රේවත සර්වඥයන් වහන්සේ පිරිනිවී ඒ බුද්ධ ශාසනයද අතුරුදන් වූ කල්හි ‘සෝභිත’ නම් බෝධිසත්ත්වයන් වහන්සේ සාරාසංඛ්‍යකල්ප ලක්ෂයක් පාරමී පුරා තුසිත දෙව්ලොව ඉපිද එහි යම් තාක් ආයුෂ වේද ඒ තාක් දිව්‍ය සම්පත් විඳ දේවතාරාධනයෙන් දෙව්‍ලොවින් නික්මී සුධම්ම නගරයෙහි සුධම්ම රජුගේ අගබිසව වූ සුධම්මා නම් දේවියගේ කුසෙහි පිළිසිඳගෙන දසමසක් ඇවෑමෙන් සුධම්ම උයනේදී වළාගැබින් මිදී බැබළෙන පූර්ණ චන්ද්‍රයා මෙන් මවුකුසින් නික්මුණු සේක. උන්වහන්සේ වසර දසදහසක් ගිහිගෙයි වාසය කරනුයේ සැත්තෑදහසක් නාටක ස්ත්‍රීන් හට අග්‍ර වූ මඛිලා දේවිය නම් අගමෙහෙසිය කුසින් ‘සීහකුමරු’ උපන්දා සතර පෙරනිමිති දැකීමෙන් සංවේග ප්‍රාප්තව සිටි බෝධිසත්ත්වයන් වහන්සේ රජ මාළිගයෙහිම පැවිදිව එහිම ආනාපානසති සමාධිය භාවිත කරමින් දැහැන් සතරම උපදවා සත්දිනක් ප්‍රධන් වීර්යය වඩමින් එහිම කල් ගෙවීය.

ඉන්පසු මඛිලා දේවිය පිදූ පරම මධුර වූ මී පැණි මිශ්‍ර කිරිපිඬු දානය වළඳා “මේ අලංකාරව සරසන ලද ප්‍රාසාදය මහජනයා බලා සිටියදීම අහසින් අවුත් බෝ රුක මැදි කොට (බෝධි ගෘහයක් මෙන්) පොළොවට බසීවා, මේ ප්‍රාසාදයෙහි සිටින්නා වූ ස්ත්‍රීහු බෝධි මූලයේ සිටි මා විසින් කිසිවක් නොකී කල්හිම ප්‍රාසාදයෙන් බැස නික්මෙත්වා” යැයි අභිනික්මන් සඳහා සිතක් ඉපදීය.

මෙසේ සිතත්ම ඒ සුධම්ම රාජභවන නීල අංජන තැවරුවාක් මෙන් වූ නිලඹරට පැන නැංගේය. සුවඳ කුසුම දාමයන්ගේ ඒකරාශීත්වයෙන් සමලංකෘත වූ ඒ ප්‍රාසාදය මුළු ගගන තලයම අලංකාර කරමින් රන්රසධාරා විහිදුවමින් බැබළෙන දිවාකරයා (හිරු) මෙන් ද, සරත් සමයේ බැබළෙන රජස් සමූහයක් මෙන්ද  සමලංකෘත වූවා පමණක්ම නොව ඉතා දක්ෂ ලෙස ජනවාදිත පඤ්චතූර්ය්‍ය වාදනයක් වැයෙන කලක් මෙන් මධුර වූ රජනීය වූ කමණීය වූ එල්බෙන කිංකිණි දැලකින්ද යුක්ත විය. දුර සිට ඇසෙන්නා වූ මියුරු ස්වරය සත්ත්වයන්ගේ දෙසවනට යොමු කරවමින් ගෙමිදුල්, මංසන්ධි ආදියෙහි කථා බස් දොඩමින් සිටියවුන්ගේ දෙනුවන විදහා දක්වමින් මිනිසුන්ට බොහෝ උසිනුත් නොවී බොහෝ පහතිනුත් නොවී නුදුරු අහසෙහි නානා විධ  රත්නයන්ගෙන් බැබළෙමින් බෝධි සත්ත්වයන්ගේ පුණ්‍යානුභාවය හඬ ගා කියන්නාක් මෙන් අහසින් ගමන් කළේය.

