්‍රිපිටකයේ අර්ථකථාවන්හි පවා විවරණය නොකෙරෙන ඇතැම් ග්‍රන්ථිස්ථාන විවරණය කරමින් ඒ ථෙරවාදී අර්ථකථනය මතු පරපුර උදෙසා තවදුරටත් සුරක්ෂිත කරලනු වස් ටීකා ග්‍රන්ථ සම්පාදනය වූහ. ඒ අනුව පෙළ-අර්ථකථා-ටීකා ඔස්සේ සුගම වන ත්‍රිපිටක ධර්මයෙහි නිරවද්‍ය අර්ථකථන ක්‍රමවේදය සියවස් ගණනක් තිස්සේ ථෙරවාදී බෞද්ධයන්ගේ අත්‍යාදරයට පත්ව, ඔවුන්ගේ නිස්සරණය පිණිස අනල්ප දායකත්වයක් සැපයූ අතර අද්‍යතන බෞද්ධ සමාජය තුළ එකී නිරවද්‍ය අර්ථකථන ක්‍රමවේදය ක්‍රමක්‍රමයෙන් වියැකී යන ස්වභාවයක් විද්‍යාමාන වීම සංවේගජනකය. පෙළ-අර්ථකථ-ටීකා ඔස්සේ සුගම වන ත්‍රිපිටකයෙහි නිරවද්‍ය අර්ථකථන ක්‍රමවේදය පිළිබද නිරාකූල විවරණයක් ඉදිරිපත් කිරීමත්, තත් ක්‍රමවේදය පිළිබද අදහස් දක්වන විද්වතුන්ගේ ඇතැම් මතාන්තර ඛණ්ඩනය කර බුද්ධ වචනයට අරුත් බිණීමේදී ථෙරවාදී අර්ථකථාවෙහි ඇති වැදගත්කම පිළිබඳව විමසා බැලීමත් මෙම ලිපියෙහි අභිප්‍රාය වේ.

ථෙරවාදී අර්ථකථන ක්‍රමවේදය

බුදුරජාණන් වහන්සේගේ ධර්මදේශනය සංක්ෂිප්ත හා විස්තාරික වශයෙන් ද්විප්‍රකාර බව අංගුත්තර දුක නිපාතයේ සඳහන් වේ [3]. ඒ අනුව ඒ ඒ අවස්ථාවෙහි ධර්මදේශනයට නිමිති වන නිදාන පුද්ගලාදිය අනුව ඒ ඒ ශ්‍රාවකයන්ගේ අවබෝධ කරගැනීමේ ශක්තිය මත මෙසේ විටෙක සංක්ෂිප්තවද, විටෙක විස්තාරිතවද ධර්මය දේශනා කළහ. ඇතැම් විටෙක බුදුහිමියන් විසින් සංක්ෂිප්තව මාතෘකා පමණක් දේශනා කරන ලද ධර්ම කොට්ඨාශයන් මහාකච්චායන, සාරිපුත්ත ආදී මහරහතන් වහන්සේලා විසින් අර්ථ වශයෙන් විස්තරාත්මකව දේශනා කරන ලදී. ධර්මශ්‍රවණය කරන අයගේ ආසය-අනුසය සහ ඉන්ද්‍රියධර්මයන් වැඩී ඇති අන්දම දැනගෙනම ධර්ම දේශනා කරන බැවින් මෙකී ඇතැම් විස්තරාත්මක දේශනයක් අතිශය දීර්ඝ වේ. අත්ථසාලිනියෙහි දැක්වෙන අන්දමට බුදුරජාණන් වහන්සේලාගේ දාන අනුමෝදනා ධර්මදේශනයද මඳක් වැඩි කොට දේශනා කරන කල්හි දීඝනිකාය, මජ්ක්‍ධිමනිකාය තරම් දීර්ඝ දේශනයක් වේ. පසුබතෙහි ධර්මශ්‍රවණයට පැමිණි පිරිස උදෙසා කරනු ලබන දේශනය සංයුත්තනිකාය, අංගුත්තරනිකාය යන මහා නිකාය දෙකම තරම් ප්‍රමාණයක් වේ [4]. එසේම සිකපද පැනවීමේ දී ද ශික්ෂාකාමී වූ සංවරයෙහි පිහිටි ඇතැම් භික්ෂූන් සෝතාපත්ති-සකදාගාමී-අනාගාමී-අරිහත් ඵලයන්හි පිහිටුවමින් ද දීඝනිකාය ප්‍රමාණවූද, මජ්ක්‍ධිමනිකාය ප්‍රමාණවූද ධර්මදේශනයක් කරන බව සමන්තපාසාදිකා විනය අර්ථකථාවේ සඳහන්වේ [5]. මෙසේ විස්තරාත්මක දේශනය වුවද තවදුරටත් අනන්ත අපරිමාණ නය ලෙස දැක්විය හැකි බැවින්ම මජ්ධිමනිකායට්ඨකථාවෙහි ‘බුද්ධානං කිර සබ්බාපි ධම්මදෙසනා සංඛිත්තාව, විත්ථාරදෙසනා නාම නත්ථි, සමන්තපට්ඨානකථාපි සංඛිත්තායෙව’ [6යැයි කියන ලදී. මෙසේ ශ්‍රාවකයන් හට ආර්යසත්‍යාවබෝධය දක්වා බුදුහිමියන් විසින් දේශිත සමස්ථ ධර්මදේශනය තථාගත වචනයයි. එතකුදු වුවත් ඒ සමස්ථ බුද්ධ වචනය ත්‍රිපිටක පාළියෙහි ඇතුළත් නොවන බව පැහැදිලි වේ.

මෙසේ සංක්ෂිප්ත හා ද්විප්‍රකාර බුද්ධ දේශනය අතරින් සංක්ෂිප්ත දේශනය වන මූලික න්‍යායාත්මක ධර්ම කොට්ඨාසයන්ගෙන් සමන්වාගත සූත්‍රදේශනය පෙළ වශයෙන් සංගෘහිතව පැවති අතර එහිලා බුදුන්වහන්සේගේම විස්තරාත්මක අර්ථ විවරණය හෙවත් ප්‍රකීර්ණක ධර්මදේශනය අර්ථකථාව ලෙස පෙළෙන් වෙන්ව සංගෘහිත විය. එබැවින් සාරිපුත්ත සංඝරාජ තෙරණුවෝ සාරත්ථදීපනී විනය ටීකාවෙහි “තත්ථ තත්ථ භගවතා පවත්තිතා පකිණ්ණකදේසනායෙව හි අට්ඨකථා [7] භාග්‍යවතුන්වහන්සේ විසින් ඒ ඒ තැනදී දේශනා කරන ලද විස්ථාර දේශනය ම අර්ථකථාව නම් වේ” යැයි කීහ. ප්‍රථම ධර්මසංග්‍රාහක ක්ෂීණාශ්‍රවයන් වහන්සේලා මෙම අර්ථකථාව පෙළෙන් වෙන් කොට සමස්ථ ත්‍රිපිටකයටම සාධාරණ අර්ථ විග්‍රහයක් ලෙස පුනරුක්ති දෝෂයන් ඉවත් කරමින් සංග්‍රහ කළ බැවින් එය පෙළෙන් මිදුණු ඔක්කන්තික ධර්මදේශනය ලෙසද හැදින්වේ [8]. භාග්‍යවතුන් වහන්සේ ධරමාන කාලයේදීම ඇතැම් සංක්ෂිප්තව දේශනා කරන ලද බුද්ධවචනයට මහාකච්චායන, සාරිපුත්‍ර ආදී මහරහතන්වහන්සේලා විසින් සපයන ලද විස්තරාත්මක දේශනා එක්තරා විදිහකට බුද්ධවචනය අර්ථවිග්‍රහ කිරීමක් වන අතර ඒ සියල්ලම ධර්ම-විනයානුකූලවම සිදුවූ අතර ඒවා බුදුන් වහන්සේ විසින් ත්‍රිපිටක ධර්මයෙහිමලා සැලකූ බව ‘ධම්මො නාම බුද්ධභාසිතො, සාවකභාසිතො, ඉසිභාසිතො, දෙවතාභාසිතො, අත්ථූපසංහිතො, ධම්මූපසංහිතො’ [9යන බුදුවදනින්ම පැහැදිලි වේ. එහෙත් එකී අර්ථවිග්‍රහයන් අර්ථකථාවන් ලෙස ඇතැම් විද්වතුන් වරදවා හදුනාගෙන ඇති අතර එය ශ්‍රාවකභාෂිතයක් ලෙස යථෝක්ත බුද්ධවචනයම සාක්ෂි දරයි. බුද්ධවචනයෙහි අර්ථ විග්‍රහය හෙවත් අර්ථකථා නිශ්‍රිත වූව මෙහිලා අත්ථූපසංහිත [10] යැයි හැදින්වෙන අතර එයද තෙවළා දහමෙහිම සංගෘහිත බව මෙයින් ස්ඵුට වේ.

