ගෞතම බුද්ධ ශාසනයේ අන්තර්ධානය පිළිබඳ ව ඇති මත භේදය වනාහි ඉතා පැරණිය. මාතලේ අලු ලෙන්හි ත්‍රිපිටක අට්ඨකථා සංඛ්‍යාත පර්යප්ති ධර්මය ග්‍රන්ථාරූඩ කරන සමය වන විට ද මේ මත භේද පැවතිණි. එක් එක් භාණක පරම්පරාවලින් රැගෙන ආ මතයන්හි පැවති පරස්පරතාවය ඊට හේතුවය. මෙසේ ශාසන අන්තර්ධානය පිළිබඳ අට්ඨකථා ටීකා ගත මත, විමසුමට ලක් කිරීම හා එය ශාසන ප්‍රතිපදාවට බලපාන්නේද, යන්න පිළිබඳව මෙම ලිපියෙන් විමසනු ඇත. මෙහිදී පිළිවෙළින් අංගුත්තර නිකායෙහි අට්ඨකථාවෙහි හා තදායත්ත ටීකාවෙහිත්, චුල්ලවග්ග පාළි අට්ඨ කථාවෙහි හා විමති විනෝදනීය විනය ටීකාවේත්, දීඝනිකාය අට්ඨකථාවෙහිත්, සංයුක්ත නිකාය අට්ඨකථාව හා තදායත්ත ටීකාවෙහිත් මත, දක්වන ලද පිළිවෙළින් විමසුමට ලක් කෙරෙනු ඇත.

  1. අංගුත්තර නිකායට්ඨකථා

වස්‌සසහස්‌සන්‌ති චෙතං පටිසම්‌භිදාපභෙදප්‌පත්‌තඛීණාසවානං වසෙනෙව වුත්‌තං, තතො පන උත්‌තරිපි සුක්‌ඛවිපස්‌සකඛීණාසවවසෙන වස්‌සසහස්‌සං, අනාගාමිවසෙන වස්‌සසහස්‌සං, සකදාගාමිවසෙන වස්‌සසහස්‌සං, සොතාපන්‌නවසෙන වස්‌සසහස්‌සන්‌ති එවං පඤ්‌චවස්‌සසහස්‌සානි පටිවෙධසද්‌ධම්‌මො ඨස්‌සති. පරියත්‌තිධම්‌මොපි තානියෙව. න හි පරියත්‌තියා අසති පටිවෙධො අත්‌ථි, නාපි පරියත්‌තියා සති පටිවෙධො න හොති. ලිඞ්‌ගං පන පරියත්‌තියා අන්‌තරහිතායපි චිරං පවත්‌තිස්‌සතීති.

වස්සසහස්සං යන මෙය ප්‍රතිසම්භිදාප්‍රාප්ත ක්ෂීණාශ්‍රවයන් වහන්සේලාගේ වශයෙන් කියන ලදි. එයින් මත්තෙහි ද වනාහි ශුෂ්ක විපස්සක ක්ෂීණාශ්‍රවයන් වහන්සේලාගේ වශයෙන් වර්ෂ දහසක් ද, අනාගාමී වහන්සේලාගේ වශයෙන් වර්ෂ දහසක් ද, සකදාගාමී වහන්සේලාගේ වශයෙන් වර්ෂ දහසක් ද, සෝතාපන්නයන් වහන්සේලාගේ වශයෙන් වර්ෂ දහසක් ද යයි මෙසේ වර්ෂ පන්දහසක් ප්‍රතිවේද සාසනය පිහිටන්නේ ය. පරියප්ති ධර්මය ද එපමණ වර්ෂ ප්‍රමාණයක් ම ය. පරියප්තිය නැති කල්හි ප්‍රතිවේධය ඇත්තේ නැත. පරියප්තිය ඇති කල්හි ප්‍රතිවේධය නැත්තේද නොවේ. ශ්‍රමණ ලිංගය (පාත්‍ර සිවුරු ආදිය සහිත භික්ෂූන්) වනාහි පරියප්තිය අතුරුදහන් වූයේ ද බොහෝ කල් පවතින්නේය යනුවෙන් මහඅට්ඨ කථාවෙහි කියන ලදි.

