නිමලව ආරණ්‍ය සේනාසනයේ පිහිටීම හා වර්තමාන තත්වය

ශ‍්‍රී ලංකාද්වීපයෙහි දකුණු පළාතේ හම්බන්තොට දිස්ත‍්‍රික්කයෙහි තිස්සමහාරාම දිසාවෙහි මාගම්පත්තුව කිරින්ද ග්‍රාම නිලධාරි වසමෙහි දකුණු රණකෙළිය නම් වූ ගම්මාන පෙදෙසෙහි පිහිටි සුන්දර තපෝ භූමියකි, නිමලව ආරණ්‍ය සේනාසනය. තිස්ස-කිරින්ද මහා මාර්ගයේ සැතපුම් 06ක් පමණ ගොස් යාල හන්දියෙන් හැරී තවත් සැතපුමක් පමණ ගමන් කොට මෙම සේනාසනය දක්වා වූ අතුරු මාර්ගයට පිවිසිය හැක. එහි ගමන් කිරීමෙන් පළමුව සේනාසනයට දානය පූජා කිරීමට දිවයිනේ නන් දෙසින් පැමිණෙන සැදැහැවතුන් සඳහා වූ විශ‍්‍රාම ශාලාවත් ගෞරවනීය මහාසංඝරත්නය විෂයෙහි පිණ්ඩපාත මහාදානය පිරිනමන පිණ්ඩපාත ශාලාවත් ධර්ම ශාලාවත් හමු වේ. අනතුරුව ඇතුළු මාර්ගයේ තවත් සැතපුම් 1 1/2ක් පමණ ගමන් කළ විට සේනාසන දානශාලාවත් ඉන් ඔබ්බට සීමා මාලකය, කුටි සෙනසුන් සහ තවත් සේනාසනාංග බොහොමයකුත් දැකිය හැක.

වර්තමානයෙහි මෙම සෙනසුන චෛත්‍යරාජයාණන් වහන්සේ, බෝධිරාජයාණන් වහන්සේ, බුද්ධ මන්දිරය, සීමා මාලකය, දාන ශාලාව, අභිනවයෙන් ඉදිකළ මහාථේරකුටිය, ආගන්තුක කුටි පෙළ, පුරා අට සැට වසරක් තිස්සේ ඉදි කළ හා විවිධ ප‍්‍රතිසංස්කරණයන්ට ලක් කළ කුටි සේනාසන, පැන් පොකුණු, ගිනිහල් ගෙවල්, වැසිකිළි, ජලනල පද්ධති ආදියෙන් සමන්විත ධුතාංගාදී ධර්මයන්හි ඇලූණු භාවනාරාමතාදියෙන් යුතු සුපේශල ශික්ෂාකාමී යෝගාවචර මහ සඟරුවනට ඇවැසි සියලූ පහසුකමින් සපිරුණු තපෝ භූමියකි. දැනට ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ශ‍්‍රී කල්‍යාණී යෝගාශ‍්‍රමීය සේනාසනයක් ලෙස පවත්වාගෙන යන අතර අතිගරු පූජනීය වැලිමඩ ධම්මදස්සී මාහිමිපාණන් වහන්සේ මෙහි අධිපතිත්වය හොබවති. නිත්‍ය නේවාසික භික්ෂූන් වහන්සේලා මෙන්ම කලින් කලට මෙහි වැඩම කරන භික්ෂූන් වහන්සේලාගෙන් ද අනූන මෙම සෙනසුන දිවයින පුරා පැතිර ගත් ආධාරකාර මණ්ඩලයකින් සැදුම්ලත් නිමලව ආරණ්‍ය සේනාසනාරක්ෂක ශ‍්‍රී සද්ධර්ම ප‍්‍රචාරක කාර්ය සාධක සමිතියේ අනුග‍්‍රහයෙන් පවත්වාගෙන යනු ලැබේ.

