බුදුරජාණන් වහන්සේගේ ප්‍රකීර්ණක ධර්ම දේශනයක් පැවති බවත් එකී ප්‍රකීර්ණක ධර්ම දේශනය ඇසුරින් සමීපචාරී මහරහතන් වහන්සේලා විසින් අර්ථකථා සම්පාදනය කරනලද බවත් පසුගිය ලිපියකින් විස්තර කරන ලදී. එකී අර්ථකථාවම මහින්දාගමනයෙන් ලක්දිවට සපැමිණි අතර එය පසුව සීහළ බසින් පවත්වාගෙන එන ලදී. අනතුරුව ක්‍රි.ව. 5වන සියවසේ දී පමණ ලක්දිවට පැමිණි බුද්ධඝෝෂ ආචාර්යයන් වහන්සේ සහ සෙසු ධම්මපාල ආදී ආචාර්යයන් වහන්සේලා විසින් ඒ සීහළ අර්ථකථා ශුද්ධ මාගධී (පාළි) භාෂාවට පරිවර්තනය කරන ලදී. එසේ පරිවර්තනය කරන ලද අර්ථකථා සම්පාදනයේ දී එහි අර්ථය වඩාත් තහවුරු කිරීමට නොයෙක් තත්කාලීන ප්‍රවෘත්ති, එවකට සිටි ආචාර්යවරයන්ගේ විනිශ්චයන් ආදිය එක් කරන ලදී. මෙම එකතු කිරීම් ආදිය හේතුවෙන් බුද්ධඝෝෂ හිමි ඇතුළු ඒ අටුවාචාරීන් වහන්සේලා අතීතයේ පටන් පැවති අර්ථකථාව වෙනස් කළ බවට ඇතමෙක් චෝදනා කරති. එහෙත් එකී අර්ථකථනයන් මැනවින් පිරික්සා බැලීමේ දී ප්‍රකට වන්නේ ඉදිරිපත් කරන ලද විනිශ්චයන්හි දී කිසිදු ලෙසකින් පෙළ දහම ඉක්මවා නොමැති බවයි. ඒ පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබාගැනීමට නම් අටුවාචාරීන් වහන්සේලා කරන ලද සංස්කරණයන් පිළිබඳ මනා වැටහීමක් තිබිය යුතු වේ. ඒ අනුව ඒ අටුවාචාරීන් වහන්සේලා අර්ථකථාකරණයේ දී සිදු කරන ලද කාර්යභාරය කුමක් ද යන්න විමසා බැලීම මෙම ලිපියෙන් අදහස් වේ.

බුද්ධඝෝසාචාර්යයන් වහන්සේ ත්‍රිපිටක අර්ථකථා අතර පළමුවෙන්ම කරන ලද අර්ථකථාව ලෙස සැලකිය හැක්කේ සමන්තපාසාදිකා විනයාර්ථකථාව වේ. එහි දී උන්වහන්සේ සීහළ බසින් පැවති අර්ථකථාව ශුද්ධමාගධී භාෂාවට පරිවර්තනය කිරීමේ අවශ්‍යතාවය මෙසේ ගාථාවකින් දක්වති.

සංවණ්‌ණනා සීහළදීපකෙන – වාක්‍යෙන එසා පන සඞ්‌ඛතත්‌තා;

න කිඤ්‌චි අත්‌ථං අභිසම්‌භුණාති – දීපන්‌තරෙ භික්‌ඛුජනස්‌ස යස්‌මා.

එහි අර්ථය මෙසේය. ‘යම් හෙයකින් මෙම අර්ථ වර්ණනාව සීහළ දීපයේ වාක්‍යෙයන් (සිංහල භාෂාවෙන්) රචනා කළ හෙයින් ඒ අර්ථවර්ණනාව විදේශික භික්ෂුජනයාට කිසිදු අර්ථයක් නොම සලසයි’ යනුවෙනි. ඒ අනුව සීහළ බසින් පැවති අර්ථකථාව විදේශ රටවල භික්ෂූන්ට ද භාවිත කළහැකි ආකාරයට පොදු වූ ශුද්ධමාගධී භාෂාවෙන් තැබීම උන්වහන්සේගේ අදහස විය. ඒ අදහසින් බුද්ධඝෝෂ ඇදුරුපාණෝ ත්‍රිපිටකයට එකළ සිංහළ බසින් පැවති අර්ථකථාව වන හෙළ අර්ථකථාව ශුද්ධමාගධී භාෂාවට පරිවර්තනය කළහ. මතුවට එන ගාථාවක දී ‘තතො ච භාසන්තරමෙව හිත්වා’ යැයි මේ බව උන්වහන්සේ පැවසූහ. එසේම සුමඞ්ගලවිලාසිනී දීඝනිකායාර්ථකථාවේ එන පහත ගාථාවෙන් ද ඒ බුදුගොස් ඇදුරුපාණෝ හෙළ අර්ථකථාව මාගධී භාෂාවට පරිවර්තනය කළ බව මනාව පැහැදිලි වේ.

