තුන් ලොවක්  මෙත් සිතින් සනසා වදාල බුදු රජාණන්වහන්සේ පන්සාලිස් වසක් සදහම් අමා සිසිලස බෙදා පිරිනිවී වැඩි සේක. එලෙස පිරිනිවීමට මත්තෙන් දෙසූ දම් අසා සැනසුණු හා සැනසෙණ පිරිස අපමණය. එබඳු සැනසීමට පත් පාටලී ගම් වැසියන්ට පැවැත්වූ දේශනය මෙසේ දැන ගනිමු.

ලෝක නායකයන් වහන්සේ තම අවසන් කාලවකවානුව ගත කරන සමයේ රජගහනුවරටත් නාලන්දාවටත් වැඩ ඉන්පසු පාටලී  ග්‍රාමයට ද වැඩම කළ සේක. ඒ බව දත් පළොල්  ගම්වැසි උපාසකයෝ “අපට මහත් ලාභයකි, භාග්‍යවතුන් වහන්සේ අප ගම් පියසට වැඩම කොට ඇත. ඉන් අප මහත් පින් රැස් කරගනිමු”යි සිතූහ. සියල්ලෝ මන්ත්‍රණය කොට “අප ආවාස පිළිගනීවා”යි බුදු රජාණන්වහන්සේට ඇරයුම් කළහ. ඇරයුම පිළිගත් බුදු රජාණන්වහන්සේ ගම්වැසි උපාසකයන්ගේ ආවාස ගෙදරට[1] වැඩි සේක. වැඩම කොට දෙපා දොවා ආසන ශාලාවේ මධ්‍යම ටැඹ නිසාවෙන් පෙරදිගට මුහුණලා වැඩ සිටි සේක.

බුදු රජාණන්වහන්සේට පිටුපසින් භික්ෂූන් වහන්සේලා වැඩ සිටියේ චන්ද්‍ර මණ්ඩලය වටකරගත් තරුකැට මෙනි. ධර්මාසනාරූඪ දසබලධාරීන් වහන්සේ විසින් දුසිල් පුද්ගලයාගේ සීල විපත්ති දේශනා කළ සේක. එනම් මහත් භෝහ හානියට ද (මහන්තං භෝගජානි නිගච්ඡති), ලාමක කීර්ති රාවයක් ඇති වීමට ද (පාපකෝ කිත්තිසද්දො අබ්භුග්ගච්ඡති), විශාරද නොමැතිව පිරිස් කරා එළෙඹීම ද (අවිසාරදො උපසඞකමති), සිහි මුලාව කලුරිය කිරීම ද (සම්මූල්හො කාලං කරෝති), කය බිඳී මරණින් මතු අපායෙහි උපදීම ද සිදු වේ (කායස්ස භේදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උප්පජ්ජති). භාග්‍යවතුන් වහන්සේ එහිදී සිල්වත් වීමේ ආනිශංසාදිය හා ආවාස දානානුමෝදනාවන්ගෙන් ද ධර්ම දේශනා කල සේක. එම ධර්ම දේශනය පළොල් ගම් වැසියනට  ධර්මාභිසමය සිදුවනු පිණිස හේතු විය.

ඉන් පසු ඔවුන්ව සීලයෙහි සමාදන් කරවා සම්පහන්සනයට පත් කරවූහ. එගම් වැසියෝ ඉන් ඔද වැඩී ගිය සිත්තවුන් වූහ.  රෑ ඉක්ම ගිය කල්හි ඔවුන්ට කල් දැන්වූ තථාගතයන් වහන්සේ ශුන්‍යාගාරයට[2] වැඩම කළ සේක. එහිදී මහා ආශ්චර්‍ය සිදුවීමක් භාගග්‍යවතුන් වහන්සේ දිවැසින් දුටු සේක. එනම් පාටලී ග්‍රාමයට අධිගෘහිතවන දෙවි  දේවතාවන් පිළිබඳවයි.

මහා තෙදැති දෙවිවරුන් දස දහස් ගණනින් අධිගෘහිත වන ගෙවතු වල මහ තෙදැති රජවරුන්ට, රජ ඇමතියනට තම මාලිගා තැනීමට සිත් නැමෙත්. යම් පෙදෙසක මධ්‍යම තෙදැති දෙව්වරුන් දස දහස් ගණනින් පිරිසිඳ ගනිත් නම් එම පෙදෙස්වල තම මාලිගා තැනීමට මධ්‍යම තෙදැති රජවරුන්ට ද රජ ඇමතියනට ද සිත් නැමෙත්. එමෙන්ම හීන තෙදැති දෙව්වරු දස දහස් ගණනින් අධිගෘහිත වන ගෙවතු වල තම මාලිගා තැනීමට හීන තෙදැති රජවරුන්ට රජ ඇමතියනට සිත් නැමෙත්. මේ සිත් පෙළඹවීම වනාහි එම ගෘහ නිර්මාණ ශිල්පීන් ඇතමෙකුට තම ශිල්පයේ අනුහසින් පොළවෙන් යට රියන් තිහහක පමණ තැන මෙතැන නාගයන් විසින් පරිගෘහිතය, මෙතැන යක්ෂයන් පරිගෘහිතය යනාදී ලෙස දැන මන්ත්‍ර බලයෙන් ඔවුන් හා සමඟ එකතුවිමෙන් නිවාස ඉදිකරත්. ඇතමෙකුට දේවානුභායෙන් ම ඒ ඒ තැන නිවාස මැවීමට සිත් නැමෙත්.

