මෙකල පංචුපාදානස්කන්ධය යන්න විවිධ ආකාරයට අර්ථකථනය කරන්නෝ සිටිති. කුමන අර්ථයක් නිවැරදිද යන්න බෞද්ධයන්ට ඇති ගැටළුවකි. 

  • එබැවින් ශ්‍රී මුඛ බුද්ධ දේශනාවට අනුව පංචුපාදානස්කන්ධය යනු කුමක්ද?
  • එයින් අතමිදෙන ක්‍රියා පිළිවෙළ කුමක්ද ?

යන්න හඳුනා ගැනීමට මජ්ඣිම නිකායේ මහා පුණ්ණම සූත්‍රය ඇසුරින් සකස් කරන ලද ලිපි එකතුවක් මෙලෙස දිග හැරේ.

1. පංචස්කන්ධය,පංචුපාදානස්කන්ධය හා අනුපාදානීය ස්කන්ධ 

මේ ලිපියෙන් අපි ශ්‍රී මුඛ දේශනාවට අනුව පංචුපාදානස්කන්ධය යනු කුමක්දැයි විස්තර කරමු.

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ  ධරමාන සමයේ එක්තරා භික්ෂුවක් සැටක් පමණ භික්ෂූන් වහන්සේලාට සංඝ ස්ථවිරව වනයේ වැඩ වාසය කරයි. ඒ භික්ෂූහු ද ඒ තෙරුන්වහන්සේගෙන් කර්මස්ථාන ගෙන මහත් වීරියෙන් යුතුව නිවනෙහි නොපසුබස්නා සුළුව ශ්‍රද්ධාවෙන්ම ශ්‍රමණධර්ම පුරත්. ඇතැම් භික්ෂූහු සතර මහා භූත රූප පරිග්‍රහණය  කරත්. ඇතැම්හු උපාදාය රූප ද ඇතැම්හු නාමරූප දෙකොටසම ද ඇතැම්හු ප්‍රත්‍ය පරිග්‍රහණය ද ඇතැම්හු ත්‍රිලක්ෂණාරම්මණ විපස්සනාව ද වඩත්. ඉක්බිති ඒ භික්ෂූහු සන්ධ්‍යාභාගයෙහි සංඝස්ථවිරයන් වහන්සේ වෙත එළඹෙනුයේ වැඳ එකත්පසෙක හිඳිත්. එකත්පසෙක හුන් ඒ භික්ෂූන්ගෙන් සංඝස්ථවිරයන් වහන්සේ භාවනාවේ දියුණුව පිළිබඳව විමසයි. ඒ භික්ෂූන් වහන්සේලා මහාභූත පරිග්‍රහණය ආදිය විමසන කල්හි ඒ සියල්ලට පිළිතුරු දුන් නමුත් මාර්ගඵල නිවන් සාක්ෂාත් කර ගැනීම පිළිබඳව නිහඬ වෙත්. සංඝස්ථවිරයන් වහන්සේ ද සිතනුයේ, මගේ සමීපයෙහි මොවුන්ට අවවාදයෙනුදු අඩුවක් නැත. මොවුහු ද ඇරඹූ වැර ඇතිවම වාසය කරත්. කුකුළෙකු පැන් බොන කාලයක් පමණවත් මොවුනගෙන් ප්‍රමාදවීමක් නැත. එසේ ඇති කල්හිදු මාර්ගඵල උපදවන්නට නොහැකි වෙත්. මම මොවුන්ගේ ආසය අනුසය නොදනිමි. මොවුහු බුදුන්ගෙන්ම හික්මෙන්නන් යැයි සිතා ඒ භික්ෂූන් සමඟ භාග්‍යවතුන් වහන්සේව දකිනු පිණිස සැවැත්නුවර මිගාරමාතු ප්‍රාසාදය යැයි නම් ලත් පූර්වාරාමය වෙත එළඹුණේය.

භාග්‍යවතුන් වහන්සේද සවස් භාගයෙහි ආනන්ද තෙරුන් වහන්සේ විසින් සකසා දුන් දියෙන් පැන් පහසු වී වෙහෙරෙහි එළිමහනේ පනවන ලද උතුම් බුද්ධාසනයෙහි වැඩ සිටි සේක. භික්ෂු සංඝයාද භාග්‍යවතුන් වහන්සේ පිරිවරා වැඩහුන් සේක.

ඒ සන්ධ්‍යාවෙහි හිරු ද අස්තංගතයට යන්නේය. සඳු ද නැ‍ඟෙන්නේය. එයින් සඳුගේ ප්‍රභාවය ද නොපැවතුණි. හිරුගේ ප්‍රභාවය  ද නොපැවතුණි. බික් සඟන පිරිවරා වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ හිරු සඳු ප්‍රභා මැඩ සවණක් ඝන බුදුරැසින් හාත්පස බබුළුවමින් බ්‍රහ්ම මණ්ඩලය මැද මහ බඹු සේ ද දිව්‍ය මණ්ඩලය මැද සක් දෙව් සේ ද කංචන පව්වක් පලා නැ‍ඟෙන්නා වූ චන්ද්‍ර මණ්ඩලය සේ ද නීල පීතාදීන්ගෙන් යුත් මහමේරුව පලා නැ‍ඟෙන්නා වූ සූරිය මණ්ඩලය සේ ද අතිශෝභමානවත්ව විරාජමානව වැඩ හුන් සේක. එදින සඳ පිරෙන්නා වූ පුර පසළොස්වක දිනය විය.

ඒ පිරිසේ වැඩහුන් පෙර කී සංඝස්ථවිරයන් වහන්සේ අසුනින් නැගිට සිවුර ඒකාංශ කොට භාග්‍යවතුන් වහන්සේ දෙසට ඇඟිලි බැඳ “වහන්ස, ඉදින් භාග්‍යවතුන් වහන්සේ මට පැන පිළිවිසීමට අවකාශ කරන්නේ නම් මම භාග්‍යවතුන් වහන්සේගෙන් කිසියම් දහම් පරියායක් විමසන්නෙමි” යැයි වදාළ සේක. බුදුහු ද මහා කුළුණු ඇතියේ බුදු නුවණින් දකිනුයේ මෙසේ සිතූ සේක. “ඉදින් මා නැගී සිටියා වූ මේ මහණ අවකාශ කෙරේ නම් සෙසු මහණහු අපගේ ආචාර්යයන් වහන්සේ සිටගෙන යැයි සිතා නැගී සිටිත්. එයින් තථාගතයන්ට බුහුමන් නොකළේ වන්නේය. ඉදින් වැඩහුන්නාහුම වී ඒ භික්ෂූහු බණ අසත් නම් සිටගෙන සිටියා වූ ගුරුවරයාට ගරු නොකළේ වන්නේය. එබැවින් මේ මහණ හිඳුවමි”යි යනුවෙනි. එසේ සිතූ භාග්‍යවතුන් වහන්සේ  “එසේ වී නම් මහණ ස්වාසනයෙහි හිඳ යමක් රුචි වේ නම් විමසව” යි වදාළ සේක.

පංචුපාදානස්කන්ධයෝ කවරේ ?

තෙරුන් වහන්සේ වනාහි පංචුපාදානස්කන්ධයන් උදය වැය වශයෙන් සම්මර්ෂණය කොට ක්ෂීණාස්‍රවභාවයට පැමිණි උතුමෙකි. උන්වහන්සේට පංචුපාදානස්කන්ධයන්හි ලා කිසිදු සැකයක් නැත. නමුදු ලෝකයේ පණ්ඩිතයෝ දැනගෙනම විමසන්නහුට සැකෙවින් වටහා දෙති. නොදැන විමසන්නහුට හාත්පසින් ගෙන විස්තර වශයෙන් වටහා දෙති. දන්නේ වුවද නොදන්නාක් මෙන් විමසූ කල්හි භාග්‍යවතුන් වහන්සේ හාත්පසින් ගෙන කරුණු දක්වන සේක. එයින් තම සිසු පිරිසට ද අර්ථයක්ම වන්නේ යැයි සිතා,

  • “ඉමෙ නු ඛො, භන්තෙ, පඤ්චුපාදානක්ඛන්ධා, සෙය්‍යථිදං – රූපුපාදානක්ඛන්ධො, වෙදනුපාදානක්ඛන්ධො, සඤ්ඤුපාදානක්ඛන්ධො, සඞ්ඛාරුපාදානක්ඛන්ධො, විඤ්ඤාණුපාදානක්ඛන්ධො”ති?

“වහන්ස, මේ රූපූපාදානස්කන්ධය වේදනූපාදානස්කන්ධය සංඥූපාදානස්කන්ධය සංඛාරූපාදානස්කන්ධය විඤ්ඤානූපාදානස්කන්ධය පංචස්ක්ධයෝ නොවේ දැ”යි විමසුවේය.

  • ඉමෙ ඛො, භික්ඛු, පඤ්චුපාදානක්ඛන්ධා, සෙය්‍යථිදං – රූපුපාදානක්ඛන්ධො, වෙදනුපාදානක්ඛන්ධො, සඤ්ඤුපාදානක්ඛන්ධො, සඞ්ඛාරුපාදානක්ඛන්ධො, විඤ්ඤාණුපාදානක්ඛන්ධො”ති.”

“මහණ පඤ්චොපාදානස්කන්ධයෝ මොහු යැ, ඒ මෙසේ යැ: රූපෝපාදානස්කන්ධය වේදානෝපාදානස්කන්ධය සංඥෝපාදානස්කන්ධය සංස්කාරෝපාදානස්කන්ධය විඥානෝපාදානස්කන්ධය” යයි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. (මජ්. නිකාය 3 – 116 පිටුව)

මෙතැනදී ධර්මකාමීහු පංචුපාදානස්කන්ධය යනු කුමක්ද?, අනුපාදානීය හෙවත් උපාදානයන්ට හසු නොවන ස්කන්ධයෝ කවරහුදැයි දත යුතු වෙත්. ඒවා පිළිබඳ අර්ථ විග්‍රහය මෙසේය.

 

පංචස්කන්ධය පංචුපාදානස්කන්ධය හා අනුපාදානීය ස්කන්ධ අතර වෙනස

අභිධර්ම පිටකයෙහි විභංගප්‍රකරණයෙහි පංචස්කන්ධය දක්වා ඇත්තේ ‍ මෙසේය.

  • පඤ්‌චක්‌ඛන්‌ධා – රූපක්‌ඛන්‌ධො, වෙදනාක්‌ඛන්‌ධො, සඤ්‌ඤාක්‌ඛන්‌ධො, සඞ්‌ඛාරක්‌ඛන්‌ධො, විඤ්‌ඤාණක්‌ඛන්‌ධො. ස්කන්ධයෝ පස්දෙනෙකි: රූපස්කන්ධ යැ, වේදනාස්කන්ධ යැ, සංඥාස්කන්ධ යැ, සංස්කාරස්කන්ධ යැ, විඥානස්කන්ධ යි.
  • තත්‌ථ කතමො රූපක්‌ඛන්‌ධො? එකවිධෙන රූපක්‌ඛන්‌ධො – සබ්‌බං රූපං……………උපාදානියං…..එහි රූපස්කන්ධය කවරේ යත්:එක් අයුරෙකින් රූපස්කන්ධය වෙයි. හැම රූපය ………. උපාදානයන්ට හිත ය, (විභඞ්ග ප්‍රකරණය – ස්කන්ධ විභඞ්ගය- පි.22)
  • තත්‌ථ කතමො වෙදනාක්‌ඛන්‌ධො? දුවිධෙන වෙදනාක්‌ඛන්‌ධො – ……..අත්‌ථි උපාදානියො, අත්‌ථි අනුපාදානියො. එහි වේදනාස්කන්ධය කවරේ යත්: ද්විප්‍රකාරයෙකින් වේදනාස්කන්ධය වෙයි:……….උපාදානයන්ට හිත වූයෙක් ඇත, උපාදානයන්ට හිත නො වූයෙක් ඇති.(විභඞ්ග ප්‍රකරණය – ස්කන්ධ විභඞ්ගය- පි.26,30)
  • තත්‌ථ කතමො සඤ්‌ඤාක්‌ඛන්‌ධො? දුවිධෙන සඤ්‌ඤාක්‌ඛන්‌ධො- ……..අත්‌ථි උපාදානියො, අත්‌ථි අනුපාදානියො. එහි සංඥාස්කන්ධය කවරේ යත්: ද්විප්‍රකාරයෙකින් සංඥාස්කන්ධය වෙයි:……….උපාදානයන්ට හිත වූයෙක් ඇත, උපාදානයන්ට හිත නො වූයෙක් ඇති.(විභඞ්ග ප්‍රකරණය – ස්කන්ධ විභඞ්ගය- පි.46,50,52)
  • තත්‌ථ කතමො සඞ්‌ඛාරක්‌ඛන්‌ධො? දුවිධෙන සඞ්‌ඛාරක්‌ඛන්‌ධො……..අත්‌ථි උපාදානියො, අත්‌ථි අනුපාදානියො. එහි සංස්කාරස්කන්ධය කවරේ යත්: ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්ධය වෙයි:……….උපාදානයන්ට හිත වූයෙක් ඇත, උපාදානයන්ට හිත නො වූයෙක් ඇති.(විභඞ්ග ප්‍රකරණය – ස්කන්ධ විභඞ්ගය- පි.66,68,72)
  • තත්‌ථ කතමො විඤ්‌ඤාණක්‌ඛන්‌ධො? දුවිධෙන විඤ්‌ඤාණක්‌ඛන්‌ධො………අත්‌ථි උපාදානියො, අත්‌ථි අනුපාදානියො. එහි විඥානස්කන්ධ කවරේ යත්: ද්විප්‍රකාරයෙකින් විඥානස්කන්ධය වෙයි:……….උපාදානයන්ට හිත වූයෙක් ඇත, උපාදානයන්ට හිත නො වූයෙක් ඇති.(විභඞ්ග ප්‍රකරණය – ස්කන්ධ විභඞ්ගය- පි. 86,88,92)

