නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස!!!

තුන්ලෝකාග්‍ර වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවිද්‍යා අන්ධකාරය දුරු කොට සියලු මිත්‍යා දෘෂ්ටීන් බිඳ දමා නොයෙක් වර සහශ්‍රී ලෝකධාතුවම කම්පා කරමින් විශ්මිත වූ දේශනා ප්‍රාතිහාර්යයෙන් විවෘත කළ සත්‍ය මඟ, සද්ධර්මය නුවණැති දනන්හට හැම කල්හිම පිහිට පිණිස සැපය පිණිස ශාන්තිය පිණිස සියලු දුකින් අතමිදීම පිණිස පවතිත්.

“තථාගතයන් වහන්සේ විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කොට දහම් දෙසන සේක. අවබෝධ නොකොට දහම් නොදෙසන සේක. හේතු සහිත කොට දහම් ‍දෙසන සේක. හේතු රහිත කොට දහම් නොදෙසන සේක. ප්‍රත්‍යනීක ධර්මයන් නෙරලීම(ප්‍රතිපක්ශ ධර්මයන් නෙරපීම) සහිත කොට දහම් දෙසන සේක. නෙරලීම් රහිත කොට දහම් නොදෙසන සේක. එසේ හෙයින් තථාගත අවවාදය කළ යුතුය. (අ නි 1/498)

මෙසේ වදාරන කල්හි එය එසේම යි එය එසේමයි කියන්නාක් සේ සහශ්‍රී ලෝ ධාතුවම කම්පිත වූ බැව් පෙළෙහි සඳහන් වේ.

මුලක් නොපෙනෙන දීර්ඝ සංසාර ගමනේ අප වටකොට සිටින රාග, ද්වේෂ, මෝහාදී සකල ක්ලේශයෝ දුකම කරා අප ඇදගෙන යති. ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥාවන්ගෙන් බිඳ වැටෙමින් තාක්ෂණික දියුණුවකින් සංකීර්ණ වූ වත්මන් යාන්ත්‍රික මානව සමාජය තුළ ආදරය, මෙත් කුළුණු මැදහත් ගුණදම් පණ අදිමින් සිටින බවත් ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර, වාද විවාදාදී නපුරුකම් ඕජසින් තෙදවත් වන බවත් පැහැදිලිව පෙනෙන්නට ඇති දෙයකි. ස්වාර්ථයම පමණක් සොයා යන ලෝකය තුළ කුටුම්භයේ පටන් දේශදේශාන්තර දක්වා පවතින ව්‍යාකූල ආතතිගත මානසිකත්වය ඝෝෂාකාරීය, ප්‍රචණ්ඩය, නුරුස්නා ස්වභාවය දරයි. එනිසා සැමියා බිරිඳ සමඟ වාද විවාද කළහ කරයි. දරුවන් මව්පියන් සමඟත්, සහෝදර සහෝදරියන් සමඟත් වාද විවාද කළහ කරයි. සේවකයන් පාලකයන් සමඟත්, ශිෂ්‍යයන් ගුරුවරු සමඟත්, රටවැසියන් මැති ඇමතිවරුන් සමඟත්, රටවල් රටවල් සමඟත් නිතර වාද විවාද කළහ ඇති කර ගනියි.

බුදු පියාණන්ට සමීප වෙමු

“මහණෙනි, යම් දිශාවක මහණහු හටගත් කළහ විවාදයකට වැදුනාහු උනුන් මුවසැතින් පෙළන්නාහු වෙසෙත්ද මහණෙනි මට තෙල දිග මෙනෙහි කරන්නටද පහසු නොවේ. ඔවුන් වෙත යෑම ගැන කවර කථාද? ඒ ආයුෂ්මත්හු ඒකාන්තයෙන් කරුණු තුනක් හැරපියති. කරුණු තුනක් බහුල වශයෙන් කෙරෙති’යි මෙසේ නිෂ්ඨාවට යෙමි.

කවර කරුණු තුනක් හැරපියත් ද යත්: නෙක්ඛම්ම විතර්කය, අව්‍යාපාද විතර්කය, අවිහිංසා විතර්කය යන තුන්දහම් හැරපියත්‍.

කවර දහම් තුනක් බහුල කෙරෙත් ද යත්: කාමවිතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක යන තුන් දහම් බහුල වශයෙන් කරත්.

මහණෙනි, යම් දිනක මහණහු සමගි වූවාහු සතුටු වූවාහු විවාද නොකරන්නාහු කිරි හා දිය මෙන් වූවාහු උනුන් ප්‍රිය ඇසින් දකින්නාහු වෙසෙත්ද මහණෙනි මට තෙල දිග යන්නට ද පහසුය. මෙනෙහි කිරීම ගැන කවර කථාද? ඒ ආයුෂ්මත්හු ඒකාන්තයෙන් කරුණු තුනක් හැරපියති. කරුණු තුනක් බහුල වශයෙන් කෙරෙති’යි මෙසේ මෙහි නිෂ්ඨාවට යෙමි.

කවර කරුණු තුනක් හැරපියත් ද යත්, කාමවිතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්කයි. කවර කරුණු තුනක් බහුල කෙරෙත්ද යත්, නෙක්ඛම්ම විතර්ක, අව්‍යාපාද විතර්ක, අවිහිංසා විතර්කයි.

