එක් සමයෙක් හි භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ රජගහ නුවර ලෙහෙනුන්ට අභය දුන් හෙයින් ‘කලන්දක නිවාප’ නම් වූ ද හුණ ගසින් හෙබි හෙයින් ‘වේළුවන’ නම් වූ ද මගධේෂ්වර සේනා ඇති බිම්සර රජු විසින් කරවන ලද විහාරයෙහි වැඩ වාසය කරන සේක.

එකල බිම්සර රජුට උපස්ථාන කරන්නා වූ විසාඛ නම් එක් සිටුවරයෙක් ද රජගහ නුවර විසීය.  භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ අභිසම්බෝධියට පත්ව තුන් බෑ ජටිලයන් දමනය කොට දහසක් බික් සඟන පිරිවරා ප්‍රථම වරට රජගහ නුවරට වැඩම කොට දොළොස් දහසක් පිරිවර සමග පැමිණි බිම්සර රජුට අමාදම් වැසි වස්වා වදාළ සේක. එහිදී පැමිණි පිරිසෙයින් එකොළොස් දහසක් උතුම් සෝවාන් ඵලයෙහි පිහිටියහ.  දහසක් උපාසක බැව් ප්‍රකාශ කළහ.  ඒ සෝවාන් මගින් ආර්ය භාවයට පැමිණි පිරිස අතර මේ විසාඛ සිටුතුමා ද වීය.  පසු කලෙක භාග්‍යවතුන් වහන්සේගෙන් බණ අසා සකෘදාගාමී ඵලයෙහි පිහිටියේය.මේ විසාඛ සිටුගේ ප්‍රිය බිරිඳ වූයේ ධම්මදින්නාවය.  පුරන ලද පාරමී දම් ඇති ඇය පතිවත් ඇති කුළ දියණියකි.  බෙහෙවින් නැණැති වූවාය.  ස්වාමියා කෙරෙහිදු භක්ත්‍යාදර සහිත වූවාය.

දිනක් විසාඛ සිටු තෙමේ වේළුවනයට එළඹ බණ අසනුයේ කාමරාග පටිඝ නසමින් උතුම් අනාගාමී ඵලයෙහි පිහිටියේය.  අනතුරුව භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ නිවෙසට ගියේය.  හෙතෙමේ පෙරදිනයන්හි නිවෙසට පැමිණෙනුයේ හාත්පස ඔබමොබ බලමින් මුව දල්වා සිනාසෙමින් පැමිණෙයි.  එදින පහකරන ලද කම්සුවරුචි ඇතියේ දැමුණු ඉඳුරන් ඇතිව සන්හුන් මනසින් පැමිණියේය.  ධම්මදින්නාව ද හිමි එන පෙරමග බලමින් සිටින්නේ ඔහුගේ මේ වෙනස දිටීය.  කිමෙක්දෝ හෝයි සිතන්නීම පෙරගමන් කොට සෝපාන හිස සිට අල්වා ගැනීමට හිමිවෙත අත දිගු කළාය.  සිටුතෙමේ තම අත හකුලා ගත්තේය.  ඇය ද උදය බතෙහි දැන ගනිමියි සිතා නිහඬ වූවාය.  සිටු තෙමේ පෙර දිනයන්හි ඇය සමගම ආහාර ගනියි.  එදින ඇයට නොදන්වාම එකලාවම ආහාර ගත්තේය.  ධම්මදින්නාව ද සයන කාලයෙහි විමසමියි සිතුවාය.   හෙතෙමේ එදින සිරියහන් ගැබට නොපිවිසියේ වෙනත් ගැබක් පිරිසිදු කරවා සුදුසු හැඳක් පනවා සයනය කළේය.  ධම්මදින්නාව ද බෙහෙවින් කනස්සළු වූයේ සිතුවිලි සහිත වූවාය.  කිම් ද මාහිමි අන් තැනැත්තියක් කෙරෙහි සිත් අලවයි ද නැතහොත් කිසිවෙකු විසින් මා කෙරෙහි බිඳුවන ලද්දේද? නැතහොත් මාගේම දෝෂයක් වී දැයි දොම්නස් වූවාය.  සිටු එකලා වු මොහොතක් බැලූ ඕ තොමෝ ඔහු වෙත එළඹ පසඟ පිහිටවා වැඳ සිටියේය.  සිටු තෙමේ ‘ධම්මදින්නාවෙනි, කිමදැ යි’ විචාළේය.  ඕ තොමෝ සිය සතන්හි වූ කුකුස් ඔහුගෙන් විචාළාය. හෙතෙමේ සිතනුයේ ‘ම විසින් අධිගම කළ ලොව්තුරු දහම් පැවසීම නොමනාය.  ඉදින් නොපවසනුයේ මෝ තොමෝ මෙහිම ළය පැලී මියෙන්නීය.  එහෙයින් පවසමියි සිතා ‘ධම්මදින්නාවෙනි, මම භගවතුන් හමුවෙහි උසස් ලොව්තුරු දහමක් පසක් කළෙමි.  එසේ වූ මට මෙබඳු ගිහිකම් නොරිසිය.  ඉදින් ඔබ රිසි නම් අප දෙදෙනා සන්තක වූ අසූ කෝටියක් ධනය ගෙන මට මව් හෝ සොයුරිය වී හෝ සිටිනු මැනවි.  නුඹ දෙන බතකින් මම ද යැපෙන්නෙමි.  ඉදින් එසේත් නොවී නම් මේ ධනය හැර ගෙන මව්පිය වෙත හෝ එළඹෙනු මැනවි.  නො එසේ නම් බැහැර ඇළුම් ඇති පුරුෂයකු වේ නම් ඔහු වෙත හෝ එළඹෙනු මැනවි’යි කීවේය.

ඇය ද සිතනුයේ මා හිමිගේ ප්‍රකාශය නම් ලාමක වූවක් නොවේ.  එකැතින්ම මොහු එබඳු ලොව්තුරු දහමක් ලැබූයේ මය.  කිමෙක්ද ඒ දහම් මාගමකට ලැබීමට නොපුළුවනදැ’යි සිටුගෙන් විචාළාය.  සිටු තෙමේ ද ‘ධම්මදින්නාවෙනි, කියනුම කිම මේ ප්‍රතිපදාවට යමෙක් මැනවින් පිළිපන්නේ ද හෙතෙමේ උපනිශ්‍රය සහිත වූවෙක් නම් ඵල ලබන්නේය’ යැයි කීවේය.  ඇය ද ‘හිමියෙනි එසේ වී නම් මා හට පැවිදි වීමට අනුදනිනු මැනවැයි’ කීවාය.  සිටු තෙමේ එකෙනෙහිම ප්‍රිය මිත්‍ර බිම්සර රජු වෙත එළඹ පුවත සැල කළේය.  රජ තෙමේ ද සැදැහැ සිතින්ම අනුමෝදන්ව ඇය කුමක් ලැබීමට සුදුසු දැයි විචාළේය.  සිටු තෙමේ ‘රජතුමනි, එසේ වී නම් මග දෙපස අලංකාර කරවා රන්සිවි ගෙයින් මෙහෙණ අරමට යැවීම මැනවයි’ කීවේය.  රජ තෙමේ කටයුතු සම්පාදනය කළේය.

සිටු තෙමේ ධම්මදින්නාව සුවඳ දියෙන් නහවා සියළු අලංකාරයන්ගෙන් අලංකාර කරවා රන්සිවිගෙහි හිඳුවවා ඥාතිසමූහයා පරිවාරය කරවා මල් සුවඳ වලින් පූජාකරනුයේ මෙහෙණවරට පමුණුවා ‘ආර්යාවෙනි මැයව පැවිදි කරවනු මැනවැ’යි කීවේය.  භික්‍ෂුණීහු ද ‘ගෘහපතිය වරදක් හෝ දෙකක් ඉවසීම වටී’ යැයි කීවාහුය. සිටු තෙමේ ‘ආර්යාවෙනි, මැයගේ කිසිත් දොසෙක් නැත.   ශ්‍රද්ධාවෙන්ම පැවිදිවන්නී’ යැයි කීවේය.  ඉක්බිති භික්‍ෂුණීහු ඇයව මහණ කළේය.  සිටු තෙමේ ආර්යාවෙනි පැවිද්දෙහි සිත අලවනු මැනවැ’යි කියා වැඳ පිටව ගියේය.

පැවිදි වූ දිනයෙහි පටන් ඇයට මහත් ලාභ සත්කාර ඉපදුණහ.  ඒ පලිබෝධයෙන් ඇයට ශ්‍රමණ ධර්මය කිරීමට නොහැකි විය.  ඉක්බිති ඕ තොමෝ ආචාර්ය උපාධ්‍ය තෙරණියන් සමග වෙනත් ජනපදයකට ගොස් ශ්‍රමණ ධර්මය කළාය.  කප්සිය දහසකට පෙරාතුව පදුමුත්තර මහාර්ෂී සමීපයෙහි ලද විවරණ ඇති ඕ තොමෝ නොබෝ කලකින්ම සිව්පිළිසිඹියා පත්ව රහත් භාවයට පැමිණියාය. ඉක්බිති තෙරණින් වහන්සේ සිතනුයේ ‘යම්කිසි අර්ථයක් පිණිස මම මේ ජනපදයට පැමිණියේ ද දැන් එය නිමියේය.  නෑයන්ට සංග්‍රහ කිරීම ද වටී ය.  තෙරණින්වහන්සේලාට ද ප්‍රත්‍යයෙන් වෙහෙසක් නොවන්නේය.’ එය සිතා පෙරළා රජගහ නුවරටම වැඩියාය.

විසාඛ සිටුතෙමේ ද තෙරණිය කල් නොගොස්ම වැඩිපුවත අසා ‘ආර්යතොමෝ පැවිදිව නොබෝ කලකින්ම පිට ජනපදයකට වැඩියාය.  එසේ ගොස් ද නැවතත් නොබෝ කලකින්ම පෙරලා වැඩියාය.  කුමක් නම් වන්නේදැ’යි සිතා මෙහෙණවරට ගොස් තෙරණියව වන්දනා කොට ‘ආර්යාවෙනි පැවිද්දෙහි සිත අලවන්නේද නොඅලවන්නේදැ‘යි විමසීම පණ්ඩිතයෙකු ගේ ක්‍රියාවක් නොවේ.  එබැවින් පැන විචාලීමෙන්ම අභිරතිය හෝ අනභිරතිය දැනගනිමියි’ සිතා ‘ආර්යාවෙනි, සත්කාය සත්කාය යැයි කියනු ලැබේ.  ආර්යාවෙනි, කවර දහමුන් භාග්‍යවතුන් වහන්සේ විසින් සත්කාය යැයි වදාරණ ලද්දේ ද’ යනාදීව සූත්‍රයෙහි ආ ක්‍රමයෙන් පැන විචාළේය.

‘ධම්මදින්නා තෙරණින්වහන්සේ ද පැමිණි සිවුපිළිසිඹියා ඇත්තී පාමොක් ඇදුරෙකුගෙන් පැන විචාලා කුඩා දරුවෙකුට මෙන් ද, තමාගේ අත්ලෙහි ඇත්තා වූ දෙයක් දක්වන්නාක් මෙන් ද ‘විසාඛයෙනි, මම පැවිදිව නොබෝ කල්ය. සත්කායක් හෝ පරකායක් හෝ කෙලෙසින් දනිම් ද අන්‍ය මෙහෙණන් වෙත එළඹ අසව’ යනාදියක් නොකියා අසන අසන පැන විසඳාලීය.අපිද තැබූ මාතෘකාවට අදාල කොට සූත්‍රපාඨ ගෙන මෙතැන් සිට කරුණු පැහැදිලි කරමු.

