ත්‍රිපිටක සද්ධර්මය අටුවා ටීකා හා පාළි භාෂාව පිළිබඳ මතවාද විමසුමක්

 

  • ත්‍රිපිටක සද්ධර්මය අටුවා ටීකා හා පාළි භාෂාව පිළිබඳ මතවාද විමසුමක් – ‌දෙවන ‌‌‌කොටස 

 

 

 

Download PDF

 

 

   

අතිපූජනීය නාඋයනේ අරියධම්ම අනුනාහිමි ගුණානුස්මරණ 

“විමතිවිච්ඡේදනී” ග්‍රන්ථමාලාව – අංක 01

 

පටුන

ත්‍රිපිටක සද්ධර්මය අටුවා ටීකා හා පාළි භාෂාව පිළිබඳ මතවාද විමසුමක් – පළමු කොටස 

01  ත්‍රිපිටක ශ්‍රී සද්ධර්මය

අභිධර්ම පිටකය

අභිධර්ම පිටකය ගැන මෑතකාලීන ශ්‍රේෂ්ඨ මහතෙරවරුන්ගේ අදහස්

විනයපිටකයේ පරිවාරපාළිය

සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායට අයත් ඇතැම් පොත්

02         අර්ථකථා, අට්ඨකථා නොහොත් අටුවා

අටුවාව දැනගැනීමේ ඇති වැදගත්කම පිළිබඳ පෙළෙහි දැක්වෙන උදෘත කීපයක් මෙසේ දක්වමු

පූර්වාචාරීන් වහන්සේලා යැයි අටුවා වල දක්වන්නේ කවුරුන්ද?

අටුවා නොතිබුනා නම්

අටුවා ගැන වංසකථා වල දැක්වෙන අයුරු

අටුවා ගැන මෑතකාලීන ශ්‍රේෂ්ඨ මහතෙරවරුන්ගේ අදහස්

පිළිවෙත් සරු යෝගාශ්‍රමීය මාහිමිපාණන් වහන්සේලා අටුවා-ටීකාදිය පිළිබඳ දරණ අදහස

03         බුද්ධඝෝස මහාස්වාමිපාදයන්   වහන්සේ යනු කවුද?

ලක්දිවට වැඩමකිරීමට පෙර අවදිය

ලක්දිවදී සිදුකළ සාසන මෙහෙවර

එතුමන්ට කරන දෝෂාරෝපන හා ඒවාට පිළිතුරු

බුදුගොස් ඇදුරිඳු ගැන පුරාණ ශ්‍රේෂ්ඨ උතුමන්ගේ අදහස් කිහිපයක්

එතුමන් ගැන අතිපූජනීය නාඋයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේ දැක්වූ අදහස

බුදුගොස් මාහිමි තමාගේ අදහස් අටුවාවන්හි දැක්වූ අයුරු

එතුමන් වහන්සේගේ හැකියාව ගැන නූතන ග්‍රන්ථ කර්‍තෘවරුන්ගේ අදහස්

04         ටීකා ග්‍රන්ථ හා ටීකා ඇදුරුපාණන්  වහන්සේලා

ටීකා යනු මොනවාද?

ටීකා ඇදුරුපාණන් වහන්සේලා යනු කවුද?

ටීකා පිළිබඳ ඇති දුර්මත කීපයක් හා ඊට පිළිතුරු

ත්‍රිපිටක සද්ධර්මය අටුවා ටීකා හා පාළි භාෂාව පිළිබඳ මතවාද විමසුමක් – ‌දෙවන ‌‌‌කොටස 

05         බුදුරජාණන්වහන්සේ දහම් දෙසූ භාෂාව හා ඒ ගැන ඇති මතවාද

භාෂා

පාළි භාෂාව

පාළි භාෂාව හැදෑරීමේ ඇති වැදගත් කම

සිංහල පරිවර්තන වල අපට හමුවූ වැරදි කීපයක්

පාළි වියරණය

06         විශුද්ධිමාර්ගය, අප රටේ ප්‍රචලිත භාවනා ක්‍රම, ඒ  පිළිබඳ ඇති දුර්මත හා ඊට පිළිතුරු

විශුද්ධිමාර්ගය

I       ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රමයේ භාවිත කරන භාවනා ක්‍රම

II     මහාසී භාවනා ක්‍රමය

III   ඵා ඖ භාවනා ක්‍රමය

IV   ගොඑන්කා භාවනා ක්‍රමය

මෙම භාවනා ක්‍රම පිළිබඳ පොදුවේ පවතින වැරදි මත කීපයක් හා ඊට පිළිතුරු

07         අභිධර්ම පිටකය, අට්ඨකථාදිය පිළිබඳව මෙසේ වැරදි මත පැනනැගීමේ හේතු මොනවාද?

08         එම අධර්මවාදී මතවාදයන්ගේ නූතන ව්‍යාප්තිය

09         ධර්මය වරදවා දැක්වීමෙන් වන අනතුර

10          අපගේ අදහස

05   බුදුරජාණන්වහන්සේ දහම් දෙසූ භාෂාව හා ඒ ගැන ඇති මතවාද

භාෂා :

“භාසන්ති අත්ථං එතායාති භාසා.[58] (මෙය කරණකොට ගෙන අර්ථය එනම් කියයුතු වූ දෙය ප්‍රකාශ කරත් ද එය භාෂාවක් නම් වේ.)” යනු භාෂා පදයේ නිරුක්තියයි. එබැවින් යම් කෙනෙක් යමක් උපකාර කරගෙන “ගසක් ඇත, මල සුවඳයි” ආදී වූ පැවසිය යුතු අර්ථ පවසත් ද එය භාෂාවක් නම් වේ.

[58] මහාසද්දනීති

පාළි භාෂාව :

          “සම්මා සම්බුද්ධොපි තෙපිටකං බුද්ධවචනං තන්තිං ආරොපෙන්තො මාගධභාසාය එව ආරොපෙසි.[59] (සම්මා සම්බුදු රජාණන් වහන්සේ ද ත්‍රිපිටක බුද්ධ වචනය තන්තියට නගන සේක් මාගධ භාෂාවෙන් ම නැංවූ සේක) “සකාය නිරුත්තියාති එත්ථ සකානිරුත්ති නාම සම්මාසම්බුද්ධෙන වුත්තප්පකාරො මාගධිකො වොහාරො.”[60] (‘සකාය නිරුත්තියා’ යන මෙහි ‘සකානිරුත්ති-ස්වකීය නිරුක්තිය’ යනු සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ආකාර ඇති මාගධික ව්‍යවහාරයයි.)”

 

[59] විභඞ්ග අටුවා

 

[60] විනය අටුවා

ඉහත දැක්වූ ඉපැරණි සාසනික ප්‍රකාශ අනුව දැන් පාළි භාෂාව ලෙස භාවිත වන පදයම පෙර “අරියභාසා, තන්තිභාසා, මාගධභාසා, මාගධිකවොහාර, ධම්මනිරුත්ති, සකානිරුත්ති, සභාවනිරුත්ති” යනාදී වචන වලින් කියැවෙන බව දත යුතුය. එබැවින් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් ධර්මය දෙසූ භාෂාව වර්තමානයේ පාළි භාෂාව ලෙස හඳුන්වත්.

එය පකට්ඨානං ආළීති පාළි, උත්තමානං වචනානං අනුක්කමොති අත්ථො. අථ වා අත්තත්ථපරත්ථාදිභෙදං අත්ථං පාලෙති රක්ඛතීති පාළි. [61] යනාදී සාසනික නිරුක්ති අනුව ප්රකෘෂ්ට (ඉතා උසස්) වචනයන්ගේ පෙළ නුයි පාළි නමි, උතුම් වචනයන්ගේ අනුක්රමය යන අර්ථයි. නැතහොත් ආත්මාර්ථපරාර්ථ ආදී භේද ඇති අර්ථය පාලනය කරයි රකියිනුයි පාළි නමි යැයි පරියත්ති ශ්‍රී සද්ධර්මය පාළි නම් වේ යැයි අර්ථ ගත යුතුය. උපචාර වශයෙන් ඒ පරියත්ති සද්ධර්මය දෙසූ භාසාව ද පාළි නම් වේ. එබැවින් පාළි ච සා භාසා චාති පාළි භාසා (පාළි වූයේත් ඕ ය භාෂාව වූයේත් ඕ යැයි පාළිභාෂා නමි) යැයි නිරුක්තිය ගත හැකිය.

 

 

 

 

[61] විනයාලඞ්කාරටීකා

පාළි භාෂාව හැදෑරීමේ ඇති වැදගත් කම

භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රි සද්ධර්මය දේශනා කළ භාෂාව පාළි භාෂාව බැවින් එම දහමේ නිවැරදිම අරුත දතහැකි වන්නේ පාළි භාෂාව දැනගැනීමෙනි. එය වෙනත් භාෂාවකින් දැක්වීමට යාමේදී බොහෝ සෙයින් අරුත් හානි විය හැකිය. මෑතකදී ද සිංහලයට පරිවර්තන සිදු වුවත් ඒවායේ බොහෝ දෝෂ දක්නට ලැබේ. එම පරිවර්තන හරිහැටි අධීක්‍ෂණයකට ලක්වන බවක් ද නොපෙනේ. මෑතදී සිදුකෙරුණු දහම් ග්‍රන්ථ පරිවර්තන පිළිබඳව ධර්මධර උතුමෝ අසතුටු වන්නේ එහෙයිනි. දැනගැනීම පිණිස එවන් වැරදි කීපයක් මෙසේ සටහන් කරමු.

සිංහල පරිවර්තන වල අපට හමුවූ වැරදි කීපයක්

1 ‘‘කතමො ච, භික්‌ඛවෙ, පුග්‌ගලො සද්‌ධානුසාරී? ඉධ, භික්‌ඛවෙ, එකච්‌චො පුග්‌ගලො යෙ තෙ සන්‌තා විමොක්‌ඛා අතික්‌කම්‌ම රූපෙ ආරුප්‌පා තෙ න කායෙන ඵුසිත්‌වා විහරති, පඤ්ඤාය චස් දිස්වා එකච්චෙ ආසවා පරික්ඛීණා හොන්ති,….. (කීටාගිරි සූත්‍රය – ඡට්ඨසංගායනා සංස්කරණය)

මේ කීටාගිරි සූත්‍රයේ සද්ධානුසාරී යන පදය විස්තර කළ අයුරුයි. එහි තේරුම “මහණෙනි, සද්ධානුසාරී පුද්ගලයා යනු කවරෙක් ද? මහණෙනි මේ සාසනයෙහි ඇතැමෙක් රූපසමාපත්තීන් ඉක්මවා ආරුප්‍ය වූ යම් ශාන්ත විමෝක්‍ෂයන් ඇත්ද, ඒවා නාමකයින් ස්ඵර්ශ කොට නොවෙසෙයි. එසේම ඔහු විසින් ප්රඥාවෙන් චතුරාර්ය සත් දැක ඇතැම් ආශ්රව ක්ෂය කරන ලද්දාහු වෙති….” යන්නයි. ඉහත කළු අකුරින් දැක්වූ පාඨය වෙනුවට සිංහල පරිවර්තනයේ ඇත්තේ “ඔහු විසින් ප්රඥායෙනුදු සිවුසස් දැක ආශ්රව ක්ෂය කරන ලද්දාහු නොවෙති” යනුවෙනි.

මෙසේ වීමට හේතුව ඇතැම් සිංහල අකුරෙන් ලියැවුණු පාළි පොත් වල මෙම පාළි පාඨය වැරදීමකින් “පඤ්ඤාය චස් දිස්වා ආසවා අපරික්ඛීණා හොන්ති” යැයි වැටී තිබීමයි. නමුත් තායි හා බුරුම පොත් වල එය නිවැරදිව දක්වා ඇත. මේ ලක්දිව බොහෝ කාලයක් (සීතාවක, මහනුවර යුග වලදී) අවියත් ලේඛකයන් අතින් මෙම පොත් ලියැවීම ඊට හේතුවයි. එය හයවැනි සංගායනාවේදී නිවැරදි කර ඇති අයුරු දැකගත හැකිය. මෙම වැරදි පාඨය අනුව අරුත් කියුව හොත් ශ්‍රද්ධානුසාරී උතුමෙක් යනු ආශ්‍රව ක්‍ෂය නොකළ, තාමත් මාර්ගඥාන නොලැබූ කෙනෙකැයි අර්ථය ලැබේ.          මාර්ගඥානයේදී ආශ්‍රව ක්‍ෂය වන බව දක්වා ඇති බැවිනි. නමුත් ශ්‍රද්ධානුසාරී උතුමෙක් යනු ඇතැම් ආශ්‍රව ක්‍ෂය කළ සෝතාපන්න මාර්ග අවස්ථාවේදී ශ්‍රද්ධා ඉන්‍ද්‍රිය බලවත් වූ මාර්ගස්ථ ආර්යන් වහන්සේ කෙනෙක් බව ඉතා පැහැදිලිව “අනිච්චතො මනසිකරොතො සද්ධින්ද්රියං අධිමත්තං හොති, සද්ධින්ද්රියස් අධිමත්තත්තා සොතාපත්තිමග්ගං පටිලභති; තෙන වුච්චති – ‘‘සද්ධානුසාරී’’.යෙ හි කෙචි සද්ධින්ද්රියස් වසෙන සොතාපත්තිමග්ගං පටිලභන්ති, සබ්බෙ තෙ සද්ධානුසාරිනො..” (අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නහුට ශ්‍රද්ධා ඉන්‍ද්‍රිය අධික වෙයි, ශ්‍රද්ධා ඉන්‍ද්‍රිය අධික වීමෙන් සෝතාපත්ති මාර්ගය ලබයි. එබැවින් ශ්‍රද්ධානුසාරී යැයි කියනු ලැබේ. යම් කිසිවෙක් ශ්‍රද්ධා ඉන්‍ද්‍රියගේ වශයෙන් සෝතාපත්ති මාර්ගය ලබයි ද ඒ සියලු දෙනා ශ්‍රද්ධානුසාරීහුය) යි පටිසම්භිදාමග්ගයේදී වදාරා ඇත. එකරුණ “යො භික්‌ඛු …… සද්‌ධං ධුරං කත්‌වා සොතාපත්‌තිමග්‌ගං නිබ්‌බත්‌තෙති, සො මග්‌ගක්‌ඛණෙ සද්‌ධානුසාරී නාම හොති” (යම් භික්‍ෂුවක් ශ්‍රද්ධාව ධුරය කොට සෝතාපත්ති මාර්ගය උපදවාද, උන් වහන්සේ මාර්ගක්ෂණයෙහි ශ්රද්ධානුසාරී නම් වෙයි) යනාදී ලෙස සංයුක්ත නිකාය අටුවාදියෙහි ඉතා පැහැදිලිව දක්වා ඇත. එබැවින් නුවණැත්තෝ කරුණු විමසා ඉහත පාඨය නිවැරදි කර ගනිත්වා.

  1. තත්‌ථ අම්‌බලට්‌ඨිකායං විහරතීති …… අම්‌බලට්‌ඨිකාති එවංනාමකෙ පාසාදෙ පවිවෙකං බ්‍රෑහයන්‌තො විහරති. කණ්ටකො නාම ජාතකාලතො පට්ඨාය තිඛිණොව හොති, එවමෙවං අයම්‌පි ආයස්‌මා සත්‌තවස්‌සිකසාමණෙරකාලෙයෙව පවිවෙකං බ්‍රෑහයමානො තත්‌ථ විහාසි.[62]

[62]  මජ්ඣිමනිකාය පාළි අටුවා 3 කොටස 85 පිටුව

ඉහත දක්වා ඇත්තේ කුඩා රාහුල සාමණේරයින් වහන්සේ තනිව ප්‍රාසාදයක වැඩසිටි ආකාරයයි. එම පාඨයේ පරිවර්තනය මෙසේ විය යුත්තේ මෙසේය. “අම්‌බලට්‌ඨිකායං විහරති යනු…. අම්බලට්ඨික යන නමින් යුතු ප්‍රාසාදයෙහි පවිවේකය වඩමින් වාසය කරන සේක. (ගසක) කටුව හටගත් දින පටන් තියුණුම වෙයි. මෙසේම මෙතුමන් වහන්සේ ද  සත් වයස් සාමණේර කාලයේදීම පවිවේකය වඩමින් එහි වාසය කළ සේක.” යනුවෙනි.

නමුත් එම කලු අකුරින් දක්වා ඇති කොටස සිංහල පරිවර්තනයේ දක්වා ඇත්තේ “කණ්ටක නැමැත්තා උපන් කල පටන් තීක්‍ෂණය” යන කිසිම ගැලපීමක් නැති පාඨයකි. මෙම සිදුවීමට කණ්ඨක නැමැත්තෙකුගේ කිසිම සම්බන්ධයක් නැත. “කණ්ටක” යන පාළි පාඨයේ ප්‍රධාන හා මෙම ස්ථානයට ගැලපෙන අරුත වන “කටුව” යන්න පසෙක දමා කිසිම සම්බන්ධයක් නැති “කණ්ටක නැමැත්තා” යන අරුතක් ගැනීමෙන් විහිළු අරුතක් ලැබී ඇත. මීට අදාල ටීකාවේ “තිඛිණොව හොති, න තස්‌ස තිඛිණභාවො කෙනචි කාතබ්‌බො සභාවසිද්‌ධත්‌තා” (තිඛිණොව හොති යනු ඒ කටුවේ තියුණු බව ස්වභාවයෙන් සිදුවූ බැවින් කිසිවකු විසින් සිදුකළ යුතු නොවේ.) යනාදී ලෙස පැහැදිළිව දක්වා ඇත. එය බැලුවා නම් මෙවැනි වැරදි සිදු නොවනු ඇත.

3. රුක්‌ඛො ජීවන්‌තොයෙව අන්‌තොසාරො භූමියං පතිට්‌ඨිතො, අන්‌තමසො උබ්‌බෙධතො අට්‌ඨඞ්‌ගුලො, පරිණාහතො සූචිදණ්ඩකප්පමාණොපි නිමිත්‌තුපගො…..[63]

[63] කඞ්ඛාවිතරණී මාතිකට්ඨකථාව 5 පිටුව

මෙහිදී කියැවෙන්නේ සීමාවක් සම්මත කිරීමේදී නිමිති වශයෙන් ගතහැකි ගසක අවම විශාලත්වයයි. එහි පරිවර්තනය “ගස ජීවත් වන්නේම, ඇතුලත හරය ඇත්තේ, බිම පිහිටියේ, අවම තරමින් උසින් අංගුල අටක් වූයේ, වට ප්‍රමාණයෙන් පන්හිඳක මිටක් (මෙය සුලැඟිල්ලේ පමණට සමය) පමණ වූයේ ද නිමිත්තට සුදුසු වේ.” යනුවෙන් විය යුතුය.

නමුත් මෙහි සිංහළ පරිවර්තනයක මෙම කලු අකුරින් දැක්වූ පාඨය වටින් ඉඳිකටුවක් පමණ වූයේ යනුවෙන් පරිවර්තනය කර ඇත. එම පාඨයේ අරුත ප්‍රායෝගිකව ද නොගැලපේ, ඉඳිකටුවක වටප්‍රමාණ ඇති අංගුල අටක් උස ඇති ඇතුලත අරටුව හටගන්නා වර්ගයේ පැළ විද්‍යමාන නොවන බැවිනි. ටීකාවන්හි දැක්වූ අරුත හා ද නොගැලපේ. “සූචිදණ්ඩ” යන පාළි පාඨයට “ඉඳිකටුව” යන පරිවර්තනය කිසිසේත් නොගැලපේ. ඉඳිකටුවට පාළියෙන් කියනුයේ  “සූචි” යනුවෙනි. මීට අදාල ටීකාපාඨය වන්නේ “සූචිදණ්ඩකප්පමාණොති සීහළදීපෙ ලෙඛනිදණ්‌ඩප්‌පමාණොති වදන්‌ති, සො ච කනිට්‌ඨඞ්‌ගුලිපරිමාණොති දට්‌ඨබ්‌බං” (සූචිදණ්ඩප්පමාණො යනු හෙළදිව පන්හිද් දණ්ඩක පමණ යැයි කියත්. එය ද කුඩා ඇඟිල්ලේ පමණ යැයි දත යුතුයි) යනුවෙනි. කඞ්ඛාවිතරණී පිටපොත  නමැති පැරණි ග්‍රන්ථයේද මෙම පාඨය “සූචිදණ්ඩප්පමාණොපි – හෙළදිවැහි පන්හිද්දඬක් සා ද වූ” යැයි පැහැදිලිව දක්වා ඇත. මෙවැනි පැහැදිලි කිරීම් තිබියදී එම ටීකා සන්න ග්‍රන්ථ භාවිතා නොකර පරිවර්තනය කිරීම නිසා මෙවැනි වැරදි පරිවර්තන සිදුවේ. එබැවින් ධර්මග්‍රන්ථ පරිශීලනය කළ යුතු පිළිවෙල දැන එම දහම් පාඨ වල නිවැරදි අරුත් ගැනීමට සැවොම උත්සුක වෙත්වා.

4. සචෙ හි ඡල්ලිම්පි අනපනෙත්වා සකලෙනෙව නාළිකෙරඵලෙන සද්‌ධිං පානකං පටිග්‌ගහිතං හොති, නාළිකෙරං අපනෙත්‌වා තං විකාලෙපි කප්‌පති.[64]

[64] විනයට්ඨකථා 819 පිටුව

මෙය භේසජ්ජක්ඛන්ධකයෙහි දැක්වෙන කාලිකමිශ්‍රවීම පිළිබඳ පාඨයක් විස්තර කිරීම සඳහා විනය අටුවාවේ පැමිණි පාඨයකි. මෙයින් අදහස් කරන්නේ යාවකාලික දෙයක් සමග වෙනත් කාලිකයක් මිශ්‍ර වීමේදී මිශ්‍ර රසයක් ඇති වුවොත් එම මිශ්‍රණය අඩුකාලයක් ඇති කාලිකයට පැමිණෙන බවයි. එබැවින් ඉහත පාඨයේ පරිවර්තනය “ඉඳින් පොත්ත ද ඉවත් නොකර සම්පූර්ණ පොල් ගෙඩියක් සමග (අඹ යුෂ ආදී) පානකයක් පිළිගන්නා ලද්දේ වේ ද, එම පොල් ගෙඩිය ඉවත්කර එම පානකය විකාලයෙහි ද කැප වේ.” ලෙස විය යුතුය.

නමුත් මෙහි සිංහළ පරිවර්තනයක මෙම පාඨය “ලෙලි හැරදමා මුළුමනින්ම පොල්ඵලය සමග පැන් පිළිගන්නා වේද, පැන් පොල් ඵලය බැහැර කොට විකාලයෙහි ද කැප වේ.” ලෙස දක්වා ඇත. මෙහි අරුත නිවැරදි අරුතට බොහෝ සෙයින් වෙනස්ය. බොහෝ දෙනෙක් මෙම පාඨය නිසා “හවසට පොල් වතුර කැපය” යන වැරදි නිගමනයකට ද පැමිණ ඇත. ඊට හේතුව වන්නේ මෙම පාඨයේ කළු අකුරින් දක්වා ඇති වචන වැරදි ලෙස පරිවර්තනය කර තිබීමයි. “ඡල්ලිම්පි අනපනෙත්වා” යන තැන “ලෙලි හැරදමා” යයි පරිවර්තනය වැරදිය. එය “ලෙලි ඉවත් නොකර” යන අර්ථය ලබා දෙයි. මීලඟට “පානකං” යන පදය “පැන්” යැයි පරිවර්තනය වැරදිය. පැන් යැයි ගත්විට පොල්වතුර යන අරුත ද ලැබේ. පොල් වතුර හවසට අකැපය. ඒ බව ටීකාදී ග්‍රන්ථයන්හි පැහැදිලිව සකාරණව දක්වා ඇත. “උදකං, පානීයං” යන වචන සඳහා “පැන්” යන පරිවර්තනය ගැලපේ. නමුත් “පානකං” යනුවෙන් මෙහිදී අදහස් කර ඇත්තේ “අඹයුෂ ආදී” පානකයකි. මේ බව සාරත්ථදීපනී ටීකාවේ “පානකං පටිග්ගහිතං හොතීති අම්‌බපානාදිපානකං පටිග්‌ගහිතං හොති, තං විකාලෙපි කප්‌පති අසම්‌භින්‌නරසත්‌තා.” (පානකං පටිග්ගහිතං හොති යනු අඹයුෂ ආදී පානකයක් පිළිගන්නා ලද්දේ වෙයි. එම පානකය පොල් ගෙඩියේ රසය (යුෂ) හා මිශ්‍ර නොවූ බැවින් විකාලයෙහි ද කැපය.) යැයි ඉතා පැහැදිලිව දක්වා ඇත. එබැවින් මෙවැනි විනය කරුණු විනිශ්චයේදී ටීකාදී ප්‍රාමාණික ග්‍රන්ථ ද භාවිතා කොට ම විනිශ්චයන්ට පැමිණෙන්නේ නම් මෙවැනි වැරදි සිදු නොවනු ඇත.

5. ධුතඞ්‌ගතෙචීවරිකස්‌ස පන චතුත්‌ථං වත්‌තමානං අංසකාසාවමෙව වට්‌ටති. තඤ්‌ච ඛො විත්ථාරතො විදත්ථි, දීඝතො තිහත්‌ථමෙව වට්‌ටති.[65]

මේ දක්වා ඇත්තේ විසුද්ධිමග්ගයේ ධුතංගනිද්දේසයේ තිචීවරිකාංගය දක්වන තැන ධුතංගතිචීවරික භික්‍ෂුවට ගැලපෙන අංසකඩයේ ප්‍රමාණයයි. එම පාඨය “ධුතංගතෙචීවරික භික්‍ෂුවට ගැලපෙන්නේ රියන් තුනක් දිග එක් වියතක් පළල අංසකඩයක් පමණි” යැයි පරිවර්තනය විය යුතුය. නමුත් සිංහල පරිවර්තන ග්‍රන්ථයක එම කළු අකුරින් දැක්වූ පාඨය  “එක් රියන් පුළුල්” යැයි දක්වා ඇත. එය වැරදීමකි. “විත්ථාරතො විදත්ථි” යන පාඨය “පළලින් වියතක් වූ” යනාර්ථය ලබා දේ. පැරකුම්බා සන්නයේ මෙම පාඨය “තඤ්ච ඛො, හෙ ද; විත්ථාරතො, පළලින්; විදත්ථි, වියතෙක් ම”[66]  යැයි දක්වා ඇත. මෙවැනි තැන් වලදී කියවන්නා නොමග යා හැකි බැවින් මූලාශ්‍ර පාළිග්‍රන්ථත්, පැරණි ටීකා හා සන්න ආදියත් කියැවීමට හුරුවීම නිවැරදි අර්ථ දැනගැනීමට මහෝපකාරී වේ.

[65] විසුද්ධිමග්ග ධුතඞ්ග නිද්දේස 49 පිටුව (හේවාවිතාරණ මුද්‍රණ)

 

 

[66] මහාසන්න සහිත විශුද්ධිමාර්ගය 161 පිටුව (බෙන්තර ශ්‍රද්ධාතිෂ්‍ය හිමි සංස්කරණ)

6. එදිසා ච භික්‌ඛූ යාගුං පිවිත්‌වා විපස්‌සනං ආරභිත්‌වා බුද්‌ධසාසනෙ අරහත්‌තප්‌පත්‌තා නාම ගණනපථං වීතිවත්‌තා. සීහළදීපෙයෙව තෙසු තෙසු ගාමෙසු ආසනසාලායං වා තං ආසනමත්ථි, යත් යාගුං පිවිත්වා අරහත්තප්පත්තා භික්ඛූ නත්ථීති.[67]

[67]  දීඝනිකාය අටුවා 131 පිටුව (හේවාවිතාරණ මුද්‍රණ)

මේ දක්වා ඇත්තේ දීඝනිකාය සාමඤ්ඤඵල සූත්‍ර අටුවාවේ පාඨයකි. “සතිසම්පජඤ්ඤකථා” යන මාතෘකාව යටතේ පුරාණයේ ලක්දිව වැඩසිටි ප්‍රතිපත්තිගරුක භික්‍ෂූන් වහන්සේලා පිණ්ඩපාතයේ වැඩම කළ අයුරු මෙහි දැක්වේ. මෙම පාඨයේ සිංහල පරිවර්තනය “මෙබඳු (සිහිනුවණින් කමටහන් මනසිකාරයෙන් පිඬුසිඟා වඩින) භික්‍ෂූන් වහන්සේලා කැඳ වළඳා විදර්ශනාව අරඹා බුදු සසුනෙහිදී අර්හත්වයට පැමිණි උතුමන් වහන්සේලා ගණන්පථය ඉක්මවා සිටියාහුය. සිංහල දීපයෙහිම පමණක් ඒ ඒ ග්‍රාමයන්හි ආසනශාලාවෙහි යම් අසුනකදී කැඳ වළඳා අරහත්වයට පත් භික්ෂූන් වහන්සේලා නැතැයි දැක්වීමට එබඳු අසුනක් නැත. (සෑම අසුනකම එසේ අවම වශයෙන් එක් භික්ෂුවක් හෝ අර්හත්වය ලබා ඇත.)” ලෙස විය යුතුය.

නමුත් සිංහල පරිවර්තනයක මෙය “මෙබඳු භික්‍ෂූහු කැඳ බී විදර්ශනා අරඹා බුදු සසුනෙහි රහත් බවට පත් වූවෝ ගණනපථය ඉක්මවා ගියෝය. සිංහල ද්වීපයෙහි ද ඒ ඒ ගම්වල අසුන් හලෙහි ආසනය නැත. කැඳ බී රහත් බවට පත් භික්ෂූහුද නැත.” යැයි අර්ථය උඩු යටිකුරු කරමින් සම්පූර්ණ වැරදි පරිවර්තනයක් දී තිබේ. මෙය සිදු වී තිබෙන්නේ එකට සම්බන්ධ වාක්‍යකණ්ඩ දෙකක් වාක්‍ය දෙකක් වශයෙන් සලකා පරිවර්තනය කිරීම නිසයි. පූර්ව අපර සම්බන්ධයත් වැකියේ අරුතත් හරිහැටි නොසලකා මෙම පරිවර්තනය සිදුකර ඇත. එබැවින් මෙවැනි තැන් කියවන්නෝ ද හොඳ විමසීමකින් යුතුව පූර්ව අපරයන් ගලපමින් අරුත් ගැනීමට දක්‍ෂ විය යුතුය.

කරුණු මෙසේ හෙයින් නිවැරදිව දහම් අර්ථ දැනගනු කැමැති නම් පාළිභාෂාවම ප්‍රගුණ කළ යුතුය. පාළි භාෂාව දැනගැනීමේ වටිනාකම පිළිබඳව මෑත කාළයේ වැඩසිටි ශ්‍රේෂ්ඨ මහතෙරවරුන් කීපදෙනෙකුන්ගේ අදහස් පාඨකයින්ගේ දැනගැනීම පිණිස මෙසේ දක්වමු.

අතිපූජනීය රේරුකානේ චන්දවිමල මාහිමිපාණන් වහන්සේ

මාගධභාෂාවෙන් ඇති ත්‍රිපිටක පොත් හා අටුවා පොත් අන්බසකට පෙරළූ කල්හි එහි රසය බොහෝ දුරට හීන වේ. දැනට සිංහලට පෙරලා ඇති ත්‍රිපිටක පොත් කියවීමට ප්‍රිය නැත්තේ ඒවායේ රසය හීන නිසාය. නියම රසය ඇතිවන ලෙස ත්‍රිපිටක පොත් අන් බසකට පෙරළිය නොහැකිය. …….. විමතිවිනෝදනීටීකාවය, සාරත්ථදීපනීටීකාවය, වජිරබුද්ධිටීකාවය කියා සමන්තපාසාදිකාවේ දුර්බෝධ තැන් විස්තර කරන ටීකාග්‍රන්ථ තුනක් ඇත්තේය. සිංහල තෙරවරුන් විසින් ඒ පොත් සිංහලයෙන් නොකර පාළිභාෂාවෙන්ම සපයා ඇත්තේ විනය වර්ණනාවට යෝග්‍ය භාෂාව පාළිභාෂාව වන නිසාය.[68]

සාමණේර සරණගමනය එක්තරා විනයකර්මයකි. එයින් සිදුවන්නේ සාමණේරභාවයට පැමිණීමය. පාලිභාෂාවෙන්ම මිස අන් බසකින් සිකපද කීමෙන් සාමණේරභාවය නොපිහිටන්නේය.[69]

 

 

 

[68] උපසම්පදා සීලය 22 පිටුව (ප්‍රස්තාවනා)

 

[69] ශාසනාවතරණය 46 පිටුව

අතිපූජනීය නාඋයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේ

ප්‍රශ්ණය: ස්වාමීන් වහන්ස දැන් ඔය බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් ප්‍රකාශයට පත් කරන (සිංහල) විශුද්ධි මාර්ගයත්, පරණ ඒවත් අතර වෙනස්කම් තියෙනවද? දැන් තියෙන එක විශ්වාසෙන් අපිට කියවන්න පුළුවන්ද?

