අර්ථකථාව යනු කුමක්ද යන්නත්, එය බුද්ධඝෝෂ හිමියන්ගේ නිර්මාණයක් නොව බුදුරජාණන් වහන්සේගේම ප්‍රකීර්ණක ධර්මදේශනය ඇසුරෙන් සමීපචාරී මහාකාශ්‍යප ආදී මහරහතන් වහන්සේලා විසින් සංග්‍රහ කරන ලදුව ප්‍රථම ද්විතීය තෘතීය ධර්මසංගායනාවන්හි දී සංගායනාවට ලක්ව මහින්දාගමනයත් සමග ලක්දිවට ලැබුණු බවත් අනතුරුව සීහළ බසින් පැවත ක්‍රි.ව. 5වන සියවසේ දී පමණ බුද්ධඝෝෂ ආචාර්යයන් වහන්සේ විසින් මාගධී භාෂාවට නංවන ලද බවත් පළමු ලිපියෙන් විස්තර විය. ඒ අනුව අර්ථකථාව බුද්ධදේශනයක් ලෙස සම්භාවනාවට පාත්‍ර වන අතර එසේ අර්ථකථාව බුද්ධ දේශනයක් වන්නේ කෙසේද යන්න මෙම ලිපියෙන් විමසා බැලේ.

තථාගතයන් වහන්සේගේ ධර්ම දේශනය සංක්ෂිප්ත ධර්ම දේශනා සහ විස්තාරික ධර්ම දේශනා යනුවෙන් ආකාර දෙකක් බව අංගුත්තර දුක නිපාතයේ සඳහන් වේ[1]. ඒ අනුව බුදුරජාණන් වහන්සේ ධර්මදේශනයට නිමිති වන දෙය අනුවද, ශ්‍රවණය කරන අයගේ ධර්මාවබෝධ වීමේ ශක්තිය මත ද විටෙක සංක්ෂිප්තවත් තවත් විටෙක විස්තරාත්මකවත් ධර්ම දේශනා කරන සේක. එසේ විස්තරාත්මකව කරනු ලබන ඇතැම් දේශනයක් අතිශය දීර්ඝ වේ. එබැවින් දහවල දාන අනුමෝදනා ධර්මදේශනය මඳක් වැඩි කොට දේශනය කරන්නේ නම් එය දීඝනිකාය, මජ්ඣිමනිකාය තරම් දීර්ඝ දේශනයක් බව අත්ථසාලිනී ධම්මසඞ්ගණී අට්ඨකථාවේ සඳහන් වේ. එසේම පසුබතෙහි ධර්මශ්‍රවණයට පැමිණි පිරිස වෙනුවෙන් කරනු ලබන දේශනය සංයුත්ත අංගුත්තර යන මහානිකාය දෙක තරම් වන බව පැවසේ[2]. තවද සිකපද පැනවීමේ දී ශික්ෂාකාමී වූ සංවරයෙහි පිහිටි ඇතැම් භික්ෂූන් සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් ඵලයන්හි පිහිටුවමින් දීඝනිකාය පමණවූ ද මජ්ඣිමනිකාය පමණ වූ ද ධර්මදේශනයක් කරන බව සමන්තපාසාදිකා විනයාර්ථකථාවේ සඳහන් වේ[3]. මෙසේ තථාගතයන් වහන්සේ විසින් සංක්ෂිප්තවද විස්තරාත්මකව ද දේශනය කරනු ලබන සමස්ථ ධර්මය තථාගත බුද්ධ වචනයයි.

