පටුන

හැඳින්වීම

1. අර්ථ කථාවන්හි පැමිණි ත්‍රිලක්ෂණ වචනාර්ථ           DOWNLOAD AS PDF

ත්‍රිලක්‍ෂණයන්ගේ වචනාර්ථ

මෙකී ත්‍රිලක්‍ෂණයන්ගේ පදගතාර්ථය අර්ථකථාවන්හි මෙසේ දැක්වේ

2. අනිත්‍යය පිළිබඳව දතයුතු කරුණු          DOWNLOAD AS PDF

සම්මුති සත්‍ය

පරමාර්ථ සත්‍ය

නාමරූපයන්ගේ ක්‍ෂණික නිරෝධය පිළිබඳ තවත් ත්‍රිපිටක නිදර්ශන

 3. නාමරූපයන්ගේ ක්‍ෂණික නිරෝධය පිළිබඳව අර්ථකථා සාධක පාඨ          DOWNLOAD AS PDF

I අලගද්දූපම සූත්‍ර අර්ථකථාව

II මහානිදාන සූත්‍ර අර්ථකථාව

III විශුද්ධ මාර්ගය

IV පටිසම්භිදාමග්ගප්පකරණ අර්ථකථාව

නාමරූපයන්ගේ ක්ෂණික නිරෝධය පිළිබඳ ටීකාවන්හි අන්තර්ගතය

4. අනිත්‍යතාවය පිළිබඳව සුප්‍රකට මෑතකාලීන ථේරවාදී භාවනා ආචාර්යවරුන්ගේ මත

             මහා සී භාවනා ක්‍රමය තුළින් අනිත්‍යතාවය

             “පා-අවුක්” භාවනා ක්‍රමය තුළින් අනිත්‍යතාවය

             විදර්ශනා භාවනා ක්‍රමය – රේරුකානේ චන්‍දවිමල මහතෙරුන් වහන්සේ

(මෙම ලිපි ඉදිරි කාලයේදී බලාපොරොත්තුවන්න.)

5. දුක්ඛ ලක්‍ෂණය පිළිබඳව දතයුතු කරුණු

6. අනාත්ම ලක්ෂණය පිළිබඳව දත යුතු කරුණු

7. සූත්‍ර දේශනා තුළින් නිවන් මග

8. සප්ත විශුද්ධිය හා සතර මහාපදේශ තුළින් ත්‍රිලක්ෂණය

*(මෙහි මතෘකා මත click කිරීමන් අදාල article එකට යනු ලැබේ.)

හැඳින්වීම

අති දීර්ඝ කාලයක් මුළුල්ලේ සතර අපා දුක් විඳිමින් අනේක සෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන්ගෙන් ගැවසීගත් ලෝක සත්වයාට ඇති එකම සැනසිල්ල බුද්ධෝත්පාදය යි. බලවත් අකුශල කර්ම ඇති ඉතා බහුතරයක් සත්ත්‍වයෝ බුද්ධෝත්පාදයකදී ධර්මශ්‍රවණය කළ නොහැකි බාහිර සක්වලවල්හි හෝ සතර අපායන්හි උපදිත්. ඉතා බලවත් කුශල කර්ම ඇති අල්පතරයක් ම සත්ත්‍වයෝ බුද්ධෝත්පාදයේ දී මේ මංගල සක්වලෙහි සුගති ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් ලබති. එහිදී සම්පූර්ණ කරන ලද බෝධිසම්භාර ධර්ම ඇති සත්ත්‍වයෝම ධර්මය අසා සෝවාන් ආදී සතර මගඵලයන්ට පැමිණ සසර දුකින් එතෙර වෙති.

නිර්වාණාධිගමයට ප්‍රමාණවත් පාරමී ධර්ම නොපිරුණු පෘථග්ජන සත්ත්‍වයෝ මතු මඟඵල පිණිස බෝධිපාක්ෂික ධර්ම වඩති. එසේ පාරමී පුරන්නවුන්ට බුදුන් පිරිනිවි පසු ඇති එකම සැනසිල්ල පිරිසිදු විපස්සනා ප්‍රතිපදාවත් කල්‍යාණමිත්‍ර සම්පත්තියත් පමණි. ඉදින් කල්‍යාණ මිත්‍රයන් සිටියේද නිවැරදි විපස්සනා ප්‍රතිපදාවක් නැති වුවහොත් ඒ සැනසිලි  මාත්‍රයද සිස්ව යනු ඇත.

ශාසනාන්තර්ධානය දක්වා කාලය තුළ මේ නිවන් මග වසාලනු පිණිස විවිධ අධර්මවාදී පිරිස් සසුන තුළ බිහි වන්නාහ. දෙවැනි ධර්ම සංගායනාවෙන් බැහැර කළ විපරීත දෘෂ්ටි දැරූ මහාසාංඝිකයන් ද තෙවැනි ධර්ම සංගායනාවෙන් බැහැර කළ විපරීත දෘෂ්ටි දැරූවෝ ද ඉන් ඇතමෙක්ය. මෙලෙස වරින්වර සසුන තුළ මෙබඳු පිළිල පහළ වීම ස්වභාවික සංසිද්ධියකි. අනිත්‍යතාවේ ප්‍රතිඵලයකි. බුදු සසුන ද කෙදිනක හෝ අතුරුදහන්ව යා යුතුය. මේ ස්වභාවධර්ම නියාමය කිසිවකුට ඉක්මවා ලිය නොහැක.

නමුදු මතු වසර පන්දහසක් කල් පවත්නා සේ සසුන පැවතීමට හැකිවන වන සේ සසුන් පිළිල ඉවත් කිරීමට සෑම විටම ථෙරවාදීහු ක්‍රියා කළහ. දෙවන සංගීතියේ කාකණ්ඩපුත්ත යස මහරහතන් වහන්සේ ද තෙවන සංගීතියේ  මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ ද ඊට නිදසුන් වූවෝය.

මෙකල ද සත්ත්‍වයන්ගේ නිවන් මග වසාලමින් ශාසන විපස්සනා ප්‍රතිපදාවට කටුකොහොල් ඇද හෙලන විවිධ විපරීත දෘෂ්ටි මතුව ඇත. විශේෂයෙන්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණ ධර්ම පිළිබඳව ථෙරවාදී ආචාර්ය පරම්පරාවෙන් රැගෙන ආ ශ්‍රී මුඛ බුද්ධ දේශනාවේ අර්ථ බිඳහෙලන විපරීත දෘෂ්ටි සමුදායක් මේ වන විට මතුව ඇත.

ත්‍රිපිටක පෙළ අර්ථකථා ටීකා ආදිය කියවා අර්ථ මතු කර ගැනීමට අපහසු ශාසනමාමක බොහෝ ගිහි පැවිදි පිරිස් එම විපරීත අර්ථයන් යොදාගෙන විපස්සනා භාවනා කිරීමට යාමෙන් තමන්ගේ මෝක්ෂ මාර්ගය ආවරණය කරගන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ වදාළ පරිදිම ගවකිරෙන් අර්ථ ඇතියෙක් දෙනකගේ අඟින් කොතරම් වීරිය යොදා දෙව්වද කිරි ලැබෙන්නේ නැත. එමෙන්ම කොපමණ වීරිය කළත් වැරදි අර්ථ යොදා ගනිමින් විපස්සනා කරන්නවුන්ට ලැබෙන මඟඵලයක් නැත.

එබැවින් සද්ධර්මයාගේ චිරස්ථිතිය පිණිස ද සසුන් බඹසර හැසිරෙනවුන්ට අර්ථ පිණිස ද ලෝක සත්ත්‍වයාට නිවන්මග පාදා දෙනු පිණිස ද ථේරවාදීන්ට නිවැරදි ආචාර්යවාදය හඳුනා ගැනීම පිණිස ද ත්‍රිපිටක පෙළ අර්ථකථා ටීකා ආදියෙහි පැමිණි අර්ථ වලට අනුව අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණ ධර්මයන්ගේ අර්ථ පැවසීමට මෙම ලිපි පෙළ සකස් කරන ලදී.

මෙහි අන්තර්ගතය ලෙස ථෙරවාද අර්ථකතාවෙහි ත්‍රිලක්ෂණයන්ට දැක්වූ අර්ථ මොනවාදැයි යන්න ද, අනතුරුව අනිත්‍යතාවය පිළිබඳව සරල අදහසක් දක්වා ත්‍රිපිටක පාලියෙහි සූත්‍ර  නිදර්ශන ද අර්ථකථා පාඨ නිදර්ශන ද ටීකා නිදර්ශන ද මෑත කාලීන බුරුම රට හා මෙරට භාවනා ආචාර්යවරුන්ගේ ඉගැන්වීම් ද දක්වමින් අනිත්‍යතාව පිළිබඳ අර්ථ පෙළ ගස්වා ඇත. ඉන් අනතුරුව දුක්ඛ අනාත්ම යන ලක්ෂණද්වය පිළිබඳව ද පෙළ අර්ථකථාවන්හි පැමිණි දහම් අරුත් දැක්වේ. ඊළඟට මෙම ත්‍රිලක්ෂණ අර්ථ අනුව විපස්සනාව වඩන ආකාරය භාග්‍යවතුන් වහන්සේ විසින් සූත්‍රවල දේශනා කරන ලද අයුරු පෙළ උදාහරණ සහිතව දැක්වේ. අනතුරුව මතු කරන ලද ත්‍රිලක්ෂණ අර්ථයන් සප්තවිශුද්ධිය තුළට බහා දක්වා ඇත. අවසාන වශයෙන් මතු කරන ලද ත්‍රිලක්ෂණ අර්ථ සතරමහාපදේශයන්ට බහා ශ්‍රී මුඛ බුද්ධ දේශනාව මෙයම බවට අර්ථ තහවුරු කර ඇත.

මෙම ලිපි පෙළ සකස් කරන ලද්දේ කලක් ධර්මය සමඟ ඇසුරක් පැවැත්වූවන්ට අර්ථ වැටහෙන පරිදිය. පුරන ලද පාරමී ඇති ඇතැම්හු තමන්ගේ ශාසනික ප්‍රතිපදාවේ මුල පටන්ම නිවැරදි ගැඹුරු දහම් අර්ථ වටහා ගෙන සුවසේ නිවැරදි  මාවතේ ගමන  යන්නාහ. ඇතැමුන් විවිධ දහම් මත අධ්‍යයනය කරමින් තමන්ට වැටහෙන ලෙසින් අර්ථ දරාගෙන දුකසේ නිවැරදි මාවතේ ගමන යන්නේ ය. ඇතැමුන්ට කොතරම් කීවත් අර්ථ වටහා ගත නොහැකි හෙයින් සරල අර්ථ දරාගෙන වැරදි මාවතේ යන්නේ ය. එබැවින් මෙම ලිපි පෙළ පළමු පිරිසට දරාගත් අර්ථ වඩා ශක්තිමත් කර ගැනීමටත් දෙවන පිරිසට අර්ථ පිරිසිදු කර ගැනීමටත් සකසන ලදී.

