සැලැකියැ යුතුයි:

මේ ලිපි අතිශය සංක්ෂිප්ත ලෙස සටහන් කැරැ තිබේ. පාදක කොටැ ගත් ග්‍රන්ථවලට අමතර වැ වැඩිදුර කියැවීමට සුදුසු යැ යි නිර්දේශ කළැ හැකි ග්‍රන්ථ කීපයෙක් ද ලිපි අවසන දක්වාලීමි. එහෙයින් සාකච්ඡා කෙරෙන මාතෘකා සම්බන්ධ වැඩි දුර තොරතුරු නිර්දේශ කොටැ ඇති ග්‍රන්ථ අධ්‍යයනය කිරීමෙන් ලබා ගතැ හැකි වනු ඇතැ’යි හඟිමි.

ලංකාව

ශ්‍රී ලංකාව යනු ඉන්දියාවෙන් වෙන් වැ හා ඊට ආසන්න වැ දකුණු දෙසට වන්නට පිහිටා ඇති දූපතෙකි. ඉන්දියන් සාගරයෙකි කේන්ද්‍රස්ථානයෙක පිහිටා ඇති මෙය ඉන්දියාවෙන් වෙන් වැ ඇත්තේ කිලෝමීටර් 32 ක පමණ පටු මුහුදු තීරයකිනි.

ලංකා’ යන නාමයෙන් ද හඳුන්ව ලද මෙයැ ග්‍රීක හා රෝම ජාතීන් විසින් හඳුන්වන ලද්දේ ‘තැප්‍රොබේන්’ යන නාමයෙනි. ‘පලේසිමුන්දු’ යන නාමයක් පිළිබඳ වැ ද සඳහන් කොටැ තිබේ. හුදෙක් එය පාළි භා‍ෂාවේ ‘තම්බපණ්ණි’ යන නා‍මයෙන් බිඳී ආ‍වක් බව පෙනේ. මහාවංසයෙහි සඳහන් වැ ඇත්තේ කකුසඳ, කෝණාගම, කාශ්‍යප ආදී බුදුන් වහන්සේලා ගේ සමයන් හි දී ‘ඕජදීප, වරදීප, මණ්ඩදීප’ ආදි නාමයන් ගෙන් ද මෙය හඳුන්වන ලද බවයි. පැරැණි බොහෝ පත පොත ලක්දිව හැඳින්වීම පිණිසැ ‘සිංහල ද්වීප’ යන නාමය ද භාවිත ‍කොටැ ඇත. වෘහත් සංහිතාවේ ‘සිංහල’ යන නා‍මයෙන් ද ලංකාව හඳුන්වා තිබේ. පාළි බසින් ‘සිහල දීප’ යනුවෙන් හඳුන්වන ලද්දේ ද සකුවෙහි ‘සිංහල ද්වීප’ යන්න ම යැ. ‘ලක්දිව’ හැඳින්වීම පිණිසැ ‘සිංහලේ’ යන ව්‍යවහාරයෙක් ද වෙති. ‘තුන් සිංහලේ’ ආදි ව්‍යවහාරයන් පැමිණියේ ද ඒ අනුවැ යමින් බව පෙනේ. බටහිර ජාතින් විසින් ‘සෙලෝන්’ යනුවෙන් භාවිතා කරන වදනට ද මූලික වූයේ මේ ‘සිංහ‍ලේ’ යන වදන යැ. දෙමළ බසින් ‘ඊලම්’ යනුවෙන් ද ලක්දිව හඳුන්වනු ලැබිණි.