 

ඉහතින් දක්වන ලද්දේ ස්කන්ධයන් ප්‍රධාන වශයෙන් කොටස් පහක් බවත් එයින් රූපස්කන්ධය උපාදානීය බවත් ඉතිරි ස්කන්ධ සතර උපාදානීය වූවකුත් අනුපාදානීය වූවකුත් ඇති බව විභංගප්‍රකරණයෙහි දක්වා ඇති අන්දමය. මෙහි උපාදානීයා යනු තණ්හා දිට්ඨි යන උපාදාන ධර්මයන්ට අරමුණුවීම් වශයෙන් හිතෛෂී වනුයි උපාදානීයා වේ. එසේ තණ්හා දිට්ඨි ධර්මයන්ට අරමුණු නොවුණුයි අනුපාදානීයා වේ.

මේ අනුව සියලුම රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණයෝ පංචස්කන්ධ බවත් ඒවා අතුරින් තණ්හා දිට්ඨි යන කෙලෙස් උපාදාන ධර්මයන්ට අරමුණු වන ස්කන්ධ, උපාදානීය ස්කන්ධ හෙවත් උපාදානාස්කන්ධ බව වටහා ගත යුතුය. එසේ උපාදානයට හිතවන ස්කන්ධ පංචකයට “පංචුපාදානස්කන්ධ” යයි කියනු ලැබේ.

මේ පංචස්කන්ධයන් අතුරිනුත් උපාදානයන්ට හිතවන්නේ මොනවාද, හිත නොවන්නේ මොනවාදැයි ධම්මසංගණීප්‍රකරණයෙහි දක්වා ඇත්තේ මෙසේය. එහි  නික්ෂෙප කාණ්ඩයේ දුක මාතිකාවන්හි උපාදාන ගොච්ඡකයෙහි මෙසේ සඳහන්ව ඇත.

  • කතමෙ ධම්‌මා උපාදානියා? සාසවා කුසලාකුසලාබ්‍යාකතා ධම්‌මා කාමාවචරා, රූපාවචරා, අරූපාවචරා; රූපක්‌ඛන්‌ධො…පෙ.… විඤ්‌ඤාණක්‌ඛන්‌ධො – ඉමෙ ධම්‌මා උපාදානියා. කවර ධර්මයෝ උපාදානීය වෙති යත්? කාමාවචර රූපාවචර අරූපාවචර වූ සාස්‍රව කුශලාකුශලාව්‍යාකෘත ධර්මයෝ යැ රූපස්කන්ධ යැ … විඥානස්කන්ධ යැ යන මේ ධර්මයෝ උපාදානීය වෙත්. (ධම්මසඞ්ගණී ප්‍රකරණය – නික්ෂෙපකාණ්ඩය – පි.454)

මෙය අට්ඨකථා කාණ්ඩයේ දී තවදුරටත් පැහැදිළි කරනුයේ මෙසේය.

  • කතමෙ ධම්‌මා උපාදානියා? තීසු භූමීසු කුසලං, අකුසලං, තීසු භූමීසු විපාකො, තීසු භූමීසු කිරියාබ්‍යාකතං, සබ්‌බඤ්‌ච රූපං – ඉමෙ ධම්‌මා උපාදානියා. උපාදානීය (උපාදනයන්ට හිත) ධර්‍මයෝ කවරහ යත්? ත්‍රෛභූමක කුශල යැ, අකුශල යැ, ත්‍රෛභූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, හැම රූපය දැයි මෙහු උපදානීය ධර්‍මයෝ යි. ( ධම්මසඞ්ගණී ප්‍රකරණය – අට්ඨකථාකාණ්ඩය – පි.544)

(සැ.යු. :-බුද්ධ ජයන්ති මුද්‍රණයෙහි මේ පාඨයෙහි අවසානයට “ඉමෙ ධම්මා අනුපාදානීයා” යනුවෙන් දක්වා ඇත්තේ මුද්‍රණ දෝෂයකිනි. එය “ඉමෙ ධම්මා උපාදානීයා” යනුවෙන් නිවැරදි විය යුතුය. )

  • කතමෙ ධම්‌මා අනුපාදානියා? අපරියාපන්‌නා මග්‌ගා ච, මග්‌ගඵලානි ච, අසඞ්‌ඛතා ච ධාතු – ඉමෙ ධම්‌මා අනුපාදානියා. කවර ධර්මයෝ අනුපාදානීය වෙති යත්: අපර්‍ය්‍යාපන්න වූ මාර්ගයෝ ද මාර්ගඵලයෝ ද අසඞ්ඛතධාතු ද යන මොහු අනුපාදානීය ධර්මයෝ වෙත්. ( ධම්මසඞ්ගණී ප්‍රකරණය – නික්ෂෙපකාණ්ඩය – පි.454)

මෙය අට්ඨකථා කාණ්ඩයේ දී තවදුරටත් පැහැදිළි කරනුයේ මෙසේය.

  • කතමෙ ධම්‌මා අනුපාදානියා? චත්‌තාරො මග්‌ගා අපරියාපන්‌නා, චත්‌තාරි ච සාමඤ්‌ඤඵලානි, නිබ්‌බානඤ්‌ච – ඉමෙ ධම්‌මා අනුපාදානියා.. අනුපාදනීය ධර්‍මයෝ කවරහ යත්:අපර්‍ය්‍යාපන්න වූ සතර මාර්‍ගයෝ යැ, සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද, නිර්‍වාණය දැයි මොහු අනුපාදනීය ධර්‍මයෝ යි. ( ධම්මසඞ්ගණී ප්‍රකරණය – අට්ඨකථාකාණ්ඩය – පි.544)

සංක්ෂේපයෙන් පංචුපාදානස්කන්ධ හා අනුපාදානස්කන්ධ

මේ අනුව පංචස්කන්ධය අතුරින්,

(1) සියලු රූපස්කන්ධය උපාදානීය වේ. එමනිසා සියලු රූපය “රූපූපාදානස්කන්ධය” වේ.

(2) වේදනාස්කන්ධයෙන් සියලු කාමාවචර රූපාවචර අරූපාවචර සිත්වල උපදින වේදනාව උපාදානීය වේ. එම නිසා ඒ තුන් භුමියෙහිම සියලු වේදනා “වේදනූපාදානස්කන්ධය” වේ. ලෝකෝත්තර සිත්වල උපදින වේදනාව උපාදානීය නොවන හෙයින් එම සිත්වල වේදනාව වේදනූපාදානස්කන්ධය නොවේ.

(3) සංඥාස්කන්ධයෙන් සියලු කාමාවචර රූපාවචර අරූපාවචර සිත්වල සඤ්ඤාව උපාදානීය වේ. එමනිසා ඒ තුන් භූමියෙහිම සියලු සඤ්ඤා “සඤ්ඤූපාදානස්කන්ධය” වේ. ලෝකෝත්තර සිත්වල උපදින සඤ්ඤාව උපාදානීය නොවන හෙයින් එම සිත්වල සඤ්ඤාව සඤ්ඤූපාදානස්කන්ධය නොවේ.

(4) සංඛාරස්කන්ධයෙන් සියලු කාමාවචර රූපාවචර අරූපාවචර සිත්වල සංඛාර උපාදානීය වේ. එමනිසා ඒ තුන් භූමියෙහිම සියලු සංඛාර “සංඛාරූපාදානස්කන්ධය” වේ. ලෝකෝත්තර සිත්වල උපදින සංඛාරය උපාදානීය නොවන හෙයින් එම සිත්වල සංඛාරය සංඛාරූපාදානස්කන්ධය නොවේ.

(5) විඤ්ඤාණස්කන්ධයෙන් සියලු කාමාවචර රූපාවචර අරූපාවචර සිත් උපාදානීය වේ. එමනිසා ඒ තුන්භූමියෙහි සියලුම සිත් “විඤ්ඤාණූපාදානස්කන්ධය” වේ. ලෝකෝත්තර සිත් උපාදානීය නොවන හෙයින් සියලු ලෝකෝත්තර සිත් විඤ්ඤාණූපාදානස්කන්ධය නොවේ.

අසංඛත ධාතු නිර්වාණයද තණ්හා දිට්ඨිවලට අරමුණු නොවන හෙයින් අනුපාදානීය වේ.

පංචඋපාදානස්කන්ධයන්ගේ බෙදීම ශ්‍රී මුඛ බුද්ධ දේශනාවට අනුව ඉහත පරිද්දෙන් දත යුතුය. තවද බුදු පසේබුදු මහරහතන් වහන්සේලාගේ ඇතුළු සියලු ආර්යයන් වහන්සේලාගේද රූපය උපාදානයන්ට හිත බැවින් “රූපූපාදානස්කන්ධය” ටම අයත් බව වටහා ගත යුතුය. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ ඇතුලු සියලු ආර්යයන් වහන්සේලාගේ කාමාවචර රූපාවචර අරූපාවචර සිතුත් ඒවායේ යෙදෙන චෛතසිකත් උපාදානස්කන්ධයන්ටම අයත් බව දතයුතුය. සියලු ආර්යයන් වහන්සේලාගේ මාර්ගඵල සිතුත් එහි යෙදෙන චෛතසික ධර්මත්, නිර්වාණයත් කිසිදු උපාදානස්කන්ධයකට අයත් නොවන අතර ඒවා අනුපාදානස්කන්ධ බව වටහා ගත යුතුය.

මීළඟ ලිපියෙන් අපි පංචුපාදානස්කන්ධය පිළිබඳ වඩා විස්තර විග්‍රහයක් හා ඒවා හට ගැනීමට හේතු කවරේද යන්න විස්තර කරන්නෙමු.

2. පංචුපාදානස්කන්ධය හට ගැනීමට හේතු 

පසුගිය ලිපියෙන් අපි ශ්‍රී මුඛ දේශනාවට අනුව පංචුපාදානස්කන්ධය යනු කුමක්දැයි විස්තර කළෙමු. මේ ලිපියෙන් අපි පංචුපාදානස්කන්ධය පිළිබඳ වඩා විස්තර විග්‍රහයක් හා ඒවා හට ගැනීමට හේතු කවරේද යන්න විස්තර කරන්නෙමු.

ඉන් අනතුරුව තෙරුන් වහන්සේ පංචුපාදානස්කන්ධයන්ගේ හටගැනීමට හේතු විමසනුයේ “ඉමේ පන භන්තේ පඤ්චුපාදානක්ඛන්ධා කිම්මූලකා – වහන්ස මේ පංචුපාදානස්කන්ධයෝ කවරක් මුල්කොට ඇත්තාහුදැ”යි විමසූ සේක.

ඉමේ ඛෝ භික්ඛූ පඤ්චුපාදානක්ඛන්ධා ඡන්දමූලකා – මහණ මේ පංචුපාදානස්කන්ධයෝ ඡන්දය හෙවත් තෘෂ්ණාව මුල්කොට සිටිත්” යයි භාග්‍යවතුන් වහන්සේ චතුරාර්ය සත්‍ය ක්‍රමයෙන් පංචුපාදානස්කන්ධයේ හටගැනීමට හේතුව තෘෂ්ණාව යැයි එක් පරියායකින් හෙවත් ඒකදේශයකින් වදාළ සේක.