එබැවින් දහම් අර්ථ දන්නෝ මෙය කියවා නොවැටහෙන අයට වටහා දෙත්වා. නොවැටහෙන්නෝ අර්ථ දතුවන්ගෙන් විමසා අර්ථ වටහා ගනිත්වා. අර්ථ වටහාගතුවෝ සෙස්සන්ට ද වටහා දෙත්වා. ත්‍රිපිටක පෙළ අර්ථකථා ටීකාවන්හි ආ මේ ක්‍රමයෙන් අර්ථ ගෙන තිලකුණු මෙනෙහි කොට විපස්සනාඥාන මුහුකුරුවා ගෙන සියලු සත්ත්‍වයෝ මඟඵල නිවනින් සැනසෙත්වා.

 -මහාවිහාරය-

1. අර්ථ කථාවන්හි පැමිණි ත්‍රිලක්ෂණ වචනාර්ථ

සියලු ලෝක සත්ත්‍වයා කෙරෙහි පතල මහා කරුණා ඇති තථාගත ශාන්තිනායකයාණන් වහන්සේ දහම් බෙර වයා ලෝ සත සනහා නිවන්පුර මංපෙත් විවරකර දී සියළු දුකින් මුදවා සියළු සංස්කාරයන්ගේ වැනසී යන ස්වභාවය ලෝ දනට පසක් කරවමින් අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් වැඩිසේක. ඒ ආජානෙය්‍ය මනුෂ්‍යරත්නයාගේ ‍‍ඖරස පුත්‍ර වූ මහා කාශ්‍යප මහරහතන්වහන්සේ ප්‍රමුඛ පන්සියයක් වූ සිව්පිළිසිඹියා පත් මහරහතන්වහන්සේලා ස්වකීය පීතෘන් වහන්සේගේ ඒ ධර්මචක්‍රය වැනසී නොයනු පිණිස සංගායනාවට නංවා පිරිනිවන් වැඩියහ.

            ඉන් අනතුරුව ඒ ශ්‍රේෂ්ඨ ශාසන පරම්පරාවෙන් පැමිණි මේ ධර්මමාණික්‍ය රත්නය සබ්බකාමී සංඝ ශ්‍රේෂ්ඨයන්වහන්සේ ප්‍රමුඛ ඒ සුගතතථාගතයන්ගේම ධර්ම ලෙයින් ජාත වූ සත්සියයක් සිව්පිළිසිඹියාපත් මහරහතන්වහන්සේලා මැනවින් ඔපදමා බබුලුවා තබා තමන්වහන්සේලා ද පිරිනිවන් වැඩියාහුය.

            එසේ බැබලූ ධර්මරත්නයේ රශ්මිධාරා වියැකෙන්නට නොදී මොග්ගලීපුත්තතිස්ස මහාසංඝරාජයාණෝ ප්‍රමුඛ සිව්පිළිසිඹියාපත් මහරහතන්වහන්සේලා දහස්නමක් එක්ව නැවතත් මෙරමුදුන සුදිලෙන සූර්ය මණ්ඩලය සේ බබලවා, ඒ රශ්මි මණ්ඩලයෙන් තව තවත් ලෝදන සැනහේවා යයි සිතා සිව් දිග දහම් බලසෙන් යවා බුද්ධරාජ්‍ය පුළුල් කොට වදාළාහුය. එගමන මෙසිරිලක වැඩි ඒ අනුබුද්ධ මහාමහේන්‍ද්‍ර මහාරහතන් වහන්සේ ප්‍රමුඛ ධර්ම දූතයෝ ඒ බුද්ධ ශ්‍රේෂ්ඨයන්වහන්සේගේ දහම් බෙරය ලක් පොළොව මත වයා වදාළාහුය. නොයෙක් වර සිරිලක්මහී තොමෝ සාධු ප්‍රීති ඝෝෂාවෙන් කම්පනය වෙමින් ඒ බුදුසසුන මේ මහපොළොවට භාරගත්තීය.

            එතැන් පටන් වසර දෙදහස් තුන්සියයකට අධික කාලයක් ඒ මහාමහේන්‍ද්‍ර සඟරරජුන් පිහිටවූ ලක්දිව බුදුසසුන මහාඅරිට්ඨ ආදී මේ ධරණීතලයෙහි ජාත වූ මහාරහතන් වහන්සේලා විසින් රැගෙන අවුත් අද දක්වා ශේෂව පවතින්නේය.

            සර්පවෙදකම නම් පරම්පරානුයාතව පැමිණියවුන් සන්තකයෙහිම මනාව පවතින්නේය. මන්ද යත් ඉපැරණි සර්ප වෙද්දු එහි මන්ත්‍ර ආදියත් ඖෂධ ආදියත් ඒවා මිශ්‍රකරන ක්‍රමවේදයත් මැනවින් දරාගෙන විත් මතුපරපුරට ලබාදුන් හෙයිනි. ඉදින් සර්ප වෙදකමින් අර්ථ ඇත්තා වූ යම් පුරුෂයෙක් සර්ප වෙදකම ඉගෙනීමට යා යුත්තේ ඒ වෙදපරපුරේ අද සිටින වෙදෙකු වෙතටය. එමෙන්ම ඒ බුද්ධ ශ්‍රේෂ්ඨයන්වහන්සේගේ ශාසනයේ යම්ම කරුණක් උකහා ගැනීමට කැමති නුවණැති කුලපුත්‍රයෝත් සෙවිය යුත්තේ ද ඒ පරපුරේම ජාත වූවෙක් ය. නොහොත් ඒ ඉපැරණි මහාවිහාරීය ථේරපරම්පරාවේ ආචාර්යවාද පිරිනොහෙලමින් දහම් අරුත් බහා තබා ඇති මිණිමංජුසාවන් බඳුවූ පෙළ අර්ථකථා ටීකා සංඛ්‍යාත ත්‍රිපිටක බුද්ධ වචනය තුළය.

            අනිත්‍ය දුක්ඛ අනාත්ම යන මේ ත්‍රිලක්ෂණ ධර්මයෝ වනාහි සංස්කාරයන්ගේ යථාභූතස්වභාවය ගෙනහැර දක්වා සසර දුකින් එතරවනු රිසියන්ට තුන්ලෝක ධාතුවෙහිම වූ සියළු සංස්කාරයන් කෙරෙහි කලකිරීම ඉපිදවීම පිණිස පෙනී සිටින ධර්මයෝ ය. මැනවින්  සසරදුක් කෙළවර කරනු රිසි කුලපුත්‍රයන් විසින් මේ ත්‍රිලක්‍ෂණ ධර්මයෝ පිළිබඳව මනාව දතයුත්තාහ. එබැවින් එකී කුලපුතුන්ට සුවසේ ඒ අර්ථ වටහා ගැනීමට ත්‍රිපිටක පෙළ අටුවාවන්හි ආ ක්‍රමයෙන් ත්‍රිලක්‍ෂණ ධර්මයන්ගේ අර්ථ සැපයීමට මේ සටහන් පෙල තබන්නෙමු.

ත්‍රිලක්‍ෂණයන්ගේ වචනාර්ථ

ත්‍රිලක්‍ෂණයන් යනු අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ලක්‍ෂණයන්ය. හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් සෑම ධර්මයක් ම ප්‍රධාන ලක්‍ෂණ දෙකකින් යුක්ත වේ.

  1. පච්චත්ත ලක්ඛණ (පෞද්ගලික ලක්ෂණය)
  2. සාමාන්‍ය ලක්ඛණ (පොදු ලක්ෂණය)
  • මෙහි පච්චත්ත ලක්ෂණය යනු ලක්ඛණ, රස, පච්චුපට්ඨාන, පදට්ඨානාදී නයින් දේශිත ධාතූන්ගේ ලක්ෂණය, කෘත්‍ය හෙවත් රසය, වැටහෙන ආකාරය, එම ධර්මයට ආසන්න කාරණාව යන කරුණුය. උදාහරණ වශයෙන්,
    • පඨවිධාතුව
      • කක්ඛලත්ත ලක්ඛණා (කර්කශභාවය ලක්ෂණය යි)
      • පතිට්ඨාන රසා (අන් ධාතූන්ට පිහිටීමට ආධාර වන බව කෘත්‍ය රසය යි)
      • සම්පටිච්ඡන පච්චුපට්ඨානා (අන් ධාතූන් පිළිගන්නා බව වැටහෙන ආකාරය යි)
      • සෙසත්තය පදට්ඨානා (සෙසු ධාතු තුන එනම් ආපෝ තේජෝ වායෝ ආසන්න කාරණාව යි.) මේ ආකාරයට එකම ධාතුවේ විවිධ ගුණාංග දැක්වීම පච්චත්ත ලක්‍ෂණය වේ.
  • මෙහි සාමාන්‍ය ලක්‍ෂණය යනු සියළුම සංඛත ධර්මයන්ගේ පොදු ලක්ෂණයි. ඒවා නම් ඉහත කියන ලද අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ලක්‍ෂණත්‍රය යි. එබැවින් භාග්‍යවතුන් වහන්සේ වදාළේමැයි,

1       ‘‘සබ්‌බෙ සඞ්‌ඛාරා අනිච්‌චාතියදා පඤ්‌ඤාය පස්‌සති

අථ නිබ්‌බින්‌දති දුක්‌ඛෙඑස මග්‌ගො විසුද්‌ධියා.’’

[සියලු සංස්කාරයෝ අනිත්‍යයහ යි යම් කලෙක විදසුන් නුවණින් දක්නේ ද එකල්හි මේ (ස්කන්ධපරිහරණය යැයි කියන ලද) දුකෙහි (මුදුන් පත් වුට්ඨානගාමිනීවිපස්සනා වශයෙන්) කළකිරෙන්නේ ය. (එසේ කලකිරුණේ දුඃඛපරිඥානාදි විසින් සත්‍යප්‍රතිවෙධය කරන්නේ ය. එහෙයින්) මේ සංස්කාරයන් කෙරෙහි නිර්වෙදය, නිර්මල වීමට (නොහොත් නිවනට) මඟ ය.]

2       ‘‘සබ්‌බෙ සඞ්‌ඛාරා දුක්‌ඛා’තියදා පඤ්‌ඤාය පස්‌සති

අථ නිබ්‌බින්‌දති දුක්‌ඛෙඑස මග්‌ගො විසුද්‌ධියා.’’

