පෘථග්ජන වූ නමුත් බුදුගොස් ඇදුරුපාණන් විසින් කරන ලද අර්ථකථාව පිළිගත යුත්තේ  කවරහෙයකින් ද යන්න පසුගිය ලිපියෙන් පැහැදිලි කරන ලදී. මීළගට මෙම අටුවාව පිළිබද චෝදනා මුඛයෙන් කථා කරන බොහෝ දෙනා ඉදිරිපත් කරන කරුණක් වන්නේ ‘ආචරියවාදො නාම අට්ඨකථා’ යනුවෙන් දීඝනිකායට්ඨකථාවේ එන පාඨය අනුව අර්ථකථාව බුදුරජාණන් වහන්සේගේ ප්‍රකීර්ණක ධර්මදේශනය නොවේ යැයි සහ අටුවාචාරීහු ද එබඳු සඳහනක් කර නොමැති බැවින් අටුවාව ප්‍රකීර්ණක ධර්මදේශනය විය නොහැකි බවයි. ඒ අනුව මෙම ආචරියවාද කථාව පිළිබඳ ධර්මානුකූල විග්‍රහය මෙසේ සුධීන්ගේ දැනගැනීම පිණිස දක්වන්නෙමු. මේ පිළිබඳ නිරාකූල අවබෝධයක් අපේක්ෂා කරන්නවුන් විසින් පළමුකොට ම චතුර්විධ විනය විනිශ්චය පිළිබඳ දතයුතු වේ.

විනය පිටකයෙහි බුදුරජාණන් වහන්සේ සතරමහාපදේස පිළිබඳ දේශනාවක් සිදු කරන අතර සූත්‍රපිටකයේ ද වෙනමම සතරමහාපදේස දේශනයක් සිදු කරන සේක. දීඝනිකායේ මහාපරිනිබ්බාන සූත්‍රයේ දී දේශනා කරනු ලබන සූත්‍ර පිටකාගත මහාපදේස පිළිබඳ විවරණයේ දී අර්ථකථාචාර්ය බුද්ධඝෝෂ මාහිමියන් වහන්සේ ප්‍රකීර්ණක විනිශ්චය වශයෙන් සූත්‍ර පිටකයේ මහාපදේස, විනයෙහි එන මහාපදේස, චතුර්විධ ප්‍රශ්න විසඳීම්, සුත්ත සුත්තානුලෝම ආචරියවාද අත්තනොමති යන සිව් වැදෑරුම් විනිශ්චයන් සහ ත්‍රිවිධ සංගීති පිළිබඳ දක්වති (සුමංගලවිලාසිනී, හෙමු, 394පි). එහි එන සිව්වැදෑරුම් විනිශ්චය පිළිබඳ කථාව විනය පිටකයේ පාරාජිකා අර්ථකථාවේ චතුර්විධ විනය විනිශ්චය වශයෙන් පැමිණේ.

  “චතුබ්බිධං හි විනයං – මහාථෙරා මහිද්ධිකා

            නීහරිත්වා පකාසෙසුං – ධම්මසඞ්ගාහකා පුරා”

යනුවෙන් සමන්තපාසාදිකා විනයාර්ථකථාවේ (හෙමු, 161පි) මේ පිළිබඳ විවරණය ඇරඹේ. එනම් ‘පෙර ධර්මසඞ්ගාහක මහා ඍද්ධි ඇති මහතෙරුන් වහන්සේලා චතුර්විධ විනය විනිශ්චය ගෙනහැර දැක්වූ බව’ යි. ඒ සතර නම් සුත්ත, සුත්තානුලෝම, ආචරියවාද, අත්තනොමති යන ඒවා වේ. යම් සිකපදයක හෝ සමස්ථ විනයෙහි හෝ දක්ෂ බව පතන අයෙකු විසින් මෙම සිව් වැදෑරුම් විනිශ්චය දතයුතු වේ. එය විනයධරයකුට මිස ධර්මවිනය පිළිබඳ ආධුනිකයකුට නොවන බව ද මතක තබාගත යුතු. මන්ද යන්තමට සූත්‍රයක් දෙකක් හෝ පිටකයේ ග්‍රන්ථයක් දෙකක් පරිශීලනය කළ පමණින් යම් සිකපදයක හෝ සකල විනයෙහි දක්ෂබවක් ලබාගත නොහැකි බැවිනි. ඒ සඳහා මැනවින් ධර්මවිනය පිළිබඳ කළ පරිචය ඇත්තෙක් විය යුතු බව බුදුරජාණන් වහන්සේ යම් ඇදුරු වරයකුට හෝ භික්ෂුණී ඔවාදක භික්ෂුවකට හෝ ලබාගතයුතු යැයි දේශනා කර වදාළ සුදුසුකම් පරික්ෂා කිරීමෙන්ම ප්‍රකට වේ. ඒ අනුව මෙම විනිශ්චයන් ඔස්සේ ධර්මවිනය විනිශ්චය කිරීමට නම් විනය පිටකය පෙළ අටුවා සමග කටපාඩමින් දරාගෙන හෝ අවම වශයෙන් ගුරු ඇසුරකින් පෙළ සහ අටුවා මැනවින් හදාරා හෝ තිබිය යුතු වේ.

