භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑමත් සමගම ඒ දුක දරාගත නොහැකිව වැළපෙන්නාක් මෙන් මහපොළොව කම්පා විය. සහම්පති මහා බ්‍රහ්ම රාජයා එතැනට විත් ගාථාවක් ගැයීය. එසේම සක් දෙවිඳුන්ද ගාථාවක් ගැයීය. ආයුෂ්මත් අනුරුද්ධ මහරහතන් වහන්සේ ද, ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝද ගාථා වදාළහ. පහ නොවූ රාග ඇති, පෘථග්ජන, සෝතාපන්න හා සකදාගාමී මගපල ලාභී ඇතැම් භික්ෂූහු ‘භාග්‍යවතුන් වහන්සේ ඉක්මනින්ම පිරිනිවියේ’යැයි හඬන්නට වූහ. පහ කළ රාග ඇති අරිහත් උතුමෝ සංස්කාරයන්ගේ අනිත්‍යත්වය මෙනෙහි කරමින් නොසැලී සිටියහ.

එකල්හි ආයුෂ්මත් අනුරුද්ධ මහරහතන් වහන්සේ සෙසු භික්ෂූන් හට දැහැමි කථා කොට අසුවසාලූහ. අනතුරුව රාත්‍රී සෙසු භාගය මරණ ප්‍රතිසංයුක්ත දැහැමි කථාවෙන් කල් ගෙවූ අතර අරුණු උදා වූ පසු ආනන්ද මාහිමිපාණන් වහන්සේ කුසිනාරා නුවර මල්ල රජදරුවන් වෙත භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවන් පෑම පිළිබඳ පුවත රැගෙන ගියේය. ඒ වනවිට කුසිනාරා වැසි මල්ලයෝ සන්ථාගාර ශාලාවට රැස්ව භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවන් පානා තැන කෙසේ නම් මල් සුවඳ ආදී සත්කාර කරන්නෙමු දැයි සාකච්ඡා කරමින් සිටියහ. කෙසේ භික්ෂු සංඝයාට වැඩහිඳින තැන් පිළියෙල කරන්නෙමු ද, කෙසේ දානමානාදිය පිළියෙල කරන්නෙමු දැයි කතිකා කරමින් සිටින තැනට සපැමිණි ආනන්ද මාහිමිපාණන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි බව දන්වා සිටියේය. එවිට ඒ මල්ලයෝ හඬා වැළපී මල්, සුවඳ වර්ග, සියලු තූර්යභාණ්ඩ සහ කසී සලු යුගල පන්සියයක්ද රැගෙන භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් කර ඇති උපවත්තන සල් උයනට පැමිණියහ. අනතුරුව දින සයක් (06) භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහයට නැටුම් ගැයුම් වාදන ආදියෙන්ද, මල් සුවඳ ආදියෙන් ද ගරුකාර, සත්කාර, සම්මාන කළහ. සත්වෙනි දින මල්ලයන්ට “අපි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහයට නැටුම්, ගැයුම්, වාදන, මල්, සුවඳ ආදියෙන් ගරුසත්කාර කරමින් නගරයේ දකුණු දිශාවෙන්ම දකුණු දිශාවට වැඩම කරවා, ඇතුළු නගරයට නොම පිවිසුවා, බැහැරින්ම නගරයේ බාහිරට පමුණුවා, නගරයට දකුණු දෙසින් ආදාහනය කරන්නෙමු” යැයි මෙබඳු සිතක් පහළ විය. එනම් අනුරාධපුර නගරයේ දකුණු දෙසින් ජේතවන විහාරය ඇති පෙදෙස බඳු කුසිනාරා නුවරට දකුණු දිශාවේ ස්ථානයක ආදාහන පූජ්‍යෝත්සවය සිදු කිරීමට මල්ලයන්ගේ අදහස විය.

