පටුන

  1. හැඳින්වීම
  2. බුදු දහම හඳුනාගනිමු        Download as PDF   
  3. බුදු දහමේ නිවන් මග
  4. සරණාගමනය
  5. ශීලය
  6. පින සහ කුසලය
    1. දශ පුණ්‍ය ක්‍රියා
    2. අෂ්ඨ දුෂ්ඨක්ෂණ
  7. භාවනාව
    1. සමථ භාවනාව
    2. විදර්ශනා භාවනාව
  8. අප්‍රමාදය
  9. කර්මය හා පුනර්භවය
  10. පාරමිතා
  11. පඤ්ච ඉන්ද්‍රිය සහ පඤ්ච බල
  12. සප්තාර්ය ධනය
  13. අෂ්ටලෝක ධර්මය
  14. මංගල කරුණු (මහාමංගල සූත්‍රයෙන්)
  15. කරණීය ධර්ම (කරණීයමෙත්ත සූත්‍රයෙන්)
  16. පිරිහීමේ දොරටු (පරාභව සූත්‍රයෙන්)

විද්‍යාවේදී, ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද, මහව ඤාණාලෝක හිමි විසින් පළකරනු ලබන ලිපි ‌පෙළකි.

*(මෙහි මතෘකා මත click කිරීමන් අදාල article එකට යනු ලැබේ.)

හැඳින්වීම

තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කොට වදාළා වූ නිවන් මාර්ගය වනාහි උසස් ලෞකික ලෝකෝත්තර සැප විපාක ගෙන දෙන්නා වූ නිවැරදි මාර්ගය වේ. එය අවබෝධයෙන් යා යුතු ගමනකි. එසේම ඒ නිවන් මාර්ගයේ ගමන් කිරීම බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයෙන්ම විය යුතු. ඒ සඳහා නිවැරදි මඟපෙන්වීම අත්‍යවශ්‍ය වේ. එදා මෙදා තුර ගිහි පැවිදි සම්බන්ධතාවය වූයේ මෙම මඟපෙන්වීම හරහා වේ. බෞද්ධයන් සිය කුදුමහත් සියලු කටයුතු වලදී පැවිදි උතුමන් වහන්සේලාගේ අවවාද අනුශාසනා මත පිහිටා කටයුතු කළ අතර පැවිදි උතුමන් වහන්සේලා ද නිරතුරු සියලුම කටයුතු වලදී බුදුරජාණන් වහන්සේගේ අනුශාසනයේ පරිද්දෙන් ගිහි පින්වතුන් නිවන් මාර්ගයෙහි යෙදවූහ. එහෙත් කාර්යබහුල සංකීර්ණ සමාජයක් නිර්මාණය වීමත් සමඟ මෙම සම්බන්ධතාවය ගිලිහී ගිය බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. ඒ නිසාවෙන් ම වර්තමානයේ බෞද්ධයන් වෙත නිවැරදි ධර්මඥාණයෙහි අඩුවක් දක්නට ලැබේ.