මෙසේ බුදුරජාණන් වහන්සේ ඇතැම් අවස්ථා වලදී කරනු ලබන විස්තරාත්මක ධර්මදේශනය ත්‍රිපිටක පාළියෙහි අන්තර්ගත නොවේ. සංක්ෂිප්තව කරන ලද දේශනය සහ ඒ ඒ අවස්ථාවල විස්තරාත්මකව දේශිත ධර්මයෙහි මූලික න්‍යායාත්මක ධර්මකොට්ඨාසයන් පමණක් ත්‍රිපිටක පෙළ දේශනය ලෙස සංග්‍රහ වී ඇති බව විමසිල්ලෙන් බලන අයෙකුට ප්‍රකට වේ. එසේ පෙළෙහි සංග්‍රහ නොවූ විස්තරාත්මක ධර්ම විග්‍රහය හෙවත් ප්‍රකීර්ණක ධර්ම දේශනය අර්ථකථාව ලෙස වෙනමම සංග්‍රහ වීය. ප්‍රථම ධර්ම සංග්‍රාහක මහරහතන් වහන්සේලා මෙම අර්ථකථාව පෙළෙන් වෙන් කොට සමස්ථ ත්‍රිපිටකයටම සාධාරණ අර්ථ විග්‍රහයක් ලෙස සංග්‍රහ කළ බැවින් එය පෙළෙන් මිදුණු ‘ඔක්කන්තික ධර්ම දේශනය’ ලෙස ද හැඳින්වේ. බුද්ධඝෝෂාචාර්යයන් වහන්සේ සමන්තපාසාදිකා විනයාර්ථකථාවේ ‘ධම්මසඞ්ගාහකෙහි පඤ්චහි අරහන්තසතෙහි ඨපිතා පාළිවිනිමුත්තා ඔක්කන්ත විනිච්ඡයප්පවත්තා අට්ඨකථාතන්ති = ධර්මසංග්‍රාහක පන්සියයක් මහරහතන් වහන්සේලා විසින් පෙළෙන් වෙන්කොට තබන ලද්දා වූ (අර්ථවශයෙන් ද නය වශයෙන් ද අනුලොම් වශයෙන් ද) අනුව පිවිස පෙළෙහි විනිශ්චය වශයෙන් ප්‍රවෘත්ත වූ අර්ථකථා පාළියයි[4]’ යනුවෙන් මේ බව පැවසූහ. මෙයින් පැවසෙන්නේ ප්‍රථම සංගීතිකාරක මහරහතන් වහන්සේලා විසින් අර්ථකථාව නිර්මාණය කළ බවක් නොව උන්වහන්සේලා විසින් එය පෙළෙන් වෙන්ව සංග්‍රහ කොට තබන ලද බව වේ. එසේ නොමැතිව ප්‍රථම සංගීතිකාරකයන් වහන්සේලා අර්ථකථාව නිර්මාණය කළේ නම් බුදුරජාණන් වහන්සේ ඒ ඒ තැන දී දේශනා කරන ලද ප්‍රකීර්ණක ධර්ම දේශනයට කුමක් වී ද යන්න විසඳිය නොහැකි වේ.

මෙසේ බුදුරජාණන් වහන්සේ ඒ ඒ තැන දී දේශනා කරන ලද ප්‍රකීර්ණක ධර්මදේශනය නම් කුමක්ද? යන්න ත්‍රිපිටකය ඇසුරෙන්ම විමසා බැලිය යුතු වේ. එහිදී ඇතමෙක් ඉහත ධම්මසඞ්ගණී අර්ථකථාවේ සහ විනයාර්ථකථාවේ සඳහන් කළ පරිද්දෙන් බුදුරජාණන් වහන්සේ දීර්ඝ ධර්මදේශනාවක් කළ බව පිළිගැනීමට නොකැමති වෙත්. එබඳු දීර්ඝ ධර්මදේශනයක් සාමාන්‍ය පුද්ගලයෙකුට අවබෝධ කරගත නොහැකි බව ඔවුන්ට කල්පනා වන්නේ සර්වඥතා ඤාණය පිළිබඳව ඇති අඩු තක්සේරුව නිසාම වේ. වර්තමානයේ ඇතැම් කථන කෞෂල්‍යයෙන් පිරිපුන් දේශකයන්ගේ පවා (නා උයනේ අරියධම්ම මාහිමි වැනි) පැයක පමණ දේශනයක් තුළ සුවිශාල ධර්මකරුණු සම්භාරයක් දේශනා කරන බව දැකිය හැකි වේ. එහෙත් එබඳු කථන හැකියාවක් නොමැති දේශකයකුගේ පැය ගණනක දේශනයේ පවා ඇත්තේ සුළු ධර්ම කරුණු ප්‍රමාණයකි. ඒ අනුව අසමසම ඤාණයකින් හෙබි, අනන්ත සංසාරයේ වාක් සුචරිතයෙන් ඔප්නැංවුණු වාක් කෞෂල්‍යයක් ඇති තථාගතයන් වහන්සේගේ ධර්මදේශනා කෞෂල්‍යය අප වැන්නවුන්හට විෂය නොවේමය. උන්වහන්සේගේ ධර්ම දේශනය අති දීර්ඝ බව ත්‍රිපිටක මූලාශ්‍ර ඔස්සේ අනුමානයෙන් දත යුතු වේ.