පිළිතුරමම නං ඒක කියවලා නෑ. මං අලුත් ඒවා කියවන්න කැමතිත් නෑ. බොහෝ වශයෙන් අර්ථ වෙනස්කම් තියෙනවා. සමහරවිට නිවැරදි තැන් ඇති. බොහෝ සෙයින් අර්ථ වෙනස්කම් ඇති කරනවා, අද කාලේ අලුත් අලුත් වචන දාන්න ගිහිල්ලා. කෙටි කරනකොට අර්ථය පැහැදිලි කරන්න බැරි වෙනවා. ඒ නිසා මං අලුත් පොත් වැඩිය කියවන්නෙ නෑ.

පාලි පොත් තමයි වැඩියෙන් කියවන්නෙ. තවතවත් පාලි දැනුමත් වැඩිවෙනවා. ඒකේ අර්ථය නිවැරදිව තේරුම් ගන්නව නම් නිවැරදියි. තේරෙන්නැති වචනයක් තිබුනොත් ඒක හොයනවා. නිඝණ්ඩුවේ තියෙනවා, තවත් තැන්වල තියෙනවා.

ඒ නිසා අලුත් පොත් සම්පාදනය එච්චර සාර්ථක බව මං නං හිතන්නෑ. අනික දැන් ඔය අට්ඨකතා ආදිය සිංහලටම නගනවා. කිසිම රසයක් නෑ. ඒක තියෙන්න ඕනි එහෙමනං අර ජයන්ති පොත්වල වාගේ පාලිය, සිංහල. එහෙම තියෙනව නම් යම්කිසි නිවැරදි තේරුමක් හදාගන්න පුළුවන්. එක පිටක පාලි. අනිත් පිටුවෙ සිංහල. ඒකෙ තියෙනවා සුදුසුකමක්. තනිකර සිංහලෙන් ලිව්වහම ඒක එච්චර සෝභමානත් නෑ. රස අතුරුදන් වෙනවා. පාලි දැනුම අත්හරිනවා, ඇයි සිංහල පොත් තියෙනවනෙ. බුද්ධ ධර්මය ඉතින් නිවැරදිව තියෙන්න ඕනෑ. බුදුරජාණන් වහන්සේ ම අර විනය පිටකයේ දේශනා කරලා තියෙන්නේ යමේළු, තේකුල කියන සහෝදර බ්‍රාහ්මණ පැවිද්දො දෙන්නෙක් ත්‍රිපිටකධාරී වෙලා අවසර ඉල්ලූවා බුද්ධ ධර්මය සංස්කෘත භාෂාවෙන් පරිවර්තනය කරලා ලියලා තියන්න ද කියලා. පස්සෙ බුදුරජාණන් වහන්සේ දොස් කිව්වා.

මෝඝ පුරුෂය , එහෙම හිතන්න එපා” කිව්වා. බුද්ධ ධර්මය — සකාය නිරුත්තියා ඨපෙතබ්බං— කිව්වා. ස්වකීය භාෂාවෙන් ම තියෙන්න ඕනි. ස්වකීය භාෂාව කියන්නේ පාලි භාෂාවට.  බුදුරජාණන් වහන්සේ තමයි “සකාය නිරුත්ති කිව්වේ”. බුදුරජාණන් වහන්සේගේම භාෂාවෙන් තියෙන්න ඕනි. නැත්නම් පසු කාලෙකට හුඟාක් ඔය ව්‍යාකරණ ආකූල වෙනවා[70]

ඒ නිසා සම්බුද්ධ ශාසනයෙහි අද පමණක් නෙමෙයි. අතීත, අනාගත, වර්තමාන තුන්කාලයෙම බුද්ධ ධර්මයෙහි නියම ආවේනිික භාෂාව පාලි භාෂාවයි, මූලභාෂාව. සිංහලත් නෙමෙයි. ඒකට වෙනම අකුරු විශේෂයක් ඇත්තේ නෑ. ඒ ඒ භාෂාවලින් පාලි භාෂාව හසුරුවනවා. …… ඒ නිසා මේ චීන භාෂාව හෝ ජපන් භාෂාව හෝ පසුකාලෙක ඇතිවෙච්ච දේවල් විනා සර්වඥයන් වහන්සේගේ  බුද්ධ ධර්මය නොවෙයි. බුද්ධ ධර්මය නම් සැබෑ පාලි භාෂාවයි. ඒ කියන්නේ සියලු බුදුවරයන් වහන්සේලාගේ භාෂාව පාලි භාෂාවයි.[71]

[70] 2010-6-12 දින නාඋයන සෙනසුනේ පැවති ධර්මසාකච්ඡාවක් ඇසුරින්

 

 

[71]මාහිමිපාණන් වහන්සේගේ ගුවන්විදුලි දේශනයක් ඇසුරින්

බුදු රජාණන් වහන්සේගේ ධර්මය තම තමන්ගේ භාෂා වලින් අධ්‍යයනය කරන්නට පුළුවනි. ඒ කියන්නේ තේරුම් ගැනීමේ පහසුව පිණිස. හැමෝටම පාලි භාෂාව නොතේරෙන නිසා තමන්ගේ භාෂාවෙන් ඒ අර්ථ හදාරන්න පුළුවන්. නමුත් මේ පාලි භාෂාවෙන් තියෙන පිරිත් දේශනා සර්වඥයන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශිත දේශනා. ඒවා සමහර විට ලොව පහළ වී වදාළ අසංඛ්‍යෙය, අප්‍රම්‍යෙය සර්වඥයන් වහන්සේලාගේ ශ්‍රී මුඛයෙන් නිකුත් වූ ශුද්ධ වූ බුද්ධ වචන. අපේ බුදු රජාණන් වහන්සේගෙන් පසුවත් කෝටි ප්‍රකෝටි අසංඛ්‍ය ගණන් නික්ලේශි රහතන් වහන්සේලා  භාවිතා කළ වචන. ඒවා සිද්ධි බවට පත්වෙලා තියෙනවා.  ඒ ශබ්ද වල තියෙනවා පුදුම විදියේ ආකර්ශන ශක්තියක්. ඒ නිසා පාලි භාෂාවෙන් තියෙන පිරිත් දේශනා, සූත්‍ර දේශනා ආදිය සජ්ඣායනා  කිරීම පාලි භාෂාවෙන්ම කළ යුතුයි. තේරුම් ගැනීම සඳහා තමන්ගේ භාෂාවෙන් භාවිතාවට ගැනීම වරදක් නෑ.[72]

බුද්ධ ධර්මය කියන එක පාලි භාෂාවෙන් තිබුණට අර්ථය නොදැන හිටියත්, කරුණු ක්‍රම හතරකින් ඥාන  සම්ප්‍රයුත්ත වෙනවා. ක්‍රම 04 කියන්නෙ සමහර කෙනෙක් මේකෙ අර්ථ දන්නෙ නෑ. මේක ඇහෙනකොට — අනේ…. සාධු සාධු මෙක නම් හරි වටිනා සෞම්‍ය සද්දයක්නේ.  මේක හරි වටිනා දෙයක්නේ.˜ කියලා හිත පැහැදෙනවා. ඔහුට ධර්මය අරමුණු කරගෙන ඥාන සම්ප්‍රයුත්ත වෙනවා. බොහෝ සෙයින් තිරිසන් සතුන්ට වෙලා තියෙන්නේ එහෙමයි. සමහර කෙනෙකුට අර්ථයත් වැටහෙනවා. එතකොට ඔහුට අර්ථය අරමුණු කරගෙන ඥාන සම්ප්‍ර යුත්ත වෙනවා ඔහුගෙ සිත. සමහර කෙනෙකුට ව්‍යාකරණෙත් වැටහෙනවා මේ පාඨයෙ. ඔහුට නිරුක්ති වශයෙනුත් ඥාන සම්ප්‍රයුත්තය වෙනවා. සමහර කෙනෙකුට තුනම වැටහෙනවා. අර්ථය, ධර්මය, නිරුක්තියයි තුනම වැටහෙනවා. කොටසක් ඒ තුන් ආකාරයෙන් ම ඥාන සම්ප්‍රයුත්ත වෙනවා. ඉතින් ඒකට නිදසුන් කරුණු මම කියා පෑවා. ඒ ස්වාමීන් වහන්සේ (මාහෝ සුමේධ මාහිමිපාණන් වහන්සේ) බොහෝම සතුටු වෙලා මට ස්තුති කළා. ඉතින් ඒකට සාධක වශයෙනුත් මං කිහිපයක් ලියලා යැව්වා. ඉතින් ඒ අනුව මං සලකාගන්නවා අද කාලෙ වුණත් ඕනම අර්ථය නොදන්නා කෙනෙකු පාලි භාෂාවට ඇහුම්කන් දීමෙන්, කියවීමෙන්, ප්‍රසාදයෙන් යුතුව සවන් දෙනවනම්, හිතනවානම් ඔහුගේ සිත ඥාන සම්ප්‍රයුත්ත වෙනවා ඒකෙ ආනිශංස අනිවාර්යෙන්ම ලැබෙනවා.[73]

ඉහත කරුණු සියල්ල සලකා බැලූ කල පාළි භාෂාව හැදෑරීමේ ඇති වටිනාකම පැහැදිළි වනු ඇත. එබැවින් මෙරට වැසියන්ට ලැබුණු වටිනාම උරුමයක් වන බුදුදහම නිවැරදිව භාවිතා කිරීමට අතිශය උපකාරී වන පාළි භාෂාව හැදෑරීමට විශේෂයෙන්ම භික්‍ෂූන් වහන්සේලාත් සියලු සිංහල ජනතාවත් උත්සුක වන්නේ නම් දැනට වඩා දහමින් ප්‍රයෝජන ලැබිය හැකි වනු ඇත.

 

 

 

 

[72] මාහිමිපාණන් වහන්සේගේ ගුවන්විදුලි දේශනයක් ඇසුරින්

 

 

 

 

 

 

 

[73] මාහිමිපාණන් වහන්සේගේ ගුවන්විදුලි දේශනයක් ඇසුරින්

පාළි භාෂාව පිලිබඳ ඇති මතවාද :

ඉපැරණි ග්‍රන්ථයන්හි දැක්වෙන මෙම අදහස් පිළිගැනීමට අකමැති වූ ද බෞද්ධයින්ගේ ශ්‍රද්ධාදී ගුණ උපායෙන් පිරිහෙලනු කැමති වූ ද ඇතැම් බටහිර උගත්තු “බුදු රජාණන් වහන්සේ මගධරට වැසියෙකු නොව කෝසල වැසියෙකි.  එබැවින් එතුමන් ධර්මය දෙසූ භාෂාව කෝසල රටේ භාෂාව විය යුතුය.” යනාදී විවිධ මත පලකරති. ඒ පිලිබඳ අපගේ අදහස මෙසේ දක්වමු.

තිස්සදත්ත මහරහතන් වහන්සේ ආදී ශ්‍රාවක උතුමන් වහන්සේලා පවා ප්‍රකෘතියෙන් ම (ප්‍රතිසම්භිදාවන් භාවිතා නොකොට) භාෂා 18 ක් පමණ භාවිතා කරමින් දහම් දෙසූ බව ග්‍රන්ථාගත කරුණු වලින් කියැවේ.[74] තවද සතුන්ගේ භාෂා පවා ඇතැමුන් දැන සිටි බව ග්‍රන්ථයන්හි දැක්වේ. එසේ නම් මුලු මහත් විශ්වයටම පහළ වූ අද්විතීය ප්‍රඥාවන්ත උතුමන් වහන්සේ වන භාග්‍යවතුන් වහන්සේ දැන සිටියේ තම මවු බස පමණක් දැයි නුවණැත්තෝ සිතා බලත්වා. “භාග්‍යවතුන් වහන්සේ දැන සිටියේ තම මවු බස වූ කෝසල භාෂාව පමණකැ”යි දැක්වීමට මෙන් බුද්ධවිෂය පිලිබඳ නොදැන ඇතැමුන් පලකරන අමූලික වූද හුදු මතිමාත්‍ර පමණක් වූද සාසනික මතයන්ට පටහැනි වූද මත වලින් කවර ප්‍රයෝජනයක් ද? චතුපටිසම්භිදා ෂඩ් අභිඤ්ඤාදී ගුණ වලින් පෝෂිත ක්‍ෂීණාශ්‍රව උතුමන් වහන්සේලා විසින් මහත් ඉහලින් පිලිගන්නා ලද ග්‍රන්ථ වල “භාග්‍යවතුන් වහන්සේ මගධ බසින් දහම් දෙසූ සේක” යන කරුණ  සනාථ කිරීමට ඕනෑ තරම් සාක්‍ෂි තිබියදී මෙවැනි අමූලික වූ මතිමාත්‍ර වලින් ප්‍රයෝජනයක් නොවේමය. තවද දතයුත්තක් ඇත. එනම් භාග්‍යවතුන් වහන්සේ මගධ බසින් දහම් දෙසන විට අසා සිටින සියලු දෙනාටම තමතමාගේ භාෂාවෙන් වැටහේ. ඒ බව “එකො එව භගවතො ධම්මදෙසනාඝොසො, එකස්මිං ඛණෙ පවත්තමානො නානාභාසානං සත්තානං අත්තනො අත්තනො භාසාවසෙන අපුබ්බං අචරිමං ගහණූපගො හොති. අචින්තෙය්යො හි බුද්ධානං බුද්ධානුභාවොති සබ්බසත්තානං සකසකභාසානුරූපතො සොතපථං ආගච්ඡතීති වෙදිතබ්බං.[75] (එකක් වූ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මදේශනා හඬ, එක වේලාවක පවත්නේ නොයෙක් භාෂා දන්නා සත්වයන්ට තම තමන්ගේ භාෂා වශයෙන් ගතහැකි – ඇසියහැකි වේ. බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධානුභාවය අචින්තනීය වේනුයි සියලු සත්වයන්ට තමතමන්ගේ භාෂාවන්ට අනුරූපව ශ්‍රෝතපථයට පැමිණේ යැයි දතයුතුය.) යැයි උදාන හා ඉතිවුත්තක අටුවාවන්හි දැක්වේ. එබැවින් පාළි භාෂාව යනු භාග්‍යවතුන් වහන්සේ විසින් දහම් දෙසීමට භාවිතා කළ මගධ දේශයේ බස බව මෙසේ සකාරණව තහවුරු කර දක්වමු.

 

 

 

 

[74] විභංගඅටුවා 272 පිටුව (හේවාවිතාරණ මුද්‍රණ)

 

 

 

 

 

 

 

[75] උදාන අටුවා, ඉතිවුත්තක අටුවා

පාළි වියරණය :

පාළි භාෂාවට මුළින්ම වියරණයක් නිපදවූයේ සිවු පිළිසිඹියා ෂඩ් අභිඤ්ඤා ලාභී වූ “එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛූනං සඞ්ඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං විභජන්තානං යදිදං මහාකච්චානො”යි භාග්‍යවතුන් වහන්සේ විසින් අග්‍රස්ථානයේ තැබුවා වූ මහා ශ්‍රාවක මහාකච්චායන මහරහතන් වහන්සේ විසිනි. මහාකච්චායන මහරහතන් වහන්සේ ගිහි කලදී ත්‍රිවේදයේ පාරප්‍රාප්තව  චණ්ඩපජ්ජෝත රජුගේ පුරෝහිත තනතුර දැරීය. එබැවින් ගිහි කාලයේදීම සංස්කෘත වියරණාදී විෂයන් ඉහළින්ම ප්‍රගුණ කල බව ප්‍රකටය. මෙම මහාකච්චායන මහරහතන් වහන්සේ විසින්ම නෙත්තිප්පකරණ, මහානිරුත්ති, කච්චායනය යනාදී ග්‍රන්ථ නිපදවූ බව පුරාණ ග්‍රන්ථයන්හි ප්‍රකටව දක්වා ඇත. ඒ මෙසේය ;

  1. ථෙරො…..අත්‌තනො පුබ්‌බපත්‌ථනාවසෙන කච්‌චායනප්‌පකරණං මහානිරුත්‌තිප්‌පකරණං නෙත්‌තිප්‌පකරණන්‌ති පකරණත්‌තයං සඞ්‌ඝමජ්‌ඣෙ බ්‍යාකාසි[76].

(කච්චායන මහතෙරුන් වහන්සේ…… තමාගේ පූර්ව ප්‍රාර්ථනා වශයෙන් කච්චායන ප්‍රකරණය, මහානිරුත්ති ප්‍රකරණය, නෙත්ති ප්‍රකරණය යන ප්‍රකරණ තුන සඟමැද වදාළ සේක)

[76] අපදාන අටුවා 2 කොටස 417 පිටුව

2. නෙත්‌ති-නිරුත්‌ති-පෙටකොපදෙස-කච්‌චායනප්‌පකරණ-කාරකෙන ආයස්‌මතා මහාකච්‌චායනත්‌ථෙරෙන වා …[77]

(නෙත්ති, නිරුක්ති, පෙටකොපදෙස, කච්චායනප්‍රකරණ කර්තෘ වූ මහාකච්චායන මහතෙරුන් විසින් හෝ කියන ලද්දක් ද…)

3. කච්චායනඤ්චාචරියං නමිත්වා….. [78]

(කච්චායන ආචාර්යන් වහන්සේට ද නමස්කාර කොට….)

4. තත්ථ කච්චායනඤ්චාති භගවතා සංඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං විභජන්තානං සාවකානං එතදග්ගෙ ඨපිතං මහාසාවකං නිරුත්තිලක්ඛණාචරියභූතං මහාකච්චායන-ථෙරඤ්ච, නමිත්වා නමස්සිත්වා[79]

(එහි කච්චායනඤ්ච යනු සංක්‍ෂිප්තව වදාළ කරුණක් විස්තර වශයෙන් අර්ථ බෙදා දක්වන ශ්‍රාවකයින් අතර අග්‍ර යැයි භාග්‍යවතුන් වහන්සේ විසින් අග්‍රස්ථානයේ තබන ලද මහාශ්‍රාවක වූ නිරුක්තිලක්‍ෂණාචාර්ය වූ මහාකච්චායන තෙරුන්ටනමිත්වා නමස්කාර කොට)

[77] විනයාලංකාර ටීකා

 

 

[78] රූපසිද්ධි

 

[79] රූපසිද්ධි ටීකා

5. කච්චායනඤ්ච මුනිවණ්ණිතබුද්ධිමස්ස……. කත්තා නාම “එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛූනං සඞ්ඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං විභජන්තානං යදිදං මහාකච්චානො”ති භගවතා එතදග්ගෙ ඨපිතො ආයස්මා මහාකච්චානො. ……. ඉධ පන ඛීණාසවත්තා විගතඤෙය්‍යාවරණත්තා ….. ධීමතා මහාකච්චායනත්ථෙරෙන….. තිලොකතිලකො භද්දන්තමහාකච්චායනො කම්මනි දුතියායමිත්‍යාහ…..[80]

(බුදුරජුන් විසින් වර්ණනා කරන ලද බුද්ධිමත් වූ කච්චායන මහතෙරුන්ව ද …….මෙම කච්චායන වියරණයේ කර්තෘ නම් “මහණෙනි සංක්‍ෂිප්තව වදාළ කරුණක් විස්තර වශයෙන් අර්ථ බෙදා දක්වන මාගේ ශ්‍රාවකයින් අතර මේ කච්චායන මහාස්ථවිර තෙමේ අග්‍ර වේ” යැයි අග්‍රස්ථානයේ තැබූ ආයුෂ්මත් මහාකච්චායන මහාස්ථවිරයින් වහන්සේයි.….මෙහිදී ක්‍ෂීණාශ්‍රව බැවිනුත් පහකළ ඤෙය්‍යාවරණ ඇති බැවිනුත් මහාප්‍රාඥ මහකසයින් මහතෙරුන් විසින්…..තිලොවට තිලකයක් වූ භදන්ත මහකසයින් මහරහතන් වහන්සේ “කම්මනි දුතියායං” යැයි වදාළ සේක.)

6. ඨපිතං එතදග්ගම්හි එසො අග්ගොති තාදිනා, නත්වා තඤ්ච මහාථෙරං……. තං ඤත්වා මහාකච්චායනො භගවන්තං යාචිත්වා හිමවන්තං ගන්ත්වා මනොසිලාතලෙ දක්ඛිණදිසාභාගං සීසං කත්වා පුරත්ථිමදිසාභිමුඛො හුත්වා “අත්ථො අක්ඛරසඤ්ඤාතො”ත්‍යාදිකං කච්චායනප්පකරණං විරචි….. [81]

(මෙතෙමේ අග්‍ර යැයි තාදී බුදුරජුන් විසින් අග්‍රස්ථානයේ තැබූ ඒ මහතෙරුන් වහන්සේට ද නමස්කාර කොට …… එය දැන මහාකච්චායන මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යැද හිමාලයට ගොස් මනෝසිලා තලයෙහි දකුණු දෙසට හිස තබා නැගෙනහිර දිශාභිමුඛ වී “අත්ථො අක්ඛරසඤ්ඤාතො” යනාදී වූ කච්චායන ප්‍රකරණය රචනා කළ සේක.)

7. ආචරියං; නිරුක්තිලක්ෂණාචාර්ය වූ, කච්චායනඤ්ච; (ආගමාධිගම සම්පන්න) මහා කාත්‍යායන ස්ථවිරයන් ද, …. (රූපසිද්ධි සන්න)

8. ආචරියං; නිරුක්තිලක්ෂණාචාර්ය වූ, කච්චායනඤ්ච; කාත්‍යායන මහා ස්ථවිරපාදයා ද, …. (සන්දෙහවිඝාතනී රූපසිද්ධි සන්න)

 

[80] මුඛමත්තදීපනී කච්චායන ටීකා.

 

 

 

 

 

 

[81] කච්චායනවණ්ණනා

ඉහත ප්‍රකාශ අනුව කච්චායනවියරණය මහාශ්‍රාවක කච්චායන මහරහතන් වහන්සේගේම කෘතියක් බව පැරණි ග්‍රන්ථකාරක උතුමෝ දැක්වූ අයුරු ප්‍රකට වේ. මෙහිදී කච්චායන මහරහතන් වහන්සේ රචනා කලේ සූත්‍ර පමණක් බවත් වෘත්ති හා උදාහරණ පිළිවෙලින් සඞ්ඝනන්දි, බ්‍රහ්මපුත්ත යන මහතෙරවරුන් විසින් කළ බවත් දැක්වේ. මෙම වියරණය කලේ වෙනත් ඇදුරුවරයෙකු යැයි පැවසූ කිසිඳු පැරණි ග්‍රන්ථයක්ද නැත. තවද දැනට වඩා අතිශයින්ම සීලාදී ප්‍රතිපත්ති ගරුකරන යුගයකදී ලියැවුණු ඉහත ග්‍රන්ථ වල අසත්‍ය කරුණු හිතාමතා ඇතුලත් කිරීමක් ද කිසිසේත් නොවිය හැකිය. අසත්‍ය කරුණු ඇතුලත් විණි නම් මෙම ග්‍රන්ථ මෙසේ සම්භාවනාවට ද පාත්‍ර නොවනු ඇත. ඒ වෙනුවට එම කරුණු පෙන්වා නිග්‍රහ කරනු ඇත. කරුණු මෙසේ හෙයින් කච්චායන වියරණය කච්චායන මහරහතන් වහන්සේගේම කෘතියක්ය යන කීම පිළිගැනීමට සාධාරණ හේතු ඇති බව සැලකිය යුතුය.

නමුත් ඉහත දැක්වූ සාම්ප්‍රදායික මතය පිළිගැනීමට අකමැති ඇතැම්හු මෙම ග්‍රන්ථය පසුකාලීන බව දැක්වීමට පහත කරුණු දක්වති.

A. කච්චායන සූත්‍ර හා කාතන්ත්‍ර සූත්‍ර අතර සමතාවක් පැවතීම නිසා මෙම කච්චායනය කාතන්ත්‍ර වියරණය අනුගමනය කරමින් එයට පසු කලෙක නිපදවූවක් විය යුතුය.

B. “පරසමඤ්ඤා පයොගෙ” යන සූත්‍රයෙන් සුදුසු තැන්හිදී සංස්කෘත සංඥා යොදාගැනීමට දොර විවරකර තිබීම මහරහත් උතුමෙකුට නොගැලපෙන බව.

C. කච්චායනයේදී විභක්ති නාම වශයෙන් දැක්වූ “පඨමා, දුතියා” ආදී නාම අටුවා කරණයේදී නොගෙන “පච්චත්තවචන, උපයොගවචන” යනාදී වෙනත් විභක්තිනාම ක්‍රමයක් යොදාගැනීම.

D. කච්චායන මහරහතන් වහන්සේගේ ම තවත් වියරණ කෘතියක් යැයි බොහෝ දෙනා අවිවාදයෙන් පිළිගන්නා මහානිරුක්තියේ දැක්වූ ඇතැම් වචන කච්චායනයේදී දක්වා නොතිබීම නිසා ප්‍රතිසම්භිදා ලාභී උතුමෙකු අතින් මෙවැන්නක් විය නොහැකි බව.

E. කච්චායනය කච්චායන මහරහතන් වහන්සේගේම නම් “එහි ඇතැම් වචනයන්ගේ පද සිද්ධි දක්වා නැත. ඇතැම් සූත්‍රයන්ගෙන් කරන වැලැක්ම ඇතැම් පද සාධනයේදී නොයෙදේ ” යනාදී ලෙස පැරණි ග්‍රන්ථ කතුවරු නොදක්වනු ඇත. යනුයි

F. “ අනුපදිට්ඨානං වුත්තයොගතො, යදනුප්පන්නා නිපාතනා සිජ්ඣන්ති ” ආදී සූත්‍ර කච්චායනයේ යෙදීම ශාස්ත්‍රීය නොවන බවත් එය මහරහතන් වහන්සේ කෙනෙකුන්ට නොගැලපෙන බව.

ඉහත කරුණු එකිනෙකක් අපි මෙසේ විචාරයට ලක් කරමු.

A. ප්‍රශ්ණය : “කච්චායන සූත්‍ර හා කාතන්ත්‍ර සූත්‍ර අතර සමතාවක් පැවතීම නිසා මෙම කච්චායනය කාතන්ත්‍ර වියරණය අනුගමනය කරමින් එයට පසු කලෙක නිපදවූවක් විය යුතුයි නේද?

අපේ පිළිතුර :  කාතන්ත්‍ර වියරණයේ සූත්‍ර සමග පමණක් නොව, ක්‍රි.පූ 4 වන සියවසේ දී පමණ රචිත යැයි සැලකෙන ඉතා ප්‍රසිද්ධ සකු වියරණ ග්‍රන්ථයක් වන පාණිනී වියරණයෙහි ඇතැම් සූත්‍ර සමග ද කච්චායනයේ ඇතැම් සූත්‍ර වල සමතාවක් පවතී. එයිනුදු කච්චායනය පාණිනිය ඇසුරු කලේයැයි නොකිය යුතුය. එසේ නම් මෙම සූත්‍ර සමතාවය කෙසේ සිදුවීදැයි විමසා බලමු.

බුද්ධකාලය වනවිටත් බ්‍රාහ්මණයින් සතුව ප්‍රකට වියරණයක් තිබූ බවත් ව්‍යාකරණඥයින් යැයි හැඳින්වූ වියරණ දන්නා පිරිසක් සිටි බවත් සූත්‍ර දේශනා බොහෝ ගණනක සඳහන් වේ. ඊට උදාහරණ කීපයක් මෙසේය;

i. අම්බට්ඨො නාම මාණවො….. වෙය්‍යාකරණො…. [82]

(අම්බට්ඨ මානවක තෙමේ වියරණ දන්නෙකි.)

ii. භවඤ්හි සොණදණ්ඩො …… වෙය්‍යාකරණො….. [83]

(භවත් සෝණදණ්ඩ තෙමේ වියරණ දන්නෙකි.)

iii. භවඤ්හි කූටදන්තො …… වෙය්‍යාකරණො….. [84]

(භවත් කූටදන්ත තෙමේ වියරණ දන්නෙකි.)

iv. බ්‍රහ්මායුබ්‍රාහ්මණො …… වෙය්‍යාකරණො….. [85]

(බ්‍රහ්මායු බ්‍රාහ්මණ තෙමේ වියරණ දන්නෙකි.)

[82] දී.නි. අම්බට්ඨ සු.

 

[83] දී.නි. සොණදණ්ඩ සු.

 

[84] දී.නි. කූටදන්ත සු.

 

[85] ම.නි. බ්‍රහ්මායු සු.

එබැවින් බුද්ධකාලය වනවිටත් පැවති මෙම වියරණයන්හි බලපෑම අනිවාර්යයෙන්ම පාණිනී, කාතන්ත්‍ර වියරණයන්ටද බලපාන්නේය. එම පැරණි වියරණ රීති මත පිහිටා මෙම ග්‍රන්ථ සිදුකළ බැවිනි. කරුණු මෙසේ හෙයින් පාණිනී,කාතන්ත්‍ර යන ග්‍රන්ථ සමග කච්චායනයේ පවතින මෙම සාම්‍යය බුද්ධ කාලයට පෙර පැවති සකු වියරණ රීති සමගද තිබිය යුතුය. එනිසා කාතන්ත්‍ර සූත්‍ර හා කච්චායන සූත්‍ර සමවූ පමණින්ම කච්චායනය කාතන්ත්‍රය පූර්වාදර්ශ කොට නිපදවීය යැයි හෝ කච්චායනය කාතන්ත්‍රයට පසුව නිපදවීය යැයි හෝ නිගමනයකට නොයා යුතුය. එසේ කරන්නේ නම් එය නුවණින් විමසීමේ ලක්‍ෂණයක් නොවේ. මෙම කරුණු මත පිහිටා අපට මෙබඳු නිගමනයකට පැමිණිය හැකිය. එනම් කච්චායන වියරණය නිපදවීමේදී බුද්ධකාලයටත් පෙරාතුව පැවති ඇතැම් වියරණ රීති හා ව්‍යවහාරයන් බුද්ධ දේශනාවට ගැලපෙන අයුරින් හා ව්‍යවහාරයට පහසු අයුරිනුත්, ඒ වනවිටත් පැවති ව්‍යවහාරයන් (ජනපදනිරුක්ති) හා ගැලපෙන අයුරිනුත් යොදාගත් බව නිගමනය කළ හැකිය.

B. ප්‍රශ්ණය : කච්චායනය එම මහරහතන් වහන්සේගේ කෘතියක් නම්  “පරසමඤ්ඤා පයොගෙ” යන සූත්‍රයෙන් සුදුසු තැන්හිදී සංස්කෘත සංඥා යොදාගැනීමට දොර විවරකර තිබීම මහරහත් උතුමෙකුට ගැලපේ ද?

අපේ පිළිතුර :      වෙනත් භාෂාවක යෙදෙන වචන බුද්ධ දේශනාව පැහැදිලි කිරීමේදී ද සුදුසු පරිදි වෙනස් කොට යොදාගැනීම මහරහත් උතුමෙකුට නොගැලපේ යැයි කිසිසේත් නොකිය හැකිය. එසේ නොගැලපේ යැයි කියන්නේ නම් ඒ රහත් විෂය පිළිබඳ නොදැනීම නිසා කියන්නකි. භාග්‍යවතුන් වහන්සේ ද එකල බ්‍රාහ්මණ ආගමේ භාවිත වූ “ධ්‍යාන, කසිණ, අට්ඨසමාපත්ති, අභිඤ්ඤා” යනාදී වචන එලෙසම දේශනා කළ අයුරු ද සලකා බැලිය යුතුය. මීට අමතරව මහාභාරත, මනුස්මෘති, උත්තරජ්ඣාන ආදී වෙනත් ආගමික ග්‍රන්ථයන්හි ඇති ශ්ලෝක හා ධම්මපද ගාථාදිය අතර සමතා පැවතීම ද සැලකිය යුතුය. එකල පොදුවේ භාවිත වූ සුභාෂිත බැවින් මෙම සමතාවය වූ බවත් එම ග්‍රන්ථ පූර්වාදර්ශ කොටගෙන භාග්‍යවතුන් වහන්සේ දහම් නොදෙසූ බවත් සැලකිය යුතුය. මෙසේ එකල ව්‍යවහාරයේ පැවති උපමා, සුභාෂිතාදිය ධර්මකරුණු පැහැදිලි කිරීමේදී යොදාගැනීම බුදුරජුන්ගේ සර්වඥතාවයට මදිපුංචිකමක්ද නොවේ. තවද අරණවිභඞ්ග සූත්‍රාදී දේශනාවන්ගෙන් ‘ජනපදනිරුත්‌තිං නාභිනිවෙසෙය්‍ය සමඤ්‌ඤං නාතිධාවෙය්‍ය’ (මෙම ව්‍යවහාරයම සත්‍ය යැයි දැඩිව ගෙන ව්‍යවහාර නොකරන්නේය, ලෝකප්‍රඥප්තිය- පොදු ව්‍යවහාරය නොයික්ම වන්නේය) යනුවෙන් දෙසූ බැවින් එකල භාවිතයේ පැවති වියරණයට සම්බන්ධ වචන පාළි වියරණයේදී යොදාගැනීම කච්චායන මහතෙරුන්ගේ අර්හත්වයට මදිපුංචිකමක් නොවේ. මෙසේ එකල සකු වියරණයේ භාවිත වූ වචන එසේම හෝ මදක් වෙනස් කර හෝ යොදාගැනීමේ හේතු කීපයක් මෙසේ දැක්විය හැකිය.