මෙතැනදී ධර්මකාමීහු නානා ක්‍රමවලින්, නානා දහම් පර්යායන්ගෙන් පංචුපාදානස්කන්ධයේ හටගැනීම‍ට හේතු දත යුතුය. ඒ හේතු පිළිබඳ විග්‍රහය මෙසේය.‍

ශාසන ප්‍රතිපදාව තුළ පංචුපාදානස්කන්ධයන්ගේ උත්පත්තියට හේතුධර්ම හෙවත් ප්‍රත්‍යධර්ම දක්වන විවිධ පරියායන් විස්තර කෙරේ. ඒවා නම්,

  1. චතුරාර්යසත්‍යය‍
  2. පටිච්චසමුප්පාදය‍
  3. සූවිසි ප්‍රත්‍යය‍
  4. සතර ආහාර යනාදී ක්‍රම වේ.

මෙහි චතුරාර්ය සත්‍යය ක්‍රමයේදී දුක්ඛසත්‍යය හෙවත් පංචුපාදානස්කන්ධය හටගැනීමට හේතුව හෙවත් දුක්ඛසමුදය ලෙස දක්වනුයේ තෘෂ්ණාවයි. ආර්ය සත්‍යය විභාගය තවදුරටත් විස්තර කොට දේශනා කරන භාග්‍යවතුන් වහන්සේ විභංගප්‍රකරණයෙහි සච්චවිභංගයෙහි අභිධර්මභාජනයට පැමිණ සියලු සාසව කුසල අකුසල චිත්ත චෛතසිකයන් දුක්ඛ සමුදය සත්‍යයෙහි සංග්‍රහ කොට වදාළ සේක. (විභංග ප්‍රකරණය – සච්චවිභංගය – බුජමු 198) මේ අනුව ලෝකෝත්තර කුසල් සිත් හැර ඉතිරි කාමාවචර, රූපාවචර, අරූපාවචර කුසලයද, අකුසලයද දුක්ඛසමුදය හෙවත් පංචුපාදානස්කන්ධය හටගැනීමට හේතු වන බව දත යුතුය.

එසේම පටිච්චසමුප්පාද ක්‍රමයේදී පටිච්චසමුප්පාද අංගයන් පංචුපාදානස්කන්ධයෙහි හටගැනීමට ප්‍රත්‍යවන ආකාරය මහානිදාන, පටිච්චසමුප්පාද ආදී සූත්‍රයන්ගෙනුත් විභංගප්‍රකරණයෙහි පටිච්චසමුප්පාද විභංගයෙනුත් විශුද්ධිමාර්ගයෙහි කංඛාවිතරණ විසුද්ධි නිර්දේශයෙනුත් බලා දත යුතු වෙත්‍.

සූවිසි ප්‍රත්‍ය ක්‍රමයේදී සූවිසි ප්‍රත්‍ය ධර්මයෝ පංචුපාදානස්කන්ධයේ හටගැනීමට ප්‍රත්‍යවන ආකාරය පට්ඨාන ප්‍රකරණයෙහි නිද්දේස වාරයෙන් හා එහි අර්ථකතාවෙන් දත යුතු වෙත්.

එසේම සතර ආහාර පංචුපාදානස්කන්ධය ඉපදීමට ප්‍රත්‍ය වන බව භාග්‍යවතුන් වහන්සේ ආහාර සූත්‍රයෙහි මෙසේ වදාරා ඇත.

  • චත්‌තාරොමෙ, භික්‌ඛවෙ, ආහාරා භූතානං වා සත්‌තානං ඨිතියා සම්‌භවෙසීනං වා අනුග්‌ගහාය. කතමෙ චත්‌තාරො? කබළිංකාරො ආහාරො ඔළාරිකො වා සුඛුමො වා, ඵස්‌සො දුතියො, මනොසඤ්‌චෙතනා තතියා, විඤ්‌ඤාණං චතුත්‌ථං. ඉමෙ ඛො, භික්‌ඛවෙ, චත්‌තාරො ආහාරා භූතානං වා සත්‌තානං ඨිතියා සම්‌භවෙසීනං වා අනුග්‌ගහාය

මහණෙනි, උපන් සත්ත්වයන්ගේ පැවැත්ම පිණිසත්, උපදින්නා වූ සත්ත්වයන්ට අනුග්‍රහ පිණිසත් මේ ආහාර සතරෙකි: කවර සතරෙක් ද? යත්: දළ වූ හෝ සියුම් වූ හෝ කබලීකාර (පිඩු කොට බුදින බත් ආදි) ආහාරය, ස්පර්‍ශය දෙවැන්න ය, මනෝසඤ්චෙතනාව තෙවැන්න ය, විඥානය සිවුවැන්න ය. මහණෙනි, මේ සතර ආහාරයෝ උපන් සත්ත්වයන්ගේ පැවැත්ම පිණිසත් උපදින්නා වූ සත්ත්වයන්ට අනුග්‍රහ පිණිසත් වෙති. (සංයුක්ත නිකාය 2 – ආහාරසූත්‍රය – බුජමු 20)

මෙලෙස සතර ආහාර ක්‍රමයකින්ද පංචුපාදානස්කන්ධය උපදින බව භාග්‍යවතුන් වහන්සේ වදාරා ඇත්තේය.

පටිසම්භිදාමග්ගප්‍රකරණයෙහි ස්කන්ධයන්ගේ හටගැනීමට හේතු

තවද පටිසම්භිදාමග්ගප්‍රකරණයෙහි උදයව්‍යය ඥාන නිර්දේශය වදාරණ ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ එක් එක් ස්කන්ධයක් ඉපදීමට මෙසේ හේතු දක්වයි.

රූපක්ඛන්ධස්ස උදයං පස්සන්තො කතමානි පඤ්ච ලක්ඛණානි පස්සතිඅවිජ්ජාසමුදයා රූපසමුදයොති – පච්චයසමුදයට්ඨෙනරූපක්ඛන්ධස්ස උදයං පස්සති. තණ්හාසමුදයා රූපසමුදයොති – පච්චයසමුදයට්ඨෙන රූපක්ඛන්ධස්ස උදයං පස්සති. කම්‌මසමුදයා රූපසමුදයොති – පච්‌චයසමුදයට්‌ඨෙන රූපක්‌ඛන්‌ධස්‌ස උදයං පස්‌සති. ආහාරසමුදයා රූපසමුදයොති – පච්‌චයසමුදයට්‌ඨෙන රූපක්‌ඛන්‌ධස්‌ස උදයං පස්‌සති. නිබ්‌බත්‌තිලක්‌ඛණං පස්‌සන්‌තොපි රූපක්‌ඛන්‌ධස්‌ස උදයං පස්‌සති. රූපක්‌ඛන්‌ධස්‌ස උදයං පස්‌සන්‌තො ඉමානි පඤ්‌ච ලක්‌ඛණානි පස්‌සති.”

“රූපස්කන්‍ධයාගේ උදය දක්නේ කවර පඤ්චලක්‍ෂණයන් දකී ද යත්, අවිද්‍යාසමුදයෙන් රූපයාගේ ඉපැදීම වේ යැ යි ප්‍ර‍ත්‍යය උපන් බැවින් රූපස්කන්‍ධයාගේ උදය දකී. තෘෂ්ණාසමුදයෙන් රූපයාගේ ඉපැදීම වේ යැ යි ප්‍ර‍ත්‍යය උපන් බැවින් රූපස්කන්‍ධයාගේ උදය (ඉපැදීම) දකී. කර්‍මසමුදයෙන් රූපයාගේ ඉපැදීම වේ යැ යි ප්‍ර‍ත්‍යය උපන් බැවින් රූපස්කන්‍ධයාගේ උදය දකී. ආහාරසමුදයෙන් රූපයාගේ ඉපැදීම වේ යැ යි ප්‍ර‍ත්‍යය උපන් බැවින් රූපස්කන්‍ධයාගේ උදය දකී. (අද්ධා-සන්තති-ඛණ වශයෙන් රූපයාගේ) උත්පාදලක්‍ෂණය දක්නේ ද රූපස්කන්‍ධයාගේ ඉපැදීම දකී. රූපස්කන්‍ධයාගේ උදය දක්නේ මේ ලක්‍ෂණ පස දකී.”(පටිසම්භිදාමග්ගප්පකරණය – උදයබ්බයඤාණං – බුජමු 104)

වෙදනාක්ඛන්ධස්ස උදයං පස්සන්තො කතමානි පඤ්ච ලක්ඛණානි පස්සති? අවිජ්ජාසමුදයා වෙදනාසමුදයොති – පච්චයසමුදයට්ඨෙන වෙදනාක්ඛන්ධස්ස උදයං පස්සති. තණ්හාසමුදයා වෙදනාසමුදයොති – පච්චයසමුදයට්ඨෙන වෙදනාක්ඛන්ධස්ස උදයං පස්සති. කම්මසමුදයා වෙදනාසමුදයොති – පච්චයසමුදයට්ඨෙන වෙදනාක්ඛන්ධස්ස උදයං පස්සති. ඵස්සසමුදයා වෙදනාසමුදයොති – පච්චයසමුදයට්ඨෙන වෙදනාක්ඛන්ධස්ස උදයං පස්සති.

“වෙදනාස්කන්‍ධයාගේ උදය දක්නේ කවර ලක්‍ෂණ පසක් දකී ද යත්: අවිද්‍යාසමුදයෙන් වෙදනාවගේ ඉපැදීම වේ යැ යි ප්‍ර‍ත්‍යය උපන් බැවින් වෙදනාස්කන්‍ධයාගේ ඉපැදීම දකියි. තෘෂ්ණාසමුදයෙන් වෙදනාසමුදය වේ යැ යි ප්‍ර‍ත්‍යය උපන් බැවින් වෙදනාස්කන්‍ධයාගේ උදය දකියි. කර්‍මසමුදයෙන් වෙදනාසමුදය වේ යැ යි ප්‍ර‍ත්‍යය උපන් බැවින් වෙදනාස්කන්‍ධයාගේ උදය දකියි. ස්පර්‍ශයාගේ සමුදයෙන් වෙදනාසමුදය වේ යැ යි ප්‍ර‍ත්‍යය උපන් බැවින් වෙදනාස්කන්‍ධයාගේ උදය දකියි.”

සඤ්ඤාස්කන්ධස්ස උදයං …………සංඥාස්කන්‍ධයාගේ

සංඛාරක්ඛන්ධස්ස උදයං ………………. සංස්කාරස්කන්‍ධයාගේ

විඤ්ඤාණක්ඛන්ධස්ස උදයං පස්සන්තො කතමානි පඤ්ච ලක්ඛණානි පස්සති? අවිජ්ජාසමුදයා විඤ්ඤාණසමුදයොති – පච්චයසමුදයට්ඨෙන විඤ්ඤාණක්ඛන්ධස්ස උදයං පස්සති. තණ්හාසමුදයා විඤ්ඤාණසමුදයොතිපච්චයසමුදයට්ඨෙන විඤ්ඤාණක්ඛන්ධස්ස උදයං පස්සති. කම්මසමුදයා විඤ්ඤාණසමුදයොති – පච්චයසමුදයට්ඨෙන විඤ්ඤාණක්ඛන්ධස්ස උදයං පස්සති.

“විඥානස්කන්‍ධයාගේ … උදය දක්නේ කවර පඤ්චලක්‍ෂණයන් දකී ද යත්: අවිද්‍යාසමුදයෙන් විඥානයාගේ ඉපැදීම වේ යැ යි ප්‍ර‍ත්‍යසමුදයභාවයෙන් විඥානස්කන්‍ධයාගේ ඉපැදීම දකියි. තෘෂ්ණාසමුදයෙන් විඥානසමුදය වේ යැ යි ප්‍ර‍ත්‍යයසමුදයභාවයෙන් විඥානස්කන්‍ධයාගේ ඉපැදීම දකියි. කර්‍මසමුදයෙන් විඥානසමුදය වේ යැ යි ප්‍ර‍ත්‍යය සමුදයභාවයෙන් විඥානස්කන්‍ධයාගේ ඉපැදීම දකියි. නාමරූපසමුදයෙන් විඥානසමුදය වේ යැ යි ප්‍ර‍ත්‍යයසමුදයභාවයෙන් විඥානස්කන්‍ධයාගේ ඉපැදීම දකියි.” (පටිසම්භිදාමග්ගප්පකරණය – උදයබ්බයඤාණං – බුජමු 106)

මෙලෙස මෙම පරියායෙන් ධර්ම සේනාධිපතින් වහන්සේ ද පංචුපාදානස්කන්ධයෙහි හට ගැනීමට හේතු වදාරා ඇත්තේය. මෙම ක්‍රමය භාග්‍යවතුන් වහන්සේ මහා පුණ්ණම සූත්‍රයෙහි දේශනා කළ ආකාරය ඉදිරියෙහි දැක්වෙන්නේය.

