නියත මිත්‍යාදෘෂ්ටිය

තුන්ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ විසින් තුන් ලෝ වැසි මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්මාදී වූ මුළු මහත් සත්ව ප්‍රජාව වෙත දේශනා කොට වදාළා වූ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්මය වනාහි අර්ථ සහිතය ය. ව්‍යඤ්ජන සහිතය ය. හාත්පසින් ම සර්ව සම්පූර්ණය ය. (සාත්ථං සබ්‍යඤ්ජනං කේවල පරිපුණ්ණං) නිර්වාණධාතුව කෙළවර කොට ඇති සාසන බ්‍රහ්මචර්යාව ප්‍රකාශිතය. ඒ සද්ධර්මය ඇතුළත් වූ පර්‍ය්‍යාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේධ සාසනයෝ දියුණු තියුණු කර ගැනීම සාසනයා ගේ දියුණුව යි. වැඩීම යි. විපුලත්වය යි. ඒ උතුම් දියුණු උදෙසා ප්‍රතිපත්ති පූරණය කරන පුද්ගලයා තුළ පළමු කොට ම පහළ කරගතයුතු වූ ප්‍රධානතම ගුණධර්මය නම් තමා ගේ දෘෂ්ටිය පිරිසිදු කර ගැනීම යි. ‘කම්මස්සකතා සම්මාදිට්ඨිය’ට පැමිණීම යි. නාස්තික, අහේතුක, අකිරිය නම් වූ නියත මිත්‍යාදෘෂ්ටි තුලින් බැහැර වීම යි. වර්තමාන සමාජයේ අපට දැකිය හැකි සෝචනීය ම කාරණයක් වන්නේ ද තරුණ – මහළු බොහෝ පිරිසක්, බෞද්ධ යැයි පවසන පිරිස පවා, සමහර භික්ෂූන් වහන්සේලා පවා මේ නියත මිත්‍යාදෘෂ්ටියට හසු වී තිබීම යි. සමහරුන් එයින් ද නොනැවතී තමා ද එම කෙමනේ පැටලී අනුන්ව ද එහි පටලවන ස්භාවයකි. මෙහි භයානක බව මිනිසෙකු ගේ පරිහානිය වන ආකාරය ධර්මයට අනුව පෙන්වා දීමට සිතුනේ ද එහෙයිනි. එහිලා ථේරවාද විනිශ්චය මෙසේ ය. නාස්තික දෘෂ්ටිය, අහේතුක දෘෂ්ටිය, අකිරිය දෘෂ්ටිය වශයෙන් නියත මිත්‍යාදෘෂ්ටියේ ආකාර තුනක් තිබේ. ඒ දෘෂ්ටි තුන පිළිබඳව අප මූලිකව ම දැනීමක් ඇති කර ගැනීම කළ යුතු ය. ඒ පිළිබඳව ක්‍රමානුකූලව පහතින් විස්තරාර්ථ දක්වමි.

1. නාස්තික දෘෂ්ටිය

මෙම ‘නාස්තික දෘෂ්ටිය’ යනු දස වස්තුක මිත්‍යාදෘෂ්ටියට ද නමකි. දස වස්තුක මිත්‍යාදෘෂ්ටිය මෙහි ම යෙදෙයි. එ මෙසේ ය.
“නත්ථි දින්නං, නත්ථි යිට්ඨං, නත්ථි හුතං, නත්ථි සුකතදුක්කටානං  කම්මානං ඵලං විපාකො; නත්ථි අයං ලොකො, නත්ථි පරො ලොකො, නත්ථි මාතා, නත්ථි පිතා, නත්ථි සත්තා ඔපපාතිකා; නත්ථි ලොකෙ සමණබ්‍රාහ්මණා සම්මග්ගතා  සම්මාපටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්ති. චාතුමහාභූතිකො අයං පුරිසො යදා කාලඞ්කරොති පථවී පථවීකායං අනුපෙති අනුපගච්ඡති, ආපො ආපොකායං අනුපෙති අනුපගච්ඡති, තෙජො තෙජොකායං අනුපෙති අනුපගච්ඡති, වායො වායොකායං අනුපෙති අනුපගච්ඡති. ආකාසං ඉන්ද්‍රියානි සඞ්කමන්ති. ආසන්දිපඤ්චමා පුරිසා මතං ආදාය ගච්ඡන්ති. යාව ආළාහනා පදානි පඤ්ඤායන්ති. කාපොතකානි අට්ඨීනි භවන්ති. භස්සන්තා ආහුතියො. දත්තුපඤ්ඤත්තං යදිදං දානං . තෙසං තුච්ඡං මුසා විලාපො යෙ කෙචි අත්ථිකවාදං වදන්ති. බාලෙ ච පණ්ඩිතෙ ච කායස්ස භෙදා උච්ඡිජ්ජන්ති විනස්සන්ති න හොන්ති පරං මරණා’’ 