එබඳු ධර්මවිනයධර භික්ෂුවක් යම් විනය විනිශ්චයක් දීමේ දී අනුගමනය කළ යුතු සිව් වැදෑරුම් විනිශ්චයන් මොනවාද යන්න පැහැදිලි කරන අටුවාචාරීන් වහන්සේ විනයට්ඨකථාවේ දී ‘සුත්ත’ යන්නෙන් සියලු විනයපිටකය අදහස් වන බව පවසති. ධර්මවිනය දෙකම සැලකීමේ දී ත්‍රිවිධ සංගීතියට නගන ලද ත්‍රිපිටකයම සලකා ගතයුතු බව දීඝනිකා අටුවාව පවසයි. ඒ අනුව සුත්ත යන පදයෙන් පෙළ දේශනය අදහස් වන බව පිළිගත යුතුය. අනතුරුව ‘සුත්තානුලෝම’ යන්න විනයෙහි එන සතරමහාපදේස හෙවත් අනුලොම් කැපබව යනුවෙන් සඳහන් වේ. ‘ආචරියවාද’ යන්නෙන් මෙහි අදහස් කරන ලද්දේ අර්ථකථාව බව දීඝනිකායට්ඨකථාවේ ‘ආචරියවාදො නාම අට්ඨකථා (සුමංගලවිලාසිනී, 395පි)’ යැයි සඳහන් වේ. සමන්තපාසාදිකාවෙහි මෙය වඩාත් විස්තර සහිතව

ආචරියවාදො නාම ධම්‌මසඞ්‌ගාහකෙහි පඤ්‌චහි අරහන්‌තසතෙහි ඨපිතා පාළිවිනිමුත්‌තා ඔක්‌කන්‌තවිනිච්‌ඡයප්‌පවත්‌තා අට්‌ඨකථාතන්‌ති’ යනුවෙන් සඳහන් වේ. එනම් ‘ධර්මසංග්‍රාහක පන්සියයක් මහරහතන් වහන්සේලා විසින් පෙළෙන් වෙන්කොට තබන ලද (ඒ ඒ ප්‍රස්තාවනාරූපව) බැසගන්නා ලද විනිශ්චය වශයෙන් පැවති අර්ථකථා තන්තියයි’ යන්නයි.

අත්තනොමති’ යනු යථොක්ත සුත්තාදිය හැරපියා අනුමාන නය ක්‍රමයෙන් සලකා ගතයුතු තමාගේ වැටහීමයි. මෙසේ මෙම සිව්වැදෑරුම් විනිශ්චයන් පැහැදිලි කරන අටුවාචාරීන් වහන්සේගේ අභිමතය වූයේ එකිනෙක විනිශ්චය වශයෙන් ගතයුත්තේ කුමක්ද යන්න පැහැදිලි කිරීම විනා අර්ථකථාව යනු කුමක් ද? කියා හෝ ථෙරවාදය යනු කුමක් ද? කියා හෝ පැහැදිලි කිරීම නොවේ.

