2018 වසර අවසන් වී නව වසර එළඹීමට තව ඇත්තේ දින කිහිපයක් වේ. නව වසරට පා තැබීමේ දී බොහෝ දෙනෙක් සිය ගෙවුණු වසර දෙස හැරී බැලීමක් කර ආත්මප්‍රත්‍යවේක්ෂණයක් කරති. පසුගිය වසරේ තමා අත්පත් කරගත් දෑ සහ තමාට අහිමි වූ දෑ පිළිබද සිතා බලති.

තමා අත්පත් කරගැනීමට සිතා සිටියද කළ ළගා කරගත නොහැකි වූ ඉලක්ක පිළිබඳව ද කල්පනා කරති. ධර්මානුකූලව දිවි ගෙවන ඇතමෙක් ගෙවුණු වසරේ තමා කොතරම් ධර්මයේ හැසුරුණේ ද යන්න සලකා බලති. තම තමන්ගේ ශීලය ශක්තිමත් වූයේ ද? ශීලය දුර්වල වූයේ ද? ධර්ම මාර්ගයේ ගමන් කිරීම් වශයෙන් තමාගේ ප්‍රගතිය කෙබඳු ද යන්න සිතා බලති.

මේ සඳහා බොහෝ සත්පුරුෂ කල්‍යාණමිත්‍රයන් වහන්සේලාගෙන් උපදෙස් ද ලැබේ. එබැවින් මෙහි දී එබඳු ආපසු හැරී බැලීමකට පමණක් සීමා නොවී තම සිත ප්‍රත්‍යවේක්ෂා කළයුතු බවට බුදුරජාණන් වහන්සේගේ අවවාදය මේ වසරක් ගෙවී නව වසරකට පා තබන අවස්ථාවේ මතක් කර දෙනු කැමැත්තෙමි.

බුදුරජාණන් වහන්සේ සංයුත්ත නිකායේ දුතිය ගද්දුලබද්ධ සූත්‍රයේ දී වදාරණ ලද්දේ භික්ෂූවක් විසින් නිතර සිය සිත ප්‍රත්‍යවේක්ෂා කළයුතු බවයි. නව වසරට එළඹෙන නුවණැති බෞද්ධයන් විසින් ගෙවුණු වසරේ කළ කී දෑ පිළිබඳව හැරී බලද්දී තම සිත පිළිබදව ද නුවණින් විමසා බැලීමක් කළයුතු වේ. බුදුරජාණන් වහන්සේ මෙම සූත්‍රයේ දී දේශනා කරන ලද්දේ සංසාරය අක්මුල් නැති බවත්, අවිද්‍යාවෙන් වැසී තෘෂ්ණාවෙන් බැඳී මෙම සසරේ සැරි සරන සත්වයාගේ පූර්ව කෙළවර සොයාගත නොහැකි බවයි.

“අනමතග්‌ගොයං, භික්‌ඛවෙ, සංසාරො. පුබ්‌බා කොටි න පඤ්‌ඤායති අවිජ්‌ජානීවරණානං සත්‌තානං තණ්‌හාසංයොජනානං සන්‌ධාවතං සංසරතං

“වසරක් ගෙවී නව වසරක් එළඹීම අපට සසරේ සත්වයාගේ ඒ සැරිසැරීම සිහිපත් කර දෙයි. සසරේ සැරිසරන සත්වයා එක් ආත්මභාවයකින් චුතව තවත් ආත්මභාවයක පහළ වන්නේ ද මෙසේ වසරක් ගෙවී වසරක් එළඹෙන්නාක් මෙනි”