බුදුපියාණන් වහන්සේ අපට පෙන්වා දුන්නේ රාගය නැති කිරීමටයි, ද්වේෂය නැති කිරීමටයි. මෝහය සන්තානයෙන් නැත්තටම නැති කිරීමටයි. ඒ සඳහා සුපිලිපන් උතුමන්ට සුපටිපන්නෝ යැයි කියනුයේ එනිසාමය.

අප අප තුළ තරහ ද්වේෂ ක්‍රෝධ වෛර ඇති කර ගන්නේ නම් ඒවා පිටකර අවට ලෝකයා ද ප්‍රකෝප කරන්නේ නම් හෝ සිත් රිදවන්නේ නම් බුදුපියාණන් හට අපව මෙනෙහි කිරීමද පහසු නැත. (අපි බුදු පියාණන්ට දුර වූවෝ වෙමු) එවිට අප තව තවත් අසරණයන් වන්නෝ වෙමු. අඳුරට වැටෙන්නෝ වෙමු.

“මහණෙනි, එක් සංක්ලේශ ධර්මයක් පහකරමු. එසේ ඇති කල්හි තථාගතයන් වහන්සේ තොපට අනාගාමීභාවය පිණිස ඇප වන සේක. කවර එක් ධර්මයක් ද යත්, ද්වේෂය නම් වූ එකම සංක්ලේශ ධර්මය පහකරවු. (ඛු. නි. – දෝස සූත්‍රය – 319පි)

“මහණෙනි, ඇතුළත මලයෝ, ඇතුළත අමිත්‍රයෝ, ඇතුළත සතුරෝ, ඇතුළත වධකයෝ තිදෙනෙකි. තවර තිදෙනෙක් ද යත්, ලෝභය, ද්වේෂය, මෝහය යන තුන්දෙනය. (මහානිද්දේස ඛු.නි. 23පි)

මේ ජීවිතයේ මේ අකුසල මූල නිසා විඳි දුක් හා විඳින දුක යම් තරමකට අපි දනිමු. ගෙවා ගෙන ආ සසර අප‍ට නොපෙනුනද බුදු වදන් තුළින් අනේකවිධ දුක් දොම්නස් විඳි බව සිතා ගත හැක. ද්වේෂය මහාසාවද්‍ය හෙයින් මතු නිරයාදී කෲර දුක් විඳින්නටද මෙම ද්වේෂය දිගට පවත්වාගෙන ගියහොත් අපට සිදුවනු ඇත. අසතිමත්ව කාලක්‍රියා කිරීමටද සිදු වනු ඇත.

පටිඝ නිමිත්තත් අයෝනිසෝමනසිකාරයත් නිසා උපදින ද්වේෂය නිසා මිනිසා තම දිවිය අසුන්දර කරගෙන සිටියි. අවිහිංසාව දේශනා කරන බුදු දහම තුළ කියතකින් තම කුස ඉරද්දී පවා ද්වේෂ මාත්‍රයක් හෝ ඇති කර ගැනීමට අවකාශයක් නොලැබේ.

යමෙක් තමාට පහර දුන්නහුට කෝප කෙරේ නම් ඒ පහර දුන්නහුට වඩා ඔහුට නින්දා වේවා! (ඛු.නි. ධම්මපදය 121පි)

උපන් තරහවෙන් දැවෙන්නේ කවුද ?

නුවණ මද ලෝකයා තමන්ට අනෙකකු බැණ වැදුණ විට හෝ නිගා කළ විට හෝ චෝදනා කළ විට හෝ කුමන හෝ විරුද්ධ අවස්ථාවක ඉක්මනින් කුපිත වී ඔහුට හෝ ඇයට බැණ වදී. කුපිත වේ. ඇස‍ට ඇසකින් දතට දතකින් යැයි කියමින් පලිගැනීම් ගහබැණ ගැනීම් වෛර බැඳ ගැනීම් කරති. අන්ධබාල බව මෙයයි. මෙච්චර කාලයක් පවත්වාගෙන ආ හුරුව මෙයයි. ඒ තුළින් අපට ලැබුණේ මොනවාද? අනුන් පරාජය කිරීමෙන් හෝ රිදවීමෙන් හෝ තුවාල කිරීමෙන් ඝාතනය කිරීමෙන් බලාපොරොත්තු වන සුවය කුමක්ද? ඔබ ලබන ළාමක ජයග්‍රහණයේ මිහිරක් තිබේද? සිතා බැලිය යුත්තකි. අසුචි අහුරක් ගෙන පරහට ගසන්නා පළමුව ඒ අසුචියෙන් අපවිත්‍ර වෙයි. ගිනි අඟුරු අහුරක් ගෙන පරහට ගසන්නාගේ අතම පළමුව දැවෙන්නා සේ ද්වේෂයෙන් දුෂ්ඨ වූවාහු නිතර ද්වේෂ ගින්නෙන් දැවි දැවී දුකසේ වෙසෙයි.

සමහරු හරියට පරණ තුවාලයක් වගේ සිත් ඇති අයයි. සමහරු කිපෙන සුළු වෙයි. දැඩි ආයාස බහුලකොට ඇත්තේ වෙයි. මදකුදු කියනු ලැබුවේම ලැගෙයි. කිපෙයි. ප්‍රකෘතිය පියයි. තදව සිටී. කෝපයත් ද්වේෂයත් නොසතුටත් පලකරයි. මහණෙනි යම් පරිදි පැරණි වණයක් දඬුකඩෙකින් හෝ කැබලිත්තකින් හෝ ගටනා ලද කල්හි වෙසෙසින් ලේ සැරව වගුරුද එපරිද්දෙනි. (අ.නි. 3.1 3.5 231පි)

මේ ලොව විශිෂ්ට ප්‍රඥාවකින් වාසය කරන උතුමකුට යමෙක් පහර දුන්නොත් බැණ වැදුණොත් නින්දා කළොත් ඒ උතුමා කුමක් කර සිටීද?