“දන් දීමෙහි විපාක නැත. මහා දානයෙහි විපාක නැත. ආගන්තුක දානයේ, අනුන්ට යැවීම් වශයෙන් දෙන දානයේ විපාක නැත. කුසල කර්මයන් ගේ අකුසල කර්මයන් ගේ ඵල විපාක නොමැත. පරලොව සිටියහු ගේ මෙළොව ඉපඳීමක් නැත. මෙළොව සිටින්නවුන්ට පරලොවක් නැත. මව කෙරෙහි මනාව පැවතීම – නොමනාව පැවතීමෙන් වන කුසල – අකුසල විපාක නැත. පියා කෙරෙහි මනාව පැවතීම – නොමනාව පැවතීමෙන් වන කුසල – අකුසල විපාක නැත. මැරෙන උපදින සත්වයෝ නැත. මෙලොව පරලොව මනාව දැන ගෙන පසක් කොට ප්‍රකාශ කරන්නා වූ මනාව පිළිපන් මනාව ප්‍රතිපදාවේ පිළිපන් මහණ බමුණෝ ලොව නැත. (බුදුරජාණන් වහන්සේලා – මහරහතන් වහන්සේලා ලොව නැත යන්න යි.) පුරුෂයා සතර මහා ධාතූන්ගෙන් හට ගත්තේ ය. යම් කලෙක කළුරිය කරයි නම් එකල පඨවි ධාතුව පඨවි ධාතුව කරා යයි. පැමිණෙයි. ආපෝ ධාතුව ආපෝ ධාතුව කරා යයි. පැමිණෙයි. තෙජො ධාතුව තෙජො ධාතුව කරා යයි. පැමිණෙයි. වායො ධාතව වායෝ ධාතුව කරා යයි. පැමිණෙයි. මනින්ද්‍රිය සහිත ඉන්ද්‍රිය සය අහසට පැණනඟින්නේ ය. මිනී ඇඳ පස් වෙනි කොට පුරුෂයෝ සතර දෙනෙක් මළ සිරුර ගෙනයත්. “මොහු සිල්වතෙකි. මොහු දුස්සීලයෙකි.” යන ගුණා’ගුණ පදයෝ සොහොන දක්වා පමණකි. ඇට පරවි පියාපත් පැහැ වේ. දානයෝ හළු වීම් කෙළවර කොට ඇත්තාහ. (එයින් මතු විපාක නැත.) මේ දානය අඥානයන් විසින් පණවන ලද්දකි. යම් කිසි කෙනෙක් මේ කර්මය – කර්ම ඵලයෝ කියත් නම් එය බොරු ප්‍රලාපයකි. බාලයෝත් – පණ්ඩිතයෝත් මරණින් මතු සිඳෙති. මරණින් මතු  නොවෙති.” මෙසේ මෙම වැරදි දෘෂ්ටිය නිවැරදි යැයි දෘෂ්ටි ගනුයේ නාස්තික දෘෂ්ටියෙන් නියත මිත්‍යාදෘෂ්ටිකයෙකු වෙයි. දෘෂ්ටි විපත්තියට පත් වෙයි.

2. අහේතුක දෘෂ්ටිය

“අහේතුක’’ යනු සත්වයා ගේ පිරිසිදු බවට සහ අපිරිසිදු බවට හේතුවක් ප්‍රත්‍යක් නොමැති බව යි. එනම්,
“නත්ථි හෙතු, නත්ථි පච්චයො සත්තානං සංකිලෙසාය. අහෙතූ අප්පච්චයා සත්තා සංකිලිස්සන්ති. නත්ථි හෙතු, නත්ථි පච්චයො සත්තානං විසුද්ධියා. අහෙතූ අප්පච්චයා සත්තා විසුජ්ඣන්ති. නත්ථි බලං නත්ථි වීරියං නත්ථි පුරිසථාමො නත්ථි පුරිසපරක්කමො. සබ්බෙ සත්තා සබ්බෙ පාණා සබ්බෙ භූතා සබ්බෙ ජීවා අවසා අබලා අවීරියා නියතිසඞ්ගතිභාවපරිණතා ඡස්වෙවාභිජාතීසු සුඛදුක්ඛං පටිසංවෙදෙන්තී’’

