භදන්තාචරිය බුද්ධ‍ඝෝෂ හිමියන් හෙළ අටුවා මාගධී භාෂාවට පරිවර්තනය කළ බවත්, එහි දී භාවිතා කරන ලද මූලාශ්‍ර ග්‍රන්ථ පිළිබඳවත් පසුගිය ලිපියෙන් දක්වන ලදී. ඒ අනුව උන්වහන්සේ හෙළ අටුවාව වෙනස් නොකළ අතර සියලු මූලාශ්‍ර ග්‍රන්ථ පරිශීලනය කරමින් පෙළ දහම නොම ඉක්මවමින් පසුකාලීන භික්ෂූන්ගේ පහසුව පිණිස එක් අර්ථකථාවක් ලෙස රචනා කරන ලදී. එසේ හෙළ අටුවා ග්‍රන්ථ සියල්ල සමෝධානය කරමින් එක් අටුවාවක් සම්පාදනය කිරීමේ දී බුද්ධඝෝෂාචාර්යපාදයෝ එවකට පැවති හෙළ අටුවාවේ පැවති ප්‍රමාද ලේඛන දෝෂ නිවැරදි කළහ. අවශ්‍ය අවස්ථාවලදී එවකට පැවති ථෙරවාද, ඉතිහාස කථා ප්‍රවෘත්ති ආදිය එක් කළහ. එසේ සිදු කිරීමෙන් අටුවාව වෙනස් කිරීමක් සිදු නොවූ අතර ඒ සංස්කරණයන් පිළිබඳ වැඩි දුර තොරතුරු මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.

බුදුගොස් ඇදුරුපාණෝ සමන්තපාසාදිකා විනයාර්ථකථාවේ නිදාන ගාථාවන්හි අර්ථකථාව පිළිබඳ මෙසේ සඳහන් කරති.

බුද්ධෙන ධම්මො විනයො ච වුත්තො – යො තස්ස පුත්තෙහි තථෙව ඤාතො
සො යෙහි තෙසං මතිමච්චජන්තා – යස්මා පුරෙ අට්ඨකථා අකංසු
තස්‌මා හි යං අට්‌ඨකථාසු වුත්‌තං – තං වජ්‌ජයිත්‌වාන පමාදලෙඛං
සබ්‌බම්‌පි සික්‌ඛාසු සගාරවානං – යස්‌මා පමාණං ඉධ පණ්‌ඩිතානං.[1]

එනම් ‘බුදුරජාණන් වහන්සේ විසින් යම් ආකාරයකින් යම් ධර්මයක් ද විනයක් ද දේශනා කරන ලද්දේ ද, ඒ ධර්මවිනය ඒ බුදුරජාණන් වහන්සේගේම පුත්‍ර වූ මහාකාශ්‍යප ආදී තෙරුන් වහන්සේලා විසින් ඒ ආකාරයෙන් ම දැනගත්තේ ද, ඒ බුද්ධපුත්‍රයන් වහන්සේලාගේ අදහස අත නොහැර සීහළ අර්ථකථාචාර්යයන් වහන්සේලා පෙර අර්ථකථා කළාහුය. යම් හෙයකින් ඒ බුද්ධපුත්‍රයන් වහන්සේලාගේ අදහස අතනොහැර පෙර අර්ථකථා කරන ලද්දාහු ද, එහෙයින් ඒ අර්ථකථාවන්හි යමක් කියන ලද්දේ ද ඒ සියල්ල ප්‍රමාද ලේඛන හැරපියා මේ සසුනෙහි ශික්ෂාවන්හි ගෞරව සහිත නුවණැත්තන්ට ප්‍රමාණවත්මය’ යනුවෙනි.

