අතීතයේ දඹදිව පීතමල්ල නම් වූ මල්ලවපොර ශූරයෙක් රාජ්‍යයන් තුනෙක්හි ජය ලබා සීහලදීපයට අවුත් රජු බැහැ දැක රජුගේ අනුග්‍රහයෙන් දිනක් කිලඤ්ජක ආසන ශාලා ද්වාරය අසලින් යන විට “රූපං භික්ඛවේ න තුම්හාකං තං පජහථ තං වෝ පහීනං දීඝ රත්තං හිතාය සුඛාය භවිස්සතී’ති” – ‘මහණෙනි, රූපය තොපගේ නොවේ. එය දුරු කරව්. එය දුරු කළ තොපට බොහෝ කාලයක් හිත පිණිස පවත්නේ යැයි යනාදී බුදුවදන් අසා එයම තමා අඬකුසයක් කොට එතැනින් නික්මී මහාවිහාරයට ගොස් පැවිද්ද ඉල්ලා උපසපන් වී උභයප්‍රාතිමෝක්ෂය ඉගෙන භික්ෂූන් තිහක් සමඟ ‘ගවරවාලිය අංගණ’ නම් තැනට ගොස් මහණදම් කළේය.

සක්මන් කරන විට පා වෙහෙසී දණහිසින් සක්මන් කළේය. එදින රාත්‍රියේ එක් මුව වැද්දෙක් උන්වහන්සේව මුවෙක් යැයි සිතා සැතකින් පහර දුන්නේය. සැත සිරුර පසාරු කරගෙන ගියේය. තමන්වහන්සේම සැත ගලවා දමා තුවාල මුඛ තරන වැටිවලින් පුරවා තමාව ගලක් මතුපිට හිඳීමට සලස්වා ගෙන විදසුන් වඩා රහත් බවට පැමිණියේය. අනෙක් භික්ෂූන්ද කැඳවා ඒ බව ප්‍රකාශ කොට ප්‍රීති වාක්‍ය වශයෙන් උදාන ගාථාවක්ද කීවේය.

ඉතාමත් කලාතුරකින් ලැබෙන උතුම් මිනිසත් බවක් උරුම අපි එහි කුමක් කළත් පෙර පින් ආදිය මතුවීමෙන් හෝ ජීවිතය ධර්මයට හැ‍රවෙන හැරවුම් ලක්ෂ්‍යයක් ඉහත පුවත පරිදි අපට ද තිබිය හැක. මල්වපොර ශූරයෙක් අර්හත්වයට පැමිණේ යැයි යන්න කාහටත් පුදුමයක් වුවත් එවැනි සිදුවීම් අතීතයේද සිදු වී ඇති බව මේ ප්‍රවෘත්තියෙන් ද පැහැදිලිය. එබැවින් අපගේ ජීවිත ගැන ද තවදුරටත් සිතා බලා නුවණ මෙහෙයවා ජීවිතය නියම දහම් මාර්ගයට හරවාගෙන කෙළවර සිවුසස් අවබෝධයෙන් උතුම් වූ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරත්වා……

සම්පාදක
මේධානන්ද හිමි

Download as PDF

පරිගණක අකුරු සැකසුම
උපේක්‍ෂා පියරංගිකා මිය