ත්‍රිපිටක සද්ධර්මය අටුවා ටීකා හා පාළි භාෂාව පිළිබඳ මතවාද විමසුමක්

 

  • ත්‍රිපිටක සද්ධර්මය අටුවා ටීකා හා පාළි භාෂාව පිළිබඳ මතවාද විමසුමක් – පළමු ‌‌‌කොටස

 

 

  

Download PDF

 

 

   

අතිපූජනීය නාඋයනේ අරියධම්ම අනුනාහිමි ගුණානුස්මරණ 

“විමතිවිච්ඡේදනී” ග්‍රන්ථමාලාව – අංක 01

 

පටුන

ත්‍රිපිටක සද්ධර්මය අටුවා ටීකා හා පාළි භාෂාව පිළිබඳ මතවාද විමසුමක් – ‌පළමු කොටස 

01  ත්‍රිපිටක ශ්‍රී සද්ධර්මය

අභිධර්ම පිටකය

අභිධර්ම පිටකය ගැන මෑතකාලීන ශ්‍රේෂ්ඨ මහතෙරවරුන්ගේ අදහස්

විනයපිටකයේ පරිවාරපාළිය

සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායට අයත් ඇතැම් පොත්

02         අර්ථකථා, අට්ඨකථා නොහොත් අටුවා

අටුවාව දැනගැනීමේ ඇති වැදගත්කම පිළිබඳ පෙළෙහි දැක්වෙන උදෘත කීපයක් මෙසේ දක්වමු

පූර්වාචාරීන් වහන්සේලා යැයි අටුවා වල දක්වන්නේ කවුරුන්ද?

අටුවා නොතිබුනා නම්

අටුවා ගැන වංසකථා වල දැක්වෙන අයුරු

අටුවා ගැන මෑතකාලීන ශ්‍රේෂ්ඨ මහතෙරවරුන්ගේ අදහස්

පිළිවෙත් සරු යෝගාශ්‍රමීය මාහිමිපාණන් වහන්සේලා අටුවා-ටීකාදිය පිළිබඳ දරණ අදහස

03         බුද්ධඝෝස මහාස්වාමිපාදයන්   වහන්සේ යනු කවුද?

ලක්දිවට වැඩමකිරීමට පෙර අවදිය

ලක්දිවදී සිදුකළ සාසන මෙහෙවර

එතුමන්ට කරන දෝෂාරෝපන හා ඒවාට පිළිතුරු

බුදුගොස් ඇදුරිඳු ගැන පුරාණ ශ්‍රේෂ්ඨ උතුමන්ගේ අදහස් කිහිපයක්

එතුමන් ගැන අතිපූජනීය නාඋයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේ දැක්වූ අදහස

බුදුගොස් මාහිමි තමාගේ අදහස් අටුවාවන්හි දැක්වූ අයුරු

එතුමන් වහන්සේගේ හැකියාව ගැන නූතන ග්‍රන්ථ කර්‍තෘවරුන්ගේ අදහස්

04         ටීකා ග්‍රන්ථ හා ටීකා ඇදුරුපාණන්  වහන්සේලා

ටීකා යනු මොනවාද?

ටීකා ඇදුරුපාණන් වහන්සේලා යනු කවුද?

ටීකා පිළිබඳ ඇති දුර්මත කීපයක් හා ඊට පිළිතුරු

ත්‍රිපිටක සද්ධර්මය අටුවා ටීකා හා පාළි භාෂාව පිළිබඳ මතවාද විමසුමක් – ‌දෙවන ‌‌‌කොටස 

05         බුදුරජාණන්වහන්සේ දහම් දෙසූ භාෂාව හා ඒ ගැන ඇති මතවාද

භාෂා

පාළි භාෂාව

පාළි භාෂාව හැදෑරීමේ ඇති වැදගත් කම

සිංහල පරිවර්තන වල අපට හමුවූ වැරදි කීපයක්

පාළි වියරණය

06         විශුද්ධිමාර්ගය, අප රටේ ප්‍රචලිත භාවනා ක්‍රම, ඒ  පිළිබඳ ඇති දුර්මත හා ඊට පිළිතුරු

විශුද්ධිමාර්ගය

I        ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රමයේ භාවිත කරන භාවනා ක්‍රම

II      මහාසී භාවනා ක්‍රමය

III    ඵා ඖ භාවනා ක්‍රමය

IV    ගොඑන්කා භාවනා ක්‍රමය

මෙම භාවනා ක්‍රම පිළිබඳ පොදුවේ පවතින වැරදි මත කීපයක් හා ඊට පිළිතුරු

07         අභිධර්ම පිටකය, අට්ඨකථාදිය පිළිබඳව මෙසේ වැරදි මත පැනනැගීමේ හේතු මොනවාද?

08         එම අධර්මවාදී මතවාදයන්ගේ නූතන ව්‍යාප්තිය

09         ධර්මය වරදවා දැක්වීමෙන් වන අනතුර

10          අපගේ අදහස

පිදුම

සියලු ලෝවැසි සත්වයන්ට මොක්සුව සලසනු පිණිස තමා ලත් සියලු සැප කැප කරමින්, අනේක කල්ප අසංඛ්‍ය ගණන් අප වෙනුවෙන් පාරමී සපිරූ ලොවුතුරා සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේටත්

එතුමන් වහන්සේ විසින් අවබෝධ කළ, උතුම් නිවන් සාදන සපරියාප්තික නව ලොවුතුරු ශ්‍රී සද්ධර්මරත්නයටත්,

එම ධර්මය අනුව පිලිපැද, එහි සත්‍යතාවය ලොවට ප්‍රත්‍යක්‍ෂ කොට පෙන්වූ පිලිවෙත් සරු අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නයටත්,

එම නිර්මල දහම මෙතුවක් කල් නිරුපද්‍රිතව පැවැත්වීමටත්, එහි චිර පැවැත්ම වෙනුවෙනුත්, අපරිමිත වෙහෙස විඳිමින් ග්‍රන්ථ රචනාදී නොයෙක් විදියෙන් උපස්ථම්භ සැලසූ සියලු උතුමන්ටත්

වත්මන්හි අසීමිත වෙහෙස විඳිමින්, දිවා රෑ නිදි වරමින් එම දහම පසක් කිරීමට වෙහෙසෙන පිළිවෙත් සරු බුදුපුතුන්ටත්

මෙම ගත උතුම් පූජාවක් වේවා.!!!

 

හැඳින්වීම.

“මනුස්සලාභං ලද්ධාන සද්ධම්මේ සුප්පවෙදිතෙ
යෙ ඛණං නාධිගච්ඡන්ති අතිනාමෙන්ති තෙ ඛණං

(අංගුත්තරනිකාය අක්ඛණ සූත්‍ර)

ඉහත බුදුවදනේ සඳහන් පරිදි අතිදුර්ලභ බුද්ධෝත්පාද කාලයක්, උතුම් මිනිසත්බවක් හා පිරිසිදු ශ්‍රී සද්ධර්මය පවතින කාලයක් එමෙන්ම නිවැරදි ප්‍රතිපත්තියේ යෙදෙන හා ඉන් ප්‍රතිඵල ලබන සත්පුරුෂයන් සිටින කාලයක් යන මේ අති දුර්ලභ කරුණු  ඒකරාශී වූ ඉතාම වටිනා අවස්ථාවක් අපට ලැබී ඇත. මෙම පරම දුර්ලභ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට සෑම දෙනාටම අවස්ථාව නො ලැබෙන්නේය. ඒ අවස්ථාව ලැබෙන්නේ ශ්‍රද්ධා – ප්‍රඥාදී යහ ගුණයන්ගෙන් යුතු නුවණැති උතුමන්ට පමණි.

ඇතැම්හු මෙතරම් ලාභයක් ලැබී තිබියදීත් භාවනා ක්‍රමයන්ගේ ඇති වැරදි සොයමින් ද ධර්ම ග්‍රන්ථයන්ගේ වැරදි අඩුපාඩු සොයමින් හා ඒවා නුසුදුසු පරිදි විවේචනය කරමින් ද අන්‍යයන්ටද තමාගේ වැරදි මත දක්වමින් අනුන්ගේ නිවන් මාර්ගයටද  බාධා කරමින් බොහෝ අකුසල් සිදුකර ගෙන දුගතිගාමී වෙත්. මෙසේ පිරිසිදු බුද්ධ දේශනාවන් විකෘති කිරීම, ඒ නිවැරදි දහම් ග්‍රන්ථ ගැන අන්‍යයන් අපැහැදවීම හා එම ධර්මග්‍රන්ථ මත පදනම් වූ භාවනාක්‍රම අනිසි ලෙස විවේචනය කිරීම මේ යුගයේ බහුල බැවින් නුවණැතියන්ගේ දැනගැනීම පිණිස මෙම කරුණු දැක්වීම සිදු කරන්නෙමු.

බුදුරජාණන් වහන්සේ කෙනෙකුන්ට වුවද සියලු දෙනාවම නිවැරදි කළ නොහැකි බව අපි දනිමු. මහාරජක්ඛ, මුදින්ද්‍රිය, දුවාකාර, දුවිඤ්ඤාපය ආදී නුගුණ වලින් යුත් අය ද ලෝකයේ සිටින බව භාග්‍යවතුන් වහන්සේ දැන වදාළ සේක. එබැවින් අපගේ මෙම උත්සාහය ද සෑම දෙනාටම කරුණු අවබෝධ කරවීමට නොව, ප්‍රධානවම මෙය අවස්ථාවක් කරගනිමින් අපගේ නිවන් ගමනට හේතු සපුරා ගැනීමත්, නුවණැති පිරිසට කරුණු දැන නිවැරදි වීමට අවස්ථාවක් ලබාදීමත්, අපට හැකි අයුරින් සාසනයට දිරිදීමත් පිණිසය. කරුණු මෙසේ හෙයින් ධර්මය පිළිබඳ විමසීමේදී මෙම ග්‍රන්ථයේ සඳහන් කරුණුද විමසා බලා තීරණ ගනිත්වා යනු  ද විශේෂයෙන්ම භාවනාව යනු අධ්‍යාත්මික ක්‍රියාවලියක් බැවින් තමන් එහි නොයෙදී ප්‍රතිඵල නොලබා ඒවා විවේචනයට නොබසිත්වා යනු ද අපගේ කාරුණික ආයාචනයයි.

පුරාණයේ වැඩසිටි ශ්‍රේෂ්ට උතුමන් වහන්සේලා බැමිණිතියා සාය වැනි අති දුෂ්කර අවදි වලදී වැටකේ යුෂ, මී පොතු, මානෙල් දඬු ආදිය වළඳමින්, ක්ෂීණාශ්රව බැවින් තමාට දහමින් ලැබිය යුතු තවත් දේ නැතත් භාණ්ඩාගාරික පරියත්ති වශයෙන් මේ දහම සුරැකි සේක. ක්ෂීණාශ්රව උතුමන් විසින් මේ නිවැරදි දහමත් එහි නිවැරදි අර්ථයත් රැකගැනීමට ගත් වෙහෙස සිහි කරමින්, ඒ උතුමන් අනුව යමින්,  නිවැරදි ශ්‍රී සද්ධර්මය හා එහි නිවැරදි අර්ථ හඳුනා ගනිමින් සීල-සමාධි-ප්‍රඥා ගුණධර්ම සපුරා ඉක්මණින්ම නිවන් අවබෝධය පිණිස සියලුම සත්වයින්ට අපගේ මෙම කුඩා ව්‍යායාමයද හේතු උපනිශ්‍රය වේවා යනු අපගේ මෛත්‍රී සහගත ප්‍රාර්ථනාවයි.

මෙබඳු කාර්යයක් සිදු කිරීමට  අවශ්‍ය පසුබිම සකසමින් අපට පිරිසිදු පැවිදි උපසම්පදාවක් ලබාදීමට කටයුතු කළ පුරාණ ඇදුරු පරම්පරාවටමත්, විශේෂයෙන්ම මෑතකාලයේ වැටීගෙන යමින් තිබූ ප්‍රතිපත්ති සාසනය බැබළවීම පිණිස ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාව පිහිටුවීමට මූළිකව කටයුතු කළ අතිපූජනීය මාතර ශ්‍රී ඤාණාරාම මාහිමිපාණන් වහන්සේ හා අතිපූජනීය කඩවැද්දුවේ ජිනවංස මාහිමිපාණන් වහන්සේ අතුලු ඊට උපකාරක සියලු උතුමන්ටත්, අපගේ උපාධ්‍යායෝත්තම පරම පූජනීය නාඋයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේ හා සියලු කර්මාචාර්ය උතුමන්ටත්, නාඋයන ආරණ්‍යයේ අපගේ නිශ්‍රයාචාර්යෝත්තමයන් වහන්සේ වන මීගොඩ ස්වාමින් වහන්සේ, අපගේ කර්මස්ථානාචාර්යෝත්තමයන් වහන්සේ වන අඟුල්ගමුවේ ස්වාමින් වහන්සේ ඇතුලු සියලු ආචාර්ය උතුමන්ටත්, මූලික ධර්මවිනය ඤාණය හා අටුවා ටීකා පරිශීලනය කළයුතු අයුරු කියාදෙමින් අපේ පැවිදි දිවියේ අත්තිවාරම දැමූ අපගේ ආචාර්යෝත්තම නුවරඑළියේ ඤාණසීල මාහිමිපාණන් වහන්සේ ඇතුලු සියලුම උපකාරක සබ්‍රහ්මචාරීන් වහන්සේලාටත්, අවශ්‍ය පොතපත හා දහම් කරුණු වලින් අවවාද දෙමින් අපව දිරිමත් කරන හීනටිගල පඤ්ඤාරාම ස්වාමින් වහන්සේටත්, අවශ්‍ය කරුණු සැකසීමට උපකාර කළ බත්තරමුල්ලේ පදුමසිරි, නාවලපිටියේ නාරද, නුවරඑළියේ ඤාණෝපම, කිරිවත්තේ තේජානන්ද, ඇමටියගොඩ චන්දසුමන, කිරිවත්තුඩුවේ ධීරානන්ද යන ආයුෂ්මතුන් වහන්සේලාටත් ගිහි ජීවිතයේදී අපට උපකාර සැලසූ පිංවත් දෙමාපියන් ගුරුවරුන් සහෝදර-සහෝදරියන් ඇතුලු උපකාරක ගිහි-පැවිදි සැමටත්, මේ කුසලය අනුමෝදන් වන අනන්ත ලෝකවාසී සත්වයන්ටත් ඉක්මනින්ම නිර්වාණාවබෝධය පිණිසත්, ඒතාක් මිසදිටු නොගෙන පිරිසිදු දහම හඳුනාගැනීම පිණිසත් මෙම කුසලය හේතු උපනිශ්‍රය වේවායි මෙසේ පුණ්‍යානුමෝදනා සිදුකරමු.

එසේම මාකඩුවාවේ සුධම්මරක්ඛිත ආයුෂ්මතුන් වහන්සේ මෙම ග්‍රන්ථය මුද්‍රණය කිරීමේ වටිනාකම දැන ඒ සඳහා දායකත්වය දරන ඒ.පී. දිසානායක මහත්මයාටද මෙම කාර්යයෙහි වටිනාකම පහදා දී මෙයට සම්බන්ධ කරවීය. මෙම කුසලය එම ආයුෂ්මතුන් වහන්සේටත් එම දායක මහත්මාටත් ඉතා ඉක්මනින් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් අවබෝධය පිණිසම හේතු වේවා යැයි ආශිංසනය කරමු.

එසේම මෙම ග්‍රන්ථයට අපගේ අදහස් ද ඇතුලත් බැවින් ඒවායේ යම් වරදක් අඩුපාඩුවක් වෙතොත් එයද, මෙයට එකතු විය යුතු යැයි හැඟෙන යම් කරුණක් වෙතොත් ඒවාද අපට දන්වා එවන්නේ නම් එය අපට කරන මහත් අනුග්‍රහයක් කොට සලකමු. තවද මෙහි අඩංගු කරුණු විකෘති නොකර කැමති අයුරින් උපුටා ගැනීම ද වරදක් නොවේ.

සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා!!!

චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මා සම්බුද්ධසාසනං.

මෙයට,
සම්බුද්ධසාසනචිරස්ථිතිකාමී,
දිද්දෙණියේ අරියදස්සන හිමි,
නාඋයන අරණ්‍ය සේනාසනය,
පන්සියගම.
2018-08-25

01  ත්‍රිපිටක ශ්‍රී සද්ධර්මය

තුන්ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සර්වඥ  දශබලධාරීන් වහන්සේ සෝලසාසංඛ්‍ය කල්ප ප්‍රමාණයක් මනෝවාග්ප්‍රණිධාන (සිතින් හා වචනයෙන් පෙරුම් පිරීම්) වශයෙන් හා සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පුරාවට මහාප්‍රණිධාන (ක්‍රියාවෙන් පෙරුම් පිරීම්) වශයෙන් ද අනන්‍යසාධාරණ වූ ක්‍රියාවන් සිදු කොට සම්මා සම්බුද්ධත්වයට පත්වූ සේක් අප වැනි අප්‍රමාණ සත්වයින් කෙරෙහි වූ අසීමිත කරුණාව හේතුවෙනි. බුද්ධත්වය ලැබ අනන්ත අපරිමාණ සත්වයින්ට නිවන් සාක්‍ෂාත් කරවමින්, බොහෝ පිරිසක් සුගතිගාමී කරවමින් පුරා හතලිස් පස් වසක් දහම් අමාවෙන් මුලු විශ්වයම සනසවා පිරිනිවන් පා වදාළ සේක.

භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා වදාළ ද භාග්‍යවතුන් වහන්සේ විසින් දේශිත ශ්‍රී සද්ධර්මය පිරිසිදුව පවතින තාක් කල් අපගේ ශාස්තෘන් වහන්සේ ජීවමානය. ඒ බව භාග්‍යවතුන් වහන්සේ විසින්ම පරිනිර්වාණ සූත්‍රයේදී මෙසේ වදාළ සේක.

‘‘සියා ඛො පනානන්, තුම්හාකං එවමස් අතීතසත්ථුකං පාවචනං, නත්ථි නො සත්ථාති. ඛො පනෙතං, ආනන්, එවං දට්ඨබ්බං. යො වො, ආනන්, මයා ධම්මො විනයො දෙසිතො පඤ්ඤත්තො, සො වො මමච්චයෙන සත්ථා 

ආනන්දය, නුඹ වහන්සේලාට මේ බුද්ධදේශනාව ඉක්මුණු (පිරිනිවුණු) ශාස්තෘවරයෙකු ඇති දේශනාවකි, අපගේ ශාස්තෲන් වහන්සේ නැතයි මෙසේ අදහසක් ඇති වන්නේ නම්, ආනන්දය එය එසේ නොදත යුතුය. ආනන්දය, මාවිසින් යම් ධර්මයක් විනයක් දේශනා කරනා ලද්දේ පනවන ලද්දේ , ධර්මවිනය මගේ ඇවෑමෙන් නුඹ වහන්සේලාට ශාස්තෲන් වහන්සේ වන්නේය යනුවෙනි.

එබැවින් බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් පසුව ශ්‍රී සද්ධර්ම රත්නය අපගේ ශාස්තෲන් වහන්සේ ලෙස සැලකිය යුතුය. එසේනම් පිරිසිදු ශ්‍රී සද්ධර්මය පවතින තාක් කල් බුදුරජාණන් වහන්සේ ජීවමාන යැයි දත යුතුය. යම් හෙයකින්  යමෙක් ඒ පිරිසිදු ශ්‍රී සද්ධර්ම ප්‍රතික්‍ෂේප කරන්නේ නම් ඔහු ශාස්තෲන් වහන්සේ ප්‍රතික්‍ෂේප කරන්නේ යැයි දත යුතුය. කරුණු මෙසේ හෙයින් පිරිසිදු ශ්‍රී සද්ධර්ම රත්නය හඳුනාගැනීමට අප දක්‍ෂ වියයුතුය. සඳහා ප්‍රතිපත්තිගරුක ශ්‍රද්ධාවන්ත බහුශ්‍රැ ගුරු උතුමන් ඇසුරු කිරීම අතිශයෝපකාරී වේ. එසේ නැතිව තමාට හැඟෙන දේ පමණක් නිවැරදිය යන දිට්ඨි – මාන – ථම්භාදී කෙලෙස් වලට හසුවී තීරණ ගැනීම නිසා තමාටත් අනුන්ටත් ලැබෙන්නට තිබෙන යහපත වළකිනවා මෙන්ම අතිශය බරපතල පාපයන් සිදුකොට ගෙන මතු කටුක දුක් වලට හිමිකාරයෙක් වනු ඇත. ඒබැවින් පිරිසිදු බුද්ධ දේශනාව කුමක් ද යන්න හඳුනා ගැනීමේදී රාග-ද්වේශ- මෝහ දුරු කිරීමට හේතු වේද යන්න ප්‍රධාන සාධකයකි. තව ද පුරාණ පටිසම්භිදා ලාභී උතුමන්ගේ යුගයේදී ඒ උතුමෝ පිළිගත් ආකාරය ද ප්‍රධාන සාධකයකි. එබැවින් එම සාධක නොසලකා තම තමාගේ දැනීමට හා දෘෂ්ටියට අනුව දක්වන නූතන මතවාද මෙහිදී කිසිසේත් ම ප්‍රාමාණික නොවේ. ඒ අනුව විනය, සූත්‍ර, අභිධර්ම යන පිටක තුනට අයත් වූ සමන්තපාසාදිකා විනය අටුවාදී පුරාණ ග්‍රන්ථයන්හි පිළිගත් ග්‍රන්ථ පිරිසිදු බුද්ධ දේශනා ලෙස පිළිගත යුතුය. නමුත් දැන් දැන් බොහෝ දෙනා හරිහැටි කරුණු නොදැන ඇතැම් දහම් ග්‍රන්ථ විවේචනය කරමින් අනල්ප අකුසල් සිදුකරගන්නා අයුරු දක්නා ලැබේ.

ඒ අතර ඇතැමෙක් “ත්‍රිපිටකයේ ඇති අභිධර්මය ආදී සියලු ධර්ම කොටස් නිවන් දැකීමට අවශ්‍ය නැත. සූත්‍රපිටකය පමණක් බැලුවාම ඇති.” යැයි ද තවත් අය “සතිපට්ඨානසූත්‍රය පමණක් දැනගත්තාම ඇති” යැයි ද මෙසේ විවිධ අධර්මවාද පතුරති. නිවන් දැකීමට මුළු ත්‍රිපිටකයම දතයුතු යැයි අපිදු නොකියමු. ඇතැමෙකුට සප්පාය දේශනාවක් තවෙකෙකුට සප්පාය නොවිය හැකිය. විවිධ චරිත ඇති විවිධ අදහස් ඇති අයට ඒ ඒ චරිතයන්ට ගැලපෙන ලෙස නිවැරදිවම දහම් දෙසීමේ හැකියාව ඇත්තේ සර්වඥයන් වහන්සේ නමකටම පමණි. එබැවින් මේ මේ කෙනාට ගැලපෙන්නේ මේ මේ දේශනාවයි අනෙක්වා නොගැලපේ යනුවෙන් දැක්වීමේ හැකියාව ඇත්නම් ඒ බුදු රජාණන්වහන්සේම පමණි, ඒ ආසයානුසයඤාණ- ඉන්ද්‍රියපරොපරියත්තෙ ඤාණ ඇත්තේ සර්වඥයින් වහන්සේ කෙනෙකුන්ටම පමණක් බැවිනි. ඇතැම් උතුමන් වහන්සේලා අභිධර්මය සම්මර්ශනයෙන් නිවන් අවබෝධ කළ අයුරු ද සලකා බලත්වා. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා පන්සිය දෙනා, නාගසේන මහරහතන් වහන්සේ, මහාගතිම්බය තිස්සදත්ත මහරහතන් වහන්සේ වැනි උතුමන්ගේ කථා ප්‍රවෘත්ති මීට නිදසුන් වෙති.

මෙහිදී තවත් කරුණක් දැක්විය යුතුව ඇත. නවීන විද්‍යාවෙන් සොයාගන්නා ඇතැම් කරුණු හා ධර්මයේ සඳහන් ඇතැම් කරුණු එකඟ නොවේ. එබැවින් ඇතැම් ගිහි අය මෙන්ම ඇතැම් පැවිද්දෝ ද ධර්මයේ සඳහන් එබඳු තැන් පිලිගැනීමටත් දේශනා කිරීමටත් මැලි වෙති. ඒ වෙනුවට ධර්මය හා නවීන විද්‍යාව සසඳමින් දහම් දෙසති. බටහිර ජාතිකයින් දහම පිළිගැනීම නම් යහපත් දෙයකි. නමුත් සියල්ල අවබෝධ කළ සර්වඥයන් වහන්සේගේ ශ්‍රාවකයෝ එම දහම තහවුරු කර ගැනීමට අන්ධපෘථග්ජන උගතුන් බිහිකළ න්‍යායන්ගේ පිහිට පැතීම මහත් අභාග්‍යයකි. මෙසේ වීමට හේතුව වන්නේ භික්‍ෂූහු තම උරුමය ගැන නොදැනීමයි. අපගේ උරුමය වූ සර්වඥදේශනාව එසේ මෙසේ දහමක් නොව. “කෙවලපරිපුණ්ණං” යනාදී ගුණයන්ගෙන් යුත් අති දුලබ වූ සර්ව සම්පූර්ණ වූ දහමකි. විද්‍යාඥයින් විසින් පිරවිය යුතු අඩුපාඩු කිසිවක් එහි නැත. ලෝකයේ පහල වූ අග්‍රගණ්‍ය විද්‍යාඥයා සර්වඥ භාග්‍යවතුන් වහන්සේය. ඉන්පසු ක්‍ෂීණාශ්‍රව උතුමන් වහන්සේලාය. ඒ උතුමන් වහන්සේලාගේ අවබෝධය පසිඳුරන්ගෙන් දතහැකි දේට පමණක් සීමා වී නැත. ෂඩ් අභිඥාදී පෘථග්ජනයන්ට අවිෂය වූ උතුරුමිනිස්දම් මත පිහිටා ඇත. විශේෂ ඤාණ මත පිහිටා ඇත. ඇතැම් පඤ්ච ඉන්‍ද්‍රිය ගෝචර දේ පවා මෙම  විද්‍යාඥයින්ට අවිෂය වෙත්. බර්ම්‍යුඩා ත්‍රිකෝණය යැයි හඳුන්වන පෙදෙස ඊට උදාහරණයකි. තවද ඇතැම් දේ වලින් පඤ්ච ඉන්‍ද්‍රියයන්ට විෂය වන්නේ ද කොටසකි. අපට දක්නට ලැබෙන පෘථුවිය යනු පොලොවේ ඇති මිනිස් ඇසට ගෝචර ප්‍රදේශයයි. නමුත් සත්‍ය පොලොව මීට වඩා ප්‍රමාණයෙනුත් හැඩයෙනුත් වෙනස් වූවකි. මිනිස් ඇසටත් නවීන උපකරණයන්ටත් අවිෂය භූමාටු දේව, යක්‍ෂ, ප්‍රේතාදීන්ගේ විමාන ද පොලොවට සම්බන්ධය. ඒ බව ආලවක සූත්‍රාදියෙහි දැක්වේ. එබැවින් සැබෑ පොලොව විද්‍යාඥයින් දකින පොලොවට වඩා වෙනස් වූවකි. කරුණු මෙසේ හෙයින් භික්‍ෂුව  විසින් කළ යුත්තේ බුදුදහම විද්‍යාව සමග ගලපා බැලීම නොව තමා දන්නා ස්වල්පය නමුත් ප්‍රායෝගිකව තම ජීවිතයට එකතු කර ගනිමින් දුකින් නිදහස් වීමට කටයුතු කිරීමයි.

මේ පිලිබඳ මෙතරම් කරුණු දක්වන්නට යෙදුනේ ඇතැම් භික්‍ෂූන් වහන්සේලා අනවශ්‍ය පරිදි විද්‍යාවත් බුදුදහමත් ගැලපීමටත්, විද්‍යාවට අනුව ඇතැම් දහම් කරුණු වරදවා දැක්වීමටත්, විද්‍යාවට නොගැලපෙන ඇතැම් දහම් කරුණු ප්‍රතික්‍ෂේප කිරීමටත් පෙළඹී ඇති බැවින් ඒ අය පිළිබඳ කරුණාවෙනුත් මහාකාරුණික භාග්‍යවතුන් වහන්සේගේ පිරිසිදු ශ්‍රී සද්ධර්මය ලෝකසත්වයාට නිවන් මග පෙන්වමින් තවත් බොහෝ කාලයක් ලොව පවතීවා යන අදහසිනුත් යුතුවය. මෙකල ඇතැම් ධර්ම ග්‍රන්ථ පිළිබඳව ද විවිධ මිත්‍යා මත ඇති බැවින් ඒ පිළිබඳ කරුණු ස්වල්පයක් ද මෙසේ දක්වමු.