බුදුරජාණන් වහන්සේගේ ධර්ම විනය මහාකාශ්‍යපාදී සමීපචාරී මහරහතන් වහන්සේලා විසින් ඒ ආකාරයෙන්ම දැනගෙන අර්ථකථා සම්පාදනය කළ ආකාරය පළමු ලිපියෙන් පැහැදිලි කරන ලදී. එබැවින් බුද්ධවචනයෙහි අර්ථ වර්ණනා කරනු ලබන අර්ථකථාව බුදුසසුනෙහි හික්මෙන නුවණැතියන් විසින් ප්‍රමාණ වශයෙන් ගත යුතු වේ. එහි අතහැරිය යුතු දෙයක් නම් නැත්තේමය. එහෙත් මුඛ පරම්පරා වශයෙන් පවත්වාගෙන පැමිණි මෙම අර්ථකථාව පොත් වල ලිවීමේ දී අන්තැනක ලිවිය යුතු යමක් වෙනත් තැනක ලිවීම් වශයෙන් ප්‍රමාද ලේඛන දෝෂ ඇතිවිය හැකි වේ. වර්තමානයේ වැනි දියුණු තාක්ෂණය නොමැති අතීතයේ පුස්කොල පොත් ඇසුරෙන් කරන ලද ලේඛන කලාවේ එබඳු දෝෂ නැති වන්නේ කෙසේද? එහෙත් ත්‍රිපිටකයේ පරප්‍රාප්ත ඤාණයකින් හෙබි උත්තමයන් වහන්සේ නමකට එකී ප්‍රමාද දෝෂ හඳුනාගත හැකි වේ. එහෙයින් පාළි අර්ථකථා සම්පාදනය කිරීමේ දී බුද්ධඝෝෂාචාර්යයන් වහන්සේ ඒ සත් මෙහෙවර ඉටු කළහ. එසේ මහා අර්ථකථා ආදියේ තිබූ ප්‍රමාද දෝෂ නිවැරදි කළ සියලු තැන් උන්වහන්සේ අර්ථකථාවෙහි සඳහන් කිරීමටද නිහතමානී වූහ. උදාහරණයක් ලෙස සමන්තපාසාදිකා විනයාර්ථකථාවේ අදින්නාදාන පාරාජිකවර්ණනාවේ ‘අට්‌ඨකථාසු පන කත්‌ථචි පාරාජිකන්‌තිපි ලිඛිතං, තං පමාදලිඛිතං.’ යැයි සඳහන් වීම දැක්විය හැකි වේ [2]. එනම් ඇතැම් අර්ථකථාවක මෙම ස්ථානය පිළිබඳව පාරාජික ඇවතක් වන බව දක්වා ඇති බවයි. බුදුගොස් ඇදුරුපාණෝ සියලු විනයපිටකයේ විනිශ්චයන් සලකා බලා එහිලා පාරාජික ඇවතක් යනුවෙන් ඇතැම් තැනක වන සඳහන වැරදි බව පවසති.

ඇතමෙක් පවසන පරිදි බුද්ධඝෝෂ ආචාර්යයන් වහන්සේ තම හිතුමතේට අර්ථකථා වෙනස් කළේ නම් මෙවැනි අවස්ථාවකදී තමන් වහන්සේ විසින් කරන ලද නිවැරදි කිරීම සඟවා තැබිය හැකි වේ. වර්තමානයේ මෙවැනි අවස්ථාවක බුද්ධඝෝෂ හිමියන් නිවැරදි කිරීමක් කළ බව හෙළි වන්නේ උන්වහන්සේ විසින්ම කරන ලද සඳහන් කිරීම නිසාවෙනි. අර්ථ වර්ණනාව විකෘති කිරීමක් කිරීමට අවශ්‍ය කිසිවෙක් එසේ තමන් විසින් කළ කටයුත්ත හෙළි නොකරනු ඇත. එබැවින් අර්ථකථාවන්හි ප්‍රමාද ලේඛන දෝෂ ඉවත් කළ බවට බුදුගොස් ඇදුරුපාණන්ගේ වචනය තුළින් හෙළ වන්නේ උන්වහන්සේ සිය බුද්ධි මහිමයෙන් කරන ලද සත් ක්‍රියාවයි. එකී සත්ක්‍රියාව වැරදි යැයි යමෙක් පවසන්නේ නම් හෙතෙම බුද්ධඝෝෂ ඇදුරුතුමන්ට වඩා ප්‍රාඥයෙක් විය යුතු වේ. එහෙත් සමස්ථ ත්‍රිපිටකය පෙළ අර්ථකථා සමග කටපාඩමින් දරාගෙන ඒ සමස්ථ ත්‍රිපිටකයටම කිසිදු තැනක අර්ථ ආලෝලනය වීමක් නොමැති වන සේ අටුවා සම්පාදනය කිරීමට තරම් ප්‍රඥාවන්ත වූ බුද්ධඝෝෂ හිමියන්ට වඩා තුන්සූත්‍රය තරම්වත් කටපාඩම් නැතිව වියත් යැයි කියාගන්නා, ධර්මධර යැයි කියාගන්නා අයෙක් කෙසේ සමත් වන්නේද?