අර්ථකථාවන්හි බුදුන්වහන්සේගේ ප්‍රකීර්ණක ධර්මදේශනයම සංගෘහිතව ඇති අතර කාලයත් සමග අනාගතයෙහි ධර්ම විනය සම්බන්ධ වියතුන් මද වුවහොත්, මහාවිහාරීය පරපුර විසින් රැකගත් පිරිසිදු ථේරවාදී ධර්ම විනය සමයාන්තර අභයගිරික මහායානාදි විපරීත මතයන්ගෙන් දූෂිත වීම වළකාලනු වස් බුද්ධ වචනයෙහි අරුත් පහදාගැනීමේදී පශ්චිම ජනතාවගේ නොමුළා බව පිණිස ධර්ම-විනයධර මහතෙරුන් වහන්සේලා අට්ඨකථාගත ගැඹුරු අරුත් ලිහිල් කෙරෙන ගැටපදාදී ප්‍රකරණ කළහ. ඒ අනුව සමන්තපාසාදිකා නම් විනයට්ඨකථාවට අදාළව ගැටපද කිහිපයක් බිහිව පැවති බව වජිරබුද්ධි ආදී විනය ටීකාවන්හිත් අන්තැන්හිත් සඳහන් පාඨයන්ගෙන් ගම්‍යවේ [11]. එනමුදු අද එහි ශේෂව ඇත්තේ නාමමාත්‍ර පමණකි. ගැටපදයන්හි පැවති විනිශ්චය වත්මන හා සසඳන කළ අති සංක්ෂිප්ත හා ගාම්භීරත්වයෙන් යුතු වූ බව වජිරබුද්ධියෙහිම එන ඇතැම් පාඨ වලින් පැහැදිලි වෙයි. මෙම සංක්ෂිප්ත බව නිසාවෙන්ම පොළොන්නරු යුගයේදී පූර්වෝක්තාකාරයෙන් ත්‍රිපිටක අර්ථවර්ණනය තවදුරටත් විස්තර විවරණයක් බවට පත් කරමින් ටීකා ග්‍රන්ථ සම්පාදනය විය [12]. ඒ අතර සුපිරිසිදු මහාවිහාරීය විනිශ්චයන් සමෝධානය කරන ලද මහාවිහාරීය ටීකා ග්‍රන්ථ මෙන්ම අභයගිරික ආදී භින්නලබ්ධික මතවාදයන් මුසු වූ ටීකා ග්‍රන්ථයන්ද විය. විශේෂයෙන්ම විනය පිටකයට ලියැවුණු සාරත්ථදීපනී ටීකාවෙහි ඇතැම් විනිශ්චයන් මෙසේ භින්නලබ්ධික මතවාදයන් ලෙස විමතිවිනෝදනී ටීකාව විසින් විවේචනය කොට බැහැර කර ඇත.

මෙම කරුණු වලින් ගම්‍ය වන්නේ නම් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනලද ධර්මයෙහි අර්ථ පර්යේෂණය මහත් ඕනෑකමකින් ක්‍රමානුකූලව සිදුවියයුතු බවයි. එසේ බුද්ධවචනයට නිරවද්‍ය අර්ථ විවරණ සැපයූවන් අතර මහාකච්චායන මහරහතන්වහන්සේ අග්‍රස්ථානයට පත් වීමෙන්ද මෙම කර්තව්‍යයෙහි ඇති සුවිශේෂී බව සුප්‍රකට වේ [13]. මේ අනුව ත්‍රිපිටක බුද්ධ වචනයෙහි නිරවද්‍ය අර්ථ විග්‍රහ කරගැනීමේදී බුදුරජාණන් වහන්සේගේ ආධ්‍යාශය දන්නාබව සහ ත්‍රිපිටක ධර්මයෙහි ඒ ඒ තැන සුවිශේෂී අර්ථ විග්‍රහයන් සිදුකළයුතු නය ක්‍රම පිළිබදව ඇති වැටහීම ප්‍රයෝජනවත් වේ. එබැවින් මනා ව්‍යාකරණ ප්‍රාගුණ්‍යය සුවිශේෂී කුශලතාවයක් වන අතර බුද්ධ මතය දන්නා පුරාණ ඇදුරුවරයන් වහන්සේලා විසින් සංගෘහිත කරන ලද අර්ථකථා පරිශීලනය මෙන්ම ධර්ම-විනයෙහි කුශාග්‍ර බුද්ධයෙන් යුත්, නය ක්‍රම පිළිබද මනා පරිචයකින් යුත් ටීකා ඇදුරන් විසින් රචිත මහාවිහාරීය ටීකා [14] පරිශීලනය යන ක්‍රම වේදය මගින් ත්‍රිපිටක පාළිය නිවරදව විග්‍රහ කරගත හකිවේ. මෙහිදී විතණ්ඩවාදීන් [15] විසින් ඉදිරිපත් කළහැකි පැනයක් වන්නේ ‘අති දීර්ඝකාලයක් පෙරුම්දම් පුරා සම්බුද්ධත්වයට පත් බුදුරජාණන් වහන්සේගේ දේශනය ඇතමෙකුට අවබෝධ කරගත නොහැකි අන්දමේ එකක් වේද? එහි අර්ථ විග්‍රහය විශේෂ පරිශ්‍රමයකින් කළයුතු වූවක්දැ?’යන්නයි. එහිදී සඳහන් කළයුතු වන්නේ ධර්මශ්‍රවණය කළ ඒ ඒ පුද්ගලයාගේ ආසය-අනුසය ආදිය දැනගෙනම ධර්මදේශනා කරනුලබන භාග්‍යවතුන් වහන්සේගේ දේශනයේ කිසිදු ධර්ම කොට්ඨාසයක් පිළිබඳව ඒ ධර්මශ්‍රවණය කරන පිරිසේ කිසිවකුටත් මතු විවරණ අවශ්‍ය නොවන බවයි. එහෙත් ඒ සමස්ථ ධර්මයෙහි සංක්ෂිප්ත දේශනාවම පෙළ වශයෙන් විද්‍යාමාන වන මෙවන් කලෙක විස්තරාත්මක දේශනා සංඛ්‍යාත අර්ථවිවරණයකින් තොරව ධර්මාවබෝධ කරනු සමර්ථයෝ කවරහුද? එබැවින් අර්ථකථා-ටීකා ඇසුරෙන් කෙරෙන අර්ථකථනය හුදු නිස්සරණාධ්‍යාශයෙන් ධර්මය පරිශීලනය කරන කුලපුත්‍රයන්ට පමණක් නොව ධර්ම-විනය පිළිබද ශාස්ත්‍රීය අධ්‍යයනයන්හි නියැලි විද්වතුන්ටද අතිශය මහෝපකාරී වේමය.