මෙහිදී විසාඛ සිටුතුමා විසින් ‘ආර්යාවෙනි, සත්කාය සත්කාය යැයි කියනු ලැබේ.  ආර්යාවෙනි, කවර ධර්මයෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් සත්කාය යැයි වදාරණ ලද්දේද?’ යැයි ඇසුවේය.

එයට ධම්මදින්නා තෙරණින් වහන්සේ ‘ඇවැත් විසාඛයෙනි මේ පංචුපාදානස්කන්ධ සත්කාය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේය.  කවරේද යත්, රූපුපාදානස්කන්ධය ය,  වේදනූපාදානස්කන්ධය ය, සංඥාපාදානස්කන්ධය ය, සංඛාරූපාදානස්කන්ධය ය, විඤ්ඤානූපාදානස්කන්ධය ය.  ඇවැත් විසාඛය, මේ පංචුපාදානස්කන්ධ සත්කාය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේය’ යනුවෙන් පිළිතුරු දුන් සේක.

‘ආර්යාවෙනි මැනවියි’ විසාඛ සිටුතෙමේ තෙරණියගේ පිළිතුර අනුමෝදන්ව තවදුරටත් පැන විමසනුයේ ‘ආර්යාවෙනි සත්කාය සමුදය සත්කාය සමුදය යැයි කියනු ලැබේ.  ආර්යාවෙනි කවර දහමෙක් සත්කාය සමුදය යැයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේදැයි විමසීය.එයට තෙරණින්වහන්සේ ඇවැත් විසාඛයෙනි, සසර නැවත නැවත උපද්දවන්නා වූ සතුටුවීම් සංඛ්‍යාත රාගය වූ සසර ඒ ඒ උප්පත්තිභවයෙහි සතුටුවීම් වශයෙන් ඇලෙන්නා වූ යම් යම් තෘෂ්ණාවක් වේද එයයි.  කවරක් ද යත් කාම තණ්හාවය, භවතණ්හාවය, විභවතණ්හාවය.  ඇවැත් විසාඛය මේ තෘෂ්ණාව සත්කාය සමුදය යැයි භාග්‍යවතුන්වහන්සේ විසින් වදාරණ ලද්දේය’ යැයි පිළිතුරු දුන් සේක. සිටුතෙමේ ‘ආර්යාවෙනි, සත්කාය නිරෝධය සත්කාය නිරෝධය යැයි කියනු ලැබේ. ආර්යාවෙනි, කවර දහමෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් සත්කාය නිරෝධය යැයි වදාරණ ලද්දේද යැයි ඇසීය.

‘ඇවැත් විසාඛයෙනි, ඒ තෘෂ්ණාවගේම යම් නිරවශේෂ නිරෝධයක් වේද, පරිත්‍යාගයක් වේද, අත්හැරදැමීමක් වේද, මිදීමක් වේද, ආලය රහිත බවක් වේද එයයි.  ඇවැත් විසාඛයෙනි මේ සත්කාය නිරෝධය භාග්‍යවතුන්වහන්සේ විසින් වදාරණ ලද්දේය’ යැයි තෙරණිය පිළිතුරු දුන් සේක.

සිටුතෙමේ නැවතත් ‘ආර්යාවෙනි, සත්කාය නිරෝධගාමිණී පටිපදාව සත්කාය නිරෝධගාමිණී පටිපදාව යැයි කියනු ලැබේ.  ආර්යාවෙනි කවර සත්කාය නිරෝධගාමිණී ප්‍රතිපදාවක් භාග්‍යවතුන්වහන්සේ විසින් වදාරණ ලද්දේද’ යැයි විචාළේය.

තෙරණින්වහන්සේ ‘ඇවැත් විසාඛයෙනි, මේ අරිඅටඟි මගම සත්කාය නිරෝධගාමිණී ප්‍රතිපදාව යැයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේය.  කවරක්ද යත්, සම්මා දිට්ඨියය, සම්මා සංකප්පය ය, සම්මා වාචාවය, සම්මා කම්මන්තය ය, සම්මා ආජීවය ය, සම්මා වායාමය ය, සම්මා සතිය ය, සම්මා සමාධිය ය’ යැයි පිළිතුරු දුන් සේක. චූළ වේදල්ල සූත්‍රයෙහි පැමිණි මුල් කොටසෙහි සරල අර්ථය මෙසේ දැක්වූයෙමු.  සංෂිප්ත වශයෙන් විසාඛ සිටුතුමා විසින් විචාරණ ලදුව ධම්මදින්නා රහත් තෙරණින්වහන්සේ විසින් මෙසේ චතුරාර්ය සත්‍ය ධර්මය වදාරණ ලද්දේය.  මක්නිසාද යත් ඇසූ සතර ගැටළුවට පිළිතුරු වශයෙන් පිළිවෙලින් චතුරාර්ය සත්‍යයන්ම වදාළ බැවිනි.

අප විසින් තැබූ මාතෘකාව වනුයේ ‘නිරෝධයෙහි නොමුලා වෙමු’ යන්නය.  මෙහිදී තෙරණින් වහන්සේ විසින් සත්කාය නිරෝධය යනු කුමක්දැයි ඇසූ පැනයට වදාළ පිළිතුර වූ ‘ඒ තෘෂ්ණාවගේම නිරවශේෂ නිරෝධය සත්කාය නිරෝධයය’ යන්නෙන් ‘නිරෝධය’ යන්නට එක් අර්ථවිකල්පයක් මතුවේ.  එනම් තෘෂ්ණාවගේ නැවත නූපදන පරිදි වන නිරෝධය හෙවත් ‘තෘෂ්ණාවේ අනුප්පාද නිරෝධය’යි. නමුදු ශාස්තෘ ශාසනයෙහි නිරෝධය යන්නට නිශ්පරියාය වශයෙන් අර්ථ විකල්ප දෙකක් දැක්වේ.  ධර්මසේනාධිපති අග්‍රශ්‍රාවක සාරිපුත්ත මහරහතන්වහන්සේ විසින් එය පටිසම්භිදාමග්ගප්පකරණයෙහි මෙසේ වදාරයි.

‘වයං පස්‌සන්‌තො කතමානි පඤ්‌ච ලක්‌ඛණානි පස්‌සති? අවිජ්‌ජානිරොධා විඤ්‌ඤාණනිරොධොති – පච්‌චයනිරොධට්‌ඨෙන විඤ්‌ඤාණක්‌ඛන්‌ධස්‌ස වයං පස්‌සති. තණ්‌හානිරොධා විඤ්‌ඤාණනිරොධොති – පච්‌චයනිරොධට්‌ඨෙන විඤ්‌ඤාණක්‌ඛන්‌ධස්‌ස වයං පස්‌සති. කම්‌මනිරොධා විඤ්‌ඤාණනිරොධොති – පච්‌චයනිරොධට්‌ඨෙන විඤ්‌ඤාණක්‌ඛන්‌ධස්‌ස වයං පස්‌සති. නාමරූපනිරොධා විඤ්‌ඤාණනිරොධොති – පච්‌චයනිරොධට්‌ඨෙන විඤ්‌ඤාණක්‌ඛන්‌ධස්‌ස වයං පස්‌සති. විපරිණාමලක්‌ඛණං පස්‌සන්‌තොපි විඤ්‌ඤාණක්‌ඛන්‌ධස්‌ස වයං පස්‌සති. විඤ්‌ඤාණක්‌ඛන්‌ධස්‌ස වයං පස්‌සන්‌තො ඉමානි පඤ්‌ච ලක්‌ඛණානි පස්‌සති’.

(පටිසම්භිදාමග්ගපකරණය – උදයබ්බය ඤාණ නිර්දේශය- බුජමු 108)

‘විඥානස්කන්ධයාගේ වැය සංඛ්‍යාත නිරෝධය දකිනුයේ කවර පස් ලක්‍ෂණයන් දකියි ද, අවිද්‍යාව නිරවශේෂව නිරෝධ වීමෙන් විඤ්ඤාණය නිරවශේෂව නිරෝධවේ යැයි විඤ්ඤාණයේ ප්‍රත්‍ය නිරෝධභාවය සලකමින් විඤ්ඤාණස්කන්ධයේ වැය සංඛ්‍යාත නිරෝධය දකියි.’

තණ්හාව නිරවශේෂව නිරෝධ වීමෙන් විඤ්ඤාණය නිරවශේෂව නිරෝධවේ යැයි විඤ්ඤාණයේ ප්‍රත්‍ය නිරෝධභාවය සලකමින් විඤ්ඤාණස්කන්ධයේ වැය සංඛ්‍යාත නිරෝධය දකියි.

කර්ම නිරවශේෂව නිරෝධ වීමෙන් විඤ්ඤාණය නිරවශේෂව නිරෝධ වේ යැයි විඤ්ඤාණයේ ප්‍රත්‍ය නිරෝධභාවය සලකමින් විඤ්ඤාණස්කන්ධයේ වැය සංඛ්‍යාත නිරෝධය දකියි.

නාමරූප නිරවශේෂව නිරෝධ වීමෙන් විඤ්ඤාණය නිරවශේෂව නිරෝධ වේ යැයි විඤ්ඤාණයේ ප්‍රත්‍යනිරෝධභාවය සලකමින් විඤ්ඤාණස්කන්ධයේ වැය සංඛ්‍යාත නිරෝධය දකියි.

ක්‍ෂණික නිරුද්ධවීම් සංඛ්‍යාත, විපරිණාම ලක්‍ෂණය දකිනුයේ ද විඤ්ඤාණස්කන්ධයේ වැය සංඛ්‍යාත නිරෝධය දකියි.  විඤ්ඤාණස්කන්ධයේ වැය සංඛ්‍යාත නිරෝධය දකිනුයේ මේ පස් ලක්‍ෂණයන් දකියි’.

මෙහිදී ධර්මසේනාධිපතීන් වහන්සේ අවිද්‍යා තෘෂ්ණා කර්ම නාමරූප යන විඥානස්කන්ධයේ හටගැනීමට හේතුවන දහමුන්ගේ නිරවශේෂ නිරෝධයෙන් විඥානස්කන්ධයේ නිරවශේෂ නිරෝධය සිදුවන බව දක්වමින් විඥානස්කන්ධයේ නැවත නූපදනා පරිදි නිරුද්ධවීම හෙවත් ‘විඥානස්කන්ධයේ අනුප්පාද නිරෝධය’ වදාළ සේක.  මේ අනුප්පාද නිරෝධයටම අවිද්‍යාව ක්‍ෂය කිරීමය, තණ්හාව ක්‍ෂය කිරීමය, කර්මය ක්‍ෂය කිරීමය, නාමරූප ක්‍ෂය කිරීමය, සබ්බසංඛාර සමථය ය, සියළු උපධීන්ගේ අත්හැරීමයය, තණ්හාක්‍ෂය ය, විරාගය ය, නිරෝධය ය, නිර්වාණය යැයි කියනු ලැබේ.  කෙටියෙන් කිවහොත් ස්කන්ධයන්ගේ අනුප්පාද නිරෝධය යැයි කියනුයේ නිර්වාණයටය.

