බුදුරජාණන් වහන්සේගේ ප්‍රකීර්ණක ධර්ම දේශනයක් පැවති බවත් එකී ප්‍රකීර්ණක ධර්ම දේශනය ඇසුරින් සමීපචාරී මහරහතන් වහන්සේලා විසින් අර්ථකථා සම්පාදනය කරනලද බවත් පසුගිය ලිපියෙන් විස්තර කරන ලදී. එකී අර්ථකථාවම මහින්දාගමනයෙන් ලක්දිවට සපැමිණි අතර එය පසුව සීහළ බසින් පවත්වාගෙන එන ලදී. හෙළ අර්ථකථාව ලෙස හැඳින්වූ එම අර්ථකථාව මාගධී භාෂාවට පරිවර්තනය කිරීමේ දී සිදු කරන ලද එකතුකිරීම්, සංස්කරණය කිරීම් පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීම මීළඟට සිදු කරනබව පැවසුවද වර්තමානයේ නිවැරදි අර්ථකථාව කුමක් ද යන ප්‍රශ්නයක් උද්ගතව ඇති බව පෙනේ. ඒ අනුව අර්ථකථාව පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ දේශනා ගෙනහැර දක්වමින් නිවැරදි අර්ථකථාව කුමක් ද යන්න හඳුන්වා දීම මෙම ලිපියෙන් අදහස් වේ.

අංගුත්තර දුක නිපාතයේ බුදුරජාණන් වහන්සේ “ද්‌වෙමෙ, භික්‌ඛවෙ, ධම්‌මා සද්‌ධම්‌මස්‌ස සම්‌මොසාය අන්‌තරධානාය සංවත්‌තන්‌ති. කතමෙ ද්‌වෙ? දුන්‌නික්‌ඛිත්‌තඤ්‌ච පදබ්‍යඤ්‌ජනං අත්‌ථො ච දුන්‌නීතො.” යනුවෙන් සද්ධර්මය අතුරුදන් වීමට බලපාන්නා වූ හේතු දෙකක් ගෙනහැර දක්වති. එනම් වරදවා ගත් පද ව්‍යඤ්ජන (පෙළ) සහ වරදවා ගත් අර්ථය වේ. මේ අනුව බුදුරජාණන් වහන්සේ පවා බුද්ධ දේශනයේ නිවැරදි අර්ථය සලකා ගැනීමේ වැදගත්කම දේශනා කළ සේක. එයට හේතුව නම් බුදුරජාණන් වහන්සේ යම් ශ්‍රාවක පිරිසකට ධර්මය දේශනා කරන විට එම ශ්‍රාවකයන්ගේ ධර්මාවබෝධ කිරීමේ ශක්තිය සලකා බලා දේශනා කරන සේක. එහෙත් එම ධර්මය ත්‍රිපිටකය බවට පත්වන අතර පසුකාලීනව එය පරිශීලනය කර මිනිස්සු නිවන් මග සලසා ගනිති. එහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයෙන්ම අර්ථය ග්‍රහණය කර නොගෙන වරදවා අර්ථය ග්‍රහණය කරගැනීමට ඉඩ ඇත. එහි දී බුදුරජාණන් වහන්සේගේ මූලික දේශනයේ පද පිළිවෙල වෙනස් කර වෙනස් අර්ථ ග්‍රහණය කිරීම ‘දුන්නික්ඛිත්තං පදබ්‍යඤ්ජනං’ යැයි වදාළ සේක. ඒ පදයන්ගේ අර්ථ විග්‍රහය වරදවා ගැනීම ‘අත්ථො ච දුන්නීතො’ යැයි කියන ලදී. මෙසේ පෙළ වරදවා ගැනීමට අමතරව දේශිත අර්ථය වරදවා ගැනීම නම් කුමක්දැයි විමසා බැලිය යුතු වේ.

