ලොව්තුරා සම්මාසම්බුද්ධත්වයට නියත විවරණ ලද මහා බෝධිසත්ත්වයන් වහන්සේලා එදවසෙහිම කුමක් කිරීමෙන් සම්මා සම්බුද්ධත්වයට පත් විය හැකිද යන්න සිය නුවණින් සොයා බලයි. බුද්ධකාරක ධර්ම පිළිබදව විශ්ලේෂණය කරණ මහා බෝසතාණන් වහන්සේලා පළමුකොට සමාදන් වන්නා වූ ධර්මය ‘දාන පාරමිතාවයි.’

කෙළෙසුන්ගෙන් ගැවසුනා වූ මිනිසාගේ සිතෙහි දන් දීම සෑම කෙනෙකුටම කළ හැකි පහසු ක්‍රියාවක් නොවේ. දන් නොදීමට ප්‍රධානතම හේතුව දුගී බව හෝ අග-හිඟකම පමණක්ම නොවේ. සිත දියුණු කර ගත්, නුවණ තියුණු කර ගත් අයෙකුට මිස උසස් දෙයක්, වටිනා දෙයක්, තමා කැමතිම දෙයක් නිර්ලෝභීව අතහැර තවෙකෙකුට පූජා ශීර්ෂයෙන් හෝ, අනුග්‍රහ ශීර්ෂයෙන් දීම කළ නොහැක. එම අත්හැරීමෙන් තොරව දාන පාරමිතාව සම්පූර්ණ කළ නොහැක. වටිනා දෙය දීම, උසස් දෙය දීම දරුණු යුද්ධයක් කිරීම මෙන් ඉතා අපහසු ක්‍රියාවක් බව “දානං ච යුද්ධං ච සමානමාහු” යන පාළි පාඨයෙන් මනාව පැහැදිලි වේ.

සමාජයේ මිනිසුන් බොහොමයකට අග-හිඟයකින් තොරව ප්‍රණීත ආහාර-පාන ලැබීම, ගමන් බිමන් යාම සඳහා සුව-පහසු යාන-වාහන ලැබීමට හේතු වී ඇත්තේ ඔවුන් පෙර ආත්මභාවයන්වල බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට, දුගී-මගී-යාචකයින්ට, තිරිසන්ගත සත්ත්වයින්ට රසවත් ආහාර-පාන පිළිගන්වා, සිල්වතුන්ට මාර්ග පිළිසකර කර දී, පාවහන් පූජා කර, මගීන්ට ගමන්-බිමන් පහසුවෙන් යාමට නන් අයුරින් උදව් උපකාර කොට, ඔවුන්ද සතුටු කරමින් තමන් ද ඒ තුළින් විශාල පුණ්‍ය මහිමයක් රැස් කළ නිසාවෙනි.

කිසියම් තැනැත්තෙකු රූපයෙන් අන් අයට වඩා කැපී පෙනෙන තත්ත්වයට පත්වනුයේ බුදුරජාණන්වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් යුතුව මල්-පහන් පූජා කර තිබීම නිසාය. මෙවැනි කෙනෙකු ඒ පිනෙන් දෙව්ලොව උපන්නේ වී නම් අන් දෙවිවරුන්ට වඩා රූපශ්‍රීයෙන් බබළයි. යමෙක් දන් දීම පුරුදු කරයි ද හෙතෙමේ අන් අයටද ප්‍රිය වෙයි. එය බොහෝ සෙයින් තමාගේ නිරාමිස ප්‍රීතිය පිණිසද හේතු වෙයි.

පරිත්‍යාගශීලිභාවය උසස්ම ගුණයකි. යහපත් ක්‍රියාවකට සිත නැමෙනුයේ සිත ගුණයෙන් උසස් වූ විටය. දීම පුරුදු කරන්නට නම් මසුරු මල අඩු බවක් සිතෙහි තිබිය යුතුය. මිනිසා තුළ මෙවැනි පරිත්‍යාගශීලී සිතක් නිරතුරුවම නොපවතියි. මේ මොහොතේ දන් දෙන තැනැත්තා තව සුළු මොහොතකින් මසුරු වෙයි. මෙසේ සිත වරින් වර වෙනස් වනුයේ පෘතග්ජනභාවය නිසාවෙනි. සෝතාපන්න ආර්ය පුද්ගලයාට මෙය නොමැත. මක්නිසාද යත්, ආර්ය පුද්ගලයාගේ ශ්‍රද්ධාව නොවෙනස්ව පවත්නා බැවිනි. පෙර පැළලුප් නුවර රාජ්‍ය කරවූ මහාසේන රජතුමා හා ඔහුගේ සහෝදරිය අප්‍රකට වෙසින් දුර පළාතකට ගොස් සිටුවරයෙකු ළඟ බැලමෙහෙවරකම් සිදුකළේ ස්වකීය ශරීරය වෙහෙසා උපයාගත් ධනයෙන් දන් දීම මහත් ආනිසංසදායක යැයි අසා තිබුණු නිසාමය. වසර තුනක් මුළුල්ලේ කුළියට වැඩකර උපයාගත් මූලික ධනයෙන් දන් දී එයින් ලැබුණු නිරාමිස ප්‍රීති-ප්‍රමෝදය මේ දෙදෙනාට එම ජීවිතයේදීම සෝතාපන්න භාවයට පත්වීමටද හේතු විය.

