තුන් ලොවක් දිනූ සුගත තථාගත නාරද බුදු රජාණන් වහන්සේ වසර අනූදහසක් ආයු වළඳා පිරිනිවුණු පසු එම බුද්ධ සාසනය ද අනූ පස් වසරකට පසු ලොවින් අතුරුදන් වූයේ ය, එපමණක්ම නොව එම කල්පය ද කල්යත්ම විනාශයට පත් වීය. ඒ කල්ප විනාශයත් සමඟින් මුළු මහත් ලෝක ධාතුවටම අඳුරු කාලයක් උදාවීය. මක් නිසාද යත් නාරද බුදුරජාණන් වහන්සේ පහළ වූ කල්පය විනාශ වූ පසු එතැන් පටන් කල්ප අසංඛ්‍යක් ගෙවන තුරු ලෝකයේ කිසිම බුදු කෙනෙකුන් පහළ නොවුණු බැවිනි. බුද්ධශුන්‍ය බව නිසා බුද්ධාලෝකය නොමැතිව මුළු මහත් ලෝකයම මෝහ අන්ධකාරයෙන් වැසී පැවතින. මෝහ අන්ධකාරයෙන් අඳුරුව තිබුණු එම බුද්ධශුන්‍ය කල්ප අසංඛ්‍යය ගෙවුණු තැන් පටන් නැවත ද කල්ප ලක්ෂයක් ගිය පසු මරසෙන් පරදා සසර ගමන නසාලූ සත්වයින් හට අමා ඔසු පෙවූ මහමෙර සේ සාරභාර වූ පදුමුත්තර නම් ලෝක ශිවංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සේක.

ලොව තුළ පවතින සියලු කල්පයන්හිම ලොව්තුරා සම්බුදුවරු පහළ නොවන්නාහ. ලෝකයේ හටගන්නා කල්ප ප්‍රධාන වශයෙන් දෙකොටසකි. එනම් ශුන්‍ය කල්ප හා අශුන්‍ය කල්ප වශයෙනි. ශුන්‍ය කල්ප තුළ සම්මා සම්බුදුවරු, පසේ බුදුවරු, රහත්න්වහන්සේලා හා සක්විති රජවරු පහළ නොවන්නාහ. එසේ එම ගුණවතුන් වහන්සේලාගෙන් ලෝකය හිස් වන නිසා එම කල්පය ශුන්‍ය කල්ප නම් වේ. අශුන්‍ය කල්ප වනාහී පස් වැදෑරුම්ය. එනම් සාර කල්ප, මණ්ඩ කල්ප, වර කල්ප, සාර මණ්ඩ කල්ප හා භද්‍ර කල්ප වශයෙනී. සාර කල්පයක් තුළ ගුණ ශුන්‍ය, ගුණ අසාර භාවයෙන් මිදී ගුණ සාර උපදවන, ගුණ සාර දනවන එක් සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් පහළ වනසේක, එම නිසා එම කල්පය සාර කල්පය නම් වේ. ලොව්තුරා සම්බුදුවරු දෙනමක් පහළ වන යම් කල්පයක් වේද එය මණ්ඩ කල්පය නම් වේ. බුදුවරු තෙනමක් පහළ වන කල්පයේ පළමුව පහළ වන බුදුරජාණන්වහන්සේ දෙවනුව පහළ වන බුදු රජාණන්වහන්සේ ගැනද දෙවනුව පහළ වන බුදු රදුන් තෙවන බුදුන් ගැනද දේශනා කරයි. එය අසන මිනිසුන් ප්‍රමුදිත හදවතින් යුතුව කළ ප්‍රාර්ථනාවන් හට වාරයක් ලැබෙන නිසා එම කල්පය වර කල්පය වන්නේය. බුදුවරු සතර නමක් පහළ වන කල්ප අනෙක් කල්ප වලට වඩා විශිෂ්ඨතර නිසා එය සාර මණ්ඩ කල්පය නමින් හැඳින්වේ. බුදුවරු පස් නමක් පහළ වන කල්ප භද්‍ර කල්පය වේ, එවැනි කල්ප ලෝකයේ ඉතාම දුර්ලභය. එකල උපදින බොහෝ ත්‍රිහේතුක සත්ත්වයෝ කෙළෙස් නැසීමෙන් නිවන්පුර පැමිණෙන්නාහ. ද්විහේතුක සත්ත්වයෝ සුගතිගාමී වන්නාහ. අහේතුකයෝ හේතු ලබන්නාහ. එම නිසා එකල වාසය කරන බොහෝ සත්වයෝ කල්‍යාණ සැප බහුලව වාසය කරන්නාහ. මෙලෙස එම කල්පය තුළ පවතින භද්‍ර බව නිසා. ඒ කල්පය භද්‍ර කල්පය නම් වේ, පුදුමුත්තර සර්වඥයන්   වහන්සේ පහළ වූයේ සාර කල්පයක වුවද මණ්ඩ කල්පයක් තුළ හා සමාන ගුණ සම්පත්තීන් ඇති නිසා ඒ කල්පය මණ්ඩ කල්පයක් යැයිද කියනු ලැබේ.