එසේම අංගුත්තර පඤ්චක නිපාතයේ ආනන්ද තෙරුන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට දේශනා කරනුයේ “ඉධාවුසො සාරිපුත්‌ත, භික්‌ඛු අත්‌ථකුසලො ච හොති, ධම්‌මකුසලො ච, බ්‍යඤ්‌ජනකුසලො ච, නිරුත්‌තිකුසලො ච, පුබ්‌බාපරකුසලො ච.[1]” යනුවෙන් මේ සසුනෙහි භික්ෂුවක් කුසලධර්මයන්හි ඉක්මනින් අසා නිවැරදිව දරන්නේ නම් හෙතෙමේ අර්ථයෙහි ද ධර්මයෙහි ද ව්‍යඤ්ජනයෙහි ද නිරුක්තියෙහි ද පූර්වාපරයෙහි ද දක්ෂ වන බවයි. මෙහිදී ද අර්ථයෙහි දක්ෂවීම සහ ධර්මයෙහි දක්ෂවීම යනුවෙන් දෙවැදෑරුම් දක්ෂ බවක් දේශනා වේ. මේ අනුව පැහැදිලි වන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනයෙහි අර්ථය දැනගැනීම කෙරෙහි විශේෂ අවධානයක් එකල පටන්ම පැවති බවයි. ඒ අනුව බුදුරජාණන් වහන්සේ ද බුද්ධවචනයෙහි අර්ථය නිවැරදිව ග්‍රහණය කරගැනීම පසසන ලද සේක.

මෙම අර්ථය විශේෂයෙන් සඳහන් කරන ලද්දේ කොතැනද යන ගැටළුව මීළඟට පැන නැගේ. එම ස්ථානය නම් අර්ථකථාවයි. මේ අනුව බුද්ධකාලයේ පටන්ම බුද්ධවචනයේ අර්ථ විග්‍රහ කෙරෙන අර්ථකථාවක් පැවත ඇත. ඒ බව හෙළි වන තවත් තැන් ත්‍රිපිටකයේ දක්නට ලැබේ. උදාහරණයක් ලෙස විනය පිටකයේ මහාවග්ග පාළියේ උපාධ්‍යාය වත පිළිබඳව සඳහන් කිරීමේ දී බුදුරජාණන් වහන්සේ උපාධ්‍යයන් වහන්සේ වෙතින් “සචෙ උද්දිසාපෙතුකාමො හොති, උද්දිසිතබ්බො. සචෙ පරිපුච්ඡිතුකාමො හොති පරිපුච්ඡිතබ්බො’ යනුවෙන් උදෙසවා ගැනීමට සහ පිළිවිසවාගැනීමට අනුදැන වදාළ සේක. මෙහි එන උදෙසවාගැනීම නම් බුද්ධ දේශනයේ පෙළ දහම උගෙන ගැනීම වේ. ඊට අමතරව ‘පරිපුච්ඡනය’ යනුවෙන් දක්වා ඇත්තේ අර්ථ අසා දැන ගැනීමයි. ඒ අනුව බුද්ධකාලයේ ද අටුවා ඉගෙන ගැනීමක් තිබී ඇති බව හෙළි වේ. එහෙත් මෙසේ පැවති අටුවාව නම් කුමක් ද? යන්න පිළිබඳව බොහෝ දෙනා අතර සැකයක් මතුව තිබේ.

