අංගීරස වූ පදුමුත්තර සර්වඥයන් වහන්සේ වසර ලක්ෂයක් ආයු වළඳා පිරිනිවුණු පසු ලොවට අතිදීර්ඝ අඳුරු යුගයක් උදාවිය. එනම් පියමතුරා බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් පසු කල්ප සැත්තෑ ලක්ෂයක් බුද්ධ ශූන්‍ය ව පැවතිණ. කාලයත් සමග එම අතිදීර්ඝ බුද්ධ ශුන්‍ය කල්ප සැත්තෑ ලක්ෂය ගෙවුණු නමුත් එතැන් පටන් කල්ප තිහක් යනතුරුත් ලෝකයේ එකදු බුදු කෙනෙක් වත් පහළ නො වූහ. එකී කල්ප තිහකට පසු එක කල්පයක් තුළ ‘සුමේධ, සුජාත’ යයි සර්වඥයන් වහන්සේලා දෙනමක් පහළ වූ සේක.

ප්‍රඥාධික වූ සුමේධ බෝධිසත්වයන් වහන්සේ බුද්ධ කාරක ධර්ම සපුරා තුසිතපුර ඉපිද දිව්‍ය සම්පත් විඳ එයින් නික්මී සුදර්ශන නගරයේ රජ කල සුදත්ත රජු ගේ අග්‍ර මහේෂිකාව වූ සුදත්තා නම් දේවියගේ කුසෙහි පිළිසිඳගෙන දස මාසයක ඇවෑමෙන් සුදර්ශන උයනේ දී ලහිරු මඩලක් සේ මව්කුසින් බිහි වූ සේක. තරුණ වියට පත් සුමේධ බෝධිසත්වයන් වහන්සේ සුමන මහා දේවිය සරණපාවා ගෙන        සුචන්දනක, කොඤ්ච, සිරිවඩ්ඪ නම් මාලිගා තුනෙහි සතළිස් අටදහසක් ස්ත්‍රීන් පිරිවරාගෙන වසර නවදහසක් ගිහිගෙයි වාසය කළහ. සතර පෙර නිමිති දැකීමෙන් ගිහිගෙයි වාසය ඇති නිස්සාර බව වටහාගෙන ගිහි ගෙය කළකිරුණු සුමේධ බෝසතාණෝ සුමනා දේවිය පුනබ්බ සුමිත්ත නම් තම පුත් කුමරු බිහිකළ දා ගිහිගෙය හැර යන්න සිතා හස්ති යානයකින් අභිනික්මන් කර පැවිදි වූහ. එවිට මිනිසුන් සියක් කෝටියක් දෙනා පැමිණ බෝධිසත්වයන්වහන්සේ අනුවම පැවිදි වූහ. එවිට එම පැවිදි පිරිස පිරිවරාගෙන අඩමසක් ප්‍රධන් වීර්ය වඩා වෙසක් පුර පොහෝදා නකුල නම් නියම් ගමෙහි නකුල සිටුදියණිය පිදූ මී පැණි මිශ්‍ර කිරි පිඩු දානය වළඳා සල් වනයේ දිවා විහරණය කර සිරිවඩ්ඪ ආජීවකයා දුන් තණ මිටි අට රැගෙන මිදෙල්ල බෝධිමූලයේ විසිරියනක් බිම තණ මිටි අතුරා චතුරංග සමන්වාගත වීර්යය අධිෂ්ඨාන කර එහි වැඩහිඳිමින් මරසෙන් පරදා ලොව්තුරා සම්බුද්ධත්වයට පත්වූ සේක. සියලු බුදුවරුන්ගේ සිරිත් පරිදි “අනේක ජාති සංසාරං“ යන උදාන ගාථා කියා සත් සතියක් ම බෝධිය සමීපයේ කල් ගෙවූ සේක. අටවැනි සතියේ දී ලෝවැසියන්ට හිත වැඩ පිණිස ධර්මය දේශනා කරන සේක්වා යි ධර්මදේශනය පිණිස කළ බ්‍රහ්මාරාධනය පිළිගෙන කවරෙක් හට මුලින්ම ධර්මය දේශනා කරන්නේ ද කවරෙක් මුලින්ම ධර්ම අවබෝධ කරගන්නට සමර්ථ දැයි ලොව විමසා බලනුයේ තමන් වහන්සේගේ බාලසහෝදරවරු වූ සරණ කුමරු හා සච්ඡකාලි කුමරුත් මෙන්ම තමන් වහන්සේ හා සමගින් එකටම පැවිදි වූ සියක් කෝටියක් වූ භික්ෂූන් ද චතුරාර්ය සත්‍යය ප්‍රතිවේධ කරන්නට සමත් යැයි දැක අහස් කුසින් වැඩම කර සුදර්ශන නගරය සමීපයෙහි වූ සුදර්ශන උයනට බැස උද්‍යාන පාලකයා ලවා තමන් වහන්සේගේ සහෝදරවරු දෙදෙනා කැඳවා එම පිරිස මැද ධර්මය දේශනා කළ සේක. එවිට කෝටි ලක්ෂයක් දෙනා හට ධර්මාවබෝධය වූහ. මේ පළමු ධර්මාභිසමය විය.