  • අංගුත්තර නිකාය ටීකා

මාතුගාමස්‌ස පබ්‌බජිතත්‌තාති ඉදං පඤ්‌චවස්‌සසතතො උද්‌ධං අට්‌ඨත්‌වා පඤ්‌චසුයෙව වස්‌සසතෙසු සද්‌ධම්‌මට්‌ඨිතියා කාරණනිදස්‌සනං. පටිසම්‌භිදාපභෙදප්‌පත්‌තඛීණාසවවසෙනෙව වුත්‌තන්‌ති එත්‌ථ පටිසම්‌භිදාප්‌පත්‌තඛීණාසවග්‌ගහණෙන ඣානානිපි ගහිතානෙව හොන්‌ති. න හි නිජ්‌ඣානකානං සබ්‌බප්‌පකාරසම්‌පත්‌ති ඉජ්‌ඣතීති වදන්‌ති. සුක්‌ඛවිපස්‌සකඛීණාසවවසෙන වස්‌සසහස්‌සන්‌ති ආදිනා ච යං වුත්‌තං, තං ඛන්‌ධකභාණකානං මතෙන වුත්‌තන්‌ති වෙදිතබ්‌බං. විනයට්‌ඨකථායම්‌පි ඉමිනාව නයෙන වුත්‌තං.

මාතුගාමස්ස පබ්බජිතත්තා යන මෙය වර්ෂ පන්සියයෙන් ඉහලට ශාසනය නොසිට වර්ෂ පන්සියයක් ම සද්ධර්මය පිහිටන බවට හේතු කාරණ දැක්වීමයි. පටිසම්භිදාපහෙදප්පත්තඛීණාසවවසේනේන වුත්තං යන මෙහි ප්‍රතිසම්භිදාප්‍රාප්ත ක්ෂීණාශ්‍රවයන් වහන්සේලාගේ ගැනීමෙන් ධ්‍යාන සහිත වූවන් ද ගන්නා ලද්දේ වෙත්. ධ්‍යාන නැත්තවුන්ට ප්‍රතිසම්භිදා ආදී සියලු ප්‍රකාර සම්පත්තීන් නොලැබේ යයි කියත්. සුක්ඛ විපස්සකඛීණාසව වසේන වස්ස සහස්සං යන ආදියෙන් ද යමක් කියන ලද්දේ ද ඒ මේ කීම ඛන්ධක භාණකයන් කියන ලද්දේ යැයි දත යුතුය. විනය අට්ඨකථාවෙහිද මෙම ක්‍රමයෙන්ම කියන ලදි.

* මේ අනුව අංගුත්තර නිකාය භාණකයන්ගේ පරම්පරාව දරාගෙන පැමිණියේ ප්‍රතිසම්භිදා ප්‍රාප්ත ක්ෂීණාශ්‍රවයන්, ෂඩ්අභිඥා සහිත ක්ෂීණාශ්‍රවයන්, ත්‍රිවිද්‍යා සහිත ක්ෂීණාශ්‍රවයන් මුල් වසර දහස තුළ පමණක් ලැබෙන බවත්, ඊළඟ වසර දහස තුළ පමණක් ශුෂ්ක විපස්සක ක්ෂීණාශ්‍රවයන් ඊළඟ වසර දහස තුළ පමණක් අනාගාමීන්, ඊළඟ වසර දහස තුළ පමණක් සකදාගාමීන්, ඊළඟ වසර දහස තුළ පමණක් සෝතාපන්නයන් වශයෙන් වසර පන්දහස තුළ ආර්යයන් ලැබෙන බව යැයි දතයුතුය.

2. චුල්ලවග්ග පාළි (අට්ඨකථා)