චතුර්විධ විනය විනිශ්චය

“චතුබ්බිධඤ්හි විනයං, මහාථෙරා මහිද්ධිකා; නීහරිත්වා පකාසෙසුං, ධම්මසඩ්ගාහකා පුරා” [16යන පැරණි ඇදුරු වදනින් දැක්වෙන පරිදි ධර්මසංග්‍රාහක මහතෙරුන් වහන්සෙලා විසින් විනයෙහි දක්ෂබව පතන්නකු දතයුතු චතුර්විධ විනිශ්චයක් ගෙනහැර දක්වා තිබේ. එනම් සුත්ත, සුත්තානුලෝම, ආචරියවාද, අත්තනොමති යනුවෙනි. ත්‍රිපිටක පාළිය සුත්ත ලෙස හැදින්වෙන අතර [17] සුත්තානුලෝම යනු සතරමහාපදේස වේ. ආචරියවාද යන්නෙන් අර්ථකථාවද, අත්තනොමති යන්නෙන් අනුමානවශයෙන් නයග්‍රහණයෙන් ඉදිරිපත් කරනලද සියලු ස්ථවිර වාදයන්ද අදහස් වේ.

මෙම සිව්වැදෑරුම් විනිශ්චය නය අතරින් සූත්‍රය හෙවත් ත්‍රිපිටක පාළියම බලවතරවේ. පිළිවෙලින් සුත්තානුලෝම, ආචරියවාද, අත්තනොමති පිළිබද බලවත් බව වන අතර අත්තනොමතිය ආචරියවාදයටද, ආචරියවාදය සුත්තානුලෝමයටද, සුත්තානුලෝමය සූත්‍රයටද බැසගන්නේ නම්, සමවන්නේ නම් පමණක් ගතයුතු බව සදහන්වේ. මේ අනුව පැහැදිලි වන්නේ බුද්ධ වචනයට අර්ථ සැපයීම උදෙසා අතීතයේ පටන් පැවත ආ සුවිශේෂී ක්‍රමවේදයක් වූ බවයි. එතකුදු වුවත් එකිනෙකට වෙන වෙනම පිළිවෙලින් වැදගත්කමක් දීමෙන් අර්ථකථා ආදියෙහි බුද්ධවචනයට විරුද්ධ යමක් තිබේදැයි ඇතමකුට සැකයක් පහළ විය හැකි අතර අසර්වඥ පුද්ගලයන්ගේ මතයන් බැවින් අත්තනොමතිය දොස් සහිත වියහැකි බවත් අර්ථකථාවන්හි ප්‍රමාද පාඨ වශයෙන් සූත්‍රානුලෝමය හා විරුද්ධ වන දෙයක් තිබියහැකි බවත් විමතිවිනෝදනියෙහි දැක්වේ [18]. ඒබව සිංහල අර්ථකථාවන් මාගධී භාෂාවට පෙරලීමේදී බුදුගොස් ඇදුරුපාණෝ සිය හැකි පමණින් ප්‍රමාද ලේඛන දෝෂ අපහරණය කළබව “තස්මා හි යං අට්ඨකථාසු වුත්තං – තං වජ්ජයිත්වාන පමාදලෙඛං” [19යැයි සදහන් කිරීමෙන් ද ස්ඵුට වේ. එහෙත් වර්තමානයේ තරම් දියුණු තාක්ෂණික ක්‍රමවේදයන් නොතිබුණු ක්‍රි.ව. 5වන සියවසේදී පමණ පුස්කොල පොත් ඇසුරෙන් ලියැවුණු ඒ පාළි අර්ථකථාවන්හි පසුකාලීනව ඇතිවූ ලිපිකරණ දෝෂයක් තිබියහැකි අතර එකම කරුණ අරබයා අර්ථකථා දෙකක සුළු දොස් පිළිබද පරික්ෂාකාරී වූ ඇතැම් විද්වතෙක් එබදු දොසක් දැක අර්ථකථාවන් දොස් සහිත යැයි පළකරන මතවාදයක ප්‍රඥා ගෝචර බවක් නැත්තේය. එබැවින් අර්ථකථාගත සූක්ෂම ධර්ම විවරණයකට එබදු ලිපි දෝෂයක බලපෑමක් ඇති නොවන අතර ථෙරවාදී අර්ථකථන ක්‍රමවේදයෙහිලා අටුවාවෙහි නිරවද්‍ය බව පිළිබද ආස්ථානයට ඉන් කිසිදු හානියක් නොවේමය.

බුදුරජාණන් වහන්සේගේ ප්‍රකීර්ණක ධර්ම දේශනා සංඛ්‍යාත අර්ථකථාව

බුදුන්වහන්සේ විසින් ඒ ඒ තැනදී පවත්වන ලද ප්‍රකීර්ණක ධර්ම දේශනය අර්ථකථාව යැයි සාරත්ථදීපනී විනයටීකාවෙහි සදහන් පරිදි යට දක්වන ලදී. මෙසේ ඒ ඒ අවස්ථානුකූලව කරනු ලබන විස්තරාත්මක ප්‍රකීර්ණක ධර්ම දේශනය පෙළ වශයෙන් සංග්‍රහ කරනු ලබන්නේ නම්, එය ඉතා දීර්ඝ දේශනයක් විය යුතුය. එබැවින් එය පෙළෙහි නොඑන බව සමන්තපාසාදිකා විනය අර්ථකථාවේ මෙන්ම පපංචසුදනී මජ්ක්‍ධිමනිකායට්ඨකථාව ආදියෙහි ද සඳහන් වේ. පැරණි ඇදුරෝ සඳහන් කළ පරිදි“යා යත්ථං අභිවණ්ණෙන්ති බ්‍යඤ්ජනත්ථං පදානුගං නිදානවත්ථුසම්බන්ධං එසා අට්ඨකථා මතා” [20] බැවින් බ්‍යඤ්ජනාර්ථය, පදගතාර්ථය, නිදානය, වස්තුව, පූර්වාපර සම්බන්ධය යන පසෙන් යමෙක් යමක අර්ථවර්ණනය කෙරෙත්ද, එය අර්ථකථා යැයි දන්නේය. මෙය නිරුක්ති නයානුසාරයෙන් “අත්ථො කථීයති එතායාති අත්ථකථා. ත්ථකාරස්ස ට්ඨකාරං කත්වා අට්ඨකථා” [21යනුවෙන් ‘එය කරණකොටගෙන අර්ථය කියන්නේනුයි අත්ථකථා (අර්ථකථා) නම් වේ, ත්ථ කාරයට ට්ඨ කාරය කොට එයම අට්ඨකථා වේ’ යැයි ද පවසන ලදී. මේ අනුව පැහැදිලි වන්නේ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද අති ගාම්භීර ධර්ම කොට්ඨාශයන්හි අර්ථ විග්‍රහ කිරීම අර්ථකථාව මගින් සිදුවන බවයි. මෙය වනාහී ත්‍රිපිටක ධර්මයෙහිම කොටසක් බවට පත් වන්නේ එකී අර්ථවිවරණයෙන් තොරව ඒ පරම ගාම්භීර ධර්මය තත්වූ පරිද්දෙන් වටහා ගත නොහැකි බැවිනි.