මෙසේ සිදුකිරීමට ද හේතුවක් ඇත. එනම් සැදැහැති දේවතාවෝ තම කුලවලට මෙසේ සිත් පොළඹවා ගැනීමෙන් දෙවියන්ට  වාසි රැසක් සැලසේ. සැදැහැති උපාසකයන් තම නිවහන් ඉදිකර පළමුවම සිල්වත් භික්ෂූන් වඩා හිදුවා මංගල්‍ය උදාකර ගන්නේය. එනිසා දෙවිවරු ද බණ අසා, පින් අනුමෝදන් වීම ආදී කරුණු නිසා ඔවුන් මෙසේ ඒ ඒ සැදැහැතියනට සිත් නමවා ගැනීම සිදු කරත්.

මේ සියලු තොරතුරු දිවැසින් දුටු  භාග්‍යවතුන් වහන්සේ මේ නගර නිමැවුම තව්තිසා වැසි දෙවියන් හා මන්ත්‍රණය කොට නිමවන ලද්දක් හා සමාන යැයි ද ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කළ සේක. අලුයම නැගී සිටි බුදු රජාණන්වහන්සේ අනඳ තෙරුන් පිළිවිසීමෙන් මෙම නුවර සුනීධ – වස්සකාර මගධ මහ ඇමතිවරුන්ගේ නගර නිර්මාණයක් යැයි ද දත් සේක.

මේ පළොල් ගම (පාටලීපුත්‍ර නගරය) අනාගතයේ ආර්යයන් රැස්වන නගරයක් බවට ද (යාවතා අරියං ආයතනං), යම්තාක් ගනුදෙනු කරන වෙළදුන් රැස්වන තැනක් බවටද (යාවතා වණිප්පථො) යම්තාක් පිටරටින් ගෙනෙන බඩුපොදි බෙදාහරින තැනක් බවටද (යාවතා පුටභේදනං) පත් වන බවට භාග්‍යවතුන් වහන්සේ මෙබඳු අනාගත වාක්‍ය දේශනා කල සේක. තවද ගින්නෙන්, ජලයෙන් හා මිත්‍ර භේදයෙන්  රට විනාශ වන බව ආනන්ද තෙරුන් වහන්සේට දේශනා කල සේක.

ඉන්පසු සුනීධ – වස්සකාර මගධ මහ ඇමතිවරු බුදු රජාණන්වහන්සේ සම්මුඛයට පැමිණ සතුටු පිළිසඳරෙක්හි කල් යවා “අපගේ බත අදට ඉවසාවා” යැයි බතින් නිමන්ත්‍රණය කළහ. දසබලධාරීන් වහන්සේ ද ඇරයුම පිළිගත් සේක.

පෙරවරුවෙහි පා සිවුරු ගත් බුද්ධප්‍රමුඛ මහා සඟරුවන පැනවූ ආසන මත වැඩ හිඳ දන් කිස නිමවූ සේක. දන් කිස අවසන මගධ මහා ඇමතිවරු කුඩා අසුන් ගෙන පසෙකට වී හුන්හ. භාග්‍යවත් බුදු රජාණන්වහන්සේ ;

යස්‌මිං පදෙසෙ කප්‌පෙති, වාසං පණ්‌ඩිතජාතියො – සීලවන්‌තෙත්‌ථ භොජෙත්‌වා, සඤ්‌ඤතෙ බ්‍රහ්‌මචාරයො

යා තත්‌ථ දෙවතා ආසුං, තාසං දක්‌ඛිණමාදිසෙ – තා පූජිතා පූජයන්‌ති, මානිතා මානයන්‌ති නං

තතො නං අනුකම්‌පන්‌ති, මාතා පුත්‌තංව ඔරසං –  දෙවතානුකම්‌පිතො පොසො, සදා භද්‍රානි පස්‌සතී.

“යම් පෙදෙසක නුවණැති පණ්ඩිත උපාසකයෙක් වාසය කරයි ද, ඔවුන් විසින් ඉන්ද්‍රිය දමනයෙන් යුතු, බ්‍රහ්මචාරී සිල්වතුන් හට ආහාර පාන ආදියෙන් උවටැන් කරයි ද, ඉන් ලබන්නා වූ පුණ්‍ය ධර්මයන් යම් දේවතා කෙනෙකුට අනුමෝදන් කරත් නම් ඒ දේවතාවුන් විසින් ඒ පුද්ගල තෙමෙ ආරක්ෂා කරත් පෙර කළ පින් අනුමෝදන් වීමෙන් ඔහුගේ උවදුරු නැති කිරීම් වශයෙන් ඔහුට බුහුමන් කෙරෙත්. ඒ පින් අනුමෝදන් වන දේවතාවුන් විසින් තම පුතු රකින මවක් මෙන් ඔහුට අනුකම්පා කෙරෙත්. දෙවතාවුන් විසින් අනුකම්පා කරන ලද පුද්ගල තෙමෙ හැමකල්හි යහපත දකී” යන ගාථා ප්‍රමුඛ කොට අනුමෝදනා බණ සිදු කළ සේක.

