තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සියලු බුද්ධ වචනය ත්‍රිපිටක ධර්මය ලෙස හැඳින්වේ. එහි ලා මූලික වශයෙන් දේශනා කරන ලද දේශනය පෙළ හෙවත් සූත්‍රය ලෙස හඳුන්වන අතර එහි අර්ථ වර්ණනාව අටුවාව හෙවත් අර්ථකථාව නම් වේ. එකී අර්ථකථාව බුදුරජාණන් වහන්සේගේම දේශනය ඇසුරෙන් සකස් කරන ලද හෙයින් බුද්ධභාෂිතයක් ලෙස සම්භාවනාවට පාත්‍ර වේ. මහින්දාගමනයෙන් ලක්දිවට බුදුදහම දායාද වීමේ දී එකී අර්ථකථනයන් ද සහිත ත්‍රිපිටක ධර්මය ලක්දිවට රැගෙන එන ලදී. පසුකාලීනව එකී අර්ථකථනය ලක්දිව මහරහතන් වහන්සේලා විසින් සිංහල බසින් පවත්වාගෙන පැමිණි අතර ක්‍රි. ව. 5 වන සියවසේ දී පමණ ලක්දිවට සපැමිණි බුද්ධඝොෂ නම් මහාප්‍රාඥ තෙරුන්වහන්සේ නමක විසින් ඒ සීහළ අර්ථකථාව මාගධී (පාළි) භාෂාවට පරිවර්තනය කරන ලදී. එසේ පරිවර්තනය කර පිළියෙල කරන්නට යෙදුණු පාළි අර්ථකථා වර්තමානයේ ව්‍යවහාරයේ පවතී. එසේ බුද්ධඝෝෂ ආචාර්යයන් වහන්සේ විසින් පාළි අර්ථකථා සකස් කිරීම පිළිබඳ ගිහි පැවිදි බොහෝ දෙනා අතර නොයෙක් මතවාද වර්තමානයේ පවතී. ඇතමෙක් පවසන්නේ බුද්ධඝෝෂ හිමියන් විසින් ස්වකීය මතවාදයන් අර්ථකථාවන්හි ඇතුළත් කළ බවයි. එසේ බුද්ධඝෝෂ හිමියන් විසින් සකස් කරන්නට යෙදුණු අර්ථකථා ඇසුරෙන් බුද්ධවචනය විකෘති වන බව ඇතමෙකුගේ අදහසයි. එහෙයින් අර්ථකථාචාර්ය බුද්ධඝෝෂ හිමියන් විසින් කරනලද කටයුත්ත කෙබඳු ද? ඒ පිළිබඳව නවීන විචාරකයන්ගේ මතවාද මොනවාද? සහ අර්ථකථා පිළිබඳ ගිහි පැවිදි දෙපාර්ශවයටම ඇති ගැටළු පිළිබඳ ත්‍රිපිටකානුකූලව ලබාදිය හැකි පිළිතුරු මොනවාද යන්න විමසා බැලීම මෙම ලිපි පෙළේ අරමුණ වේ.

අර්ථකථාව යනු කුමක් ද?

බුද්ධඝෝෂ මාහිමියන් විසින් විරචිත සමන්තපාසාදිකා විනය අර්ථකථාවේ ප්‍රාරම්භක ගාථාවන්හි අර්ථකථාව යනු කුමක්ද යන්න පිළිබඳව අදහසක් ගෙන දෙන ගාථාවක් මෙසේ ය.

බුද්ධෙන ධම්මො විනයො ච වුත්තො – යො තස්ස පුත්තෙහි තථෙව ඤාතො

සො යෙහි තෙසං මතිමච්චජන්තා – යස්මා පුරෙ අට්ඨකථා අකංසු[1]

මෙහි සරල අර්ථය වන්නේ ‘බුදුරජාණන් වහන්සේ විසින් යම් ආකාරයකින් යම් ධර්මයක් ද විනයක් ද දේශනා කරන ලද්දේ ද, ඒ ධර්මවිනය ඒ බුදුරජාණන් වහන්සේගේම පුත්‍ර වූ මහාකාශ්‍යප ආදී තෙරුන් වහන්සේලා විසින් ඒ ආකාරයෙන් ම දැනගත්තේ ද, ඒ බුද්ධපුත්‍රයන් වහන්සේලාගේ අදහස අත නොහැර සීහළ අර්ථකථාචාර්යයන් වහන්සේලා පෙර අර්ථකථා කළාහුය’ යන්නයි.