“සත්වයා ගේ කෙළෙසීමට හේතුවක් නැත. ප්‍රත්‍යයක් නැත. හේතු රහිත ව ප්‍රත්‍යය රහිතව සත්වයෝ කෙළෙසෙති. මෙහි කෙළෙසීම යනු කාය දුශ්චරිත, වාක් දුශ්චරිත, මනෝ දුශ්චරිත යන අකුසල හේතුවෙන්, ප්‍රත්‍යයෙන් කෙළෙසීමක් නොවන බව යි. සත්වයන් ගේ විශුද්ධියට හේතුවක් ප්‍රත්‍යයක් නැත. හේතු රහිත ව ප්‍රත්‍යය රහිත ව සත්වයෝ පිරිසිදු වෙත්. මෙහි පිරිසිදු බව යනු කාය සුචරිතාදී ත්‍රිවිධ සුචරිත හේතුවෙන්, ප්‍රත්‍යයෙන් සත්වයා පිරිසිදු නොවන බව යි. (දිව්‍ය ලෝකාදියෙහි ඉපදීමට හේතුවන) බලයක් නැත. වීර්යයක් නැත. පුරුෂ ශක්තියක් නැත. පුරුෂ පරාක්‍රමයක් නැත. සියලු සත්ත්වයෝ, සියලු ප්‍රාණීහු, සියලු භූතයෝ හැල්වී, යව ආදී සියලු ජීවීහු තමා වසඟයෙහි නොපවත්නාහු, බලරහිත වූවාහු, වීර්ය නැත්තාහු, නියම වශයෙන්ද, ඒ ඒ ජාතීන්හි ගමන්කිරීම වශයෙන්ද, ස්වභාව වශයෙන්ද, නොයෙක් ආකාරයට පැමිණියාහු කණ්හාභිජාති ආදී සවැදෑරුම් ශ්‍රෙෂ්ඨ ජාතිවල සැප දුක් නැවත නැවත විදිති. ( අනෙක් සුව-දුක් විදින භූමි නැත.)” යනු මේ විපරීත දෘෂ්ටිය යි.

3. අකිරිය දෘෂ්ටිය

අකිරිය දෘෂ්ටිය යනු කිසිදු පාපයකින් අකුසලයක් නොවන බව දක්වන නියත මිත්‍යාදෘෂ්ටිය යි.
“කරොතො කාරයතො ඡින්දතො ඡෙදාපයතො පචතො පාචාපයතො සොචතො සොචාපයතො කිලමතො කිලමාපයතො ඵන්දතො ඵන්දාපයතො පාණමතිපාතයතො අදින්නං ආදියතො සන්ධිං ඡින්දතො නිල්ලොපං හරතො එකාගාරිකං කරොතො පරිපන්ථෙ තිට්ඨතො පරදාරං ගච්ඡතො මුසා භණතො කරොතො න කරීයති පාපං. ඛුරපරියන්තෙන චෙපි චක්කෙන යො ඉමිස්සා පථවියා පාණෙ එකමංසඛලං එකමංසපුඤ්ජං කරෙය්‍ය, නත්ථි තතොනිදානං පාපං, නත්ථි පාපස්ස ආගමො. දක්ඛිණං චෙපි ගඞ්ගාය තීරං ගච්ඡෙය්‍ය; හනන්තො ඝාතෙන්තො ඡින්දන්තො ඡෙදාපෙන්තො පචන්තො පාචෙන්තො, නත්ථි තතොනිදානං පාපං, නත්ථි පාපස්ස ආගමො. උත්තරං චෙපි ගඞ්ගාය තීරං ගච්ඡෙය්‍ය; දදන්තො දාපෙන්තො යජන්තො යජාපෙන්තො, නත්ථි තතොනිදානං පුඤ්ඤං, නත්ථි පුඤ්ඤස්ස ආගමො. දානෙන දමෙන සංයමෙන සච්චවජ්ජෙන නත්ථි පුඤ්ඤං නත්ථි පුඤ්ඤස්ස ආගමො’’ 

