අර්ථකථාව බුද්ධ දේශනයක් බවට අටුවාවෙහිම පැවසූ ආකාරය පසුගිය ලිපියෙන් සාකච්ඡා කරන ලදී. එහෙත් චතුර්විධ විනය විනිශ්චය දැක්වීමේ දී ආචාරියවාදය සූත්‍රයෙහි බහාලිය යුතු බවට පැවසේ. එබැවින් අර්ථකථාව බුදුරජාණන් වහන්සේගේ ප්‍රකීර්ණක ධර්මදේශනය නම්, චතුර්විධ විනිශ්චය දැක්වීමේ දී එය සූත්‍රයෙහි බහාලිය යුතු බව පවසන්නේ ඇයි? යන පැනය බොහෝ දෙනෙකු විසින් නගනු ලැබේ. ඒ සඳහා යුක්ති යුක්ත බව මෙම ලිපියෙන් පැහැදිලි කෙරේ.

පාරාජිකා අර්ථකථාවේ සහ දීඝනිකාය අර්ථකථාවේ එන චතුර්විධ විනය විනිශ්චයන් නම් සුත්ත, සුත්තානුලෝම, ආචරියවාද, අත්තනෝමති යන සතර වේ. එහි ආචරියවාද යන්න සලකාබැලිය යුතු ආකාරය පූර්වාපර සම්බන්ධය සමඟ පසුගිය ලිපියෙන් පැහැදිලි කරන ලදී. ඒ අනුව යම් විනයධරයකු විසින් විනිශ්චයක් දීමේ දී මෙම සිව් විනිශ්චයන් සලකා බැලියයුතු වේ. තවදුරටත් යම් ධර්මවිනය සාකච්ඡාවකදී කෙසේ විනිශ්චය තෝරාබේරා ගතයුතු ද යන්න අර්ථකථාවේ පැහැදිලි කෙරේ. සුත්ත, සුත්තානුලෝම, ආචරියවාද, අත්තනෝමති යනුවෙන් සිව් වැදෑරුම් විනිශ්චයක් දැක්වීමේ දී ඒ එකිනෙකෙහි බලවත් භාවය අනුව පෙළගස්වා සූත්‍රය සියල්ලටම බලවත් යැයි පැවසීමත්, ආචරියවාද ආදී සියල්ල සූත්‍රයට බහාලා සමවන්නේ නම් පමණක් ගතයුතු බවත් එහි පැවසේ. මෙම ස්ථානයේ දී ඇතමෙක් නගන චෝදනාව වන්නේ අර්ථකථාව බුදුරජාණන් වහන්සේගේ ප්‍රකීර්ණක ධර්මදේශනය වන්නේ නම් එය යළිත් සූත්‍රයට බහාලිය යුතු බව පවසන්නේ ඇයි ද? යන්නයි. එයින් අර්ථකථාව බුද්ධදේශනයක් නොවන බව හැඟවේ ද? නැත්තේමය. ඒ පිළිබඳ නිරාකූල අවබෝධය පිණිස අර්ථකථා සම්පාදනය වූ ආකාරය පිළිබඳ දැනුම වැදගත් වේ.

බුදුරජාණන් වහන්සේගේ මූලික පෙළ දේශනය අර්ථකථාවෙන් වෙන්කොට සංගායනා කරන ලද්දේ ප්‍රථම සංගායනාවේ දී බව ඉහත ලිපි වලදී සකාරණව දැක්වීමු. ඒ අනුව පෙළෙන් වෙන් කොට තැබූ අර්ථකථාව සමස්ථ ත්‍රිපිටකයටම පොදු අර්ථ විග්‍රහයක් ලෙස පවත්වාගෙන ආ බව පිළිගැනීමට කරුණු තිබේ. එහෙත් පෙළ දේශනය දීඝභාණක ආදී භාණක පරම්පරා වශයෙන් දරාගෙන පැමිණෙන ලදී. එසේ පෙළ දේශනය කටපාඩමින් දරාගෙන පැමිණීමට දීඝභාණක ආදී පරම්පරා වලට භාර කළ නමුදු අර්ථකථාව විශේෂ පිරිසකට භාර නොකරන ලද්දේ එය සමස්ථ ත්‍රිපිටකයටම පොදු අර්ථ විග්‍රහයක් බැවිනි. සූත්‍රයේ අර්ථය ගැනීමට අභිධර්මයේ එන අර්ථකථන වැදගත් වේ. අභිධර්මයේ අර්ථ ගැනීමට සූත්‍රයේ අර්ථකථන වැදගත් වේ. එසේම විනයේ අර්ථ ගැනීමට සූත්‍ර අභිධර්ම පිළිබඳ දැනුම අත්‍යවශ්‍ය වේ. එබැවින් දීඝභාණක ආදී සෑම භාණක පරම්පරාවක් ම මෙම අර්ථකථාව දරාගත්හ. එහෙත් එය කටපාඩමින්ම දරාගත් බව ඉඳුරාම පැවසිය නොහැකිය. එබැවින් කාලාන්තරයක් ගතවීමේ දී එකිනෙක භාණක පරම්පරාවන්හි අර්ථ විනිශ්චයන් අතර වෙනස්කම් දක්නට ලැබිණි. එහෙයින් බුදුගොස් හිමියෝ අර්ථකථා පරිවර්තනය කිරීමේ දී ද ‘දීඝභාණකයෝ මෙසේ කියත්, මජ්ඣිමභාණකයෝ මෙසේ කියත්’ යනාදි ලෙස ඒ වෙනස් මතවාදයන් වෙන වෙනම දැක්වූහ. ඒ අනුව අදූරදර්ශී වූ පොල්වත්තේ බුද්ධදත්ත හිමියෝ අටුවාවන්හි නොයෙක් මතවාද ඇති බවත් සිදු වූ ආකාරය තත්වූ පරිද්දෙන් නොදැක වර්තමාන අටුවා ලියා ඇති බවත් දොස් නගති (අටුවා පරීක්ෂණය). එහෙත් ‘ආනන්ද මහරහතන් වහන්සේ සංගායනාවට පැමිණි ආකාරය’ වැනි නිවන් අවබෝධයට වැදගත් කමක් නොමැති දේ පිළිබඳ දීඝභාණක ආදීන්ගේ වෙනස් මතවාද ඇති බව නොදක්වා ඒ පිළිබඳ නිහඩ වූ බව සැලකිය යුතු. නිවන් අවබෝධයට වැදගත් වන පරමාර්ථ ධර්ම පිළිබඳ වන පැහැදිලි කිරීම් කිසිවක දී සැකයක් ඉතිරි නොකිරීමට බුද්ධඝෝෂාචාර්යපාදයෝ උත්සුක වූහ.