මෙම ගාථාවෙන් බුදුගොස් ඇදුරුපාණෝ සිය අර්ථකථාකරණයට මූලාශ්‍ර කරගත් හෙළ අර්ථකථාව බුද්ධදේශනාව අනුව ගිය අර්ථ විවරණයක් බව හෙළි කරයි. බුදුරජාණන් වහන්සේලා ධර්ම දේශනා කිරීමේ දී අති දීර්ඝ ධර්මදේශනයන් පවත්වන බවත් ඒ සියල්ල පෙළ වශයෙන් හඳුන්වන ත්‍රිපිටක සූත්‍රයෙහි අන්තර්ගත නොවන බව බොහෝ සූත්‍ර දේශනා වලින් හෙළි වේ. ධර්මශ්‍රවණය කරන ඇතැම් අය සෝවාන් ආදී මාර්ගඵලයන්ට පමුණුවමින් සෙසු අයට සුගතිගාමී වීමට උපනිශ්‍රය සම්පත් සාදාලමින් මෙසේ දීර්ඝ දේශනයක් පවත්වන බව පැවසේ. එසේ පෙළට ඇතුළත් නොවූ බුදුරජාණන් වහන්සේගේ දීර්ඝ දේශනය ප්‍රකීර්ණක ධර්ම දේශනය ලෙස හැඳින්වේ. එම ප්‍රකීර්ණක ධර්ම දේශනය ඒ බුදුරජාණන් වහන්සේගේ සමීපචාරී සාරිපුත්ත, මහාකාශ්‍යප ආදී මහරහතන් වහන්සේලා විසින් ඒ ආකාරයෙන්ම දැනගන්නා ලදී. එබැවින් ඒ මහරහතන් වහන්සේලා විසින් ද ඇතැම් අවස්ථාවල දී බුදුරජාණන් වහන්සේ විස්තර කරන ආකාරයට ම ධර්ම කරුණු විස්තර කරමින් සෙසු භික්ෂූන්ට දහම් දේශනා කරන ලදී. සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් දේශනා කරන ලද සච්චවිභංග සූත්‍රාදිය, මහාකච්චායන මහරහතන්වහන්සේ විසින් දේශිත මධුපිණ්ඩික, මහාකච්චායන භද්දේකරත්ත ආදී සූත්‍ර, ආනන්ද මාහිමියන් විසින් දේශිත සේඛ සූත්‍රාදිය මේ සඳහා නිදසුන් ලෙස දැක්විය හැකි වේ. ඒ ධර්මදේශනයන් බුදුරජාණන් වහන්සේ ද අනුමත කරමින් තමන්වහන්සේ දේශනා කරන ලද්දේ නම් ඒ ආකාරයෙන්ම දේශනා කරන බව ද වදාළ සේක.