නිරෝධ පදය සඳහා අනෙක් අර්ථ විකල්පය දක්වන ධර්ම සේනාධිපතීන් වහන්සේ ක්‍ෂණික නිරුද්ධවීම් සංඛ්‍යාත විපරිණාම ලක්‍ෂණය දකිනුයේ විඤ්ඤාණස්කන්ධයේ වැය සංඛ්‍යාත නිරෝධය දකියි’ යන්නෙන් සන්තති හෙවත් පරම්පරා වශයෙන් පවතින විඥානස්කන්ධයේ ක්‍ෂණයක් ක්‍ෂණයක් පාසා යලිදු නූපදිනා පරිදි සිදුවන ‘විඥානස්කන්ධයේ ක්‍ෂණික නිරෝධය’ වදාළ සේක.  මේ අනුව සියළු ස්කන්ධයන්ගේ ‘ක්‍ෂණික නිරෝධයක් හා අනුත්පාද නිරෝධයක්’ ඇති බව මැනවින් ප්‍රකටය.

මේ දෙ ආකාර නිරෝධය ශාස්තෘ ශාසනයේ ‘නිරෝධය’ යන පදයට ලබා දී ඇති අර්ථ විකල්ප දෙකය.

මේ සූත්‍රපාඨයට අර්ථ සපයන අර්ථකථාචාරී මහානාම ස්වාමීන්වහන්සේ පටිසම්භිදාමග්ග අර්ථ කථාවෙහි මෙසේ දක්වයි.

‘විපස්‌සමානො පන විපස්‌සකො පඨමං පච්‌චයතො උදයබ්‌බයං මනසිකරිත්‌වා විපස්‌සනාකාලෙ අවිජ්‌ජාදිකෙ චතුරො ධම්‌මෙ විස්‌සජ්‌ජෙත්‌වා උදයබ්‌බයවන්‌තෙයෙව ඛන්‌ධෙ ගහෙත්‌වා තෙසං උදයබ්‌බයං පස්‌සති, එවඤ්‌ච තස්‌ස විපස්‌සකස්‌ස ‘‘එවං රූපාදීනං උදයො, එවං වයො, එවං රූපාදයො උදෙන්‌ති, එවං වෙන්‌තී’’ති පච්‌චයතො ච ලක්ඛණතො ච විත්‌ථාරෙන උදයබ්‌බයං පස්‌සතො ‘‘ඉති කිර ඉමෙ ධම්‌මා අහුත්‌වා සම්‌භොන්‌ති, හුත්‌වා පටිවෙන්‌තී’’ති ඤාණං විසදතරං හොති, සච්‌චපටිච්‌චසමුප්‌පාදලක්‌ඛණභෙදා පාකටා හොන්‌ති. යඤ්‌හි සො අවිජ්‌ජාදිසමුදයා ඛන්‌ධානං සමුදයං අවිජ්‌ජාදිනිරොධා ච ඛන්‌ධානං නිරොධං පස්‌සති, ඉදමස්‌ස පච්‌චයතො උදයබ්‌බයදස්‌සනං. යං පන නිබ්‌බත්‌තිලක්‌ඛණවිපරිණාමලක්‌ඛණානි විපස්‌සන්‌තො ඛන්‌ධානං උදයබ්‌බයං පස්‌සති, ඉදමස්‌ස ඛණතො උදයබ්‌බයදස්‌සනං. උප්‌පත්‌තික්‌ඛණෙයෙව හි නිබ්‌බත්‌තිලක්‌ඛණං, භඞ්‌ගක්‌ඛණෙ ච විපරිණාමලක්‌ඛණං.

ඉච්‌චස්‌සෙවං පච්‌චයතො චෙව ඛණතො ච ද්‌වෙධා උදයබ්‌බයං පස්‌සතො පච්‌චයතො උදයදස්‌සනෙන සමුදයසච්‌චං පාකටං හොති ජනකාවබොධතො. ඛණතො උදයදස්‌සනෙන දුක්‌ඛසච්‌චං පාකටං හොති ජාතිදුක්‌ඛාවබොධතො. පච්‌චයතො වයදස්‌සනෙන නිරොධසච්‌චං පාකටං හොති පච්‌චයානුප්‌පාදෙන පච්‌චයවතං අනුප්‌පාදාවබොධතො. ඛණතො වයදස්‌සනෙන දුක්‌ඛසච්‌චමෙව පාකටං හොති මරණදුක්‌ඛාවබොධතො. යඤ්‌චස්‌ස උදයබ්‌බයදස්‌සනං, මග්‌ගොවායං ලොකිකොති මග්‌ගසච්‌චං පාකටං හොති තත්‍ර සම්‌මොහවිඝාතතො.’

(පටිසම්භිදාමග්ගට්ඨකථා- උදයබ්බය ඤාණ නිද්දේස – හේ.මු.179,180)

‘විපස්සක තෙමේ විපස්සනා කරනුයේ පළමුව ප්‍රත්‍යවශයෙන් උදයවැය මනසිකාර කොට විපස්සනා කාලයෙහි අවිද්‍යාව ආදී චතුර්විධ ප්‍රත්‍ය ධර්ම මෙනෙහි කිරීම හැරපියා උදයවැය දෙකින් යුත් ස්කන්ධයන්ම ගෙන ඒ ස්කන්ධයන්ගේ උදයවැය දකියි.  මෙසේද ඒ විපස්සකයා හට මෙසේ රූපාදී ස්කන්ධයන්ගේ හටගැනීමය, මෙසේ බිඳීමය, මෙසේ රූපාදීස්කන්ධයෝ උපදිත්, මෙසේ බිඳෙත් යනුවෙන් චතුර්විධ ප්‍රත්‍යයන්ගේ වශයෙන් ද උදයවැය ලක්‍ෂණ වශයෙන්ද විස්තර වශයෙන්  දැකීමෙන් මෙසේ මේ ස්කන්ධ ධර්මයෝ පෙර නොවීම උපදිත්.  ඇති වී නැති වී යත් යැයි විපස්සනා ඥානය වඩා විසද වෙයි. චතුර්විධ ආර්ය සත්‍ය හේතුඵල සංඛ්‍යාත පටිච්චසමුප්පාද යන ලක්‍ෂණ භේදය ප්‍රකට වෙත්.  ඒ විපස්සක තෙමේ අවිද්‍යාදී ප්‍රත්‍යයන්ගේ හේතුවෙන් ස්කන්ධයන්ගේ ඉපදීමද අවිද්‍යාදී ප්‍රත්‍යයන්ගේ නිරෝධයෙන් ස්කන්ධයන්ගේ නිරෝධය ද දකියි.  මෙය ඒ විපස්සකයාගේ අවිද්‍යාදී ප්‍රත්‍යන්ගේ වශයෙන් උදය වැය දර්ශණය යි. ඒ විපස්සක තෙමේ ස්කන්ධයන්ගේ හටගැනීම් ලක්‍ෂණය බිඳීම් ලක්‍ෂණයන් විපස්සනා කරනුයේ ස්කන්ධයන්ගේ උදයවැය දකියි ද මෙය ඒ විපස්සකයාගේ ක්‍ෂණ වශයෙන් උදයවැය දර්ශණය යි.  උත්පත්තික්‍ෂණයෙහිම හටගැනීම් ලක්‍ෂණය ද භංගක්‍ෂණයෙහි බිඳීම් ලක්‍ෂණය ද යැයි මෙසේ ඒ විපස්සකයාට ප්‍රත්‍යවශයෙන් මෙන්ම ක්‍ෂණ වශයෙන් ද දෙ ආකාරයකින් උදයවැය දැකීමෙන් ප්‍රත්‍යයන්ගේ හටගැනීම දැකීමෙන් උප්පත්ති හේතුව අවබෝධ වීමෙන් සමුදය සත්‍ය ප්‍රකට වෙයි.  ක්‍ෂණ වශයෙන් ස්කන්ධයන්ගේ  හටගැනීම දැකීමෙන් ජාතිදුක්ඛය අවබෝධවීමෙන් දුක්ඛ සත්‍ය ප්‍රකට වෙයි.  ස්කන්ධයන්ගේ හටගැනීමට හේතුවන අවිද්‍යාදී ප්‍රත්‍යන්ගේ වශයෙන් බිඳීම දැකීමෙන් අවිද්‍යාදී ප්‍රත්‍යයන්ගේ  අනුත්පාදයෙන් ප්‍රත්‍යයන්ගෙන් උපදින ස්කන්ධයන්ගේ අනුත්පාද ය අවබෝධවීමෙන් නිරෝධ සත්‍ය ප්‍රකට වෙයි.  ක්‍ෂණ වශයෙන් ස්කන්ධයන්ගේ බිඳීයාම දැකීමෙන් මරණදුක්ඛය අවබෝධවීමෙන් දුක්ඛ සත්‍යයම ප්‍රකට වෙයි.  ඒ විපස්සකයා හට උදයවැය දර්ශණය යන යමක් වේද මේ දුක නිරෝධ කරන ලෞකික මාර්ගයම යැයි ඒ මාර්ගය පිළිබඳ මුලාව දුරුවීම් වශයෙන් මාර්ග සත්‍ය ප්‍රකට වෙයි’.

ඉහත අර්ථකථා පාඨයේ “අවිද්‍යාදී ප්‍රත්‍යයන්ගේ  අනුත්පාදයෙන් ප්‍රත්‍යයන්ගෙන් උපදින ස්කන්ධයන්ගේ අනුත්පාද ය අවබෝධවීමෙන් ” යනුවෙන් දක්වනුයේ ඉහත අප විසින් සඳහන් කරන ලද ස්කන්ධයන්ගේ අනුත්පාද  නිරෝධයය’. ‘ක්‍ෂණ වශයෙන් උදයවැය දර්ශණය’ යනුවෙන් දක්වනුයේ ‘ස්කන්ධයන්ගේ ක්‍ෂණික නිරෝධය ය’. මේ අනුව අප ශාස්තෘ ශාසනයෙහි කී පරිද්දෙන් අර්ථ දෙකකින් යුත් නිරෝධයෙන් දෙදෙනෙක් දේශිත බව වටහා ගත යුතුය.

මෙහිදී අනුත්පාද  නිරෝධය පිළිබඳව මෙසේ දත යුතුය.  යම් චිත්ත සන්තානයක සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, ඉස්සා, මච්ඡරිය, කුක්කුච්ච යන ක්ලේශ ධර්ම යලිදු නූපදනා පරිදි සෝවාන් මාර්ග ඥානයෙන් ප්‍රහාණය කළ කල්හි මතු භවයන්හි සතර අපායෙහි ඉපදීමට නියමිතව තිබූ අනාගත ස්කන්ධ සියල්ල නිරවශේෂව නිරුද්ධ වී යන්නේය.  සත් භවයකට මතුයෙහි මනුෂ්‍ය ලෝකයෙහි ඉපදීමට නියමිතව තිබූ අනාගත ස්කන්ධ සියල්ල ද නිරවශේෂව නිරුද්ධ වී යන්නේය.  මෙලෙස පුද්ගල සන්තානයක ඉපදීමට නියමිතව තිබුණු අනාගත ස්කන්ධයෝ සමූහයක් සෝවාන් මාර්ග ඥානයෙන් යලිදු නූපදනා පරිදි ‘අනුත්පාද  නිරෝධයට’ පත් කරන ලද්දහු වෙත්.

යම් චිත්ත සන්තානයක කාමරාග, පටිඝ යන ක්ලේශ ධර්ම යලිදු නූපදනා පරිදි අනාගාමී මාර්ග ඥානයෙන් ප්‍රහාණය කල කල්හි මතු භවයන්හි කාමාවචර ලෝකයන්හි ඉපදීමට නියමිතව තිබූ අනාගත ස්කන්ධ සියල්ල නිරවශේෂව නිරුද්ධ වී යන්නේය.  මෙලෙස පුද්ගල සන්තානයක ඉපදීමට නියමිතව තිබුණු අනාගත ස්කන්ධයෝ සමූහයක් අනාගාමී මාර්ගඥානයෙන් යලිදු නූපදනා පරිදි ‘අනුත්පාද  නිරෝධයට’ පත් කරන ලද්දහු වෙත්.