අභිධර්ම පිටකය

භාග්‍යවතුන් වහන්සේ විසින් දේශිත ස්කන්ධ, ධාතු, ආයතන, ඉන්‍ද්‍රිය, චතුරාර්ය සත්‍යය, පටිච්ච සමුප්පාද ආදී පරමාර්ථ ධර්මයන් පිලිබඳ සවිස්තර දේශනයන් අඩංගු පිටකය අභිධර්ම පිටකයයි. අභිධර්ම පිටකය පිළිබඳ දීර්ඝ විස්තරයක් විනය මහාවග්ගපාළි හා අභිධර්ම පිටක ග්‍රන්ථයන්ගේ බුද්ධජයන්ති පරිවර්තනයේ සංඥාපනයේ දක්වා ඇත. එබැවින් ඒ පිළිබඳ වැඩියමක් පැවසීම අනවශ්‍යය. නමුත් දැනුදු ඇතැම් පිරිස් “අභිධර්මය බුද්ධදේශනාවක් නොවේ” යන වැරදි මතය සමාජගත කිරීමට උත්සාහ දරන බැවින් ධර්මානුකූලව කරුණු විමසා බලන නුවණැත්තන්ගේ යහපත උදෙසා ඊට කරුණු කීපයක් එක් කිරීමට අදහස් කළෙමු. නුවණැත්තෝ පහත සඳහන් කරුණු විමසා බලත්වා. අපගේ අදහස් Ø යන ලකුණ යටතේ දක්වමු.

  1. පඤ්‌හං පුච්‌ඡෙය්‍යාති සුත්‌තන්‌තෙ ඔකාසං කාරාපෙත්‌වා විනයං වා අභිධම්මං වා පුච්‌ඡති, ආපත්‌ති පාචිත්‌තියස්‌ස. විනයෙ ඔකාසං කාරාපෙත්‌වා සුත්‌තන්‌තං වා අභිධම්මං වා පුච්‌ඡති, ආපත්‌ති පාචිත්‌තියස්‌ස. අභිධම්මෙ ඔකාසං කාරාපෙත්‌වා සුත්‌තන්‌තං වා විනයං වා පුච්‌ඡති, ආපත්‌ති පාචිත්‌තියස්‌ස.

පඤ්හං පුච්ඡෙය් යනු සූත්‍රපිටකයෙහි (ප්‍රශ්ණ ඇසීමට) අවසර ගෙන විනය හෝ අභිධර්මය හෝ අසයි නම් පචිති ඇවැත් වේ. විනයපිටකයෙහි (ප්‍රශ්ණ ඇසීමට) අවසර ගෙන සූත්‍ර හෝ අභිධර්මය හෝ අසයි නම් පචිති ඇවැත් වේ. අභිධර්මපිටකයෙහි (ප්‍රශ්ණ ඇසීමට) අවසර ගෙන සූත්‍ර හෝ විනය හෝ අසයි නම් පචිති ඇවැත් වේ. [1]

[1]බුද්ධජයන්ති පාචිත්තියපාළි.2 -366-367 පිටු

  1. අනාපත්‌ති න විවණ්‌ණෙතුකාමො, ‘‘ඉඞ්‌ඝ ත්‌වං සුත්‌තන්‌තෙ වා ගාථායො වා අභිධම්මං වා පරියාපුණස්‌සු, පච්‌ඡා විනයං පරියාපුණිස්‌සසී’’ති භණති, උම්‌මත්‌තකස්‌ස, ආදිකම්‌මිකස්‌සාති.

නොගරහනු කැමැත්තේ ‘‘දැන් පළමු කොට සූත්‍රාන්තයන් හෝ ගාථා හෝ අභිධර්මය හෝ හදාරව පසුව විනය හදාරව’’ යැයි කියයි නම් ඇවැත් නොවේ. උමතු වූවහුට, ආදිකර්මිකහට ඇවැත් නැත.[2]

[2] බුද්ධජයන්ති පාචිත්තියපාළි 1-  386-387 පිටු

  1. පමුට්‌ඨම්‌හි ච සුත්‌තන්‌තෙ, අභිධම්‌මෙ ච තාවදෙ; විනයෙ අවිනට්‌ඨම්‌හි, පුන තිට්‌ඨති සාසනං.

……සූත්‍රපිටකය පිරිහී ගියත් එසේම අභිධර්ම පිටකය පිරිහී ගියත් විනය පිටකය නො නැසී පවත්නා තාක් සාසනය පවත්නේය.[3]

[3] බුද්ධජයන්ති විනයපිටක මහාවග්ග 1 කොටස, 244-245 පිටු

  1. සබ්‌බසත්‌තුත්‌තමො සීහො, පිටකෙ තීණි දෙසයි; සුත්තන්තමභිධම්මඤ්, විනයඤ්‌ච මහාගුණං.

සියලු සත්ත්වයන්ට ම උතුම් වූ මුනි ශ්‍රේෂ්ඨයන් වහන්සේ මහඅනුසස් ඇති සූත්‍රපිටකය ද අභිධර්ම පිටකය ද විනය දැයි ත්රිපිටකය දෙසූ සේක.[4]

[4] බුද්ධජයන්ති පරිවාර පාලි 1 කොටස -304-305 පිටු

  1. උපාලිං විනයං පුච්‌ඡි, සුත්‌තන්‌තානන්‌දපණ්‌ඩිතං; පිටකං තීණි සඞ්ගීතිං, අකංසු ජිනසාවකා.    

 උපාලි මහරහතන්වහන්සේගෙන් විනය විචාල සේක. නුවණැති වූ ආනන්ද මහරහතන් වහන්සේගෙන් සූත්‍රාන්ත විචාල සේක. ජිනශ්‍රාවක වූ පළමු සංගීතිකාරක මහරහතන් වහන්සේලා පිටක තුනක් සංගායනා කළ සේක්හ.[5]

  • විනයපිටක පෙළෙහි ඉතා පැහැදිලිව මෙසේ පිටක තුනක් දක්වා තිබිය දී අභිධර්ම පිටකය බුද්ධ දේශිතයක් නොවේ යැයි පැවසීම සැබවින්ම විශ්මයජනක නොවේ ද?

[5] බුද්ධජයන්ති විනයපිටක චුල්ල වග්ග 2කොටස  -564-565 පිටු

  1. ‘‘ද්‌වාසීති බුද්‌ධතො ගණ්‌හිං, ද්‌වෙ සහස්‌සානි භික්‌ඛුතො;චතුරාසීතිසහස්‌සානි, යෙ මෙ ධම්‌මා පවත්‌තිනො.”

ධර්මස්කන්ධ 82000 ක් බුදුරජාණන්වහන්සේගෙන් අසා දරා ගත්තෙමි. 2000 ක් ශ්‍රාවක මහරහතන්වහන්සේලාගෙන් අසා දරා ගත්තෙමි. යම් ධර්මස්කන්ධ ප්‍රමාණයක් මා වෙත පවතිත් ද ඒ ප්‍රමාණය 84000 ක් වන්නාහ.[6]

  • මේ දැක්වෙන්නේ ආනන්ද මහ රහතුන් වහන්සේගේ ථේර ගාථාවකි. ඒ අනුව එතුමන් වහන්සේ ධර්මස්කන්ධ 84000 ක් දරාගත් බව දැක්වේ. ධර්මයෙහි දැක්වෙන්නේ විනයෙහි 21000, සූත්‍රයන්හි 21000, අභිධර්මයෙහි 42000 වශයෙන් ධර්මස්කන්ධ බෙදී යන බවයි. අභිධර්මය බුද්ධ දේශිත නොවන්නේ නම් එම ඉතිරි 42000 ක් ධර්මස්කන්ධ පිරෙන්නේ කුමන කරුණු වලින් දැයි “අභිධර්මය බුද්ධදේශනාවක් නොවේ” යැයි කියන්නෝ සිතා බලත්වා.

[6] ථේරගාථාපාළි 236 පිටුව

  1. ‘‘සුත්‌තන්‌තං අභිධම්මඤ්, විනයඤ්‌චාපි කෙවලං; නවඞ්‌ගං බුද්‌ධවචනං, එසා ධම්‌මසභා තව.

සූත්‍ර අභිධර්ම විනය යන සියලු නවාංග බුද්ධ වචනය ඔබ වහන්සේගේ (ධර්ම නගරයෙහි) ධර්මාධිකරණ සභාවයි.[7]

[7] උපාලිත්‌ථෙරඅපදානං,අපදාන පාලි 1 – 78 පිටුව- 542 ගාථාව

  1. ‘ඉධාවුසො සාරිපුත්‌ත, ද්‌වෙ භික්‌ඛූ අභිධම්‌මකථං කථෙන්‌ති. තෙ අඤ්‌ඤමඤ්‌ඤං පඤ්‌හං පුච්‌ඡන්‌ති, අඤ්‌ඤමඤ්‌ඤස්‌ස පඤ්‌හං පුට්‌ඨා විස්‌සජ්‌ජෙන්‌ති, නො ච සංසාදෙන්‌ති, ධම්‌මී ච නෙසං කථා පවත්‌තිනී හොති. එවරූපෙන ඛො, ආවුසො සාරිපුත්‌ත, භික්‌ඛුනා ගොසිඞ්‌ගසාලවනං සොභෙය්‍යා’ති. ‘‘සාධු සාධු, සාරිපුත්‌ත, යථා තං මොග්‌ගල්‌ලානොව සම්‌මා බ්‍යාකරමානො බ්‍යාකරෙය්‍ය. මොග්‌ගල්‌ලානො හි, සාරිපුත්‌ත, ධම්‌මකථිකො’’ති.

..‘‘ඇවැත් ශාරිපුත්‍රයෙනි, මේ සසුනෙහි භික්ෂූහු දෙදෙනෙක් අභිධර්මකථා කෙරෙත් ද,’’……[8]

[8] මහාගොසිඞ්‌ගසුත්‌තං, ම.නි.1 කොටස –  522පිටුව

  1. ‘‘පුන චපරං, ආවුසො, භික්‌ඛු ධම්‌මකාමො හොති පියසමුදාහාරො, අභිධම්මෙ අභිවිනයෙ උළාරපාමොජ්‌ජො – යංපාවුසො, භික්‌ඛු ධම්‌මකාමො හොති…පෙ.… උළාරපාමොජ්‌ජො -. අයම්‌පි ධම්‌මො නාථකරණො.

තවද අනෙක් කරුණක් වේ, භික්ෂුවක් ධර්මය කැමති වේද, සකසා දහම් ඇසීමත් අනුනට දේශනා කිරීමේ රුචියත් ඇත්තේ වේද, අභිධර්මයෙහි අභිවිනයෙහි බහුල ප්‍රමෝදය ඇත්තේ වේද, …මෙයද නාථකරණ ධර්මයකි.[9]

[9] සඞ්‌ගීතිසුත්‌තං, දී.නි.3කොටස – 458 පිට

  1. ‘‘ආරඤ්‌ඤිකෙනාවුසො, භික්‌ඛුනා අභිධම්මෙ අභිවිනයෙ යොගො කරණීයො. සන්‌තාවුසො, ආරඤ්‌ඤිකං භික්‌ඛුං අභිධම්මෙ අභිවිනයෙ පඤ්‌හං පුච්‌ඡිතාරො…..

ඇවැත්නි, ආරණ්‍යක භික්ෂුව විසින් අභිධර්ම පිටකයෙහි විනය පිටකයෙහි ද පෙළ වශයෙන් ද අර්ථ (අටුවා) වශයෙන් ද යෙදීම කටයුතුය. ඇවැත්නි, ආරණ්‍යක භික්ෂුවගෙන් අභිධර්ම පිටකයෙහි විනය පිටකයෙහි ප්‍රශ්ණ විචාරන්නාහු වෙත්.[10]

  • මේ දැක්වූයේ සූත්‍ර පිටකයෙහි, අභිධර්ම පිටකය පිළිබඳ දැක්වෙන තැන් කීපයක් පමණි. තවත් එබඳු තැන් බොහෝය. තවද මේ ලක් දිවෙහිම පුරාණයේ වැඩසිටි මහා ප්‍රාඥ රහත් උතුමන් වහන්සේලාගේ නම් සඳහන් කිරීමේදී ත්රිපිටක චූලාභයත්ථේරෝ, ත්රිපිටක චූලනාගත්ථේරෝ, ආභිධම්මික ගොධත්තත්ථේරෝ, ආභිධම්මික අභයත්ථේරෝ යැයි දක්වා තිබේ. අභිධර්ම පිටකය බුද්ධ දේශනාවක් නොවේ නම් ඒ රහත් උතුමන් වහන්සේලා බුද්ධ දේශනාව හා අබුද්ධදේශනාව හඳුනාගත නොහැකිව ධර්මය යැයි සිතා අධර්මයක් හැදෑරූ සේක් දැයි නුවණැත්තෝ සිතා බලත්වා.
  • මෙතරම් ඉතා පැහැදිලිව ඉර-හඳ මෙන් ප්‍රකටව අභිධර්ම පිටකය පිළිබඳව විනය හා සූත්‍ර පෙළ පොත් වලම දක්වා තිබියදී එය නොසලකා අභිධර්මය බුද්ධදේශනාවක් නොවේ යැයි පැවසීම ජින චක්රයට පහර ගැසීමකැයි දහමෙහි දැක්වේ. එම පාපයේ බරපතල කම කියා නිම කිරීමට ද නොහැකිය. ඒ බව දහම් පොත් කියවා තේරුම් ගනිත්වා. අබෞද්ධයින් අතර පමණක් නොව බෞද්ධයින් අතර ද මෙම මත පැතිරීම ඛේදයකි. ඒ සෑම දෙනාටම සම්මා දිට්ඨිය පහළ වේවා යැයි අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරමු.

[10] ගොලියානි/ ගුලිස්සානිසුත්‌තං, ම.නි.2 කොටස – 232 පිට

අභිධර්ම පිටකය ගැන මෑතකාලීන ශ්‍රේෂ්ඨ මහතෙරවරුන්ගේ අදහස්….

  1. අතිපූජනීය රේරුකානේ චන්දවිමල මාහිමිපාණන් වහන්සේ

ඥෙය සාගර පාරගත වූ මහා කාරුණික වූ අප බුදු රජාණන් වහන්සේ විසින් පරම සූක්‍ෂම පරම ගම්භීර චිත්ත චෛතසිකාදී පරමාර්ථ ධර්මයන්ගේ තතු ලොවට හෙළි කරනු පිණිස දේශනය කළ විශිෂ්ඨ ධර්මය අභිධර්ම පිටකයයි.[11]

[11]  අභිධර්මයේ මූළික කරුණු සංඥාපනය

  1. අතිපූජනීය මාතර ශ්රී ඤාණාරාම මාහිමිපාණන් වහන්සේ

(පර්යාප්ති ශාසනය) මහාකාරුණික බුදුපියාණන් වහන්සේ වදාළ අනුශාසනා සමූහයයි. ඒ වනාහි පොදුවේ සුගතියට ද විශේෂයෙන් නිවනට ද මාර්ගය සලසා දෙන පිළිවෙත වදාළ සුපිරිසිදු  උපදෙස් රැසය. විනය පිටකය, සූත්රාන්ත පිටකය, අභිධර්ම පිටකය යයි එය කොටස් තුනකට බෙදී ඇත්තේය.[12]

[12] විදර්ශනා පරපුර 2 පිටුව (අතිපූජනීය මාතර ශ්‍රී ඤාණාරාම මාහිමි) 2003

  1. අතිපූජනීය කඩවැද්දුවේ ජිනවංස මාහිමිපාණන් වහන්සේ

අභිධර්මය පිළිබඳ නොයෙක් උගත්හු විවිධ මත පළකෙරෙති. මේ අතර අභිධර්මය ශ්‍රී බුද්ධ දේශනාවක් නොවේ යයි කියන්නෝ ද වෙති. ඒ මති මතාන්තර ඔවුන්ගේ සඤ්ඤා විපල්ලාසයන් හැටියට සලකන අපි උපෙක්‍ෂිත වෙමු…..

අභිධර්මය ගැන සිතීමේදී මගේ සිතට දැනී ගියේ ධර්මන්‍යායක් වශයෙනි. එනම් ධර්මයේ ස්වභාවය හෙවත් ඇතුල් ස්වරූපය පිරිසිඳ අවබෝධකර ගැනීමට උපකාර වන ප්‍රමිති තත්වයක් ලෙසිනි.

ඇත්ත වශයෙන්ම සර්වඥතා ඥානයේ අසදෘශ සාධකය අභිධර්මය යයි කියනු සුදුසුමය.[13]

[13]  අභිධර්ම භාවනා 1 කොටස

  1. අතිපූජනීය නාඋයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේ

තෙරුවන් සරණයි! ශ්‍රාවකයින් වහන්සේලාට විෂය නොවන සර්වඥයන් වහන්සේ නමක් විසින්ම දේශනා කළ හැකි දේශනාවකුයි අභිධර්ම දේශනාව. විනය පිටකයත් එහෙමමයි. සූත්‍රාන්ත පිටකයෙ පමණක් සමහර දේශනා ශ්‍රාවකයින් වහන්සේලා විසින් විග්‍රහ කරල තියෙනවා…….. සියලු බුදුවරයන් වහන්සේලාට තියෙනවා සමාන ධර්ම තිහක්, අසමාන ධර්ම අටක් තියෙනවා. ඒ සමාන ධර්ම තිහ අතුරින් එකක් තමයි ලොවුතුරා බුදු වීමෙන් හත්වෙනි වසරේ දී දෙවියන් සහිත ලෝකයාට බුදු මහිමය පෙන්වනු පිණිස යමාමහ පෙළහර පාලා තවුතිසා භවනට වැඩම කරවීම. තවුතිසා භවනට වැඩම කරවා මාතෘ දිව්‍යරාජයා ප්‍රමුඛව දසදහසක් සක්වලින් පැමිණෙන දෙවි බඹුන්ට මේ ගාම්භීර අභිධර්ම දේශනාව පැවැත්වීම සියලු බුදුවරයන් වහන්සේලාට සමාන ධර්මතාවක්….. ඒ නිසා බුදුරජානන් වහන්සේ විසින්ම දේශනා කරන ලද මේ අභිධර්ම පිටකය, බුද්ධ දේශනාවක් නොවේය – ශ්‍රාවකයන් විසින් සංග්‍රහ කරන ලද්දක්ය ආදී වශයෙන් විග්‍රහ කරන්න ගියොත් ඒක ජිනචක්‍රයට පහර දීමක් කියනවා, ඒ කියන්නේ සර්වඥතාක් ඥානයට පහරදීමක් කියනවා. ධර්මය අධර්මය කොට දැක්වීමේ භේදකර වස්තුවකට වැටෙනවා. ඒ වගේම මෙළොව වශයෙන් ඔහු බොහෝ දුකට පත්වෙලා අපාගාමී වීමට හේතු වෙනව. ඒ නිසා සර්වඥයන් වහන්සේ විසින්ම දේශනා කරන ලද අභිධර්මය විදියටම පිළිගෙන අනුගමනය කිරීමෙන් විපස්සනා ඥාන දියුණු කරගන්න ශක්තිය ලැබෙනවා. විශේෂයෙන්ම අභිධර්මයට අදාල දේ තමයි විපස්සනාවට ගැනෙන්නේ. ඒ නිසා අභිධර්ම දේශනාව ශ්‍රාවක කෙනෙකු විසින් වත් වෙනත් කෙනෙකුන් විසින්වත් සංග්‍රහ කරන ලද්දක් නොව සවාසනා සකල ක්ලේෂයන් ප්‍රහාණය කළ සර්වඥතාක් ඥානය ඇති සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන්ම දේශනා කරන ලද අභිධර්ම දේශනාවක් බව අපි දොහොත් මුදුනින් පිළිගන්නවා.[14]

[14] බෞද්ධයා නාලිකාවේ පැවති අභිදම් නිම්තෙර සාකච්ඡාවක් ඇසුරිනි.

විනයපිටකයේ පරිවාරපාළිය

භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීමුඛ දේශනාවන්ගෙන් හා උපාලි මහරහතන් වහන්සේගේ දේශනාවන්ගෙන් ද යුක්ත වූ පරිවාර පාළිය පළමු සංගායනාවේදීද සංගායනා කළ බව ඉතා පැරණි ධර්මග්‍රන්ථයන්හි හා වංශකථාවන්හි ද ඉපැහැදිලිව දක්වා ඇත. එය එසේම බව දැනටත් ප්‍රතිපත්තිගරුක ධර්මගරුක සියලුම ථේරවාදී පඬිවරු අවිවාදයෙන් පිළිගනිති. ව්‍යවහාර වර්ෂ 1900 ට පමණ පෙර එනම්  ත්‍රිපිටකය පිලිබඳ හසල බුද්ධිමතුන් වැඩසිටි අතීතයේ නිපදවූ කිසිඳු ථේරවාදී ග්‍රන්ථයක “පරිවාරපාළිය බුද්ධදේශනාවක් නොවේ” යැයි දක්වා නැත.

නමුත් මෑතක සිට එබඳු බුද්ධ දේශනාවන් ගැන ද සැක උපදවීමට ඇතැම්හු උත්සාහ දරති. පරිවාර පාළිය ප්‍රතික්‍ෂේප කිරීම මුලින්ම සිදුකලේ දෙවැනි සංගායනාවේදී සාසනයෙන් බැහැර කල අලජ්ජී වජ්ජිපුත්තක භික්‍ෂූන් බව වංශකථාවන්හි දැක්වේ. ඒගැන වැඩිදුර කරුණු “අභිධර්ම පිටකය, අට්ඨකථා හා තවත් බුද්ධදේශිත ග්රන්ථ පිළිබඳව මෙසේ වැරදි මත පැනනැගීමේ හේතු මොනවාද? ” යන මාතෘකාව යටතේ ඉදිරියේදී දක්වමු. එම වජ්ජිපුත්තක භික්‍ෂූන්ගේ මත පිලිගත් ඇතැම් නූතන උගත්හු ද පරිවාරපාලිය පිලිබඳ වැරදි මත ප්‍රචාරය කරති. ඊට ද පිලිතුරු “එම අධර්මවාදී මතවාදයන්ගේ නූතන ව්යාප්තිය” යන මාතෘකාව යටතේ ඉදිරියේදී දැක්වේ. වැඩිදුර තොරතුරු විනය මහාවග්ග පාලි බුද්ධජයන්ති පරිවර්තනයේ සංඥාපනයේ දක්වා ඇති බැවින් මෙහි ඒ සියල්ල දැක්වීමට අදහස් නොකරමු. මේ කරුණු පිලිබඳ සැකහැර දැනගනු කැමැත්තෝ එය කියවා බලත්වා.

සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායට අයත් ඇතැම් පොත්

සියලු බුද්ධවචනය නිකාය වශයෙන් බෙදීමේදී දීඝ, මජ්ඣිම, සංයුක්ත, අංගුත්තර යන නිකාය හතරට අයත් නොවූ සියලු බුද්ධ වචනය ඛුද්දක නිකායට ඇතුලත් කර ප්‍රථම සංගීතිකාරක මහරහත් උතුමන් වහන්සේලා සංග්‍රහ කල සේක. එයට අයත් ග්‍රන්ථ අතුරින් සූත්‍ර පිටකයට අයත් ග්‍රන්ථ 15 ක් බව අර්ථකථාවන්හි දැක්වේ. ඒ මෙසේය;

ඛුද්‌දකපාඨ – ධම්‌මපද – උදාන – ඉතිවුත්‌තක – සුත්‌තනිපාත – විමානවත්‌ථු – පෙතවත්‌ථු – ථෙරගාථා – ථෙරීගාථා – ජාතක – නිද්‌දෙස – පටිසම්‌භිදා – අපදාන – බුද්‌ධවංස – චරියාපිටකවසෙන පන්‌නරසප්‌පභෙදො ඛුද්‌දකනිකායොති ඉදං සුත්තන්තපිටකං නාම. (විනයට්ඨකථා 10 පිටුව)

නමුත් “මෙම ග්‍රන්ථයන් අතුරින් ඇතැම් ග්‍රන්ථ පිරිසිදු බුද්ධදේශනා නොවේය” යනාදී වැරදි මත මෑතක සිට අප රටේ ද පැතිරෙමින් පවතී. මෙම වැරදි මතයේ ද ආරම්භය අලජ්ජී වූ මහාසංගීතික (වජ්ජිපුත්තක) භික්‍ෂූන්ගේ කාලය දක්වා දිවේ. ඔවුහු පරිවාරපාළිය, අභිධර්මපිටකය, මහානිද්දේසපාළි, චුල්ලනිද්දේසපාළි, පටිසම්භිදාමග්ගපාළි, ජාතකදේශනා වලින් කොටසක් යනාදී ධර්ම කොටස් ප්‍රතික්‍ෂේප කරමින් සාසනවිලෝමයක් කළ බව දීපවංසාදී ග්‍රන්ථයන්හි දැක්වේ. එබඳු පිරිස් ගත් මතම දැනුත් ප්‍රචාරය කරන අධර්මවාදී පිරිස් වලට පිළිතුරු දීමටත් තමාගේ ශ්‍රද්ධාදී ගුණ දියුණු කරගැනීමටත් උපකාර වේ යැයි සලකා මෙම කරුණු දැක්වීමු. මේ පිළිබඳ වැඩිදුර කරුණු,

  • අට්ඨකථා හා ටීකා ග්‍රන්ථ
  • දීපවංසය,මහාවංසය ආදී වංසකථා
  • නිකාය සංග්‍රහය
  • විනය මහාවග්ග පාලි බුද්ධජයන්ති පරිවර්තනයේ සංඥාපනය ඇතුලු බුද්ධජයන්ති ග්‍රන්ථයන්ගේ සංඥාපනයන්.

යනාදී තැන්හි දක්වා ඇති බැවින් ඒවා කියවා තමාගේ ශ්‍රද්ධාදී ගුණධර්ම තර කර ගනිමින් ප්‍රතිපත්තියෙහි යෙදෙමින් තම ජීවිත දහමින් පෝෂණය කර ගනිත්වා යනු අපගේ මෛත්‍රී පූර්වාංගම ආරාධනයයි.

02   අර්ථකථා, අට්ඨකථා නොහොත් අටුවා

මෙකල අටුවා ග්‍රන්ථ සම්බන්ධව ද විවිධ මිත්‍යා මත පළවෙන බැවින් නුවණැතියන්ගේ විමසීම පිණිස මෙම කරුණු දක්වමු.

අටුවාව යනු කුමක්දැයි පළමුව දත යුතුය. යම් බුද්ධ දේශනාවක පෙළ එසේ නැතහොත් මාතෘකා දේශනාව පමණක් කියවීමෙන් එයින් බුදුරජාණන් වහන්සේ අදහස් කළ සම්පූර්ණ අර්ථය වටහාගැනීම අපහසුය. ඒ සඳහා එම දේශනාවේ අර්ථය ද දතයුතුය. ඒ බව අංගුත්තර පංචක නිපාතයේ ඛිප්පනිසන්ති සූත්‍රාදියෙහි දක්වා ඇත. එහි අත්ථකුසලො හොති යනු අර්ථය නිවැරදිව දන්නේය යන අර්ථයි. එසේ බුද්ධ දේශනාවේ නිවැරදි අර්ථය දක්වන දේශනාව අර්ථකථාවයි. මෙම අටුවාවන්හි ඇතැම් කොටස් බුදුරජාණන් වහන්සේ විසින්ම කළ දේශනායි. ඇතැම් කොටස් සාරිපුත්තාදී සම්මුඛ ශ්‍රාවක උතුමන්ගේ දේශනායි. ඊට අමතරව එම පුරාණ අටුවාවේ විසඳා නොතිබූ ප්‍රායෝගික ගැටළු වලට ඉන් පසු කාලයේ වැඩසිටි මහා ප්‍රාඥ රහත් උතුමන් වහන්සේලා ලබා දුන් විනිශ්චයන්ද දක්වා ඇත. නමුත් එබඳු විනිශ්චයන් අටුවාව ලෙස නොව ආචරිය අදහස් ලෙස පැහැදිලිව වෙන් කර දක්වා ඇත. ඊට අමතරව සැසඳීම සඳහා වෙනත් වැරදි මතවාදත්, කරුණු පැහැදිලි කිරීම සඳහා කථා වස්තුත් දක්වා ඇත. ඒවා මහාසංඝරත්නයේ අනුමැතිය ඇතුව අටුවාවන්ට ඇතුලත් කළ බව “යානි පනෙත්ථ වත්ථූනි, තානි සීහළදීපෙ ආචරියෙහි සඞ්ඝාදීනමනුමතියා අට්ඨකථාසු පක්ඛිත්තානි” යැයි වජිරබුද්ධි ටීකාවේ පැහැදිලිව දක්වා ඇත. තවද ඒ සියල්ල ඉතා පැහැදිලිව පුරාණ අටුවාවෙන් වෙන්කර දක්වා ඇත. ගුරුන් ඇසුරු කර පුරාණ සම්ප්‍රදායානුකූලව අටුවා උගත් කෙනෙකුන්ට මෙම මත වෙන්කර ගැනීමට හෝ පිළිගතයුතු මතය කුමක්දැයි තෝරා ගැනීමට හෝ අපහසුවක් නැත. ඊට අවශ්‍ය න්‍යායන් අටුවාවේම දක්වා ඇති බැවිනි. ඒ සඳහා උදාහරණයක් අපි මෙසේ දක්වමු. මත කීපයක් දක්වා ඇති විටෙකදී අවසන් මතයම ප්‍රාමාණික බව “යථා චෙත්, එවං සබ්බත් යො යො අට්ඨකථාවාදො වා ථෙරවාදො වා පච්ඡා වුච්චති සො පමාණතො දට්ඨබ්බො.” යැයි විනය අටුවාවේ දක්වා ඇත. එබැවින් නියම ක්‍රමයට ධර්මය හදාරන අයට ඉහත දැක්වූ වැරදි මත ඇති නොවන බවත් අටුවාවේ ඇති අතිශයෝපකාරිත්වය හා වටිනාකම තේරුම් ගැනීමට හැකි බවත් හේතුසාධක ඇතිව මෙසේ දන්වා සිටිමු.