නිමලව යෝගාශ‍්‍රම ඉතිහාසය

ව්‍යවහාර වර්ෂ 1950දී ශ‍්‍රී කල්‍යාණි යෝගාශ‍්‍රම සමුත්පාදක අතිපූජ්‍යපාද රාජකීය පණ්ඩිත කඩවැද්දුවේ ජිනවංශ මාහිමිපාණන් වහන්සේගේ ප‍්‍රධානත්වයෙන් සහ එකල තත් නාහිමි අනුශාසකත්වයෙන්ම ප‍්‍රදේශයේ ක‍්‍රියාකාරී වූ ශ‍්‍රී සද්ධර්ම ප‍්‍රචාරක සමිතියේ අනුග‍්‍රහයෙන් මෙම සෙනසුන අරඹා ඇත.[i] ව්‍යවහාර වර්ෂ 1951 දී අතිපූජ්‍ය පණ්ඩිත ගැටමාන්නේ විමලවංස මාහිමි ප‍්‍රධාන මහා සංඝරත්නය ප‍්‍රථම වරට වස් විසූ අතර එතැන් පටන් අති පූජනීය පණ්ඩිත මාතර සිරි ඥානාරාම මාහිමි, විදර්ශනාචාර්ය මඩවල ශ‍්‍රී ධම්මතිලක මාහිමි, යෝගාවචර අස්මඩලේ රතනපාල මාහිමි, පණ්ඩිතාචාර්ය බැඹියේ විමලවංශ මාහිමි, ත‍්‍රිපිටකාචාර්ය මුනගම සිරිසුමන මාහිමි, විනයාචාර්ය මාවතගම ගුණානන්ද මාහිමි, බඹරැන්දේ කොණ්ඩඤ්ඤ මාහිමි, බැදිගම ධම්මජෝති මාහිමි, මිනුවන්ගමුවේ නාගිත මාහිමි සහ ත‍්‍රිපිටකධාරාචාර්ය මහා කර්මස්ථානාචාර්ය නා උයනේ අරියධම්ම මාහිමි යන අපවත් වී වදාළ යෝගාශ‍්‍රමීය චිරරාත‍්‍රඥ මහ තෙරුන් වහන්සේලාද කලින් කලට මෙහි වැඩ වාසය කරමින් ගුණ දම් පිරීමෙන් සෙනසුන එකලූ කළහ.[ii] ව්‍යවහාර වර්ෂ 1955 ජූලි මස 21 දින අතිපූජ්‍ය පණ්ඩිත මාතර සිරි ඥානාරාම මාහිමියන් අතින් ශ‍්‍රී කල්‍යාණි යෝගාශ‍්‍රම සංස්ථා කතිකාවත හා දිනචරියාව සැකසුණේ ද මෙම භූමියේදීමය.[iii] එමෙන්ම අතීතයේ මෙහි වැඩ විසුවේ යැයි සැළකෙන ධම්මදින්න මහරහතන් වහන්සේ වැඩ විසූ ලෙන කැණීමේදී ව්‍යවහාර වර්ෂ 1958 ජූනි 18 දින අට්ඨික ධාතු පාත‍්‍රයක් ලැබීමද විශේෂ කරුණකි.[iv] අතිපූජ්‍ය පණ්ඩිත ගැටමාන්නේ විමලවංස මාහිමිපාණෝ මෙහි ගත කළ ප‍්‍රථම වස් කාලයේදී සුභූති මහරහතන් වහන්සේ විසින් වදාළ “විසුද්ධානං අයං වාසෝ නිම්මලානං තපස්සිනං” යන ධර්ම පාඨය අනුව සංකල්පනා කොට මෙම තපෝභූමිය “නිමලව ආරණ්‍යය” යැයි නම් කරන ලෙස යෝජනා කළ සේක. එවකට සිටි දායක පින්වතුන්ගේ ඒකමතික අනුමැතියෙන් එතැන් පටන් මෙම නව නාමය සැම තැන්හි භාවිත විය.[v] අදටත් රාජ්‍ය ආයතනවල පවා මෙම භූමිය හඳුන්වා ඇත්තේ ‘නිමලව’ යන සුගම නාමයෙනි.

අතීත තලගුරු මහවෙහෙරේ පිහිටීම

අතීත තලගුරු මහවහෙර පුරාණ රෝහණ රාජ්‍යයෙහි පිහිටියකි.[vi] එම රෝහණ රාජ්‍යය ශ‍්‍රී පාදයෙන් දකුණු දෙසට විහිදුණකි. නූතන සිතියම් අනුව රුහුණු රජරට දේශ සීමාව බටහිර දෙසින් කළු ගඟ දිගේ ශ‍්‍රී පාද කන්ද දක්වා පැතිර පවතී. එහි සිට කටුගස්තොට දක්වා දෙවන සීමාව පිහිටා ඇත. කටුගස්තොට සිට මහියංගනය දක්වා මහවැලිය ඔස්සේ දිවෙන සීමාව ලංකාවේ මධ්‍ය දේශයෙන් රුහුණ හා රජරට වෙන්කරයි. එහි සිට ත‍්‍රීකුණාමලය දක්වා මහවැලි ගඟින් රුහුණ සීමා වෙයි.[vii] කලින් කලට රජ පැමිණි විවිධ රජවරුන් තම රුහුණු රාජ්‍යය ඉහත සීමාවෙන් ඔබ්බටද පතුරුවාගෙන ඇති බව පෙනේ. නමුත් සාමාන්‍ය වශයෙන් සැළකූ කළ වර්තමාන ශ‍්‍රී ලංකාවේ දකුණු පළාත සැමදා අතීත රෝහණ රාජ්‍යයට අයත්ව තිබූ බව සළකා ගත හැක. ඒ අනුව වර්තමාන දක්ෂිණ ශ‍්‍රී ලංකාවේ හම්බන්තොට දිස්ත‍්‍රික්කයෙහි හමු වන නිමලව ආරණ්‍ය සේනාසන භූමියෙහි වූ නටබුන් හා සෙල්ලිපිවලින් කියැවෙන තලගුරු මහාවිහාරයත් ග‍්‍රන්ථාන්තරයෙහි කියැවෙන තලගුරු මහාවිහාරයත් එකක්මය.

පුරාවිද්‍යාත්මක තොරතුරු

එම අතීත තලගුරු මහාවිහාරය පිළිබඳව පර්යේෂණ සිදු කළ විද්වතුන් අතර එඞ්වඞ් මුලර් මහතා,  සී. ඩබ්. නිකලස් මහතා, ගරු පූජ්‍ය පණ්ඩිත මැදඋයන්ගොඩ විමලකිත්ති මාහිමි, ලීලානන්ද කල්දේරා මහතා, ගරු පූජ්‍ය පණ්ඩිත අතුරුගිරියේ ඤාණවිමල මාහිමි සහ පුරාවිද්‍යා චක‍්‍රවර්තී ගරු පූජ්‍ය එල්ලාවල මේධානන්ද මාහිමියෝත් වෙති.