මෙම අර්ථකථාගත විස්තරය සලකා බලන පොල්වත්තේ බුද්ධදත්ත හිමියෝ සිය අටුවා පරීක්ෂණය ග්‍රන්ථයේ සඳහන් කරනුයේ මෙයින් අර්ථකථාව යනු ප්‍රකීර්ණක ධර්මදේශනය බවට සාරත්ථදීපනී විනයටීකාවේ එන විවරණය බිඳවැටෙන බවයි. ‘පාළිවිනිම්මුත්තා (පෙළෙන් වෙන් වූ)’ යන පාඨයෙන්  මෙම ප්‍රකීර්ණක ධර්මදේශනය පිළිබඳ අදහස බිඳවැටෙන බව පවසන්නේ උන්වහන්සේ පෙළ දේශනය පමණක් බුද්ධවචනය යැයි ආදානග්‍රාහීව සැලකූ බැවිනි. බුදුරජාණන් වහන්සේගේ පෙළෙන් වෙන් වූ ධර්මදේශනයක් තිබූ බව අපගේ දෙවන ( 2. අර්ථකථාව බුද්ධදේශනයක් වන්නේ කෙසේ ද?) ලිපියෙන් පැහැදිලි කළෙමු. එබැවින් ‘පෙළෙන් වෙන් වූ’ පමණින්ම එය බුද්ධදේශනයක් නොවේ යැයි ප්‍රතික්ෂේප කිරීම බුද්ධවචනය ප්‍රතික්ෂේප කිරීමකි. එසේම බුද්ධදත්ත හිමියන් එම ලිපියේ පැහැදිලිව දක්වන්නේ ‘පාළිමුත්තක-ඔක්කන්තික විනිච්ඡය’ යන පද ටීකාවෙහි විස්තර කොට නැති බවයි. එම ප්‍රකාශයෙන් ම උන්වහන්සේ අර්ථකථා ටීකා ආදිය විවේක බුද්ධියෙන් කියවීමකින් තොරව තමා උසස්කොට දැක්වීමේ (අත්තුක්කංසනය) අදහසින් ලිපි සකස් කළ බව පැහැදිලි වේ. මන්ද සතරපද ගාථාවක් එක් වරක් කී පමණින් දරාගැනීමට තරම් ප්‍රඥාමහිමයක් තිබූ බව පැවසෙන ඒකශ්‍රැතධාරී ටීකාචාර්යයන් වහන්සේලා එක් තැනක වර්ණනා කළ දෙයක් තවත් තැනක වර්ණනා නොකර පුනරුක්ති දෝෂ අපහරණය කළහ. ඒ අනුව සාරත්ථදීපනී ටීකාවේ සුදින්නභාණවාර වර්ණනයේ දී

“පාළිවිනිම්මුත්තන්ති විනයපාළිං අනාරූල්හභාවං සන්ධාය. ඔක්කන්තිකධම්මදේසනා නාම ඤාණෙන අනුපවිසිත්වා අන්තරා කථියමානා ධම්මදේසනා”

යනුවෙන් මෙම පද පැහැදිලි කරන බැවින් යළි චතුර්විධ විනිශ්චය වර්ණනයේ දී සඳහන් නොකළහ. මෙම ටීකා පාඨය දැකීමට තරම් විවේකයක් නොතිබූ බුද්ධදත්ත හිමියෝ තමා ගත් මිථ්‍යාදෘෂ්ටියෙහි බොහෝ දෙනෙක් සමාදන් කරවමින් ‘අටුවා පරීක්ෂණය’ ග්‍රන්ථය සම්පාදනය කළහ. මෙම කරුණු ගවේශණයෙහි ධර්මවිනය ඤාණයක් නොමැති ගිහිපැවිදි පිරිස් බුද්ධදත්තහිමියන්ගේ ප්‍රකාශය මත පිහිටා අටුවාව යනු ප්‍රකීර්ණක ධර්මදේශනය නොවන බව පවසති.

