ලෝක සත්ත්‍වයන් ජාති ජරා ව්‍යාධි මරණාදී අනේකප්‍රකාර දුක්ඛයන්ගෙන් මුදවා සසරින් මුදවා එතෙර කරවීම පිණිස තථාගත බුදු පියාණන් වහන්සේ විසින් වදාල දේශනාව නානා නය ක්‍රමවලින් සමන්විතය.  ඒ වේනෙය්‍ය  ජනයාගේ (මාර්ගාවබෝධය ලැබීම පිණිස හික්මවිය යුතු ජනයාගේ ) ඇති නානත්වය නිසාමය.  දුක අවබෝධ කර ගැනීමට නම් පරමාර්ථ ධර්මයන් පිළිබඳ ව වූ ශ්‍රැතමය අවබෝධය අවශ්‍ය වේ. ඉන් නොනැවතී එම පරමාර්ථ ධර්මයන් පිරිසිඳ දැකිය යුතුය.  එම පරමාර්ථ ධර්මයන් ආධ්‍යාත්මිකව සහ බාහිර  ලෙස බෙදා දක්වමින්  කෙරෙන සුවිශේෂී දේශනාවක් සංයුක්ත නිකායෙහි සබ්බ සූත්‍රයෙහි දැක්වේ. (සංයුක්ත නිකාය – සළායතන වර්ගය – වේදනා සංයුක්තය)

“සාවත්‌ථිනිදානං. ‘‘සබ්‌බං වො, භික්‌ඛවෙ, දෙසෙස්‌සාමි. තං සුණාථ. කිඤ්‌ච, භික්‌ඛවෙ, සබ්‌බං? චක්‌ඛුඤ්‌චෙව රූපා ච, සොතඤ්‌ච සද්‌දා ච, ඝානඤ්‌ච ගන්‌ධා ච, ජිව්‌හා ච රසා ච, කායො ච ඵොට්‌ඨබ්‌බා ච, මනො ච ධම්‌මා ච – ඉදං වුච්‌චති, භික්‌ඛවෙ, සබ්‌බං.” ( සබ්බ සූත්‍රය -සංයුක්ත නිකාය – සළායතන වර්ගය – වේදනා සංයුක්තය)

“සැවැත් නුවර නිදානයයි. මහණෙනි, තොපට සියල්ල දෙසමි. එය අසව. මහණෙනි, සියල්ල යනු කිම යත්: චක්ෂුස යැ, රූපයෝ යැ ශ්‍රොත්‍ර යැ ශබ්දයෝ යැ ඝ්‍රාණ යැ ගන්ධයෝ යැ ජිහ්වා යැ රසයෝ යැ කාය යැ ස්ප්‍රෂ්ටව්‍යයෝ යැ මනස යැ ධර්මයෝ යි. මහෙණනි, මේ සියල්ල යි කියනු ලැබේ.”

මෙහි ‘මහණෙනි, තොපට සියල්ල දෙසමි’ යන තැන සියල්ල (සබ්බ) යනුවෙන් අදහස් වනුයේ කවරක් ද යැයි විමසා බැලිය යුතුවේ.

‘සබ්බං’ යන පාලි පදයේ අර්ථය නම් සියල්ල යන්නයි. සබ්බ යන්නෙහි වචනාර්ථය සියල්ල වුවද ධර්මයෙහි  ඇතැම් තැනක එම පදයෙන් සියල්ල යන්න අදහස් නොවේ.  සබ්බ පදය ත්‍රිපිටකයෙහි ආකාර සතරකින් පැමිණේ.

  1. සබ්‌බ සබ්‌බය
  2. ආයතන සබ්‌බය
  3. සක්කාය සබ්‌බය
  4. ප්‍රදේශ සබ්‌බය

 

  1. සබ්‌බ සබ්‌බය

අනවශේෂ වශයෙන් සියලු ධර්මතා මේ යටතට ගැනේ. එනම් චිත්ත, චෛතසික, රූප, නිර්වාණ යන සතර පරමාර්ථ ධර්ම සහ ප්‍රඥප්ති මීට ඇතුලත් වේ. සබ්‌බ සබ්‌බයට ඇතුලත් නොවන දෙයක් නැත.