බුදුරජාණන් වහන්සේගේ ධර්මදේශනයෙහි විස්තරාත්මක දේශනයක් පෙළෙහි සංග්‍රහ නොවන බව හෙළි වන එක් අවස්ථාවක් නම් බොහෝ පුද්ගලයන් අරබයා දේශනා කරනු ලබන අනුපිළිවෙල කථාව හා සාමුක්කංසික ධර්ම දේශනයයි. යස කුල පුත්‍රයාගේ පැවිදි වීම පිළිබඳව විනය පිටකයේ මහාවග්ගපාළියේ එන විස්තරය මේ සඳහා එක් නිදසුනක් වේ[5]. එහි සඳහන් අන්දමට එකත්පසෙක සිටියා වූ යස කුල පුත්‍රයා හට බුදුරජාණන් වහන්සේ දානකථා ආදී අනුපිළිවෙල කථාව වදාළ නමුදු ඒ අනුපිළිවෙල කථාව පෙළෙහි සඳහන් නොවේ. තවද යම් කලෙක භාග්‍යවතුන්වහන්සේ යස කුලපුත්‍රයාගේ සිත ආර්යසත්‍යාවබෝධයට සුදුසු බව, මෘදු බව, නීවරණ පහව ගිය බව, ඔදවැඩී ගිය බව, පැහැදුණු බව දැනගත් සේක් ද එකල්හි චතුරාර්ය සත්‍ය සංඛ්‍යාත සාමුක්කංසික ධර්මදේශනය වදාළ සේක. එහෙත් ඒ සාමුක්කංසික ධර්ම දේශනය ද ත්‍රිපිටක පාළියෙහි නොම පැමිණේමය. යම් පුද්ගලයකු නිර්වාණයට පමුණුවමින් දේශනා කරනු ලබන චතුරාර්ය සත්‍ය දේශනය යම් තරමකින් හෝ දීර්ඝ විය යුතු වේ. එසේ  අතිරේකව දීර්ඝ චතුරාර්ය සත්‍ය දේශනයක් නොම දේශනා කරන සෑම අවස්ථාවකදීම බුදුරජාණන් වහන්සේ විසින් වදාළ ගාථා සූත්‍රාදිය ත්‍රිපිටක පාළියෙහි දක්නට ලැබේ. එසේම බුදුරජාණන් වහන්සේ හුදෙක් චතුරාර්ය සත්‍යයම දේශනා කළ අවස්ථා වලදී ද වෙනමම සාමුක්කංසික ධර්ම දේශනයක් පිළිබඳව සඳහන් නොවේ. නිදසුනක් ලෙස ප්‍රථම ධර්ම දේශනය දම්සක් පැවතුම් සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය දේශනා කළ සේක. එහෙත් එහි සෙසු සාමුක්කංසික දේශනයක් පිළිබඳ සඳහන් නොවේ. එබැවින් ඒ දම්සක් පැවතුම් සූත්‍රයම සාමුක්කංසික චතුරාර්ය සත්‍ය දේශනයක් වේ. එහෙත් අනෙක් ඇතැම් ස්ථාන වල විශේෂයෙන් සාමුක්කංසික දේශනයක් පිළිබඳව සඳහන් වීමෙන් යටත්පිරිසෙයින් දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව තරම් හෝ ඊට අතිරේකව හෝ චතුරාර්ය සත්‍ය දේශනා කරන ලද බව නිගමනය කළ හැකි වේ. ඒ අනුව එය තරමක් දිර්ඝ දේශනයක් විය යුතු අතර ඒ කිසිවක් පෙළ දේශනයෙහි සඳහන් නොවේ.