සුනීධ – වස්සකාර මහ ඇමතිවරුන් ප්‍රමුඛ පිරිසට කළ ධර්‍ම දේශනා කිරීමෙන් අවසානයෙහි බුදු රජාණන් වහන්සේ අසුනින් නැඟිට වැඩිසේක. එකල්හි මහ ඇමතියෝ බුදු රජාණන් වහන්සේ යම් දොරටුවකින් නික්මෙන්නේ නම් එයට “ගෞතමද්වාරය” යනුවෙන්ද යම් තොටකින් නික්මෙන්නේ නම් එයට “ගෞතමතීර්ථ” යනුවෙන්ද වන්නේ යැයි කියා පසු ගමන් කළහ. ඉන්පසු තථාගතයන් වහන්සේ ගංගානම් නදී තෙරට වැඩම කළහ. එකල්හි ඒ නදී තෙමෝ ජලයෙන් දෙගොඩ තලා ගලා බසිමින් තිබුණි.  මිනිසුන්ද එගොඩ වනු පිණිස පහුරු බදිමින් ඊට උවමනා ලී දඬු ආදිය සොයමින් සිටියෝය. එපවත් දත් තථාගතයන් වහන්සේ;

යෙ තරන්‌ති අණ්‌ණවං සරං – සෙතුං කත්‌වාන විසජ්‌ජ පල්‌ලලානි

කුල්‌ලඤ්‌හි ජනො – තිණ්‌ණා මෙධාවිනො ජනා

“යම් පුද්ගලයෙක් තෘෂ්ණාදී සංසාර සාගරය තරණය කලත්ද, කිසිත් දිය වළ තැන් ස්පර්ශ නොකොටම තරණය කරන්නේය. ජනයා මේ නදිය තරණය උදෙසා පසුරු බැදීම සිඳු කරත්. තෘෂ්ණා සාගරය දිනු නුවණැති රහතන් වහන්සේලා නදියෙන් එතෙර වූහ” යනුවෙන් ප්‍රීති වාක්‍ය දේශනා කල සේක”

මෙම සූත්‍ර දේශනය හැදෑරීමෙන් උගත හැකි කරුණු අපමණය. එනම් බුද්ධ ශාසනයක් මුණගැසුණු මේ දුර්ලභ මොහොතේ සීලය පාදක කර ගනිමින් ඉන් ලබන සමාධියෙන් ප්‍රඥාව දියුණු කරගෙන මේ භයානක සංසාරයෙන් එතෙර වීමට වෙර දැරීමට උත්සුක වීමයි. එසේම සුවසේ ධර්ම මාර්ගයේ ගමන් කර ලෝකෝත්තර වශයෙන් විදර්ශනා ඥාණ දියුණු කර සසරින් එතෙර වීමටද කටයුතු කළ යුතුය. තවද අද සමාජයේ පවතිනා අයුරින් දෙවියන් පසුපස ගොස් ආරක්ෂාව නොයැදිය යුතු බවත් තමන් සීලවන්තව දානාදී පුණ්‍ය ධර්මයන් සිදුකොට එපින් දෙවියන්ට අනුමොදන් කිරීම හේතුවෙන් පරිපූර්ණ දේවාරක්ෂාව සලසා ගත හැකි බවත් උගත යුතුය.

මෙවැනි වටිනා සූත්‍ර දේශන තව තවත් කියවා අවබෝධ කොට ගෙන දුර්වලකම් දුරුකරගෙන සුවසේ නිවන් මග ගමන් කිරීමට මේ සූත්‍ර දේශනාවද ඉවහල් වේවා යැයි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු.

 


[1] ආවාස ගෙදර – රජවරුන්ගේ සහයකයෝ නිති උපද්‍රව හේතුවෙන් එරටට පැමිණ මාසයක් අඩ මසක්  වාසය කරන ශාලව. මෙය නගර මධ්‍යයේ ඉදිකරණ ලද්දකි. [2] ශුන්‍යාගාරය    – එම ශාලාවේ ම (ආවාස ගෙදර) බිත්තියකින් වටවූ එක් පෙදෙසක.


ඛුද්දක නිකාය පාටලීගාම සූත්‍රය    (බු.ජ.ත්‍රි.) දීඝ නිකාය පරිනිබ්බාන සූත්‍රය       (බු.ජ.ත්‍රි) සුමඞගලවිලාසිනි අට්ඨකථා – පරිනිබ්බාන සූත්‍රය (හේ.මු)

සම්පාදක කොටුගොඩ නන්දසීල හිමි

පරිගණක අකුරු සැකසුම පණ්ඩුක නෙළුවල මහතා