“ප්‍රාණඝාතාදිය කරන්නාට කරවන්නාට, අනුන් ගේ අත් පා සිඳින්නාට සිඳවන්නාට, අනුන්ට දඬු ආදියෙන් තලන්නාට තලවන්නාට, අනුන්ට දඬු-මුඟුරු ආදියෙන් දුක් දෙන්නාට අනුන් ලවා දුක් දෙන්නාට, ආහාර නොදීම් – බන්ධනාගාරගත කිරීම් ආදිය කරන්නාට කරවන්නාට, අනුන් පෙළන්නාට පෙළවන්නාට,පරපණ නසන්නාට නස්වන්නාට, සොරකම් කරන්නාට කරවන්නාට,ගෙවල් බිඳින්නාට, සියල්ල පැහැර ගන්නහුට, එක් ගෙයක් වටලා බඩු පැහැර ගන්නහුට, මඟ රැක සිට යන-එන්නන් ගේ බඩු පැහැර ගන්නහුට, පර අඹුවන් කරා යන්නහුට, බොරු කියන්නාට, ‘පව් කරමි’ යි යන හැඟීමෙන් කරන්නහුට පවා පවක් නොවේ. පවක් නැත. ඉඳින් යමෙක් දැළි පිහිය වැනි නිම්වළලු ඇති නොහොත් දැළිපිහය වැනි මුවහත, කෙළවර ඇති චක්‍රයකින් මේ පොළොවේ ප්‍රාණීන් එක් මස් රැසක්, මස් ගොඩක් කරන්නේ නම් ඒ නිසා වන පවක් නැත. එහ විපාක ද නැත. නසමින් නස්වමින්, සිඳිමින් සිඳවමින්, පෙළමින් පෙළවමන් දකුණු ගං තෙරට යන්නේ ද ඒ හේතුවෙන් වන පාපයක් නොමැත. ඉඳින් දන් දෙමින් අනුන් ලවා දන් දෙවමින්, මහා දාන දෙමින් අනුන් ලවා මහා දාන දෙවමින්, උතුරු ගං තෙරට යන්නේ ද එයින් වන පිනක් නැත. විපාක ද නැත. දානයෙන්, ඉන්ද්‍රිය දමනයෙන්, සිල් රැකීමෙන්, සත්‍ය වචනයෙන් වන පිනක් නැත. විපාක ද නැත. වශයෙන් ගන්නා වූ අකිරිය මිසදිටුව යි.”

මේ දක්වන ලද්දා වූ නාස්තික – අහේතුක – අකිරිය යන නියත මිත්‍යාදෘෂ්ටීහු ප්‍රධාන වශයෙන් ම කුසල් අකුසල් – කර්ම කර්ම ඵලයෝ ප්‍රතික්ෂේප කරන්නේ ය. බුදුරජාණන් වහන්සේ ගේ ධර්මයට විරුද්ධව ම සිටින්නේ ය. සම්මාදිට්ඨිය විනාශ කොට මිත්‍යාදෘෂ්ටියෙහි ගිල්වන බැවින් දෘෂ්ටි විපත්තියෝ ය. වරදවා ගන්නා ලද බැවින් දෘෂ්ටි විපන්නයෝය. මේ දක්වන ලද්දා වූ ප්‍රභේද තුනක් වූ නියත මිත්‍යාදෘෂ්ටිය පුද්ගලයෙකුගේ සන්තානයේ ඇතිවීම ඉතා ම සුළු කාරණයක් නිසා ද විය හැකි ය. ඒ සඳහා මහත් කලබලයක් හෝ දැඩි කෙළෙස් පරම්පරාවක් ඇති වීමට නුවමනාය. නියත මිසදිටුවෙක් වීමට සම්පූර්ණ විය යුත්තේ අංග දෙකක් පමණකි. එනම්,

1. තමන් ගන්නා වූ දෘෂ්ටිය නියත මිත්‍යාදෘෂ්ටියක් වීම.
2. එම දෘෂ්ටිය ම “නිවැරදි” යි දෘෂ්ටි ගැනීම යි.

එම අංගයෝ සම්පූර්ණ වූ විට ‘නියත මිත්‍යාදෘෂ්ටිකයෙකු’ වෙයි. කරුණුකාරණා මෙසේ හෙයින් මෙවැනි මිත්‍යාදෘෂ්ටි ඇති දේශනා, පොත් පත්, ලිපි ලේඛනාදියෙන් දෘෂ්ටිය තමන් වෙත එළඹීම ය. එය ම “නිවැරදි” යි යැයි යන ලෙස අංගද්වයෙ සම්පූර්ණත්වය වෙයි. මනෝ දුශ්චරිතයක් බැවින් බාහිරට තදින් ප්‍රකට වන්නේ ද නැත. ඒ තමා ගේ වැරදි දෘෂ්ටිය දන්නේ තමා ම ය. සමහර විටෙක තමා ගේ දෘෂ්ටිය ඉහත දැක්වූ ආකාරයට කතාවෙන්, ක්‍රියාවෙන්, ලිපි මඟින්, එළිබසියි. එවිට බාහිරට ද ප්‍රකට වෙයි. මේ දෘෂ්ටිය අනියත නම් අකුසලය අල්ප සාවද්‍ය ය. දෘෂ්ටිය නියත නම් අකුසලය මහා සාවද්‍ය ය. එසේ දෘෂ්ටි ගිලගත් තැනැත්තා ගේ දෘෂ්ටියෙහි ඇති පාපී බවත් එයින් වන විපත්තියත් බුදුරජාණන් වහන්සේ මේ ආකාරයට දේශණා කොට තිබේ.
නාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යං එවං මහා සාවජ්ජං, යථඉදං භික්ඛවෙ මිච්ඡාදිට්ඨි, මිච්ඡාදිට්ඨි පරමා භික්ඛවෙ වජ්ජානිති.