මෙසේ පෙළ දේශනයෙන් වෙන්ව තබන ලද අර්ථකථාව කටපාඩමින් දරාගෙන නොපැමිණි බැවින් එකිනෙක අර්ථකථා අතර ප්‍රමාද දෝෂ වශයෙන් ඇති වූ වෙනස්කම් පැවතිය හැකි බැවින් එසේ වෙනස් වීමකට ඉඩකඩ නොමැති කටපාඩමින් දරාගෙන පැමිණි පෙළ දේශනය හෙවත් සූත්‍රය බලවත්ම දෙය ලෙස ඉදිරියෙන් තැබීම අර්ථකථාවේ දී සිදු විය. එබැවින් ‘ආචරියවාදො සුත්තෙ ඔතාරෙතබ්බො (සපා. 162පි)’ යැයි පැවසූහ. අර්ථකථාවේ අර්ථ දුරවබෝධස්ථාන විවරණය කළ ටීකාවන්හි මෙය පැහැදිලිව දක්වන ලදී. ඒ අනුව දීඝනිකාය ටීකාවෙහි “පමාදපාඨවසෙන ආචරියවාදස්‌ස කදාචි පාළියා අසංසන්‌දනාපි සියා, සො න ගහෙතබ්‌බොති දස්‌සෙන්‌තො ආහ ‘ආචරියවාදොපි සුත්‌තෙන සමෙන්‌තොයෙව ගහෙතබ්‌බො’ති” (ප්‍රමාද පාඨ වශයෙන් ආචරියවාදයාගේ කිසි කලෙක පෙළ සමඟ නොසැසඳීමක් ද විය හැකි බැවින් එය නොගතයුතු යැයි දක්වමින් ‘ආචාර්යවාදය ද සූත්‍රය සමඟ සමවන්නම ගතයුතු’ යැයි කීහ) යනුවෙන් ද විමතිවිනෝදනී විනය ටීකාවේ “පමාදපාඨවසෙන ආචරියවාදස්‌ස සුත්‌තානුලොමෙන අසංසන්‌දනාපි සියාති ආහ ‘ඉතරො න ගහෙතබ්‌බො’ති” (ප්‍රමාද පාඨ වශයෙන් ආචරියවාදයාගේ සුත්තානුලෝමය සමග නොසැසඳීමක් ද වියහැකි යැයි ‘අනෙක නොගතයුතු’ යැයි කීහ) යනුවෙන් ද ඒ බව දැක්වූහ. එබැවින් ආචරියවාදය පෙළ සමඟ සසඳන්නට කීමෙන් සූත්‍රය සූත්‍රය හා සසඳන්නට කීමක් අදහස් නොවේ. එසේ ගැනීම අර්ථ කුසලතාවයේ දුර්වල බවයි. එබැවින් ඔවුහු බුදුරජාණන් වහන්සේට සහ ධර්මයට බැණවදින්නෝ වෙති.