බුද්ධකාලයේ පටන් මුඛ පරම්පරාවෙන් රැකගෙන අවුත් මිහිදු මහරහතන් වහන්සේගෙන් අපට ලැබුණු එම අටුවා වෙනත් වැරදි මත හා මිශ්‍ර නොවී පැවතීම සඳහා සිංහල භාෂාවෙන් රැකගෙනවිත් මාතලේ අළුලෙනේ පැවති හතරවන ධර්ම සංගායනාවේදී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමෙන් අනතුරුව, චතුපටිසම්භිදා – ෂඩ් අභිඤ්ඤා ලාභී වූ අටුවා සහිත පිටකත්‍රය ධාරී වූ මහරහත් උතුමන් වහන්සේලා 500 නමක් විසින්  ග්‍රන්ථාරූඪ කරනලදි. බුද්ධවර්ෂ 953 දී පමණ ලක් දිවට වැඩම කළ මහාප්‍රාඥ වූ අනුබුද්ධ බුද්ධඝෝෂ මහා ඇදුරුපාණන් වහන්සේ විසින් නැවතත් එම සිංහල අටුවා විදේශීය ධර්මකාමීන්ගේ ප්‍රයෝජනය පිණිසත්, නිකායාන්තර මත හා මිශ්‍රවීම වලකනු සඳහාත් පාළි භාෂාවට නගන ලදි. එහිදී කරුණු පැහැදිලි කිරීම සඳහා මහා ප්‍රාඥ වූ පිටකත්‍රය ධර වූ පුරාණ තෙරුන් වහන්සේලාගේ මත හා කථා වස්තු ද ඇතුලත් කරන ලදි. එබැවින් දැනුත් අපසතුව ඇත්තේ කරුණු පැහැදිලි කිරීම සඳහා දැක්වූ ථේරවාද හා කථා වස්තූන්ගෙන් අලංකාර කරන ලද බුද්ධකාලයේ පටන් පැවති අටුවාම බව තේරුම් ගත යුතුය. බුදුරජාණන් වහන්සේ විසින් දුන් න්‍යායන් අනුව දේශිත බැවින් මධුපිණ්ඩික සූත්‍රාදිය බුද්ධභාෂිත වූවාක් මෙන් මෙම අටුවාවද බුද්ධභාෂිත බවට පත්වේ. බුදුරජාණන් වහන්සේගේ න්‍යායන්ගෙන් තොරව මෙම අර්ථ විවරණ කළ නොහැකි බැවිනි. ඒ බව

වුත්තොති පාළිතො අත්ථතො බුද්ධෙන භගවතා වුත්තො. හි භගවතා අබ්යාකතං නාම තන්තිපදං අත්ථි, සබ්බෙසංයෙව අත්ථො කථිතො, තස්මා සම්මාසම්බුද්ධෙනෙව තිණ්ණං පිටකානං අත්ථවණ්ණනාක්කමොපි භාසිතොති දට්ඨබ්බං. තත් තත් භගවතා පවත්තිතා පකිණ්ණකදෙසනායෙව හි අට්ඨකථා.” “වදාරණ ලද්දේය යනු පෙළ වශයෙන්ද අර්ථ වශයෙන් භාග්යවත් බුදුරජාණන් වහන්සේ විසින් වදාරණ ලද්දේය. භාග්යවතුන් වහන්සේ විසින් නොවදාළ තන්තිපදයක් (දහම්පදයක්) නම් නැත. සියල්ලන්ගේම අර්ථය වදාරණ ලද්දේය. එබැවින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින්ම ත්රිපිටකයේ අර්ථවර්ණනා ක්රමය වදාරණ ලද්දේ යැයි දතයුතුයි. තැනදී භාග්යවතුන් වහන්සේ විසින් පවත්වන ලද ප්රකීර්ණක දේශනාවම අට්ඨකථා නම් වේ.”[15]යැයි එක් වරක් ඇසූ පමණින් බණවර හතරකටත් වඩා ඒකශ්‍රැතියෙන් දැරීමට තරම් මහාප්‍රාඥ වූ පුරාණ ටීකා ඇදුරුවරු ද දක්වා ඇත.

අටුවාව දැනගැනීමේ ඇති වැදගත්කම පිළිබඳ පෙළෙහි දැක්වෙන උදෘත කීපයක් මෙසේ දක්වමු.

  1. ‘‘සගාරවො වුඩ්‌ඪතරෙසු භික්‌ඛුසු; ආචෙරකම්හි සකෙ විසාරදො;

අලං පමෙතුං පගුණො කථෙතවෙ; පච්‌චත්‌ථිකානඤ්‌ච විරද්‌ධිකොවිදො.

වැඩිමහලු මහණුන් කෙරෙහි ගෞරව සහිත වූයේ වාසය කරයි. ස්වකීය ආචාර්යවාදයෙහි විශාරද වෙයි. ඒ ඒ කරුණු නුවණින් ප්‍රමාණ කරන්නට (විනිශ්චය කරන්නට) සමර්ථ වෙයි. කියයුත්තෙහි කළ පරිචය ඇත්තේ වෙයි. පසමිතුරන් (වැරදි මතධාරීහු) වැරැද්ද වූ තැන් දැක්මෙහි දක්ෂ වෙයි. [16]

[15] සාරත්ථදීපනී විනය ටීකා

 

 

 

 

 

 

 

[16] බුද්ධජයන්ති මහවග 2 හි 893 පිටුව – 71 වන ගාථාව

  • මෙම සාසනයට අනුබල දීමටත් විනය විනිශ්චයාදිය සිදුකිරීමටත් සුදුසු වන්නේ කවර ගුණ වලින් යුත් භික්ෂුවක්දැයි උපාලි මහ රහතන් වහන්සේ විසින් භාග්‍යවතුන් වහන්සේගෙන් විචාරණ ලදුව එම සුදුසුකම් දක්වමින් වදාළ ගාථා අතුරින් එක් ගාථාවක් හා එහි තේරුම ඉහත දක්වන ලදි. මෙහි ආචාර්යවාදය යනු බුද්ධකාලයේ පටන් පැවතුණු අර්ථ විවරණයි. එනම් අටුවායි.

2.‘‘ද්‌වෙමෙ, භික්‌ඛවෙ, ධම්‌මා සද්‌ධම්‌මස්‌ස සම්‌මොසාය අන්‌තරධානාය සංවත්‌තන්‌ති. කතමෙ ද්‌වෙ? දුන්‌නික්‌ඛිත්‌තඤ්‌ච පදබ්‍යඤ්‌ජනං අත්ථො දුන්නීතො. දුන්‌නික්‌ඛිත්‌තස්‌ස, භික්‌ඛවෙ, පදබ්‍යඤ්‌ජනස්‌ස අත්‌ථොපි දුන්‌නයො හොති. ඉමෙ ඛො, භික්‌ඛවෙ, ද්‌වෙ ධම්‌මා සද්‌ධම්‌මස්‌ස සම්‌මොසාය අන්‌තරධානාය සංවත්‌තන්‌තී’’ති.

මහණෙනි, මේ ධර්මයෝ දෙදෙනෙක් සද්ධර්මයාගේ විනාශය පිණිස අතුරුදන්වීම පිණිස පවත්නාහ. කවර දෙදෙනෙක් ද යත්: උපිලිවෙලින් වරදවා ගත් (පද පිළිවෙල මාරුකර ගත්) පෙළ ද වරදවා පෙරළා ගත් (පරිවර්තනය කළ) අටුවා යන දෙකය. යනු එහි තේරුමයි. [17]

[17] බුද්ධජයන්ති-අංගුත්තර නිකාය 1- 116-117 පිටු-20 ඡේදය

  • ශ්‍රී සද්ධර්මය අතුරුදන් වීමට බලපාන කරුණු දෙකින් එකක් ලෙස දක්වා ඇත්තේ අර්ථය වරදවා ගැනීමයි. බුද්ධකාලයේ පටන් මහරහත් උතුමන් අතින් අපට ලැබුණු අර්ථ විවරණ අඩංගු අටුවා තිබියදීත් මෙකළ මෙතරම් අර්ථ වරදවන්නේ නම් එම අටුවා නොතිබුනේ නම් කුමන තත්වයක් උද්ගත වේදැයි නුවණැත්තෝ සිතා බලත්වා.

3. ‘‘ඉධාවුසො සාරිපුත්‌ත, භික්‌ඛු අත්‌ථකුසලො ච හොති, ධම්‌මකුසලො ච, බ්‍යඤ්‌ජනකුසලො ච, නිරුත්‌තිකුසලො ච, පුබ්‌බාපරකුසලො ච. එත්‌තාවතා ඛො, ආවුසො සාරිපුත්‌ත, භික්‌ඛු ඛිප්‌පනිසන්‌ති ච හොති කුසලෙසු ධම්‌මෙසු, සුග්‌ගහිතග්‌ගාහී ච, බහුඤ්‌ච ගණ්‌හාති, ගහිතඤ්‌චස්‌ස නප්‌පමුස්‌සතී’’ති.

ආයුෂ්මත් ශාරිපුත්‍රයෙනි, මේ සසුනෙහි භික්ෂුවක් අර්ථයෙහි (අටුවාවෙහි) දක්ෂ වෙයි. පාළි ධර්මයෙහි ද දක්ෂ වෙයි. නිරුක්ති වචනයෙහි ද දක්ෂ වෙයි. පුර්ව අපරය ගැලපීමෙහි ද දක්ෂ වෙයි. ආයුෂ්මත් ශාරිපුත්‍රයෙනි, මෙපමණකින්ම භික්ෂුවක් කුසල ධර්මයෙහි ඉක්මණින් අසා නිවැරදිව දරන්නේද, මනාව ඉගෙන ගන්නේද, බොහෝ ඉගෙන ගන්නේද, ඉගෙන ගත් දෙය නොනැසී පවත්නේ ද වන්නේය. යනු එහි තේරුමයි.[18]

අත්ථකුසලොති අට්ඨකථාය ඡෙකො. ධම්‌මකුසලොති පාළියං ඡෙකො. (අත්ථකුසලො යනු අටුවාවෙහි දක්‍ෂ යනාර්ථයි, ධම්මකුසලො යනු පෙළෙහි දක්‍ෂ යනාර්ථයි.) (අං.නි.අටුවා)

[18] බුද්ධජයන්ති-අංගුත්තර නිකාය 3.-ඛිප්පනිසන්ති සු. 326,327 පිටු

පූර්වාචාරීන් වහන්සේලා යැයි අටුවා වල දක්වන්නේ කවුරුන්ද?

සම්බුද්ධ දේශිතයන්ගේ නිවැරදි අර්ථ දරාගනිමින් ඒවාට විවරණ සැපයූ උතුමන් වහන්සේලා පූර්වාචාරීන් වහන්සේලා නම් වේයැයි අටුවාවන්හි දැක්වේ. ඒ උතුමන් වහන්සේලා කෙබඳුදැයි අනුබුද්ධ බුද්ධඝෝෂ මහ ඇදුරුපාණන් වහන්සේ විනය අටුවාව ආරම්භයේදීම මෙසේ දක්වා ඇත.

කාමඤ්‌ච පුබ්‌බාචරියාසභෙහි; ඤාණම්‌බුනිද්‌ධොතමලාසවෙහි;

විසුද්‌ධවිජ්‌ජාපටිසම්‌භිදෙහි; සද්‌ධම්‌මසංවණ්‌ණනකොවිදෙහි.

සල්‌ලෙඛියෙ නො සුලභූපමෙහි; මහාවිහාරස්‌ස ධජූපමෙහි;

සංවණ්‌ණිතොයං විනයො නයෙහි; චිත්‌තෙහි සම්‌බුද්‌ධවරන්‌වයෙහි.

ඒකාන්තයෙන්ම මාර්ගඥාන නමැති ජලයෙන් මනාව සෝදා හරිනලද කෙලෙස් මළ ඇත්තා වූ, විශුද්ධ ත්රිවිධ්යාප්රතිසම්භිදාඥාන ඇත්තා වූ, සද්ධර්මය සංවර්ණනා කිරීමෙහි අතිදක්ෂ වූ,  සල්ලේඛ ප්රතිපදාවෙහි සුලභ උපමා නැත්තා වූ, මහාවිහාරයට ධ්වජ (කොඩි) බඳු වූ (සාරිපුත්තමහමුගලන්මහාකාශ්යපාදී මහරහතන් වහන්සේලා ආදිකොට ඇති) අති ශ්රේෂ්ඨ පූර්වාචාරී මහරහතන් වහන්සේලා විසින් මේ විනය උතුම් සම්බුදුරජාණන් වහන්සේගේ (අදහස) අනුවගියා වූ විචිත් න්යායන්ගෙන් මනාව වර්ණනා කරනා ලද්දේය.

මෙසේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් ලබාදුන් න්‍යායන් මත පිහිටා පූර්වාචාරී උතුමන් වහන්සේලා අර්ථ වර්ණනා කළ බැවින් එම අටුවාද බුද්ධදේශිතම වන බව ඉහතින් දැක්වුවෙමු.  බුදුරජාණන් වහන්සේගේ න්‍යායන්ගෙන් තොරව අටුවාවක් නොපවතින බව තේරුම් ගැනීමට උදාහරණ කීපයක් අපි මෙසේ දක්වමු.

  1. ධුතංග නාමයන් හා ධුතංග සමාදානයේ වටිනාකම ආදී කරුණු දැක්වෙන දේශනා පෙළ පොත්වල බොහෝ ඇතත් එම ධුතංග යනු මොනවාද, ඒවා සමාදන් වන විදිය, බිඳෙන විදිය, එහිදී පිළිපැදිය යුතු කරුණු ආදී විස්තර අඩංගු වන්නේ අටුවාවේය. බුදුරජාණන් වහන්සේ හැර මෙම කරුණු විස්තර කිරීමට සමතෙක් කොහිද? නැත්තේමය. බුදුරජාණන් වහන්සේගේ අදහස මත පිහිටා මෙම විවරණ කළ බවට මෙය එක් සාධකයකි.
  2. දීඝනිකායේ සංගීතිසූත්‍රය, දසුත්තරසූත්‍රය යනාදී තැන් වලත් මජ්ඣිමනිකායේ මහා සකුළුදායි සූත්‍රය යනාදී තැන් වලත් කසිණසමාපත්ති යන වචනය දැක්වෙතත් එම කසිණමණ්ඩලය නිවැරදිව සකසා ගන්නේ කෙසේද, එය වැඩීමේදී ඇති අනුපිළිවෙල හා එක් එක් ධ්‍යාන වැඩීමේ ක්‍රමවේදය, නිවැරදිව ධ්‍යානය යනු කුමක්දැයි හඳුනාගන්නා ක්‍රම යනාදී සියල්ල දක්වා ඇත්තේ අටුවාවේය. එම කරුණු නිවැරදිව විස්තර කිරීමට බුදුරජාණන් වහන්සේ හැර කවරෙක් නම් සමත් වේද? නොවේමය. එබැවින් බුදුරජාණන් වහන්සේගේ අදහස මත පිහිටා මෙම අටුවා විවරණ කළ බවට මෙය ද එක් සාධකයකි.
  3. “අස්සද්ධො අකතඤ්ඤූ ච” යනාදී ධම්මපද ගාථාත්, “ඡන්නමතිවස්සති, විවටං නාතිවස්සති” යනාදී විනය පිටකාදියේ පවතින ගාථාත් අටුවාව නැතිනම් විවිධාකාරයෙන් අරුත් දිය හැකිය. මෙපමණක් නොව ධර්මයේ විනයේ ඇතිතාක් අපැහැදිලි, අප්‍රකට වචන සියල්ල පැහැදිලි කරන්නේ අටුවාවේය.
  4. අභිධර්ම පිටකයේ ධම්මසංගනීප්‍රකරණයේ චිත්ත කාණ්ඩයේ පදභාජනියේදී ධම්මවවත්ථාන වාරයේ දී ඒ ඒ සිතේ යෙදෙන ධර්ම (නාමධර්ම) දක්වා එහි අගදී “යෙ වා පන තස්මිං සමයෙ….” යනාදී ලෙස යෙවාපනක ධර්ම දැක්වූ සේක. ඒ එකිනෙක සිතක යෙදෙන යේවාපනක ධර්ම මොනවාදැයි දක්වන්නේ අටුවාවේදීය. අටුවාව නැතිව මේවා පැහැදිලි කරගත නොහැක.
  • අටුවාවෙන් තොරව දහම තේරුම්ගත හැකියැයි පවසමින් දහම නොදන්නා අයව නොමග යවන බොහෝ දෙනාද අපැහැදිලි තැන් තෝරාගන්නේ බුද්ධජයන්ති ත්‍රිපිටක පරිවර්තන ආදියේ හෝ ශබ්දකෝෂයන්හි හෝ දක්වා තිබෙන අටුවා පාඨ භාවිතයෙනි. කරුණු මෙසේ හෙයින් උපායෙන් බුදුදහම විනාශකරනු කැමති ඇතැමුන්ගේත්, ප්‍රායෝගිකව මෙම දහම උපයෝගී කරගෙන දුකින් මිදීමේ අරමුණකින් තොරව හුදෙක් පොතපත තුලින්ම දහම දකින තමාට ලැබෙන තාන්න-මාන්න උපාධි පිණිස දහම හදාරණ අයගේත්, ඇතැම්විට තිසරණයේවත් පිහිටා නැතිව විනෝදයට මෙන් තමාට හරිහැටි විෂය නොවන ධර්මග්‍රන්ථ පිළිබඳ විවේචන කරන ඇතැමුන්ගේත් මත පිළිගැනීමට පෙර දෙතුන් වතාවක් නොව සියදහස් වරක් සිතා බලත්වා යනු අපගේ ආරාධනයයි.

අටුවා නොතිබුනා නම්….

අටුවා පැවතීම නිසා සුරැකුණු අර්ථ එම අටුවා නොතිබෙන්නට මේ වන විටත් විනාශ වී ගොස්ය. විවිධ අය තම තමන්ට කැමති පරිදි පද වල අර්ථ තෝරනු ඇත. අටුවා නොතිබෙන්නට පෙළ පොත් පිළිබඳ පවා විශ්වාසය ගිලිහී යන බව පහත කරුණු අනුව නුවණැත්තෝ සිතා බලත්වා.

  1. බොහෝ සූත්‍ර දේශනා ආරම්භයේම ඇති “එවං මෙ සුතං” “මා විසින් මෙසේ අසන ලදි” යන පාඨය ආනන්ද මහ රහතන් වහන්සේගේ ප්‍රකාශයක් බව කියන්නේ අටුවාවේය. එය නොවන්නට “මේවා පසුකලෙක කවුරුන් හෝ තමාට ඇසුණු ජනප්‍රවාද අනුව ලියූ ග්‍රන්ථ” යැයි අන්‍යාගමිකයෝ චෝදනා කරනු ඇත. එය වළකින්නේ අටුවාව නිසයි.
  2. රතනසූත්‍රාදී ඇතැම් සූත්‍ර වලත්, ධම්මපද, ජාතකදේශනා ආදී ඇතැම් ගාථා වලත් නිදානකථා, පද වල අරුත් ආදී කරුණු දක්වා ඇත්තේ අටුවාවේය. අටුවාවෙන් තොරව මේ කිසිවක දේශනා කිරීමේ හේතුව, දෙසුවේ කවුද, කාටද, කොහේදිද යනාදී කිසි තොරතුරක් දැනගත නොහැකිය.
  3. සම්මුති – පරමාර්ථ, නාම – රූප, ස්කන්ධ – ආයතන – ධාතු – දෙවිසි ඉන්ද්‍රිය – චතුරාර්ය සත්‍ය – පටිච්චසමුප්පාද ආදී ගැඹුරු කරුණු වල අර්ථ ප්‍රකට කරන්නේ අටුවාවෙනි. අටුවාවන්ගෙන් තොරව මෙබඳු බොහෝ තැනක අරුත් ගත නොහැක. මෙකල බොහෝ දෙනෙක් මෙම අරුත් පටලවා ගන්නේ අටුවා-ටීකා භාවිත නොකිරීම හා ඒවා භාවිතයට නොදන්නා නිසාවෙනි. තමන් ගන්නා වැරදි අදහස තවත් බුද්ධදේශනා සමග එකඟ නොවන බව ඇතැමුන්ට තේරුම් යන්නේ කලක් ගතවන විටය. එවිට තමාගේ තත්වය රැකගැනීමට එම බුද්ධදේශනා ද ප්‍රතික්‍ෂේප කිරීමට තරම් ඇතැම්හු සැහැසි වෙති. මෙයින් අපමණ අකුසල් රැස්කොට ගෙන අපාගාමී වෙති. එබැවින් පුරාණ උතුමන් දැක්වූ අයුරින් අරුත් විමසා බලන්නේ නම් මෙබඳු ගැටලු සියල්ල විසඳෙනු ඇත.
  4. “සබ්බිත්ථියො කරෙ පාපං ලභමානෙ නිවාතකෙ” (ඉඩක් ලබන කල්හි සියලු ස්ත්‍රීහු පවු කරන්නාහුය) යනාදී ජාතක ගාථා අනුව රහත් භික්‍ෂුණීන් වහන්සේලාත් මෙසේදැයි අන්‍යාගමිකාදීන්ට වාදකළ හැකිය. නමුත් මෙහි අටුවාවේ දක්වන්නේ “සබ්බිත්ථියොති ඨපෙත්‌වා විපස්‌සනාය තනුකතකිලෙසා සෙසා සබ්‌බා ඉත්‌ථියො පාපං කරෙය්‍යුං.” (සබ්බිත්ථියො යනු විපස්සනාවෙන් කෙලෙස් තුනීකළ ස්ත්‍රීහු හැර සෙසු ස්ත්‍රීහු පවු කරන්නාහ) යනුවෙනි. “සබ්බෙ තසන්ති දණ්ඩස්ස” ආදී ගාථාවන්හි ද මෙබඳු විග්‍රහ දක්වා ඇත. මෙබඳු අටුවා පාඨ නොවන්නට බොහෝ දහම්පාඨ විකෘති කරමින් අරුත් දක්වනු ඇත.
  5. දෙවන පරිජි සිකපදයේ දක්වන පාදය යනු කුමක්ද? එහි වටිනාකම කීයද? යනාදී ගැටලු විසඳෙන්නේ අටුවා හා ටීකා වලිනි.
  6. විනයපිටක මහාවග්ග පාළියෙහිදී සීමා සඳහා නිමිති අනුදැනීමේදී පබ්බතනිමිත්ත, පාසාණනිමිත්ත ආදී නිමිති අටක් දක්වන අතර එයින් පබ්බත හා පාසාණ යන දෙකේ වෙනස දතහැකි වන්නේ අටුවාවෙන් හා ටීකා වලිනි. සෙසු නිමිති පිළිබඳව ද කිය යුත්තේ මෙබඳු වූම දෙයකි. මෙබඳු තැන් වෙන්කර දේශනාකිරීමට බුදුරජුන් හැර වෙන කිසිවෙක් සමත් නොවේ. එබැවින් මෙබඳු දේශනා ඒකාන්තයෙන් බුද්ධදේශනාම බව සැලකිය යුතුය.
  7. විතක්කසණ්ඨාන සූත්‍රයේදී යෝගීන්ට ඇතිවන අකුසල් විතර්ක දුරුකර ගැනීමට උපදෙස් දෙන භාග්‍යවතුන් වහන්සේ “ඉධ, භික්‌ඛවෙ, භික්‌ඛුනො යං නිමිත්‌තං ආගම්‌ම යං නිමිත්‌තං මනසිකරොතො උප්‌පජ්‌ජන්‌ති පාපකා අකුසලා විතක්‌කා ඡන්‌දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි, තෙන, භික්‌ඛවෙ, භික්‌ඛුනා තම්‌හා නිමිත්‌තා අඤ්‌ඤං නිමිත්‌තං මනසි කාතබ්‌බං කුසලූපසංහිතං.” යනාදී ලෙස උපදෙස් දෙන සේක. (යම් භික්‍ෂුවකට යම් නිමිත්තක් මෙනෙහි කිරීමේදී අකුසල් විතර්ක ඇතිවේද, එයින් අන්‍ය වූ කුසල් විතර්කයක් මෙනෙහි කළ යුතුය යනු එහි සරල අර්ථයයි).

මෙහිදී සියලු කුසලධර්ම සියලු අකුසලයන්ට ප්‍රතිවිරුද්ධ බැවින් කුමක් හෝ කුසලයක් මෙනෙහි කලහැකි නමුත් සවිඤ්ඤාණක (පණ ඇති) දේකට රාගයක් ඇති වූ විට අසුභ මනසිකාරයත්, එබන්දකට ද්වේෂය ඇති වූ විට මෛත්‍රී මනසිකාරයත්, අවිඤ්ඤාණක දේකට ඇල්ම ඇතිවිට අනිත්‍ය සඤ්ඤාවත් එබන්දකට ගැටීම ඇති විට ධාතුමනසිකාරයත් කුමන දේකට හෝ මෝහය අධික විට “ගරූසංවාසො” (ගුරුන් ඇසුරු කිරීම) ආදී කරුණු පහක් පිළිපැදීමෙන් එය දුරුවන බවත් ඒ එකිනෙකක් සිදුකරන අයුරුත් ඉතා පැහැදිලිව අටුවාවේ දක්වා ඇත. බුදුරජුන්ගේ න්‍යායන්ගෙන් තොරව කිසිසේත් මෙබඳු උපදෙස් ලබාදිය නොහැකි බැවින් මෙබඳු අටුවා පාඨ සියල්ල බුද්ධදේශනාම බව දතයුතුය.

  1. අටුවා නැති නම් ධුතංග සමාදානාදිය නිවැරදිව කළ නොහැක, කසිණ වැඩීමාදිය ද නිවැරදිව කළ නොහැක, ඒවායේ විස්තර ඇත්තේ අටුවාවන්හි බැවිනි.

තවත් මෙබඳු තැන් අතිවිශාල ප්‍රමාණයක් මුළු ත්‍රිපිටකය පුරාම දක්නට ඇත. නමුත් නුවණින් විමසන්නන්ට මෙපමණක් සෑහෙන්නේ යැයි සිතමු. දැනටත් වෙනත් බෞද්ධ රටවල පිරිස් ශ්‍රී ලංකාවට ගරු කිරීමට එක් හේතුවක් වන්නේ සියලු පෙළ, අටුවා ග්‍රන්ථත් බොහෝ ටීකා ග්‍රන්ථත් මෙරට වැසි උතුමන් අතින් ලියැවුණු බැවිනි. අටුවාවන්හි දැක්වෙන සිංහල භික්‍ෂූන්ගේ ගුණ පිළිබඳ ඇති ගෞරවයද තවත් කරුණකි. අටුවා සහිත ත්‍රිපිටකය කටපාඩමින් ධරාගෙන පැමිණි උතුමන් වන දීඝභාණක අභය, ත්‍රිපිටක චූලාභය, ත්‍රිපිටකචූළනාග ආදී ක්‍ෂීණාශ්‍රව උතුමන්ගේ විශ්මයජනක ප්‍රඥාදී ගුණ අටුවාවන්ගෙන් ප්‍රකට වීමාදිය මෙම ගෞරවය ඇතිවීමට තවත් හේතුවකි. එසේ අප රටට අන්‍යයන්ගේ ගෞරවය ගෙනදුන් අටුවා අප රටේ අය අතින්ම පහරකෑමට ලක්වීම කෙතරම් ඛේදජනකදැයි සිතාබලත්වා.

අටුවා ගැන වංසකථා වල දැක්වෙන අයුරු 

පිටකත්තයපාළිඤ්, තස් අට්ඨකථම්පි ; 

මුඛපාඨෙන ආනෙසුං, පුබ්බෙ භික්ඛූ මහාමති.