  1. පාළි හා සකු යන භාෂා දෙකෙහි භාෂා ප්‍රයෝග, වාක්‍ය රටා, වචන ආදියේ බොහෝ සෙයින් සමතාවක් තිබීම.
  2. අළුතින්ම වියරණ රීති හඳුන්වා දීමට වඩා පවතින රීතියක් සංස්කරණය කර යොදාගැනීම එය හදාරන්නන්ගේ පහසුව පිණිස වීම.
  3. අරණවිභඞ්ග සූත්‍රාදියේ දැක්වූ පරිදි ව්‍යවහාරය නොයික්මවීම පිණිස.
  4. ඒ වන විටත් සකු වියරණය ප්‍රචලිතව තිබූ බැවිනුත් එහි ප්‍රගුණතාව ඇති බොහෝ භික්‍ෂු පිරිසක් වැඩසිටි හෙයිනුත් එම සඤ්ඤාදිය භාවිතය හැම අතින්ම පහසුවක් වීම.

ඉහත කරුණු අනුව සකු වියරණයේ භාවිතවන සඤ්ඤාදිය පාළි වියරණයේදී යොදා ගැනීමට අනුදැනීම කිසිසේත්ම කච්චායන මහරහතන් වහන්සේට මදිපුංචිකමක් නොවන බවද නිගමනය කළ හැකිය.

C. ප්‍රශ්ණය : කච්චායනයේදී විභක්ති නාම වශයෙන් දැක්වූ “පඨමා, දුතියා” ආදී නාම අටුවා කරණයේදී නොගෙන “පච්චත්තවචන, උපයොගවචන” යනාදී වෙනත් විභක්තිනාම ක්‍රමයක් යොදාගත්තේ ඇයි?

  1. මෙහිදී ඇතැමුන් නගන ප්‍රශ්ණයක් නම් “කච්චායන වියරණය කච්චායන මහරහතන් වහන්සේගේ නම් අටුවා රචනයේදී එහි සඳහන් විභක්ති නාම නොගෙන පච්චත්ත ආදී වෙනත් නම් යොදාගත්තේ ඇයි? කච්චායන වියරණය කච්චායන මහරහතන් වහන්සේගේ නම් අටුවාචාරීන් වහන්සේලා අනිවාර්යෙන්ම එහි සඳහන් විභක්ති නාම යොදාගන්නවා ඇත.” යන්නයි. ඊට අපි මෙසේ පිළිතුරු සපයමු.

මෙම ප්‍රශ්ණය නගන්නේ එම කරුණ පිළිබඳ හරිහැටි විමසීමක් නොකිරීම නිසාය. මෙම පච්චත්ත ආදී විභක්ති වචනද කච්චායන මහරහතන් වහන්සේගේම දේශනාවක් වූ මහානිරුක්ති නමැති වියරණ ග්‍රන්ථයේ සඳහන් සඤ්ඤා නාමයෝය. ඒ බව රූපසිද්ධි ටීකාදී ග්‍රන්ථයන්හි ඉතා පැහැදිලිව දක්වා ඇත. රූපසිද්ධි කාරක කාණ්ඩය අගදී මෙම පච්චත්ත ආදී විභක්ති නාම සඳහන් සංග්‍රහ ගාථාවක් දක්වන අතර රූපසිද්ධි ටීකාවේදී එම ගාථාව මහානිරුක්තියෙහි වදාළ බව දැක්වේ. ඒ මෙසේය ;

විභත්‌තියො පන පච්‌චත්‌තවචනාදිවසෙන අට්‌ඨවිධා භවන්‌ති. යථාහ

‘‘පච්‌චත්‌තමුපයොගඤ්‌ච, කරණං සම්‌පදානියං;

නිස්‌සක්‌කං සාමිවචනං, භුම්‌මාලපනමට්‌ඨම’’න්‌ති. [86]

යථාහ; මහානිරුත්තියං පච්චත්තන්ති ආදිනා විභත්තීනං සංගහගාථා වුත්තා.[87] (මහානිරුක්තියෙහි පච්චත්තං යනාදී වශයෙන් විභක්තීන්ගේ සංග්‍රහ ගාථාවක් මෙසේ වදාරණ ලද්දේය.)

පච්චත්තං, ප්‍රථමාවචනය; උපයොගඤ්ච, ද්විතීයාවචනය; කරණං, තෘතීයාවචනය; සම්පදානියං, සම්ප්‍රදානවචනය; නිස්සක්ක, අවධිභූත පඤ්චමී වචනය; සාමිවචනං, ෂෂ්ඨිවචනය; භුම්ම, සප්තමීවචනය; අට්ඨමං, අටවනු වූ; ආලපනං, ආමන්ත්‍රණයයි; ඒ විභක්තීහු අෂ්ටප්‍රකාර වෙති; යථාහ, මහානිරුක්ති ප්‍රකරණයෙහි කීයේමැයි.[88]

 

[86] රූපසිද්ධි 134 පිටුව

 

[87] රූපසිද්ධි ටීකා 395 පිටුව

 

[88] රූපසිද්ධි පුරාණ සන්න 200 පිටුව

රූපසිද්ධි ටීකාව රචනා කලේද රූපසිද්ධිය රචනා කල චෝළිය බුද්ධප්පිය ඇදුරුපාණන් වහන්සේම බවද මෙහිදී දතයුතුය. කරුණු මෙසේ හෙයින් අටුවාකරණයේදීද  අටුවාචාරීන් වහන්සේලා යොදාගෙන ඇත්තේ කච්චායන මහරහතන් වහන්සේ විසින් දැක්වූ විභක්ති නාමම බව දත යුතුය. මෙහිදී ඇතැමෙක් තවත් ප්‍රශ්ණයක් නගනු ඇත. එනම්

2. මෙම ග්‍රන්ථ දෙකම කච්චායන මහරහතන් වහන්සේගේම නම් විභක්ති සඤ්ඤා දැක්වීමේදී ග්‍රන්ථ දෙකෙහි දෙවිදියකින් දැක්වූයේ ඇයි? යනු එසේ විමසන තවත් ප්‍රශ්ණයකි. ඊට අපි මෙසේ පිළිතුරු සපයමු.

කච්චායන මහරහතන් වහන්සේගේ දේශනා යැයි සැලකෙන මහානිරුක්තිය හා කච්චායන වියරණය යන ග්‍රන්ථ දෙකම මුල් කාලයේදී මුඛපාඨ වශයෙන් පැවතී පසුව ග්‍රන්ථාරූඪ වන්නට ඇති බව අපගේ අදහසයි. එහිදී මහානිරුක්තියෙහි විභක්ති නාම දැක්වීමේදී පච්චත්ත, උපයොග ආදී විභක්ති නාම සඤ්ඤා මෙන්ම පඨමා, දුතියාදී සඤ්ඤා ද යොදාගත් බවට සාධක ඇත. මහානිරුක්තියෙන් උපුටා මහාසද්දනීතියෙහි

වුත්‌තඤ්‌හි නිරුත්‌තිපිටකෙ නිපාතපදපරිච්‌ඡෙදෙ ‘‘තුං ඉති චතුත්‌ථියා’’ති. තත්‍රායමත්‌ථො ‘‘තුං ඉති එතදන්‌තො නිපාතො චතුත්‌ථියා අත්‌ථෙ වත්‌තතී’’ති.[89]

[89] සද්දනීති 278 පිටුව 4-6 පෙළ

(නිරුක්තිපිටකයෙහි නිපාත පද පරිච්ඡේදයෙහි ‘‘තුං ඉති චතුත්‌ථියා’’යැයි කියන ලද්දේය. “තුං යන මේ අන්තය ඇති නිපාතය චතුර්ථි අර්ථයෙහි වැටේ” යනු එහිලා මේ අර්ථයයි.) යැයි දක්වා ඇත. මෙහි “චතුත්ථියා” යැයි පෙනෙන බැවින් මහානිරුක්තියෙහි පඨමා, දුතියා ආදී සඤ්ඤා නාමද භාවිතා වූ බව තහවුරු වේ. පච්චත්ත, උපයොග ආදී සඤ්ඤා යොදාගත් බව ඉහත දැක්වීමු. මහාසද්දනීතියෙහි මහානිරුක්තියෙන් ගත් බොහෝ උදෘත දක්නා ලැබේ.

එබැවින් මහාසද්දනීතියෙහි දැක්වෙන “ඉදමෙත්‌ථ නිරුත්‌තිලක්‌ඛණං දට්‌ඨබ්‌බං – පච්‌චත්‌තවචනෙ පඨමා විභත්‌ති භවති, උපයොගවචනෙ දුතියා විභත්‌ති භවති, කරණවචනෙ තතියා විභත්‌ති භවති, සම්‌පදානවචනෙ චතුත්‌ථී විභත්‌ති භවති, නිස්‌සක්‌කවචනෙ පඤ්‌චමී විභත්‌ති භවති, සාමිවචනෙ ඡට්‌ඨී විභත්‌ති භවති, භුම්‌මවචනෙ සත්‌තමී විභත්‌ති භවති, ආමන්‌තනවචනෙ අට්‌ඨමී විභත්‌ති භවති. තත්‍රැද්‌දානං –

පච්‌චත්‌තමුපයොගඤ්‌ච, කරණං සම්‌පදානියං;

නිස්‌සක්‌කං සාමිවචනං, භුම්‌මමාලපනට්‌ඨමං.

තත්‍ර පච්‌චත්‌තවචනං නාම තිවිධලිඞ්‌ගවවත්‌ථානගතානං ඉත්‌ථිපුමනපුංසකානං පච්‌චත්‌තසභාවනිද්‌දෙසත්‌ථො. උපයොගවචනං නාම යො යං කරොති, තෙන තදුපයුත්‌තපරිදීපනත්‌ථො.

කරණවචනං නාම තජ්‌ජාපකතනිබ්‌බත්‌තකපරිදීපනත්‌ථො. සම්‌පදානවචනං නාම තප්‌පදානපරිදීපනත්‌ථො. නිස්‌සක්‌කවචනං නාම තන්‌නිස්‌සටතදපගමපරිදීපනත්‌ථො. සාමිවචනං නාම තදිස්‌සරපරිදීපනත්‌ථො. භුම්‌මවචනං නාම තප්‌පතිට්‌ඨාපරිදීපනත්‌ථො. ආමන්‌තනවචනං නාම තදාමන්‌තනපරිදීපනත්‌ථො. එවං ඤත්‌වා පයොගානි අසම්‌මුය්‌හන්‌තෙන යොජෙතබ්‌බානි.[90]” යන පාඨය ද මහානිරුක්තිය අනුසාරයෙන් දැක්වූ බව පැහැදිලිය. මේ අනුව ද මහානිරුක්තියෙහි පඨමා, දුතියා ආදී සඤ්ඤා මෙන්ම පච්චත්ත, උපයොග යනාදී සඤ්ඤා ද භාවිත කළ බව පැහැදිලි වේ.

 

[90] සද්දනීති

මහානිරුක්තිය හැඳින්වීම සඳහා “මහානිරුත්ති, නිරුත්ති, නිරුත්තිපිටක” යනාදී නම් කීපයක් භාවිතා වූ බව පෙනේ. ඒ බව

a. යස්‌මා ‘‘නිරුත්‌තිපිටකං නාම පභින්‌නපටිසම්‌භිදෙන මහාඛීණාසවෙන මහාකච්‌චායනෙන කත’’න්‌ති ලොකෙ පසිද්‌ධං, [91]

(නිරුක්තිපිටකය ප්‍රභින්න ප්‍රතිසම්භිදාවන්ගෙන් යුත් මහාක්‍ෂීණාශ්‍රව මහාකච්චායන මහරහතන් වහන්සේ විසින් කරන ලදැයි යම් හෙයකින් ලෝකයෙහි ප්‍රසිද්ධ ද …..)

 

 

[91] සද්දනීති

b. අයමායස්‌මතා මහාකච්‌චානෙන පභින්‌නපටිසම්‌භිදෙන කතස්‌මා නිරුත්‌තිපිටකතො උද්‌ධරිතො පුරිසඉච්‌චෙතස්‌ස පකතිරූපස්‌ස නාමිකපදමාලානයො.

(ප්‍රභින්න ප්‍රතිසම්භිදාවන්ගෙන් යුත් ආයුෂ්මත් මහාකච්චායන මහරහතන් වහන්සේ විසින් කරන ලද නිරුක්තිපිටකයෙන් උදෘතකළ පුරිස යන මේ ප්‍රකෘතිරූපයේ නාමපදමාලා න්‍යායි.)

c. යදිපි (භොති) කඤ්ඤාති රූපමිදං න නිද්දිට්ඨං කච්චානෙන, තථාපි නිරුත්තියං නිද්දිට්ඨත්තා එත්ථාපි සඞ්ගහිතං. (මොග්ගල්ලාන පඤ්චිකා 87 පිට, 2-62 සුතුර)

d. නිරුත්තියං නිද්දිට්ඨත්තා ; (ප්‍රභින්න ප්‍රතිසම්භිදාවෙන් යුත්ත වූ මහාශ්‍රාවක කසයින් මහතෙරුන් වහන්සේ විසින්) මහානිරුක්තියෙහි (“භොති සබ්බා”යි ඒකවචනයෙහි ආකාරාන්ත රූපය) නිර්දිෂ්ට බැවින් _ භො බ්‍රහ්මා යන පදයැ ……. (මොග්ගල්ලාන පඤ්චිකාප්‍රදීප 82 පිටුව) යනාදී උදෘත වලින් ප්‍රකට වේ.

නමුත් කච්චායන වියරණය ග්‍රන්ථාරූඪ කිරීමේදී එවකට ප්‍රකටව භාවිතා වූ පඨමා, දුතියා ආදී විභක්ති සඤ්ඤා පමණක් යොදාගන්නට ඇත යනු අපගේ අදහසයි.

මෙහිදී ඇතැමෙක් තවත් ප්‍රශ්ණයක් නගනු ඇත. එනම්

3. එවකට ප්‍රකටව භාවිතා වූයේ පඨමා, දුතියා ආදී විභක්ති නාම නම් අටුවා කරණයේදී එම නාම නොගෙන පච්චත්ත, උපයොග ආදී නාම යොදාගත්තේ ඇයි? යනුවෙනි. ඊට අපි මෙසේ පිළිතුරු සපයමු.

එම අටුවා පරිවර්තන යුගය වන විට අභයගිරික භික්‍ෂූහු සංස්කෘත භාෂාවෙන් ලියැවුණු මහායාන ත්‍රිපිටකයත්, වෛතුල්‍ය පිටකාදී වූ නොයෙක් විපරීත අදහස් සහිත ග්‍රන්ථත් පිළිගෙන හදාල බව ඉතිහාස ග්‍රන්ථයන්හි දැක්වේ. මේ අනුව ඔවුන්ගේ ග්‍රන්ථ ද සකු බසට නැඹුරුව රචනා වන්නට ඇත. එහිදී විභක්ති නාමාදිය ද සකු බසට නැඹුරුව ප්‍රථමා, දුතියා ආදී ලෙස යොදා ගන්නට ඇත.

අටුවා පරිවර්තනය කළ ඇදුරුපාණන් වහන්සේලාගේ හා මහාවිහාරීය සඞ්ඝරත්නයේ ප්‍රධාන අරමුණක් වූයේ වෙනත් වැරදි මත හා මිශ්‍ර නොවන ලෙස පිරිසිදු ථේරවාදී දහම ආරක්‍ෂා කිරීමයි. එබැවින් ථේරවාදී ධර්ම ග්‍රන්ථයන්ගේ ස්වාධීනත්වය ආරක්‍ෂා කරගැනීම සඳහා අභයගිරිකාදී අන්‍ය නිකායික භික්‍ෂූන් භාවිතා නොකරන විභක්ති සඤ්ඤාවන් වූ පච්චත්ත, උපයොග ආදී විභක්ති නාම යොදාගන්නට ඇතැයි නිගමනය කළ හැක.

D. ප්‍රශ්ණය : “කච්චායන මහරහතන් වහන්සේගේ ම තවත් වියරණ කෘතියක් යැයි බොහෝ දෙනා අවිවාදයෙන් පිළිගන්නා මහානිරුක්තියේ දැක්වූ ඇතැම් වචන කච්චායනයේදී දක්වා නැත. ඒ නිසා ප්‍රතිසම්භිදා ලාභී උතුමෙකු අතින් මෙවැන්නක් විය හැකි ද?

අපේ පිළිතුර :  මෙම මතය බොහෝ දෙනා ඉදිරිපත් කරන්නේ මොග්ගල්ලාන  පඤ්චිකාවේ හා පඤ්චිකාප්‍රදීපාදියේ දැක්වෙන

“යදිපි (භොති) කඤ්ඤාති රූපමිදං න නිද්දිට්ඨං කච්චානෙන, තථාපි නිරුත්තියං නිද්දිට්ඨත්තා එත්ථාපි සඞ්ගහිතං. (මොග්ගල්ලාන  පඤ්චිකා 87 පිට, 2-62 සුතුර)

නිරුත්තියං නිද්දිට්ඨත්තා ; (ප්‍රභින්න ප්‍රතිසම්භිදාවෙන් යුත්ත වූ මහාශ්‍රාවක කසයින් මහතෙරුන් වහන්සේ විසින්) මහානිරුක්තියෙහි (“භොති සබ්බා”යි ඒකවචනයෙහි ආකාරාන්ත රූපය) නිර්දිෂ්ට බැවින් _ භො බ්‍රහ්මා යන පදයැ ……. (මොග්ගල්ලාන  පඤ්චිකාප්‍රදීප 82 පිටුව)”

යනාදී පාඨ පදනම් කරගෙනය. නමුත් මෙවැනි අඩුවැඩි තැන් තිබූ පමණින්ම මෙම ග්‍රන්ථ දෙක වෙනස් කර්තෘ වරුන්ගේ යැයි පැවසීම යුක්තිසහගත නොවේ. මෙහිදී මෙම වෙනස ඇතිවීමට හේතු සෙවිය යුතුය. එකම කර්තෘවරයෙකු අරමුණු දෙකකින් රචිත ග්‍රන්ථ දෙකක මෙබඳු වෙනස්කම් ඇතිවිය හැකි බැවිනි. උදාහරණ ලෙස බුද්ධ දේශනාවෙන්ම කරුණු පෙන්විය හැක. චුල්ලවග්ග පාළියේදී අවන්දිය පුද්ගලයින් දක්වන තැනදී 10 දෙනෙකු ලෙසත්, පරිවාර පාළියේදී අවන්දිය පුද්ගලයින් 25 දෙනෙකු බවත් දැක්වේ. නමුත් මෙහිදී චුල්ලවග්ගයේදී ආපත්තිකර පුද්ගලයින් වශයෙනුත්, පරිවාරයේදී නුසුදුසු සියලු දෙනාගේ වශයෙනුත් දැක්වේ. මෙබඳු යුක්තීන් මෙම වියරණ ග්‍රන්ථ සම්බන්ධවද තිබිය හැකිය. උදාහරණයක් ලෙස මහානිරුක්තියේදී ස්ත්‍රීලිංග ආලපන ඒකවචනයේ මෙම ආකාරාන්ත රූපය එකල ව්‍යවහාරයේ පැවති බැවින් හෝ ග්‍රන්ථවලට ඇතුලත් නොවූ බුද්ධ දේශනාවන්හි පැවති නිසා හෝ ඇතුලත් කලේයැයි ද දැනට භාවිත ත්‍රිපිටක ධර්මයේ අභාවිත බැවින් කච්චායන වියරණයේදී නොදැක්වූ බවද සැලකිය හැකිය.

තවද මහානිරුක්තියෙන් ගත් උදෘත සලකා බැලීමේදී පෙනීයන්නේ මහානිරුක්තිය යනු බහුලව භාවිතා වන පදයන්ට උදාහරණ සපයමින් සැකසුණු ග්‍රන්ථයක් බවයි. කච්චායනයේදී ඊට වඩා පද දක්වා ඇති බවද පෙනේ. ඒ බව පහත උදෘතයන්ගෙන් දත හැකිය.

  1. නිරුත්‌තිපිටකාදීසු ‘‘රාජා’’ති බහුවචනං න ආගතං, චූළනිරුත්‌තියං පන ආගතං. කිඤ්‌චාපි නිරුත්‌තිපිටකාදීසු න ආගතං, තථාපි ‘‘නෙතාදිසා සඛා හොන්‌ති, ලබ්‌භා මෙ ජීවතො සඛා’’ති පාළියං බහුවචනෙකවචනවසෙන ‘‘සඛා’’ති පදස්‌ස දස්‌සනතො ‘‘රාජා’’ති බහුවචනං ඉච්‌ඡිතබ්‌බමෙව. තථා ‘‘බ්‍රහ්‌මා, අත්‌තා’’ ඉච්‌චාදීනිපි බහුවචනානි තග්‌ගතිකත්‌තා විනා කෙනචි රූපවිසෙසෙන. (සද්දනීති.)
  2. යමකමහාථෙරෙන කතාය පන චූළනිරුත්‌තියං ‘‘භො පුරිස’’ඉති රස්‌සවසෙන ආලපනෙකවචනං වත්‌වා ‘‘භො පුරිසා’’ඉති දීඝවසෙන ආලපනබහුවචනං වුත්‌තං. කිඤ්‌චාපි තාදිසො නයො නිරුත්‌තිපිටකෙ නත්‌ථි, තථාපි බහූනමාලපනවිසයෙ ‘‘භො යක්‌ඛා’’ ඉති ආදීනං ආලපනබහුවචනානං ජාතකට්‌ඨකථාදීසු දිස්‌සනතො පසත්‌ථතරොව හොති විඤ්‌ඤූනං පමාණඤ්‌ච, තස්‌මා ඉමිනා යමකමහාථෙරමතෙනපි ‘‘පුරිසො පුරිසා පුරිස’’න්‌ති ආදීනි වත්‌වා ආමන්‌තනෙ ‘‘භො පුරිස, භො පුරිසා, භවන්‌තො පුරිසා’’ති නාමිකපදමාලා යොජෙතබ්‌බා. (සද්දනීති.)
  3. නිරුත්‌තිපිටකෙ පච්‌චත්‌තාලපනට්‌ඨානෙ ‘‘මහන්‌තො, භවන්‌තො, චරන්‌තො’’තිආදීනං බහුවචනත්‌තමෙව කථිතං, න එකවචනත්‌තං. තථා හි තත්‌ථ ‘‘මහං භවං චරං තිට්‌ඨ’’න්‌ති ගාථං වත්‌වා ‘‘මහං තිට්‌ඨති, මහන්‌තො තිට්‌ඨන්‌තී’’ති ච, “භො මහා, භවන්‌තො මහන්‌තො’’ති ච, “භවං තිට්‌ඨති, භවන්‌තො තිට්‌ඨන්‌තී’’ති ච ආදි වුත්‌තං. (සද්දනීති.)
  4. එත්‌ථ “කඤ්‌ඤා’’ති එකවචනබහුවචනවසෙන වුත්‌තං, නිරුත්‌තිපිටකෙ බහුවචනවසෙන වුත්‌තො නයො නත්‌ථි. තථා හි තත්‌ථ ‘‘සද්‌ධා තිට්‌ඨති, සද්‌ධායො තිට්‌ඨන්‌ති. සද්‌ධං පස්‌සති, සද්‌ධායො පස්‌සතී’’ති එත්‌තකමෙව වුත්‌තං, “සද්‌ධා’’ති බහුවචනං න ආගතං. කිඤ්‌චාපි නාගතං, තථාපි ‘‘බාහා පග්‌ගය්‌හ පක්‌කන්‌දුං, සිවිකඤ්‌ඤා සමාගතා. අහෙතු අප්‌පච්‌චයා පුරිසස්‌ස සඤ්‌ඤා උප්‌පජ්‌ජන්‌තිපි නිරුජ්‌ඣන්‌තිපී’’ති ආදිපාළිදස්‌සනතො බාහාකඤ්‌ඤා සඤ්‌ඤාසද්‌දාදීනං බහුවචනතා ගහෙතබ්‌බා. චූළනිරුත්‌තියං “භොති කඤ්‌ඤෙ, භොති කඤ්‌ඤා’’ති ද්‌වෙ එකවචනානි වත්‌වා ‘‘භොතියො කඤ්‌ඤායො’’ති එකං බහුවචනං වුත්‌තං. නිරුත්‌තිපිටකෙ පන ‘‘භොති සද්‌ධා’’ති එකවචනං වත්‌වා “භොතියො සද්‌ධායො’’ති එකං බහුවචනං වුත්‌තං. මයං පනෙත්‌ථ ‘‘එහි බාලෙ ඛමාපෙහි, කුසරාජං මහබ්‌බලං. ඵුස්‌සතී වරවණ්‌ණාභෙ. එහි ගොධෙ නිවත්‌තස්‌සූ’’ති ආදිපාළිදස්‌සනතො “භොති කඤ්‌ඤෙ, භොතියො කඤ්‌ඤා, කඤ්‌ඤායො’’ති එවංපකාරානියෙව ආලපනෙකවචනබහුවචනානි ඉච්‌ඡාම. එත්‌ථ ‘‘භොති කඤ්‌ඤෙ’’ති අයං නයො අම්‌මාදීසු මාතාදීසු ච න ලබ්‌භති. (සද්දනීති.)

මෙම කරුණු අනුව පෙනී යන්නේ මහානිරුක්තියේ නොදැක්වූ  බොහෝ පදසැකසීම් කච්චායනයේ දක්වා ඇති බවයි. මහානිරුක්තිය අභාවිතව යාමට හේතුවද මෙහිදී විමසිය යුතුය. එහි වූ බොහෝ ප්‍රයෝග කච්චායනයේ ඇතුලත් වූ බැවිනුත් පසුව රචනා වූ මොග්ගල්ලාන , සද්දනීති ආදී වියරණ ග්‍රන්ථයන්හි සෙසු කරුණු ද දැක්වූ බැවිනුත් අභාවිත වන්නට ඇති බව අපගේ අදහසයි. එක් රටකදී විනාශ වුව ද සියලු බෞද්ධ රාජ්‍යයන්හිම මෙය විනාශ වීමටද කරුණු නොපෙනේ. ඉහත දැක්වූ කරුණු හැර මහාකච්චායන මහරහතන් වහන්සේගේ කෘතියකැයි අවිවාදයෙන් පිලිගන්නා මෙබඳු ශ්‍රේෂ්ට ග්‍රන්ථයක නාමය පමණක් ශේෂ වීමට වෙනත් කරුණු නොපෙනේ.

E. ප්‍රශ්ණය : කච්චායනය කච්චායන මහරහතන් වහන්සේගේම නම් “එහි (කච්චායනයෙහි) ඇතැම් වචනයන්ගේ පද සිද්ධි දක්වා නැත. එහි ඇතැම් සූත්‍රයන්ගෙන් කරන වැලැක්ම ඇතැම් පද සාධනයේදී නොයෙදේ ” යනාදී ලෙස පැරණි ග්‍රන්ථ කතුවරු නොදක්වනු ඇත. එසේ දක්වන්නේ ඇයි?

අපේ පිළිතුර :   මෙම ප්‍රකාශය කරන්නේ කච්චායනයේදී ඇතැම් සූත්‍රයන්ගෙන් වැලැක්වූ පද කීපයක් ඉතා කලාතුරකින් දේශනා පාලියේදී හමුවන බැවින් එබඳු තැන් සද්දනීති, මොග්ගල්ලාන  ආදී ග්‍රන්ථයන්හි දක්වා ඇති බැවිනි. මෙබඳු තැන් මොග්ගල්ලායනාදී ග්‍රන්ථයන්හි ද දක්නා ලැබේ. එබඳු තැන්හි එම වැලැක්වීම බහුල පැවැත්ම අනුව (බාහුල්ලවුත්ති) බව පඤ්චිකාප්‍රදීපාදියෙහි මෙසේ දක්වා ඇත.

  • චූළනිරුත්තියෙහි ස්ත්‍රීලිඟු කියන තැනැ “චතුන්නං” කියා ද, නිරුක්තිපිටකයෙහි “චතුන්නං කඤ්ඤානං” කියා ද, සොණදණ්ඩසූත්‍රාදියෙහි “චතුන්නං පරිසානං පියො මනාපො” කියා ද ……ස්ත්‍රීලිඟුවෙහි “චතුන්නං” යන පදයැ සාක්ෂාත් ප්‍රයෝග කළ හෙයින් ස්ත්‍රීලිඟු විෂයෙහි නැතැයි ප්‍රත්‍යුදාහරණ කොටැ දැක්වීම භූයෝවෘත්ත්‍යාශ්‍රයෙනැයි දතයුතු. (මොග්ගල්ලාන පඤ්චිකාප්‍රදීප 88 පිටුව)

තවද මහානිරුක්තිය කච්චායන මහරහතන් වහන්සේගේම යැයි පවසන මොග්ගල්ලාන යෙහි හා සද්දනීතියෙහිද ඇතැම් තැනකදී මහානිරුක්තියේ නොදැක්වූ නමුත් ත්‍රිපිටකයේ දක්නා ලැබෙන පද පිලිබඳ දක්වයි. කරුණු මෙසේ හෙයින් සෑම වියරණ ග්‍රන්ථයකදීම රීති දැක්වීමේදී මෙම බහුල පැවැත්ම අනුව දැක්වීයැයි ගත් විට කිසි විරෝධයක් ඇති නොවේ.

F. ප්‍රශ්ණය : “ අනුපදිට්ඨානං වුත්තයොගතො, යදනුප්පන්නා නිපාතනා සිජ්ඣන්ති ” ආදී සූත්‍ර කච්චායනයේ යෙදීම ශාස්ත්‍රීය ද? එය මහරහතන් වහන්සේ කෙනෙකුන්ට ගැලපේ ද?

අපේ පිළිතුර :   මෙසේ පවසන්නේ නම් ඒ කරුණු හරිහැටි විමසා නොබැලීම හේතුවෙනි. මහරහතන් වහන්සේ නමකගේ දේශනාවක් ඇසුරින් සැකසුණු ග්‍රන්ථයක වුවද එබඳු දෙයක් විය හැකිය. ඊට හේතුව වන්නේ අවබෝධ කළ සියල්ල දේශනා කිරීමත්, දේශනා කළ සියල්ල රචනා කිරීමත් ප්‍රායෝගික නොවීමයි. යම් ග්‍රන්ථයක සියල්ලෙන් සියල්ල ඇතුලත් නොවූ පමණින් එම ඇතුලත් නොවූ කරුණු එම දේශකයින් වහන්සේ නොදෙසුවේ යැයි හෝ උන් වහන්සේ එය අවබෝධ නොකලේ යැයි හෝ කිසිසේත්ම කිව නොහැකිය. සංයුත්තනිකායේ සීසපා සූත්‍රය ඊට සාධකයි. මෙහිදී භාග්‍යවතුන් වහන්සේ දක්වන්නේ තමන් වහන්සේ දේශනාකළ ධර්මය අතට ගත් ඇට්ටේරිය කොල කීපය තරම් අල්ප බවත් අවබෝධ කර නොදෙසූ ප්‍රමාණය ඇට්ටේරිය කැලයේ ගස්වල ඇති කොළ මෙන් බොහෝ බවත්ය. ඉහත දැක්වූ කච්චායන වියරණය පිළිබඳවද මෙසේ දතයුතුය. බුද්ධදේශනාවේ එන සියලු පද සැකසීමට සූත්‍ර රචනා කරන්නේ නම් ඒවා දහස් ගණනක් වනු ඇත. එවිට ද ඉගෙනීම, ධාරණය අපහසු වේ. එබැවින්  බහුලව භාවිතාවන පද සැකසීම සඳහා අවශ්‍ය රීතීහු ධාරණයට හා හැදෑරීමට පහසු ප්‍රමාණයට සකස් කරනු ලදුව එම රීති වලින් සැකසීමට නොහැකි වූ ඉතා කලාතුරකින් දක්නා ලැබෙන පද සැකසීම සඳහා අනුපදිට්ඨානං…, යදනුප්පන්නා …, යනාදී සූත්‍ර  රචිත බව සැලකිය යුතුය.

නිගමනය

ඉහත කරුණු අනුව කච්චායනය පිලිබඳව ඇති සාම්ප්‍රදායික මතය තහවුරු වන අතර ඊට විරුද්ධව දක්වන මත ප්‍රතිෂ්ඨා විරහිත වේ. එබැවින් විශේෂයෙන්ම බුද්ධදේශනාවට සම්බන්ධ සාම්ප්‍රදායික මත ප්‍රතික්‍ෂේප කිරීමට පෙර බොහෝ කරුණු සිතා බැලිය යුතුය. ඊට හේතු කීපයක් අපි මෙසේ දක්වමු.

