“පංසුකූලචීවරං නිස්‌සාය පබ්‌බජ්‌ජා, තත්‌ථ තෙ යාවජීවං උස්‌සාහො කරණීයො; අතිරෙකලාභො ඛොමං, කප්‌පාසිකං, කොසෙය්‍යං, කම්‌බලං, සාණං, භඞ්‌ගං.”(මහාවග්ගපාළි, මහාඛන්ධකය)

සම්බුද්ධ ශාසනයෙහි උතුම් පැවිදි උපසම්පදාව ලබන භික්‍ෂුවක් ස්වකීය දිවිපැවැත්ම පංසුකූලික සිවුර ඇසුරු කරගෙන පවත්වා ගැනීමට උත්සාහවත් වියයුතු බව මහාකාරුණිකයන් වහන්සේ වදාළේ එපරිද්දෙනි.  ඒ අනුව සැදැහැයෙන් පැවිදි වන කුලපුතුන් තෙවිසි (23) පංසුකූල ක්‍ෂේත්‍රයන්ගෙන් එක්තරා ආකාරයකට උපන් පංසුකූලික සිවුර ඇසුරුකොට ගෙන දිවි ඇතිතාක් යැපීමට උත්සාහවත් විය යුතු අතර කොමුපිළි, කපුපිළි, කොසෙය්‍ය (පට පිළි), කම්බිලි, හණපිළි, මිශ්‍ර පිළි යන මේවා තමන්ට ලැබේනම්, අතිරේක ලාභ වේ.

සම්බුද්ධත්‍වයේ පටන් පළමු විසිවස තුළ භාග්‍යවතුන් වහන්සේ විසින් ගෘහපති සිවුරු අනුදැන නොතිබූ බැවින් සියලු භික්‍ෂුහු පංසුකූලික වූහ.  ඉක්බිති තථාගතයන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයේ වැඩ වෙසෙන සමයේ ජීවක කෝමාරභච්ච නම් වෛද්‍යාචාර්ය වරයාගේ ඉල්ලීම මත ගෘහපති සිවුරු පිළිගැනීම භික්‍ෂූන්ට අනුදැන වදාළ සේක.  එතැන් පටන් ඒ ඒ අවස්ථාවන්හි සිවුරු පිළිබඳ කරන ලද විවිධ අනුදැනීම් විනය පිටකයේ, මහාවග්ගපාළි, චීවරක්‍ඛන්‍ධකයේ සංගෘහිතය.  ඒ සියල්ල සලකා බලමින් ඊට අදාළව විනය පිටකයේ සෙසු තැන්වල කරන ලද අනුදැනීම් හා සිකපද පැනවීම් ද සමෝධානය කරමින් ‘සිවුරේ කථාව’ මෙසේ වර්ණනය කරම්හ.

බුදුසසුනේ පළමු විසි වස

සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ මහබිනික්මන් කොට අනෝමා ගංතෙර දී ඝටීකාර බ්‍රහ්මරාජයා විසින් පිළිගන්නට යෙදුනු අටපිරිකර ධරව පැවිදි වූදා පටන් බුද්ධත්වයට පත්වන තෙක් මහාපධන් වීර්ය වැඩූ කළ සිවුරු පිළිබඳ උත්සහවත් වීමක් සඳහන් නොවේ.  සම්බුද්ධත්‍වයට පත්වූ පසු එතැන් පටන් පළමු විසිවස තුළ සියලුම භික්‍ෂුහු පංසුකූලික වූ බව පැවසේ.  අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ගේ පටන් බුදුසසුනේ ‘ඒහි භික්ඛු’ භාවයෙන් පැවිදි උපසම්පදාව ලද සියල්ලෝම සෘද්ධිමය පා සිවුරු ලැබූහ.  සෙසූ භික්‍ෂුහු ඉතිරි දෙවිසි ක්‍ෂේත්‍රයන්ගෙන් උපන් පංසුකූල සිවුරුම දැරූ අතර එකල සිවුරු පිළිබඳ අනුදැනීම් දක්නට නොලැබේ.

තෙවිසි පංසුකූල ක්‍ෂේත්‍ර

භික්‍ෂුවක් හට පංසුකූල සිවුරක් සොයාගත හැකි ආකාර විසිතුනක් (23) විශුද්ධ්මාර්ගයේ ධූතාංග නිර්දේශයේ සඳහන්වේ.  එනම්, (1) සොසානිකය – කිසිවෙක් විසින් සොහොනෙහි දැමූ වස්ත්‍රය. (2) පාපනිකය – කඩසාප්පු ඉදිරියේ දැමූ හෝ වැටුණු වස්ත්‍රය. (3) රථියචොළය- පින් කැමැත්තවුන් විසින් වාකවුළු දොරින් වීථියෙහි දැමූ වස්ත්‍රය. (4) සඞ්කාරචොළය- කසල ගොඩෙහි දැමූ වස්ත්‍රය (5) සොත්‍ථිය- ස්ත්‍රීන්ගේ ගැබ්මල පිස දමා ඉවතලූ වස්ත්‍රය. (6) නහානචොළය- යකැදුරන් විසින් හිස පටන් නහවන ලද්දවුන් කාලකණ්ණි වස්ත්‍රය යැයි අතහැර දැමූ වස්ත්‍රය. (7) තිත්‍ථචොළය- නහන තොට හැර දමාලූ වස්ත්‍රය. (8) ගතපච්චාගතය- සොහොනට ගොස් ආපසු පැමිණි මිනිස්සු ජලස්නානය කොට අතහැර දැමූ වස්ත්‍රය. (9) අග්ගිදඞ්ඪය- ගින්නෙන් දැවුණු වස්ත්‍රය.  එබඳු වස්ත්‍ර මිනිස්සු නොහඳිත්. (10) ගොඛායිකය- ගවයන් කන ලද වස්ත්‍රය. (11) උපචිකාඛායිතය- වේයන් කෑ වස්ත්‍රය. (12) උන්‍දුරඛායිකය- මීයන් කෑ වස්ත්‍රය. (13) අන්තච්ඡින්නය- අග කඩා ගිය වස්ත්‍රය. (14) දසාච්ඡින්නය-  දහවලු කඩාගිය වස්ත්‍රය.  මෙම ගොඛායික ආදී වස්ත්‍රද මිනිස්සු නොහඳිත්.  (15) ධජාහටය- නැව් නගින්නන් ධ්වජයක් බැඳ නැව් නගින අතර ඔවුන් නොපෙනී ගිය කල්හි එය ගැනීමට සුදුසුය. යුද්ධ භූමියෙහි බඳින ලද ධ්වජ වස්ත්‍ර, යුධසේනා දෙකම නික්ම ගිය කළ ගැනීමට වටී.  (16) ථූප චීවරය-  තුඹසක් වටකොට බලිකර්ම කිරීමට බැඳි වස්ත්‍රය. (17) සමණචීවරය- භික්‍ෂුව සතු වස්ත්‍රය. (18) ආසිසෙක්කිය- රජුන් අභිෂේක කළ තැන දමා ගිය වස්ත්‍රය. (19) ඉද්ධිමය- ‘එහි භික්ඛු’ උපසම්පදාව ලැබීමේදී ලද චීවරය. (20) පත්‍ථිකය- අතරමඟ වැටුණු වස්ත්‍රය. සවාමියන් විසින් සිහිමුළා වීමෙන් වැටුණු වස්ත්‍රයද මඳවේලාවක් රැකගෙන සිට ගත යුතුය. (21) වාතාහතය- සුළඟින් ගසාගෙන ගොස් දුරින් වැටුණු වස්ත්‍රය.  එය වනාහි හිමියන් නොදක්නා කල්හි ගනු සුදුසුය. (22) දෙවදත්තිය- අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේට මෙන් දෙවියන් විසින් දුන් වස්ත්‍රය. (23) සාමුද්දිය- මුහුදු රළින් ගොඩ දැමූ වස්ත්‍රය යන තෙවිසි ආකාර ක්‍ෂේත්‍රයන් වේ.  භාග්‍යවතුන් වහන්සේ ද වරක් පුණ්ණා නම් දාසියගේ මළ සිරුර ඔතා තිබූ තිඹක් පමණ පණුවන් ගහණ වස්ත්‍රය පංසුකූල වස්ත්‍රයන් ලෙස ගෙන සිවුරක් කළ බව සඳහන් වේ.

ගෘහපති චීවර අනුදැනීම.

භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයේ වැඩ වෙසෙන සමයේ ජීවක කෝමාරභච්ච නම් භාග්‍යවතුන් වහන්සේගේ වෛද්‍යාචාර්ය වරයාට උදේනි රට පජ්ජොත රජුගේ සීවෙය්‍යකවස්ත්‍ර යුගමයක් ලැබිණි. සීවෙය්‍යක වස්ත්‍ර නම් උතුරුකුරු දිවයින් වැසි මිනිසුන්ගේ මළ සිරුරු වෙළනු ලබන අවමඟුල් වස්ත්‍රය යැයි එක් මතයකි.  එහි මිනිස්සු මළ සිරුර ඒ වස්ත්‍රයෙන් වෙළා තබත්.  එය මස්වැදැල්ලක් යැයි සලකන ඇත්සොඬලිහිණියෝ එය ඔසවාගෙන හිමාල වනයේ පර්වත මුදුනේ තබා වස්ත්‍රය බැහැර කොට කත්.  එකල්හි වනයේ හැසිරෙන්නවුන් ඒ වස්ත්‍රය දැක රජුට ගෙනයත්.  මේසේ පජ්ජොත රජු විසින් ලද වස්ත්‍රය සීවෙය්‍යක වස්ත්‍රය නම්වේ.  අනෙක් මතයක් නම් සිවිරට දක්‍ෂ ස්ත්‍රීන් විසින් අංශු තුනකින් නූලක් කටිනු ලැබේ.  ඒ නූලෙන් වියන ලද වස්ත්‍රයද සීවෙය්‍යක වස්ත්‍රය නමි.  මෙසේ ජීවක වෙදැදුරා හට ලැබුණු මෙම වස්ත්‍ර යුග්මය බොහෝ වස්ත්‍රයන්ට, බොහෝ වස්ත්‍ර යුග්මයන්ට, බොහෝ සිය ගණන්, දහස් ගණන්, ලක්‍ෂ ගණන් වස්ත්‍ර යුග්මයන්ට ද වඩා උසස් වූ බැවින් භාග්‍යවතුන් වහන්සේ සහ බිම්බිසාර රජු යන දෙදෙනාම මේ වස්ත්‍ර යුග්මයට සුදුසු යැයි සිතක් පහළ විය.  ඉක්බිති භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ දොස් කිපී ඇති බැවින් මහනෙල් මල් මිටි තුනකින් විරේචනයක් ලබාදී සිනිඳු ආහාර වැළඳීම සුදුසු බවද කියා ප්‍රකෘතිමත් වූ පසු ජීවක තෙම ඒ වස්ත්‍ර යුගලය ගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ වරයක් ඉල්ලා සිටියේය.  භාග්‍යවතුන් වහන්සේ වර ලබා නොදෙන බව පැවසූ ඉක්බිති කැපවූ, නිදොස් වූ වරයන් ඉල්ලන බව පවසා ලත් අවසරයෙන් ‘භික්‍ෂු සංඝයා හට ගෘහපති චීවර අනුදන්නා සේක්වා’ යැයි ඉල්ලා සිටියේය.