අනතුරුව මධ්‍යම ප්‍රමාණයේ ශක්ති සම්පන්න වූ මල්ලයන් අටදෙනෙක් හිස් සෝධා නා, අළුත් වස්ත්‍ර හැඳගෙන භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය ඔසවන්නට තැත් කළද නොහැකි විය. එවිට මල්ලරජ දරුවන් අනුරුද්ධ මහරහතන් වහන්සේ වෙත එළඹ ශ්‍රී දේහය එසවීමට නොහැකි වීමට කරුණු විමසා සිටියහ. අනුරුද්ධ මහරහතන් වහන්සේ දෙවියන්ගේ අදහස අනුව එසේ වනබව පැවසූහ. දෙවියන්ගේ අදහස කුමක්දැයි විමසා සිටි විට තෙරුන් වහන්සේ දෙවියන්ගේ අදහස වන්නේ ශ්‍රී දේහය නගරයේ උතුරු දිශාවෙන් උතුරු දිශාවට වැඩම කරවා, උතුරු දොරටුවෙන් ඇතුළු නගරයට පමුණුවා, නගරයේ මැදින් නගර මධ්‍යයට පමුණුවා, නැගෙනහිර දොරටුවෙන් පිටතට වැඩම කරවා, නගරයට පෙරදිගින් වන මල්ලයන්ගේ මකුටබන්ධන නම් චෛත්‍යය සමීපයේ ආදාහනය කරවීමට බව වදාළහ. එවිට මල්ලරජදරුවන් එය එසේ කිරීමට එකඟ වූහ.

එසමයෙහි කුසිනාරා නුවර ගෘහසන්ධි, වැසිකිළි කාණු, කැලිකසල දමන තැන් ආදී සෑම තන්හිම දණක් දක්වා මදාරා මලින් අතුරන ලද්දේ විය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය දෙවියන්ගේ ද මිනිසුන්ගේ ද නැටුම් ගැයුම් උපහාර මධ්‍යයේ නුවර උතුරු දිශාවෙන් උතුරු දිශාවට වැඩමවා, උතුරු දොරටුවෙන් ඇතුළු නුවරට වැඩමවා, නගරය මැදින් නගර මධ්‍යයට පමුණුවා, නැගෙනහිර දොරටුවෙන් පිටතට වැඩම කරවා, නගරයට පෙරදිගින් වන මල්ලයන්ගේ මකුටබන්ධන නම් චෛත්‍යය සමීපයේ තැන්පත් කරන ලදී. මෙසේ නගර මධ්‍යයෙන් වැඩමකරවීමේ දී ඒබව ඇසූ බන්ධුලමල්ල සේනාපතිගේ භාර්යාව වූ බන්ධුල මල්ලිකාවෝ තමන්ගේ ස්වාමිපුරුෂයා කලුරිය කළ දා පටන් පරිභෝග නොකර තැන්පත් කරන ලද, විශාඛාවගේ මේළපළඳනාව බඳු තමාගේ මහාලතා මේළපළඳනාව බැහැරට ගෙන එයින් ශාස්තෘන් වහන්සේ පුදමි යැයි එය පිරිසිදු කොට සුවඳ පැනින් ධෝවනය කොට දොරටුවෙහි සිටියාය. එකී මේළ පළඳනාව විශාඛාවටත්, බන්ධුලමල්ලිකාවටත්, දේවදාතිය සොරාගේ නිවසේත් යන තුන් තැන්හි පමණක් තිබූ බව පැවසේ. ඕ තොමෝ ශ්‍රී දේහය තම නිවසේ දොරටුව අසලට වැඩම කරවූ පසු එකී පළඳනාව ශ්‍රී දේහයේ පැළඳුවාය. ශීර්ෂය පටන් පාද තලය දක්වාම රන්වන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය සප්ත රතනමය පළඳනාවෙන් පළඳවන ලදුයේ අතිශය බබලන ලද්දේ විය. ඕ තොමෝ එය දැක ‘භාග්‍යවතුන් වහන්ස මම යම්තාක් කාලයක් සසර සැරිසරමි ද, ඒතාක් මාගේ ශරීරයට වෙනමම ආභරණ පැළඳවීමක් අවශ්‍ය නොවේවා! නිති පළඳවන ලද පළඳනා සහිත ආකාරයක්ම වේවා!’ යනුවෙන් ප්‍රාර්ථනයක්ද කළාය. ඉක්බිති ඒ සප්තරතනමය පළඳනාවද සමඟ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය පෙරදිග දොරටුවෙන් බැහැරට වැඩම කරවා නගරයට නැගෙනහිරින් මකුටබන්ධන නම් මල්ලයන්ගේ චෛත්‍ය ස්ථානයෙහි තැන්පත් කරන ලදී.

