දුටු දුටුවන්ගේ නෙත් මවිත කරවමින් සමුදුර කෙළවර කොට ඇති සියලු දඹදිවට අහසින් නෙළුම් මල් වැසි වස්සවමින් ඉපදුන අංගීරස වූ පදුම ලෝක නාථයන් වහන්සේ පිරිනිවී එම බුද්ධ ශාසනයද අතුරුදන් වූ පසු අවුරුදු ලක්ෂයක් වූ මනුස්ස ආයුෂය අවුරුදු දහය දක්වා අඩු වීය. එයින් නැවතත් වසර අසංඛ්‍ය දක්වා වැඩි වී, එ වර්ධනය වූ ආයුෂද නැවත පිරිහී වසර අනූ දහසක් වීය.

එකල්හි දසබලදාරී ත්‍රිවිද්‍යා ඇති චතුවෙසාරජ්ජ විශාරද විමුක්ති සාර දෙන්නාවූ ‘නාරද’  නම් වූ නරසත්තුත්තමයන් වහන්සේ ලොව පහළ වූ සේක.

නාරද සර්වඥයන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම්දම් පුරා තුසිත භවනේ ඉපිද අප්‍රමාණ දිව්‍ය සම්පත් විදමින් කල්යවා එයින් නික්මී ධඤ්ඤවතී නුවර ස්වකීය වීර්යෙන් දිනන ලද වාසුදේවයා බදු වූ සුදෙව රාජ කුලයේ අග්‍ර මහේෂිකාව වූ නිරූපම අනෝමා දේවියගේ කුස පිළිසිද ගත්තේය. එයින් දසමසක් ගෙවණු පසු ධනඤ්ඤ උයනේ දී මවු කුසින් බිහිවීය. නම් තබන දිනයේ නාමග්‍රහණ මොහොතේ සියලු දඹදිව මිනිසුන්ගේ ප්‍රයෝජනයට සෑහෙන තරම් ආභරන අහස් කුස සිසාරා කල්ප වෘක්ෂයෙන් වැටුනේය. එම නිස මිනිසුන්ට සුදුසු ආභරන දුන්නේය යැයි ‘නාරඳ යනුවෙන් නම් තැබීය.

නාරද කුමරු වෙනුවෙන්ම පතාගෙන ආ කුල ශීලාචාර රූප සම්පන්න මනෝකුල වූ බොහෝ පිං ඇති ක්ෂත්‍රිය කුමරියක වූ විජිත සේනා දේවිය සරණ පාවාගෙන විජිත ය, විජිතාවි ය, විජිතාරාමය යන තුන් මහා ප්‍රාසාදයන්හී එක්ලක්ෂ විසි දහසක් ස්ත්‍රීන් පිරිවරාගෙන වසර නව දහසක් ගිහිගෙයි වාසය කළේය. විජිත සේනා දේවිය සකල ලෝක නදකර නන්දුත්තර කුමරු වැදූ දා සතර පෙරනිමිනි දැකීමෙන් ගිහිගෙය කළකිරී සිටි නාරද බෝධිසත්තුත්තමයෝ චතුරංගනී සේනාව පිරිවරාගෙන නොයෙක් වර්ණයන්ගෙන් කය සරසා මුතුහර, මිණි කොඬොල් ඔටුන පැළද උතුම් වූ සුගන්ධයන් ඇඟ ගල්වා සියලු අලංකාරයන්ගෙන් සැරසී පා ගමනින්ම උයනට ගමන් කර සියළු ආභරණ මුදා ඒ සියල්ලක් භාණ්ඩාගාරික වෙත භාර කොට නිල්වන් කෙස් වැටිය සියුම් මුවහත් කඩුවෙන් තමන් වහන්සේම කපා අහසට විසි කළේය. එවිට සක්දෙවි රජ එම කෙස් වැටිය ස්වර්ණ කරඬුවකින් පිළිගෙන තව්තිසා භවනට ගෙනගොස මහමෙර මුදුනේ තුන් ගව්වක් උස සත්රුවන් සෑයක් කළේ ය. මහා පුරුෂයන් වහන්සේ කල්පාරම්භයේදී තමන් වහන්සේ උදේසා පහළ වූ අටපිරිකරය බ්‍රහ්මරාජයෙකු ගෙනැවිත් පිදූ පසු එහි වූ සිවුරු පිරිකර හැද පෙරවා ඒ උයනේ දීම පැවිදි වීය. එවිට පුරුෂයෝ ලක්ෂයක් දෙනා පැමිණ බෝසතුන් හා එහිදීම පැවිදි වූහ. බෝධි සත්වයන් වහන්සේ සත්දිනක් පුරාවට එමඋයනේදීම ප්‍රධන් වීර්‍ය වැඩූහ. වෙසක් පුර පොහෝ දින විජිත සේනා නම් තම අග මෙහෙසිය, පූජා  කළ කිරිපුඬු දානය වළදා එම උයනේම දිවා විහරණය කොට සුදස්සන නම් උයන් පල්ලා පූජා කළ තණ මිටි අට ගෙන මහා සෝණ (තොටිල) බෝධිය පැදකුණු කොට අට පනස් රියනක් තරම් බිම තණමිටි අතුරා එහි වැඩහිද මරසෙන් පරදා රාත්‍රී තුන් යමෙහි ත්‍රිවිද්‍ය උපදවා සර්වඥතාඥාණය ප්‍රතිවේද කොට “අනේක ජාති සංසාරං” යනුවෙන් ප්‍රීති වාක්‍ය කියා ධර්ම දේශනය පිණිස කළ බ්‍රහ්මාරාධනාව පිළිගෙන ධනඤ්ඤ උයනේදී තමන් වහන්සේ හා එකට පැවිදි වූ භික්ෂූ හු ලක්ෂයක් දෙනා පිරිවරාගෙන ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කළ සේක. එකල් හී කෝටි ලක්ෂයක් වූ සත්ව ප්‍රජාවකට ධර්මාභිසමය වූහ.