එම පර්යේෂණවලින් මෙම පුණ්‍ය භූමිය පුරා විසිර පවතින ස්ථූප, ගොඩනැගිලි, ලෙන් කර්මාන්ත, පැන් පොකුණු ආදී නටබුන් හා පුරාවස්තු පිළිබඳව අධ්‍යයනය කොට ඇත. ඒවායින් විශාල ලෙන් ප‍්‍රමාණයක භික්ෂූන් වහන්සේලා වාසය කොට ඇති බවත් තවත් ලෙන් නොවන කුටි සමූහයක්ද භාවිතා කර ඇති බවත් බුද්ධ මන්දිරයක් යැයි සැක කළ හැකි ගොඩනැගිලි ශේෂයක් පිළිබඳවත් තොරතුරු ගවේෂණය කොට ඇත.

මෙම භූමිය පුරා පිහිටි පර්වත මත ස්තූප කිහිපයක්ම තිබෙන්නට ඇති බවට එහි පර්වත පාමුල්වල ඇති පැරණි ගඩොළු සාධක කියාපායි. එවැන්නක් පිළිබඳව පවත්නා ජන වහරද එම මතය ස්ථිර කරයි.[viii] ඇතැම් විටෙක එම ස්ථූප සියල්ලේම සර්වඥ ධාතූන් වහන්සේලාම නිධන් නොකළා වන්නට පුළුවන. බොහෝවිට මෙම විහාරයේම වාසය කොට පිරිනිවන් පා වදාළ රහතන් වහන්සේලාගේ අරහන්ත ධාතූන් වහන්සේලා නිධන් කොට වරින් වර මෙම කුඩා ස්ථූප ගොඩ නගන්නට ඇත. මේ අතර මෙහි ඉතිහාසය කියැවෙන සෙල්ලිපි බොහොමයක් පිළිබඳවද පර්යේෂකයන්ගේ අවධානය බෙහෙවින් යොමු වී ඇති බව පෙනේ. ඒ අතරිනුත් වඩා අතීතයට දිවෙන ලෙන් ලිපි පෙළ ක‍්‍රි. පූ. 2 වන සියවසට අයත් විය හැකි බව නිගමනය කොට ඇත.[ix]

එම ලෙන් සාදා පූජා කළවුන්ගේ නම් ගොත් සඳහන් කර ඇත. ලෙන් බොහොමයක් තනි තනි පුද්ගලයන් විසින් ඉදිකරවා ඇති නමුත් එක් ලෙනක් පේෂකර්ම සමාගමකින් ඉදිකරවා ඇති බවද විශේෂ කරුණකි.[x] එමෙන්ම තවත් පර්වත ලිපි කිහිපයකින් මෙම විහාරයට පොකුණු හා කුඹුරු කිහිපයක් පූජා කළ වගත් ගල්කෙමක් කරවා දුන් බවත් බදු වර්ග දෙකක් පූජා කළ වගත් වාර්ෂිකව පවත්වනු ලැබූ පුණ්‍යෝත්සව සඳහා කරන ලද ආධාර උපකාර පිළිබඳවත් කරුණු දැක්වේ. එයිනුදු එක් ලිපියක වාර්ෂික පිංකමක් සඳහා මුදලක් ස්ථාවර ලෙස තැන්පත් කොට පොළිය වෙනම පැවරීමේ අවස්ථාවක් දැක්වීමද සුවිශේෂී කරුණකි.[xi]

මෙම සෙල්ලිපිවල භාෂාව මිහින්තලය, රිටිගල ආදී තැන්වල දක්නට ලැබෙන ලිපිවල රටාවටද භාෂා ලක්ෂණ හා සංස්කෘතික ලක්ෂණවලටද හැම අතින්ම සමාන වූ ප‍්‍රාකෘත සිංහලය ලෙස පිළිගෙන ඇත.[xii] ඒ අනුව මෙම විහාර කර්මාන්තය අනුරාධපුර යුගයේ සිටම සියවස් කීපයක් පුරා වැඞී ගොස් ඇති බව නිගමනය කළ හැක.

