අනෝමය වූ සත් රුවන් වැසි වස්සමින් උපන් ලෝක ශිවංකර වූ අනෝමදස්සී බුදු රජාණන්වහන්සේ පිරිනිවුණු පසු අවුරුදු ලක්ෂයක් වූ මනුෂ්‍ය ආයුෂය ක්‍රමයෙන් පිරිහී ගොස් අවුරුදු දහය දක්වා අඩු වීය. ඉන් පසු නැවත ක්‍රමයෙන් මනුෂ්‍ය ආයුෂය අවුරුදු අසංඛ්‍යෙ දක්වා වැඩි වී එයින් නැවත පිරිහී ගොස් අවුරුදු ලක්ෂය දක්වා අඩු වීය. එකල්හී අංගීරස වූ ‘පදුම’ නම් ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලොව පහළ වූ සේක.

ඒ ලෝක නාථයන් වහන්සේ පෙරුම් දම් සපුරා තුසිත භවනේ පහළ වී දිව්‍යමය සැප සම්පත් වින්දනය කර එයින් නික්මී චම්පා නගරයෙහි රජ කළ අසම නම් රජුගේ රාජ කුලයෙහි රූපාදියෙන් අසම වූ, අසම නම් අගමෙහෙසියගේ කුසෙහි පිළිසිඳ ගත්තේ ය. ඉන්පසු ඒ බෝධිසත්වයන් වහන්සේ දස මසක් ඇවෑමෙන් සපු උයනෙහි මව් කුසින් නික්මුණු සේක. එලෙස එම කුමරු උපන් ඇසිල්ලෙහි සමුදුර කෙළවර කොට ඇති හාත්පස දඹදිවටම අහසින් නෙළුම් මල් වැස්සක් ඇද හැලුණේය. එම නිසා නම් තබන දවසේ නිමිති කියන්නන් හා ඥාතීන් ද ‘මහා පදුම’ යැයි නම් තැබීය. එම මහා පදුම කුමාර තෙමේ උත්තරා දේවිය ප්‍රමුඛ කොට ඇති තිස්තුන් දහසක් ස්ත්‍රීන් පිරිවරාගෙන නන්‌දුත්‌තර, වසුත්‌තර, යසුත්‌තර යන මහා ප්‍රාසාද තුනෙහි කල්ගෙවමින් වසර දස දහසක් ගිහිගෙයි වාසය කළහ. ඉක්බිති සතර පෙර නිමිති දැක ගිහි ගෙය කළකිරුණු බෝධිසත්වයන් වහන්සේ උත්තරා දේවිය, තම පුත් වූ ‘රම්ම කුමරු’ වැදූ දා ආජානීය අශ්ව රථයකින් මහාභිනික්මන් කළේ ය. එලෙස ගිහිගෙය හැර දමා පැවිදිවන දා පිරිවර වශයෙන් එක් කෝටියක් පුරුෂයෝ බෝධිසත්වයන් හා සමඟම පැවිදි වූහ. බෝධිසත්වයන් වහන්සේ තමන් හා සමඟම පැවිදි වූ පිරිස පිරිවරාගෙන අට මසක් පධන් වීර්යය වඩා වෙසක් පුර පසළොස්වක් පොහෝ දා ධඤ්ඤවතී නගරයේ සුධඤ්ඤ නම් සිටුහුගේ දියණිය වූ ධඤ්ඤවතී සිටු දියණිය විසින් පූජා කළ මී පැණි මිශ්‍ර කිරි බත වළඳා මී අඹ වනයෙහි දිවා විහරණය කොට සවස් යාමයෙහි තිත්ථක ආජීවකයා විසින් දුන් තණ මිටි අට ගෙන මහා සෝණ (තොටිල) බෝධි මූලයට පැමිණ අටතිස් රියනක් පමණ බිම තණමිටි අතුරා එම ආසනයෙහි පළඟක් බැඳ වැඩහිඳ චතුරංග සමන්වාගත මහා වීර්යය අදිටන් කර මාර සේනාව පරාජය කර තුන්‍ යම් රාත්‍රියෙහි ත්‍රිවිද්‍යා උපදවා සව් කෙළෙසුන් නසා ලොවුතුරා සම්මා සම්බුදු බවට පත්වූ සේක.