භාග්‍යවතුන් වහන්සේ මෙන්ම භික්‍ෂු සංඝයා කිසිවෙක් බුද්ධත්වයේ පටන් මේ දක්වා වූ පළමු විසි වසර තුළ ගෘහපති චීවර නොම ඉවසූ බැවින් සහ පාංශුකූලික වූ බැවින් මෙසේ තමන් වෙත ඇති සීවෙය්‍යක වස්ත්‍ර යුග්මය ද පුදමින් භික්‍ෂූන් උදෙසාද ගෘහපති චීවර අනුදන්නා සේක්වාය යන ඉල්ලීම ජීවක විසින් සිදු කරන ලදී.  භාග්‍යවතුන් වහන්සේ ඒ සීවෙය්‍යක වස්ත්‍ර යුග්මය පිළිගෙන ජීවක හට වස්ත්‍ර දානානිසංස ප්‍රතිසංයුක්ත දැහමි කථාවෙන් කරුණු දක්වා, එහි ඔහුව සමාදන් කරවා, තෙද ගන්වා, සතුටු කරවා, ඔහු නික්ම ගිය කල්හි ඒ නිදනායෙහි භික්‍ෂූන් අමතා “අනුජානාමි භික්‍ඛවෙ, ගහපති චීවරං. යො ඉච්ඡති, පංසුකූලිකො හොතු. යො ඉච්ඡති, ගහපති චීවරං සාදියතු. ඉතරීතරෙනපහං භික්‍ඛවෙ, සන්තුට්ඨිං වණ්ණෙමි= මහණෙනි, ගෘහපති චීවරය අනුදනිමි.  යමෙක් කැමති නම් පංසුකූලික වේවා.  යමෙක් කැමති නම් ගෘහපති චීවරය ඉවසාවා.  මහණෙනි, මම කුදු මහත් අගය ඇති යම් කිසි ලද දෙයින්ම සතුටු වීම වර්ණනා කරමි’  යැයි භික්‍ෂුන් හට ගෘහපති චීවර පිළිගැනීම අනුදැන වදාළ සේක.( මහාවග්ගපාළි 2, චීවරක්‍ඛන්‍ධකය (මපා.චී), (බු.ජ) 696 පි)

සිවුරු සහා භාවිත කළ හැකි වස්ත්‍ර

මෙසේ භාග්‍යවතුන් වහන්සේ ගෘහපති චීවර පිළිගැනීම අනුදැනීමෙන් ඉක්බිති භික්ෂූන් වහනුසේලාට උස් පහත් අගයන්ගෙන් යුත් නොයෙක් සිවුරු ලැබෙන්නට විය. එහිදී ඒ භික්ෂූන් හට ‘භාග්‍යවතුන් වහන්සේ කවර සිවුරු අනුදන්නා ලද්දේ ද? කවරක් නොඅනුදන්නා ලද්දේ ද?’ යැයි අදහසක් පහළ විය. එය විමසා සිටි කල්හි භාග්‍යවතුන් වහන්සේ “අනුජානාමි, භික්‌ඛවෙ, ඡ චීවරානි – ඛොමං කප්‌පාසිකං කොසෙය්‍යං කම්‌බලං සාණං භඞ්‌ගන්‌”ති යනුවෙන් භික්ෂූන් හට සිවුරු වර්ග සයක් (6) අනුදැන වදාළ සේක. ( මහාවග්ගපාළි, චීවරක්ඛන්ධකය, 698පි) එනම් කොමු පිළී, කපු පිළී, පට පිළී, කම්බිලි හෙවත් එළු,බැටළු ලොම් වලින් කළ පිළී, හණ වැහැරි පිළී සහ මේ නූල් වර්ග පසෙන් මිශ්‍ර වූ පිළී යන වස්ත්‍ර වර්ග සය භික්ෂූන් වහන්සේලා හට සිවුරු සඳහා කැප වේ.(‘තත්‌ථ ඛොමන්‌ති ඛොමවාකෙහි කතසුත්‌තං. කප්‌පාසිකන්‌ති කප්‌පාසතො නිබ්‌බත්‌තං. කොසෙය්‍යන්‌ති කොසියංසූහි කන්‌තිත්‌වා කතසුත්‌තං. කම්‌බලන්‌ති එළකලොමසුත්‌තං. සාණන්‌ති සාණවාකසුත්‌තං. භඞ්‌ගන්‌ති පාටෙක්‌කං වාකසුත්‌තමෙවාති එකෙ. එතෙහි පඤ්‌චහි මිස්‌සෙත්‌වා කතසුත්‌තං පන භඞ්‌ගන්‌ති වෙදිතබ්‌බං.’ (සපා, සුත්තවිඤ්ඤත්ති සික්ඛාපද වණ්ණනා, හෙවි., 526-527පි))

තවද මෙයට අනුලොම් සිවුරු වශයෙන් ධර්ම සංග්‍රාහක මහරහතන් වහන්සේලා සතරමහාපදේස නය මත පිහිටා සිවුරු වර්ග සයක් අනුදත්හ. එනම් දුකූලය නම් වැහැරි සිවුරය (දුකූලං), පත්තුණ්ණ දේශයෙහි ඇති වස්ත්‍ර විශේෂයක් වන පත්තුණ්ණය (පත්‌තුණ්‌ණං), සෝමාර දේශයෙහි පිළී හෙවත් සෝමාරපට්ටය (සොමාරපටං), චීන දේශයෙහි පිළී හෙවත් චීනපට්ටය (චීනපටං), එහි භික්ෂු උපසම්පදාව ලබන භික්ෂූන් හට ලැබෙන ඍද්ධිමය සිවුරු ය (ඉද්‌ධිජං) සහ දිව්‍යමය කප්රුකෙහි උපන්නාවූ දෙවියන් විසින් දුන් සිවුරු ය (දෙවදින්‌නං) යන සිවුරු සය අනුලොම් වශයෙන් අනුදන්නා ලද්දාහු ය. එහිලා දුකූල සිවුරු වැහැරි සිවුරක් බැවින් හණපිළියට අනුලොම් වේ. පත්තුණ්ණ දේශයෙහි ප්‍රාණී විශේෂයකින් නිපදවා ගන්නා පිළී වන පත්තුණ්ණය පට පිළියට අනුලොම් වේ. සෝමාරපට්ට, චීනපට්ට යන දෙවර්ගය ඒ ඒ දේශයන්හි පවත්නා පිළී වන අතර ඒවා ද පටපිළියට අනුලොම් යැයි පැවසේ. ඍද්ධිමය සිවුරු සහ දෙවියන් විසින් දෙන ලද සිවුරු කප් පිළියට හෝ සෙසු සියලු සිවුරු පිළී වලට අනුලොම් වේ.

මේ අනුව බුදුරජාණන් වහන්සේ විසින් අනුදන්නා ලද ඉහත සඳහන් කරන ලද සය වැදෑරුම් සිවුරු පිළියෙන් හෝ ධර්ම සංග්‍රාහක මහරහතන් වහන්සේලා විසින් අනුලොම් සිවුරු ලෙස අනුදන්නා ලද සිවුරු පිළීයෙන් හෝ කරන ලද සිවුරක් භික්ෂුවකට කැප සිවුරක් පවට පත්වේ.