යම් චිත්ත සන්තානයක අවිද්‍යා, තණ්හා ආදී ඉතිරි සියළු කෙලෙස් ධර්ම යලිදු නූපදනා පරිදි අරිහත් මාර්ග ඥානයෙන් ප්‍රහාණය කළ කල්හි මතු තුන්භවයෙහිම ඉපදීමට තිබූ අනාගත ස්කන්ධ සියල්ල නිරවශේෂව නිරුද්ධවී යන්නේය.  මෙලෙස පුද්ගල සන්තානයක ඉපදීමට නියමිතව තිබුණු අනාගත ස්කන්ධයෝ සමූහයක් අරිහත් මාර්ගඥානයෙන් යලිදු නූපදනා පරිදි ‘අනුත්පාද  නිරෝධයට’ පත් කරන ලද්දාහු වෙත්.

ස්කන්ධයන්ගේ අනුත්පාද  නිරෝධයේ ඇති විශේෂත්වය වන්නේ ඒ මතුයෙහි ඉපදීමට නියමිත ස්කන්ධයන් ඉපදීමට යම් හේතූන් වෙත් ද ප්‍රත්‍යයන් වෙත් ද ඒ හේතූන් ඒ ප්‍රත්‍යයන් නිරවශේෂව නිරුද්ධ කිරීමෙන් ඒ මතු ඉපදීමට නියමිත ස්කන්ධයන්ගේ ඉපදීම නතර කිරීමය.  ඒ බැව් දැක්වීමට භාග්‍යවතුන් වහන්සේ මහා නිදාන ආදී සූත්‍රයන්හි ‘අවිජ්ජායත්‍වෙව අසෙස විරාග නිරෝධා සංඛාරනිරෝධො – මෙසේ අවිද්‍යාවගේම නිරවශේෂ වෙන්වීමෙන් නිරුද්ධ කිරීමෙන් සංස්කාර නිරෝධය වේ’ යනාදී වශයෙන් හේතූන්ගේ නිරවශේෂ නිරෝධයෙන් ස්කන්ධයන්ගේ අනුත්පාද  නිරෝධය වදාළ සේක.

තවද බහුලව සූත්‍රයන්හි යෙදෙන‘යං කිඤ්චි සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මං – යම් කිසි ධර්මයක් හේතූන්ගෙන් ප්‍රත්‍යයන්ගෙන් හට ගන්නා සුළු වේද ඒ සියළු ධර්මය හේතූන්ගේ නිරවශේෂ නිරෝධයෙන් අනුත්පාද  වශයෙන් නිරුද්ධ භාවයට පැමිණේ’ යන සූත්‍ර පාඨයෙන්ද කියැවෙනුයේ මේ අනුත්පාද  නිරෝධයමය.  මෙය මජ්ඣිමනිකායට්ඨ කථාවෙහි මෙසේ සඳහන් කොට ඇත.  ‘ධම්‌මචක්‌ඛුන්‌ති උපරි බ්‍රහ්‌මායුසුත්‌තෙ තිණ්‌ණං මග්‌ගානං, චූළරාහුලොවාදෙ ආසවක්‌ඛයස්‌සෙතං නාමං. ඉධ පන සොතාපත්‌තිමග්‌ගො අධිප්‌පෙතො. තස්‌ස උප්‌පත්‌තිආකාරදස්‌සනත්‌ථං ‘‘යංකිඤ්‌චි සමුදයධම්‌මං, සබ්‌බං තං නිරොධධම්‌ම’’න්‌ති ආහ. තං හි නිරොධං ආරම්‌මණං කත්‌වා කිච්‌චවසෙන එවං තං සබ්‌බසඞ්‌ඛතං පටිවිජ්‌ඣන්‌තං උප්‌පජ්‌ජති’.
(මජ්ඣිමනිකායට්ඨකථා III – උපාලිසුත්ත වණ්ණනා – හේ.ම්.64)

‘ධම්ම චක්‍ඛුං’ යනු මතුයෙහි බ්‍රහ්මායු සූත්‍රයෙහි සෝවාන් ආදී යට මාර්ගත්‍රයටද චුල්ලරාහුලෝවාද සූත්‍රයෙහි ආසවක්‍ෂය රහත් මාර්ග ඥානයට ද එය නමකි.  මෙහි වනාහි සෝතාපත්ති මාර්ගය අදහස් කරන ලදි.  එහි උපදින ආකාරය දැක්වීම පිණිස යං කිඤ්චි සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මං යයි වදාළේය.  ඒ සෝවාන් මාර්ග ඤාණය වනාහි කෘත්‍ය වශයෙන් මෙසේ ඒ සියළු සංඛතයන්ගේ අනුත්පාද  සංඛ්‍යාත නිරෝධය ප්‍රතිවේද කරමින් උපදියි’.

මේ අර්ථ දැක්වීමට අනුව මේ සූත්‍ර පාඨයෙන් ද අදහස් කරනුයේ සියළු සංඛතයන්ගේ අනුත්පාද  නිරෝධ සංඛ්‍යාත නිර්වාණය අරමුණු කරමින් සෝවාන් මාර්ග ඥානය උපදින බවයි.

තවද සේලා සූත්‍රයෙහි සේලා රහත් තෙරණින් වහන්සේ මාර දිව් පුතුට දේශනා කළ ගාථාවක් මෙසේ දැක්වේ.

‘නයිදං අත්‌තකතං බිම්‌බං, නයිදං පරකතං  අඝං;
හෙතුං පටිච්‌ච සම්‌භූතං, හෙතුභඞ්‌ගා නිරුජ්‌ඣති’
(සංයුක්ත නිකාය I – සේලා සූත්‍රය – බුජමු 244)

‘මේ අත්බැව තමා විසින් කරණලද්දෙක් නොවේ. මේ දුකට පිහිට වූ අත්බව මෙරමා විසින් කරණලද්දෙක් ද නොවේ. හේතුව නිසා හට ගත්තේ ය. හේතුව බිඳීමෙන් නිරුද්ධ වේ.

මේ ගාථාවට අර්ථ සපයන අර්ථකථාචාරීන් වහන්සේ සංයුක්ත නිකායට්ඨ කථාවෙහි මෙසේ දක්වයි.

‘හේතු භංගාති හේතු නිරෝධෙන පච්චයවෙකල්ලෙන’
(සංයුක්ත නිකාය අට්ඨකථා I – භික්‍ඛුණී සංයුක්තය – හේ.මු.152)

‘හේතු භංගා යනු හේතූන්ගේ නිරෝධයෙනි, ප්‍රත්‍යයන්ගේ විකලභාවයෙනි’.

මේ අර්ථ කථා පාඨයට අර්ථ සපයන ටීකාචාරීන් වහන්සේ මෙසේ දක්වයි.

හෙතුනිරොධෙනාති තණ්‌හාසඞ්‌ඛතස්‌ස හෙතුනො අනුප්‌පාදනිරොධෙන. පච්‌චයවෙකල්‌ලෙනාති තදවසිට්‌ඨකිලෙසාභිසඞ්‌ඛාරාදිපච්‌චයස්‌ස වෙකල්‌ලභාවෙන, අපච්‌චයභාවූපගමනෙනාති අත්‌ථො.’
(සංයුක්තනිකාය සගාථවග්ගටීකා – සේලා සුත්තවණ්ණනා)

‘හේතු නිරොධෙන යනු තෘෂ්ණා සඞ්ඛ්‍යාත හේතුවගේ අනුත්පාද  නිරෝධයෙනි. පච්චයවේකල්ලේන යනු ඒ අවශේෂ ක්ලේශ අභිසංඛාර (පුඤ්ඤාභිසංඛාර ආදී) ආදී ප්‍රත්‍යයන්ගේ විකලභාවයෙනි.  ප්‍රත්‍යරහිත භාවයට එළඹීමෙන් යන අර්ථය යි ’

දක්වන ලද අර්ථකථා ටීකා පාඨයන්ට ද අනුකූලව සූත්‍රයෙහි පැමිණි ගාථාවගේ ද අර්ථය වනුයේ අවිද්‍යා තෘෂ්ණා කර්ම ආදී හේතූන්ගේ අනුත්පාද  නිරෝධයෙන් මේ සංසාර ප්‍රවෘත්තිය නිමවන බවය.  එබැවින් මෙම ගාථාවෙහි ද නිරෝධය යන්නෙන් අදහස් කරනුයේ අනුත්පාද  නිරෝධයම බව දත යුතුය. තවද පටිසම්භිදාමග්ගප්‍රකරණයෙහි අභිසමය කථා නිර්දේශයෙහි හේතු නිරෝධයෙන් දුක්ඛ නිරෝධය සිදුවන ආකාරය දක්වන තැන මෙසේ සඳහන් වේ.

එවං හේතු නිරෝධා දුක්ඛ නිරොධො – මෙසේ හේතු නිරොධයෙන් දුක නිරුද්ධ වේ’.
(පටිසම්භිදාමග්ගප්‍රකරණය II – අභිසමය කථා- බුජමු 200)

මේ වාක්‍යයට අර්ථ දක්වන අර්ථකථාචාරීන් වහ්න්සේ මෙසේ දක්වයි.

හෙතුනිරොධා දුක්‌ඛනිරොධොති කිලෙසානං බීජභූතස්‌ස සන්‌තානස්‌ස අනුප්‌පාදනිරොධා අනාගතක්‌ඛන්‌ධභූතස්‌ස දුක්‌ඛස්‌ස හෙතුභූතානං කිලෙසානං අනුප්‌පාදනිරොධො හොති. එවං දුක්‌ඛස්‌ස හෙතුභූතකිලෙසානං අනුප්‌පාදනිරොධා දුක්‌ඛස්‌ස අනුප්‌පාදනිරොධො හොති”
(පටිසම්භිදාමග්ගට්ඨකථා – අභිසමයකථා වණ්ණනා – හේ.මු.513)

‘හේතු නිරොධා දුක්ඛ නිරොධො යනු කෙලෙසුන්ගේ ඉපැත්මට බීජවන්නා වූ තෘෂ්ණා අවිද්‍යා සංඛ්‍යාත ක්ලේශ සන්තානයේ අනුත්පාද  නිරෝධයෙන් අනාගතයෙහි උපදින ස්කන්ධ සංඛ්‍යාත දුක්ඛයට උත්පත්ති හේතු වන්නා වූ කෙලෙසුන්ගේ අනුත්පාද  නිරෝධය වෙයි.  මෙසේ ස්කන්ධ සංඛ්‍යාත දුක්ඛයට උත්පත්ති හේතුවන කෙලෙසුන්ගේ අනුත්පාද  නිරෝධයෙන් ස්කන්ධ සංඛ්‍යාත දුක්ඛයාගේ අනුත්පාද  නිරෝධය වෙයි.’

මේ පටිසම්භිදාමග්ග අට්ඨකථා පාඨයෙන් ද කියැවෙනුයේ අනාගත ස්කන්ධ හටගැනීමට හේතුවන අවිද්‍යා තෘෂ්ණා ආදී කෙලෙසුන් යලිදු නූපදනා පරිද්දෙන් නිරුද්ධ කිරීමෙන් අනාගත ස්කන්ධයන්ගේ ඉපදීම නොවන බවයි.  එබැවින් දක්වන ලද පටිසම්භිදා සූත්‍රපාඨයේ නිරෝධ පදයෙන් කියැවෙනුයේ ද අනුත්පාද  නිරෝධයම බව දත යුතුය.