කෙසේ වෙතත් සියලූ නටබුන්, පුරාවස්තු හා සෙල්ලිපි සැළකූ කළ හෙළි වන විශේෂ කාරණයක් දෙසට අවධානය යොමු කළ යුතුව ඇත. එනම් අද පවත්නා තත්ත්වයට වඩා හාත්පසින්ම වෙනස් වූ භික්ෂු සමූහයාගෙන් අතිශය පිරී ගත් දායකකාරකාදීන්ගෙන් විශේෂ හා බහුල ලෙස උපකාර ලත් අතීත ස්වර්ණමය යුගයක් පුරාණ තලගුරු වෙහෙරට තිබූ බවයි. එසේ නමුත් මේ සමඟම සළකා බැලිය යුතු අනෙක් සුවිශේෂිතම කරුණ වන්නේ පුරාණ තලගුරු වෙහෙරට අනුග‍්‍රහ දැක්වූ රාජරාජ මහාමාත්‍යාදීන් පිළිබඳව කිසිදු සඳහනක් දැනට සොයාගෙන ඇති සෙල්ලිපිවලින් අනාවරණය නොවන බවයි. මෙම වෙහෙර පිළිබඳ අතීත තොරතුරු ප‍්‍රකට වනුයේ මෙහි වැඩ විසූ ධම්මදින්න මහරහතන් වහන්සේගේ නම සඳහන් වන ධර්ම සාහිත්‍යයෙහි එන පාඨවලින් පමණි. උන් වහන්සේ වැඩ විසූයේ කාවන්තිස්ස රාජ සමයේ සිට දුටුගැමුණු රාජ සමය දක්වා බැව් සාධනය කොට ඇත්තේද ග‍්‍රන්ථාගත පාඨ උපයෝගී කරගෙනය.[xiii] එපමණකුත් නොව මෙහි ඉතිහාසය මහානාග රාජ සමය දක්වා ගෙන ගොස් එතුමන්ගෙන් ඇරඹි, ඔහුගේ පුත‍්‍ර යටාලතිස්සයන්ගෙන් ගෝපනය වී, ඔහුගේ පුත‍්‍ර ගෝඨාභයයන්ගෙන් හා ගෝඨාභය පුත‍්‍ර කාවන්තිස්සයන්ගෙන් වර්ධනය වී, සන්තාන වගායෙහි යෙදුණු සුසීල සංයමීනට ජය භූමියක් වූ බවටද මැදඋයන්ගොඩ විමලකිත්ති මාහිමියෝ අදහස් කරති.[xiv] මෙහිදී මහානාගයන්, යටාලතිස්සයන් හා කාවන්තිස්සයන් විසින් කරවන ලද විහාර නාම අතර තලගුරු වෙහෙර නොවීමද ගෝඨාභයයන් විසින් දඬුවම් පිණිස කරවන ලද වෙහෙර දහසේ නම් සඳහන් නොවීමද සළකා ගෝඨාභය රාජ සමයට මෙහි ආරම්භය ගෙන යා හැකිද? යන්නත් සැළකිය යුතුය. මහ බෝ අංකුර බෙදා දීමේදී කතරගමට හා චන්දනගමට බොධීන් වහන්සේලා දෙනමක් ලබා දීමෙන් පෙනී යන්නේ මෙම පෙදෙස එකලද ආගමික ප‍්‍රබෝධයකින් යුතුව පැවති බවයි. බාගදා භාග්‍යවතුන් වහන්සේගේ ලංකා ගමනයේදී මෙම ස්ථාන පාදස්පර්ශයෙන් පවිත‍්‍ර වූ බව පරම්පරාගතව පැමිණියා වන්නටද පුළුවන. එහෙයින් තලගුරු වෙහෙර දේවානම්පියතිස්ස රාජ සමයේ රුහුණට බෝධි ආගමනයත් සමඟම හට ගත් වෙහෙරක් වන්නටද පුළුවන. කෙසේ වෙතත් අවසන් වශයෙන් දේවානම්පියතිස්ස රාජ සමයේ හෙවත් ඊට සමකාලීන වූ රුහුණු රජ පැමිණි මහානාග සමයේ සිට කාවන්තිස්ස සමය දක්වා මෙහි හට ගැන්මත් විකාශයත් සිදු විණැයි නිගමනය කළ හැක.

පැරණි නාමය

මෙම තපෝභූමිය සඳහා භාවිත අතීත නාමය එහිම එන පර්වත ලිපි තුනෙක දැක්වෙන අයුරු පරිවර්තනය කොට ඇත.[xv] එය මතුකොට ගත් පර්වතලිපි කීපයෙන් එකෙක “තලකර පවරත මහවිහර” ලෙසත් දෙකෙකම “තලකර පවි මහවිහර” ලෙසත් සඳහන් බැව් නිසැකය. යට සඳහන් සෙල්ලිපි කියවීමේදී සී. ඩබ්. නිකලස් මහතා එම මුල් වචනය “තුලකර” වශයෙන් ගෙන මේ පැරණි ග‍්‍රන්ථවල තිබිණැයි සඳහන් “තුලාධාර පබ්බත විහාරය” යැයි නම් කර ඇති බවත් එය සාවද්‍ය බවත් නිවැරදි පදය “තලකර” විය යුතු බවත් ඒ අනුව මේ ස්ථානය “තලඕගර පර්වත මහාවිහාරය” ම බවත් ගරු පූජ්‍ය එල්ලාවල මේධානන්ද මාහිමියෝ නිගමනය කරති.[xvi] ව්‍යවහාර වර්ෂ 1951 දී මේ පිළිබඳ පුරා විද්‍යා ගවේෂණයක් සිදු කළ අතිපූජ්‍ය පණ්ඩිත මැදඋයන්ගොඩ විමලකිත්ති මාහිමියෝ ද “තලකර පවි මහ විහරහි” යන්න නිවැරදිව කියවා මේ පුරාණ තලගුරු වෙහෙරම බැව් නිසැකව හෙළි කොට ඇත.[xvii] වර්තමානයේ කිරින්දෙන් සැතපුම් එකහමාරක් පමණ ඊසාන දෙසට උතුරට බරව පිහිටි වෙහෙරකෙම නම් පුරාණ සිද්ධස්ථානය එහිම ඇති සෙල්ලිපිවලින් මාගමෙහි වූ පැරණි තුලාකාර / තුලාධාර පබ්බත විහාරය හැටියට හඳුනාගෙන ඇති හෙයින් [xviii] මේ තුලාධාර පර්වත විහාරය නොව හුදෙක් තලගුරු වෙහෙරමය.

පෙල බසෙහි “තලඕගර” යන්න සඟ සරණට මෙන්ම සද්ධර්මාලංකාරයටද “තලගුරු” ලෙස ගෙන ඇත. එයම බ‍්‍රාහ්මී අක්ෂරයෙන් පුරාණ සීහළ බසින් “තලකර” විණි. “පර්වත” යන සංස්කෘත වචනය ස්වර භක්තය වීමෙන් “පවරත” ලෙසත් “පබ්බත” යන පාලි වචනය “පවි” යන ලෙසත් සිංහලයට නැගුණි.[xix] මෙහි එන “තලකර” ශබ්දයට අර්ථ විවරණය කරමින් ගරු පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියෝ තලාදයන් යොදා කරන ලද පර්වත විහාරය හෝ මුදු වෙරළට සමීප උස් තැන්නක පිහිටි පර්වතයක වූ විහාරය වැනි අර්ථයක් ගත හැකි යැයි අනුමාන කරති.[xx]

