වර්තමාන ලෝකය යනු විපරීතදෘෂ්ඨීන්හී එල්බගත් මිත්‍යාදෘෂ්ටියෙන් සිහි විකල් වූ ධර්මයෙහි අදක්ෂයන් බහුල යුගයකි. ගුණ ධර්මයන්හි අතිශය පරිහානි කාලයකි. මේ පරිහානිය වනාහි ආකාරය දෙකකි. භෞතික පරිහානිය සහ ආධ්‍යාත්මික පරිහානිය යනු ඒ දෙක යි. මෙයින් ආධ්‍යාත්මයේ යම් පරිහානියක් වේ ද මෙය මහත් ම පරිහානිය යි. ගුණ ධර්මයෝ නැත්තෝ මිනිස් කයක් තුබුණ ද තිරශ්චීනයන් හා සමානය. එය පළමුව සිහි කර ගැනීම වටියි.
ආර්ය්‍යෝපවාදය පිළිබඳව මේ ලිපිය එම බරපතල අකුසලය පිළිබඳව ධර්මය මතු කිරීමටත්, සත්පුරුෂයින්ට මතු අකුසලයෙන් මිඳීමත් උදෙසාත් ලෞකික සම්‍යක්දෘෂ්ඨිය දැඩි කරලීම සඳහා පමණක් ම බව පළමුව සිහි තබා ගන්න. බුදුරජාණන් වහන්සේ ගේ ජීවමාන කාලයේ දී ද භාග්‍යවතුන් වහන්සේට, මහාශ්‍රාවක මහරහතන් වහන්සේලාට උපවාද කළ පුද්ගලයෝ සිටියහ. සමහරුන් සාසනයෙහි පැවිදිව ද සිටියහ. ඔවුන් භාග්‍යවතුන් වහන්සේ ඇතුළු උතුමන්ට අභූතයෙන් චෝදනා කළේ ය. නින්දා කළේ ය. ඔවුන් අතුරෙන් අ⁣ක්‍රෝෂ භාරද්වාජ බමුණා, චිංචිමානවිකාව වැනි ගිහියන් ද දේවදත්ත, කෝකාලික, සුනක්ඛත්ත වැනි පාප භික්ෂූන් ද වූහ.
පළමුව අප ආර්ය්‍යෝපවාදය යනු කුමක් දැයි විමසා බැලිය යුතු ය. ⁣මෙහි “ආර්ය” යනු සෝවාන් ඵලයේ සිට අරහත්වය දක්වා ඇති මාර්ග-ඵල ලාභී වූ උතුමන් වහන්සේලා ය. “උපවාද” යනු නින්දා කිරීම යි. ඒ පිළිබඳව දීර්ඝ විස්තරයක් සමන්තපාසාදිකා විනය අට්ඨකතාවේ (108 පිට) දක්වා තිබේ.  ආර්යයන් වහන්සේලාට උපවාද කිරීම යනු බුදුරජාණන් වහන්සේලාට, පසේ බුදුරජාණන් වහන්සේලාට, මහරහතන් වහන්සේලාට අන්තිම වශයෙන් ගිහි සෝවාන් උතුමෙකුට හෝ අනර්ථය පිණිස දුස්සීල භාවයෙන් හෝ ගුණ නැසීමේ අදහසින් උපවාද කිරීම යි. නින්දා කිරීම යි. ගැරහීම යි.
එහි “මොවුන්ට ශ්‍රමණ ගුණධර්මයෝ නැත, අශ්‍රමණයෝ ය” යැයි කියයි ද අන්තිම වස්තුවෙන් උපවාද කළා වෙයි. “මොවුන්ට ධ්‍යාන හෝ විමෝක්ෂ හෝ මාර්ග-ඵල හෝ නැත”යැයි කියයි ද ගුණ නැසීම් වශයෙන් උපවාද කළා වෙයි. මෙය මෙහි විනිශ්චය යි. උපවාද කරන්නා වූ පුද්ගලයා ‘ මේ ආර්යයන් වහන්සේ නමක් ය’ යැයි දැන හෝ නොදැන හෝ උපවාද කරන්නේ නම් ආර්ය්‍යෝපවාදය වේ ම ය. නොදැනීම උපවාදයෙන් මිඳීමට හේතුවක් නොවේ. මෙය අතිශය බරපතල අකුසල කර්මයකි. (අතිභාරියං කම්මං) නියතව ම සුගතිය සහ මාර්ග-ඵල ආවරණය වේ.