තුන් සිවුරු අනුදැනීම

භික්ෂූන් උදෙසා ගෘහපති චීවර පිළිගැනීමට අනුදැනීමෙන් අනතුරුව එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සිට විශාලා මහනුවර බලා චාරිකාවේ පිටත් වූ සේක් රජගහනුවරත් විශාලා මහනුවරත් අතර දීර්ඝ මාර්ගයට පිළිපන් සේක. එහිදී ඒ දීර්ඝ මාර්ගයට පිළිපන් භික්ෂූහු සිවුරු පොදි බැඳගෙන ගමන් කරනු දුටු භාග්‍යවතුන් වහන්සේට ඒ භික්ෂූන් ඉතා ඉක්මනින් චීවර බාහුල්‍යයට පත්ව ඇති බවත්, ඒ නිසාවෙන්ම සිවුරු පිළිබඳ සීමාවක් පැනවිය යුතු යැයි අදහසක් පහළ විය. විශාලා මහනුවරට වැඩම කළ භාග්‍යවතුන් වහන්සේ එහි ගෝතමක චේතිය නම් විහාරස්ථානයේ වැඩ වාසය කරන සේක්, සීතල හේමන්ත ඍතුවේ නවම්, මැදින් දෙමස අතර දින අටක් හිම වැටෙන්නා වූ රාත්‍රී සමයේ (සීතාසු හෙමන්තිකාසු රත්තීසු අන්තරට්ඨකාසු හිමපාත සමයෙ) එළිමහනෙහි එක් සිවුරකින් යුතුව වැඩහුන් සේක. භාග්‍යවතුන් වහන්සේට ශීතල නොවීය. පළමු යාමය ඉක්මුණු කළ භාග්‍යවතුන් වහන්සේට ශීතල දැනුන හෙයින් දෙවන සිවුරක් පෙරවූ සේක. එවිට ශීතල නොවීය. මධ්‍යම යාමය ඉක්ම ගිය කල්හි ශීතල දැණුන හෙයින් භාග්‍යවතුන් වහන්සේ තෙවන සිවුරක්ද පෙරවූ සේක. එකල්හි ශීතල නොවීය. පැසුළුයාමය නික්ම ගිය කල්හි අරුණ නැගි කල්හි, ප්‍රසන්නව රෑ පහන් වූ කල්හි (උද්ධස්තෙ අරුණෙ නන්දිමුඛියා රත්තියා) ශීතල දැණුන හෙයින් භාග්‍යවතුන් වහන්සේ සතරවන සිවුරක්ද පෙරවූ සේක. මෙසේ  මහාකාරුණික භාග්‍යවතුන් වහන්සේ හුදෙක් සිවුරු සඳහා සීමා බැඳීමෙන් තොරව දැඩි ශීත සමයෙහි ශීතල ප්‍රකෘතික කුලපුත්‍රයකුට අවමයෙන් පෙරවිය යුතු සිවුර කුමක් දැයි තමන්වහන්සේම පිරික්සා බැලූ සේක.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ හට මේ සසුනෙහි පැවිදි වන ශීතල ප්‍රකෘතික වූ (පියෙවින්ම ශීතලෙන් පෙළෙන්නා වූ) ශීතලට බියවන සුළු කුල පුත්‍රයෝ වෙත් ද, ඔවුනට ද තුන් සිවුරෙන් යැපීමට හැකි වේ යැයි යන මේ අදහසින් භික්ෂූන් උදෙසා සිවුරෙහි සීමාවක් පනවා තුන් සිවුරු අනුදැන වදාරන්නේ නම් යෙහෙකැයි සිත් විය. මෙහි දී භාග්‍යවතුන් වහන්සේ එළිමහනෙහි වැඩ හිඳීමෙන් තොරවම මෙය දන්නා සේක. එසේ වුවත් එය මිනිසුන් හට ප්‍රකට කරවීමට මහාකරුණාවෙන් යුතුව ශීතල විඳිමින් එළිමහනෙහි වැඩ සිටි බව දතයුතු. අනතුරුව භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා අමතා දැහැමි කථා කොට, තමන් වහන්සේ භික්ෂූන් වහන්සේලාගේ චීවර බාහුල්‍යත්වය දුටු බවත්, සිවුරු පිළිබඳ සීමාවක් පැනවීමට සිතා එළිමහනෙහි වැඩ විසූ බවත් වදාරා භික්ෂූන් උදෙසා තුන් සිවුරු අනුදැන වදාළ සේක.

“අනුජානාමි, භික්‌ඛවෙ, තිචීවරං, දිගුණං සඞ්‌ඝාටිං, එකච්‌චියං උත්‌තරාසඞ්‌ගං, එකච්‌චියං අන්‌තරවාසක”න්‌ති = මහණෙනි දෙපට ඇති සඟල සිවුර ද, එක්පටක් ඇති උතුරුසඟල සිවුර ද, එක්පටක් ඇති අඳන සිවුර ද  යන තුන්සිවුර අනුදනිමි” යනුවෙනි. (මහාවග්ගපාළි, චීවරක්ඛන්ධකය, 710පි) මෙහිදී භාග්‍යවතුන් වහන්සේ එළිමහනෙහි සිවුරු සතරකින් වැඩ සිටි බැවින් පට දෙකකින් යුතු සඟල සිවුර අනුදත් සේක. එවිට සිවුරුපට සතරක් පෙරවූවා හා සමාන වේමය.

මෙසේ දෙපට සිවුර, තනිපට සිවුර හා අඳනය යන තුන් සිවුර අනුදත් නමුදු ඇතැම් විට භික්ෂූන් හට උපදින්නා වූ වස්ත්‍ර ඉතා දුර්වල ඒවා වන බැවින් “අනුජානාමි, භික්‌ඛවෙ, අහතානං දුස්‌සානං අහතකප්‌පානං දිගුණං සඞ්‌ඝාටිං, එකච්‌චියං උත්‌තරාසඞ්‌ගං, එකච්‌චියං අන්‌තරවාසකං” ( මහාවග්ගපාළි, චීවරක්ඛන්ධකය, 712පි) යැයි අළුත් වස්ත්‍රෙයන් හෝ වරක් සේදූ වස්ත්‍රයෙන් දෙපොටක් ඇති සඟල සිවුර ද, එක් පොටක් ඇති උතුරු සඟල සිවුර ද, එක් පොටක් ඇති අඳන සිවුරද අනුදැන වදාළ සේක. අහත දුස්සය යනු අළුත් වස්ත්‍රයයි. අහත කප්පය යනු වරක් සේදූ වස්ත්‍රය වේ. එතකුදු වුවත් දිගුකලක් ඍතුවෙන් උදුරා දමන ලද ශක්තිය ඇති එනම් දිරාගිය පැරණි වස්ත්‍රයෙන් (උතුද්ධටානං දුස්සානං) සිව් පොටක් ඇති සඟල සිවුර ද, දෙපොටක් ඇති තනිපට සිවුර ද, දෙපොටක් ඇති අඳන සිවුරද සකස් කරගතහැකි බව “උතුද්‌ධටානං දුස්‌සානං චතුග්‌ගුණං සඞ්‌ඝාටිං, දිගුණං උත්‌තරාසඞ්‌ගං, දිගුණං අන්‌තරවාසකං; පංසුකූලෙ යාවදත්‌ථං; පාපණිකෙ උස්‌සාහො කරණීයො” යැයි අනුදැන වදාළ සේක. (මහාවග්ගපාළි, චීවරක්ඛන්ධකය, 712පි) එසේම පංසුකූල වස්ත්‍රයෙන් කැමති තාක් පටගණන් ඇති සිවුරු සකස් කරගත හැකි වේ. කඩපිලෙන් අවුළාගත් වස්ත්‍රයෙන් කළ සිවුරු දැරීමෙහි ද උත්සහවත් විය යුතු අතර එහිලා ද පට ගණන සීමාවකින් තොරව පට සියයක් වුවද සුදුසු වේ.

වරෙක අන්තරවාසකයෙහි සිදුරක් තිබූ භික්ෂුවක් එයට අණ්ඩයක් ඇල්ලූ විටෙක සිදුර මැද තනිපටකුත්, හාත්පස දෙපටකුත් වන බැවින් කැප වන්නේදැයි සැක කළේය. එම අවස්ථාවේ සේනාසන චාරිකාවේ වැඩම කළ භග්‍යවතුන් වහන්සේ මෙය දැක “සාධු, සාධු, භික්ඛු, සාධු ඛො ත්වං භික්ඛු, අග්ගලං අච්ඡුපෙසි” යනුවෙන් සාධුකාර දී පසසා භික්ෂූන් අමතා දැහැමි කතා කොට මෙසේ දිරාගිය පැරණි වස්ත්‍රයෙන් අතිරේක පටගණන් ඇති සිවුරු භාවිතයට අනුදැන වදාළ සේක.