මේ සියලු පරියාය විස්තරයෙන් වටහා ගත යුත්තේ පංචුපාදානස්කන්ධයෙහි හටගැනීමට ප්‍රත්‍ය වන හෙවත් හේතු වන ධර්ම ඇත්තේ එකක් දෙකක් නොව බොහෝ හේතු ඇති බවත් ඇතැම් හේතු ධර්ම පුද්ගල අභ්‍යන්තරයෙහිත් ඇතැම් හේතු පුද්ගල සන්තානයෙන් පරිබාහිරවත් ඇති බවත්ය. මෙලෙස පංචුපාදානස්කන්ධය ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා බව දක්නා වූ තැනැත්තාට ඒ ප්‍රත්‍යයන් නිරුද්ධ කිරීමෙන් සියලු දුකින් අතමිදීමට හැකි බවට ඥානයක් විශ්වාසයක් තහවුරුවක් ඇතිවන්නේය. ඒ ඥානය තහවුරුව ඒ තැනැත්තාට මතු නිවන් සාක්ෂාත් කිරීම පිණිස හේතු වන්නේය.

පංචුපාදානස්කන්ධය හා උපාදානය යනු එකක්ද?

ඉන් අනතුරුව තෙරුන්වහන්සේ තණ්හා දෘෂ්ටි වශයෙන් උපාදානය බැසගනුයේද පංචුපාදානස්කන්ධය කෙරෙහිම බවට අර්ථ දැක්වීම සඳහා

  • “තංයෙව නු ඛො, භන්‌තෙ, උපාදානං තෙ පඤ්‌චුපාදානක්‌ඛන්‌ධා, උදාහු අඤ්‌ඤත්‍ර පඤ්‌චුපාදානක්‌ඛන්‌ධෙහි උපාදාන’’න්‌ති

වහන්ස ඒ උපාදානයම එම පංචුපාදානස්කන්ධයෝ ද නැතහොත් පංචුපාදානස්කන්ධයන්ගෙන් වෙන්ව උපාදානය වේ දැ”යි විචාළ සේක.

  • න ඛො, භික්‌ඛු, තංයෙව උපාදානං තෙ පඤ්‌චුපාදානක්‌ඛන්‌ධා, නාපි අඤ්‌ඤත්‍ර පඤ්‌චුපාදානක්‌ඛන්‌ධෙහි උපාදානං. යො ඛො, භික්‌ඛු, පඤ්‌චසු උපාදානක්‌ඛන්‌ධෙසු ඡන්‌දරාගො තං තත්‌ථ උපාදාන’’න්‌ති.

මහණ ඒ උපාදානයම ඒ පංචුපාදානස්කන්ධයෝ නොවෙත්. පංචුපාදානස්කන්ධයන්ගෙන් වෙන්ව ද උපාදානය නොපවතියි. මහණ, පංචුපාදානස්කන්ධයන් කෙරෙහි යම් ඡන්දරාගයක් තෘෂ්ණාවක් වේද, තණ්හා දෘෂ්ටි වශයෙන් බැසගැනීමක් වේද එය එහිලා උපාදානය” යැයි භාග්‍යවතුන් වහන්සේ එම පැනය විසඳාලමින් වදාළ සේක.

භාග්‍යවතුන් වහන්සේගේ මේ ප්‍රකාශයෙන් ජනිත වනුයේ උපාදානයෙන් යුතුව බැස ගත හැක්කේ උපාදාන වශයෙන් අරමුණු කළ හැක්කේ පංචුපාදානස්කන්ධය පමණක් බවයි. ඉහත දැක්වූ අනුපාදානීය ධර්මයන් කෙරෙහි උපාදානයෙන් යුතුව බැස ගත හැකි බවක් අරමුණු කළ හැකි බවක් නොමැති බව මින් ප්‍රකට කරයි.

 

තෘෂ්ණා දෘෂ්ටි උපාදානයන්ගේ විවිධත්වය‍

ලෝකයේ සත්ත්වයෝ නානා ආශාවල් ඇත්තෝය. නානා දෘෂ්ටි ඇත්තෝය. ඇතමෙක් රූපය‍ට වඩා ප්‍රිය කරති. ඇතමෙක් ශබ්දයටය. ඇතමෙක් ගන්ධයටය. ඇතමෙක් රසයටය. ඇතමෙක් සියුමැලි පහස් විඳීමටය. මේ ආකාරයට සත්ත්වයන්ගේ තෘෂ්ණා වශයෙන් විවිධත්වයක් ඇත්තේය.

තවද ඇතමෙක් නියත ආත්මභාවයකට කැමතිය. නැවත නැවත සසර ඉපදීමට දිව්‍යලෝකවල යෑමට කැමතිය. මෙබන්දෝ ශාස්වත දෘෂ්ටි ඇත්තෝය. ඇතමෙක්ට ඇත්තේ මේ ජීවිතය පමණක්ය. මරණින් මතු ජීවිතයක් නැතැයි ගෙන කුසලාකුසලයන්ගේ විපාක නැතැයි ගෙන වර්තමාන භවයෙහි කා බී විනෝද වෙති. මොවුහු උච්ඡේදවත දෘෂ්ටි ඇත්තෝය. මේ ආකාරයට සත්ත්වයන්ගේ දෘෂ්ටි නානාත්වයක් ඇත්තේය.

මෙලෙස සත්ත්වයෝ තෘෂ්ණා දෘෂ්ටී‍න්ගෙන් අරමුණු දැඩිව ගන්නේය. මෙය උපාදානයයි. මේ ආකාරයට ලෝකයේ සත්ත්වයන්ගේ තෘෂ්ණා දෘෂ්ටි උපාදානයන්ගේ නානාත්වයක් ඇත්තේය. මේ නානාත්වය මතු කර දක්වනු රිසි තෙරුන් වහන්සේ “සියා පන භන්තේ පඤ්චුපාදානක්ඛන්ධේසු ඡන්දරාගවේමත්තතාති – වහන්ස, පංචුපාදානස්කන්ධයන් කෙරෙහි ඇති ඡන්දරාගයන්ගේ විවිධත්වයක් ඇත්දැ”යි ඇසූ සේක.

ඊට පිළිතුරු දක්වන භාග්‍යවතුන් වහන්සේ “මහණ ඇත්තේය.” යයි දේශනා කොට

  • ඉධ, භික්‌ඛු, එකච්‌චස්‌ස එවං හොති – ‘එවංරූපො සියං අනාගතමද්‌ධානං, එවංවෙදනො සියං අනාගතමද්‌ධානං, එවංසඤ්‌ඤො සියං අනාගතමද්‌ධානං, එවංසඞ්‌ඛාරො සියං අනාගතමද්‌ධානං, එවංවිඤ්‌ඤාණො සියං අනාගතමද්‌ධාන’න්‌ති. එවං ඛො, භික්‌ඛු, සියා පඤ්‌චසු උපාදානක්‌ඛන්‌ධෙසු ඡන්දරාගවේමත්තතාති

“මහණ, මෙලොවැ කිසිවක්හට මෙසේ සිත් වෙයි: අනාගතකාලයෙහි මෙබඳු රූප ඇත්තෙම් වන්නෙමි, අනාගත කාලයෙහි මෙබඳු වෙදනා ඇත්තෙම් වන්නෙමි, අනාගතකාලයෙහි මෙබඳු සංඥා ඇත්තෙම් වන්නෙමි, අනාගත කාලයෙහි මෙබඳු සංස්කාර ඇත්තෙම් වන්නෙමි, අනාගතකාලයෙහි මෙබඳු විඥාන ඇත්තෙම් වන්නෙමි. මෙසේ පඤ්චොපාදානස්කන්ධ විෂයෙහි ඡන්‍දරාගයාගේ විවිධත්වය වන්නේ ය” යැයි වදාළ සේක. මේ ආකාරයට භාග්‍යවතුන් වහන්සේ සත්ත්වයා තුළ ඇති වන උපාදානයන් නිසා සත්ත්වයන් ලෝකයට ඇලෙන බවත් ඒ ඇලීම නිසා නැවත නැවත උප්පත්ති මරණ වශයෙන් සසර සැරිසරන බවත් එබැවින්ම මේ දුකින් ගැලවී ගත නොහැකි බවත් මෙයින් වදාළ සේක.

ඉන් අනතුරුව තෙරුන් වහන්සේ නිර්වාණගාමී විපස්සනාව මතු කර දක්වනු පිණිස දෘෂ්ටි විශුද්ධියෙහි පටන් විශුද්ධි පිළිවෙළ දැක්වීම පිණිස අපට හමුවන සත්ත්වයින් පුද්ගලයින් ගහකොළ කඳුවැටි ගංගා සාගර සංඛ්‍යාත ලෝකයේ සත්‍ය වශයෙන්ම ඇත්තේ මොනවා දැයි දක්වනු පිණිස පැන විචාළ සේක.

ලෝකයේ අවිඤ්ඤාණක සවිඤ්ඤාණක වස්තු ලෙස පෙනී සිටිනුයේ කවර ධර්මයෝද? (නාමරූප පරිච්ඡේද ඥානය හෙවත් දෘෂ්ටි විශුද්ධිය)

  • කිත්තාවතා පන භන්තේ ඛන්ධානං ඛන්ධාධිවචනං හෝති

වහන්ස, කවර නම් සමූහ වශයෙන් පවතින පරමාර්ථ ධර්මයනට “සමූහ වශයෙන් පවතින පරමාර්ථ ධර්මයෝ යන නම වෙයිද?”

ඊට පිළිතුරු දේශනා කරන භාග්‍යවතුන් වහන්සේ

  • “යං කිඤ්‌චි, භික්‌ඛු, රූපං – අතීතානාගතපච්‌චුප්‌පන්‌නං අජ්‌ඣත්‌තං වා බහිද්‌ධා වා, ඔළාරිකං වා සුඛුමං වා, හීනං වා පණීතං වා, යං දූරෙ සන්‌තිකෙ වා – අයං රූපක්‌ඛන්‌ධො. යා කාචි වෙදනා – අතීතානාගතපච්‌චුප්‌පන්‌නා අජ්‌ඣත්‌තං වා බහිද්‌ධා වා, ඔළාරිකා වා සුඛුමා වා, හීනා වා පණීතා වා, යා දූරෙ සන්‌තිකෙ වා – අයං වෙදනාක්‌ඛන්‌ධො. යා කාචි සඤ්‌ඤා – අතීතානාගතපච්‌චුප්‌පන්‌නා අජ්‌ඣත්‌තං වා බහිද්‌ධා වා, ඔළාරිකා වා සුඛුමා වා, හීනා වා පණීතා වා, යා දූරෙ සන්‌තිකෙ වා – අයං සඤ්‌ඤාක්‌ඛන්‌ධො. යෙ කෙචි සඞ්‌ඛාරා – අතීතානාගතපච්‌චුප්‌පන්‌නා අජ්‌ඣත්‌තං වා බහිද්‌ධා වා, ඔළාරිකා වා සුඛුමා වා, හීනා වා පණීතා වා, යෙ දූරෙ සන්‌තිකෙ වා – අයං සඞ්‌ඛාරක්‌ඛන්‌ධො. යං කිඤ්‌චි විඤ්‌ඤාණං – අතීතානාගතපච්‌චුප්‌පන්‌නං අජ්‌ඣත්‌තං වා බහිද්‌ධා වා, ඔළාරිකං වා සුඛුමං වා, හීනං වා පණීතං වා, යං දූරෙ සන්‌තිකෙ වා – අයං විඤ්‌ඤාණක්‌ඛන්‌ධො. එත්‌තාවතා ඛො, භික්‌ඛු, ඛන්‌ධානං ඛන්‌ධාධිවචනං හොති”

“මහණ, යම්කිසි අතීත අනාගත වර්තමාන තුන්කාලයට අයත් වූ ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ රළු වූ හෝ සියුම් වූ හෝ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ සමූහ වශයෙන් පවත්නා වූ පරමාර්ථ රූපයක් වේ ද යම් දුර හෝ සමීපයෙහි වූ රූපයක් වේ ද මෙය සමූහ වශයෙන් පවත්නා වූ පරමාර්ථ වූ රූපස්කන්ධය වේ.

යම්කිසි අතීත අනාගත වර්තමාන තුන්කාලයට අයත් වූ ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ රළු වූ හෝ සියුම් වූ හෝ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ සමූහ වශයෙන් පවත්නා වූ පරමාර්ථ වේදනාවක් වේ ද යම් දුර හෝ සමීපයෙහි වූ වේදනාවක් වේ ද, මෙය සමූහ වශයෙන් පවත්නා වූ පරමාර්ථ වූ වේදනාස්කන්ධය වේ.

යම්කිසි අතීත අනාගත වර්තමාන තුන්කාලයට අයත් වූ ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ රළු වූ හෝ සියුම් වූ හෝ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ සමූහ වශයෙන් පවත්නා වූ පරමාර්ථ සංඥාවක් වේද යම් දුර හෝ සමීපයෙහි වූ සංඥාවක් වේද, මෙය සමූහ වශයෙන් පවත්නා වූ පරමාර්ථ වූ සංඥාස්කන්ධය වේ.