පෙර වැඩසිටියා වූ මහාප්‍රාඥ භික්ෂූන් වහන්සේලා (ත්‍රිපිටකය දරාගෙන පැමිණි මහරහත් උතුමන් වහන්සේලා) ත්‍රිපිටක පාලියත් ඒ ත්‍රිපිටකයේ අටුවාවත් මුඛපාඨ වශයෙන් (කටපාඩමින්) රැගෙන ආ සේක්හ. (මහාවංස පරිවර්තනය)

හානිං දිස්වාන සත්තානං, තදා භික්ඛූ සමාගතා;

චිරට්ඨිතත්ථං ධම්මස්, පොත්ථකෙසු ලිඛාපයුං.

එකල්හි සත්වයින්ගේ හානිය (අනාගතයෙහි නුවණ අඩුවන බව) දැක, ධර්මයේ චිරස්ථිතිය පිණිස පුස්තකයන්හි ලියවූ සේක්හ. (මහාවංස පරිවර්තනය)

සීහළාට්ඨකථා සුද්ධා, මහින්දෙන මතීමතා; 

සංගීතිත්තයමාරූළ්හං, සම්මාසම්බුද්ධදෙසිතං.

සාරිපුත්තාදිගීතඤ්, කථාමග්ගං සමෙක්ඛිය;

එකා සීහළභාසාය, සීහළෙසු පවත්තති. (මහාවංස)

සම්මාසම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද, සංගීති තුනට නැංවුනා වූ, මිහිදු මහ රහතන් වහන්සේ විසින් (ශ්‍රී ලංකාවට) ගෙන යන ලද, සාරිපුත්ත මහරහතන්වහන්සේ ආදී  අටුවාචාරී මහරහත් උතුමන්ගේ වාචනා මාර්ගය ද බලා (ඒ අනුව තැබූ) පිරිසිදු වූ සිංහල අටුවාව එකක් වූ සිංහල භාෂාවෙන් (සිංහලෙන් පමණක්) සිංහලයන් කෙරෙහි පවතී. (මහාවංස පරිවර්තනය)

අටුවා ගැන මෑතකාලීන ශ්‍රේෂ්ඨ මහතෙරවරුන්ගේ අදහස්….

අතිපූජනීය පරවාහැර වජිරඤාණ  මාහිමිපාණන් වහන්සේ

           ශතවර්ෂ ගණනකින් පසු ග්‍රන්ථාරූඪ වූ ධර්මවිනය පිළිබඳ කවර විවේචනයකදී වුවත් පූර්වාචාර්යයන් විසින් අනුගමනය කරන ලද ආප්තවචනය හා තදර්ථකථා ප්රමාණ වශයෙන් ගත යුතුය. ඒ ප්‍රමාණයන් නොදැන හෝ නොගෙන තර්කයෙන් හෝ ‘මෙය මෙසේ වන්නට ඇත’ යන ‘ඉති-කිරා’වෙන් හෝ ධර්මවිනය විනිශ්චය කිරීමෙන් නැගෙන වාදයෝ අහේතුකවිවාද වනු මිස සහේතුක වාදයෝ නොවෙති. [19]

[19] විනය මහවග සඤ්ඤාපනය XXV පිටුව

අතිපූජනීය ලබුගම ලංකානන්ද මාහිමිපාණන් වහන්සේ

එහිදී ස්ථවිරභික්‍ෂූහු ඒ ධර්මවිනය පිටකාදි වශයෙන් විභාගකොට සඞ්ගායනාවට නැගූහ. මෙසේ පාලිධර්මය සඞ්ගායනා කොට භාග්‍යවතුන් වහන්සේ විසින් ම ඒ ඒ තැන්හිදී වදාළ ප්‍රකීර්ණක ධර්මකොට්ඨාශයන් ගෙන ත්‍රිපිටක අර්ථකථාව ද සඞ්ගායනා කළහ. එහෙයින් සියලු අර්ථකථා තථාගතයන් වහන්සේ විසින් වදාළාහු යයි සැලකිය යුතුයි.[20]

[20]ප්‍රපඤ්චදීපිකා නම් මජ්ඣිමනිකාය අටුවා පරිවර්තනය සඤ්ඤාපනයේ II පිටුව

අතිපූජනීය බලංගොඩ ආනන්ද මෛත්රී මාහිමිපාණන් වහන්සේ

මේ විනය පිටකය පුහුණු කරන්නවුන්ගේ පහසුව තකා සංගීතිකාරක මහරහතුන් විසින් තැබූ අර්ථවාචනා මාර්ගය මිහිඳු මහරහතුන් විසින් ලක්දිවට ගෙනෙන ලදුව විනයාචාර්ය පරම්පරායෙහි ආයේය. කලකට පසු ගැටලු තැන් ලිහීම් විසින් කැරුණු වර්ණනා සහිතව ඒ අර්ථකථා ග්‍රන්ථාරූඪ විය. එයින් මෑත බුදුගොස් තෙරණුවන් විසින් ඒ පැරණි හෙළ අටුවා ඇසුරු කොට පාළියෙන් සමන්තපාසාදිකා විනයත්ථ වර්ණනාව ද, තවත් ඇදුරන් විසින් එයට සාරත්ථදීපනී, විමතිවිනෝදනී, වජිරබුද්ධි යන තුන් ටීකා ද උභයපාතිමොක්ඛයට බුදුගොස් තෙරුන් විසින් කංඛාවිතරණිය ද එයට අන් තෙරකෙනෙකුන් කළ විනයත්ථමංජුසා ටීකාව ද විනය පිටකයෙහි ආ දෑ විස්තර කැරුම් විසින් කරන ලදහ. එයින් පසු තවත් ඇදුරෝ විනයවිනිච්ඡය, පාළිමුත්තක විනයවිනිච්ඡය, විනයසංගහ, මූලසික්ඛා, ඛුද්දකසික්ඛාදී තවත් ග්‍රන්ථ රචනා කළහ.[21]

[21] කුදුසික විවරණය 1953 (වැලිගම සිරි ඤාණරතන මහනාහිමි) ප්‍රස්තාවනාව

අතිපූජනීය රේරුකානේ චන්දවිමල මාහිමිපාණන් වහන්සේ

1        ඈත අතීතයේ එතරම් සුලභව බුද්ධප්‍රතිමා නොතිබුණත් ඒවා තුබුණු බව අටුවා පොත් වලින් පෙනේ. අටුවා බුදුන් වහන්සේ වැඩසිටි කාලයේ පටන්ම පැවැත්තේය.

මිහිඳු මාහිමියන් විසින් මේ දිවයිනට ගෙනා අටුවා සිංහලට නඟා තුබුණේය. කල් යාමෙන් දඹදිව තුබූ අටුවා අභාවප්‍රාප්ත විය. එබැවින් බුදුගොස් මාහිමියෝ මේ දිවයිනට පැමිණ සකල ලෝකයාගේම ප්‍රයෝජනය සලකා නැවත ඒ හෙල අටුවා පාලි භාෂාවට පරිවර්තනය කළහ. ඒවා විදේශ වලට ගිය බැවින් අද දක්වා නොනැසී පවතී. විදේශවලට නොගිය බැවින් හෙල අටුවා මෙහිම අභාවප්‍රාප්ත විය. දැනට පවත්නා පාලි අටුවා පසු කලෙකදී බුදුගොස් හිමියන් විසින් ලියන ලද ඒවා වුවත් බුද්ධකාලයේ පටන්ම පැවැති පැරණි අටුවා බව කිය යුතුය.

රහතන් වහන්සේලා වැඩ විසූ ඈත අතීතකාලයේ බුදුපිළිම නොතිබුණා නම් අටුවාවල බුදුපිළිම ගැන සඳහන් නොවිය හැකිය.[22]

[22] ධර්මවිනිශ්චය 29 -30 පිටු විවරණය 1953 (වැලිගම සිරි ඤාණරතන මහනාහිමි) ප්‍රස්තාවනාව

2        මෙසේ අටුවාටීකා වල නොයෙක් තැන්වල දායකයන් විසින් කලින් කපා, මසා, පඬුපොවා පුදන ලද චීවරය ද කඨිනයට සුදුසු බව දක්වා තිබෙන්නේ “න අඤ්ඤත්‍ර …..අත්ථතං හොති කඨිනං” යන බුද්ධවචනය තේරුම් ගන්නට නුපුළුවන් වීමෙන් හෝ වරදවා තේරුම් ගැනීමෙන් හෝ නොව, එහි අර්ථය බුදුන් වහන්සේගේ අදහසේ හැටියට හරියටම තේරුම් ගැනීමෙනි.

 මේ අටුවාටීකාවන් ලියා තිබෙන්නේ මෙකල මෙන් භික්ෂූන් විනයට එතරම් ගෞරවයක් නොදක්වන, විනය පොතපත භාවිත නොකරන කාලයකදී නොව, ඉතා ආදරයෙන්ගෞරවයෙන් විනය සිකපද අකුරටම පිළිපදින, විනය උගෙනීමඋගැන්වීම ආදරයෙන් කරන භික්ෂූන් විසූ කාලයේදීය………..

“කඨිනය සඳහා කලින් මැසූ සිවුරු ගතයුතු බවක් බුද්ධදේශනාවේ නැත. එය අටුවා මතයකැ”යි ඇතැම් කෙනෙක් කියති. විනය පිළිබඳව අටුවා මතයය-බුද්ධමතයය කියා දෙකක් නැත්තේය. විනය අඩු-වැඩි කිරීමේ හෝ වෙනස් කිරීමේ බලයක් අටුවාචාරීන්වහන්සේලාට නැත.

උන් වහන්සේලා බුද්ධමතයට විරුද්ධ දෙයක් නො පවසන්නාහ. අටුවාවෙන් කරන්නේ කරුණු පිළිබඳ වූ බුද්ධමතය පැහැදිලි කිරීමය.[23]

[23]  විනයකර්ම පොත 101 පිටුව (1997 මුද්‍රණය)

3      සංක්‍ෂේපයෙන් විනය පිටකයෙහි දැක්වෙන බොහෝ කරුණු ඒ ග්‍රන්ථ වලින්ම තේරුම් ගත නොහෙන බැවින් බුද්ධමතය තේරුම් ගැනීමට සමත් මහාකාෂ්‍යපාදී මහරහත්හු එයට අර්ථවර්ණණාවක් ද තැබූහ. අටුවාවය යි කියනුයේ ඒ අර්ථවර්ණණාවටය. එය බුදුරජාණන් වහන්සේගේ ‘ප්රකීර්ණක දේශනාවයයි ද කියා ඇත. එබැවින් ඒ අර්ථකථාවත් විනයපාළිය සේම ගරු කළ යුතුය…….. සිංහල තෙරවරුන් විසින් ඒ පොත් (විනයටීකා) සිංහලයෙන් නොකර පාළිභාෂාවෙන් ම සපයා ඇත්තේ විනය වර්ණනාවට යෝග්‍ය භාෂාව පාළිභාෂාව වන නිසාය. ………

ග්රන්ථප්රමාණයෙන් විශාලවූ ගැඹුරු වූ මේ විනය, දැනගැනීම පිණිස අටුවාටීකා සහිත විනය පිටකය විනය විශාරද ආචාර්යවරයන් ඇසුරු කරමින් පරිශීලනය කළ යුතුය.[24]

[24] උපසම්පදා ශීලය පොත 22-23 පිටු (6 වන මුද්‍රණය)

අතිපූජනීය මඩිහේ පඤ්ඤාසීහ මාහිමිපාණන් වහන්සේ

පුරාණාචාර්යයන් වහන්සේ මුළු ත්‍රිපිටකය ආරක්‍ෂා කැරැ ගෙන ආවේ කටපාඩමින්ය. ප්‍රථම ධර්මසංගායනාවෙහි විනයට මුල් වූයේ උපාලි මහරහතන් වහන්සේය. උන්වහන්සේගේ ශිෂ්‍ය ප්‍රශිෂ්‍යයෝ තෙවැනි ධර්මසංගායනාව දක්වා විනය පිටකය ආරක්‍ෂා කැරැ ගෙන ආහ. …….

තෙවැනි ධර්මසංගායනාවෙන් පසු මහරහතන් වහන්සේ ධර්මදූත සේවයක් සම්මත කළහ. ඒ අනුව හෙළදිවට වැඩම කළේ මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන පස් නමකි. උන්වහන්සේලා වාචෝද්ගත කොට ගෙන ආ ත්‍රිපිටකය සිංහල භික්‍ෂූන්ට පෙළ බසින්ම ඉගැන්වූවා. අටුවා නමින් ගෙන ආ විස්තර කථා හෙළ බසින් ඉගැන්වූවා. …..

හෙළදිවැ භික්‍ෂූන් දඹදිවින් පැමිණි භික්‍ෂූන් ඉගැන්වූ අටුවා නමින් පැවති ධර්ම විස්තරය හෙළ බසින් වහරණ ලද හෙයින් හෙළ අටුවා නමින් පළ විය. මහපඬි බුදුගොස් මාහිමියන් වහන්සේ පසුව හෙළ අටුවා පෙළ බසට නගන ලදුව අද තිබෙන අට්ඨකථා පහළ විය. …..

පාළියෙහි ගැඹුරු එහෙයින්ම නො පැහැදිලි ධර්මවිනය පද පැහැදිලි කැරැ දීම අටුවා කළ සේවයයි. අටුවාවන්හි නොපැහැදිලි ධර්මවිනය පැහැදිලි කැරැ දීමට ටීකා නමින් ග්‍රන්ථ සමූහයක් පහළ විය. එයින් සාරත්ථදීපනී විනය ටීකාව හැමට වඩා විශාල වේ. විනය අටුවාවට විමතිවිනෝදනී ටීකා, වජිරබුද්ධි ටීකා නමින් තවත් ටීකා දෙකක් ඇත. ගැටපද ද ඇත.[25]

[25] කුදුසික විවරණය 1953 (වැලිගම සිරි ඤාණරතන මහනාහිමි) හැඳින්වීම ii

අතිපූජනීය බෙන්තර සද්ධාතිස්ස මාහිමිපාණන් වහන්සේ

මේ පොත වනාහි අර්ථකථාචාර්ය අනුබුද්ධ බුද්ධඝෝෂ මහා ස්වාමින්ද්‍ර ප්‍රණීත “විසුද්ධිමග්ග, විසුද්ධිමග්ගට්ඨකථා, විසුද්ධිමග්ගට්ඨකථා පාළි” යන අභිධානාන්තරයන්ගෙන් සමස්ථ බෞද්ධ සාහිත්‍යයෙහි ප්‍රචලිත ප්‍රශස්තතර මහා ග්‍රන්ථරත්නයත් තදර්ථවර්ණනා ද්වාරයෙන් ……

ප්‍රතිපාදිත මහා සන්‍යයත් යන මහා ග්‍රන්ථ ද්වය එකතු කිරීමෙන් සකස් කොට මුද්‍රණයෙන් ප්‍රසිද්ධියට පමුණුවන ලද්දෙකි.[26]

[26] මහාසන්‍ය සහිත විශුද්ධිමාර්ගය 1949,  i පිටුව

අතිපූජනීය පමුණුවේ බුද්ධදත්ත මාහිමිපාණන් වහන්සේ

සිරිමතා තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධෙන …… සකලනවඞ්ගපරියත්තිසාසනස්ස අත්ථප්පකාසනද්වාරෙන සයඤ්චෙව නිජසාවකෙහි ධම්මසෙනාපතිසාරිපුත්තත්ථෙරපමුඛෙහි පටිසම්භිදාප්පත්තමහාඛීණාසවෙහි නිද්දෙසපටිනිද්දෙසවිභඞ්ගපදභාජනීයවසෙන තත්ථ තත්ථ පකාසිතා පකිණ්ණකවිනිච්ඡයකථා සඞ්ඛාතා දෙසනා අට්ඨකථා නාමෙන ධම්මසඞ්ගාහකෙහි මහාකස්සප – මහාඛීණාසවප්පමුඛෙහි පඤ්චසතාරහන්තෙහි සඞ්ගීතිමාරොපිතා සමානා සිරිජම්බුදීපෙ යාව තතියසඞ්ගීති ආචරියපරම්පරාභතා….

(සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ ඒ භාග්‍යවත් වූ අරිහත් වූ ශ්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් …. සියලු නවාංග පරිත්ති සාසනයේ අර්ථ ප්‍රකාශනද්වාරයෙන් තමන් වහන්සේ විසින්මත් නිජශ්රාවක වූ ධර්ම සේනාපති සැරියුත් මහතෙරුන් ප්රමුඛ ප්රතිසම්භිදාප්රාප්ත මහාක්ෂීණාශ්රව උතුමන් විසිනුත් නිර්දේශ, ප්රතිනිර්දේශ, විභංග, පදභාජනීය වශයෙන් තැනදී ප්රකාශ කළ ප්රකීර්ණක විනිශ්චයකථා සංඛ්යාත දේශනාවෝ අර්ථකථා නාමයෙන් මහාකාශ්‍යප මහරහතුන් වහන්සේ ප්‍රමුඛ පන්සියයක් ධර්මසංග්‍රාහක මහරහතුන් වහන්සේලා විසින් සංගායනාවට නංවන ලදුව දඹදිවෙහි තෙවන සංගායනාව දක්වා පරම්පරාවෙන් ගෙනෙනා ලද්දේය.)[27]

[27] විසුද්ධිමග්ග (හේවාවිතාරණ මුද්‍රණය 1920) සඤ්ඤාපනය

අතිපූජනීය ඉඳුරුවේ උත්තරානන්ද  මාහිමිපාණන් වහන්සේ

මෙහි කර්තෘවරයෝ අනුබුද්ධ බුද්ධඝෝෂ මහා ස්වාමීහු වෙති…

මේ විශුද්ධිමාර්ගය වනාහි හෙළ අටුවා මැනැවින් ඉගෙන මහාවිහාරිකයන්ගේ සුවිශුද්ධ විනිශ්චය මැනැවින් දැනැ හෙළ බසින් පැවැති මහ අටුවාවෙහි ගැබ් වූ කරුණු උපයෝග කොට ගෙන ගුරුමුඛයෙන් හා මහවෙහෙරැ වැසි උගත්  තෙරවරුන්ගෙන් අසා දැනගත් ඇතැම් මහතෙරවරුන් හා උවැසු උවැසියන් පිළිබඳ කථාප්‍රවෘත්තීන් ඒ ඒ තැනට සාධක වශයෙන් ඇරැපාමින් මහවෙහෙරැ වැසි සංඝයා ශක්ති විමසනු සඳහා ඉදිරිපත් කළ “අන්තො ජටා බහි ජටා” යනාදී ගාථා දෙක මාතෘකා කොට ගෙන අනුබුදු බුදුගොස් මාහිමියන් විසින් ස්වබුද්ධි වෛභව්‍යය ද විදහා පාමින් සම්පාදනය කරන ලද චතුරාගම සංවර්ණනාශේෂ ග්‍රන්ථයෙකි……… මෙසේ මේ ග්‍රන්ථය සැපයීමෙන් බුදුගොස් හිමියෝ තමන්ගේ පරිවර්තන ශක්තිය ද, පරමත දූෂණයෙහි හා ස්වමත භූෂණයෙහි පොහොසත් බව දැක්වීමෙන් මහාවිහාරිකයන්ගේ මත මැනැවින් ඉගෙන එහි ස්ථිරවැ පිහිටා සිටින බවට ප්‍රතිඥාප්‍රදානය ද හෙළ අටුවා පාළියට පෙරැළීමෙන් මහාවිහාරික මතය මැනැවින් සංරක්‍ෂණය වී දේශාන්තරයෙහි පවා පැතිරී යන අයුරු ද හෙළි කළහ.

කරුණු මෙසේ හෙයින් මහාවිහාරිකයන්ගේ සම්පූර්ණ විශ්වාසය දිනාගැනීමට බුදුගොස් හිමිතුමන් සමර්ථ වූයේ මේ විශුද්ධිමාර්ගයෙහි එයට සරිලන ශක්තිය අනූනවැ පවත්නා බැවිනි.[28]

[28] විස්තරාර්ථ සන්න සහිත විශුද්ධිමාර්ගය 2004 (මාතර ධර්මවංශ හිමි) ප්‍රස්තාවනාව iv, xi පිටු

පිළිවෙත් සරු යෝගාශ්‍රමීය මාහිමිපාණන් වහන්සේලා අටුවා-ටීකාදිය පිළිබඳ දරණ අදහස

  1. පරියත්ති ශාසනය නම්:

(පර්යාප්ති ශාසනය) මහාකාරුණික බුදුපියාණන් වහන්සේ වදාළ අනුශාසනා සමූහයයි. ඒ වනාහි පොදුවේ සුගතියට ද විශේෂයෙන් නිවනට ද මාර්ගය සලසා දෙන පිළිවෙත වදාළ සුපිරිසිදු  උපදෙස් රැසය. විනය පිටකය, සූත්‍රාන්ත පිටකය, අභිධර්ම පිටකය යයි එය කොටස් තුනකට බෙදී ඇත්තේය. එහි ගැඹුරු තැන් ලිහිල් කොට තේරුම් කර ගැනීමට පහසු මග දක්වන අටුවාවෝ ඇත. එහි විස්තරය පහළ නොවූ ගැටළු නොලිහුණු තැන් එළිපෙහෙළි කරන ටීකා අනුටීකාවෝ ඇත. ඒ හැමතැන් පහසුවෙන් හිතට ගන්නා නියායෙන් සකස් කළ සංග්‍රහ ධර්මග්‍රන්ථයෝ ඇත.

රාගවිනය, දෝෂවිනය, මෝහවිනය සලසන නය අනුව චතුස්සත්යය ප්රකාශක ක්රම අනුව අමාමහ නිවන් රසින් රසවත් වූ නය අනුව හැම බුදුවදන් පිරිසිදු සැදැහැ සිතින් උගතයුතු වන්නේය.[29]

[29] විදර්ශනා පරපුර 2 පිටුව (අතිපූජනීය මාතර ශ්‍රී ඤාණාරාම මාහිමි) 2003

2. මේ අවස්ථාව පටිසම්භිදාමග්ග දේශනා පාළියෙහි සඳහන් වන්නේ චිත්තං විවට්ටති උපෙක්ඛා සණ්ඨාති” යනුවෙනි. පටිසම්භිදාමග්ග අට්ඨකථාව මේ අවස්ථාව විස්තර කරන්නේ “අස්සාසපස්සාසාපි ……” යනුවෙනි.[30]

[30] ආනාපානසති භාවනාව 15 පිටුව (2009) (අතිපූජනීය මාතර ශ්‍රී ඤාණාරාම මාහිමි)

3. අට්ඨකථාචරිය බුද්ධඝෝස ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සම්ප්‍රාප්තිය සිදුවූයේ මෙබඳු තත්වයකින් යුත් කාලයෙකය. උන්වහන්සේ විසුද්ධිමග්ගයේදී කර්මස්ථාන පිළිබඳ සියලු විස්තර නොපිරිහෙලා විස්තර කළ බව, “සබ්බකම්මට්ඨානානඤ්හි භාවනාවිධානං සබ්බං අට්ඨකථානයෙන ගහෙත්වා විසුද්ධිමග්ගෙ විත්ථාරිතං.”යි කමටහන් පිළිබඳ සියලු භාවනා විධානය අටුවාවේ ආනයින් විසුද්ධිමාර්ගයේ විස්තර කරන ලදී. මෙයින් විසුද්ධිමාර්ගය සම්පූර්ණ භාවනා විධානයේ විස්තර කළ ග්රන්ථය බව ප්රකාශිතයි.[31]

4. මිහිඳු මාහිමිපාණන් වහන්සේගෙන් ඇරඹුණු ශාසන පරම්පරාව දිගටම සඳහන් කිරීමට බොහෝ උත්සාහ ගත්තත් නොයෙක් විදියේ අතුරු අනතුරු නිසා වැලකී ගියේය. මහාවිහාර භික්‍ෂු පරම්පරාව යැයි නියමයෙන් දැක්වීමට පරපුරක් නොමැති විය. භාවනා පරම්පරාව ද මේ සමග දුබල වූ බව සිතිය හැකිය. මේ දුබල වීම පලාබත්ගල විසූ ධර්මකීර්ති ස්වාමීන් වහන්සේගේ කාලයෙන් පසුව යැයි කිය යුතුය.

          ලක් බුදුසසුන පිහිටි මුල් කාලයේ විදර්ශනා භාවනා උපදේශ දීමට ඒ කාලයේ සිටිය ප්‍රමුඛ පිරිස හොඳටම සමර්ථ වූහ. එහෙයින් බුද්ධකාලයේ මෙන් ඒ කාලයේ ද අධිගම ලාභය පිළිබඳ කථා අර්ථකථා වංශකථාවන්හි විස්තර කරනලද බැව් හැඟේ. ප්‍රතිවේධ ශාසනය වශයෙන් ගැනෙන මේ අධිගම සම්පත්තිය වර්ෂ දහසකට වඩා නිරුපද්‍රිතව මේ රටේම පැවති බව පෙනේ.[32]

[32] විදර්ශනා පරපුර 11-12 පිටු (අතිපූජනීය මාතර ශ්‍රී ඤාණාරාම මාහිමි) 2003

5. ඇත්ත වශයෙන් ඉතිං අට්ඨකථාවෙ කියැවෙන්නේ දේශනා පාළියේ කියන්න ඕන එකනෙ. දැන් අට්ඨ කථාව කියන එක රහතන් වහන්වයේලා පමණක්ම තීරණය කරපු එකක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ දේශනාවකම අදහස. ඒ කියන්නේ දැන් ඔය අට්ඨකථා ගැන ලස්සන පිළිතුරක් දීලා තියනවා මහාවංසෙ. තිස් හත් වැනි පරිච්ඡේදෙ මං කියෙව්වා. කියෙව්වාම හොඳට තියනවා පිළිතුරක්. දැන් අද කාලෙ බොහෝ උගත් අය පිළිගන්නෙ මේක පසුකාලෙක හදපු එකක් කියලනෙ. නෑ පසු කාලයක වුනේ පරිවර්තනයක් විතරයි. ඒ කියන්නේ  භාෂා පරිවර්තනයක්.[92] 

6. අතිගරු පූජ්‍ය රාජකීය පණ්ඩිත කඩවැද්දුවේ සිරි ජිනවංස මාහිමිපාණන් වහන්සේ ද …….. ත්රිපිටක ධර්මය පෙළඅටුවාටීකා සමග හදාරා ව්‍යාකරණ, ශබ්ද ශාස්ත්‍ර, භාෂා නිපුණත්වයෙන් රාජකීය පණ්ඩිත උපාධිය ලබා ගත්හ.

ඒ අනුව 1951 වර්ෂයේ ජූනි මස 18 වන දින ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රථම ප්‍රවෘජ්‍යා සම්පත්තිය ලබාගත් මහා පුණ්‍යවන්ත දොළොස් දෙනා වහන්සේ, පෙළඅටුවාටීකාසංස්කෘත භාෂාව්යාකරණ ශබ්දශාස්ත්‍ර – ධර්මවිනය පිළිබඳ හසල දැනුමක් ඇති කුශාග්‍ර බුද්ධියෙන් යුතු අතිගරු ප්‍රධානාචාර්යය මාතර සිරි ඤාණාරාම හිමිපාණන් වහන්සේ වෙතින් මූළික අධ්‍යාපනය ලබා ගත්හ.[33]

7. ත්‍රිපිටක පාලියෙහි දැක්වෙන සමථ කර්මස්ථාන භාවනා සියල්ල එක්රැස් කොට විසුද්ධි මාර්ග අර්ථකථාවෙහි සවිස්තරව දක්වා ඇත්තේ සමථ කර්මස්ථාන සතළිසක් වශයෙනි.[34]

8. සතරබණවර – සතිපට්ඨාන සූත්‍රය – සූත්‍රසංග්‍රහය – ධම්මපදය – කායවිරති ගාථා පොත – අභිධර්මාර්ථ සංග්‍රහය – බාලාවතාරය සම්පූර්ණ කොට වාචෝද්ගත කරන ලද්දේ නාථගනේදීය.[35]

[92]  අතිපූජනීය නාඋයනේ අරියධම්ම මාහිමිපානන් වහනසේ විසින් 2010.06.12 දින නාඋයන ආරණ්‍යයේදී පැවැත්වූ සාකච්ඡාවක් ඇසුරින්

[33] ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථා ඉතිහාසය (ප්‍රථම-දුතියභාග) 210 පිටුව.