මෙහි දී පෙර පැවති මහාඅට්ඨකථා ආදියෙහි ද වැරදි පැවති බව හෙළිවන්නේ යැයි ඇතමෙක් පූර්වාචාර්යයන් වහන්සේලාට ද චෝදනා කරති. එහෙත් එහි ප්‍රමාද දෝෂ යන්නෙන් අදහස් වන්නේ පසුකාලීනව එකිනෙක පොත් පිටපත් කිරීමේ දී සිදු වූ දෝෂ වේ. බැමිණිතියා සාය ආදී ව්‍යසන හමුවේ දුකසේ රැකගත් අර්ථ විනිශ්චයන් පොත් වල ලියන ලද අතර ඒ එකිනෙක පොත් වලින් පිටපත් කිරීමේ දී ප්‍රමාද දෝෂයකින් අන්තැනක ලිවිය යුතු දෙයක් වෙනත් තැනක ලිවීම විය හැකි  දෙයකි. එහෙත් බුදුගොස් ඇදුරුපාණෝ එවකට පැවති සියලු දෝෂ නිවැරදි කරමින් පාළි අර්ථකථා සම්පාදනය කළහ. පසුකාලීනව ඒ අර්ථකථා ග්‍රන්ථ පුස්කොලපොත් වලින් පිටපත් කිරීමේ දී සිදු වූ පිටපත් කිරීමේ දෝෂයක් වර්තමාන අටුවා අතර තිබිය හැකි වේ. එහෙත් එහි වරදක් බුද්ධඝෝෂ හිමියන් ඇතුළු අටුවාචාර්යයන් වහන්සේලාට පැවරිය නොහැකි වේ. එබඳු ග්‍රන්ථ අතර ඇති වෙනස්කම් ගවේශණය කළ පොල්වත්තේ බුද්ධදත්ත හිමියෝ සිය ‘අටුවා පරීක්ෂණය’ ග්‍රන්ථයේ 03 – 04 පිටු වල සඳහන් කරන්නේ එබඳු නොගැලපීම් හෙතුවෙන් අටුවාව ප්‍රකීර්ණක දේශනය ලෙස පිළිගත නොහැකි බවයි. එහෙත් පාළි අර්ථකථා සම්පාදනයේ දී බුද්ධඝෝෂ ආචාර්යයන් වහන්සේ ප්‍රමාද ලේඛන දෝෂ ඉවත් කළ බව පවසන බැවින් මෙකී දෝෂ ඉන් පසුව පුස්කොල පොත් පිටපත් කිරීමේ දී සිදු වූ දෝෂ බව තෝරාබේරා ගැනීමට බුද්ධදත්ත හිමියෝ අසමත් වූහ. එබඳු ග්‍රන්ථ පරිශීලනය කරන ත්‍රිපිටකයෙහි අල්පශ්‍රැත පුද්ගලයන් නොමග ගොස් තමන්ගේද අන් අයගේ ද නිවන් මග දොරටු වසා ගනිති. එබැවින් ‘අටුවා පරීක්ෂණය’ වැනි ග්‍රන්ථ පරිශීලනයට තබා අන් අයකුට පෙනෙන්නටවත් නොතැබීම තමාටද සසරේ සත්පුරුෂ ඇසුර පිණිස හේතු වන බව පැවසිය යුතු වේ.