            පෙර විසූ ගිහි පින්වතුන් පවා මනා ධර්ම විනය දැනුමකින් යුතු වූ බව අතීත කථාන්තරයන්ගෙන් හෙළි වේ. පැවිදි උතුමන් පිළිබඳ කියනුම කිම. ධර්ම දැනුම පිළිබඳ සමාජයේ අවම මට්ටම ‘හය හතර දැනීම’ සේ ව්‍යවහාර වේ. සාමාන්‍ය එදිනෙදා කටයුතු පිළිබඳවවත් අවබෝධයක් නොමැති දරුවකුට ‘හය හතර නොතේරෙණ අයෙක්’ යැයි ව්‍යවහාර වූයේ එබැවිනි. එහි කියවෙන ‘හය’ නම් සදෙව් ලොකයන් වේ. ‘හතර’ නම් සතර අපායයන් වේ. සුගතිගාමී විපාක ගෙන දෙන හොඳ වැඩ හෝ දුගතිගාමී විපාක ගෙන දෙන නරක වැඩ පිළිබඳවවත් අවබෝධයක් නොමැති බව මෙම ‘හය හතර නොදැනීම’ යන්නෙන් අදහස් විය. මෙයින් හෙළි වන්නේ අතීතයේ විසූ සියලුදෙනා පාහේ අඩුම තරමේ කුසලය හා අකුසලය පිළිබඳව හෝ මනා වැටහීමකින් සිටි බවයි. මෙම දැනීම ගොඩනැගුණේ ගිහි පැවිදි සම්බන්ධතාවය මැනවින් ආරක්ෂා වීම නිසාය. වර්තමාන සමාජයේ වෙසෙන්නන් මෙම අවම දහම් දැනුමවත් නොමැති බව ඇතැම් විට පෙනෙන්නට තිබේ. ඒ නිසාවෙන්ම ධර්මයේ මුවාවෙන් නොයෙක් අධර්මයන් සමාජයට පිවිසෙන්නට පටන්ගෙන තිබේ.

ලොව වෙසෙන සියලුදෙනා පාහේ වර්තමාන ජීවිතය සැපවත්ව ගත කිරීමට කල්පනා කරති. ඒ අතර බෞද්ධ නුවණැතියන් මරණින් මතු සුගතිගාමී වීමටද උතුම් නිර්වාණ විමුක්තිය සාක්ෂාත් කරගැනීමට ද කල්පනා කරති. ඒ සියලුදෙනාගේ එදිනෙදා කටයුතු ධර්මානුකූල වියයුතු වේ. අධර්මයෙන් ජීවත් වන තැනැත්තා මෙලොව දී සැපවත් ජීවිතයක් ගත නොකරනවා මෙන්ම පරලොව දී ද දුකට පත්වේ. එබැවින් බුදුදහමේ උගැන්වෙන නිවැරදි ප්‍රතිපදාව සියලුම දෙනාට වැදගත් වේ. ඒ ප්‍රතිපදාවේ ගමන් කිරීම නිවැරදිව දැනගෙනම කළයුත්තක් වේ. මන්ද ධර්මය වුවද වරදවා ගැනීමෙන් නොයෙක් දුර්විපාක ඇති වන බැවිනි. වර්තමානයේ ඇතැම් බෞද්ධයන් පින් පව් පිළිබඳ පවා නිවැරදි දැනුමක් නොමැති වීමෙන් ධර්මය වරදවා ගනිති. ඇතැම් විට කුසලය යැයි සිතා අකුසලය කරති. අකුසලය යැයි සිතා කුසලය අත්හැර දමති. එබැවින් බුදුරජාණන් වහන්සේගේ නිවන් මාර්ගයේ ගමන් කරන පුද්ගලයකු සතුව නිවැරදි ධර්ම දැනුමක් තිබීම මෙකල අතිශය වැදගත් වේ.

            බුදුදහම පිළිබඳ මූලික අවබෝධයක් ලබාදෙන නොයෙක් පොත් පත් පැවතිය ද වර්තමාන සමාජය තුළ ඇතැම් ධර්මකරුණු පිළිබඳ නොයෙක් වාද විවාද ඇති වනු දක්නට ලැබේ. එබැවින් ධර්මය පිළිබඳ උනන්දුවක් දක්වන්නන්ගේ ධර්ම දැනුම උදෙසා මෙම ලිපි මාලාව සකස් කරනු ලැබේ. ඒ අනුව බුදුදහමේ එන මූලික කරුණු පිළිබඳව ථෙරවාදී ත්‍රිපිටකාගත මූලාශ්‍ර ඔස්සේ පිළිවෙලට කරුණු ඉදිරිපත් කිරීමක් මෙයින් සිදු වේ. මෙහි දී අති පූජනීය රේරුකානේ චන්දවිමල මහනාහිමියන් විසින් රචිත ‘බෞද්ධයාගේ අත්පොත’ ග්‍රන්ථය ගුරු තැන්හි තබාගත් බව පැවසිය යුතු වේ. එහි එන තවදුරටත් පැහැදිලි කළයුතු කරුණු මෙහි විස්තරාත්මකව දක්වා තිබේ. ඇතැම් බොහෝ දෙනා නොදන්නා අළුත් කරුණු එක් කොට තිබේ. එසේම බොහෝ දෙනා දන්නා ප්‍රකට කරුණු මෙහි විස්තර නොවේ.