  1. පැරණි උතුමෝ දැන දැන කිසිසේත්ම අසත්‍ය ප්‍රකාශ නොකරන ඉතා සිල්වත් උතුමෝ වීම හා එම පුරාණ මත ප්‍රතික්‍ෂේප කරන බොහෝ දෙනා එසේ සත්‍යවාදී නොවීම.
  2. එම පැරණි ග්‍රන්ථ මේ තාක් කාලයක් ඉතා සිල්වත් වූ ද ප්‍රතිපත්ති ගරුක වූ ද පණ්ඩිත වූ ද පිරිසක් අතර සම්භාවනාවට මෙන්ම කරුණු විනිශ්චයේදී ප්‍රාමාණිකත්වයට පත්වීම.
  3. මෙම වියරණය සම්බන්ධ කරුණේදී එම පැරණි උතුමන් වහන්සේලා කච්චායනය හා මහානිරුත්තිය යන ග්‍රන්ථ දෙකම හදාරා, ඒවා සියසින් දැක තිබෙන අතර එම පැරණි උතුමන්ගේ මත නොපිලිගන්නා නූතන උගත්තු මහානිරුක්තිය තබා එහි එක පිටුවකුදු දැක නැති බව.
  4. රූපසිද්ධි, න්‍යාස ආදී පැරණි ග්‍රන්ථයන්හි දක්වන ඇතැම් රීති ඊට වෙනස් ලෙස විග්‍රහ කරන මොග්ගල්ලායනය හා එහි පරිවාර ග්‍රන්ථ කිසිවක හෝ “කච්චායනය කච්චායන මහරහතන් වහන්සේගේම” යැයි එම පැරණි ග්‍රන්ථයන්හි කළ සඳහන ප්‍රතික්‍ෂේප නොකරයි.
  5. එම පැරණි උතුමන් වහන්සේලා තම අදහස් ඉදිරිපත් කලේ ත්‍රිපිටකපාළිය, එහි සියලු අට්ඨකථා, පාළිභාෂාව ඇතුලු බොහෝ භාෂාවන් ද තම ආචරිය පරපුරෙන් ලැබුණු න්‍යායන් අනුව ගුරුන් ඇසුරු කොට උගෙන බොහෝ දහස් ගණන් ශිෂ්‍යයින්ට උගන්වා ඉන් පසුවය. නමුත් එම මත ප්‍රතික්‍ෂේප කරන නූතන උගතුන් සතු වන්නේ ඉහත සුදුසුකම් වලින් මොනවාද? ඒ කොතරම් ප්‍රතිශතයක්ද? යැයි සිතා බලනු වටී.
  6. එම පැරණි උතුමන් වහන්සේලා නිවන් අරමුණ පෙරදැරිව ඉගෙනීම, ඉගැන්වීම හා එම ග්‍රන්ථ රචනාදිය කළහ. එබැවින් කරන ඉගෙනීමාදිය හොඳින් කරුණු විමසාම සිදුකළහ. නමුත් ඇතැම් නූතන උගත්තු තම ඉගෙනීම උපාධියක් හෝ රැකියාවක් ඉලක්ක කරගෙන සිදුකරන බැවින් ඇතැම් විට අලුත් ග්‍රන්ථයක් නිපදවමුයි කියමින් හරිහැටි කරුණු තේරුම් නොගෙන පැරණි ග්‍රන්ථ විවේචනයට බැස ඒවායේ නැති වැරදි දක්වන්නට තැත්කරති.

කරුණු මෙසේ හෙයින් නූතනයින් කියනා සියලු දේ අවිචාරවත්ව පිළිගැනීමට ප්‍රථම හොඳින් සිතා බැලිය යුතුය. මේ පිළිබඳව මෙතරම් කරුණු දැක්වූයේ හේතු කීපයක් නිසාය. එනම්

  • පැරණි ග්‍රන්ථකාරක උතුමන්ගේ කීම් හෑල්ලුවට ලක්කිරීම නිසා ඒ උතුමන් හරහා අපට ලැබුණු ත්‍රිපිටක ධර්මය ගැන පවා සැක ඇතිවිය හැකි වේ.
  • ඒ මාහිමිවරුන්ගෙන් අප ලද පැවිදි උපසම්පදාවන් ගැනද සැක ඇති වේ.
  • මෙකල ප්‍රකට භාවනාක්‍රම සියල්ලම පාහේ අටුවා ටීකාදී ග්‍රන්ථයන්හි සඳහන් විවරණාදිය ගරු වශයෙන් පිලිගෙන ඇති නිසා එම භාවනාක්‍රම ගැන ද සැක ඇති වේ.
  • මෙසේ වැරදි දැක්වීමෙන් කිසිවෙකුගේ ශ්‍රද්ධාදී ගුණ නොවැඩෙන අතර ඒ වෙනුවට සැක සංකා බහුල වීම නිසා සාසනික ගුණ පිරීමට ද මන්දෝත්සාහී වේ.
  • මෙවැනි සාසනයට අහිතකර මතවාදයන්ට පිලිතුරු ලබාදීමට නම් මෙකල විශ්වවිද්‍යාල ආදී උසස් අධ්‍යාපනය ලබන පිරිස් අතර සැබෑ සාසන මාමක ප්‍රතිපත්තිකාමී පිරිසක් බිහිකිරීම සඳහා තර්කයට වඩා සත්‍යයට ගරුකරන අධ්‍යාපන ප්‍රතිපත්තියක් ද අත්‍යාවශ්‍යය යන කරුණු අවධාරණය කිරීමට අවශ්‍ය විය.

එබැවින් සාසනයේ පැවැත්මට අහිතකර මතවාද දුරුකර එය නගාසිටුවීමට අදහස් කරන්නේ නම් එබඳු අය කල යුත්තේ අපේ සම්ප්‍රදාය මුලින් ඉගෙන ඉන්පසු බාහිර මතවාද විමසා බැලීමයි. එසේ නොමැතිව මුලින් බාහිර මතවාද කරපින්නා ගෙන ඒ මත පිහිටා සාසනය දෙස බැලීම නොවේ. පැරණි ග්‍රන්ථ ආදියේ ඇතැයි ඇතැමුන් කියන නොගැලපෙන තැන් සෙවීම වෙනුවට එම ග්‍රන්ථ ගෞරවයෙන් හදාරන්නේ නම් එබඳු බොහෝ තැන් වැරදීම් නොව අපගේ වැරදි වැටහීම් බව වැටහෙනු ඇත. කරුණු මෙසේ හෙයින් සෑම සියලු දෙනාටම නිස්සරණ අධ්‍යාශයෙන් ධර්මය හදාරන්නට සිත් පහල වේවා යනු අපගේ මෛත්‍රී පූර්වාංගම ප්‍රාර්ථනයයි.

06   විශුද්ධිමාර්ගය, අප රටේ ප්‍රචලිත භාවනා ක්‍රම, ඒ  පිළිබඳ ඇති දුර්මත හා ඊට පිළිතුරු

විශුද්ධිමාර්ගය

බුද්ධකාලයේ පටන් අඛණ්ඩව පැවතුනා වූ ද මහාවිහාරීය මහරහත් පරම්පරාවෙන් සුරැකුණා වූ ද ඉපැරණි භාවනා මාර්ගය දක්වමින් මහාවිහාරවාසී මහාසඞ්ඝරත්නයේ අධීක්‍ෂණය යටතේ අනුබුද්ධ බුද්ධඝෝස මාහිමිපාණන් වහන්සේ විසින් රචිත අතිප්‍රශස්ත ග්‍රන්ථය විශුද්ධිමාර්ගයයි. ත්‍රිපිටකය පුරා විසිරී ඇති නිවන් මග දක්වන බුද්ධදේශනාවන්ගේ සාරය අනුපිළිවෙලින් සකසා, ත්‍රිපිටකයේ ඇතුලත් නොවූ නමුත් පැරණි හෙළ අටුවාවන්හි දැක්වූ ප්‍රායෝගික භාවනා උපදෙස් ද ඇතුලත් කරමින් රචිත විශුද්ධිමාර්ගය යනු නිවන් මග අනුපිළිවෙලින් ඉතා පැහැදිළිව දක්වන ප්‍රමුඛම ග්‍රන්ථය බව බහුශ්‍රැත ප්‍රතිපත්තිකාමී ථේරවාදී සංඝපීතෘන් වහන්සේලා සෑම දෙනාම පාහේ අවිවාදයෙන්ම පිළිගනිති.  දැනට ලොකයේ ප්‍රචලිත භාවනා ක්‍රම සෑම එකකම පාහේ විශුද්ධිමාර්ගයේ දැක්වෙන කරුණු ඉතා ගරුතැන්හි ලා දක්වා ඇත.

මෙම නිවන් මාර්ගය ඉතා ලෙහෙසි පහසු යැයි ලහු කොට නොසිතිය යුතුය. එය සෑම දෙනාටම විෂය වූවක් ද නොවේ. භාවිත චිත්තසන්තාන ඇති වීර්යවන්ත වූ ප්‍රඥාවන්ත වූ එහි මැනවින් යෙදෙන්නා වූ අයටම පමණක් විෂය වූවකි. මෙකල බොහෝ දෙනා නිවැරදි නිවන් මග යැයි සලකා නොයෙක් වැරදි ක්‍රම අනුගමනය කරති, වැරදි ක්‍රම දක්වා නිවැරදි මාර්ගයට පහර ගසමින් ලාභ සත්කාර ලැබීමට මාන බලන කෛරාටිකයින්ට හසුව ඒ අනුව ගොස් බොහෝ පව් සිදුකර ගෙන තමන්ගේ සුගති මාර්ගය ද අහුරා ගනිති. එසේ වීමට හේතු කීපයක් මෙසේය.

  1. මූළික දහම් දැනීමවත් නොමැතිකම
  2. ප්‍රතිපදාව පිළිබඳ මූළික කරුණුවත් නොදැන සිටීම
  3. තමා ගතකරන පස්පව් දස අකුසල් වලින් පිරුණු පාපී ජීවිතය අත් නොහැර එසේම සිට නිවන් ලැබිය හැකිය යන අඥාණ අදහස
  4. දුෂ්කර වූ සැබෑ ප්‍රතිපදාව පිරීමේ අකමැත්ත හා නොහැකියාව
  5. මෙම නිවන් ගමනේ ප්‍රතිඵලත් හරියට ආපනශාලාවකින් භාණ්ඩ ලබා ගන්නාක් මෙන් පහසුවෙන් හා ඉක්මනින් කළ හැක්කකැයි යන මුළාව

එය ඉතාමත්ම වීර්යයෙන් ඉතාමත් ක්‍රමාණුකූලව වැඩිය යුතු මාර්ගයක් බවත් ඉතා අපහසුවෙන් අවබෝධ කළයුත්තක් බවත් බුද්ධදේශනාවේ දක්වා ඇත. ඊට උදාහරණ කීපයක් මෙසේ දක්වමු.

  1. “කිච්‌ඡෙන මෙ අධිගතං, හලං දානි පකාසිතුං; රාගදොසපරෙතෙහි, නායං ධම්‌මො සුසම්‌බුධො.

පටිසොතගාමිං නිපුණං, ගම්‌භීරං දුද්‌දසං අණුං; රාගරත්‌තා න දක්‌ඛන්‌ති, තමොඛන්‌ධෙන ආවුටා”

(මා විසින් දුකසේ අවබෝධ කළ චතුරාර්ය සත්‍ය ධර්මය දැන් ප්‍රකාශ කිරීමෙන් වැඩක් නැත්තේය. රාගද්වේෂයන්ගෙන් පෙළුණවුන් විසින් මේ ධර්මය අවබෝධ කළ නොහැක.

උඩුගං බලා එනම් නිවන කරා යන්නා වූ නිපුණ වූ ගැඹුරු වූ දුකසේ දැක්ක යුතු වූ සියුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය රාගයෙන් රත් වූ අවිද්‍යාස්කන්ධයෙන් වැසුනා වූ සත්වයෝ නොදකිති.)[94]

[94] විනය මහාවග්ග 10-11 පිටු (බ්‍රහ්මායාචනකථා)

2.‘‘සුකරානි අසාධූනි, අත්‌තනො අහිතානි ච;

යං වෙ හිතඤ්‌ච සාධුඤ්‌ච, තං වෙ පරමදුක්‌කරං

(අපායට පමුණුවන්නා වූ ද එබැවින් තමාට අහිතවත් වූ ද වරදි දේ කිරීම පහසුය. සුගතියටත් නිවනටත් පමුණුවන්නා වූ එබැවින්ම තමාට හිතවත් වූ යහපත් දේ කිරීම හරියට නැගෙනහිර දෙසට ගලන ගඟක් වලක්වා බටහිර දෙසට ආපසු හැරවීමක් මෙන් ඉතාමත් අපහසුය.)[95]

 

 

 

[95] ධම්මපද 163 ගාථාව (අත්තවග්ග)

3. වාල සූත්‍රයෙහි දැක්වෙන පරිදි, කුඩා සිදුරකින් දුරසිට නොවරදවා ඊතළ විදින ලිච්ඡවී කුමාරවරුන්ව දිනක් පිඬුසිඟා වඩින ආනන්ද මාහිමියෝ දුටු සේක. පසුව බුදුරජුන් හමුවී මෙම කරුණ දන්වා ඔවුහු මනාව හික්මුණු පිරිසකැයි දැක්වූ විට භාග්‍යවතුන් වහන්සේ ‘‘තං කිං මඤ්‌ඤසි, ආනන්‌ද, කතමං නු ඛො දුක්‌කරතරං වා දුරභිසම්‌භවතරං වා – යො දූරතොව සුඛුමෙන තාළච්‌ඡිග්‌ගළෙන අසනං අතිපාතෙය්‍ය පොඞ්‌ඛානුපොඞ්‌ඛං අවිරාධිතං, යො වා සත්‌තධා භින්‌නස්‌ස වාලස්‌ස කොටියා කොටිං පටිවිජ්‌ඣෙය්‍යා’’ති? (ආනන්දයෙනි එසේ ඊතල විදීමද දුෂ්කර, නැතිනම් අස් ලෝමයක් හතට පලා එයින් එකක් උෂභයක් (රියන් 140ක්) දුරින් එල්වා තවත් එකක් ඊතලයක යොදා නොවරදවා විදීම දුෂ්කරදැයි විචාල සේක) ‘‘එතදෙව, භන්‌තෙ, දුක්‌කරතරඤ්‌චෙව දුරභිසම්‌භවතරඤ්‌ච යො වා සත්‌තධා භින්‌නස්‌ස වාලස්‌ස කොටියා කොටිං පටිවිජ්‌ඣෙය්‍යා’’ති. (එසේ අස්ලොම් පලුවෙන් විදීම දුෂ්කරයැයි ආනන්ද හිමියෝ පිළිතුරු දුන් සේක.) ‘‘අථ ඛො, ආනන්‌ද, දුප්‌පටිවිජ්‌ඣතරං පටිවිජ්‌ඣන්‌ති, යෙ ‘ඉදං දුක්‌ඛ’න්‌ති යථාභූතං පටිවිජ්‌ඣන්‌ති…පෙ.… ‘අයං දුක්‌ඛනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං පටිවිජ්‌ඣන්‌ති’’. (යමෙක් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ නම් ඔහු අර අස් ලොම් පලුවෙන් විදීමටත් වඩා ඉතා දුෂ්කර වූවක් කරන බව බුදුරජාණන් වහන්සේ වදාළ සේක.)[96]

 

 

 

 

 

[96] සංයුත්තනිකාය 5 හි 2 කොටස 316 පිටුව වාලසූත්‍රය

නිවන් අවබෝධය යනු පහසු දෙයක් නොවන බව ඉහත දේශනා අනුව පසක් වන්නට ඇත. රට්ඨපාල, මහාසීව,සෝණ ආදී මහරහත් උතුමන් වහන්සේලාගේ උත්සාහයන් සලකා බැලීමෙන් ද එය ප්‍රකට වේ. මේ කරුණු දැක්වූයේ මෙය අපහසු යැයි කියා අන්‍යයන්ව අධෛර්යයට පත් කිරීමට නොව දහමේ ඇති සැබෑ ගැඹුර පෙන්වීමට හා අලස නොවී උනන්දුවෙන් එහි යෙදීමට පෙළඹවීම පිණිසය. එබැවින් ලෙහෙසි ක්‍රම සොයනවා වෙනුවට විසුද්ධිමග්ගාදී ග්‍රන්ථයන්හි දැක්වෙන අනුපිළිවෙල නොයික්ම මැනවින් පිළිවෙත් පුරන්නේ නම් නිවැරදි ප්‍රතිඵල ලැබෙනු ඇත. ඒ පිළිබඳ සාක්‍ෂි කීපයක් මෙසේ දක්වමු.

  1. රුවන්ගිරිකන්ද ආරණ්‍යයේ වැඩසිටි අතිපූජනීය මාතලේ සීලරක්ඛිත මාහිමිපාණන් වහන්සේ යනු ඉතා උත්කෘෂ්ට අයුරින් ධුතංගාදී පිළිවෙත් පිරුවා වූ අතිෂය සිල්වත් උතුමෙකි. අහසින් ගමන්කිරීම, වැසි වැස්සවීම, යම් යම් දේ මවා ගැනීම ආදී ඍද්ධිවිධ ඤාණයන් ලබාසිටියා වූ ද නාඋයනේ අරියධම්ම මාහිමියන් වැනි ශිෂ්‍යයන්ට එම ක්‍රම කියාදුන්නා වූ ද ශ්‍රේෂ්ට යෝගීවරයෙකි. ඉතා අල්පේච්ඡ වූ එතුමන් වහන්සේ එම ආරණ්‍යයට පැමිණෙන විට රැගෙන ආවේ පරිෂ්කාර කීපයක් පමණි. එනම් තුන් සිවුරත්, පාත්‍රයත්, ගොටු අත්තත්, විශුද්ධිමාර්ගය පොතත් පමණක් බව කියැවේ. එතුමන් වහන්සේ මෙසේ විසුද්ධිමග්ගය භාවිතයෙන් අභිඤ්ඤා දක්වා සමථයත් උසස් අයුරින් විදර්ශනාවත් දියුණු කළ බව අසන්නට ලැබේ.
  2. ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාව පිහිටුවීමට මූළිකත්වය ගෙන කටයුතු කළ උතුමන් වහන්සේ නමක් වන අතිපූජනීය මාතර ඤාණාරාම මාහිමිපාණන් වහන්සේ යනු මෑත කාලයේ වැඩසිටි ඉතා ශ්‍රේෂ්ඨ භාවනා ගුරුවරයෙකි, ජීවිතපරිත්‍යාගයෙන් පිළිවෙතෙහි යෙදුණු උතුමෙකි, මගඵල ලාභී උතුමෙකැයි ප්‍රසිද්ධ වූ යතිවරයෙකි. එතුමන් පිළිබඳව අග්ගමහා පණ්ඩිත බලංගොඩ ආනන්ද මෛත්‍රි මාහිමිපාණෝ දක්වන්නේ “මෙකී සියලු පැවිදි උතුමන් අතුරෙහි විශේෂයෙන් කැපී පෙණුන උතුමෙකි, නොබෝදා අපවත් වී වදාළ මාතර ඥාණාරාම හිමිපාණෝ……… මෑතෙක මෙරටැ වැඩ හුන් ගුණවෘද්ධ තපෝවෘද්ධ මහතෙරුන්  අතරැ උන් වහන්සේ අග්‍රම තැන ගෙන සිටියහයි මගේ හැඟීමයි. අද මේ හෙළදිවෙහි භාවනා මධ්‍යස්ථාන බොහෝ තැන ඇත. ඒ අතින් සස්නෙහි දියුණුවක් පෙනේ. භාවනානුයෝගී ගිහි පැවිදි පිරිස ද වසක් පාසා ගණනින් නැගෙත්. එය සුභ ලකුණෙකි. මේ යෝගාවචරයන් අතර මාර්ගඵල ලාභීහු ද ඇතැයි සිතමි.

අපවත් වූ ඥානාරාම හිමියන් ගැන මා සලකනුයේ අනාගාමී ඵලයට පැමිණි කෙනකු හැටියට ය.”[97] යනුවෙනි. මාතර මාහිමිපාණන් වහන්සේ රචනා කළ ග්‍රන්ථ හා උන් වහන්සේගේ දිනපොත් සටහන් කියැවීමෙන් මේ කරුණු තවත් පසක් වනු ඇත.

[97] අමාබින්දු 3 පිටුව

මෙම මාතර මාහිමියන් රචනා කළ භාවනා ග්‍රන්ථයන්හි ද විසුද්ධිමග්ගයට ලබා දී ඇත්තේ ඉතා ප්‍රමුඛස්ථානයකි. උපුටා ගැනීම් දැක්වීමේදී මෙය ඉතා ප්‍රාමාණික ග්‍රන්ථයක් සේ දැක්වේ. ඒ බව එම ග්‍රන්ථ හා ඒවායේ උදෘත පාඨත් ආශ්‍රින ග්‍රන්ථ නාමාවලියත් කියැවීමෙන් දත හැකිය.

එතුමන් වහන්සේගේ අපවත් වීමට ආසන්න කාලයේදී එක් ශිෂ්‍ය ස්වාමින් වහන්සේ නමක් පැමිණ “අවසරයි ස්වාමින් වහන්ස! ස්වාමින් වහන්සේ වැඩූ භාවනා මාර්ගය කුමක්දැයි අපි දැනගන්න කැමතියි” යැයි විචාල විට “අපි වැඩුවේ විශුද්ධිමාර්ග භාවනා ක්‍රමයයි” යනුවෙන් වදාළ බව ද පැවසේ.

3. මෑත කාලයේ ලක්දිව බුදුසසුනේ මුදුන් මල්කඩ සේ වැඩසිටි අතිපූජනීය නාඋයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේ යනු සීල සමාධි ප්‍රඥා ගුණධර්ම ඉතා උසස් අයුරින් දියුණු කළ උතුමෙකි, ලොවපුරා ප්‍රචලිත වූ භාවනා ගුරුවරයෙකි, ත්‍රිපිටකධර උතුමෙකි. එතුමන් වහන්සේගේ ග්‍රන්ථයන්හි ද විශුද්ධිමාර්ගයට ලබා දී ඇත්තේ විශේෂ ගරුත්වයකි. ඒ බව එතුමන් වහන්සේ රචනා කළ ග්‍රන්ථත් ඒවායේ උදෘතපාඨත් ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලීන් හා ලියූ පෙරවදන් ආදියත් කියැවීමෙන් දත හැකිය. එබඳු උදෘත කීපයක් ඉදිරියේදී දැක්වේ.

විසුද්ධිමග්ගය පිළිබඳ මෙතරම් කරුණු දැක්වූයේ මෙකළ ඇතැම්හු හරිහැටි කරුණු නොදැන එයට දොස් පවරන බැවිනි. මෙකළ ලොවපුරා ප්‍රචලිත භාවනා ක්‍රමයන් දක්වන පොත් වලට උදෘතපාඨ ලබා ගත් පොත් අතර විසුද්ධිමග්ගයට ලැබෙන්නේ ප්‍රමුඛස්ථානයකි. මෙකළ ශ්‍රී ලංකාවේ ද භාවනා ක්‍රම කීපයක්ම ප්‍රචලිතව පවතී. ඒ ක්‍රම විස්තර කරන බොහෝමයක් ග්‍රන්ථයන්ට ද විසුද්ධිමග්ගය ගුරුපොතක් වී ඇත. ඇතැමෙක් මේවා අත්හදා නොබලා නොවිමසා තමාගේ අදහසට නොගැලපෙන හෙයින් ප්‍රතික්‍ෂේප කරති. ඇතැම්හු බුදුදහමේ කිසිසේත් දක්වා නැති වැරදි ක්‍රම නිවැරදි ක්‍රම සේ දක්වති. යම් භාවනා ක්‍රමයක් නිවැරදි දැයි දැන ගැනීමට එය බුද්ධ දේශනාව හා සසඳා බැලිය යුතුය. ඒ සැසඳීම ද ඉතා ප්‍රතිබල උතුමන් විසින්ම කළ යුතුය. එසේ නොකර නිවැරදි මාර්ග ප්‍රතික්‍ෂේප කිරීමත් වැරදි ක්‍රම ප්‍රචලිත කිරීමත් ඉතා භයානක ප්‍රතිඵල ඇතිකරන බව සලකා විමසිලිමත්ව කටයුතු කරත්වා යනු අපගේ මෛත්‍රී පූර්වාංගම දැන්වීමයි. දැනගැනීම පිණිස දැනට ප්‍රචලිත භාවනා ක්‍රම කීපයක් ගැන මෙසේ කරුණු ස්වල්පයක් දක්වමු.

ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රමයේ භාවිත කරන භාවනා ක්‍රම

ප්‍රතිපත්ති ගරුක නිවන් පෙරදැරි කරගත් භික්‍ෂූන් වහන්සේලා බිහිකිරීමේ අරමුණින් ආරම්භ කළ ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාව දැනටත් එම අරමුණ මනාව ඉටු කරමින් සිටී. එය පිහිටුවීම පිණිස අපරිමිත කැපකිරීම් සිදුකළ එහි සමුප්පාදක වූ අතිපූජනීය කඩවැද්දුවේ ශ්‍රී ජිනවංස මාහිමිපාණන් වහහන්සේ යනු මෑත කාළයේ පිරිහී යමින් තිබුණු ප්‍රතිපත්ති, ප්‍රතිවේධ සාසනයන් නගාසිටුවීමටත් ඊට සරිලන ලෙස පරියත්ති සාසනය නගාසිටුවීමටත් පහළ වූ බුද්ධාංකුරයාණන් වහන්සේ නමකි. මෙම යෝගාශ්‍රමීය භික්‍ෂූන්ගේ භාවනා මාර්ගය පිළිවෙලකට සිදුකරවීම පිණිස අතිපූජනීය මාතර සිරි ඤාණාරාම මාහිමියන් වහන්සේ ගෙන ඇති සදුත්සාහය අපරිමිතය. එය තේරුම් ගැනීමට එතුමන් වහන්සේ විසින් රචිත ග්‍රන්ථ ඉතා සැලකිල්ලෙන් කියැවිය යුතුය. පිරිසිදු භාවනා මාර්ගයන් එළිපෙහෙලි කරගැනීමට එතුමන් වහන්සේ ගත් උත්සාහය “විදර්ශනා පරපුර” ග්‍රන්ථය පමණක් කියැවීමෙන් වුවද දත හැකිය. මේ උතුමන් වහන්සේලා දෙනමගේ ඇසුරේ හැදීවැඩුණු අතිපූජනීය නාඋයනේ අරියධම්ම අනුනායක මාහිමිපාණන් වහන්සේ යනු මෑතකාලීන බුදුසසුනේ පුන්සඳක් මෙන් බැබළුණු ත්‍රිපිටකධාරී වූ ත්‍රිවිධ සාසනයම නගාසිටුවීමට තම දිවියම යෙදවූ නියතවිවරණ ලාභී යැයි සලකන බුද්ධාංකුරයාණන් වහන්සේ නමකි. මේ උතුමන් වහන්සේලාගේ ග්‍රන්ථ කියැවීමෙන් යෝගාශ්‍රමීය භික්‍ෂූන් වහන්සේලාගේ භාවනා ක්‍රමය කුමක්දැයි මනාව හඳුනාගත හැකිය.

මෙහිදී යෝගාශ්‍රමීය භික්‍ෂූන් වහන්සේලාට යැවූ භාවනා උපදෙස් පත්‍රිකාවන්ගේ එකතුවක් වන “කර්මස්ථාන ප්‍රදීපය” ග්‍රන්ථයෙන් ද අතිපූජනීය මාතර මාහිමියන් වහන්සේ විසින් රචිත “සප්ත විශුද්ධි සහ විදර්ශනා ඥාන, ආනාපානසති භාවනාව, සත් අනුපස්සනා” ආදී ග්‍රන්ථයන්ගෙන් ද අතිපූජනීය නාඋයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේ විසින් රචිත “සමසතලිස් කර්මස්ථාන භාවනා, තෙරුවන් ගුණ භාවනා, විපස්සනා භාවනාව, සතිපට්ඨාන භාවනාව, විශේෂ අභිධර්ම භාවනාව” ආදී වූ බොහෝ ග්‍රන්ථයන්ගෙන් ද යෝගාශ්‍රමීය භික්‍ෂූන් භාවිත කරන භාවනා ක්‍රම ප්‍රකට වේ. ප්‍රධාන වශයෙන් එහිදී භාවිතයට ගෙන ඇති මූලාශ්‍ර මෙසේ දැක්විය හැකිය.

  • ත්‍රිපිටක ග්‍රන්ථ
  • එහි අටුවා ග්‍රන්ථ
  • විසුද්ධිමග්ග ග්‍රන්ථය
  • ටීකා ග්‍රන්ථ

මේ බව එම ග්‍රන්ථයන්හි එන උදෘත කීපයකින් මෙසේ දක්වමු.

  1. විදර්ශනා භාවනාව පිළිබඳ අත්දැකීම් ද පිටක ග්‍රන්ථාගත සාරවත් දේශනා ද අතිපූජනීය පණ්ඩිත මාතර සිරි ඤාණාරාමාභිධාන මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේගේ දේශනා හා සදුපදේශයන් ද සංකලනය කිරීමෙන් මෙම විදර්ශනා භාවනා ග්‍රන්ථය සකස් වී ඇත. පෙළ – අටුවා – ටීකා ග්‍රන්ථයන්හි පැතිරී – විසිරී තිබෙන විදර්ශනා ක්‍රම සහ සාධක කරුණු රාශියක් මිණිරුවන් වැලක් සේ මෙහි එක්තැන් කොට ගොතා ඇති නිපැයුම් අතිශයින්ම ප්‍රශංසනීයය.[98]

 

[98] සත් අනුපස්සනා ග්‍රන්ථයේ සංඥාපනය (අතිපූජනීය නාඋයනේ අරියධම්ම මාහිමි)

2. විසුද්ධිමග්ගයෙහි ඇතුළත් වන්නා වූ ශමථ කර්මස්ථාන සතළිසම බුද්ධදේශනාවෙහි සඳහන් වී ඇත්තේය. එහෙත් ත්‍රිපිටකයෙහි මෙම කමටහන් පිළිබඳ විස්තර අඩංගු වන්නේ සුළු වශයෙනි. විශුද්ධිමාර්ගය මේ කමටහන් සියල්ල සංග්‍රහ කොට පුළුල් ලෙසින් විවරණය කරයි. ඉඳින් විශුද්ධිමාර්ගය නොවී නම්, මේ කමටහන් තොරතුරු අද වන විට අභාවයට පත් වන්නට හොඳටම ඉඩ තිබුණි. එහි විදර්ශනා කර්මස්ථාන විස්තරය ගැන ද කීමට ඇත්තේ මෙයමැයි.…….

…. එහෙත් විසුද්ධිමග්ගයෙහි අඩංගු වන්නේ ලක්දිව මහාවිහාරීය සම්ප්‍රදාය බව නම් පැහැදිලිය. පැරණි හෙළ අටුවාවන් හි වූ භාවනා තොරතුරු බොහොමයක් මෙම ග්‍රන්ථයට ද එක් වන්නට ඇත. ඉඳින් එදා විද්‍යමාන වූ මහාවිහාර භාවනා සම්ප්‍රදායට පටහැනි වූ යමක් විශුද්ධි මාර්ගයෙහි ඇතුළත් වූයේ නම් එය සම්භාවනීය ග්‍රන්ථයක් ලෙසින් මහාවිහාරය විසින් පිළිගනු ලබන්නේ නැත. මේ අනුව, එහි එන කර්මස්ථාන විභාගයන් වෙනත් ඉන්දීය දර්ශනයෙකින් කෙලින්ම උපුටාගත් දෑ නොව සමකාලීන මහාවිහාරීය බෞද්ධ සම්ප්‍රදායයෙන් ගත් දෑ වශයෙන් සැලකීම යුක්ති යුක්ත වන්නේය…..

කෙසේ හෝ අද අපගේ යුතුකම වියයුත්තේ මෙතෙක් කලක්, මෙතරම් දුරට හෝ මේ කර්මස්ථාන විභාගය නොනැසී රැකදීම ගැන විසුද්ධිමග්ගයට හා බුද්ධඝෝෂ ආචාර්යන් වහන්සේට පින් දෙමින්, විශුද්ධි මාර්ගයෙන් අපට යම් වැඩක් ගතහැකි වන්නේ නම් එය සලසා ගැනීමය. අපට රුචි නොවන යමක් එහි වන්නේ නම් අපි උපේක්‍ෂක වන්නෙමු. එය වෙනත් කෙනෙකුට ප්‍රයෝජනවත් වියහැකි හෙයිනි.

ධ්‍යාන නොලබා විදර්ශනාව කළ නොහැකි යැයි ඇතැමෙකු පවසද්දී සමථය මුළුමනින්ම ප්‍රතික්‍ෂේප කොට විදර්ශනාවම කළ යුතුයයි තවත් අයෙක් කියති. මේ මත දෙකම ධර්මය හා භාවනා මාර්ගය පුළුල්ව නොදත්කම නිසා හටගත් දෘෂ්ටීහුය. තම පුද්ගලික රුචිය අනුව ප්‍රත්‍යක්‍ෂාවබෝධයකින් තොරව පොතපතට හා තර්කයට වහල් වීමත්, එක්තරා සීමිත ප්‍රත්‍යක්‍ෂයක් ලැබුවත් එයම පමණක් ප්‍රමාණ කොට ගෙන පොදු නිගමනවලට එළඹීමට තැත් කිරීමත් යන කරුණු මුල් කොට ගෙන මෙබඳු අන්තගාමී දෘෂ්ටීන් හටගන්නා බව පෙනෙයි.

සාර්ථකව භාවනාව ගෙනයාම පිණිස පරියත්ති ඤාණය හෙවත් සුතමය ඤාණය එක්තරා ප්‍රමාණයකින් අවශ්‍ය වන්නේය. පටිපත්තියට තුඩුදෙන පරියත්තිය යනුවෙන් අප මුලදීම අවධාරණය කළේ මෙම කාරණයයි….. ගුරු ඇසුරෙහිම හිඳ කමටහන් වඩන යෝගාවචරයෙකු හට තම සුතමය ඤාණය පිළිබඳව එතරම් කරදර වීමට සිදු නොවන්නේය. අවශ්‍ය අවස්ථා වලදී අදාල වන්නා වූ දහම් දැනුම කර්මස්ථානාචාර්යතුමන් වෙතින් ලැබෙන බැවිනි. (කර්මස්ථානාචාර්යවරයෙකුට ධර්මය පිළිබඳ හසළ දැනුමක් තිබිය යුතු වෙයි).