 ‘‘න තස්‌ස අද්‌දිට්‌ඨමිධඅත්‌ථි කිඤ්‌චි – අථො අවිඤ්‌ඤාතමජානිතබ්‌බං;

සබ්‌බං අභිඤ්‌ඤාසි යදත්‌ථි නෙය්‍යං – තථාගතො තෙන සමන්‌තචක්‌ඛූ’’ති.

ඒ තථාගතයන් විසින් මේ ත්‍රෛධාතුක ලොකයෙහි (මෙකල හෝ) පැනැසින් නුදුටු කිසිවෙක් නැත. යළි (අතීත වූ) නො දත් කිසිවෙක් නැත, (අනාගත වූ) නො දැනෙන කිසි (ධර්‍මජාතයෙකු) දු නැත, දතයුතු වු යම් ධර්‍මජාතයෙක් වේ නම් ඒ සියල්ල අවබොධ කළහ. එහෙයින් තථාගතයෝ සමන්තචක්ඛු වූහ. (පටිසම්භිදාමග්ගපාලි- මහාවර්ගය-ඤාණකථා -සර්‍වඥතාඥානනිර්දේශය.)

ඉහත ගාථාවෙන් දැක්වෙනුයේ බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥානයයි. සර්වඥතා ඥානයට විෂය නොවන දෙයක් නැත.

  1. ආයතන සබ්‌බය

ත්‍රිපිටක දේශනාවේ ඇතැම් තැනක සබ්බ පදයෙන් කියවෙනුයේ ආයතන සියල්ලයි. එනම් දොළොස් ආයතනයෝය. සබ්බ සූත්‍රයේ ‘‘සබ්‌බං වො, භික්‌ඛවෙ, දෙසෙස්‌සාමි, තං සුණාථා – ‘මහණෙනි, තොපට සියල්ල දෙසමි’’’ (සංයුක්ත නිකාය-සළායතන වර්ගය-වේදනා සංයුක්තය) යන පාඨයෙහි සබ්බං යනු චක්‌ඛායතනය, රූපායතනය, සොතායතනය, සද්‌දායතනය, ඝානායතනය, ගන්‌ධායතනය, ජිව්‌හායතනය, රසායතනය, කායායතනය, ඵොට්‌ඨබ්‌බායතනය, මනායතනය, ධම්‌මායතනය යන ආයතන දොළොසය. ආයතන දොළොස යටත‍ට සංග්‍රහ කෙරෙන චිත්ත, චෛතසික, රූප, නිර්වාණ පමණක් මීට ඇතුලත් වේ.

චක්ෂුරාදි මේ දොළොස කුමක් හෙයින් ආයතන නම් වේද?  ආකාර කිහිපයකින් මෙම පදය විස්තර කෙරේ.