අඞ්ගුත්තර නිකායේ සත්තක නිපාතයේ දාන මහප්ඵල සූත්‍රය

දිනක් භාග්‍යවතුන් වහන්සේ චම්පා නුවර ගග්ගරා නම් පොකුණු තෙර අසබඩ වැඩ වාසය කරන අවස්ථාවකදී චම්පා නුවර උපාසකවරු සාරිපුත්ත මහරහතන් වහන්සේ වෙත පැමිණ ‘ස්වාමීනි, අපට භාග්‍යවතුන් වහන්සේ වෙතින් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට ලැබුණේ බොහෝ කලකට පෙරය. එමනිසා අපට භාග්‍යවතුන් වහන්සේ වෙතින් ධර්මය අසන්නට අවකාශ සලසා දෙන ලෙස ඉල්ලා සිටියහ. එසේ නම් උපාසකවරුනි, පොහෝ දින පැමිණෙන්න යැයි පවසා සාරිපුත්ත මහරහතන් වහන්සේ පිළිතුරු දුන්හ. ඒ අනුව ඔවුන් පොහෝදින දහම් ශ්‍රවණය කිරීමේ අටියෙන් එහි පැමිණියහ. පිරිස බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ ගෞරව දක්වා පසෙකින් හුන් කල්හි සාරිපුත්ත මහරහතන් වහන්සේ ඔවුන් වෙනුවෙන් මෙම ප්‍රශ්ණය භාග්‍යවතුන් වහන්සේ වෙත යොමු කළහ.

සාරිපුත්ත මහරහතන්වහන්සේ – ‘ස්වාමීනි, ඇතැම් කෙනෙක් දෙන දානය මහත්ඵල මහානිසංස වේ. ඇතැමෙක් දෙන දානය මහත්ඵල මහානිසංස නොවේ. දාන සම්බන්ධයෙන් මෙබඳු අයුරක් තිබෙනවා නොවේද?’

බුදුරජාණන්වහන්සේ – ‘සාරිපුත්තය, ඇතැමෙක් දෙන දානය මහත්ඵල මහානිසංස දායක වන අතර, ඇතැමෙක් දෙන දානය මහත්ඵල මහානිසංසදායක නොවේ. මෙබඳු අයුරක් ඇත්තේමය.’

සාරිපුත්ත මහරහතන්වහන්සේ – ‘ස්වාමීනි, එසේ වීමට හේතුව කුමක්ද?’

බුදුරජාණන් වහන්සේ – ‘සාරිපුත්තය, ඇතැමෙක් අපේක්ෂා සහිතව, දානයේ විපාක පරලොවදී භුක්ති විඳින අදහසින් යුතුව, දානයෙහි විපාකයට ආශාවෙන් බැඳී සිටිමින් පැවිදි උතුමන්ට ආහාර පානාදියෙන් දන් දෙති. සාරිපුත්තය, ඇතැම් කෙනෙක් මෙසේ දන් දෙනවා නොවේද?’

සාරිපුත්ත මහරහතන් වහන්සේ – ‘එසේය, ස්වාමීනි.’

බුදුරජාණන් වහන්සේ – ‘එසේ දන් දී ඒ පින් බලයෙන් මරණින් මතු චාතුර්මහාරාජික දෙවියන් අතර, ඔහු උපදිය හැක. එහෙත් එම විපාකය අවසන් වීමෙන් පසු ඔහුට යළි මිනිස් ලොවට පැමිණිමට සිදු වේ. එම දානය සසරදී සැප විපාක ලබා දෙන දානයක් පමණක් වන අතර, නිවන පිණිස සෘජුවම හේතු නොවේ.’

‘සාරිපුත්තය, මෙහි ඇතැමෙක් අපගේ පියවරුද, මුතුන් මිත්තෝද දන් දුන්හ. එම කුල සිරිත නොකඩ මා විසින් දන් දිය යුතුයි සලකා දන් දෙති.’