තවද අර්ථකථාවේ එන සව් වැදෑරුම් විනිශ්චය පැහැදිලි කිරීමේ දී සකවාදී පරවාදී දෙදෙනෙකු අතර සිදුවන ධර්මසාකච්ඡාවක දී විනිශ්චය තෝරාගත යුතු ආකාරය දැක්වේ. එහි දී වැදගත් කම දෙන්නේ සකවාදී පාර්ශ්වයට වේ. පරවාදීන් සූත්‍රයක් ඉදිරිපත් කළ ද එය සකවාදීන්ගේ ආචරියවාදය සමඟ නොගැලපෙන්නේ නම් බැහැර කළයුතු බව ‘අථායං ආචරියවාදං ගහෙත්වා කථෙති පරො සුත්තං, සුත්තං ආචරියවාදෙ ඔතාරෙතබ්බං’ (තවද, මේ තෙමේ -සකවාදි- ආචරියවාදය ගෙන කියයි ද, අනෙකා -පරවාදී- සූත්‍රය ගෙන කියයි ද, ඒ සූත්‍රය ආචරියවාදයේ බහාලිය යුතු) යනාදී ලෙස දැක්වේ. ඒ අනුව ථෙරවාදී අර්ථකථනයට මුල්තැනක් දී ඇති බව හෙළි වේ. මේ පිළිබඳ හොඳම නිදසුන දෙවන ධර්මසංගායනාවේ වජ්ජිපුත්‍රක භික්ෂූන්ගේ දස අකැප වස්තු ප්‍රතික්ෂේප කිරීමෙන් හෙළි වේ. අධර්මවාදීන් ‘කප්පති සිඞ්ගිලෝණ කප්ප’ යනාදී ලෙස ඉදිරිපත් කළ අකැප වස්තු බොහොමයක විනිශ්චය අටුවාව මත පදනම් වේ. පෙළ දේශනයෙන් පමණක් ඒ බොහොමයක් නිගමනය කිරීම කළ නොහැකි වේ. එබැවින් මහරහතන් වහන්සේලා අර්ථකථනය මුල් කරගෙන විනිශ්චය කළහ. ඒ සියලු විනිශ්චයන් වර්තමාන අර්ථකථාගත විනිශ්චයන් සමඟ සම්පූර්ණයෙන්ම එකඟ වන බැවින් වර්තමාන අර්ථකථාගත විනිශ්චය දෙවන ධර්මසංගායනා සමයේ පවා පැවති බව ද හෙළි වේ.

මේ අනුව වර්තමානයේ ඇති ථෙරවාදී අර්ථකථාවන්හි ඇත්තේ ද බුදුරජාණන් වහන්සේගේ ප්‍රකීර්ණක ධර්මදේශනා සංඛ්‍යාත අර්ථ විනිශ්චයම වේ. එහෙත් එය පෙළ සමඟ සන්සන්දනය කළ යුත්තේ ඇයි දැ?යි ප්‍රශ්න නොකළ යුතු වේ. එය ප්‍රකට අරුත් ඇති බැවිනි. තවද මෙම සන්සන්දනය ආචාර්ය බුද්ධඝෝෂපාදයෝ සිය අර්ථකථා සංස්කරණයේ දී සිදු කර ඇති බැවින් වර්තමානයේ එබඳු සන්සන්දනයක අවශ්‍යතාවයක් ද නැත. පැරැණ්නන්ගේ මෙම විනිශ්චය ක්‍රමවේදය දක්වා ඒ අනුව විනිශ්චයට එළඹ අර්ථකථාව සංග්‍රහ කරන බව උන්වහන්සේ පාරාජිකා අටුවාවේ පවසති. එබැවින් ත්‍රිපිටකය පිළිබඳ හසල දැනුමක් අවබෝධයක් ඇතිව, ධර්මවිනය ඤාණය පමණක් නොව ව්‍යාකරණ ඤාණයද නොමඳව ඇතිව පැරැණ්නන්ගේ විනිශ්චය ක්‍රමවේදය අනුව යමින් පරවාද බැහැර කර සකවාදය දීපනය කළ වර්තමාන අර්ථකථාව පරිහරණය කරන්නවුන් එහිලා යළිත් සූත්‍ර සංසන්දනය කිරීමට යාම නිෂ්ඵල ක්‍රියාවක් වේ. ඒ සඳහා ප්‍රමාණවත් ත්‍රිපිටක දැනුමක් නොමැතිව සිදු කිරීමෙන් අර්ථ ව්‍යාකූල භාවයට පත්ව තමාගේත් අන් අයගේත් නිවන් ගමනට බාධා ඇතිකරගැනීම පමණක්ම සිදු වේ. එබැවින් අර්ථකථා සහිත ත්‍රිපිටකය ගුරුතනතුරෙහි තබාගෙන සුව ප්‍රතිපදාවෙන් නිවන් සාක්ෂාත් කරගැනීමට සියල්ලන්ටම හැකි වේවා!

විද්‍යාවේදී, ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද,

මහව ඤාණාලෝක හිමි

අටුවා විමර්ශනය 09 – අටුවාවන්හි නොගැලපෙන තැන් ඇති වූයේ කෙසේ ද?

අටුවා විමර්ශනය 07 – අටුවාව බුද්ධ දේශනයක් බව අටුවාවෙහිම පැවසූහ…