මීළගට විමසිය යුත්තේ අටුවාචාරීන් වහන්සේලාගේ ප්‍රකාශය අනුව අටුවාව යනු ආචරියවාදය පමණක් ද යන්නයි. එසේ පැවසීම ද ධර්මවිනය පිළිබඳව පමණක් නොව භාෂාඤාණය පිළිබඳව ද අල්පශ්‍රැත බවක් වේ. මන්ද දීඝනිකාය අටුවා පාඨයෙන් අදහස් කරන ලද්දේ සිව් වැදෑරුම් විනිශ්චයන් පැහැදිලි කිරීම විනා අටුවාව යනු කුමක් දැයි පැවසීම නොවීමයි. සිව් වැදෑරුම් විනිශ්චයේ දී ආචරියවාද යන්නෙන් අටුවාව අදහස් වනබව පැවසුව ද එයින් අටුවාව යනු හුදු ආචරියවාද පමණක්ය යන මතයට එල්බගත යුතු නොවේ. බුදුරජාණන් වහන්සේගේ මූලික පෙළ දේශනය ‘සුත්ත’ ලෙසත්, ඒ බුදුරජාණන් වහන්සේගේ අනුදැනීම් වලට අනුලොම්ව සලකාගත යුතු දේ ‘සුත්තානුලෝම’ ලෙසත් දැක්වූ පසු ඒ ඒ තැන්හි බුදුරජාණන් වහන්සේ විසින්ම දේශනා කළ අර්ථ විවරණය මහරහතන් වහන්සේලා විසින් දරගෙන පැමිණි බැවින් එය ‘ආචරියවාද‘ යනුවෙන් හඳුන්වන ලදී. එහි වචනාර්ථයෙන් ආචාර්යයන් වහන්සේලාගේ අර්ථදැක්වීම් යැයි සලකා ගතහොත් ‘අත්තනෝමති’ යනුවෙන් සඳහන් කිරීමට දෙයක් නොමැති වන්නේය. එබැවින් අටුවාචාරීන් වහන්සේලා අර්ථකථාව ආචාර්යවාදයක් ලෙස හඳුනාගත්තේ නම් සිව්වැදෑරුම් විනිශ්චයක් නොව තෙවැදෑරුම් විනිශ්චයක් දක්වන්නට තිබුණි. අටුවාව නිවැරදිව කියවාගැනීමට හැකි ප්‍රඥාවන්තයන්ගේ දුර්ලභ බව අනාගතයේ ඇති වන බැවින් අටුවාවේ එන අර්ථදුරවබෝධ පද පිළිබඳව ත්‍රිපිටකධර මහතෙරුන් වහන්සේලා ටීකා රචනා කළහ. එබැවින් අටුවාවේ එන අර්ථ දුරවබෝධ තැන් පිළිබඳ පූර්වාපර ආලෝලනය වන ලෙසින් මත ඉදිරිපත් කිරීමකින් තොරව ටීකාව පරිශීලනය කළහොත් නිවැරදි අර්ථය ග්‍රහණය කරගත හැකි වේ. මෙහි එන ‘ආචරියවාද’ යන නම කෙසේ යොදනලද්දේ ද යන්න දීඝනිකාය ටීකාවේ

 “යදිපි තත්‌ථ තත්‌ථ භගවතා පවත්‌තිතපකිණ්‌ණකදෙසනාව අට්‌ඨකථා, සා පන ධම්‌මසඞ්‌ගාහකෙහි පඨමං තීණි පිටකානි සඞ්‌ගායිත්‌වා තස්‌ස අත්‌ථවණ්‌ණනානුරූපෙනෙව වාචනාමග්‌ගං ආරොපිතත්‌තා ‘‘ආචරියවාදො’’ති වුච්‌චති ආචරියා වදන්‌ති සංවණ්‌ණෙන්‌ති පාළිං එතෙනාති. තෙනාහ ‘‘ආචරියවාදො නාම අට්‌ඨකථා’’ති. තිස්‌සො සඞ්‌ගීතියො ආරුළ්‌හො එව ච බුද්‌ධවචනස්‌ස අත්‌ථසංවණ්‌ණනාභූතො කථාමග්‌ගො….” (ඉදිනුදු ඒ ඒ තැන දී භාග්‍යවතුන් වහන්සේ විසින් පවත්වන ලද ප්‍රකීර්ණක ධර්මදේශනයම අර්ථකථාව වන්නේ ද, ඒ අර්ථකථාව වනාහී ධර්මසංග්‍රාහක මහරහතන් වහන්සේලා විසින් පළමුව තුන්පිටකය සංගායනා කොට එහි අර්ථ වර්ණනාව ලෙසින්ම වාචනාමාර්ගයට නංවන ලද බැවින්  ආචරියා වදන්‌ති සංවණ්‌ණෙන්‌ති පාළිං එතෙන යන විග්‍රහයෙන් ‘ආචරියවාද යැයි කියනු ලැබේ. එහෙයින් ‘ආචරියවාදො නාම අට්ඨකථායැයි වදාළහ. ත්‍රිවිධ ධර්මසංගායනාවන්ටම නංවන ලද්දා වූ ද බුද්ධවචනයේ අර්ථසංවර්ණනාභූත කථාමාර්ගයයි….) 