තවද සෑම බෞද්ධයකුම පාහේ නිවන් දැකීම අරමුණු කරගතයුතු බැවින් ත්‍රිපිටකාගත නිර්වාණ මාර්ගය අනුපිළිවෙලින් විස්තර කිරීමක් වශයෙන් මෙම ලිපිමාලාව පෙළගැසේ. එහිදී අර්ථකථා සහිත ථෙරවාදි ත්‍රිපිටකය ඇසුරෙන් ම ඒ ඒ ධර්මවිනය විනිශ්චයන් ඉදිරිපත් කරනු ලැබේ. වර්තමානයේ ඇතැම් ධර්ම දේශකයන් වහන්සේලා පෙළ අර්ථකථාවන්හි නොපැණෙන හුදු සිය මතිමතාන්තර ධර්මය ලෙස හුවා දක්වන බව පෙනෙන්නට තිබේ. එහෙත් මෙම ලිපිමාලාවෙහි හුදෙක් ලේඛකයන්ගේ මතිමතාන්තර ඇතුළත් නොවන බව ද, ත්‍රිපිටකාගත පෙළ අර්ථකථාවන්හි එන කරුණු පමණක්ම දක්වන බව ද වගකීමෙන් යුතුව පැවසිය යුතු වේ.

චිරං තිට්‌ඨතු සද්‌ධම්‌මො, ධම්‌මෙ හොන්‌තු සගාරවා

සබ්‌බෙපි සත්‌තා කාලෙන, සම්‌මා දෙවො පවස්‌සතු. (අත්ථසාලිනී)

1. බුදු දහම හඳුනාගනිමු 

            තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ බෝමුල අරා වැඩ හිඳ, සාරාසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් පුරාවට පුරණ ලද බෝධි සම්භාර බලයෙන් මාර පරාජය කොට අවබෝධ කොට වදාළා වූ ද, මුල්ම බුද්ධවචනය වන ‘අනේකජාති සංසාරං’ යනාදි ගාථාවේ පටන් අවසානයේ පිරිනිවන් ඇඳේ වැඩහිඳ වදාළ ‘වයධම්මා සංඛාරා’ යනාදි අවසන් බුද්ධවචනය දක්වා පන්සාලිස් වසරක් මුළුල්ලේ දේශනා කර වදාළා වූ ද සුවාසූ දහසක් ධර්මස්කන්ධය සහ සතරමාර්ග සතරඵල නිර්වාණ සංඛ්‍යාත නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය ‘බුද්ධ ධර්මය’ ලෙස හැඳින්වේ. ඒ බුද්ධ ධර්මය තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු ශ්‍රාවකයන්ට ශාස්තෘන් වහන්සේ වන බව බුදුරජාණන් වහන්සේම මහාපරිනිර්වාණ සූත්‍රයේ වදාළ සේක. එබැවින් බෞද්ධ සියලූම දෙනා තථාගතයන් වහන්සේගේ දේශනා සංඛ්‍යාත බුද්ධ ධර්මය කෙරෙහි ශ්‍රද්ධා ගෞරව පෙරදැරිව පිළිගෙන සාවධානව අසා පිළිපැදිය යුතු.