අප සියලුදෙනාම මෙවන්ම වූ නව වසර සැමරීම් කීයක් නම් මේ වනවිට පසු කරන්නට ඇත්දැයි මෙහි දී කල්පනා කරගත යුතු වේ. ඒ සසරේ අනවරාග්‍ර බවයි. අගක් මුලක් නොමැති බවයි. වසරක් ගෙවී නව වසරක් එළඹීම අපට ඒ සසරේ සත්වයාගේ සැරි සැරුම සිහිපත් කර දෙයි. සසරේ සැරිසරන සත්වයා එක් ආත්මභාවයකින් චුතව තවත් ආත්මභාවයක පහළ වන්නේ ද මෙසේ වසරක් ගෙවී වසරක් එළඹෙන්නාක් මෙනි. දෙසැම්බර් 31 දින ගෙවී අවසන් වන්නේ යම් මොහොතකද කිසිදු අතරක් නොමැතිව ඊළග වසර උදා වේ. එය කිසිවකුගේත් පාලනයට නතු නොවේ. එසේම අවිද්‍යාව ක්ෂය නොකළ, තෘෂ්ණා බැම්මෙන් බැඳී සිටින සත්වයා මේ භවයේ මරණයට පත් වීමත් සමඟ ඊළඟ ජීවිතයක මව්කුසක පිළිසිඳ ගැනීම හො වෙනත් භවයක පහළ වීමත් අතර චිත්තක්ෂණයක තරම් හෝ ඉඩක් නැත්තේය. සත්වයාගේ කර්ම ශක්තිය අනුව තමාගේ කිසිදු පාලනයකට නතු නොවී ඊළඟ භවයේ පහළ වීම සිදුවේ. අපි මේ බියකරු සසරේ එබඳු උත්පත්තීන් කොතෙක් නම් ලබා ඇත්දැයි කිවහැකි කිසිවෙකුත් නැත. මේ සසර ඒ තරම් ම දිගු වේ. අවිද්‍යා, තෘෂ්ණා දෙක සිඳ බිඳ නොදමා තවත් කොපමණ කලක් මේ සසරේ සැරිසරන්නට සිදුවේ ද යන්න පවා සිතාගත නොහැකි වේ.

දුතියගද්දුලබද්ධ සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ සසර සැරිසරන සත්වයා දම්වැලකින් බඳින ලද සුනඛයෙකුට උපමා කරති. දම්වැලෙන් යම් කණුවක බඳින ලද සුනඛයා ඒ කණුව අසලම සැරි සරයි. ඒ අසලම සිටී. ඒ අසලම හිඳී. ඒ අසලම වැතිරේ. එසේම දිට්ඨිය නැමති දම්වැල ඇසුරු කරගත් තෘෂ්ණා රැහැනෙන් සත්කාය නැමති කණුවේ බදින ලද සසර සැරිසරන බාලපෘථග්ජන පුද්ගලයා සියලු ඉරියව් වල දී තමාගේ ස්කන්ධ පඤ්චකයම ඇසුරුකොටගෙන සිටී. මේ රූපය ‘මගේය, මමය, මගේ ආත්මය ය’ යනුවෙන් සලකයි. වේදනාව, සඤ්ඤාව, සංස්කාර, විඤ්ඤාණ යන පඤ්චඋපාදානස්කන්ධයම ‘මගේය, මමය, මගේ ආත්මය ය’ යනුවෙන් සලකමින් ඒ පඤ්චඋපාදානස්කන්ධයම ඇසුරුකොටගෙන සිටී. යාමේ දී පඤ්චඋපාදානස්කන්ධය ඇසුරුකොටගෙනම යයි. සිටීමේ දී පඤ්චඋපාදානස්කන්ධයම ඇසුරුකොටගෙන සිටී. හිඳීමේ දී නිදාගැනීමේ දී ද ඒ පඤ්චඋපාදානස්කන්ධයම ඇසුරුකරගනී. එසේ හැසිරීමේ දී සත්වයාගේ චිත්තසන්තානය රාගාදී කෙලෙස් මළින් කිළිටි වේ. එබැවින් බුදුරජාණන් වහන්සේ අවවාද කරනුයේ ‘මේ තමාගේ සිත දීර්ඝකාලයක් රාග, ද්වේෂ, මෝහයන්ගෙන් කිළිටි වී ඇති බව’ ප්‍රත්‍යවේක්ෂා කරන ලෙසයි. සිත කිළිටි වීමෙන් ම සත්වයෝ කිළිටි භාවයට පත්වේ. සිත පිරිසිදු වීමෙන් පිරිසිදු වේ.