අභිසම්බෝධියත් සමඟින් උපන් සතුට හේතු කොට ගෙන “අනේක ජාති සංසාරං ..” යනුවෙන් උදන් ඇනූ භාග්‍යවතුන් වහන්සේ සත් සතියක් බෝ මැඩ සමීපයෙහි කල් යවා ධර්ම දේශනය පිණිස කළ බ්‍රහ්මාරාධනය පිළිගත් සේක. තමන් වහන්සේ අවබෝධ කරගත් අති ගාම්භීර ධර්මය කවරෙක් හට මුලින්ම දේශනා කරන්නේ දැයි බුද්ධ ඤාණයෙන් අරමුණු කරණ විට තමන් වහන්සේ හා එකටම පැවිදි වූ කෝටියක් භික්ෂූ පිරිස දැක ඒ ක්ෂණයෙහිම නිලඹරට පැන නැග ධඤ්ඤවතී නගර සමීපයෙහි වූ ධනඤ්ජය උයනට වැඩම කර ඒ කෝටියක් වූ භික්ෂූන් මධ්‍යයෙහි ධම්සක් පැවැත්වූ සේක. එකල්හි කෝටි සීයයක් දෙනා ධර්මාභිසමය ලැබූහ.

ඉක්බිති පසු කලෙක පදුම භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ බාල සහෝදර වූ සාල කුමරුත්, උපසාල කුමරුත්  ඥාති සමාගමනයෙන් සපරිවාරව පැවිදි කරවා ඔවුනට ධර්මය දේශනා කරනුයේ අනූකෝටියක් දෙනාහට ධර්ම අමෘතය පෙවූහ. යම් කලෙක රම්ම තෙරුන් වහන්සේට ධර්මය දේශනා කළේද එකල්හී තුන්වන වරට අසූ කෝටියක් දෙනා ධර්මාභිසමය ලැබූහ.

යම් කලෙක වනාහී මනාව වැඩූ ජීවිත ඇති භාවිතත්ත නම් රජු, පියුම් බඳු මුහුණැති පදුම බුදුන් වෙත කෝටි ලක්ෂයක් දෙනා පිරිවරාගෙන පැමිණ ඒහි භික්ෂු භාවයෙන් පැවිදි වූහ. ඒ සන්නිපාතයේ දී භාග්‍යවතුන් වහන්සේ පාමොක් උදෙසූ සේක. එය වනාහී පළමු ශ්‍රාවක සන්නිපාතය විය.

පසු කළෙක මුනිවසභයන් වහන්සේ වෘෂභ ගමන් ඇති උසභව නුවර වස් විසූහ. එවිට ඒ නුවර වැසියන් භාග්‍යවතුන් වහන්සේ දකිනු කැමතිව පැමිණ බණ අසා බොහෝ පිරිසක් පැවිදි වූහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ එම භික්ෂු පිරිසත්, තවත් භික්ෂූන් තුන් ලක්ෂයක් සමඟ විශුද්ධි පවාරණයෙන් වස් පවාරණය කළ සේක, ඒ දෙවන ශ්‍රාවක සන්නිපාතය  විය.

යමෙක් එහි පැවිදිව කඨිනානිසංස අසා පෑලවියෙහි පස් මසක් පඤ්ච ආනිසංස දායක කඨින චීවරයක් දුන්නේය. භික්ෂූහු ඒ කඨින චීවරය ගෙන ධර්ම සේනාධිපති වූ අග්‍රශ්‍රාවක සාල තෙරුන් වහන්සේට කඨිනස්ථරනයට අයැද දුන්හ. තෙරුන් වහන්සේ කඨින සිවුර සකසන කල්හි එය මැසීමට අනෙක් භික්ෂුහු සහය වූහ. පදුම භාග්‍යවතුන් වහන්සේ සිවුර මැසීමට ඉඳිකටු මලට නූල් අමුණා දුන් සේක. සිවුර නිමවූ කල්හී භාග්‍යවතුන් වහන්සේ තුන් ලක්ෂයක් භික්ෂූන් සමඟින් ධර්ම චාරිකාවෙහි වැඩම කළ සේක.