තවදුරටත් බුද්ධඝෝෂ ඇදුරුපාණෝ සමන්තපාසාදිකා විනයාර්ථකථාවේ සඳහන් කරන පරිදි ලක්දිව තිබූ සීහළ අර්ථකථාවන්හි භාෂාව පමණක්ම හැරපියා සිය අර්ථකථා සම්පාදනය කිරීමේ දී ඇතැම් තැනක තිබූ අනවශ්‍ය දීර්ඝ විස්තර කෙටියෙන් දැක්වූ බව

“තතො ච භාසන්‌තරමෙව හිත්‌වා – විත්‌ථාරමග්‌ගඤ්‌ච සමාසයිත්‌වා
විනිච්‌ඡයං සබ්‌බමසෙසයිත්‌වා – තන්‌තික්‌කමං කිඤ්‌චි අවොක්‌කමිත්‌වා”

යනුවෙන් පවසති. එහි සරල අදහස වන්නේ ‘ඒ අර්ථකථාවන්ගෙන් සීහළ භාෂාව පමණක්ම ඉවත්කොට, ඒ පුරාණ අටුවාවන්හි ඇතැම් තැනක අල්පමාත්‍රවූ දෙයක් පැවසීමට යළි යළිත් විස්තර වශයෙන් දක්වන ලද යමක් වේ ද එබඳු දීර්ඝ විස්තර කෙටි කරමින්, එසේ කෙටියෙන් පැවසීමේ දී ද කිසිදු විනිශ්චයක් ඉතිරි නොකොට සියල්ලම ඇතුළත් කරමින්, පෙළෙහි එන අනුපිළිවෙල නොවරදවා’ මෙම අර්ථ වර්ණනාව කරනලද බවයි.

මෙහි සඳහන් වන දීර්ඝ විස්තර කෙටියෙන් සඳහන් කිරීම යන්න වරදවා ගන්නා ඇතැමෙක් එයින් පුරාණ අර්ථකථාවට හානියක් වූ බව පවසමින් බුදුගොස් ඇදුරුතුමන් හට චෝදනා කරති. එහෙත් පුරාණ අර්ථකථාවට හානියක් වන්නේ එහි එන යම් විනිශ්චයක් අතහැර ඇත්නම් පමණි. බුදුගොස් ඇදුරුපාණෝ මෙම ගාථාවෙහිම ‘විනිච්ඡයං සබ්බමසේසයිත්වා’ යැයි කිසිදු විනිශ්චයක් අත නොහැර ඇති බව පවසති. එසේ නම් විස්තාර මාර්ගය සමාස කිරීමෙන් කරන ලද්දේ කුමක්ද? පුරාණ අර්ථකථාවෙහි ඇතැම් තැනක කිසියම් සුළු දෙයක් පිළිබඳ විස්තර කිරීමට එකී අර්ථකථාවෙහිම අන් තැනක සඳහන් කරන ලද විස්තරයක් යළිත් ගෙනැවිත් දක්වමින් විස්තාර ලෙස දක්වා තිබූ බව මින් දැක්වේ. බුද්ධඝෝෂාචාර්යයන් වහන්සේ එබඳු යළි යළිත් පැවසෙන විස්තර කථනය ඉවත් කරමින් ඒ ඒ තැන අත්‍යවශයෙන්ම සඳහන් කළයුතු අර්ථ විනිශ්චය පමණක් දැක්වූහ. එසේ කරන ලද සංක්ෂිප්ත කිරීම් පිළිබඳ ලියා තැබීමටද උන්වහන්සේ කටයුතු කළ බැවින් එය පහසුවෙන් හඳුනාගත හැකි වේ. එසේ සංක්ෂිප්ත නොකළේ නම් එක් අර්ථකථාවක් විශාල ග්‍රන්ථ කිහිපයක් තරමට විශාල වනු ඇත. මෙයට උදාහරණ අර්ථකථාව තුළම දක්නට ලැබේ.