මෙසේ පෙළෙහි සංග්‍රහ නොවූ විස්තරාත්මක දේශනයක අස්තිත්වයට උදාහරණ ලෙස මජ්ක්‍ධිමනිකායට්ඨකථාවෙහි මෙන්ම දීඝනිකායට්ඨකථාවෙහි සංගීති සූත්‍ර වර්ණනාවෙහිද, සංයුත්ත නිකායට්ඨකථාවෙහි අවස්සුතපරියාය සූත්‍ර වර්ණනාවෙහි ද යනාදී තැන්වල ගෙනහැර දක්වනු ලබන්නේ භාග්‍යවතුන්වහන්සේගේ සන්ථාගාර අනුමෝදනා ප්‍රතිසංයුක්ත ප්‍රකීර්ණක කථාව වේ. මජ්ක්‍ධිමනිකායෙහි එන සේඛසූත්‍රයේ දැක්වෙන පරිදි කිඹුල්වත් පුර ශාක්‍යයන්ගේ සන්ථාගාර ශාලාව පරිභෝග කිරීමට භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට ආරාධනය කරන ලද අතර එම ආරාධනය පිළිගෙන සවස් භාගයේ සන්ථාගාර ශාලාව වෙත බික් සඟන පිරිවරා වැඩම කළ භාග්‍යවතුන් වහන්සේ රාත්‍රී මධ්‍යම යාමය අඩක් ඉක්මෙන තෙක් (අතිරෙකතරං දියඩඪයාමං) බොහෝ වේලාවක් “ආවාස දානයෙහි මෙයද ආනිසංසයකි, මෙයද ආනිසංසයකි” යනාදී ලෙස ආවාසානිසංස ධර්මදේශනයක් කළ සේක. ඉක්බිති ශාක්‍යයන් උදෙසා සේඛ ප්‍රතිපදාව දේශනා කිරීමට අනඳ මාහිමියන් හට ඇරයුම් කළ බව මෙම සූත්‍රයෙහි සඳහන් වෙතත් ඒ රාත්‍රී යාම එකහමාරක් පමණ දීර්ඝ කාලයක් (පැය 6ක් පමණ) දේශනා කරන ලද ආවාසානිසංස ධර්මදේශනයක් පෙළෙහි සඳහන් නොවේ. එකී ප්‍රකීර්ණක ධර්මදේශනය පෙළෙහි සංගෘහිත නොවන බැව් අර්ථකථාව සඳහන් කරයි.

මේ අනුව භාග්‍යවතුන්වහන්සේ විසින් ඒ ඒ අවස්ථානුරූපීව දේශනා කරනු ලබන විස්තරාත්මක ධර්මදේශනයක් තිබුණු බවත් එය ත්‍රිපිටක පාළියෙහි සංග්‍රහ නොවූ බවත් පිළිගතයුතු වේ. ඒ පිළිබඳ යථෝක්ත මජ්ක්‍ධිමනිකායෙහි සෙඛ සූත්‍රයෙහි එන ආවාසදානානිසංස දේශනය පමණක් නොව තවත් බොහෝ උදාහරණ ගෙනහැර දැක්විය හැකි වේ. ධම්මපද පාළියෙහි එන ‘මනොපුබබඬ්ගමා ධමමා’ ආදී වූ ගාථා 443 පමණක් ඛුද්දක නිකායෙහි එන ධම්මපද පෙළෙහි සඳහන් වන අතර තවත් ඇතැම් තැන් වල තදනුබද්ධ ඇතැම් සිදුවීම් පමණක් සඳහන් වේ. එතකුදු වුවත් එකී ගාථා දේශනා කිරීම හා සම්බන්ධ ඇතැම් අතීතකථා ප්‍රවෘත්තීන් කිසිදු පෙළ දේශනයක සඳහන් නොවීමෙන් ප්‍රකට වන්නේ භාග්‍යවතුන්වහන්සේ විසින් එකී සිදුවීම් ධර්මදේශනයේ දී ගෙනහැර දක්වන ලද නමුත් ඒවා පෙළෙහි සංගෘහිත නොවන බවයි. එපමණක්ද නොව ජාතක පාළියෙහි එන ඒකක-දුක ආදී නිපාත වශයෙන් සංගෘහිත ගාථා පමණක් ත්‍රිපිටක පාළියෙහි සංග්‍රහ වී ඇත්තේය. ඊට අදාළ අතීත කථා ප්‍රවෘත්තිය කිසිදු ලෙසකින් ඒ ගාථා තුළින් පමණක් ප්‍රකට නොවේ. එබැවින් භාග්‍යවතුන්වහන්සේ විසින් පූර්වාපරසන්ධි ගලපමින් එම අතීත කථා ප්‍රවෘත්තීන් දේශනා කරන ලද බව පිළිගතයුතු වේ. එතකුදු වුවත් ඒ කිසිවක් ත්‍රිපිටක පෙළ දේශනයෙහි සංග්‍රහ නොවීමෙන් ද ප්‍රකට වන්නේ භාග්‍යවතුන්වහන්සේ විසින් ඒ ඒ තැනදී කරන ලද සමස්ථ දේශනය පෙළෙහි සංග්‍රහ නොවන බවයි.

මෙසේ පෙළෙහි සඳහන් නොවන දේශනය ඒ ඒ අවස්ථාවේ දී මාර්ගඵලාවබෝධයට හේතු සම්පත් ඇති පුද්ගලයන්ගේ ආසය-අනුසය දැනගෙන, ඒ අයගේ වැඩුණු ඉන්ද්‍රිය ධර්මයන් අනුව ඒ ඒ අය මාර්ගඵලාවබෝධය කරන අයුරින් පවත්වන ලද බැවින් අති විස්තාරික දේශනයක් බව ඉහතින් දැක්වීමු. එහිදී එකම ධර්මකොට්ඨාසය විවිධාකාරයෙන් උදාහරණාදිය ඇසුරුකරගෙන විස්තර කරන ලද බැවින් එය පෙළෙහි සංග්‍රහ කළ නොහැකි තරම් දීර්ඝ වේ. එහෙයින් එකී විස්තරාත්මක ධර්මදේශනය ප්‍රකීර්ණක ධර්මදේශනය ලෙස වෙනමම හඳුනාගෙන, ඒ ඒ අවස්ථාවේ දේශනා කරන්නට යෙදුණු මූලික න්‍යායාත්මක ධර්මකොට්ඨාසයන් පමණක් ත්‍රිපිටක පාළිය ලෙස සංග්‍රහ කරන ලද බැව් සැලකියයුතු වේ. එසේ පෙළෙහි නොම පැමිණි විස්තරාත්මක දේශනය සංගීතිකාරක මහරහතන්වහන්සේලා විසින් අර්ථකථාව ලෙස වෙනමම සංග්‍රහ කරන ලද බව යථෝක්ත ‘අටුවාව යනු ප්‍රකීර්ණක ධර්මදේශනය වේ’ යන ථෙරවාදී පිළිගැනීමෙන් සාධනය වේ. මෙහිදී සංගීතිකාරකයන් වහන්සේලා විසින් ශ්‍රී මුඛ දේශනයට හානියක් නොවන අන්දමට එය වඩාත් පහසුවෙන් අවබෝධ කරගතහැකි වන පරිද්දෙන් යම් යම් සකස්කිරීම් සිදුකර ඇති අතර ඒවාද සැලකිල්ලට ගෙන විමතිවිනෝදනී ටීකාව “එවරූපා හි පකිණ්ණකදෙසනා අට්ඨකථාය මූලං [22මෙබඳු ප්‍රකීර්ණක ධර්මදේශනය අර්ථකථාවෙහි මූලය වේ” යැයි වඩාත් යථාර්ථවාදීව සදහන් කරයි.

මෙහිදී විශෙෂයෙන් සැලකිය යුත්තක් වන්නේ විමතිවිනෝදනී ටීකාචාර්යයන් වහන්සේ විසින් අටුවාව යන්න භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රකීර්ණක දේශනය මුල්කරගෙන සකස් වූවක් යැයි පැවසීමෙන් එකී ප්‍රකීර්ණක දේශනය ප්‍රතික්ෂේප කිරීමක් සිදු නොවීමය. එහිදී සංගීතිකාරක මහරහතන් වහන්සේලා විසින් සිදු කරන ලද ඇතැම් ප්‍රදේශ විස්තර, ආශ්චර්යමත් කරුණු, උපමා කථා ආදී සුළු එකතුකිරීම් සැලකිල්ලට ගෙන ඇති බව සුඵුට වේ. එහෙත් එතෙකින්ම අටුවාව යන්නෙහි කර්තෘත්වය හුදෙක්ම ප්‍රථම සංගීතිකාරකයන් වහන්සේලාට භාරදීමක් සිදු නොවේ. එසේ වුවහොත් ත්‍රිපිටක පෙළෙහි කර්තෘත්වය සම්බන්ධයෙන්ද ගැටළුවක් ඇති වේ. මන්ද ත්‍රිපිටක පාළියෙහිද ප්‍රථම සංගීතිකාරක මහරහතන් වහන්සේලා විසින්‘තෙන සමයෙන, අථ ඛො, එවං වුත්තො, එතදවොච’ යනාදී එකතුකිරීම් කරමින් ත්‍රිපිටකය සංග්‍රහ කළහ. එපමණකින් ඒ ත්‍රිපිටක පාළියෙහි කර්තෘත්වය ප්‍රථම සංගීතිකාරක මහරහතන් වහන්සේලාට නොපැවරේ. එසේම අර්ථකථා සංග්‍රහ කිරීමේ දී යම් එක්කිරීමක් හෝ සකස් කිරීමක් කරන ලද්දේ නම් ඒ සියල්ල විවරණය කෙරෙන ධර්ම කොට්ඨාශයන්හි අර්ථය වඩාත් ප්‍රකට වනු පිණිසම ශ්‍රී මුඛ පාළියෙහි අර්ථය වැඩි වන අයුරින් මිස එයට හානි වන පරිදි නොවේය. එබැවින් විමතිවිනෝදනී ටීකා කර්තෘපාදයෝ ‘අටුවාව වනාහී ප්‍රකීර්ණක දේශනය මුල් කරගත්තක්’ යැයි පැවසූහ.