සිවුරු කඩ කැපීම

එසමයෙහි භික්ෂූහු කඩ නොකැපූ, වරක් දෙවරක් පමණක් රදන් ගන්වා, දත් පැහැය මෙන් කහට පැහැ ඇති සිවුරු දරත්. ඒ දැක මිනිස්සු ‘මොවුහු කාම භෝගී ගිහියන් මෙන්’ යැයි නුගුණ කීහ. එය භාග්‍යවතුන් වහන්සේට සැළ කළ කල්හි භාග්‍යවතුන් වහන්සේ පළමුකොටම “න, භික්‌ඛවෙ, අච්‌ඡින්‌නකානි චීවරානි ධාරෙතබ්‌බානි. යො ධාරෙය්‍ය, ආපත්‌ති දුක්‌කටස්‌සා’ති =මහණෙනි, කඩ නොකැපූ සිවුරු නොම දැරිය යුතු වේ. යමෙක් දරන්නේ නම්, දුකුලා ඇවැත් වේ” යැයි සිවුරු කඩ කපා මැසීම අනුදැන වදාළ සේක. (මහාවග්ගපාළි, චීවරක්ඛන්ධකය, 708පි) එතකුදු වුවත් කඩ කපා මසනු ලබන සිවුර සකස් කරගන්නා අන්දම පිළිබඳව ඒ වන විට අනුදැනීමක් නොවීය.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කැමතිතාක් වැඩ වාසය කොට දක්ඛිණාගිරිය බලා චාරිකාවෙහි වැඩි සේක. එසේ වඩිනා අතරමග දී භාග්‍යවතුන් වහන්සේ සතරැස් ලියදි බැන්දා වූ, දිගින් හා පළලින් මහමියර බැන්දා වූ, අතරතුර කුඩාමියර බැන්දා වූ, සතරැස් හන්දි බැන්දා වූ මගධ කෙත දුටු සේක. දැක අනඳ තෙරුන් අමතා “ආනන්දයෙනි, තෙපි සතරැස් ලියදි බැන්දා වූ, දිගින් හා පළලින් බැඳි මහමියර ඇත්තා වූ, අතරතුර බැඳි කුඩාමියර ඇත්තා වූ, බඳිනා ලද සතරහන්දි ඇත්තා වූ මගධ කෙත දුටු දැ”යි විචාරා “ආනන්දය, තෙපි භික්ෂූන්ට මෙසේ කඩ කපා සිවුරු මැසීම විධාන කරන්නට උත්සහවත් වන්නෙහි දැ”යි වදාළ සේක. ආනන්ද මාහිමිපාණන් වහන්සේ එය පිළිගෙන, භාග්‍යවතුන් වහන්සේ දක්ඛිණාගිරියෙහි කැමතිතාක් කල් වැඩ හිඳ යළිත් රජගහ නුවරට වැඩම කළ කල්හි බොහෝ භික්ෂූන්ට සිවුරු විධාන කොට භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේට “භාග්‍යවතුන් වහන්ස, මා විසින් විධන කරන ලද සිවුරු බලා වදාරණ සේකවා” යි සැළ කළහ. භාග්‍යවතුන් වහන්සේ එය බලා වදාළසේක්, මේ නිදානයෙහි, මේ කාරණයෙහි දැහැමි කතා කොට භික්ෂූන් අමතා “පණ්‌ඩිතො, භික්‌ඛවෙ, ආනන්‌දො; මහාපඤ්‌ඤො, භික්‌ඛවෙ, ආනන්‌දො; යත්‍ර හි නාම මයා සංඛිත්‌තෙන භාසිතස්‌ස විත්‌ථාරෙන අත්‌ථං ආජානිස්‌සති, කුසිම්‌පි නාම කරිස්‌සති, අඩ්‌ඪකුසිම්‌පි නාම කරිස්‌සති, මණ්‌ඩලම්‌පි නාම කරිස්‌සති, අඩ්‌ඪමණ්‌ඩලම්‌පි නාම කරිස්‌සති, විවට්‌ටම්‌පි නාම කරිස්‌සති, අනුවිවට්‌ටම්‌පි නාම කරිස්‌සති, ගීවෙය්‍යකම්‌පි නාම කරිස්‌සති, ජඞ්‌ඝෙය්‍යකම්‌පි නාම කරිස්‌සති, බාහන්‌තම්‌පි නාම කරිස්‌සති, ඡින්‌නකං භවිස්‌සති, සත්‌ථලූඛං සමණසාරුප්‌පං පච්‌චත්‌ථිකානඤ්‌ච අනභිජ්ඣිතං.= මහණෙනි, යමෙක් වනාහී මා විසින් සැකෙවින් කියන ලද කාරණයෙහි අර්ථය විස්තර වශයෙන් දන්නේ ද, සිවුරේ දිග පළල නුවා කළේ ද, හරස් නුවා කළේ ද, මහමැඩිලි කළේ ද, කුඩා මැඩිලි කළේ ද, වස් අත්තක් කළේ ද, ඇළ අතු කළේ ද, ගෙල පටි ඇල්ලීම කළේ ද, කෙණ්ඩා පටි ඇල්ලීම කළේ ද, නුවා අතු නොහොත් බාහුව මත සිටිනා නුවා කළේ ද, මෙසේ කිරීමෙන් සිවුර කපන ලද්දේත්, සැතින් රළු වූයේත්, පැවිද්දන්ට සුදුසු වූයේත්, පසමිතුරන් විසින් නොපතන ලද්දේත් වූයේ ද, ඒ ආනන්ද තෙමේ නුවණැති වේ. මහණෙනි, ඒ ආනන්ද තෙමේ මහා ප්‍රාඥ වේ” යනුවෙන් අනඳ තෙරුන් වහන්සේට ප්‍රශංසා කළ සේක. (මහාවග්ගපාළි, චීවරක්ඛන්ධකය, 708පි) එසේ පසසා “අනුජානාමි, භික්‌ඛවෙ, ඡින්‌නකං සඞ්‌ඝාටිං ඡින්‌නකං උත්‌තරාසඞ්‌ගං ඡින්‌නකං අන්‌තරවාසක’න්‌ති = මහණෙනි, කඩකැපූ සඟල සිවුර ද, කඩකැපූ උතුරු සඟල සිවුර ද, කඩකැපූ අඳන සිවුර ද අනුදනිමි” යනුවෙන් අනුදැන වදාළ සේක. (මහාවග්ගපාළි, චීවරක්ඛන්ධකය, 708පි)

මෙහි දී සිවුරක ඇති කොටස් පිළිබඳව සඳහනක් වෙයි. ඒ අනුව සිවුරක දික් අතට ද පළල අතට ද යෙදෙන දික්පත් (නුවා) කුසී නම් වේ. අතරතුර යොදනා කෙටිපත් (හරස් නුවා) අඩ්ඪකුසී නම් වේ. සිවුරක එක් එක් කඩයෙහි යෙදෙනා මහමැඩිල්ල මණ්ඩලං නම් වේ. කුඩාමැඩිල්ල අඩ්ඪමණ්ඩලං නම් වේ. විවටය යනු වස් අත්තයි. එනම් පසුකඩ සිවුරක මහමැඩිල්ලත් කුඩාමැඩිල්ලත් එකට කොට මසනු ලබන මැද කඩය යි. අනුවිවටය යනු ඒ මැද කඩ දෙපසින් ඇති කඩ දෙකයි. ඒවා ඇළ අතු නමින් ද හැඳින්වේ. ගීවෙය්‍යකය යනු සිවුර ගෙළ වටේ වෙළනා තැන දැඩි කිරීම පිණිස අන්‍ය වූ නූල් පුරවන ලද ආගන්තුක පත්‍රයකි. ගෙලපටියයි. ජඞ්ඝෙය්‍යකය යනු සිවුර කෙණ්ඩා දක්වා පැමිණෙන තැන ගෙලපටිය සේම මසනා ලද පතයි. අනුවිවටයන්ට පිටින් ඇති එක් එක් කඩ බාහන්තං නම් වේ.  මෙසේ පස්කඩ සිවුරකගේ වශයෙන් මෙම අංගයන් විමසන ලදී. එය මෙපරිදි දැක්විය හැකි වේ.

මෙම සිවුරේ කොටස් පිළිබඳව සමන්තපාසාදිකා විනයාර්ථකථාවේ දැක්වෙන තවත් ක්‍රමයක පැහැදිලි කිරීමක් නම්, අනුවිවටය යනු විවටයට එක් පසෙකින් කඩ දෙකක් ද, අනෙක් පසින් කඩ දෙකක් ද යැයි පිහිටන කඩ සතරම වේ. බාහන්තය යනු ප්‍රමාණවත් සිවුරක් පොරවන්නහු විසින් නවා බාහුවට උඩින් බහිමුඛව (පිටිපස්සට යොමුව) සිටින පරිදි තබන අන්ත දෙකට නමකි. මෙම ක්‍රමයම මහාඅර්ථකථාවේ ද දැක්වෙන බව සමන්තපාසාදිකාවේ සඳහන් වේ. මෙය ද වෙනස් අර්ථ දැක්වීමක් නොව පෙර දක්වන ලද අර්ථකථනයම තවත් විස්තෘත ආකාරයකට දැක්වීමක් බව සැලකුවමනා ය.

භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වෙසෙන එක් සමයෙක එක්තරා භික්ෂුවක් තුන්සිවුරු කරනු ලබන කල්හි ඒ තුන් සිවුරුම කඩ කපා මැසීමට තරම් උන්වහන්සේ සතු සිවුරු රෙදි ප්‍රමාණවත් නොවූයේ වෙයි. මෙය භාග්‍යවතුන් වහන්සේට සැළකළ කල්හි භාග්‍යවතුන් වහන්සේ තුන් සිවුරු අතරින් එක් සිවුරක් කඩ නොකපා මැසීමට අනුදැන වදාළ සේක. එසේ සිවුරු දෙකක් කඩ කපා අනෙක කඩ නොකපා මැසීමට ද ප්‍රමාණවත් නොවූයෙන් භාග්‍යවතුන් වහන්සේට දැන්වූ කළ සිවුරු දෙකක් කඩ නොකපා මැසීමටත් අනෙක කඩ කපා මැසීමටත් අනුදැන වදාළ සේක. එසේ එක් සිවුරක් පමණකුදු කඩ කපා මැසීමට සිවුරු රෙදි ප්‍රමාණවත් නොවී භාග්‍යවතුන් වහන්සේට සැළකළ කල්හි “අනුජානාමි, භික්‌ඛවෙ, අන්‌වාධිකම්‌පි ආරොපෙතුං, න ච, භික්‌ඛවෙ, සබ්‌බං අච්‌ඡින්‌නකං ධාරෙතබ්‌බං. යො ධාරෙය්‍ය, ආපත්‌ති දුක්‌කටස්‌ස” (මහාවග්ගපාළි, චීවරක්ඛන්ධකය, 726පි) යනුවෙන් එක් සිවුරකුදු කඩ කපා මැසීමට ප්‍රමාණවත් රෙදි නොමැති විටක ආගන්තුක පතක් අල්ලන්නට අනුදැන වදාළ සේක. එසේම තුන්සිවුරම කඩ නොකැපූ සිවුරු ලෙස නොම දැරිය යුතු බවත්, එසේ දරන භික්ෂුවට දුකුලා ඇවැත් වන බවත් මෙයින් පනවා වදාළ සේක.