සමන්තපාසාදිකා විනයාර්ථකථාවේ අදින්නාදාන පාරාජික වර්ණනාවේ දී බුදුගොස් ඇදුරුපාණෝ සිය සංක්ෂේප කිරීම මෙසේ දක්වති.

“තස්‌සත්‌ථො ච අනුපඤ්‌ඤත්‌තිසම්‌බන්‌ධො ච පඨමපාරාජිකවණ්‌ණනායං වුත්‌තනයෙනෙව වෙදිතබ්‌බො. යථා ච ඉධ, එවං ඉතො පරෙසු සබ්‌බසික්‌ඛාපදෙසු. යං යං පුබ්‌බෙ වුත්‌තං, තං තං සබ්‌බං වජ්‌ජෙත්‌වා උපරූපරි අපුබ්‌බමෙව වණ්‌ණයිස්‌සාම. යදි හි යං යං වුත්‌තනයං, තං තං පුනපි වණ්‌ණයිස්‌සාම, කදා වණ්‌ණනාය අන්‌තං ගමිස්‌සාම! තස්‌මා යං යං පුබ්‌බෙ වුත්‌තං, තං තං සබ්‌බං සාධුකං උපසල්‌ලක්‌ඛෙත්‌වා තත්‌ථ තත්‌ථ අත්‌ථො ච යොජනා ච වෙදිතබ්‌බා. අපුබ්‌බං පන යංකිඤ්‌චි අනුත්‌තානත්‌ථං, තං සබ්‌බං මයමෙව වණ්‌ණයිස්‌සාම.[3]

එනම්, ‘එහි අර්ථය ද අනුප්‍රඥප්ති සම්බන්ධයද පළමු පාරාජික වර්ණනාවේ කියූ පරිද්දෙන් දත යුතු. මෙතැන යම් සේ ද මින් මත්තෙහි සියලු සිකපදයන්හි ද එසේමය. පෙර කියන ලද යම් යම් දෙයක් යළිදු වර්ණනා කරන්නෙමු නම්, ඒ වර්ණනාවේ කෙළවරකට කවදා නම් යන්නෙමු ද? එබැවින් යම් යම් දෙයක් පෙර කියන ලද්දේ ද ඒ ඒ සියල්ල මැනවින් සලකා බලා ඒ ඒ තැන අර්ථයද, ඒ අර්ථයේ යෙදීම ද දතයුතු. පෙර නොකියන ලද යම් කිසි අප්‍රකට අරුත් ඇති දෙයක් වේ නම්, ඒ සියල්ල අපිම වර්ණනා කරන්නෙමු’ යනුවෙනි. මෙසේ එකම වර්ණනය නැවත නැවත සිදු කිරීමෙන් වැළකී තම අර්ථකථාව ලියන බව දීඝනිකායාර්ථකථාවේ දී

“හිත්‌වා පුනප්‌පුනාගතමත්‌ථං, අත්‌ථං පකාසයිස්‌සාමි;
සුජනස්‌ස ච තුට්‌ඨත්‌ථං, චිරට්‌ඨිතත්‌ථඤ්‌ච ධම්‌මස්‌ස.”

යනුවෙන් පැවසේ. එබැවින් අර්ථ කෙටිකිරීම යන්නෙන් සිදු කරන ලද්දේ විනිශ්චයන් අතහැර යාමක් නොව යළි යළිත් එකම දේ පැවසීමෙන් වැළකී එක් තැනක කරන ලද සඳහන අනෙක් තැන් වලටද සම්බන්ධ කිරීමයි.