ථෙරවාදී අර්ථකථාවෙහි අප්‍රතිශේධනීය ලක්ෂණය

ධර්ම-විනය පිළිබද අර්ථ විවරණය කිරීමෙහිලා ථෙරවාදී අර්ථකථාවෙහි ඇති සප්‍රයෝජනත්වය බැහැර කරමින් එය නිරර්ථක යැයි පැවසීමට යත්න දරන උප සංස්කෘතියක් වර්තමාන ගිහි පැවිදි විද්වතුන් තුළ නිර්මාණය වෙමින් පවතින බැවින් ථෙරවාදී ත්‍රිපිටකයෙහි අර්ථ විවරණය කිරීමෙහිලා අර්ථකථාවෙහි අප්‍රතිශේධනීයත්වය ස්ඵුට වන අවස්ථා කිහිපයක් පිළිබද අවධානය යොමු කිරීම වැදගත් වේ. විශේෂයෙන්ම අර්ථකථාවෙන් බැහැරව ගනුලබන අර්ථය හුදු මිථ්‍යාවක් වන අවස්ථා ත්‍රිපිටකය තුළ කොතෙකුත් ඇත්තේය. ඒ සියල්ල පිළිබඳව සඳහන් කිරීමට මෙය අවස්ථාවක් නොවූවද සාධුන්ගේ අවධානය උදෙසා කිහිපයක් මෙසේ දැක්විය හැකි වේ.

  1. අංගුත්තර අට්ඨක නිපාතයෙහි ගෝතමී සූත්‍රයෙහි සහ විනයපිටකයේ චුල්ලවග්ගපාළි භික්ඛුණී ඛන්ධකයේ මහා ප්‍රජාපතී ගෝතමියගේ යාචනය අනුව මාගමට පැවිද්ද අනුදැනවදාළ අවස්ථාවේ බුදුන්වහන්සේ ආනන්ද මාහිමියන් අමතා දේශනා කරන්නේ “සචෙ, ආනන්ද, නාලභිස්ස මාතුගාමො තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජ්ජං, චිරට්ඨිතිකං, ආනන්ද, බ්‍රහ්මචරියං අභවිස්ස, වස්සසහස්සමෙව සද්ධම්මො තිට්ඨෙය්‍ය. යතො ච ඛො, ආනන්ද, මාතුගාමො තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජිතො, න දානි, ආනන්ද, බ්‍රහ්මචරියං චිරට්ඨිතිකං භවිස්සති. පඤ්චෙවදානි, ආනන්ද, වස්සසතානි සද්ධම්මො ඨස්සති. … සෙය්‍යථාපි, ආනන්ද, පුරිසො මහතො තළාකස්ස පටිගච්චෙව ආළිං බන්ධෙය්‍ය යාවදෙව උදකස්ස අනතික්කමනාය; එවමෙවං ඛො, ආනන්ද, මයා පටිගච්චෙව භික්ඛුනීනං අට්ඨ ගරුධම්මා පඤ්ඤත්තා යාවජීවං අනතික්කමනීයා” [23] යනුවෙන් මාගමට පැවිද්ද නොම අනුදැන වදාළේ නම් සද්ධර්මය වසර දහසක් කල් පවතින බවත් මාගමට පැවිද්ද අනුදැනීම හේතුවෙන් එය හරි අඩක් අඩුවන බවත්, අෂ්ට ගරුධර්ම පැනවීම හේතුවෙන් එය යළිත් වසර දහස දක්වා වන බවත්ය. මේ අනුව පෙළ දේශනයෙන් ගම්‍ය වන්නේ සද්ධර්මයේ ආයුෂ වසර දහසක් පමණක් බවයි. එහෙත් තත් අර්ථකථාවෙහි “වස්සසහස්සන්ති චෙතං පටිසම්භිදාපභෙදප්පත්තඛීණාසවානං වසෙනෙව වුත්තං, තතො පන උත්තරිපි සුක්ඛවිපස්සකඛීණාසවවසෙන වස්සසහස්සං, අනාගාමිවසෙන වස්සසහස්සං, සකදාගාමිවසෙන වස්සසහස්සං, සොතාපන්නවසෙන වස්සසහස්සන්ති එවං පඤ්චවස්සසහස්සානි පටිවෙධසද්ධම්මො ඨස්සති [24] – තෙළ වසර දහසක් යන්න ප්‍රතිසම්භිදාප්‍රභේදප්‍රාප්ත ක්ෂීණාශ්‍රවයන් වහන්සේලාගේ වශයෙන් වදාරන ලදී. ඉන් මත්තෙහිදු ශුෂ්කවිපස්සක ක්ෂීණාශ්‍රවයන් වහන්සේලාගේ වශයෙන් වසර දහසකි. අනාගාමී ආර්යයන් වහන්සේලාගේ වශයෙන් වසර දහසකි. සකදාගාමි ආර්යයන් වහන්සේලාගේ වශයෙන් වසර දහසකි. සෝතාපන්න ආර්යයන් වහන්සේලාගේ වශයෙන් වසර දහසකි යැයි මෙසේ වසර පන්දහසක් ප්‍රතිවේධ සද්ධර්මය පවතී” යනුවෙන් සදහන් වන බැවින් වසර පන්දහසක් පරියත්ති-ප්‍රතිවේධ සද්ධර්මයට ආයු ඇති බවත් සලකාගතයුතු වේ. ඒ අනුව අර්ථකථාගත විවරණය ඉවත් කළහොත් වර්තමානයේ බුදුසසුනක් නොමැතිය යන අඳුරු දෘෂ්ටියට පත්වනු ඇත.
  2. රථවිනීත සූත්‍රයෙහි දී භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ අබියස පවසනුයේ පුණ්ණමන්තානිපුත්ත තෙරුන් වහන්සේ තමා අල්පේච්ඡව භික්ෂූන්ටද අල්පේච්ඡබව පිළිබද කථා කරන බවයි [25]. මෙහි එන අප්පිච්ඡ යන වචනය අප්ප+ඉච්ඡ කියා විසන්ධි කළවිට තෘෂ්ණාව මඳක් ඇති යන අර්ථයක් ලැබේ. එහෙත් උන්වහන්සේ ක්ෂීණාශ්‍රවයන් වහන්සේ නමක් බැවින් එබදු අර්ථයක් ගතහොත් එය මිථ්‍යා දෘෂ්ටියකි [26]. එබැවින් තත් අර්ථකථාවෙහි මෙය නිරවුල් කොට තිබේ [27].
  3. ධම්මපදපාළි, දණ්ඩවග්ගයෙහිද මෙවැනිම අර්ථකථනයක් වේ. එහි “සබ්බෙ තසන්ති දණ්ඩස්ස, සබ්බෙ භායන්ති මච්චුනො” යන ගාථාවෙහි සියලු සත්වයෝ දණ්ඩනයෙන් තැතිගන්නා බවත්, මරණයට බිය වන බවත් බුදුරජාණන් වහන්සේ දේශනාකර ඇති නමුත් ක්ෂීණාශ්‍රවයන් වහන්සේලා කිසිලෙසකින් බියට පත්නොවෙත්. එබැවින් එහි පෙළ දේශනයෙහි එන ‘සබ්බෙ’ යන පදයේ අර්ථය ගැනීමේදී රහතන්වහන්සේ අතහැර අර්ථ ගතයුතු බව අර්ථකථාවේ දැක්වේ [28].
  4. විනය පිටකයෙහි පාචිත්තියපාළි, ආවසථපිණ්ඩ සිකපදයෙහි දැක්වෙන පරිදි දොර දන් හලකින් දන් වැළදූ සවග භික්ෂූන් හට එහිම නැවතී දන් වැළදීමේ අදහසක් වී “කිං මයං කරිස්සාම ආරාමං ගන්ත්වා හීය්‍යොපි ඉධෙව ආගන්තබ්බං භවිස්සති” යනුවෙන් සිතා එහිම නැවතී දන් වැළදූහ. මෙහි ‘හීය්‍යො’ යන අතීතකාලවාචී නිපාතයෙන් අදහස් වන්නේ ‘හෙටදින’ යන්න බව අර්ථකථාවෙහි දැක්වේ [29]. ඒ අනුව ‘අපි කුමක් කරම්ද? ආරාමයට ගොස් හෙටදිනද මෙහිම පැමිණියයුතු වන්නේය’ යනුවෙන් අර්ථ ගතයුතු වේ. එසේ නොවුවහොත් ‘ඊයේ දිනයේද මෙහිම පැමිණියයුතු වන්නේය’ යන විසුළු අර්ථයක් ලැබේ. මෙවැනි තවත් බොහෝ තැන් අර්ථකථාවන්හි දක්නට ලැබේ [30].
  5. විනයපිටකයේ මහාවග්ගපාළි බෝධිකථාවෙහි “අථ ඛො භගවා සත්තාහස්ස අච්චයෙන තම්හා සමාධිම්හා වුට්ඨහිත්වා බොධිරුක්ඛමූලා යෙන අජපාලනිග්‍රොධො තෙනුපසඩ්කමි” යනුවෙන් බෝමැඩ සත්දිනක් සමවත් සුවයෙන් වැඩ හිඳින තථාගතයන් වහන්සේ ඉක්බිති අජපාල නුගරුක වෙත වැඩම කළ බව දැක්වේ. ඒ අනුව තථාගතයන් වහන්සේ දෙවැනි සතියෙහි අජපල් නුගරුක වෙත වැඩම කළ බවක් හැඟෙන අතර බුද්ධත්වයෙන් සත්සතියක් නොව සිව්සතියක් විවේකසුවයෙන් වැඩසිටි බව හැඟේ. සමන්තපාසාදිකා විනය අර්ථකථාවෙහි මෙය නිරවුල් කරමින් අජපල් නුගරුක වෙත වැඩම කිරීමට පෙර තවත් සති තුනක් අනිමිසලෝචන පූජාවෙන්, රුවනසක්මනෙන් සහ රතනාඝරයෙහි අභිධර්මය සම්මර්ෂණය කරමින් වැඩ සිටි බව දැක්වේ [31].