මහතො තළාකස්‌ස පටිකච්‌චෙව ආළින්‌ති ඉමිනා පන එතමත්‌ථං දස්‌සෙති – යථා මහතො තළාකස්‌ස ආළියා අබද්‌ධායපි කිඤ්‌චි උදකං තිට්‌ඨෙය්‍ය, පඨමමෙව බද්‌ධාය පන යං අබද්‌ධපච්‌චයා න තිට්‌ඨෙය්‍ය, තම්‌පි තිට්‌ඨෙය්‍ය; එවමෙව යෙ ඉමෙ අනුප්‌පන්‌නෙ වත්‌ථුස්‌මිං පටිකච්‌චෙව අවීතික්‌කමනත්‌ථාය ගරුධම්‌මා පඤ්‌ඤත්‌තා. තෙසු අපඤ්‌ඤත්‌තෙසුපි මාතුගාමස්‌ස පබ්‌බජිතත්‌තා පඤ්‌චෙව වස්‌සසතානි සද්‌ධම්‌මො තිට්‌ඨෙය්‍ය. පටිකච්‌චෙව පඤ්‌ඤත්‌තත්‌තා පන අපරානිපි පඤ්‌චවස්‌සසතානි ඨස්‌සතීති එවං පඨමං වුත්‌තං වස්‌සසහස්‌සමෙව ඨස්‌සතීති. වස්‌සසහස්‌සන්‌ති චෙතං පටිසම්‌භිදාපභෙදප්‌පත්‌තඛීණාසවවසෙනෙව වුත්‌තං. තතො පන උත්‌තරිම්‌පි සුක්‌ඛවිපස්‌සකඛීණාසවවසෙන වස්‌සසහස්‌සං, අනාගාමිවසෙන වස්‌සසහස්‌සං, සකදාගාමිවසෙන වස්‌සසහස්‌සං, සොතාපන්‌නවසෙන වස්‌සසහස්‌සන්‌ති එවං පඤ්‌චවස්‌සසහස්‌සානි පටිවෙධසද්‌ධම්‌මො ඨස්‌සති. පරියත්‌තිධම්‌මොපි තානියෙව. න හි පරියත්‌තියා අසති පටිවෙධො අත්‌ථි, නාපි පරියත්‌තියා සති පටිවෙධො න හොති; ලිඞ්‌ගං පන පරියත්‌තියා අන්‌තරහිතායපි චිරං පවත්‌තිස්‌සතීති.

මහතෝ තලාකස්ස පටිගච්චේව ආළි යන මෙයින් වනාහි යම්සේ මහත් ජලාශයක ජලාශ බැම්ම නොබැඳි කල්හිදු කිසියම් ජල ප්‍රමාණයක් සිටින්නේ ද බැම්ම නොබැඳීම හේතුවෙන් නොසිටින්නා වූ ජලය ප්‍රමාණයක් වේද පළමුවම බැම්ම බැඳීම හේතුවෙන් ඒ ජලය ප්‍රමාණය ද සිටින්නේ ද එසේ ම වීතික්ක්‍රමණ වස්තුවක් නූපන් කල්හිම පෙරාතුවම වීතික්ක්‍රමණය නොකිරීම පිණිස යම් යම් ගරුධර්ම පනවන ලද්දේය යන මේ අර්ථය දක්වයි. ඒ ගරුධර්ම නොපනවනලද කල්හි ම මාගමගේ පැවිද්ද හේතුවෙන් වර්ෂ පන්සියයක් ම සද්ධර්මය පිහිටන්නේය. පෙරාතුවම ගරුධර්ම පනවන ලද බැවින් වනාහි අන්‍ය වූ ද වර්ෂ පන්සියයක් පිහිටන්නේ යැයි මෙසේ පළමුව දේශනා කළ වර්ෂ දහසම සාසනය පවතින්නේය යනුවෙන් මහඅට්ඨ කථාවෙහි කියන ලදි.

වස්සසහස්සං යන මෙය ප්‍රතිසම්භිදාප්‍රාප්ත ක්ෂීණාශ්‍රවයන් වහන්සේලාගේ වශයෙන් කියන ලදි. එයින් මත්තෙහි ද වනාහි ශුෂ්ක විපස්සක ක්ෂීණාශ්‍රවයන් වහන්සේලාගේ වශයෙන් වර්ෂ දහසක් ද, අනාගාමී වහන්සේලාගේ වශයෙන් වර්ෂ දහසක් ද, සකදාගාමී වහන්සේලාගේ වශයෙන් වර්ෂ දහසක් ද, සෝතාපන්නයන් වහන්සේලාගේ වශයෙන් වර්ෂ දහසක් ද යැය මෙසේ වර්ෂ පන්දහසක් ප්‍රතිවේද සාසනය පිහිටන්නේ ය. පරියප්ති ධර්මය ද එපමණ වර්ෂ ප්‍රමාණයක් ම ය. පරියප්තිය නැති කල්හි ප්‍රතිවේධය ඇත්තේ නැත. පරියප්තිය ඇති කල්හි ප්‍රතිවේධය නැත්තේද නොවේ. ශ්‍රමණ ලිංගය (පාත්‍ර සිවුරු ආදිය සහිත භික්ෂූන්) වනාහි පරියප්තිය අතුරුදහන් වූයේ ද බොහෝ කල් පවතින්නේය යනුවෙන් මහඅට්ඨ කථාවෙහි කියන ලදි.