බුදුරදුන්ට දෙව්දත් ගල පෙරලූ පසු, චිංචිමානවිකාව බොරුවට චෝදනා කළ පසු, මාගන්ධියා බැමිණිය බොරු නින්දා අපහාස කළ පසු බුදුපියාණන් කුමක් කළේද? ක්ෂාන්තිවාදී වූ පරම අහිංසක වූ බුදුපියාණන් කළේ ඉවසීම හා ඔවුන් වෙත මෛත්‍රිය උපේක්ෂාව පැතිරවීම සහ තමන් වහන්සේ පූර්වයේ කළ කර්ම විපාක බව දැන ගැනීම පමණකි.

සුචි දේ දැමුවත් අසුචි දේ දැමුවත් සම සේ ඉවසන ම‍හපොළොව මෙන් සියල්ල උපේක්ෂාවෙන් ඉවසන තාදී ගුණැති බුදුරදුන්ට පමණක් දෙවැනි වූ මහාප්‍රඥා සම්පන්න සැරියුත් මහාතෙරුන් වහන්සේට බමුණෙක් පසු පසින් පැමිණ පිටට පහර දුන් විට හැරීවත් බැලුවේ නැත. එතුමන් වහන්සේ පෙර සේම සංවර ගමනින් ගමන් කළ සේක. යක්ෂයෙක් හිසට ගසද්දී ඒ යක්ෂයා කෙරෙහි ද්වේෂ මාත්‍රයක් ඇති කර නොගත්තේය.

එසේ නම් පුංචි පුංචි දේට හෝ ලොකු දේවල්වලට හෝ අපට තරහා යනවා නම් ද්වේෂ සිත් උපදිනවානම් දැන ගත යුතු දේ නම් අපට නුවණ මඳ බවයි. මගේ මෝඩකම නිසයි මට තරහා යන්නේ. මගේ මෝඩකම නිසයි අනෙක් අයගේ ඇද පළුදු පේන්නේ. මම නුවණැති නම් මේ මුළු ලෝකෙම මට මොනවා කළත් මට ප්‍රශ්නයක් නැත. සමහරු අසාධාරණයට විරුද්ධව ප්‍රකෝප වෙති. සටන් වදිති. ඇත්තටම මුළු සංසාරයම අසාධාරණයි. ඒ නිසා උත්සාහ කළ යුත්තේ අසාධාරණයට එරෙහිව අරගල කිරීමට නොව අසාධාරණ ලෝකයෙන් අසාධාරණ සංසාර ප්‍රවෘත්තියෙන් සදහටම වෙන් වීමටය. අරගල කළ යුත්තේ මතු නූපදීමටය.

නිහතමානී වන්න.

සංසාරයේ අපි ඕනෑ තරම් ශිල්ප ශාස්ත්‍ර හදාරා තිබෙන්නට පිළිවනි. බුදුරජෙක් ලද සුන්දර ක්ෂණයෙහි අප මෛත්‍රිය, කරුණාව, උපේක්ෂාව, ඉවසීම ආදී ගුණ දහමින් අතිදක්ෂයන් බවට පත් විය යුතුය. ඒ නිසා මහපොළොව වගේ ඉවසන්න. අං දෙකම හැලිච්ච ගව රාජයෙක් වගේ අහිංසක වෙන්න. කාටවත් අනින්න පනින්න එපා. කරබාගෙන සිටින්න‍. චණ්ඩාල කුලේ කොලු පැටියෙක් වගේ අනතිමානී වෙන්න. කවුරු මොනවා කීවත් ගැහුවත් පන්නගත්තත් චණ්ඩාල කුලේ කොලු පැටියා බිම බලාගෙන යනවා. ඒ වගේ වෙන්න. එවිට අප ගමන් කරනුයේ ශ්‍රේෂ්ඨ උතුමන් ගිය මාවතේ මය. ශ්‍රේෂ්ඨ උතුමන් එවිට ඔබ ළඟින් හිඳ ඔබේ හිස අත ගානු ඇත. නමුත් ලෝකයා නම් කියයි නෝන්ජල් කෙනෙක් කියලා. කිසිම පෞරුෂ්‍යයක් නැහැ කියලා. ඒත් ඔවුන්ට අනුකම්පා කරන්න. කැමති තරම් මා පෙළන්න. ඒත් මා ඔබ වෙත පුදන මෛත්‍රියේ හා සාමයේ හිමිකරුවා බවට ඔබ පත් වන්න යැයි සිතින් ආශිර්වාද කරන්න.

“මහණෙනි, ඉදින් යම් මහණෙක් මාගේ සඟල සිවුරු කොණ අල්ලාගෙන මාගේ පියවරෙහි පියවර තබමින් පසුපසින් ලුහුබඳනේද හෙතෙම අධික ලෝභී වූයේ, පස්කම් සැපයෙහි තියුණු ඇලුම් ඇත්තේ, විපරීත සිත් ඇත්තේ, දූෂිත චිත්ත සංකල්පනා ඇත්තේ, මුළා සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥා නැත්තේ, එකඟ වූ සිත් නැත්තේ, විශේෂයෙන් තැති ගත් සිත් ඇත්තේ, පියවි ඉඳුරන් ඇත්තේ (ඉන්ද්‍රිය සංවර නැත්තේ) වේද එසේ ඇති කල්හි ඒ මහණ තෙම මට දුරෙහි වේ. මම ද ඔහුට දුරෙහි වෙමි. එයට හේතු කිම? මහණෙනි ඒ මහණ තෙම නව ලොව්තුරු දහම් නොදකී. ධර්මය නොදක්නේ මා නොදක්නේය.