බුදුගොස් හිමියන් විසින් පළමුවෙන්ම රචනා කරන ලද විශුද්ධිමාර්ගය සියලු ත්‍රිපිටකයට අර්ථකථාවක් බඳු වේ. එබැවින් බොහෝ සූත්‍ර අර්ථකථාවන්හි විශුද්ධිමාර්ගය බැලීමට යොමු කරන බව දැකිය හැකි වේ. එසේම සූත්‍ර අර්ථකථා අතර පළමුවෙන්ම රචිත යැයි සැලකිය හැකි සුමඞ්ගලවිලාසිනී දීඝනිකායාර්ථකථාව අනුව අර්ථ ගතයුතු බව සෙසු බොහෝ අටුවාවන්හි සඳහන් වේ. එබැවින් බුද්ධඝෝෂ හිමියන්ගේ අර්ථ කෙටි කිරීමෙන් කිසිදු ධර්ම විනය විනිශ්චයකට හානි වී නොමැති බව පැවසිය යුතු වේ. අර්ථකථාවන්හි අදාළ විනිශ්චයන් පෙර දක්වන ලද්දේ නම් ඒ බව සඳහන්ව ඇති බැවින් නිවැරදි අර්ථය ග්‍රහණය කරගැනීමට බාධාවක් ද සිදු නොවේ. එසේ අර්ථය ප්‍රකට අවස්ථාවන්හි ‘පුබ්බෙ වුත්තනයමෙව, උත්තානත්ථමෙව’ වැනි පාඨයකින් ද ඒ බව දැක්වේ.

තවද ත්‍රිපිටකයේ එකිනෙක කොටස් වලට අදාළ අර්ථ වර්ණණාවන් ඒ ඒ අදාළ ස්ථාන වලට පෙළ දහම අනුකූලව ගොනුකිරීමටද බුද්ධඝෝෂාචාර්යපාදයෝ උත්සුක වී ඇත. ‘තන්තික්කමං කිඤ්චි අවොක්කමිත්වා’යන්නෙන් ඒ බව පැවසේ. එසේ පෙළ දහමෙහි එන අනුපිළිවෙල අනුගමනය කළ බව සමන්තපාසාදිකා විනයාර්ථකථාවේ පඨම පාරාජික වර්ණනාවේ එන සඳහනකින් පැහැදිලි වේ.

“එත්‌ථ පන ඨත්‌වා සබ්‌බඅට්‌ඨකථාසු පබ්‌බජ්‌ජා ච උපසම්‌පදා ච කථිතා. මයං පන යථාඨිතපාළිවසෙනෙව ඛන්‌ධකෙ කථයිස්‌සාම. න කෙවලඤ්‌චෙතං, අඤ්‌ඤම්‌පි යං ඛන්‌ධකෙ වා පරිවාරෙ වා කථෙතබ්‌බං අට්‌ඨකථාචරියෙහි විභඞ්‌ගෙකථිතං, තං සබ්‌බං තත්‌ථ තත්‌ථෙව කථයිස්‌සාම. එවඤ්‌හි කථියමානෙ පාළික්‌කමෙනෙව වණ්‌ණනා කතා හොති. තතො තෙන තෙන විනිච්‌ඡයෙන අත්‌ථිකානං පාළික්‌කමෙනෙව ඉමං විනයසංවණ්‌ණනං ඔලොකෙත්‌වා සො සො විනිච්‌ඡයො සුවිඤ්‌ඤෙය්‍යො භවිස්‌සතීති.[4]