  • “ ආයතනතෝ ” – චක්ෂු රූපාදීන් කෙරෙහි ඒ ඒ ද්වාරාලම්බණයෙහි හටගන්නා වූ චිත්ත චෛතසික ධර්මයෝ තම තමාගේ අනුභවනාදි කෘත්‍යයෙන් හටගනිත්නුයි ගැටෙත්නුයි නැගිටිත්නුයි උත්සාහකෙරෙත්නුයි ආයතන නම් වෙයි කියන ලදී.   (චක්ඛුරූපාදීසු හි තංතංද්වාරාරම්මණා චිත්තචෙතසිකා ධම්මා සෙන සෙන අනුභවනාදිනා කිච්චෙන ආයතන්ති උට්ඨහන්ති ඝට්ටෙන්ති වායමන්තීති වුත්තං හොති. )
  • “ ආයානං තනනතෝ ” – ආය නම් රැස් කිරීමයි. ආයසඞ්ඛ්‍යාත වූ ඒ ඒ චිත්ත චෛතසික ධර්මයන් චක්ෂුරාදි දොළොස් ධර්මයෝ තුමූ විස්තර කෙරෙත්නුයි ප්‍රකට කෙරෙත්නුයි ඔවුහු ආයතයෝ නම් වෙති.( තෙ ච පන ආයභූතෙ ධම්මෙ එතානි තනොන්ති විත්ථාරෙන්තීති වුත්තං හොති.)
  • “ආයතස්සච නයනතෝ”- අනවරාග්‍ර සංසාරයෙහි හටගන්නා වූ අතිශයින් දික් වූ සංසාර දුක්ඛය යම් තාක් නොනවත්නේ වේද ඒ තාක් කල් ගෙන යන අර්ථයෙන් මේ දොළොස් ධර්මය ආයතන නම් වෙයි කියන ලදී. (ඉදඤ්ච අනමතග්ගෙ සංසාරෙ පවත්තං අතීව ආයතං සංසාරදුක්ඛං යාව න නිවත්තති තාව නයන්තෙව, පවත්තයන්තීති වුත්තං හොති. )

තවද (1)නිවාසාර්ථයෙන්ද (2)ආකරාර්ථයෙන්ද (3)සමෝසරණර්ථයෙන්ද (4)සංජාතිදේශාර්ථයෙන්ද (5)කාරණාර්ථයෙන්දැයි යන පඤ්ච අර්ථයකින් ආයතන නම් වන බව දත යුතුයි. ලෝකයෙහි ඉස්සරායතනය වාසුදේවායතනය යනාදියෙහි ඒ ඒ දෙවියන්ගේ වාසස්ථානය ආයතන යයි කියන ලදී. ස්වර්ණායතනය රජතායනය යනාදියෙහි රන් රිදී ආදීන්ගේ උපදින ස්ථානය හෙවත් ආකරාර්ථය ආයතන යයි කියන ලදී. මේ උදාහරණ ද්වයම ලෝකයෙහි ව්‍යවහාර මාත්‍රයකි. සාසනයෙහි වනාහි “ම‍නෝරමේ ආයතනේ සේවන්ති නං විහඞ්ගමා” යනාදියෙහි සමෝසරණාර්ථය ඒ ඒ දිගින් අවුත් බැස ගන්නා ස්ථානය ආයතන යයි කියන ලදී. “දක්ඛිණපථෝගුන්නං ආයතනං” යනාදියෙහි සංජාත දේශය ආයතන යයි කියන ලදී. “තත්‍ර තත්‍රේව සක්ඛිභබ්බතං පාපුණාති සති සති ආයතනේ” යනාදියෙහි කාරණයෙහි ආයතන ශබ්දය පවත්නේයි. මේ පඤ්චාර්ථයම චක්ෂුරාදි දොළොසෙහි යෙදෙන්නේයි.