යම්කිසි අතීත අනාගත වර්තමාන තුන්කාලයට අයත් වූ ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ රළු වූ හෝ සියුම් වූ හෝ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ සමූහ වශයෙන් පවත්නා වූ පරමාර්ථ සංඛාරස්කන්ධයක් වේද යම් දුර හෝ සමීපයෙහි වූ සංඛාරස්කන්ධයක් වේද,  මෙය සමූහ වශයෙන් පවත්නා වූ පරමාර්ථ වූ සංඛාරස්කන්ධය වේ.

යම්කිසි අතීත අනාගත වර්තමාන තුන්කාලයට අයත් වූ ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ රළු වූ හෝ සියුම් වූ හෝ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ සමූහ වශයෙන් පවත්නා වූ පරමාර්ථ විඥානස්කන්ධයක් වේද යම් දුර හෝ සමීපයෙහි වූ විඥානස්කන්ධයක් වේද,   මෙය සමූහ වශයෙන් පවත්නා වූ පරමාර්ථ වූ විඥානස්කන්ධය වේ.

මහණ මේ ආකාරයෙන් පවතින සමූහ වශයෙන් පවත්නා වූ පරමාර්ථ වූ ධර්මයන්ට සමූහ වශයෙන් පවත්නා වූ පරමාර්ථ ධර්මයෝ යන නම වෙයි” යැයි වදාළ සේක.

මේ ආකාරයට භාග්‍යවතුන් වහන්සේ පංචුපාදානස්කන්ධයන්ගේ පරමාර්ථ ස්වභාවය දේශනා කොට වදාළ සේක. සත්වයන් පුද්ගලයන් කඳුවැටි ආදිය ලෙස පෙනීසිටිනුයේ ද පරමාර්ථ වූ ස්කන්ධ ධර්මයෝම බව ද මෙයින් වදාළ සේක. එසේම නාමරූප පරිච්ඡේද ඥානය සඳහා අවැසි පරමාර්ථ ධර්මයෝ දේශනා කරමින් සප්ත විශුද්ධීන් අතුරින් දිට්ඨි විශුද්ධිය දේශනා කොට වදාළ සේක.

ස්කන්ධයන්ගේ හටගැනීමට හේතු වන ප්‍රත්‍යවන ධර්ම (ධම්මට්ඨිති ඥානය හෙවත් කංඛාවිතරණ විශුද්ධිය)

ඉන් අනතුරුව ධම්මට්ඨිති ඥානය පිණිස පවතින ස්කන්ධයන්ගේ සංඛත පටිච්චසමුප්පන්න ස්වභාවය මතුකරනු කැමති වූ තෙරුන්වහන්සේ

  • “කො නු ඛො, භන්‌තෙ, හෙතු කො පච්‌චයො රූපක්‌ඛන්‌ධස්‌ස පඤ්‌ඤාපනාය? කො හෙතු කො පච්‌චයො වෙදනාක්‌ඛන්‌ධස්‌ස පඤ්‌ඤාපනාය? කො හෙතු කො පච්‌චයො සඤ්‌ඤාක්‌ඛන්‌ධස්‌ස පඤ්‌ඤාපනාය? කො හෙතු කො පච්‌චයො සඞ්‌ඛාරක්‌ඛන්‌ධස්‌ස පඤ්‌ඤාපනාය? කො හෙතු කො පච්‌චයො විඤ්‌ඤාණක්‌ඛන්‌ධස්‌ස පඤ්‌ඤාපනායා’’ති

“වහන්ස, රූපස්කන්ධයාගේ පැනැවීමට හේතු කවරේ ද, ප්‍රත්‍යය කවරේ ද, වෙදනා ස්කන්ධය පැනැවීමට හේතු කවරේ ද, ප්‍රත්‍යය කවරේ ද, සංඥාස්කන්ධය පැනැවීමට හේතු කවරේ ද, ප්‍රත්‍යය කවරේ ද, සංස්කාරස්කන්ධය පැනැවීමට හේතු කවරේ ද, ප්‍රත්‍යය කවරේ ද, විඥානස්කන්ධය පැනැවීමට හේතු කවරේ ද, ප්‍රත්‍ය කවරේ දැ’ යි” අසා වදාළ සේක.

එයට පිළිතුරු සපයන භාග්‍යවතුන් වහන්සේ

  • “චත්‌තාරො ඛො, භික්‌ඛු, මහාභූතා හෙතු, චත්‌තාරො මහාභූතා පච්‌චයො රූපක්‌ඛන්‌ධස්‌ස පඤ්‌ඤාපනාය. ඵස්‌සො හෙතු, ඵස්‌සො පච්‌චයො වෙදනාක්‌ඛන්‌ධස්‌ස පඤ්‌ඤාපනාය. ඵස්‌සො හෙතු, ඵස්‌සො පච්‌චයො සඤ්‌ඤාක්‌ඛන්‌ධස්‌ස පඤ්‌ඤාපනාය. ඵස්‌සො හෙතු, ඵස්‌සො පච්‌චයො සඞ්‌ඛාරක්‌ඛන්‌ධස්‌ස පඤ්‌ඤාපනාය. නාමරූපං ඛො, භික්‌ඛු, හෙතු, නාමරූපං පච්‌චයො විඤ්‌ඤාණක්‌ඛන්‌ධස්‌ස පඤ්‌ඤාපනායා’’ති.

මහණ, රූපස්කන්ධය පැනැවීමට සතර මහාභූතයෝ හේතු වෙති, සතර මහාභූතයෝ ප්‍රත්‍යය වෙති. වේදනාස්කන්ධය පැනැවීමට ස්පර්ශය හේතු වෙයි, ස්පර්ශය ප්‍රත්‍යය වෙයි. සංඥාස්කන්ධය පැනැවීමට ස්පර්ශය හේතු වෙයි, ස්පර්ශය ප්‍රත්‍ය වෙයි. සංස්කාරස්කන්ධය පැනැවීමට ස්පර්ශය හේතු වෙයි, ස්පර්ශය ප්‍රත්‍ය වෙයි. මහණ, විඥානස්කන්ධය පැනැවීමට නාමරූපය හේතු වෙයි, නාමරූප ප්‍රත්‍යය වේ” යයි වදාළ සේක.

මේ ආකාරයට භාග්‍යවතුන් වහන්සේ පංචුපාදනස්කන්ධයේ සංඛත පටිච්චසමුප්පන්න ස්වභාවය වදාළ සේක. සැබවින්ම පවත්නා වූ ස්කන්ධ ධර්මයෝ හේතුඵල පරම්පරා වශයෙන් පවත්නා බවත් ඇත්තේ ස්කන්ධ පරම්පරාව පමණක් විනා සසරින් සසරට යන සත්ත්වයෙකු පුද්ගලයෙකු නොමැති බව වටහා ගෙන ශාස්වත දෘෂ්ටියෙන් මිදෙනු පිණිසත් හේතු ඵල වශයෙන් පවතින්නේ එකම පරම්පරාවකට අයිති ධර්ම හෙයින් පූර්වකෘත කුශලාකුශල කර්මයන්ගේ විපාක විඳින්න වෙනුයේ ඒ ස්කන්ධ පරම්පරාව අයත් සම්මුති පුද්ගලයාට හෙයින් කර්මයන්ගේ විපාක නැත යනාදී වශයෙන් ගන්නා උච්ඡේදවත දෘෂ්ටියෙන් මුදවාලනු පිණිසත් ප්‍රත්‍යධර්ම සිඳලීමෙන් ස්කන්ධ පරම්පරාවේ ගලා යාම නවතාලීමෙන් ඒ ස්කන්ධ පරම්පරාව අයත් සම්මුති පුද්ගලයාට සදාතනිකව දුකින් මිදීමට හැකි බව දක්වාලනු පිණිසත් කංඛාවිතරණ විශුද්ධිය උපදවාගෙන ධම්මට්ඨිති ඥානයට පැමිණ චුල්ල සෝතාපන්නභාවයට පැමිණීමටත් භාග්‍යවතුන් වහන්සේ මෙම පංචුපාදානස්කන්ධයේ හටගැනීමට හේතුවන ධර්ම වදාළ සේක.

මීළඟ අවසාන ලිපියෙන් අපි පංචුපාදානස්කන්ධය පිළිබඳ සමාජ ගත වී ඇති මතයන් හා සත්කාය දෘෂ්ටිය දුරුකිරීමට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ක්‍රමය විස්තර කරන්නෙමු.

3. ස්කන්ධයන් අරඹයා උපදින සක්කාය දිට්ඨිය 

පසුගිය ලිපියෙන් අපි ශ්‍රී මුඛ දේශනාවට අනුව පංචුපාදානස්කන්ධය පිළිබඳ වඩා විස්තර විග්‍රහයක් හා ඒවා හට ගැනීමට හේතු කවරේද යන්න විස්තර කළෙමු. මේ අවසාන ලිපියෙන් අපි පංචුපාදානස්කන්ධය පිළිබඳ සමාජ ගත වී ඇති මතයන් හා සත්කාය දෘෂ්ටිය දුරුකිරීමට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ක්‍රමය විස්තර කරන්නෙමු.

ඉන් අනතුරුව එලෙස ප්‍රත්‍යයන්ගෙන් උපදින පංචුපාදානස්කන්ධයන් කෙරෙහි උපදින ආත්ම සංඥාව හෙවත් සක්කාය දිට්ඨිය පිළිබඳව මතු කිරීමට තෙරුන් වහන්සේ

  • “කථං පන භන්තේ සක්කාය දිට්ඨි හෝති

“වහන්ස කෙසේ නම් සක්කාය දිට්ඨිය ඇතිවන්නේදැ”යි පැන විචාළ සේක.

එයට පිළිතුරු වදාරන භාග්‍යවතුන් වහන්සේ

“මහණ, මේ ලෝකයේ අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ ආර්යයන් දැක්මට නොයනුයේ ආර්යධර්මයෙහි දක්ෂ නොවූයේ ආර්යධර්මයෙහි නොහික්මෙනුයේ, සත්පුරුෂයන් දැක්මට නොයනුයේ, සත්පුරුෂ ධර්මයේ අදක්ෂ වූයේ සත්පුරුෂ ධර්මයේ නොහික්මෙනුයේ රූප කය තමන් ලෙස දකියි. තමන් රූපකයෙන් යුක්ත යයි දකියි. තමන් තුළ රූප කය ඇතැයි දකියි. රූපකය තුළ තමන් සිටී යයි දකියි. වේදනාව තමන් ලෙස දකියි. තමන් වේදනාවෙන් යුක්ත කෙනෙක් යැයි දකියි. තමන් තුළ වේදනාව ඇතැයි දකියි. වේදනාව තුළ තමන් සිටී යයි දකියි……….. සංඥාව ………… සංස්කාරය …………. විඥානය තමන් ලෙස දකියි. තමන් විඥානයෙන් යුක්ත කෙනෙක් යැයි දකියි. තමන් තුළ විඥානය ඇතැයි දකියි. විඥානය තුළ තමන් සිටී යයි දකියි. මහණ මෙසේ සක්කාය දිට්ඨිය ඇති වේ යයි” වදාළ සේක.

සක්කාය දිට්ඨිය යනු පංචුපාදානස්කන්ධයක් විද්‍යාමාන වන තැන සත්ත්වයෙකු  පුද්ගලයෙකු ඇති සේ ආත්ම වශයෙන් සළකන ස්වභාවයයි. ලෝකය තුළ ස්ත්‍රියය පුරුෂයාය දෙවියාය ප්‍රේතයාය බල්ලාය ගොනාය ආදී වශයෙන් ව්‍යවහාර කරනුයේ පංචුපාදානස්කන්ධ‍යන් කෙරෙහි ඇති වැරදි වැටහීමෙනි. පංචුපාදානස්කන්ධ‍ ඒකත්වයෙන් ගැනීම මෙම වැරදි වැටහීම ඇතිවීමට හේතු වේ.   ඒකත්වයෙන් ගැනීම නිසා මනස තුළ උපදින සටහන සම්මුති සටහනකි. ප්‍රඥප්ති සටහනකි. එයට පුද්ගල නිමිත්ත යැයි කියාද කියනු ලැබේ. එසේ ඇති කර ගන්නා පුද්ගල නිමිති සටහන් සත්‍ය යැයි අවිද්‍යාවෙන් මුලා වී සිතා ගෙන අසවලාට මම කැමතියි යයි පංචුපාදානස්කන්ධයන් කෙරෙහි රාගය උපදවා ගන්නේය. අසවලා මට බැන්නේ යයි පංචුපාදානස්කන්ධයන් කෙරෙහි ද්වේශය උපදවා ගන්නේය. මෙලෙස විවිධ පංචුපාදානස්කන්ධයන් පුද්ගලයන් සේ සලකා ඊර්ෂ්‍යාව, මානය, මසුරුකම ආදී අකුසල්ද ශ්‍රද්ධාව, මෛත්‍රිය, කරුණාව ආදී කුසල්ද උපදවා ගන්නේය. පුද්ගල නිමිති සත්‍යවශයෙන් ඇති දේවල් නොවන නිසා එම නිමිති විපස්සනා භාවනාවට යොදා ගනු නොලැබේ.