පළපුරුදු සම්භාව්‍ය කර්මස්ථානාචාර්යන් වහන්සේලා කීප නමකගේ කමටහන් උපදෙස් මෙම පත්‍රිකාවන්හි අඩංගු වී ඇත්තේය. ඊට අමතරව විශුද්ධිමාර්ගය, පෙළ, අටුවා, ටීකා සහ නූතන භාවනා පොත්පත් කීපයක් ද මෙහිලා ඇසුරු කරන ලද්දේය.[99]

[99] කර්මස්ථාන ප්‍රදීපය (හඳුන්වාලීම) vi-x පිටුනේ අරියධම්ම මාහිමි)

මෙසේ ඉහත දැක්වුණු උදෘතත් ඉහත නම් සඳහන් කළ උතුමන්ගේ භාවනා ග්‍රන්ථයන්ට උදෘත ලබාගත් ග්‍රන්ථ සමූහයත් සළකා බලන විට ත්‍රිපිටක පෙළ, අටුවා, ටීකා හා විසුද්ධිමග්ග ආදී ග්‍රන්ථ සමූහයක් මූලිකත්වයේ තබාගෙන යෝගාශ්‍රමීය භාවනා මාර්ගය සැකසී ඇති බව ප්‍රකට වේ. දැනට මහාසී, ඵාඖ(ක්), ගොඑන්කා ආදී තවත් භාවනා ක්‍රම කීපයක් යෝගාශ්‍රමීය භික්‍ෂූන් පුරුදු-පුහුණු කරන අතර ඒ සෑම ක්‍රමයක්මත් ත්‍රිපිටක පෙළ, අටුවා, ටීකා හා විසුද්ධිමග්ග ආදී ග්‍රන්ථ මත පදනම් වී තිබීම ද විශේෂයකි.

II     මහාසී භාවනා ක්‍රමය

මෙනමින් හඳුන්වන භාවනා ක්‍රමය බුරුම රටෙහිදී ප්‍රචලිත වී මෙරටට ලැබුණු භාවනා ක්‍රමයකි. මෙම ක්‍රමය දැක්වෙන ග්‍රන්ථය රචනා කළ මහතෙරුන්ගේ නමින් “මහාසී භාවනා ක්‍රමය” යැයි මෙය හැඳින්වුව ද එතුමන් වහන්සේ මෙය තමාගේ ක්‍රමයක් යැයි කිසිසේත් නොදක්වන සේක. මෙය ශුද්ධවිපස්සනා වශයෙන් දක්වන ක්‍රමයක් වන අතර බුද්ධ දේශනාවෙන් බැහැර වූවක් නොවේ. සතිපට්ඨාන සූත්‍රයේ දැක්වෙන “යථා යථා වා පනස්‌ස කායො පණිහිතො හොති, තථා තථා නං පජානාති.” (යම් යම් අයුරකින් කය පිහිටුවන ලද ද ඒ ඒ අයුරින් මනාව දැනගනී) යන පාඨය අනුව ප්‍රකට කාය චලනයක් වන උදරයේ පිම්බීම හා හැකිලීමට අවධානය යොමු කොට භාවනා වැඩීම මෙම ක්‍රමයේ ආරම්භයයි. මෙය ධර්මයට එකඟ ක්‍රමයක් බව නොදැන බොහෝ දෙනා එයට දොස් නගති. මෙම භාවනා ග්‍රන්ථය රචනාකළ මහාසී මහ තෙරුන් වහන්සේ යනු මගඵල ලාභී උතුමෙකැයි එරට ප්‍රසිද්ධ වූ බුරුමයේ පැවති හයවන සංගායනාවේදී ප්‍රශ්ණපුච්ඡක (ප්‍රශ්ණ විචාරන්නා) යන ප්‍රධානම තනතුරක් දැරූ අටුවා – ටීකා සහිතව ත්‍රිපිටකයම හොඳින් ප්‍රගුණ කළ උතුමෙකි. තවද මෙම ග්‍රන්ථය රචනා කිරීමේදී දහමට ගලපමින් උදෘතපාඨ බුද්ධදේශනාවෙන් දක්වමින් රචනාකර ඇත. එමෙන්ම මෙම ක්‍රමයෙන් ප්‍රතිඵල ලද බොහෝ දෙනෙක් අදත් සිටිති. මෙම ක්‍රමය ගැන ඇති වැරදි මත වලට පිළිතුරු රේරුකානේ චන්දවිමල මහනා හිමියන්ගේ සතිපට්ඨාන විවේචනය හා තවත් කෘති යන ග්‍රන්ථයේ දැක්වෙන බැවින් විස්තර කැමැත්තෝ එය කියවා බලත්වා. විවේචනය කරමින් කල් නොයවා තමාට ගැලපෙන්නේදැයි දැනගැනීමට මෙබඳු විශ්වාසවන්ත භාවනා ක්‍රමයන් අත්හදා බලත්වා යනු අපගේ ආරාධනයයි.

III    ඵා භාවනා ක්‍රමය

මෙම භාවනා ක්‍රමය ද බුරුමරටේ ප්‍රචලිත වී අප රටට ලැබුණු වටිනා භාවනා ක්‍රමයකි. සමථ පූර්වාංගම විපස්සනා භාවනා ක්‍රමයක් වන මෙය විශේෂයෙන්ම විශුද්ධිමාර්ගය අනුව යමින් ත්‍රිපිටකයෙහි දැක්වූ භාවනා ක්‍රම ඉස්මතුකර දක්වයි. මෙම ක්‍රමය ලොවපුරා ව්‍යාප්ත කළ අතිපූජනීය ආචිණ්ණ (ඵාඖ සෙයාඩෝ) මාහිමිපාණන් වහන්සේ “මේ අළුත් භාවනා ක්‍රමයක් නොවෙයි. ඔයගොල්ලන්ගේ විශුද්ධිමාර්ගයේ දැක්වුණු භාවනා ක්‍රමයයි” යනුවෙන් ඉතා නිහතමානීව දක්වන බව කියැවේ. තවද මෙතුමන් වහන්සේ මහාසී සෙයාඩෝ නමින් හඳුන්වන මාහිමියන් ඇතුලු බොහෝ භාවනා ගුරුවරුන් ඇසුරු කර ඇති අතර වසර විස්සක් පමණ පරියත්තිය හැදෑරීමෙන් පසු ධම්මාචරිය නමින් හඳුන්වන විභාගයෙන් ද සමත්ව ඉන් පසු වසර විස්සකට වැඩි කාළයක් භාවනාව ප්‍රගුණ කොට ඉන්පසු අන්‍යයන්ට භාවනාව කියාදීමට ඇරඹූ බව එතුමන් වහන්සේම දක්වන සේක. මෙකළ පැවිදි වී ඉතා නොබෝ කලකින් හරිහැටි පරියත්ති දැනීමක් ද නැතිව හරි ගුරු ඇසුරක් ද නැතිව අන්‍යයන්ට භාවනාදිය කියාදීමට උත්සාහවත් වන්නවුනට මෙම ප්‍රකාශය හොඳ පාඩමක් වනු ඇත.

අතිපූජනීය නාඋයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේ මෙම භාවනා ක්‍රමය පිළිබඳවත් ඵා ඖක් සෙයාඩෝ මාහිමිපාණන් වහන්සේ පිළිබඳවත් හඳුන්වා දෙන්නේ මෙසේය,

  1. ඈත අතීතයෙහි ශ්‍රී ලංකාද්වීපයෙහි භාවිතා වූ ශමථ-විදර්ශනා භාවනා ක්‍රම විශුද්ධි මාර්ගය වැනි ග්‍රන්ථවල සඳහන් වී ඇතත්, ප්‍රායෝගික වශයෙන් එහි යෙදී අත්දැකීම් ලත් කර්මස්ථානාචාර්යයන් වහන්සේලා සුලභව නොමැති බව නොරහසකි.

බුරුම රට ඓරාවරි ජනපදයෙහි හිිංතාට නම් උප නගරයෙහි, ලෙ-චෞං ගම් පියසෙහි ජනිතව ළමා වයසෙහි සසුන්ගතව යෙ-ජී නිකායෙහි ගරු උපසම්පදා ලාභීව ධම්මාචරිය විභාගය සමත් වී රැන්ගුන් නුවර පර්යාප්ති තක්ෂිලාවෙහි ඉංග්‍රීසි භාෂා සහිත පර්යාප්ති ධර්මය සම්පූර්ණ ලෙස පස් වසරක් තිස්සේ හදාරා ඉක්බිතිව විසි වසරක් පමණ මුළුල්ලේ කෘතහස්ත විශාරද ආචාර්යයන් වහන්සේලා වෙත නැවතී ශමථ-විදර්ශනාවෙහි පරතෙරටම ප්‍රගුණ කොටගත් අතිපූජ්‍ය ආචිණණ සෙයාඩෝ හෙවත් ඵා-ඖක් සෙයාඩෝ නාහිමිපාණන් වහන්සේ අද ඓතිහාසික විශුද්ධි මාර්ගයෙහි එන භාවනා ක්‍රමය අතිවිශිෂ්ඨ ලෙස සිය-දහස් ගණන් ගිහි-පැවිදි යෝගීන්හට පුහුණු කරමින් වැඩ සිටිනසේක. උත්කෘෂ්ට ලෙස ශික‍්ෂා ගරුත්වයෙහි පිහිටි ආදර්ශවත් ඒ මාහිමියෝ දිවා රාත්‍රී අප්‍රමාදව ශාසනාභිවෘද්ධියෙහි යෙදී සිටින සේක් ජීවිත පරිත්‍යාගයෙනි……

අතිපූජනීය මහා කර්මස්ථානාචාර්ය ආචිණ්ණ සෙයාඩෝ මාහිමියන් වහන්සේ ශ්‍රී ලංකාව ගැන දක්වනුයේ අසීමිත ගෞරවයකි. මෙම ශමථ විදර්ශනා භාවනා මාර්ගය සකල බෞද්ධ ලෝකයට බෙදා හැරීමට සුදුසු එකම බෞද්ධ රට ශ්‍රී ලංකාද්වීපය යයි අවධාරණයෙන් පවසන සේක් කෘතඥතා පූර්වක ගෞරවයෙනි.

එසේ හෙයින් මෙම භාවනා මාර්ගය ශ්‍රී ලංකා ද්වීපවාසීන්හට පුහුණු කරවනු පිණිසත් ස්වකීය පශ්චිම කාලය විවේකීව ගත කරණු පිණිසත් ශ්‍රී ලංකාවට යථා කාලයේදී වැඩම කරවීමට අපේක‍්ෂා කරන පූජනීය ආචිණ්ණාභිධාන ඵා-ඖක් සෙයාඩෝ මාහිමියන් වහන්සේට නිදුක් නිරෝගී සුවයෙන් ශතවර්ෂාධික කාලයක් දීර්ඝායු  ශ්‍රී අත්වේවා![100]

[100] මොක්පුර රන්දොර 1 කොටස පෙරවදන (අතිපූජනීය නාඋයනේ අරියධම්ම මාහිමි)

2. ඈත අතීතයේදී ධ්‍යාන අභිඥා මාර්ගඵල අධිගම ලාභීන්ගේ ජයභූමිය වූ සිරිලක්දිව තුළ නැවතත් ප්‍රතිපත්ති ප්‍රතිවේධ ශාසනයට පුනරාලෝකය උදාපත් වීමේ ඒකායන මාර්ගය විවෘත වී ඇත. සිරිලක්දිවෙන් ස්වර්ණභූමි නම් වූ බුරුම රටට ගෙන යන ලද පරියත්ති පටිපත්ති පටිවේධ ශාසනය එරට දිදුළමින් බැබළෙමින් දැනටත් පවතී.

        බුරුම රට මෝලමියෙන් – මූඩෝන් නගර දෙකට අතරෙහි රමණීය වනපෙතක පිහිටා තිබෙන ඵා-ඖක් චිත්තලපබ්බත භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධානාචාර්යය අග්ගමහා කම්මට්ඨානාචරිය අතිපූජනීය ආචිණ්ණ- ඵා – ඖක් සයාඩෝ මාහිමියන් වහන්සේගේ ආචාර්යත්වයෙන් උගැන්වෙන සමථ – විදර්ශනා භාවනා මාර්ගය වනාහි සිරිලක්දිව ඉහත දී අධිගම ලාභීන් පහළ කළ නිර්වාණ ගාමිනී ඒකායන මාර්ගයයි සඳහන් කිරීම සුදුසු වේ.

පාලි – අට්ඨකථා – ටීකා සහිත ත්‍රිපිටක පර්යාප්තියෙහි පරතෙර පැමිණියා වූ, ශික්‍ෂා ගරුත්වයෙහි මුදුනට පත් වූ, සමථ භාවනා විදර්ශනා භාවනාවෙහි කෙළවරට පත් වූ, දස දහස් ගණන් ගිහි පැවිදි යෝගීන් හට භාවනා මාර්ගය පුහුණු කරවූ, ධ්‍යාන අභිඥා මාර්ගඵත ලාභීන් පහළ කරවූ අතිපූජනීය ආචිණ්ණ සයාඩෝ මාහිමියන් වහන්සේ අතින් බුරුම බසින් සම්පාදිත කාණ්ඩ හතකින් (7) යුක්ත වූ භාවනා ග්‍රන්ථාවලිය නිබ්බාන ගාමිනී පටිපදා නමින් හැඳින්වේ.[101]

[101] මොක්පුර රන්දොර 6 කොටස, පෙරවදන (අතිපූජනීය නාඋයනේ අරියධම්ම මාහිමි)

3. සමථ විදර්ශනා භාවනා මාර්ගයෙහි මුදුනට පත්වී, දේශීය  විදේශීය ගිහි පැවිදි විශාල පිරිසකට සමථ විදර්ශනා භාවනා මාර්ගය පුහුණු කරවන, ත්‍රිපිටක ධර්මයෙහි තෙර පැමිණි, අග්ගමහා කම්මට්ඨානාචරිය සම්මාන ලද, බුරුම රට ඵා-ඖක් චිත්තලපබ්බත භාවනා මධ්‍යස්ථානාධීශ්වර අතිපූජනීය ඵා – ඖක් සෙයාඩෝ ඌ. ආචිණ්ණ මාහිමියන් වහන්සේ අතින් බුරුම බසින් සම්පාදිත “නිබ්බාන ගාමිනී පටිපදා” ග්‍රන්ථ සත අතුරෙන් සත්වැනි කාණ්ඩය සිංහළ බසින් “මොක්පුර රන්දොර 7” – නමින් භාවනාභිලාෂීන් අතට පත්වීමේ භාග්‍යය උදාපත් වී ඇත.

ඈත අතීතයෙහි සේම ධ්‍යාන අභිඥා මාර්ගඵල ලාභීන් සුලභව බුදුසසුන බැබලේවා, ලොවපුරා පැතිරෙන මිසදිටු ගණඅඳුර විධමනය වේවා! ශ්‍රී ලංකාද්වීපය කසාවතින් නිරතුරු වේවා! සිල් සුවඳින් ගුණ සුවඳින් සදහම් සුවඳින් නිවන් අමා සුවඳින් ඒක සුගන්ධිත වේවා! ජීවමාන සර්වඥයන් වහන්සේගේ සමයේ සේම ලොවට රටට ජනතාවට සෙතක් ශාන්තියක් ආරක්‍ෂාවක් ආශිර්වාදයක් උදාපත් වේවා! [102]

     හැඳින්වීමේ පහසුව පිණිස මෙම භාවනා ක්‍රමයන් ඒ ඒ නම් වලින් හැඳින්වුව ද එම ක්‍රම ප්‍රචාරය කළ මාහිමිවරු කිසිවිටෙක ඒවා තමන්ගේ ක්‍රම ලෙස නොදක්වන අතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිවැරදි භාවනා මාර්ග ඉස්මතු කර ඒවා ප්‍රායෝගිකව පුහුණු කරවීම ඒ මාහිමිවරුන්ගේ එකම අභිලාශයයි. එබැවින් බොහෝ දෙනෙක් දැනටත් ඉතා උසස් ලෙස ප්‍රතිඵල ලබන මෙම භාවනා ක්‍රමය ද තම ජීවිතයට එක්කර ගෙන නිවන් මග හෙළිකර ගනිත්වා යනු අපගේ කාරුණික ආරාධනයයි.

 

 

 

 

 

[102] මොක්පුර රන්දොර 7 කොටස, පෙරවදන (අතිපූජනීය නාඋයනේ අරියධම්ම මාහිමි)

IV    ගොඑන්කා භාවනා ක්‍රමය

ආනාපානසතියෙන් ආරම්භ කර ඉන් පසු වේදනානුපස්සනාව හරහා විපස්සනාවට යොමු කිරීම මෙම ක්‍රමයේදී සිදුවේ. ඉන්දියානු ජාතික ගිහි පිංවතෙකු වන ගොඑන්කා තුමා විසින් මෙම ක්‍රමය ලොව පුරා ප්‍රචලිත කළ බැවින් එතුමාගේ නමින් මෙම ක්‍රමය හැඳින්වේ. නමුත් එතුමා ද මෙම ක්‍රමය බුරුමජාතික ගුරුවරයෙකු හමුවේ උගත් බව දැක්වේ. මෙසේ මෙම ක්‍රමයේ ඉතිහාසය බැලීමේදී බොහෝ පැරණි බවත් සතිපට්ඨාන සූත්‍රයේ වේදනානුපස්සනා දේශනාව ඇසුරින් ප්‍රගුණ කරවන බවත් පැහැදිලි වේ. අප රටේ ගිහි පැවිදි බොහෝ දෙනෙක් අතර ප්‍රචලිත මෙම ක්‍රමයෙන් ද බොහෝ යහපත් ප්‍රතිඵල ලැබෙන බව එය අනුගමනය කරන යෝගීන්ගේ අදහසයි.

මෙම භාවනා ක්‍රම පිළිබඳ පොදුවේ පවතින වැරදි මත කීපයක් හා ඊට පිළිතුරු

  1. පිරිසිදු බුද්ධ දේශනාව වන පෙළ තිබියදී අටුවා ටීකා වල අදහස් ගෙන කරන භාවනාවන් අනවශ්‍ය බව.

   මෙම ප්‍රකාශය කරන්නේ අටුවා ටීකා යනු මොනවාදැයි හරිහැටි නොදැනීමෙනි. ඒ ගැන කරුණු පෙර දැක්වීමු. අදහස් කීපයක් මතුවිය හැකි තැනකදී නිවැරදි බුද්ධමතයම ඉස්මතු කර දැක්වීම අටුවා ටීකා වලින් සිදු වේ. සිංහල පරිවර්තන නොකියවා පාළියෙන්ම දහම හදාරන්නේ නම් අටුවා ටීකාවන්ගේ වැදගත් කම පැහැදිළි වනු ඇත. ඒවායෙන් තොරව ධර්ම-විනය විනිශ්චයන් ගත නොහැකි බව ප්‍රත්‍යක්‍ෂ වනු ඇත. ඒ බව හරිහැටි දන්නා වූ සල්ලේඛ ප්‍රතිපත්තියෙහි යෙදුණු සීලාදී ගුණයන්ගෙන් සුපෝෂිත ව්‍යක්ත විශාරද උතුමන් අතින්ම මෙම නිවැරදි භාවනා ක්‍රම සියල්ලම ප්‍රචාරය වූ බව ද දත යුතුය. නිවැරදි නිවන් මාර්ගය සෙවීමට මුළු ජීවිතයම කැපකළ උතුමන් බව ප්‍රකට වනු ඇත. එම මාහිමිවරුන් පිළිබඳ තවදුරටත් තොරතුරු සොයා බලන්නේ නම් මේ කීම තහවුරු වනු ඇත.

  1. බුද්ධ දේශනාව තිබියදී එක එක්කෙනාගේ භාවනා ක්‍රම අනවශ්‍ය බව

     මේ ප්‍රකාශය කරන්නේ භාවනා ක්‍රම හැඳින්වීමට යොදන නම් පමණක් සැලකීමෙනි, අවම වශයෙන් එම භාවනා ක්‍රම පිළිබඳ හරිහැටි කියවීමෙන් වත් දැනීමක් නැති බැවිනි. හරිහැටි කියවා බැලුවේ නම් මෙම භාවනා ක්‍රම බුද්ධ දේශිතම බව තහවුරු වනු ඇත.

  1. විදේශ රටවලින් අපට ලැබුණු භාවනා ක්‍රම අනවශ්‍ය බව

     මෙය ද හරිහැටි සාසන ඉතිහාසාදිය නොදන්නාකමින් කරන වැරදි ප්‍රකාශයකි. බුදුදහම යනු ද අපරටේ ඇති වූවක් නොවේ. තවද කුමන රටක හෝ යම් නිවැරදි දෙයක් වේ නම් එය පිළිපැදීමෙන් අයහපතක් නොවේ. අපරටේ දෙයක් වුවත් එය වැරදි නම් එය පිළිපැදීමෙන් අයහපතක් වේ. එබැවින් එය බැහැර කළ යුතුය. දහම සම්බන්ධයෙන් රට – ජාති – කුලවාද ඈඳාගත හොත් එයින් අනර්ථයක් මිස යහපතක් නොවේ. කරුණු මෙසේ හෙයින් කුමන රටින් ලැබුණත් එය දහමට එකඟ නම් එය අත්හදා බලා තම නිවන් මග විවරකර ගැනීම ප්‍රඥාගෝචර වේ යනු අපගේ අදහසයි.

     ඉහත දැක්වූ වැරදි මත දරන හා ඒවා ප්‍රචාරය කරන අය පිළිබඳ විමසීමේදී පෙනීගියේ ඒ බොහෝ දෙනෙක් හරිහැටි ගුරු ඇසුරක් නොලබූ, සැබෑ නිවන් අරමුණක් නොමැති තර්ක වාද පිණිස දහමට බැසගත් පිරිසක් බවයි. ඇතැමෙක් සීලාදී ප්‍රතිපත්ති පිරීමට ඇති අකමැත්ත නිසාම ඇතැම් භාවනා ක්‍රමයන්ට දොස් කියති. නිවන් ලැබීමට ලේසික්‍රම සොයති. සැබෑ නිවන් අරමුණ ඇති තැනැත්තා වාද විවාද කරමින් කාළය ගත නොකර සැබෑ දහම සොයමින් ප්‍රතිපදාවේ යෙදෙයි. අතීතයේ ද සත්‍යගවේශී වූ උතුමන්ගේ චරිත කියැවීමෙන් එය තහවුරු වේ. සිදුහත් බෝසතාණන් වහන්සේත් උපතිස්ස කෝලිත ආදී උතුමෝත් සත්‍ය ගවේශනය කළ අයුරු සිතා බලනු වටී. දැන් අපට එසේ ගවේශනය කරන්නට දෙයක් නැත. භාග්‍යවතුන් වහන්සේ එය ඉතාපැහැදිළිව දක්වා ඇත. අපට තිබෙන්නේ එය ශ්‍රද්ධාවෙන් පිළිපැදීමයි. එය ද දින ගණනකින් අත් නොහළ යුතුය. අසූ මහාශ්‍රාවක උතුමන් අතර වූ කල්ප ලක්‍ෂයක් ඒ සඳහා පිරූ පාරමී ඇත්තා වූ බුද්ධ ශාසනයේ ප්‍රඥාවන්ත උතුමන් අසූදෙනා අතරට අයත් වූ රට්ඨපාල මහරහතන් වහන්සේට ද අර්හත්වයට පත්වීමට වසර දොළහක් ගත වූ බව දැක්වේ. ත්‍රිපිටක පාරගත දැනීමක් ඇති රහත් ශිෂ්‍යයන්ම හැට දහසක් සිටියා වූ මහාසීව මහතෙරුන් වහන්සේට අර්හත්වයට පත්වීමට වසර තිහක් (30) ගත වූ බව ද දැක්වේ. කරුණු මෙසේ හෙයින් දින කීපයකින්, සති කීපයකින්, මාස කීපයකින් ප්‍රතිඵල බලාපොරොත්තු නොවී නිවනට ලේසි ක්‍රම සොයන්නට නොයා තෙරුවන් පිළිබඳ හොඳ ශ්‍රද්ධාවක් පිහිටුවා ගෙන භාවනා ක්‍රම අත්හදා බලන්නේ නම් වසර ගණනකින් හෝ ප්‍රතිඵල ලැබිය හැකි වනු ඇත. එබැවින් තර්ක වාද කරමින් නොසිට දහම පිළිපැද බලත්වා යනු අපගේ ආරාධනයයි.

07   අභිධර්ම පිටකය, අට්ඨකථාදිය පිළිබඳව මෙසේ වැරදි මත පැනනැගීමේ හේතු මොනවාද?

මෙසේ ධර්මය සම්බන්ධව වැරදි මතවාද ඇතිවීම අද පමණක් නොව භාග්‍යවතුන් වහන්සේ ජීවමාන කාලයේද සිදු වූ බව සාති,අරිට්ඨ,කණ්ඨක ආදී පැවිද්දන්ගේ කථා ප්‍රවෘත්ති මගින් ප්‍රකට වේ. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු මෙම තත්වය වඩා උග්‍ර වූ බව දෙවන ධර්ම සංගායනාවට අදාල සිදුවීමෙන් දතහැක. මේ සෑම අවස්ථාවකදීම සාසන භාරධාරී උතුමන් වහන්සේලා එම තත්ත්ව විසඳා සාසනය ආරක්ෂා කල සේක. එනමුත් වැරදි මත ඇති ඒ සෑම දෙනාවම නිවැරදි කිරීම ප්‍රායෝගිකව කල හැකි නොවේ. ගැටළුව විසඳූ පසුවද ඇතැම්හු එම වැරදි මතයේම එල්බ සිටිති. ඊට අමතරව සාසනයට හානිකර කටයුතු ද සිදු කරති. ඊට හොඳම නිදසුනක් දෙවන ධර්ම සංගායනාවට අදාල සිදුවීමෙන් දත හැකිය. ඒ මෙසේය;

දස අකැප වස්තු දැක්වීම මුල්කරගෙන පැවැත්වූ මෙම දෙවන සංගායනාවේදී එම කරුණු දහය අකැප බවත් වජ්ජිපුත්තක භික්ෂූන්ගේ මත වැරදි බවත් දක්වා එම අලජ්ජී භික්ෂූන් 10000 ක් පමණ සසුනෙන් නෙරපා හැර ධර්මවිනය ස්ථාපිත කලසේක. එසේ දෙවන සංගායනාවේදී සසුනෙන් නෙරපූ, සසුනෙන් පලිගනු කැමති වූ අලජ්ජී වජ්ජිපුත්තක භික්ෂූහු වෙනම මහාසංගීති නම් වූ සංගායනාවක් පැවැත්වූහ. මෙම මහාසංගීතික භික්ෂූන්ගෙන් මහායාන යන නිකාය බිහිවිය. මෙම සංගායනාවේදී අතිශය බරපතල ලෙස සසුන විකෘති කලහ. විශේෂයෙන්ම අභිධර්ම පිටකය ද, පටිසම්භිදාමග්ග, චුල්ලනිද්දේස, මහානිද්දේස යන ප්‍රඥාවෙන් අග්‍ර වූ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ දේශනාවෝ ප්‍රතික්ෂේප කරමින් ඒවා විකෘති කලහ. ඊට අමතරව විනය පිටකයේ පරිවාර පාලිය ද සිකපද වල විභංගය ද විකෘති කලහ. ජාතක දේශනා වල කොටසක් ප්‍රතික්ෂේප කලහ. මෙසේ සසුනට අති විශාල විනාශයක් කලහ. මේ පිලිබඳව අපේ පුරාණම මෙන්ම ඉතා විශ්වාසවන්ත තොරතුරු වලින් යුත් ඉතිහාස ග්‍රන්ථයක් වන දීපවංසයේ මෙසේ සඳහන් වේ. පඤ්චප්පකරණ අට්ඨකථාවේ හා සාරත්ථදීපනී ටීකාවේ ද මේ ගැන තවත් තොරතුරු දැක්වේ.

‘‘මහාසඞ්‌ගීතිකා භික්‌ඛූ, විලොමං අකංසු සාසනෙ;

භින්‌දිත්‌වා මූලසඞ්‌ගහං, අඤ්‌ඤං අකංසු සඞ්‌ගහං.

මහාසංගීතික භික්ෂූහු සසුනෙහි විලෝමයක් (සසුනට එකඟ නොවන ප්‍රතිපක්ෂ වූවක්) කලහ. මුල් ත්‍රිපිටක සංග්‍රහය බිඳ වෙනත් සංග්‍රහයක් කලහ.

‘‘අඤ්‌ඤත්‍ර සඞ්‌ගහිතං සුත්‌තං, අඤ්‌ඤත්‍ර අකරිංසු තෙ;

අත්‌ථං ධම්‌මඤ්‌ච භින්‌දිංසු, විනයෙ නිකායෙසු ච පඤ්‌චසු.

වෙනත් තැනක සංග්‍රහ කළ සූත්‍ර ඔවුහු වෙනත් තැනක සංග්‍රහ කලහ. විනයෙහි ද පංචනිකායන්හි ද අරුත ද ධර්මය ද බින්දාහ. (වෙනස් කලහ.)

‘‘පරියායදෙසිතඤ්‌චාපි, අථො නිප්‌පරියායදෙසිතං;

නීතත්‌ථඤ්‌චෙව නෙය්‍යත්‌ථං, අජානිත්‌වාන භික්‌ඛවො.

ඒ (මහාසංගිතිකාරක) භික්ෂූහු පරියාය (පරමාර්ථ නොවන බැවින් විවරණ අවශ්‍යවන) දේශනාව ද නිෂ්පරියාය (සාධන/ ප්‍රතිපාදන අනවශ්‍ය වු වෙනස් කල නොහෙන) දේශනාව ද නීත (අරුත්පරිදි දතයුතු) අර්ථය ද නෙය්‍ය (උදුරාගතයුතු) අර්ථය ද නොදැන,

‘‘අඤ්‌ඤං සන්‌ධාය භණිතං, අඤ්‌ඤං අත්‌ථං ඨපයිංසු තෙ;

බ්‍යඤ්‌ජනච්‌ඡායාය තෙ භික්‌ඛූ, බහුං අත්‌ථං විනාසයුං.

අනෙකක් සඳහා දෙසූ දෙයට වෙනත් අරුතක් තැබූහ. ඔවුහු ව්‍යඤ්ජන ඡායාවෙන් (පද පමණක් සලකා අරුත නොසලකා) බොහෝ අර්ථ විනාශ කලහ.

‘‘ඡඩ්‌ඩෙත්‌වාන එකදෙසං, සුත්‌තං විනයගම්‌භිරං;

පතිරූපං සුත්‌තං විනයං, තඤ්‌ච අඤ්‌ඤං කරිංසු තෙ.

ගැඹුරු වූ විනයේ ද සූත්‍ර වලද කොටසක් ඉවත් කොට, ඒ ප්‍රතිරූප සූත්‍රවිනයක් වීද එයත් වෙනස් කලහ.

‘‘පරිවාරං අත්‌ථුද්‌ධාරං, අභිධම්‌මං ඡප්‌පකරණං;

පටිසම්‌භිදඤ්‌ච නිද්‌දෙසං, එකදෙසඤ්‌ච ජාතකං;

එත්‌තකං විස්‌සජ්‌ජෙත්‌වාන, අඤ්‌ඤානි අකරිංසු තෙ.

ඔවුහු විනයපිටකයේ පරිවාර පාලිය ද, විනය සිකපද වල අර්ථෝද්ධාරය (විභංගය/ පදභාජනීය), අභිධර්ම ප්‍රකරණ හය (මේ වන විට කථාවත්ථුප්පකරණය ග්‍රන්ථයක් වශයෙන් සැකසී නොතිබිණි.) ද, පටිසම්භිදාමග්ග පාලිය ද, චුල්ලනිද්දේස, මහානිද්දේස යන දෙක ද, ජාතක දේශනා වල කොටසක් ද යන මෙපමණ ධර්ම කොටස් ඉවත් කොට (ධර්මය) වෙනස් කලහ.

‘‘නාමං ලිඞ්‌ගං පරික්‌ඛාරං, ආකප්‌පකරණානි ච;

පකතිභාවං විජහිත්‌වා, තඤ්‌ච අඤ්‌ඤං අකංසු තෙ.

ඔවුහු භික්ෂු නාමය ද , ශ්‍රමණ ලිංගය (පැවිදි වේශය) ද, ශ්‍රමණ පිරිකර ද , ශ්‍රමණ ආකල්ප ද, ශ්‍රමණප්‍රකෘතිය ද අත්හැර එය ද වෙනස් කලහ.

මෙසේ වෙනස් කළ (මහායාන) ධර්මය පිලිගත් ශ්‍රී ලංකාවේ සිටි අභයගිරිවාසී භික්ෂූන් ආදී පිරිස් නිසා ඉහත සඳහන් පිරිසිදු ධර්ම කොටස් බුද්ධ දේශනා නොවේය යන සසුනට විරුද්ධවාදී මත අප රටේ ද ව්‍යාප්ත විය.