මෙසේ ඉහත දැක්වූයේ ත්‍රිපිටකයෙහි අනුත්පාද  නිරෝධ අර්ථයෙන් ‘නිරෝධ’ පදය යෙදෙන අවස්ථා කිහිපයකි.   ඒ සෑම තැනකම අවිද්‍යා, තෘෂ්ණා කර්ම ආදී හේතූන්ගේ අනුත්පාද  නිරෝධයෙන් ලබන ‘නිර්වාණයම’ අදහස් කළ බව ද දත යුතුය. මෙහිදී ක්‍ෂණික නිරෝධය පිළිබඳව මෙසේ දත යුතුය.  ඕනෑම නාම රූප ධර්ම පරම්පරාවක ක්‍ෂණයක් ක්‍ෂණයක් පාසා සිදුවන නාමරූප ධර්මයන්ගේ ඉපිද පැවත නිරුද්ධවී යාමට ක්‍ෂණික නිරෝධය යයි කියනු ලැබේ.  උපදින්නා වූ ඕනෑම ධර්මයක් බිඳී යාම සංඛත ධර්මයන්ගේ ස්වභාවය ය.  උපන්නා වූ නාම රූපයක් නොබිඳී පවත්වා ගැනීමට හැකියාවක් කිසිවෙකුට නැත.  එය කිසිම උපක්‍රමයකිනිදු කළ නොහැක්කකි.  උපන්නා වූ ධර්මය ස්වභාවයෙන්ම බිඳී යන්නේය.  මේ නිසාම සියළු සංඛත ධර්මයෝ අනිත්‍යයහ යැයි කියනු ලැබේ.  මෙහිදී අනුත්පාද  නිරෝධයේදී මෙන් ඒ නාමරූප ධර්මයේ උත්පත්තියට හේතු වූ ප්‍රත්‍ය ධර්මයන්ගේ නිරුද්ධවීමත් අපේක්‍ෂා කරනු නොලැබේ.  ඒ නාමරූප ස්වභාවයෙන්ම දුර්වල හෙයින්ම ආයුෂය ඉතා කෙටි හෙයින්ම බිඳී යයි.  එබැවින් පටිසම්භිදාමග්ග අට්ඨකථාවෙහි මෙසේ දැක්වීය.

“එවං කිර නාමිමෙ ධම්‌මා අනුප්‌පන්‌නපුබ්‌බා උප්‌පජ්‌ජන්‌ති, උප්‌පන්‌නා නිරුජ්‌ඣන්‌තී’’ති නිච්‌චනවාව හුත්‌වා සඞ්‌ඛාරා උපට්‌ඨහන්‌ති. න කෙවලඤ්‌ච නිච්‌චනවාව, සූරියුග්‌ගමනෙ උස්‌සාවබින්‌දු විය උදකබුබ්‌බුලො විය උදකෙ දණ්‌ඩරාජි විය ආරග්‌ගෙ සාසපො විය විජ්‌ජුප්‌පාදො විය ච පරිත්‌තට්‌ඨායිනො’’
(පටිසම්භිදාමග්ග අ.ක. – උදයබ්බය ඤාණ නිද්දේසවණ්ණනා – හේ.මු. පි.180)

“මෙසේ නම් මේ ධර්මයෝ පෙර නූපන්නාහු උපදිත්. උපන්නාහු නිරුද්ධ වෙත් යයි නිත්‍ය වශයෙන් නව (අලුත්) ධර්ම ලෙසම සංස්කාරයෝ වැටහෙත්. හුදෙක් නිත්‍ය වශයෙන් නව ධර්ම ලෙසට පමණක් නොව හිරු උදාවන කල්හි පිණිබිඳු මෙන් දිය බුබුල් බිඳෙන්නාක් මෙන්  දියෙහි දඬුවකින් ඇඳි ඉරක් වහා නොපෙනීයන්නාක් මෙන් හිදි තුඩ අබ මොහොතක්ම රඳන්නාක් මෙන් විදුලි කෙටීමක් මොහොතක්ම පැවත නැතිවන්නාක් මෙන් ඉතා මද වූ කාලයක්ම ඨිතිය ඇත්තා වූ ධර්මසේ ද වැටහෙත්.”අට්ඨකථාවෙහි මෙසේ සියළු සංඛත සංස්කාරයන්ගේ අල්පායුෂ්කභාවය දක්වන ලදී.

තවද අභිධම්මාවතාර ටීකාවෙහිද සංස්කාරයන්ගේ මේ අල්පායුෂ්කභාවය නිසා ඉපිද වහා නිරුද්ධ වන ආකාරය යෝගාවචරයා හට වැටහෙන ආකාරය මෙසේ දක්වා ඇත.

“අයං හි පඨමං පච්චයතො උදයබ්බයං මනසිකරොන්තෙ ච්ඡා අවිජ්ජාදිකෙ පච්චය ධම්මෙ විස්සජ්ජෙත්වා උදයබ්බයවන්නො ඛන්ධෙ ගහෙත්වා තෙසං පච්චයතො උදයබ්බදස්සන මුඛෙන ඛණතොපි උදබ්බයං මනසිකරොති තස්ස යදා ඤාණං තික්ඛං විදසං හුත්වා පවත්තති, තදාරූපාරූප ධම්මා ඛණෙ ඛණෙ උප්පජ්ජන්තා භිජජන්තා ච හුත්වා උපට්ඨහාති”
(අභිධම්මත්‍ථවිකාසිනී ටීකා – මග්ගාමග්ගඤාණදස්සනවිසුද්ධි කතා)

“මේ යෝගාවචර තෙමේ පළමුව ප්‍රත්‍යවශයෙන් උදයවැය මනසිකාර කරනුයේ පසුව අවිද්‍යාදී ප්‍රත්‍ය ධර්ම හැරපියා උදයවැය ලක්‍ෂණයන්ගෙන් යුත් ස්කන්ධයන් ගෙන ප්‍රත්‍යවශයෙන් උදයවැය දැකීම් මූලයෙන් ක්‍ෂණවශයෙන් ද ඒ ස්කන්ධයන්ගේ උදයවැය මනසිකාර කරයි. යම් කලෙක ඒ යෝගාවචරයාගේ ඤාණය තියුණුව විසදවී පවතීද, එකල්හි රූපාරූප ධර්මයෝ ක්ෂණයක් ක්ෂණයක් පාසා උපදින්නාහු ද බිඳෙන්නාහුද වී වැටහෙත්.

ලාංකේය ථෙරවාදී භික්‍ෂු පරපුරේ මතුකාලීනව පහළ වූ ශ්‍රෙෂ්ඨ ධර්මධරයෙක් වූද විපස්සනා යෝගාවචරයෙක් වූද රේරුකානේ චන්‍දවිමල මහ තෙරුන්වහන්සේගේ විදර්ශනා භාවනා ක්‍රමය ග්‍රන්ථයෙහි ද මේ බැව් මෙසේ දක්වා ඇත.

‘හේතූන්ගේ සංයෝගයක් නැතිව ඉපැදිය හැකි එක් සංස්කාරයෙකුදු නැත.  ගිනිකූර ගිනි පෙට්ටියේ ඇතිල්ලීමෙන් ගින්න හට ගන්නාක් මෙන් සෑම සංස්කාරයක්ම උපදිනුයේ හේතූන්ගේ සංයෝගයකිනි.  උපදවා ගැනීමට කාට කොතෙක් උවමනා වුවත් හේතු සංයෝගයක් නැතිව නම් ඒවා නූපදින්නේමය.  උපන් පසු මොහොතකුදු නොදිරා නොබිඳී සිටිය හැකි ශක්තියක් ද කිසිම සංස්කාරයකට නැත.  තමනට පැවතීමට ශක්තියකුදු නැති සංස්කාරයනට අන්‍ය සංස්කාරයන් ස්ව වශයෙහි පවත්වන්නට ශක්තියක් කොයින්ද? නැත්තේමය.  තමාගේ කැමැත්තෙන් ඉපදීමට හා නොදිරා නොබිඳී පැවතීමට ද අන්‍ය සංස්කාරයන් ස්ව වශයෙහි පැවැත්වීමට ද නුපුළුවන් බව සංස්කාරයාගේ ආත්ම ලක්‍ෂණයට විරුද්ධ ලක්‍ෂණය වූ අනාත්ම ලක්‍ෂණය යි.

(විදර්ශනා භාවනා ක්‍රමය – පි.125, 126)

ත්‍රිපිටක පාලියෙහි ක්‍ෂණික නිරෝධය දක්වා ඇති සූත්‍ර

‘‘සබ්‌බෙ සඞ්‌ඛාරා අනිච්‌චා’’ති, යදා පඤ්‌ඤාය පස්‌සති;

අථ නිබ්‌බින්‌දති දුක්‌ඛෙ, එස මග්‌ගො විසුද්‌ධියා.

සියලු සංස්කාරයෝ අනිත්‍යයහ යි යම් කලෙක විවසුන් නුවණින් දක්නේ ද එ කල්හි මේ (ස්කන්ධපරිහරණය යැයි කියන ලද) දුකෙහි (මුදුන් පත් වුට්ඨානගාමිනීවිපස්සනා වශයෙන්) කළකිරෙන්නේ ය. (එසේ කලකිරුණේ දුඃඛපරිඥානාදි විසින් සත්‍යප්‍රතිවෙධය කරන්නේ ය. එ හෙයින්) මේ සංස්කාරයන් කෙරෙහි නිර්වෙදය, නිර්මල වීමට (නොහොත් නිවනට) මඟ ය.(ධම්මපද පාලි – මග්ග වග්ගය- බුජමු 94)

‘‘අනිච්‌චා වත සඞ්‌ඛාරා, උප්‌පාදවයධම්‌මිනො;
උප්‌පජ්‌ජිත්‌වා නිරුජ්‌ඣන්‌ති, තෙසං වූපසමො සුඛො’’ති.

එහි අදහස: “පසයෙන් හටගත් සියලු දෑ ඒකාන්තයෙන් ඉපැදෙන වැනැසෙන සුලු ය. ඔහු ඉපැද නැසෙත්. ඔවුන්ගේ සංසිඳීම සුව ගෙන දෙයි.”‍

( දීඝ නිකාය 02 , මහා පරිනිර්වාණ සූත්‍රය – බු.ජ.මු  පි.246 )

‘අථ ඛො භගවා භික්‌ඛූ ආමන්‌තෙසි – ‘‘හන්‌දදානි, භික්‌ඛවෙ, ආමන්‌තයාමි වො, වයධම්‌මා සඞ්‌ඛාරා, අප්‌පමාදෙන සම්‌පාදෙථ.’
(දීඝනිකාය II- මහාපරිනිබ්බාන සූත්‍රය – බුජමු 244)

ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මහණුන් ඇමැතූ සේක: “මහණෙනි. දැන් ‍තොප අමතමි (තොපට උපදෙස් දෙමි). සංස්කාරයෝ නැසෙන සුලු හ. (එ බැවින්) නො පමායෙන් (එළැඹැවූ සිහියෙන්) රහත් බව පිණිස කළ යුතු දෑ සපය වූ (සපුරවු)”

‘කතමෙ ච භික්‍ඛවෙ පටිච්චසමුප්පන්නා ධම්මා? ජරා මරණං භික්‍ඛවෙ අනිච්චං සංඛතං පටිච්චසමුප්පන්නං ඛය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරොධ ධම්මං’
(සංයුක්ත නිකාය II- පච්චය සූත්‍රය – බුජමු 42)

මහණෙනි, ප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයෝ කවරහ යත්: මහණෙනි, ජරාමරණ අනිත්‍ය ය. සංස්කෘත ය. හේතුප්‍රත්‍යයයෙන් හටගත්තේ ය. ක්ෂය ස්වභාවය ඇත්තේ ය. ව්‍යයස්වභාවය ඇත්තේ ය. විරාගස්වභාවය ඇත්තේ ය. නිරෝධස්වභාවය ඇත්තේ ය.