බුදුරජාණන් වහන්සේගේ ප්‍රකීර්ණක ධර්මදේශනයක් පැවති බවත්, එය අර්ථකථාව බවත් ඉහත ලිපියෙන් දැක්වීමු. එහෙත් ඒ කෙරෙහි ශ්‍රද්ධාවක් ඇති කරගත නොහැකි ඇතැම් අය පවසන්නේ සැබෑ අර්ථකථාව නම් වර්තමානයේ ඇති එම අටුවාව නොවන බවයි. බුදුරජාණන් වහන්සේ විසින් කෙටියෙන් දේශනා කරන ලද ධර්ම කොට්ඨාසයන් ගෙන ශ්‍රවකයන් වහන්සේලා විසින් විස්තර වශයෙන් දේශනා කළ සූත්‍ර දේශනා, එසේම සුත්තනිපාතයේ එන අට්ඨක වග්ගයේ ගාථා ගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේ විස්තර වශයෙන් කරන ලද මහානිද්දේසපාළිය, එසේම සුත්තනිපාතයේ පාරායනවග්ගයේ සූත්‍ර විස්තර වශයෙන් දේශිත චූළනිද්දේසය, සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් දේශිත පටිසම්භිදාපකරණය ආදී පෙළ දේශනා ඔවුන්ගේ අදහස අනුව අර්ථකථාව වේ. පොල්වත්තේ බුද්ධදත්ත හිමියෝ ද සිය අටුවා පරීක්ෂණය නම් ග්‍රන්ථයේ මේ බව පවසති. එම පොත් පරිශීලනය කරන වර්තමාන ධර්මවිනය ඤාණයෙහි අල්පශ්‍රැත ගිහි පැවිදි බොහෝ දෙනා ද කරුණු විමසීමකින් තොරව එම මතය ග්‍රහණය කරගන්නා බව දක්නට ලැබේ.

බුදුරජාණන් වහන්සේගේ කෙටිදේශනා පිළිබඳ විස්තරාත්මක පෙළ දේශනා අටුවාව යැයි වරදවා ගන්නේ ඒවායෙහි දේශනා ලක්ෂණය කෙරෙහි අවධානය යොමු කිරීමෙනි. විශේෂයෙන්ම ගුරු ඇසුරක් නොමැතිව ත්‍රිපිටකය සිංහල පරිවර්තන ඇසුරෙන් හෝ ශබ්දකෝෂ ඇසුරෙන් හදාරන අය මෙම අඳුරු දෘෂ්ටීන්ට වැටෙති. මෙහි දී පළමුව දැනට පවතින අර්ථකථා රචනා කරන ලද බුද්ධඝෝෂ ආචාර්යයන් වහන්සේ, ධම්මපාල ආචාර්යයන් වහන්සේ ආදී අටුවාචාරීන් වහන්සේලාගේ ප්‍රඥා මහිමය පිළිබඳව කෙටියෙන් මතක් කර දිය යුතු වේ. වර්තමානයේ මෙන් දියුණු තාක්ෂණය නොමැති, අවම වශයෙන් කඩදාසි පොත් පත් හෝ නොමැති අතීතයේ උන්වහන්සේලා හෙළ අටුවා ග්‍රන්ථ අවම වශයෙන් පහක් (05) වත් ඉදිරියේ තබාගෙන ඒ එකිනෙකෙහි අර්ථ විග්‍රහයන් මැනවින් සොයා බලමින් විශුද්ධිමාර්ගය, සමන්තපාසාදිකාව ආදී අර්ථකථා රචනය කළහ. එබැවින් එය අතිශය බැරෑරුම් කටයුත්තක් වේ. උන්වහන්සේලාගේ ප්‍රඥා මහිමය දැනගැනීමට උදාහරණ බොහෝ ගණනක් දැක්විය හැකි නමුත් ලිපිය දීර්ඝ වන බැවින් එක් උදාහරණයක් පමණක් දක්වමි. එනම් සංයුත්තනිකායට්ඨකථාවේ හේවාවිතාරණ මුද්‍රණයේ 127වන පිටුවේ බුද්ධඝෝෂ ඇදුරුපාණෝ පවසන්නේ බුදුරජාණන් වහන්සේ අහසෙහි ශ්‍රී හස්තය සෙලවූ බවට ‘ආකාසෙ පාණිං චාලෙසි’ යනුවෙන් පෙළෙහි සඳහන් බවයි. එසේම එම පදය සමස්ථ ත්‍රිපිටක පාළියෙහිම එම ස්ථානයේ පමණක් දක්නට ලැබෙන බව (අසම්භින්නපදං) ද සඳහන් වේ. වර්තමානයේ මෙන් දියුණු තාක්ෂණය නොමැති එකල පුස්කොල පොත් ඇසුරුකොට ගෙන කරන ලද අටුවා පරිවර්තනයේ දී සමස්ථ ත්‍රිපිටකය පුරාවටම යම් පදයක් එක් තැනක පමණක් දක්නට ලැබෙන බව පවසන්නේ නම් උන්වහන්සේ අවම වශයෙන් ත්‍රිපිටකය ඕනෑම තැනකින් සිහිකළහැකි තරමට කටපාඩමින් පැවති උතුමකු විය යුතුය. වර්තමානයේ අටුවා පිළිබඳ විවේචනය කරන, නිද්දේසපාළි, පටිසම්භිදාපාළි ආදිය අටුවා යැයි මතවාද ඉදිරිපත් කරන පොල්වත්තේ බුද්ධදත්ත හිමි වැනි අය ත්‍රිපිටකය කටපාඩම් අය නොව බව ඔවුන්ගේ ප්‍රකාශ වලින්ම හෙළි වේ. එම මතවාද ග්‍රණය කරගෙන අටුවාවට එරෙහිව අදහස් දක්වන්නෝ අඩුම තරමේ තුන්සූත්‍රයවත් කටපාඩමින් කීමට සමත්දැයි විමසිය යුතු වේ.