එක් කලෙක වනාහි කුම්භකර්ණයා හා සමාන ආනුභාව ඇති මිනිසුන් මරාගෙන කන දෘශ්‍යමාන ශරීරයෙන් වන සංචාරය නවතා වත්තනී වනමුඛයේ හිඳිනා කුම්භකරණ නම් යක්ෂයෙක් විය. භාග්‍යවතුන් වහන්සේ අළුයම් කල්හි මහා කරුණා සමාපත්තියට සම වැදී එයින් නැගී සිට ලොව බලනුයේ මේ යක්ෂයාව කරුණා සිතට අරමුණු වූහ. එබැවින් එම යක්ෂ ඇතුළු පිරිසට පිහිටවන අදහසින් භාග්‍යවතුන් වහන්සේ තනිවම කිසිවකුගේ සහයක් නැතිවම යක්ෂයාගේ භවනට වැඩම කොට පනවා ඇති සිරි යහනේ වැඩහුන් සේක. එවිට එම යක්ෂයා මකු බව ඉවසිය නොහැකිව දණ්ඩෙන් පහර කෑ ඝෝර විසැති සර්පයකු සේ කිපී දස බලධාරීන් වහන්සේ බය කරනු කැමැති ව තම යක්ෂ ශරීරය දුටුවන්ගේ සිතට බිය නැගෙන සේ ගොරතර කරනුයේ පර්වතයක් හා සමාන විශාල හිසක්ද, සූර්ය මණ්ඩලය සේ ඇස් ද, නගුල් හිසක් හා සමාන දික් මහත් වූ තියුණු දත් ද, එල්ඹෙන විශාල කලු මහත් වූ විෂම උදරයක් ද, විරූප වූ වක් නාසයක් ද, පර්වත ගුහාවක් සේ රත්පැහැ වූ මුඛයක් ද, දුඹුරු පැහැ ගැන්වී සැඩපලූ ගෙතී විරූපී වූ  කෙස් වැටියක් ද, අති භයානක දර්ශනයකින් යුක්තව සුමේධ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියට පැමිණ දුම දමමින් ගිනිගෙන දැවෙන පාෂාණ, පර්වත, ගිනිජාලා, ජල, මඩ, අළු, ආයුධ, අඟුරු, වැලි ආදී නවවිධ වර්ෂාවක් වස්සවා බුදුන්ට හිරිහැර කරන්නට සිතූ නමුත් බුදුන්ගේ සිරුරේ රෝම කුපයක්වත් සෙලවිය නොහැකිව භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්න අසා පිළිතුරු දී ගත නොවුනහොත් මරණයට පත්කරමි යැයි සිතා ආලවක යක්ෂයා මෙන් ප්‍රශ්න ඇසීය. භාග්‍යවතුන් වහන්සේ එම ප්‍රශ්න විසදා යක්ෂ දමනය කළ සේක. එයින් දෙවන දිනයේ රටවැසි මිනිසුන් ගැල් පිරූ බතක් සමග රජකුමරකු ගෙනැවිත් යක්ෂයා හට දුන්හ. එවිට යක්ෂයා එම කුමරු භාග්‍යවතුන් වහන්සේට පිදුවේය. එවේලෙහි වන දොරෙහි සිටි මිනිසුන් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේය. එදින භාග්‍යවතුන් වහන්සේ එම සමාගමයෙහි සිටි යක්ෂයාගේ සිතට වැටහෙන අයුරින් ධර්මය දේශනා කරනුයේ කෝටි අනූදහසක් ප්‍රාණීන් හට දහම් ඇස පහළ විය. මේ දෙවන ධර්මාභිසමය විය.

