ලක්දිවැ සිදු කෙරී ඇති පුරාවිද්‍යා පර්යේෂණ අනුවැ ප්‍රාග් ඓතිහාසික කාල පරිච්ඡේදයේ දී, එනම් දැනට විද්‍යාමන පැරණිත මැ ලිඛිත ඉතිහාසයට පූර්ව යුගයේ දී ලක්දිවැ වුසූ ප්‍රාග් ඓතිහාසික මානවයින් පිළිබඳ වැ යම් යම් තොරතුරු මේ වන විටැ පුරාවිද්‍යා පර්යේෂණ ඔස්සේ අනාවරණය වී ඇත. බෙල්ලන්බැඳිපැලැස්ස වැනි ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා භූමි තුළින් ලැබී ඇති ශේෂ මෙහි දී සුවිශේෂී වෙයි. ලක්දිවැ දැනට හමු වී ඇති පැරණිත මැ මානව අවශේෂ ඔස්සේ එකලැ ඔවුන් ගේ ස්වරූපය සම්බන්ධයෙන් යම් යම් අවබෝධයක් ලබා ගැනීමට පුරාවිද්‍යාඥයින් සමත් වී තිබේ. අප බලන්ගොඩ මානවයා යැයි හඳුන්වනු ලබන ආදි මැ මානවයා මෙහි දී සුවිශේෂී වැදගත්කමක් අත්පත් කැරැ ගනී. ඔහු ‍‍ගේ ස්වභාවය පිළිබඳ වැ ‘ආචාර්ය එස්. යූ. දැරණියගල මහතා’ විසින් රචනා කළ ‘ශ්‍රී ලංකාවේ ප්‍රාග්ඉතිහාසය’ (1991, 24) නමැති ග්‍රන්ථයේ මෙසේ සඳහන් කැරැ තිබේ.

බලංගොඩ මානවයා නමින් පොදුවේ හඳුන්වනු ලබන බෙල්ලන්බැඳිපැලැස්ස මානවයා ‍ගේ ශාරීරික ලක්ෂණ පී. . පී. දැරණියගල සහ කෙනඩි යන මහතුන් විසින් අධ්‍යයනය කරනු ලැබ ඇත. කිතුල්ගල බෙලිලෙනින් හා බටදොඹලෙනින් ලබා ගත් අවශේෂ සවිස්තරාත්මකව ඉදිරිපත් කර තිබේ. මෙම අධ්‍යයනයවල ප්‍රතිඵල කෙටියෙන් මෙසේ දැක්විය හැකිය. සමස්තයක් වශයෙන් ගත් කල මොවුන්ගේ ලක්ෂණ ‘ඕස්ට්‍රොලොයිඩ් වැදි’ ලක්ෂණ වලට සමානය. එහෙත් එවැනි පිළිවෙළක් භෞතික මානව විද්‍යාඥයන් අතර දැනට භාවිතා නොවේ. ඕස්ට්‍රොලොයිඩ් ලක්ෂණ විචල්‍ය සේ සලකනු ලැබේ. පිරිමින්ගේ සාමාන්‍ය උස සෙන්ටිමීටර් 174 ක් ද ගැහැනුන් ගේ සාමාන්‍ය උස සෙන්ටිමීටර් 166 ක් ද වේ. කෙසේ වුව ද, උසේ හැටියට කොඳු ඇට අසාමාන්‍ය ලෙස කෙටි වූ බව කල්පනා කරනු ලැබේ. විශේෂයෙන් ගෙලෙහි වූ අක්ෂ ‍කොඳු ඇටය කෙටි විය. හිස් කබල පරිමාවෙන් යුතුය. කටු ඝනය. දිගැටි හැඩයෙන් යුතු එය මිටි කුහරයද පසුපසට නෙරාගිය නළලද සහිතය. එහි පසුපස වූ නැම්ම පැහැදිලිය. හකු ඇට ඝන හා පුළුල් වේ. ඇස් බැම, සමහර විට බරය, නාස් ඇට පසුපසින් උන්නතාකාරද මුලින් වලයාකාරද වෙයි. සමහර වැඩුණු පිරිමින්ගේ නාසා සිදුරේ මුල සිට උඩු උල් දත්වල මුල දක්වා දුර බෙහෙවින් වැඩිය. තල්ල විශාලය. පහළ හක්ක දැඩිවූ එකකි. දත් සාමාන්‍යයෙන් විශාල ය. විශේෂයෙන් ඇඹරුම් දත් විශාලය. ගාත්‍රා ඇට දැඩිය. …”

ෆාහියන්ගලැ ලෙණෙහි කළ කැණීම්වලින් ද ලක්දිවැ ප්‍රාග් ‍ඓතිහාසික මානවයන් පිළිබඳ වැ සාධක සොයාගෙනැ ඇති අතර ඉහත සඳහන් කැරැණු කෘතියෙහි ඇති පහත සඳහන් කරුණු ද මෙහි දී වැදැගත් වේ.