මහණෙනි, යම් මහණෙක් තෙමේ යොදුන් සීයක් දුර වාසය කරන්නේ නමුදු හෙතෙමෙ අධික ලෝභී නොවූයේ, පංචකාමයෙහි තියුණු ඇලුම් නැත්තේද, සංයත(එකඟ) සිත් ඇත්තේද, මෛත්‍රී චිත්ත සංකල්පනා ඇත්තේද, සතිමත්ද, සම්‍යක් ප්‍රඥා ඇත්තේද, තැති ගත් සිත් නැත්තේද, සංවෘත ඉඳුරන් ඇත්තේද එසේ ඇති කල්හි ඒ මහණ තෙම මාගේ සමීපයෙහි වේ. මම ඔහු සමීපයේ වෙමි. (සංඝාටිකර්ණ සූත්‍රය ඛු.නි. ඉතිවුත්. පා. 443පි)

රාහුල හිමි සේ වන්න

පටු පාරවල්වල ගමන් කරන්න පුළුවන් එක වාහනයකටයි. විරුද්ධ පැත්තෙන් තවත් රථයක් මුණ ගැසුණ වෙලාවට ඔවුනොවුන් එකිනෙක මුණ ගැසුණාම කුමක්ද කරන්නේ. රථ දෙකෙන් එකක් අනිවාර්යයයෙන් පසුපසට ගෙන අනෙක් රථයට ඉඩ දිය යුතුයි. එසේ නොවුනොත් ඔවුන්ටත් ඔවුන් පසුපස සිටින අයගේ කාලයත් අපතේමය. සිත් ද දූෂිත වේ මය. එනිසා ජීවන ගමනේ යන අපට පටු මාර්ග හමුවන අවස්ථා විරල නැත. ඔබේ ජීවන රථය සෙමින් පදවන්න. තිරිංග (break) සහ පස්සට ගැනීමේ ගියරය (reverse gear) ගැන අවධානයෙන් සිටින්න. ඔබේ වාහනය කෙතරම් ලොකු වුනත්, සුඛෝපභෝගී වුවත්, වටිනා කමින් වැඩි වුවත්, අනෙකාගේ රථය බරකරත්තයක් වුවත් පසෙකට වන්න.

රාහුල තෙරුන් වහන්සේ බුදුරදුන්ගේ ගිහි කල පුතුය. අනෙක් හිමිවරු උන්වහන්සේ පරීක්ෂා කිරීමට අමදින ලද මිදුලේ නැවත කොළ විසුරුවා අපද්‍රව්‍ය භාජනය පෙරලුවා. මහාතෙරුන් වහන්සේ “කවුද මේ භාජනය පෙරලුවේ” කියා ඇසුවාම, “රාහුල නම් දැන් මෙතනින් ගියා” යැයි කීවම “හැබෑද නම ඔබ වහන්සේ ද හැඩි කළේ” යැයි ඇසුවාම, රාහුල තෙරුන් වහන්සේ කිසිවක් නොකියා කසල ඉවත් කර ඇදිලි බැඳ “මට සමාවන්න ස්වාමීනි” යැයි වැඳ වැටුණි. ස්වාමීන් වහන්සේලා කඳුලු පිරුණු දෙනෙතින් බලා සිටින්නට ඇත. අධිකරණ ගනිමින් වචන නාස්ති කිරීමෙන් කවර පලයක්ද? ඒසා නිහතමානී ගුණ ඇති සුවච වූ මෘදු වූ බුද්ධ පුත්‍රයන් වහන්සේලාට හැම කල්හිම මාගේ නමස්කාරය වේවා. ඒ උතුමන් හිසින් දරමි. දොහොත් මුදුන් තබා ඇදිලි බැඳ මතකයට නගා ගනිමි.

කරුණාකර සමාව දීම‍ට ඉගෙන ගන්න.

ඔබ මේ වන තෙක් ඔබට කුරිරුකම් කළ හෝ වරද කළ අයට සමාව දී නැත්නම් ඊළග භවයන්ට ද ඒවා ශේෂ වනවා ඇත. මුලු හදවතින්ම ඔවුන්ට සමාව දෙන්න. ඔබ ඔබට මෙතෙක් සමාව දී නැත්නම් ඔබ ඔබට ම කියන්න. කළ වැරදි නැවත කිසිදා නොකරමි. මම මටම මුලු හදවතින්ම සමාව දෙමි’යි කියා සමාව දෙන්න. සියලු ගිණුම් පියා තබන්න. මන්ද යත් කුමන භවයක ඉපදුණත් සංසාරෙ අපි කරගහලා ඇදගෙන යන පංචඋපාදානස්කන්ධය වනාහි පාඩුලබන අන්තිමේදී බුන්වත් වෙන ව්‍යාපාරයක්. එහි ඇලීම් ශේෂ ද ගැටීම් ශේෂ ද නොතබා ගැනීම මයි නිදහස. සැහැල්ලුව.