යම් කලෙක බුදුරජාණන් වහන්සේ උපකාරී නුවර සිරිනන්ද උයනේ දී චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කළ සේක් ද එකල්හි කෝටි අසූ දහසක් දෙනා හට ධර්මය අවබෝධ වූහ. මේ තෙවන ධර්මාභිසමය විය.

 පෙර බුදුවරුන්ට මෙන්ම සුමේධ බුදුරජාණන් වහන්සේට ද ශ්‍රාවක සන්නිපාත තුනක් වූයේය. එනම් පළමු ශ්‍රාවක සන්නිපාතයේ දී සුදර්ශන උයනෙහි සියක් කෝටියක් රහතුන් වූහ. දෙවන ශ්‍රාවක සන්නිපාතයේ දී දේව කූට පර්වතයේ කඨින චීවරය අතුරන කල්හි භික්ෂූහු අනු කෝටියක් දෙනා රැස්වූහ. නැවතද භාග්‍යවතුන් වහන්සේ චාරිකාවේ හැසිරෙන කල්හි ශ්‍රාවකයන් වහන්සේලා අසූ කෝටියක් දෙනා රැස් වූ සේක. මේ තෙවන ශ්‍රාවක සන්නිපාතය විය.

 සුමේධ ලෝකනාථයන් වහන්සේ ලෝකානුකම්පාවෙන් වැඩ වාසය කරන කල්හි අපගේ බෝධිසත්වයන් වහන්සේ සියලු ජනයාට උතුම් වූ උත්තර නම් මාණවකයකු වී ඉපිද නිදන් කර තිබූ අසූ කෝටියක් ධනය වියදම් කර බුදුපාමොක් මහ සඟනට මහා දානයක් දුන්හ. එපමණකුත් නොව බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා පැහැදී සරණ සමාදානයෙහි පිහිටා ගිහිගෙය සම්පත් හැර දමා උතුම් පැවිද්ද ලැබුවේය. එම දානය අවසානයේ දී භාග්‍යවතුන් වහන්සේ අනුමෝදනා දම් දෙසුම කරන විට

 “සෝ පි මං තදා ව්‍යාකාසි – කරොන්තෝ අනුමෝදනං

 තිංසකප්පසහස්සම්හි – අයං බුද්ධො භවිස්සති“ යැයි

කල්ප තිස් දහසක් ගිය කල්හි මේ මහා පුරුෂ තෙමේ ගෞතම නමින් ලොවුතුරා සම්බුදු පදවිය ලබන්නා හ යයි සුමේධ බුදුරජාණන් වහන්සේ විසින් බුදුබවට විවරණ දුන් සේක.

 සුමේධ බුදුරජාණන්වහන්සේ සුදර්ශන නගරයේ සුදත්ත නම් පියරජු නිසා සුදත්තා නම් මව් දේවියගේ කුසෙහි පිළිසිඳ සුදර්ශන උයනේ දී ඉපිද තරුණ වියේදී සුමනා දේවිය සරණපාවාගෙන සුචන්දන්ත, කොඤ්ච,  සිරිවඩ්ඪ නම් තුන් මහා ප්‍රාසාදයන්හි හතළිස්අටදහසක් ස්ත්‍රීන් පිරිවරාගෙන වසර නවදහසක් රජ සම්පත් විඳිනුයේ සුමනා දේවිය තම පුතු වූ පුනබ්බසුමිත්ත කුමරු වැදූ දා හස්ති යානයෙන් අබිනික්මන් කර  නකුල සිටුදුව පිදූ උපායාසය වළඳා මිදෙල්ල බෝධිමූලයේ ලොව්තුරා බුදු බව ලබා දම්සක් දෙසා සරණය, සබ්බකාම යන අගසව් දෙනම, සාගර නම් උපස්ථායක තෙරනමක් සහ රාමා, සුරාමා යන අග්‍රශ්‍රාවිකා දෙනමක් ද ඇතිව අසූඅට රියන් උස ශෝභමාන බුදුසිරුරකින් යුක්තව ලෝක සත්ත්වයින් නිවන්පුර පමුණුවමින් අනූ දහසක් ආයු වළඳා පිරිනිවන් පෑ සේක.

(මධුරත්ථ විලාසිනී නම් වූ බුද්ධ වංශ අට්ඨකථාව ඇසුරෙන්)

සම්පාදක – පූජ්‍ය පුවක්පිටියේ සුමංගල රතන හිමි

පරිගණක අකුරු සැකසුම
උපේක්‍ෂා පියරංගිකා මිය