බුද්ධඝෝෂ ඇදුරුතුමන් සිය අර්ථකථාකරණයේ දී සිදු කරන ලද කාර්යභාරය පිළිබඳව, උන්වහන්සේ විසින් යම් වෙනස්කමක් කළා නම් ඒ පිළිබඳව ඉහත ලිපියෙන් පැහැදිලි කරන ලදී. මෙසේ සමස්ථ ත්‍රිපිටකයේම අර්ථ වර්ණනාවන් මහත් ඕනෑකමින් සිදු කරන ලද බුද්ධඝෝෂාචාර්යයන් වහන්සේට ඉදිරිපත් වන එක් ප්‍රධානම චෝදනාවක් වන්නේ උන්වහන්සේ පෘථග්ජන වූ බැවින් බුද්ධවචනයේ අර්ථ වර්ණනාවට සුදුසුකම් නැති බවයි. එසේම බුද්ධඝෝෂ ඇදුරුපාණෝ ස්වකීය මතවාද අටුවා තුළ ලියූ බවත්, එසේ ඇතැම් තැනක උන්වහන්සේගේ අර්ථ වර්ණනාව ථෙරවාදී
නොවන බවත් චෝදනාවක් වේ. එබැවින් අර්ථකථාකරණයේ දී පෘථග්ජන බුදුගොස් ඇදුරුතුමන්ගේ කර්තව්‍යය කෙසේ නිකෙලෙස් සන්තානයකින් බිහිවූ බුදු වදන සමග සැසදෙන්නේ ද යන්න පැහැදිලි කිරීම මෙම ලිපියේ අරමුණ වේ.

පළමුකොටම විසඳා ගතයුතු වන්නේ බුදුගොස් ඇදුරුපාණන් පෘථග්ජන පුද්ගලයෙක් ද යන්නයි. එය සැවොම විවාදයෙන් පිළිගන්නවා ඇත. උන්වහන්සේ රහතන්වහන්සේ නමක් බව කිසි තැනක සඳහන් නොවන බැවිනි. එසේම තමන්
වහන්සේ මෙම ධර්මය අවබෝධ කරගෙන අර්ථ වර්ණනා කරන බවකුදු උන්වහන්සේ නොම පැවසූහ. අද වර්තමානයේ මෙන් ව්‍යාජයෙන් තමා මගපල ලාභී බවකුදු නොම පැවසූහ. එසේ නම් පෘථග්ජනව සිදු කරන අර්ථවර්ණනාව පිළිගතහැකි ද යන සාධාරණ සැකයට බොහෝ දෙනෙක් පැමිණේ. මෙහි දී බුද්ධඝෝෂ හිමියන් ඉතා පැහැදිලිව තමන්ගේ අර්ථකථා කරණය සිදු කළ ආකාරය පැවසූ බව මතක තබාගත යුතු. ඒ බව සමන්තපාසාදිකා විනයාර්ථකථාවේ දැක්වෙන්නේ මෙසේය.

“තං වණ්‌ණයිස්‌සං විනයං අමිස්‌සං; – නිස්‌සාය පුබ්‌බාචරියානුභාවං.”

(නිකායාන්තර ලබ්ධීන්ගෙන් අමිශ්‍ර වූ ඒ විනය පූර්වාචාර්යයන් වහන්සේලා විසින්

වර්ණනා කරන ලද අර්ථකථාව ඇසුරෙන් වර්ණනා කරන්නෙමි)

මෙහි සඳහන් පූර්වාචාර්යයන් වහන්සේලා නම් කවුද? යන්න පොළොන්නරු යුගයේ  නිකාය සාමග්‍රියෙන් පසුව, ත්‍රිපිටකයේ හසල දැනුමක් ඇති මහෝත්තමයන් වහන්සේලා විසින් රචනා වුණු විමතිවිනෝදනී ආදී ටීකාවන්හි පැහැදිලි කොට ඇත්තේ ප්‍රථම ධර්ම සංගායනාව සිදු කළ මහාකාශ්‍යප මහ රහතන් වහන්සේ ඇතුළු සංගීතිකාරක මහරහතන් වහන්සේලා බවයි.