බුද්ධ ධර්මයේ බෙදීම්

            තථාගත ශ්‍රී සද්ධර්මය ධර්මය, විනය වශයෙන් දෙවැදෑරුම් වේ. පිටක වශයෙන් සූත්‍රපිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය වශයෙන් තෙවැදෑරුම් වේ. නිකාය වශයෙන් දීඝනිකාය, මජ්ඣිමනිකාය, සංයුත්තනිකාය, අංගුත්තරනිකාය, ඛුද්දකනිකාය වශයෙන් පස් වැදෑරුම් වේ. අංග වශයෙන් නවාංග ශාස්තෘ ශාසනයක් වේ. ධර්මස්කන්ධ වශයෙන් අසූහාරදහසක් වේ.

1. ධර්මය විනය වශයෙන්

            ධර්මය, විනය වශයෙන් බුද්ධ දේශනය වර්ගකිරීමේ දී සූත්‍ර පිටකය හා අභිධර්ම පිටකය යන පිටක දෙකම ධර්මය ලෙස හැඳින්වෙන අතර විනය පිටකය, විනය ලෙස හැඳින්වේ. එහි සූත්‍ර පිටකයට දීඝනිකාය, මජ්ඣිමනිකාය, සංයුත්තනිකාය, අංගුත්තරනිකාය, ඛුද්දකනිකාය යනුවෙන් කොටස් පසකි. අභිධර්මපිටකයේ ධම්මසඞ්ගණී ප්‍රකරණය, විභංග ප්‍රකරණය, ධාතුකථා ප්‍රකරණය, පුග්ගල පඤ්ඤත්ති ප්‍රකරණය, කථාවත්ථු ප්‍රකරණය, යමක ප්‍රකරණය, පට්ඨාන ප්‍රකරණය යනුවෙන් ප්‍රකරණ නාමයෙන් හඳුන්වන ග්‍රන්ථ සතකි. විනය පිටකයේ පාරාජිකපාළි, පාචිත්තියපාළි, මහාවග්ගපාළි, චුල්ලවග්ගපාළි, පරිවාරපාළි යනුවෙන් කොටස් පසකි.

2. නිකාය වශයෙන්

නිකාය වශයෙන් බෙදීමේ දී සූත්‍ර පිටකයේ එන පිළිවෙලට දීඝනිකාය, මජ්ඣිමනිකාය, සංයුත්තනිකාය, අංගුත්තරනිකාය හා ඛුද්දකනිකාය යනුවෙන් සියළු බුද්ධ වචනය කොටස් පසකට බෙදේ. එහි දීඝනිකායාදි වශයෙන් මුල් නිකාය සතර සූත්‍රපිටකයේ පිළිවෙලට වන අතර සූත්‍ර පිටකයට අයත් සෙසු ග්‍රන්ථ සියල්ලත් විනය හා අභිධර්ම පිටක දෙකත් ඛුද්දකනිකායට අයත් වේ. ප්‍රමාණයෙන් දීර්ඝ වූ සූත්‍ර තිස් හතරක් (34) දීඝනිකායෙහි සංග්‍රහකර ඇති අතර ප්‍රමාණයෙන් මධ්‍යම ප්‍රමාණ වූ සූත්‍ර එකසිය පණස් දෙකක් (152) මජ්ඣිමනිකාය නම් වේ. සූත්‍ර හත්දහස් හත්සිය හැට දෙකක් (7762) සමාන දේශනා ලක්ෂණයන් අනුව සංයුක්ත ලෙස වර්ග කොට ඇත්තේ සංයුත්තනිකාය නම් වේ. එක් එක් අංගයක් වැඩි වීම් වශයෙන් අංග අනුව සූත්‍ර වර්ගකරමින් දක්වන ලද සූත්‍ර නවදහස් පන්සිය පණස් හත (9557) අංගුත්තරනිකාය නම් වේ. සූත්‍ර පිටකයේ සෙසු ග්‍රන්ථ වන ඛුද්දකපාඨ, ධම්මපද, උදාන, ඉතිවුත්තක, සුත්තනිපාත, විමානවත්ථු, පෙතවත්ථු, ථෙරගාථා, ථෙරිගාථා, ජාතක, නිද්දේස, පටිසම්භිදා, අපදාන, බුද්ධවංශ, චරියාපිටක යන පසලොස (15) ද විනය හා අභිධර්මය යන පිටක දෙකම ද ඛුද්දකනිකාය ලෙස හැඳින්වේ. ඒ බව සුමංගලවිලාසිනී දීඝනිකාය අටුවාවේ

“ඨපෙත්වා චතුරොපෙතෙ – නිකායෙ දීඝආදිකෙ

තදඤ්ඤං බුද්ධවචනං – නිකායො ඛුද්දකො මතො (සුමංගලවිලාසිනී, 18 පි)” යැයි කියන ලදී.