ඒ බුදුරජාණන් වහන්සේ ගේ සමීපචාරී වූ මහාකාශ්‍යප මහරහතන් වහන්සේ මුල් වී පවත්වන ලද ප්‍රථම ධර්ම සංගායනාවේ දී මෙම ප්‍රකීර්ණක ධර්මදේශනා සංඛ්‍යාත අර්ථකථාව ද සංගායනා කරන ලදී. අනතුරුව භාණක පරම්පරා විසින් ත්‍රිපිටකයේ ඒ ඒ කොටස් භාරගෙන මුඛ පරම්පරාවෙන් පවත්වාගෙන ආ අතර ඒ ඒ කොටසට අදාළ අර්ථකථාව ද එසේම මුඛ පරම්පරාවෙන් පවත්වාගෙන එන ලදී. මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට බුදුදහම රැගෙන ඒමේ දී මෙම අර්ථවරණනාවන්ද සමග ත්‍රිපිටක ධර්මය රැගෙන එන ලදී. ඒ සමස්ථ ධර්මය මාගධී (පාළි) භාෂාවෙන්ම පැවති අතර පසුකාලීනව සිංහල මහරහතන් වහන්සේලා විසින් අර්ථකථාව සිංහල බසින් පවත්වාගෙන ආහ. එසේ පවත්වාගෙන පැමිණි අර්ථකථාව බුදුරජාණන් වහන්සේගේ ප්‍රකීර්ණක ධර්මදේශනය ඇසුරෙන් මහාකාශ්‍යප ආදී මහරහතන් වහන්සේලා විසින් පවත්වාගෙන ආ අර්ථකථාවම බව ඉහත ගාථාවෙන් පැහැදිලි වේ. උන්වහන්සේලාගේ අදහස අතනොහැරම ලක්දිව වැසි සිංහල මහරහතන් වහන්සේලා විසින් හෙළ අර්ථකථාව කරන ලද බව ඉන් පැවසේ. තවදුරටත් දීඝනිකායාර්ථකථාවේ  මෙම පුවත සඳහන් වන්නේ මෙසේය.

අත්ථප්පකාසනත්ථං අට්ඨකථා ආදිතො වසීසතෙහි – පඤ්චහි යා සඞ්ගීතා අනුසඞ්ගීතා ච පච්ඡාපි

සීහලදීපං පන ආභතාථ වසිනා මහාමහින්දෙන – ඨපිතා සීහලභාසාය දීපවාසීනමත්ථාය [2]

එහි අර්ථය නම්, ‘අර්ථ ප්‍රකාශ කරනු පිණිස කරන ලද අර්ථකථාව මුලින්ම පන්සියයක් වසීප්‍රාප්ත මහරහතන් වහන්සේලා විසින් සංගායනාවට ලක් කරන ලද්දේ, පසුව ද දෙවන තුන්වන සංගීතීන්හා යළි සංගායනා කරන ලද්දේ, වසීප්‍රාප්ත මහා මහින්ද මහරහතන් වහන්සේ විසින් සීහලදීපයට රැගෙන එන ලදී. අනතුරුව සීහලදීපයේ වාසයකරන්නවුන්ගේ ප්‍රයෝජනය පිණිස සීහලභාෂාවෙන් තබන ලදී’ යනුවෙනි. එසේ සීහල බසින් තබන ලද අර්ථකථාව හෙළඅටුවාව නම් වූ අතර වළගම්බා රජ සමයේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමේ දී පොත් වල ලියන ලදී. මෙසේ ලියන ලද ප්‍රධාන හෙළ අටුවා ග්‍රන්ථ තුනක් එකල තිබී ඇත. එනම් මහා අට්ඨකථාව, මහාපච්චරිය අට්ඨකථාව හා කුරුන්දි අට්ඨකථාව නමිනි. බුද්ධඝෝෂ ආචාර්යයන් වහන්සේ මහා අට්ඨකථාව පදනම් කරගෙන සෙසු අර්ථකථාවන්හි ගතයුතු විනිශ්චයන් ද අත නොහැර අටුවා මාගධී භාෂාවට පරිවර්තනය කරන ලදී.