අපනෙත්‌වාන තතොහං, සීහළභාසං මනොරමං භාසං;

තන්‌තිනයානුච්‌ඡවිකං, ආරොපෙන්‌තො විගතදොසං.

එනම් ‘ඒ අර්ථකථාවෙන් එහි භාෂාව වූ සිංහල භාෂාව ඉවත් කර පෙළ දහමට ගැලපෙන්නා වූ මනරම් වූ ශුද්ධමාගධී (පාළි) භාෂාවට ඒ අර්ථකථාවේ එන නොගැලපෙන නිරුක්ති ආදී වූ දෝෂ හැරපියා නංවනුයේ’ යනුවෙනි. ඒ අනුව මෙම අර්ථකථාව වනාහී ඇතැම් අධර්මවාදීන් පවසන පරිදි බුද්ධඝෝෂ මාහිමියන්ගේ නිර්මාණයක් නොවේමය. උන්වහන්සේ විසින් කරන ලද්දේ එවකට පැවති හෙළ අර්ථකථාව එහි සිංහළ භාෂාව ඉවත් කොට ඒ වෙනුවට පාළි භාෂාව යොදා සකස් කිරීමයි. එහෙත් ඒ පරිවර්තනයේ දී කරන ලද ඇතැම් සංස්කරණයන් පැවති බව පැහැදිලිව සඳහන් වේ.

එසේම හෙළ අටුවා පරිවර්තනය කරන සමයේ ප්‍රධාන අර්ථකථා කිහිපයක් පැවති බව සමන්තපාසාදිකා නිදාන ගාථාවලින්ම හෙළි වේ. තමන් වහන්සේගේ අර්ථකථා සම්පාදනයට ඒ අර්ථකථා සියල්ලෙන් අවශ්‍ය තොරතුරු සම්පාදනය කරගත් බව බුද්ධඝෝෂාචාර්යයන් වහන්සේ සමන්තපාසාදිකා අර්ථකථාවේ සඳහන් කරන්නේ මෙසේය.

සංවණ්‌ණනං තඤ්‌ච සමාරභන්‌තො – තස්‌සා මහාඅට්‌ඨකථං සරීරං;

කත්‌වා මහාපච්‌චරියං තථෙව – කුරුන්‌දිනාමාදිසු විස්‌සුතාසු.

විනිච්‌ඡයො අට්‌ඨකථාසු වුත්‌තො – යො යුත්‌තමත්‌ථං අපරිච්‌චජන්‌තො;

තතොපි අන්‌තොගධථෙරවාදං – සංවණ්‌ණනං සම්‌ම සමාරභිස්‌සං.

එනම් ‘ඒ සංවර්ණනාව ආරම්භ කරන්නා වූ මම මහා අර්ථකථාවෙහි කියන ලද අර්ථවර්ණනාව ශරීරය කොටගෙන එසේම මහාපච්චරිය, කුරුන්දි ආදී වූ ප්‍රසිද්ධ අර්ථකථාවන්හි යම් විනිශ්චයක් කියන ලද්දේ ද ඒවායින් චතුර්විධ විනය විනිශ්චයන් හා ගැලපෙන යුතු අර්ථයන් අත නොහරිමින්, අර්ථකථාවෙන් බැහැර පැවති ස්ථවිරවාදයන් ද ඇතුළත් කරමින් මෙම අර්ථ වර්ණනාව මැනවින් ආරම්භ කරන්නෙමි’ යනුවෙනි. මේ අනුව එකළ මහා අට්ඨකථාව යනුවෙන් ප්‍රධාන හෙළ අර්ථකථාවක් පැවති බව හෙළි වේ. එය විනය පිටකයට පමණක් නොව සමස්ථ ත්‍රිපිටකයටම පොදු අර්ථකථාවක් වූ බව අටුවාවෙන්ම පැහැදිලි වේ. එකී මහා අර්ථකථාව මහාවිහාරිකයන්ගේ ප්‍රධාන අර්ථකථාව වූ බැවින් එහි එන වර්ණනාව මූලික කරගන්නා බුදුගොස් ඇදුරුපාණෝ එවකට පැවති සෙසු අර්ථකථා වන මහාපච්චරිය, කුරුන්දි ආදී අර්ථකථාවන්ගෙන් ද සුදුසු අර්ථ එකතු කරගත් බව පවසති. මෙහි ‘ආදි’ පදයෙන් ආන්ද්‍ර දේශයේ අට්ඨකථාව වූ අන්ධකට්ඨකතාව ද සඞ්ඛේප අට්ඨකථාව නම් අර්ථකථාවක් ද සංග්‍රහ වන බව විනය ටීකා පවසත්. මේ අනුව එවකට අර්ථකථා වශයෙන් ග්‍රන්ථ පහක් (05) පමණ පැවති බව හෙළි වේ.