තථාගතයන් වහන්සේ කෙටි කාලයක් තුළ දීර්ඝ දේශනයක් පවත්වන බව හෙළිවන වැදගත් ස්ථානයක් මෙම විනයපිටකයේ මහාවග්ගපාළි මහාඛන්ධකයේ යස කුල පුත්‍රයාගේ පැවිදි වීම පිළිබඳ කථාවෙහිම දක්නට ලැබේ. එනම් බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණි යස කුල පුත්‍රයා සොයා හිමිදිරියේ ම පැමිණෙන පියාණන්ටද බුදුරජාණන් වහන්සේ ඒ අනුපිළිවෙල කථාව සහ සාමුක්කංසික චතුරාර්ය සත්‍ය දේශනා කළ සේක. අනතුරුව යස කුල පුත්‍රයා පැවිදි කරවා දෙවැනි මහණකු කොට ඔහුගේ නිවසට දනට වැඩි අවස්ථාවේ දානය වැළඳීමට මත්තෙන්ම යස කුල පුත්‍රයාගේ පැරණි බිරිඳට සහ මවට ද ඒ අනුපිළිවෙල කථාව සහ සාමුක්කංසික ධර්මදේශනය වදාළ සේක. දවසේ කල් වේලා සැලකීමේ දී හිමිදිරියේ ම යස කුල පුත්‍රයාට දහම් දේශනා කොට අනතුරුව උදෑසන පියාණන්ටද දහම් දේශනා කර, යස කුල පුත්‍රයා පැවිදි කර, නිවසට වැඩම කර දන් වැළඳීමට මත්තෙන් ධර්ම දේශනය පිණිස දීර්ඝ කාලයක් නොමැති බව ප්‍රකට වේ. ඒ අනුව තථාගතයන් වහන්සේ සීමිත කාලයක් තුළ දානකථා ආදී අනුපිළිවෙල ධර්ම දේශනයක් ද පවත්වා දම්සක් පැවතුම් සූත්‍රය තරමේ හෝ ඊට අතිරේක ප්‍රමාණයක හෝ සාමුක්කංසික චතුරාර්ය සත්‍ය දේශනයක් ද වදාළ බව හෙළි වේ. ඒ අනුව බුදුරජාණන් වහන්සේ සීමිත කාලයක් තුළ දීර්ඝ දේශනයක් පවත්වන බව වටහාගත යුතු. ත්‍රිපිටකය තුළ තවත් මෙබඳු  අවස්ථා පිළිබඳ උදාහරණ හමුවේ.