මෙසේ සමස්ථ ත්‍රිපිටකය පුරාවට අර්ථකථාවෙහි සප්‍රයෝජනත්වය දැක්වෙන තවත් තැන් බොහෝමයක් වන අතර ඒ පිළිබද වෙනමම අධ්‍යයනයක් කළයුතු වේ. ඒ අනුව චිරාත්කාලයක් ථෙරවාදීන්ගේ පැසසුමට ලක් වූ පාළි අර්ථකථා ඇසුරෙන් බුද්ධවචනය අර්ථකථනය කිරීම නිරස්ත යැයි පවසන විතණ්ඩවාදී මතය නිරර්ථකය. ධර්ම-විනයෙහිලා සර්වඥයන් වහන්සේ අදහස් කරන ලද අර්ථයම වටහා ගැනීම උදෙසා පෙළ දහමට අමතරව තදර්ථකථාවද පරිශීලනය කළයුතු බව අප්‍රතිශේධනීයය.

මෙහිදී බොහෝ දෙනෙකුට ඇති වන සංශය වන්නේ බුදුරජාණන්වහන්සේ අදහස් කළ විනිශ්චය ඉක්මවා අර්ථකථා සංග්‍රහ කරන්නට යෙදුණු සංගීතිකාරක අර්ථකථාචාරී මහරහතන් වහන්සේලාගේ අභිමතයන් මෙන්ම ලක්දිව පාළි අර්ථකථා සංස්කරණය කළ බුද්ධඝෝෂ හිමි ඇතුළු අර්ථකථාචාරීන් වහන්සේලාගේ අදහස් අර්ථකථාවන්හි සංගෘහිතව ඇත්ද? යන්නයි. එහිදී සංගීතිකාරක මහරහතන් වහන්සේලා බුද්ධ මතය දන්නා අය බව පවසන විනයාලංකාරටීකාව [32] තවදුරටත් පවසනුයේ බුද්ධ වචනයට අර්ථ විවරණ සැපයීම සංගීතිකාරකයන් වහන්සේලා විසින් නොම සිදුකළ බවත් එය බුද්ධ වචනයක්ම බවත්ය [33]. එසේම විමතිවිනෝදනී ටීකාව පවසනුයේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව ඇසුරු කොට නොගෙන අග්‍රශ්‍රාවකයන් වහන්සේලාට පවා ත්‍රිපිටකයේ අර්ථවිවරණයක් කළ නොහැකි බවයි [34]. එබැවින් යමෙක් අර්ථකථාව යනු සංගීතිකාරකයන් වහන්සේලාගේ හෝ බුදුගොස් ඇදුරුපාණන් ඇතුළු ලක්දිව අටුවාචාරීන් වහන්සේලාගේ නිර්මාණයක් යැයි පවසන්නේ නම් එය ඔවුන් විසින් හුදු සර්වඥතා ඤාණය හෑල්ලුවට ලක් කිරීමකි. තවද බුදුගොස් ඇදුරුපාණන් ඇතුළු අර්ථකථාචාර්යයන් වහන්සේලා ස්වකීය අදහසක් අර්ථකථාවන්හි ඇතුළත් කරන්නේනම් එය විශේෂයෙන් සදහන් කිරීමට තරම් සත්පුරුෂ වූහ. බොහෝ අර්ථකථාවන්හි ‘අම්හාකං ඛන්ති, වීමංසිත්වා ගහෙතබ්බා, වීමංසිත්වා වෙදිතබ්බා’ යනාදී ලෙස ඒ බව පැවසේ [35]. එබැවින් ඒ පාළි අර්ථකථාවන් වනාහී මහාවිහාරීය භික්ෂූන් විසින් දරාගෙන ආ සුපිරිසිදු ධර්ම-විනය විනිශ්චයන්ගෙන්ම සමුල්ලසිත බව ඉඳුරාම පැවසිය හැකි වේ.