පදුමුත්තර බුදුරජාණන් වහන්සේ බොහෝ කලක් පෙරුම්දම් සපුරා තුසිත දෙව් ලොව ඉපිද එයින් නික්මී හංසවතී නුවර සියලු ජනයා සතුටු කරවන ආනන්ද රජුගේ අග මෙහෙසිය වූ උත්තම කුලයේ උපන් සුජාතා නම් මව් දේවියගේ කුසෙහි පිළිසිඳ ගත්හ. ඕ තුමූ ද සියලු දේවතා රැකවරණය මැද දස මසක් ගෙවුණු පසු හංසවතී උයනේදී පදුමුත්තර කුමරු බිහිකළාය.

බෝසත් කුමරු පිළිසිඳගත් මොහොතේ හා උපන් මොහොතේ මහා ආශ්චර්‍යයක් සිදුවිය. හංසවතී උයනේදී මෙලොවට බිහිවූ ඇසිල්ලේ අහසින් නෙළුම් මල් වැස්සක් වැස්සේය. එම නිසා නම් තබන දවසේ ඥාතීන් විසින් ‘පදුමුත්තර’ යැයි නම් තැබූවේය. මෙම පදුමුත්තර කුමරු නිසි වයසට පැමිණ වාසුදත්තා කුමරිය සරණ පාවාගෙන ඇය ප්‍රධානව ස්ත්‍රීන් එක්ලක්ෂ විසිදහසක් දෙනා පිරිවරාගෙන නරවාහන, යසවාහන හා වසවර්තී යන තුන් ඍතුවට යෝග්‍ය මාලිගා තුනෙහි සැප සම්පත් විඳිමින් වසර දස දහසක් කල් යැවූහ. වාසු දත්තා දේවිය සියලු ගුණයන්ගෙන් උතුම් වූ උත්තර කුමරු වැදූ දා සතර පෙර නිමිති දැක සසර කළකිරී බෝධිසත්ත්වයාණෝ ගිහි ගෙය හැර යන්නට සිතූහ. එසේ සිතූ ඇසිල්ලෙහිම වසවර්තී නම් මහා ප්‍රාසාදය කුඹල් සකක් සේ අහසට පැන නැගී දේව විමානයක් මෙන්ද, පූර්ණ චන්ද්‍රයා මෙන්ද අහසින්ම ගමන්කොට (සෝභිත බුද්ධ වංශ වර්ණනාවේ කියූ අයුරින්) එම මාලිගය බෝධිය මැදි කොට පොළොවෙහි පිහිටියේය. පදුමුත්තර බෝධිසත්වයන් වහන්සේ වෙසක් පුර පසළොස්වක පොහෝ දා එම මාළිගයෙන් බැස උදේනී නම් නියම් ගමෙහි රුචිනන්දා සිටුදුව පිදූ මී පැණි මිශ්‍ර කිරිබත වළඳා සල් වනයේ දිවා විහරණයකර සවස් යාමේදී සුමිත්ත ආජීවකයා පූජාකළ තණ මිටි අට ගෙන ගොස් සලළ බෝධිය පැදකුණු කොට තිස් අටරියනක් භූමියේ ඒ තණමිටි අතුරා පෙර දිගට මුහුණ ලා ඒ මත පළඟක් බැඳ වැඩ හිඳ චතුරංග සමන්වාගත වීර්‍ය අදිෂ්ඨානකර මාර සේනාව පරදවා රාත්‍රී පළමු යාමයේ පුබ්බේනිවාසානුස්සති ඤාණයත් දෙවන යාමයේ දිබ්බචක්ඛු ඤාණයත් තෙවන යාමයේ පටිච්චසමුප්පාදය සම්මර්ශණය කර ආනාපානසති චතුර්ථ ධ්‍යානයෙන් නැගී සිට පඤ්චස්කන්ධයෙහි උදය-වැය සම්මර්ශනය කර ගෝත්‍රභූඤාණය  උපදවා ආර්ය මාර්ගයෙන් සියලු බුදු ගුණ ප්‍රතිවේධ කොට සියලු බුදුවරුන්ගෙන් අවිච්ඡින්නව පැවතෙන “අනේක ජාති සංසාරං -පෙ- තණ්හානං ඛය මජ්ඣගාතී” යැයි ප්‍රීති වාක්‍යය දේශනා කළ සේක. එවිට සියලු සක්වලගල අලංකාර කරන්නක් සේ නෙළුම්මල් වැස්සක් වැස්සේ ය.