වර්තමානයේ  බුදුගොස් ඇදුරුපාණන්ගේ අර්ථකථන වැරදි බව කියන, මේ දක්වා ත්‍රිපිටක අර්ථ වරදවා තේරුම් ගෙන සිටි බව කියන ගිහි පැවිදි බොහෝ දෙනෙක් සිටින අතර ඒ කිසිවෙක් ධර්මයට තමන් ඉදිරිපත් කරන අර්ථය කවර මූලාශ්‍රයකින් ලබාගත්තේ දැයි සඳහන් නොකරති. බුද්ධඝෝෂ හිමි පෘථග්ජන නිසා උන්වහන්සේගේ අර්ථකථාව පිළිගත නොහැකි බව කියන කිසිම කෙනෙක් මගපල නිවන් ලබා නොමැති බව ඉතාමත් පැහැදිලි වේ. එසේ තමන් මගපල නිවන් නොලබා තවත් මගපල නිවන් නොලැබූ පුද්ගලයක්ගේ අර්ථ විග්‍රහය වැරදි යැයි පවසන්නේ නම් ඒ සඳහා පැහැදිලි මූලාශ්‍රයක් තිබිය යුතු බව නුවණැතියන්ට අවබෝධ වේ. එසේ  තමන් මගපල නිවන් නොලබා, කිසිදු මූලාශ්‍රයකින් තොරව ධර්මයට අර්ථදැක්වීම් සිදු කරමින් බුදුගොස් ඇදුරුපාණන්ට චෝදනා කරන නමුදු, ඒ චෝදනාවට ලක්වන බුදුගොස් ඇදුරුපාණෝ ඉතාමත් පැහැදිලිව තමන් වහන්සේගේ මූලාශ්‍රය සඳහන් කරති. තමන් තනිවම අර්ථකථා නොම ලියන බවත්, එය මහාකාශ්‍යප මහරහතන් වහන්සේ ඇතුළු පැරණි ආචාර්යයන් වහන්සේලාගේ අර්ථකථාව අනුව සිදු කරන බවත් මූලාශ්‍ර දක්වමින් සඳහන් කරති.  එබැවින් යමෙක් බුදුගොස් ඇදුරුපාණන්ට චෝදනා කරන්නේ නම් ඔවුන්ගේ චෝදනාව ඒ මහාකාශ්‍යප මහරහතන් වහන්සේ ඇතුළු පුරාණ ආචාර්යයන් වහන්සේලාටද එල්ල වන බව සිහිපත් කළයුතු වේ. එසේ ඒ උතුම් ක්ෂීණාස්‍රවයන් වහන්සේලාටද අපවාද නගමින් කිසිවෙකු තම නිවන් මග වසා නොගනිත්වා!

ප්‍රවේසම් විය යුත්තක්

බුදුසසුනේ නිවන් මාර්ගය කිසිදු අවස්ථාවක අනෙකෙකුට ගැරහීම් චොදනා කරමින් සම්පූර්ණ කළ නොහැකි දෙයක් බව බුදුරජාණන් වහන්සේම කරණීයමෙත්ත සූත්‍රයේ දී ‘නාතිමඤ්ඤේථ කත්ථචි නං කඤ්චි’ යැයි වදාළ සේක. එබැවින් බුද්ධඝෝෂ මාහිමියන්ගේ අර්ථකථාකරණය උන්වහන්සේ විසින් කළ විකෘතියක් යැයි පවසන අය ස්වකීය නිවන් මාර්ගය පිළිබඳ නුවණින් ප්‍රත්‍යවේක්ෂා කළයුතු. මන්ද බුදුගොස් ඇදුරුපාණෝ පුරාණ මහරහතන් වහන්සේලාගේ අර්ථවිග්‍රහය අනුව යමින් අර්ථකථනය කරන බව පැවසූහ. සමන්තපාසාදිකා විනයාර්ථකථාවේ ඒ පිළිබඳව සඳහන් වන්නේ මෙසේය.