බෙල්ලන්බැඳිපැලැස්සේ මානවයන් ගැන සලකන විට මීටර සුචි හා නොයෙක් නොයෙක් ශාරීරික ලක්ෂණ උ‍ප‍යෝගි කරගෙන කෙනඩි කළ විග්‍රහය අනුව ‍බලංගොඩ මානවයාගේ ලක්ෂණ ශ්‍රී ලංකාවේ ජීවත්වන ජනතාවන් තුළ විවිධ ප්‍රමාණයෙන් පවතින බව පෙනී ‍ගොස් තිබේ. කෙසේ වුවද ඒවා වැදි ජනයා අතර වඩාත් පැහැදිලි බව කියනු ලැබේ. ඔවුන් නිසැකයෙන්ම ජීවවිද්‍යාත්ම පරම්පරාවක් නියෝජනය කරන බවද බලංගොඩ මානවයාගෙන් වැදි මිනිසා පැවත එන බවද ඔහු සහතික කොට කියයි. …” (1991, 24)

මේ හැරැ ලංකාවේ තවත් ප්‍රදේශ කීපයෙකින් ප්‍රාග් ඓතිහාසික මානවයන් පිළිබඳ වැ සාධක හමු වී තිබේ.

විජය ‍ගේ ලංකාගමනය සිදුවන විටැ ලක්දිවැ විසූ ජන කණ්ඩායම් කීපයක් පිළිබඳ වැ මූලාශ්‍රයේ සඳහන් වැ තිබේ. මේ සම්බන්ධ කාරණා දක්නට හැක්කේ බුදුන් වහන්සේ ගේ ලංකාගමනය හා සම්බන්ධ කරුණු පිළිබඳ තත් මූලාශ්‍ර දක්වනු ලබන විස්තරවල දී යැ.

ලක්දිව ශේෂ වැ පවතින වංසකතාවලැ බුදුන් වහන්සේ ගේ ලංකාගමනයන් පිිළිබඳ වැ සඳහන් වී තිබේ. ‘මහානාග’ නමැති වනෝද්‍යානයෙහි රැස් වැ හුන් යකුන් දමනය කෙරෙනු වස් බුදුන් වහන්සේ ප්‍රථම වරැ මයියංගනට වැඩම කළැ’යි මහාවංසය පවසයි. මේ විස්තරය තුළැ ‘සුමන කූටයෙහි විසූ මහාසුමන නම් දෙවියකු’ පිළිබඳ වැ සඳහන් වී තිබීම ද විශේෂ අවධානයට පාත්‍ර වියැ යුතු කරුණෙකි. එසේ මැ ‘චූළෝදර හා මහෝදර’ නමැති නා රජුන් දෙදෙනෙකු අතරැ මිණි පළඟක් හේතුවෙන් ඇති වූ ආරවුලක් සමථයට පත් කිරීම පිණිසැ බුදුන් වහන්සේ ගේ ‍දෙවන ලංකාගමනය සිදු වියැ. ඒ ‘නාගදීපය’ පෙදෙසට යි. මේත් සමඟැ ‘මණිඅක්ඛික’ නම් නාග රජකු සම්බන්ධයෙන් ද මූලාශ්‍රය පවසයි. ‍බුදුන් වහන්සේ ගේ තෙවන ලංකාගමනය සිදු වන්නේ ද ‘මණිඅක්ඛික’ නාග රජු ගේ ඇරයුම හේතුවෙනි. ඒ ‘කැලණි’ පුරවරට යැ.

මේ වනාහි බුද්ධකාලීන ලක්දිවැ වාසය කැරුණු පිරිස් පිළිබඳ වැ වංසකතාවේ සඳහන් වැ ඇති පුවත යි. ඒ අනුව ‍යක්ෂ, නාග හා දේව යනුවෙන් කිසියම් පිරිසක් තත්කාලීන ලක්දිවැ වාසය කළැ’යි අපට සිතියැ හැකි යැ. මෙසේ වාසය කරන ලද පූර්වයේ සඳහන් කැරුණු පිරිස් පිළිබඳ වැ වෙන වෙන මැ සාකච්ඡා කිරීමට ඉදිරියේ දී බලාපොරොත්තු වන හෙයින් ඒ සම්බන්ධ වැඩි දුරටත් මේ ලිපිය තුළැ කරුණු දැක්වීමට අදහස් නොකරමි.