පාරමී පුරන බෝසතකු සේ වන්න

බුදු බවට පත් වී ලොව‍ට ශාන්තිය සැලසූ අප මුනිදානන් විසි අසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් පුරා ආ බෝධිසත්ත්ව චරියා තුළ අනේක විධ දුක් දොම්නස් ඇතිකළ සැමට එතන එතනම සමාව දුන්නා පමණක් නොව වදයට පැමිණවීමට උත්සාහ කළ අයට නැවත නැවත උපකාර කළ සේක.

මහා කපි ජාතකයෙහිදී බෝසත් වානර තෙමේ, “අනේ මිතුර මම මාගේ ජීවිත පරිත්‍යාගයෙන් ඔබගේ ජීවිතය බේරා දුන්නෙමි. එසේ උපකාර කළ ඔබ මාවම මරා දැමීමට උත්සාහ දැරීය. මිතුර මෙයින් යම් අකුසලයක් වීද එහි අකුසල විපාකය ඔබට නොවේවා. ඉදින් මම මේ මහා වනයේ ඔබ තනිකර ගියොත් ඔබ නපුරු සතුන්ට ගොදුරු වනු ඇත. එහෙත් මට දැන් ඔබ ළඟට ඒමට බිය ඇත්තෙමි. ඒ නිසා මම ගහෙන් ගහට පැන ගොස් ඔබට මේ වනයෙන් එළියට ගොස් ගමට යන්නට පාර පෙන්වමි’යි කියා හිසින් වෑහෙන ලේ පිරි ඇස එක් අතකින් වසා ගෙන අනෙක් අතින් ගසින් ගසට පනිමින් ඒ සතුරාට මාවත පෙන්වා දුන්නේය. තිරිසන් යෝනියේ ඉපදුණු ඒ වානර තෙමේ සමාව දුන්නා නම් මනුෂ්‍ය අත්බවක් ලබා සිටින අපට සමාව දීමට බැරි ඇයි දැයි අපෙන්ම විමසා සිටිය යුතුය.

ඔබ ඔබට සතුරු වන ඕනෑම කෙනෙකුගේ වැරදි අඩුපාඩු අමතක කර ආඝාතපටිවිනය සූත්‍රවල දේශනාකර ඇති සේ පාංශුකූල වස්ත්‍රයක් හමුවූ කෙනෙක් එක් මෙත් පයින් පාගා අනෙක් පයින් වස්ත්‍රය විහිද  විහිදා පිරිසිදු තැනක් සොයන්නා සේද පිපාසිත කෙනෙක් වතුර විලක පිරුණු පාසි දෑතින් එහා මෙහා කරමින් නොකලතා ජලය පානය කරන්නා සේද, පිපාසිත කෙනෙක් දුර්භික්ෂයකදී ගවකුර සටහනක ඇති වතුර කඳුලක් දෙඅත් බිම ගසා දෙදණ තබා පහත් වී සීරුවෙන් මුව තබා පානය කරන්නා සේද ඔබට අවැඩ කළ අයගේ කායික හෝ වාචසික හෝ මානසික හෝ ගුණයක් ම සොයා එය මෙනෙහි කරනු මැනවි. අගුණ අමතක කරනු මැනවි. එසේ එකඳ ගුණයක් සොයා ගත නොහැකි වුවහොත් කිසිත් කර කියා ගත නොහැකි කුෂ්ඨ රෝගියකු දෙස අනුකම්පාවෙන් බලන්නා සේ කරුණාවෙන් අනුකම්පා කරනු මැනවි.

නිහඬවීමට බැරිද අපට

සැවැත් නුවරදී භික්ෂූන් වහන්සේලා ඇමතූ සැරියුත් තෙරණුවෝ “අවැත්නි, මේ සස්නේ මහණ ශීල සම්පන්න වූයේ, සමාධි සම්පන්න වූයේ, සංඥාවේදයිත නිරෝධයට සමවදනේත් එයින් නැඟී සිටුනේත් වෙයි. ඉදින් ඒ ජීවිතයෙහිම අර්හත්වය නොලබන්නේ වේ නම් කබලීකාරාහාරය වළඳන දෙවියන්ගේ සහභාවය ඉක්මවා අන්‍යතර මනෝමය කායකට පිළිසිඳ විසින් පැමිණියේ සංඥාවේදයිතනිරෝධයට සමවදනේත් එයින් නැඟීසිටුනේත් වෙයි යන තෙල කරුණ ඇත”යි වදාළ සේක.

මෙසේ වදාරත්ම ආයුෂ්මත් උදායී තෙරණුවෝ එය නොපිළිගත්තේය. දෙවනුවද කියන කල්හි ද තෙවනුව ද කී කල්හි ද නොපිළිගත්තේය.‍

එවිට සැරියුත් තෙර “තෙවන වර දක්වා උදායී තෙර මාගේ බස බැහැර කරත්. කිසිදු මහණෙක් මාගේ භාෂිතය අනුමෙවනි නොකරයි. මම භාග්‍යවතුන් වහන්සේ කරා යමි” යි වැඩි සේක. වැඩම කොට කලින් දේශනා කළ දහම නැවත බුදුරදුන් හමුවේ භික්ෂූන් වහන්සේලාට වදාළ කල්හි එවිටද තුන්වරක්ම උදායී තෙරණුවෝ එම භාෂිතය නොපිළිගත්තේය. සැරියුත් තෙරණුවන් හට තෙල සිත් විය. “ආයුෂ්මත් උදායී තෙර භාග්‍යවතුන් වහන්සේ හමුවෙහිදු තෙවන වර දක්වා මාගේ බසට ප්‍රතික්‍රෝශ කෙරෙයි. කිසිදු මහණෙක් මා බස අනුමෙවෙනි නොකෙරෙයි. මම තුෂ්ණිම්භූත වෙමි නම් මැනැවැයි” තුෂ්ණිම්භූත වූහ. (අ.නි. 3 නිරෝධ සූත්‍රය 312)

කරුණු තේරුම් ගන්නට තරම් නොහැකි නම් ඔබ පවසන දේ ධර්ම විනයට එකඟ නම් කලහ විවාද කර ගෙන අසතුටින් විසිරී යනවාට වඩා නිහඬ වීම මැනවි.