“කාමඤ්‌ච පුබ්‌බාචරියාසභෙහි – ඤාණම්‌බුනිද්‌ධොතමලාසවෙහි

විසුද්‌ධවිජ්‌ජාපටිසම්‌භිදෙහි – සද්‌ධම්‌මසංවණ්‌ණනකොවිදෙහි.”

(ඒකාන්තයෙන් අග්‍ර වූ අරිහත් මාර්ගඤාණ සංඛ්‍යාත දියෙන් කෙලෙස් මල සහ ආශ්‍රව ධර්ම සෝධාහරින ලද්දා වූ, ත්‍රි විද්‍ය අෂ්ට විද්‍යා චතුපටිසම්භිදා ඤාණයන්ගෙන් යුක්ත වූ, සද්ධර්මය සංවර්ණනා කිරීමෙහි දක්ෂ වූ, අකම්පිය උත්තම අර්ථයෙන් ‘ආසභ’ යන නම් දියහැකි වූ මහාකාශ්‍යප මහරහතන් වහන්සේ ඇතුළු පූර්වාචාර්යයන් වහන්සේලා විසින්)

“සල්‌ලෙඛියෙ නොසුලභූපමෙහි – මහාවිහාරස්‌ස ධජූපමෙහි

සංවණ්‌ණිතොයං විනයො නයෙහි – චිත්‌තෙහි සම්‌බුද්‌ධවරන්‌වයෙහි.”

(අල්පේච්ඡතා ආදී කෙලෙස් ලියා හැරීමේ ප්‍රතිපත්තියෙන් යුතු වූ, සුලභ උපමා නැත්තා වූ, මහාවිහාරයට හා තදීය ථෙරවාදී ධර්මවිනිශ්චයන් දරාගෙන සිටි භික්ෂූන්ට ධ්වජයක් බඳු වූ, (ඒ මහාකාශ්‍යප මහරහතන් වහන්සේ ඇතුළු පූර්වාචාර්යයන් වහන්සේලා විසින්) භාග්‍යවතුන් වහන්සේගේ අදහස අනුව ගිය නයක්‍රමයන්ගෙන් මේ විනය සංවර්ණනා කරන ලදී)

එබැවින් නිර්වාණාභිලාශී අය අර්ථකථාවට ගැරහීම් කිරීමේ දී ප්‍රවේසම් විය යුතු. මෙහි දී ඇතමෙකු පවසන්නේ මෙසේ පූර්වාචාර්යයන් වහන්සේලා මහරහතන් වහන්සේලා බව බුද්ධඝෝෂ හිමියන්ගේම වචනයක් වන අතර එය පිළිගත නොහැකි බවයි. එහෙත් එය සනාථ කිරීම අර්ථකථා සියල්ල පරිශීලනය කළ අයෙකුට පමණක්ම වැටහෙන්නකි. එබඳු වැටහීමක් නොමැති අය ප්‍රවේසම් විය යුතු බව කරුණාවෙන් මතක් කරමු. තවද මෙසේ කරුණු දැක්වීම ඇතැමෙක් සලකන්නේ බුද්ධඝෝෂ හිමි පිළිබඳව හෝ අර්ථකථාව පිළිබඳව ශ්‍රද්ධා නිසා පමණක් සඳහන් කරන බවයි. එසේ බුද්ධඝෝෂ හිමියන් හා අර්ථකථාව පිළිබඳ ශ්‍රද්ධාව ජනනය වන්නේ එය නිසි පරිදි පරිශීලනය කළ අයට පමණක්ම බව පැවසිය යුත්තේ ජාති අන්ධ පුද්ගලයන්ට බැහැර ලෝකයේ සුන්දරත්වය අත්දැකිය නොහැකි වන්නා සේ සමස්ථ ත්‍රිපිටක අර්ථකථා තුළ ඇති විසිතුරු බව එය පරිශීලනය නොකර උඩින් පල්ලෙන් කියවා බලා තේරුම් ගත නොහැකි බැවිනි.