කෙසේ නමුත් නිද්දේස, පටිසම්භිදාපකරණ ආදිය අර්ථකථා යැයි පවසන්නේ ඒවායේ එන දේශනා විලාසය අනුව විමසා බැලීමෙනි. එය බුදුරජාණන් වහන්සේගේ දේශනා විලාසය පිළිබඳව අවබෝධයක් නොමැති බවයි. බුදුරජාණන් වහන්සේගේ දේශනා විලාසයේ ඇති විශේෂ ලක්ෂණයක් වන්නේ බොහෝ විට පළමුව මාතෘකා තබා පසුව එම මාතෘකා විස්තර කිරීමයි. මෙම දේශනා විලාසය උද්දේස, නිද්දේස, පටිනිද්දේස යනුවෙන් හැඳින්වේ. පළමුව මාතෘකා තැබීම උද්දේසයයි. එකී මාතෘකාව කරුණු වශයෙන් බෙදා දැක්වීම නිද්දේසයයි. ඒ නිද්දේසය තවදුරටත් බෙදා විස්තරාත්මකව දැක්වීම පටිනිද්දේසයයි. අර්ථකථාව පිළිබඳ අළුත් අදහස ඉදිරිපත් කරන අය මෙම උද්දේස, නිද්දේස, පටිනිද්දේස ක්‍රමයට ධර්මය විස්තර කර ඇති අවස්ථාවන් අර්ථකථාව ලෙස වරදවා ගනිති. ඒ නිසාම පොල්වත්තේ හිමියෝ විනයපිටකයේ භික්ෂුභික්ෂුණී විභංග පවා අටුවා යැයි පවසත්. ඔවුන්ගේ එම ප්‍රකාශය සත්‍ය වන්නේ නම් සමස්ථ අභිධර්ම පිටකයම අටුවාවක් වන්නේය. බුදුරජාණන් වහන්සේ ධම්මසඞ්ගණීප්‍රකරණය අරඹන්නේ ‘කුසලා ධම්මා, අකුසලා ධම්මා…’ යනාදී මාතෘකා තැබීමෙනි. එම මාතෘකා තැබීම උද්දේසයයි. අනතුරුව නිද්දේසාදී ක්‍රමයෙන් ධර්ම විග්‍රහය පැමිණේ. විභඞ්ගප්‍රකරණයද මෙම මාකෘකා අනුවම නිද්දේස, පටිනිද්දේස නයින් විග්‍රහ වේ. ධාතුකථාප්‍රකරණ ආදී සෙසු ප්‍රකරණ සියල්ලේම ද මෙම දේශනා ක්‍රමය දක්නට ලැබේ. එසේම විනයපිටකයේ පාරාජිකපාළි ආදී උභය විභංගය ද මෙම ක්‍රමයටම විස්තර කෙරේ. සූත්‍රපිටකයේ ද භද්දේකරත්ත සූත්‍රය, මධුපිණ්ඩික සූත්‍රය ආදී සූත්‍ර දේශනාවන්හි බුදුරජාණන් වහන්සේ කෙටියෙන් ධර්මයක් දේශනා කරන අතර මහාකච්චායන මහරහතන්වහන්සේ ආදී සමීපචාරී මහරහතන් වහන්සේලා විසින් විස්තරාත්මකව දේශනා කෙරේ. මෙම වැරදිමතය දරන අය මෙම සූත්‍ර දේශනා ද අටුවා යැයි ගනිති. එසේ නම් බුදුරජාණන් වහන්සේගේම දේශනා වන අංගුත්තරනිකායේ බොහෝ සූත්‍ර දේශනාවන්හි ද මජ්ඣිමනිකායේ කන්දරක සූත්‍රය වැනි දේශනාවන්හි ද මෙම උද්දේස නිද්දේස ක්‍රමයට දේශනා වන බැවින් අටුවා ලෙස ගතයුතු වේ. එවිට සමස්ථ ත්‍රිපිටකයෙන් පෙළ දේශනා ඉතිරිවන්නේ ඉතා ස්වල්පයක් වේ. බොහොමයක් අටුවා බවට පත් වේ. පෙළෙහි නොඑන ප්‍රකීර්ණක දේශනාවට නමකුදු නැති වන්නේය.