[සියලු සංස්කාරයෝ (උදයව්‍යයයෙන් පෙළෙන හෙයින්) දුක්හ යි යම් කලෙක විදසුන් නුවණින් දකී ද, එකලැ මේ ස්කන්ධ පරිහරණයෙහි (දුකෙහි) කළකිරෙන්නේ ය. (එසේ කලකිරුණේ සත්‍යයන් පිළිවිදුනේ ය.) මේ සංස්කාරයන් කෙරෙහි කළකිරීම, නිර්මල බවට (නොහොත් නිවනට) මඟය (කාරණ ය).]

3       ‘‘සබ්‌බෙ ධම්‌මා අනත්‌තා’තියදා පඤ්‌ඤාය පස්‌සති

අථ නිබ්‌බින්‌දති දුක්‌ඛෙඑස මග්‌ගො විසුද්‌ධියා.’’

[සියලු පස් කඳහු (තමා වසයෙහි නොපවත්නා හෙයින්) අනාත්මහ යි යම් කලෙක විදසුන් නුවණින් දක්නේ ද, එ කල්හි මේ දුකෙහි (ස්කන්ධපරිහරණයෙහි) කළකිරෙන්නේ ය. (එසේ කළකිරුනේ සත්‍යප්‍රතිවෙධය කරන්නේ ය.) එහෙයින් මේ සංස්කාරයන්හි කලකිරීම, නිර්මල බවට (නොහොත් නිවනට) මඟ ය. ( ධම්මපදපාළි මග්ග වග්ගය – බු.ජ.මු පි.94 )]

මෙකී ත්‍රිලක්‍ෂණයන්ගේ පදගතාර්ථය අර්ථකථාවන්හි මෙසේ දැක්වේ.

  • අනිත්‍ය ලක්‍ෂණය

            “තං හි හුත්‍වා අභාවට්ඨෙන අනිච්චං, අනිච්චන්ති කතාය ආදිඅන්තවන්තතාය වා අනිච්චං” (පටිසම්භිදාමග්ග අ.ක. – සම්මස්සන ඤාණනිද්දෙස වණ්ණනා – හේ.මු. 177)

            “ඒ රූපාරූප ධර්මයෝ ඉපිද අභාවයට යන අරුතින් අනිච්චං ය. ඨිති ක්‍ෂණයට පැමිණියහුගේ අනිත්‍යතාව ඇති බැවින් හෝ උප්පාද වය සංඛ්‍යාත ආදියකින් අන්තයකින් යුක්ත බැවින් හෝ අනිච්චං ය.”

  • දුක්ඛ ලක්‍ෂණය

            “දුක්ඛයතීති දුක්ඛං, යස්සුප්පජ්ජති තං දුක්ඛිතං කරෝතීති අත්ථෝ” (පටිසම්භිදාමග්ග අ.ක. – අභිඤ්ඤෙය්‍ය නිද්දේසවණ්ණනා – හේ.මු. 55)

“දුක් කරවන්නේහු යි දුක්ඛං වේ. යමෙකුට උපදියි ද ඔහු දුක්ඛිතයෙකු කරයි යන අර්ථය යි.’’

  • අනාත්ම ලක්‍ෂණය

            “අත්තනි වසීකාරකො වෙදකො සයංවසීති එවං පරිකප්පිතස්ස අත්තසාරස්ස අභාවෙන අනත්තා” (පටිසම්භිදාමග්ග අ.ක. – ලක්ඛණත්තික නිද්දෙසවණ්ණනා – හේ.මු. 99)

            “තමා කෙරෙහි වූ වශීකාරකයෙක් විඳින්නෙක් මැඩපවත්වන්නෙක් ඇත්තේය යන මෙසේ වූ පරිකල්පිත ආත්මසාරයකගේ අභාවයෙන් අනත්තා නම් වේ.”

            ත්‍රිලක්ෂණය පිළිබඳ ථේරවාදී අර්ථ කථාවන්හි මෙසේ සැකෙවින් දක්වා ඇති අර්ථය වඩාත් ගැඹුරින් ත්‍රිපිටකයෙහි විස්තර වේ.

 

එහෙයින් ඒ ගම්භීර වූ විස්තරාත්මක අර්ථ වර්ණනාව යථා ශක්තියෙන් මීළඟ ලිපිවලින් විස්තර කරන්නෙමු.

2. අනිත්‍යය පිළිබඳව දතයුතු කරුණු

පසුගිය ලිපියෙන් අපි ත්‍රිලක්ෂණයන් සඳහා අර්ථකථාවන්හි පැමිණි වචනාර්ථ විස්තර කළෙමු. අද ලිපියෙන් සැබවින්ම අනිත්‍ය වන්නේ මොනවා ද, අනිත්‍යතාවය පිළිබඳව ත්‍රිපිටක පාළියෙහි අර්ථ දක්වා ඇත්තේ කෙසේදැයි විස්තර කරන්නෙමු.

ලෝක ව්‍යවහාරය තුළ සාමාන්‍ය සම්මුති වස්තු වල විනාශවීමට වෙනස්වීමට ප්‍රකෘති ස්වභාවය අත්හැරීමට ද අනිත්‍ය වේ යැයි කියනු ලැබේ. ඒ අනිත්‍යභාවය නම් වයසට යාමය කෙස් සුදුවීමය හම රැලි වැටීමය ගස් කොළ විනාශවී යාමය යනාදී වශයෙන් කියනු ලබන සිදුවීම් වලින් ප්‍රකාශයට පත් වේ.

නමුදු සැබවින්ම ධර්මයේ සඳහන් වන විපස්සනා භාවනාවේදී කියනු ලබන අනිත්‍යභාවය ඊට වඩා මහත් ගැඹුරකින් වූ අර්ථ ප්‍රකාශයකි. එම අනිත්‍යභාවය දැනගැනීමට පෙර සැබවින්ම අනිත්‍ය වන්නේ මොනවාදැයි සොයා බැලිය යුතුය. එය මෙසේ ය.

ලෝකයේ ප්‍රධාන වශයෙන් සත්‍ය දෙකක් ඇත්තාහ. එනම් සම්මුති සත්‍ය හා පරමාර්ථ සත්‍ය යනුවෙනි. ඒ සත්‍යයන් පිළිබඳව මෙසේ දැක්විය හැක.

  • සම්මුති සත්‍ය 

 ලෝකයේ සාමාන්‍ය ව්‍යවහාරයේ පරිදි ඇත්තා සේ සලකන මව් පිය දරු ඤාති හිතමිත්‍රාදීන් සත්තු ගහ කොළ ගංඟා ඇල දොල ඉර හඳ යනාදීන්ගෙන් සැදුම් ලත් මෙම ලෝකයට සම්මුති ලෝකය යයි කියනු ලැබේ. ඒ ලෝකය තුළ ජීවත්වන අපි ලෝක සම්මතයන්ට අනුව ආචාර ධර්ම පද්ධති සකසා ගෙන සමාජ සම්බන්ධතා ගොඩනගා ගෙන ආර්ථික සාමාජයීය දේශපාලනික වශයෙන් ජීවත් වෙමු. මේ ආකාරයට ඇත්තා වූ ලෝකය, සමාජය වැටහෙන ආකාරයෙන් ඇතැයි කියා පිළිගැනීම සම්මුති සත්‍ය වේ.

  • පරමාර්ථ සත්‍ය 

ඉහත කී සියලු ලෝක ව්‍යවහාර උපදිනුයේ යම් පරමාර්ථ ධර්ම සමූහයක් අරඹයාය. එකී පරමාර්ථ ධර්මයෝ නම් ලෝකය තුළ සැබැවින් ම විද්‍යාමානවන්නා වූ පඨවි ආපෝ තේජෝ වායෝ ආදී රූප ධර්මත් වේදනා සංඥා චේතනා විඤ්ඤාණ යනාදී නාම ධර්මත් අසංඛත නිර්වාණ ධාතුවත් යන ධර්මයෝ ය. සැබැවින්ම මෙයින් නිර්වාණ ධාතුව යනු සතර මග සතර ඵලාදී ඥානයන්ගෙන්ම දත යුතු වූ ධර්මයකි. සෙසු නාම රූප ධර්මයෝම අපට මව්පිය දූ දරු ගහ කොළ සතා සිව්පාවුන් ලෙසට වැටහෙන්නෝය. සැබැවින් විද්‍යාමාන ලෙසින් ඇත්තේ පරමාර්ථ ධර්මයෝම නිසාත් ඒ පරමාර්ථ ධර්ම නිසාම ගහකොළ සතා සිව්පාවුන් සහිත ලෝකයක් ඇත්තා සේ වැටහෙන නිසාත් ඒ පරමාර්ථ ධර්මයන්ටම “පරමාර්ථ සත්‍ය” යයි කියනු ලැබේ. ඒ පරමාර්ථ තත්ත්‍වය නුවණින් ස්පර්ශ කරමින් ජීවත්වන කල්‍යාණ පෘථග්ජනයෙකුට හෝ ආර්ය උත්තමයෙකුටම පරමාර්ථ සත්‍ය දන්නෙක් යැයි කියනු ලැබේ. මේ සටහන් පෙළ ත්‍රිලක්‍ෂණ ධර්මයන් ගැන පැවසීමට සකස් කරන්නක් බැවින් මෙයින් ගැඹුරට පරමාර්ථ ධර්ම පිළිබඳව කරුණු පැහැදිලි කිරීමට අපේක්‍ෂා නොකරන්නෙමු.

සැබැවින්ම අනිත්‍යවන්නේ මොනවාදැයි පෙර නැගූ ප්‍රශ්නයට පිළිතුර වනුයේ සැබැවින්ම අනිත්‍ය වන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා සංඛත පරමාර්ථයෝය යන්නයි.