ලක්දිව සම්බන්ධයෙන් දැනට හමු වන පැරැණි මැ සිතියම ‘ටොලමි’ විසින් ඇඳැ ඇති සිතියම යැ. එහි අනුරාධපුරය ‘අනුරොග්‍රාමන්’ යනුවෙන් ද, මහාගාමය ‘මහාග්‍රාමන්’ වශයෙන් ද සටහන් කොටැ තිබේ. භූමි ප්‍රමාණ වශයෙන් වර්ග කිලෝමීටර් 65 610 ක් පමණැ වපසරියක් ලක්දිවැ සතු වේ. ඒ වර්ග සැතපුම් ප්‍රමාණයෙන් 25 481 ක් පමණ යැ. උතුරු දිගැ සිට දකුණු දෙසැ දක්වා සැතපුම් 270 ක් පමණැ වේ. කිලෝමීටර් 1000 කැ පමණ දිගු මුහුදු තීරයෙකින් හෙබි ලක්දිවැ කොළොඹ, හම්බන්තොට, ගාල්ල, මඩකලපුව, ත්‍රිකුණාමලය වැනි වරාය කීපයෙකින් සමන්විත යැ. අතීතයේ ‘ගෝකණ්ණ’ නමින් හඳුන්වන ලද වත්මන් ‘ත්‍රිකුණාමල වරාය’ වනාහි ලොවැ ඇති විශාල හා සුරක්ෂිත මැ වරායවලින් එකෙකි. ලංකා ඉතිහාසය හැඩ ගැසීමේ දී ද වැදගත් වූ වරායක් වශයෙන් එය හඳුනාගතැ හැකි යැ. ලක්දිවැ නැගෙනහිර සිටැ බස්නාහිර දක්වා ඇති දුර ප්‍රමාණය සැතැපුම් 140 ක් පමණැ වේ. කොග්ගල හා මීගමුව වැනි කලපු කීපයක් ද මෙරටැ වෙති. දකුණු, නිරිත සහ බටහිර වෙරළවල් මැයි මස සිටැ ඔක්තොම්බර් පමණැ දක්වා නිරිත දිගැ මෝසම් සුළඟට හසු වේ.

ලක්දිවැ උස මැ කන්ද වනාහී පිදුරුතලාගල යැ. වෙසෙසින් දකුණු මධ්‍යම පෙදෙසැ කඳු ගොන්නකින් සමන්විත යැ. පිදුරුතලාගල හැරුණු විටැ සමනොළ කන්ද, නක්ල්ස් වැනි කඳු හා හැටන්, වැලිමඩ වැනි සානු ද ලක්දිවැ ප්‍රකට යැ. ආගමික වශයෙන් ද සමනොළ කන්ද වැදගත් වේ. කඩුගන්නාව, බලන වැනි පර්වත කපොලුවලට අමතර වැ යාපහුව හා සීගිරිය වැනි ශේෂ කඳු ද දවයිනේ දක්නට හැකියාව පවතී. මහවැලි, කැලණි, කලු, වලවේ ආදී ගංගාවන් ද ලක්දිවැ පතළ වූවෝ මැ වෙති.

නිරිත දිගැ සහ ඊසාන දිගැ මෝසම් දෙකින් මැ පහතරටැ තෙත් කළාපයට වර්ෂාව හිමි වේ. ‍ගාල්ල, මාතර, කොළොඹ, හලාවත, කළුතර, රත්නපුර ආදි දිස්ත්‍රික්ක සහිත දකණු, බස්නාහිර හා නිරිත දිගැ බිම් පහත රටැ තෙත් කළාපයට අයත් යැ. පහත රටැ වියළි ප්‍රදේශයට ලක්දිවැ භූමි ප්‍රමාණයෙන් 70% ක් පමණැ අයත් වෙති. උතුරු, උතුරු මැද, නැගෙනහිර, වයඹ, ඊසාන, ගිනිකොණ ආදි භූමි පෙදෙස් මීට අයත් යැ. මේ ප්‍රදේශයට ඊසාන දිගැ මෝසමේ දී පමණක් වර්ෂාපතනය ලැබේ. නිරිත දිගැ මෝසම් කාලයේ දී වියළි කාලගුණික තත්වයෙකින් මේ පෙදෙස් සමන්විත යැ. මේ තත්වය මේ පෙදෙස්වලැ ඉතිහාසය හැඩ ගැසීම කෙරෙහි ද බලපා ඇති බව ඉතිහාසය දෙසැ අවධානය යොමු කිරීමේ දී පෙනී යයි.

ලක්දිවැ ඇති සාරවත් පසට අමතර වැ මුතු මැණික්, මිනිරන් ආදී ඛනිජ සම්පත් ද, කුරුඳු, කුළු බඩු, අලි ඇතුන් ආදිය ද වැදගත් යැ. බටහිර ජාතීන් මෙහි පැමිණීමට ද එක් හේතුවක් වූයේ මේ ස්වභාවික සම්පත් යැ.