අනතුරුව කුසිනාරා වැසි මල්ල රජදරුවන් ආනන්ද මාහිමිපාණන් වහන්සේගෙන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ පිළිපැදිය යුතු ආකාරය විමසා සිටි අතර සක්විති රජදරුවකුට යම්සේ ද එසේ පිළිපැදිය යුතු බව ආනන්ද හිමියෝ වදාළහ. ඒ කෙසේ දැයි විමසා සිටි විට ආනන්ද මාහිමියෝ ඒ ආකාරය පැහැදිලි කළහ. එනම්, සක්විති රජුගේ දේහය පළමු අළුත් වස්ත්‍රයෙන් වෙළත්. අනතුරුව මොනවට නඟා පෑදූ කපු පුළුනින් වෙළත්. නැවතත් අළුත් වස්ත්‍රයෙන් වෙළත්. යළිත් කපුපුළුනින් වෙළත්. මේ ආකාරයෙන් යුගල පන්සියයකින් වෙළා රන්මුවා තෙල් දෙණක බහා අන් රන්මුවා දෙණකින් වසා, සියලු වර්ගයේ සුවඳ වර්ගයන්ගෙන් දර සෑයක් තනා, එහි දවත්. සතරමං සන්ධියක සක්විති රජුගේ අලු ආදිය තැන්පත් කොට සෑයක් බඳිත්. සක්විති රජුගේ සිරුර පිළිබඳ මෙසේ පිළිපදින අතර භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳව ද මෙසේම පිළිපැදිය යුතු බවත්, සර්වඥ ධාතූන් තැන්පත් කොට චෛතෘ ඉදිකළයුතු බවත් ඒ චෛත්‍යයට වැඳුම් පිදුම් කරන්නවුන්ට, සිත පහදවා ගන්නා අයට බොහෝ කල් හිතවැඩ පිණිස පවතින බවත් වදාළහ.

අනතුරුව කුසිනාරා වැසි මල්ල රජදරුවෝ මොනවට නඟා පෑදූ කපු පුළුන් රැස් කොට පළමුව අළුත් වස්ත්‍රයෙන් ද දෙවනුව කපුපුළුනින් ද යනාදී ලෙස පන්සියයක් යුගලයන්ගෙන් ශ්‍රී දේහය වෙළා රන්මුවා තෙල් දෙණක බහා රන්මුවා දෙණකින් වසා සියලු වර්ගයේ සුවඳ දරින් කළ සෑයක නැංවූහ. අනතුරුව ප්‍රමුඛ වූ මල්ල රජදරුවන් සතරදෙනෙක් හිස් සෝධා නා අළුත් වස්ත්‍ර හැඳ අවුත් භාග්‍යවතුන් වහන්සේගේ චිතකයට ගිණි දල්වන්නට තැත් කළද නොහැකි විය. එකල්හි ඔවුහු අනුරුද්ධ තෙරණුවන්ගෙන් ඊට කරුණු විමසූ කළ අනුරුද්ධ තෙරනුවෝ වදාළේ දෙවියන්ගේ අදහස අනෙකක් බවයි. එනම් මේ වනවිටත් පාවා නුවර සිට කුසිනාරාව දක්වා භික්ෂූන් පන්සියයක් පමණ පිරිවරා දීර්ග මාර්ගයේ වැඩම කරන මහාකාශ්‍යප මහරහතන් වහන්සේ වැඩම කර, භාග්‍යවතුන් වහන්සේගේ පා වන්දනා කරන තුරු චිතකය නොම දැල්වේවා! යැයි දෙවියන්නේ අදහස බව අනුරුද්ධ තෙරණුවෝ වදාළහ.