[34] සමසතළිස් කමටහන් (2014) හැඳින්වීම X පිට (අතිපූජනීය නාඋයනේ අරියධම්ම මාහිමි)

[35] අසිරිමත් බුදුමග පියසටහන් (2017) (අතිපූජනීය නාඋයනේ අරියධම්ම මාහිමි චරිතාපදානය) 42 පිට

9. ටික දිනකට නාඋයනට වැඩම කළ පූජ්‍ය උත්තරවංස ස්වාමීන් වහන්සේත් ඇසුරට ලැබිණ. එම ස්වාමීන් වහන්සේගෙන් අභිධර්මාර්ථ සංග්‍රහයේ ප්‍රකීර්ණක කාණ්ඩය තෙක් අර්ථ අස්වාගතිමි. [36]

10. අධිශීලෝපසම්පදාවේදී උපාධ්‍යායන් වහන්සේ වශයෙන් පත් වූ සේක් අතිපූජනීය විදර්ශනාචාර්ය මඩවල ධම්මතිලකාභිධාන නිමලව ලොකු ස්වාමීන් වහන්සේ වෙති. එහිදී කර්මාචාර්යයන් වහන්සේලා වශයෙන්. අතිපූජනීය රාජකීය පණ්ඩිත මාතර සිරි ඤාණාරාම මාහිමියන් වහන්සේ , අතිපූජනීය රාජකීය පණ්ඩිත කඩවැද්දුව ශ්රී ජිනවංස මාහිමියන් වහන්සේ , අතිපූජනීය පණ්ඩිත ගැටමාන්නේ ශ්රී විමලවංස මාහිමියන් වහන්සේ , අතිපූජනීය මුනගම සිරිසුමන මාහිමියන් වහන්සේ , අතිපූජනීය දේවගොඩ මංගලසිරි මාහිමියන් වහන්සේ ද, පත් වූ සේක.

අධ්‍යයන සමයේදී ඉහත සඳහන් උපසම්පදාවේදී උපාධ්‍යාය කර්මාචාර්යවර මාහිමිපාණන් වහන්සේලාද, අතිපූජ් රේරුකානේ චන්දවිමල මහානායක මාහිමියන් වහන්සේ , අතිපූජ් දෙවිනුවර ඤාණාවාසාභිධාන මහානායක මාහිමියන් වහන්සේද ආචාර්යත්වයට පත්වූ සේක.[37]

[36] එම 43 පිට

[37] එම  46 පිටුව

11  .. පූජනීය ගැටමාන්නේ ශ්‍රී විමලවංස මාහිමියන් වහන්සේ වෙතින් සිංහල – පාලි, පාලිනිඝණ්ඩුව, සංස්කෘත – ඡන්දස් – අලංකාර, විනය ප්‍රාතිමෝක්‍ෂ – කංඛාවිතරණී – ප්‍රාතිමෝක්‍ෂ වර්ණණාව, සිඛවළඳ – සිඛවළඳ විනිස – සූත්‍ර පිටකයේ සඟි පොත්, ආදියත් ……… අතිගරු පූජනීය රාජකීය පණ්ඩිත කඩවැද්දුව ශ්‍රී ජිනවංස ස්වාමීන් වහන්සේ වෙතින් හා අතිපූජනීය දේවගොඩ මංගලසිරි ස්වාමීන් වහන්සේ ද වෙතින් වැඩිදුරටත් අතිගරු පූජනීය රාජකීය පණ්ඩිත කඩවැද්දුව ශ්‍රී ජිනවංස ස්වාමීන් වහන්සේ වෙතින් හා අතිපූජනීය දේවගොඩ මංගලසිරි ස්වාමීන් වහන්සේ ද වෙතින් වැඩිදුරටත් පාලිභාෂාව – අර්ථකථා, විනය පිටකය, සූත්‍රාන්ත පිටකය ද අධ්‍යයන කෙරිණි.[38]

[38] එම 47 – 48 පිටු

03 බුද්ධඝෝස මහාස්වාමිපාදයන්   වහන්සේ යනු කවුද?

අට්ඨකථා යන වචනය කීමේදී නිතැතින්ම සිහිවන නාමයකි බුද්ධඝෝෂ ඇදුරුපාණන් වහන්සේගේ නාමය. අටුවා ග්‍රන්ථ පිළිබඳ වැරදි මත පලවෙන්නාක් මෙන්ම එම ග්‍රන්ථ පාළි භාෂාවට පරිවර්තනය කළ බුදුගොස් මාහිමියන් ගැන ද වැරදි මත බොහෝවක් පැතිරෙමින් පවතී. එය එසේ වීම පුදුමයට කරුණක් නොවේ. බුදු දහමට විරුද්ධව එය වනසන අදහසින් කරුණු දක්වන යමෙක් වේ නම් ඔහු බුදු දහමේ උන්නතිය, දියුණුව උදෙසා කටයුතු කළ උතුමන් සියලු දෙනාටම දොස් නගනු ඇත. බුද්ධඝෝෂ මාහිමිපාණන් වහන්සේ පිළිබඳ සැබෑ තොරතුරු දැනගනු කැමති අය මහාවංසය, බුරුමසාසනවංශය, බුරුමයේ පැවති ඡට්ඨ (හයවැනි) සංගායනාවේදී එහි භාරනිත්ථාරකසංඝසමිතිය විසින් ප්‍රකාශිත විශුද්ධිමාර්ග නිදානකථාව ද, ටීකා ග්‍රන්ථ හා විශුද්ධිමාර්ග සන්න ආදී ග්‍රන්ථ කියවා බැලීම වටී. දැනගැනීම පිණිස ඉන් කරුණු ස්වල්පයක් මෙසේ දක්වමු.

ලක්දිවට වැඩමකිරීමට පෙර අවදිය

බුද්ධඝෝෂ මාහිමිපාණන් වහන්සේගේ උත්පත්තිය ආදී කරුණු මහාවංශ, සාසනවංශ ආදී ග්‍රන්ථයන්හි දැක්වේ. එම කරුණු වල සාරාංශයක් අපි මෙසේ දක්වමු.

බුද්ධඝෝෂ මාහිමිපාණන් වහන්සේ ඉන්දියාවේ බ්‍රාහ්මණ පවුලක උත්පත්තිය ලැබූ බවත් කුඩා අවදියේදීම ත්‍රිවේදයේ පරතෙරට පැමිණි බවත් කුඩා කාලයේ පටන්ම විශේෂ බුද්ධිප්‍රභාවක් පෙන්නුම් කල බවත් එම පුවත දක්වන සෑම ඉතිහාස ග්‍රන්ථයකම පාහේ දක්වා ඇත. එකල දඹදිව වැඩසිටි අභිඤ්ඤාලාභී රහතන් වහන්සේලාගේ හා සක් දෙව් රජතුමාගේ ඉල්ලීම පරිදි දිව්‍ය ලෝකයෙන් චුතව මෙලොව උප්පත්තිය ලැබූ බව බුරුම සාසනවංශය ආදී ග්‍රන්ථයන්හි දක්වා ඇත. රේවත නම් තෙරුන් වහන්සේ එතුමන්ගේ උපාධ්‍යායන් වහන්සේ බව මහාවංශයේ දැක්වෙන අතර බුරුම සාසනවංශාදියේ නමක් නොදක්වා අභිඤ්ඤාලාභී රහතන් වහන්සේ නමක් බව පමණක් දක්වා ඇත. දඹදිවදීම ඉතා කෙටි කලකින් ත්‍රිපිටකට කටපාඩම් කළ බවත් ඉන් පසු උපාධ්‍යායන් වහන්සේගේ ඉල්ලීම පරිදි අටුවා පරිවර්තනයට ලක්දිවට වැඩම කල බව මහාවංශයේ දැක්වෙන අතර  මහාසංඝරත්නයේ ඉල්ලීම පරිදි වැඩම කල බව ඇතැම් ග්‍රන්ථයන්හි දැක්වේ. ඒ අනුව උපාධ්‍යායන් වහන්සේ ප්‍රධාන මහාසංඝරත්නයේ ඉල්ලීම පරිදි වැඩම කල බව සිතිය හැකිය.

එසේ වැඩම කරන අතරතුර බුද්ධවංශ අටුවාව පාළියට පරිවර්තනය කළ බුද්ධදත්ත ඇදුරුපාණන් වහන්සේව අතරමගදී මුණගැසුන බවත් දෙදෙනාගේ සාකච්ඡාවෙන් පසු බුද්ධඝෝෂ මාහිමිපාණන් වහන්සේගේ ප්‍රඥාප්‍රභාව හැඳිනගෙන පරමදිලිඳු තැනැත්තෙකුට රතනාකරයක් ලැබුනාක් මෙන්  බුද්ධදත්ත ඇදුරුපාණන් වහන්සේ සතුටු වූ බවත් අප රටට මහත් කීර්තියක් එක් කළා වූ ද සාරිපුත්ත සංඝරාජයන් වහන්සේගේ ශිෂ්‍ය වූ විනයවිනිශ්චය ටීකාව රචනාකළා වූ වාචිස්සර ඇදුරුපාණන් වහන්සේ දක්වන සේක. මෙසේ බුද්ධඝෝෂ ඇදුරුපාණන් වහන්සේ දෙස්විදෙස් පඬිවරුන්ගේ කීර්තියට ලක් වූ අයුරු පැහැදිලිය.

ලක්දිවදී සිදුකළ සාසන මෙහෙවර

මෙරටට සපැමිණි එතුමෝ මහාවිහාරවාසී මහාසංඝරත්නය වෙතින් පිරිසිදු ථේරවාදය අටුවා සහිතව හදාරා අටුවා පරිවර්තනයට අවසර ඉල්ලූ අවස්ථාවේදී එතුමන්ගේ හැකියාව විමසීමට සංයුක්ත නිකායේ සඳහන් “අන්තො ජටා” ආදී ගාථා දෙක ලබාදුන් අතර ඒවා විස්තර කරමින් මුළු ත්‍රිපිටකයේම හා එහි අර්ථ සම්පිණ්ඩනය කරමින් අනුපිළිවෙලින් නිවන් මග දක්වමින් අමෘත ආකරයක් බඳු “විශුද්ධිමාර්ගය” රචනා කළ සේක. පිරිසිදු ථේරවාදී බුදුසසුන චිරකාළයක් පැවැත්වීමට සමත් කටයුත්තක් කරන ලදැයි කියන්නාක් මෙන් මහපොළොව කම්පාවෙමින් සාධුකාර දුන් බව මහාවංශාදී ඉතිහාස ග්‍රන්ථයන්හි දැක්වේ. මෙතුමන්ගේ අසහාය පාණ්ඩිත්වය දුටු මහාවිහාරවාසී මහසඟරුවන “මේ නම් නිසැකවම මෛත්‍රී බෝසතාණන් වහන්සේයි” යනුවෙන් තුති පුදා තම දිවි දෙවෙනි කොට සුරැකි අටුවා ග්‍රන්ථ පරිවර්තනය සඳහා බුදුගොස් හිමියන්ට ලබා දුන් සේක. බුද්ධඝෝෂ ඇදුරුපාණන් වහන්සේ සියලු අභිධර්මපිටක අටුවා ද විනයපිටක අටුවා ද සූත්‍ර පිටකයේ මුල් නිකාය හතරේ සියලු අටුවා ද ඛුද්දක නිකායේ සූත්‍රනිපාතාදී ග්‍රන්ථ කිහිපයක අටුවා ද පාළි භාෂාවට නගමින් මහත් සාසන අනුග්‍රහයක් සිදුකළ සේක. ඉන් පසු එතුමෝ ආපසු දඹදිවට වැඩම කළ බව දැක්වේ. එතුමෝ මෙම අටුවා පරිවර්තනයෙන් ලක්දිව දඹදිව පමණක් නොව මුළු පෘථුවි තලය පුරාම සිංහල අටුවාවන්ගේ වටිනාකම ප්‍රකට කරවා පුරාණ සිංහල මහරහතන් වහන්සේලාගේ ශ්‍රී නාමයන් ලොව පුරා ප්‍රකට කරවා  සිංහල දීපයේ තේජස ලොවට කියා පෑ සේක. දැනටත් ඇතැම් තායි භික්ෂූන් වහන්සේලා ලක්දිව දෙසට හිස දමා ගරුකොට සැතපෙන බව ද බුරුමජාතික භික්ෂූන් වහන්සේලා මෙම ලක්දිව ඉපදීමට පතන බව ද අසන්නට ලැබේ. මෙම ගරුත්වය අපට ලැබුනේ බුද්ධඝෝෂ ඇදුරුපාණන් වහන්සේ විසින් අටුවා පාළියට පරිවර්තනය කළ නිසා බව සැලකිය යුතුය.

එතුමන්ට කරන දෝෂාරෝපන හා ඒවාට පිළිතුරු

  1. ප්‍රශ්ණය : එතුමන් වහන්සේ තමාගේ මත අටුවාවන්ට එකතු කළා ද?

පිළිතුර:        එතුමන් වහන්සේ තමන්ගේ අදහස් අටුවා මත ලෙස ඇතුලත් කළැයි යමෙක් කියතොත් ඒ කියන්නේ අටුවා හරිහැටි කියවා නොමැතිකම නිසාය. අටුවාවක ආචරිය මත කීපයක් දක්වන විට එයින් ගතයුත්තේ කුමක්ද යනාදී න්‍යායන් අටුවාවේම දක්වා ඇත. ඒ පිළිබඳ අපි ඉදිරියේදී දක්වමු. එම න්‍යායන් නොදන්නෝ අටුවාව පරිහරණය කරන අයුරු නොදැන අටුවාවන්ටත් අටුවා ඇදුරුවරුන්ටත් දොස් නගති. බුද්ධඝෝෂ ඇදුරුපාණන් වහන්සේ කිසිවිටෙක පුරාණ අටුවා මතය යට කොට තම මතය ඉස්මතු කිරීමට උත්සාහ නොගත් අතර පුරාණ අටුවා මත ද අතීතයේ වැඩසිටි ශ්‍රේෂ්ඨ සිංහල මහරහතන් වහන්සේලාගේ මත ද අතිශය ගරුත්වයෙන් පිළිගත් බව අටුවා පරිශීලනයේදී දත හැකිය. යම් මතයක් පිළිගැනීමට හෝ බැහැරකිරීමට උන්වහන්සේට ස්වාධීන බලයක් ලබා නොදුන් බවත් මහාවිහාරීය මහරහත් පරපුරේ අධීක්ෂණය යටතේ පුරාණ අටුවාවන්ගේ විනිශ්චයන් කිසිම වෙනසක් නොකර ඒ කරුණු පැහැදිලි කිරීමට අමතර කථා වස්තු හා වියරණ දක්වමින් සුදුසු පරිදි කරුණු සංග්‍රහ කරමින් පරිවර්තනයක් පමණක් කළ බව එතුමන් වහන්සේම විනය අටුවාදිය ආරම්භයේදීම දක්වා ඇත. එසේ අර්ථ වෙනස් කිරීමාදියක් උන් වහන්සේ සිදු කළේ යැයි යමෙක් කියන්නේ නම් එයින් පහර වදින්නේ උන් වහන්සේට වඩා ඒ ග්‍රන්ථ හිස් මුදුනින් පිළිගත් සිංහල භික්ෂූන් වහන්සේලාටයි. එකළ වැඩසිටි මහතෙරවරු යමෙක් කියන කියන සියල්ල පිළිගන්නා නූගතුන් හෝ අණුවණයින් යැයි නොසිතිය යුතුය.  පටිසම්භිදාලාභී උතුමන් පහළවන යුගයේ මෙම අටුවා පරිවර්තනය සිදුවූ බව ද සිතිය යුතුය.

යම් විදියකින් එසේ වෙනස් මත අටුවාවන්ට  එකතු කළා නම් එකළ හා ඉන් පසු කළ වැඩසිටි ශ්‍රේෂ්ඨ සිංහල මහතෙරුන් වහන්සේලා නිහඬ නොවන්නාහුමය. ඊට විරුද්ධව නිසැකවම කරුණු දක්වන්නාහුමය. නමුත් සිදුවූයේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. එම පාළි අටුවා ග්‍රන්ථ පෙළ පොත් මෙන් පිළිගනිමින් ඒවා මුල් කරගෙන ඒවාට සම්භාවනා කිරීම් වශයෙන් විවිධ ටීකා, අනුටීකා, සන්න, ගැටපද ග්‍රන්ථ මහාරාශියක් ශ්‍රේෂ්ඨ සිංහල බුද්ධපුත්‍රයින් වහන්සේලා අතින් ලියැවිණි. එපමණක් නොව බුද්ධඝෝෂ මාහිමියන් වහන්සේට නොයෙක් අයුරින් තුති කරමින් ගරුත්වය දැක්වූහ, තමන්ගේ ආචාර්යත්වයෙහි ලා සැලකූහ. ඊට උදාහරණ කීපයක් අපි මෙසේ දක්වමු.

බුදුගොස් ඇදුරිඳු ගැන පුරාණ ශ්‍රේෂ්ඨ උතුමන්ගේ අදහස් කිහිපයක්…

i. සමන්‌තපාසාදිකසඤ්‌ඤිතාය; සම්‌බුද්‌ධඝොසාචරියොදිතාය;

සමාසතො ලීනපදෙ ලිඛිස්‌සං; සමාසතො ලීනපදෙ ලිඛීතං.

(බුද්ධඝෝෂ ආචාර්යන් වහන්සේ විසින් මනාව රචිත සමන්තපාසාදිකා නම් වූ අටුවාවේ අපැහැදිලි පද කෙටියෙන් ලියන්නෙමි.) යැයි වජිරබුද්ධි ටීකාව රචනා කළ වජිරබුද්ධි ඇදුරුපාණෝ දැක්වූ සේක.

ii. අනාකුලවචනො භදන්තබුද්ධඝොසාචරියො. න හි සො එවමාකුලං කත්‌වා වත්‌තුමරහති, තස්‌මා යථාධිප්‌පෙතමත්‌ථමනාකුලං සුවිඤ්‌ඤෙය්‍යඤ්‌ච කත්‌වා යථාඨිතස්‌ස සම්‌බන්‌ධවසෙනෙව දස්‌සයිස්‌සාම. (බුද්ධඝෝෂ ආචාර්යන් වහන්සේ ආකූල වචන නැති උතුමෙකි. …….)

යනුවෙන් සාරත්ථදීපනීටීකාව රචනා කළා වූ ද පොළොන්නරු යුගයේදී ලක්දිව ප්‍රඥාවෙන් බැබළුණා වූ ද සාරිපුත්ත සංඝරාජයන් වහන්සේ දක්වන සේක.

iii. සමන්තපාසාදිකායං විනයසංවණ්‌ණනායං මහාවෙය්‍යාකරණස්‌ස පාළිනයවිදුනො බුද්ධඝොසාචරියස්‌ස එවං සද්‌දරචනා දිස්‌සති… 

     (සමන්තපාසාදිකා විනය සංවර්ණනාවෙහි මහාව්යාකරණඥ වූ පාළි න්යායන්හි දක්ෂ වූ බුද්ධඝෝෂ ආචාර්යන් වහන්සේගේ මෙසේ ශබ්දරචනාවක් පෙනේ. ) යැයි සද්දනීති වියරණය නිපද වූ තෙවැනි අග්ගමහාපණ්ඩිත අග්ගවංස ඇදුරුපාණෝ දක්වන සේක.

iv. එකල විශුද්ධ බුද්ධීන් ප්රසිද්ධ වූ බුද්ධඝෝස නම් අටුවා කර්තෲන් වහන්සේ දඹදිවින් මෙරට වැඩි සේක්, බුදුන් වදාල දෙලක්‍ෂ පන් සැත්තෑදහස් දෙසීය පනස් ග්‍රන්ථ සංඛ්‍යාවක් ඇති ත්‍රිපිටක පාළි ධර්මයට තුන් ලක්‍ෂ එක් සැටදහස් සත්සිය පනස් ග්‍රන්ථ සංඛ්‍යාවක් පමණ අටුවා ලියා, පාළි ධර්ම බැබැළ වූ සේක. (නිකායසංග්‍රහය 71 පිටුව)

              යැයි නිකායසංග්රහය නම්  සාසන ඉතිහාසය දැක්වෙන ග්රන්ථය රචනා කළ දෙවැනි (ජයබාහු) ධර්මකීර්ති සංඝරාජයන් වහන්සේ දක්වන සේක.

v. ඔහු මල් මහානාම නම් රජ දෙවිසි හවුරුද්දක් රාජ්‍යය කෙළේය. එකළ බුද්ධඝෝෂ නම් අටුවා කර්‍තෲන් වහන්සේ දඹදිව සිට මේ ශ්‍රී ලංකාද්වීපයට වැඩ බුදුන් වදාල දෙලක්‍ෂ පන් සැත්තෑදහස් දෙසීය පනස් ග්‍රන්ථ සංඛ්‍යාවක් ඇති ආගමයට තුන් ලක්‍ෂ එක් සැටදහස් සත්සිය පනස් ග්‍රන්ථ සංඛ්‍යාවක් පමණ අටුවා කථා ලියා ආගමයෙහි පහන් නැගූ සේකැයි දතයුතු. (පූජාවලිය 778 පිටුව)

යැයි පූජාවලිය රචනා කළ මයුරපාද පරිවේණාධිපති බුද්ධපුත්රයන් වහන්සේ දක්වන සේක.

vi. නුවර යුගයේදී අන්තයටම පිරිහී තිබුණු සාසනය නැවතත් පිහිටුවීම පිණිස අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කළා වූ ද අවවාදයෙන් පමණක් නොව ආදර්ශයෙනුත් ත්‍රිවිධ සාසනයම දියුණු කිරීමට කැප වුනා වූ ද බෝධිසත්ව ගුණෝපේත අසරණ සරණ සරණංකර සඞ්ඝරාජයන් වහන්සේ බුදුරජාණන් වහන්සේටත් බුද්ධඝෝෂ මාහිමිපාණන් වහන්සේටත් වන්දනා කරන්නේ මෙසේය.

සකලසුරනරානං චුම්බිතං මොලිපාදං, සකලනරසුරානං ධම්මසඞ්ඛං ධමන්තං

සකලනරසුරානං සබ්බදුක්ඛං හනන්තං, සකලනරසුරානං සෙඛරං තං නමාමි

(සියලු දෙව්මිනිසුන්ගේ හිස්මුදුණින් සිඹිනාලද පාද ඇත්තා වූ, සියලු දෙව්මිනිසුන්ට දහම් සක පිඹින්නා වූ, සියලු දෙව්මිනිසුන්ගේ සියලු  දුක් නසන්නා වූ සියලු දෙව්මිනිසුන් අතර මුදුන් මල්කඩ වූ භාග්‍යවතුන් වහන්සේ මම නමදිමි.)

සො බුද්ධරාජසුගතො සකලාය අත්ථං, දෙසෙසි ධම්මමමතං පිටකත්තයං යං

තං තන්තිධම්මසකලං විවිධෙය්‍ය අත්ථං, ජොතෙසි සො නමථ තං මුනිබුද්ධඝොසං

(ඒ බුද්ධරාජ සුගතයින් වහන්සේ සියලු දෙනාගේ යහපත පිණිස ත්‍රිපිටක සංඛ්‍යාත යම් දහම් අමාවක් දේශනා කළ සේක් ද, ඒ බුද්ධඝෝෂ මාහිමිපාණන් වහන්සේ විශේෂයෙන් එම ධර්මයේ අර්ථ විධානකොට එය බැබළවූහ. ඔබ සියලු දෙනා එම බුද්ධඝෝෂ මුනිතුමන් වන්දනා කරවු)[39]

[39] සාරාර්ථදීපනී සතර බණවර සන්නය 25 පිටුව – (අත්තුඩාවේ සිරි රාහුල මාහිමි)

එතුමන් ගැන අතිපූජනීය නාඋයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේ දැක්වූ අදහස

            බුද්ධඝෝෂ ආචාරීන් වහන්සේ ත්‍රිපිටකධාරීව අට්ඨකථාධාරීව ඉන්න වෙලාවේ සතර බණවරට අට්ඨකථාවක් ලියුවලු. ඊලඟට අභිධර්මයේ අත්ථසාලිනියටත් අට්ඨකථාවක් ලියුවලු, ඒ කියන්නේ උන් වහන්සේගේ අවබෝධයෙන්, කලින් තිබුණු අට්ඨකථා අනුව. ඊට පස්සෙ රේවත කියන ආචාර්යන් වහන්සේ කීවලු ඕක ඔහොම කරලා බැහැ, අපේ දඹදිව අට්ඨකථා සියල්ල අසම්පූර්ණයි, ලංකාවෙ තියෙනවා. ඒක ගැන කියනකොට කියනවා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද අට්ඨකථාව සංගායනා තුනේදීම සංගීති වුනා. ලංකාවට මිහිදු මහරහතන් වහන්සේ ඒක ගෙනල්ලා ඉගැන්නුවා. ඒක හෙළ අටුවා වශයෙන් දැන් තියනවා. ඒක පාළි භාෂාවට හරවලා ලියාගෙන එන්න කීවා. …..

ඒ ස්වාමින් වහන්සේලා මහාවිහාරයට වෙලා සංඝයාගේ අවසර පරිද්දෙන් ඉස්සෙල්ලාම හෙළ බස සම්පූර්ණයෙන්ම පුහුණු කළා. හෙළබස පුහුණු කරගෙන සංඝසභාවෙන් අවසර ඉල්ලුවා අපේ ආචාර්යන් වහන්සේගේ අවසරය පරිද්දෙන් අපි ආවෙ මේ වැඩයටයි. අපිට අවසර දෙනව නම් හෙළ අටුවා පාළිභාෂාවට පරිවර්තනය කරන්න පුළුවනි කියලා. පස්සෙ සංඝසභාවත් ප්‍රධාන නායක ස්වාමින් වහන්සේත් කියලා තියෙනවා, “එසේ නම් ඔබේ දැනුම අපි පරීක්‍ෂා කරන්න ඕනෙ” කියලා. ඒ සඳහා මුළු ත්‍රිපිටකයම සම්බන්ධ කොට පරිකථාවක් ලියන්න දුන්නා ගාථා දෙකක්. “සීලෙ පතිට්ඨාය” කියන එකත් ඊට මුළින් තියෙන “අන්තොජටා බහිජටා”  කියන දේවපුත්ත සංයුක්තයේ තියෙන ගාථා. ඒක තමයි විශුද්ධිමාර්ගය හැටියට උන්වහන්සේ ලීවෙ, සම්පූර්ණයෙන්ම සීල – සමාධි- ප්‍රඥාව සම්පූර්ණ විවරණය කරමින් මුළු ත්‍රිපිටක අට්ඨකථාවටම තියෙන අර්ථ සාරාංශය එකතු කළා. ඉතිං උන්වහන්සේගේ දක්‍ෂතාව සුදුසුතාව පෙන්වන්න දේවතාවො තමයි ඒක අතුරුදන් කළේ. ආයෙමත් ලීවා. ආයෙමත් අතුරුදන් වුනා. තුන්වෙනි එක ලියලා ඉවර වෙන කොට තුනම එක ලඟ තිබුනා. පස්සෙ එක සංඝයාට ඉදිරිපත් කළා. කියවලා බැලුවම තුනේම එක අකුරකවත් වෙනසක් නෑ. ඒකෙන් ඒ ස්වාමින් වහන්සේගේ තියෙන සතිය ධාරණ ශක්තිය හොඳින් තේරුම් ගත්තා. ඊලඟට ව්‍යාකරණ කුශලතා පුදුමයි. …..

උන්වහන්සේ දිග විස්තරයක් කෙටියෙන් කියනවා. බොහොම ලස්සනට පද සම්බන්ධතාව ඇති කරනවා. ඒක නිසා ඒක කියෙවුවයින් පස්සෙ සංඝ සභාව කීවලු මේ බුද්ධ සාසනය පවත්වාගෙන යන්න මෛත්රී බෝසතුන් වහන්සේ වෙන්න ඇති මේ බුද්ධඝෝෂ ආචාර්යන් වහන්සේ විදියට ආවෙ කියලා. සමහර විට මෙහෙම එකක් තියෙනවා, වෙන කෙනෙක් එක අකුරක් ලියන විට උන් වහන්සේට වචන අටක් ලියන්න පුළුවන්. තරම් චිත්ත සන්තතිය වේගයෙන් ක්රියා කරනවා, ජවන් වීථි, කිසි අකුරක් වරදින්නේ නැතිව. ඉතිං ඒ නිසා තමයි මුළු විනය පිටකයට ලියුවා. අභිධර්ම පිටකයට ලීවා. සඟි පහෙන් සඟි හතරකටම උන් වහන්සේ අටුවා ලීවා. ඛුද්දක නිකායේ පොත් පහළවෙන් වැඩි හරියකට උන් වහන්සේ අටුවා ලීවා. …..

පරිවර්තනයේදී හැම අට්ඨකථාවකම මුළිනුයි අගිනුයි ප්‍රතිඥාවක් දෙනව, “බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද, ආචාර්ය පරම්පරාවෙන් ගෙන එන ලද, ලංකාවේ හෙළ බසින් භාවිතා කරන ලද අට්ඨකථා මහාවිහාරවාසී සංඝයාගේ අනුමැතිය පරිද්දෙන් ඒ වාචනා මාර්ගය ඉක්මවා නොගොස් මේක මම පරිවර්තනය කළා” කියල බොහොම ලස්සනට ඒ ප්‍රතිඥාව දීල තමයි උන් වහන්සේ පරිවර්තනය කරන්නේ. අතිරේක දෙයක් ලියන්නේ නෑ, ලියනව නම් ඒක සටහන් කරනව. ඒ කාලෙ තිබුනනේ අභයගිරි නිකායෙ ජේතවන නිකායෙ යම් යම් අදහස්, ඒවා සමහර තැනක උන් වහන්සේ කෙටියෙන් සටහන් කරනවා, “අඤ්ඤෙ වදන්ති, කෙචි වදන්ති, අපරෙ වදන්ති” අන්න ඒ වගේ වචන වලින්.