ඒ කෙසේද යත්,

  1. “ආයතන්ති නිවසන්ති එත්ථ චිත්තචතසිකාධම්මා තදායත්තවුත්තිතායාති ආයතනානි” යන නිර්වචනයට අනුව ඒ චක්ෂු රූපාදීන් කෙරෙහි චිත්ත චෛතසික ධර්මයෝ ආයක්තව පැවතීමෙන් ඔවුන් නිශ්‍රය කොට ගෙන වාසයකරත්නුයි, උපදිත්නුයි ආයතන නම් වෙත්. මෙසේ චක්ෂුරාදීහු චිත්ත චෛතසික ධර්මයන්ට නිවාසස්ථාන වන හෙයින් ආයතන නම් වෙත්.
  2. චක්ෂුරාදීන් කෙරෙහි ඒ චිත්ත චෛතසික ධර්මයෝ ආකීර්ණව (ගැවසීගෙන) පවත්නා හෙයින් ඒ චිත්ත චෛතසික ධර්මයන්ට චක්ෂුරාදීහු ආකරයක් වැනි හෙයින් ආකරාර්ථයෙන්ද ආයතන නම් වෙත්‍.
  • ඒ ඒ ආයතනයෙහි වස්තුද්වාරාලම්බණ වශයෙන් සමෝසරණය හෙවත් බැස ගන්නා අර්ථයෙන් චක්ෂුරාදීහු ඒ චිත්ත චෛතසික ධර්මයන්ගේ බැස ගැනීමට ස්ථානයක් බදු හෙයින් ආයතන නම් වෙත්.
  1. ඒ නිශ්‍රය ප්‍රත්‍යය ආලම්බන ප්‍රත්‍යභාවයෙන් ඒ ඒ ආයතනයෙහිම උපදනා හෙයින් චක්ෂුරාදීහු ඒ චිත්ත චෛතසික ධර්මයන්ගේ සංජාති දේශාර්ථයෙන් ආයතන නම් වෙත්.
  2. ඒ චක්ෂුරූපාදීන්ගේ අභාවයෙන් චිත්ත චෛතසික ධර්මයන්ගේ හටගැන්මක් නැති හෙයින් චක්ෂුරාදීහු ඒ චිත්ත චෛතසික ධර්මයන්ගේ හටගැනීමට කාරණ (හේතු) වන අර්ථයෙන් ආයතන නම් වෙත්.

මෙසේ නිවාසාර්ථය, ආකරාර්ථය, සමෝසරණර්ථය, සංජාතිදේශාර්ථය, කාරණර්ථය යන පඤ්චප්‍රකාර අර්ථයකින් ආයතන නම් වන බව දත යුතුයි. එහෙයින් යථෝක්තාර්ථයෙන් “චක්ඛුච තං ආයතනඤ්චාති චක්ඛායතනං” යන සමාස විග්‍රහ වශයෙන් චක්ෂුප්‍රසාද වූයේත් හේමය, ආයතන වූයේත් හේමනුයි. චක්ඛායතන නම් වෙයි. සෙසු එකොළොස් ආයතනයන්හිද මෙම නයින් අර්ථ දත යුත්තේය.

 ද්වාදස ආයතන පරමාර්ථ ධර්ම වශයෙන්

ආයතනය පරමාර්ථ ධර්ම
චක්‌ඛායතනය  චක්ඛු ප්‍රසාද රූපය
රූපායතනය වර්ණ රූපය
සොතායතනය සෝත ප්‍රසාද රූපය
සද්‌දායතනය ශබ්ද රූපය
ඝානායතනය ඝාන ප්‍රසාද රූපය
ගන්‌ධායතනය ගන්ධ රූපය
ජිව්‌හායතනය ජිව්හා ප්‍රසාද රූපය
රසායතනය රස රූපය
කායායතනය කාය ප්‍රසාද රූපය
ඵොට්‌ඨබ්‌බායතනය පඨවි. තේජෝ, වායෝ
මනායතනය සිත් 89
ධම්‌මායතනය චෛතසික 52, සුඛුම රූප 16

 