පඤ්චතූර්ය්‍ය වාදනයෙන් නැ‍ඟෙන මියුරු හඬ රැව් පිළිරැව් දුන්නේය. නාටක ස්ත්‍රීන් හා සිව්රඟ සෙනඟ අලංකාර වස්ත්‍රාභරණයෙන්ද සුවඳැති කුසුමදාමයෙන්ද ශෝභා සම්පන්න වූ උතුම් සේනාවක් පිරිවරා ඊෂ්වරත්වය විදහා දක්වමින් පොළොවෙහි පමණක් නොව අහසින්ද ප්‍රාසාදය පිරිවරාගෙන ගියේය.

ඉන්පසු අසූරියනක් උසට ඍජුව මනා සේ වැඩුණු වටකුරු කඳක් ඇති මල්, දළු, කැකුළු ආදියෙන් ශෝභමාන වූ නා බෝධිය මැදි කොට බැසගත් ප්‍රාසාදය පොළොවෙහි පිහිටියේය. නාටක ස්ත්‍රීහු කිසිවක් නොකියන ලදුයේ ම ප්‍රාසාදයෙන් බැස පිටව ගියාහ. අනේක ගුණයන්ගෙන් ශෝභනය වුණා වූ සෝභිත මහා පුරිස තෙමේ මහා ජනයා පිරිවරන ලදුයේම තුන්යම් රැයෙහි ත්‍රිවිද්‍යා ඉපිද වූහ. පිරිවර ජනයා වනාහි ධර්මතාවයක් වශයෙන් පැමිණි තැන්වලටම ගියහ. නමුත් ප්‍රාසාදය එතැනම සිටියේය. සෝභිත බෝධිසත්ත්ව තෙමේ සව්කෙළෙස් නසා ලොව්තුරා සම්බුදු බවට පත් වූ සේක. උදාන ගාථා කියා සත්සතියක් බෝධි සමීපයෙහි කල් ගෙවා ධර්මය දේශනා කිරීමට කළ බ්‍රහ්මාරාධනය පිළිගත් භාග්‍යවතුන් වහන්සේ “කවරෙක් හ‍ට පළමුව ධර්මය දේශනා කරන්නේ”දැයි ලොව බලනුයේ “අසම” , “සුනෙත්ත” යන වේමාතික කණිෂ්ඨ සහෝදර (සුළු මවගේ පුත්) කුමාරවරු දෙදෙනාට ධර්මාවබෝධය පිණිස උපනිඃශ්‍රය සම්පත්තිය ඇති බව දැන “මේ කුමාරවරු දෙදෙනා ගම්භීර වූ ධර්මය නිපුණව අවබෝධ කිරීමට සමර්ථය, එබැවින් මොවුන්‍ට පළමුව ධර්මය දේශනා කරන්නෙමියි” අහසින් වැඩම කොට සුධම්ම උයනට බැස උයන්පල්ලා ලවා ඒ කුමාරවරු දෙදෙනා කැඳවවා පිරිවර සහිත මහජනයා මධ්‍යයේ දම්සක්පැවතුම් සූත්‍රය දේශනා කළ සේක. එහිදී ධර්මය අවබෝධ කරගත්තවුන්ගේ සංඛ්‍යාවක් පිරිසිඳ කිව නොහැක.‍

පසු කලෙක භාග්‍යවතුන් වහන්සේ සුදර්ශන නගර ද්වාරයෙහි චිත්‍ර පාඨලී (පළොල්) රුක මුල යමාමහ පෙළහර පා තව්තිසා දෙව්ලොවට වැඩමකොට නවරන් මැණික්මය භවනේ පරසතු වෘක්ෂමූලයේ පඬුපුල් අසුනේ වැඩහිඳිමින් අභිධර්මය දේශනා කළ සේක. දේශනා අවසානයෙහි කෝටිඅනූදහසක්දෙනා මඟඵල නිවන් අවබෝධ කළහ. මේ දෙවන අභිසමය විය.

ඉන්පසු සුදර්ශන නගරයෙහි ජයසේන නම් රජකුමරු යොදුනක් පමණ මහාවිහාරයක් කරවා එහි හෝපලු (අශෝක) සල්, සපු, නා, අඹ, දොඹ, මී අඹ, මූනමල්, කොස්, කුඹුක්, කනේරු ආදී වටිනා රුක් රෝපනය කර වටිනා උයනක් ඉදිකර බුදුන් ප්‍රධාන මහාසංඝරත්නයට පූජා කළේය. එවිට භාග්‍යවතුන් වහන්සේ දානයෙහි ගුණ වර්ණනා කරමින් දානානුමෝදනා ධර්මදේශනාවක් සිදු කළ සේක. එකල්හි කෙල දහසක් සත්ත්වනිකායන්ට ධර්මාවබෝධය වූහ.