මේ අනුව බුද්ධවචනයෙහිලා නිරවද්‍ය අර්ථකථනය පෙළ-අර්ථකථා-මහාවිහාරීය ටීකා ඔස්සේ ඉපැරණි මහාවිහාරීය භික්ෂූන්ගේ පරිචය අනුවම වියයුතු බව නිගමනය කළහැකි වේ. එහිලා ශුද්ධ මාගධී භාෂාව පිළිබඳ ඇති ප්‍රාගුණ්‍යයද වැදගත් වන අතර ඉන් මතු පෙළ-අර්ථකථා ආදිය ඔස්සේ අර්ථ විග්‍රහකරගන්නා ආරාමික අධ්‍යයන ක්‍රමවේදය පිළිබඳවද දැනුවත් වියයුතු වේ. ඒ සදහා ත්‍රිපිටක දැනුමෙන් සන්නද්ධ ආචාර්යවරයෙකු සමීපයේ ලබන ධර්ම-විනය අධ්‍යාපනය අතිශය ප්‍රයෝජනවත් වේ. එවිට බුද්ධ දේශනය පිළිබඳ මිසදිටු ගැනීම් වලට නොවැටී ස්වකීය නිස්සරණාධ්‍යාශය උදෙසාම ධර්ම-විනයෙහි හැසිරීමේ අවකාශය ලැබෙන්නේය. එසේ නොවී හුදු ලෞකික ශාස්ත්‍රීය කෝණයෙන් සර්වඥ දේශිත ත්‍රිපිටක ධර්මය දෙස බැලීමට දරන උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ආත්මාර්ථ, පරාර්ථ යන උභයාර්ථයම අතික්‍රමණය වේ. එසේ උභයාර්ථසාධනයම පසෙකලා ත්‍රිපිටක ධර්මය දෙස විමසුම් ඇසින් බලන ඇතැම් දෙස් විදෙස් ගිහි පැවිදි පඬිවරුන් අර්ථකථාව සම්බුද්ධ දේශනයක් නොවන බවටත්, පෙළ දහම පමණක් බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුඛයෙන් වදාළ බවත් සාධනය කිරීමට තුෂඛණ්ඩනප්‍රයාසයන්හි නිරත වෙත්[36]. එසේම අර්ථකථාවෙහි ප්‍රමාද පාඨාදිය ගෙනහැර දක්වමින් එය කරණකොටගෙන සම්බුද්ධ දේශනය විකෘති වූ බවටද නිරස්ත මතවාද ඉදිරිපත් කරත්. කෙසේ නමුත් පෙළ දහමත්, තදර්ථකථාවත් යන සමස්ථ ත්‍රිපිටක ධර්මය චිරාත්කාලයක් බෞද්ධයන්ගේ අත්‍යාදරයට පාත්‍රව ඔබ ඓහ ලෞකික වූද පාර ලෞකික වූද අර්ථසිද්ධි සාධනයට අනල්ප දායකත්වයක් සපයන ලදී. ඒ අතිශය ප්‍රශංසනීය අර්ථකථන ක්‍රමවේදය වියැකී යන්නට නොදී අනාගතය සදහාද සුරක්ෂිත කරලීම බුදුසසුනේ අභිවෘද්ධිය මෙන්ම ආත්මාර්ථ-පරාර්ථ යන උභයාර්ථසිද්ධියද අපේක්ෂා කරන බෞද්ධ භික්ෂුවක විසින් නිතැතින්ම සිදුවිය යුතු වේ.