ලෝකයාට වයසට යාමය, කෙස් සුදුවීමය හමරැලි වැටීමය ගහකොළ විනාශ වීමය යනුවෙන් වැටහෙනුයේ ඉහත කී නාම රූප ධර්ම පරම්පරා යම් කලක් තුළ පැවතී නැතිවී යාමය. නමුත් පරමාර්ථ ධර්මයෝ නම් ඉතා දුර්වලයෝය. ඔවුන්ට ඉපිද මහ වේලාවක් පැවතීමට නුපුළුවන. පරමාර්ථයෝ නම් ලක්‍ෂණ මාත්‍රයම දැක්වීම් වශයෙන් ඉපිද වහා නිරුද්ධ වන ස්වභාව ඇත්තෝය. එයිනුත් සිත යන ධර්මය රූපයටත් වඩා අඩු ආයුෂයකින් විනාශ වී යන්නාහ. රූපය සිතේ ආයුෂය මෙන් දහහත් ගුණයක කාලයක් පමණක් පවතින්නකි. එක් රූප පරම්පරාවක අසුරු සැණක කාලයක් තුලදී රූප ලක්‍ෂ ගණනින් එකිනෙකට පසුව පසුව ඉපිද ඉපිද බිඳි බිඳී යන්නේය. පරමාර්ථයන්ගේ ඇති මේ වහා පෙරලෙන ස්වභාව ද ඉපිද බිඳෙන ස්වභාවද භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

  • ‘‘නාහං, භික්‌ඛවෙ, අඤ්‌ඤං එකධම්‌මම්‌පි සමනුපස්‌සාමි යං එවං ලහුපරිවත්‌තං යථයිදං චිත්‌තං යාවඤ්චිදං භික්‌ඛවෙ, උපමාපි න සුකරා යාව ලහුපරිවත්‌තං චිත්ත’න්ති.

මහණෙනි, යමෙක් මෙසේ වහා ඉපිද නස්නා සුලු වේ නම්, සිත බඳු අන් එක ධර්මයකුදු මම නො දක්මි. මහණෙනි, සිත අත්‍යර්ථයෙන් වහා පෙරළෙන සුලු වේ නම්, එයට උපමාවකුදු අතිශය දුෂ්කර වේ. (අංගුත්තර නිකාය 1 – ඒකක නිපාතය – බු.ජ.මු.18)

  • තීණිමානි, භික්‌ඛවෙ, සඞ්‌ඛතස්‌ස සඞ්‌ඛතලක්‌ඛණානි. කතමානි තීණි? උප්‌පාදො පඤ්‌ඤායති, වයො පඤ්‌ඤායති, ඨිතස්‌ස අඤ්‌ඤථත්‌තං පඤ්‌ඤායති. ඉමානි ඛො, භික්‌ඛවෙ, තීණි සඞ්‌ඛතස්‌ස සඞ්‌ඛතලක්‌ඛණානී’’ති.

මහණෙනි, ප්‍රත්‍යය සමවායයෙන් සකස් කරණ ලද්දහුගේ මේ සඞ්ඛත ලක්‍ෂණ තුණෙකි. කවර තුණෙක යත්: ඉපැදීම පැණෙයි, නැස්ම (බිඳීම) පැණෙයි, සිටියහුගේ වෙනස්වීම (නම් වූ ජරාව) පැණෙයි. මහණෙනි, ප්‍රත්‍යය සමවායයෙන් සකස් කරණ ලද්දහුගේ මේ සඞ්ඛත ලක්‍ෂණ තුණයි. (අඞ්‌ගුත්‌තරනිකාය 1 – තිකනිපාතපාළි – බු.ජ.මු. පි.274)

තවද භාග්‍යවතුන් වහන්සේ ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා සියලුම සඞ්ඛත ධර්මයන්ගේ සඞ්ඛත ලක්ෂණය දේශනා කරනුයේ  සෑම සඞ්ඛතයක්ම ඉපිද නිරුද්ධ වන බව දේශනා කළ සේක.

ඉදින් ලෝකය තුළ අසුර සැණෙක කාලයක් තුලදී එකිනෙකට පසුව ලක්‍ෂවාර කෝටිවාර ගණනක් ඉපිද ඉපිද බිඳි බිඳී යන්නා වූ මනුෂ්‍යයන්ට අරමුණු කළ හැකි දෙයක් වූයේ වී නම් භාග්‍යවතුන් වහන්සේ එය මෙහිදී උපමාව ලෙස දක්වන්නේ ය. නමුදු මේ පරමාර්ථයන්ගේ වහ වහා ඉපිද ඉපිද බිඳි බිඳී යන ස්වභාවය නිසාම භාග්‍යවතුන් වහන්සේ උපමාවක් ඉදිරිපත් නොකරන ලද සේක. එබැවින් පරමාර්ථයන්ගේ ඇති මේ ක්‍ෂණයක් ක්‍ෂණයක් පාසා ඉපිද ඉපිද බිඳි බිඳී යන ස්වභාවය භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරන ලද්දක් බව නුවණැතියෝ වටහා ගත යුත්තාහ.

නුවණැත්තෝ නම් උපමාවෙනුදු කරුණු දැනගන්නා සුල්ලෝය. පරමාර්ථයන්ගේ වන මේ ක්‍ෂණික ඉපිද බිඳී යාම අනුමාන ඤාණයෙන් දැනගැනීමට මෙලෙස උපමාවක් දැක්විය හැක.

යමෙක්  “බුද්ධං සරණං ගච්ඡාමී” යන වාක්‍ය කියනු ලබන විට හෙතෙමේ ‘බු’ කාරයට අනතුරුව ‘ද්’ කාරය ද ඉන් අනතුරුව ‘ධ’ කාරය ද ආදී වශයෙන් උසුරුවන්නේය. එවිට ‘ද්’ කාරයේ ශබ්දය උපදින විට ඔහුගේ මුවින් නිකුත් වූ ‘බු’ කාර ශබ්දය නිරුද්ධ බව ද ‘ධ’ කාරයේ ශබ්දය උපදින විට ‘ද් කාරයේ ශබ්දය නිරුද්ධ බව ද යනාදී වශයෙන් ඉදිරි ඉදිරි අක්‍ෂරයට අදාල ශබ්දය පිටවන විට පළමු පළමු අක්‍ෂරයට අදාල ශබ්දය නැතිවී ගොස් ඇති බව ද මනාව පරීක්‍ෂා කරන්නෙකුට වැටහෙන්නේය. මේ අනුව බලන විට සෑම ශබ්දයක් ම උපදින විට පූර්ව ශබ්ද නිරුද්ධ වී ඇති බවත් පසු පසු ශබ්ද ඉපිද නැති බවත් වැටහෙන්නේ නම් එකී නුවණැතියාට මේ ශබ්ද රූපයාගේ පරම්පරා වශයෙන් ක්‍ෂණයක් ක්‍ෂණයක් පාසා ඉපිද නිරුද්ධ වන බව මොනවට වැටහෙන්නේය. උපදින ශබ්ද රූපය පෙර කොහේවත් සැඟවී නොසිට ඒ මොහෙතේම ප්‍රත්‍ය සමවායෙන් ඉපිද, නිරුද්ධ වීමෙන් පසුව කොහේ හෝ සැඟවී නොගොස් යලිදු නූපදින පරිදි බිඳී ගිය බව යමෙකුගේ තියුණු නුවණට අරමුණු වේ නම් “බුද්ධ දේශනාවේ විපස්සනා කථාවට අදාල අනිත්‍යතාව” හෙතෙමේ වටහාගත්තේ යයි කිව හැක.

අනිත්‍යතාව වටහා ගැනීමට මේ සුළු උපමාව ඉදිරිපත් කළේ නමුදු විපස්සනාවේ දී මෙම පියවර සාර්ථක කරගැනීමට පෙරාතුව යෝගාවචරයා විසින් අනිවාර්යයෙන් නාම රූප පරිග්‍රහණය සහ ප්‍රත්‍ය පරිග්‍රහණය අවසන් කොට තිබිය යුතුය. ඒ ඥානයෙන් පූරණය නොකොට නාමරූපයෝ පෙර නොතිබීම ප්‍රත්‍යසමවායෙන් හටගන්නා බව වටහා ගත හැකිය යන කාරණය සිදුනොවන්නකි. මේ සටහන් පෙළ ත්‍රිලක්‍ෂණය පිළිබඳව හෙයින් ඒ කරුණු මෙහි සඳහන් කිරීමට අපේක්‍ෂා නොකරමු.

නාමරූපයන්ගේ ක්‍ෂණික නිරෝධය පිළිබඳ තවත් ත්‍රිපිටක නිදර්ශන 

  • ‘‘අනිච්‌චා වත සඞ්‌ඛාරා – උප්‌පාදවයධම්‌මිනො; 

උප්‌පජ්‌ජිත්‌වා නිරුජ්‌ඣන්‌ති – තෙසං වූපසමො සුඛො’’ති.

[පසයෙන් හටගත් සියලු දෑ ඒකාන්තයෙන් ඉපැදෙන වැනැසෙන සුලු ය. ඔහු ඉපැද නැසෙත්. ඔවුන්ගේ සංසිඳීම සුව ගෙන දෙයි. ( දීඝ නිකාය 02 , මහා පරිනිර්වාණ සූත්‍රය – බු.ජ.මු  පි.246 )]

මහාපරිනිර්වාණ සූත්‍රයෙහි එන භාග්‍යවතුන් වහන්සේ පිරිනිවිකල්හි සක්දෙව් රජු විසින් කියූ මේ ගාථාවද සංඛත ධර්මයන්ගේ ස්වභාවයට නිදර්ශණයකි. මේ ගාථාවේ ද “උප්පාදවයධම්මිනො” යන පදයෙන් ඉපිද නැසෙන බව මොනවට මතු කරයි. ඒ අර්ථයාගේ දැඩි  කිරීම පිණිස මතු ද “උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති” යනුවෙන් ප්‍රකාශ කළේය. මේ දීඝනිකයෙහි නිදසුනින් ද සංඛත ධර්මයාගේ වහ වහා ඉපිද බිඳෙන බව බුදු වදනක් බවට තහවුරු කරයි.

තවද පටිසම්භිදාමග්ගප්පකරණය දේශනා කරන ධර්මසේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වදාළ චිත්තයාගේ ලහුපරිවර්තක භාවයෙහි අර්ථය තීව්ර කරමින් එනම් මේ කෙබඳු ලහුපරිවර්තක භාවයක් දැයි දක්වමින් මෙසේ දේශනා කොට වදාළ සේක.

  • “රූපාරම්‌මණතා චිත්‌තං උප්‌පජ්‌ජිත්‌වා භිජ්‌ජති. තං ආරම්‌මණං පටිසඞ්‌ඛා තස්‌ස චිත්‌තස්‌ස භඞ්‌ගං අනුපස්‌සති.”

[රූපය අරමුණු කොට සිත ඉපැද බිඳෙයි. ඒ අරමුණ ප්‍ර‍ත්‍යවෙක්‍ෂා කොට ඒ චිත්තයාගේ භඞ්ගය (අපරචිත්තයෙන්) පුනපුනා දකියි. (පටිසම්භිදාමග්ගප්පකරණය 1 – මහාවග්ගය – ඥානකථා – බු.ජ.මු. 108)]

භාග්‍යවතුන් වහන්සේ වදාළ උපමාවකිනිදු ප්‍රකට කළ නොහැකි චිත්තයාගේ අතිසීඝ්‍ර ලහුපරිවත්තක භාවය නම් ක්‍ෂණයක් ක්‍ෂණයක් පාසා ඉපදීම් බිඳීම් වලින් වන ලහුපරිවර්තක භාවයක් බව බුද්ධමතඥ ධර්මසේනාධිපතීන් වහන්සේ මෙසේ දේශනා කොට වදාළ සේක.