මෙහි දී බුද්ධඝෝෂ ආචාර්යයන් වෙත පැවරෙන කාර්යභාරය හා එහි පසුබිම මදක් විමසා බැලිය යුතු වේ. මේ වන විට අභයගිරි විහාරය බිහිව එහි වෛතුල්‍යවාදය ආදී භින්නලබ්ධික (ථෙරවාදයට පටහැනි) මතවාද ඉගැන්වෙමින් පැවති අතර කළක් මහාවිහාරය අතහැර ගොස් සිටි ථෙරවාදී භික්ෂූහු යළි රාජ්‍ය අනුග්‍රහ ලැබ මහාවිහාරය පිහිටවූ කාලයයි. මෙම කාලය වනවිට ථෙරවාදී මහාවිහාරිකයන් සහ අභයගිරි ආදී භින්නලබ්ධිකයන් අතර ඇතැම් ධර්ම විනය විනිශ්චයන් පිළිබඳ වෙනස් මතවාද පැවති බව අටුවාවන්හි එන ඇතැම් සිදුවීම් වලින් ප්‍රකට වේ. මෙසේ වෙනස් මතවාදයන් පැවතීමේ දී විශේෂයෙන් පෙළදහම පිළිබඳ පැවති වෙනස්කම් වලට වඩා ඉස්මතු වූයේ අර්ථකථනයන් පිළිබඳ වෙනස්කම් වේ. දෙපාර්ශවයේම එකසමාන ලෙස පෙළෙහි එන කරුණු පිළිබඳ වෙනස් අර්ථකථනයන් විය. ඒ අනුව ධර්මය පරිශීලනය කරන පොදු ජනයා අර්ථ ගැනීම පිළිබඳ ව්‍යාකූලතාවයන්ට පත්වේ. මෙවැනි පරිසරයක් තුළ ධර්මවිනයේ චිර පැවැත්ම අපේක්ෂා කළ මහාවිහාරීය මහතෙරවරුන් පිරිසිදු ථෙරවාදී අර්ථකථනයන් සංග්‍රහ කරමින් පාළි අර්ථකථා සම්පාදනයට යොමු වූහ. එහි ප්‍රතිඵලයක් ලෙස බුද්ධඝෝෂාචාර්යයන් වහන්සේ ලක්දිවට සපැමිණි බව ප්‍රකට වේ.