අටුවාචාරීන් වහන්සේලාගේ ප්‍රඥාව පිළිබඳව ඉහත කෙටියෙන් සඳහන් කළෙමු. වර්තමානයේ තුන්සූත්‍රයවත් කටපාඩම් නැති උගතුන් මෙම නිද්දේසපාළි ආදිය අර්ථකථා යැයි ඔවුන්ගේ දැනුම් මට්ටමෙන් මැන බලා පැවසුවද සුවිශේෂී ප්‍රඥා මහිමයක් පැවති බුද්ධඝෝෂාචාර්යයන් වහන්සේ ඇතුළු අටුවාචාරීන් වහන්සේලා ඒබව නොපැවසුවෝය. වර්තමානයේ උගතුන්ට වැටහෙන සත්‍යය එදා මහා ප්‍රාඥයන් වහන්සේලාට නොවැටහුණේ දැයි නුවණැත්තන්ගේ විමසුමට ලක්විය යුත්තේය. තවද ක්‍රි.ව. 5වන සියවසේ පමණ අතීතයේ මෙම අටුවා ග්‍රන්ථ රචනා වූ අතර පෙළ ග්‍රන්ථාරූඪ වීම වළගම්බා රජු සමයේ විය. එම කාලයේ පටන්ම මෙම නිද්දේසපාළි ආදිය පෙළ දේශනය වශයෙන් පැවති අතර, වර්තමානඋගතුන්ගේ අවධානයට ලක්වනතුරුම ඒවා අටුවා බව සියවස් 15ක පමණ කාලයක් වැඩ සිටි භික්ෂූන් හට අවබෝධ නොවුණේ දැයි නුවණැතියන් විමසා බැලිය යුතු වේ. එසේම පොළොන්නරු සමයේ  මහා නුවණැති ටීකාචාර්යයන් වහන්සේලා ත්‍රිපිටකයට ටීකා ග්‍රන්ථ රචනා කළ අතර ඔවුන් සියලුදෙනාටම ද මෙම කරුණ වැටහී නොගියේ දැයි නුවණැතියන් සිතා බැලිය යුතු වේ. තවද වර්තමානයේ ධර්මකාමී බොහෝ දෙනෙක් ශීලය ආරක්ෂා කරන්නන් වේ. ගිහි පින්වතුන් උනන්දුවෙන් සිලු රකින මෙකල පැවිදි උතුමන් ඊටත් වඩා සිල්ගුණ ආරක්ෂා කරන අය සිටිති. එබඳු සිල්ගුණ රක්නා අය සිටින මෙකල අපට අහසින් යන රහතන්වහන්සේලා දක්නට නොලැබෙන නමුත් අටුවා ලියූ කාලය වනවිට රහතන් වහන්සේලා වැඩ සිටි බව අටුවාවන්හි එන කථාප්‍රවෘත්ති වලින් මැනවින් ප්‍රකට වේ. ඒ අනුව එකල භික්ෂූන්ගේ ශීලාදී ගුණ ප්‍රතිපත්ති පූරණය කොතරම් උසස් මට්ටමින් පැවතියේ ද යන්න සිතාගත හැකි වේ. එසේ ශීලාදී ගුණ පූරණය කරන උතුමන් වැඩ සිටි අවධියක දැන දැන වැරදි කරුණු අර්ථකථා ලෙස රචනා කරන ලද්දේ දැයි නුවණැතියන් සිතා බැලිය යුතු වේ. එසේම එසේ වැරදි කරුණු කාරණා ලියුවේ නම් එකල වැඩ සිටි භික්ෂූන් සියල්ලෝම එය අනුමෝදන් වීමට තරම් අගතිගාමී වූවා දැයි සිතා බැලිය යුතු වේ. වර්තමානයේ ඇති අටුවා ග්‍රන්ථ පිළිබඳ සැක පහළ කරන අයගේ අදහස එය විය යුතුය. ඒ අනුව ඔවුන්ගේ ගැරහුමට ලක්වන්නේ එදා මෙදාතුර මගඵලලාභී උතුමන් වහන්සේලා බව අමතක නොකළ යුතු වේ.