යනුවෙන් දැක්වේ. එසේ සලකා ගැනීමේ දී පූර්වාපර ගැලපීමක් සිදු නොවේ. බුදුරජාණන් වහන්සේගේම ප්‍රකීර්ණක ධර්මදේශනා සංඛ්‍යාත අර්ථ විනිශ්චය අර්ථකථාව ලෙස ප්‍රථම සංගීතියෙන් සංගායනා කොට ඒ ප්‍රථමසංගීතිකාරක මහතෙරුන් වහන්සේලා විසින් වාචනාමාර්ගයට නංවන ලද බැවින් එය ‘ආචරියවාද’ නම්විය.

එසේ අටුවාව ප්‍රකීර්ණක ධර්මදේශනය නම් අටුවාවේ එය නොම පැවසුවේ ඇයි? යන්න ඇතමෙකු නගන පැනයයි. අටුවව සංග්‍රහ කිරීමේ දී එය බුද්ධ දේශනය බව පුනපුනා පැවසීමක් අවශ්‍ය නොවන්නේ යම් සන්දර්භයක් තුළ එය කුමක් ද  යන්න පැවසීම අනිවාර්ය නොවන බැවිනි. නවකතාවක් ලියන මහා ලේඛකයෙක් තමන් ලියන්නේ නවකථාවක් යැයි පැවසීම අපේක්ෂා කළයුතු නොවේ. එය පාඨකයාගේ පටිභානයයි. නුවණැතියෝ තමන් පරිශීලනය කරන ග්‍රන්ථය පිළිබඳ වැටහෙන නුවණින් යුතුව එය මැනවින් හඳුනාගනිති. දීඝනිකායට්ඨකථාවේ ආරම්භක ගාථාවන් හි බුද්ධඝෝෂාචාර්යපාදයෝ අටුවාව පිළිබඳව ‘බුද්ධානුබුද්ධසංවණ්ණිතස්ස’ යනුවෙන් සඳහන් කරන බැවින් අටුවාවෙහි එය ප්‍රකීර්ණක ධර්මදේශනාව යැයි පවසා නැතිබව පදනම් විරහිත වේ. තවද සමන්තපාසාදිකා විනයට්ඨකථාවේ ‘බුද්ධෙන ධම්මො විනයො ච වුත්තෝ, යො තස්ස පුත්තෙහි තථෙව ඤාතො’ යනුවෙන් පැමිණෙන බැවින් ද අටුවාචාරීහු අර්ථකථාව බුද්ධදේශනයක් යැයි පැවසූ බව සැලකිය යුතු. තවද අටුවාවේ බොහෝ තැන්වල බුදුරජාණන් වහන්සේගේ ප්‍රකීර්ණක ධර්මදේශනයක් පැවති බව සඳහන් වන අතර එය පෙළෙහි සංග්‍රහ නොවන බවද පැවසේ. ඒ අනුව ද නුවණැතියන් සලකාගත යුතු වන්නේ ඒ ප්‍රකීර්ණක ධර්මදේශනය අර්ථකථාව ලෙස පැමිණි බවයි.

මෙසේ අර්ථකථාව බුදුරජාණන් වහන්සේගේ ප්‍රකීර්ණක ධර්මදේශනය නම්, චතුර්විධ විනිශ්චය දැක්වීමේ දී එය සූත්‍රයෙහි බහාලිය යුතු බව පවසන්නේ ඇයි? ඒ පිළිබඳ මීළග ලිපියෙන් කරුණු දැක්වේ.

 

විද්‍යාවේදී, ත්‍රිපිටකාචාර්ය

මහව ඤාණාලෝක හිමි

 

අටුවා විමර්ශනය පස්වන ලිපිය කියවන්න අටුවා විමර්ශනය 06 – පෘථග්ජන බුදුගොස් ඇදුරුතුමන්ගේ අර්ථකථාව පිළිගත නොහැකිද?