පදුමුත්තර බුදු රජාණන්වහන්සේ සත් සතියක් බෝමැඩ කල් යවා පොළවෙහි පා තබමියි දකුණු ශ්‍රී පාදය භූමියට දිගුකළ සේක. එකෙන්හිම පොළොව පලාගෙන විමල නිර්මල කෝමල කේශර කෙමි  ඇති මනා සේ හටගත් දිය ගොඩෙහි පිපෙනා නෙළුම් මල් පැන නැංගා හ. ඒ පියුම් වල ප්‍රධාන ප්‍රධාන පෙති අනූ රියනක් පමණ වේ. කේසරු තිස් රියනක් පමණය. කර්ණිකාව දස රියනකි. එක් එක් මලෙහි නව කළයක් පමණ රේණු විය. පියමතුරා
බුදුරජාණන් වහන්සේ රියන් පනස් අටක් උසය. දෙබාහු අතර රියන් දහ අටක්ද, නළල පස් රියනක්ද, අත්-පා එකොළොස් රියනක්ද වූ සේක. භාග්‍යවතුන් වහන්සේගේ එකොළොස් රියනක් වූ ශ්‍රී පාදයේ දස රියනක් වූ පියුම් කර්ණිකාව මඩිනවාත් සමඟින් නව කලයක් තරම් රේණු පනස් අට රියනක් වූ බුදු සිරුර වෙතට වැටී රත් සිරියල් කුඩු මෙන් වී වැටුණු හෙයින් ‘පදුමුත්තර’ නමින් ප්‍රකට වූවාහු යැයි සංයුක්ත භාණකයන් කියන්නාහ. සියලු කෙළෙස් නසා තුන් ලොව දිනා ලොව්තුරා සම්බුද්ධත්වයට පත් පියමතුරා බුදුරජාණන් වහන්සේට ධර්ම දේශනා කරනු පිණිස බ්‍රහ්මයාගේ ආරාධනාව පිළිගෙන කවරෙකුහට මුලින්ම ධර්ම දේශනා කරන්නේද, කවරෙකුහට ධර්මය අවබෝධ කිරීමට උපනිශ්‍රය සම්පත්තිය ඇත්තේ දැයි ලොව විමසා බලනුයේ මිථිලා නුවර දේවල, සුජාත යන රජ කුමරුවන් දෙදෙනා දැක එකෙනෙහිම ගගන තලයෙන් වැඩම කර මිථිල උයනට බැස උයන්පල්ලා ලවා කුමාරවරු කැඳවූහ. ඒ පුවත ඇසූ ඒ කුමාරවරුන් ද අපගේ නැන්දනියගේ පුත් වූ පදුමුත්තර කුමරු පැවිදිව සව්කෙළෙසුන් නසා සම්බුද්ධත්වයට පත්ව අපගේ නගරයට වැඩම කර ඇතැයි සතුටුව බුදුන් දකින්නට