අර්ථකථාව යනු කුමක් ද? යන්න පිළිබඳව සහ එය බුද්ධ දේශනයක් වන්නේ කෙසේ ද? යන්න පිළිබඳව ද, වර්තමානයේ ඇති අටුවාව පිළිගත යුත්තේ කවර හෙයකින්ද යන්න ද ඉහත ලිපි වලින් අනාවරණය කළෙමු. එසේ පැවතිය දී වර්තමානයේ ඇති අටුවාවන්හි ඇති නොයෙක් දොස් ගෙනහැර දක්වමින් අර්ථකථාව බුද්ධ දේශනයනක් නොවන බව පුන පුනා පැවසීමට අධර්මවාදීහු උත්සාහ ගනිති. ඒ අතර අටුවාවන්හි නොයෙක් නොගැලපෙන තැන් ඉදිරිපත් කරමින් ඒ නිසාවෙන්ම අටුවාව ප්‍රකීර්ණක දේශනාව විය නොහැකි බව දැඩි සේ පැවසුවෝ පොල්වත්තේ බුද්ධදත්ත හිමියෝ ය. උන්වහන්සේ සිය අටුවා පරීක්ෂණය ග්‍රන්ථයේ ඒ පිළිබඳ බොහෝ විස්තර ඉදිරිපත් කරමින් අටුවාව බුද්ධදේශනය නොවන බව පවසති. එසේ පැවසෙන අටුවාවන්හි පැනෙන නොයෙක් පරස්පර තැන් පිළිබඳ අවධානය යොමු කිරීම ධර්ම පිළිබඳ විමසන සුළු කා හටත් වැදගත් වේ. එහෙයින් වර්තමාන අටුවා ග්‍රන්ථයන්හි පරස්පර තැන් ඇති වූයේ කවර හේතුවෙන් ද යන්න විමසා බැලීම මෙම ලිපියෙන් අදහස් කරමු.

බුදුරජාණන් වහන්සේ විසින් දේශිත පෙළ දහම සහ එහි අර්ථ විවරණය පවත්වාගෙන පැමිණියේ සාරිපුත්‍ර, මොග්ගල්ලායන, මහාකාශ්‍යප, ආනන්ද ආදී ශ්‍රාවකයන් වහන්සේ විසිනි. එසේ පවත්වාගෙන පැමිණි පෙළ අර්ථකථා සහිත ත්‍රිපිටකය පළමු, දෙවන, තෙවන සංගායනාවන්ට බඳුන් විය. එසේම ඒ අතරින් පෙළ දහම දීඝභාණක, මජ්ඣිමභාණක ආදී භාණක පරම්පරා විසින් කටපාඩමින් දරාගෙන පවත්වාගෙන පැමිණි බැව් කවුරුත් පාහේ දන්නා කරුණකි. එහෙත් අර්ථකථාව පවත්වාගෙන ආ භාණක පරපුරක් විශේෂයෙන් සඳහන් නොවන්නේ ඒ ඒ භාණකයන් වහන්සේ විසින් තමන් විසින් කටපාඩමින් දරාගෙන පැමිණි ධර්මයට අර්ථ විනිශ්චය ද දරාගත් බැවිනි. එහෙත් පෙළ දහම කටපාඩමින් දරාගෙන පැමිණි අතර අටුවාව අර්ථ විනිශ්චය වශයෙන් දරාගෙන පැමිණියහ. වරින් වර සජ්ඣායනා කිරීම මගින් පෙළ දහම පවත්වාගෙන පැමිණීමේ දී එකිනෙකා අතර වෙනස්කම් සිදු වීම ඉතාම අල්ප වේ. එබැවින් වර්තමානයේ ඇති පෙළ දහම පොත් පත් අතර වෙනස්කම් ඇත්තේ ඉතාම අල්ප වශයෙනි.