බුදුරජාණන් වහන්සේගේ ප්‍රකීර්ණක ධර්ම දේශනයක් තිබුණු බවත් එය පෙළෙහි සංග්‍රහ නොවන බවත් හෙළිවන තවත් උදාහරණ ත්‍රිපිටක පාළිය තුළ බොහෝ විට හමු වේ. උදාහරණ ලෙස බොහෝ සූත්‍ර දේශනායන්හි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ මුණගැසෙන අය හට දැහැමි කථාවෙන් කරුණු දක්වන බවත් (ධම්මියා කථාය සන්දස්සෙත්වා), කුසල ධර්මයෙහි සමාදන් කරවන බවත් (සමාදපෙත්වා), කුසල ධර්මයන්හි තෙද ගන්වන බවත් (සමුත්තෙජෙත්වා), සිත සතුටු කරවන බවත් (සම්පහංසෙත්වා) සඳහන් වේ. එතකුදු වුවත් ඒ කිසිදු අවස්ථාවක බුදුරජාණන් වහන්සේගේ දේශනය ත්‍රිපිටක පාළියෙහි අන්තර්ගත නොවේ. උදාහරණ ලෙස මජ්ඣිමනිකායේ චූළගොසිඞ්ග සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ගොසිඞ්ග සාල වන උයනට වැඩම කොට ආයුෂ්මත් අනුරුද්ධ, නන්දිය, කිම්බිල තෙරුන් වහන්සේලා සමග කරන ලද සංවාදය දැක්වේ. අනතුරුව එසේ සමගිව සිටීමේ අනුසස් දක්වමින් බුදුරජාණන් වහන්සේ දැහැමි කථාවෙන් කරුණු දක්වා, සමාදන් කරවා, තෙද ගන්වා, සිත සතුටු කරවා අසුනෙන් නැගිට වැඩම කළ සේක. (අථ ඛො භගවා ආයස්‌මන්‌තඤ්‌ච අනුරුද්‌ධං ආයස්‌මන්‌තඤ්‌ච නන්‌දියං ආයස්‌මන්‌තඤ්‌ච කිමිලං ධම්‌මියා කථාය සන්‌දස්‌සෙත්‌වා සමාදපෙත්‌වා සමුත්‌තෙජෙත්‌වා සම්‌පහංසෙත්‌වා උට්‌ඨායාසනා පක්‌කාමි[6]) එහෙත් එහිදී කරන ලද දේශනා පාළිය එහි සඳහන් නොවේ. බුදුරජාණන් වහන්සේ කොසඹෑනුවර ඝෝෂිතාරාමයේ භික්ෂූන්ගේ කලහ කිරීම් මධ්‍යයෙහි සමගිව විසීමේ අනුසස් දේශනා කලසේක. මෙහිදී ද බුදුරජාණන් වහන්සේ කෝසම්බි සූත්‍රයේ එන එකී ආනිසංස කථාව බඳු දහම් දේශනයක් සිදු කරන ලදී. එහෙයින් අර්ථකථාචාර්යයෝ ඒබව “සාමග්‌ගිරසෙන පන අයඤ්‌ච අයඤ්‌ච ආනිසංසොති සාමග්‌ගිරසානිසංසමෙව නෙසං භගවා කථෙසි = සමගිව විසීමෙහි මේ මේ ආනිසංස ඇත්තේ යැයි ඔවුන් හට භාග්‍යවතුන් වහන්සේ සමගිව විසීමෙහි ආනිසංසයම වදාළ සේක” යනුවෙන් පැවසූහ.

