සෝභිත බුදු රජාණන් වහන්සේ පිරිනිවී එක් අසංඛ්‍යයක් කල් ගෙවන තුරු ලොවට එකදු සර්වඥයන් වහන්සේ නමක්වත් පහළ නොවී බුද්ධ ශූන්‍ය කාලයක් විය. අනතුරුව එක් අසංඛ්‍යයකට පසු, අඳුරු තිමිර පට විනිවිද ලෝකය ආලෝකමත් කරමින් ලොවට සූර්‍යා උදාවන්නාක් මෙන් එක කල්පයක් තුළ “අනෝමදස්සී, පදුම, නාරද” යැයි ලොවුතුරා බුදුවරු තුන්නමක්ම ලොවට පහළ වූ සේක.                                       

ඒ තුන් බුදුවරුන් අතරින් අනෝමදස්සී බුදු රජාණන් වහන්සේ වනාහි සොළොසාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පෙරුම්දම් පුරා තුසිත දෙව්ලොව ඉපිද දිව්‍ය සම්පත් විදිමින් සිටිනුයේ දෙවියන් විසින් කරන ලද ආරාධනයෙන් මනුලොව චන්ද්‍රවතී නම් රාජධානියෙහි යසවා නම් රජුගේ කුලයෙහි උස්ව පිහිටි මනෝඥ පයෝධර ඇත්තා වූ යසෝධරා නම් අග බිසවගේ කුසෙහි පිළිසිඳ ගත්තේ ය. අනෝමදස්සී කුමාර තෙමේ මව්කුසේ සිටියදීම තමාගේ පුණ්‍යානුභාවයෙන් අසූරියනක් පමණ ප්‍රදේශයක අලෝක ධාරාවන් විහිදුවමින් සිටියේ ය. එම ආලෝක ධාරාවෝ හිරු සඳු පරදවමින් ම විහිදුනාහු ය. දසමසක් ඇවෑමෙන් යසෝධරා දෙවී තුමූ සුනන්ද උයනේ දී බෝසත් කුමරා මෙළොවට බිහි කළාය.

කුමරු හට නම් තබන දිනයේදී නම්ගන්වනුයේ, උපන් මොහොතේ අහසින් සත්රුවන් වැසි වැටුන බැවින් මෙසේ අනෝමය සත්රුවන් හටගැනීමට හේතු භූත වූ හෙයින් “අනෝමදස්සී” යැයි නම් තැබීය.

මේ අනෝමදස්සී කුමාර තෙමේ ක්‍රමයෙන් වෘධප්‍රාප්ත වනුයේ දිව්‍යමය කාම සම්පත්තීන්ගෙන් පිරිවන ලද්දක් මෙන් “සිරි, උපසිරි, සිරිවඩ්ඩ” යන මාළිගා තුන මධ්‍යයේ සිරිමා දේවිය ප්‍රධාන විසිතුන් දහසක් පුර ස්ත්‍රීන් පිරිවරාගෙන වසර දසදහසක් රාජ සම්පත්තින් අනුභව කළේය. සතර පෙර නිමිති දැකීමෙන් සංවේගයට පත්වුන බෝධිසත්වයන් වහන්සේ සිරිමා දේවිය කුසින් උපවාන නම් තම පුතු උපන් දවසේ අනන්ත දරු පිරිසකට නිවන් රසය පොවන අදහසින් සිවිකා යානයෙන්  (දෝලාවෙන්) මහබිනික්මන් කොට පැවිදි වූයේ ය. තුන් කෝටියක් වූ පිරිවර ජනයාද බෝධිසත්වයන් වහන්සේ අනුවම පැවිදි වූහ. තුන් කෝටියක් වූ පැවිද්දන් පිරිවරන ලද බෝසත් තෙමේ දස මසක් පුරාවටම ප්‍රධන්වීර්යය වැඩුවේය. එයින් වෙසක් පුර පසළොස්වක් දා අනුපම නම් බමුණු ගමට පිඬු පිණිස වැඩියා වූ බෝධි සත්වයන් වහන්සේ අනුපම සිටු දියණිය විසින් පූජා කරන ලද මීපැණි මිශ්‍ර මීපිඩු දානය වළඳා සල් වනයෙහි දිවා විහරණය කර  කුඹුක් බෝධිය පැදකුණු කර තිස් අට රියනක් ප්‍රදේශයෙහි බෝ මැඩ අනෝම ආජීවකයා විසින් පූජා කරන ලද  තණමිටි අට ගෙන තණමිටි අට අතුරා චතුරංග සමන්වාගත වීර්යයෙන් අධිෂ්ඨාන කර පළක් බැඳගත් බෝධි සත්වයන් වහන්සේ මාර සේනාව පරාජය කරමින් තුන් යම් රාත්‍රයෙහි ත්‍රිවිද්‍යා උපදවා ගනිමින් ලොව්තුරා සම්බුදු බවට පත් වූ සේක.