“මහණෙනි, මම මිත්‍යාදෘෂ්ටිය තරම් වූ මහාසාවද්‍ය අන් එකදු ධර්මයක් වත් මාගේ සර්වඥතා ඤාණයෙන් නොදකිමි. මහණෙනි, වරදවල් අතුරෙන් බරපතල ම වරද මිත්‍යාදෘෂ්ටිය” යි. දස අකුසලයේ මනෝ දුශ්චරිතයන්හි ඇති අකුසලයන් අතර බරපතල ම අකුසල ය නම් ‘නියත මිත්‍යාදෘෂ්ටිය’ බව මෙයින් ම ඔබට පැහැදිලි වනු ඇත. මහාසාවද්‍ය පඤ්චා’නන්තර්‍ය අකුසල් අතුරෙන් එකකුදු කරන ලද්දේ නියතව ම උපපජ්ජවේදනීය කර්ම වශයෙන් දෙවන අත්බව බොහෝ සෙයින් අවීචි මහ නිරයට එළඹෙන්නේ ය. එයට වනාහි පිළියම් ද නොමැත. කල්පයක් අපායට යයි. එහි විපාකයට කාල පරිච්ඡේදයක් තිබේ. එසේ නමුත් නියත මිසදිටු ගත් තැනැත්තාට තම මරණය දක්වා ම තම විපරීත දෘෂ්ටිය අත්හැරීමට අවස්ථාව තිබේ. නමුත් තම මිසිදිටුව කිසිකලෙක අත්නොහරින්නේ නම්  ‘ගෙනන ලද්දක් බහා තබන්නේ යම් සේ ද’ එසේ ම නිරයට පැමිණෙ යි. කල්පයෙකින් ද අපා දුකින් නොමිදෙති. කල්ප විනාසයේ දී ලෝක සත්වයෝ බ්‍රහ්මලෝකයේ උපදිති. නියත මිත්‍යාදෘෂ්ටිකයෝ එහි ප්‍රතිසන්ධි නොගෙන වෙනස් සක්වලක අපායක ප්‍රතිසන්ධි ගනිති. එසේ දුගතියෙන් මිඳීමේ කාලපරිච්ඡේදයක් නැත. නියත මිත්‍යාදෘෂ්ටියේ විපාක එබඳු ය.අකුසලක් උපදවන උල්පත් බඳු එබඳු දෘෂ්ටි සේවන කරන්නේ, අනුන් යොදවන්නේ මෙළොවත් වැනසී පරළොවත් නසෙන්නේ ය.

“අත්තනා ච මිච්ඡාදිට්ඨිකො හොති, පරඤ්ච මිච්ඡාදිට්ඨියා සමාදපෙති, මිච්ඡාදිට්ඨියා ච සමනුඤ්ඤො හොති, මිච්ඡාදිට්ඨියා ච වණ්ණං භාසති.ඉමෙහි ඛො, භික්ඛවෙ, චතූහි ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ” 

“මහණෙනි, සතර කරුණකින් සමන්නාගත වූයේ ගෙනවුත් බහා තැබුවේ යම් සේ ද එ පරිදි නිරයෙහි වේ. ඒ කාරණා සතර කුමක් ද? තමා මිත්‍යාදෘෂ්ටි ඇත්තේ වෙයි. අනුන් ද මිත්‍යාදෘෂ්ටියෙහි සමාදන් කරවයි. මිත්‍යාදෘෂ්ටියෙහි අනුදන්නේත් වෙයි. මිත්‍යාදෘෂ්ටිය පිළිබඳ ගුණත් කිය යි. මහණෙනි, මේ කාරණා සතරින් සමන්වාගත වූයේ ‘අතින් ගෙනන ලද්දක් බහා තබන්නේ යම් සේ ද’  එ පරිදි නිරයෙහි වේ.”