මේ අනුව සිවුරු රෙදි ප්‍රමාණවත්ව තිබේ නම් තුන් සිවුරම ද, එසේ නොවන විටක තුන් සිවුරෙන් සිවුරු දෙකක් හෝ එකක් හෝ කඩ කපා මැසිය හැකි වේ. එහි දී ‘අනුජානාමි, භික්‌ඛවෙ, ඡින්‌නකං සඞ්‌ඝාටිං ඡින්‌නකං උත්‌තරාසඞ්‌ගං ඡින්‌නකං අන්‌තරවාසකං’ යන දේශනා පරිදි පස්කඩ, සත්කඩ යනාදී වශයෙන් කඩ කැපිය යුතු වේ. එසේ කඩ කපා මැසීමේ දී තුන් සිවුර සඳහා සිවුරු රෙදි ප්‍රමාණවත් නොවේ නම් සිවුරු දෙකක් කඩ කපා මසා ඉතිරි සිවුර කඩ නොකපා පරිහරණය කළහැකි වේ. එසේ සිවුරු දෙකක් කඩ කපා මැසීමේදී ද සිවුරු රෙදි ප්‍රමාණවත් නොවේ නම්, එක් සිවුරක් පමණක් කඩ කපා මසා සෙසු සිවුරු දෙකම කඩ නොකපා මසා දැරිය හැකි වේ. එසේ එක් සිවුරකුදු කඩ කපා මැසීමට සිවුරු රෙදි ප්‍රමාණවත් නොවන විටක, සිවුර කඩ නොකපා ආගන්තුකපතක් අල්ලන්නට සුදුසු වේ.  ආගන්තුකපතක් යනු සිවුර මත්තෙහි දෙපටක් වන සේ අල්ලනු ලබන පතක් වේ. එහෙයින් ඛුද්දකසික්ඛාවෙහි “අනු පච්‌ඡා ආධීයතීති අන්‌වාධි, යං චීවරස්‌සොපරි සඞ්‌ඝාටිආකාරෙන ආරොපෙතබ්‌බං” යැයි කියන ලදී. දෙපට සිවුරෙහි මත්තෙහි අනෙක් පතක් ඇල්ලීම ආගන්තුක පත යැයි විමතිවිනෝදනියෙහි සඳහන් වේ. (“ආගන්‌තුකපත්‌තන්‌ති දිගුණචීවරස්‌ස උපරි අඤ්‌ඤං පට්‌ටං අප්‌පෙන්‌ති, තං සන්‌ධාය වුත්‌තං. තං කිර ඉදානි න කරොන්‌ති.” – විමතිවිනෝදනී ටීකා, 438පි) ‘අන්වාපත් නම් උවන් බහගත් සිවුරෙහි අසමැද දික් ලුහුඬු කොට අස ඇලවන ආගන්තුක පති’ යනු කුදුසික පුරාණ සන්නයයි.(කුදුසික පුරාණ සන්නය, 64පි) මෙසේ අල්ලනු ලබන ආගන්තුකපත දික්නුවාවක් හෝ හරස් නුවාවක් පමණවත් විය යුතු බව “ආගන්‌තුකපට්‌ටං ආරොපෙස්‌සාමී’ති යාචන්‌තස්‌ස කුසියා ච අඩ්‌ඪකුසියා ච පහොනකං දාතබ්‌බං”යන සමන්තපාසාදිකා පාඨයෙන් ගම්‍ය වේ. (සපා, සේනාසනක්ඛන්ධකවණ්ණනා, 939පි) කෙසේ වෙතත් සිවුර කඩ කපා මැසීමට ප්‍රමාණවත් නොවන විටක පමණක් මෙසේ ආගන්තුකපතක් යෙදිය හැකි වන අතර කඩ කපා මැසීමට පොහෝනා වේ නම් ආගන්තුකපත සුදුසු නොවේ. එවිට කඩ කපාම සිවුර කළයුතු වේ.

සිවුර සැරසීම පිණිස නොයෙක් වර්ණයන්ගේ නූල් වලින් පත්තෑයන් බඳු මැස්මක් (zigzag) යොදා ආගන්තුකපතක් ඇල්ලීම නුසුදුසු වේ. එසේ නැතහොත් අන් කිසි හිදිකර්මයකින් වෙනසක් කරයිද, සිවුරු පත් දෙක අග ගැළපූ තැන හෝ නුවාවේ හෝ අමුකරල් වැනි මැස්මක් හෝ බළල්දම්වැල් බඳු මැස්මක් හෝ යොදයි ද මේ සියල්ල නුසුදුසු වේ. ප්‍රකෘතියෙන් කරනු ලබන හිදිකර්මයම සුදුසු වේ. ගණ්ඨිකපට්ටය ද (ගණ්ඨිය මැසීමේ දී ඒ මතින් මසනු ලබන කොටුව) පාසකපට්ටය ද (පාසය අල්ලන කොටුව) අටකොණ් ඇතිව හෝ සොළොස් (16) කොණ් ඇතිව හෝ කරත් ද, ඒ ගණ්ඨිපට්ටයේ හා පාසපට්ටයේ චෛත්‍ය සටහන්, යගදා සටහන්, මුගුරු සටහන් දක්වත් ද, එහි කකුළුඇස් නංවයි (Emboss) ද ඒ සියල්ල නුසුදුසු වේ. සතරැස් කොටුවක් පමණක් සුදුසු වේ. එහි කෙළවර නූල් ගැට ඇති කළ ඒවා සිවුර රදන්ගැන්වීමෙන් අප්‍රකට රූප බවට පත්වේ ද සුදුසු වේ. රදන්ගැන්වූ පසු ද ප්‍රකටව පෙනෙන නූල් ගැට ආදිය නුසුදුසු වේ. එසේම සිවුරු කොන් වල නූල් එල්ලෙමින් පැවතීම ද නුසුදුසු වේ. සිවුර රදන් ගන්වා එල්ලා තැබීමට සිවුරු නුවාවේ මුදුවක් කොට බඳිනු ලබන කණ්ණසුත්තකය ‘අනුජානාමි භික්ඛවෙ කණ්ණසුත්තකං’ යැයි අනුදැන වදාළ බැවින් සුදුසු වේ. ඇත්දළ ආදියෙන් කළ ගණ්ඨිකයෙහි ද එය හැඩකිරීම පිණිස ඉරි ඇඳීම හෝ බිංදු මතු කිරීම නුසුදුසු වේ. එසේ ඇත්නම් සිඳ දමා පරිභෝග කළයුතු වේ.

රදන් ගැන්වීම / පඬු පෙවීම

සිවුරු රදන් ගැන්වීම පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ අනුදැනීම් අතර පළමුවෙන්ම හමුවන්නේ රදන් වර්ග සයක් අනුදැනීමයි. එසමයෙහි භික්ෂූහු ගොමින් ද පඬුවන් මැටියෙන් ද සිවුරු පඬු පෙවූ අතර ඒ හේතුවෙන් සිවුරු දුර්වර්ණ විය. ඒ බව භාග්‍යවතුන් වහන්සේට සැලකළ කල්හි “අනුජානාමි, භික්‌ඛවෙ, ඡ රජනානි – මූලරජනං, ඛන්‌ධරජනං, තචරජනං, පත්‌තරජනං, පුප්‌ඵරජනං, ඵලරජනන්‌ති.”(මහාවග්ගපාළි, චීවරක්ඛන්ධකය, 706පි) යනුවෙන් පඬු වර්ග සයක් අනුදැන වදාළ සේක. ඒ අනුව මුල්පඬු, දඬුපඬු, පොතුපඬු, කොළපඬු, මල්පඬු, ඵලපඬු යන පඬු වර්ග සය අනුදන්නා ලදහ.

ඉහත සිවුරු කඩ කැපීම අනුදන්නා ලද අවස්ථාවේ ඊට නිමිති වන්නේ භික්ෂූහු කඩ නොකැපූ එසේම වරක් හෝ දෙකක් පඬු පොවා දත්පැහැය මෙන් කසට පැහැ ඇති සිවුරු දැරීමයි. එහි දී භාග්‍යවතුන් වහන්සේ එසේ දත්පැහැයට කසට පැහැ ඇති සිවුරු දැරීම ප්‍රතික්ෂේප කළ බවක් දක්නට නොලැබුණද එබඳු සිවුරු නොම දැරිය යුතු බව ගම්‍ය වේ. ඒ නිසාම විනයාලංකාර ටීකාව ‘අච්ඡින්නකානි චීවරානි දන්තකාසාවානි න ධාරෙතබ්බානි’ යනුවෙන් එසේ දත්පැහැයට පඬු පෙවූ සිවුරු නොම දැරිය යුතු බව පවසයි. එම නිසා මැනවින් පඬු පෙවූ සිවුරුම දැරිය යුතු වේ. එහි දී පඬු පෙවීමට භාවිත කළ යුතු පඬුවර්ග සයක් අනුදන්නා ලද බැවින් එකී වර්ග අතරින් එක්තරා පඬු වර්ගයකින් සිවුරු පඬු පෙවිය යුතු වේ.

මෙසේ පඬු වර්ග අනුදැනීමට පෙර භික්ෂූහු ගොම වලින් හා පඬුවන් මැටි වලින් සිවුරු පඬු පොවා ඇති අතර එයින් සිවුරු දුර්වර්ණ වූ බව පැවසේ. එයට විසඳුමක් ලෙස පඬු වර්ග සයක් අනුදැන වදාළ බැවින් ගොම සහ පඬුවන් මැටි සිවුරු සඳහා භාවිත නොකළයුතු බව ගම්‍ය වේ. ඒ බව විනයාලංකාර ටීකාවේ ‘න ඡකණෙන වා පණ්ඩුමත්තිකාය වා රජිතබ්බං’ යැයි පැවසේ. මෙහි පණ්ඩුමත්තිකා යන්නෙන් තඹපැහැ මැටි වර්ගයක් අදහස් වන බව සමන්තපාසාදිකා විනයාර්ථකථාවේ එන ‘පණ්ඩුමත්තිකායාති තම්බමත්තිකාය’ යන්නෙන් පැහැදිලි වේ. කෙසේ නමුත් මෙහි දී බුදුරජාණන් වහන්සේ මෙම ගොම හා පඬුවන් මැටි ඍජුව ප්‍රතික්ෂේප කිරීමක් සිදු කර නැත. විශේෂයෙන් පඬුවර්ග සයක් අනුදැනීමට හේතුව වන්නේ ගොම සහ පඬුවන් මැටි වලින් සිවුරු පඬු පෙවීමෙන් දුර්වර්ණ වූ බැවිනි. එහෙයින් විනයාලංකාර ටීකාව ද එයින් සිවුරු පඬු පෙවීමෙන් ඇවතක් වන බවක් නොම පවසා ‘තාය රජිතචීවරං දුබ්බණ්ණං හොති = ඒ ගොම හා පඬුවන් මැටියෙන් රදන් ගැන්වූ සිවුර දුර්වර්ණ වේ’ යනුවෙන් පවසා නිහඬ වේ. ථෙරවාදීන්ගේ අනල්ප සම්භාවනාවට පාත්‍ර වූ වජිරබුද්ධි ටීකාචාර්යයන් වහන්සේ මේ පිළිබඳ ‘ගොමයෙ ආපත්ති නත්ථි, විරූපත්තා වාරිතං = ගොමයෙහි ඇවැත් නැත. විරූප බැවින් වළකන ලදී’ යනුවෙන් ගොම වලින් රදන් ගැන්වීමේ ඇවැත් නොවන බව පවසති. එබැවින් විමසා බැලිය යුතු වේ. විනයෙහි වඩාත් ගරුබව සලකන මහතෙරුන් වහන්සේලා මෙම සවැදෑරුම් පඬු වර්ගයන්ගෙන්ම සිවුරු පඬු පෙවීම ප්‍රශංසා කළ බැවින් එය වඩාත් සුදුසු වේ.