නිද්දේසපාළි ආදිය අටුවා යැයි පවසන අයගේ මතය විමසීමේ දී පෙනී යන්නේ බුදුරජාණන් වහන්සේ කෙටියෙන් කළ දේශනා පිළිබඳ විස්තරාත්මක ශ්‍රවක දේශනා අර්ථකථා ලෙස ඔවුහු දරා සිටින බවයි. මෙහි දී ඒ අයට මතක් කර දිය යුතු වන්නේ විනයපිටකයේ පාචිත්තියපාළි කොටසේ පදසොධම්ම සිකපදයේ එන “ධම්මො නාම බුද්ධභාසිතො, සාවකභාසිතො, ඉසිභාසිතො, දෙවතාභාසිතො, අත්ථූපසංහිතො, ධම්මූපසංහිතො” යන බුද්ධවචනයයි. මෙහි දී බුදුරජාණන් වහන්සේ ධර්මය යන්නට බුද්ධභාෂිත, ශ්‍රාවකභාෂිත, ඍෂිභාෂිත, දේවතාභාෂිත, අර්ථූපසංහිත, ධර්මූපසංහිත යන සය කොටසක් සංග්‍රහ කරන සේක. නිද්දේසපාළිය යනු ශ්‍රාවකභාෂිතයක් වේ. එසේ ශ්‍රාවකයන් විසින් කරන දේශනා පමණක් අටුවා යැයි දරාගතයුත්තේ නම් ‘අත්ථූපසංහිත’ යන්නෙන් අදහස් වන්නේ කුමක්ද? යන්න විමසුය යුතු වේ. ඒ අනුව බුදුරජාණන් වහන්සේගේ සංක්ෂිප්ත දේශනා ශ්‍රාවකයන් වහන්සේලා විසින් විස්තර කළ භද්දේකරත්ත, මධුපිණ්ඩික, සච්චවිභඞ්ග ආදී දේශනා සියල්ලද මහානිද්දේසය, චූලනිද්දේසය, පටිසම්භිදාමග්ග ප්‍රකරණය යනාදියද ශ්‍රාවක භාෂිත ලෙස ධර්මයට එක්වූ කොටස් වේ. ඒ සියල්ල බුදුරජාණන් වහන්සේ විසින් අනුමත කරන ලද බැවින් බුද්ධ දේශනා බවට පත්විය. එය තවත් අර්ථකථාවක්ය යන වැරදි මතය එයිනුදු ප්‍රතිෂ්ඨා රහිතවම බිඳ විටෙන්නේය. අනෙක් අතට මේ සියල්ල අර්ථකථා වන්නේ නම් ඒ එකිනෙක සඳහා ලියා ඇති නිද්දේසට්ඨකථා ආදිය කවරක් ද යන්න විසඳිය යුතු වේ.