මහාවිහාර නාමකරණයෙහි සුවිශේෂිතාවය

සියළු පර්යේෂකවරු මෙම සිද්ධස්ථානය “මහවිහර” ලෙස හඳුන්වා තිබීම හෝ මෙවැනි බොහෝ පැරණි සිද්ධස්ථාන මහාවිහර” ලෙස හඳුන්වා තිබීම එතරම් විශේෂ කොට නොසැළකූහ. ඒ භික්ෂූන් වහන්සේලා වාසය කරන ආරාම වාච්‍ය පදයෙකැයි සාමාන්‍ය කොට තැකූ හෙයිනි. මේ වන විට පුරාතන  තලගුරු පර්වත මහාවිහාරයේ ‘මහාවිහාර’ සංඥාව මැකීගොස්ය. ‘එනමින් ගම්‍ය වූයේ කුමක්ද? හුදෙක්  ඉදිකළ ගොඩනැගිලි සමූහයක් පමණක්ද?’ යන්න විමසිය යුතුය. මෙහිලා පදගතාර්ථ විශ්ලේෂණය කළ විට, අභිධාන ප‍්‍රදීපිකාවෙහි ‘විහාර’ ශබ්දය ක‍්‍රීඩා, දිව්‍ය විහාරාදියෙහි හා තථාගත වාසයෙහි වැටෙන බව දක්වයි.[xxi] එයින් තථාගතයන් වහන්සේ වාසය කරන ස්ථානය යන අර්ථය ගෙන වර්තමානයෙහි බුද්ධ ප‍්‍රතිමා වහන්සේ වැඩ සිටින ගෘහය ‘විහාරය’ හෝ ‘විහාර ගෙය’ යැයි ව්‍යවහාර කෙරේ.

විනය පිටකයෙහි අදින්නාදාන සිකපදය පිළිබඳව සමන්තපාසාදිකා විනය අටුවාවෙහි එන විහාරස්ථ කථා වර්ණනාව සඳහා විමති විනෝදනීටීකාව “විහාරන්ති උපචාර සීමාසඕඛාතං සකලං විහාරං. පරිවේණෙන්ති තස්ස විහාරස්ස අබ්භන්තරේ විසුං විසුං පාකාරාදි පරිච්ඡින්නට්ඨානං. ආවාසන්ති ඒකං ආවාසථමත්තං”[xxii] යැයි අර්ථදක්වයි. එයින් විහාරය යනු උපචාර සීමා සංඛ්‍යාත වූ හෙවත් දැනට විහාරාංග පැතිරී ඇති මුළු විහාර භූමියම යැයි ද පිරිවෙණ යනු ඒ විහාර භූමිය තුළ ප‍්‍රාකාරාදියෙකින් වෙන් කරන ලද ප‍්‍රදේශ යැයිද ආවාසය යනු භික්ෂූන් වහන්සේලා වාසය කරන ස්ථාන යැයිද කියැවේ. තවදුරටත් කිවහොත් විහාර භූමියක් භික්ෂු කණ්ඩායම් කීපයකට වාසය කිරීම සඳහා ප‍්‍රාකාරාදියෙන් වෙන්කොට පිරිවෙන් වශයෙන් බෙදා පරිපාලනය කර ඇති බවක් කියැවේ. පොළොන්නරු ආළාහන පිරිවෙන් සංකීර්ණය අධ්‍යයනය කිරීමෙන් මෙය හොඳින්ම පැහැදිලි වේ. වර්තමාන විශ්ව විද්‍යාලයක අභ්‍යන්තර පීඨ බෙදා වෙන්කොට ඇති ආකාරයටම එකලද එකම විහාරයක විනය අධ්‍යයන පීඨය, අභිධර්ම අධ්‍යයන පීඨය, සූත‍්‍ර අධ්‍යයන පීඨය යනාදී වශයෙන් බෙදා විනයධර ගණය, සූත‍්‍රාන්තික ගණය, ආභිධම්මික ගණය යනාදී නම්වලින් හඳුන්වා ඒ එක් එක් ගණයක් ගණාචාර්ය මහතෙරුන් වහන්සේ නමක් යටතේ පරිපාලනය කර ඇති බවත් පැහැදිලිය. විහාරයෙන් විහාරයට ලැබෙන සිවුපසලාභය අනුව එක් එක් ගණයක නිබඳ වාසය කළ භික්ෂූන් වහන්සේලා සංඛ්‍යාව වෙනස් විය. එයම සාරත්ථදීපනී විනය ටීකාවෙහිද “තත්‍ථ විහාරන්ති මහාවිහාරං. පරිවෙණන්ති මහාවිහාරස්ස අබ්භන්තරෙ විසුං විසුං පාකාර පරිච්ඡන්නට්ඨානං ආවාසන්ති එකං ආවසථං”[xxiii] යනුවෙන් දක්වා ඇත. එහි වෙනස වන්නේ ‘විහාරං’ යනු මහාවිහාරයක් බවත් පරිවෙණං යනු මහාවිහාරය තුළ වෙන් වෙන් වූ ප‍්‍රාකාරවලින් පිරිසිඳින ලද ස්ථානයක් බවත් දැක්වීමයි. එමෙන්ම විසුද්ධි මාර්ග ග‍්‍රන්ථයෙහි කර්මස්ථාන ග‍්‍රහණ නිර්දේශයෙහි “ආවාසොති ඒකෝපි ඔවරකෝ වුච්චති ඒකම්පි පරිවේණං සකලෝපි සඕඝාරාමෝ”[xxiv] යන මෙයින් ආවාස පළිබෝධයට අදාළව එක් කුටියක්ද එක් පිරිවෙනක් ද සියලූ සංඝාරාමයද ආවාස නමින්ම ගැනෙන බැව් කියැවේ. සමන්තපාසාදිකා විනය අටුවාවෙහි විහාරකාර සිකපද වර්ණනාවෙහි ද “එත්ථච විහාරෝති න සකලවිහාරෝ, ඒකෝ ආවාසෝ”[xxv] යැයි කීමෙන් විහාර ව්‍යවහාරය භික්ෂූන් වාසය කළ කුටියකටද කළ බැව් පැවසේ. සමන්තපාසාදිකාවෙහිම සේනාසන ඛන්ධක වර්ණනාවෙහි එන “විහාරො නාම අඞ්ඪයොගාදිමුත්තකො අවසෙසාවාසො”[xxvi] යන්නෙන් අඞ්ඪයොග, ප‍්‍රාසාද, හම්මිය සහ ගුහා හැරපියා භික්ෂූන් වාසය කරන වෙනත් ආවාස ගෘහයක් විහාර නාමයෙන් හඳුන්වන බැව් කියැවේ.