ඒ ඒ භාණක පරපුර විසින් තමන්ට අදාළ අටුවාව පමණක් විනිශ්චය වශයෙන් දරාගෙන පැමිණි අතර ඒ සියලු දෙනා විසින් දරාගත් මූලික පරමාර්ථ ධර්ම පිළිබඳ විග්‍රහයන් අතර කිසිදු වෙනසක් ඇති නොවේ. එහෙත් නිවන් අවබෝධයට උපකාරී නොවන ඇතැම් සංඛ්‍යාත්මක කරුණු, පාරිසරික තොරතුරු ආදියෙහි වෙනසක් ඇති වීම පොත්පත් නොතිබුණු එසමයෙහි අරුමයක් නොවේ. අටුවාවන්හි නොගැලපෙන තැන් ඇති බව පවසමින් බුද්ධදත්ත හිමියන් ඇතුළු බොහෝ දෙනෙක් ඉදිරිපත් කරන්නේ මෙවන් නොවැදගත් කරුණුම වීම ආශ්චර්යයකි. කිසිදු අටුවා දෙකක් අතර පරමාර්ථ ධර්මයන්හි අර්ථවිග්‍රහයන් වෙනස් නොවේමය. එසේ වෙනසක් දකින්නෝ අල්පශ්‍රැත භාවය නිසා ධර්මය විවරණය කරගැනීමට නොහැකි වන්නෝමය.

බුද්ධදත්ත හිමිපාණෝ සිය අටුවාපරීක්ෂණය කෘතියෙහි ආරම්භයේ පටන්ම ඉදිරිපත් කරන අටුවාවන්හි නොගැලපෙන තැන් කිහිපයක් ධර්මානුකූල විවරණය කිරීම කාලෝචිත වේ. ඒ අතර උන්වහන්සේ ඉදිරිපත් කරන එක් කරුණක් වන්නේ බෝසතුන් වහන්සේගේ අංග ලක්ෂණ පරික්ෂා කළ බමුණන් පිළිබඳ සංඛ්‍යාත්මක දෝෂයයි (අටුවාපරීක්ෂණය, 03, 04 පිටු). බෝසතුන් ඒකාන්තයෙන්ම බුදුවන බව බමුණන් පස්දෙනෙකු පැවසූ බව එක් අටුවාවක සඳහන් වන අතර තවත් අටුවාවක කොණ්ඩඤ්ඤ බමුණා පමණක් පැවසූ බව සඳහන් වීම ඒ ඒ භාණක පරම්පරා විසින් පවත්වාගෙන පැමිණීමේ දී සිදු වූ ප්‍රමාද දෝෂයක් වියයුතු. එවැනි ප්‍රමාද දෝෂයක් ඒ ඒ භාණක පරම්පරා අතර සිදුවිය හැකි අතර එහි නිර්වාණාධිගමයට ඇති බාධාවක් නැත. එසේ නම් මෙම මජ්ඣිම නිකාය අටුවාව සහ අංගුත්තර අටුවාවන් දෙකම සංස්කරණය කළ බුදුගොස් ඇදුරුපාණෝ මෙම වෙනස නොදැක්කෝ ද? දැක්කාහු මය. එසේ නම් ඒවා නිවැරදි නොකළේ කවර හෙයකින් ද? එය උන්වහන්සේලාගේ ධර්මගරුත්වය හෙළිවන මනා නිදසුනකි. මන්ද එබඳු කරුණු නිවැරදි කිරීමට යළි බුදුවරයෙක්ම පහළ විය යුතුය. එය පරමාර්ථ ධර්ම පිළිබඳ නුවණින් විමසා නිවැරදි කළ නොහැකිය. එබැවින් එහිලා තම අත්තනොමතියක් හෝ නොදක්වා තමන් ඇසූ අයුරින්ම දැක්වූහ. එයින් තම සත්කාර්යයෙන් අල්පමාත්‍ර වූ හෝ ධර්මය වෙනස් කිරීමක් සිදු නොවූ බවට සහතික වූහ. එහෙත් ශාසනික වශයෙන් බලපානු ලබන සම්මුතිපරමාර්ථ භේදයක් පිළිබඳ යම් නොගැලපීමක් වූයේ නම් ඒ සියල්ල ධර්මවිනය අනුව ගලපා සියලුතැන් නිවැරදි කළබව උන්වහන්සේම ‘තස්‌මා හි යං අට්‌ඨකථාසු වුත්‌තං තං වජ්‌ජයිත්‌වාන පමාදලෙඛං’ යැයි පැවසූහ. ඒ පිළිබඳ අපගේ පස්වන (5) ලිපියෙන් කරුණු ගෙනහැර දැක්වීමු.