නොපිළිගැනීම සහ හරවා යැවීම‍

කෙනෙක් තරහින් කෑ ගසමින් අක්‍රෝෂ පරිභව නඟන විට අපගේ ප්‍රතිචාරය කෙසේ විය යුතුද? පෙරළා බිණිය යුතුද?

“පින්වත් භාරද්වාජ, ඔබ ආගන්තුකයන් උදෙසා පිළියෙළ කළ ආහාර ඔවුන් නොපිළිගත්තොත් ඒවා ඔබම අනුභව කරනවා සේ මෙතෙක් වේලා ඔබ මට කළ අක්කෝස පරිභව මම නොපිළිගනිමි. ඔබම ඒවා තියා ගන්න.” යැයි අක්කෝස භාරද්වාජ බමුණාට බුදුරදුන් වදාළ පරිදි අන් අය බිණූ වදන් මගේ කර නොගෙන ඒ අයටම තියා ගන්න අරින්න.

ශ්‍රමණ දහම් සහ මෛත්‍රිය

“පින්වත් ධම්මිකයෙනි, මේ සස්නේ මහණ ආක්‍රෝශ කරන්නහුට පෙරළා ආක්‍රෝශ නොකරයි. ක්‍රෝධ දනවන්නහුට පෙරළා ක්‍රෝධ නොදනවයි. දබර කරන්නහුට පෙරළා දබර නොකරයි. මෙම දහම්හු ශ්‍රමණ දහම් නම් වේ.” (අ.නි. 4 ධම්මික සූත්‍රය 141පි)

“මහණෙනි, යම් සේ පුරුෂයෙක් උදැල්ලක් හා පැසක් ගෙන මම මේ මහපොළොව නො පොළොව කරන්නෙමි’යි ඒ ඒ තැන් සාරාද, පස් විසුරුවාද, ඒ ඒ තැන කෙළ ගසත් ද, මුත්‍රා කරත්ද, නො පොළොවක් වෙව නො පොළොවක් වෙව යි කියත් ද මහණෙනි කිම? ඒ පුරුෂ තෙම මහපොළොව නො පොළොවක් කරන්නේ යයි සිතන්නහුද? වහන්ස එසේ නොසිතන්නෙමු. මහපොළොව ගැඹුරුය. පමණ නොකොට හැකිය. හුදෙක් ඒ පුරුෂයා ක්ලාන්ත වන්නේය. වෙහෙසට පත් වන්නේය. මහණෙනි එපරිද්දෙන් අන්‍යයෝ කාලයේ වේවා අකාලයේ වේවා විද්‍යමානයෙන් හෝ අවිද්‍යමානයෙන් හෝ වේවා මොළොක් බසින් හෝ රළු බසින් හෝ වේවා අර්ථ සහිත වූ හෝ අර්ථ රහිත වූ හෝ වේවා මෛත්‍රී සිත් ඇති ව හෝ ද්වේෂ සිත් ඇතිව හෝ වේවා යමක් කියන්නාහු ද අපගේ සිත් වෙනසකට පත් නොවන්නේය. ළාමක වචන නිකුත් නොකරන්නෙමු. හිතානුකම්පා ඇතිව මෛත්‍රී සිත් ඇතිව නොකිපි සිත් ඇතිව වාසය කරන්නෙමු. ඒ පුද්ගලයා කෙරෙහි මෛත්‍රිය පතුරුවා වසන්නෙමු. මෙත් සිතට අරමුණු වූ සියලු සත්ත්වයන් ඇති මුළු ලොව විපුල වූ මහත් බවට ගියා වූ අප්‍රමාණ වූ වෛර නැති නිදුක් වූ, පොළොව හා සමාන වූ සිතින් පතුරුවා වසන්නෙමු’යි මහණෙනි, තොප විසින් මෙසේම හික්මිය යුතුය.” (ම.නි. 1 කකචූපම සූ. 319පි)

“කුද්ධං අප්පටිකුජ්ඣන්තෝ සංගාමං ජේති දුජ්ජයං”

“කිපියහුට පෙරලා නොකිපෙන්නේ නොදිනිය හැකි වූ සටන දිනයි.” (ස.නි. 1 වේපචිත්ති සූ. 393පි)

අපගේ වචනවලින් ක්‍රියාවලින් අන් අය නොපෙලන්නට නම්

කැඩපතක් ඉදිරියට ගොස් පිරික්ස පිරික්සා හැරි හැරී බල බලා හැඩ වෙනවා මෙන් අප අපගේ වචන ක්‍රියා සහ සිතිවිලි දෙස පිරික්ස පිරික්සා කටයුතු කළ යුතු වෙමු.