ඉහත දක්වන ලද සූත්‍රපාඨ වල සියළුම තන්හි අදහස් කෙරෙනුයේම සංස්කාරයන්ගේ ක්‍ෂණික නිරෝධයයි.  ඉහත ධම්මපද පාලි ගාථාවෙහි ‘අනිච්චා’ යන පදයෙන්ද මහාපරිනිර්වාණ සූත්‍ර පාලි උදාහරණ දෙකෙහි ‘අනිච්චා’ හා ‘වය ධම්මා’ යන පදයෙන් ද, පච්චය සූත්‍රයෙහි ‘ඛය, වය, විරාග, නිරොධ’ යන සිව් පදයන්ගෙන් ද අදහස් කෙරෙනුයේ සංස්කාරයන්ගේ ක්‍ෂණික නිරෝධයමය.

නෙත්තිප්ප්‍රකරණයෙහි දක්වා ඇති දෙඅකාර නිරෝධය

තවද නෙත්තිප්ප්‍රකරණ පාලියෙහි අධිට්ඨානහාර විභංගයෙහි නිරෝධය යනු කුමක්දැයි මෙසේ දක්වා ඇත.

‘‘නිරොධො’’ති එකත්‌තතා. තත්‌ථ කතමො නිරොධො? පටිසඞ්‌ඛානිරොධො අප්‌පටිසඞ්‌ඛානිරොධො අනුනයනිරොධො පටිඝනිරොධො මානනිරොධො මක්‌ඛනිරොධො පළාසනිරොධො ඉස්‌සානිරොධො මච්‌ඡරියනිරොධො සබ්‌බකිලෙසනිරොධො. අයං වෙමත්‌තතා.
(නෙත්තිප්ප්‍රකරණය – අධිට්ඨානහාර විභංගය – බුජමු 108)

නිරෝධ යනු ඒකත්තතා යැ. එහි නිරෝධ කවරෙ යැ: අනිත්‍යාදි වශායෙන් ප්‍ර‍ත්‍යාවේක්ෂා කොට ප්‍ර‍තිපක්ෂභාවනාවෙන් නිරෝධ යැ සංඛතධර්මයෙන්ගේ සරසනිරෝධ යැ හෙවත් ක්ෂණික නිරෝධ යැ අනුනයනිරෝධ යැ ප්‍ර‍තිඝනිරෝධ යැ මානනිරෝධ යැ මක්ඛනිරෝධ යැ පලාස (යුගග්‍රාහ) නිරෝධ යැ ඊර්ෂ්‍යයානිරෝධ යැ මාත්සර්‍ය්‍යයනිරෝධ යැ සර්වක්ලේශයන්ගේ නිරෝධ යි. මේ නිරෝධයාගේ වේමත්තතා යි.

මෙහි ‘නිරොධොති ඒකත්තා’ යනු විවිධ ආකාරයෙන් නිරොධය ඇතත් සාමාන්‍යයෙන් සියල්ලටම නිරොධ යන වචනය භාවිතා කරන බවයි.  ඉන්පසු ඒ විවිධ නිරොධ හෙවත් නිරොධයන්ගේ වේමත්තභාවය දක්වනු පිණිස ‘තත්‍ථ කතමො නිරොධො’ යනුවෙන් දක්වා නිරෝධ වර්ග දේශනා කරන ලදී.  ඒ නිරෝධ වර්ග වල අර්ථ අර්ථකථාවෙහි මෙසේ දක්වා ඇත.

පටිසඞ්‌ඛානිරොධොති පටිසඞ්‌ඛාය පටිපක්‌ඛභාවනාය නිරොධො, පටිපක්‌ඛෙ වා තථා අප්‌පවත්‌තෙ උප්‌පජ්‌ජනාරහස්‌ස පටිපක්‌ඛවුත්‌තියා අනුප්‌පාදො. අප්‌පටිසඞ්‌ඛානිරොධොති සඞ්‌ඛතධම්‌මානං සරසනිරොධො, ඛණිකනිරොධොති අත්‌ථො.’
(නෙත්තිප්ප්‍රකරණට්ඨකථා – අධිට්ඨානහාර විභංග වණ්ණනා – හේ මු 109)

‘පටිසංඛා නිරොධො යනු විපස්සනා ප්‍රඥාව ප්‍රධාන වූ භාවනාවෙන් අරමුණු කරන අනුත්පාද  නිරොධය යි.  ස්කන්ධ පරම්පරාවේ පැවැත්මට ප්‍රත්‍රිපක්‍ෂ වූ හෝ එසේ ස්කන්ධ පරම්පරාව නොපවත්නා කල්හි වූ ඉපදීමට සුදුසු ස්කන්ධ ධර්මයන්ගේ මතු ඉපදීම් සංඛ්‍යාත පැවැත්මට ප්‍රතිපක්‍ෂ පැවැතුමේ අනුත්පාද යයි.  අප්පටිසංඛා නිරෝධය යනු සංඛත ධර්මයන්ගේ ස්වභාවික නිරෝධයයි.  සංඛත ධර්මයන්ගේ ක්‍ෂණික නිරෝධය යන අර්ථය යි.’

ඉහතින් දක්වන ලද්දේ පටිසංඛා නිරෝධය හා අප්පටිසංඛා නිරෝධය සඳහා අර්ථයන්ය.  ඒ අනුව පටිසංඛා නිරෝධය යනු අනුත්පාද  නිරෝධය බවත් අප්පටිසංඛා නිරෝධය යනු ක්‍ෂණික නිරෝධය බවත් මැනවින් පැහැදිලිය.

ඉන් අනතුරුව අනුනය නිරෝධය යනාදී වශයෙන් එක් එක් ක්ලේශයන්ගේ අනුත්පාද  නිරෝධයම දක්වන ලදී.  එහි අනුනය යනු තණ්හාවට නමකි.  අවසානයේ සියළු කෙලෙසුන්ගේ අනුත්පාද  නිරෝධයම දක්වන ලදී. දක්වන ලද සූත්‍රාර්ථකථා පාඨයන්ගෙන් ද ක්‍ෂණික නිරෝධය හා අනුත්පාද  නිරෝධය ම දක්වන ලදි.  එබැවින් ශ්‍රී මුඛ බුද්ධ දේශනාවට අනුව නිරෝධය යනු දක්වන ලද දෙආකාරය බව දත යුතුය.

ඇතැම් දේශකයන් වරදවා කියන නිරෝධ පදය

නිරෝධ පදය සඳහා පෙළ දහමට අනුව අර්ථය ඉහතින් දැක්වූ පරිදි වුවද මෙකල ඇතැම් දේශකයෝ මේවායේ අර්ථ විකෘති වන පරිදි ධර්මය පැහැදිලි කරති.  ඔවුහු මෙසේ පවසති.

1. යම් අරමුණක් දකින විටදී, දකින අවස්ථාවේදී ඇසද ඇස් ඉදිරිපිටට පෙනෙන රූපයත් නිසා උපදින චක්‍ඛු විඥානයද,  ස්පර්ශය නිසාද (එනම්) යන මේ තිදෙනාගේ එකතුවීම නම් චක්‍ඛු සම්ඵස්සයද නිසා හිතක වේදනා සංඥා යෙදේ. එය ‘යමක් පෙනෙන බව’ නිර්මාණය වීමකි.  යමක් ඇසට පෙනෙන අවස්ථාවේදී පෙනෙනවා කියන ධර්මතාවය නිර්මාණය වී ඇත්තේ ආහාර ප්‍රත්‍යයකින්, ආහාර නැතිනම් හේතු ප්‍රත්‍යයකින්.  එතන ඇසද රූපයද පවතී නම් එහි ඇත්තේ සතර මහා ධාතුවයි. නැතිනම් කබලිංකාරාහාර ප්‍රත්‍ය රූපයක් එහි ඇත.  වේදනා සංඥා චේතනාවක් තියෙනවා නම් ස්පර්ශ ආහාරය නිසා, යම් විඥානයක් සිතක් තියෙනවා නම් නාමරූප ප්‍රත්‍යයෙනි.

2. මේ ආහාර ප්‍රත්‍යයෙන් හටගත්, හේතු නිසා හටගත්, ප්‍රත්‍ය නිසා හටගත් ධර්මයන්ගේ ස්වභාවය හේතු නැතිවෙනකොටම නැතිවෙන බවයි.  හේතුන්ගෙන් හටගත්ත, ප්‍රත්‍යයන්ගෙන් හටගත්ත, ආහාරයෙන් හටගත්ත ඒ ධර්ම ආහාරය නිරුද්ධ වෙනකොටම නිරුද්ධ වේ.  හේතු නැති වෙනකොට නැති වේ.  නමුත් මේ ආහාර ප්‍රත්‍යයෙන් හටගත් ස්කන්ධ ආහාර නැතිවෙනකොටම නැතිවන ධර්මතාවයක් යන්න සාමන්‍ය පුද්ගලයන්ට නොවැටහේ.

3. ලෝකයට නිවන පේන්නේ නැත. නිරෝධය යනු සාක්‍ෂාත් කිරීමට හැකි දෙයකි. සාක්‍ෂාත් කළ යුත්තේ තිබෙන දෙයකි. නැති දෙයක් සාක්‍ෂාත් කිරීමට නොහැක.  සාමන්‍ය පුද්ගලයන්ට නොදක්නේ නමුදු, ලෝකයට හමුනොවුනද ඇහැ නිරුද්ධ වේ, රූපය නිරුද්ධ වේ, චක්‍ඛු සම්ඵස්සයෙන්  ඉපදවූ ධර්ම නිරුද්ධ වේ යැයි නිරෝධ ධාතුවක් ඇත.  ඒ නිරෝධය සාමන්‍ය පුද්ගලයන්ට සාක්‍ෂාත් වී නැති නිසා භවයෙන් ඒ නිරෝධය වැසී ඇත.

4. නිරෝධය සාක්‍ෂාත් කිරීම යනු යම් අරමුණක් දක්නා විට ඒ දකින දෙය නිර්මාණය වනුයේ හේතු ප්‍රත්‍යයෙනි, ආහාර ප්‍රත්‍යයෙනි. හේතු නිරුද්ධවෙනකොටම, ආහාර නිරුද්ධ වෙනකොටම (ඒ ධර්ම) නිරුද්ධ වේ යන්න නිරායාසයෙන්ම සිදුවන්නකි.  හටගත් ධර්ම නිරුද්ධ වෙනවා යැයි ධර්මතාවයක් ඇත.  එය අප විසින්  ගතයුත්තක් හෝ සිතා සකස් ගතයුත්තක් නෙවෙයි. ‘යං කිඤ්චි සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මං’ (ඒ සූත්‍රයේ ලෙසින්) හටගත්තු සෑම දෙයක්ම නිරුද්ධ වෙනවා කියලා ධර්මතාවයක් ඇත.  ස්වභාවයක් ඇත.  දැන් අපට එය සාක්‍ෂාත් වී නැත.  ඒ නිවන සාක්‍ෂාත් වී නැත. එය ඔබට පෙනෙන්නේ නැත.  එසේ නොපෙනෙන්නේ කවරක් නිසා ද?  හටගත් දේ නිරුද්ධ වේ යන නුවණ තියෙන තැනට සාමන්‍ය පුද්ගලයන්ගේ මනස තබා නැත.  අවිද්‍යාව දුරුවෙන මනස තබා නැත.