ඉන්දියාවට ආසන්න වැ නමුත් ඉන්දියාවෙන් වෙන් වැ පිහිටි භූමියක් වශයෙන් ලක්දිව පැවැතීම හේතුවෙන් මෙහි ඉතිහාසය සකස් වීම පිණිසැ බෙහෙවින් බල පා ඇත. මූලික වශයෙන් ලක්දිවැ ජනාවාස ඇති වීම‍ පෙන්වා දියැ හැක. වෙසෙසින් අනුරාධපුර, තම්බපණ්ණි වැනි ජනාවාස ඇති වන්නේ ඉන්දියාවේ සිටැ ‍මෙහි පැමිණි පිරිස් වෙතිනි. අමුතුවෙන් ජනාවාස ‍ගොඩ නැඟුවේ යැ යි සඳහන් කරනවාට වඩා පැවැති ජනාවාස සංවර්ධනය කළා යැ යි පැවසීම එක් අතෙකින් අසාධාරණ නොවනු ඇතැ’යි හඟිමි. ලක්දිවැ රාජාණ්ඩු පාලන ක්‍රමයක් ඇති වීමට ත්, එමැ රාජාණ්ඩු තන්ත්‍රයන් ගේ සැකැස්ම ඇති වීමටත් ඉන්දීය ආභාසය ලැබුණු හෙයින් ඉන්දියාවට ආසන්න නමුත් ඉන්දියාවෙන් වෙන් වී පැවතීමේ සාධකය කෙතරම් ප්‍රබල දැ යි වටහා ගතැ හැකි යැ.

එසේ මැ දිවයිනේ තීරණාත්මක අවස්ථාවල දී ඉන්දීය මැදිහත්වීම ද ඉතිහාසය පුරාවට දැකියැ හැකි යැ. ඇතැම් අවස්ථාවල දී රට තුළැ ඇති වූ යුධමය තත්වයන්වලට මුහුණ දීම පිණිසැ ලක්දිවැ ඇතැම් රජ දරුවෝ ඉන්දීය කුලී හේවායන් ගෙන්වා ගත් පුවත් මූලාශ්‍රය අධ්‍යයනයේ දී දැකැ ගතැ හැකි යැ. ඒ හැරැ මෙරටැ දේශපාලන අර්බුද පැවැති අවස්ථාවල දී ද ඉන්දියානු කුමාරවරු මෙහි රජ කැරැ වූ පුවත් ද පවතී. මෙරටැ රජවරුන් හා විවාහ වූ ඉන්දීය කුමාරිකාවන් පිළිබඳ වැ ද ඉතිහාසයේ නා නා තන්හි සඳහන් වැ තිබේ.

ලක්දිවැ ජන සංයුතිය නිර්මාණය වීම පිණිසැ ඉන්දියාවෙන් පැමිණි ‘ආර්ය’ යනුවෙන් හඳුන්වනු ලබන පිරිස් හා ‘ද්‍රවිඩ’ නාමයෙන් හඳුන්වනු ලබන පිරිස්වලැ බලපෑම ද වැදගත් කරුණෙකි. ආක්‍රමණිකයන්, සංක්‍රමණිකයන් හා වෙළෙන්දන් ආදි වශයෙන් ඔවුන් ලක්දිවට පැමිණි බව මූලාශ්‍රය අනුව පෙනී යයි. අද දක්වාත් දක්නට ලැබෙන ‘සිංහල’ හා ‘දෙමළ’ නම් ජන කොටස් දෙකක් මෙහි දැකියැ හැක්කේ මෙසේ කඩින් කඩ පැමිණි පිරිස් නිසාවෙනි. ඔවුන්ට පැමිණීම පහසු වූයේ ලක්දිව වනාහි ඉන්දියාවට ආසන්න ‍යේ පිහිටා ඇති දූපතක් නිසාවෙනි.

මෙසේ ලක්දිවට පැමිණි ඉන්දීයයන් විසින් ඔවුන් ගේ සිරිත් විරිත්, ආගමික විශ්වාස හා ජීවනෝපාය ක්‍රමවේද මෙරටැ භාවිත කළ හෙයින් ලක්දිවැ ඉතිහාසය හැඩ ගැසීම පිණිසැ තත් කාරණාවන් ‍ගේ ද බලපෑම වෙසෙස් සැලැකිල්ලට ගත යුත්තෙකි. බුදු සමය හා හින්දු සමය මෙසේ ඉන්දියාවෙන් පැමිණි පිරිස් වෙතින් ලද්දකි. පසු කලෙක ලක්දිවැ ඇති වන විවිධ කර්මාන්තයන් ගේ වැඩි දියුණුව පිණිසැ ද මෙම ඉන්දීය ආභාසය බෙහෙවින් උපස්ථම්භක වී ඇති බව පෙ‍නී යයි. මේ වන විටත් ශේෂ වැ ඇති ඇතැම් කලා නිර්මාණ ආදියේ ද ඉන්දීය ආභාසය තදින් දක්නට හැකි යැ.