  1. සක්කාය සබ්‌බය

සත්කාය යනු පඤ්ච උපාදානස්කන්ධයෝ ය. ‘සක්‌කායො සක්‌කායො’ති, අය්‍යෙ, වුච්‌චති. කතමො නු ඛො, අය්‍යෙ, සක්‌කායො වුත්‌තො භගවතා’’ති? ‘‘පඤ්‌ච ඛො ඉමෙ, ආවුසො විසාඛ, උපාදානක්‌ඛන්‌ධා සක්‌කායො වුත්‌තො භගවතා, සෙය්‍යථිදං – රූපුපාදානක්‌ඛන්‌ධො, වෙදනුපාදානක්‌ඛන්‌ධො, සඤ්‌ඤුපාදානක්‌ඛන්‌ධො, සඞ්‌ඛාරුපාදානක්‌ඛන්‌ධො, විඤ්‌ඤාණුපාදානක්‌ඛන්‌ධො. ඉමෙ ඛො, ආවුසො විසාඛ, පඤ්‌චුපාදානක්‌ඛන්‌ධා සක්‌කායො වුත්‌තො භගවතා’’ති-භාග්‍යවතුන් වහන්සේ විසින් මේ උපාදානයනට ප්‍රත්‍යය වූ ස්කන්‍ධ පස ‘සත්කාය’යි වදාරන ලද්දේය. හෙ කෙසේද යත්: රූපොපාදානස්කන්‍ධය, වෙදනොපාදානස්කන්‍ධය, සංඥොපාදානස්කන්‍ධය, සංස්කාරොපාදානස්කන්‍ධය, විඥානොපාදානස්කන්‍ධයි. ඇවැත විසාඛයෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ පඤෙචාපාදානස්කන්‍ධ ‘සත්කාය’ යි වදාරන ලදී. (චූළවේදල්ල සූත්‍රය-මජ්ඣිමනිකාය- මූල පණ්ණාසකය). පඤ්ච උපාදානස්කන්ධයට අයත් වන පරමාර්ථ ධර්ම වශයෙන් කාම, රූප, අරූප යන භවත්‍රයට අයත් සිත් 81, චෛතසික 52 සහ රූප 28 මීට අයත් වේ. මූලපරියාය සූත්‍රයෙහි ‘‘සබ්‌බධම්‌මමූලපරියායං වො, භික්‌ඛවෙ, දෙසෙස්‌සාමි –මහණෙනි, තොපට සියලු සත්කායධර්මයනට මුලකාරණය දේශනා කරන්නෙමි. එය අසවු. මනා කොට මෙනෙහි කරවූ. දේශනා කරන්නෙමි’’ (මූලපරියාය සූත්‍රය- මජ්ඣිම නිකාය-මූල පණ්ණාසකය) යන තැන ‘සබ්බ’ පදයෙන් අදහස් කරනුයේ පඤ්ච උපාදානස්කන්ධ සංඛ්‍යාත වූ සක්කාය සබ්‌බයයි.

  1. ප්‍රදේශ සබ්බය

“තත්‌ථ කතමා මනොධාතු? චක්‌ඛුවිඤ්‌ඤාණධාතුයා උප්‌පජ්‌ජිත්‌වා නිරුද්‌ධසමනන්‌තරා උප්‌පජ්‌ජති චිත්‌තං මනො මානසං හදයං පණ්‌ඩරං මනො මනායතනං මනින්‌ද්‍රියං විඤ්‌ඤාණං විඤ්‌ඤාණක්‌ඛන්‌ධො තජ්‌ජාමනොධාතු; සොතවිඤ්‌ඤාණධාතුයා … පෙ .… ඝානවිඤ්‌ඤාණධාතුයා … පෙ .… ජිව්‌හාවිඤ්‌ඤාණධාතුයා …පෙ .… කායවිඤ්‌ඤාණධාතුයා උප්‌පජ්‌ජිත්‌වා නිරුද්‌ධසමනන්‌තරා උප්‌පජ්‌ජති චිත්‌තං මනො මානසං හදයං පණ්‌ඩරං මනො මනායතනං මනින්‌ද්‍රියං විඤ්‌ඤාණං විඤ්‌ඤාණක්‌ඛන්‌ධො තජ්‌ජාමනොධාතු සබ්‌බධම්‌මෙසු වා පන පඨමසමන්‌නාහාරො උප්‌පජ්‌ජති චිත්‌තං මනො මානසං හදයං පණ්‌ඩරං මනො මනායතනං මනින්‌ද්‍රියං විඤ්‌ඤාණං විඤ්‌ඤාණක්‌ඛන්‌ධො තජ්‌ජාමනොධාතු – අයං වුච්‌චති ‘‘මනොධාතු’’ –එහි මනෝධාතු කවර යත්: චක්ෂුර්විඥානධාතූහු ඉපිද නිරද්ධ වූවහුට සමනන්තර ව චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් භවාංග සිතෙක් මනසෙක් මනායතනයෙක් මනින්ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්ධයෙක් තදනුරූප මනෝවිඥානධාතුයෙක් උපදී ද, ශ්‍රොත්‍රවිඥානධාතූහු … ඝ්‍රාණවිඥානධාතූහු … ජිහ්වාවිඥානධාතූහු … කායවිඥානධාතූහු ඉපිද නිරුද්ධ වූවහුට සමනන්තර ව චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් භවාංග සිතෙක් මනසෙක් මනායතනයෙක් මනින්ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්ධයෙක් තදනුරූප වූ මනෝධාතුයෙක් (උපදී ද) යලි සියලු දහමුන් හෝ උපදනා කල්හි ප්‍රථම සමන්නාහාරය වූ චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් භවාංග සිතෙක්, මනසෙක් මනායතනයෙක් මනින්ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්ධයෙක් තදනුරූප වූ මනෝධාතුයෙක් උපදී ද, මේ මනෝධාතු යි කියනු ලැබේ.” ( විභංගප්‍රකරණය – ධාතුවිභඞ්‌ගය)