පුද්ගල නිමිති විපස්සනාවට යොදා ගත යුතුද?‍

මෙකළ ඇතැම් දේශකයෝ “රූපයක් අරමුණු කොට  එම රූපය කෙරෙහි එම රූපය තිබෙනා බවක් සත්ව- පුද්ගල බවක් අරමුණු කෙරෙයි. එය රූපය කෙරෙහි සකස් කරගන්නා රූපුපාදානස්කන්ධයයි. මෙලෙස වේදනා, සඤ්ඤා , සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ කෙරෙහි ද උපාදානස්කන්ධයන් සකස් කරගනී. එය සිතින් සකස් කරගන්නා නිමිති වන අතර එම නිමිති නිෂ්පාදනය කෙරෙනුයේ අවිද්‍යාව මගිනි. මේ ලෝකය තුල බාහිරය පරිහරණය කරනුයේ එලෙසිනි. භෞතික ආහාර ප්‍රත්‍යයෙන් සකස්කරගත් ස්කන්ධ නැති වූ පසු එම ස්කන්ධ පරිහරණ පිණිස සකස් කරගන්නා ලද සටහන් පුද්ගල මනසේ ඉතිරි වේ යැයි කියති.

ඔවුහු මෙසේද පවසත්. “ඇසට රූපය පෙනෙන අවස්ථාවේ තිබෙන (වර්ණ රූපය, චක්ඛු ප්‍රසාදය, චක්ඛු විඤ්ඤාණය යනාදිය) ධර්ම පංචුපාදානස්කන්ධය නොවේ. තණ්හාවෙන් ඇසුරු කළ වරද නිසා ඒ ධර්ම හටගෙන නිරුද්ධ වූ බව නොපෙනෙයි. රූප දැක නිරුද්ධ වූ පසු ඒ ඉපිද නිරුද්ධ වූ ධර්ම මනසින් ඔසවා සකස් කර ගන්නා ලෝකයට පංචුපාදානස්කන්ධ යන නම ලැබේ. තණ්හාවෙන් ඇසුරු කළ නිසා මනසින් හදා ගත් ඒ නිමිත්ත පංචුපාදානස්කන්ධයයි. මනෝමය පංචුපාදානස්කන්ධයක් නිර්මාණය කර දුක සැප විඳින විට එය සාදා දුන් ඇස නිරුද්ධ වී අවසානය. පුරාණ කර්මයන්ගෙන් ආහාර ප්‍රත්‍යයෙන් හට ගත් විපාක ස්කන්ධ වලින් දුක නූපදී. ඒ විපාක ස්කන්ධවලට ජරා මරණ දුක නැත. ඒ විපාක ස්කන්ධ සත්ත්වයෙක් පුද්ගලයෙක් නොවේ. මනසින් හදා ගත් පංචුපාදානස්කන්ධයෙන් දුක උපදී. ආහාර ප්‍රත්‍යයෙන් හට ගත් ස්කන්ධවලට සතරමහාධාතුවට තණ්හාව නූපදී. පංචුපාදානස්කන්ධය පූර්ව කර්මයෙන් නොව වර්තමාන තණ්හාවෙන් උපදී. තණ්හාව නැති වූ විට පංචුපාදානස්කන්ධය නැති වේ. අවිද්‍යා තෘෂ්ණා දුරුකළවිට පංචුපාදානස්කන්ධ රැස් නොවේ. මේ පංචුපාදානස්කන්ධයෙහි උදය ව්‍යය බැලිය යුතුය.”

පංචුපාදනස්කන්ධය මනසින් සාදා ගනු ලබන්නක්ද?

මේ දේශකවරු මනසින් හදා ගත් පංචුපාදානස්කන්ධ යැයි කියනුයේ ඉහත අප සඳහන් කළ පංචුපාදානස්කන්ධ‍ ඒකත්වයෙන් ගැනීම නිසා පංචුපාදානස්කන්ධ කෙරෙහි උපදින පුද්ගල නිමිතිවලටය. ඇසට රූප පෙනීම් කනට ශබ්ද ඇසීම් ආදී අවස්ථාවලදී තිබෙන වර්ණ රූපය, චක්ඛුප්‍රසාදය, චක්ඛුවිඤ්ඤාණය ආදී ධර්මවලට පංචුපාදානස්කන්ධ යැයි නොකියයි යනුවෙන් මේ දේශකවරු පැවසුවද ත්‍රිපිටක බුද්ධවචනයට අනුව පංචුපාදානස්කන්ධ යැයි කියනුයේ එම ධර්මවලට බව අපි පළමු ලිපියේ පැහැදිලි කළෙමු. එබැවින් නිවැරදි දහම් අරුත් සොයන්නවුන් විසින් එම ලිපියෙහි දක්වන ලද ක්‍රමයෙන්ම පංචුපාදානස්කන්ධය සඳහා අර්ථ දරා ගත යුතුය.

තවද මේ දේශකයන් ආහාර ප්‍රත්‍යයෙන් හටගත් ස්කන්ධ කෙරෙහි, සතර මහා ධාතුව කෙරෙහි  තණ්හාව නූපදී යැයි කියයි. නමුදු භාග්‍යවතුන් වහන්සේ මහාසතිපට්ඨාන සූත්‍රයෙහි මෙසේ දේශනා කළ සේක. “චක්ඛුං ලෝකේ පිය රූපං සාතරූපං එත්ථ සෝ තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති එත්ථ නිවිසමානා නිවිසති” යනුවෙනි. එහි අර්ථය වනුයේ ලෝකයෙහි ප්‍රිය වඩන වූ මිහිර එළවන සුළු වූ යම් චක්ඛුප්‍රසාද රූපයක් වේද ඒ චක්ඛුප්‍රසාදයෙහි ඒ තෘෂ්ණාව උපදිමින් උපදියි. ඒ චක්ඛුප්‍රසාදයෙහි ඒ තෘෂ්ණාව වාසය කරමින් වාසය කරයි” යන්නයි. මේ අනුව තෘෂ්ණාව උපදිනුයේත් වාසය කරනුයේත් චක්ඛු ප්‍රසාදය මත බව මනාව පැහැදිලිය. එබැවින් ලෝකයේ සත්ත්වයෝ තමන්ට මිහිර උපදවන ඇස මගේ මගේ යැයි තෘෂ්ණාවෙන් උපාදානය කරයි. මේ ආකාරයෙන් සූත්‍රයෙහි දුක්ඛසමුදය සත්‍ය වාරයෙහි දක්වන ලද රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ඨබ්බ, ධම්ම, සෝතප්‍රසාද, ඝාණප්‍රසාද, ජිව්හාප්‍රසාද, කායප්‍රසාදාදී සියලු ධර්මයන් කෙරෙහිම තෘෂ්ණාව උපදින බව දත යුතුය.

ඇතැමුන් පංචුපාදානස්කන්ධය මනසින් සාදා ගන්නේය යැයි කියන්නේ ඇයි ?

මේ දේශකවරු පංචුපාදානස්කන්ධය මනසින් සාදා ගන්නේය යැයි දේශනා කරනුයේ පහත කරුණු වරදවා ගෙනය.

උදාහරණයක් ලෙස රූමත් නව යොවුන් තරුණියක් දකින තරුණයෙකුගේ චක්ඛු ප්‍රසාදයට ස්ත්‍රී කයෙහි වර්ණරූපය ආපාතනය වී චක්ඛු විඤ්ඤාණය මගින් වර්ණ රූපය දැන ගන්නේය. ඉන් අනතුරුව චක්ඛු විඤ්ඤාණයෙන් දැන ගත් වර්ණ රූපය අරමුණු කර ගෙන මනෝ විඤ්ඤාණ සිත් උපදින්නේය. මුල් මනෝ විඤ්ඤාණ වලින් වර්ණ රූපය අරමුණු කිරීමද ඒ වර්ණ රූපවලට අදාළ සම්මුති නාමයද ඒ සම්මුති නාමයෙන් හැඟවෙන අර්ථ අරමුණු කිරීමද කරයි. ඒ සම්මුති නාමයෙන් හැඟවෙන අර්ථ අරමුණු කිරීම් වශයෙන් මේ දිගු කේශ කලාපයක් ඇති ස්ත්‍රියක, නිල්වන් ඇස් ඇත්තියක, රක්තවර්ණ දෙතොල් ඇත්තියක රන්වන් ඡවිවර්ණ ඇත්තියක යනාදී වශයෙන් අර්ථ අරමුණු කරයි. අනතුරුව මෙබඳු අරමුණෙහි රාග වශයෙන් හුරු කළ සිත ඒ ස්ත්‍රී සටහන අරමුණු කරමින් රාග වශයෙන් සිත් උපදවයි. ඒ රාගය බලවත් බවට පැමිණි කළ එම ස්ත්‍රී සටහන උපාදාන වශයෙන් ගනියි. මෙසේ ඒ ස්ත්‍රී සටහන රාග වශයෙන් ගත් තැනැත්තා ඒ ස්ත්‍රිය දර්ශන පථයෙන් ඉවත්ව ගිය පසුද ඒ ස්ත්‍රී සටහන සිහි කරමින් රාගයෙන් පීඩාවට පත් වේ. එවිට ඒ පුද්ගලයා දුකට පත් වේ.‍

මේ සම්පූර්ණ සිදුවීමේ ධර්මතා පහළවීම මෙසේය.

  • පළමුව ස්ත්‍රිය දුටු අවස්ථාවේදී ස්ත්‍රී ශරීරයේ වර්ණය, දකින්නාගේ චක්ඛුප්‍රසාදය හා චක්ඛු විඤ්ඤාණය ධර්මතා වශයෙන් පැවතිනි.
  • ඉන් අනතුරුව එම වර්ණ සටහන මනසින් අරමුණු කිරීමේදී රූපාරම්මණය ලෙස වර්ණ රූපයත් සිත වශයෙන් මනෝ විඤ්ඤාණයත් පැවතිනි.
  • ඉන් අනතුරුව සම්මුති නාමයත් එහි අර්ථත් මෙනෙහි කිරීමේදී ආරම්මණය ලෙස ප්‍රඥප්තීන්ද සිත වශයෙන් මනෝ විඤ්ඤාණය ද පැවතිනි.
  • ඉන් අනතුරුව ස්ත්‍රී සටහන කෙරෙහි රාග වශයෙන් බැස ගැනීමේදී ආරම්මණය ලෙස ප්‍රඥප්තියක්ද සිත වශයෙන් ලෝභ සහගත මනෝ විඤ්ඤාණයන්ද පැවතුනි.

මෙහිදී මේ පුද්ගල තෙමේ ස්ත්‍රිය දර්ශන පථයෙන් ඉවත් වූ පසු ස්ත්‍රී සටහන නමැති ප්‍රඥප්තිය අරමුණු කරමින්ද ලෝභ සහගත සිත් උපදවන්නේය. ශරීර වර්ණය නම් පරමාර්ථ වර්ණ රූපය අරමුණු කරමින්ද, දෙතොලේ රක්ත වර්ණය නම් පරමාර්ථ වර්ණ රූපය අරමුණු කරමින්ද, ඉදින් ඇයගේ සුවඳ දැනුණේ වී නම් පරමාර්ථ ගන්ධ රූපය අරමුණු කරමින්ද යනාදී වශයෙන් ප්‍රඥප්ති පරමාර්ථ දෙකම අරමුණු කරමින් මනෝ විඤ්ඤාණයන් උපදවන්නේය. ඉදින් ඇයගේ කරුණාවන්ත බවක් වී නම් පරමාර්ථ කරුණා චෛතසිකය අරමුණු කරමින්ද, ඉදින් ඇයගේ රාගික බවක් වී නම් පරමාර්ථ ලෝභ චෛතසිකය අරමුණු කරමින්ද යනාදී වශයෙන් ධම්මාරම්මණ අරමුණු කරමින්ද ලෝභ සහගත මනෝ විඤ්ඤාණයන් උපදවන්නේය.