බුදුරජාණන් වහන්සේගේ ප්‍රකීර්ණක ධර්ම දේශනය ත්‍රිපිටක පාළියෙහි ඇතුළත් නොවන බව දැක්වීමට තවත් උදාහරණයක් ලෙස රට්ඨපාල සූත්‍රය දැක්විය හැකි වේ. එහිලා බුදුරජාණන් වහන්සේ කුරුරට ථුල්ලකොට්ඨිත නම් නියම් ගමෙහි දී එගම වැසි බ්‍රාහ්මණ ගෘහපතියන් හට දහම් දේශනා කළ සේක. එසේ කරන ලද ධර්මදේශනය පිළිබඳ දීර්ඝ විස්තරයක් රට්ඨපාල සූත්‍රයේ සඳහන් නොවේ. “එකමන්‌තං නිසින්‌නෙ ඛො ථුල්‌ලකොට්‌ඨිකෙ බ්‍රාහ්‌මණගහපතිකෙ භගවා ධම්‌මියා කථාය සන්‌දස්‌සෙසි සමාදපෙසි සමුත්‌තෙජෙසි සම්‌පහංසෙසි = භාග්‍යවතුන් වහන්සේ එකත්පසෙක හුන්නා වූ ථුල්ලකොට්ඨිත ගම් වැසි බ්‍රාහ්මණ ගෘහපතියන්ව දැහැමි කථාවෙන් කරුණු දැක්වූ සේක….” යනාදී ලෙස පමණක් සඳහන් වේ. ඒ ධර්මශ්‍රවණයෙන් පසු රට්ඨපාල කුලපුත්‍ර තෙමේ පැවිදි වීමට තීරණය කළේය. එහෙත් පසු කලෙක කෝරව්‍ය රජු හමුවේ රට්ඨපාල මහරහතන් වහන්සේ වදාරනුයේ තමන් වහන්සේ බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ධර්ම නිර්දේශ සතරක් අසා පැවිදි වීමට තීරණය කළ බවයි. ඒ අනුව පෙර ථුල්ලකොට්ඨිත ගම් වැසියන් හට බුදුරජාණන් වහන්සේ දැහැමි කථාවෙන් කරුණු දැක්වීමේ දී මෙම සතර ධර්මෝද්දේශ දේශනා කර තිබිය යුතු වේ. එහෙත් ඒ පිළිබඳ පෙළ දේශනයෙහි සඳහන් නොවීමෙන් පැහැදිලි වන්නේ ඒ දැහැමි කථාවෙන් කරුණු දැක්වීම දීර්ඝ ධර්මදේශනයක් වූ බවයි. එහෙත් එය පෙළෙහි සඳහන් නොවන අතර රට්ඨපාල සූත්‍රයේ අගභාගයේ කෝරව්‍ය රජු අරබයා කරන ධර්ම දේශනයේ දී පැහැදිලි වේ[7]. මේ අනුවද පැහැදිලි වන්නේ ත්‍රිපිටක පාළියෙහි ඇතුළත් නොවූ ප්‍රකීර්ණක ධර්මදේශනයක් පැවති බවයි.

මජ්ඣිමනිකායේ එන සේල සූත්‍රයද බුදුරජාණන් වහන්සේගේ ප්‍රකීර්ණක ධර්මදේශනය පිළිබඳ ප්‍රකට වන නිදසුනක් වේ. එහි සඳහන් වන අන්දමට කේණිය නම් ජටිල තුමා බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණෙන අතර බුදුරජාණන් වහන්සේ දැහැමි කථාවෙන් කරුණු දැක්වූ සේක. සමාදන් කරවූ සේක. තෙද ගැන්වූ සේක. සතුටුකරවූ සේක. ඒ බව “එකමන්‌තං නිසින්‌නං ඛො කෙණියං ජටිලං භගවා ධම්‌මියා කථාය සන්‌දස්‌සෙසි සමාදපෙසි සමුත්‌තෙජෙසි සම්‌පහංසෙසි.”[8] යනුවෙන් පමණක් සේල සූත්‍ර පෙළෙහි සඳහන් වේ. මෙම අවස්ථාවේ කේණිය ජටිල තුමා තෙරුවන් සරණ යන අතර එහිදී කරන ලද දීර්ඝ දේශනයක් පිළිබඳ සේල සූත්‍රයේ සඳහන් නොවේ. එතකුදු වුවත් විනයපිටකයේ මහාවග්ගපාළි භේසජ්ජක්ඛන්ධකයේ මෙම සිදුවීමම සඳහන් වන අතර එහි දී කේණිය ජටිලතුමා බුදුරජාණන් වහන්සේ හමුවට සවස්භාගයේ යන බැවින් පානකවර්ග පිළියෙල කරගෙන ගිය බව දැක්වේ. එහි දී බුදුරජාණන් වහන්සේ පානක පූජා කිරීමේ ආනිසංස කථාවක් වදාළ සේක. ඒ පිළිබඳ සේල සූත්‍ර පෙළෙහි සඳහන් නොවීමෙන් ප්‍රකට වන්නේ ද බුදුරජාණන් වහන්සේ දැහැමි කථාවෙන් කරුණු දැක්වීම් ආදී වශයෙන් කරන ප්‍රකීර්ණක දේශනය පෙළෙහි සංග්‍රහ නොවන බවයි. සේල සූත්‍ර අර්ථකථාවේ “ධම්‌මියා කථායාති පානකානිසංසපටිසංයුත්‌තාය ධම්‌මියා කථාය.” යනුවෙන් මේ බව සඳහන් වේ.