මේ පිළිබඳ ත්‍රිපිටකයෙහි කුශාග්‍ර බුද්ධිමත් ටීකාචාර්යයන් වහන්සේලා ද මෙසේ පැවසූහ. “තං තං භාණකානං මතෙන අට්‌ඨකථාසුපි වචනභෙදො හොතීති ගහෙතබ්‌බං = ඒ ඒ භාණකවරුන්ගේ මතය හේතුවෙන් අර්ථකථාවන්හි ද වචනභේදය වේ යැයි ගතයුතු” යැයි දීඝනිකාය ටීකාචාර්යයන් වහන්සේ පැවසූහ. “තං සබ්‌බං අඤ්‌ඤමඤ්‌ඤවිරුද්‌ධම්‌පි තංතංභාණකානං මතෙන ලිඛිතසීහළට්‌ඨකථාසු ආගතනයමෙව ගහෙත්‌වා ආචරියෙන ලිඛිතං ඊදිසෙ කථාවිරොධෙ සාසනපරිහානියා අභාවතො, සොධනුපායාභාවා ච. පරමත්‌ථවිරොධො එව හි සුත්‌තාදිනයෙන සොධනීයො, න කථාමග්‌ගවිරොධොති.” යැයි විමතිවිනෝදනී ටීකාචාර්යයන් වහන්සේ තවදුරටත් විස්තර වශයෙන් පැවසූහ. එනම්, ‘(යම් අටුවා දෙකක් අතර නොගැළපීමක් වේ නම්) ඒ එකිනෙක නොගැළපෙන සියල්ල ඒ ඒ භාණකයන්ගේ මතය ඇසුරෙන් ලියන ලද සීහළ අට්ඨකළාවන්හි ආවා වූ ක්‍රමයෙන් ම ගෙන ආචාර්යයන් වහන්සේ (බුදුගොස් ඇදුරුපාණන්) විසින් ලියන ලදී. මෙබඳු කථා විරුද්ධතාවකින් ශාසන පරිහානියක් නොවන බැවින් මෙන්ම නිවැරදි කිරීමේ ක්‍රමයක් ද නොමැති බැවිනි. යම් පරමාර්ථ ධර්මයන් අතර විරුද්ධත්වයක් වේ නම් ඒ පමණක් ම සුත්ත, සුත්තානුලෝම, ආචරියවාද, අත්තනොමති යන චතුර්විධ විනිශ්චය ක්‍රමය ඇසුරෙන් නිවැරදි කළහැකි වේ. කථාමාර්ගයන්හි එන නොගැළපෙන තැන් නිවැරදි කළ නොහැකි වේ’ යනුවෙනි. එබැවින් බමුණන්ගේ ගණන වැනි නොවැදගත් දෙයක් ඒ ඒ භාණකපරපුර විසින් දරාගෙන පැමිණි අයුරින්ම ලියනවා විනා ධර්මයේ චිරස්තිථිය අපේක්ෂා කරන්නවුන් කුමක් කරම්ද?