එහි මාර්ග-ඵල ආවරණය පිළිබඳව කථාවස්තුවක් ධර්මයෙහි පැමිණේ.
” එක්තරා ගමක එක් තෙරුන් වහන්සේනමක් ද තරුණ භික්ෂූන් වහන්සේනමක් විසූහ. දිනක මේ දෙනම වහන්සේ ම පිණ්ඩපාතයේ වැඩ කළහ. ඒ දෙනම වහන්සේට පළමු ගෙදරින් ම සැන්දක ප්‍රමාණයේ උණු කැඳ ලැබුණේ ය. තෙරුන් වහන්සේට කුසෙහි ආබාධයක් ඇති බැවින් මෙ‍සේ සිතීය. ‘මේ කැඳ මට සප්පාය වෙයි. මෙය සීතල වීමට පෙරාතුව වළදමි’ යැයි මිනිසුන් විසින් එළිපත්තෙහි ගොඩ ගසන ලද දරගොඩ මත හිඳ ඒ කැඳ වැළදීය. තරුණ භික්ෂූන් වහන්සේ එය දැක ඒ ක්‍රියාව පිළිකුල් කළේ ය. ” අතිශය බඩසයින් පෙළුණේ, ශ්‍රමණ සාරුප්‍ය – අසාරුප්‍ය හෝ ලෝකයේ හැසිරෙන ආකාර මාත්‍රයවත් නොදන්නා වූ මේ මහතෙරුන් වහන්සේ අපට ලජ්ජාවන දෙයක් කළේ ය.” යැයි කියා ගැරහීය. තෙරුන් වහන්සේ පිණ්ඩපාතයේ හැසිර විහාරයට වැඩම කොට තරුණ භික්ෂූන් වහන්සේට කීය. – ” ඇවැත්නි, නුඹ මේ සාසනයෙහි පිහිටා ඇත් ද ? එසේ ය ස්වාමීනි, මම සෝතාපන්න වෙමි’ යි කීය. එසේ නම් ඇවැත්නි, ‘ඉන් මතු මාර්ග පිණිස වෑයම් නොකරන්න. නුඹ රහතන් වහන්සේනමකට උපවාද කළේ ය’ යැයි  තෙරුන් වහන්සේ කීය. තරුණ භික්ෂූන් වහන්සේ තෙරුන් වහන්සේ වන්දනා කොට තම උපවාදය ක්ෂමා කරවා ගත්තේ ය. එයින් ම ඔහුට ප්‍රකෘති වීම විය. මාර්ග-ඵල ආවරණයෙන් මිඳීම විය. “
කරුණුකාරණා මෙසේ හෙයින් යම්කිසි පුද්ගලයෙකු කිසියම් ආර්යයන් වහන්සේනමකට උපවාද කරයි ද ඔහු විසින් ආර්යයන් වහන්සේ වෙත ගොස් තමන් වැඩිමහළු වේ නම් “ආයුෂ්මතුන් වහන්ස, මම මේ මේ ලෙස ඔබවහන්සේට කීවෙමි” “එයට මාහට ක්ෂමා කරන්න. සමාවෙනු මැනවි.” යි සම්මුඛයේ දී ම සමාව අයැදිය යුතු ය. ඉඳින් ආර්යන් වහන්සේ තමන්ට වඩා වැඩිමහල් වේ නම් වන්දනා කොට උක්කුටිකයෙන් හිඳ දෙඅත් නළලෙහි තබා ” ස්වමීනි, මම ඔබ වහන්සේට මේ මේ ලෙස කීවෙමි.” එයට මාහට ක්ෂමා කරන්න. සමාවෙනු මැනවි.” යි කිව යුතු ය. යම් ලෙසකට ආර්ය වහන්සේ ක්ෂමා කිරීම නොකරයි ද වැඩම වීමට අපහසු වෙනත් දිශාවකට වැඩම කරයි ද ඒ උතුමන් වහන්සේ වැඩ විසූ විහාරස්ථානයට ගොස් එහි භික්ෂූන් වහන්සේලා සම්මුඛයේ දී තමා වැඩිමහල් වේ නම් සිට ගෙන ද බාල වේ නම් උක්කුටිකයෙන් හිඳ අැඳිලි බැඳ ” ස්වාමීනි, මම අසවල් නම් ඇති ආයුෂ්මතුන් වහන්සේට මේ මේ ලෙස කීවෙමි.” ” ඒ ආයුෂ්මතුන් වහන්සේට එසේ කීම පිළිබඳව මට ක්ෂමා කරන්න. සමාවෙනු මැනවි” යි කිව යුතු ය. ඉඳින් ආර්යන් වහන්සේ පිරිණිවියේ නම් පිරිණිවුණා වූ ස්ථානයට ද එහි සිට භූමදානය හෝ ආදාහනය කරන ස්ථානයට ගොස් ක්ෂමා කරවා ගත යුතු ය.