මහාවිහාර, අභයගිරි හා ජේතවන යන නිකාය ආරම්භය හා  එම භික්ෂූන් අතර පැවති  මත විවිධත්වය

1. මහාවිහාරවාසී භික්‍ෂූන්ගේ ථේරිය නිකාය හා ථේරවාදය

ධර්ම සංගායනා වලින් සුරක්‍ෂිත වූ පිරිසිදු බුද්ධවචනය හා එහි අටුවා රහත් උතුමන් වෙතින් ම මිහිදු මාහිමියන් වෙත ලැබිණි. එතුමන් වහන්සේ වෙතින් සිංහල රහත් පරපුරට එම ධර්මය ලැබුණු අතර එතුමන් වහන්සේලා එය අත්‍යන්තගෞරවයෙන් මාතලේ අළුවිහාරයේ පැවති පුස්තක- සංගායනාව දක්වා කටපාඩමින් දැරූ සේක. ග්‍රන්ථාරූඪ කළ මෙම පිරිසිදු ධර්මවිනය හා එහි අටුවා, මහාකාශ්‍යපාදී මහරහත් උතුමන් පිළිගත් වාද බැවින් “ථේරවාද” නම් විය. ඒ බව ‘‘සථෙරවාද’’න්‌තිපි ලිඛන්‌ති. තත්‌ථ ‘‘අට්‌ඨකථාසු ආගතථෙරවාදසහිතං සාට්‌ඨකථං තිපිටකසඞ්‌ගහිතං බුද්‌ධවචන’’න්‌ති ආනෙත්‌වා යොජෙතබ්‌බං. (“සථෙරවාදං” යැයි ලියත්. එහිදී “අටුවාවන්හි පැමිණි ථේරවාද සහිත අටුවා සහිත ත්‍රිපිටකයේ සංග්‍රහ කරන ලද බුද්ධ වචනය” යැයි ගෙන අර්ථ යෙදිය යුතුය.)[103] යැයි දක්වා ඇත. මෙම පිරිසිදු දහම දැරූ භික්‍ෂු සමූහය ථේරවාදීන් යැයි ද, ථේරියනිකාය යැයි ද දැක්වේ. මෙම දහම ලෝකය පුරා ප්‍රචලිත වූයේ අනුරාධපුර මහමෙවුනා උයනේ පිහිටි මහාවිහාරය නමැති විහාරය මුල් කරගෙන බැවින් එම ථේරවාදී දහම පිළිගත් භික්‍ෂු පරපුර මහාවිහාර වාසීන් ලෙස ද හැඳින්වේ. ඒ බව මහාවිහාරවාසීනන්‌ති මහාමෙඝවනුය්‍යානභූමිභාගෙ පතිට්‌ඨිතො විහාරො මහාවිහාරො, යො සත්‌ථුනො මහාබොධිනා විභූසිතො, තත්‌ථ වසන්‌ති සීලෙනාති මහාවිහාරවාසිනො,[104]  යැයි දැක්වේ.

 

 

 

 

 

[103] විමතිවිනෝදනී ටීකා

 

 

[104] කංඛාවිතරණී ටීකා

2. අභයගිරිවිහාරවාසීන්ගේ ධම්මරුචි නිකාය හා වෛතුල්‍ය වාදය

ශ්‍රමණසාරුප්‍ය නොවන ලෙස රජුන් ඇසුරු කිරීමාදී කරුණු මත විනයානුකූලව මහාවිහාරයෙන් නෙරපූ මහාතිස්ස තෙරුන් හා එම තෙරුන් නිවැරදිය යන මතය ගත් මහදැලියා තිස්ස යන තෙරවරු විසින් වලගම්බා රජු දවස ඇරඹූ අලුත් නිකාය අභයගිරි විහාරය නිශ්‍රයකොට පැවති නිසා අභයගිරිවිහාරවාසීන් නම් විය. ඔවුන් ථේරියනිකායෙන් වෙන්ව ස්ව යැපීම හා මහාවිහාරය පරයා සිටීමේ අදහස ද නිසා පෙර සඳහන් කළ වජ්ජිපුත්තක පරම්පරාවේ වූ ධම්මරුචි නිකායේ (මහායාන) අදහස් පිළිගත් බැවින් ධම්මරුචි නිකායිකයින් ලෙස ද හැඳින්වේ. ධර්මාශෝක රජු විසින් සසුනෙන් නෙරපූ භික්‍ෂු වෙස්ගෙන සිටි තීර්ථකයෝ පසුව මහායානාදී අන්‍ය නිකායන්ට එක්ව වෛතුල්‍යවාදාදී අධර්මවාදී අලුත් මත ඉපදවූහ. අභයගිරික භික්‍ෂූහු මෙම මතද පිළිගත් බැවින් ඔවුන් වෛතුල්‍යවාදීන් ලෙස ද හැඳින්වේ. (ථේරවාදී විනය හැටියට භික්‍ෂුවක් ස්ත්‍රියක හා මෙවුන්දම් සේවනය කලොත් පරිජි ඇවත වේ. භික්‍ෂුභාවය අහිමිවේ.  නමුත් වෛතුල්‍යවාදීන්ට අනුව දෙදෙනාගේ කැමැත්තෙන් එය සිදුවේ නම් එහි වරදක් නැත.) මෙසේ සීලය පමණවත් නොසලකා යන්ත්‍ර-මන්ත්‍ර හදාරමින් මෙම භික්‍ෂූන් හැසිරුණු බව දැක්වේ.

3. ජේතවනවිහාරවාසීන්ගේ සාගලියනිකාය හා වෛතුල්‍ය වාදය

ගොඨාභය රජු දවස අභයගිරිවිහාරවාසීන් අතුරින් පිරිසක් වෙන්වී දක්ඛිණගිරිවිහාරය නිශ්‍රයකොට වාසය කළහ. පසුව ඔවුන් මහසෙන් රජු විසින් කරවූ අනුරාධපුර ජේතවනාරාමයේ වාසය කළ බැවින් ජේතවනවිහාරවාසීන් යැයි ද, එම පරපුරේ සිටි සාගල නම් තෙර කෙනෙකුන් විසින් සැකසූ ධර්මග්‍රන්ථ පිළිගත් බැවින් ඔවුන් සාගලියනිකායිකයෝ යැයි ද පසුව වෛතුල්‍යපිටකය ද පිළිගත් බැවින් වෛතුල්‍යවාදීන් යැයි ද හැඳින්වේ.

මෙසේ මහාවිහාරවාසී වූ ථේරවාදී තෙරවරුන්ගෙන් වෙන්ව ඉතිරි නිකාය දෙක බිහිවීම පිළිබඳව මහාවංශයේ 33 වන පරිච්ඡේදයේ මෙසේ සඳහන් වේ.

තතොප්‌පභුති තෙ භික්‌ඛූ, මහාවිහාරනාගමුං;

එවං තෙ’භයගිරිකා, නිග්‌ගතා ථෙරවාදතො.

(එතැන් පටන් ඒ බහලමස්සුතිස්ස තෙරුන් ප්‍රමුඛ භික්‍ෂූහු මහාවිහාරයට නොආහ. මෙසේ ඒ අභයගිරික භික්‍ෂූහු ථේරවාදයෙන් බැහැර වූවාහුය. )

පභින්‌නා’භයගිරිකෙහි, දක්‌ඛිණවිහාරිකායති;

එවං තෙ ථෙරවාදීහි, පභින්‌නා භික්‌ඛවො ද්‌විධා

(පසුව අභයගිරික භික්‍ෂූන්ගෙන් දක්‍ෂිණවිහාර වාසීහු බෙදුනාහ. මෙසේ ඒ භික්‍ෂූහු ථේරවාදීන්ගෙන් වෙන්ව දෙයාකාරයකට බෙදුනාහ.)        

මෙසේ ථේරිය නිකායෙන් පිරිසක් වෙන් වී වැරදි මත ගන්නා අතර මහාවිහාරවාසී උතුමන් වහන්සේලා නොයෙක් තාඩන-පීඩන මධ්‍යයේ පිරිසිදු බුද්ධධර්මය දිවිහිමියෙන් සුරැකි බව ඉතිහාස ග්‍රන්ථයන්හි සඳහන් වේ. සාසන ඉතිහාසය පිළිබඳ කරුණු රාශියක් නිකාය සංග්‍රහයෙහි දැක්වෙන බැවින් එම විස්තර ද කියවා බැලීම වටී. එයින් උපුටා ගෙන මෙම කරුණු ස්වල්පය මෙසේ දැක්වීමු. රටෙත් ජාතියෙත් සාසනයෙත් දියුණුව වෙනුවෙන් පැරණි රජදරුවන් හා මහා සංඝරත්නය කැප වී කටයුතු කළ අයුරු ඉතා මැනවින් නිකාය සංග්‍රහයෙහි දැක්වේ. පොත්පත් නොතිබුණු ඒ යුගයේ තල්පත් වල ධර්මය ලියමින් ඇතැම්විට රජවරුන්ගේ පවා කෙනෙහෙලි මධ්‍යයේ මෙසේ පිරිසිදු ථේරවාදී ශ්‍රී සද්ධර්මය සුරැකීම පිලිබඳව අපි එම මහාවිහාරවාසී උතුමන්ට ණයගැති වෙමු.

08   එම අධර්මවාදී මතවාදයන්ගේ නූතන ව්‍යාප්තිය

ඉහත සඳහන් අධර්මවාදී මත දැනුදු ඇතැම් පිරිස් අතින් ව්‍යාප්තව යාම සසුනේ අභාග්‍යයකි. 19 වන සියවස අගභාගයේ හා 20 වන සියවස මුල භාගයේ යුරෝපීය බොහෝ පිරිසක් ද බුද්ධ ධර්මය සෙවීමට උත්සුක වූහ. ඒ අතරින් සමහරෙක් එය කළේ බුදුදහමේ වැරදි සෙවීමේ අදහසින් බව පෙනේ. බුද්ධ කාලයේද එබඳු අය පැවිද්දන් අතරද වූ බව අංගුත්තර තික නිපාතයේ දැක්වෙන ‘‘සරභ” නැමති පරිබ්බාජකයාගේ පැවිදිවීම සම්බන්ධ කථා වස්තුවෙන් (සරභසුත්ත) දත හැක. එබැවින් එය පුදුමයට කරුණක් නොවේ. ගැටළුව වන්නේ සාසනය රැකීමට සිටින භික්ෂූන් වහන්සේලා අතිනුත් එබඳු වැරදි මත ප්‍රචලිත වීමයි.

පසුගිය සියවසේ භික්ෂූන් වහන්සේලා අතින් ලියැවුණු එබඳු ග්‍රන්ථ කීපයක් නිසාද මෙබඳු වැරදි මත ප්‍රචලිත වූ බව කිවයුතුය. විචාරාත්මක ග්‍රන්ථ යැයි සලකා එබඳු ග්‍රන්ථ උසස් විභාග සඳහාද අනුමත කර තිබීම ඛේදජනකය. උගත් භික්ෂූන් අතින් ලියැවුණු බැවිනුත්, එම වැරදි දක්වා ඊට විරුද්ධව පොත්පත් නොලියවීම නිසාත්, තම මතය නිවැරදි යැයි පෙනෙන සේ එම ග්‍රන්ථයන්හි වැරදි තර්ක ඉදිරිපත් කර ඇති බැවිනුත් ධර්මය ගැඹුරින් නොවිමසන ආධුනික පිරිස මුලාවට පත්වේ. එම වැරදි කිහිපයක් මෙහිදී දක්වා නිවැරදි කිරීමට අදහස් කළේ එම ග්‍රන්ථ වල කියැවෙන සියල්ල නිවැරදි යැයි නොගත යුතුය යන බව දැක්වීමටය. තවද යමෙක් දහම දෙස වැරදි කෝණයකින් බලන විට නැති වැරදිද පෙනෙන බව දැක්වීමටය. පුද්ගල විවේචනයකට අකමැති අපි මෙහිදී එම ග්‍රන්ථ නාම පමණක් දක්වන අතර එම මතයේ ඇති වැරද්ද මිස පුද්ගලයින්ගේ වැරැද්දක් දැක්වීමට අදහස් නොකරමු.

භික්ෂූන් අතරත්, බුද්ධධර්මය-පාළිභාෂාව-බෞද්ධ ඉතිහාසය ආදී විෂයන් හදාරන සිසුන් අතරත් ප්‍රචලිත ග්‍රන්ථ වූ “අටුවා පරීක්ෂණය, පාලි සාහිත්‍යය, ලක්දිව බුදු සමයේ ඉතිහාසය, අසිරිමත් ඉංදියාව” යනාදී ග්‍රන්ථ වලින් ද ඉහත  දැක්වූ පරිදි වැරදි මත ප්‍රචලිත විය. එම ග්‍රන්ථවල අඩංගු වන වැරදි කරුණු කිහිපයක් අපි මෙසේ නිවැරදි කිරීමට ලක් කරමු.

  1. වැරදි මතය ;  පරිවාර පාළි – මෙහි ඇතුලත් වන්නේ පළමු කී විනය පොත් සතරේ තිබෙන ශික්ෂාවන් පිළිබඳ විශේෂ විභාගාදියයි. ප්‍රථම පාරාජික ශික්ෂාපදය කොහි පනවන ලද්දේද?…….. යනාදී ප්‍රශ්ණ අසා ඒවාට උත්තර සැපයීම මෙහි පෙනේ. ඒනිසා මෙය විනය ඉගනීමට උපකාර වෙන සේ පසු කලක සම්පාදිත වූ පොතකි. අමුතු විනය ශික්ෂාපද එකක්වත් එහි නැත. (පාලි සාහිත්‍යය, 2002 නව මුද්‍රණය, 116 පිටුව, 2වන ඡේදය)
  • අපගේ පිළිතුර ; පරිවාරපාළි යන මාතෘකාව යටතේ දක්වන මෙය සම්පූර්ණයෙන්ම වැරදි ප්‍රකාශයකි. ‘‘කති නු ඛො, භන්‌තෙ, අධම්‌මිකා දිට්‌ඨාවිකම්‌මා’’ති? ‘‘පඤ්‌චිමෙ, උපාලි, අධම්‌මිකා දිට්‌ඨාවිකම්‌මා කතමෙ පඤ්ච? – අනාපත්‌තියා දිට්‌ඨිං ආවි කරොති, අදෙසනාගාමිනියා ආපත්‌තියා දිට්‌ඨිං ආවි කරොති, දෙසිතාය ආපත්‌තියා දිට්‌ඨිං ආවි කරොති, චතූහි පඤ්‌චහි දිට්‌ඨිං ආවි කරොති, මනො මානසෙන දිට්‌ඨිං ආවි කරොති, ඉමෙ ඛො උපාලි පඤ්‌ච අධම්‌මිකා දිට්‌ඨාවිකම්‌මා. යනාදී වූ බොහෝ බුද්ධදේශනා ද අත්‌ථාපත්‌ති තිට්‌ඨන්‌තෙ භගවති ආපජ්‌ජති, නො පරිනිබ්‌බුතෙ; අත්‌ථාපත්‌ති පරිනිබ්‌බුතෙ භගවති ආපජ්‌ජති, නො තිට්‌ඨන්‌තෙ; අත්‌ථාපත්‌ති තිට්‌ඨන්‌තෙපි භගවති ආපජ්‌ජති පරිනිබ්‌බුතෙපි.  යන පාඨය පැහැදිලි කරමින් පරිවාර අටුවාහි දැක්වෙන පරිදි ‘‘එතරහි ඛො පනානන්‌ද, භික්‌ඛූ අඤ්‌ඤමඤ්‌ඤං ආවුසොවාදෙන සමුදාචරන්‌ති, න වො මමච්‌චයෙන එවං සමුදාචරිතබ්‌බං, නවකෙන, ආනන්‌ද, භික්‌ඛුනා ථෙරො භික්‌ඛූ ‘භන්‌තෙ’ති වා ‘ආයස්‌මා’ති වා සමුදාචරිතබ්‌බො’’ති වචනතො ථෙරං ආවුසොවාදෙන සමුදාචරණපච්‌චයා ආපත්‌තිං පරිනිබ්‌බුතෙ භගවති ආපජ්‌ජති, නො තිට්‌ඨන්‌තෙ. යන පාඨ අනුව ආවුසොවාදයෙන් වැඩිහිටියන් ඇමතීමේ ආපත්ති ද වෙන කිසිම විනය පොතක දක්වා නැත. එබඳු වූ වෙන පොත් වල නැති පැණවීම් බොහෝමයක් පරිවාර පාළියේ දක්නට ඇත. පරිවාර පාළිය බුද්ධදේශනාවක් නොවේය යන මතය මහාසංගීතිකයින්ගේ වැරදි මතයක් බව දීපවංසය අනුව අපි පෙර දැක්වීමු.
  1. වැරදි මතය ;  නෙත්තිප්පකරණය – …..අභිධර්මය ගැන    කිසිවක් මේ පොතේ සඳහන් නොවේ එයින් උද්ධෘත පාඨ කිසිවක් ද දක්නට නැත, එබැවින් මෙය අභිධර්මය සකස් කිරීමට මත්තෙන් සම්පාදිත වූවක් යයි කිවයුතුයි. (පාලිසාහිත්‍යය නවමුද්‍රණය 2002, 126 පිටුව, 3වන ඡේදය)
  • අපගේ පිළිතුර ; ත්‍රිපිටකයටත් අටුවා කාලයටත් අතර ලියැවුණු පොත් යන මැයෙන් ආරම්භ කර නෙත්තිප්පකරණය යන අනු මාතෘකාව යටතේ ඉහත ප්‍රකාශය දක්නට ලැබේ. මේ ප්‍රකාශය අනුව අභිධර්ම පිටකය සැකසී ඇත්තේ නෙත්තිප්‍රකරණයටත් පසුව යැයි දැක්වේ. මෙයද ඉතා බරපතල වැරදි ප්‍රකාශයකි. මීට පිළිතුරු අභිධර්මපිටකය  යන මාතෘකාව යටතේ ඉහත දක්වා  ඇත.
  1. වැරදි මතය ; කඞ්ඛාවිතරණී මාතිකට්ඨකථාව – ……යන ගාථා වලින් පෙනී යන්නේ මෙය පාලි විනය අටුවාව ආශ්‍රය නොකොට සිංහල අටුවා ආශ්‍රයෙන් ලියූ බවයි. එය එසේ නම් මෙය බුද්ධඝෝෂ ආචාර්යයන් විනය අටුවාව ලියන්නට පෙර සම්පාදිත වූවක් විය යුතුයි. සමන්තපාසාදිකාව ලියූ පසු මෙය සම්පාදනය කලා නම් සිංහල අටුවා බැලීමට ඕනෑ කමක් නැත. එසේම විස්තර බලාගත යුතු තැනදී සමන්තපාසාදිකාවෙන් බලාගත යුතුයයි කීමක්ද මෙහි පෙනෙන්නට නැත. එබැවින් මෙය බුද්ධඝෝෂ කාලයට පෙර තිබුණු අටුවාවක් විය යුතු.

මෙයට ටීකාවක් ලියූ බුද්ධනාග තෙරනම මෙය බුද්ධඝෝෂ ආචාර්යයන්ගේ කෘතියකැයි පිළිගනී. (පාලි සාහිත්‍යය,194-195 පිටු)

  • අපගේ පිළිතුර ; මේ කඞ්ඛාවිතරණී මාතිකට්ඨකථාව ගැන දැක්වූ ඉතා වැරදි මතයකි. ටීකාචාර්යන් වහන්සේගේ මතය ද ගරු නොකරමින් පවසන මෙම කරුණ හාස්‍යජනකය. මාතිකට්ඨකථාවේ ඇති සමන්තපාසාදිකාව ගැන දැක්වීම් දැනට අපට හමු වූ තැන් පමණක් 14 කි. උදාහරණ- විත්‌ථාරො පන සමන්‌තපාසාදිකායං (චූළව. අට්‌ඨ. 102) වුත්‌තො, (සංඝාදිසේසකණ්ඩවණ්ණනාහි අග ඡේද දෙකෙහි පමණක් තැන් පහක සමන්තපාසාදිකා යන නම දැක්වේ.) භික්‍ෂුවක් විසින් හදාළ යුතු මූළික විනය ග්‍රන්ථයක් වූ මාතිකට්ඨකථාව පිළිබඳව පවා මෙවැනි අසත්‍ය ප්‍රකාශ ග්‍රන්ථ වල පළකිරීමේ හේතුව අපට නම් නොතේරේ.
  1. වැරදි මතය ; බෞද්ධාගම – ….බුද්ධභාෂිතයම සඳහන් වෙතැයි කියනු ලබන ත්‍රිපිටකයේ කොටස් වල බුදුන් ගැන සඳහන් වන දේ කෙරෙහි පවා එතරම් විශ්වාසය තැබිය නොහැකිය. වෙනෙකක් තබා බුදුන් බුද්ධත්වය ලැබීමෙන් පසු දේශනා කරන ලද පළමු වන ධර්ම දේශනය යැයි කියනු ලබන, සියලු බෞද්ධ වාද වල මූළික ධර්මයක් වූ, “ධම්මචක්කප්පවත්තන සූත්‍රය” පවා බුදුන් විසින්ම දෙසූ ධර්මයක් ද යන්න සැක සහිතය.  (අසිරිමත් ඉංදියාව, 2012 හතරවන මුද්‍රණය, 331 පිටුව, 2 වන ඡේදය)
  • අපගේ පිළිතුර ; රාජ්‍ය ව්‍යවස්ථාවෙන්ම බුදුදහම රැකීමට බැඳී සිටින රටක අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශිත ග්‍රන්ථයක මෙබඳු මත ඇතුලත් වීම ඛේදජනකය. මෙම ග්‍රන්ථයේ කතුවරයා බෞද්ධයෙකු නොවන බව පෙනේ. එබැවින් කිසිම සාධක පාඨයකින් තොරව පවසන මෙවැනි කරුණු පිළිබඳ පිළිතුරු දීමද අනවශ්‍යය.
  1. වැරදි මතය ; ලක්දිව බුදු සමයේ ඉතිහාසය – ….ලෙඩෙකුට වෙදකම් කරන්ට නැතහොත් බෙහෙත් සාදා දෙන්ට කියා ගිහියෙකු භික්ෂුවකගෙන් ඉල්ලා සිටියොත් භික්ෂුව ඒ ඉල්ලීම ඉටු නොකළ යුතුයි…. එහෙත් එක්තරා භික්ෂුවකට එම ලෙඩම සෑදුණු විටක දුන් බෙහෙත ගැන භික්ෂූන් තම තමන් අතර කතාබහ කරන්ට පටන්ගත හැකිය….. මේ බවට නිදසුනක් හැටියට සමන්තපාසාදිකාවෙහි එන අපූරු කථාවක් මෙසේය. (ක්‍රි.ව.127-171) වසභ රජුගේ බිසවට රෝගයක් වැළඳුණු විට, සේවක ස්ත්‍රියක් මහාපදුම ස්ථවිරයන් වෙත ගොස් “දේවීන්වහන්සේට බෙහෙතක් නියම කරන්නැ”යි අයැද සිටියාය. විනයෙහි විශාරදයෙකු වූ ස්ථවිරයෝ තමන් වෙදකම් නොදන්නා බවක් නොකියාම, යටකී පිළිවෙළට භික්ෂූන් සමග කතාබහක් පටන් ගත්හ. ස්ත්‍රිය උන්වහන්සේලාගේ කතාබහෙන් බෙහෙත දැන ගත්තෙන්, එම බෙහෙතම රෝගී බිසවට දෙන ලද්දේය. දේවියට සුව වුණු පසු, ඔවුහු සිවුරු තුනක් හා කහවණු 300 ක් ගෙනවුත් තෙරුන් පාමුල තබා “ස්වාමින්වහන්ස, මේ කහවණු මල් පිදීම සඳහා යොදන්නැ”යි කියා සිටියෝය. මහාපදුම ස්ථවිරයෝ මෙය ආචාර්යභාගයැයි සිතා, කහවණු තුන්සියය භාරගන්ට නියම කොට, එම මුදල මල් පිදීමට යෙදුවෝයA.

A මහාපදුම තෙරුන්ගේ මේ මුදල් පිළිගැනීම විනයෙහි දැක්වෙන රූපිය සික්ඛාපදය කඩකිරීමක් ද? භික්ෂුවක් යම්කිසි මුදලක් (රන් හෝ රිදී) පිළිගැනීම හෝ පිළිගන්නට යෙදීම හෝ තමා වෙනුවෙන් තැන්පත් කරවීම හෝ නොකළ යුතු බව නීතියය…….. මහාපදුම තෙරුන් වරක් උත්තර රාජපුත්ත විසින් එවනලද රන් කරඬුවක් (සුවණ්ණචෙතිය) අකැපයයි (න කප්පතීති) ප්‍රතික්ෂේප කර තිබීම ගැන සලකා බලන විට මෙහි පැහැදිලිවම පෙනෙන සිකපදය කඩකිරීම ආශ්චර්යවත්ය. (ලක්දිව බුදු සමයේ ඉතිහාසය, 174-175 පිටු සහ අධෝලිපි)

අපගේ පිළිතුර      ; ඉහත කළු අකුරින් දක්වා ඇති තැන් වල වැරදි ඇත. මෙහි මහාපදුම මහතෙරුන් වහන්සේ මුදල් පිළිගෙන සිකපදය කැඩුවේයැයි ඒත්තු ගැන්වීමට දැක්වූ උද්ධෘත වල පරිවර්තනයේ ද දෝෂ ඇත. එහි පාළි පාඨය මෙසේය. “වූපසන්‌තෙ ච රොගෙ තිචීවරෙන තීහි ච කහාපණසතෙහි සද්‌ධිං භෙසජ්‌ජචඞ්‌කොටකං පූරෙත්‌වා ආහරිත්‌වා ථෙරස්‌ස පාදමූලෙ ඨපෙත්‌වා ‘‘භන්‌තෙ, පුප්‌ඵපූජං කරොථා’’ති ආහංසු.

ථෙරො “ආචරියභාගො නාමාය”න්ති කප්‌පියවසෙන ගාහාපෙත්‌වා පුප්‌ඵපූජං අකාසි. (රෝගය සන්සිඳුන කල්හි තුන් සිවුරකුත් කහවනු තුන්සියයකුත් සමග බෙහෙත් මංජුසාවක් පුරවා ගෙනවිත් තෙරුන් වහන්සේගේ පාමුළ තබා “ස්වාමීනි, මල් පූජාවක් කරනු මැනවි”යැයි කීහ. තෙරුන් වහන්සේ “මෙය ආචාර්යභාගය නම් වන්නේය”යි කැපවශයෙන් ගන්වාගෙන මල් පූජාව කළ සේක.)[105]

 

[105] විනය අටුවා හේවාවිතාරණ මුද්‍රණ 337 පිටුව

මෙහි “ස්වාමීනි! මල්පූජාවක් කරනු මැනවි.” යැයි දැක්වූවා මිස කහවණු ගැන සඳහනක් කර නැත. තවද මේවා කැප ක්‍රමයෙන් ගන්වාගෙන පූජාව කළ බව “කප්‌පියවසෙන ගාහාපෙත්‌වා” යැයි ඉතා පැහැදිලිව දක්වා තිබේ. ඊට අදාල ටීකාවේද “කප්‌පියවසෙන ගාහාපෙත්‌වා’’ති, ‘‘අම්‌හාකං රූපියං න වට්‌ටති, පුප්‌ඵපූජනත්‌ථං පුප්‌ඵං වට්‌ටතී”ති ආදිනා පටික්ඛිපිත්වා කප්පියෙන කමෙන ගාහාපෙත්වාති අත්‌ථො.” (“කප්‌පියවසෙන ගාහාපෙත්‌වා” යනු “අපට මුදල් කැප නැත. මල්පූජාව සඳහා මල් නම් කැපයි” යනාදී ක්‍රමයෙන් ප්‍රතික්‍ෂේප කොට කැප ක්‍රමයෙන් ගන්වාගෙන යන අර්ථයි.) යනාදී ලෙස එය කැප අයුරින් (කැපකරුවන් ලවා) කළ අයුරු ඉතා පැහැදිලිව දක්වා තිබේ. තවද චෛත්‍යයට විහාරයට ලබාදෙන මුදල් ප්‍රතික්ෂේප නොකර අන් අය වෙත යොමුකළයුතු අයුරු සමන්තපාසාදිකාවේ 489 පිටුවේ දක්වා ඇත. කරුණු මෙසේ හෙයින් මහාපදුම මහතෙරුන් ආදී ක්ෂීණාශ්‍රව උතුමන් යැයි දක්වා ඇති උතුමන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් තොරව දක්වා ඇති මෙබඳු වැරදි ප්‍රකාශ නිසා එය කියවන අයගේද ශ්‍රද්ධාදී ගුණ පිරිහෙන බැවින් අපි මෙසේ මෙම නිවැරදි කිරීම් සිදු කළෙමු.

6. වැරදි මතය ;  ‘රහත්’ යන්න පිළිබඳ ආදිකාලීන අදහස කුමක් වුවත් එය කලින් කලට පළින් පළට වෙනස් වුණු බවට නම් සැකයක් නැත. (ලක්දිව බුදු සමයේ ඉතිහාසය, 227 පිටුව, 3 වන ඡේදය)

7. වැරදි මතය ; ලක්දිව බුදු සමයේ ඉතිහාසය – ….රහත් වෙන්ට හැකිව තිබියදීම රහත් නොවී, ගෙට නොවැදී දොරකඩ සිටින්නා සේ, එම අධිගමය පවා යටපත් කරගෙන සිටින්නට පුළුවන් කමක් ඉතා සිල්වත් ගුණවත් ඇතැම් පෘථග්ජන භික්ෂූන්ට ඇතැයි යන විශ්වාසයක් ද පැවතුනේය. මහා සංඝරක්ඛිත ස්ථවිරයෝ ………. “මා විදසුන් නොවැඩුවේ මෙතේ බුදුන් දක්නා රිසියෙනි. එහෙත් ඔහොම නම්, මට හිඳින්නට උදවු වී මෙතැනින් අයින් වන්නැ” යි ස්ථවිරයෝ වදාළහ. උපස්ථායක භික්ෂුව ස්ථවිරයන්ට හිඳින්නට උදවු වී, එතැනින් පිට විය. උපස්ථායක භික්ෂුව වැඩි දුරක් යන්නට කලින්, මහා සංඝරක්ඛිත ස්ථවිරයෝ රහත් වී, උපස්ථායකයාට ඒ බව අඟවන්නට අසුරුසන් ගැසූහ.

………….. රහත්බව වනාහි යමකු විසින්, ඊට අත පොවන තරම් ලඟට පැමිණ, එහි නොවැද සිට, වුවමනා වූ විටෙක මොහොතකින් වාගේ අත්පත් කරගත හැකි දෙයකැයි යටත් පිරිසෙයින් 5 වන ශත වර්ෂයේ අර්ථකථාචාර්ය වරයන්ගේ මතය වූ බව මේ නිදසුන් වලින් පෙනේ. (ලක්දිව බුදු සමයේ ඉතිහාසය, 231 පිටුව අග ඡේදය- 232, 3 වන ඡේදය)

අපගේ පිළිතුර      ; තමාට අවිෂය වූ රහතන් වහන්සේලා පිළිබඳ දක්වන්නට යාමෙන් මෙම ග්‍රන්ථකර්තෘතුමා සිදුකරගෙන ඇත්තේ විශාල අකුසලයකි. මහා සංඝරක්ඛිත මාහිමියන්ගේ කථා වස්තුවේ දී මෙසේ ඉතා ඉක්මණින් මගඵල ලබාගැනීමට හැකිවූයේ කුමක් නිසාද යැයි ඉතා පැහැදිලිව දක්වා තිබියදී කථාවේ එම කොටස ඉවත්කර ඇත්තේ එය දැක්වුවොත් තම මතයට පහරක් වදින බැවින් විය යුතුය. ඒ කොටස මෙසේය. සඞ්‌ඝො සන්‌නිපතිත්‌වා ආහ – ‘‘භන්‌තෙ, එවරූපෙ මරණකාලෙ ලොකුත්‌තරධම්‌මං නිබ්‌බත්‌තෙන්‌තා දුක්‌කරං කරිත්‌ථා’’ති. නාවුසො එතං දුක්‌කරං, අපිච වො දුක්‌කරං ආචික්‌ඛිස්‌සාමි – ‘‘අහං, ආවුසො, පබ්‌බජිතකාලතො පට්‌ඨාය අසතියා අඤ්‌ඤාණපකතං කම්‌මං නාම න පස්‌සාමී’’ති.

(සංඝරත්නය රැස්වී “ස්වාමීනි, මෙබඳු මරණාසන්න කාලයේදී ලෝකෝත්තර ධර්මයක් උපදවාගනිමින් දුෂ්කර කාර්යයක් කළ සේක” යැයි කීහ. ඇවැත්නි, මෙය නම් දුෂ්කරක්‍රියාවක් නොවේ. නමුත් අපි කළ දුෂ්කර කාර්යයක් ඔබ වහන්සේලාට කියමි “ඇවැත්නි, මම පැවිදි වූ කාලයේ පටන් අසිහියෙන් අනුවණින් කළ කිසි කටයුත්තක් නො දකිමි” යැයි මහා සංඝරක්ඛිත මාහිමිපානෝ කරුණ පහදා දුන් සේක.)[106]

 

[106]  විසුද්ධිමග්ග

ඒ අනුව තෙරුන් වහන්සේ පැවිදි වූ කාලයේ පටන් අසතියෙන්, මුළාවී සිදුකළ කිසි කටයුත්තක් සිහි කිරීමට නැතැයිද, මෙම දුෂ්කර ක්‍රියාව තමන් කළ බවත් මෛත්‍රී බුදුසසුනේ දී රහත් වීමට තමාගේ තිබූ අදහස ඉවත් කිරීමෙන් පසු මෙසේ ඉක්මණින් රහත් ඵලය ලැබූ බවත් ඉතා පැහැදිලිව දක්වා තිබියදී මෙසේ කියවන්නන් නොමග යවන මෙබඳු ප්‍රකාශ කිරීම ඉතා සාහසික බවත් ඒවාට කටුක විපාක විඳීමට සිදුවිය හැකි බවත් මෙසේ කරුණාවෙන් දන්වමු.