“චිත්‌තසංකිලෙසා, භික්‌ඛවෙ, සත්‌තා සංකිලිස්‌සන්‌ති; චිත්‌තවොදානා සත්‌තා විසුජ්‌ඣන්‌ති

එබැවින් සිය සිත පිළිබඳ නුවණින් යුතුව බැලීමට බුදුරජාණන් වහන්සේ අවවාද දෙන සේක. දීර්ඝකාලයක් රාගාදී කෙලෙස් ධර්මයන්ගෙන් කිළිටි වී ඇති සිතට වර්තමානයේ ඇස ආදී ඉන්ද්‍රියයන් වලින් ගන්නා රූපාදී ආරම්මණයන්ගෙන් ලැබෙන්නා වූ රසය ආහාරයක් වේ. එයින් ඒ සිත වහා ඉක්මනින් කිළිටි වේ.

මෙහි දී බුදුරජාණන් වහන්සේ එකල පැවති ‘චරණ චිත්‍රය’ නම් චිත්‍රයක් පිළිබඳව භික්ෂූන් වහන්සේලාගෙන් අසා වදාළ සේක. එය තැනින් තැනට ගෙනගොස් පෙන්වන චිත්‍රයක් බව අර්ථකථාවේ සඳහන් වේ. වර්තමානයේ ඇති චිත්‍රපට, නාට්‍ය, රූකඩ ආදියට තරමක් සමාන දෙයක් විය හැකි වේ. ප්‍රෙක්ෂකයාගේ සිත ඇද බැඳ තබාගත හැකි වන ආකාරයට මෙම චරණ චිත්‍රය විසිතුරුව සකස් කරනු ලබයි. වර්තමානයේ ඇති චිත්‍රපට ආදියද එසේම ය. ප්‍රේක්ෂකයාගේ සිත ඇද බැඳ තබාගැනීමට, ප්‍රේක්ෂක සිතේ රාගාදී කෙලෙස් ධර්මයන් ඇති කිරීමට සමත් වන ලෙස රූපරාමු, චරිත, සිත්කළු පරිසර නිර්මාණය කිරීම් ආදිය මගින් චිත්‍රපටය විසිතුරු කෙරේ. මෙම විසිතුරු බව ඒ චිත්‍රය නිර්මාණය කරන නිර්මාපකයාගේ සිතෙන් ගොඩනැගෙන පරිකල්පනයකි. ඒ අනුව එය ද සිතෙන්ම විසිතුරු කරන ලද්දකි. දීර්ඝ කාලයක් තිස්සේ තමා දැක පුරුදු, අසා ඇති දේ ඇසුරුකරගෙන අභිනවයෙන් චරණ චිත්‍රයක් විසිතුරු කරන්නා සේ සත්වයා දීර්ඝකාලයක් රැස් කරන ලද රාගාදී කෙලෙස් ධර්මයන් ඇසුරෙන් අභිනව කෙලෙස් ධර්මයන් රැස් කොට ඒවා රස විඳිමින් සිය භවය දිගු කරගනී. එබැවින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනුයේ සිතින් නිමවන චරණ චිත්‍රයට වඩා ඒ චිත්‍රය නිමවන සිත විසිතුරු බවයි. එබැවින් දීර්ඝකාලයක් පුරාවට මෙම සිත රාගාදී කෙලෙස් වලින් කිළිටි වූ බව නුවණින් යුතුව විමසා බැලිය යුතු වේ.