“රාහුල, යමක් කීමට පෙර මාගේ මේ වචන මට දුක් පිණිස පවතීද, අනුන් හට දුක් පිණිස පවතින්නේද, දෙදෙනාටම දුක් පිණිස පවතින්නේද, මේ වචීකර්ම කුසල් ද අකුසල්ද සුඛ විපාකද දුක් විපාකද පිරික්සා බැලිය යුතුය. ඉදින් දුක් විපාක නම් අකුසල් නම් තමාට හා අනුන්ට දුක පිණිස පවතිද්ද එය නොකිය යුතුය. ඉදින් අසතිමත්ව කීවේ නම් සමාව ඉල්ලා එය දෙසිය යුතුය. තුන්කාලයේම නුවණැත්තෝ මෙසේ තුන්දොර පිරිසිදු කර ගත්තෝය.” (අම්බලට්ඨික රාහුලෝවාද සූ. ම.නි. 2 /180පි)

බුදුරාණන් වහන්සේ ලෝකයා හා වාද විවාද නොකරන සේක.

“මහණෙනි, මම ලෝකයා සමඟ විවාද නොකරමි. ලෝකයා මා සමඟ විවාද කරති. ධර්මවාදියෙකු ලොව කිසිවකු සමඟ විවාද නොකරයි.”

මහණෙනි රූපය ලොව ලෝකධර්මයකි. වේදනාව, සංඥාව, සංස්කාර, විඤ්ඤාණ ලොව ලෝක ධර්මයෝය. තථාගත ‍තෙමේ එය මැනවින් අවබෝධ කොට මැනවින් දැන කියයි. දේශනා කරයි. පනවයි. පිහිටුවයි. විවරණය කරයි. පෙළයි. උඩුහුරු කෙරෙයි. මෙසේ වූ කල්හිත් යමෙක් නොදකී නම් නොදනී නම් මහණෙනි අන්ධ වූ ඇස් නැති නොදන්නා නොදක්නා ඒ බාල පුහුදුන් හට මම කුමක් කෙරෙම්ද? (ස.නි. 3/ පුප්ප සූ. 240පි)

මෝහය නිසා නිත්‍ය සුභ සුඛ ආත්ම ලෙසින් අප වරදවා ගන්නා ලද මනාප වූ හෝ අමනාප වූ හෝ මැදිහත් වූ හෝ ලෝකය ස්කන්ධ ධාතු ආයතන පමණකි. ඒවාද තත්පරයකටත් වඩා අඩු කාලයකදී ඉපදී වෙනස් වෙමින් පැවතී ඉතිරි නැතිවම නැති වී යන නාම රූප ධර්මයන් පමණකි.‍

භාග්‍යවතුන් වහන්සේ පස්බිඳක් නියසි‍ඳෙහි නඟා ඒ මහණහට තෙල වදාළ සේක. “මහණ, නිත්‍ය වූ ධ්‍රව වූ ශාස්වත වූ නොපෙරළෙන සැහැවි ඇති මෙපමණ වූද රූපයක් නැත. වේදනාවක්, සංඥාවක්, සංස්කාරයක්, විඤ්ඤාණයක් නැත. ඉදින් වී නම් මනා කොට දුක් ගෙවීම පිණිස මේ බඹසර විසුම නොපෙනෙන්නේය.” (සං.නි. 3 නඛසිඛෝපම සූත්‍රය – 253පි)

“මරුව කිම? සත්ත්වයෙක් යැයි අදහන්නෙහිද? තාගේ මාර දෘෂ්ටියක් නොවේද? මේ හුදු සංස්කාර පිණ්ඩයකි. මෙහි සතෙක් නොලැබේ.”

“අවයව සමූහය හේතු කොට ගෙන යම් සේ රථයක් යන ශබ්දයෙක් වේද එසේම පඤ්චස්කන්ධයන් ඇති කල්හි සත්ත්වයා යන ලෝක ව්‍යවහාරය වේ.‍”

“දුකම ලැබේ. දුකම පවතී. දුකම විඳී. දුක හැර අනිකක් නොලැබේ. දුක හැර අනෙකක් නිරුද්ධ නොවේ.” (වජිරා සූ. ස.නි. 1 – 247පි)

මෙසේ දහම් තුළින් ලෝකය බලනා විට කාට වෛර කරමෝද කාට විරුද්ධ වමෝද කුමක් අරඹයා වාද විවාද කරමෝද සදාකාලික නොවන අනිත්‍ය වූ ලෝකයක කුමක් ආරක්ෂා කරන්නට වෙහෙසෙමුද?

මේ ක්ෂණය ගෙවෙන්නට පෙර

දුකම උපදින දුකම පවතින දුකම නිරුද්ධ වන ලෝකයක යමක් රැකගැනීම උදෙසා අප සටන් වදිනවා නම් වෙහෙසෙනවා නම් අප එසේ කෝලාහල කරගෙන ඇත්තේ දුක හැර වෙන කුමක් පිණිසද? මම කියා හෝ මගේ කියා හෝ මගේ ආත්මය කියා හෝ කිසිවක් නැත. සියලු මනාප අමනාප දැයෙන් නිදහස් වීමේ සුන්දර මාර්ගය මහාර්ෂී වූ බුදුපියාණන් වහන්සේ පිරිසිදු ලෙස වදාරා ඇත. අප කළ යුතුව ඇත්තේ එතන එතනම අතහරිමින් නොඇලෙමින් නොගැටෙමින් සුන්දර මගේ යාමය. අපට ඇති කාලය ඉතා සීමිතය.