බුද්ධදත්ත හිමියන් දක්වන තවත් කරුණක් වන්නේ භාග්‍යවතුන් වහන්සේට ශීතල, උෂ්ණය දැනීම පිළිබඳ අටුවා දෙකක දෙපරිද්දකින් සඳහන් වීමයි. එහිලා පැවසිය යුතු වන්නේ බුදුරජාණන් වහන්සේ විසින්ම ධර්මවිනය විනිශ්චයක් දෙන්නකු සතු විය යුතු පූර්වාපර කුශලතාවය බුද්ධදත්ත හිමියන්ට නැති බවයි. දික්සඟි අටුවාවෙහි විවරණය කෙරෙන්නේ එකී අවස්ථාවේ සිදු වූ තත්වයක් පිළිබඳව වේ. එනම් ආනන්ද මාහිමියන් වහන්සේ වත්ත ශීර්ෂයෙන් බුදුරජාණන් වහන්සේට පවන් සලමින් සිටිය අතර එම අවස්ථාවේ උන්වහන්සේට පවන් සැලීමේ කාරණයක් නොවූ බව දැක්වීමට ‘භගවතො පන සීතං වා උණ්හං වා නත්ථි’ යැයි පැවසූහ. අංගුත්තර නිකායේ වස්සකාර සූත්‍ර අටුවාවේ මෙම සිදුවීම විස්තර කරන තැන ද මෙසේම පවතින බැවින් බුදුගොස් ඇදුරුතුමන්ට වැරදුණු බවක් සිතීම මුළාවකි. එහෙත් ඉන්ද්‍රිය සංයුත්තයේ බුදුරජාණන් වහන්සේ පූර්වාරාමයේ අව්ව තපිමින් සිටි බවක් දැක්වෙන ජරාධම්ම සූත්‍ර අටුව්වේ ‘සම්‌මාසම්‌බුද්‌ධස්‌සපි උපාදින්‌නකසරීරෙ උණ්‌හකාලෙ උණ්‌හං හොති, සීතකාලෙ සීතං, අයඤ්‌ච හිමපාතසීතසමයො.’ යැයි සර්වඥ ශරීරයටත් ශීතෝෂ්ණ ඇතිවන බව කිය වේ. එය ද අදාළ අවස්ථාව පිළිබඳ කරන විවරණයක්ම වන අතර එය දික්සඟි අටුවාව හා ගැළපීම කළ නොහැක්කක් වේ. විනයපිටකයේ ද බුදුරජාණන් වහන්සේ ශීතල සමයේ එළිමහනේ රාත්‍රිය ගත කළ අතර බුදුරජාණන් වහන්සේට ශීතල දැණුනු බව සඳහන් වේ. එබැවින් යම් අවස්ථාවක් පමණක් විස්තර කළ දික්සඟි අටුවා විග්‍රහය ගෙන අටුවාචාරීන්ට වැරදුණු බව පවසන බුද්ධදත්ත හිමියන්ගේ ප්‍රකාශය පදනම් විරහිත වේ.

තවත් මෙබඳු කරුණු ඉදිරිපත් කිරීම් ඇති අතර ලිපිය දීර්ඝ වන බැවින් ඒ පිළිබඳ කරුණු නොදක්වමු. එබැවින් බුද්ධදත්ත හිමියන් ඇතුළු බොහෝ දෙනා අටුවාවන්හි පසුකාලීනව ඇති වූ නොයෙක් නොගැලපීම් ඉදිරිපත් කරමින් අටුවාව බුද්ධභාෂිතයක් නොවේ යැයි ප්‍රතික්ෂේප කිරීම නුවණැතියන් විසින් විමසිය යුත්තක් වේ. මන්ද සංඛ්‍යාත්මක දෝෂ, ලිපි දෝෂ ආදිය කවුරු අතිනුදු සිදුවිය හැකි බැවිනි. එවැනි ලිපි දෝෂ දක්වන බුද්ධදත්ත හිමියන් විසින් රචිත පාළිභාෂාවතරණය නැමති අගනා ග්‍රන්ථය අපටද ශුද්ධමාගධී භාෂාවේ මුලකුරු කීමට උපකාරී විය. එහෙත් එහි නොයෙක් මුද්‍රණ දෝෂ ඇති බැවින් ඒ දොස් බුද්ධදත්ත හිමියන්ගේ දොස් යැයි දැකීමට අපි අදූරදර්ශී නොවෙමු. එසේම අටුවා දෙකක් අතර කාලයක් තිස්සේ මතකයේ දරාගෙන පැමිණීමේ දී සහ පුස්කොලපොත් වලින් පිටපත් කිරීමේ දී සිදු වූ නොගැළපීම් දෝෂ ඔස්සේ කල්පනා කර ඒවා සංගීතිකාරක මහරහතන් වහන්සේලාගේ හෝ අටුවා සංස්කරණය කළ ඇදුරුවරයන්ගේ දොස් ලෙස දැකීමට ඉක්මන් නොවෙත්වා. එසේම එබඳු දෝෂ නිසාවෙන් අටුවාව බුද්ධදේශනයක් නොවන බවට ප්‍රතික්ෂේප කිරීමට අදූරදර්ශී නොවී අර්ථකථාවන්හි එන මහරහතන් වහන්සේලා විසින් අවිච්ඡින්නව පැවතගෙන ආ අර්ථ විනිශ්චයන් ඔස්සේ ධර්මය දැක සියල්ලෝම සුව ප්‍රතිපදාවෙන් නිවන් අවබෝධ කරගනිත්වා!

විද්‍යාවේදී, ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද

මහව ඤාණාලෝක හිමි

අටුවා විමර්ශනය 08 – අර්ථකථාව සූත්‍රයෙහි බහාලන්නේ කෙසේ ද ?