‘මෙම ස්ථානයේ සිට සියලු අර්ථකථාවන්හි පැවිද්ද ද උපසම්පදාව ද කියන ලදී. අපි වනාහි පෙළෙහි තැබුයේ යම් ආකාරයකින් ද එපරිද්දෙන්ම ඛන්ධකයෙහි කියන්නෙමු. හුදෙක් මෙය පමණක් නොව අන්‍ය වූ ද යමක් ඛන්ධකයෙහි හෝ පරිවාරයෙහි හෝ කිය යුතු දෙයක් අටුවාචාර්යයන් වහන්සේලා විසින් විභඞ්ගයෙහි කියන ලද්දේ ද, ඒ සියල්ල ඒ ඒ තැනම වර්ණනා කරන්නෙමු. එසේ කියනු ලබන කල්හි පෙළ අනුපිළිවෙලටම වර්ණනාව කරන ලද්දේ වෙයි. එහෙයින් ඒ ඒ විනිශ්චයෙන් අර්ථ ඇත්තවුන් විසින් පෙළ අනුපිළිවෙලින් ම මෙම වර්ණනය බලා ඒ ඒ විනිශ්චය මැනවින් දැනගන්නේ වන්නේය’ යනු එහි අර්ථයයි. මේ අනුව පුරාණ අර්ථකථාවේ පඨමපාරාජික වර්ණනාවේ දී පැවිදි උපසම්පදා පිළිබඳ විනිශ්චයන් ද සඳහන් කර තිබූ අතර බුදුගොස් ඇදුරුපාණෝ එම විනිශ්චය එහි ඇතුළත් නොකොට මහාවග්ගපාළි මහාඛන්ධකයේ අර්ථකථාවෙහි දැක්වූහ. එවිට පෙළෙහි එන පිළිවෙලටම සියලු අර්ථ වර්ණනාවන් ද පෙළගැසෙන බැවිනි.

මෙසේ පෙළෙහි එන පරිද්දෙන් අර්ථකථාව පෙළගැසීම තවදුරටත් ප්‍රකට වන අවස්ථාවක් වන්නේ සූත්‍ර පිටකයේ දැක්විය යුතු අර්ථකථනයන් විනය පිටකයේ නොම දක්වා ඒවා සූත්‍ර පිටක අටුවාවාන්හිද, විනයට අදාළ විනිශ්චයන් සූත්‍ර අටුවාවන්හි නොම දක්වා විනය අටුවාවන්හිද වශයෙන් අදාළ තැනදී දැක්වීමයි.  සමන්තපාසාදිකා විනයඅර්ථකථා නිදාන ගාථාවන්හි ‘සුත්‌තන්‌තිකානං වචනානමත්‌ථං – සුත්‌තානුරූපං පරිදීපයන්‌තී’ යනුවෙන් ඒබව සඳහන් වේ. එසේම සමන්තපාසාදිකාවේ ඇතැම් තැනක සූත්‍ර පිටක අර්ථකථා නාමය දක්වා එය පරිශීලනය කිරීමට උපදෙස් දේ. එසේම සූත්‍ර අර්ථකථාවන් අතර ද සමන්තපාසාදිකාව බැලීමට යොමු කරන අවස්ථා හමු වේ.