වර්තමාන අටුවාචාරීහු සිය මතය ඉදිරිපත් කරති

මේ අනුව බුද්ධඝෝෂ හිමියන් පෘථග්ජන වුවද උන්වහන්සේ සිය ස්වකීය මතවාද ඇතුළත් නොකර මහරහත් පූර්වාචාර්යයන් වහන්සේලා විසින් යම් ආකාරයකට අර්ථ වර්ණනා කරන ලදදේ ද එයම දැක්වූහ. ඇතැම් තැනක අර්ථකථාගත විනිශ්චය නොගැලපෙන බව දුටු උන්වහන්සේ ඒ බව පවසමින් ස්වකීය මතය දැක්වූ අතර ඒ සෑම තැනකම එය නොපැකිලව පැවසූහ. එබැවින් බුදුගොස් හිමියන්ගේ අර්ථකථාවක් නොව උන්වහන්සේ රචනා කරන්නේ පූර්වාචාර්යයන්ව වහන්සේලාගේ අර්ථකථාව බව පිළිගතයුතු වේ. එහෙත් වර්තමානයේ ධර්මය පිළිබඳව නොයෙක් අර්ථ විග්‍රහයන් ඉදිරිපත් කරන බව දක්නට, අසන්නට ලැබේ. පෙළ දේශනයටත්, අර්ථකථාවටත් නොගැලපෙන තම තම නැණ පමණට ධර්මය පිළිබඳ විග්‍රහයන් ධර්ම දේශනා ඔස්සේ සහ දහම් ලිපි ඔස්සේ ප්‍රචාරය වේ. ඒ සියල්ලක් ද එක්තරා විදිහකට අටුවාවක්ම වේ. එසේ නවීන අර්ථ විග්‍රහයන් ඉදිරිපත් කරන කිසිවෙක් එය සිය මතය බව නොම පවසන අතර බොහෝ විට අර්ථකථාවේ එන පැහැදිලි කිරීම වැරදි බව පවසති. එහෙත් තම මතය ඉදිරිපත් කිරීම සඳහා
ආචාර්ය මාර්ගයක් හෝ කිසිදු මූලාශ්‍රයක් නොම දක්වති. ඇතමෙක් පෙළ අටුවාවෙහි එන ධර්ම විග්‍රහය වැරදි බව තමන් අවබෝධ කරගෙන දේශනා කරන බවද පවසමින් මිනිසුන් මුළා කරති. එබඳු අයගෙන් ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ කවරකුගේ ධර්මශ්‍රවණයකින් මගපල නිවන් ලැබුවේ ද යන්නයි. මන්ද ත්‍රිපිටක ධර්මය ඇසීමෙන් හෝ කියවීමකින් තොරව තනිවම ධර්මාවබෝධය කරගැනීම බුදුවරයන්, පසේ බුදුවරයන් වහන්සේලාට පමණක් කළහැකි බැවිනි.