“තං වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ’ති” යන බුද්ධ වචනය ද වැඩි දුර අර්ථා’වබෝධය සඳහා විස්තර කර ගත යුතුය. එම ආර්ය්‍යෝපවාදය සඳහා වූ වචනය අතනොහැර, එම සිත අතනොහැර, එම දෘෂ්ටිය අතනොහැර සිටින්නේ නම් යම්සේ ගෙනෙන ලද්දක් බිම තබන්නේ යම්සේ ද එසේ නිරයේ වෙයි. එබැවින් ආර්ය්‍යෝපවාදය කළේ නම් සමාව ගැනීම ද එයින් මතු වචනය – සිත – දෘෂ්ටිය ද අතහැරිය යුතු ය. එය මෙසේ ය. “නැවත එබඳු වචන නොකියමි” යි පවසා ආර්ය්‍යෝපවාද සංඛ්‍යාත වචන අත්හරියි. “නැවත එබඳු සිත් නූපදවන්නෙමි” යි සිතන්නේ සිත අත්හැරියේ වෙයි. “නැවත එබඳු පාපී දෘෂ්ටි නොගනිමි” යි අත්හරින්නේ ද දෘෂ්ටිය අත්හැරියේ වෙයි. එසේ මනාව සිදුකරන්නේ ආර්ය්‍යෝපවාද ඉවත දැමුවේ, අත්හරියේ වෙයි. එසේ අත්නොහැර ඉවත නොදමා ද චුතියෙන් අනතුරුව අපායෝත්පත්තිය වේ.
“මහාසාවජ්ජො හි අරියූපවාදො ආනන්තරිය සදිසො” යැයි මහාසාවද්‍ය වූ ආර්ය්‍යෝපවාද අකුසලය ආනන්තර්ය පාපකර්මයක් හා සමාන බව දක්වා තිබේ. ආනන්තර්ය කර්මයට පිළියම් නැත. ආර්ය්‍යෝපවාදය අකුසලය පිළියම් තිබේ. මෙහි භේදය එපමණකි.  ආර්ය්‍යෝපවාදය කළ පුද්ගලයා ඉහත දැක්වූ ආකාරයට ක්ෂමා කර ගැනීම යහපති. නොවේ නම් සුගති-මෝක්ෂ අභව්‍ය බව ද නිවැරදිව වටහා ගත යුතු ය. සමාව ගැනීමෙන් ම ආර්ය්‍යෝපවාදය සංසිදෙයි.
පාරමිතා පිරූ නොයෙක් සමාපත්ති ඇත්තා වූ සීලසමාධ්‍යාදි ගුණයෙන් මහෝත්තම වූ පිරිසිඳු හදසන්තාන ඇති බෝධිසත්වයන් වහන්සේලා ඇතුළු මහා සත්වයන්ට යමෙක් පරුෂවචනයෙන් උපවාද කරන්නේ ද එයින් ක්ෂමා කර නොගත්තේ නම් සත්වන දින දිටුදැහැමියේ ම විපාක දෙන්නේ ය. මේ දිට්ඨධම්ම විපාකය යි ක්ෂමා කරවාගන්⁣නේ සංසිදෙයි.
බුදුරජාණන් වහන්සේ ‘අක්කොසක සූත්‍රයේ’ දී ආර්යයන් වහන්සේලාට සහ සිල්වත් භික්ෂූන් වහන්සේලාට උපවාද, පරිභාස කරන්නන්ට වන්නට අවකාශ අනිවාර්යයෙන් ම ඇති දස වැදෑරුම් වූ ව්‍යසයන් දේශණා කොට තිබේ. එනම්,
1) නොලැබූ සසුන් ගුණයෝ නොලබන්නේ ය.
2) ලැබූ සසුන් ගුණ දහමින් පිරිහෙන්නේ ය.
3) කෙතරම් උත්සහ කළ ද ධර්මයෙන් පිරිසිඳු භාවයක් නොලැබේ.
4) මාර්ග-ඵල ලැබුවා යැයි සද්ධර්මයේ අධිමානයට පත් වෙයි.