මෙසේ බුදුරජාණන් වහන්සේගේ දේශනය ඇසුරෙන් අර්ථකථාව සකස් වී ඇති බැවින් එය බුද්ධ දේශනයක් ලෙස ථෙරවාදීන්ගේ සම්භාවනාවට පාත්‍ර වේ. ඒ නිසාම ටීකා ග්‍රන්ථයන් හි ‘න හි භගවතා අබ්‍යාකතං නාම තන්‌තිපදං අත්‌ථි, සබ්‌බෙසංයෙව අත්‌ථො කථිතො, තස්‌මා සම්‌මාසම්‌බුද්‌ධෙනෙව තිණ්‌ණං පිටකානං අත්‌ථවණ්‌ණනාක්‌කමොපි භාසිතොති දට්‌ඨබ්‌බං. තත්‌ථ තත්‌ථ භගවතා පවත්‌තිතා පකිණ්‌ණකදෙසනායෙව හි අට්‌ඨකථා.’[3] යැයි සඳහන් වේ. එහි අර්ථය වන්නේ ‘භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා නොකරන ලද ත්‍රිපිටක ධර්මයක් නම් නැත්තේය. සියලුම දේශනයන්හි අර්ථය දේශනා කරන ලද්දේය. එබැවින් සම්මාසම්බුදුරජාණන් වහන්සේ විසින්ම ත්‍රිපිටකයේ අර්ථ වර්ණනාවද වදාළ බව දත යුතුය. ඒ ඒ අවස්ථාවේ භාග්‍යවතුන් වහන්සේ විසින් පවත්වන ලද ප්‍රකීර්ණක ධර්ම දේශනයම අර්ථකථාව වේ’ යනුවෙනි. බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ත්‍රිපිටක පෙළ දේශනය පළමු ධර්ම සංගායනාවේ දී සංගීතිකාරක මහරහතන් වහන්සේලා විසින් ‘එවං මෙ සුතං’ ආදී පාඨ එක් කරමින් සකස් කොට සංග්‍රහ කරන ලද අතර එය බුද්ධදේශනයක් ලෙස සියලු දෙනාම පිළිගනිත්. එසේම බුදුරජාණන් වහන්සේ ඒ ඒ තැන පවත්වන ලද විස්තරාත්මක ධර්මදේශනය ද පළමු ධර්මසංගායනාවේ දී සංගීතිකාරක මහරහතන් වහන්සේලා විසින් අර්ථකථාව ලෙස සංග්‍රහ කරන ලදී. එහිදී එකම අර්ථ විවරණය බොහෝ සූත්‍ර වල පැමිණෙන අවස්ථා වලදී ඒවායේ පුනරුක්තීන් (යළි යළි කීම්) ඉවත් කොට, අවශ්‍ය අවස්ථාවල දී බුද්ධ දේශනය අනුව උපමා කථා ආදිය ඇතුළත් කරමින් සමස්ථ ත්‍රිපිටකයට ගැළපෙන අර්ථකථාවක් ලෙස සකස් කරන ලදී. එසේ සකස් කරන ලද අර්ථකථාව ද පෙළදේශනය සේම බුද්ධදේශනය ඇසුරෙන් සකස් කරන ලද බැවින් බුද්ධවචනය ලෙසම පිළිගත යුතු වේ.

මේ අනුව අර්ථකථාව යනු හුදෙක් බුදුගොස් හිමියන්ගේ නිර්මාණයක් නොව බුද්ධ දේශනය අනුව පැවත එන සංගීතිකාරක මහරහතන් වහන්සේලා විසින් සංග්‍රහ කරන ලද්දක් වේ. එකී අර්ථකථාව යනු ‘ආචරියවාදය’ය යන මතය පිළිබඳව ඉදිරියේ ලිපියක් මගින් කරුණු දක්වන්නෙමු. බුදුරජාණන් වහන්සේගේ විස්තරාත්මක ධර්ම දේශනයක් පැවති බව පිළිබඳ සූත්‍රාගත නිදර්ශනයන් ද සමගින් අර්ථකථාව බුද්ධ දේශනයක් වන්නේ කෙසේ ද යන්න මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.

[1] සමන්තපාසාදිකා විනයාර්ථකථාව(සපා), හෙවාවිතාරණ මුද්‍රණ(හෙමු), 2පි

[2] සුමඞ්ගලවිලාසිනී දීඝනිකායාර්ථකථාව (සුවි), හෙමු, 1පි

[3] සාරත්ථදීපනී විනය ටීකා

සම්පාදක

ත්‍රිපිටකාචාර්ය, විද්‍යාවේදී

මහව ඤාණාලෝක ස්වාමීන් වහන්සේ

අටුවා විමර්ශනය දෙවන ලිපිය කියවන්න – අර්ථකථාව බුද්ධ දේශනයක් වන්නේ කෙසේ ද? (බුදුරජාණන් වහන්සේගේ ප්‍රකීර්ණක ධර්ම දේශනය)