මෙවැනි පසුබිමක බුද්ධඝෝෂ හිමියන් වෙත පැවරුණු කාර්යභාරය වන්නේ හුදු එවකට පැවති හෙළ අටුවාව පෙළ බසට හැරවීම පමණක්ම නොවේ. ථෙරවාදයට පටහැනිව පැතිරෙමින් පැවති විනිශ්චයන් ප්‍රතිබාහනය කොට නිවැරදි මහාවිහාරීය ථෙරවාදී විනිශ්චය සනාථ කිරීම ද උන්වහන්සේගේ වගකීමක් වූ බව දැකිය හැකි වේ. එසේ පරවාද මථනය කොට සකවාදය (පිරිසිදු ථෙරවාදය) දීපනය කිරීමේ දී එවකට පැවති අටුවා ග්‍රන්ථ පසම (5) ඒ අයුරින්ම පරිවර්තනය කිරීම හෝ ඒ එකිනෙකක් පරවාද මැඩ සකවාද දීපනය වන අයුරින් සකස් කිරීම උචිත නොවේ. ඒ අනුව පවත්නා සන්දර්භය සංශෝධනය කිරීමට වඩා ඒ සියල්ල සමෝධානය කරමින්, පරවාද මඩිමින්, පිරිසිදු ථෙරවාදී මහාවිහාරීය විනිශ්චය උද්දීපනය වන අයුරින් අභිනව අර්ථකථා සම්පාදනයක් කිරීම වඩාත් උචිත බව උන්වහන්සේට අවබෝධ විය. ඒ අනුව විනයපිටකය සඳහා සමන්තපාසාදිකාව, දීඝනිකායට සුමඞ්ගලවිලාසිනිය යනාදී වශයෙන් ත්‍රිපිටකයට අර්ථකථා සම්පාදනය කරන ලදී. මෙහිදී මෙම වෙන වෙනම නම් වලින් ලියන ලද අටුවා ග්‍රන්ථ මහාඅට්ඨකථාව අනුගමනය කළ බවත්, බොහෝ විට ඒ මහාඅට්ථකථාවේ ද ත්‍රිපිටකයේ එකිනෙක කොටස් සඳහා මෙම නම් වලින්ම වෙන වෙනම සංග්‍රහ පැවති බවද අනුමාන කළහැකි වේ. ඒ පිළිබඳ විස්තරාත්මකව ඉදිරියේ දී සඳහන් කරන්නෙමු.

මෙසේ බුද්ධඝෝෂාචාර්යයන් වහන්සේ තමන්වහන්සේ වෙත පැවරුණු වගකීම අනුව අර්ථකථා සම්පාදනය කළ අතර එහිදී පරවාද මථනය පිණිස ද ථෙරවාදී මහාවිහාර විනිශ්චය දීපනය කිරීම පිණිස ද විවිධ ග්‍රන්ථයන්හි එන විනිශ්චයන් ද ඇතැම් තෙරුන් වහන්සේලාගේ මතයන් ද තත්කාලීන කථාප්‍රවෘත්තීන් ද ඇතුළත් කරන ලදී. ඒ සෑම කටයුත්තකම අවසන් අපේක්ෂාව වූයේ ථෙරවාදී විනිශ්චය සනාථ කිරීමයි. එබැවින් එබඳු සංස්කරණයක දී කිසිදු ලෙසකින් පෙළ දහම ඉක්මවීමක් සිදු විය නොහැකිය. එහෙත් පසුකාලීනව නිසි ගුරු ඇසුරකින් තොරව ත්‍රිපිටකය පරිශීලනය කරන ගිහි පැවිදි පිරිස් හට පෙළෙහි හා අටුවාවේ එන අර්ථයන් එකිනෙක ගැලපෙන ආකාරය වටහා ගත නොහැකිව අටුවාව විසින් පෙළ ඉක්මවා ඇති බව පවසනු අසන්නට, දක්නට ලැබේ. එහි දී අටුවාචාරීන් වහන්සේලා හට චෝදනා කරනු වෙනුවට තමන්ට නොවැටහෙන දේ කරුණු දන්නා ගුරුන් වෙත එළඹ අසා දැනගෙන පිරිසිදු කරගැනීමට ඔවුහු නිහතමානී වන්නේ නම් ඔවුනට මෙම සසුනේ අභිවෘද්ධියක්ම වන්නේය. තමන් ඇසුරු කරන, තම ධර්මය ශ්‍රවණය කරන සෙස්සන්ට ද නිවැරදි ධර්ම සංග්‍රහයක් කළහැකි වන්නේය. නැතහොත් එසේ අනවබෝධයෙන් ධර්මය අර්ථදක්වන්නන් විසින් කරන අර්ථ ආලෝලනයන් (පටලවා ගැනීම්) නුවණැතියන්ගේ දෝෂදර්ශනයට ලක්වේමය.