මෙසේ බුදුරජාණන් වහන්සේ දැහැමි කථා පැවැත්වූ බව සඳහන් වන නමුදු ඒ පිළිබඳ දීර්ඝ විස්තර පෙළ දේශනයෙහි ඇතුළත් නොවන අවස්ථා පිළිබඳ තවත් උදාහරණ බොහොමයක් දැක්විය හැකි වේ. උපක්කිලෙස සූත්‍රයේ ආයුෂ්මත් භගු තෙරුන්වහන්සේ හට එකී භවයේ ආනිසංස ලෙස දැහැමි කථා වදාළ සේක. එසේම රථවිනීත සූත්‍රයේ පුණ්ණමන්තානිපුත්ත මහරහතන් වහන්සේ හට දසකථාවස්තු නිශ්‍රිත දැහැමි කථාවක් වදාළ සේක.  සේක්ඛ සූත්‍රයේ දී රාත්‍රී බොහෝ වේලාවක් නිග්‍රෝධාරාමයේ වැඩ වසමින් කිඹුල්වත් පුර වැසි ශාක්‍යයන්ට ආවාසදානානිසංස කථාවකින් කරුණු දැක්වූ සේක. එහෙත් ඒ කිසිදු දේශනයක් ත්‍රිපිටක පෙළෙහි ඇතුළත් නොවීමෙන් ප්‍රකට වන්නේ බුදුරජාණන් වහන්සේ ඒ ඒ අවස්ථා වලදී දේශනා කරන ලද සියලුම ධර්මකොට්ඨාසයන් පෙළෙහි සංග්‍රහ නොවන බවයි. එසේ සංග්‍රහ නොවන ධර්ම විග්‍රහයන් සමීපචාරී මහරහතන් වහන්සේලා විසින් දරාගෙන පැමිණි අතර උන්වහන්සේලා විසින් ධර්ම දේශනා කිරීමේ දී ද එකී විග්‍රහයන් අදාළ කරගත් බව සච්චවිභංග සූත්‍රය, මධුපිණ්ඩික සූත්‍රය ආදී ශ්‍රාවකයන් වහන්සේලා විසින් කරන ලද සූත්‍ර දේශනා වලින් පැහැදිලි වේ. එසේ කරන ලද ධර්ම විග්‍රහය බුදුරජාණන් වහන්සේ ද සාධු සිතින් අනුමෝදන්ව බුද්ධභාෂිතයක් බවට පත්කළ සේක. ඒ සමීපචාරී මහරහතන් වහන්සේලා විසින් පවත්වාගෙන එන ලද බුදුරජාණන් වහන්සේගේ ප්‍රකීර්ණක ධර්ම දේශනය ප්‍රථම ධර්ම සංගායනාවේ දී පෙළෙන් වෙන්ව වෙනමම අර්ථකථාව ලෙස සංග්‍රහ කරන ලද බව ඉහත පැහැදිලි කරන ලදී.