සවැදෑරුම් පඬු වර්ග අතරින් මුල්රදන් (මුල්පඬු) ලෙස කහ හැර සෙසු සියලු මුල්වර්ග භාවිතය සුදුසු වේ. දඬුරදන් අතරින් මදටිය දඬු සහ පතඟි (තුඞ්ගහාර) දඬු අකැප වේ. සෙසු සියලු දඬුපඬු සුදුසු වේ. පොතුරදන් අතරින් ලෝලු (ලොද්දං) සහ කඩොල් (කණ්ඩුලං) පොතු නුසුදුසු වේ. කසා කොළ (අල්ලිපත්ත) ද බේරු (කිහිරි) කොළ (නිල්ලිපත්ත) ද හැර සෙසු සියලු කොළ වර්ග පඬු ලෙස සුදුසු වේ. ගිහියන් පරිභෝග කළ යම් වස්ත්‍රයක් ලැබුණේ නම් එක් වරක් පමණක් කසාපත්‍රයෙන් රදන් ගැන්වීමට සුදුසු වේ. මල්රදන් අතරින් එරබදු (කෑල) මල් (කිංසුකපුප්ඵං) ද වණුක් මල් (කුසුම්භපුප්ඵං) ද හැර සෙසු මල් සුදුසු වේ. වජ්රබුද්ධි ටීකාවෙහි සඳහන් වන්නේ කොකුම් මල් (කුඞ්කුමපුප්ඵ) ද නුසුදුසු යැයි පැවසෙන බවයි. ඵලරදන් යටතේ අකැප වන්නක් නැති. සියලු ඵලපඬු සුදුසු වේ. මෙසේ අකැප පඬු වර්ග හැරපියා කැප පඬු වර්ගයකින් සිවුරු පඬු පොවාගත යුතු වේ.

මෙහිදී වර්තමානයේ ඇති කෘතිම පඬු වර්ග කැප වන්නේදැයි විවිධ අදහස් පළ වේ. එහි දී සලකා බැලිය යුතු වන්නේ එකී කෘතිම පඬු වර්ග ඉහත කී ගොම වලට හෝ පඬුවන් මැටි වලට හෝ අකැප යැයි සඳහන් කළ මුල්වර්ගාදියට අනුලොම් වන්නේද යන්නයි. ගොම සහ පඬුවන් මැටි ප්‍රතික්ෂේප වන්නේ එයින් සිවුරු දුර්වර්ණ වන බැවිනි. ඒ අනුව යම් කෘතිම පඬු වර්ගයකින් සිවුරු දුර්වර්ණ වන්නේ නම් එකී කෘතිම පඬු භාවිතය සුදුසු නොවන බව අනුලොම් නයින් සලකා බැලීමේ දී හෙළි වේ. එසේ දුර්වර්ණ භාවයක් සිදු නොවන්නේ නම් එහි සංයුතිය සලකා අකැප මුල්වර්ගාදියට අනුලොම් වන්නේ නම් සුදුසු නොවේ. එසේත් නොවන්නේ නම් කෘතිම පඬු වල සංයුතිය ගොම හෝ පඬුවන් මැටි වලට අනුලොම් වුවද අකැප බවක් නිගමනය කිරීමට සාධක විරල වේ. එහෙත් ගරුභාවයේ පිහිටා යමෙක් කෘතිම පඬු භාවිතයෙන් වැළකෙන්නේ නම් එය සුදුසු වේ.

කෙසේ නමුත් මෙම පඬු වර්ග අනුදැනීමේ දී එකී පඬු වර්ගයන්ගෙන් පඬු පෙවූ සිවුරු පරිහරණය අකැප බවක් බුදුරජාණන් වහන්සේ නොම වදාළ සේක. බුදුරජාණන් වහන්සේ අකැප සිවුරු පිළිබඳ වෙනමම අනුදැන වදාළ බැවින් යම් සිවුරක් පඬුපොවා ඇති පඬු වර්ගය මත පදනම්ව කැපබව හෝ අකැප බව තීරණය කළ නොහැකි වේ. අකැප පඬු භාවිතයේ දී ඇවැත් වන්නේ එකී පඬු පොවන අවස්ථාවේ දී වේ. යම් සිවුරක් කුමන හෝ පඬු වර්ගයකින් පඬු පොවා ලැබුණේ නම්, එය අනෙක් අකැප යැයි වදාළ සිවුරක් නොවන්නේ නම්  පරිභෝග කිරීමේ ඇවැතක් වන බව පැවසීමට ද කරුණු නැත්තේය. එහෙත් භික්ෂූන් ධර්මවිනයෙහි ගරුභාවයේ පිහිටා කැප පඬු පෙවූ සිවුරුම පරිභෝග කිරීම සුදුසු වේ.

පඬු සකස් කිරීම

එසමයෙහි භික්ෂූහු නොපිසූ (හුණු නොකළ) පඬු වලින් සිවුරු රදන් ගැන්වූ අතර එයින් සිවුරු දුගඳ හමන්නට විය. මෙය භාග්‍යවතුන් වහන්සේට සැළ කළ කල්හි පඬු පිසීමට අනුදැන වදාළ සේක. ඒ අනුව කලින් සකස් කළ පඬු තිබේ නම් ඒවා ද මඳක් රත් කොට ගෙන සිවුරු පඬු පෙවීමෙන් දුගඳ හැමීම වළක්වාගත හැකි වේ. අළුතෙන්ම පඬු සකස් කරගන්නේ නම් ඒ සඳහා ඉහත සඳහන් කළ පරිදි කැප පඬු වර්ගයක් පිළියෙල කරගත යුතු වේ. රාමඤ්ඤ මහානිකායේ ආදිකර්තෘ අඹගහවත්තේ මහනාහිමියන් රාමඤ්ඤ දේශයෙන් උපසම්පදාව රැගෙන ආ පසුත් එවකට උන්වහන්සේලාගේ ඇදුරු හිමිවරු වෙත පැවති සම්ප්‍රදායක් වූ ‘කොස් පඬු’ භාවිතය අත නොහළ බව පැවසේ. රාමඤ්ඤ මහානිකායේ ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රමය ඇරඹූ පසුව එහි මුල්කළ නාහිමි වරුන් ද ‘කොස් පඬු’ භාවිතය පැසසූ බව අසා ඇත්තෙමු. මෙසේ අතීතයේ වැඩ සිටි භික්ෂූහු කොස් වැනි ශාක වලින් ලබාගත් පඬු භාවිතා කළහ.

කොස් ශාකයේ අරටුවේ ඇති කසට පඬු සඳහා ගතයුතු වේ. ශාකයේ මුල් වල ඇති අරටුවෙන් ලබාගන්නා පඬු වඩාත් සුදුසු බව පැවසේ. එහි දී ද ‘වැල’ ශාකය වඩාත් උචිත යැයි අසා ඇත්තෙමු. එසේ පඬු සකසා ගැනීමට සුදුසු අරටු කොටස් කැබලි ලෙස හෝ ලීකුඩු ලෙස හෝ ගෙන එයට ජලය දමා බොහෝ වේලා තැම්බීම කළයුතු වේ. එසේ තැම්බීමේ දී ඇතැම් විට පඬු උතුරා යාම සිදුවිය හැකිය. එසේ වුවහොත් එයින් අග්‍ර කොටස ඉවත් විය හැකි වේ. එබැවින් උතුරා යාමට ඉඩ නොදී මැනවින් පිළියෙල කරගත යුතු වේ. මෙසේ පඬු හැළිය උතුරා යාම වළක්වා ගැනීමට බුදුරජාණන් වහන්සේ වට ආධාරකයක් බැඳීමට ද අනුදැන වදාරා ඇත්තේය. එසේ බොහෝ වේලා තම්බාගත් විට ඒ ජලයට කසට මුසු වේ. අනතුරුව එහි ඇති කැබලි හෝ කුඩු ඉවත් කරගැනීමට පෙරාගත යුතු වේ. අනතුරුව එසේ පෙරාගත් පඬු ජලය පදමට හුණු කරගතයුතු වේ. මැනවින් පදමට හුණු වූ බව දැනගැනීමට භාග්‍යවතුන් වහන්සේ එසේ හුණු කරගත් පඬු බිංදුවක් ගෙන දියෙහි හෝ නිය පිටෙහි දැමීමට අනුදැන වදාළ සේක. මැනවින් පිසුණු පඬු බිංදුව දියෙහි වහා නොවිසිරී පවතී. මැනවින් නොපිසී ඇති කළ දියෙහි වහා විසිරේ. නිය පිට දැමීමේ දී ද එසේම වහා නොවිසිරී පවතී.

මෙසේ මැනවින් පදම ගෙන පිසගත් පඬු මඳක් නිවෙන්නට හැර පඬු ඔරුවේ තැබූ සිවුරට මඳින් මඳ දමමින් සිවුර රදන් ගැන්විය යුතු වේ. එහිදී සිවුර මැනවින් නවාගෙන මුළු සිවුරටම පඬු කැවෙන සේ රදන් ගැන්විය යුතු. අනතුරුව වියළාගත යුතු වේ. එසේ වියළා ගැනීමේ දී ද සිවුරෙන් පඬු බිංදු වැගිරේ නම්, එතැනින් ඉවත් නොවී ඒ අසල සිටිය යුතු බවට පනවා ඇත්තේය. පඬු බිංදු වැගිරීමෙන් ඇවතක් සිදු නොවන අතර එසේ වැගිරෙන සිවුර වියළෙන්නට දමා ඇති අසල රැඳී නොසිටීමෙන් ඇවැත් වේ. එසේ පඬු බිංදු වැගිරෙන සිවුරක් වියළෙන්නට දමා ඇති විටක, ඒ අසල භික්ෂුවක් නොසිටියහොත් කරුණු හරිහැටි නොදන්නා ගිහි භවතෙක් පැමිණ එය දැක වැරදි අදහසක් ඇති කරගත හැකි බැවින් එබඳු පැනවීමක් කර ඇත. සිවුරට පඬු වැඩි වී සිවුර තද බවට පත් වී ඇති විටක දියෙහි බහාලීමට අනුදැන වදාළ සේක. කෙසේ නමුත් පඬු පෙවූ සිවුර ‘බෝඹු කොළ’ වැනි සිවුරු සේදීමට භාවිතා කරන පත්‍ර තැම්බූ ජලයෙන් සේදීම කරනු ලැබේ. එවිට සිවුර සමව මැනවින් රදන් ගැන්වී නොමැති නම් එය මනා බවට පත් වේ. එසේ ම රදන් ගැන්වූ සිවුර රළු වේ නම් අතින් පොඩි කරන්නට ද අනුදැන වදාරා ඇත.