ධර්ම-විනයෙහි බහුශ්‍රැත නැති, විශාරද නොවූ හීන ශ්‍රද්ධාව ඇති ධර්මය විනය නොදන්නා වූ පුද්ගලයෝ මේ නරා වලේ වැටීමට වැඩි ඉඩ කඩ ඇත්තෝ ය. මිත්‍යාදෘෂ්ටිකයෝ තමන් ගේ නියත මිත්‍යාදෘෂ්ටීන් රස කොට මිහිරි කොට තර්කානුකූලව සමාජයට විසිකරන්නෝය. ඒ පාපී දෘෂ්ටි ධර්මය නොදත් අඥානයන් රස කොට ගිලිති. වස තැවරුණු කේක් ගෙඩියක් බාහිර ලස්සන වුව ද එය  ආහාරයට නොගත යුත්තකි. එය කෑවහොත් සිඳු වන්නේ ඒකාන්තයෙන් ම මරණය හෝ මරණාසන්න දුකකට පත්වන්නට ය. එබඳු වූ නියත මිත්‍යාදෘෂ්ටිය බාහිරට විචිත්‍ර වුව ද එය ස්භාවයෙන් ම පාපී ලාමක වූ දෘෂ්ටියකි. ධර්මය නොදත්තා වූ සමහර දෙමාපියන් තම දරුවන් එබදු මිසදිටුවන් වෙත පත් කරති. එහි අනතුර නොදකිත්. දරුවාගේ දෘෂ්ටිය මරා දැමුණු පසු එය නැවත පණ ගැන්වීම යනු මහත් අපහසු කාරණයක් බව ඒ දෙමාපියන් නොදන්නවා විය හැකි ය. දෘෂ්ටියක් ගත් කළ එය අතහැර වීම මහත් අපහසු කටයුත්තක් බව අප වටහා ගත යුතු ය.

එබැවින් මෙළොව අභිවෘද්ධිය, දියුණුවත් පරළොව සුගතියත් කැමැත්තා වූ සත්පුරුෂයින් විසින් නියත මිත්‍යාදෘෂ්ටික ඇසුරෙන් ඉවත් වන්නට සුදුසු ම ය. තමා දක්ෂයෙකු නම් ධර්මය හොඳින් දන්නේ නම් එබඳු ප්‍රතිබල පුද්ගලයා නියත මිත්‍යාදෘෂ්ටිකයන් ඇසුරු කළ ද නොපිරිහෙත්. එවන් දක්ෂයන් ඔවුන් ඇසුරු කොට ඔවුන් ගේ දෘෂ්ටිය සුදුසු ලෙස පිරිසිදු කිරීම යහපති. එසේ ප්‍රතිබල සම්පන්න නොවන්නහ විසින් සර්පයෙකු මෙන් ද හලාහල විසක් මෙන් ද නියත මිසදිටුවන් ඇසුර දුරින් ම දුරු කළ යුතු ය.. නොමැති නම් ඒ ඇසුර නිසා ම තමා ගේ ගුණ ජීවිතයේ අවසානය ලඟා වනු ඇත.

“සෙය්‍යථාපි, භික්ඛවෙ , නිම්බබීජං වා කොසාතකිබීජං වා තිත්තකලාබුබීජං වා අල්ලාය පථවියා නික්ඛිත්තං යඤ්චෙව පථවිරසං උපාදියති යඤ්ච ආපොරසං උපාදියති සබ්බං තං තිත්තකත්තාය කටුකත්තාය අසාතත්තාය සංවත්තති. තං කිස්ස හෙතු? බීජං හිස්ස , භික්ඛවෙ, පාපකං. එවමෙවං ඛො, භික්ඛවෙ, මිච්ඡාදිට්ඨිකස්ස පුරිසපුග්ගලස්ස යඤ්චෙව කායකම්මං යථාදිට්ඨි සමත්තං සමාදින්නං යඤ්ච වචීකම්මං…පෙ…යඤ්ච මනොකම්මං යථාදිට්ඨි සමත්තං සමාදින්නං යා ච චෙතනා යා ච පත්ථනා යො ච පණිධි යෙ ච සඞ්ඛාරා සබ්බෙ තෙ ධම්මා අනිට්ඨාය අකන්තාය අමනාපාය අහිතාය දුක්ඛාය සංවත්තන්ති. තං කිස්ස හෙතු? දිට්ඨි හිස්ස, භික්ඛවෙ, පාපිකා”ති.” 