සපරිවරින් පැමිණ බුදුන් පිරිවරා හිඳගත්හ. භාග්‍යවතුන් වහන්සේද තාරකා සමූහය පිරිවරාගත් පූර්ණ චන්ද්‍රයා මෙන් ඔවුන් පිරිවරන ලදුයේ ඔවුනට දම්සක් දෙසූ සේක. එවිට කෝටි ලක්ෂයක් දෙනා ධර්මය අවබෝධ කළහ. මේ පළමු ධර්මාභිසමය වූයේය. එක් කලෙක සරද තාපස තුමන්ගේ අතවැසි වූ තිස්හත් ලක්ෂයක් ශ්‍රාවකයන් හට නිරයේ බිය පෙන්වා දෙමින් ධර්මය දේශනා කර මාර්ග ඵලයන්හී පිහිට වූහ. මේ දෙවන ධර්මාභිසමය වූයේය. එකල්හිම ආනන්ද රජු විසි දහසක් පුරුෂයන් ද විසිදහසක් ඇමතියන් ද පිරිවරාගෙන මිථිලා නගරයට පැමිණ භාග්‍යවතුන් වහන්සේ පිරිවරා ගත්හ. එවිට භාග්‍යවතුන් වහන්සේ ඔවුන් ඒහිභික්ෂු භාවයෙන් පැවිදි කරවා එම භික්ෂූ සංඝයා පිරිවරාගෙන ගොස් පිය රජතුමන් හට සංග්‍රහ කරනු කැමතිව හංසවතී රාජධානියට වැඩම කර එහි වැඩ හිඳින සේක. කපිල වස්තු පුරයේ අපගේ බුදුරජාණන් වහන්සේ මෙන් අහසේ සක්මන් කරමින් බුද්ධවංශ ධර්මය දේශනා කළ සේක. එවිට පනස් ලක්ෂයක් දෙනා හට ධර්මය අවබෝධ වූහ. මේ තෙවන ධර්මාභිසමය විය. පියමතුරා බුදුරජාණන් වහන්සේ මියලු උයනේදී කෝටි ලක්ෂයක් සංඝඝණයා පිරිවරාගෙන නවම් මස පූර්ණ චන්ද්‍රයා සේ මුහුණින් යුතුව ප්‍රාතිමෝක්ෂය දේශනා කළ සේක. මෙය පළමු ශ්‍රාවක සන්නිපාතය වූයේ ය. එක් කලෙකදී භාග්‍යවතුන් වහන්සේ වේභාර පර්වත කූටයේදී වස් විසූ සේක. එකල පර්වතය බැලීමට පැමිණි මහා ජනයා හට දම් දෙසා ඒ පිරිස ඒහිභික්ෂු භාවයෙන් පැවිදි කරවා. එම කෝටි අනූ දහසක් වූ සංඝයා මධ්‍යයෙහිද භාග්‍යවතුන් වහන්සේ පාමොක් දෙසූ සේක. මෙය දෙවන ශ්‍රාවක සන්නිපාතය වීය.