ඉක්බිති පසු කළෙක සිංහ වික්‍රමාන්ත ගමන් ඇති පුරුෂ සිංහයකු මෙන් බුද්ධ සිංහයන් වහන්සේ ගෝසිංහ සාල වනය බඳු උතුම් සුවඳින් යුත් මල් වලින් පිරීගිය අතු ඇති නිර්මල නෙළුම් මානෙල් ආදියෙන් සකලංකෘත සිසිල් මී බිඳු වෑහෙන පිරිණු දියවිල් වලින් යුත් මුව, සෙමර, සිංහ, ව්‍යග්‍ර, ඇත්, අස්, ගව, මී ආදී විවිධ මුව ගණයා හැසිරෙන සුවඳ මල් බැඳි හඳින් බඹර මී මැසි යුවතීන්ගේ සංවරණයෙන් හාත්පස ගුමු ගුමු නද ගැන්වූ ඵල රසයෙන් ප්‍රමුදිතව මිහිරි හඬින් යුත් කොවුල් ගී හඬ ඇති පරම රමණීය යෝගානුකූල ජනයාගෙන් තොර වූ මහා වනයෙහි වස් එළඹි සේක. එකල්හි ඒ සමලංකෘත වනයෙහි වස් විසූ දසබලධාරී තථාගත වූ ධර්මරාජයානන් වහන්සේගේ බුද්ධ සිරිය දුටු මිනිසුන් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ ධර්මය ශ්‍රවණය කොට පැහැදී ඒහි භික්ෂූ භාවයෙන් පැවිදි වූහ. එකල්හි දෙලක්ෂයක් භික්ෂූන් පිරිවරාගෙන වස් පවාරණය කළහ. ඒ තෙවන ශ්‍රාවක සන්නිපාතය වීය.

එකල්හි තථාගතයන් වහන්සේ ඒ වනයෙහි වාසය කරනුයේ සත් දිනක් නිරෝධ සමාපත්සුවයෙන් කල් යැවීය. එකල අප මහා බෝධිසත්වයන් වහන්සේ සිංහයකු වී එම වනයෙහිම කල් ගෙවනුයේ නිරෝධ සමාපත්තියට සමවැදුණු භාග්‍යවතුන් වහන්සේ දැක සිත පහන් වූයේ තථාගතයන් වහන්සේට වැඳ ප්‍රදක්ශිනා කොට හටගත් ප්‍රීති සෝමනස්සයෙන් තුන්වරක් සිංහ නාද කොට සතියක් පුරාවට බුද්ධාලම්බන ප්‍රීතිය අත නොහැර ප්‍රීති සුඛයෙන් යුක්තව ගොදුරු සොයා නොගොස් ජීවිතය බුදුන්ට පූජාකොට භාග්‍යවතුන් වහන්සේවම ඇසුරු කර ගනිමින් සත් දිනක් පුරාවට එහිම වාසය කළේය.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සත් දිනක් ඇවෑමෙන් නිරෝධ සමාපත්තියෙන් නැගී සිට ශ්‍රේෂ්ඨ පුරුෂ වූ සිංහයා දෙස බලා භික්ෂු සංඝයා ක‍ෙරෙහිද ඔහුගේ චිත්ත ප්‍රසාදය වේවා යි සංඝයා මෙහි පැමිණේවායි සිතූ සේක. භික්ෂූහු එකෙනෙහිම පැමිණියහ. සිංහ තෙමේ භික්ෂූන් කෙරෙහි සිත පහදවාගත්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ සිංහයාගේ සිත බලා අනාගතයෙහි ගෞතම නමින් ලොව්තුරා සම්බුදු බවට පත්වන්නේය යැයි විවරණ ලබාදුන් සේක.

චම්පක නගරයෙහි අසම නම් පිය රජු නිසා අසමා නම් දේවියගේ කුසෙහි ඉපිද උත්තරා දේවිය රම්ම කුමරු වැදූදා ගිහිගෙය අතහැර දමා බෝ මැඩ, සව් කෙළෙසුන් නසා බුදු බව ලැබූ පදුම සර්වඤයන් වහන්සේ සාල, උපසාල නම් අග්‍ර ශ්‍රාවක දෙනමත් වරුණ නම් අග්‍ර උපස්ථායක තෙරුණ්ද, රාධා සුරාධා යන අග්‍ර ශ්‍රාවිකාවන් දෙනමත් ඇතිව අනන්ත සත්ත්ව ප්‍රජාවකට නිවන් රස පොවමින් පනස් අට රියනක් උස බුද්ධ ලීලාවෙන් යුතු සිරුරු ඇතිව අවුරුදු ලක්ෂයක් ආයු වළදා පිරිනිවන් පෑ සේක.

චිරං තිට්ඨතු සද්ධම්මෝ

(බුද්ධ වංශ අට්ඨකථාව ඇසුරෙන්)

සම්පාදක:- පූජ්‍ය පුවක්පිටියේ සුමංගලරතන හිමි.

පරිගණක අකුරු සැකසුම
පණ්ඩුක නෙළුවල මහතා

Download as PDF