3. නවාංග ශාස්තෘ ශාසනය

අංග වශයෙන් බුද්ධ ධර්මයෙහි නවාංගශාස්තෘ ශාසනයක් වේ. එනම් සුත්ත, ගෙය්‍ය, ව්‍යොකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වෙදල්ල යනුවෙනි. එහි ලා

  1. සුත්ත : සියලු විනයපිටකයත්, සුත්තනිපාතයේ මංගල සූත්‍රය යනාදී ලෙස සූත්‍ර යන නාමයෙන් හඳුන්වන තථාගත දේශනත් සුත්ත යන කොටසට අයත් වේ.
  2. ගෙය්‍ය : විශේෂයෙන් සංයුත්ත නිකායේ සගාථක වග්ගය ඇතුළු ගාථා සහිත සූත්‍ර ගෙය්‍ය නම් වේ.
  3. වෙය්‍යාකරණ : සියලු අභිධර්ම පිටකයත්, ගාථා රහිත සූත්‍රත් සෙසු අංග අටට අයත් නොවන යම් දේශනයක් වේද ඒ සියල්ලත් ව්‍යොකරණ නම් වේ.
  4. ගාථා : ධම්මපදය, ථෙර-ථෙරී ගාථා, සුත්තනිපාතයේ සූත්‍ර යන නාමයෙන් හඳුන්වා නොමැති ගාථා ද මීට අයත් වේ.
  5. උදාන : සොමනස්ස සහගත ඤාණයෙන් යුතුව උදන් ඇනීම් වශයෙන් වදාළ උදාන පාළියෙහි එන සූත්‍ර උදාන නම් වේ.
  6. ඉතිවුත්තක : ‘වුත්තං හෙතං භගවතා’ යනාදි ලෙස වදාළ 112කට වැඩියෙන් ඇති සූත්‍ර ඉතිවුත්තක නම් වේ.
  7. ජාතක : අපණ්ණකජාතකය ආදී වූ පන්සිය පණසක් පමණ වූ ජාතක දේශනාවෝ ජාතක නම් වේ.
  8. අබ්භූතධම්ම : ‘චත්තාරොමෙ භික්ඛවෙ අච්ඡරියා අබ්භූතා ධම්මා ආනන්දෙ’ යනාදී ලෙස දේශනා කර වදාළ බුද්ධවචනය අබ්භූතධම්ම යන්නට අයත්වේ.
  9. වෙදල්ල : නුවණත්, සතුටත් ලැබ ලැබ විචාරා පිළිතුරු දුන් චුල්ලවෙදල්ල සූත්‍රය, මහාවෙදල්ල සූත්‍රය, සම්මාදිට්ඨි සූත්‍රය, සක්කපඤ්හ සූත්‍රය ආදී වූ සූත්‍රාන්තයෝ වෙදල්ල නම් වේ.

මෙසේ  සමස්ථ බුදු දහම නවාංග ශාස්තෘ ශාසනයක් වන බව “ඉධ, භික්‌ඛවෙ, එකච්‌චො පුග්‌ගලො ධම්‌මං පරියාපුණාති සුත්‌තං, ගෙය්‍යං, වෙය්‍යාකරණං.…(අංගුත්තර චතුක්ක නිපාතය)”, “ඉධ පන, භික්‌ඛවෙ, එකච්‌චෙ කුලපුත්‌තා ධම්‌මං පරියාපුණන්‌ති සුත්‌තං, ගෙය්‍යං, වෙය්‍යාකරණං….(මජ්ඣිමනිකාය, අලගද්දූපම සූත්‍රය)” යනාදි වූ බුදුවදනින් පැහැදිලි වේ.