මේ අනුව නිවැරදි අර්ථකථාව වන්නේ බුදුරජාණන් වහන්සේ  ‘අත්ථූපසංහිත’ ලෙස හඳුන්වන ලද, බුද්ධ වචනයෙහි අර්ථය විවරණය කෙරෙන ප්‍රකීර්ණක ධර්මදේශනය වේ. ඒ ප්‍රකීර්ණක ධර්මදේශනය ඇසුරෙන් සමීපචාරී මහරහතන් වහන්සේලා විසින් අර්ථකථා සම්පාදනය කරන ලදී. ඒ අර්ථකථාමාර්ගය මහින්දාගමනයෙන් ලක්දිවට ලැබී චිරාත්කාලයක් බොහෝ දෙනා හට නිවන් මග විවරකර දෙන ලදී. වර්තමානයේ නිවන් මග අළුතින් සොයා ගන්නා අය දක්වන අන්දමට අර්ථකථාවට වැරදුණු තැන් ඒ සියවස් 15කට අධික කාලය තුළ මගඵල ලාභී උතුමන් වහන්සේලාවත් නොදැක ඇත. එයින්ම ඔවුන්ගේ මුළාව හෙළි වේ. එහෙයින් තථාගත සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ පෙළ දේශනය අර්ථකථා ඇසුරින් විවරණය කරගෙන එහි නිවැරදි අර්ථ ග්‍රහණය කරගෙන බුදුසසුනේ චිර පැවැත්ම පිණිස කටයුතු කළයුතු වේ. එසේ නොවුවහොත් බුදුරජාණන් වහන්සේ අංගුත්තර දුක නිපාතයේ වදාළ අයුරින්ම තම තමන්ගේ හුදු අත්තනොමති ඔස්සේ ත්‍රිපිටක බුද්ධවචනයට අර්ථ ඉදිරිපත් කොට ඉක්මනින්ම සද්ධර්මය අන්තර්ධානය පිණිස කටයුතු කරන පිරිසක් බිහි වන්නේය.

[1] ඛිප්පනිසන්ති සූත්‍රය

සම්පාදක

ත්‍රිපිටකාචාර්ය, විද්‍යාවේදී

මහව ඤාණාලෝක ස්වාමීන් වහන්සේ

අටුවා විමර්ශනය දෙවන ලිපිය කියවන්න – අටුවා විමර්ශනය 02 – අර්ථකථාව බුද්ධ දේශනයක් වන්නේ කෙසේ ද? (බුදුරජාණන් වහන්සේගේ ප්‍රකීර්ණක ධර්ම දේශනය)

අටුවා විමර්ශනය සතරවන ලිපිය කියවන්න – අටුවා විමර්ශනය 04 – බුද්ධඝෝෂ හිමි අටුවා වෙනස් කළේ ද?