ඒ හැරැ ලක්දිවැ මුල් මැ ජනාවාස පිහිටුවීම සම්බන්ධයෙන් වංසකතාවලැ එන තොරතුරු අනුව අවධානය ‍යොමු කිරීමේ දී ද එවකට විසූ යම් යම් ජන කොට්ඨාස පිළිබඳ වැ තොරතුරු දැනැගත හැකි යැ. විජය ඇතුළු පිරිස ලක්දිවට ගොඩ බසින විටැ ‍වුසූ යක්ෂ නමැති පිරිසක් පිළිබඳ වැ මූලාශ්‍රයේ එයි. මහාවංසයේ හත්වැනි පරිච්ඡේදයේ මෙසේ වුසූ අය ගේ නාමයන් කීපයෙක් ද සඳහන් වැ තිබේ.

විජය ඇතුළු පිරිස ලක්දිවැ ගොඩ බට වේලාවෙහි බැල්ලක වෙසින් පෙනී සිටි ‘සීසපාති’ නම් යකින්න හා ‘කුවේණි’ නම් යකින්න එහි දී විශේෂිත යැ. ඒ හැර ‘කාලසේන’ හා ‘පෝලමිත්තා’ නමැති නාමයන් ද සඳහන් වී තිබේ. සිරිසවත්ථුපුර, ලංකාපුර ආදි පෙදෙස්හි යකුන් වාසය කැරැ ඇති බවට දැනට විද්‍යාමාන වංසකතා මූලාශ්‍රය සාක්ෂි සපය යි.

විජය හා ඔහු ගේ පිරිස ලක්දිවැ මුල් මැ ජනාවාස ඇති කැරැ කාලයක් ගත වූ පසු බලයට පත්වන පසු කාලීන පාලකයන් සම්බන්ධ විස්තර වලදී ද යක්ෂ නාමය සඳහන් වී ඇති පිරිස් සම්බන්ධයෙන් තොරතුරු දැකියැ හැකි ය. කෙසේ නමුත් මේ වන විටැ අප අතර ඇති ප්‍රාථමික මූලාශ්‍රය අනුවැ යමින් ප්‍රධාන වශයෙන් යක්ෂ, නාග හා දේව නමින හැඳින්වුණු පිරිසක් විජය කුමරු ගේ ලංකාමනයට පූර්වයේ ලක්දිවැ වාස භූමිය කැරැගෙන සිටියේ යැ යි සිතීම සහේතුක යැ. දැනට ඇති තොරතුරු අනුවැ ‘වැදි’ නමින් හඳුන්වනු ලබන ‘ආදිවාසී ජනතාව’ ද ලක්දිවැ මුල් මැ ජන කොට්ඨාසයක ගේ දිගුවක් වශයෙන් සැලැකීම යුක්ති යුක්ත බව පෙනේ.

ශකිල රාජකරුණා විසිනි.

පාදක ග්‍රන්ථ හා වැඩිදුර කියැවීම් සඳහා :

දැරණියගල, එස්. යූ., 1991, ශ්‍රී ලංකාවේ ප්‍රාග්ඉතිහාසය, පරිව: සෝමපාල ජයවර්ධන, එච්. නිමල් පෙරේරා, සංස්: එස්. බී. හෙට්ටිආරච්චි, ඇච්. ඇම්. සිරිසෝම, ප්‍රධාන සංස්: සෝමපාල ජයවර්ධන, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ප්‍රකාශනයක්.

මහාවංස, පළමු වෙළුම, මාගධී පෙළ හා සිංහල අනුවාදය, නව සංස්: චන්ද්‍රා වික්‍රමගමගේ, සිංහල අනු: අරුණ තලගල, 2012, දෙහිවල: බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය, 1 කාණ්ඩය, 1 භාගය, සංස්: නිකලස් ආටිගල හා තවත් අය, 1964, විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ පර්‍ය්‍යෙෂණාංශයේ සිංහල පරිවර්තනය.

වංසත්‍ථප්පකාසිනී, මහාවංස ටීකාව, සිංහල අනු: අකුරටියේ අමරවංස හිමි, හේමචන්ද්‍ර දිසානායක, 2001, කොළඹ: එස්. ගොඩගේ සහ සහෝදරයෝ.

The Mahāvansa, Pali Text Together with Some Later Additions, ed: A. P. Buddhadatta, 1959, Colombo: M. D. Gunasena & Co. Ltd.