තවද සියලු රූපයන්ගේ පොදු ලක්‍ෂණයක් වූ ද විද්‍යාමාන පරමාර්ථයක් නොවූද සියළු රූපයන්ගේ බිඳීම් ලක්‍ෂණය වූ අනිච්චතා රූපය පිළිබඳව දක්වන ධම්මසංගණීපකරණ පාඨයෙන් ද රූපධර්මයන්ගේ ක්‍ෂණික බිඳීම පිළිබඳව මෙසේ දක්වයි.

  • “කතමං තං රූපං රූපස්‌ස අනිච්‌චතා? යො රූපස්‌ස ඛයො වයො භෙදො පරිභෙදො අනිච්‌චතා අන්‌තරධානං – ඉදං තං රූපං රූපස්‌ස අනිච්‌චතා. ”

[ඒ රූපයාගේ අනිච්චතා රූපය කවරේ යත්: රූපයාගේ යම් ක්ෂය වීමෙක් විනාශයෙක් බිඳීමෙක් පරිභෙදයෙක් අනිත්‍යතායෙක් අතුරුදහන් වීමෙක් වේ ද, මේ ඒ රූපයාගේ අනිත්‍යතා රූප යි. (ධම්මසංගණීපකරණය – රූප කාණ්ඩය – බු.ජ.මු. 302)]

මේ ධම්මසංගණීප්‍රකරණ පාඨයෙන් ද උපන් රූපයාගේ විනාශවීම, බිඳීයාම අතුරුදහන්වීම යන පාඨයන්ගෙන් අනිත්‍යතාවය දැක්වීමෙන් ද බිඳෙන්නා වූ රූප ධර්මයෝ කිසිතැනක නොසැඟවී නිරවශේෂව නිරුද්ධ වී යන බව ප්‍රකාශිතය. මෙයින් ද සංඛත ධර්මයන්ගේ අනිත්‍යතාවය යනු ඉපිද බිඳීයාම බව වටහාගතයුත්තාහ. මෙබඳු උදාහරණ සූත්‍ර පාඨ ත්‍රිපිටක පාලිය පුරාවට බොහෝ සූත්‍රවල සඳහන් වේ. මෙකී ශ්‍රී මුඛ බුද්ධ දේශනා නිදසුන් වලට අනුව අනිත්‍යතාව යනු තෙල අරුතම බව පැහැදිලිය.

තවද කථාවත්ථූපකරණයෙහි “එකම සිතක් බොහෝ කල් පවතී” යන පරවාදය බිඳීම පිණිස දක්වන ලද “චිත්තට්ඨිති කථා” කොටසෙහි මෙසේ සඳහන් වෙයි.

  • ප.පු: ආකාසානඤ්‌චායතනූපගානං දෙවානං චිත්‌තං මුහුත්‌තං මුහුත්‌තං උප්‌පජ්‌ජති, මුහුත්‌තං මුහුත්‌තං නිරුජ්‌ඣතීති? ; ස.පටිඤ්ඤා: ආමන්‌තා.

[ප.පු: ආකාසානඤ්චායතනූපග දෙවියන්ගේ සිත මොහොතක් පාසා උපදීද? මොහොතක් පාසා නිරුද්ධ වේද?

ස.පටිඤ්ඤා: එසේ යැ (කථාවත්ථූපකරණය I – චිත්තට්ඨිති කථා – බු.ජ.මු. 530)]

මෙහීදී මොග්ගලීපුත්තතිස්ස හිමි පරවාදියාගේ පැනයට, “අනිච්චා වත සංඛාරා” ගාථාවෙහි එන “උප්පාද වය ධම්මිනෝ සූත්‍ර පාඨය සලකාගෙන සිත මොහොතක් මොහොතක්  පාසා ඉපිද නිරුද්ධ වන බව පිළිගත් සේක. එබැවින් කථාවත්ථූපකරණයහි එන මෙම පාඨයෙන්ද සිත මොහොතක් මොහොතක්  පාසා ඉපිද නිරුද්ධ වන බව දැක්වෙයි.

මීළඟ ලිපියෙන් අනිත්‍යතාවය යන්නට අර්ථකථාවන් තුළ අර්ථ දක්වා ඇත්තේ කෙසේදැයි විස්තර කරන්නෙමු.

3. නාමරූපයන්ගේ ක්‍ෂණික නිරෝධය පිළිබඳව අර්ථකථා සාධක පාඨ

පසුගිය ලිපියෙන් අපි අනිත්‍යතාවය යනු කුමක්ද, ඒ සඳහා ත්‍රිපිටක පාළියෙහි අර්ථ දක්වා ඇත්තේ කෙසේදැයි විස්තර කළෙමු. මෙම ලිපියෙන් අර්ථකථාවන් හා ටීකාවන් තුළ අනිත්‍යතාවය සඳහා අර්ථකථනයන් දක්වා ඇත්තේ කෙසේදැයි විස්තර කරන්නෙමු.

නාමරූප සංඛ්‍යාත ලෝකය කෙරෙහි සත්වයා තුළ තිබෙන ආලය දුරුකිරීමට නම් ඒ ධර්මයන්ගේ යථා ස්වභාවය සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුය. යමෙක් සංස්කාරයන්ගේ ඉපිද බිඳී යාම දකින්නේ නම් තමාගේ පැවැත්මවත් රැක ගත නොහැකි මේ සංස්කාර ධර්මයන්ගෙන් ස්ථිර සැපයක් පිළිසරණක් ලබාගත නොහැකි බව අවබෝධවීමෙන් සංස්කාරලෝකය කෙරෙහි කලකිරීම උපදින්නේය. ඒ කලකිරීම ඒ පුද්ගලයාට සංස්කාරයන්ගේ නොපිහිටීම නම් වූ නිර්වාණය අරමුණු කිරීමට සෘජුව හේතු වන්නේය. එම නිසා අර්ථකථාවන්හිද මේ සංඛාරයන්ගේ ඉපිද බිඳී යාමේ අනිත්‍යතාව ලෙස මෙසේ දක්වා ඇත.

I. අලගද්දූපම සූත්‍ර අර්ථකථාව

  • “අනිච්චං භන්තෙති භන්තෙ යස්මා හුත්‍වා න හෝති. තස්මා අනිච්චං. උප්පාද-වයත්ත-තාවකාලික-නිච්චපටික්ඛෙපට්ඨෙන චාති චතුහි කාරණහි අනිච්චං.’’

[අනිච්චං භන්තෙ යනු වහන්ස යම්හෙයකින් රූපාදී ස්කන්ධයෝ ඇතිවී නැතිවී යයි ද එබැවින් අනිත්‍යය ය. ඉපදීම – විනාශවීම – තාවකාලික බව – නිත්‍යභාවය ප්‍රතික්ෂේප කරන අර්ථය යන සිව් කාරණයන්ගෙන් අනිත්‍ය ය.(මජ්.නිකාය අට්ඨකථා II – අලගද්දූපම සුත්ත වණ්ණනා – හේමු. 93 )]

අලගද්දූපම සූත්‍ර අර්ථකථාවෙහි දී රැස්ව සිටි සඟ පිරිසගෙන් භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, රූපය නිත්‍යවේදැයි” නැගූ ප්‍රශ්නයට සඟ පිරිසෙන් ලැබූ “අනිච්චං භන්තෙ” යන පිළිතුර විස්තර කරමින් ඉහත පාඨය සඳහන් කරන ලදී. එහි ඉපිද බිඳෙන හෙයින් ද උප්පාද වය ලක්‍ෂණයන්ගෙන් යුක්ත හෙයින් ද අනිත්‍ය යි යනුවෙන් බුද්ධමතඥූ මහාකාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රමුඛ පන්සියයක් චතුපටිසම්භිදාලාභී මහරහතන් වහන්සේලා අර්ථ තැබූහ.

II. මහානිදාන සූත්‍ර අර්ථකථාව 

තවද දීඝනිකායේ මහානිදාන සූත්‍රයට අර්ථ සපයා අර්ථකථාචාරීන්වහන්සේලා මෙසේ දක්වයි.

  • අනිච්‌චාදීසු හුත්‌වා අභාවතො අනිච්‌චා. තෙහි තෙහි කාරණෙහි සඞ්‌ගම්‌ම සමාගම්‌ම කතාති සඞ්‌ඛතා. තං තං පච්‌චයං පටිච්‌ච සම්‌මා කාරණෙනෙව උප්‌පන්‌නාති පටිච්‌චසමුප්‌පන්‌නා. ඛයොතිආදි සබ්‌බං භඞ්‌ගස්‌ස වෙවචනං. යං ‌හි භිජ්‌ජති, තං ඛීයතිපි වයතිපි විරජ්ජ‌තිපි නිරුජ්‌ඣතිපි, තස්‌මා ඛයධම්‌මාතිආදි වුත්‌තං.”

[අනිච්ච ආදීන්හි ඉපිද අභාවයට පත්වන බැවින් ‘අනිච්චා’ ය. ඒ ඒ කාරණයන් එක්ව රැස්ව කරන ලද්දේනුයි. ‘සංඛතා’ ය. ඒ ඒ ප්‍රත්‍යය හේතුවෙන් නිවැරදි කාරණයන්ගෙන්ම උපන්නේනුයි ‘පටිච්චසමුප්පන්නා’ ය. ‘ඛයො’ යන ආදී සියල්ල සංඛත ධර්මයන්ගේ ‘භංගයාගේ – බිඳීයාමේ ගුණයට සමාන අර්ථ හඟවන පදයෝ ය. යමක් වනාහි බිඳෙයි ද එය ක්‍ෂයභාවයට ද විනාශභාවයටද බිඳී කොහි හෝ සැඟව නොයනභාවයට ද බිඳීයනුයේ නැවත නොඑනභාවයට ද යයි. එබැවින් ‘ඛයධම්මො’ යන ආදිය කියන ලදී. (දීඝනිකායට්ඨකථා I – මහානිදානසුත්තවණ්ණනා – හේ.මු.347)]

මේ අර්ථකථා පාඨයෙන් ද නාමරූපයන්ගේ පෙර නොතිබීම ඉපිද ඉතිරි නැතිව බිඳී යන බවම අනිච්චතාවය ලෙසට අර්ථ තහවුරු කරයි.