නමුත් ඇතැම් අවස්ථාවල දී ලක්දිව ඉන්දි‍යාවෙන් වෙන් වී පිහිටා තිබීමේ හේතු සාධකය මතැ කිසියම් ආකාරයෙක රැකවරණයෙක් ද ඇති වූ බව පෙනෙයි. කාලයත් සමඟැ භාරතයට තදින් සිදු වූ මුස්ලිම් ආක්‍රමණ ලක්දිව විෂයෙහි තද බලපෑමක් නො කෙළේ මේ කරුණ නිසාවෙනි. ලක්දිවැ දැනට දක්නට ලැබෙන බොහෝ කලා සම්ප්‍රදායන්වලැ ඉන්දීය ආභාසය තදින් දක්නට ලැබුණ ද ඇතැම් අවස්ථාවල දී ඉන්දීය පිළිවෙතින් ඔබ්බට ගොස් දේශීය හුරුවක් සහිත වැ ගැඩ ගැසුණු කලා නිර්මාණ ද දක්නට ලැබෙන්නේ මෙය ඉන්දියාවෙන් වෙන් වැ පිහිටීම හේතුවෙනි. එසේ මැ භාරතයෙන් ලැබුණැ යි සලකන බ්‍රාහ්මී අක්ෂර මාලාව ද කාලානුක්‍රමයෙන් විකාශය වී අද දක්නට ලැබෙන දිවයිනට ආවේණික සිංහල අක්ෂර නිර්මාණය වීම කෙ‍රෙහි ද ඉන්දියාවෙන් වෙන් වැ පැවැතීම දැඩි සේ බල පා ඇත.

ඒ හැරැ ඉන්දියන් සාගරයේ වැදගත් සන්ධිස්ථානයෙක ලක්දිව පිහිටා තිබීමේ හේතුව ද ප්‍රස්තුතයේ දී වැදගත් කරුණෙකි. වෙළඳ සබඳතා ආදි ඇතැම් සබඳකම් ගොඩ නැඟීමට පමණක් නොව ලක්දිව විෂයෙහි පැමිණි ඇතැම් ආක්‍රමණ පිණිසැ ද ලක්දිවැ මෙම පිහිටීම බල පා තිබේ. කුරුඳු, කුළුබඩු ආදිය සොයා එන යුරෝපීය ජාතිකයන් පසු කලෙක මෙරට අල්වා ගන්නේ ත් මෙරට පැවැති වාණිජමය වටිනාකම හා දේශපාලනමය අගය සලකාගෙන යැ. ප්‍රධාන මුහුඳු මාර්ගයෙකැ ලක්දිව පිහිටා ඇති හෙයින් ඇතැම් අවස්ථාවල දී ලක්දිවට පැමිණෙන වෙළෙඳුන්‍ ගෙන් ලබා ගත් බදු මුදල් ද පැරැණි ලංකාවේ වෙසෙස් ආදායම් මාර්ගයෙක් වියැ. වෙළඳාම පිණිසැ මෙරටට ආරාබි ජාතිකයන් පැමිණෙන්නේ ත්, අද දක්වාත් ලක්දිවැ වෙසෙන මුස්ලිම් ජාතිකයන් ඇති වන්නේ ත් ප්‍රධාන මුහුදු මගෙක කේන්ද්‍රස්ථානයක් වශයෙන් ලක්දිව පිහිටා තිබීමේ සාධකය මත යැ.

ලක්දිවැ ආභ්‍යන්තරික වශයෙන් පවත්නා භූගෝලීය පසුබිම ද මෙහි ඉතිහාසය හැඩ ගැසීම පිණිසැ බල පා ති‍බේ. රුහුණු, පිහිටි හා මායා වශයෙන් කාලයත් සමඟැ පාලන බෙදීම් ත්‍රිත්වයක් ඇති වන්නේ ද යම් තරමෙකට ස්වභාවික පිහිටීමේ බලපෑම නිසාවෙන් බව යැයි ද සිතිය හැක. රජරට රාජධානියේ ඇති වූ අර්බුදකාරී අවස්ථාවල දී රුහුණු හා මායා ප්‍රදේශයන් එකලැ රජුන්ට හා කුමාරවරුන්ට ආරක්ෂා වී සිටීමට ත්, යළි සේනා සංවිධානය කිරීමට ත් මනා‍ තෝතැන්නක් වියැ. ඒ හැරැ ඇතැම් ස්වභාවිකා ආපදා සමයන්හි ද මලය ආදි පෙදෙස් කරා සංක්‍රමණය වූ පිරිස් පිළිබඳ වැ මූලාශ්‍රයේ සඳහන් වැ ඇත.