“අනෙක ජාති සංසාරං -පෙ-  තණ්හානං ඛයමජ්ඣගා”ති යනුවෙන් උදන් ඇනූ භාග්‍යවතුන් වහන්සේ සත් සතියක් බෝධි මූලයේ කල් ගෙවා ධර්ම දේශනය පිණිස කළ බ්‍රහ්මාරාධනය පිළිගෙන කවරෙක් හට මුලින්ම ධර්මය දේශනා කරන්නේ දැයි ලොව බලනුයේ, තමන් වහන්සේ හා එකටම පැවැදි වූ තුන් කෝටියක් පිරිස ධර්මය අවබෝධ කර ගැනීමට උපනිඃශ්‍රය සම්පත්තීන් ඇති බව දැක, ඔවුන් දැන් වනාහි කොතැනක සිටින්නේ දැයි බලනුයේ සුභවතී නගරයෙහි සුදස්සන උයනෙහි වාසය කරන බව දැන අහසින් වැඩම කොට සුදස්සන උනයට බැස එහිදී දෙවි මිනිසුන් විසින් පිරිවරන ලද පිරිස මැද ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කළ සේක. එහිදී සියක් කෝටියක් සත්වයන් සෝතාපන්න ඵලයෙහි පිහිටියේය.

ඉන් පසු ඕසධී නගරද්වාරයෙහි පියාගස(මොර ගස) මුල යමා මහ පෙළහර සිදුකොට අසුරයන් අබිභවනය කරන ලද තව්තිසා භවනෙ පාණ්ඩුකම්බල ශෛලාසනයෙහි හිදිමින් තුන්මසක් පුරාවට අභිධර්ම වර්ෂාව වැස්සවූ සේක. එකල්හි අසූ කෝටියක් දේවතාවරු ධර්මය අවබෝධ කළාහුය.

අනතුරුව මංගල ප්‍රශ්න විස්ථරයේදි හැත්තෑ අට කෝටියක් දෙනා ධර්මය අවබෝධ කළහ. මේ තෙවැනි අභිසමය විය.

අනෝමදස්සී භාග්‍යවතුන් වහන්සේට ද ශ්‍රාවකසන්නිපාත තුනක් වීය. එනම් සෝරෙය්‍ය නගරයේ ඉසිදත්ත  රජුට ධර්මය දේශනා කරනු ලබන කල්හි ප්‍රසාදයට පත්ව ඒහිභික්ඛූ භාවයෙන් පැවිදි වූ අට ලක්‍ෂයක් රහතුන් මධ්‍යයේ ප්‍රාතිමෝක්‍ෂය දේශනා කල සේක. මේ පළමු ශ්‍රාවකසන්නිපාතය විය. රාධවතී නගරයේ මධුරින්ධර නම් රජුට ධර්මය දේශනා කරන කල පැහැදී ඒහිභික්ඛු භාවයෙන් පැවිද්ද ලැබූ සත් ලක්‍ෂයක් රහතුන් මැද පාමොක් දෙසූ හ. මේ දෙවැනි ශ්‍රාවක සන්නිපාතය විය. නැවත සෝරෙය්‍ය නගරයෙහිම සෝරෙය්‍ය රජවරු හා ඒහි භික්ඛු භාවයෙන් පැවිදි වූ සය ලක්‍ෂයක් සංඝයා මැද පාමොක් උදෙසූ සේක. මේ  තෙවැනි ශ්‍රාවක සන්නිපාතය විය.