ඒ අනුව භික්ෂූන් වාසය කරන කුටියකට මෙන්ම මුළු සංඝාරාමයටමද විහාර සහ ආවාස යන ව්‍යවහාරය සමව යෙදී ඇති බැව් ප‍්‍රකටය. මෙහිලා ‘මහා’ යන විශේෂණ පදය යෙදුවේ කුමක් හෙයින් ද? භෞතිකව ආවාස ගොඩනැගිලි, සෙසු විහාරාංග හා භූමි පරිච්ඡේද මහන්තත්වය සළකා ද යෙදිය හැක. දඹදිව ජේතවනාරාම මහාවිහාරය, පූර්වාරාම මහාවිහාරය, අශෝකාරාම මහාවිහාරය මෙන්ම ලක්දිව සිතුල්පව් මහාවිහාරය, තිස්ස මහාවිහාරය යනාදී භාවිතයන්ගෙන් එය මනාකොට ප‍්‍රකට වේ. භික්ෂූන් දහස් ගණනින් වැඩසිටි හෙයින් එම විහාර විශාල කුටි ප‍්‍රමාණයකින් හා සෙසු ආරාමාංග වලින් සමන්විත විය යුතුය. යටකී සාරත්ථදීපනී පාඨයෙන් ද මෙවැනි මහාවිහාරයක භෞතික සැළැස්ම කෙසේවී ද යන්න මනාව ස්ඵුට වේ. එසේනම් මේ මහාවිහාරයට ආවේණික වූ භෞතික ලක්‍ෂණ විය යුතු ය. තවද අනුරාධපුර යුගයේ ඉදිවූ මහාවිහාරවල බටහිර පෙදෙස විදර්ශනාධුරයෙහි යෙදුණු භික්ෂූෂන් වහන්සේලාට ධුත ධර්මයන්හි යෙදීමට සුදුසු පරිදි සකසා තිබූ බව පිළිගැනී ඇත. එම බටහිරාරාම කොටසත් එක්වූ කළ අංග සම්පූර්ණ මහාවිහාරය සළකා ගත හැක.

අනෙක් මහාවිහාර ව්‍යවහාරයක්ද ග‍්‍රන්ථාන්තරයෙහි දක්නට ලැබේ. මහින්දාගමන සමයෙහි දෙවන පෑතිස් මහරජු විසින් මහ සඟරුවනට පළමුකොට වාසය පිණිස පූජා කළ මහමෙව්නා උයනෙහි පිහිටි තිස්සාරාමය මූලික කොට අනුරාධපුරය, මිහින්තලය හා තදාසන්න ප‍්‍රදේශවලත් ලක්දිව පුරාවටත් මහත් භික්ෂුපිරිසක් වාසය කළ අතර පසුකාලීනව අභයගිරිය හා ජේතවනාරාමය මුල්කොට හටගත් වෛතුල්‍යය, අභයගිරික හා සාගලිකාදි විපරීත මත දරන භික්ෂු සමූහය වෙතින් පිරිසිදු ධර්ම විනය දැරූ භික්ෂු සමූහය වෙන්කොට හඳුනා ගැනීම පිණිස අනුරාධපුර මූල තිස්සාරාමය ‘මහාවිහාරය’ ලෙසත් තදනුයාත භික්ෂු පිරිස හා පිරිසිදු ධර්ම විනය පරම්පරාව ‘මහාවිහාරීය පරපුර’ ලෙසත් ප‍්‍රචලිත විය. හෙළටුවා පාලියට නැංවූ අනුරාධපුර යුගයෙහි මෙන්ම ටීකා ග‍්‍රන්ථ නිපදවූ පොළොන්නරු යුගයෙහිද වංශකථා ග‍්‍රන්ථයන් අතර මහාවංශය හා නිකාය සංග‍්‍රහයෙහිද මෙම ව්‍යවහාරය නොඅඩුවම දක්නට ලැබේ.