ලක්දිවැ මුල් කාලීන ජනාවාස බොහෝමක් ඇති කැරැ ගන්නේ ගංගා නිම්න ඇසුරු කැරැ ගනිමිනි. ඉන්දියෙන් පැමිණි මුල් මැ සංක්‍රමණික කණ්ඩායම් ස්වකිය ජීවනෝපාය වශයෙන් කෘෂිකර්මාන්තය භාවිත කිරීම ත්, වියලි කළාපයේ වර්ෂාව වසරේ එක් කලකට පමණක් සීමා වීම ත් මීට හේතු වියැ. මල්වතු ඔය ඇසුරු කොටැ බිහි වන ‘අනුරාධපුරය’ හා මහවැලි ගඟ ඇසුරු කොටැ බිහිවන ‘පොළොන්නරුව’ මීට දියැ හැකි හොඳ මැ නිදසුන් යැ. රුහුණු රටැ මායිම් සලකුණු වශයෙන් ද ගංගාවන් යොදා ගැන් මැ පිළිබඳ වැ ද අමතක කළැ යුතු නොවේ.

මෙරටැ පවත්නා භූ‍ගෝලීය පසුබිම ඇතැම් අවස්ථාවල දී පාලන තන්ත්‍රය කෙරෙහි අනිසි බලපෑම් කළ අවස්ථා ද දක්නට හැකි යැ. රුහුණු හා මලය ආදි පෙදෙස් රජරටින් වෙන් වැ තරමක් දුරින් පැවැති නිසා ඇතැම් අවස්ථාවල දී ස්වාධීන වැ නැඟී සිටීමට ත්, ප්‍රධාන පාලනයට විරුද්ධ වැ ක්‍රියා කිරීමට ත් උත්සුක වූ බවක් දැකියැ හැකි යැ. වළගම්බා සමයේ දී සිදු වූ රුහුණේ නකුල ග්‍රාමයේ තීය බ්‍රාහ්මණයා ගේ කැරැල්ල නිදසුනෙකි. රජරට ප්‍රදේශයේ බලය අල්ලා ගත් ඇතැම් විදේශීය ආක්‍රමණිකයන් ගේ බලය රුහුණු ප්‍රදේශයට ව්‍යාප්ත කිරීමට නොහැකි වීමට ද මෙ‍ම ප්‍රදේශවලැ පිහිටීම උපස්ථම්භක වී ඇත.

ඒ අනුවැ ලක්දිවැ භූගෝලීය පිහිටීම ඇතැම් අවස්ථාවලැ යහපත් අයුරිනු ත්, තවත් අවස්ථාවෙකැ අයහපත් ලෙස ත් මෙහි ඉතිහාසය හැඩ ගැසීම පිණිසැ බල පා ඇති බව වටහා ගැනීම අසීරු කරුණෙක් නොවේ.

ශකිල රාජකරුණා විසිනි.

පාදක ග්‍රන්ථ හා වැඩිදුර කියැවීම් සඳහා :

අනුරාධපුර යුගය, සංස්: අමරදාස ලියනගමගේ හා රණවීර ගුණවර්ධන, 2014, කොළඹ: සී/ස ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ (පුද්.) සමාගම.

කොඩ්රිංටන්, එච්. ඩබ්ලිව්., 1998, සංක්ෂිප්ත ලංකා ඉතිහාසය, පරිව: කේ. එස්. සෙනෙවිරත්න, රාජගිරිය: කුරුලු පොත්.

ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය, 1 කාණ්ඩය, 1 භාගය, සංස්: නිකලස් ආටිගල හා තවත් අය, 1964, විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ පර්‍ය්‍යෙෂණාංශයේ සිංහල පරිවර්තනය.

ශ්‍රී ලංකාවේ ඉතිහාසය, පළමු වන කොටස, අනුරාධපුර යුගය, 2009, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව.

Nicholas, C. W., 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society (New Series, Volume VI, Special Number), Colombo: Royal Asiatic Society (Ceylon Branch).