එකල්හි අපගේ බෝධි සත්වයන් වහන්සේ මහා ඍද්ධි ඇති මහානුභාවසම්පන්න වූ එක්තරා මහේශාක්‍ය යක්‍ෂසේනාධිපතියෙක් විය. ඒ යක්සෙනෙවි වූ බෝධිසත්වයන් වහන්සේ ලෝකයෙහි බුදු කෙනෙකුන් උපන්නේ යැයි අසා පැමිණ පරම සිත්කළු දර්ශනීය ඉතා මනෝඥ චන්ද්‍රමණ්ඩලයක් හා සමාන සත් රුවන් මණ්ඩපයක් මවා, එහි සත් දිනක් පුරාවට බුද්ධප්‍රමුඛ මහා සංඝ රත්නයට මහා දානයක් දුන්හ. එහිදී භුක්තානුමෝදනාව සිදුකරන ලැබූ භාග්‍යවතුන් වහන් සේ,මේ යක්සෙනෙවි අනාගතයෙහි බුදු වෙන බව දැන ඒකාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකට පසු මේ තෙමේ “ගෞතම නමින් සම්මා සම්බුධත්වයට පත් වන්නේය” යැයි විවරණ ලබාදුන් සේක.

චන්ද්‍රවතී නුවර යසවා නම් පිය රජු නිසා යසෝධරා නම් මව් දේවියගේ කුස ඉපිද වසර දස දහසක් රජ සැප විදිමින් ගිහිගෙයි වාසය කර සිරිමා නම් තම අග්‍ර මහේෂිකාව උපවාරණ නම් තම පුතු වැදූ දා සිවිකා යානයෙන්  ( රන්සිවිගෙයකින් ) අභිනික්මන් කළේය. සිවිකා යානයේ නැගී කළ අභිනික්මන වනාහි සෝභිත බුදුරජාණන් වහන්සේ රජ මැදුර සමඟින් අභිනික්මන් කළ අයුරින් දත යුතුය. එසේ අභිනික්මන් කර කුඹුක් බෝධි මූලයේ වැඩ හිදිමින් සම්බුදු බවට පත්වුන අනෝමදස්සී බුදු රජාණන් වහන්සේ රියන් අට පනසක් උසසිරුරු ඇතිව ලෝකසත්වයනට හිතානුකම්පාවෙන් ධර්මය දේශනා කරමින් නිසභ , අනෝම යැයි අගසව් දෙනමක්ද, වරුණ නම් උපස්ථායක තෙර නමක්ද, සුන්දරී,සුමනා යැයි අග්‍ර ශ්‍රාවිකාවන් දෙනමක්ද ඇතිව ධම්මික නම් උපස්ථායක රජුගේ උපස්ථාන ලබමින් ධම්මාරාමයෙහි වැඩ වාසය කරන සේක. මෙකල්හි සාරිපුත්ත, මොග්ගල්ලාන දෙනම වහන්සේලා අනෝමදස්සී බුදුරදුන් පාමුල අග්‍රශ්‍රාවක තනතුරු ප්‍රාර්ථනා කළහ. වසර ලක්‍ෂයක් ආයු වැළඳූ අනෝමදස්සී බුදු රජාණන්වහන්සේගේ පිරිනිවන් පෑ සේක.

(බුද්ධ වංශ අට්ඨකථාව ඇසුරෙන් ) 

සබ්බේ සත්තා ඉමං පුඤ්ඤං අනුමෝදතු…..!!!!  

සම්පාදක:- පූජ්‍ය පුවක්පිටියේ සුමංගලරතන හිමි.

පරිගණක අකුරු සැකසුම
පණ්ඩුක නෙළුවල මහතා