8. වැරදි මතය ; ලක්දිව බුදු සමයේ ඉතිහාසය – …..නේවාසික භික්ෂූන් නිසි ගරුබුහුමන් කොට තමන් වහන්සේ නොපිළිගැනීම ගැන ධම්මදින්න ස්ථවිරයන් වහන්සේ අමනාප වූ බවත් තරමක් උදහස් වූ බවත් මේ කථාවෙන් ඇඟවෙතැයි සිතිය හැකිය……….

………. රහතන් වහන්සේ භික්ෂූන් දෙනමට කමටහන් නොදී ඔවුන් පිටත්කර යැවුයේ අමනාප වීම නිසා බව පැහැදිලිය.

……මේ රහතන් වහන්සේ අමුතුම පිළිවෙළකට පිරිනිවන් පෑමෙන් කීර්තිනාමයක් ඇතිකරගන්ට අදහස් කළා සේ පෙනේ.

…… මහාව්‍යග්ඝ ස්ථවිරයන් වහන්සේ ප්‍රදර්ශනයට කැමති කෙනෙකු බවත් විශිෂ්ට අවමංගල උත්සවයකට ප්‍රිය කළ බවත් මේ කථාවෙන් ඇඟේ.

……… ස්ථවිරයෝ මල් පිළිගෙන “පොඩිතැන, මල් ටිකයි නොවේදැ”යි කීහ. ස්ථවිරයන් මෙසේ කීමෙන් ඇඟෙන්නේ අතළොස්සක් පමණ මල් ලැබීමෙන් උන් වහන්සේ තරමක් කලකිරුණු බවත් තවත් ඇත්නම් හොඳයයි සිතූ බවත්ය. එකම මලක්වත් නැතුව සිටි ස්ථවිරයන් මල් අතළොස්සක් පමණ වත් ලැබීම ගැන සතුටු වී සාමණේර නමට කෘතඥ වියයුතු තැන, උන්වහන්සේ කෙළේ ‘මල් ටිකයි’ කියා මදිපාඩු කීමය.

(ලක්දිව බුදු සමයේ ඉතිහාසය, 232-235 පිටු)

අති පුරාණයේ පටන්ම – කිසිම සැකයක් නැතිව පාලි අට්ඨකථා කාලයේ රහත් යන පදයෙහි සම්මත අදහස නියම කොට සීමා පනවා නොතිබුණු බවත්, එම පදය බුරුලට ව්‍යවහාර වුණු බවත් යට සඳහන් කථාවලින් අපට නිගමනය කරගත හැකිය. ….(ලක්දිව බුදු සමයේ ඉතිහාසය, 238 පිටුව, 3 වන ඡේදය)

  • අපගේ පිළිතුර ;  ඉහත ප්‍රකාශ සියල්ලගෙන්ම හැඟෙන්නේ මෙම කර්තෘතුමා හරිහැටි රහත් විෂය පිළිබඳ කියවීමෙන් වත් දැනගෙන නැති බවයි. මෝඝපුරිසවාදයෙන් භික්ෂූන්ට අමතන භාග්‍යවතුන් වහන්සේව මෙතුමා දුටුවා නම් භාග්‍යවතුන් වහන්සේද බුදුවී නැතැයි පවසනු ඇත. ඉහත දැක් වූ කිසිම තැනක ඒ උතුමන්ට කෙළෙස් සිතක් හටගත් බවට කිසිඳු සලකුණක් නැත. තවද ධම්මදින්න මහරහතන් වහන්සේ උදහස් වී අහසින් වැඩි බව මෙහි දක්වයි. කේන්ති ගිය විට අභිඤ්ඤා පිරිහෙන බව වත් මෙම ග්‍රන්ථකර්තෘතුමා දැන නොසිටි බව මින් හැඟේ. මෙම සියලු සිදුවීම් වලට පිළිතුරු උදානපාළියේ පිළින්දිවච්ඡ සූත්‍රයෙන් ලැබේ. එහි    අථ ඛො භගවා ආයස්‌මතො පිලින්‌දවච්‌ඡස්‌ස පුබ්‌බෙනිවාසං මනසි කරිත්‌වා භික්‌ඛූ ආමන්‌තෙසි – ‘‘මා ඛො තුම්‌හෙ, භික්‌ඛවෙ, වච්‌ඡස්‌ස භික්‌ඛුනො උජ්‌ඣායිත්‌ථ. න, භික්‌ඛවෙ, වච්‌ඡො දොසන්‌තරො භික්‌ඛූ වසලවාදෙන සමුදාචරති. වච්‌ඡස්‌ස, භික්‌ඛවෙ, භික්‌ඛුනො පඤ්‌ච ජාතිසතානි අබ්‌බොකිණ්‌ණානි බ්‍රාහ්‌මණකුලෙ පච්‌චාජාතානි. සො තස්‌ස වසලවාදො දීඝරත්‌තං සමුදාචිණ්‌ණො . තෙනායං වච්‌ඡො භික්‌ඛූ වසලවාදෙන සමුදාචරතී’’ති. යැයි කිසිඳු ක්ලේශ මාත්‍රයකුදු නැතත් පෙර පුරුදු ආදී හේතු නිසා පිළින්දිවච්ඡ මහ රහතන් වහන්සේ වැනි මහාශ්‍රාවක තනතුරු ලැබූ රහත් උතුමන් අතින් ද වසලවාදයෙන් කථාකිරීම ආදී සාමාන්‍ය සමාජයේ වැරදි යැයි සම්මත සුළු සිදුවීම් සිදුවිය හැකි බව මෙහි දැක්වේ. පෘතග්ජනයින්ට අවිෂය වූ මෙබඳු තැන් විනිශ්චයට යාමෙන් භයානක විපාක ලැබිය හැකි බැවින් පාඨකයෝ විමසිලිමත්ව මෙබඳු තැන් කියවත්වා යනු අපගේ මෛත්‍රී පූර්වාංගම ඉල්ලීමයි.

9. වැරදි මතය ; අටුවා ප්‍රකීර්ණක දේශනාවද? – ….මෙසේ මුල් අටුවාවල ලක් සසුන් පිහිටීමට පසු සිදු වූ දෙයක් ඇතුලත් නොවිය හැකි බවට අර්ථකථාචාර්ය ටීකාචාර්ය දෙපක්ෂයම සාක්ෂ්‍ය දෙන නමුත් කොයි ආකාරයකින් හෝ මෙකල විද්‍යමාන සියලු අටුවා වල ලක් සසුන් පිහිටියාට පසු සිදු වූ ප්‍රවෘත්ති ඇතුළත්ව තිබෙත්,…

දැන් “අටුවාව නම් ප්‍රකීර්ණක දේශනාවය”යි දැක්වූ ටීකාචාර්ය වචනය ගැන තව දුර පරීක්‍ෂණය කරමු:- අටුවා වල දැක්වෙන පඤ්ච අන්තර්ධානයන්ගේ විස්තරය පිටකත්‍රයේ කිසි තැනක නොපෙනේ…..විමානවත්ථු අටුවාවන්හි දැක්වෙන කථාවලින් යමක් පෙළ පොත්වල දකින්ට ලැබේ නම් හේ අතිවිරල වශයෙනි. මිලිඳු-නාගසේන කථාවන්ගෙන් ලේශමාත්‍රයක්වත් පිටකත්‍රයෙහි ඇතුළත් විය නොහැක. මේ නිසා වැඩිකරුණු නොදක්වාම ඒ කීම (“අටුවාව නම් ප්‍රකීර්ණක දේශනාවය”යි දැක්වූ ටීකාචාර්ය වචනය) ප්‍රතික්‍ෂේප කළ හැක………    (අටුවාපරීක්‍ෂණය 2-3 පිටු)

  • අපගේ පිළිතුර ; මෙම ප්‍රකාශ සියල්ලම අටුවා හා ටීකා වල දැක් වූ අදහස නිවැරදිව තේරුම් නොගෙන කළ ප්‍රකාශයෝය. පාළි අටුවා සැකසීමේදී පැරණි අටුවාවන්ට ථේරවාදාදිය ඇතුලත් කොට සංවර්ණනාව කරන බව විනය අටුවාවේ ආරම්භක ගාථා වලදීම ඉතා පැහැදිලිව දක්වා ඇත. ඒ මෙසේය– තතොපි අන්‌තොගධථෙරවාදං; සංවණ්‌ණනං සම්‌ම සමාරභිස්‌සං. එහි ටීකාවේද ‘‘අට්‌ඨකථංයෙව ගහෙත්‌වා සංවණ්‌ණනං කරිස්‌සාමී’’ති වුත්‌තෙ අට්‌ඨකථාසු වුත්‌තත්‌ථෙරවාදානං බාහිරභාවො සියාති තෙපි අන්‌තොකත්‌තුකාමො ‘‘අන්‌තොගධථෙරවාද’’න්‌ති ආහ, ථෙරවාදෙපි අන්‌තොකත්‌වාති වුත්‌තං හොති. යැයි එය තවදුරටත් පැහැදිලි කර ඇත.

              පැහැදිලි කිරීම් සඳහා කථාවස්තු දක්වන විට මෙය නිදර්ශනයක් බව ඉතා පැහැදිලිව දක්වා ඇත. ඒ කිසිම තැනක ඒවා ප්‍රකීර්ණක දේශනා යැයි දක්වා නැත. තවද  “ප්‍රකීර්ණක දේශනා යනු පිටකත්‍රයේ ඇති දේශනායි.” යන වැරදි වැටහීමක සිට ඉහත තර්ක ගොඩනගා ඇති බව හැඟේ. පිටකත්‍රයේ කිසි තැනක නොවූ පමණින් එය ප්‍රකීර්ණක දේශනාවක් නොවේ යැයි කිය නොහැකිය. තවද ත්‍රිපිටකයේ තිබෙන සියලු වචන ද බුද්ධදේශනා නොවේ. “එවං මෙ සුතං” යනාදී පාඨ ද, නිදානකථාදිය ද, සූත්‍ර නාම ද බුද්ධ වචනම නොවේ. ත්‍රිපිටකයේ අඩංගු නොවූ බුද්ධදේශනා බොහෝ ඇති බව ද පෙළපාඨ වලින්ම දැක්විය හැකිය. අථ ඛො භගවා ………. තදනුච්‌ඡවිකං තදනුලොමිකං ධම්‌මිං කථං කත්‌වා භික්‌ඛූ ආමන්‌තෙසි- (විනයපිටකයේ තැන් 230 කට වැඩි) යනාදී තැන් වල දැක්වූ දැහැමි කථාව පෙළේ නැත. ඒ පිළිබඳව විනය අටුවාවේ මෙසේ දැක්වේ,- භගවා කිර ඊදිසෙසු ඨානෙසු පඤ්‌චවණ්‌ණකුසුමමාලං කරොන්‌තො විය, රතනදාමං සජ්‌ජෙන්‌තො විය, ච යෙ පටික්‌ඛිපනාධිප්‌පායා අසංවරාභිරතා තෙ සම්‌පරායිකෙන වට්‌ටභයෙන තජ්‌ජෙන්‌තො අනෙකප්‌පකාරං ආදීනවං දස්‌සෙන්‌තො, යෙ සික්‌ඛාකාමා සංවරෙ ඨිතා තෙ අප්‌පෙකච්‌චෙ අරහත්‌තෙ පතිට්‌ඨපෙන්‌තො අප්‌පෙකච්‌චෙ අනාගාමි-සකදාගාමි-සොතාපත්‌තිඵලෙසු උපනිස්‌සය-විරහිතෙපි සග්‌ගමග්‌ගෙ පතිට්‌ඨපෙන්‌තො දීඝනිකායප්‌පමාණම්‌පි මජ්‌ඣිමනිකායප්‌පමාණම්‌පි ධම්‌මදෙසනං කරොති. තං සන්‌ධායෙතං වුත්‌තං – ‘‘භික්‌ඛූනං තදනුච්‌ඡවිකං තදනුලොමිකං ධම්‌මිං කථං කත්‌වා’’ති. එනම් මගඵල ලැබීමට හේතු සම්පත් ඇති අයට මගඵල ලැබීමට තරම් හේතුවන දීර්ඝ දේශනාවක් කරන බවයි. මෙබඳු වූ පෙළෙන් මිදුනා වූ, පෙළේ සඳහන් නොවූ බුද්ධදේශනාවන්ගේ සාරය ගෙන, ඒ පිළිබඳ කෝටිප්‍රාප්ත දැනීමක් ඇති සාරිපුත්තාදී සම්මුඛශ්‍රාවක උතුමන්ගේ විවරණයන්ටද අනුකූලව අටුවා සංගෘහිත බැවින් අටුවා ප්‍රකීර්ණක දේශනා නම් වේ යනු අටුවා-ටීකාවන්හි දැක්වූ අදහසයි. ඒ බව සම්‌මාසම්‌බුද්‌ධෙනෙව හි තිණ්‌ණං පිටකානං අත්‌ථවණ්‌ණනාක්‌කමො භාසිතො, යා ‘‘පකිණ්‌ණකදෙසනා’’ති වුච්‌චති. යනාදී ටීකා පාඨයන්ගෙන් පැහැදිලි වේ.

             ප්‍රකීර්ණක දේශනා යන පදයේ මෙම නියම අරුත නොදැනදෝ මෙම පොතේ කර්තෘතුමා අටුවා ටීකා ඇදුරුවරුන්ට කරන දෝෂාරෝපනය තමන්ටම පාරාවළල්ලක් වන හැටි මෙයින් ප්‍රකට වේ. එබැවින් ත්‍රිපිටකයේ හා අටුවාවන්හි ද පාරප්‍රාප්ත දැනීමක් ඇති එමෙන්ම ඒවා ප්‍රායෝගිකව පුහුණුකළ සුපේශල ශික්ෂාකාමී එම ඇදුරුවරුන්ගේ වචන ප්‍රතික්ෂේප කිරීමට පෙර දෙතුන් වරක් නොව බොහෝ වරක් සිතා බැලිය යුතු බවත්, එම උතුමන් මෙන් ප්‍රායෝගිකව ධර්මය හුරුකිරීම කෙසේ වෙතත් අවම වශයෙන් එම අටුවා-ටීකාචාර්ය උතුමන් සතුව තිබූ දැනුමෙන් දශම ගණනක තරම් දැනීමක්වත් නැති පිරිසක් එම අටුවා-ටීකා විවේචනය කරන්නට යාම විහිළුවට පාත්‍රවීමක් බවත් මෙසේ කරුණාවෙන් මතක්කර සිටිමු.

10. වැරදි මතය ; එක අටුවාවේම තේරුම් දෙකක් – ….ඒ ඒ තැනට නියමිතාර්ථය කුමක්දැයි නොදත් නිසාම අර්ථ දෙක තුන බැගින් දෙන්ට සිදුවිය…. (අටුවාපරීක්‍ෂණය 6 පිටුව)

  • අපගේ පිළිතුර ;  මෙහිදී ද පැවසිය යුත්තේ එකම වචනයට විවිධ අර්ථ ඇති නිරුත්ති කීපයක් පැවතිය හැකි බවයි. එවැනි විටෙක එම අරුත් සියල්ලම ගැලපේ. එසේ එකම වචනයට විවිධ අරුත් පෙළෙහිම දැක්වූ තැන් කීපයක් මෙසේ උද්ධෘත වශයෙන් දක්වමු.

බුද්‌ධොති කෙනට්‌ඨෙන බුද්‌ධො? බුජ්‌ඣිතා සච්‌චානීති බුද්‌ධො, බොධෙතා පජායාති බුද්‌ධො, සබ්‌බඤ්‌ඤුතාය බුද්‌ධො, සබ්‌බදස්‌සාවිතාය බුද්‌ධො, අනඤ්‌ඤනෙය්‍යතාය බුද්‌ධො, විසවිතාය බුද්‌ධො, ඛීණාසවසඞ්‌ඛාතෙන බුද්‌ධො, නිරුපක්‌කිලෙසසඞ්‌ඛාතෙන බුද්‌ධො, එකන්‌තවීතරාගොති බුද්‌ධො, එකන්‌තවීතදොසොති බුද්‌ධො, එකන්‌තවීතමොහොති බුද්‌ධො, එකන්‌තනික්‌කිලෙසොති බුද්‌ධො……..(මහා නිද්දේස)

භික්‌ඛූති භික්‌ඛකොති භික්‌ඛු, භික්‌ඛාචරියං අජ්‌ඣුපගතොති භික්‌ඛු, භින්‌නපටධරොති භික්‌ඛු, සමඤ්‌ඤාය භික්‌ඛු, පටිඤ්‌ඤාය භික්‌ඛු, එහි භික්‌ඛූති භික්‌ඛු, තීහි සරණගමනෙහි උපසම්‌පන්‌නොති භික්‌ඛු,…. (පාරාජිකා පාළි)

මෙබඳු තැන් තව බොහෝ ඇතත් විමසන්නන්ට මෙය ප්‍රමාණවත්ය. දැනුදු එකම ගමට නම සැදුණු ක්‍රම කීපයක් තිබෙනු අසන්නට ලැබේ. ඒ සියල්ලම අරුත් වශයෙන් නිවැරදිය. එකම වස්තුවක් එකම කාලයකදී විවිධ පිරිස් අතර විවිධ නම් වලින් හැඳින්වීම විය හැක්කකි. මෙම අටුවා අර්ථ දැක්වීම්ද මේ අයුරින් වියහැකි බව දතයුතුය.

11. වැරදි මතය ; අධික වර්ණනා – ….ක්‍ෂත්‍රිය කුලයෙන් පැවිදි වූවන් ජාතිය නිසා මානය උපදවන බැවින් ද බමුණන් වේදමන්ත්‍ර නිසා මානය උපදවන බැවින් ද මහණකමට අයෝග්‍යයයි ඒ දෙතැන්හිම කියවේ. (අටුවාපරීක්‍ෂණය 10 පිටුව)

  • අපගේ පිළිතුර ; මෙම ප්‍රකාශයද ඕනෑවට වඩා තදින් කළ ප්‍රකාශයකි. මෙම තැන් දෙකේදීම ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණ කුලවල අය මහණකමට නුසුදුසු යැයි කියා නැත. ඒ අය බොහෝ සෙයින් මානය උපදවන බව පමණක් දැක්වේ. එයින් එම සියලු දෙනා මානය උපදවන්නේ යැයි හෝ ඔවුන් පැවිද්දට නුසුදුසු යැයි හෝ නොකියැවේ. ඊට අදාල පාළිපාඨය මෙසේය. යෙභුය්‍යෙන හි ඛත්‌තියකුලතො පබ්‌බජිතා ජාතිං නිස්‌සාය මානං කරොන්‌ති. බ්‍රාහ්‌මණකුලා පබ්‌බජිතා මන්‌තෙ නිස්‌සාය මානං කරොන්‌ති. හීනජච්‌චකුලා පබ්‌බජිතා අත්‌තනො අත්‌තනො විජාතිතාය පතිට්‌ඨාතුං න සක්‌කොන්‌ති. ගහපතිදාරකා පන කච්‌ඡෙහි සෙදං මුඤ්‌චන්‌තෙහි පිට්‌ඨියා ලොණං පුප්‌ඵමානාය භූමිං කසිත්‌වා තාදිසස්‌ස මානස්‌ස අභාවතො නිහතමානදප්‌පා හොන්‌ති. තෙ පබ්‌බජිත්‌වා මානං වා දප්‌පං වා අකත්‌වා යථාබලං සකලබුද්‌ධවචනං උග්‌ගහෙත්‌වා විපස්‌සනාය කම්‌මං කරොන්‌තා සක්‌කොන්‌ති අරහත්‌තෙ පතිට්‌ඨාතුං. ඉතරෙහි ච කුලෙහි නික්‌ඛමිත්‌වා පබ්‌බජිතා නාම න බහුකා, ගහපතිකාව බහුකා. ඉති නිහතමානත්‌තා උස්‌සන්‌නත්‌තා ච පඨමං ගහපතිං නිද්‌දිසතීති.  (දී.නි.අ. 125 පිටුව)

තවද බුදුරජාණන් වහන්සේත්, ආනන්ද, අනුරුද්ධ, භද්දිය,භගු,කිම්බිල, මහාකප්පින ආදී මහරහත් උතුමෝත් ක්‍ෂත්‍රිය කුලයෙන් නික්ම පැවිදි වූ බවත් සාරිපුත්ත-මහමුගලන් ආදී මහරහත් උතුමෝ බ්‍රාහ්මණ කුලයෙන් නික්ම පැවිදි වූ බවත් අටුවාචාරී උතුමෝ නොදන්නේ නොවේ. බුද්ධඝෝෂ මහ ඇදුරුපාණෝ ද බ්‍රාහ්මණ කුලයෙන් නික්ම පැවිදි වූ උතුමෙකි. එතුමන් වහන්සේට තම කුලය අමතක වූවා විය නොහැක. එබැවින් මෙබඳු තැන් විචාරයට ලක් කිරීමේදී දහමෙහි පිහිටා, ගුරුන් ඇසුරුකොට, ධර්ම ගෞරවය උපදවාගෙන විමසා බලන්නේ නම් මෙබඳු වැරදි සිදු නොවනු ඇත.

12. වැරදි මතය ; පෞරාණිකයෝ කවරහුද?  – ….අටුවා වලදීම “අටුවාචාරීහු මෙසේ කීහ”යි කරුණු ගෙනහැර දක්වන විට මේ වර්තමාන අටුවා අලුත් ඒවා බවත් පුරාණ අටුවා ඊට වෙනස් අදහස් ඇතිව පැවති බවත් කාට නම් පැහැදිලි නොවේද?…. (අටුවාපරීක්‍ෂණය 15 පිටුව)

  • අපගේ පිළිතුර      ; මෙතැන ද සිතාගත නොහැකි අයුරින් අරුත් පටලවාගත් තැනකි. “ තෙනාහු අට්ඨකථාචරියා” යැයි මෙසේ දක්වන්නේ පැරණි අටුවාවේ අරුත දැන් පැවසූ දෙයට විරුද්ධ බව දැක්වීමට නොව. දැන් පැවසූ අදහස සනාථ කිරීම, තහවුරු කිරීම පිණිසය. ඊට උදාහරණ මෙසේ දක්වමු.

  1. යොපෙස යථාවුත්‌තප්‌පකාරාය එතාය ධම්‌මසාමග්‌ගියා බුජ්‌ඣතීති කත්‌වා අරියසාවකො ‘‘බොධී’’ති වුච්‌චති, තස්‌ස බොධිස්‌ස අඞ්‌ගොතිපි බොජ්‌ඣඞ්‌ගො, සෙනඞ්‌ගරථඞ්‌ගාදයො විය. තෙනාහු අට්‌ඨකථාචරියා ‘‘බුජ්‌ඣනකස්‌ස පුග්‌ගලස්‌ස අඞ්‌ගාති වා බොජ්‌ඣඞ්‌ගා’’ති.[107]

[107] මජ්ඣිමනිකායට්ඨකථා 1 සබ්බාසවසූත්‍ර අටුවා (හේවාවිතාරණ මුද්‍රණ) 77 පිටුව

(යම් ඒ කෙනෙක් ‘කියූ ආකාර ඇති මේ ධර්මසාමග්‍රියෙන් සත්‍ය අවබෝධ කරයි’ යැයි ගෙන අරියශ්‍රාවක තෙමේ ‘බෝධි’ යැයි කියනු ලැබේ. ඒ බෝධි නම් වූ ආර්යශ්‍රාවකයින් වහන්සේගේ අංග බැවින් ද “බොජ්ඣඞ්ග” නමි. සේනාංග, රථාංග මෙනි. [සේනාවේ අංග සේනාංග යනුවෙන් ද රථයේ අංග රථාංග යැයි ද හඳුන්වන්නාක් මෙන් බෝධි නමින් හඳුන්වන ආර්ය ශ්‍රාවකයින් වහන්සේගේ අංග බොජ්ඣංග යැයි හැඳින්වේ.] එබැවින් අටුවාචාරීන් වහන්සේලා “අවබෝධකරන පුද්ගලයාගේ අංග බැවින් හෝ බොජ්ඣංග නම් වෙත්” යැයි වදාල සේක.)

2. තත්‌ථ ඉතිවුත්‌තකඞ්‌ගස්‌ස අඤ්‌ඤං කිඤ්‌චි න පඤ්‌ඤායති තබ්‌භාවනිමිත්‌තං ඨපෙත්‌වා ‘‘වුත්‌තඤ්‌හෙතං…පෙ.… මෙ සුත’’න්‌ති ඉදං වචනං. තෙනාහු අට්‌ඨකථාචරියා ‘‘වුත්‌තඤ්‌හෙතං භගවතාති ආදිනයප්‌පවත්‌තා ද්‌වාදසුත්‌තරසතසුත්‌තන්‌තා ඉතිවුත්‌තක’’න්‌ති.[108]

[108]  ඉතිවුත්තකට්ඨකථා නිදානවණ්ණනා (හේවාවිතාරණ මුද්‍රණ) 25 පිටුව

(ඒ නවාංග අතුරින් ඉතිවුත්තක අංගයට ඒ නම අතිවීමට නිමිත්ත වූ “වුත්තඤ්හෙතං … පෙ…. මෙ සුතං” යන මේ වචනය හැර අන් කිසි ලක්‍ෂණයක් නොපෙනේ. එබැවින් අටුවාචාරීන් වහන්සේලා “වුත්‌තඤ්‌හෙතං භගවතා යනාදී වශයෙන් පැවති එක්සිය දොළහක් සූත්‍රයෝ ඉතිවුත්තක නමි” යැයි වදාළ සේක.)

තවත් මෙබඳු තැන් කීපයක්ම ඇතත් ලිපිය දික්වන බැවිනුත්, නුවණැත්තන්ට මෙපමණක් සෑහෙන බැවිනුත්, නව තාක්‍ෂණික මෙවලම් මගින් දැන් එබඳු තැන් පහසුවෙන් සොයාගත හැකි බැවිනුත් සෙසු තැන් නොදක්වමු. මෙබඳු මූළික න්‍යායන් වරද්දා ගන්නා කල්හි ත්‍රිපිටකයේ හා අටුවාවන්හි ද පාරප්‍රාප්ත දැනීමක් ඇති උතුමන් කළ අටුවා-ටීකා ග්‍රන්ථ විවේචනය කෙසේ කරන්නේදැයි නුවණැත්තෝ සිතා බලත්වා.

13. වැරදි මතය ; වරද්දාගත් වචනයක් – ….අංගුත්තර පාළියේ කියවෙන්නේ සල් පැලයක ලක්‍ෂණයි. ඒ සල්පැලය ගැන “වන්නේ ද නොවන්නේ දැ”යි ඉපදවිය යුතු සැකය කුමක් දැයි අටුවාව විස්තර නොකරයි…. “වේද නොවේ දැ”යි සැකයක් සල් ගසේ විශේෂණයක් වශයෙන් කෙසේ යෙදිය හැකිදැයි මෙය කියවන්නෝ සිතා බලත්වා. (අටුවාපරීක්‍ෂණය 23-24 පිටු)

  • අපගේ පිළිතුර ; වරද්දාගත් වචනයක් යන මාතෘකාව යටතේ දැක්වූ මෙම පාඨය ගැන හොඳින් සිතා බැලූවිට සල් ගසේ විශේෂණයක් වශයෙන් “වන්නේ ද නොවන්නේ දැ”යි සැකයක් ඇතිවීම සිදුවිය හැක්කකි. පැලයක් කුඩා කල දී “මෙය ජීවත් වේවි ද මැරේවි දැ”යි සැකයක් විය හැකිය. එය වැඩී තරුණ ගසක් වූ විට මෙම සැකය දුරු වේ. මෙම අටුවාවේදී කියැවෙන්නේ තරුණ සල් පැළයක් ගැනයි. ඒ බව නවන්ති තරුණං යන පාඨයෙන් කියැවේ. එබැවින් ඉහත පරිදි ජීවත්වීම පිළිබඳ සැක දුරුවී තරුණ තත්වයට පත්වී ඇති බැවින් සල් පැළයට අකුක්කුච්චකජාතං (නිසැක බවට පත්) යැයි දැක්වේ. මෙසේ වරද්දාගෙන ඇත්තේ අටුවාචාරීන් වහන්සේලා නොව, ශ්‍රද්ධාවෙන් තොරව, හොඳ පදනමක නොපිහිටා ඒවා විවේචනයට යන අය බව මෙම කරුණු වලින් ද සනාථ වේ.

14. වැරදි මතය ; අපෙන් අසන ප්‍රශ්ණයක් – …..“තමාගේ නමට ගුණපද යොදාගන්නෝ ආත්ම ගෞරව නැති පුහු මිනිස්සු” යයි ද “එබැවින් බුද්ධඝෝෂ මාහියෝ එසේ නොකලාහ”යි ද ඇල්පිටියේ සුමනසිරි ස්ථවිරතුමා කියයි….ඒ අටුවාවේ හෝ උන්වහන්සේගේ අන් අටුවාවක අග බැලුවා නම් බුද්ධඝෝෂ මාහිමිතුමන් පමණ තමන්ගේ නමට ගුණපද යොදාගත් වෙන කෙනෙකු මේ සාසනයේ නැතිබව පෙනී යායුතුයි…. දැන් මේ “පුහු මිනිස්” කතාව කවුරුන් කරා ගියේදැයි සලකා බලනු යෙහෙකි… (අටුවාපරීක්‍ෂණය 28 පිටුව)

  • අපගේ පිළිතුර ; මෙම ප්‍රකාශය ද වැරදිය. මෙම ගුණපද අටුවාවන්ට ඇතුලත් කළේ බුද්ධඝෝෂ මාහිමියෝ නොවේ, බුද්ධමිත්‍ර නමැති තෙර කෙනෙකැයි බොහෝ පැරණි පොතක් වූ විසුද්ධිමාර්ග පැරකුම්බා සන්නයේ අග දැක්වේ. මෙම බුද්ධමිත්‍ර තෙරණුවෝ බුද්ධඝෝෂ මාහිමියන්ගේ ද ශිෂ්‍යයෙකු බැවින් එතුමන්ගේ නම ඍජුව නොකියා “ගුරුවරුන් විසින් බුද්ධඝෝෂ යැයි නම් කළ තෙරුන් විසින් මෙම විශුද්ධිමාර්ගය නමැති පොත කළේ ”යැයි දැක්වූ බව එම සන්නයේ දැක්වේ. (විසුද්ධිමග්ග සන්නය 1755 පිටුව- බෙන්තර ශ්‍රද්ධාතිස්ස හිමිගේ සංස්කරණය)

15. වැරදි මතය ;  “මාරයා මනඃකල්පිත දෙවියෙකැ”යි දිනමිණ වෙසක් කලාපයේ පළ වූ මාගේ ලිපියෙහි ඇතුළත් විය…. මෙයින් ඒ කාරණය පහදා දීමට උත්සාහ ගනු ලැබේ…. (අටුවාපරීක්‍ෂණය 45 පිටුව)

16. වැරදි මතය ; මාරයා මනඃකල්පිත දෙවියෙකි – ….දෙවියෙක් මිනිසෙකුගේ ආමාශයට ඇතුල්ව සිටියේ යැයි කීම සඟියකට ඇතුළත්ව තිබුණත් පිළිගැනීම ඉතා අපහසුයි…. (අටුවාපරීක්‍ෂණය 53 පිටුව)

  • අපගේ පිළිතුර ; මාරයා යැයි දැක්වෙන දෙවියෙක් සැබවින්ම නැතැයි ඔප්පුකිරීමට පිටු 15 ක් තරම් කරුණු ලියා ඇතත් ඒ සියල්ලම අනුමාන වශයෙන් දැක්වූ කරුණු මිස බලවත් සාක්‍ෂි නොවේ. මාරයා යැයි හඳුන්වන දෙවියෙක් ඇතැයි දැක්වීමට පෙළපොත් වලින්ම ඕනෑතරම් බලවත් සාක්‍ෂි සොයාගත හැකිය. ඉන් කීපයක් මෙසේ දක්වමු.

i. අථ ඛො මාරො පාපිමා, අචිරපක්‌කන්‌තෙ ආයස්‌මන්‌තෙ ආනන්‌දෙ, යෙන භගවා තෙනුපසඞ්‌කමි; උපසඞ්‌කමිත්‌වා භගවන්‌තං එතදවොච – ‘‘පරිනිබ්‌බාතු දානි, භන්‌තෙ, භගවා, පරිනිබ්‌බාතු දානි සුගතො…..

ඉක්බිති පාපී මාරතෙමේ ආනන්ද මාහිමියන් පිටත්ව ගොස් නොබෝ වේලාවකින් භාග්‍යවතුන් වහන්සේ යම් තැනක ද එතැනට එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි! භාග්‍යවතුන් වහන්සේ දැන් පිරිනිවෙන සේක්වා. සුගතයන් වහන්සේ දැන් පිරිනිවෙන සේක්වා.” යන මෙය කීය. [109]

ii. අථ ඛො මාරො පාපිමා භගවතො චෙතසා චෙතොපරිවිතක්‌කමඤ්‌ඤාය යෙන භගවා තෙනුපසඞ්‌කමි; උපසඞ්‌කමිත්‌වා භගවන්‌තං ගාථාය අජ්‌ඣභාසි ..