ඉහත පළමුව සඳහන් කළ මොවුන්ගේ ප්‍රකාශයෙන් කියනුයේ හේතු ධර්මයන්ගෙන් ප්‍රත්‍ය ධර්මයන්ගෙන් හටගන්නා නාමරූප නිරුද්ධ වනුයේ හේතු නිරුද්ධ වීමෙන් බවය.  මෙය සාවද්‍ය කාරණයකි.

භාග්‍යවතුන්වහන්සේ අංගුත්තරනිකායෙහි තික නිපාතයෙහි මෙසේ වදාළ සේක.

‘‘තීණිමානි, භික්‌ඛවෙ, සඞ්‌ඛතස්‌ස සඞ්‌ඛතලක්‌ඛණානි. කතමානි තීණි? උප්‌පාදො පඤ්‌ඤායති, වයො පඤ්‌ඤායති, ඨිතස්‌ස අඤ්‌ඤථත්‌තං පඤ්‌ඤායති. ඉමානි ඛො, භික්‌ඛවෙ, තීණි සඞ්‌ඛතස්‌ස සඞ්‌ඛතලක්‌ඛණානී’’ති.

මහණෙනි, ප්‍රත්‍යය සමවායයෙන් සකස් කරණ ලද්දහුගේ මේ සඞ්ඛත ලක්‍ෂණ තුණෙකි. කවර තුණෙක යත්: ඉපැදීම පැණෙයි, නැස්ම (බිඳීම) පැණෙයි, සිටියහුගේ වෙනස්වීම (නම් වූ ජරාව) පැණෙයි. මහණෙනි, ප්‍රත්‍යය සමවායයෙන් සකස් කරණ ලද්දහුගේ මේ සඞ්ඛත ලක්‍ෂණ තුණයි

(අඞ්‌ගුත්‌තරනිකාය 1 – තිකනිපාතපාළි – බු.ජ.මු. පි.274)

උපන්නා වූ සංඛත ධර්මයක් බිඳීයාම නිරුද්ධවීම එහි සාමාන්‍ය ස්වභාවය ය. එය කවරකු හෝ කරන්නක් නොවේ.  එසේ උපන්නා වූ ධර්මයක් බිඳී යාමට හේතු නිරෝධයක් අවශ්‍ය නොවේ.  උපන්නාවූ සංඛත ධර්මයන් බිඳී යන්නේමය.  ඊට හේතුව ඒ ධර්මයන්ගේ ඇති අතිශය දුර්වල ස්වභාවයයි.

පරමාර්ථ ධර්මයෝ නම් ක්‍රියා ස්වභාවය ඇත්තෝය.  ක්‍රියාව ස්වභාවය නම් විද්‍යාමානභාවයට පැමිණ වහා නිරුද්ධ වී යාමය.  ක්‍රියාවක් නම් කලක් නොපවතින්නකි. එබැවින් ටීකාවෙහි මෙසේ දැක්වීය.

සබ්බෙහිපි ධම්මා තං තං ක්‍රියාමත්තාව හොන්ති.  න තෙසු දබ්බං න සණ්ඨානං වා විග්ගහො වා උපලබ්භති’.

‘සියළු සංඛත පරමාර්ථයෝම වනාහි ඒ ඒ ක්‍රියා මාත්‍රයෙන්ම වෙත්.  ඒ පරමාර්ථයන් තුළ ද්‍රව්‍යයමය බවක් හෝ සටහනක් ස්වභාවයක් හෝ කිසිවකින් සැදුම්ලත් ශරීරයක් හෝ නොලැබෙයි.’
(පරමත්ථදීපනී ටීකා- දුතීයගාථා)

(පරමාර්ථ ධර්ම වල ක්‍රියා ස්වභාවය දැනගැනීම පිණිස රේරුකානේ චන්‍දවිමල හිමියන්ගේ අභිධර්මයේ මූලික කරුණු පොත කියවන්න).

එබැවින් සංඛත පරමාර්ථ බිඳී යනුයේ හේතු නිරුද්ධ වීම නිසා නොව ඒ ධර්ම වල ඇති අතිශය දුර්වල වූ කලක් නොපවතින ස්වභාවය නිසා බව දතයුතුය.

තවද කුසල් සිතක් උපදින විට ඒ කුසල් සිතෙහි අවිද්‍යා, තණ්හා යෙදෙන්නේ නැත.  නමුදු අවිද්‍යා තණ්හාවෝ කුසල සිතට ආරම්මණ ප්‍රත්‍ය, උපනිශ්‍රය ප්‍රත්‍ය ආදී වශයෙන් ප්‍රත්‍යවන්නාහ. එසේ ඒ කුසල සිතේ හටගැනීමට අවිද්‍යා, තණ්හා ආදී ධර්ම හේතු වන බැව් දත යුතුය.  එසේ ඒ අවිද්‍යා, තණ්හා කුසල සිත සමඟ නූපදීම කුසල සිතේ හටගැනීමට හේතු වූ බවද දත යුතුය.  නමුදු ඒ උපන් කුසල සිත බිඳී යනවිට බිඳී යාමට අවිද්‍යා තණ්හාවෝ ඉපදී නොතිබිණි.  ඒ කුසල සිත සංඛත ධර්මයන්ගේ ස්වභාවය ප්‍රකට කරමින්ම නිරුද්ධ වී ගියේය.  එබැවින් උපන්නා වූ ධර්මයක් නිරුද්ධ වීමට එය ඉපදීමට හේතු වූ ධර්ම නිරුද්ධ විය යුතුය හෙවත් උපන් ධර්මයෝ හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වන්නේ යැයි කීම ධර්ම විරෝධී සාවද්‍ය ප්‍රකාශයකි.

මොවුන් මේ සාවද්‍ය දෘෂ්ටියට පැමිණීමට හේතු වී ඇත්තේ ත්‍රිපිටක ධර්මාර්ථ වරදවා ගැනීමෙනි.  සූත්‍රයෙහි භාග්‍යවතුන්වහන්සේ ‘යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරෝධ ධම්මං’, ‘හේතුං පටිච්ච සම්භූතා හේතුභංගා නිරුජ්ඣති’  ආදී ලෙස වදාළේ සංඛත ධර්මයන්ගේ ක්‍ෂණික නිරෝධය පිණිස නොව ‘අනුත්පාද  නිරෝධය’ දක්වනු පිණිසය.  එහිදී සෝවාන් ආදී මාර්ග ඥාන වලින් හේතු නිරෝධයෙන් ධර්මයන්ගේ අනුත්පාද  නිරෝධය සිදුවන ආකාරය අපි මේ ලිපියෙහි ඉහත දැක්වූයෙමු.  එබැවින් ‘අනුත්පාද  නිරෝධය’ දැක්වීම සඳහා භාග්‍යවතුන්වහන්සේ දේශනා කළ සූත්‍රපාඨ දක්වමින් සංඛත ධර්මයන්ගේ ක්‍ෂණික නිරෝධය හේතු නිරෝධ වීමෙන් සිදුවන බව දැක්වීම ධර්ම විරෝධී සාවද්‍ය මතයක් බව නුවණැතියෝ දත යුත්තාහ.

ඉහත දෙවනුව සඳහන් කළ මොවුන්ගේ ප්‍රකාශයෙන් කියැවෙනුයේ ඇස රූපය චක්‍ඛු විඥානය ආදී ධර්මයන්ගේ හටගෙන බිඳීයන අවස්ථාවේ නිරෝධය නිරෝධ ධාතුවක් බවයි.  ඉහත තුන්වන ප්‍රකාශයෙන් එය නිවන බවත් එය සාක්‍ෂාත් කළ විට නිවන සාක්‍ෂාත් කළේ වන්නේය යනුවෙන් ද ප්‍රකාශ කරයි.

සංඛත පරමාර්ථයන්ගේ නිරුද්ධවීම යනු සංඛත ධර්මයන්ගේ ලක්‍ෂණ මාත්‍රයකි.  එය පෙර කී සංඛත ධර්මයන්ගේ උප්පාද ඨිති භංග යන තෙවැදෑරුම් ලක්‍ෂණයන් අතුරින් භංගය ය. රූපයන්ගේ මේ භංග ලක්‍ෂණයට ‘අනිච්චතා රූපය’ යයිද කියයි.  අනිච්චතා රූපය යනු සතර වැදෑරුම් උපචය සන්තති ජරතා අනිච්චතා යන සතර වැදෑරුම් ලක්‍ෂණයන්ගෙන් එකකි.  මෙය රූප පරමාර්ථයේ කොටසක් ලෙස දැක්වුවද එයින් රූපයාගේ භංග ලක්ෂණය පෙන්නුම් කෙරේ. එය සාක්ෂාත් කළයුතු නිරෝධ ධාතුව නොවේ. නාම ධර්මයන්ගේ භංග ලක්‍ෂණය ද මෙබඳුම පරමාර්ථ වශයෙන් විද්‍යාමාන නොවන්නා වූ ලක්‍ෂණ මාත්‍රයකි. එබැවින් එම නිරෝධය නිත්‍ය පරමාර්ථ ධර්මයක් වූ නිර්වාණය යැයි ප්‍රකාශ කිරීම ධර්ම විරෝධී සාවද්‍ය මතයකි.

මේ වාදය කථාවත්‍ථුපකරණයෙහි ලා මොග්ගලීපුත්ත තිස්ස මහරහතන්වහන්සේ විසින් විසඳන ලද්දේය.  තෙවන ධර්මසංගායනාව පවත්වන කාලය වන විට දඹදිව එක්තරා පිරිසක් පටිසංඛා නිරෝධය  හා අප්පටිසංඛා නිරෝධය හෙවත් අනුත්පාද නිරෝධය හා ක්‍ෂණික නිරෝධය යන දෙකම නිර්වාණය ය යන දෘෂ්ටිය දැරූහ.  බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ අර්ථකථාව පාලියට පරිවර්තනය කරන සමය වන විට මහිංසාසක හා අන්ධක නිකාය වාසීන් අතර ද මෙම දෘෂ්ටිය තිබුනි.  මෙකල මේ දේශකයන් ද ‘සෑම විටම ඇස රූප ආදී ධර්ම නිරුද්ධ වන බවත් ඒ නිරෝධය නිරෝධ ධාතුව බවත් එය සාක්‍ෂාත් කළයුතු බවත්’ කියනුයේ මේ අප්පටිසංඛා නිරෝධය හෙවත් ක්‍ෂණික නිරෝධයටය.  කථාවත්‍ථූපකරණයෙහි ආ මේ වාද විසඳුම අර්ථ සොයන්නවුන් විසින් ඒ ග්‍රන්ථයන්ගෙනුත් එහි අර්ථකථාවන්ගෙනුත් බලා දත යුතුය.   කරුණු කාරණා මෙසේ හෙයින් මොවුන්ගේ මේ දෙවන හා තුන්වන ප්‍රකාශයන් සාවද්‍ය ධර්ම විරෝධී ප්‍රකාශයන් බව නුවණැතියෝ දතයුතු වෙත්.