මේ අනුව යම් කෙනෙකු ධර්මය පිළිබඳ අර්ථ පැහැදිලි කරන්නේ නම් ඒ සඳහා පැහැදිලි මූලාශ්‍රයක් තිබිය යුතු වේ. මේ පිළිබඳ දතයුතු විචිත්‍ර කථා වස්තුවක් විශුද්ධිමාර්ගයේ කම්මට්ඨානගහණ නිර්දේශයේ පැමිණෙයි. එනම් අතීතයේ ලක්දිව
විසූ සෝවාන් මගපල ලාභී ධර්මධර උතුමන් වහන්සේ නමක් වූ ත්‍රිපිටක චූළාභය තෙරුන් වහන්සේ වරක් ත්‍රිපිටකය පෙළ පමණක් උගෙන ධර්මදේශනා කිරීමට සූදානම් ව රන්බෙරය වැයුවේය. එකල්හි උන්වහන්සේගේ උපාධ්‍යය තෙරුන් වහන්සේ කරුණු විමසා බලා යම් ධර්ම පදයක අර්ථය විමසා සිටියේය. එහි අර්ථය නිවැරදිව කියූ විට තෙරුන් වහන්සේ එය නොපිළිගන්නා බවක් දැන්වීය. දෙවනුව තවත් ආකාරයකට පැහැදිළි කළ විට නැවතත් ප්‍රතික්ෂේප කරන බවක් දැනුවීය. එසේ කිහිපවිටක් ප්‍රතික්ෂේප කර අනතුරුව පවසන ලද්දේ පළමුව දුන් පිළිතුර නිවැරදි බවයි. එහෙත්
ඇදුරුවරයෙකු සමීපයේ ධර්මයේ අර්ථ නොම උගත් බැවින් තමාගේ පිළිතුරේ අසංහීරව රැඳී සිටිය නොහැකිව අනෙක් අනෙක් පිළිතුරු ප්‍රකාශ කළ බවයි. එබැවින් ආචාර්යවරයන් වහන්සේ නමක් වෙත ගොස් ධර්මයේ අර්ථ ගුරු මුඛයෙන් අසා දැන ගැනීමට උපදෙස් දෙන ලදී.

මෙම කථා ප්‍රවෘත්තියෙන් අතීතයේ භික්ෂූන් වහන්සේලා ගුරු මුඛයෙන් ධර්මයේ අර්ථ උගෙනීමේ වටිනාකම දුටු ආකාරය හෙළිවේ. බුදුගොස් ඇදුරුතුමන් ද සිය අර්ථකථා මෙසේ ගුරු මුඛයෙන් අසා දැනගෙන ඒ පූර්වාචාර්යයන් වහන්සේලාගේ අර්ථදැක්වීම් ක්‍රමවේදය නොම ඉක්මවා අර්ථකථාව කළ බව පැවසූහ. එහෙත් එම අර්ථ දැක්වීම් වැරදි බවට හිස් ප්‍රලාප නගන, වර්තමානයේ ධර්මය පිළිබඳ අළුත් අර්ථකථන දක්වන කිසිවෙක් එම අර්ථ පිළිබඳ මූලාශ්‍ර කිසිවක් සඳහන් නොකරති. ඒ පිළිබඳ කිසිවකු හඬක් නොනගන්නේ මන්ද යන්න නුවණැතියන්ගේ අවධානය යොමු
විය යුත්තකි. ඔවුන්ගේ ඒ අර්ථකථනයන්ගේ ඇති ධර්ම විරෝධී නොගැලපීම් ත්‍රිපිටකය හොඳින් කියවා හදාරා ඇති අයට මනාව වැටහේ.

පෘථග්ජනයකුගේ අර්ථකථාව ඉවත දැමිය හැකිද?

මෙසේ බුද්ධඝෝෂ හිමියන් පෘථග්ජන බැවින් උන්වහන්සේගේ අර්ථකථාව පිළිගත හැකිද? යන ප්‍රශ්නය නගන අයට බුදුරජාණන් වහන්සේගේ බුදු වදන සිහිපත් කර දිය යුතු වේ. බුදුරජාණන් වහන්සේ ධර්මශ්‍රවණය කිරීම පිළිබඳ සඳහන් කරන කිසිදු විටක මගපල ලාභීන්ගෙන් පමණක් ධර්මය ශ්‍රවණය කළයුතු බව නොම පැවසූ සේක. ත්‍රිපිටකය කියවීම යනු ධර්මය පිළිබඳ ශ්‍රැතමය ඤාණය ලබා ගැනීමක් බැවින් එක්තරා විදිහකට ධර්ම ශ්‍රවණයකි. එබැවින් යම් පුද්ගලයෙක් ධර්ම විනය නොගැලපීමකින් තොරව අර්ථ වර්ණනා කරන්නේ නම්, එය ශ්‍රවණය කළයුතු වේ. එබැවින් නිර්වාණාධිගමය පිණිස පෙළ, අර්ථකථා කියවන අයෙක් ‘බුදුගොස් හිමියන් රහත් ද’ යන ප්‍රශ්නය පවා ඇසිය යුතු නොවේ. අනෙක් අතට උන්වහන්සේ ඉතාමත් පැහැදිලිව මෙම අර්ථ වර්ණනාව තමන් ලියුවද පුරාණ මහරහතන් වහන්සේලාගේ අර්ථකථාව ඇසුරෙන් ලියන බව පවසන බැවින් සැක ඉපදවිය යුතු නොවේ.