සිවුරු සඳහා සකස් කළ පඬු වලට සුවඳ ද්‍රව්‍ය හෝ ලාක්ෂා (පැහැය පිණිස) හෝ තෙල් වර්ග (බැබලීම පිණිස) දැමීම නුසුදුසු වේ. එසේම කැඳ හෝ පිටිතලප ආදියෙහි සිවුරු දැමීම නුසුදුසු වේ. සිවුරු මැසීමේ දී අතින් කිළිටි වීම්, හිදිකටුමලින් කිළිටි වීම් ආදිය සේදීම පිණිස ද, කිළිටි වූ කලෙක සේදීම පිණිස ද කැඳ ආදිය දැමීමෙහි වරද නැති. එසේ නොමැතිව සිවුර මහානර්ඝ කිරීම පිණිස කැඳ ආදිය දැමීම නුසුදුසු වේ. සිවුර පඬු පොවා එය සකෙන් (හක්ගෙඩියෙන්) හෝ නිල්මැණික් ආදී මටසිළුටු පාසාණයකින් හෝ එවැනි යම් කිසිවකින් ගැටීම නුසුදුසු වේ. දණ බිම ඇණ සිවුර අත්වලින් ගෙන පඬු ඔරුවේ ගැටීමද නොකළයුතු. පඬු ඔරුවේ හෝ ආධාරකයක සිවුර තබා එහි කෙළවර ගෙන අතින් පහරදීම සුදුසු වේ. එය ද මිටින් නොකළ යුතු. පුරාණ තෙරුන් වහන්සේලා සිවුර පඬු ඔරුවේ ද නොතැබූ බවත්, එක් තෙරුන් වහන්සේ කෙනෙක් සිවුර ගෙන සිටින අතර අනෙක් තෙරුන් වහන්සේ කෙනෙක් අතින් ගෙන අතින් පහර දුන් බව පැවසේ.(සපා, දුතියපාරාජික වර්ණණාව, කැප අකැප පරිෂ්කාර විනිශ්චය, 209පි)

මෙසේ කැප සරුප් අන්දමට පිළියෙල කරගත් පඬු භාවිතයෙන් නිවැරදි ක්‍රමවේදයට සිවුරු රදන් ගැන්වීමට භික්ෂූහු සමත් විය යුත්තාහුය. පින් කැමති ගිහි භවතුන් ද අතීතයේ පවා එබඳු භික්ෂූන්ගේ කටයුතු වලට උපකාර කොට කුසල් රැස් කරගත්හ.

සිවුරු සහා අකැප වර්ණ

සිවුරු සකස් කිරීමේ දී මීළඟට සැලකිය යුතු තවත් වැදගත් අංශයක් වන්නේ සිවුරු වර්ණයයි. බුදුරජාණන් වහන්සේ විනය පිටකයේ චීවරක්ඛන්ධකයේ සිවුරු සඳහා අකැප වර්ණ සතක් (7) වදාළ සේක. “න, භික්‌ඛවෙ, සබ්‌බනීලකානි චීවරානි ධාරෙතබ්‌බානි, න සබ්‌බපීතකානි චීවරානි ධාරෙතබ්‌බානි, න සබ්‌බලොහිතකානි චීවරානි ධාරෙතබ්‌බානි, න සබ්‌බමඤ්‌ජිට්‌ඨකානි චීවරානි ධාරෙතබ්‌බානි, න සබ්‌බකණ්‌හානි චීවරානි ධාරෙතබ්‌බානි, න සබ්‌බමහාරඞ්‌ගරත්‌තානි චීවරානි ධාරෙතබ්‌බානි, න සබ්‌බමහානාමරත්‌තානි චීවරානි ධාරෙතබ්‌බානි, … යො ධාරෙය්‍ය, ආපත්‌ති දුක්‌කටස්‌සාති.” යනුවෙනි. (මහාවග්ගපාළි, චීවරක්ඛන්ධකය, 742පි) ඒ අනුව සියල්ලෙන් සියල්ල නිල්පැහැ, කහපැහැ, රතුපැහැ, මදටියපැහැ, කළුපැහැ, රත්වෑපිට පැහැ සහ පණ්ඩුපලාසවර්ණය යන වර්ණයන්ගෙන් යුතු සිවුරු අකැප වේ. එහිලා එකිනෙක වර්ණ පිළිබඳ විනිශ්චය සමන්තපාසාදිකා විනයාර්ථකථාවේ චම්මක්ඛන්ධක වර්ණනාවේ දැක්වේ.

ඒ අනුව නිල්පැහැය යන්න දියබෙරළිය මලේ පැහැය වේ. ඒ හැර සෙසු නිල්පැහැය අකැප බවක් නොපෙනේ. කහපැහැය යන්න කිණිහිරි මලේ පැහැය ලෙස දක්වා තිබේ. රතුපැහැය යන්න බදුවද මලේ පැහැයයි. එය වනාහී තද රතු පැහැයක් වේ. මදටිය ඇටයේ පැහැය ද අකැප වේ. පෙණල ඇටයේ පැහැය වන තද කළු පැහැය ද අකැප වේ. රත්වෑයා යනු පත්තෑයා වේ. එකී සත්වයාගේ පිටේ වර්ණය අකැප වේ. එනම් දුඹුරු පැහැයට හුරු පැහැයක් වේ. පණ්ඩුපලාස වර්ණය යන්න විනයාර්ථකථාවේ මිශ්‍රක වර්ණයක් ලෙස දක්වා තිබේ. පණ්ඩුපලාස යනු ඉදුණු පත්‍රය අදහස් වේ. ඉදුණු පත්‍රෙය් පැහැය මිශ්‍රක වර්ණයක් යැයි පැවසීම සියුම්ව විමසුය යුතු වේ. සෑම ඉදුණු පත්‍රයක්ම ලෙන සමීපව බැලූ විට දිස්වන්නේ එහි එක් වර්ණයක් නොව විවිධ වර්ණ ඇති බවයි. අනෙක් අතට සියලුම ශාක වල ඉදුණු පත්‍ර එකම වර්ණයක් නොවේ. ඒ අනුව මෙම පණ්ඩුපලාස වර්ණය යන්නෙන් අදහස් වන්නේ  විවිධ වර්ණ මිශ්‍රවූවක් බව හෙළි වේ. එනම් චීත්ත මෝස්තර මෙන් විවිධ වර්ණයන්ගෙන් යුතු සිවුරු අකැප වේ. කුරුන්දි අටුවාවේ දැක්වෙන්නේ මෙය ‘පදුමපුප්ඵවණ්ණා’ යනුවෙන් බව පැවසේ. එනම් පියුම්පතේ පැහැයයි. මෙහිදී අර්ථකථාවෙහි එකිනෙක පරස්පර විනිශ්චයන් දෙකක් ලෙස ඇතමෙකුට සිතිය හැකි වේ. එහෙත් එසේ නොව අර්ථකථා දෙකෙහි එකම කාරණය වෙනස් වචන වලින් කියූ ආකාරය වේ. පියුම් යැයි කී විට පියුම් වර්ග පසක් (පස් පියුම්) සඳහන් වේ. ඉන් කුමන පියුමේ වර්ණය දැයි සඳහන් නොවන බැවින් විවිධ වර්ණ අදහස් කළ බව හෙළි වේ. ඒ අනුව පණ්ඩුපලාස වර්ණය යනු වර්ණ කිහිපයකින් යුතු වූවකි. එසේ විවිධ වර්ණයන්ගෙන් මිශ්‍රව සිවුරක් දැරීම අකැප වේ. මෙකී අකැප වර්ණයන්ගෙන් යුත් සිවුරු දැරීම නොකළයුතු යැයි පනවා වදාළ බැවින් එබඳු පැහැයෙන් යුතු සිවුරක් දරන්නේ නම් ප්‍රයෝගයක් පාසා දුකුලා ඇවැත් වන බව දතයුතු. එබඳු පැහැ ඇති සිවුරු වස්ත්‍රයක් ලැබුවහොත් එහි වර්ණය පහ කොට කැප වර්ණයෙන් රදන් ගන්වා පරිභෝග කළ යුතු වේ. එසේ වර්ණය ඉවත් කිරීම නොහැකි වන විටක පසතුරුණක් (සිවුර හෝ සෙනසුන ආරක්ෂාවට භාවිත කරන ඇතිරිල්ලක්) ලෙස භාවිත කළ හැකි වේ. නැතහොත් දෙපට සිවුරෙහි සිවුරුපට මැදට යෙදිය හැකි වේ.

මෙසේ අකැප වර්ණ පිළිබඳ අනුදැන වදාළ නමුදු සිවුරේ වර්ණය නිසැකවම මෙය පමණක් යැයි නියම කළ නොහැකි වේ. සූත්‍රාගත කරුණු අනුව භාග්‍යවතුන් වහන්සේගේ සිවුරේ පැහැය පිළිබඳ නොයෙක් අදහස් දක්නට ලැබේ. ඒ සෑම තැන්හිම ඒකාකාරීව සිවුරේ පැහැය නොපැවසෙන අතර ඒ මත පිහිටා විනයානුකූල චීවරයේ වර්ණය පිළිබඳව නිගමනයට එළඹීම ප්‍රශස්ත නොවේ. විනයානුකූල භාවය පිණිස විනයපිටකයේ, මහාවග්ගපාළි චීවරක්ඛන්ධකයේ එන පරිද්දෙන් අකැප වර්ණ හැරපියා කැප වර්ණයකින් කළ සිවුරක් පරිභෝග කළ යුතු වේ.