ඉක්බිති පාපී මාරතෙමේ තමාගේ සිතින් භාග්‍යවතුන් වහන්සේගේ චිත්තපරිවිතර්කය දැන භාග්‍යවතුන් වහන්සේ යම් තැනක ද එතැනට එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් (මෙය) කීය. [110]

iii. අථ ඛො මාරො පාපිමා වජිරාය භික්‌ඛුනියා භයං ඡම්‌භිතත්‌තං ලොමහංසං උප්‌පාදෙතුකාමො සමාධිම්‌හා චාවෙතුකාමො යෙන වජිරා භික්‌ඛුනී තෙනුපසඞ්‌කමි; උපසඞ්‌කමිත්‌වා වජිරං භික්‌ඛුනිං ගාථාය අජ්‌ඣභාසි…

ඉක්බිති පාපී මාරතෙමේ වජිරා භික්‍ෂුණීන් වහන්සේට භයක්, තැතිගැන්මක්, ලොමු ඩැහැගැන්මක් උපදවනු කැමැත්තේ, සමාධියෙන් පහකරනු කැමැත්තේ වජිරා භික්‍ෂුණීන් වහන්සේ යම් තැනක ද එතැනට එළඹියේය. එළඹ වජිරා භික්‍ෂුණීන් වහන්සේට ගාථාවකින් (මෙය) කීය. [111]

[109] (දීඝනිකාය 2 , 162-163 පිටු ../මජ්ඣිම/සංයු. නි.)

 

 

[110] සංයුත්ත නිකාය 1 කොටස 188-189 පිටු.

 

 

 

[111] සංයුත්ත නිකාය 1 කොටස 246-247 පිටු.

මෙබඳු තැන් සිය ගණනක් ත්‍රිපිටකය පුරා සඳහන් වී ඇත. මෙසේ ඉතා පැහැදිලිව දිව්‍යපුත්‍ර මාරයෙකු පිලිබඳ දක්වා තිබියදී එය ප්‍රතික්‍ෂේප කිරීම විශ්මයට කරුණකි. මාරයා ජීවියෙකු නොවේ නම් භාග්‍යවතුන් වහන්සේගේ සිත සිතින් දකින්නේත්, වෙත එළඹ ප්‍රශ්ණ විචාරීම, ගාථාකීම, ඉල්ලීම් කිරීමාදිය සිදුවන්නේත් කෙසේදැයි නුවණැත්තෝ විමසත්වා. අපට ප්‍රත්‍යක්‍ෂ නොවන සියල්ල බොරු නොවන බවත්, එබඳු සත්‍ය බොහෝවක් ලෝකයේ ඇති බවත්, බුදුදහම ප්‍රචලිත නැති බටහිර රට වල පවා බොහෝ දෙනෙක් දැන් අමනුෂ්‍යාදීන්ව විශ්වාස කරන බවත් දතයුතුය. එසේ තිබියදී බුදුදහම ඇති රටක බෞද්ධ පිරිස අතර “දෙවියන්, මාරයන් නැත” යනාදී මෙබඳු මිත්‍යා මත පවතින්නේ නම් එය අභාග්‍යකි.

09   ධර්මය වරදවා දැක්වීමෙන් වන අනතුර

‘‘යෙ තෙ, භික්‌ඛවෙ, භික්‌ඛූ අධම්‌මං ධම්‌මොති දීපෙන්‌ති …….තෙ, භික්‌ඛවෙ, භික්‌ඛූ බහුජනඅහිතාය පටිපන්‌නා බහුජනඅසුඛාය, බහුනො ජනස්‌ස අනත්‌ථාය අහිතාය දුක්‌ඛාය දෙවමනුස්‌සානං. බහුඤ්‌ච තෙ, භික්‌ඛවෙ, භික්‌ඛූ අපුඤ්‌ඤං පසවන්‌ති, තෙ චිමං සද්‌ධම්‌මං අන්‌තරධාපෙන්‌ති”

(මහණෙනි! යම් භික්‍ෂූහු අධර්මය ධර්මය යැයි ප්‍රකාශ කරත් ද, ඔවුහු බොහෝ දෙනාට අහිත පිණිස, නො සුව පිණිස, අනර්ථය පිණිස, දෙව්මිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස කටයුතු කරන්නාහු වෙති. ඒ භික්‍ෂූහු බොහෝ පව් ද රැස්කර ගනිති. ඔවුහු මේ සද්ධර්මය අතුරුදන් කරති.)[112]

[112] අංගුත්තරනිකාය 1, 38-39 පිටු

මෙසේ ධර්මය අධර්මය සේත්, අධර්මය ධර්මය සේත්, විනය අවිනය සේත්, අවිනය විනය සේත් දැක්වීම යනාදී ලෙස සංඝ භේදයට හේතුවන කරුණු 18 ක් පිළිබඳව දහමෙහි දැක්වේ. යමෙක් අභිධර්මය ආදී පිරිසිදු දහම් ප්‍රතික්‍ෂේප කරයි නම් හෙතෙම “ධර්මය අධර්මය ලෙස දැක්වීම” යන කරුණ යටතේ මහත් අකුසල් සිදුකර ගනී. එබන්දෙකුට වන අනතුර ගැන තවදුරටත් දහමෙහි මෙසේ දැක්වේ.

“අභිධම්‌මං පටිබාහෙන්‌තො ඉමස්‌මිං ජිනචක්‌කෙ පහාරං දෙති, සබ්‌බඤ්‌ඤුතඤ්‌ඤාණං පටිබාහති, සත්‌ථු වෙසාරජ්‌ජඤ්‌ඤාණං පටිනිවත්‌තෙති, සොතුකාමං පරිසං විසංවාදෙති, අරියමග්‌ගෙ ආවරණං බන්‌ධති, අට්‌ඨාරසසු භෙදකරවත්‌ථූසු එකස්‌මිං සන්‌දිස්‌සති උක්‌ඛෙපනීයකම්‌මතජ්‌ජනීයකම්‌මාරහො හොති. තං තං කම්‌මං කත්‌වා උය්‍යොජෙතබ්‌බො ‘ගච්‌ඡ විඝාසාදො හුත්‌වා ජීවිස්‌සසී’ති.”

(අභිධර්මය ප්‍රතිබාහනය කරන අවලංගු කරන තැනැත්තා මේ ජිනචක්‍රය නම් වූ බුදුදහමට පහර ගසන්නේ වෙයි, සර්වඥතාඥාණය අවලංගු කරන්නේ වෙයි, ශාස්තෲන් වහන්සේගේ විශාරද ඥානය නවත්වන්නේය, දහම් අසනු කැමති පිරිස රවටන්නේය, ආර්ය මාර්ගය හරහා වැටක් බඳින්නේය, දහඅට වැදෑරුම් භේදකර වස්තු අතුරින් එකක පෙනී සිටින්නේය, උක්ක්‍ෂේපනීය – තජ්ජනීය ආදී දඬුවම් විනයකර්මයන් ලබන්නට සුදුස්සෙක් වන්නේය, ඒ ඒ විනය කර්ම සිදු කොට “සිඟන්නෙක් වී ජීවත් වෙවයි” සසුනෙන් බැහැර කළ යුතුතෙක් වන්නේය.)[113]

 

 

[113] අත්ථසාලිනී අටුවාව (හේවාවිතාරණ මුද්‍රණ 1940) 24 පිටුව

කරුණු මෙසේ හෙයින් තමාගේ ගුරුවරයා වුවත් කියන දේ ධර්මවිනයට නොගැලපේ නම් එය නොපිළිගත යුතුය. එබඳු අවස්ථාවක දී නුවණැති ශිෂ්‍යයෙකු සිතනා ආකාරය පිළිබඳ බ්‍රහ්මජාල සූත්‍ර නිදානයෙහි දැක්වේ. ඒ මෙසේය: සුප්පිය පරිබ්‍රාජක තෙමේ ද ඔහුගේ අතවැසි (ශිෂ්‍ය) බ්‍රහ්මදත්ත මාණවක තුමා ද මාර්ගයට පිළිපන්හ. එහිදී සුප්පිය පරිබ්‍රාජකයා නොයෙක් අයුරින් තෙරුවනගේ නුගුණ කියයි. බ්‍රහ්මදත්ත මාණවක තුමා එය නොපිළිගෙන තෙරුවනගේ ගුණ කියයි. මේ අවස්ථාවේදී බ්‍රහ්මදත්ත මාණවක තුමා සිතූ ආකාරය අටුවාවේ මෙසේ දැක්වේ.

‘‘අම්‌හාකං ආචරියො අපරාමසිතබ්‌බං පරාමසති, අනක්‌කමිතබ්‌බං අක්‌කමති, ස්‌වායං අග්‌ගිං ගිලන්‌තො විය, හත්‌ථෙන අසිධාරං පරාමසන්‌තො විය, මුට්‌ඨිනා සිනෙරුං පදාලෙතුකාමො විය, කකචදන්‌තපන්‌තියං කීළමානො විය, පභින්‌නමදං චණ්‌ඩහත්‌ථිං හත්‌ථෙන ගණ්‌හන්‌තො විය ච වණ්‌ණාරහස්‌සෙව රතනත්‌තයස්‌ස අවණ්‌ණං භාසමානො අනයබ්‍යසනං පාපුණිස්‌සති. ආචරියෙ ඛො පන ගූථං වා අග්‌ගිං වා කණ්‌ටකං වා කණ්‌හසප්‌පං වා අක්‌කමන්‌තෙ, සූලං වා අභිරූහන්‌තෙ, හලාහලං වා විසං ඛාදන්‌තෙ, ඛාරොදකං වා පක්‌ඛලන්‌තෙ, නරකපපාතං වා පපතන්‌තෙ, න අන්‌තෙවාසිනා තං සබ්‌බමනුකාතබ්‌බං හොති. කම්‌මස්‌සකා හි සත්‌තා අත්‌තනො කම්‌මානුරූපමෙව ගතිං ගච්‌ඡන්‌ති. නෙව පිතා පුත්‌තස්‌ස කම්‌මෙන ගච්‌ඡති, න පුත්‌තො පිතු කම්‌මෙන, න මාතා පුත්‌තස්‌ස, න පුත්‌තො මාතුයා, න භාතා භගිනියා, න භගිනී භාතු, න ආචරියො අන්‌තෙවාසිනො, න අන්‌තෙවාසී ආචරියස්‌ස කම්‌මෙන ගච්‌ඡති. මය්‌හඤ්‌ච ආචරියො තිණ්‌ණං රතනානං අවණ්‌ණං භාසති, මහාසාවජ්‌ජො ඛො පනාරියූපවාදොති. එවං යොනිසො උම්‌මුජ්‌ජිත්‌වා ආචරියවාදං මද්‌දමානො සම්‌මාකාරණමෙව කාරණතො අපදිසන්‌තො අනෙකපරියායෙන තිණ්‌ණං රතනානං වණ්‌ණං භාසිතුමාරද්‌ධො,

(“අපේ ගුරුතුමා ස්ඵර්ෂ නොකළ යුත්තක් ස්ඵර්ෂ කරයි. පා නොතැබිය යුත්තකට පා තබයි. මෙතුමා ගින්නක් ගිලින්නාක් මෙන්, කඩුමුවහතක් අතින් පිරිමදින්නාක් මෙන්, අත්මිටින් මහමෙර පලනු කැමැත්තාක් මෙන්, කියත් දැති පේලියක ක්‍රීඩා කරන්නාක් මෙන්, මදකිපුණු සැඩ ඇතෙකු අතින් අල්ලන්නාක් මෙන් ගුණ කීමටම සුදුසු වූ තෙරුවනගේ නුගුණ කියමින් විපතට පැමිණෙන්නේය. ගුරුවරයා අසුචියක් හෝ ගින්නක් හෝ කටුවක් හෝ විෂ සර්පයෙක් ව පාගන කල්හි හෝ උලකට නගිද්දී හෝ එකෙණෙහි මැරෙන විෂක් අනුභව කරද්දී හෝ ඉතාසැර ලුණු දියක් කටට ගනිද්දී හෝ සොරුන් හෙලන ප්‍රපාතයකට පනිත්දී හෝ අතවැසියා විසින් ඔහු අනුව ඒ සියල්ල කළ යුතු නොවේ. කර්මය ස්වකීය කොට ඇති සත්වයෝ තමාගේ කර්මයට අනුරූප වූ ම ගතියකට යත්. පියා පුතුගේ කර්මයෙන් උපතකට නොයයි. ………… අතවැසි ශිෂ්‍යයා ගුරුවරයාගේ කර්මයෙන් උපතකට නොයයි. මගේ ගුරුවරයා තෙරුවනගේ නුගුණ කියයි. ආර්යෝපවාදය මහාසාවද්‍ය වෙයි.” යනුවෙන් මෙසේ නුවණින් ආර්යෝපවාදයෙන් බේරී ගුරුවරයාගේ වාදය මඩිමින් නිවැරදි කරුණම කාරණය වශයෙන් දක්වමින් නොයෙක් ආකාරයෙන් තෙරුවනගේ ගුණ කීමට ඇරඹීය.)[(114) දීඝනිකාය අටුවාව (හේවාවිතාරණ මුද්‍රණ 1918)  28-29 පිටු]

ඉහත කරුණු සිත තබාගෙන දහමට එකඟ නොවන මත කවුරුන් කීවත් එකවර පිළිනොගෙන වරදි මත ඉවත දමමින් සීලාදී ප්‍රතිපත්ති පුරන්නට යෙදෙත්වා යනු අපගේ ආරාධනයයි.

10   අපගේ අදහස…..

සර්වඥයින් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවන්ගේ සාරයත්, ඇතැම් ඒවායේ නිදානාදී විස්තරාදියත් අඩංගු වන්නේ දැන් පෙළ පොත් වශයෙන් හඳුන්වන ග්‍රන්ථවල බව ප්‍රකටය. ඒවා ධර්මවිනය විනිශ්චයකදී මූලික සාධක බව නොකිවමනාය. එම බුද්ධ දේශනාවන්ගේ අප්‍රකට අර්ථ දැක්වීමත්, සෙසු නිදානකථා, පද ගැලපීම්, උදාහරණ දැක්වීම් ආදියත් අඩංගු වන්නේ අටුවාවන්හි ය. ධර්මවිනය විනිශ්චයකදී මෙම අටුවාද අත්‍යාවශ්‍ය බව කරුණු සහිතව ඉහත දැක්වුවෙමු. ක්‍ෂීණාශ්‍රව උතුමන් වැඩසිටි අනුරාධපුර යුගයේදී පෙළ දහමට වගේම ප්‍රමුඛත්වයක් අටුවාවට ද ලැබුණු බව පැරණි කථා වස්තු වලින් ප්‍රකට වේ. ඒ සඳහා උදාහරණයක් ඉතා කෙටියෙන් මෙසේ දක්වමු.

ත්‍රිපිටකය කටපාඩමින් රැගෙන ආ ක්‍ෂීණාශ්‍රව උතුමන්ගේ පරම්පරාවේ ශ්‍රේෂ්ඨ පුරුකක් වූද, මෙරට වැඩසිටි ස්මෘතිමත් උතුමන් අතර ආශ්චර්යවත් මතකශක්තියකින් හෙබි උතුමෙකු යැයි ප්‍රකට වූ ද මහතෙරනමකි ත්‍රිපිටක චූළාභය මහඇදුරුපාණන් වහන්සේ. එතුමන්ගේ පැවිද්දේ මුල්කාලයේ, පෙළ දහම පමණක් හදාරා දරාගෙන එය භික්‍ෂූන් ඉදිරියේ සිංහලට පරිවර්තනය කොට බණ කීම පිණිස මහාවිහාරයෙහි රන් බෙරය නාද කරවූ සේක. නමුත් භික්‍ෂුසංඝයා “කවර ගුරුවරයෙකුගෙන් උගත් අර්ථ (අටුවා) ඇත්තේ ද? ඇදුරු පරම්පරාව ප්‍රකාශ නොකොට අර්ථ කියන්නට නොදෙමු” යැයි කියා එය වැලැක්වූහ. (මේ වන විට එතුමන් වහන්සේ සෝතාපන්නව සිටිබව ද දැක්වේ.) පසුව ඒ පුවත එතුමන්ගේ උපාධ්‍යායන් වහන්සේ දැනගෙන කරුණු විමසා අටුවා හැදෑරවීම පිණිස රුහුණට පිටත්කර යැවීය. මෙසේ එතුමන් වහන්සේ පසුව අති ශ්‍රේෂ්ඨ මහඇදුරුතුමෙක් වූ බව විශුද්ධිමාර්ගයේ කර්මස්ථාන නිර්දේශයේ දැක්වේ.

එබඳු විශිෂ්ට හැකියාවන්ගෙන් යුක්ත වූ ත්‍රිපිටක පෙළ දහම දරාගෙන සිටි ආර්යශ්‍රාවක උතුමෙකුට වුවත් අටුවා උගෙන නොතිබූ බැවින් බණ කීමට නොදීමෙන් එකල උතුමන් තුළ පැවති ධර්මගරුත්වය ද මනාව ප්‍රකට වේ. එමෙන්ම අටුවාවන්ට හිමිව තිබූ තත්වය ද ප්‍රකට වේ.

මෙකල ඇතැමුන් ත්‍රිපිටකයේ ඇතැම් ග්‍රන්ථ ප්‍රතික්‍ෂේප කරන්නේත්, අටුවා-ටීකා නොසලකා හරින්නේත් කුමන හේතු නිසාදැයි විමසන අපට පහත හේතු කීපය දක්නට ලැබිණි.

  1. බුදුදහම තම ජීවිතයට හුරුකරගෙන සීල-සමාධි-ප්‍රඥා ගුණ ධර්ම වැඩීමේ අරමුණින් නොව, තමාගේ උගත්කම පෙන්වීම පිණිසත් උපාධි ආදී නම්බු නාම පිණිසත් දහම හැදෑරීම. ඇතැම් භික්‍ෂූන් වහන්සේලා ද දහම ප්‍රායෝගිකව හුරුකරනු වෙනුවට ගිහිජීවිතයේදී අත්හළ උපාධි – නම්බුනාම, කීර්ති-ප්‍රශංසා ලැබීමේ මාර්ගයක් ලෙස සලකා ධර්මය හැදෑරීම ඛේදයකි. මෙය අලගද්ද පරියත්තියක් වන බව ද සැලකීම වටී.
  2. දහම හැදෑරීමේදී සිල්වත් ගුණවත් ශ්‍රද්ධාවත් ගුරුවරුන් ඇසුරු කරගෙන නොම හැදෑරීම.
  3. ඇතැම්හු අභිධර්මාදී ගැඹුරු දහම් කොටස් ද අටුවා – ටීකාදී ග්‍රන්ථ ද ප්‍රතික්‍ෂේප කරන්නේ ඒවා තමාට නොතේරෙන බැවිනි. නැතිනම් ඒවායේ අර්ථ ගන්නා ක්‍රමය නොදන්නා බැවිනි. ඇතැම්හු තමා කරන වැරදි වසා ගැනීමට ද ඇතැම් දහම් කොටස් ප්‍රතික්‍ෂේප කරති. ඇතැම්හු තමාට ඇති මානසික රෝගයක් නිසා ද එසේ කරති. ඇතැම්හු වෙනස් අදහසක් ලොවට කියා පා ප්‍රසිද්ධ වීමේ පවිටු අදහසිනුත් එසේ කරති. මේ සැමෙකකින්ම මහා අනර්ථයක් තමාටත් ලෝකයාටත් සිදුවන බව සලකා නුවණැතිව කටයුතු කිරීමට සැවොම අදිටන් කර ගනිත්වා.
  4. පාලි භාෂාව පිළිබඳ නොසලකා සිංහලෙන් පමණක් දහම හැදෑරීමට යොමුවීම හා පාළි භාෂාව හැදෑරුව ද ප්‍රමාණවත් දැනුමක් නැති බව. සිංහල පරිවර්තන වල ඇත්තාවූ ද පාළි ශබ්දකෝෂ වල ඇත්තාවූ ද බොහොමයක් ම අර්ථ අටුවා-ටීකාවන්හි විස්තර කර ඇති වචනාර්ථ බව බොහෝ දෙනා නොදැන සිටීම.
  5. තමා මෙම අටුවාදී ග්‍රන්ථ පරිශීලනය නොකොට උගතුන් යැයි සම්මත වෙන කවුරුන් හෝ කියූ කරුණක් නිසා එම ග්‍රන්ථ නොවිමසාම බැහැර කිරීමාදී ප්‍රඥාගෝචර නොවන ක්‍රියා නිසා.
  6. අවම වශයෙන් නිසෙන් මිදීමට අවශ්‍ය අවම සුදුසුකම් වත් නැති භික්‍ෂූහු දහම්දෙසීම් ග්‍රන්ථරචනාදියට යොමු වීම.
  7. ගැඹුරින් දහම සෙවීමට ඇති උනන්දුවේ අඩුකම.
  8. අවුරුදු දහස් ගණනක් පරම්පරාවෙන් පරම්පරාවට රැකගෙන පැමිණි මෙම ධර්ම ග්‍රන්ථ ඇතැම් කාල වලදී එතරම් උගත් කමක් නැති අය අතින් ද පිටපත් වීම සිදුවිය. එබඳු අවස්ථා වලදීත් ප්‍රමාද ලිඛිත ආදී වශයෙනුත් නම් ගම් ආදී වූ දහම් කරුණු වශයෙන් එතරම් වැදගත් නොවන ඇතැම් කරුණු වල සුළු සුළු වෙනස්කම් ග්‍රන්ථ අතර පැවතිය හැකි වුවත් එමෙන් සියදහස් ගුණයකටත් වඩා වැඩි වූ එම ග්‍රන්ථයේ සඳහන් නිවැරදි කරුණු වල අගය නොසලකා හැරීම. එමෙන්ම පවතින ඉතා සුළු වූද එම වැරදි පමණක් ඉස්මතුකර දැක්වීම. (මෙසේ වැරදි යැයි සලකන බොහෝවක් ද කරුණු නිවැරදිව තේරුම් නොගැනීම නිසා වූ වැරදි වැටහීම් බව ද දතයුතුය.)
  9. ධර්මය විකෘතිකිරීමේ ආදීනව පිළිබඳ බොහෝ දෙනෙකුට අවබෝධයක් නොතිබීම. ඒ පිළිබඳ අමතර තොරතුරු රේරුකානේ චන්දවිමල මාහිමියන්ගේ අභිධර්මයේ මූලික කරුණු හා පටිච්චසමුප්පාද විවරණය යන ග්‍රන්ථයන්ගේ අග දැක්වේ.
  10. බොහෝ කාලයක් මෙරට විදේශීයයන්ට නතුව පැවතීමෙන් දහම හැදෑරීමේ පුරාණ සම්ප්‍රදාය ගිලිහීයාම හේතුවෙන් නිවැරදිව පෙළ-අටුවා-ටීකා අනුසාරයෙන් දහම හදාරන්නේ කෙසේ ද යන බව බොහෝ දෙනා නොදැන සිටීමත්, එම ක්‍රමය හෝ එහි වටිනාකම දක්වන ග්‍රන්ථ සුලභ නොවීමත් තවත් කරුණකි.
  11. මෙම වැරදි මත ඛණ්ඩනය කරමින් ඉතා වටිනා ලිපි පලවී ඇතත් ඒවා ඇතැම් විට වෙනම ග්‍රන්ථ ලෙස නොලියවීම නිසා ඒවා එතරම් අවධානයට ලක් නොවීම ද අවාසනාවකි. බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථයන්ගේ සඤ්ඤාපන ලෙස ලියැවුණු ලිපි ඒ අතර ප්‍රධාන වේ. විශේෂයෙන්ම එහි විනය පිටක මහාවග්ග පාලි පළමු ග්‍රන්ථයේ සඤ්ඤාපනය කියවන්නේ නම් ඉහත වැරදි මත බොහෝමයකට පිළිතුරු ලැබෙනු ඇත.
  12. මෙම ත්‍රිපිටකය හා අටුවා ද කටපාඩමින් ධරාගෙන පැමිණියේ අප වැනි අය නොව විශ්මයජනක මතකයක් තිබුණු සති වේපුල්ලප්පත්ත (සතියේ උපරිම තත්වයට පැමිණි) රහත් උතුමන් බව බොහෝ දෙනා නොදනිති. පෙරදින කළ කී දෙයවත් හරිහැටි සිහිකළ නොහැකි මෙකල සිටින්නෝ එම උතුමන්ව සැක කිරීම විහිළුවකි. එකල උතුමන්ගේ විශ්මිත මතකය ආදී කරුණු දැන ගැනීමට විශුද්ධිමාර්ගයේ කම්මට්ඨානගහණනිද්දේසයේ එන කරුළියගිරිවාසීනාගත්‌ථේර, මජ්ඣිමභාණකදේවත්ථේර යන උතුමන්ගේත් දීඝනිකාය අටුවාවේ (365 පිටුවේ) එන මහාගතිම්බ අභය, දීඝභාණක අභය, ත්‍රිපිටක චූලාභය යන උතුමන්ගේත් කථාවස්තු කියවීම වටී. ලිපිය දික්වන බැවින් එම කථාවස්තු නොදක්වමු.

තවද පෙළ දහම ධරාගෙන පැමිණියේත්   අටුවා ධරාගෙන පැමිණි උතුමන්මය. අටුවා වෙනස් කළා යැයි කියනවා නම් පෙළ දහමද වෙනස් කළ හැකිව තිබිණි. ඒ උතුමෝ සිහිනෙකින්වත් ඒවා දැන දැන වෙනස් නොකරන බව නම් ස්ථිරය. තවද දැන් සිටින සියලු භික්‍ෂූන්ට පැවිදි උපසම්පදාවන් ලැබුණේ ද ඒ උතුමන් වෙතින් බවද සිහිකරනු වටී.

  1. ඇතැමුන් පවසන්නේ යමක් පෙළේ නැතිනම් එය බුද්ධභාෂිතයැයි පිළිගත නොහැකි බවයි. සියලු බුද්ධභාෂිත පෙළේ අඩංගු නොවන බවට කරුණු පෙර දැක්වුවෙමු. පෙළේ නැති නමුත් බුදුරජාණන් වහන්සේ විසින්ම දෙසූ දහම් පාඨ ඕනෑතරම් අටුවාවලින් සොයාගත හැක. ආවුසෝවාදයෙන් වැඩිහිටියන් ඇමතීම නොකළ යුතුයි දක්වන පරිවාර අටුවා පාඨය, ආනන්දබෝධිය රෝපනයට අවසර ලබාදීම ආදී අවස්ථා ඊට උදාහරණ වෙත්. තවද රතනසූත්‍රාදියත්, ධම්මපද ගාථාදියත් දෙසීමට පෙර වෙන කිසිම සංවාදයක් බුදුරජුන් එම ශ්‍රාවක පිරිස හා සිදු නොකළේ යැයි කියන්නේ නම් එය ද විහිළුවකි. තවද සියලු සුභාෂිත බුද්ධභාෂිත වේ යැයි අංගුත්තර අට්ඨකනිපාතයේ උත්තරවිපත්ති සූත්‍රයේ දැක්වෙන පහත සඳහන ද සලකා බලනු වටී.

‘‘එවමෙවං ඛො, දෙවානමින්‌ද, යං කිඤ්‌චි සුභාසිතං සබ්‌බං තං තස්‌ස භගවතො වචනං අරහතො සම්‌මා සම්‌බුද්‌ධස්‌ස. තතො උපාදායුපාදාය මයඤ්ච අඤ්ඤෙච වදාම. (එසේම දෙව්රජතුමනි! යම්කිසි සුභාෂිතයක් වේ නම් ඒ සියල්ල ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ වචනයකි. ඒ බුද්ධවචනයෙන් රැගෙන අන්‍යයෝත් අපිත් දේශනා කරමු). යනු එහි අරුතයි.

  1. දහමට සම්බන්ධ යමක් ශ්‍රද්ධාවෙන් පිළිගැනීම මෝඩකමකැයි වර්තමානයේ ඇතැමුන් අතර තිබෙන දුර්මතය ද මෙසේ වැරදි මත පැතිරීමට එක් හේතුවකි. “දහම පිලිබඳ මධ්‍යස්ථ මත” යැයි පවසමින් සත්‍ය කණපිට පෙරලීම හෝ නැති වැරදි පෙන්වීම හෝ සැබෑ මධ්‍යස්ථ බව නොවන බව ද ඒ අය තේරුම් ගන්නේ නම් යහපති. අපට විෂයවන දේ පමණක් පිළිගැනීමට සිටියහොත් බුදු දහමේ පමණක් නොව වෙනත් විෂයන් වලද බොහෝ කොටස් බැහැර කළ යුතු වේ. ඒවා හැදෑරීමට ද හැකි නොවේ. වෙනත් ශාස්ත්‍රාදිය ඉගෙනීම ආරම්භ කරන්නේ ද ඒ සියල්ල ප්‍රත්‍යක්‍ෂ කරගෙන නොවේ. කර්මවිපාකාදී ඇතැම් කරුණු අපට සම්පූර්ණයෙන් විෂය නොවන බව අචින්තෙය්‍ය සූත්‍රාදියේදී බුදුරජුන්ම වදාරා තිබේ. ආරම්භයේදී බුදුරජාණන් වහන්සේ කෙරෙහිත් ශ්‍රාවක උතුමන් කෙරෙහිත් ශ්‍රද්ධාව පිහිටුවා ගෙන ධර්මය පිළිපැදීමෙන් එහි සත්‍ය අසත්‍ය තමන්ටම දතහැකි වනු ඇත.

තවද ග්‍රන්ථ කර්තෘවරු ධර්ම ග්‍රන්ථ වල වැරදි සෙවීමට උත්සුක වීම වෙනුවට ඒවායින් ප්‍රයෝජන ගන්නා ආකාරය පිළිබඳ පොත් ලියන්නේ නම් එය පාඨකයාගේ ශ්‍රද්ධාදී ගුණ වර්ධනයට ඉවහල් වේ. වැරදි දැක්වීමෙන් ඔවුන්ගේ ශ්‍රද්ධාව අඩුවීම හැර කුමන ලාභයක් වන්නේදැයි සිතා බලනු වටී. මෙය තම මවගේ බොහෝ ගුණ තිබියදී ශරීරයේ ඇති කුඩා ලප කැළලක් නිසා මවට නිගා කිරීම වැනි අනුවණකමකැයි සිතිය යුතුය. එයින් තමාටත් අනුන්ටත් ලැබෙන්නට තිබෙන පිහිට ද අහිමි වේ.

ඇතැම්හු සිතන්නේ මෙකළ මගඵල ලාභීන් අඩුවීමට හේතුව දහමේ අර්ථ අතීතයේදී වැරදීම නිසා බවයි. කිසිසේත් එබන්ඳක් වී නොමැත. මගඵල ලාභීන් අඩුවීමට ප්‍රධානම හේතුව නිවරදිව පිළිවෙත් පුරන භික්‍ෂූන් අඩු වීමයි. සීලාදී ප්‍රතිපත්ති නොපුරන ඇතැම්හු විදර්ශනා කරමු යැයි කියමින් උත්සාහ කළ ද ඉන් ප්‍රතිඵල නොලැබෙන බව දත යුතුය. එසේම නිවරදිව පෙළ – අටුවා – ටීකා අනුව සීලාදී පිළිවෙත් ගෞරවයෙන් පුරන උතුමන් අතර මෙකලත් ප්‍රතිඵල ලාභීන් සිටින බව ද දතයුතුය. පෙළ – අටුවා – ටීකාදී ධර්ම ග්‍රන්ථ පිළිබඳවත් භාවනාක්‍රම ගැනත් සැක ඉපදවීමෙන් වන්නේ භාවනා වශයෙන් එම දහම වැඩීමට බලාපොරොත්තු වන ආධුනිකයින් ද නොමග යාමයි. එයින් ඇතැම් අය ශ්‍රද්ධාව අඩු වී සිවුරු හැරයාමට ද හැකිය. මිසදිටු ගැනීමට ද හැකිය. එබැවින් මෙම විවේචන නවත්වා සෑම දෙනාම ව්‍යක්ත විශාරද ප්‍රතිපත්තිකාමී ගුරු උතුමන් හමුවේ ධර්මය හා භාවනා ක්‍රම හදාරා ඒවා නිවැරදිව පිළිපැද බලත්වා යනු අපගේ ආරාධනයයි. එසේ නිවැරදිව පිළිවෙත් පුරන පිරිසක් බිහි වී මේ ලක්දිව නැවතත් ධ්‍යාන – අභිඤ්ඤා – මාර්ගඵල ලාභී උතුමන්ගෙන් ගැවසීගත් ධර්මද්වීපයක් වේවා යනු අපගේ පැතුමයි.

 

චිරං තිට්‌ඨතු ලොකස්‌මිං, සම්‌මාසම්‌බුද්‌ධසාසනං!

සම්බුදු සසුන ලොව බොහෝ කල් පවතීවා!

සබ්බෙ සත්තා භවන්තු සුඛිතත්තා!

සියලු සත්වයෝ සුවපත් වූ ආත්ම ඇත්තෝ වෙත්වා!