මෙසේ බුද්ධ දේශනය මත පදනම්ව අර්ථකථාව ප්‍රථම ධර්මසංගායනාවේ දී සංග්‍රහ කළ බැවින් එය බුද්ධ දේශනයක් ලෙසින්ම සම්භාවනාවට පාත්‍ර විය. එහෙයින් සාරත්ථදීපනී විනය ටීකාවේ අර්ථකථාව යනු බුදුරජාණන් වහන්සේගේ ප්‍රකීර්ණක ධර්ම දේශනයම බව සඳහන් කරන ලදී. එසේ සඳහන් කිරීමෙන් වර්තමානයේ ඇති අටුවා ග්‍රන්ථ සියල්ල බුද්ධ දේශනය ලෙස සඳහන් කිරීමක් සිදු නොවේ. අර්ථකථාව බුද්ධදේශනයක් නොවේ යැයි ආධානග්‍රාහී වන ඇතමෙක් වර්තමානයේ ඇති අටුවා ග්‍රන්ථයන්හි එන ආචාර්යවාද, රජවරුන් පිළිබඳ විස්තර, මිලින්ද ප්‍රශ්නයේ එන විනිශ්චයන් ආදිය සලකමින් එය බුද්ධ දේශනය නොවන බවට තර්ක ඉදිරිපත් කරත්. ඔවුන්ගේ තර්ක කිරීමට අනුව නම් ත්‍රිපිටක පෙළ දේශනයෙහි ද ආනන්ද මහරහතන් වහන්සේ විසින් දේශනා කරන ‘එවං මෙ සුතං, එතදවොච’ ආදී යෙදුම් ද, උපාලි මහරහතන් වහන්සේ විසින් දේශිත ‘තෙන ඛො පන සමයෙන’ ආදී යෙදුම් ද ඇති බැවින් ඒ ත්‍රිපිටක පෙළ දේශනයද බැහැර කිරීමට සිදු වේ. එහෙත් එය එසේ නොවේමය. යම් දේශනයක් පසුව සංග්‍රහ කිරීමේ දී එහි අර්ථය වැඩි දියුණු කිරීමට නුවණැත්තන් විසින් යම් යම් එකතු කිරීම් කරන අතර එයින් අර්ථ ව්‍යාකූලතාවයක් හෝ මූලික දේශනයට හානියක් හෝ නොවේමය. එබඳු එක් කිරීම් සලකා මූලික දේශනය ප්‍රතික්ෂේප කිරීම නුවණැත්තන් විසින් නොම කළයුතු වේ.

බුද්ධඝෝෂාචාර්යයන් වහන්සේ  ද සීහළ අර්ථකථා ශුද්ධ මාගධී (පාළි) භාෂාවට පරිවර්තනය කරමින් එහි අර්ථය වඩාත් දියුණු තියුණු කිරීමට නොයෙක් තත්කාලීන කථාප්‍රවෘත්ති, ස්ථවිරයන් වහන්සේලාගේ විනිශ්චයන් ආදිය එක් කරමින් සංශෝධනයක් කරන ලදී. මෙසේ බුදුගොස් ඇදුරුපාණන් විසින් සිය අර්ථකථා පරිවර්තනයේ දී සිදු කරන ලද එක් කිරීම්, සංශෝධනයන් පිළිබඳව විස්තර මීළග ලිපියෙන් බලාපොරොත්තු වන්න.

[1] ‘ද්වෙමා භික්ඛවෙ තථාගතස්ස ධම්මදෙසනා…සඞ්ඛිත්තෙනච විත්ථාරෙනච’ – අංගුත්තරනිකාය 1, බුජමු, 106පි

[2] අත්ථසාලිනී ධම්මසඞ්ගණිප්පකරණ අට්ඨකථාව, හෙමු, 13පි

[3] සපා, හෙමු, 155පි

[4] සපා, 162පි

[5] විනයපිටකය, මහාවග්ගපාළි 1, බුජමු, 32පි

[6] චූළගොසිඞ්ග සූත්‍රය, මජ්ඣිමනිකාය 1, බුජමු, 502පි

[7] රට්ඨපාල සූත්‍රය, මජ්ඣිමනිකාය 2, බුජමු, 440පි

[8] සේල සූත්‍රය, මජ්ඣිමනිකාය 2, බුජමු, 598පි

සම්පාදක

ත්‍රිපිටකාචාර්ය, විද්‍යාවේදී

මහව ඤාණාලෝක ස්වාමීන් වහන්සේ

අටුවා විමර්ශනය පළමු ලිපිය කියවන්න  – අර්ථකථාව යනු කුමක්ද? එය බුදුගොස් හිමිගේ නිර්මාණයක් ද?

අටුවා විමර්ශනය තෙවන ලිපිය කියවන්න  –අටුවා විමර්ශනය 03 – නිවැරදි අටුවාව කුමක් ද? – මහානිද්දේසය, චූළනිද්දේසය,පටිසම්භිදාප්‍රකරණය අටුවාවක් වූ ආකාරය