4. ත්‍රිවිධ ශාසනය

            බුද්ධ ශාසනය කොටස් තුනකින් සමන්විත වේ. එනම් පරියත්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේධ යන ත්‍රිවිධ ශාසනයයි. ඇතැම් විට බුද්ධාගම පිළිබඳව බෞද්ධයන් තුළ ඇත්තේ විහාරස්ථාන, භික්ෂූන් වහන්සේලා, දහම් පොත්පත් පිළිබඳව පමණක් වන හැඟීමකි. ඒ ටික පමණක් ආරක්ෂා වන්නේ නම් බුදු සසුන සුරක්ෂිත වූවා යැයි හැඟීමක් ඇතැමුන් තුළ පවතී. එහෙත් ශාසනය සුරක්ෂිත වන්නේ මෙම ත්‍රිවිධ කොට්ඨාසයන්ම ආරක්ෂා කිරීමෙනි.

            පරියත්තිය යනු ත්‍රිපිටක ධර්මයයි. ශීල, සමාධි, විපස්සනාවෝ, තෙළෙස් (13) ධුතාංග, තුදුස් (14) කඳුවත් ආදිය ප්‍රතිපත්තියයි. ප්‍රතිවේධය යනු ආර්යසත්‍ය ප්‍රතිවේධයයි. එනම් මඟඵල නිවනයි. ඒ අනුව ත්‍රිපිටක ධර්මය සුරක්ෂිත වේ ද එයින් පරියත්ති ශාසනය ආරක්ෂා වූවා වේ. ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය ආදී සතරසංවර ශීලයද, සමාධි, විපස්සනා ආදී භාවනාවන් ද, ධුතාංග, වත්පිළිවෙත් ආදිය ද නොපිරිහෙළා ඉටු කිරීමෙන් ප්‍රතිපත්ති ශාසනය ද ආරක්ෂා වේ. ඒ ප්‍රතිපත්තිය මැනවින් ආරක්ෂා කරන්නේ නම් නොපිරිහෙළා මඟඵල නිවන් සාක්ෂාත් කළහැකි බැවින් ප්‍රතිවේධ ශාසනය ද සුරක්ෂිත වේ. යම් කළෙක නැණවත් භික්ෂුවක් වෙයි ද, හෙතෙමේ පරියත්තිය උගෙන ප්‍රතිපත්ති, ප්‍රතිවේධයන් ද සාක්ෂාත් කරගන්නා බව සුමංගලවිලාසිනී දීඝනිකායාර්ථකථාවේ සඳහන් වේ.

“පඤ්ඤවා භික්ඛු පරියත්තිං සුත්වා ද්වෙපි පූරෙති. තස්මා පරියත්තියා ඨිතාය සාසනං ඨිතං හොති (සුමංගලවිලාසිනී, 654පි)” යනුවෙනි. එබැවින් පරියත්ති ශාසනය ආරක්ෂා වීමෙන් ප්‍රතිපත්ති, ප්‍රතිවේධ ශාසනයන් ආරක්ෂා වීමට ද උපකාරයක් වේ. ත්‍රිපිටක ධර්මය හොඳින් දන්නා භික්ෂූන්ගෙන් තොරව කිසිදු ලෙසකින් ශාසනයේ පැවැත්මක් නොමැති බව මෙයින් අදහස් වේ. එහෙත් එපමණකින්ම ශාසනය ආරක්ෂා වූයේ නොවේ. ත්‍රිපිටක ධර්ම සංඛ්‍යාත පරියත්තිය සමඟ ශීලාදි ප්‍රතිපත්තිය ද අතනොහැර සිටිනා භික්ෂුව පමණක්ම මගඵල නිවන් සාක්ෂාත් කරගන්නේය.