5) නො ඇළිමෙන් සසුන් බඹසර කරයි.
6) එක්තරා කිළුටු ඇවැතකට හෝ පත් වෙයි.
7) දරුණු රෝගයක් හෝ සෑඳෙයි.(කෝකාලික පාප භික්ෂුවට මෙනි)
8.) චිත්තවික්ෂෙප නම් වූ උමතුවට හෝ පත් වෙයි.
9) සිහි මුළාව කලුරිය කරයි.
10 ) මරණින් මතු අපාය, දුර්ගතිය, විනිපාත නම් වූ නිරයට එළඹෙයි.
තව ද බුදුරජාණන් වහන්සේ ගේ සම්බුද්ධ සාසනයෙහි පැවිදි ව සාරිපුත්ත මහරහතන් වහන්සේට සහ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ යන අග්‍රශ්‍රාවක මහරහතන් වහන්සේලාට උපවාද කොට නින්දා කොට නොබෝ වේළාවකින් ම කෝකාලික නම් වූ පාපී භික්ෂූන් වහන්සේ ගේ මුළු ශරීරයේ ම ක්‍රමක්‍රමයෙන් අඹ ඇට පමණ ද  එය මුං ඇට ප්‍රමාණයට ද කඩල ඇට ප්‍රමාණයට ද ඩෙබර ඇට ප්‍රමාණයට ද ඩෙබර ගෙඩි ප්‍රමාණයට ද නෙල්ලි ⁣ගෙඩි ප්‍රමාණයට ද බෙලි ගැට ප්‍රමාණයට ද බෙලි ගෙඩි ප්‍රමාණය දක්වා ම සැරව ගෙඩි විශාලව බිඳිණි. සැරව සහ ලේ වැඟිරිණි. එයින් ම කලුරිය කොට පදුම මහ නිරයෙහි ඉපදුනේ ය. මෙහි විස්තරාර්ථ දේශණාව ‘කෝකාලික සූත්‍රය’ ට අනුව දත යුතු ය.
එසේ ම එවන් දෘෂ්ටි විපරීත වූ පුද්ගලයන් විසින් තුන්ලෝකාග්‍ර වූ බුදුරජාණන් වහන්සේට ස්වාක්ඛාත වූ සද්ධර්මයට සුපටිපන්න වූ මහා සංඝරත්නයට දොස් කියන්නේ නම් අප කෙසේ පිළිපැදිය යුතු ද ධර්මානුකූලව විසඳාගත යුතු ය. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මජාල සූත්‍රයේ දී මනාව අවවාද කොට තිබේ. යම් පුද්ගලයෙකු බුදුරජාණන් වහන්සේට, සද්ධර්මයට, සංඝරත්නයට දොස් නඟන්නේ නම් එවිට ද්වේශය නො ඉපදවිය යුතු බවත් නොසතුට නො ඉපදවිය යුතු බවත්. සිත් අමනාප නො ඉපදවිය යුතු බවත්, එසේ නොකොට එයට ද්වේශය ඇති කර ගන්නේ නම්, නොසතුට, අමනාපය ඇති කර ගන්නේ නම් ඔවුන් තමන්ට ම අන්තරාය කර ගන්නා බව දේශණා කොට තිබේ. ‘ කිපුණු තැනැත්තාට සත්‍ය – අසත්‍ය භාවය තෝරා බේරා ගන්න ද නොහැකි වෙයි.’ යමෙක් මෙසේ බුදුරජාණන් වහන්සේට, සද්ධර්මයට, මහා සංඝරත්නයට දොස් කියන කල්හී මෙසේ විමසිය යුතු ය.
” මේ කාරණයෙනුත් මෙය අභූතයකි.මේ කාරණයෙනුත් මෙය බොරැවකි. මේ කියන දෝෂය අප කෙරෙහි නැත. මෙය අප කෙරෙහි අවිද්‍යමාන යැ” යි නැති දොස් නැති සැටියට ම සලකා ලිහා ඉවත් කළ යුතු ය.
මෙසේ ත්‍රිවිධ රත්නයට අපහාස නින්දා කරන්නා වූ පුද්ගලයන්ට වන අකුසලයන් සහ එයට බෞද්ධ අප මනා නුවණින් යුතුව ධර්මානුකූලව ම සුදුසු ලෙස අධර්මය පිළිතුරු දිය යුතු බව දරා ගත යුතුය.
සම්පාදක
පූජ්‍ය බණ්ඩාරවෙල ඤාණරුචි හිමි