“අප්පමිදං භික්ඛවේ මනුස්සානං ආයු. ගමනීයෝ සම්පරායෝ, මන්තාය බොද්ධම්මං කත්තබ්බං කුසලං, චරිතබ්බං බ්‍රහ්මචරියං, නත්ථි ජාතස්ස අමරණං, යෝ භික්ඛවේ ජීවති සෝ වස්ස සතං අප්පං වා භිය්‍යොති”‍

“මහණෙනි, මනුෂ්‍යයන්ගේ ආයුෂ අල්පයි. පරලොව යා යුත්තේය. නුවණින් දත යුත්තේය. කුසල් කරන්න. බ්‍රහ්මචරියාවේ හැසිරෙන්න. උපන්නහුට අමරණීයත්වයක් නැත. මෙකල්හි යමෙක්ට අවුරුදු සියයක් හෝ ඉන් මඳක් පමණක් ජීවත් වන්නේය. (අරක සූත්‍රය අ.නි. 4 – 476පි)

“හන්දදානි භික්ඛවේ ආමන්තයාමි, වෝ වයධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේථ” (දී.නි. මහාපරිනිබ්බාණ සූ.)

මහණෙනි, දැන් තොප අමතමි. සියලු සංස්කාරයෝ නැසෙන සුළුය. අප්‍රමාදීව කටයුතු සම්පාදනය කරන්න.‍

මේ අවසාන බුදුවදනයි.

ශ්‍රේෂ්ඨ ශාස්තෲ ශාසනයේ පිළිවෙත් පුරමු

මෙවැනි භද්‍ර වූ කාලයක් කුමට මඟහරිමුද? එනිසා සතර සතිපට්ඨානය (අප්‍රමාදය) වඩනු මැනවි. ආයතන හරහා (ඇස, කන, නාසය, දිව, කය, මන) හමුවන සෑම රූප, ශබ්ද, ගන්ධ,රස, ස්පර්ශ, ධම්ම යන අරමුණු විෂයෙහි පමා නොවී සතිමත් වන්න. එවිට අපට නොගැටී නොඇලී විදර්ශනා කළ හැක.

“ආනන්ද කෙසේ ආර්යය විනයෙහි අනුත්තර ඉන්ද්‍රියභාවනාව වෙයි ද යත්, මේ සස්නෙහි මහණ හට ඇසින් රූ දැක මනාප උපදී. අමනාප උපදී. මනාපානාප උපදී. හේ මෙසේ ද දැන ගනී. “ මට මේ මනාපය උපන. අමනාපය උපන. මනාපානාපය උපන. එය ද සංඛතය. ඕලාරිකය. පටිච්චසමුප්පන්නය. යම් උපේක්ෂාවත් ඇත්ද එය ශාන්තය. එය ප්‍රණීතය. කියායි. ඔහුට ඒ උපන් මනාපය උපන් අමනාපය උපන් මනාපානාපය නිරුද්ධ වෙයි. උපේක්ෂාව පිහිටා සිටී. ආනන්දය, යම් සේ ඇස් ඇති පුරුෂයෙක් ඇස ඇර පියාලන්නේ හෝ වේද ඇස පියා ඇරලන්නේ හෝ වේද, එසෙසින්ම ආනන්දය යම් කිසිවකු හට මෙසේ සීඝ්‍ර ව මෙසේ වෙලෙවිව මෙසේ නිදුකින්ම උපන් මනාපය, අමනාපය, මනාපානාපය නිරුද්ධ වේද, විදර්ශනෝපේක්ෂාව පිහිටා සිටී ද ආනන්දය මේ ආර්යය විනයෙහි චක්ෂුර් විඥේය රූප විෂයෙහි වූ ඉන්ද්‍රිය භාවනාව යයි කියනු ලැබේ.” (ම.නි. 3 ඉන්ද්‍රිය භාවනා 619පි)

“මහණෙනි යමක් ඔබගේ නොවේ නම් (ඡන්දරාග ප්‍රහාණ විසින්) එය දුරු කරව. එය ප්‍රහීණ වූයේ ඔබට සැප පිණිස හිත පිණිස වන්නේය.

මහණෙනි කවරක් ඔබගේ නොවේද? රූපය ඔබගේ නොවයි. වේදනාව ඔබගේ නොවයි. සංඥා, සංඛාර, විඤ්ඤාණය ඔබගේ නොවයි. එය දුරු කරව. එය ප්‍රහීණ වූයේ සැප පිණිස සුව පිණිස හිත පිණිස වන්නේය. (න තුම්හාක සූත්‍රය ස.නි. 3 – 61පි)

“සුඛෝ බුද්ධානං උප්පාදෝ – සුඛා සද්ධම්ම දේසනා‍

සුඛා සඞ්ඝස්ස සාමග්ගී – සමග්ගානං තපෝ සුඛෝ”‍

“සම්‍යක් සම්බුදුරාණන් වහන්සේලාගේ ඉපදීම සුවයට කාරණය. සද්ධර්ම දේශනාවද සුවයට කාරණය. සංඝයා වහන්සේලාගේ සමගි බව ද සුවයට කාරණය. සමගි වූ භික්ෂූන්ගේ තපසද සුවයට කාරණය. (ඛු.නි. ධම්මපදය බුද්ධ වර්ගය 75පි)

සියලු සත්වයෝ නිදුක් වෙත්වා……..!

(ආර්ය චින්තා)

පරිගණක අකුරු සැකසුම
උපේක්‍ෂා ප්‍රියංගිකා මිය