එකල මහා ද්‍රෝණ නගරයෙහි මහා ජනයා ගෙන් ගරු සත්කාර බලි පූජා ලබන්නාවූ මහා ඍඬි ඇති මහානුභාව සම්පන්න ද්‍රෝණ නම් මහා නාග රාජයෙක් ගංඟා විල්තෙරෙහි වාසය කළේ ය. මිනිසුන් විසින් එම නාගයා වෙත බලිපූජා නොකළ හොත් එම නාගයාගේ උග්‍ර තේජස හා මහා ඍඬිමත් භාවයෙන් එම ප්‍රදේශය නියඟයෙන් හෝ දැඩි වර්ෂාවෙන් හෝ ගල් බොරළු වැස්සකින් හෝ වසන්නේය.

එම නාගයා වාසය කරන ප්‍රදේශයේ බොහෝ පිරිසකට ධර්මාවබෝධය ලැබීමට තරම් වූ උපනිඃශ්‍රය සම්පත්තියක් ඇති බව දුටු තීරදර්ශී නාරද බුදු රජාණන්වහන්සේ මහත් වූ භික්සඟරුවන පිරිවරාගෙන එම නාගයා වාසය කළ ද්‍රෝණ නගරයට වැඩම කළ සේක. ඒ බව දුටු එම ප්‍රදේශයේ මිනිසුන් “ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස, මෙහි ඝෝර විෂ ඇති උග්‍ර තේජසින් යුතු මහා ඍඬි ඇති මහානුභාව සම්පන්න වූ මහා නාග රාජයෙක් වාසය කරන්නේය. ඒ මහා නාගරාජයාගේ මහත්වූ ඍඬිමත් භාවයෙන් මිනිසුන් පෙළන්නේ ය. එම නිසාස්වාමිනී නොවඩින සේක්වා”යි කියා සිටිය හ. නමුත් භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ගේ වචන නොඇසුනාක් මෙන්වැඩම කර ඒ නාගරාජයාට සත්කාර  කරනු පිණිස කළ පරම සුගන්ධ වූ මල් ඇතිරියෙහි වැඩ හුන් සේක. මහ ජනයා නාරද මුණි රජුගේත් ද්‍රෝණ නා රජුගේත් අතර ඇති වන ද්වන්ද සටන බලන්නෙය යැයි එතැනට රැස්වූහ. ඉක්බිති සර්ප නාගයා එසේ වැඩ හුන්නා වූ මුණි නාගයන්ව දැක මකු බව නො ඉවසමින් දෘෂ්‍යමාන කයින් දුම් දැමීය දසබල දාරීන් වහන්සේද දුම් දැමීය. නැවත නා රජු දැල්වීය මුණි රජාණෝ ද දැල්වූනා හ. ඉක්බිති ඒ නා රජු භාග්‍යවතුන් වහන්සේගේ සිරුරින් නික්මුණා වූ දුම නිසා අතිශයින් ක්ලාන්තව ශාරීරික දුක්ඛය ඉවසිය නොහැකිව මේ ශ්‍රමණයාව මරන්නෙමි යැයි විෂ විද්දේ ය. එම විෂ වේගයෙන් සියලු දඹදිවම වැනසෙන්නේය. නමුත් ඒ විෂෙන් භාග්‍යවතුන් වහන්සේගේ බුදු සිරුරෙ එක් ලොම් ගසකුදු කම්පා කිරීමට නොහැකි විය. එසේ විෂ විද්ද නාගයා ඒ ශ්‍රමණයා ගේ තත්වය කුමක්දැයි බලන විට සරත් සමයේ සූර්‍යයා මෙන්ද පිරිපුන් චන්ද්‍රයා මෙන්ද ෂඩ් වර්ණ බුද්ධ රෂ්මි ධාරා විහිදුවමින් ප්‍රසන්නව වැඩ ඉන්නාවූ භාග්‍යවතුන් වහන්සේව දැක “අහෝ! ඒකාන්තයෙන් මේ ශ්‍රමණයා මහා ඍඬි ඇත්තෙකි. මම වනාහී ම‌‌ගේ තරම නොදැන වරදක් කළෙමි”යි සරණක් සෙවූයෙන් භාග්‍යවතුන් වහන්සේවම සරණ ගියේය. ඉක්බිති නාරද භාග්‍යවතුන් වහන්සේ නාරජු දමනය කර එහි රැස්වූ මහජන සමූහයාගේ චිත්ත ප්‍රසාදය ඇතිකරවීම පිණිස යමා මහ පෙළහර පෑ සේක. එකල්හී අනූ කෝටි දහසක් දෙනා අරහත්වයට පත්වූහ. මේ දෙවන අභිසමය විය.