මෙහි ‘සියලු දහමුන් හෝ උපදනා කල්හි’ (සබ්‌බධම්‌මෙසු වා පන පඨමසමන්‌නාහාරො )  යනුවෙන් අදහස් වනුයේ පඤ්චද්වාරාවජ්ජන කෘත්‍යය සිදු කරන්නා වූ මනෝ ධාතුවයි.  මෙහි ‘සබ්බ’ යන්නෙන් අදහස් කරනුයේ පඤ්චද්වාරාවජ්ජන සිතට අරමුණු වන රූප, සද්ද, ගන්‍ධ, රස, ඵොට්ඨබ්බ යන පඤ්චාරම්මණික මාත්‍රයෝය.  පඤ්ච ආරම්මණයන්ට සියලු දේ අරමුණු නොවී කොටසක් පමණක් අරමුණු වන නිසා ‘ප්‍රදේශ සබ්බ’ යන නම මෙහි යෙදේ.

ඉහත සබ්බ සතර අතරින් මෙම සූත්‍රයට අදාල වනුයේ ආයතන සබ්බයයි. (ඉමස්‌මිං පන සුත්‌තෙ ආයතනසබ්‌බං අධිප්‌පෙතං – සංයුත්තනිකායට්ඨකථා – සබ්‌බසුත්‌තවණ්‌ණනා )

“යො, භික්‌ඛවෙ, එවං වදෙය්‍ය – ‘අහමෙතං සබ්‌බං පච්‌චක්‌ඛාය අඤ්‌ඤං සබ්‌බං පඤ්‌ඤාපෙස්‌සාමී’ති, තස්‌ස වාචාවත්‌ථුකමෙවස්‌ස; පුට්‌ඨො ච න සම්‌පායෙය්‍ය, උත්‌තරිඤ්‌ච විඝාතං ආපජ්‌ජෙය්‍ය. තං කිස්‌ස හෙතු? යථා තං, භික්‌ඛවෙ, අවිසයස්‌මි’’න්‌ති”

“මහණෙනි, යමෙක් “මම තෙල සියල්ල පිළිකෙව් කොට අන් සියල්ලක් පනවමි” යි මෙසේ කියා නම් ඔහුගේ ඒ වදන් වචන මාත්‍ර මැ වන්නේ යැ. පැනයක් විමසුවහොත් පිළිතුරු දීමට නොහැකිය. මතුව විඝාතයට ද පැමිණෙයි. එ් කවර හෙයින් යත්: මහණෙනි, අවිෂය හෙයිනි යි.”