විසුද්ධි මාර්ගයෙහි එන “තලඞගරවාසී ධම්මදින්නත්ථෙරො කිර නාම එකො පභින්න පටිසම්භිදො මහා ඛීණාසවො මහතො භික්ඛුසඕඝස්ස ඔවාදදායකො අහොසි,”[xxvii] යන්නෙන් ධම්මදින්න තෙරුන්වහන්සේ ප‍්‍රතිසම්භිදාප‍්‍රාප්ත මහරහතන් වහන්සේ නමක් බවත් මහා භික්ෂු සමූහයකට අවවාද දුන් බවත් කියැවේ. අර්ථකථාචාර්ය බුද්ධඝෝෂපාදයන් වහන්සේගේ ගරුත්වයට ලක්වූ හෙයින් මේ ධම්මදින්න තෙරුන් නිසැකයෙන්ම අනුරාධපුර මහාවිහාරයෙන් අගය කළ මහාවිහාර වංශික තෙර නමක් විය යුතුය. එසේ නම් ඊටම ගැළපෙන පරිදි දැනට ආරාම භූමියෙන් සොයාගෙන ඇති පුරාවිද්‍යා නටබුන් ප‍්‍රමාණයත් සළකා බැලූ කළ භෞතික මහන්තත්වය හා මහාවිහාරවංශික සඟපරපුරක් වාසය කළේ යන දෙයාකාරයෙන්ම පුරාණ තලගුරු වෙහෙර සඳහා මහාවිහාර සංඥාව භාවිතා කොට ඇතිබව නිගමනය කළ හැක.

විසුද්ධි මාර්ග ධුතාංග නිර්දේශයෙහි එන “ඉමස්මිං පන සුත්තන්තික පරියායෙන ආරඤ්ඤිකං නාම සෙනාසනං පංචධනුසතිකං පච්ඡිම’න්ති ඉදං ලක්ඛණං තං ආරොපිතෙන ආචරිය ධනුනා පරික්ඛිත්තස්ස ගාමස්ස ඉන්‍දඛීලතො අපරික්ඛිත්තස්ස පඨමලෙඞ්ඩුපාතතො පට්ඨාය යාව විහාර පරික්බෙපා මිනිත්වා වවත්‍ථපෙතබ්බං”[xxviii] යන පාඨයෙන් ආරණ්‍යක ධුතාංගය සමාදන් ව වාසය කිරීමට සුදුසු සේනාසනයක පිහිටීම ගැන කියැවේ. ‘පරික්ෂෙප කළ ග‍්‍රාමයෙක ඉනද්‍රඛීලයේ පටන් ද පරික්ෂෙප නොකළ ග‍්‍රාමයෙක ප‍්‍රථම ලෙඞ්ඩුපාතයේ පටන් ද සේනාසන පරිශ‍්‍රය දක්වා දුර දුනුදිය නංවන ලද ආචාර්ය දුන්නක් මෙන් පන්සියයක් විය යුතු ය’ යන්න මෙහි අදහසයි. එවන් දුන්නක ප‍්‍රමාණය වියත් හත අටක් පමණ වේ.[xxix] යැයි විමති විනොදනී විනය ටීකාවෙහි කී බැවින් දුනු පන්සියයක් යනු බඹ පන්සියයකි. එනම් වර්තමාන ව්‍යවහාරයට අනුව සැතපුමකටත් වඩා අඩු දුර ප‍්‍රමාණයකි. ඒ අනුව වර්තමානයේ භික්ෂූන් වහන්සේලා වාසය කරන නිමලව අරණ්‍යසේනාසනය නමින් හඳුන්වන භූමි ප‍්‍රදේශය ආරණ්‍යක සේනාසනයක් ලෙස සැළකීමද යුක්ති යුක්ත ය.

එසේම පුරාවිද්‍යා නටබුන් වර්තමාන විශ‍්‍රාම ශාලාව දක්වාමත් දැනට පරිභෝග නොකරන විශාල ප‍්‍රදේශයකත් පැතිර පවතින හෙයින් පුරාණ තලගුරු මහවෙහෙරේ ශ්‍රී විභූතිය වැළලී ගිය සෙයක් පෙනේ. අවම වශයෙන් 07 වන සියවස දක්වා මෙහි යම් යම් සැදැහැවතුන් විසින් පුද පූජාවන් කර ඇති බව ඒ යුගයට අයත් සෙල්ලිපි කීපයක් අනුව නිගමනය කොට ඇත.[xxx] වාර්ෂිකව පැවැත්වූ විශේෂ පුණ්‍යෝත්සවයකින්ද මෙම පුණ්‍ය භූමිය බබළන්නට ඇත. අවට පිහිටා ගත් තිස්ස මහාවිහාරය, සිතුල්පව් මහාවිහාරය, නාග මහාවිහාරය, තුලාධාර පර්වත විහාරය ආදී දහස් ගණනින් රහතන් වහන්සේලා වැඩ සිටි රාජ පූජිත සිද්ධස්ථාන අතරෙහි තලගුරු මහ වෙහෙර එහි වැඩ සිටි ධම්මදින්න මහ රහතන් වහන්සේ නිසාම බබළන්නට ඇත. ධර්ම සාහිත්‍යයට අනුව අවම වශයෙන් පන්සිය නමක් භික්ෂූන් වහන්සේලා පිරිවරා වැඩ සිටි සේක්හ. එම පන්සියයක් වූ සඟපිරිසට බොහෝ ගල්ලෙන්, කුටිසේනාසන හා සෙසු විහාරාංග ඉදිවන්නට ඇත. ඒ භික්ෂූන් වහන්සේලාගේ වැඳුම් පිදුම් කටයුතු සඳහා ස්ථූප කිහිපයක් ද අධ්‍යාපන කටයුතු සඳහා ගණාචාර්යයන් වහන්සේලා මුල්කොට ගත් පිරිවෙන් පරිශ‍්‍රයන් සහ විනයකර්ම සඳහා සීමා මාළකයන් ද කරවන්නට ඇත. බොහෝ උවසු උවැසියන් සගමොක්සුව සළසාගන්නට ද ඇත.