යම් කළෙක වනාහී තම පුත් නන්දුත්තර කුමරු හට අවවාද දුන් සේකද එකල් හී අසූ කෝටි දහසක් දෙනා තෙවන වරට ධර්මාභිසමය ලැබූහ.

එක් කළෙක ථුල්ල කොට්ඨිත නගරයේ භද්දසාල, විජිතමිත්ත යැයි මිතුරු බමුණුන් දෙදෙනකු අමාවිල සොයනුයේ සපරිවාරව වැඩහුන් සාරදායක වූ නාරද භාග්‍යවතුන් වහන්සේ දුටු හ. ඔවුන් භාග්‍යවතුන් වහන්සේගේ සිරුරෙහි ඇති දෙතිස් මහා පුරුෂ ලකුණු දැක මේ නම් ලෝකයේ කෙළෙස් නැසූ සම්මා සම්බුදු රජාණන් වහන්සේම යැයි නිශ්ඨාවට පැමිණ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි හටගත් ප්‍රීතිය නිසා සපරිවාරව පැවිදි වූහ. කෝටි ලක්ෂයක් භික්සසන මැද පාමොක් උදෙසූ සේක. මේ ප්‍රථම ශ්‍රාවක සන්නිපාතය විය.

මහා ද්‍රෝණ නාග දමනයේදී පැහැදුණු වේරෝචන නම් නාගරාජයා ගඞ්ගා නදී තීරයේ තුන් ගව් පමණ සත් රුවන් මණ්ඩපයක් මවා සපරිවරින් තමාගේ අග්‍ර වූ දානය උදෙසා ආරාධනා කොට නාග නළු නිළියන් හා විවිධ විසිතුරු ඇදුමින් සැරසුණු තූර්‍ය වාදකයන්ද රැස්කොට මහත් වූ සත්කාර ඇතිව සපරිවරින් භාග්‍යවතුන් වහන්සේව වැඩමවා මහා දානයක් දුන්හ. දන් වළදා අවසානයෙහි භාග්‍යවතුන් වහන්සේ මගා ගංඟාවක් ඇඳ හැලෙන්නාක් මෙන් අනුමෝදනා දේශනාව කළ සේක. ඒ භුක්තානුමෝදනාව අසා පැහැදී ඒහි භික්ෂුභාවයෙන් පැවිදි වූ අසූ ලක්ෂයක් භික්ෂූහු මධ්‍යයෙහි භාග්‍යවතුන් වහන්සේ පාමොක් දෙසූ සේක. මේ තෙවන ශ්‍රාවක සන්නිපාතය විය. එකල් හී අපගේ බෝධිසත්වයන් වහන්සේ  ඍෂි පැවිද්දෙන් පැවිදිව හිමවතේ පසෙක ආශ්‍රමයක් මවාගෙන පඤච අභිඤ්ඤා අෂ්ඨ සමාපත්ති උපදවා ඒ සමාපත්තීන් ඇසුරු කරගෙන වාසය කරන්නේය. එම තාපස තුමන් කෙරෙහි අනුකම්පා පිණිස නාරද භාග්‍යවතුන් වහන්සේ අසූ කෝටියක් රහතුන්ද අනාගාමී ඵලයෙහි පිහිටි දස දහසක් උපාසක පිරිසක්ද පිරිවරාගෙන ඒ තාපසාරාමයට වැඩම කළහ. භාග්‍යවතුන් වහන්සේ දුටු තාපස තෙමේ පිනාගිය හදවතින් යුතුව පිරිවර සහිත බුදුනගේ වාසය පිණිස ආශ්‍රමයක් මවා මුළු රැය  පුරාවට බුදුගුණ කියා භාග්‍යවතුන් වහන්සේගෙන් බණ අසා දෙවන දිනයේ උතුරුකුරු දිවයිනට ගොස් එයින් ආහාර ගෙනැවිත් පිරිවර සහිත බුදුනට මහා දානයක් පිදුවේය. මෙසේ බුදු පාමොක් භික්සඟනටත් අනාගාමී උපාසකවරුන්ටත් සත්දිනක් මහා දන් දී හිමාල පව්වෙන් මහත් වූ අනර්ග රත්සදුන් ගෙනැවිත් ඒ රත්සදුන් වලින් බුදුන් පිදුවේය. එවිට භාග්‍යවතුන් වහන්සේ සපරිවාර දෙවි මිනිසුන්හට ධර්මය දේශනා කොට මේ මහා පුරුෂතෙමේ අනාගතයෙහි ගෞතම නමින් සම්මා සම්බුද්ධත්වයට පත්වන්නෙය යැයි විවරණ ලබාදුන් සේක.