III. විශුද්ධ මාර්ගය

එසේම ථේරවාදී ග්‍රන්ථයන් අතුරෙහි ඉහළින්ම වැජඹෙන, බුද්ධඝෝෂාචාර්යන් වහන්සේ විසින් රචනා කරන ලද ‘විශුද්ධ මාර්ග’ අර්ථකථාවෙහි ද නාමරූපයන්ගේ ඉපිද බිඳීයාම පිළිබඳව මෙසේ දක්වා ඇත.

  • ‘‘ඉමස්‌ස නාමරූපස්‌ස උප්‌පත්‌තිතො පුබ්‌බෙ අනුප්‌පන්‌නස්‌ස රාසි වා නිචයො වා නත්‌ථි, උප්‌පජ්‌ජමානස්‌සාපි රාසිතො වා නිචයතො වා ආගමනං නාම නත්‌ථි, නිරුජ්‌ඣමානස්‌සාපි දිසාවිදිසාගමනං නාම නත්‌ථි, නිරුද්‌ධස්‌සාපි එකස්‌මිං ඨානෙ රාසිතො නිචයතො නිධානතො අවට්‌ඨානං නාම නත්‌ථි. යථා පන වීණාය වාදියමානාය උප්‌පන්‌නස්‌ස සද්‌දස්‌ස නෙව උප්‌පත්‌තිතො පුබ්‌බෙ සන්‌නිචයො අත්‌ථි, න උප්‌පජ්‌ජමානො සන්‌නිචයතො ආගතො, න නිරුජ්‌ඣමානස්‌ස දිසාවිදිසාගමනං අත්‌ථි, න නිරුද්‌ධො කත්‌ථචි සන්‌නිචිතො තිට්‌ඨති, අථ ඛො වීණඤ්‌ච උපවීණඤ්‌ච පුරිසස්‌ස ච තජ්‌ජං වායාමං පටිච්‌ච අහුත්‌වා සම්‌භොති, හුත්‌වා පතිවෙති. එවං සබ්‌බෙපි රූපාරූපිනො ධම්‌මා අහුත්‌වා සම්‌භොන්‌ති, හුත්‌වා පතිවෙන්‌තී’’ති

[මේ නූපන් නාමරූපයාගේ ඉපදීමට පෙර රාශියක් හෝ රැස්වීතිබීමක් හෝ නැත. මේ නාම රූපයන් ඉපදෙනුයේ ද රාශියකින් හෝ රැස්වීතිබූතැනකින් පැමිණීමක් නැත. මේ නාමරූපයන් නිරුද්ධවනුයේ ද ඒ ඒ දිශාවන්ට ගමන් කිරීමක් නැත. මේ නාමරූපයන් නිරුද්ධ වූයේ ද එක් ස්ථානයෙක්හි රාශිවීම් වශයෙන් රැස්වීම් වශයෙන් නිධන්වීම් වශයෙන් සිටීමක් නැත.යම්සේ වනාහි වීණාව වාදනය කරනුයේ උපන් ශබ්දයට උත්පත්තියට පෙර රැස්වීමක් නැත්මය. උපදිනුයේ ද රැස්වී තිබූ තැනකින් ආවේද නොවේ. නිරුද්ධවනුයේ ද ඒ ඒ දිශාවට ගමන් කිරීමක් නැත. නිරුද්ධ වූයේ ද කිසියම් තැනෙක්හි රැස්වීම් වශයෙන් ද නොසිටියි. එතකුදු වුවත් වීණාවද වීණාදඬුව ද වාදක පුරුෂයාගේ වෑයම ද නිසා වීණා නාදය නොතිබීම හටගනී. ඉපිද විනාශ වෙයි. මෙසේ සියළු රූපාරූප ධර්මයෝ ද නොතිබීම හටගනිත්. ඉපිද නැසෙත් (විශුද්ධි මාර්ගය – මග්ගාමග්ග ඤාණදස්සන විසුද්ධි නිද්දේසය – හේ.මු. 473)]

දක්වන ලද විශුද්ධිමාර්ග පාඨයෙහි ද නාමරූප ධර්මයෝ පෙර නොතිබීම හටගෙන ඉතිරි නැතිවම නිරුද්ධ වී යන බව දක්වයි. ථේරවාදී විපස්සනා මාර්ගය දක්වන සුප්‍රසිද්ධ මේ ග්‍රන්ථයෙහි බුද්ධ මතඥ මහාකාශ්‍යප ආදී මහරහත් ථේරවාදී ආචාර්යන්වහන්සේලා විසින් තබන ලද අර්ථකථාවන්හි ම පිහිටා කරන ලද මෙම ප්‍රකාශය අනිත්‍යතාව යනු කුමක්ද යන්නට මනාව අර්ථ ප්‍රකට කරයි.

IV. පටිසම්භිදාමග්ගප්පකරණ අර්ථකථාව

එසේම පටිසම්භිදාමග්ගප්පකරණයට අර්ථ සපයන අර්ථකථාචාර්ය මහානාම ස්වාමීන් වහන්සේද නාමරූපයන්ගේ යථාභූත ස්වභාවය දැක්වීමට මෙසේ නිදර්ශණ දක්වයි.

  • “එවං කිර නාමිමෙ ධම්‌මා අනුප්‌පන්‌නපුබ්‌බා උප්‌පජ්‌ජන්‌ති, උප්‌පන්‌නා නිරුජ්‌ඣන්‌තී’’ති නිච්‌චනවාව හුත්‌වා සඞ්‌ඛාරා උපට්‌ඨහන්‌ති. න කෙවලඤ්‌ච නිච්‌චනවාව, සූරියුග්‌ගමනෙ උස්‌සාවබින්‌දු විය උදකබුබ්‌බුලො විය උදකෙ දණ්‌ඩරාජි විය ආරග්‌ගෙ සාසපො විය විජ්‌ජුප්‌පාදො විය ච පරිත්‌තට්‌ඨායිනො’’

[මෙසේ නම් මේ ධර්මයෝ පෙර නූපන්නාහු උපදිත්. උපන්නාහු නිරුද්ධ වෙත් යයි නිත්‍ය වශයෙන් නව (අලුත්) ධර්ම ලෙසම සංස්කාරයෝ වැටහෙත්. හුදෙක් නිත්‍ය වශයෙන් නව ධර්ම ලෙසට පමණක් නොව හිරු උදාවන කල්හි පිණිබිඳු මෙන් දිය බුබුල් බිඳෙන්නාක් මෙන්  දියෙහි දඬුවකින් ඇඳි ඉරක් වහා නොපෙනීයන්නාක් මෙන් හිදි තුඩ අබ මොහොතක්ම රඳන්නාක් මෙන් විදුලි කෙටීමක් මොහොතක්ම පැවත නැතිවන්නාක් මෙන් ඉතා මද වූ කාලයක්ම ඨිතිය ඇත්තා වූ ධර්මසේ ද වැටහෙත්. (පටිසම්භිදාමග්ග අ.ක. – උදයබ්බය ඤාණ නිද්දේසවණ්ණනා – හේ.මු. පි.180)]

දක්වන ලද අට්ඨකථා පාඨයෙන් ද පැහැදිලි වනුයේ මොහොතක් පාසාම පෙර නොතිබූ සංස්කාරම ඉපිද නිරුද්ධ වන බවත් සෑම මොහොතකම උපදිනුයේ ද නව සංස්කාර බවත් යන්නය. සංස්කාරයන්ගේ ඨිතිය පිළිබඳව අදහස් දක්වන ආචාර්යන් වහන්සේ මොහොතකම ඨිතියක් හෙවත් පැවතීමක් ඇති බව උපමා මගින් දක්වයි. මෙයින් ද ගම්‍යවනුයේ පෙර නූපන් සංස්කාරයෝම ඉපිද මොහොතක් පැවත නිරුද්ධ වන බවයි.

දක්වන ලද අර්ථකථා සාධක පාඨ වලට අනුව භාග්‍යවතුන්වහන්සේගේ අදහස දන්නා වූ සන්තිකාවචර බුද්ධ පුත්‍රයන්වහන්සේලා තැබූ සියළු අර්ථකථා වලින් ද ගම්‍යවනුයේ “අනිත්‍යතාවය යනු පෙර නූපන් ධර්මයෝම ඉපිද නිරවශේෂව නිරුද්ධවන බවය” එබැවින් ශ්‍රද්ධාවෙන් පැවිදි වූ සියළු කුලපුත්‍රයන් විසිනුත් නිවන් සැපය සොයන සත්පුරුෂයන් විසිනුත් අනිත්‍යතාවය පිළිබඳ මේ දහම් අරුත මෙලෙසින්ම දරාගත යුතුය.

නාමරූපයන්ගේ ක්ෂණික නිරෝධය පිළිබඳ ටීකාවන්හි අන්තර්ගතය 

i. අභිධම්මත්ථවිකාසිනී ටීකාව

අභිධම්මාවතාර ග්‍රන්ථයට ටීකාචාර්ය සාරිපුත්ත ස්වාමීන්වහන්සේගේ ශිෂ්‍යයෙක් වන සුමංගල ස්වාමීන්වහන්සේ විසින් ලියන ලද අභිධම්මත්ථවිකාසිනී ටීකාවෙහි මෙසේ සඳහන් වේ.

  • අයං හි පඨමං පච්චයතො උදයබ්බයං මනසිකරොන්තෝ පච්ඡා අවිජ්ජාදිකෙ පච්චය ධම්මෙ විස්සජ්ජෙත්වා උදයබ්බයවන්තෙ ඛන්ධෙ ගහෙත්වා තෙසං පච්චයතො උදයබ්බදස්සන මුඛෙන ඛණතොපි උදබ්බයං මනසිකරොති තස්ස යදා ඤාණං තික්ඛං විදසං හුත්වා පවත්තති, තදාරූපාරූප ධම්මා ඛණෙ ඛණෙ උප්පජ්ජන්තා භිජජන්තා ච හුත්වා උපට්ඨහාති

[මේ යෝගාවචර තෙමේ පළමුව ප්‍රත්‍යවශයෙන් උදයවැය මනසිකාර කරනුයේ පසුව අවිද්‍යාදී ප්‍රත්‍ය ධර්ම හැරපියා උදයවැය ලක්‍ෂණයන්ගෙන් යුත් ස්කන්ධයන් ගෙන ප්‍රත්‍යවශයෙන් උදයවැය දැකීම් මූලයෙන් ක්‍ෂණවශයෙන් ද ඒ ස්කන්ධයන්ගේ උදයවැය මනසිකාර කරයි. යම් කලෙක ඒ යෝගාවචරයාගේ ඤාණය තියුණුව විසදවී පවතීද, එකල්හි රූපාරූප ධර්මයෝ ක්ෂණයක් ක්ෂණයක් පාසා උපදින්නාහු ද බිඳෙන්නාහුද වී වැටහෙත්. (අභිධම්මත්‍ථවිකාසිනී ටීකා – මග්ගාමග්ගඤාණදස්සනවිසුද්ධි කතා)]

මේ ටීකා පාඨයෙන් කියැවෙනුයේ උදයවැය ඤාණයට රූපාරූප ධර්මයන් අරමුණු වන ආකාරය ය. එහිදී ටිකාචාර්යයන්වහන්සේ රූපාරූප ධර්මයන්ගේ ක්ෂණයක් ක්ෂණයක් පාසා සිදුවන ඉපදීම් බිඳීම් ස්වභාවයම මතුකර දක්වයි. මෙයිනිදු අනිත්‍යතාවයේ යථාස්වභාවය මැනවින් මතු කර දක්වයි.

ii. විශුද්ධිමාර්ග මහාටීකාව

තවද විශුද්ධිමාර්ග මහාටීකාවේ මෙසේ දැක්වේ.