නැවත උග්ගත නම් රජ තෙමේ සුනන්දවතී නගරයෙහි සුරින්ද නම් විහාරයක් කරවා බුදු පාමොක් මහ සඟනට පූජා කළේය. එම දානයෙහි ඒහිභික්ඛු භාවයෙන් පැවිදි වූ රහතන් වහන්සේලා සියක් කෝටියක සන්නිපාතයක් විය. ඒ රහතුන් මැද සෝභිත බුදුරජාණන් වහන්සේ ප්‍රාතිමෝක්ෂය දේශනා කළහ. මේ පළමු ශ්‍රාවක සන්නිපාතය විය. නැවත ද මේඛලා නගරයෙහි ධම්මගණාරාමය නම් උතුම් ආරාමයක් කරවා බුදුන් ප්‍රධාන මහා සංඝරත්නයට පූජා කරමින් සියලු පිරිකර සහිත මහා දානයක් දුන්හ. එකල්හී ඒහි භික්ඛු භාවයෙන් පැවිදි වූ අනූකෝටියක් අරහන්ත සන්නිපාතයේදී ප්‍රාතිමෝක්ෂය දේශනා කළ සේක. මේ දෙවන ශ්‍රාවක සන්නිපාතය විය. යම් කලෙක වනාහි භාග්‍යවතුන් වහන්සේ ශක්‍රභවනේ වස් වාසය කර වස් පවාරණය කිරීම සඳහා දේවගණයා පිරිවරා දෙව් ලොවින් බට සේක්ද එකල්හී සිවුවනක් පිරිස සහිත අසූකෝටියක් රහතුන්ගෙන් යුත් සන්නිපාතයේදී වස් පවාරණය කළ සේක. මේ තෙවන ශ්‍රාවක සන්නිපාතය විය.

එකල්හී අප මහා බෝධිසත්ත්වයන් වහන්සේ රම්මවතී නගරයෙහි සුජාත නම් උසස් බ්‍රාහ්මණයෙකුව හිඳිනුයේ සෝභිත බුදුරදුන්ගෙන් බණ අසා තෙරුවන් සරණ ගොස් බුද්ධ ප්‍රමුඛ භික්ෂු සංඝයාට මහා දානයක් පූජා කළේය. එවිට වනාහී “මේ මහා පුරුෂ තෙමේ අනාගතයෙහි ගෞතම නමින් ලොව්තුරා බුදුවන්නේය” යැයි විවරණ ලබා දුන් සේක.

සුධම්ම නගරයෙහි සුධම්ම නම් පිය රජු නිසා සුධම්මා නම් මවු දේවියගේ කුස ඉපිද වසර නවදහසක් ගිහිගෙයි වාසය කර මඛිලා දේවිය නම් තම බිසව සීහ කුමරු නම් තම පුතු වැදූ දා හැත්තෑ දහසක් නාටක ස්ත්‍රීන් හා සිවුරඟ සේනාව පිරිවරාගෙන ප්‍රාසාදයෙන්ම අභිනික්මන් කර නා බෝධි මූලයේදී සව් කෙළෙස් නසා ලොව්තුරා සම්බුදු බවට පත් වුනා වූ සෝභිත බුදුරජාණන් වහන්සේට “අසම, සුනෙත්ත නම් අගසව් දෙනමක්ද, අනෝම නම් අග්‍ර උපස්ථායක තෙරුන් වහන්සේ නමක් මෙන්ම නකුලා, සුජාතා යැයි අග්‍රශ්‍රාවිකාවන් දෙනමක්ද විය. ජයසේන රජු උපස්ථායකයා විය. පනස් අටරියනක් උස බුදු සිරුරු ඇතිව අනන්ත සත්ත්ව ප්‍රජාවක් නිවන්පුර පමුණුවමින් සෝතාරාමයෙහි වැඩ වාසය කළ භාග්‍යවතුන් වහන්සේ අවුරුදු අනූදහසක් ආයු වළඳා පිරිනිවන් පෑ සේක.

“සබ්බේ සත්තා සුඛී අත්තානං පරිහරන්තු”

(බුද්ධවංශ අට්ඨකථාව ඇසුරෙන්)

සම්පාදක – පූජ්‍ය පුවක්පිටියේ සුමංගලරතන හිමි