‘සාරිපුත්තය, මෙහි ඇතැමෙක් ශ්‍රමණයන් වහන්සේලා වනාහි ආහාර නොපිසති. අප වනාහි ආහාර පිසින බැවින් ආහාර නොපිසන ශ්‍රමණයන් වහන්සේලාට දන් නොදී සිටීම සුදුසු නොවේ යැයි සිතා දන් දෙති.’

‘සාරිපුත්තය, මෙහි ඇතැමෙක් පුරාතනයෙහි සිටි අට්ඨක, වාමක, වාමදේව, වෙස්සාමිත්ත ආදි පුරාණ ඍෂිවරු මහා දාන දුන්හ. මාගේ දානයද ඒ ගණයට අයත් වීම සඳහා මා විසින් දන් දිය යුතු යැයි සිතා දන් දෙති.’

‘සාරිපුත්තය, මෙහි ඇතැමෙක් දන් දෙන විට සිතෙහි ඇතිවන පහන් බව , ප්‍රීතිය, සොම්නස සලකාගෙන ඒ අනුව දන් දෙති.’

‘සාරිපුත්තය, මෙහි ඇතැමෙක් සමථ විදර්ශනා චිත්තයට චිත්තාලංකාරයක් වනු පිණිස පැවිදි උතුමන්ට ආහාර පානාදිය දන් දෙති. සාරිපුත්තය, ඇතැම් කෙනෙක් මෙසේ දන් දෙනවා නොවේද?’

සාරිපුත්ත මහරහතන් වහන්සේ – ‘එසේය ස්වාමීනි.’

බුදුරජාණන් වහන්සේ – ‘එලෙස සමථ විදර්ශනා චිත්තයට චිත්තාලංකාරයක් වනු පිණිස දන් දී ඔහු මරණින් මතු බඹලොව උපදී. එම විපාකය ගෙවී යාමෙන් ඔහු මනුලොවට නොපැමිණ අනාගාමී වී සුද්ධාවාසයන්හි උපත ලබා එහිදීම පිරිනිවන් පායි. මොහු බඹලොව උපත ලබන්නේ දානය දුන් නිසා නොව සමථ විදර්ශනා භාවනා පුණ්‍ය බලය නිසාය. දානයද එයට රුකුලක් හෙවත් පරිවාර පුණ්‍ය කර්මයක් වෙයි.’

‘සාරිපුත්තය, ඇතැම් කෙනෙකුගේ දානය මහත්ඵල මහානිසංස වීමටත්, ඇතැම් කෙනෙකුගේ දානය එසේ නොවීමටත් හේතුව මෙයයි.’

ඉහත සූත්‍රයට අනුව යමෙක් දානය පූජා කරන අවස්ථාවේදී එම දානය මහත්ඵල මහානිසංස වනුයේ සිතෙහි යෙදෙන ප්‍රඥාව අනුවය.

මෙය වඩාත් පහසුවෙන් අවබෝධ කරවීම පිණිස අටුවාචාරීන්වහන්සේ පැනයක් අසා  විසඳා ඇත. සැරියුත් මහරහතන් වහන්සේ ලොවුතුරා බුදුරාණන් වහන්සේට පූජා කරන දානය සහ ලොවුතුරා බුදුරජාණන් වහන්සේ සැරියුත් මහරහතන් වහන්සේට පූජා කරන දානය යන දාන අතරින් වඩා ආනිසංස ඇත්තේ කවර දානයකද යන්නයි. බුදුරාණන්වහන්සේ විසින් සැරියුත් මහරහතන් වහන්සේට දෙන දානය මහත්ඵලය යනු පිළිතුරයි. ඊට ප්‍රධානතම හේතුව වනුයේ සැරියුත් මහරහතන් වහන්සේ දානය පූජා කරන අවස්ථාවේදී උන්වහන්සේගේ සිතෙහි පහළ වන ප්‍රඥාවට වඩා සිය ගුණයෙන්, දහස් ගුණයෙන්, ලක්ෂ කෝටි ගුණයෙන්, අසංඛ්‍යෙය ගුණයෙන් වැඩි ප්‍රඥාවක් බුදුරජාණන් වහන්සේගේ සිතෙහි පහළ වන බැවිනි. ප්‍රඥාවට අමතරව මනෝ සුචරිතයක යෙදෙමින් දානය පූජා කර ගැනීමද එම දානය මහත්ඵල මහානිසංස බවට පත් කර ගැනීමට උපකාරීය.  එය භව ගමනින් මිදී අවසානයේදී ඝෝර කටුක සසරින් මිදී නිවන් දැකීම පිණිස ඍජුවම දායක වේ.

සම්පාදක
පූජ්‍ය පිටබැද්දර නිරෝධානන්ද හිමි

Download as PDF

පරිගණක අකුරු සැකසුම
උපේක්‍ෂා පියරංගිකා මිය