ඒ දෙවිවරු මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ උපස්ථායකයන් වූහ. අසූ මහ ශ්‍රාවකයන් වහන්සේලා කෙරෙහිම සිත් පහදවාගත් අසූ අසූ දහස් කුලයෝ මරණින් මතු දෙව් ලොව ඉපදුනහ. එසේ මහාකාශ්‍යප මහරහතන් වහන්සේ කෙරෙහි සිත් පහදවාගෙන දෙව් ලොව උපන් දෙවි වරු පිරිසක් ඒ සමාගමයේ තෙරුන් වහන්සේ නොම දැක අපගේ කුලූපග තෙරුන් වහන්සේ කොහි දැයි විමසා බලන ලදුයේ අතරමග වඩිනා බව දැක අපගේ කුලුපග තෙරුන් වහන්සේ වන්දනා කරන තුරු චිතකය නොම දැල්වේවා යැයි අදිටන් කළහ. මිනිස්සු ඒ බව අසා මහාකාශ්‍යප නම් භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය වන්දනා කිරීමට පැමිණෙන්නේ ලු. ඒ පැමිණෙන තුරු චිතකය නොදැල්වෙන්නේ ලු. යැයි ඒ මහාකාශ්‍යප තෙරුන් වහන්සේ දැකගැනීමට මල් සුවද දෑ ගෙන පෙරමග බලා සිටියහ.

ඉක්බිති මහාකාශ්‍යප මහරහතන් වහන්සේ  පන්සියයක් පමණ මහත් භික්ෂු පිරිසක් කැටුව පාවානුවර සිට කුසිනාරාව දක්වා දීර්ග මාර්ගයේ වැඩම කොට කුසිනාරාවේ මකුටබන්ධන නම් මල්ලයන්ගේ චෛත්‍යස්ථානයේ භාග්‍යවතුන් වහන්සේගේ චිතකය වෙත සම්ප්‍රාප්ත වූ සේක. තෙරුන් වහන්සේ චිතකය පැදකුණු කර මෙම ස්ථානයේ ශ්‍රී පාදයෝ යැයි ආවර්ජනා කොටම සලකා ගත්හ. අනතුරු තෙරුන් වහන්සේ ශ්‍රී පාද පිහිටා ඇති ස්ථානය සමීපයේ සිට අභිඤ්ඤා පාදක චතුර්ථ ධ්‍යානයට සමවැදී නැගී සිට අර දහසකගෙන් හා චක්‍ර ලක්ෂණයන්ගෙන් ප්‍රතිමණ්ඩිත වූ දසබලයන් වහන්සේගේ ශ්‍රී පාදයෝ කපු පුළුන් පටලයන් ද, රෙදි පට පන්සියයද, රන් දෙන ද, සදුන් චිතකය ද දෙකඩව මා සිරසේ පිහිටාවා යැයි අදිටන් කළහ. එසේ අදිටන් කිරීමත් සමගම ඒ රෙදි පට ආදිය දෙකඩව වළිගැබ් අතරින් නික්මුණු පුන් සද මඩලක් මෙන් ශ්‍රී පාදයෝ නික්මුණහ. තෙරුන් වහන්සේ සුපිපුණු නෙළුම් මල් බදු දෑත් දිගු කොට රන්වන් ශ්‍රී පාදයෝ ගොප් ඇටදක්වා අල්වාගෙන තමන් වහන්සේගේ සිරසේ තබාගෙන වන්දනා කළහ. මහජනයා ඒ ආශ්චර්යය දැක එකපැහැරම මහනද දී සාධුකාර දුන්හ. සුවද මල් ආදියෙන් ද පිදූහ. එසේ තෙරුන් වහන්සේ  ද, පන්සියයක් භික්ෂූන් ද, මහජනයා ද වන්දනාමාන කළපසු තවදුරටත් අධිෂ්ඨාන කෘත්‍යයක් නොවූ බැවින් ශ්‍රී පා තලයෝ  තෙරුන් වහන්සේගේ දෑතින් මිදී සදුන් දර ආදී කිසිවක් සෙලවීමකුදු නොමැතිව චිතකයේ තිබූ අයුරින්ම පිහිටියේ ය. අනතුරුව දේවතානුභාවයෙන් හාත්පසින් එකපැහැර චිතකය තෙමේම දැල්විණි.

 

තිස්සදත්ත හිමි