එහෙත් වර්තමානයේ බුද්ධඝෝෂ හිමියන්ගේ අර්ථකථන වැරදි බවට හිස් ප්‍රලාප නගන්නන් ධර්මයට අළුතෙන් අර්ථකථා කියති. ලියති. ඒ පිළිබඳ කිසිවකු හඬක් නොනගන්නේ මන්ද යන්න නුවණැතියන්ගේ අවධානය යොමු විය යුත්තකි. ඔවුන්ගේ ඒ අර්ථකථනයන්ගේ ඇති ධර්ම විරෝධී නොගැලපීම් ත්‍රිපිටකය හොඳින් කියවා හදාරා ඇති අයට මනාව වැටහේ.

තවද බුදුගොස් ඇදුරුපාණෝ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ වැනි රහතන් වහන්සේ නමක් නොවන බවට චෝදනා නගන අය සැලකිය යුත්තේ එබඳු මහා උතුමන් වහන්සේලා එක් අයකු පමණක් සම්බුදු සසුනේ වැඩ සිටින බවයි. එසේ එක් රහතන් වහන්සේ නමකගේ අර්ථ විග්‍රහය පමණක් ප්‍රාමාණිකව පිළිගතහොත් නොබෝ කළකින් බුදුසසුන අතුරුදන් වනු නොඅනුමානය. එබැවින් ඕනෑම කෙනෙක් ධර්මය, අභිධර්මය, විනය නිවැරදිව ගලපා, අර්ථය විවරණය කරන්නේ නම් එය පිළිගත යුතු වේ. එහෙත් ඒ සඳහා සමස්ථ ත්‍රිපිටකය පුරාවට විහිදී ගිය දැනුමක් තිබිය යුතු. වර්තමානයේ නවීන අර්ථදැක්වීම් ඉදිරිපත් කරන අයට එබඳු ත්‍රිපිටකය පුරා විහිදුනු දැනුමක් තබා තමන්ගේ ධර්ම දේශනයේ මුල මැද අග වත් ගලපාගැනීමට නොහැකි බව එකී අර්ථ විග්‍රහ වලින් හෙළි වේ.

මේ අනුව බුද්ධඝෝෂාචාර්යයන් වහන්සේ පෘථග්ජනව හිඳ නමුදු මහාකාශ්‍යප මහරහතන් වහන්සේ ඇතුළු පුරාණ මහරහතන් වහන්සේලා අනුව යමින් සමස්ථ ත්‍රිපිටකයටම අර්ථ විවරණ ඉදිරිපත් කළ බව අවධාරණය කළයුතු වේ. එහි ලා ඇතමුන් නොගැලපීම් ලෙස දක්වන්නේ ඔවුන්ටම තේරුම් ගත නොහැකි වූ කරුණු වේ. තමාගේ නොහැකියාව ලොවට සඟවා අන් අයට දොස් නගන්නන් අතීතයේ පටන්ම සිටියහ. එසේම වර්තමානයේ ද ගැඹුරු ධර්ම කොට්ඨාසයන් සූක්ෂම නුවණින් විග්‍රහ කළ අර්ථකථාව තේරුම් ගත නොහැකි අවස්ථා වල දී, අර්ථකථාව වැරදි යැයි කියමින් යන්නවුන් සුලබ වේ.

–චිරං තිට්ඨතු සද්ධම්මං–

විද්‍යාවේදී, ත්‍රිපිටකාචාර්ය

මහව ඤාණාලෝක හිමි