තවද තිලෝකනාථ වූ බුදු රජාණන් වහන්සේ ලෝක සත්වයා සංසාර බන්ධනයෙන් මුදවමින් මහජනයාට දම් දෙසමින් චාරිකාවේ හැසිරෙනුයේ භික්ෂූහු කෝටි අසූ දහසක් දෙනා රැස්වුනාහ. මේ තෙවන ශ්‍රාවක සන්නිපාතය වීය. එකල අපගේ බෝධිසත්වයන් වහන්සේ කෝටි සංඛ්‍යාත බොහෝ ධනය ඇති ජටික නම් මහ රුටියා (ප්‍රාදේශීය පාලකයකු) වී හුන්නේය. හෙතෙම දිනක් පියමතුරා බුදුන් ප්‍රධාන මහා සංඝ රත්නය උදෙසා සිවුරු සහිතව උතුම් වූ මහා දානයක් පිදුවේය. දන් වළඳා අවසානයේදී බුදු රජණාන්වහන්සේ අනාගතය බලා වදාරනුයේ මේ ජටික ලොව්තුරා බුදුවෙන බව දැන.

‘‘සොපි මං බුද්‌ධො බ්‍යාකාසි, සඞ්‌ඝමජ්‌ඣෙ නිසීදිය
සතසහස්‌සෙ ඉතො කප්‌පෙ, අයං බුද්‌ධො භවිස්‌සති

යනුවෙන් භුක්තානුමෝදනා ධර්ම දේශනය පවත්වන විට මේ මහා පුරුෂයා ලොව්තුරා සම්බුදු පදවිය ලබන්නේය
යැයි විවරණ දී වදාළ සේක. පියමතුරා බුදුන් පහළ වූ සමයේ කිසිම තීර්ථකයෙකු හෝ තීර්ථක ආගමක් හෝ ලොව නොවීය. සියලු දෙව් මිනිසුන් තුනුරුවන් සරණ ගියාහුම වූහ. අනන්ත අපරිමාණ කාලයක් පාරමී පුරා අවසාන ආත්ම භාවයේදී හංසවතී නුවර රජකළ ආනන්ද නම් පිය රජු නිසා මව්තුමිය වූ සුජාතා දේවියගේ කුසෙහි පිළිසිඳගෙන හංසවතී උයනේදී නෙළුම් මල් වස්සවමින් මෙළොවට බිහි වී කල් යත්ම වාසුදත්තා දේවිය සරණ පාවාගෙන නර වාහන, යස වාහන, වසවර්තී යන තුන් ඍතුවට යෝග්‍ය සේ සෑදූ මාළිගා තුනෙහි එක්ලක්ෂ විසිදහසක් ස්ත්‍රීන් පිරිවරාගෙන වසර දස දහසක් කල් ගෙවූහ. වාසුදත්තා දේවිය උත්තර නම් වූ තම පුත් කුමරා වැදු දා වසවර්තී නම් මාලිගාවෙන්ම අභිනික්මන් කර සලළ බෝධිය මැදිකර එම මාළිගය බිම පිහිටි පසු එයින් බැස රුචිනන්දා නම් සිටු දුව පිදූ මී පැණි මිශ්‍ර කිරිපිඬු වළඳා සුමිත්ත ආජිවකයා දුන් තණමිටි අට ගෙනගොස් සලළ බෝධි මූලයේ අතුරා වැඩ හිදිමින් සව්කෙළෙස් නසා ලොව්තුරා සම්බුද්ධතවයට පත්ව දම්සක් දෙසා දේවල- සුජාත යන අගසව් දෙනමත්, සුමන නම් උපස්ථායක ථේර නමත් පිරිවරා අමිතා, අසමා නම් අග්‍ර ශාවිකාවන් දෙනමක්ද ඇතිව අට පනස්රියනක් උස ඇති හාත්පස දොළොස් යොදුනක් දුරට සවනක් ඝණ බුද්ධරෂ්මිධාරා විහිදෙන බුදු සිරුරක් ඇතිව වසර ලක්ෂයක් ආයු වළඳමින් අනන්ත සත්ත්ව ප්‍රජාවකට අමාඔසු පොවමින් සංසාර රෝගය සුවකරමින් නිවන්පුර පමුණුවා සියලු බුදු කිස නිමවා පරම අභිරමණීය වූ නන්දාරාමයෙහි පිරිනිවුණු සේක. සියලු දඹදිව වැසි ජනයා එකතු වී නොවිසිරී ඒකඝනව පැවති සර්වඥ ධාතූන් තැන්පත්කර දොළොස් යොදුනක් උස සත් රුවන්මය මහා සෑයක් කරවූහ.

සුඛෝ බුද්ධානං උප්පාදෝ.”

(මධුරත්ථ විලාසිනී නම් වූ බුද්ධ වංශ අට්ඨකථාව ඇසුරෙන්)
සම්පාදක :- පූජ්‍ය පුවක්පිටියේ සුමංගල රතන හිමි)