මේ අනුව බුද්ධඝෝෂාචාර්යපාදයන් ඇතුළු අටුවාචාරීන් වහන්සේලා විසින් එවකට පැවති හෙළ අර්ථකථා විකෘති කළ බවට ඇතමුන් නගන චෝදනා පදනම් විරහිත බවට පත් වේ. උන්වහන්සේලා එකී හෙළ අටුවා ග්‍රන්ථ කිහිපයම පරිශීලනය කරමින් පසුකාලීන ජනයාගේ පහසුව පිණිස සියලු විනිශ්චයන් එක්රැස් කොට එක් සංග්‍රහයක් කරන ලදී. එයින් ධර්ම විනය විනිශ්චයන්ට හානියක් සිදු වී නොමැති අතර පරිශීලනය පහසු වී ඇත. ඇතැම් ධර්ම විනය විනිශ්චයක් දැක්වීමේ දී අටුවාවෙහි එන විස්තරය තේරුම් ගත නොහැකි වූ පසුකාලීන ධර්මධර යැයි පවසන ඇතැම් ගිහි පැවිදි පිරිස් අර්ථකථාවේ එන විග්‍රහය සාවද්‍ය යැයි පවසත්. එහි දී ඔවුන්ගේ අවිය බවට පත්වන්නේ ඉහත බුද්ධඝෝෂාචාර්යයන් වහන්සේගේම ගාථාවන් වේ. එහෙත් අර්ථකථා සංග්‍රහ කිරීමේ දී යම් සාවද්‍ය වර්ණනාවක් දැන දැනම සිදු කරන ලද්දේ නම් ඒ බව තමාම සඳහන් කිරීම සිදුවිය නොහැකි දෙයකි. එබැවින් බුද්ධඝෝෂ ඇදුරුතුමන්ගේ වචනය එලෙසම ගෙන උන්වහන්සේ අර්ථකථාව සංස්කරණය කිරීමේ දී කළ කාර්යභාරය සැලකිය යුතු වේ. යම් අර්ථවර්ණනාවක් පැහැදිලි නොවන විටක ඒ පිළිබඳ අවබෝධය ඇති ගුරුන් වෙතින් අසා දැනගැනීම අතීතයේ පටන් පැවති උසස් බෞද්ධ සම්ප්‍රදාය වේ. එසේ නොමැතිව අත්තනෝමති වශයෙන් ගත් අදහස් ධර්මයට බහාලා ධර්මය ලෙස දැක්වීම තුළින් තථාගත ශ්‍රී සද්ධර්මය වහා අතුරුදහන් වන්නේය. අටුවාචාර්යන් වහන්සේලා පෙළ දහමට නොගැලපෙන අත්තනෝමති කිසිදු ලෙසකින් ඉදිරිපත් නොකළ අතර යම් අත්තනොමතියක් දැක්වූයේ නම් ඒ බව පැහැදිලිවම සඳහන් කළහ.

මේ අනුව ධර්ම විනය පැහැදිලි කරගැනීමේ දී වර්තමානයේ ඇති අර්ථකථා ඒ සඳහා තවදුරටත් ප්‍රාමාණික වශයෙන් ගතයුතු වේ. එකී අර්ථකථා රචනයේ දී බුදුගොස් ඇදුරුපාණෝ මහාවිහාරීය භික්ෂූන් වෙත පැවති අර්ථ විනිශ්චයන් ම ඇසුරු කළහ. එවකට අභයගිරිය වෙන්ව පැවති අතර සුපිරිසිදු ථෙරවාදී බුදුදහම පැවති මහාවිහාරයේ ධර්මධර, විනයධර රහතන් වහන්සේලා පවා විසූ බව හෙළි වේ. ඒ අනුව බුදුගොස් ඇදුරුපාණෝ සිය අර්ථකථා රචනයට ඇසුරු කළ සම්ප්‍රදාය පිළිබඳ මීළඟ ලිපියෙන් පැවසීමට අදහස් කරමු. ඒ අනුව බුදුගොස් ඇදුරුපාණන්ගේ අර්ථකථනය හුදෙක් පෘථග්ජන අර්ථකථනයක් නොවන බව පැහැදිලි වනු ඇත.

චිරං තිට්ඨතු සද්ධම්මං

මහව ඤාණාලෝක හිමි

[1] සමන්තපාසාදිකා විනයාර්ථකථාව(සපා), හෙවාවිතාරණ මුද්‍රණ(හෙමු), 2පි

[2] සපා, හෙමු, 231පි12පේළිය

[3] සපා, හෙමු. 214පි

[4] සපා, හෙමු. 141පි

අටුවා විමර්ශනය සතරවන ලිපිය කියවන්න – අටුවා විමර්ශනය 06 – බුද්ධඝෝෂ හිමි අටුවා වෙනස් කළේ ද?

අටුවා විමර්ශනය සතරවන ලිපිය කියවන්න – අටුවා විමර්ශනය 04 – බුද්ධඝෝෂ හිමි අටුවා වෙනස් කළේ ද?