“මහණෙනි, කොසඹ ඇටයක් හෝ තිත්ත වැටකොලු ඇටයක් හෝ තිත්ත ලබු ඇටයක් හෝ තෙත් වූ පොළවෙහි සිටවන ලද්දේ, යම්බඳු වූ පෘථිවි රසයකුත් ඇදගණීබද, යම්බඳු ආපෝ රසයකුත් ඇදගණී ද, ඒ සියලු රසය තිත්තභාවය පිණිස කටුකභාවය පිණීස, අමධුර භාවය පිණිස පවතී. ඊට හේතු කවරේ ද? මහණෙනි, බීජය ලාමක වේ ද එහෙයිනි. මහණෙනි, එපරිද්දෙන් ම මිථ්‍යාදෘෂ්ටියෙන් යුක්ත වූ පුරුෂ පුද්ගලයා විසින් යම්බඳුවූ කායකර්මයක් තමාගේ දෘෂ්ටියට එකඟවන සේ සම්පූර්ණ කරණු ලැබේ ද, මනාකොට ගන්නා ලැබේ ද, යම්බඳුවූ වාග්කර්මයක් තමාගේ දෘෂ්ටියට එකඟවනසේ සම්පූර්ණකරණු ලැබේ ද, මනාකොට ගන්නාලැබේ ද, යම්බඳුවූ මනඃකර්මයක් ස්වකීය දෘෂ්ටිය වූ පරිද්දෙන් ම සම්පූර්ණ කරණු ලැබේ ද, මනාකොට ගන්නා ලැබේ ද යම්බඳුවූ චෙතනාවක් තමාගේ දෘෂ්ටිය එකඟ වනසේ සම්පූර්ණ කරණු ලැබේ ද, මනාකොට ගන්නා ලැබේ ද, යම්බඳුවූ ප්‍රාර්ථනාවක් තමාගේ දෘෂ්ටියට එකඟ වන සේ සම්පූර්ණ කරණු ලැබේ ද,මනාකොට ගන්නා ලැබේ ද, යම්බඳු වූ අධිෂ්ඨානයක් තමාගේ දෘෂ්ටියට එකඟවන සේ සම්පූර්ණකරණු ලැබේ ද, මනාකොට ගන්නාලැබේ ද, යම්බඳු වූ (ඵස්සාදි) සංස්කාරයක් දෘෂ්ටිය වූ පරිදි සම්පූර්ණ කරණු ලැබේ ද, සමාදන්වනු ලැබේ ද, , ඒ සියලු ධර්මයෝ අයහපත පිණිස, නොකැමැති බැව් පිණිස, අමනාපය පිණිස අවැඩ පිණිස දුක් පිණිස පවතිත්. ඊට හේතු කවරේ ද? මහණෙනි යම්හෙයකින් දෘෂ්ටිය ලාමක වේ ද එහෙයිනි.

මේ දක්වන ලද්දා වූ නියත මිසදිටුවන්ගෙන් මිඳීමට ඇත්තා වූ එක ම දැක්ම නම් ‘සම්මා දිට්ඨිය’ යි. මහාචත්තාරීසක සූත්‍රාන්ත දේශණාවේ දී භාග්‍යවතුන් වහන්සේ සම්මා දිට්ඨිය ලෞකික – ලෝකෝත්තර වශයෙන් බෙදා දේශනාකොට තිබේ.

“කතමා ච, භික්ඛවෙ, සම්මාදිට්ඨි? සම්මාදිට්ඨිංපහං, භික්ඛවෙ, ද්වයං  වදාමි– අත්ථි, භික්ඛවෙ, සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤභාගියා උපධිවෙපක්කා; අත්ථි, භික්ඛවෙ, සම්මාදිට්ඨි අරියා අනාසවා ලොකුත්තරා මග්ගඞ්ගා. කතමා ච, භික්ඛවෙ, සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤභාගියා උපධිවෙපක්කා? ‘අත්ථි දින්නං, අත්ථි යිට්ඨං, අත්ථි හුතං, අත්ථි සුකතදුක්කටානං කම්මානං ඵලං විපාකො, අත්ථි අයං ලොකො, අත්ථි පරො ලොකො, අත්ථි මාතා, අත්ථි පිතා, අත්ථි සත්තා ඔපපාතිකා, අත්ථි ලොකෙ සමණබ්‍රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තී’ති – අයං, භික්ඛවෙ, සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤභාගියා උපධිවෙපක්කා.” 

 

” මහණෙනි, සම්‍යයක් දෘෂ්ටිය කුමක් ද? මහණෙනි, මම සම්‍යග්දෘෂ්ටියන් දෙපරිදි කොට කියමි. මහණෙනි, ආශ්‍රව සහිත, පුණ්‍යභාගිය වූ උපධි විපාක ගෙන දෙන සම්‍යග්දෘෂ්ටියක් ඇත. මහණෙනි, අර්‍ය්‍ය වූ අනාස්‍රව වූ ලෝකෝත්තර මාර්ගාඞ්ග වූ සම්‍යග්දෘෂ්ටියක් ඇත. මහණෙනි, ආශ්‍රව සහිත පුණ්‍යභාගිය වූ උපධි විපාක ගෙන දෙන සම්‍යග්දෘෂ්ටිය කුමක් ද? දන් දීමේ විපාක ඇත. මහා දානයේ විපාක ඇත. පිඳීමේ විපාක ඇත. කුසල අකුසල කර්මයන් ගේ ඵල විපාක ඇත. පරළොවින් මෙළොවට පැමිණීමක් ඇත. මෙළොවෙන් පරළොව යෑමක් ඇත මවට හොඳ නරක කිරීමේ කුසල අකුසල ඵල විපාක ඇත. පියාට හොඳ නරක කිරීමේ කුසල අකුසල ඵල විපාක ඇත. මැරෙණ උපදින සත්වයෝ ඇත. ලොව යම් කෙනෙක් මෙළොවත් පරළොවත් මනාව දැන ගෙන පසක් කොට ප්‍රකාශ කරන්නා වූ මනාව පිළිපන් මනාව ප්‍රතිපදාවේ පිළිපන් මහණ බමුණො ලොව ඇත. මහණෙනි, මේ ආශ්‍රව සහිත පුණ්‍යභාගිය වූ උපධි විපාක දෙන සම්මාදිට්ඨිය නම් වෙයි.”