“සොපි මං බුඬො ව්‍යාකාසි – නාරදො ලොකනායකො
අපරිමෙය්‍යෙ ඉතො කප්පෙ – බුඬො  ලොකෙ භවිස්සති”

යනුවෙන් ඒ බැව් දේශනා කළ සේක. ධඤ්ඤවතී නගරයෙහි රජ කළ සුදේව නම් ක්ෂතීය රජුට දාව අනෝමා නම් මව් දේවියගේ කුසෙහි පිළිසිද ගෙන දස මස් ඇවෑමෙන් ධනඤ්ඤ උයනේදී මව්කුසින් බිහි වී තුරුණු වියේදී විජිත සේනා නම් බොහෝ පිං ඇති රජ කුමරිය සරණ පාවාගෙන එක්ලක්ෂ විසිදහසක් තරම් ස්ත්‍රීන් පිරිවරාගෙන විජිතය විජිතාවිය, විජිතාභිරාම ය

යන තුන් මාළිගාවන් හී වසර නව දහසක් සැප සම්පත් විදිමින් කල් යවා නන්දුත්තර නම් තම පුතු උපන්ද වසේ ගිහිගෙය හැර දමා පැවිදිව මහා සෝණ (තොටිල) බෝරුක් සෙවනේ ප්‍රධන් වීර්ය්‍ය වඩා ත්‍රිවිද්‍යා උපදවා ලොව්තුරා සම්මා සම්බුද්ධත්වයට පත් වූ නාරද නම් සුගත තථාගයන් වහන්සේ අසූ අට රියනක් උස නිරන්තරයෙන් යොදුනක් තරම් දුරට බුද්ධ රෂ්මි ධාරා විහිදෙන්නා වූ ශෝභමාන වූ බුද්ධ ශරීරයක් ඇතිව භද්ධසාල – විජිත මිත්ත යැයි අග්‍ර ශ්‍රාවක දෙනමක්ද වාසෙට්ඨ නම් අග්‍ර උපස්ථායකයන් වහන්සේ නමක්ද, උත්තරා – වේග්ගුනී යැයි අග්‍ර ශ්‍රාවිකාවන් දෙනමක්ද ඇතිව සකල ලෝ වැසියන්ට අමා ඔසු පොවා සසර දුඣයෙන් එතෙර කරවමින් සියලු බුදුකිස නිමවූ නාරද නම් වූ සුගත තථාගයන් වහන්සේ වසර අනූ දහසක් ආයු වළදා නිවන් පුර වඩනු සේක පිරිනිවන් පා වදාළ සේක.

‘නිබ්බාන පච්චයෝ හෝතු.”

(මධුරත්ථ විලාසිනී නම් බුද්ධ වංශ අට්ඨකථාව ඇසුරෙන්)
සම්පාදක :- පූජ්‍ය පුවක්පිටියේ සුමංගලරතන හිමි.