සම්පාදක
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

References

1. තදෙතං සබ්බම්පි බුද්ධවචනං රසවසෙන එකවිධං, ධම්මවිනයවසෙන දුවිධං, පඨමමජ්ක්‍ධිමපච්ඡිමවසෙන තිවිධං; තථා පිටකවසෙන, නිකායවසෙන පඤ්චවිධං, අඩ්ගවසෙන නවවිධං, ධම්මක්ඛන්ධවසෙන චතුරාසීතිසහස්සවිධන්ති වෙදිතබ්බං. – සමන්තපාසාදිකා විනයට්ඨකථා (සපා), හෙ.වි. (1929), පඨමමහාසඩ්ගීතිකථා, 8පි
2. පරියත්තීති තීණි පිටකානි. – සුමංගලවිලාසිනී දීඝනිකායට්ඨකථා (සුවි), හෙ.වි. (1918), මහාපරිනිබ්බාණසුත්ත වණ්ණනා, 654පි
3. “ද්වෙමා, භික්ඛවෙ, තථාගතස්ස ධම්මදෙසනා. කතමා ද්වෙ? සංඛිත්තෙන ච විත්ථාරෙන ච. ඉමා ඛො, භික්ඛවෙ, ද්වෙ තථාගතස්ස ධම්මදෙසනා”ති. – අංගුත්තරනිකාය, දුක නිපාතය
4. අත්ථසාලිනී ධම්මසඩ්ගණිප්පකරණට්ඨකථා, හේ.වි. 13පි
5. සපා, හෙ.වි. (1929) 155පි
6. පපඤ්චසූදනී මජ්ක්‍ධිමනිකායට්ඨකථා (මනිඅ), හෙ.වි. (1933), ධාතුවිභඩ්ගසුත්තවණ්ණනා, 194පි
7. සාරත්ථදීපනීටීකා, ගන්ථාරම්භකථාවණ්ණනා, බුරුමරට ඡට්ඨ සංගායනා ත්‍රිපිටක මෘදුකාංගය (ම.ඡ.ස.)
8. ධම්මසඩ්ගාහකෙහි පඤ්චහි අරහන්තසතෙහි ඨපිතා පාළිවිනිමුත්තා ඔක්කන්තවිනිච්ඡයප්පවත්තා අට්ඨකථාතන්ති – සපා, හෙ.වි. (1929) 162පි
9. විනය පිටකය, පාචිත්තියපාළි, පදසොධම්මසික්ඛාපදං
10. අත්ථූපසඤ්හිතොති අට්ඨකථානිස්සිතො – සපා, හෙ.වි. (1929), පදසොධම්මසික්ඛාපදවණ්ණනා, 541පි
11. වජිරබුද්ධි-විනයාලංකාර-සාරත්ථදීපනී විනය ටීකාවන්හි බොහෝ තැන්හි ‘පොරාණගණ්ඨිපදෙ වුත්තං, ගණ්ඨිපදෙ වුත්තං, අනුගණ්ඨිපදෙ වුත්තං’ යනාදී ලෙස සදහන් වේ. සාරත්ථදීපනී විනය ටීකාවෙහි ‘මහාගණ්ඨිපදෙ’ති වා ‘මජ්ක්‍ධිමගණ්ඨිපදෙ’ති වා ‘චූළගණ්ඨිපදෙ’ති වා වුත්තෙ ‘සීහළගණ්ඨිපදෙසූ’ති ගහෙතබ්බං. කෙවලං ‘ගණ්ඨිපදෙ’ති වුත්තෙ මාගධභාසාය ලිඛිතෙ ගණ්ඨිපදෙ’ති ගහෙතබ්බං” යැයි සදහන්වේ.
12. ටීකාති ටිකියති ජානියති සංවණ්ණනාය අත්ථො එතායාති ටීකා = මෙය කරණකොටගෙන සංවර්ණනයෙක්හි අර්ථය දැනගන්නේනුයි ටීකා නමි – මහාසද්දනීතිප්පකරණය, අරුග්ගොඩ සීලානන්දහිමි සංස්කරණය, 294පි
13. එතදග්ගං, භික්ඛවෙ, මම සාවකානං භික්ඛූනං සංඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං විභජන්තානං යදිදං මහාකච්චානො – අංගුත්තර ඒකක නිපාතය
14. ත්‍රිපිටකයට ලියැවී ඇති ඇතැම් ටීකා වල ථෙරවාදී මහාවිහාරීය විනිශ්චයට පරිබාහිර අභයගිරික, මහායානික ආදී මතවාදයන් ඇතුළත් වේ. විශේෂයෙන්ම විනයපිටකය සම්බන්ධ ලියැවී ඇති විස්තරාත්මක ටීකාවක් වන සාරත්ථදීපනී ටීකාවෙහි මෙබඳු විසදෘෂ මතවාද මුසුව ඇති අතර ඒ බොහෝවක් ඊට පසුව ලියැවුණු විමතිවිනෝදනී, විනයාලංකාර ටීකා විසින් ප්‍රතිබාහනය කොට තිබේ. ඒ අනුව පිරිසිදු ථෙරවාදී මහාවිහාරීය විනිශ්චයන්ගෙන් යුත් ටීකා මහාවිහාරීය ටීකා යන්නෙන් අදහස් වේ.
15. විතණ්ඩවාදීහු යනු පිළිගැන්වීමට තරම් වූ ප්‍රමාණයක් හෝ සාධකයක් තමහට නැතිව අනුන් වෙහෙසීමට බොරු වාද කරන්නෝ යැයි පරවාහැර වජිරඤාණ හිමියෝ පවසති. – මහාවග්ගපාළි ප්‍රස්තාවනාව, ංංපි
16. සපා, හෙ.වි. (1929), 161පි
17. විනියපිටකයෙහිලා සුත්තං යනු ‘සකල විනය පිටකයේ පාළිය’ (සුත්තං නාම සකල විනයපිටකෙ පාළි) යැයි සමන්තපාසාදිකාවෙහි දැක්වෙන අතර එය විනයට අදාළව අධිකාර වශයෙන් කියන ලදී. සෙසු පිටකයන්හිදු මෙම සතර නය ලැබේමය. – (විනයපිටකෙ පාළීති ඉධ අධිකාරවසෙන වුත්තං. සෙසපිටකෙසුපි සුත්තාදිචතුනයා යථානුරූපං ලබ්භන්තෙව – විමතිවිනෝදනී ටීකා) එබැවින් පරිවාර පාළියෙහි අනුයෝග වතෙහි එන ‘ධම්මං න ජානාති, ධම්මානුලොමං න ජානාතී’ යන්නට විනයාලංකාර ටීකාව “ධම්මන්ති ඨපෙත්වා විනයපිටකං අවසෙසං පිටකද්වයං, ධම්මානුලොමන්ති සුත්තන්තිකෙ චත්තාරො මහාපදෙසෙතිආදි” යැයි කියන ලදී. – විනයාලංකාරටීකා
18. “සබ්බදුබ්බලාති අසබ්බඤ්ඤුපුග්ගලස්ස දොසවාසනාය යාථාවතො අත්ථසම්පටිපත්තිඅභාවතො වුත්තං. පමාදපාඨවසෙන ආචරියවාදස්ස සුත්තානුලොමෙන අසංසන්දනාපි සියා” – විමතිවිනෝදනී ටීකා, චතුබ්බිධවිනයාදිකථාවණ්ණනා, ම.ඡ.ස. 45
19. සපා, හෙ.වි. (1929), ආරම්භක ගාථා, 2පි
20. උදිත හිමි, හිත්තටියේ, ත්‍රිපිටක පරීක්‍ෂණය, (2013), 47පි
21. විමතිවිනෝදනී ටීකා, ගන්ථාරම්භකථාවණ්ණනා, ම.ඡ.ස.
22. විමතිවිනෝදනී ටීකා, සුදින්නභාණවාරවණ්ණනා, ම.ඡ.ස. 39
23. අංගුත්තරනිකාය, අට්ඨකනිපාතය, ගොතමී සූත්‍රය/ විනයපිටකය චුල්ලවග්ගපාළි, භික්ඛුණී ඛන්ධකය
24. අංගුත්තරනිකායට්ඨකථා, / සපා, හෙ.වි. (1929), භික්ඛුණී ඛන්ධක වණ්ණනා, 951පි
25. පුණ්ණො නාම, භන්තෙ, ආයස්මා මන්තාණිපුත්තො ජාතිභූමියං ජාතිභූමකානං භික්ඛූනං සබ්‍රහ්මචාරීනං එවං සම්භාවිතො – අත්තනා ච අප්පිච්ඡො අප්පිච්ඡකථඤ්ච භික්ඛූනං කත්තා, අත්තනා ච සන්තුට්ඨො…- මජ්ක්‍ධිමනිකාය, මූලපණ්ණාසකය, රථවිනීත සූත්‍රය
26. ගමගේ. කේ. අරුණ, ථෙරවාදී අර්ථකථන සිද්ධාන්ත, ගොඩගේ, 2014, 162පි
27. අප්පිච්ඡොති ඉච්ඡාවිරහිතො නිඉච්ඡො නිත්තණ්හො. එත්ථ හි බ්‍යඤ්ජනං සාවසෙසං විය, අත්ථො පන නිරවසෙසො. න හි තස්ස අන්තො අණුමත්තාපි පාපිකා ඉච්ඡා නාම අත්ථි. ඛීණාසවො හෙස සබ්බසො පහීනතණ්හො. – මනිඅ, හෙ.වි. (1933), රථවිනීතසුත්තවණ්ණනා, 114පි
28. ඉමිස්සා ච දෙසනාය බ්‍යඤ්ජනං නිරවසෙසං, අත්ථො පන සාවසෙසො. … සබ්බෙ තසන්තීති වුත්තෙපි හත්ථාජානෙය්‍යො අස්සාජානෙය්‍යො උසභාජානෙය්‍යො ඛීණාසවොති ඉමෙ චත්තාරො ඨපෙත්වා අවසෙසාව තසන්තීති වෙදිතබ්බා. ධම්මපදට්ඨකථා, දණ්ඩවග්ගය
29. හිය්‍යොපීති ස්වෙපි. – සපා, හෙ.වි. (1929), 595පි
30. ගමගේ. කේ. අරුණ, ථෙරවාදී අර්ථකථන සිද්ධාන්ත, ගොඩගේ, 2014, 171පි
31. අපරානිපි තීණි සත්තාහානි බොධිසමීපෙයෙව වීතිනාමෙසි. – සපා, හෙ.වි. (1929), 717පි
32. බුද්ධමතඤ්ඤුනො හි අට්ඨකථාචරියා.- විනයාලංකාර ටීකා, ගරුකාපත්ති වුට්ඨානවිනිච්ඡයකථා, පරිවාසවිනිච්ඡයකථා
33. න කෙවලං උපාලිථෙරාදීහි එව අට්ඨකථා ඨපිතා, අථ ඛො පාළිතො ච අත්ථතො ච බුද්ධෙන භගවතා වුත්තො. න හි භගවතා අබ්‍යාකතං තන්තිපදං නාම අත්ථි, සබ්බෙසංයෙව අත්ථො කථිතො, තස්මා සම්බුද්ධෙනෙව තිණ්ණං පිටකානං අත්ථවණ්ණනක්කමොපි භාසිතොති දට්ඨබ්බං. තත්ථ තත්ථ හි භගවතා පවත්තිතා පකිණ්ණකදෙසනායෙව අට්ඨකථාති. – විනයාලංකාර ටීකා, දිවාසෙය්‍යවිනිච්ඡයකථා
34. න හි භගවතො වචනං වචනානුලොමඤ්ච අනිස්සාය අග්ගසාවකාදයොපි අත්තනො ඤාණබලෙන සුත්තාභිධම්මවිනයෙසු කඤ්චි සම්මුතිපරමත්ථභෙදං අත්ථං වත්තුං සක්කොන්ති. – විමතිවිනෝදනී ටීකා
35. තස්මා එත්ථ ආණත්තිකනිස්සග්ගියථාවරාපි පයොගා යුජ්ජන්ති, අට්ඨකථාසු පන අනාගතත්තා වීමංසිත්වා ගහෙතබ්බා. – සුවි, හෙ.වි. (1918), බ්‍රහ්මජාලසුත්තවණ්ණනා, 54පි/ ….සාසනනයෙන පඨවීවාරාදීසු වුත්තෙන ච අට්ඨකථානයෙන යථානුරූපං වීමංසිත්වා වෙදිතබ්බා. – මනිඅ, හෙ.වි. (1933), මූලපරියායසුත්තවණ්ණනා, 35පි/ භාවිතමග්ගානං සච්ඡිකතනිබ්බානානඤ්ච අපායෙසු අපතනභාවෙන ධාරණතො පරමස්සාසවිධානතො ච මග්ගවිරාගා එව ඉමස්මිං අත්ථෙ ධම්මොති අම්හාකං ඛන්ති – ඛුද්දකපාඨ අට්ඨකථා/ යො යො පටිග්ගණ්හාති, තස්ස තස්ස තප්පච්චයා ආපත්තියෙවාති අයමෙත්ථ අම්හාකං ඛන්ති. – සපා, හෙ.වි. (1929), තතියපාරාජික වණ්ණනා, 322පි
36. තුෂඛණ්ඩනප්‍රයාසය යනු තුෂ නැමැති දහයියා කෙටීම වැනි නිෂ්ඵල ව්‍යායාමයක් වේ. – ශ්‍රී සුමංගල ශබ්දකෝෂය, 412පි