අකැප සිවුරු

භික්ෂූන් වහන්සේලා හට  භාවිතා නොකළයුතු යැයි භාග්‍යවතුන් වහන්සේ විසින් පනවා වදාළ සිවුරු පිළිබඳ චීවරක්ඛන්ධකයේ සඳහන් වේ. ඒ අනුව ඉහත අකැප වර්ණයන්ගෙන් යුතු සිවුරු භාවිතය අකැප වන අතර ඊට අමතරව අකැප සිවුරු කිහිපයක් පිළිබඳ පැනවීම් දක්නට ලැබේ. ඒ අතර කුසවැහැරි (කුසචීර), වාකවැහැරි හෙවත් තාපසයන්ගේ පට්ටා වස්ත්‍රය (වාකචීර), පුවරු සටහන් එක් කර පුවරුවැහැරිය (ඵලකචීර) යන වැහැරි සිවුරු ද, කෙස් වලින් කළ කම්බිලිය (කෙසකම්බලං), සැඩමෘගයන්ගේ සමින් කළ වස්ත්‍රය (වාලකම්බලං), බකමුහුණු පියාපතින් කළ හඳනය (උලූකපක්ඛං), අඳුන් දිවිසම (අජිනක්ඛිපං) යන සිවුරු හැඳීම පෙරවීම අකැප වේ. (මහාවග්ගපාළි, චීවරක්ඛන්ධකය, 740පි)ඒ සියල්ල තීර්ථකයන්ගේ වස්ත්‍රය හා සම බැවින් ප්‍රතික්ෂේප කරන ලදී. යම් භික්ෂුවක් ඒ කුසචීරාදියක් දරන්නේ නම් ථුලැසි ඇවැත් වේ. එසේම වරාහුයෙන් කළ වස්ත්‍රය (අක්කනාළමයං) ද, කෙසෙල්පට්ටා, නියඳ වැහැරි ආදියෙන් කළ සිවුර ද දැරීම අකැප වේ. යම් භික්ෂුවක් දරන්නේ නම් දුකුලා ඇවැත් වේ. (මහාවග්ගපාළි, චීවරක්ඛන්ධකය, 742පි)

තවද “න, භික්‌ඛවෙ, … න අච්‌ඡින්‌නදසානි චීවරානි ධාරෙතබ්‌බානි” යනාදී ලෙස පනවා වදාළ බැවින් යම් සිවුරක දහවලු දක්නට ලැබේ ද, ඒවා සිඳ දමා භාවිතා කළයුතු වේ. යම් හෙයකින් සිවුරු කොනේ නූල් කැබලි එල්ලෙන විටක දී එයද දහවලු සංඛ්‍යාවට යන්නේ නම් ඉවත් කළයුතු වේ. එසේම දිග දහවලු සහිත (දීඝදසානි), මල්දහවලු සහිත (පුප්ඵදසානි), පෙණගොබ බඳු දහවලු සහිත (ඵණදසානි) ආදිය අකැප වේ. තවද කඤ්චුක (සැට්ටය) නොදැරිය යුතු වේ. තිහිරිපිළී (තිරීටකං) නොදැරිය යුතු වේ. හිස්වෙළුම් (වෙඨනං) නොදැරිය යුතු වේ. (මහාවග්ගපාළි, චීවරක්ඛන්ධකය, 742පි) එසේ දහවලු සහිත සිවුරු ආදී අකැප සිවුරු දරන භික්ෂුවට දුකුලා ඇවැත් වේ.

මෙසේ අකැප චීවර පිළිබඳ අනුදැන වදාළ නමුදු සිවුරු පැහැරගනුලැබූ භික්ෂුවට නම් අකැප සිවුරක් නැත්තේය. එනම් යම් භික්ෂුවක් අතරමග ගමන් කරන විට සොරුන් විසින් සිවුරු පැහැරගනු ලැබුයේ නම්, ‘න ත්‌වෙව නග්‌ගෙන ආගන්‌තබ්‌බං. යො ආගච්‌ඡෙය්‍ය, ආපත්‌ති දුක්‌කටස්‌ස.’ යැයි වදාළ ආකාරයට නග්නව ගමන් නොකළ යුතු බැවින් ලබාගත හැකි කිසියම් දෙයක් හැඳගැනීමේ ඇවැත් නොවේ. කොල අතු කඩා හැඳගැනීමේ වුවද වරද නැති. එහිලා භූතගාම පාතව්‍යතා ඇවතින් ද මිදේ. තවද යම් කිසි වස්ත්‍රයක් ලැබේ ද එය දහවලු සහිත හෝ වේවා, නිල්පැහැ ආදී අකැප වර්ණයක් හෝ වේවා හැඳගැනීමේ ඇවැත් නොවේ. ඒ බව ‘තානි සදසානි වා හොන්තු අදසානි වා නිලාදිනානාවණ්ණානි වා කප්පියානිපි අකප්පියානිපි සබ්බානි අච්ඡින්නචීවරට්ඨානෙ ඨිතත්තා තෙසං නිවාසෙතුඤ්ච පාරුපිතුඤ්ච වට්ටන්ති = දහවලු සහිත හෝ රහිත හෝ වෙත්වා, නීලාදී නොයෙක් වර්ණ ඇත්තේ හෝ වෙත්වා, කැප හෝ අකැප හෝ සියල්ල අච්ඡින්නචීවරස්ථානයේ සිටි බැවින් (සිවුරු පැහැරගනුලැබූ තත්වයෙහි සිටි බැවින්) ඔවුනට හැඳීමට ද පෙරවීමට ද සුදුසු වෙත්’ යනුවෙන් සමන්තපාසාදිකා විනයාර්ථකථාවේ අඤ්ඤාතකවිඤ්ඤත්ති සිකපද වර්ණනාවේ පැමිණේ. ( සපා, 480පි) එසේම සිවුරු පැහැරගනු ලැබූ භික්ෂුවට තීර්ථකයන් මුණගැසුණ හොත්, ඔවුන්ගේ කුසචීර ආදිය දෙත් ද ඔවුන්ගේ තීර්ථක ලබ්ධිය නොගෙන කුසචීරාදිය හැඳගත යුතු වේ. ඒ කුසචීරාදිය හැඳගෙන ද ඒ තීර්ථක ලබ්ධි නොගත යුතු වේ.

 සමාප්තිය

මහාකාරුණික වූ තථාගතයන් වහන්සේ නිස්සරණාධ්‍යාශයෙන් සසුන්වන් කුලපුත්‍රයන් හට නිවන් සාක්ෂාත් කරගනු පිණිස පැවිදිගුණදම් පුරාගැන්මට පහසුව පිණිස චීවරය පිළිබඳ නොයෙක් අවස්ථාවල නොයෙක් පැනවීම් වදාළ සේක. ධූතගුණ සපුරාලමින් අල්පේච්ඡව පැවිදි ගුණදම්පිරීම ප්‍රශංසා කළ බුදුරජාණන් වහන්සේ ඒ සඳහා භික්ෂූහු උනන්දුකරවන සේක් පාංශුකූලික චීවර පරිභෝගයට අවස්ථාව දුන් අතර ගෘහපති චීවර පිළිගැනීමට ද ඉඩප්‍රස්ථා සලසා දුන් සේක. එසේ පංසුකූලිකව හෝ ගෘහපති චීවර ඉවසීමෙන් හෝ ධාර්මිකව ලැබෙන චීවරය සකස් කරගන්නා ආකාරය පිළිබඳ නොයෙක් පැනවීම් වදාළ සේක.

මෙසේ භික්ෂුවක් කැපසරුප් ආකාරයට සකස් කළ සිවුරක් පරිභෝග කළයුතු අතර සිවුරු සකස් කිරීමේ එකිනෙක කටයුතු පිළිබඳ දක්ෂ සහ අනලස විය යුතු වේ. සිවුරු සකස් කිරීමේ දී පඬු සකස් කිරීම ආදී ඇතැම් කටයුතු වර්තමානයේ භික්ෂූන් වෙතින් ගිළිහී යන බවක් දක්නට ලැබෙන බැවින් එකී කුදුමහත් කටයුතු පිළිබඳ භික්ෂුවක් සතු දක්ෂතාවය ආර්යවංශ ප්‍රතිපදාව පූරණය කරමින් නිවන් මග ගමන් කිරීමට මහෝපකාරී වේ. චීවර පිළිබඳ යථාලාභාදී සංතෝෂයට පත්ව සසුන් මිහිර විඳගැන්මට එය රුකුලක් වේ. එබඳු භික්ෂුව අතීත මහතෙරුන් වහන්සේලා විසින් රැකගෙන පැමිණි දුර්ලභ සසුන් පිළිවෙත් අනාගතයට ද රැකගනිමින් ඒවා අනාගත පරපුරට දායාද කරයි. එය සසුන් සුරැකුමට දායක වන්නක් වේ.

විශේෂයෙන්ම චීවරය පිළිබඳ විනයානුකූල පැනවීම් නිරාකූලව දැනගන්නා භික්ෂුව දුකුලා ඇවතකට නමුදු පත් නොවී සුපිරිසිදුව ශීලස්කන්ධය පරිපූරණය කරන්නේය. එය උන්වහන්සේගේ නිර්වාණගමනට අතිශය උපකාරීවේ. එබැවින් යම් භික්ෂුවක් චීවරය පිළිබඳ විනයෙහි එන පැනවීම් නිවැරදිව පෙළ අර්ථකථා සහ ටීකා ඇසුරෙන් උගෙන, දරාගෙන, තවත් පිරිසකට කියා දී තමනුත් නොපිරිහෙළා ශීලස්කන්ධය සපුරා, සමාධි ප්‍රඥා ස්කන්ධයන් සම්පූර්ණ කරගෙන නිර්වාණය සාක්ෂාත් කරගෙන සිවුපසය පුදන ගිහි භවතුන්ගේ පූජාවන් මහත්ඵල මහානිසංස කරන්නේය.

සම්පාදක

ත්‍රිපිටකාචාර්ය, විද්‍යාවේදී

මහව ඤාණාලෝක ස්වාමීන් වහන්සේ