මේ දැක්වූ කම්මස්සකතා සම්මා දිට්ඨිය වනාහි නියත මිත්‍යාදෘෂ්ටිය ඉක්ම යෑම යි. මිසදිටුයෙන් මිදුනහු ගේ දැක්ම යි,දෘෂ්ටිය යි.  ඒ දැක්ම ඉතා ම පිරිසිදු ය. නමුත් කෙලෙස් සහිත ය. පින් පැත්තට නැඹුරු ය. උපධි විපාක ගෙන දෙන්නේ ය. ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති වීමට භූමිය වන්නේ ය. ඔහු සසුන් ප්‍රතිපදාව ඇරඹීමට සුදුස්සෙකි. ඒ තමා ගේ  දෘෂ්ටිය විපරීත නැති බැවින් ය. මේ ලෞකික සම්මා දිට්ඨිය නියත මිත්‍යාදෘෂ්ටිය නැති කිරීමේ සිට ආනුලෝම ඤාණය දක්වා ම පවතින බව ද දත යුතු ය.” ආර්‍ය්‍ය සිත් ඇති අනාස්‍රව සිත් ඇති ආර්‍ය්‍යමාර්ගයෙන් යුක්ත වූ ආර්‍ය්‍යමාර්ගය වඩන්නා වූ පුද්ගලයා ගේ යම් ප්‍රඥාවක් ප්‍රඥා ඉන්ඳ්‍රියක් ප්‍රඥා බලයක් ධර්මවිචය සම්බෝධ්‍යාංගයක් සම්‍යග්දෘෂ්ටියක් මාර්ගාඞ්ගයක් ඇති ද එය ආර්‍ය්‍ය වූ අනාශ්‍රව වූ ලෝකෝත්තර මාර්ගාඞ්ග වූ සම්මාදිට්ඨිය යි. මෙසේ සෝවාන් මාර්ග චිත්තයෙන් ම ලෝකෝත්තර සම්මාදිට්ඨියට පත් වීම වන බව දත යුතු යි.

තව ද ‘සම්මා දිට්ඨි’ සූත්‍රයේ දී සාරිපුත්ත මහරහතන් වහන්සේ සම්‍යග්දෘෂ්ටියට පැමිණෙන ආකාරයන් ද තමා ගේ දෘෂ්ටිය සෘජු කරගන්නා වූ ආකාරයන් ද මනාව දේශණා කොට තිබේ. දස අකුසලය මනාව දැන වැළකීම ද දස කුසලය මනාව දැන පිළිපැදීම ද අකුසල මූලයන් පිළිබඳව මනාව දැන ගැනීම ද කුසල මූලයන් පිළිබඳව මනාව දැන ගැනීම ද චතුරායර්‍යසත්‍යය අවබෝධ ද පටිච්චසමුප්පාද ධර්මය අවබෝධ කොට ගැනීම ද යන කාරණාවන්ගෙන් පුද්ගලයා ගේ දෘෂ්ටිය කෙමෙන් පිරිසිදු වේ. දෘෂ්ටිය සෘජු ද වේ. එසේ ක්‍රමානුකූලව කම්මස්සකතා සම්මාදිට්ඨිය ද ඉන් මතු ලෝකෝත්තර සම්මාදිට්ඨිය ද ජීවිතයේ ඇති කර ගත යුතු ය. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ලෙස ම අනුපූර්ව ශික්ෂා අනුපූර්ව ක්‍රියා අනුපූර්ව ප්‍රතිපදා අනුව සුපටිපන්නව ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය ම පූරණය කර ගත යුතු ය. මුල සිට අඟ දක්වා නියත මිසිදිටු ද සම්දිටු ද  විස්තරාර්ථ වශයෙන් දක්වා ඇති බැවින් අවසාන වශයෙන් කියන්නට තිබෙන්නේ “නියත මිසදිටුවන් වෙත නො එළැඹිය යුතු යි. ඇසුරු නොකළ යුතු යි. එළඹ වෙත නොවිසිය යුතු යි. ” පාපී ඇසුර වනහි පාපී ම ය.

ධම්මො එව දිප්පතු..!

සම්පාදක
බණ්ඩාරවෙල ඤාණරුචි හිමි.

https://mahavihariyatheravadadharma-vinaya.blogspot.com/2018/09/blog-post.html