ඉහතින් පනවන ලද දොලොස ප්‍රතික්ෂේප කොට ’අන් සියල්ලක් පනවමි’ යැයි එම ආයතන දොළොසින් අන්‍ය වූ විද්‍යමාන ධර්මයක් (ස්වභාව ධර්මයක්) පැනවීමට නොහැකි වන්නේය.  කවරක් අන්‍ය වූ ‘සියල්ල‘ යැයි පැනයක් විමසුවහොත් මෙය නම් අන්‍ය වූ සියල්ල යැයි වචනයෙන් ප්‍රකාශ කිරීමට නොහැකිය.  මතුයෙහි විඝාතයට, දුක්ඛයට පැමිණෙන්නේය.  කවර හෙයකින් ද යත් අවිෂයෙහි ප්‍රශ්නය අසනා ලද බැවිනි.  අවිෂයෙහි යමක් විචාරන විට එය සත්වයන්ගේ විඝාතයට හේතු වේ.  කූටාගාරයක් පමණ වූ ගල් පර්වතයක් හිසින් ඔසවාගෙන ගැඹුරු වූ ජලයක් තරණය කිරීම අවිෂය වේ.  එමෙන්ම හිරු සඳු දෙක ඇද දමා පහළට හෙලීමද අවිෂය වේ.  ඒ අවිෂයෙහි උත්සාහ කරනුයේ විඝාතයටම පැමිණේ.  මෙසේ විෂයෙහි අන් පැනවීමක් කිරීමට වෑයම්කරනුයේ විඝාතයට පත්වේ. (පච්‌චක්‌ඛායාති පටික්‌ඛිපිත්‌වා…………ඉමානි පන ද්‌වාදසායතනානි අතික්‌කමිත්‌වා අයං නාම අඤ්‌ඤො සභාවධම්‌මො අත්‌ථීති දස්‌සෙතුං න සක්‌කුණෙය්‍ය. පුට්‌ඨො ච න සම්‌පායෙය්‍යාති, ‘‘කතමං අඤ්‌ඤං සබ්‌බං නාමා’’ති? පුච්‌ඡිතො, ‘‘ඉදං නාමා’’ති වචනෙන සම්‌පාදෙතුං න සක්‌කුණෙය්‍ය. විඝාතං ආපජ්‌ජෙය්‍යාති දුක්‌ඛං ආපජ්‌ජෙය්‍ය. යථා තං, භික්‌ඛවෙ…………..යථාති කාරණවචනං, යස්‌මා අවිසයෙ පුට්‌ඨොති අත්‌ථො. අවිසයස්‌මිඤ්‌හි සත්‌තානං විඝාතොව හොති, කූටාගාරමත්‌තං සිලං සීසෙන උක්‌ඛිපිත්‌වා ගම්‌භීරෙ උදකෙ තරණං අවිසයො, තථා චන්‌දිමසූරියානං ආකඩ්‌ඪිත්‌වා පාතනං, තස්‌මිං අවිසයෙ වායමන්‌තො විඝාතමෙව ආපජ්‌ජති, එවං ඉමස්‌මිම්‌පි අවිසයෙ විඝාතමෙව ආපජ්‌ජෙය්‍යාති අධිප්‌පායො –සංයුත්තනිකායට්ඨකථා – සබ්‌බසුත්‌තවණ්‌ණනා)

මෙම සූත්‍රයෙහි බුදුරජාණන් වහන්සේ පනවා වදාලේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් ත්‍රිලක්‍ෂණ විදර්ශනාවට ලක් කළ යුතු ආයතනයෝය.  ඉහත “සබ්බ සබ්බයට” ඇතුලත් වන ප්‍රඥප්ති මෙම සූත්‍රයට අදාළ නොවේ.  එම නිසා මෙම සූත්‍රයෙහි නොමුලා වී බුද්ධ භාවිතයෙහි එන නිවැරදි අර්ථය ගෙන ද්වාදස ආයතනයන්ගේ නිරෝධය පිණිස වන ප්‍රතිපදාවේ අප්‍රමාදීව යෙදීමට  ධර්මකාමීහු වෑයම් කළ යුතු වේ.

සම්පාදක
පූජ්‍ය කඩුවෙල අතුලඤාණ හිමි

 

පරිගණක අකුරු සැකසුම

වැලියට් රත්නසීලී මිය

උපේක්‍ෂා පියරංගිකා මිය