ඉහත දක්වන ලද සිදුවීමේ සම්පූර්ණ පරමාර්ථ ප්‍රඥප්ති සිද්ධාන්තය කියූ අයුරින් දත යුතුය. එහි මනසින් සාදා ගත් යමකට තිබුණේ වී නම් ඒ ස්ත්‍රී සටහන, සටහන් නාමය ආදී ප්‍රඥප්තිය පමණි. ඒවාද මේ දේශකයන් කියන පරිදි වූ මනසින් සාදා ගත් පංචුපාදානස්කන්ධ නොවේ. එය හුදු පුද්ගල නිමිත්තක් පමණි. ප්‍රඥප්ති සටහනකි. අභිධර්මයේ ආරම්මණ සංග්‍රහය, පට්ඨානයේ ආරම්මණ ප්‍රත්‍ය, පුද්ගල පඤ්ඤත්තිපකරණයෙහි එන ප්‍රඥප්ති භේදය ඉගෙන ගත් අයට මෙම පුද්ගල සටහන් පංචුපාදානස්කන්ධ නොවන්නේය. හුදු ප්‍රඥප්ති ආරම්මණයක්, හුදු ධම්මාරම්මණයක් බව වැටහෙන්නේය. එබැවින් මේ දේශකවරුන් කියන පරිදි මනසින් සාදා ගන්නා පංචුපාදානස්කන්ධයක් නැති බවත් එසේ නැත්තා වූ අවිද්‍යමාන වූ පංචුපාදානස්කන්ධයක උදය වැය බැලිය නොහැකි හෙයින් විපස්සනා භාවනාවට ගත නොහැකි බව දත යුතුය. මන්ද යත් විපස්සනාවට ගනු ලබන්නේ පරමාර්ථ පමණක් බැවිනි. ප්‍රඥප්ති විපස්සනා නොකරන බැවිනි. එබැවින් “සබ්බෙ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති” යනුවෙන් වදාළ සේක.

රහතන් වහන්සේලාට සත්ත්ව පුද්ගල නිමිති නූපදීද ?

ඉදින් මේ දේශකයන් කියන පරිදි අවිද්‍යා තෘෂ්ණා දුරු කළ විට පංචුපාදානස්කන්ධ හට නොගන්නේ නම් රහතන් වහන්සේලාට ස්ත්‍රී පුරුෂ පුද්ගල නිමිති සටහන් ගස් වැල ඇල දොළ ගංගා ආදියේ නිමිති සටහන් නොවැටහිය යුතුය. එසේ වුවහොත් රහත් වූ පසු මෙලොව වාසය කිරීමට නොහැකි වනු ඇත. නමුත් රහතන් වහන්සේලා මනාව සම්මුති ලෝකය සමඟ ගනුදෙනු කළ බැවින් එසේ නොවන බව දත යුතුය. එබැවින් පංචුපාදානස්කන්ධය යන්නෙහි අර්ථ ලබා ගත යුත්තේ මේ ලිපියේ ඉහතින් පංචුපාදානස්කන්ධ කථාවෙහි පැහැදිලි කළ ආකාරයට බව ධර්මකාමී සුධීහු දත යුතු වෙත්.

පිරිසිදු විපස්සනාවෙන් කරනුයේ කුමක්ද ?

විපස්සනාවේදී නාමරූප පරිග්‍රහණයෙන් කෙරෙනුයේ සම්මුති බිඳ පරමාර්ථ මතු කර ගැනීමය. නාමරූප ධර්ම විසදව නොවැටහෙන කල්හි ප්‍රඥප්තියෙහි සිත බැසගන්නේය. එවිට නැවත නැවතත් දැඩිව සත්ත්ව පුද්ගල සංඥාවම උපදින්නේය. නමුදු මනාව නාමරූප වැටහෙන පුද්ගලයා නාම රූපය නාම රූප ලෙසින් වටහාගෙන තෘෂ්ණා දෘෂ්ටි බැසගැනීම්වලින් තොරව ඇලීම් ගැටීම් වලින් තොරව සත්ත්ව පුද්ගල ප්‍රඥප්තිය ද අරමුණු කරන්නේය. එවිට ඔහු ප්‍රඥප්තියෙහි මුලා නොවේ. ප්‍රඥප්තියෙහි මුලාවන පුද්ගලයා, දෝෂය ඇත්තේ පුද්ගල නිමිත්තේ යයි සිතා එය පිරිසිදු කිරීමට උත්සාහ කරයි. එබැවින් මෙලෙස මනසින් හදාගන්නා පංචුපාදානස්කන්ධයක් ඇත්තේය යනාදී දෘෂ්ටිවල‍ට පැමිණෙයි. නමුදු නියම විපස්සනාවේදී සිදු කරනුයේ පුද්ගලයා යැයි කියන තැන විද්‍යමාන වන්නේ මොනවාද, සත්‍ය වශයෙන් ඇත්තේ මොනවාද පරමාර්ථ වශයෙන් ඇත්තේ මොනවාද යන්න පරීක්ෂා කිරීමයි. මෙලෙස නැවත නැවත නාම රූප පරිග්‍රහණය කරන තැනැත්තාට සැබැවින් සත්ත්වයෙක් පුද්ගලයෙක් නැත ඇත්තේ නාම රූප පමණි යැයි ඥානයක් උපදින්නේය. මෙම ඥානයට දෘෂ්ටි විශුද්ධිය කියාද නාමරූප පරිච්ඡේද ඥානය කියාද කියනු ලැබේ.

දෘෂ්ටි විශුද්ධිය පිළිබඳ මහ තෙරුන් වහන්සේලාගේ අදහස්

ලංකා ශාසනයේ මෑත යුගයේ පහළ වූ ශ්‍රේෂ්ඨ ධර්මධරයෙක් වූ ද විපස්සනා යෝගාවචරයෙක් වූද රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමීන් වහන්සේගේ විදර්ශනා භාවනා ක්‍රමය ග්‍රන්ථයෙහි 56, 57 පිටුවල මේ බව මෙසේ සඳහන් කොට ඇත.

“විදර්ශනාවේ ආදිය දෘෂ්ටි විශුද්ධි භාවනාවය. යෝගාවචරයෙකුට බොහෝ කල් ගතවනුයේ මේ දෘෂ්ටි විශුද්ධිය සම්පාදනය කිරීමටය. කොපමණ කලක් ගත කොට මුත් හෝඩි ‍පොත මැනවින් උගත් කෙනෙකුට මතු ඊ ළඟ පොත කියවීමට වැඩි අපහසුවක් නොවන්නාක් මෙන් දෘෂ්ටි විශුද්ධිය හොඳින් සම්පාදනය කර ගත් තැනැත්තා හට වඩා අපහසුවක් නැතිව ඉතිරි විශුද්ධීන් සම්පාදනය කළ හැකිය. ඒ නිසා හොඳින් සම්පාදනය කර ගත යුතු විශුද්ධිය දෘෂ්ටි විශුද්ධියය. මෙතනදී ඉදිරියට යාමට ඉක්මන් නොවිය යුතුය. මෙය හොඳින් සම්පාදනය නොකොට ඉක්මනින් ඉදිරියට යන තැනැත්තාට භාවනා ක්‍රමය අවුල් වන්නේය. මෙය සම්පාදනය කළ යුත්තේ තමා සැටියටත් මාපියාදි අන්‍ය පුද්ගලයන් සැටියටත් පෙනෙන නාමරූප ධර්ම සමූහයන් කෙසෙල් ගසක් පතුරු ගසන්නාක් මෙන් ස්වකීය ඥානයෙන් කොටස්වලට බෙදා පෙර පැවති මමය මවය පියාය සහෝදරයාය පුත්‍රයාය භාර්යාවය යනාදී සත්ත්ව පුද්ගල සංඥාව දුරු වන තුරු ඒවා මම නොව මාපිය ආදී අන්‍ය සත්ත්වයන් පුද්ගලයන් නොව නාමරූප ධර්ම සමූහයම බව ඇසට පෙනෙන සේම පෙනෙන්නට පටන් ගන්නා තුරු බෙද බෙදා බැලීමෙන්ය.

තමාගේ සිතට අරමුණු වන්නා වූද ඇසට පෙනෙන්නා වූද පුද්ගලයන්, පුද්ගලයන් සැටියට නොව නාමරූප, නාමරූප සැටියටම යම් කලෙක පෙනෙන්න‍ට වී නම් එකල දෘෂ්ටි විශුද්ධිය සම්පාදනය වූයේ යැයි කිව යුතුය. නාමරූප ධර්ම මිස සත්ත්වයෙකු පුද්ගලයෙකු නැතැයි අනුන් කියනු ඇසීමෙන් හා පොතපත ඉගෙනීමෙන් හා මඳ කලක් භාවනාවෙහි යෙදීමෙන් ඥාන දර්ශනයක් නොලබා සත්තවයෙකු පුද්ගලයෙකු නැති බව සිතා ගෙන දෘෂ්ටි විශුද්ධිය සම්පාදනය වූයේ යැයි මුළා විය හැකිය. මුළා නොවනු.‍ (විදර්ශනා භාවනා ක්‍රමය – රේරුකානේ චන්දවිමල මහනාහිමි)

කෙසේ මෙනෙහි කරන්නහුට සක්කාය දිට්ඨිය ඇති නොවේද?

ඉන් අනතුරුව තෙරුන් වහන්සේ කෙසේ මනසිකාර කරන්නහුට සක්කාය දිට්ඨිය  නොවන්නේදැයි විමසනු පිණිස “වහන්ස කෙසේ සක්කාය දිට්ඨිය ඇති නොවේදැ”යි ඇසූ සේක. එයට පිලිතුරු සපයන භාග්‍යවතුන් වහන්සේ පෙර කෙසේ සක්කාය දිට්ඨිය ඇති වේද යන පැනයට ලබා දුන් පිළිතුරේ ප්‍රතිපක්ෂය වූ “මහණ, මේ ශාසනයේ ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවක තෙමේ ආර්යයන් දැක්මට යනුයේ, ආර්ය ධර්මයෙහි දක්ෂ වූයේ යනාදී වශයෙන් දේශනා කොට රූපකය ආත්ම වශයෙන්  නොදකියි, ආත්මය රූපකයෙන් යුක්ත යැයි නොදකියි, ආත්මය තුළ රූපකය ඇතැයි නොදකියි, රූපකය තුළ ආත්මය සිටී යයි ආත්ම වශයෙන් නොදකියි” යනාදී වශයෙන් ස්කන්ධ පංචකයම අරභයා සක්කාය දිට්ඨිය ඇති නොවන ආකාරය වදාළ සේක.

ආත්ම දෘෂ්ටිය ප්‍රහාණය වන ප්‍රතිපදාව තවදුරටත්

ඉන් අනතුරුව තෙරුන් වහන්සේ ඉදිරි විපස්සනා ප්‍රතිපදාව මතුකරලීමට රුචි වූයේ

  • “කො නු ඛො, භන්‌තෙ, රූපෙ අස්‌සාදො, කො ආදීනවො, කිං නිස්‌සරණං? කො වෙදනාය අස්‌සාදො, කො ආදීනවො, කිං නිස්‌සරණං? කො සඤ්‌ඤාය අස්‌සාදො, කො ආදීනවො, කිං නිස්‌සරණං? කො සඞ්‌ඛාරෙසු අස්‌සාදො, කො ආදීනවො, කිං නිස්‌සරණං? කො විඤ්‌ඤාණෙ අස්‌සාදො, කො ආදීනවො, කිං නිස්‌සරණ’’න්‌ති?

වහන්ස, රූපයෙහි ආස්වාද කවර, ආදීනව කවර, නිස්සරණ කිම? වේදානයෙහි ආස්වාද කවර, ආදීනව කවර, නිස්සරණ කිම? සංඥායෙහි ආස්වාද කවර, ආදීනව කවර, නිස්සරණ කිම? සංස්කාරයන්හි ආස්වාද කවර, ආදීනව කවර, නිස්සරණ කිම? විඥානයෙහි ආස්වාද කවර, ආදීනව කවර, නිස්සරණ කිමැ’” යැයි ඇසූ සේක.

එයට පිළිතුරු සපයන භාග්‍යවතුන් වහන්සේ

  • “යං ඛො, භික්‌ඛු, රූපං පටිච්‌ච උප්‌පජ්‌ජති සුඛං සොමනස්‌සං, අයං රූපෙ අස්‌සාදො. යං රූපං අනිච්‌චං දුක්‌ඛං විපරිණාමධම්‌මං, අයං රූපෙ ආදීනවො. යො රූපෙ ඡන්‌දරාගවිනයො ඡන්‌දරාගප්‌පහානං, ඉදං රූපෙ නිස්‌සරණං. යං ඛො භික්‌ඛු, වෙදනං පටිච්‌ච… සඤ්‌ඤං පටිච්‌ච… සඞ්‌ඛාරෙ පටිච්‌ච… විඤ්‌ඤාණං පටිච්‌ච උප්‌පජ්‌ජති සුඛං සොමනස්‌සං, අයං විඤ්‌ඤාණෙ අස්‌සාදො. යං විඤ්‌ඤාණං අනිච්‌චං දුක්‌ඛං විපරිණාමධම්‌මං, අයං විඤ්‌ඤාණෙ ආදීනවො. යො විඤ්‌ඤාණෙ ඡන්‌දරාගවිනයො ඡන්‌දරාගප්‌පහානං, ඉදං විඤ්‌ඤාණෙ නිස්‌සරණ’’න්‌ති.