  • ඛයට්ඨෙනාති ඛය සවභාවතො, යස්මා රූපං ඛය සවභාවං උපපජිත්වා ඛයං වයං  භෙදං ගච්ඡති තස්මා අනිච්චන්ති අත්ථො

[ඛයට්ඨෙන යනු ක්‍ෂය ස්වභාවයෙන් යන්නයි. යම්හෙයකින් රූපය ක්‍ෂය ස්වභාව ඇත්තේ ද ඉපිද ක්‍ෂය භාවයට නැතිවීම් ස්වභාවයට බිඳෙන භාවයට යයි ද එහෙයින් අනිච්චං යන අර්ථය යි. (විසුද්ධිමග්ගමහාටීකා – මග්ගාමග්ගඤාණදස්සන විසුද්ධි වණ්ණනා)]

අනිච්චං ඛයට්ඨෙන යන තන්හි ඛයට්ඨෙන පදයට අර්ථ විග්‍රහ කරන ටීකාචාරීන් වහන්සේ ද අනිත්‍යතාව යන්න සඳහා ලබාදෙනුයේ ඉපදෙන බිඳෙන භාවය යන අර්ථයමය. ටීකා යුගයට පැමිණෙන විට ද ථේරවාදී ආචාර්ය පරම්පරාව රැගෙන ආ අනිත්‍යතාව පිළිබඳ දහම් අර්ථය, බුද්ධ මතය තවතවත් අර්ථ දීප්තියට පැමිණෙනුයේ විනා අර්ථ හානියක් නොවූ බව මෙනයින්ද දත යුතු ය. එබැවින් ථේරවාදී ආචාර්ය පරම්පරාවෙන් පැමිණි පිරිසිදු දහම් අර්ථයම ගෙන සමථ විපස්සනා වඩා මගඵල නිවන් සාක්ෂාත් කරගැනීමට සුධීහු අප්‍රමාදී වෙත්වා!

 

මීළඟ ලිපියෙන් පෙළ අටුවා ටීකා වල සඳහන් වූ අර්ථයන් ම වර්තමාන කාලයේ ථේරවාදී සම්ර්‍ප්‍රදාය තුළ විපස්සනා භාවනා ව පිණිස භාවිතා කරන්නේ දැයි විස්තර කරන්නෙමු.

4.    අනිත්‍යතාවය පිළිබඳව සුප්‍රකට මෑතකාලීන ථේරවාදී භාවනා ආචාර්යවරුන්ගේ මත 

පසුගිය ලිපිපෙළින් අපි ත්‍රිපිටක පෙළ අටුව ටීකාවන්හි අනිත්‍ය යන්නට ලබාදුන් අර්ථකථනයන් විස්තර කළෙමු. මේ ලිපියෙන් ඒ අර්ථකථනයන්ම යොදාගෙන වර්තමාන ථේරීය ඇදුරන් විපස්සනා භාවනාව සිදුකරන්නේදැයි විස්තර කරන්නෙමු.

            මෙකල සමථ විපස්සනා භාවනාවන්හි කෝටිප්ප්‍රාප්ත ආචාර්යවරු වැඩවාසය කරන්නේ බුරුම රටේ බව සියළු යෝගාවචරයන්ගේ අවිවාදාත්මක පිළිගැනීමයි. එයිනුත් අද මුළු ථේරවාදී ලෝකය පුරා ව්‍යාප්ත වී ඇති භාවනා ක්‍රම වනුයේ අතිපූජ්‍ය මහා සී සයාඩෝ ස්වාමීන්වහන්සේගේ උපදේශනය අනුව සැකසුණු මහා-සී භාවනා ක්‍රමයත්, අතිපූජ්‍ය පා අවුක් සයාඩෝ ස්වාමීන්වහන්සේගේ උපදේශනය අනුව සැකසුණු පා-අවුක් භාවනා ක්‍රමයත්ය. අනිත්‍යතාවය පිළිබඳ මේ සුප්‍රකට කර්මස්ථානාචාර්යයන් වහන්සේලාගේ අදහස් මෙසේය.

  • මහා සී භාවනා ක්‍රමය තුළින් අනිත්‍යතාවය 

            මහා සී භාවනා ක්‍රමය සෘජුවම පෙළ අර්ථකථාව සහ විශුද්ධමාර්ගය පදනම් කොට බිහි වූ භාවනා ක්‍රමයකි. අතිපූජ්‍ය මහාසී සයාඩෝ මහතෙරුන් වහන්සේ විසින් බුරුම බසින් රචිත “විපස්සනා නයප්පකරණය” නමැති ග්‍රන්ථයෙහි පෙළ අටුවා ටීකාවන්ගෙන් සාධක සූත්‍ර දක්වමින් මෙම භාවනා ක්‍රමය පෙළ අටුවා ටීකාවන්ට අනුගතවම ලියූවක් බවට සාධනය කරයි. මෙම ග්‍රන්ථය සහ භාවනා ක්‍රමය බුරුම රටේ මෙන්ම ලොව පුරා භාවනා යෝගාවචරයින් අතිශයින් ගෞරවපූර්වකව පිළිගනී.

            මෙම ග්‍රන්ථය බුරුම ජාතික පූජ්‍ය යූ. ඤාණීන්ද සයාඩෝ මහ තෙරුන්වහන්සේත්, පූජ්‍ය නා උයනේ අරියධම්ම ස්වාමීන්වහන්සේත් පූජ්‍ය උඩඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේත් එකතුව සිංහලයට පරිවර්තනය කොට “මහා සී විපස්සනා භාවනා ක්‍රමය” යන නමින් මීතිරිගල නිස්සරණ වනය සංරක්‍ෂණ මණ්ඩලයේ ප්‍රකාශනයක් ලෙස එළි දක්වා ඇත. එම සිංහල පරිවර්තනය කොටස් කිහිපයකින් යුක්ත වන අතර එහි පරිච්ඡේද අංක 06 හි “සම්මස්සන ඤාණය” නම් අනු මාතෘකාව යටතේ මෙසේ සඳහන් වේ.

            තවදුරටත් ඉදිරි භවයේ පහළ වන්නා වූ තාක් රූපයෝ ද දැන් මෙනෙහි කොට වටහාගත් රූපයන්ටම සමානය. මෙම රූපයන් මෙන්ම එක ක්‍ෂණයකින් නිරුද්ධවන්නෝම ය. වෙනත් භවයක් තෙක් කිසිවක් ගමන් නොකරන්නේමය. පහළ වූ තැනම එම භවයෙහිදීම නිරුද්ධ වීම සිදුවන බැවින් අනිත්‍යයම යැයි ව්‍යස්ථාපනය කරයි. සම්මස්සන ඥානයක්ම ය. තවදුරටත් මතු කාලයේ පහළවන්නා වූ තාක් රූපයන් දැන් මේ මෙනෙහි කොට වටහා ගත් රූපයන් මෙන් නිරුද්ධ වනවා ම වන්නේ ය. වෙනත් චිත්තක්‍ෂණයක් කරා කිසිම රූපයක් පවතිනවා නොවේ. ඒවා පහළ වූ තැනම එම ක්‍ෂණයෙහිම නිරුද්ධ වන්නා වූ බැවින් අනිත්‍ය වන්නේමැයි පිරිසිඳින්නේ ය. සම්මස්සන ඥානයක් ම වේ.    

            ග්‍රන්ථයෙන් කොටසක් උපුටා දැක්වීම වශයෙන් මෙම පාඨය දැක්වුවද මෙම පරිච්ඡේදය පුරාවටම විවිධ ක්‍රම වලින් අනිත්‍ය ලක්‍ෂණය මෙනෙහි කරන ආකාරය දක්වා ඇත. මෙයින් ද ජීවමාන බුදුරජාණන්වහන්සේගේ ඒ ශ්‍රී මුඛ දේශනාව අර්ථ නොනසා පුරාණ මහරහතන්වහන්සේලාගේ පටන් වර්තමානය දක්වා ථේරවාදී ආචාර්ය පරම්පරාවෙන් පැමිණි බව වටහා ගත යුතුය.

  • “පා-අවුක්” භාවනා ක්‍රමය තුළින් අනිත්‍යතාවය 

ථේරවාදීන්ගේ සුප්‍රකට භාවනා ග්‍රන්ථය වන “විශුද්ධිමාර්ග”යෙහි එන ධ්‍යාන අභිඥා පූරණය කොට ධ්‍යාන පාදක කොට ගෙන විපස්සනාව වඩන “සමථ පූර්වාංගම විපස්සනාව” ඒ නයින් ම පුහුණු කරන භාවනා ක්‍රමය වනුයේ “පා-අවුක්” භාවනා ක්‍රමය යි. බුරුම රට මෝලම්‍යයන් පා-අවුක් චිත්තල පබ්බත භාවනා මධ්‍යස්ථානාධිපති අති පූජ්‍ය පා-අවුක් සයාඩෝ ස්වාමීන් වහන්සේ මෙම භාවනා ක්‍රමය තම ශිෂ්‍යයන්ට පුහුණු කරයි.

            සියළු ථේරවාදී ලෝකයට ඉපැරණි ථේරවාදී බෞද්ධ භාවනා ක්‍රමය මතු කර දක්වන මෙම භාවනා ක්‍රමය ද පෙළ අටුවා ටීකා වලට අනුගතවම බිහි වූ භාවනා ක්‍රමයකි. අතිපූජනීය පා-අවුක්  සයාඩෝ ස්වාමීන් වහන්සේගේ දේශනා ඇසුරින් ඉංග්‍රීසි බසින් රචිතව අතිපූජනීය නා උයනේ අරියධම්ම මහතෙරුන්වහන්සේගේ පෙරවදනක් සහිතව “ප්‍රඥාවේ ආලෝකය” නමින් මෙම ග්‍රන්ථය සිංහලයට පරිවර්තනය කොට ඇත්තේ කොළඹ කාන්තා විද්‍යාලයේ විශ්‍රාමික ගුරුමාතාවක් වන සිල්වියා ගුණතිලක මහත්මිය විසිනි. එම ග්‍රන්ථයෙහි 173 පිටුවේ මෙසේ සඳහන් වේ.