මෙකල මේ ආකාරයට ධර්ම න්‍යායන් වරදවා දේශනා කරනුයේ ත්‍රිපිටකාගත සූත්‍රයන්හි අර්ථ මහාකාශ්‍යප, ආනන්ද, අනුරුද්ධ, උපාලි ආදී ධර්මසංගායනාකාරක මහරහතන්වහන්සේලා විසින් භාග්‍යවතුන්වහන්සේගේ විස්තර දේශනාව බහාලූ අර්ථකථාවන් හා සංසන්දනය නොකොට ස්වකීය චිත්තානුරූපව තර්කයෙන් මැන බලා ගැළපෙතැයි කියා සිතා නිවැරදියි කියා සිතන බැවිනි.

තවද මේ දේශකයන් මිනිසුන්ගේ සිතුවිලි රටාවට ගැලපෙන පරිදි කරුණු කියන බැවින් සාමාන්‍ය ගැඹුරු ධර්මය නොදන්නවුන්ට ද මේවායේ හරි වැරදි තීරණය කරගත නොහැක.  උදාහරණයක් ලෙස මිනිසුන්ට චිත්තපීඩා උපදිනුයේ දරුවා, බිරිඳ, ස්වාමිපුරුෂයා, ගේ දොර, ඉඩකඩම් ආදී මේ සිතට නැගෙන සටහන් ආකාර වලිනි.  ඉදින් යමෙක් ඒ සටහන් ආකාර මනසින් ඉවත් කර ගැනීමට ක්‍රමයක් කියයි නම් එය නිවරදි ධර්මය යයි බොහෝ අය සිතන්නාහ.  මේ සඳහා ඒ දේශකයන් මනසට ඒ නිමිති ගෙන ආ නාම රූප නිරුද්ධ වී ඇත යැයා සෑම විටම සිතන ලෙස උපදෙස් දෙයි.  ඉදින් මනුෂ්‍යයෝ ද එසේ සෑම විටම මේ නිමිති සැබවින් නැති දේ නේදැයි කියා සිතන විට සමාධියක් සමග එම තීරණයෙහි එල්බ ගනී.

උපමාවක් ලෙස ‘ ගෝනිබිල්ලෙක් එනවා’ යැයි කී විට හඬනඟා හඬන කුඩා දරුවෙකුට ‘ ගෝනිබිල්ලා එන්නේ නැත’ යැයි කී විට සිත මදක් සතුටුව හැඬීම නතර කරන්නා සේ සාමාන්‍ය මනුෂ්‍යයෝද ඒ තමාට පීඩා කරන  නිමිති සැබවින්ම නැති දේ යැයි කියා සිතා සිතේ සැනසීමක් උපදවාගන්නේය.  ඉදින් යම් අයෙක් ආනාපානසතිය වැනි සමාධි භාවනාවක් වඩා එසේ මෙනෙහි කළ විට තමන්ගේ තීරණයෙහි වඩාත් දැඩිව පිහිටන්නේය.නමුත් ඔවුන්ට නැගුණු සමාධිය නැතිව එදිනෙදා කටයුතු වල නිරත වන විට පෙර කී විදියට මෙනෙහි කළාට ලැබෙන පහසුවක් නැත.  මන්දයත් එය විපස්සනාවක් නොවන නිසාත් හුදු තමාට පීඩා කරන නිමිත්තෙහි නැති බව නම් ‘නාස්තිභාව ප්‍රඥප්තියක්’ අරමුණු කරන බව නිසාත්ය.

නමුදු නියම විපස්සනාවේදී විය යුත්තේ නාමරූප ධර්ම ලක්‍ෂණ වශයෙන්ම හැඳින ඒ ලක්‍ෂණවන්ත ධර්මයෝ අවිද්‍යාදී ප්‍රත්‍යයන්ගෙන්ම හටගන්නා සංඛත පටිච්චසමුප්පන්න ධර්ම බව නුවණින් ප්‍රත්‍යක්‍ෂ වශයෙන් දැකීමයි. ඒ ධර්මයන් ත්‍රිලක්‍ෂණයට නංවා මෙනෙහි කොට ඉන් අනතුරුව ඒ පටිච්චසමුප්පන්න ධර්මයන් අවිද්‍යාදී ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා බවත් ඒ අවිද්‍යාදී හේතු යලිදු නූපදනා පරිදි නැති කළහොත් මේ නාමරූප ධර්ම පරම්පරාව යලිදු කිසිදු කලක නූපදින ලෙස නිරුද්ධව යන බවත් නුවණින් දකිමින් ඒ නාම රූප ධර්ම ප්‍රත්‍යයන්ගේ වශයෙන් සමපනස් උදය වැය බැලීමයි. ඉන්පසු ප්‍රත්‍ය ධර්ම හැරපියා ඒ ලක්‍ෂණවන්ත නාමරූප ධර්මයන්ගේ හට ගැනීම බිඳීම ම අරමුණු කරමින් උදය වැය බලන විට ඒ ලක්‍ෂණවන්ත ධර්මයන් ඉපිද නිරුද්ධ වන ආකාරය විපස්සනා ඥානයට අරමුණු කරගැනීමයි.

මේ ආකාරයට ඒ ලක්‍ෂණවන්ත නාමරූප ධර්මයන්ගේ ඉපදීම බිඳීම ප්‍රත්‍යක්‍ෂ විපස්සනා ඥානයකින් අරමුණු කරන තැනැත්තාට ම එකී නාමරූප ධර්ම ඇති තැන්හි ඇතැයි කියා වැටහෙන කලක් පවතින්නේය කියා වැටහෙන මේ සත්ව පුද්ගල නිමිති සැබවින්ම නැති දේවල් බවට ප්‍රත්‍යක්‍ෂ්‍ය ඥානයක් ඇති වන්නේය.

ප්‍රත්‍යක්‍ෂ්‍ය උදයවැය ඥානයක් නිසා උපන් මේ සත්ව පුද්ගල නිමිති පිළිබඳ ප්‍රත්‍යක්‍ෂ්‍ය ඥානය ඇති තැනැත්තාටම එකී නිමිති වලින් එන පීඩාව දුරු වන්නේය.  මේ නිසා ශුද්ධ විපස්සනාව සිද්ධ කරනුයේ පරමාර්ථ ධර්මයන් අරභයා බවත් ශුද්ධ විපස්සනාව ඇරඹෙනුයේ උදයව්‍ය ඥානයේ සිට බවත් ධර්මයේ සඳහන්ය.

මෙලෙස ස්කන්ධයන්ගේ උදයවැය දකින තැනැත්තාටම පමණක් ඒකාන්තයෙන් ප්‍රත්‍ය ධර්ම නිරවශේෂව නිරුද්ධ කිරීමෙන් ස්කන්ධ පරම්පරාව නිරවශේෂව නිරුද්ධ කළ හැකි බවට අනුත්පාද  නිරෝධ සංඛ්‍යාත නිර්වාණය පිළිබඳව නිවරදි අනුමාන ඥානයක් ඇති වන්නේය.තවද මෙසේ ස්කන්ධයන්ගේ උදයවැය ප්‍රත්‍යක්‍ෂව දුටු තැනැත්තාටම ස්කන්ධයන්ගේ ක්‍ෂණික නිරෝධය දැනගත් තැනැත්තෙක් යැයි කියනු ලැබේ.  පෙර කී මේ දේශකයන්ට අනුව මේ ක්‍ෂණික නිරෝධයම නිර්වාණය වුවත් ශාස්තෘ ශාසනයෙහි ශුද්ධ විපස්සනාවෙහි ආරම්භය වනුයේ මේ පියවරයි.  මේ උදයවැය ඥානය යි.  ඉදිරි විපස්සනා ඥාන උපදවා ගැනීමට විපස්සනාව අරඹන ආර්ය උත්තමයෙකු ද විපස්සනාව ඇරඹිය යුත්තේ උදයවැය ඥානයේ සිටය.

මේ අයුරින් ස්කන්ධයන්ගේ හටගැනීම නිරුද්ධවීම ප්‍රත්‍යක්‍ෂව දුටු තැනැත්තෙකුගේම විපස්සනාව සමෘද්ධ වනවා මිස කාගෙන් හෝ ඇසූ පමණින් හෝ පොත්පත් වලින් කියවා දැනගත් පමණින් උපන් නාම රූපයෝ නිරුද්ධ වන්නේ යැයි මෙනෙහි කලාට සමෘද්ධ වන භාවනාවක් නැත.  ඒ තැනැත්තාට ගෝනිබිල්ලා නැති බව ඇසීමෙන් කුඩා ළදරුවාට දැණුනු ලෙසින් සහනයක් දැනෙනු ඇත.  මන්ද යත් තමාට පීඩා කරන සියල්ල නැති වීම ද එක්තරා පහසුවක් බැවිනි.  ඒ සියල්ලේ නැතිබව නම් ‘නාස්තිභාව ප්‍රඥප්තිය’ සිහි කිරීමද සැපයක් බැවිනි. ආකිඤ්චඤ්ඤයතන අරූප සමවත වඩන්නහුට විඤ්ඤාණඤ්චායතන සිතේ නැති බව සිහිකිරීම සැපයක් උපදින්නාක් මෙනි. එයද නාස්තිභාව ප්‍රඥප්තිය අරමුණු කිරීමෙනි.

මෙය එක්තරා විදියකට විභව තණ්හාවට, විභව දෘෂ්ටියට ආසන්න දෙයකි.  කාම වස්තු වලට තණ්හාවෙන් ඒවා සපයා ගත් තැනැත්තේ ඒ කාම වස්තු කරණ කොට ගෙන තමන්ට පීඩා උපදින විට ඒ කාමවස්තු වල නැති බවට කැමති වෙයි.  එය ඔහුට සැනසීමකි.  මෙය විභව තණ්හාවය.  මෙබන්දෝ කල් යන විට පින්කම් වලින් පලක් නැත, මල් පහන් පූජා කිරීමෙන් පලක් නැත, දන් දීමෙන් පලක් නැත, සිල් රැකීමෙන් පලක් නැත ආදී වශයෙන් දෘෂ්ටි වලට එළඹෙන්නේය.  කල්යත්ම හෙතෙමේ නොදැනීම උච්ඡේදවත දෘෂ්ටියට බැස ගන්නේය.

අවිද්‍යාව හා මිථ්‍යා දෘෂ්ටිය යනු ඉතා බරපතල කෙලෙස් දෙකකි.  මේ ක්ලේශයෝ අපව සසරට ඇද දමන්නාහ.  ඇතැම් විට මේ ක්ලේශයෝ ඕලාරිකව අප තුළින් ප්‍රකට නොවූවද උපක්ලේශ ලෙසින් වඤ්චනික ධර්ම ලෙසින් අපතුළ සියුම්ව ක්‍රියාත්මක වන්නාහ. එබැවින් සසර දුකින් මිදෙනු කැමැත්තෝ පෙළ අටුවා ටීකාගත ක්‍රමයෙන් අධ්‍යයනය කොට භාවනා කළයුතු වෙත්.  නැත්හොත් එම ග්‍රන්ථයන්ට අනුකූලව ධර්මය දේශනා කරන කල්‍යාණ මිත්‍රයන් ඇසුරින් උපදෙස් ලබාගෙන භාවනා කළ යුතුය.  එසේ නොවුනහොත් දෙනගේ බුරුල තබා අඟින් වෙර යොදා කිරි දොවන්නාක් මෙන් භාවනාව නිරර්ථක වනු ඇත.  එබැවින් සුධීහු පෙළ අටුවාටීකාගත ක්‍රමයෙන් සමථ විපස්සනා වඩා සියළු දුකින් එතෙරව ලබන අති උතුම් නිවනින් නිවී සැනසෙත්වායි පතම්හ.

(මජ්ඣිම නිකාය I – චූළවේදල්ල සූත්‍රය ඇසුරෙනි – බු.ජ.මු. 702)

 

— මහා විහාරය —