“මහණෙනි, රූපය නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද, මේ රූපයෙහි ආස්වාද යැ. යම්හෙයෙකින් රූපය අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව වේ ද, මේ රූපයෙහි ආදීනව යැ. රූපයෙහි යම් ඡන්‍දරාගවිනයෙක් ඡන්‍දරාගප්‍රහාණයෙක් වේ ද, මේ රූපයෙහි නිස්සරණ යි. මහණ, වේදනාව නිසා යම් … සංඥාව නිසා … සංස්කාරයන් නිසා … විඥානය නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද, මේ විඥානයෙහි ආස්වාද යැ, යම් හෙයෙකින් විඥානය අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව වේ ද, මේ විඥානයෙහි ආදීනව යැ. විඥානයෙහි යම් ඡන්‍ද රාගවිනයෙක් ඡන්‍දරාගප්‍රහාණයෙක් වේ ද, මේ විඥානයෙහි නිස්සරණැ’ යි වදාළහ.”

සූත්‍රයෙන් මතු වන චතුරාර්යසත්‍යය

මෙහිදී භාග්‍යවතුන් වහන්සේ ආශ්වාදාදිය දේශනා කිරීමෙන් චතුරාර්යසත්‍යය වදාළේ වෙයි. ඒ කෙසේද යත්,

දුක්ඛාර්යසත්‍යය

ත්‍රෛභූමික සංස්කාරයෝම තෘෂ්ණාවෙන් ආශ්වාද කරන බැවින් අස්සාද යන පදයෙන් ත්‍රෛභූමික සංස්කාරයන් වදාළේ වෙයි. ත්‍රෛභූමික සංස්කාරයන් දුක්ඛාර්යසත්‍යයෙහි ලා වැටෙන හෙයින් අස්සාද පදයෙන් දුක්ඛාර්යසත්‍යය වදාළේ වෙයි.

දුක්ඛ සමුදයසත්‍යය

ආදීනවය දැක්වීමේදී අනිච්චං යන පදය වදාළ හෙයින් සංස්කාරයන්ගේ හට ගැනීම බිඳීම වදාළේ වෙයි. හට ගැනීම වදාළ කල්හි හට ගැනීමට හේතුද වදාළේම වෙයි. මෙලෙස සංස්කාරයන්ගේ හට ගැනීමට හේතු ආදීනව පදයෙන් දක්වන ලද්දේ වෙයි. එහෙයින් ආදීනව පදයෙන් දුක්ඛ සමුදය දක්වන ලද්දේ වෙයි.

දුක්ඛ නිරෝධසත්‍යය

එසේම සංස්කාරයන්ගේ ආදීනවය දුරු කිරීමට සමුදය ප්‍රහාණය කළ යුතු හෙයින්ද ආදීනව යන පදයෙන් දුක්ඛ නිරෝධසත්‍යය දක්වන ලද්දේ වෙයි. නිස්සරණං යන පදයේ අර්ථය පිණිස ඡන්දරාග විනයෝ ඡන්දරාග පහාණං යයි වදාළ බැවින් එයින් ද නිර්වාණය දක්වන ලදී. එබැවින් නිස්සරණං යන පදයෙන් දුක්ඛ නිරෝධ සත්‍යය වදාරණ ලදී.

දුක්ඛ නිරෝධගාමීනී පටිපදා සත්‍යය

ත්‍රෛභූමික සංස්කාරයන් පිරිසිඳීම ආස්වාද පදයෙන්ද, සංස්කාරයන්ගේ ප්‍රත්‍ය බැලීම හා උදයව්‍ය බැලීම අනිච්ච පදයට අන්තර්ගත නිසා ආදිනව පදයෙන් ඉදිරි විපස්සනා මාර්ගයත් දක්වන ලද බැවින් ආස්වාද ආදීනව පදයන්ගෙන් දුක්ඛ නිරෝධගාමීනී පටිපදා ආර්යසත්‍යය වදාළේ වෙයි.

මේ අනුව භාග්‍යවතුන් වහන්සේ මේ ආස්වාද ආදීනව නිස්සරණ යන ත්‍රිපදයෙන් චතුරාර්ය සත්‍ය ධර්මද සප්ත විශුද්ධි සංඛ්‍යාත සියලු විපස්සනා මාර්ගය ද වදාළ බැව් දත යුතුය.

ප්‍රපංචයන් දුරු කරලනු පිණිස

ඉන් අනතුරුව තෙරුන් වහන්සේ සියලු සංස්කාරයක් කෙරෙහි තෘෂ්ණා දිට්ඨි මාන සංඛ්‍යාත ප්‍රපංචයෝ දුරු කරලනු පිණිස

“කථං පන, භන්‌තෙ, ජානතො කථං පස්‌සතො ඉමස්‌මිඤ්‌ච සවිඤ්‌ඤාණකෙ කායෙ බහිද්‌ධා ච සබ්‌බනිමිත්‌තෙසු අහිංකාරමමිංකාරමානානුසයා න හොන්‌තී”ති?

“වහන්ස කෙසේ දන්නහුට කෙසේ දක්නහුට මේ සවිඥානික කයෙහිද බාහිර සවිඥානික අවිඥානික සියලු නිමිත්තයන්හිද අහංකාර මානයද මමංකාර තෘෂ්ණාවය යන අනුසය ධර්ම නොවන්නාහුදැයි” ඇසූ සේක.

ඊට පිළිතුරු සපයන භාග්‍යවතුන් වහන්සේ

“යං කිඤ්‌චි, භික්‌ඛු, රූපං – අතීතානාගතපච්‌චුප්‌පන්‌නං අජ්‌ඣත්‌තං වා බහිද්‌ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්‌තිකෙ වා – සබ්‌බං රූපං ‘නෙතං මම, නෙසොහමස්‌මි, න මෙසො අත්‌තා’ති – එවමෙතං යථාභූතං සම්‌මප්‌පඤ්‌ඤාය පස්‌සති. යා කාචි වෙදනා… යා කාචි සඤ්‌ඤා… යෙ කෙචි සඞ්‌ඛාරා… යං කිඤ්‌චි විඤ්‌ඤාණං – අතීතානාගතපච්‌චුප්‌පන්‌නං අජ්‌ඣත්‌තං වා බහිද්‌ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්‌තිකෙ වා – සබ්‌බං විඤ්‌ඤාණං ‘නෙතං මම, නෙසොහමස්‌මි, න මෙසො අත්‌තා’ති – එවමෙතං යථාභූතං සම්‌මප්‌පඤ්‌ඤාය පස්‌සති. එවං ඛො, භික්‌ඛු, ජානතො එවං පස්‌සතො ඉමස්‌මිඤ්‌ච සවිඤ්‌ඤාණකෙ කායෙ බහිද්‌ධා ච සබ්‌බනිමිත්‌තෙසු අහිංකාරමමිංකාරමානානුසයා න හොන්‌ති’’

මහණ, අධ්‍යාත්ම වූ ද බාහ්‍ය වූ ද ඖදාරික වූ ද සූක්ෂ්ම වූ ද හීන වූ ද ප්‍රණීත වූ ද අතීතානාගප්‍රත‍්‍යුත්පන්න වූ යම් රූපයෙක් ඇද්ද, දුරැ හෝ සමීපයෙහි හෝ යම් රූපයෙක් ඇද්ද, එ හැම රූපය මාගේ නො වෙයි, තෙල මම නො වෙමි, තෙලෙ මාගේ ආත්ම නො වේ යැ’යි මෙසේ තෙල රූපය යථාස්වභාවයෙන් විදර්ශනාප්‍රඥායෙන් දකී. යම් කිසි වේදනාවක් … යම් කිසි සංඥාවක් … යම් කිසි සංස්කාර කෙනෙක් … අධ්‍යාත්ම වූ ද බාහිර වූ ද ඖදාරික වූ ද සූක්ෂ්ම වූ ද හීන වූ ද ප්‍රණීත වූ ද අතීතානාගප්‍රත‍්‍යුත්පන්න වූ යම් කිසි විඥානයෙක් ඇද්ද, දුරැ හෝ සමීපයෙහි හෝ යම් විඥානයෙක් ඇද්ද, තෙල හැම විඥානය මාගේ නො වෙයි, තෙල මම් නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වේ යැ’යි මෙසේ තෙල විඥානය තත්වූ පරිදි විදර්ශනාප්‍රඥායෙන් දකී. මහණ, මෙසේ දන්නහුට මෙසේ දක්නහුට මේ සවිඥානක කයෙහි ද බාහ්‍ය වූ සවිඥානක කයෙහි හා අතින්ද්‍රියබද්ධයෙහි ද අහංකාර මාන යැ මමංකාර තෘෂ්ණා යැ යන අනුශය ධර්මයෝ නො වෙත්” යයි වදාළ සේක.

ඉහත දැක්වූ අයුරින් පිළිවෙලින් විශුද්ධීන් සම්පාදනය කරගත් තැනැත්තා පංචුපාදානස්කන්ධය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් දකිනුයේ පංචුපාදනස්කන්ධය මාගේ නොවේ, ඒ  පංචුපාදානස්කන්ධයෙහි මම නොවෙමි, පංචුපාදානස්කන්ධය මාගේ ආත්මය නොවේ යැයි සම්‍යක් ප්‍රඥාවෙන් දකියි. එසේ දකින්නහුටම තණ්හා දිටඨි මාන සංඛ්‍යාත ප්‍රපඤ්චයෝ ඇති නොවෙත්. එනම් පුද්ගල ප්‍රඥප්තිය, පුද්ගල නිමිති සටහන් දැනගත්තේ ද ඒවායේ ඇලීම්, ගැටීම්,මුලාවීම් ඇති නොකර ගනියි. එසේ වූ රහතන් වහන්සේ සත්ත්ව පුද්ගල නිමිතිවලින් පීඩා නොවිඳියි. හෙතෙමේ ලෝකයේ සියලු දුකින් අතමිදුනා වූ පුද්ගලයා වන්නේය.

මෙසේ මේ මහාපුණ්ණම සූත්‍රය සියලු තණ්හා දිට්ඨි මාන ප්‍රපංචයෝ නිරෝධය වන්නා වූ උතුම් අරිහත් මාර්ගඥාන ප්‍රතිලාභය පිණිස මාර්ගය දක්වමින් භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. දේශනාවසානයේ සැටක් පමණ වූ ශිෂ්‍ය භික්ෂූහු අති උතුම් වූ අරිහත් ඵලයේ පිහිටියාහුය. මේ ලිපිය කියවන සුධීහු කියන ලද අයුරින් ධර්මාර්ථ ගෙන විපස්සනා  භාවනා කරත්වා.  ඉදින් යම් දහම් කරුණක් සදොස්ව දරාගෙන සිටීනම් නිදොස් කරගනිත්වා. මැනවින් අර්ථ දරාගත්තෝ ඒ අරුත් වඩවඩාත් ස්ථිර කරගනිත්වා.   මේ දහම් ලිපි පෙළ ලිවීමෙන් රැස් කර ගත් පුණ්‍ය ලාභයේ බලයෙන් වැරදි දහම් අර්ථ දැරූවන්ගේ අර්ථ පිරිසිදු වේවා! නිවැරදි දහම් අර්ථ දැරූවන්ට එහි පිහිටා සිටීමට ශක්තිය ලැබේවා! බුද්ධ ශාසනය පන්දහසක් කල් ලෝ සතුනට සෙත සලසමින් යෙහෙන් වැජඹේවා! ත්‍රිවිධ සංගායනාවෙන් සංගෘහිත වූ පෙළ අර්ථකථා ටීකා සංඛ්‍යාත පරියප්ති ශාසනය නිර්මලව පවතීවා! සංගායනාකාර මහරහතන් වහන්සේලාගේ පටන් පැවත ගෙන විත් ලංකාද්වීපයේ මහාවිහාරවාසී භික්ෂු පරම්පරාවෙන් රැගෙන ආ මේ ථේරවාදී මහාවිහාර අචාර්ය සිසු භික්ෂු පරම්පරාව ශාසනාන්තර්ධානය තෙක් අවිචඡින්නව වැජඹේවා! කෙලවර සියලු ලෝක සත්ත්වයාට සියලු දුකින් අතමිදී ලබන අත්‍යුත්තම නිර්වාණ ශාන්තිය සාක්ෂාත් ‍වේවා!

-මහාවිහාරය –