ඒ කෙසේවුවත්, එදා දහස් ගණන් රහතන් වහන්සේලාගෙන් බැබළුණු ‘තලකර පවරත මහ විහර’ අද සුසිල්වත් මහ තෙරනමක් දෙටුකොටගත් ස්වල්ප වූ සංයමීන් වහන්සේලා පිරිසක් වැඩසිටින ‘නිමලව අරණ්‍ය සේනාසනය’යි. අතීත තලගුරු මහ වෙහෙරේ අවසන් සුසුම් පොද කිහිපය විය හැක. පාරම්පරික මහාවිහාරීයත්වය ද නැවත කිසිදාක ප‍්‍රතිසංස්කරණය කළ නොහැකි නටබුන් ශේෂයක් වී හමාරය.

“චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මා සම්බුද්ධසාසනං”

ත්‍රිපිටකාචාර්ය

කුණ්ඩසාලේ අරණගවේසී හිමි

DOWNLOAD AS PDF

පරිගණක අකුරු සැකසුම
උපේක්‍ෂා පියරංගිකා මිය

ආන්තික සටහන්

[i]       ධම්මදස්සී හිමි , වැලිමඩ , නිමලව ආරණ්‍ය සේනාසන ඉතිහාසය, ශ‍්‍රී දේවි පි‍්‍රන්ටර්ස් (පුද්) සමාගම, නැදිමාල,2001 ජූනි, 41 පිට

[ii]       එම -, 21 පිට

[iii]      එම -, 42 පිට

[iv]      එම -, 43 පිට

[v]       එම -, 38 පිට

[vi]      සද්ධර්ම රත්නාකරය , ධම්මදින්න ස්ථවිර කථා, සමයවර්ධන , 2001, 355 පිට

[vii]     සුගත බන්ධු හිමි, දෙපානම , සිලෝගම, ටිකිරි බණ්ඩාර , සිරිලක බුදු සසුන හා රුහුණෙහි  වන  සෙනසුන්, චතුර මුද්‍රාණාලය, වැල්ලම්පිටිය, 2004, 145 පිට

[viii]     මේධානන්ද හිමි , එල්ලාවල , තලකර පවරත මහ විහර හෙවත් නිමලව තපොවනය,  සපරගමු ඉතිහාස පුරාවිද්‍යා පර්යේෂණ ආයතනය, 2015,  27 පිට

[ix]      එම -, 32 පිට

[x]       එම -, 33 පිට

[xi]      එම -, 35, 36, 37, 38 පිටු

[xii]     එම -, 40  පිට

[xiii]     එම -, 73 පිට

[xiv]     සිරිලක බුදු සසුන හා රුහුණෙහි  වන  සෙනසුන්, චතුර මුද්‍රාණාලය, වැල්ලම්පිටිය, 2004, 160 පිට

[xv]     තලකර පවරත මහ විහර හෙවත් නිමලව තපොවනය,  සපරගමු ඉතිහාස පුරාවිද්‍යා පර්යේෂණ ආයතනය, 2015,  35, 36, 37 පිටු

[xvi]     එම -,  42 පිට

[xvii]    නිමලව ආරණ්‍ය සේනාසන ඉතිහාසය, ශ‍්‍රී දේවි පි‍්‍රන්ටර්ස් (පුද්* සමාගම, නැදිමාල,2001 ජූනි, 38 පිට

[xviii]   විජේරත්න, එම්. ඩබ්. විමල්, සිංහල ධාතු වංශය ( ශාස්ත‍්‍රීය සංස්කරණය  හා පාළි ධාතුවංස සන්සන්දනයක් සහිත  විචාරාත්මක අධ්‍යයනයක් *, සී.ස. ඇස්. ගොඩගේ සහ සහෝදයරයෝ( පුද්.* සමාගම, 2012, 253 පිට

[xix]     තලකර පවරත මහ විහර හෙවත් නිමලව තපොවනය,  සපරගමු ඉතිහාස පුරාවිද්‍යා පර්යේෂණ ආයතනය, 2015,  47 පිටු

[xx]     එම -,  48 පිට

[xxi]     සෙවිරත්න, නාගොඩ ආරියදාස අභිධානප්පධීපිකා  පාළි නිඝණ්ඩු (සිරි සරණතිස්සව්‍යාඛ්‍යා* , සමයවර්ධන , 1998, 827 වන ගාථාව, 148 වන පිට

[xxii]    විමති විනෝදනී ටීකා, විහාරට්ඨ කථා වණ්ණනා, ඡුට්ඨ සංගායනා මුද්‍රණ, අංක 103 පරිච්ෙඡ්දය

[xxiii]   සාරාත්ථ දීපනී ටීකා , විහාරට්ඨ කථා වණ්ණනා, ඡුට්ඨ සංගායනා මුද්‍රණ, අංක 103 පරිච්ෙඡ්දය

[xxiv]   විසුද්ධි මග්ගො, හේවා විතාරණ මුද්‍රණ, 2006, 67 පිට

[xxv]    සමන්ත පාසාදිකා  නාම විනයට්ඨ කාථා, හේවාවිතාරණ මුද්‍රණ, 1929, 412 පිට

[xxvi]   එම -, 898 පිට

[xxvii]   විසුද්ධි මග්ගො, හේවා විතාරණ මුද්‍රණ, 2006, 476 පිට

[xxviii] එම -, 54 පිට

[xxix]   විමති විනෝදනී ටීකා, දුතිය පාරාජික වණ්ණනා , ඡුට්ඨ සංගායනා මුද්‍රණ , අංක 92  පරිච්ෙඡ්දය

[xxx]    තලකර පවරත මහ විහර හෙවත් නිමලව තපොවනය,  සපරගමු ඉතිහාස පුරාවිද්‍යා පර්යේෂණ ආයතනය, 2015,  74   පිට