බුද්ධඝෝෂ ආචාර්යයන් විසින් සංග්‍රහ කරන ලද අර්ථකථාවන්හි දොස් පරික්ෂා කරන අය මෙහි දී උන්වහන්සේ කර ඇති බැරෑරුම් කටයුත්ත පිළිබඳව මඳක් සිතා බැලුවමනා ය. වර්තමානයේ මෙන් දියුණු තාක්ෂණයන් නොමැති, කඩදාසි පොත්පත් පෑන්පැන්සල් ආදිය නොමැති පුස්කොලපොත් වල ලියන කාලයේ අවම වශයෙන් තවත් අටුවා පොත් පහක් (05) වත් ඉදිරියේ තබාගෙන, ත්‍රිපිටක පෙළ පොත්ද ඇතැම් විට තබාගෙන ඒ සෑම පොතක්ම කියවමින් ඒවායේ සුදුසු අර්ථ තෝරාබේරාගෙන මහාවිහාරීය භික්ෂූන් වෙත පැවති ධර්ම විනය විනිශ්චය දැක්වෙන අන්දමට අර්ථකථා සම්පාදනය අතිශය බැරෑරුම් කටයුත්තක් වේ. වර්තමානයේ පවා පුස්කොල පොතක් පරිශීලනය කර ඇති අයට මෙහි ඇති බැරෑරුම් බව තවදුරටත් වැටහෙනු ඇත. වර්තමානයේ  පවා ත්‍රිපිටක සංස්කරණ කිහිපයක් දක්නට ලැබෙන්නාක් මෙන් එකළ එකිනෙක විහාරයන්හි හෙළ අටුවා පොත් අතර ද යම් යම් වෙනස්කම් දක්නට තිබේ දැයි බැලීමට ඒ සියල්ල කියවා බැලූ බවද නිසැකය. එසේ එක් අර්ථකථාවක් පමණක් නොතිබූ එකළ පැවති සියලු මූලාශ්‍ර පරිශීලනය කරමින් බුදුරජාණන් වහන්සේගේ ප්‍රකීර්ණක ධර්මදේශනය සංඛ්‍යාත ධර්මවිනය විනිශ්චය යළි ඉස්මතු කරමින් පසුකාලීන පරිශීලකයන්ගේ පහසුව පිණිස එක් සංග්‍රහ ග්‍රන්ථයක් කිරීම ශාසනික වශයෙන් බුද්ධිමතුන් විසින් කළයුතු වැදගත් සේවාවක් වේ.

එසේ එක් ග්‍රන්ථයක් වෙනුවට ග්‍රන්ථ කිහිපයක් පරිශීලනය කිරීමට සිදු වූයේ නම් පසුකාලීනව ධර්මවිනය පිරිහී ගිය කාලයන් හි නිවැරදි විනිශ්චය තෝරා බේරා ගැනීමට භික්ෂූහු අසමත් වන බව නොඅනුමානය. සියලු විනිශ්චයන් සමෝධානය කොට එක් විනිශ්චයක් ලෙස දක්වා ඒවායේ මූලාශ්‍ර ග්‍රන්ථයන්හි එක එකක් පැමිණි ආකාරය සඳහන් කරන බුදුගොස් ඇදුරුපාණෝ ඒ මූලාශ්‍ර පිළිබඳ මතුවට විමසන්නවුන්ට ද අවකාශ ඉතිරි කළහ. එසේ නාමමාත්‍ර වශයෙන් එකී හෙළ අටුවා මූලාශ්‍ර පිළිබඳ අර්ථකථාවන්හි සඳහන් වීම නිසා ම ඇතමෙක් අටුවාචාරීන් වහන්සේලාට විවිධ චෝදනා ඉදිරිපත් කරති. එසේ ඉදිරිපත් කෙරෙන චෝදනා සහ ඒවාට නිසි පිළිතුරු ඉදිරියේ දී සැපයීමට අපේක්ෂා කරමු. ඒ අනුව බුද්ධඝෝෂ ආචාර්යයන් වහන්සේ සිය අර්ථකථා කරණයේ දී පැරණි අර්ථකථාව පෙළ දහම ඉක්මවා යන සේ වෙනස් නොකළ බව පැවසිය යුතු වේ. උන්වහන්සේගේ සංස්කරණයන් පිළිබඳව සහ ඒවායේ යුක්තිසහගත බව පිළිබඳ තවදුරටත් කරුණු දැක්වීම් මීළඟ ලිපියෙන් ඉදිරිපත් කෙරේ.

සම්පාදක

ත්‍රිපිටකාචාර්ය, විද්‍යාවේදී

මහව ඤාණාලෝක ස්වාමීන් වහන්සේ

අටුවා විමර්ශනය ‌‌‌තුන්වන ලිපිය කියවන්න – අටුවා විමර්ශනය 03 – – නිවැරදි අටුවාව කුමක් ද? – මහානිද්දේසය, චූළනිද්දේසය,පටිසම්භිදාප්‍රකරණය අටුවාවක් වූ ආකාරය