එසේම මේ ලෝ තලයේ  සිටින විසිතුරුම සමූහය වන්නේ තිරිසන්ගත සත්වයන් වේ. තිරිසන්ගත සත්වයෝ නොයෙක් ආකාර ඇත්තෝය. ඔවුන්ගේ ඒ විසිතුරු බවද සිත නිසාම වේ. කර්ම චිත්තයේ විසිතුරු බව නිසා  තිරිසන්ගත සත්ව ලෝකය විසිතුරු වේ. ඒ කර්මයේ විසිතුරු බව ඒ ඒ සත්වයෝනියේ උත්පත්තියට ප්‍රත්‍ය භාවයෙන් උපකාර වන බැවින් එයද සිත නිසාම වන බව පැවසේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනුයේ මේ සිත ඒ තිරිසන්ගත සත්වයන්ටත් වඩා විසිතුරු බවයි. සසර පුරාවට රැස්කර ගත් අකුසලකර්මයන්ගේ බලයෙන් සහ සසර පුරා ඒ ඒ සත්වනිකායන් කෙරෙහි ඇති කරගත් තෘෂ්ණා බලයෙන් තිරිසන් ගත සත්වයෝ ඒ ඒ යෝනි වල උපත ලබති. එසේම අපගේ සිත ද දීර්ඝ කාලයක් තිස්සේ රාගාදී කෙලෙස් වලින් කිළිටි වී ඇති බවත්, ඒ කෙලෙස් කිළිටි සහිත පෘථග්ජන පුද්ගලයාට සතර අපාය දුර නොවන බවත් නිතර සිහිපත් කරගත යුතු වේ.

එබැවින් වසරක් ගෙවී නව වසරක් එළඹෙන අවස්ථාවේ කළයුතු ප්‍රත්‍යවේක්ෂණය පිළිබඳ අළුත් අදහසක් මෙම සූත්‍රයෙන් අපට ලැබේ. එනම් අපගේ සිත ප්‍රත්‍යවේක්ෂා කිරීමයි. අප සිත තුළ ගොඩනැගෙන කුසලාකුසල ධර්ම, සාවජ්ජ අනවජ්ජ ධර්ම (වැරදි සහිත සහ වැරදි රහිත ධර්ම), හීන ප්‍රණීත ධර්ම, කණ්හසුක්කසප්පටිභාග ධර්ම (කළු සුදු යන ව්‍යවහාරයට යන පාපකර්ම හා පුණ්‍යකර්ම) පිළිබඳ නුවණින් යුතුව විමසා බැලීම කළයුතු වේ. දීර්ඝකාලයක් තිස්සේ සසරේ රැස්පත් කරන ලද රාගාදී කෙලෙස් ධර්මයන්ට ආහාරයක් සපයන පසිඳුරන් පිනවීමට පමණක් මෙම නව වසරක උදාව යොදාගන්නේ දැයි නුවණින් සිතා බැලිය යුතු වේ. ස්වකීය පඤ්චස්කන්ධය ඇසුරු කොටගෙන කණුවක දංවැලෙන් බඳින ලද සුනඛයෙක් සේ පඤ්චස්කන්ධයම මගේය, මම ය, මගේ ආත්මය යැයි ගෙන රාග, දවේෂ, මෝහ, මාන, උද්ධච්ච, ඊර්ෂ්‍යා, මසුරුකම් ආදී නොයෙක් කෙලෙස් උපදවාගෙන ප්‍රපංච ලොකයක ඇලී ගැලී සිටිනවාට වඩා පඤ්චකාම ගුණයන්ගේ ආස්වාදය මෙන්ම ආදීනවයද දැක, ඒ ආදීනවයන්ගෙන් මිදී ලබන නිස්සරණය උදෙසා සිය සිත ප්‍රත්‍යවේක්ෂා කළයුතු වේ. සිය සිත තුළ දීර්ඝකාලයක් තිස්සේ වැඩෙන කෙලෙස් ධර්මයන් හැඳිනගෙන ඒ අනුව අභිනව කෙලෙස් නූපදනා අන්දමින් පඤ්චස්කන්ධ සංඛ්‍යාත ලෝකයෙන් නික්මයාම උදෙසා නුවණ මෙහෙයවිය යුතු වේ. ගෙවීගිය වසර තුළ තමන් කොතරම් දුරට මෙම සිහියෙන් යුතුව කටයුතු කරන්නට ඇත් ද? යනු සිතා බලා අභිනව වසරේ වඩාත් සිහි නුවණින් යුතුව නිරන්තරයෙන් සිය සිත පිළිබඳ නුවණින් යුතුව විමසමින් කටයුතු කිරීමට අදිටන් කරගත යුතු වේ.

විද්‍යාවේදී, ත්‍රිපිටකාචාර්ය

මහව ඤාණාලෝක හිමි