            අතීත අනාගත පච්චුප්පන්න රූප පහළවීමෙන් පසු නිරුද්ධ වන බැවින් අනිත්‍ය වේ. “ඛය” යනු තවදුරටත් නොපවත්නා බවයි. රූප හටගැනීමට පෙරත් නිරුද්ධ වීමෙන් පසුත් නොපවතී. ඒක් ස්ථානයක ගොඩගැසෙන මළකඳන් මෙන් ගොඩගැසෙන රූප නැත. පහළවීමට පෙරත් පහළවීමෙන් පසුත් නොපැවතීම පරමත්‍ථ රූපයන්ගේ ස්වභාවය යි.

ග්‍රන්ථයෙහි සඳහන් වන මෙම පාඨයෙන් ද නාමරූපයන්ගේ සිදුවන ක්‍ෂණයක් ක්‍ෂණයක් පාසාම බිඳී යාම මොනවට තහවුරු වේ. මින් වසර දෙදහස් හයසියයකට පෙරතුව දේශිත බුද්ධ භාෂිතයත් බුද්ධ පරිනිර්වාණයෙන් තුන් මසකට අනතුරුව පැවති ප්‍රථම ධර්ම සංගායනාවෙන් සංගීතියට නැංවූ ආචාර්යවාදය හෙවත් අර්ථකථාවත් ඉන් වසර එක්දහස් හයසීයකට පමණ අනතුරුව පොළොන්නරු යුගයෙහි ලියවුණු ටීකා ග්‍රන්ථත් අද සුප්‍රකට ථේරවාදී මහා ස්ථවිරයන් වහන්සේලාගේ භාවනා ප්‍රතිපදාත් ‍අර්ථ වශයෙන් සුළුවෙන් හෝ පරස්පර භාවයක් නොමැති බැවින් හැඟෙනුයේ ඒකාන්තයෙන් මේ ථේරවාදී ආචාර්යපරම්පරාව මේ නිර්මල ධර්ම විනය අරුත් නො නසා පරපුරින් පරපුරට රැගෙන ආ බව නොවේද? ශ්‍රී සුගත ශරීරයෙන් ගලා ගිය දහම් රුධිරය කොණ්ඩඤ්ඤ ආදී මහරහත් සඟ පරපුරෙන් ඇරඹ සාරිපුත්ත මොග්ගල්ලාන කස්සප ආනන්ද නන්ද රාහුල උපාලි ආදී ඒ මහරහතන් වහන්සේලාගේ ශරීර තුළින් ගලා විත් සබ්බකාමී මොග්ගලීපුත්ත තිස්ස ආදී මහරහත් ශරීර ස්පර්ශ කොට අනුබුදු මිහිඳු මාහිමිගේ සිරුරින් අරිට්ඨ ආදී තම්බපණ්ණී දීප මහරහත් පරපුර ලැබ ගලා ආ ඒ දහම් රුධිරය අදටත් ථේරීය භික්‍ෂු පරපුරේ සිරුරු තුළ ගලා බස්නා බවට මෙයට වඩා තවත් නිදසුන් නොවුමනා නොවේද? එබැවින් නිර්මල බුදුසසුනක අඛණ්ඩ පැවැත්මක් සොයන ශාසනස්ථිතිකාමී සත්පුරුෂයෝ මේ ථේරවාදී දහම් අරුත්ම ස්වකීය සිත් සතන්වල රඳා ගනිත්වා.

            මෙසේ ථේරීය ඇදුරුපරපුරෙන් පැමිණි මේ දහම් අර්ථ මෙකලද මේ පින්බිමේ නිරුපද්‍රිතවම පවතී. මහනුවර යුගයේ අවසන් සමයේ පිරිහී තිබූ ලාංකීය සසුන් කෙත වැලිවිට සරණංකර සඟරජ හිමියන්ගේ දෑතින් නැවත අස්වද්දා සියම් අමරපුර රාමඤ්ඤ ත්‍රෛයිනිකායික සුපේශල ශික්‍ෂාකාමී ධර්මධර විනයධර භාවනායෝගී මහාසංඝරත්නයේ ආශීර්වාදයෙන් අදටත් තෙවලා දහම් අරුත් අටුවා ටීකා සහිතවම දරන්නා වූ සුපටිපන්න මහසඟ ගණ ලෝ සතට නිවන් මග පාදමින් සසුන් පිළිවෙත් පුරනා බව සුධීහු දතයුත්තාහ. මේ අනිත්‍යතාවය පිළිබඳව සමීප අතීතයේ වැඩ සිටි ලාංකේය මහතෙරුන් වහන්සේලාගේ අර්ථ දැක්වීම්ය.

  • විදර්ශනා භාවනා ක්‍රමය – රේරුකානේ චන්‍දවිමල මහතෙරුන් වහන්සේ 

            රේරුකානේ චන්‍දවිමල මහතෙරුන් වහන්සේ යනු ලාංකේය ථේරවාදී භික්‍ෂු පරපුරේ මෑතකාලීනව පහළ වූ ශ්‍රේෂ්ඨ ධර්මධරයෙකි. එසේම යෝගාවචරයෙකි. තෙරුන්වහන්සේ විසින් රචිත ග්‍රන්ථ පෙළ ස්වකීය ධර්මපටිභානය විදහාපාන කදිම නිදසුනකි. “සිල් ඇත්නම් රේරුකානේ හාමුදුරුවන්ගේ පොත් ටික ගෙන කැලයට ගියත් නිවන් දකින්න පුළුවන්” යයි මෙකල ථේරීය ඇදුරු පරපුරේ ජීවමාන ආචාර්යවරු පවසන්නේ පෙර වචනය තහවුරු කරමිනි.

            ස්වාමීන් වහන්සේ විසින් රචිත විදර්ශනා භාවනා ක්‍රමය ග්‍රන්ථයෙහි 114 පිටුවෙහි (2014 – 23 වෙනි මුද්‍රණය)  අනිත්‍යතාවය පිළිබඳව මෙසේ සඳහන් වේ.

            “වැසි වස්නා කල්හි ජලාශ වල දිය බුබුළු නැගි නැගී වහ වහා බිඳී යන්නාක් මෙන් ද බෙරයකට ගසන කල්හි හඬ නැගි නැගී වහා අතුරුදහන් වන්නාක් මෙන්ද සංස්කාරයෝ ඉපිද ඉපිද වහ වහා නිරුද්ධ වෙති. නිරෝධ යනු කිසිවක් ඉතිරි නොවී නැති වී යෑම ය. එයට බිඳීම යයි ද කියනු ලැබේ. ඇසිපිය හෙලීමට ගත වන කාලය තරම් වත් පවත්නා සංස්කාරයන් ඇත්තේම නැත. එය තේරුම් ගැනීමට අපහසු කාරණයකි. වැඩි දුරටත් කරුණු සොයා දන්නවුන් ගෙන් ද කරුණු අසා බලා එය අවබෝධ කර ගත යුතුය. සංස්කාරයන්ගේ ඒ වහා නිරුද්ධවන්නා වූ ස්වභාවය බිඳෙන්නා වූ ස්වභාවය අනිත්‍ය ලක්‍ෂණයයි

            මහතෙරුන්වහන්සේගේ අර්ථ දැක්වීමෙන් ද ප්‍රකට වනුයේ අනිත්‍යතාවය යනු සංස්කාරයන්ගේ ඉපිද බිඳෙන ස්වභාවයම බවයි. ඒ අනුව ථේරවාදී පරම්පරානුයාත ධර්මාර්ථයම තෙරුන්වහන්සේ ද දරන බව ගම්‍ය වේ.

            තවද මෑතකාලීනව වැඩ වාසය කළ ලක් සසුන් අඹරේ දීප්තිමත් තරු වූ ධර්මධර විනයධර සුපේශල ශික්‍ෂාකාමී යෝගාවචර ස්වාමීන් වහන්සේලා විශාල ප්‍රමාණයක් පෙළ අටුවා ටීකා වලට අනුවම යමින් ඉහත දක්වන ලද අර්ථ විග්‍රහ සහිතවම අනිත්‍යතාවය පිළිබඳව දහම් අර්ථ ඉදිරිපත්කොට ඇත්තාහ. ඒ අතුරින් දෙව්නුවර ඥානාවාස මහනාහිමි, පණ්ඩිත මාතර ශ්‍රී ඥානාරාම හිමි, නා උයනේ අරියධම්ම නාහිමි, කහටපිටියේ සුමතිපාල හිමි වැනි ශ්‍රේෂ්ඨයතිවරු යෝගාවචර සංඝපීතෘන්වහන්සේලා වූහ. එකී ස්වාමීන්වහන්සේලාගේ ද ග්‍රන්ථ දේශනා ආදීන්හි ද අනිත්‍යතාව සඳහා දක්වන ලද අර්ථයම ඇති බව සොයා බලන්නෙකුට මැනවින් වැටහේ.

            මෙතුවක් දක්වන ලද්දේ අනිත්‍ය ලක්‍ෂණය යනු කුමක්ද යන්නත් එහි සැබෑ දහම් අර්ථය කුමක්ද යන්නත් ජීවමාන බුදුන් කල සිට අද දක්වා ථේරවාදී ආචාර්ය පරම්පරාව තුළින් ඒ අනිත්‍ය පදය අර්ථ නොනසා රැගෙන විත් වර්තමානයේ ථේරවාදීන් ද ඒ දහම් අර්ථය දරමින් විපස්සනා භාවනාවන් සඳහා යොදා ගන්නා ආකාරයත්ය. මේ සටහන දීර්ඝ වන බැවින් දුක්ඛ අනාත්ම යන දෙපදය යොදා ගනිමින් කරුණු නොදැක්වූයේ වුවත් එහිලා ද අර්ථ සාධනය මෙසේම යැයි දතයුතුය. ඒවායේ අර්ථයන් ආචාර්ය පරම්පරාවෙන් පැමිණි ආකාරය සාධක සූත්‍ර දැක්වූ ග්‍රන්ථයන්ගෙන් ම බලා දත යුතුය.

මීළඟ ලිපියෙන් දුක්ඛ ලක්‍ෂණය සඳහා පෙළ අර්ථකථා ටීකාවන්හි පැමිණි දහම් අර්ථය කුමක්ද යන්න විස්තර කරන්නෙමු.