යම් කාරණයකට තමන්ගේ අදහසක් දක්වනව නම් “අයං අම්හාකං ඛන්ති” (මේ අපේ කැමැත්තයි) කියල කියනවා.[40]

[40]  අතිපූජනීය නාඋයනේ අරියධම්ම මාහිමිපානන් වහන්සේ විසින් 2010.6.12 දින නාඋයන ආරණ්‍යයේදී පැවැත්වූ  සාකච්ඡාවක් ඇසුරින්

ඉහත ප්‍රකාශ අනුව පෙනී යන්නේ පාළි අටුවා රචනයෙන් පසු යුගයේ සිටි ග්රන්ථ රචනා කළ සිංහල උතුමන් වහන්සේලා සෑම සියලු දෙනාම පාහේ එම පාළි අටුවා අතිශය සම්භාවනාවට ලක් කළා පමණක් නොව බුද්ධඝෝෂ ආචාර්යන් වහන්සේව ආචාර්යත්වයෙහි ලා සැලකූ බවයි. කරුණු මෙසේ හෙයින් යමෙක් බුද්ධඝෝෂ ආචාර්යන් වහන්සේට දෝෂාරෝපනය කරන්නේ නම් හෙතෙම පැරණි සිංහල ඇදුරුවරුන්ට පහර ගසන්නේ වෙයි. මෙම ග්‍රන්ථ රචනා නිසා අප රටටත් සිංහල පැරණි උතුමන්ටත් ලැබුණු කීර්තිය වැනසීමට කටයුතු කරන්නේ වෙයි. බුද්ධසාසනයත් සිංහළ සංස්කෘතියත් වැනසීමට මාන බලන අහිතයින්ට අනුබල දෙන්නේ වෙයි. අපගේ උරුමයන් හෑල්ලුවට ලක් කරන්නේ වෙයි. එබැවින් යමක් ප්‍රකාශ කිරීමට පෙර සිය දහස් වරක් සිතා බලා ප්‍රකාශ කරත්වා යැයි අපි කරුණාවෙන් ඉල්ලා සිටිමු.

බුද්ධඝෝෂ ආචාර්යන් වහන්සේ මහාවිහාරීය සම්ප්‍රදායටත් පුරාණ සිංහළ ඇදුරුවරුන්ටත් ගරුකළ අයුරු තේරුම් ගැනීමට පහත කරුණු ද කියවා බලත්වා. 

බුදුගොස් මාහිමි තමාගේ අදහස් අටුවාවන්හි දැක්වූ අයුරු

බුද්ධඝෝෂ ඇදුරුපාණන් වහන්සේ තම අදහස් අටුවාවන්හි දක්වන තැන්හි ඉතා පැහැදිලිව එය මෙය අපගේ අදහසයි” යනුවෙන් දැක්වූ සේක. ඊට උදාහරණ කීපයක් අපි මෙසේ දක්වමු.

i. සචෙ පන එකාහද්‌වීහාදිවසෙන යාව දසාහානාගතාය වස්‌සූපනායිකාය අන්‌තොවස්‌සෙ වා ලද්‌ධා චෙව නිට්‌ඨිතා ච, කදා අධිට්‌ඨාතබ්‌බාති එතං අට්‌ඨකථාසු න විචාරිතං. ලද්‌ධදිවසතො පට්‌ඨාය අන්‌තොදසාහෙ නිට්‌ඨිතා පන තස්‌මිංයෙව අන්‌තොදසාහෙ අධිට්‌ඨාතබ්‌බා. දසාහාතික්‌කමෙ නිට්‌ඨිතා තදහෙව අධිට්‌ඨාතබ්‌බා. දසාහෙ අප්‌පහොන්‌තෙ චීවරකාලං නාතික්‌කමෙතබ්‌බාති අයං නො අත්තනොමති. කස්‌මා?……… තස්‌මා යථාවුත්‌තමෙව ගහෙතබ්‌බං, අඤ්‌ඤං වා අචලං කාරණං ලභිත්‌වා ඡඩ්‌ඩෙතබ්‌බං.

(ඉඳින් ……කෙදිනක අදිටන් කළ යුතු ද යන මෙය අටුවාවන්හි විචාරණය නොකරන ලදි. …….. චීවරකාළය නොයික්ම විය යුතුය යන මෙය අපගේ අදහසයි. .. කවර හෙයින්ද යත්….. එබැවින් කියූ පරිදි අරුත් ගතයුතුය. නැතහොත් අන් වූ අචල කාරණාවක් ලැබ අපගේ මතය හැරදැමිය යුතුය.) [41]

[41] සමන්තපාසාදිකා 525 පිට

ii. පහරිත්‌වා නිග්‌ගතෙ අට්‌ඨකථාසු දොසො න දස්‌සිතො. මයං පන යං ඨානං පහටං, තතො සයංපතිතමෙව හොතීති තක්‌කයාම.

(යම් ආහාරයක් නිස්සග්ගිය ක්‍රමයට පිළිගැන්වීමේදී යමක වැදී බැහැරගිය කල්හි එහි දෝෂයක් අටුවාවන්හි නොදක්වන ලදි. අපි වනාහි එය යමක හැපුණේ ද එතැනින් තෙමේම වැටුනේ වේ යැයි තර්ක කරමු.)[42]

[42] සමන්තපාසාදිකා 627 පිට

iii. තස්‌මා යො යො පටිග්‌ගණ්‌හාති, තස්‌ස තස්‌ස තප්‌පච්‌චයා ආපත්‌තියෙවාති අයමෙත් අම්හාකං ඛන්ති(එබැවින් යම් යම් භික්‍ෂුවක් පිළිගනී ද ඒ ඒ භික්‍ෂුවට ඒ හේතුවෙන් ආපත්ති වේ යනු මෙහිලා අපගේ අදහසයි.)[43]

iv. අථ ඛො සබ්‌බඅට්‌ඨකථාසු වුත්‌තත්‌තා අට්‌ඨකථාචරියාව එත්‌ථ පමාණං, න අඤ්‌ඤා විචාරණා. පුබ්‌බෙපි ච ආවොචුම්‌හ – ‘‘බුද්‌ධෙන ධම්‌මො විනයො ච වුත්‌තො, යො තස්‌ස පුත්‌තෙහි තථෙව ඤාතො’’තිආදි. අට්ඨකථාචරියා හි බුද්ධස් අධිප්පායං ජානන්ති.

(තවද සියලු අටුවාවන්හි කියූ බැවින් අටුවාචාරීන් වහන්සේලාම මෙහිලා ප්‍රමාණය. අන්‍ය විචාරණයක් ප්‍රාමාණික නොවේ. ග්‍රන්ථාරම්භයේදීම අපි “බුදුරජාණන් වහන්සේ විසින් යම් ධර්මයක් විනයක් වදාරණ ලද්දේද, එය උන්වහන්සේගේ පුත්‍ර වූ අටුවාචාරීන් වහන්සේලා විසින් එයාකාරයෙන්ම දැනගන්නා ලද්දේය” යනාදී වශයෙන් කීවෙමු. අටුවාචාරීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ අදහස දන්නා සේක.) [44]

v. සබ්‌බඅට්‌ඨකථාසු පන වුත්‌තත්‌තා න සක්‌කා පටිසෙධෙතුං. ගවෙසිතබ්‌බා එත්‌ථ යුත්‌ති. අට්ඨකථාචරියානං වා සද්ධාය ගන්තබ්බන්ති.

(සියලු අටුවාවන්හි කියූ බැවින් ප්‍රතික්‍ෂේප කිරීමට නොහැකිය. මෙහි යුක්තිය සෙවිය යුතුය. තවද අටුවාචාරීන් වහන්සේලාට ශ්‍රද්ධාවෙන් හෝ යායුතුය. [කියූ පරිදි අරුත් ගත යුතුය.] ) [45]

vi. සචෙ පන නියමිතොකාසතො අඤ්‌ඤත්‍ර මාරෙති, ආණාපකො මුච්‌චතීති අයං නයො මහාඅට්‌ඨකථායං සුට්‌ඨු දළ්‌හං කත්‌වා වුත්‌තො. තස්‌මා එත්‌ථ න අනාදරියං කාතබ්‌බන්‌ති.

(ඉඳින් නියමිත අවකාශයෙන් අන් තැනකදී මරයි ද අණකරු ඇවතින් මිදේ යන මෙම න්‍යාය මහාට්ඨකථාවෙහි මනාව දැඩි කොට කියන ලදි. එබැවින් මෙහි අනාදරියක් නොකළ යුතුය.)[46]

බුදුගොස් මාහිමිපාණෝ තම අදහස් දැක්වූ අයුරින් හා වෙනත් සුදුසු කරුණක් ලදහොත් එතුමන්ගේ අදහස අත්හරින ලෙස දැක්වීමෙන් එතුමන් තුළ පැවති ධර්ම ගරුත්වය හා නිහතමානිත්වය ප්‍රකට වේ. තවද අටුවාව හා එම සිංහල ඇදුරුවරු කෙරෙහි දැක්වූ ගරුත්වය iv – vi යන උදෘතයන්ගෙන් ප්‍රකට වේ. ඉහත උදෘත සියල්ලම විනය අටුවාවෙනි. සෙසු අටුවාවන්ගෙන් ද මෙබඳු තැන් රාශියක් දැකගත හැකිය. එක් උදාහරණයක් මෙසේ දක්වමු.

vii. ඉමෙ පන තයොපි ථෙරා පණ්‌ඩිතා, ‘තිණ්‌ණම්‌පි වාදෙ කාරණං දිස්‌සතී’ති තිණ්‌ණම්‌පි වාදං තන්‌තිං කත්‌වා ඨපයිංසු.

(මේ තෙරුන් වහන්සේලා තිදෙනාම මහානුවණැති උතුමෝය. තිදෙනාගේම වාදයෙහි කාරණයක් ඇතැයි තිදෙනාගේම වාදය තන්තිය (පෙළ මෙන්) කොට තැබූහ.)[47]

බුදුගොස් හිමියන්ගේ කාර්යය හා ස්වාභාවය තේරුම් ගැනීමට නුවණැත්තෙකුට ඉහත කරුණු ස්වල්පය වුවත් සෑහෙන බැවින් ඒ පිළිබඳ කරුණු දැක්වීම මෙතෙකින් අවසන් කරමු. තවත් කරුණු දැනගනු කැමතියන් එතුමන්ගේ ග්‍රන්ථ පරිශීලනය කරත්වා යනු අපගේ ආරාධනයයි.

[43] සමන්තපාසාදිකා 322 පිට

[44] සමන්තපාසාදිකා 549 පිට

[45] සමන්තපාසාදිකා 561 පිට

[46] සමන්තපාසාදිකා 320 පිට

[47] පඤ්චප්පකරණඅටුවා 30 පිට

2. ප්‍රශ්ණය : එතුමන් වහන්සේ සිංහල අටුවා ගිණිබත් කළා ද?

පිළිතුර:         මෙය ද හරිහැටි කරුණු විමසා බැලීමකින් තොරව හුදෙක් බුදුගොස් ඇදුරුපාණන්ගේ හා පුරාණ සිංහළ ඇදුරුවරුන්ගේ ගුණ මැකීමටත් පිරිසිදු බුද්ධ දේශනාවන් විකෘති කොට බුද්ධසාසනය පිරිහෙළවීමට ඉඩ ලබාගැනීමටත් සිදුකරන ඉතාමත් අසත්‍ය වූ ප්‍රකාශයකි. මෙම මතය පැතිරීමේ හේතු හා එහි සත්‍ය අසත්‍ය බව දැන් අපි විමසා බලමු.

මෙම වැරදි මතය හටගැනීමේ එකම හේතුව වන්නේ “බුද්ධඝොසුප්පත්ති” නම් වූ මෑත කාළයේ ලියැවුණු ග්‍රන්ථයක මෙවැනි අසත්‍ය සටහනක් තිබීමයි. එය කටකතා මත පදනම් වූ ග්‍රන්ථයක් මිස ඉතිසාහාදී සාක්‍ෂි මත පදනම් වූවක් නොවන බව ඒ ගැන පරීක්‍ෂණ කළ උගතුන්ගේ ද අදහසයි. මෙම ග්‍රන්ථයට පසු කලෙකදී සියම් රටෙහි දී ලියැවුණු “ජිනකාලමාලි” නම් ග්‍රන්ථයේ ද මෙම “බුද්ධඝොසුප්පත්ති” ග්‍රන්ථයේ ඇති ඇතැම් කරුණු වැරදි බව දක්වා ඇත. එම ග්‍රන්ථය හරිහැටි කියවූ කිසිම කෙනෙකු එහි අඩංගු කරුණු සියල්ල නිවැරදි යැයි විශ්වාස නොකරනු ඇත. සිංහළ භික්‍ෂූන් වහන්සේලාගේ කීර්තියට හානි වන ආකාරයේ කරුණු රාශියක් එහි අඩංගු වේ. දැනගැනීම පිණිස එසේ දැක්වූ අසත්‍ය අදහස් කීපයක් මෙසේ දක්වමු.

i. විශුද්ධිමාර්ගය පොත් තුනක් එකම දිනකදී ලියූ බව හා සියලු අටුවා මාස තුනකින් ලියූ බව

මෙය අතිශ්‍යෝක්තියෙන් කියූවක් මිස සත්‍ය නොවන බව බුදුගොස් ඇදුරුපාණන් වහන්සේගේම ප්‍රකාශයන්ගෙන් තහවුරු වේ. “උපද්‌දවා කුලෙ ලොකෙ, නිරුපද්‌දවතො අයං; එකසංවච්‌ඡරෙනෙව, යථා නිට්‌ඨං උපාගතා.” යැයි විනය අටුවාව ලිවීමට පමණක් අවුරුද්දක් ගතවූ බව විනය අටුවාව අග දක්වා ඇත.

ii. උන් වහන්සේ පිණ්ඩපාතයේ වඩින අතර ගස්යට වැටී තිබුණු තල් කොළ අහුලා ගෙනැවිත් අටුවා ලියූ බව

මෙය ද අසත්‍ය ප්‍රකාශයකි. ගස්යට වැටී තිබෙන තල් කොළ වල ලිවීමට නොහැකිය. ලක්දිව සිටි භික්‍ෂූන් වහන්සේලාගෙන් එතුමන්ට අනුග්‍රහයක් නොලැබුණු බව ප්‍රකට කිරීමට මෙන් දක්වා ඇති මෙම කරුණ වැරදිය. එතුමන්ට මෙරට භික්‍ෂූන් වහන්සේලා බොහෝ අනුග්‍රහ කළ බවට බොහෝ සාක්‍ෂි තිබේ. එබැවින් මෙවැනි වැරදි කරුණු නොපිළිගත යුතුය.

iii. බුදුගොස් මාහිමියෝ ලක්දිව සංඝරාජ හිමියන්ව මුණගැසුණු බව.

මෙම කාළය වනවිට ලක්දිව සංඝරාජ තනතුරක් පැවතියේ නැත. එය ආරම්භ වන්නේ පොළොන්නරු යුගයේ මහපැරකුම් රජුගේ කාළයේදීය. එබැවින් මෙය ද සත්‍ය නොවන ප්‍රකාශයකි.

iv. තමාට අටුවා පරිවර්තනය කරන්නට නොලැබුණු බවත් එබැවින් ජිනාලංකාර, ධාතුවංස, බොධිවංස යනග්‍රන්ථ පමණක් ලියාගෙන පැමිණි බවත් බුද්ධදත්ත ආචාර්යන් වහන්සේ පැවසුවේ යැයි දැක්වේ.

නමුත් මෙය වැරදිය. බුද්ධදත්ත ආචාර්යන් වහන්සේ බුද්ධවංස අටුවාව කළ බවත් විනයවිනිච්ඡය, උත්තරවිනිච්ඡය ආදී ග්‍රන්ථ කළ බවත් පැහැදිළිව දක්වා ඇත. තව ද ධාතුවංස, බොධිවංස යන පාළි ග්‍රන්ථ වල කතුවරයා බුද්ධදත්ත ඇදුරුපාණෝ නොවේ. බොධිවංසය උපතිස්ස නම් මාහිමියෝ ද දාඨාවංසය ධර්මකීර්ති මාහිමියෝ ද කළ බව දැක්වේ.

v. බුදුගොස් මාහිමියෝ ලක්දිව සංඝරාජ හිමියන් බැහැදැක උන් වහන්සේ ශිෂ්‍යයන්ට උගන්වන විට පිටුපසින් වාඩි වී සිටි බවත් එක් දිනක් සංඝරාජ හිමි උගන්වන අතර අභිධර්ම පදයක තේරුම නොදැන ශිෂ්‍යයින් පිටත් කර කාමරයකට වී සිතමින් සිටින අතර බුදුගොස් මාහිමි ඒ පදයේ අර්ථය සංඝරාජ හිමිගේ හේත්තු වන ලෑල්ලේ ලියා තැබූ බවත් පසුව එය බුදුගොස් හිමියන් ලියූ බව දැන ශිෂ්‍යයන්ව බුදුගොස් හිමියන්ට භාරදුන් බවත් මෙම “බුද්ධඝොසුප්පත්ති” ග්‍රන්ථයේ දැක්වේ.

නමුත් මෙම කිසිඳු පුවතක් කිසිම පිළිගතහැකි ඉතිහාස ග්‍රන්ථයක දක්වා නොමැත. ඒ වෙනුවට බුද්ධඝෝෂ මාහිමිපාණන් වහන්සේ සිංහළ භික්‍ෂූන් වෙතින් අටුවා උගත් බවත් සිංහළ ඇදුරු වරුන්ව ගුරුතැන්හි ලා සැලකූ බවත් මහාවංශාදී පැරණි වංශකතා වලින් මෙන්ම බුදුගොස් හිමියන්ගේම ග්‍රන්ථ වලින් කියැවේ. විනය අටුවා නිගමන ගාථා වලදී “බුද්ධමිත්ත” නම් තෙරුන් වෙතින් සිංහල අටුවා උගත් බව

“මහාඅට්‌ඨකථඤ්‌චෙව, මහාපච්‌චරිමෙව ච – කුරුන්‌දිඤ්‌චාති තිස්‌සොපි, සීහළට්‌ඨකථා ඉමා.

බුද්‌ධමිත්‌තොති නාමෙන, විස්‌සුතස්‌ස යසස්‌සිනො – විනයඤ්‌ඤුස්‌ස ධීරස්‌ස, සුත්‌වා ථෙරස්‌ස සන්‌තිකෙ”

යැයි පැහැදිලිව දක්වා තිබේ. කරුණු මෙසේ හෙයින් බුද්ධඝොසුප්පත්තිග්රන්ථයේ දැක්වූ බොහෝ කරුණු වැරදි බව මෙසේ නිගමනය කළ හැක. එබැවින් එහි පමණක් සඳහන් වන සිංහල අටුවා ගිණිතැබීමේ සිදුවීම ඉහත සිදුවීම් සේම අසත්යයක් බව මෙසේ නිගමනය කරමු.

මෙම කරුණ හා  සම්බන්ධ ජනප්‍රවාදයක් ද පවතී. ඒ මෙසේය: මෙරට මහනුවර ප්‍රදේශයේ උපන් දරුවෙක් කුඩා කලදීම පාන්දර නැගිට පරියංකයෙන් හිඳීමටත් කටපාඩමින් පිරිත් කීමටත් පටන් ගත්තේය. මේ බව දැනගත් ස්වාමින් වහන්සේ නමක් පැමිණ මේ දරුවා සමග සාකච්ඡා කළ අතර එහිදී මෙම දරුවා, තමා පෙර ජීවිතයක බුද්ධඝෝෂ මාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍යයෙකු වූ බවත් නමින් “අමිතඝොස” වූ බවත් අටුවා පරිවර්තන කාර්යයේදීද උපකාර කළ බවත් පැවසීය. මේ අවස්ථාවේදී “බුද්ධඝෝෂ මාහිමියෝ සිංහල අටුවා ගිණි තැබුවේ යැයි කියන කථාව ඇත්තද?” යැයි විමසා ඇති අතර ඊට පිළිතුරු ලෙස “අපි කවදාවත් ඒ වගේ දෙයක් නම් කරන්නේ නෑ නමුත් අටුවා පරිවර්තනයට භාවිතා කළ කටුසටහන් ලියූ කොළ නම් ඉවත් කළා” යැයි කීවේය. මෙම සිදුවීම එසේම නම් එසේ කටුසටහන් කොළ ඉවත් කිරීමේ සිදුවීම සිංහල අටුවා ගිණි තැබීමක් ලෙස බුද්ධඝොසුප්පත්ති පොතට ඇතුලත් වීමට හොඳටම අවකාශ තිබේ.

තවද තමාට උපකාරක වූ තමා අතිශයින් ගරු කළ ග්‍රන්ථ  විනාශ කිරීමක් වැනි අකටයුත්තක් කිසිසේත්ම බුද්ධඝෝෂ මාහිමියන් වැනි ධර්මවිනයධර ශ්‍රද්ධාබුද්ධි සම්පන්න උතුමෙක් සිහිනෙකින්වත් සිදු නොකරන බව එතුමන්ගේ කෘති විමසිලිමත්ව කියවන්නෙකුට නිතැතින්ම හැඟේ. පාරිභෝගික චෛත්‍ය නම් වන බෝධීන් වහන්සේලා විනාශ කිරීමේ ආදීනව දක්වන එතුමන් වහන්සේ “භාරියං කම්මං හොති ආනන්තරියසදිසං” (එය ඉතා බැරෑරුම් වූ ආනන්තරිය කර්මයක් හා සමාන වූ කර්මයක් බව) මජ්ඣිමනිකායේ බහුධාතුකසූත්‍ර අටුවාවේ දක්වා ඇත. මෙසේ කරුණු දක්වන එතුමන් වහන්සේ ග්‍රන්ථ විනාශ කිරීමක් වැනි දෙයක් කිසිසේත් නොකරන බව නම් හොඳටම විශ්වාසය. ඒ බවට තවත් සාධක අපි මෙසේ දක්වමු.

i. බුදුගොස් මාහිමියන්ට පසුකාලීන ග්‍රන්ථ වල සිංහල අටුවා ගැන සඳහන් වීම හා ඉන් පසු බොහෝ කලක් යනතුරු සිංහල අටුවා පැවති බව

බුදුගොස් මාහිමියන්ගේ ග්‍රන්ථ රචනාවට බොහෝ කාලයකට පසුව රචනා වූ ග්‍රන්ථ වලට ද සිංහල අටුවාවන්ගෙන් කරුණු උපුටාගැනීමෙන් පෙනී යන්නේ එයින් බොහෝ කාළයක් යන තුරු සිංහල අටුවා ශේෂව තිබුණු බවයි. ඊට උදාහරණ කීපයක් මෙසේ දක්වමු.

  • තෙන වුත්තං සීහළට්ඨකථායං ‘‘මනුස්‌සමංසෙ වා කෙසෙ වා නඛෙ වා අට්‌ඨිම්‌හි වා ලොහිතෙ වා ථුල්‌ලච්‌චයමෙවා’’ති වුත්‌තං. (මිනිස් මසෙහි හෝ කෙස්වල හෝ නියෙහි හෝ ඇටවල හෝ ලෙයෙහි හෝ ථුලැසිම වේයැයි එබැවින් සිංහල අටුවාවෙහි කියන ලදී.)[48]  ([48] වජිරබුද්ධිටීකා)
  • සුවිසුද්‌ධසමාචාරො, විසුද්‌ධනයමණ්‌ඩිතං – විසුද්‌ධිමග්‌ගං ලොකස්‌ස, යදච්‌චන්‌තවිසුද්‌ධියා.

අභාසි කරුණාවෙග-සමුස්‌සාහිතමානසො – මහෙසි විපුලොදාත-විසුද්‌ධිමතිපාටවො.

තස්‌ස අත්‌ථං පකාසෙතුං, කථාමග්ගං පුරාතනං -නිස්‌සාය යා සමාරද්‌ධා, අත්‌ථසංවණ්‌ණනා මයා.

(සුවිසුද්ධසමාචාර ඇත්තා වූ විපුල-සුවිශුද්ධඤාණයකින් හා ප්‍රඥාපාටවයකින් යුක්ත වූ ….. කරුණාවෙන් මනාව උත්සාහවත්වූ සිතක් ඇති මහාර්ශීන් වහන්සේ යම් … නිවන් මගක් වදාළ සේක් ද එහි අරුත් ප්‍රකාශකිරීම සඳහා පුරාතන අටුවාකතා මාර්ගය ඇසුරු කොට මවිසින් යම් අර්ථ වර්ණනාවක් මනාව ඇරඹී ද..) [49]

[49] විසුද්ධිමග්ගටීකා

  • ‘‘සො කිරා’’තිආදි පොරාණට්‌ඨකථාය ආගතනයො. (‘‘සො කිර” යනාදිය පුරාණ අටුවාවේ පැමිණි ක්‍රමයයි.)[50]
  • (ක්‍රි.ව.) 10 වැනි සියවස දක්වා හෙළටුවා පැවති බව පස්වන කාශ්‍යප මහරජුන් විසින් රචිත ධම්පියා අටුවා ගැටපදයෙන් ඉඳුරා ම ඔප්පු වේ. ධම්පියා අටුවා ගැටපදයෙහි මහටුවා යි 5, 80 (පිටු) යන තන්හි ද, හෙළටුවා නැතහොත් හෙළුඅටුවා යි 7, 8, 51, 79, 103, 105, 112 (පිටු) යන තන්හි ද සඳහන් වේ. ………….. දොරකවුළු ඇයි පැනෙන තාක් දැව වසා රන්කසුකම් කෙළේ යෙති මහ අටුවායෙහි 121 (පිටුව), ලකුණ්ටකො වදානි කිරස්සනැමි යන හෙළටුවායි 148 (පිටුව)[51]

ධම්පියා අටුවා ගැටපද ආදී ග්‍රන්ථ කියැවීමෙන් මේ පිළිබඳ තවත් කරුණු දැනගත හැකිය. මෙතරම් කරුණු දක්වන්නට යෙදුණේ “බුදුගොස් මාහිමියෝ සිංහල අටුවා ගිණිතැබුවේය” යන කීම බොරුවක් බවත් එතුමන්ගේ කාලයට අවුරුදු 500 කට පමණ පසුවත් සිංහල අටුවා තිබූ බවත් ඔප්පු කිරීමටය. ඒ සඳහා මෙතෙක් දැක්වූ කරුණු ප්‍රමාණවත් යැයි සිතමු.

[50] දීඝනිකායටීකා

[51] ධම්පියා අටුවා ගැටපදය (මහාචාර්ය ඩී.ඊ. හෙට්ටිආරච්චි) xviii පිටුව හා අදාල පිටු

ii. මහාවිහාරීය සිංහල භික්‍ෂූන් වහන්සේලා සිය ජීවිතය මෙන් ගෞරවයෙන් සුරැකි අටුවා එසේ වෙනත් කෙනෙකුන්ට විනාශකිරීමට දීමට ඉඩ දීමට තරම් උන් වහන්සේලා අනුවණ පිරිසක් යැයි නොසිතිය යුතුය. සාසන ප්‍රතිපත්ති අකුරටම පිළිපදින මහාප්‍රාඥ උතුමන් වැඩසිටි යුගයක් වන එකල කිසි ලෙසකින් එවැනි විනාශයකට ඉඩ නොදෙන බව ද සැලකිය යුතුය.

iii. තවද බුදුගොස් මාහිමියෝ එසේ කළේ නම් පසුකාලීන සිංහළ භික්‍ෂූහු කිසිසේත් උන් වහන්සේව අගය නොකරනු ඇත. ඒ වෙනුවට සාසන නාශකයෙකු ලෙස සලකා ගර්හා කරනු ඇත. නමුත් සිදුවූයේ අනිකකි. බුදුගොස් මාහිමියන් වහන්සේට “අනුබුදු” යන ගෞරව නාමයෙන් බුහුමන් කළා පමණක් නොව එතුමන්ගේ ග්‍රන්ථ පෙළ මෙන් පිළිගත් බව ග්‍රන්ථයන්හි දැක්වේ. තවද “පරමවිසුද්ධසද්ධාබුද්ධිවිරියපතිමණ්ඩිතෙන” යනාදී ගුණනාම යොදාගෙන උන් වහන්සේට ගෞරව දැක්වූහ. එබැවින් සැවොම ඉහත කරුණු ද විමසා බලත්වා යනු අපගේ ආරාධනයයි.

3. ප්‍රශ්ණය : ප්‍රතිපත්තිකාමී උතුමන් වැඩසිටි යුගයක් වූ එකළ වෙනත් කෙනෙක් මෙම ග්‍රන්ථ නොලියා බුදුගොස් හිමියන්ටම භාරකලේ ඇයි?

පිළිතුර:        යමක් කිරීම සඳහා සුදුසුම කෙනාට පැවරීම සාසන ක්‍රමයයි. ඒ බව මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ කතාප්‍රවෘත්තියෙන් ද ප්‍රකට වේ. ඒ අයුරින්ම මෙම අටුවා පරිවර්තනය සඳහා ද ඉතාම සුදුස්සා බුදුගොස් හිමියන් වූ බව සැලකිය යුතුය. එනිසාම “බුදුගොස් මාහිමි මෙලොව පහළ වූයේ අටුවා පරිවර්තනය කොට සාසනය නගාසිටුවීමටයි” යැයි ද “එකළ වැඩසිටි රහතන් වහන්සේලාගේ හා සක්දෙවිඳුගේ ආරාධනයෙන් සාසනය නගාසිටුවීමට උපන් සේක” යැයි ද ග්‍රන්ථ අතරත් මහජනයා අතරත් දැනුත් කියැවේ, ලියැවේ. එබැවින් මෙම කටයුත්තට ඉතාම සුදුස්සා වූ බැවින් එම කාර්යය එතුමාට පැවරූ බව සැලකිය යුතුය.

4. ප්‍රශ්ණය : එම ග්‍රන්ථරචනය සඳහා උන් වහන්සේට විශේෂ හැකියාවක් වීද?

පිළිතුර: ග්‍රන්ථරචනයට උන් වහන්සේ සතුව විශේෂ කුසලතාවක් පැවති බවත් එබැවින්ම වෙනත් කිසිඳු ග්‍රන්ථ කතුවරයෙකුට ලබා නොදුන් ආකාරයේ ගෞරවයක් ලබා දෙමින් “පරමවිසුද්ධසද්ධාබුද්ධිවිරියපතිමණ්ඩිතෙන” යනාදී වශයෙන් ගුණනාම රාශියක් එතුමන් වහන්සේගේ සෑම ග්‍රන්ථයක් අගම යොදා ගරුත්වය දැක්වූ බවත් සැලකිය යුතුය. දැනගැනීම පිණිස එම පාඨයේ පරිවර්තනය මෙසේ දක්වමු. (මෙය ගෞරව නාම මහාවිහාරීය මහතෙරවරුන්ගේ අනුමැතියෙන් බුද්ධමිත්ත නම් තෙරුන් වහන්සේ ලියූ බව විසුද්ධිමාර්ග සන්න ආදියේ දැක්වෙන කරුණු වලින් ප්‍රකට වේ.)

  • පරමවිසුද්‌ධසද්‌ධාබුද්‌ධිවීරියපටිමණ්‌ඩිතෙන; අත්‍යන්තයෙන් පිරිසිදු ශ්‍රද්ධා බුද්ධි වීර්යයෙන් යුක්ත වූවහු විසින්, සීලාචාරජ්‌ජවමද්‌දවාදිගුණසමුදයසමුදිතෙන; ශීලය ආචාරය ඍජුබව මෘදුබව යනාදී ගුණරාශියෙන් පොහොසත් වූවහු විසින්, සකසමයසමයන්‌තරගහනජ්‌ඣොගාහණසමත්‌ථෙන; ස්වසමය පරසමය දැනගැනීමෙහි හා කීමෙහි සමර්ථ වූවහු විසින්,  පඤ්‌ඤාවෙය්‍යත්‌තියසමන්‌නාගතෙන; ප්‍රඥාපාටවයෙන් යුක්ත වූවහු විසින්, තිපිටකපරියත්‌තිප්‌පභෙදෙ සාට්‌ඨකථෙ සත්‌ථුසාසනෙ අප්‌පටිහතඤ්‌ඤාණප්‌පභාවෙන; ත්‍රිපිටක පර්යාප්ති ප්‍රභේද ඇති අටුවා සහිත ශාස්තෲ සාසනයෙහි පසුනොබසිනා ප්‍රඥාප්‍රභාව ඇත්තහු විසින්, මහාවෙය්‍යාකරණෙන; මහාව්‍යාකරණඥ වූවහු විසින්, කරණසම්‌පත්‌තිජනිත – සුඛවිනිග්‌ගත – මධුරොදාර – වචනලාවණ්‌ණ -යුත්‌තෙන; කරණසම්පත්තියෙන් උපදවන ලද සුවසේ නික්මෙන මිහිරි උදාර සිත්කලු වචනයන්ගෙන් යුක්ත වූවහු විසින්, යුත්‌තමුත්‌තවාදිනා; යුතු අයුතු බව හා පවත්නා තැනට සුදුසු වදන් ඇත්තහු විසින්, වාදිවරෙන; වාදීන් අතර උතුම් වූවහු විසින්, මහාකවිනා; මහා කවි වූවහු විසින්,  පභින්‌නපටිසම්‌භිදා – පරිවාරෙ ඡළභිඤ්‌ඤාදිපභෙද – ගුණපටිමණ්‌ඩිතෙ උත්‌තරිමනුස්‌සධම්‌මෙ සුප්‌පතිට්‌ඨිතබුද්‌ධීනං ථෙරවංසප්‌පදීපානං ථෙරානං මහාවිහාරවාසීනං වංසාලඞ්‌කාරභූතෙන; ප්‍රභේදගත ප්‍රතිසම්භිදා ඥාණ පිරිවර කොට ඇති ෂඩ් අභිඤ්ඤාදී ගුණයන්ගෙන් අලංකාරවත් වූ උතුරු මිනිස් දහම්හි ප්‍රතිවේධ වශයෙන් මනාව පිහිටි බුද්ධි ඇති ථේරවාදී ආචාර්ය පරම්පරාවට ප්‍රදීප බඳු වූ මහාවිහාරවාසී අටුවාකාරාදී තෙරුන් වහන්සේලාගේ පරම්පරාවට ආභරණයක් බඳු වූවහු විසින්, විපුලවිසුද්‌ධබුද්‌ධිනා; මහත් පිරිසිදු බුද්ධි ඇත්තහු විසින්, බුද්‌ධඝොසොති ගරූහි ගහිතනාමධෙය්‍යෙන ථෙරෙන; (අප විසින් නම් කිව නොහැකි ගුරු බැවින්) එතුමන්ගේ ගුරුවරුන් විසින් “බුද්ධඝොස” යැයි කියන ලද නම් ඇති තෙරුන් විසින්, කතා අයං සමන්‌තපාසාදිකා නාම විනයසංවණ්‌ණනා; කරන ලද්දා වූ මේ සමන්තපාසාදිකා නම් වූ විනය සංවර්ණනාවයි.

එතුමන් වහන්සේගේ හැකියාව ගැන නූතන ග්‍රන්ථ කර්‍තෘවරුන්ගේ අදහස් 

  • අටුවා පොත් වලින් අඩකටත් වඩා සපයා ඇත්තේ බුද්ධඝොස හිමියන් විසින් බව මේ ලේඛනයෙන් (අටුවා රචනාකල ඇදුරුවරුන්ගේ නාමලේඛනයෙන්) පෙනී යයි. එතුමා බෞද්ධ අට්ඨකථාචාරීන් අතුරෙන් ශ්‍රේෂ්ඨතමයා යයි අවිවාදයෙන් පිළිගත හැකිය. ඒ හේතුවෙන් ම ඔහුගේ ජීවන චරිතය වටා ගෙතුණු ජනප්‍රවාද රාශියක් ද වේ. එතුමා මෙලොව පහළ වූයේ බුදුන්ගේ පර්යාප්ති ශාසනය දීර්ඝ කාලයක් නිර්මලව පවත්වාගෙන යාම සඳහා පාලි අටුවා ලිවීම පිණිසය යන ජනප්‍රවාදයක් අද පවා මෙරට පවතී.[52]

 

 

 

[52] පැරණි ලක්දිව බෞද්ධ ඉතිහාසය (2013) (ආචාර්ය ඊ.ඩබ්.අදිකාරම්) 3වන පිටුව

  • ත්‍රිපිටකය සඳහා අර්ථකථන සම්පාදනයට යෝග්‍ය තත්වයට පත්වීමට අපරිමිත ශාස්ත්‍රීය මෙහෙවරක් මැනවින් ඉටුකළ යුතුය. එනම්, අර්ථකථාචාර්යවරයකු බවට පත්වීම ඉතා දුෂ්කර කර්තව්‍යයකි. ත්‍රිපිටකයෙහි එක් ග්‍රන්ථයක් සඳහා අටුවා සැපයීම, එකී කෘතිය පිළිබඳ පමණක් ලද පරිචයෙන් නො කළ හැක්කකි. ඒ සඳහා සමස්ත ත්‍රිපිටකයම සාවධානව, විවේක බුද්ධියෙන් අවිනිර්මුක්තව අධ්‍යයනයට ලක් කළ යුතුය.එහි විවිධ ස්ථානයන්හි විද්‍යමාන වන සියුම් අරුත් සිය නැණින් පිළිවිදිය යුතුය. එමතු නොව ත්‍රිපිටකයට පරිබාහිරව නොයෙක් භාෂාන්තර, සමයාන්තර විශේෂඥතාව ද අට්ඨකථාකරුවා අත්‍යවශ්‍යයෙන් ස්වීකරණය කොටගත යුතුය. අට්ඨකථාකරණය එක් අතෙකින් කාව්‍ය නිර්මාණීකරණයට සම වෙයි. කවියා සතුව ෂෝඩශ ඥානයක් වියයුතු යැයි පෙරදිග මතයයි. ඒ ඥානය අටුවාචාරීන් වහන්සේ කෙරෙහි ද වූ බවට පාලි අට්ඨකථා සඤ්චයම පැහැදිලි නිදර්ශන සපයයි. පාලි අට්ඨකථා සම්පාදනය මගින් අටුවාචාරීන් වහන්සේ වෙතින් සිදු වූ කාර්යභාරය හඳුනා ගැනීමට එහිම දක්නට ලැබෙන අසම්භින්නපද, අභින්නකපද යන ප්‍රයෝගයන් (ත්‍රිපිටකයේ එක් තැනක පමණක් යෙදෙන ප්‍රයෝග) පිළිබඳ අවධානය යොමු කිරීම ම ප්‍රමාණවත්ය. මන්ද යත් එයින් උන්වහන්සේ කෙරෙහි වූ ත්‍රිපිටකාගත ධර්ම ඥානයෙහි සුවිශාරදත්වය ප්‍රකට වන හෙයිනි. අසම්භින්නපද යන්නෙහි අර්ථය ත්‍රිපිටකයෙහි එකම ස්ථානයක පමණක් දක්නට ලැබෙන වචනය යන්නයි. ඉතා පෘථුල සාහිත්‍යයක් වන පාලි ත්‍රිපිටකයෙහි එකම සූත්‍රය විවිධ තන්හි ද එකම භාෂා ප්‍රයෝග, පද බොහෝ තන්හි ද විස්තෘතව ඇත. මේ අතුරින් එක් ස්ථානයක පමණක් යෙදෙන විශේෂ අදහසක් හෝ යෙදුමක් වෙන් කොට ගැනීම සුදුෂ්කර කාර්යභාරයකි. නිදසුනක් ලෙස…….. සංයුක්ත නිකායෙහිම පැණෙන සම්මසන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ නිවැරදි මෙනෙහි කිරීම පිළිබඳ අනඳ හිමියන් අමතා කරුණු පැහැදිලි කරති. එහි දී බුදුරදුන් අනඳ හිමියන් අමතන්නේ බහු වචනයෙනි. (තෙනහානන්ද සුනාථ). මෙසේ බුදුරදුන් එක් පුද්ගලයකු බහු වචනයෙන් ආමන්ත්‍රණය කළ එකම අවස්ථාව මෙය පමණක් යැයි බුද්ධඝෝස පාදයෝ අවධාරණය කරති. (ඉදං තෙපිටකෙ බුද්ධවචනෙ අභින්නකං පදං. අඤ්ඤත්ථ හි එවං වුත්තං නාම නත්ථි). මෙයින් පැහැදිලි වන්නේ අර්ථකථාචාර්යවරුන් පාලි ත්‍රිපිටකය පිළිබඳ සුවිශාරදත්වයකින් යුක්තව අට්ඨකථාකරණය ඉතා වගකීමෙන් හා විවේක බුද්ධියෙන් සිදුකරන ලද්දක් බවයි.

ඉහත දැක්වූ අයුරින් සිංහනාද පැවැත්වීමට පුද්ගලයකු විසින් පරිපූර්ණ කළ යුතු ශාස්ත්‍රීය කාර්යභාරය අප්‍රමේය එකක් විය යුතුය.[53]

[53] ථෙරවාදී අර්ථකථන සිද්ධාන්ත (කථිකාචාර්ය අරුණ කේ. ගමගේ) 46-48 පිටු

  • අදාළ අධ්‍යයන ක්ෂේත්‍රයෙහි වූ පරිචය සම්බන්ධයෙන් විමසන විට අර්ථකථාචාර්යවරුන්ගේ කාර්යභාරය අප්‍රමේය වූවක් බව පැහැදිලි වේ. ……. ත්රිපිටකයෙහි අන්තර්ගතය සම්බන්ධයෙන් නිර්භීත ලෙස අත්තනො මතියක් විද්වත් ලෝකය හමුවේ ගෙනහැර පෑමේ ශක්යතාව අර්ථකථාචාර්යවරුන් විසින් ස්වීකරණය කොට ගන්නා ලද්දේ බුද්ධ ධර්මය සම්බන්ධයෙන් වූ සුවිචක්ෂණ ප්‍රතිභාණයෙහි ප්‍රතිඵලයක් වශයෙනි.[54]

අටුවා හා එම ඇදුරුවරුන් පිළිබඳ හරිහැටි කරුණු නොදැනීම නිසා බොහෝ වැරදි විවේචන සිදුකිරීම වෙන කවදාටත් වඩා මෙකළ දක්නට ලැබේ. බොහෝ දෙනා එසේ කරන්නේ ඒවා කියැවීම තබා ඒවා දකින්නේවත් නැතිවය. එයින් බොහෝ දෙනා පිරිසිදු ධර්ම මාර්ගයෙන් ඉවත්වීමට හේතු වන බැවින් අපි මෙසේ කරුණු දැක්වීමු. නුවණැත්තන්ට මෙතෙක් ප්‍රමාණවත් වේ යැයි සිතමු. විස්තර දැනගනු කැමැත්තෝ අටුවා – ටීකා – පැරණි වංශකථා හා ඒ ඇසුරින් ලියැවුණු විශ්වාසනීය ග්‍රන්ථ කියවා බලත්වා යනු අපගේ ආරාධනයයි.

[54] ථෙරවාදී අර්ථකථන සිද්ධාන්ත (කථිකාචාර්ය අරුණ කේ. ගමගේ) 290-291 පිටු

04   ටීකා ග්‍රන්ථ හා ටීකා ඇදුරුපාණන්  වහන්සේලා

ටීකා යනු මොනවාද?

ප්‍රධාන වශයෙන්ම අටුවාවන්ගේ ඇති අප්‍රකට වචන පැහැදිලි කිරීමටත් අටුවාවේ නොදැක්වූ පෙළ පාඨ පැහැදිලි කිරීමටත් ටීකා ග්‍රන්ථ රචනා විය. ටීකා ඇදුරුපාණන් වහන්සේලා සිදුකලේ තම පුද්ගලික මත පොත්වල ලිවීම නොව බුද්ධ මතය පැහැදිලිව ඉදිරිපත් කිරීමයි. පෙලෙහි හා අටුවාවේ ඇතුලත් නොවූ නමුත් ආචාර්ය පරම්පරාවෙන් පැමිණි ධර්මවිනය පිළිබඳ විනිශ්චයන් බුදුරජුන්ගේ අදහස පරිදිම දැක්වීම ටීකාචාර්යන් වහන්සේලාගේ අරමුණයි. මෙම ග්‍රන්ථ රචනා කළේ ද පෙළ – අටුවා පිළිබඳ හසල දැනුමක් ඇති ත්‍රිපිටකධාරී උතුමන් විසිනි. ප්‍රධාන ටීකා ග්‍රන්ථ වලිනුත් බොහොමයක් මෙම ලක්දිවදී ලියැවීම මෙරටට කීර්තියක් ලබාදුන් තවත් කරුණකි. අටුවාවෙන් තොරව පෙළ හරිහැටි තේරුම්ගත නොහැක්කාක් මෙන්ම අටුවාව තේරුම් ගැනීමේදී ද ටීකාවේ ප්‍රයෝජනය අතිමහත්ය. අඛණ්ඩ ආචාර්ය පරම්පරාවක් දැක්වීමට නොමැති ‍මෙවන් යුගයක, දහම් කරුණු නිවැරදිව තේරුම් ගැනීමේදී ඉතා ශක්තිමත්ව ත්‍රිවිධ ශාසනයම පිහිටි යුග වලදී ලියැවුණු ටීකාදී ග්‍රන්ථවලින් ලැබෙන පිහිට අතිවිශාලය. ඊට උදාහරණ කීපයක් මෙසේ දක්වමු.

  1. විනය පිටකයේ දෙවැනි පාරාජිකාව ගැන දක්වන තැන පෙළෙහි පරිජි වටිනාකම දක්වන්නේ “තථාරූපං නාම පාදං වා පාදාරහං වා අතිරෙකපාදං වා” (එබඳු පරිජිවන අගය නම් පාදයක් හෝ පාදයක අගය ඇති යමක් හෝ පාදයකට වැඩි අගය ඇති යමක් හෝ). යනුවෙනි. මෙතැනදී පෙළෙහි පාදය යනු කුමක්දැයි දක්වා නැත.

විනය අටුවාවේදී පාදය යනු නීලකහාපනයෙන් හතරෙන් කොටසක් බව (එතෙන ලක්‌ඛණෙන සබ්‌බජනපදෙසු කහාපණස්‌ස චතුත්‌ථො භාගො ‘‘පාදො’’ති වෙදිතබ්‌බො. සො ච ඛො පොරාණස්‌ස නීලකහාපණස්‌ස වසෙන) දක්වා ඇතත්. එහි වටිනාකම ගණනය කරන අයුරු දක්වා නැත.

නමුත් විමතිවිනොදනී ටීකාවේදී එහි වටිනාකම ගණනය කරන අයුරු පැහැදිලිව දක්වා ඇත. එනම් පිරිසිදු රන් මදටිය පහක බර පාදය ලෙස ගෙන ගණනය කළ යුතු බවයි. (කාළකවිරහිතස්‌ස නිද්‌ධන්‌තසුවණ්‌ණස්‌ස පඤ්‌චමාසග්‌ඝනකෙන භණ්‌ඩෙන පාදපරිච්‌ඡෙදො කාතබ්‌බො). මෙම ටීකා පාඨය නොතිබෙන්නට දෙවැනි පරිජියේ අගය විනිශ්චය කිරීම ඉතා අපහසු වනු ඇත.

  1. සෑම පැවිදි අපෙක්‍ෂකයෙකුම පාහේ පැවිද්ද ඉල්වීමට භාවිතාකරන “සබ්බදුක්ඛනිස්සරණ” ආදී පාඨය පෙළ අටුවාවන්හි දක්වා නැත. මෙය විමතිවිනෝදනී, විනයාලංකාර යන ටීකාවන්හි දක්වා ඇති පාඨයකි. මෙහිදී දත යුත්තේ මෙය කිසිසේත්ම එම ටීකා ඇදුරුවරුන්ගේ නිර්මාණයක් නොව ඇදුරුපරම්පරාවෙන් බුද්ධකාලයේ පටන් පවත්වාගෙන ආ ක්‍රමය බවයි, එම ටීකා ඇදුරුවරු ද පැවිදි වීමේදී භාවිතා කළ ක්‍රමය බවයි.
  2. සීමා සම්මතය හා සමූහනනය දක්වන උපොසථක්ඛන්ධකයේදී සීමාවක් සමූහනනයට අනුදත් නමුත් එය සිදුකරන අයුරු විස්තර පෙළට ඇතුලත් වී නොමැත.

අටුවාවේ දක්වන්නේ පැරණි සීමාව නොදන්නවුන් විසින් සීමා සමූහනනය නොකළ යුතු බවයි.

නමුත් මඤ්චප්‍රමාණ (ඇඳකපමණ) කොටු ගසා එය සමූහනනය කළ යුතු අයුරු විස්තර ඇතිව දක්වන්නේ විමතිවිනෝදනී ආදී ටීකාවන්හිය. දැනුත් විනයධරයෝ මෙම විනයකර්ම සිදුකරන්නේ මෙම ටීකාපාඨයන්ට පිංසිදුවන්නටය. ඒවා නොතිබුනා නම් බොහෝ ගැටලු මතුවන බව පැහැදිලිය.

  1. සීමාවක් සම්මත කිරීමේදී පබ්බතනිමිත්ත ආදී නිමිතිවර්ග අටක් යොදාගත හැකි බවත් එයින් නිමිති කීර්තනය කොට සීමාවක් සම්මත කරගන්නා ලෙසත් පෙලෙහි දක්වා ඇත. නමුත් ඒ නිමිති වල ප්‍රමාණ හෝ සම්මතය කරන පිළිවෙල හෝ පෙළෙහි ඇතුලත්ව නැත.

එම නිමිති වල ප්‍රමාණාදිය අටුවාවේ දක්වා ඇත. උදාහරණයක් ලෙස රුක්ඛනිමිත්තේ අවම ප්‍රමාණය උසින් අටඟුල් වූයේ වටින් සූචිදණ්ඩක ප්‍රමාණය ද ඇත්තේ නම් ප්‍රමාණවත් යැයි දැක්වේ. නමුත් මෙම සූචිදණ්ඩ යනු කුමක්දැයි එකළ ප්‍රකට වුවත් මෙකළ එහි අරුත අප්‍රකටය.

එය විස්තර කරන්නේ ටීකාවේය. සූචිදණ්ඩ යනු පන්හිඳ බවත් එය අතේ කුඩා ඇඟිල්ලේ පමණ ඇති බවත් පැහැදිලි කර දැක්වේ. සෙසු විනය කරුණු පිළිබඳ තත්වය ද මෙසේය.

  1. අභිධර්මයෙහි වෙනත් පෙළ පොත් වල දැක්වෙන පරමාර්ථ පදයේ අරුත සියල්ලෙන් සියල්ල පෙළෙහි දක්වා නැත.

අටුවාවේදී එය පැහැදිලි කරන්නේ වුව ද ටීකාවේ දැක්වෙන “පරමො උත්තමො අවිපරීතො අත්ථො …… පරමත්ථො” යන පාඨයෙන් එය වඩාත් පැහැදිලි වේ.

මෙසේ දැක්විය හැකි කරුණු අතිවිශාල ප්‍රමාණයක් ත්‍රිපිටකය පුරා ඇති නමුත් නුවණැත්තන්ට කරුණු තේරුම් ගැනීමට මේ ප්‍රමාණවත් බැවින් ඒ ගැන දැක්වීම මෙතෙකින් අවසන් කරමු.

ටීකා ඇදුරුපාණන් වහන්සේලා යනු කවුද?

මෙම ටීකා රචනා කළේ ද අටුවා සහිතව ත්‍රිපිටකධර වූ උතුමන් බව පෙර අපි දැක්වීමු. එම ඇදුරුපාණන් වහන්සේලා කීපදෙනෙකුන් පිළිබඳව නිවැරදි අවබෝධය පිණිස කරුණු ස්වල්පයක් මෙසේ දක්වමු.

  1. බදරතිත්ථවාසී ධම්මපාල ඇදුරුපාණන් වහන්සේ

මෙතුමන් වහන්සේ ටීකා පමණක් නොව අටුවා කීපයක් ද පරිවර්තනය කළ සේක. උදාන – ඉතිවුත්තක – පෙතවත්ථු – විමානවත්ථු –  චරියාපිටක – නෙත්තිප්පකරණ යන ග්‍රන්ථයන්ගේ පාලි අටුවා මෙතුමන් වහන්සේ සම්පාදනය කළ බව දැක්වේ. ඊට අමතරව දීඝ – මජ්ඣිම – සංයුක්ත යන නිකාය තුනේ ටීකාද විසුද්ධිමග්ග ටීකාව ද මෙතුමන්ගේ රචනාය. දකුණු ඉන්දියාවේ කාඤ්චිපුරයේ විසුවේ යැයි සැලකෙන මෙතුමන් වහන්සේ ද දක්ෂ ග්‍රන්ථ කතුවරයෙකු ලෙස ප්‍රකටය. එබැවින්ම පසු කාලීනව ග්‍රන්ථ රචනා කළ සිංහල මහතෙරවරුද මෙතුමන් වහන්සේව ආචාර්යත්වයෙහි ලා සැලකූ අතර මෙතුමන්ගේ අදහස් ප්‍රාමාණික වශයෙන් සැලකූහ. ඒ බව “තෙනෙව ආචරියධම්‌මපාලත්‌ථෙරෙන ථෙරගාථාසංවණ්‌ණනාය වුත්‌තං” යනාදී ලෙස අංගුත්තරනිකාය ටීකාදියේ දැක්වෙන පාඨ වලින් පැහැදිලි වේ. එතුමන් පිළිබඳ වැඩිදුර තොරතුරු ග්‍රන්ථයන්හි දක්වා නැතත් ඉතා ශේෂ්ඨ ග්‍රන්ථ කතුවරයෙකු බවත් එම ග්‍රන්ථ රචනා මහාවිහාරවාසී සංඝරත්නයේ අනුදැනුම මත ථේරවාදී මත මණ්ඩනය කරමින් බදරතීර්ථ විහාරයේදී ලියූ බවත් දැක්වේ.

  1. දිඹුලාගල සාරිපුත්ත සඞ්ඝරාජ මාහිමිපාණන් වහන්සේ

මෙරට වැඩසිටි ශ්‍රේෂ්ඨ ග්‍රන්ථකාරක ඇදුරුපාණන් වහන්සේලා අතර මෙතුමන් වහන්සේගේ නම ද ඉතා ප්‍රසිද්ධය. මහපැරකුම් රජුගේ අනුග්‍රහයෙන් සිදුකළ සාසන ශෝධනයට මූළික වූ දිඹුලාගල කස්සප මාහිමිපාණන් වහන්සේ මෙතුමන්ගේ ගුරුවරයාය. මෙතුමන් වහන්සේගේ පාණ්ඩිත්වය විදේශයන්හි ද ප්‍රකට වූ බව බුරුමදේශයේ රචිත විනයාලංකාරටීකාවේ දැක්වෙන පහත පාඨයෙන් ප්‍රකට වේ. එනම් “ආචරියො පන සබ්‌බපරියත්‌තිධරො අනෙකගන්‌ථකාරකො අනෙකෙසං ගන්‌ථකාරකානං ථෙරානං ආචරියපාචරියභූතො” (මේ සාරිපුත්ත සඞ්ඝරාජ ආචාර්යන් වහන්සේ සියලු පරියත්තිධර උතුමෙකි. නොයෙක් ග්‍රන්ථ රචනා කළ උතුමෙකි. නොයෙක් ග්‍රන්ථකාරක තෙරුන් වහන්සේලාට ආචාර්ය ප්‍රාචාර්ය වූ උතුමෙකි), යනුවෙන් සම්භාවනා කරත්.

මෙතුමන් වහන්සේ විශේෂ ධාරණශක්තියකින් යුතු උතුමෙක් බව ග්‍රන්ථයන්හි දැක්වේ. එකවර එක ඇසීමකින් ග්‍රන්ථ දහස් ගණනක් (ග්‍රන්ථ දහසක් යනු බණවර 4කි) ධරාගැනීමේ හැකියාව තිබුණු බව ග්‍රන්ථයන්හි දැක්වේ. ඒ මෙසේය;

i. “එසේම ඒකශ්‍රැතීන් නෛකසහස්‍ර ග්‍රන්ථ ධාරණයට සමර්ථ වූ වජ්‍රඥාන ඇති ශාරිපුත්‍ර මහා ස්වාමිපාදයන් පටන් සංඝරක්‍ෂිත ය, සුමඞ්ගල ය, වාගීශ්වර ය, ධර්මකීර්ති ය, නාගසෙන ය, ආනන්ද ය, වෙදෙහ ය, බුද්ධප්‍රිය ය, අනවමදර්ශී ය, යනාදී මහාස්ථවිරයෝ නොයෙක් ටීකාර්ථකථා හා තත්ප්‍රවේශෝපාය වූ අනේකප්‍රකාර ධර්ම ප්‍රබන්ධ හා සන්න ගැටපද පිටපත් ආදිය උපදවා බුදුන්ගේ පර්යාප්ති ශාසනය බැබැළැවූහ.”[55]

ii. “යං චන්දෙ චන්දභූතං නිසිතතරමතිං පාණිනිං පාණිනීයෙ…..” (චාන්ද්‍ර ව්‍යාකරණය කළ චාන්ද්‍ර ආචාර්යන් බඳු වූ ද පාණිනී වියරණයෙහි පාණිනී ඍෂිවරයා බඳු වූ ද ඉතා තියුණු නුවණක් ඇති (සාරිපුත්ත මාහිමිපාණන් වහන්සේ)…..)[56]

මෙතුමන් වහන්සේගේ කෘති අතර අංගුත්තරනිකාය ටීකාව, සාරත්ථදීපනී විනය ටීකාව හා අභිධර්මාර්ථ සංග්‍රහ පුරාණ සන්නය දැනට විද්‍යමානය. දැනට දක්නට නැති තවත් ග්‍රන්ථ කීපයක් ද දැක්වේ. මෙතුමන් වහන්සේගේ ශිෂ්‍ය වූ සඞ්ඝරක්ඛිත ආදී ඇදුරුවරන්ගේ ග්‍රන්ථයන්හි ද මෙතුමන් වහන්සේව ඉතා ඉහලින් වර්ණනා කර ඇත.

[55] නිකාය සංග්‍රහය (1966) (ඩී.පී.ආර්. සමරනායක) 81 පිටු

[56] අභිධර්මාර්ථසංග්‍රහ පුරාණ සන්නය (1960) (වලගෙදර සොමාලොකතිස්ස හිමි) 283 පිටුව

3. චොළිය කස්සප ඇදුරුපාණන් වහන්සේ

මෙතුමන් වහන්සේ දකුණු ඉංදියාවේ චෝළ දේශයේ වැඩසිටි බව දැක්වේ. මෙතුමන් පිළිබඳ තොරතුරු ග්‍රන්ථයන්හි එතරම් සඳහන්ව නැත. නමුත් එම දැක්වෙන තොරතුරු අනුව අටුවා සහිත සියලු ත්‍රිපිටක පරියත්තිධර වූ මනා විචක්‍ෂණ නුවණකින් යුත්ත වූ සීලාදී ප්‍රතිපත්තියෙහි මනාව පිහිටියා වූ මහාප්‍රාඥ උතුමෙකු බව ප්‍රකට වේ. මෙතුමන් රචිත ග්‍රන්ථ අතර විමතිවිනෝදනී විනය ටීකාව හා මෝහවිච්ඡේදනී නම් අභිධර්ම මාතිකා අටුවාව ප්‍රධාන වේ. එතුමන් වහන්සේ අපරටේ සිංහල භික්‍ෂූන් වහන්සේලා සමගත් සමීප සම්බන්ධතා පැවති බව මෙරට ලියැවුණු ග්‍රන්ථයන්හි දැක්වෙන කරුණු වලින් ප්‍රකට වේ. ඉහතින් දැක්වූ සාරිපුත්ත සංඝරාජ මාහිමියන්ගේ ශිෂ්‍ය වූ විනයවිනිශ්චය ටීකාව ලියූ වාචිස්සර මාහිමියන්ට එම ග්‍රන්ථය ලිවීමට ආරාධනා කළ අය අතර මෙම චෝළිය කස්සප මාහිමියෝ ද වෙති. ඒ බව වාචිස්සර මාහිමියෝ මෙසේ දක්වන සේක.

තථා මහාකස්‌සපඅව්‌හයෙන; ථෙරෙන සික්‌ඛාසු සගාරවෙන;

කුදිට්‌ඨිමත්‌තෙභවිදාරකෙන; සීහෙන චොළාවනිපූජිතෙන.

(සොලී රටෙහි පූජිත වූ, සික්ෂාවන්හි මනා ගරුත්වයක් ඇත්තා වූ , මිත්‍යාදෘෂ්ඨි නමැති මත් ඇතුන් විදාරණය කරන – පලා විනාශකර දමන සිංහයෙකු බඳු වූ මහාකස්සප නමැති තෙරුන් විසින් ද එසේම ආරාධිත වූයේ…)

මෙතුමන් වහන්සේ පිළිබඳ තවත් කරුණු රාශියක් මොහවිච්ඡේදනී ග්‍රන්ථයේ සඳහන් වේ. නාගජ්ජුන නම් විහාරයේ වැඩසිටි බව ද එහි දැක්වේ. ඉන් ගාථා කීපයක් මෙසේ දක්වමු.

නාමෙන යො ධුතධරග්‌ගසමානනාමො – චන්‌දොව පාකටනභොදිතවීතපඤ්‌ඤො;

සත්‌ථන්‌තරෙසු නිපුණො පිටකත්‌තයෙ ච – වාදීභයූථවිපිනෙ මිගරාජලීලො.

(ධුතඞ්ගධාරීන්ට අග්‍ර වූ මහාකාශ්‍යප තෙරුන්ගේ නාමයට සමාන නමක් ඇත්තා වූ යම් තෙරනමක්, අහසෙහි සඳ මෙන් සසුනෙහි ප්‍රසිද්ධ වූයේ ද, විවිධ ශාස්ත්‍රයන්හි හා ත්‍රිපිටකයෙහි දක්‍ෂ වූ සේක් ද, පරවාදීන් නමැති ඇතුන් සිටින කැලයෙහි සිංහරාජයෙකු බඳු වූ ද,)

යො සාගරොව න විලඞ්‌ඝති සීලවෙල – මප්‌පිච්‌ඡතාදිගුණසාරවිභූසිතත්‌තො;

ජොතෙති සාසනමලං නිඛිලං ජහන්‌තො – සක්‌කච්‌ච ධම්‌මවිනයං පරිදීපයන්‌තො.

(සාගරය වෙරළ ඉක්මවා නොයන්නා සේ යම් තෙර කෙනෙක් සීලය ඉක්මවා නොයයි ද, අල්පේච්ඡතාදී ගුණසාරයන්ගෙන් අලංකාරවත් වූ ආත්මභාවයක් ඇත්තේ ද, සාසන මල දුරුකරමින් මනාව ධර්මවිනය දක්වමින් සාසනය බබුළුවන සේක් ද,)

තෙනාභිධම්‌මපිටකණ්‌ණවවිප්‌පකිණ්‌ණ – සාරත්‌ථරත්‌නනිකරෙව සමුද්‌ධරිත්‌වා;

සම්‌මාපජානගළලඞ්‌කරණාය මොහ – විච්‌ඡෙදනී විරචිතා රතනාවලී යා.

(ඒ මහාකාශ්‍යප මාහිමියන් විසින් අභිධර්මපිටකය නමැති සාගරයෙහි විසිරී පැවති රත්න සමූහය ගොඩනගා ශිෂ්‍යප්‍රජාවගේ ගෙල සැරසීම පිණිස රත්නමාලාවක් බඳු වූ මෝහවිච්ඡේදනී නම් වූ යම් ග්‍රන්ථයක් රචනා කරන ලදද…)

ඉහත දැක්වූ කරුණු අනුව මෙතුමන් වහන්සේ වැරදි මත දුරුකිරීමෙහි අති සමර්ථ වූ ඉතා විචක්‍ෂණ උතුමෙකු බව ප්‍රකට වේ. තවද මෙතුමන් වහන්සේ විසින් රචිත විමතිවිනෝදනී ටීකාව අපරටේ ප්‍රතිපත්තිකාමී විනයධර භික්‍ෂූන් අතර ඉතා සම්භාවිත ග්‍රන්ථයකි. එබැවින්ම විනය විනිශ්චයන්හිදී මෙම ටීකාවට ප්‍රමුඛත්වයක් දෙනු ලැබේ. තවද ඔය ආයුෂ්මතුන් වහන්සේලාගේ ගුරුවරයා කවුදැයි ඇසුවොත් විමතිවිනෝදනී ටීකාචාර්යන් වහන්සේ යැයි කියන්න යනුවෙන් විනයධර උතුමෝ පවසන බව ද අසන්නට ලැබේ.

4. විනයාලංකාර ඇදුරුපාණන් වහන්සේ

ටීකාචාර්ය සාරිපුත්ත සංඝරාජ මාහිමිපාණන් විසින් රචිත “පාළිමුත්තකවිනයවිනිච්ඡය” නම් වූ විනයසංග්‍රහ අටුවාවට ලියූ ටීකාව විනයාලංකාර ටීකාවයි. එහි කතුතුමන් වහන්සේගේ සාමණේර නාමය “මුනින්දඝොස” බවත් උපසම්පදාවේදී “උපාලි” යන නාමය ලබාදුන් බවත් රජු ලබාදුන් ගරු නාමය “තිපෙටකාලඞ්කාර” බවත් වාසය කළ ආරණ්‍යයේ නාමයෙන් “තිරියපබ්බතත්ථෙරො” යනුවෙන් ද හැඳින් වූ බවත් බුරුම සාසනවංශයේ දැක්වේ. එකල එරට වැසි මහාප්‍රාඥ උතුමෙකු වූ මෙතුමන් වහන්සේගේ නාමය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ආචරියපරම්පරාවෙහි ද දැක්වේ. එබැවින් මෙතුමන් වහන්සේ යෝගාශ්රමීය භික්ෂූන් වහන්සේලාගේ අදුරුපරම්පරාව බැබළවූ පූර්වාචාරීන් වහන්සේ කෙනෙක් බව සැලකිය යුතුය. නිවැරදි ධර්ම-විනය විනිශ්චයක් ගතයුතු අයුරු එතුමන් වහන්සේ මෙසේ දක්වන සේක.

මහාකාරුණිකො භගවා මහාකරුණාය සඤ්‌චොදිතමානසො අනෙකෙහි නයෙහි ආපත්‌තිතො වුට්‌ඨානං කත්‌වා සග්‌ගමොක්‌ඛසුඛෙ පතිට්‌ඨපෙති, භගවතො අධිප්පායඤ්ඤුනො අට්ඨකථාචරියාපි අනෙකෙහි කාරණෙහි භගවතො වචනස්‌ස අත්‌ථං පකාසෙත්‌වා විසුද්‌ධකාමානං නයං දෙන්‌ති, තථා ටීකාචරියාදයොපි. එවං දින්‌නෙ පන නයෙ යොනිසො මනසි කාතුං සක්‌කොන්‌තා පණ්‌ඩිතා යථානුසිට්‌ඨං පටිපජ්‌ජන්‌ති, අසක්‌කොන්‌තා අඤ්‌ඤථා අත්‌ථං ගහෙත්‌වා න යථානුසිට්‌ඨං පටිපජ්‌ජන්‌ති, තෙසං දිට්‌ඨානුගතිං අනුගච්‌ඡන්‌තා සිස්‌සාදයොපි තථෙව කරොන්‌ති, තස්‌මා භගවතො වචනඤ්‌ච පුබ්‌බෙනාපරං සංසන්‌දිත්‌වා අට්‌ඨකථාටීකාදිවචනඤ්‌ච සම්‌මා තුලයිත්‌වා තථතො භගවතො අධිප්‌පායං ඤත්‌වා යථානුසිට්‌ඨං පටිපජ්‌ජන්‌තෙහි ගරුකාපත්‌තිතො වුට්‌ඨහනත්‌ථං යොගො කරණීයො.

          මහාකාරුණික වූ භාග්‍යවතුන් වහන්සේ මහාකරුණාවෙන් පෙළඹ වූ සිත් ඇති සේක් නොයෙක් න්‍යායන් මගින් ඇවැත් වලින් නැගීසිටීම සිදුකොට සගමොක්සුවයෙහි පිහිටුවන සේක, භාග්‍යවතුන් වහන්සේගේ අදහස දන්නා වූ (සාරිපුත්ත මහරහතන් වහන්සේ ආදී)  අටුවාචාරීන් වහන්සේලා ද නොයෙක් න්‍යායන් මගින් භාග්‍යවතුන් වහන්සේගේ වචනයේ අර්ථ ප්‍රකාශ කොට විශුද්ධිය කැමැත්තවුන්ට නයක්‍රම ලබා දෙත්. ටීකාචාරී උතුමන් වහන්සේලා ද එසේමය. මෙසේ න්‍යායන් දුන් කල්හි නුවණින් මෙනෙහි කිරීමට හැක්කා වූ නුවණැත්තෝ අනුශාසනාව පරිදි පිලිපදිත්. (එසේ නුවණින් මෙනෙහි කිරීමට) නොහැකිවන්නාහු අන් අයුරකින් අර්ථය ගෙන අනුශාසනාව පරිදි නොම පිලිපදිත්, ඔවුන්ගේ දිට්ඨානුගතියට අනුව යන්නා වූ ශිෂ්‍ය ආදීහු ද එසේම (වැරදි අයුරින්) කරත්.

එබැවින්  භාග්‍යවතුන් වහන්සේගේ වචනය ද පූර්වය හා අපරය සසඳා අටුවා-ටීකාදී වචනය ද මනාව තුලනය කොට තත් පරිදි    (නිවැරදිව)  භාග්‍යවතුන් වහන්සේගේ අදහස දැන අනුශාසනාව පරිදි පිලිපදින්නවුන් විසින් ගරු ඇවතකින් මිදීම පිණිස යෙදීම කටයුතුය.[57]

 යම් අදහසක් පිළිගැනීම හෝ ප්‍රතික්‍ෂේපය කළ යුත්තේ කෙසේ ද යන න්‍යාය විනයාලංකාර ටීකාචාරීන් වහන්සේ දක්වන අයුරු.

ඉණපරිභොගට්ඨානෙ තිට්ඨතීති එත් ‘‘හිය්යො යං මයා චීවරං පරිභුත්තං ආදිනා සචෙ අතීතපරිභොගපච්චවෙක්ඛණං කරෙය්, ඉණපරිභොගට්ඨානෙ තිට්ඨතී’’ති වදන්ති, වීමංසිතබ්බං. (ඉණපරිභෝගස්ථානයෙහි සිටියි යන මෙහි “මාවිසින් ඊයේ යම් සිවුරක් පරිභෝග කළේ ද” යනාදී වශයෙන් අතීතපරිභෝග ප්‍රත්‍යවේක්‍ෂාව නොකරන්නේ නම් ඉණපරිභෝගස්ථානයෙහි සිටියි යැයි කියත්, මෙය විමසිය යුතුය.) යන සාරත්ථදීපනී ටීකා පාඨය විචාරණයට ලක් කරමින් වටිනා උපදේශයක් මෙසේ ලබා දෙන සේක.

කිං ඉදං වචනං පාළිවචනං වා අට්‌ඨකථාවචනං වා ටීකාවචනං වා ගන්‌ථන්‌තරවචනං වාති. තත්‌ථ න තාව පාළිවචනං, න අට්‌ඨකථාවචනං, න ගන්‌ථන්‌තරවචනං, අථ ඛො ටීකාවචනන්‌ති. හොතු ටීකාවචනං, සකවචනං වා පරවචනං වා අධිප්‌පෙතවචනං වා අනධිප්‌පෙතවචනං වාති. තත්‌ථ න සකවචනං හොති, අථ ඛො පරවචනං. තෙනාහ ‘‘වදන්‌තී’’ති. න ටීකාචරියෙන අධිප්‌පෙතවචනං හොති, අථ ඛො අනධිප්‌පෙතවචනං. තෙනාහ ‘‘තං වීමංසිතබ්‌බ’’න්‌ති. … තස්‌මා අට්‌ඨකථාවචනමෙව පමාණං කාතබ්‌බං.

  • කිමෙක් ද මෙය පෙළෙහි වූ වචනයක් ද, අටුවාවචනයක් ද, ටීකා වචනයක් ද, ග්‍රන්ථාන්තරයෙහි වූ කීමක් දැයි (බලන්න).

එහිලා පළමුව මෙය පාළිවචනයක් නොවේ, අටුවාවචනයක් ද නොවේ, ග්‍රන්ථාන්තරයෙහි වූ වචනයක් ද නොවේ, එතෙකුදු වුවත් ටීකා වචනයකි.

  • ටීකා වචනයක් නම් එය එසේ වේවා. එය ස්වකීය වචනයක් ද (ටීකාචාරීන් වහන්සේගේම වචනයක් ද), නැතහොත් වෙනත් අයෙකුගේ කීමක් ද, (ටීකාචාරීන් වහන්සේ විසින්) අදහස් කළ වචනයක් ද, අදහස් නොකළ වචනයක් දැයි (බලන්න)

එහිලා මෙය ටීකාචාරීන් වහන්සේගේ (ස්වකීය) වචනයක් නොවේ, වෙනත් අයෙකුගේ වචනයකි. එබැවින් “වදන්ති” (ඇතැම්හු කියත්) යැයි කී සේක.

  • මෙය ටීකාචාරීන් වහන්සේ විසින් අදහස් කරන ලද වචනයක් ද නොවේ, අදහස් නොකළ වචනයකි. එබැවින් “තං වීමංසිතබ්බං” (එය විමසිය යුතුය) යැයි වදාළ සේක.
  • එබැවින් අටුවා වචනයම ප්‍රාමාණික කළ යුතුය. (එනම් අද දින පරිභෝග කළ සියල්ල අද දිනම එනම් ඊළඟ අරුණට පෙර ප්‍රත්‍යවේක්‍ෂා කළ යුතුය).

          මෙසේ ග්‍රන්ථයක පමණින් යමක් පිළිගැනීම හෝ ප්රතික්ෂේපය නොකොට ඉහත පරිදි එය ග්රන්ථ කර්තෘන් වහන්සේට අභිමත අදහසක් යනාදී ලෙස විමසා වෙනත් ප්රාමාණික ග්රන්ථ හා සසඳා බලාම තීරණයකට යුතු බව විනයාලංකාර ඇදුරුපාණන් වහන්සේගේ අවවාදයයි.

“අටුවා ටීකා වල විවිධ අදහස් තිබෙනවා, හරි විනිශ්චය සොයා ගන්න බැහැ” යැයි ඇතැම්හු පවසන්නේ මෙවැනි න්‍යායන් නොදන්නාකම නිසයි. සුදුසු ගුරුවරුන් ඇසුරේ ධර්මය හදාරන්නේ නම් එබඳු ගැටළු විසඳෙනු ඇත. ගත යුතුතේ කුමන විනිශ්චය ද යනාදී විමති පහවනු ඇත.

ටීකා පිළිබඳ ඇති දුර්මත කීපයක් හා ඊට පිළිතුරු

  1. ප්‍රශ්නය : බුදුරජාණන් වහන්සේගේ දේශනාවන්ට විස්තර සැපයීමට ටීකාචාර්යන් වහන්සේලා සමත් ද?

පිළිතුර:   මෙම ප්‍රශ්ණය නගන්නේ ටීකා යනු කුමක්දැයි හරිහැටි තේරුම් නොගැනීම නිසයි. ටීකාචාරීන් වහන්සේලා කිසි විටෙක තම මතය බුද්ධමතය ලෙස නොදක්වන සේක. ඇදුරු පරම්පරාවෙන් තමන් දැනගත් විනිශ්චය බොහෝ කාලයක් පුරාවට ධර්මවිනය හා සසඳා බලා බොහෝ ශිෂ්‍ය පිරිසකට උගන්වා ඉන්පසු මෙම ටීකාදී ග්‍රන්ථ රචනා කළ බව දත යුතුය. එබැවින් බුදුරජුන්ගේ පටන් අඛණ්ඩ ඇදුරු පරම්පරාවකින් පැමිණි විනිශ්චයන්ම ටීකා වලින් තවත් ප්‍රකට කරනවා හැර පෙළ අටුවාවන්ට වෙනස් අරුතක් ටීකාවන්ගේ දක්වා නැත. යම් කරුණක් පිළිබඳ ටීකාචාරීන් වහන්සේගේ අදහස දක්වන විට ඒ සෑම තැනකදීම “අයං අම්හාකං ඛන්ති, වීමංසිත්වා යුත්තතරං ගහෙතබ්බං” (මේ අපගේ අදහසයි, විමසා වඩා යුතු අදහස ගතයුතුයි) යනුවෙන් ඉතා නිහතමානීව ධර්මගරුත්වයෙන් යුතුව දක්වන සේක. එම ග්‍රන්ථ නොකියවා එහි වටිනාකම නොදැන මෙසේ විවේචනය කිරීම තමන්ටත් අනුන්ටත් සාසනයටත් කරන්නා වූ විශාල අනර්ථයක් බව සලකා තමන් නොදන්නා විෂයන් පිළිබඳව නොදන්නා බව කියන්නේ නම් මෙබඳු හානි සිදු නොවන බව සැලකිය යුතුය.

  1. ප්‍රශ්නය : ටීකා ලියුවේ රහතන් වහන්සේලාමද?

පිළිතුර:   මෙම ප්‍රශ්ණය අසන අය අදහස් කරන්නේ “රහත් නොවූ අයගේ විස්තර විවරණ අපට අවශ්‍ය නැත” යන්නයි. මේ ප්‍රකාශ කරන්නේ ද ටීකා ගැන හරි වැටහීමක් නැතිව සිංහල පරිවර්තන ආදියෙන් ධර්මවිනය කියවන අයයි. ටීකා නිපද වූ ඇතැම් ආචාර්යන් වහන්සේලා රහතන් වහන්සේලා යැයි ද පිළිගැනේ. තවද ඒ උතුමන් වහන්සේලා අටුවා සහිත ත්‍රිපිටකයේ පාරගත උතුමන් වහන්සේලා යැයි අවිවාදයෙන් පිළිගනී. එම සිංහල පරිවර්තන කිරීමේදී ද අටුවා-ටීකාවන්හි දැක්වූ අරුත් අනුවම පරිවර්තන කර ඇති බව ඔවුහු නොදනිති. ටීකාචාරීන් වහන්සේලා තම මත බුද්ධමතය ලෙස නොදැක්වූ බවත් පිරිසිදු බුද්ධ මතයම ඉස්මතු කිරීමට වෙහෙසුණු බවත් පෙර අපි දැක්වීමු. මෙහිදී අපටද නැගියහැකි තවත් ප්‍රශණයක් වන්නේය. එනම් “මෙම සිංහල පරිවර්තන ඔබට ලැබුනේ බුදුරජාණන් වහන්සේගෙන් ද? නැතිනම් රහතන් වහන්සේලාගෙන් ද?” යන්නයි. අනෙක් අවධාරණය කළ යුතු කරුණ වන්නේ කිසිම ථේරවාදී ටීකාදී ග්‍රන්ථයක සීල සමාධි ප්‍රඥාවන්ට බාධක වන වැරදි කරුණු, උපදෙස් නැති බවයි. ඒ වෙනුවට ඊට උපකාරක කරුණුම පැහැදිලි කෙරේ. කරුණු මෙසේ හෙයින් ග්‍රන්ථයන්ට දොස් නගමින් නොසිට ඒවා හදාරා බලා තම ජීවිතයට යමක් ගතහැකි නම් එය ගැනීම නුවණැති ක්‍රියාවක් බව සැවොම සලකත්වා.

  1. ප්‍රශ්නය : එකම ග්‍රන්ථයට ටීකා කීපයක් ලියැවෙන්නේත් ඒවා අතර ඇතැම් විට වෙනස් මත පවතින්නේත් ඇයි?

පිළිතුර:   මෙසේ එකම කරුණ සම්බන්ධව ටීකා කීපයක් ලියැවුනේ විශේෂයෙන්ම විනය පිටකය සඳහාය. එසේ ටීකා අතර වෙනස් මත ඇතැයි කියන බොහෝ අවස්ථා වලදී එසේ කියන්නේ ටීකාවන්හි නිවැරදි අදහස නොදැනීම නිසයි. යම් විදියකින් එසේ වෙනස් අර්ථ ඇතැයි හැඟෙන තැනක් වෙතොත් ථේරවාදී ප්‍රවේණිය හඳුනන සැදැහැති පිළිවෙත් සරු ගුරු උතුමන් හා සාකච්ඡා කොට වඩාත් ගරු වූ මතය පිළිගත යුතුය යනු විනය න්‍යායයි. මෙහිදී කියයුතු විශේෂ කරුණක් ඇත. එනම් විනය බුද්ධවිෂය බවත් එබැවින් මෙවැනි කරුණු සම්බන්ධව පෙළ අටුවාහි සඳහන් නොවූ කරුණු ගැන රහතන් වහන්සේලා අතර පවා වෙනස් අදහස් පැවතිය හැකිය යන්නයි. ඒ බව විනය අටුවාදිය කියැවීමෙන් දත හැකිය. බුද්ධකාලයේදී අග්‍රශ්‍රාවක උතුමන්ගේ පවා ඇතැම් තැනකදී අදහස් සම වී නැත. චාතුම සූත්‍රය ඊට නිදසුනකි. නමුත් මෙහිදී විශේෂයෙන් දත යුත්තේ නිවන් මාර්ගයට අදාල මූළික න්‍යායන් සම්බන්ධව ප්‍රතිපදාවට බාධක වෙනස් මත කිසිසේත් නොපවතින බවයි. ටීකා අතර ඇතැයි සලකන මෙබඳු තැන් පිළිබඳවද මේ අයුරින් දතයුතුය. එබඳු වෙනස් මතයක් වෙතොත් එය දක්වා නිවැරදි කිරීම පුරාණ උතුමන්ගේ ලක්‍ෂණයකි. එය සාසනයේ චිරස්තිථිය පිණිසම කළ බව ග්‍රන්ථ පරිශීලනයේදී වැටහේ. කරුණු මෙසේ හෙයින් ග්‍රන්ථ අතර විරෝධයන් ඇත්තාක් මෙන් බැලූ බැල්මට පෙනුන ද එකවර එසේ විනිශ්චයකට නොයා සුදුසු ගුරුවරුන් ඇසුරින් දහම මනාව හදාරන්නේ නම් ගැටලු සියල්ලම පාහේ විසඳී යනු ඇත. වැරදියට හදාරන්නේ නම් පෙළ ග්රන්ථ අතර පවා විරෝධයන් දකිනු ඇත.

  1. ප්‍රශ්නය : ටීකා රචනා කළේත් මෙකල භික්‍ෂූන් වැනි සාමාන්‍ය භික්‍ෂූන් වහන්සේලාම ද?

පිළිතුර:   ඇතැම්හු සිතන්නේ මෙම ටීකා ලියුවේ මෙකළ සිටින උපාධිධාරී භික්‍ෂූන් වැනි උගතුන් විසින් බවයි. එය ඉතා වැරදි අදහසකි. මෙම ටීකා ලියැවුණු යුගය යනු ඉතාමත් ගරුත්වයෙන් ධර්මය හදාරණ ඒ අයුරින්ම ඒවා පිළිපදින ප්‍රතිපත්තිගරුක භික්‍ෂූන් වැඩසිටි රහතන් වහන්සේලා යැයි සැලකෙන උතුමන් වැඩසිටි කාලයකි. ඒ ඒ කාල වල වැඩසිටි ශ්‍රේෂ්ඨ සැබෑවටම අටුවා සහිතව ත්‍රිපිටකධර වූ සීලාදී ප්‍රතිපත්ති අකුරටම පිළිපදින උතුමන් අතින් මෙම ටීකාදී ග්‍රන්ථ රචනා වූ බව ද දතයුතුය. එබැවින් මෙකල සිටින උගතුන් හා ඒ උතුමන් කිසිසේත් සැසඳිය හැකි නොවේ. එතුමන් වහන්සේලා කිසිසේත්ම වැරදි මත සමාජගතවීමට ඉඩ නොතැබූ සේක. කිසිසේත් වැරදි මත හිතාමතා නිවැරදි යැයි නොදැක්වූ සේක. දිවි දෙවැනි කොට ධර්මය රැකගත් සේක. පෙළ අටුවාවන්හි නොදැක්වූ කරුණක් සම්බන්ධ විනිශ්චයකදී එකරුණ සම්බන්ධ පිරිසිදු බුද්ධ මතය ගෙනහැර පෑමට උත්සුක වූ සේක. ප්‍රතිපත්තිගරුක සඟ පරම්පරාව බොහෝ කාලයක් නිරුපද්‍රිතව පැවැත්වීමට ආචාර්යත්වයෙන් උපකාර වූ සේක. අදටත් මෙපමණකින් හෝ ප්‍රතිපත්තිගරුක සඟ පරපුරක් සුරැකී තිබෙන්නේත් ත්‍රිපිටක සද්ධර්මය සුරැකී තිබෙන්නේත් එවැනි පුරාණ ඇදුරු පරම්පරාව නිසා බව සලකා ඒ උතුමන් කෙරෙහි ගරුත්වයෙන් දහම හදාරන්නේ නම් ත්‍රිවිධ සාසනයම දැනට වඩා බබළන බව අපගේ අදහසයි.

ටීකා ග්‍රන්ථ හා එම ඇදුරුවරු ගැන මෙතරම් කරුණු දැක්වූයේ ඒවායේ ඇති වටිනාකම ඒත්තු ගැන්වීමටය. පෙළ – අටුවා ග්‍රන්ථ පිළිවෙලට හදාරන්නවුන්ට ටීකාවන්ගේ අගය මැනවින් වැටහෙනු ඇත. කරුණු මෙසේ හෙයින් පෙළ – අටුවා – ටීකා අනුව බුදුරජුන්ගේ අදහස නිවැරදිව දැන පිළිපැදීමෙන් නිවන් මාර්ගය හෙළිකර ගනිත්වා යනු අපගේ ආරාධනයයි.