  • විමති විනෝදනී ටීකා

භික්‌ඛුනික්‌ඛන්‌ධකෙ ‘‘මාතුගාමස්‌ස පබ්‌බජිතත්‌තා’’ති ඉදං පඤ්‌චවස්‌සසතතො උද්‌ධං සද්‌ධම්‌මස්‌ස අප්‌පවත්‌තනකාරණදස්‌සනං. සුක්‌ඛවිපස්‌සකඛීණාසවවසෙන වස්‌සසහස්‌සන්‌ති ආදි ඛන්‌ධකභාණකානං මතං ගහෙත්‌වා වුත්‌තං. දීඝනිකායට්‌ඨකථායං පන ‘‘පටිසම්‌භිදාප්‌පත්‌තෙහි වස්‌සසහස්‌සං අට්‌ඨාසි, ඡළභිඤ්‌ඤෙහි වස්‌සසහස්‌සං, තෙවිජ්‌ජෙහි වස්‌සසහස්‌සං, සුක්‌ඛවිපස්‌සකෙහි වස්‌සසහස්‌සං, පාතිමොක්‌ඛෙහි වස්‌සසහස්‌සං අට්‌ඨාසී’’ති වුත්‌තං. අඞ්‌ගුත්‌තර – සංයුත්‌තට්‌ඨකථාසුපි අඤ්‌ඤථාව වුත්‌තං, තං සබ්‌බං අඤ්‌ඤමඤ්‌ඤවිරුද්‌ධම්‌පි තංතංභාණකානං මතෙන ලිඛිතසීහළට්‌ඨකථාසු ආගතනයමෙව ගහෙත්‌වා ආචරියෙන ලිඛිතං ඊදිසෙ කථාවිරොධෙ සාසනපරිහානියා අභාවතො, සොධනුපායාභාවා ච. පරමත්‌ථවිරොධො එව හි සුත්‌තාදිනයෙන සොධනීයො, න කථාමග්‌ගවිරොධොති.

භික්ඛුනී ඛන්ධකයෙහි “මාතුගාමස්ස පබ්බජිතත්තා” යන මෙය (මාගමුන්ගේ පැවිද්ද හේතුවෙන්) වර්ෂ පන්සියයකට මත්තෙහි සද්ධර්මයේ නොපැවැත්වීම් සංඛ්‍යාත හේතුව දැක්වීමයි. “සුක්ඛ විපස්සක ඛීණාසව වසේන” යනාදිය ඛන්ධක භාණකයන්ගේ මතය ගෙන කියන ලදි. දීඝනිකාය අර්ථකථාවෙහි වනාහි ප්‍රතිසම්භිදාප්‍රාප්තයන්ගේ වශයෙන් වර්ෂ දහසක් සසුන පිහිටයි. ෂඩ්අභිඥාලාභීන්ගේ වශයෙන් වර්ෂ දහසක්, ත්‍රිවිද්‍යාලාභීන්ගේ වශයෙන් වර්ෂ දහසක්, ශුෂ්ක විපස්සකයන්ගේ වශයෙන් වර්ෂ දහසක්, පාමොක් දරන්නන්ගේ වශයෙන් වර්ෂ දහසක් සසුන පිහිටයි යයි කියන ලදි. අංගුත්තර නිකාය, සංයුක්ත නිකාය අර්ථ කතාවන්හි වෙනත් ආකාරයකින් ම කියන ලදි. ඒ මත සියල්ල එකිනෙකට විරුද්ධ වූයේ ද ඒ ඒ භාණකයන් දරාගෙන පැමිණි මතයෙන් ලියන ලද සිංහල අර්ථ කතාවන්හි පැමිණි ක්‍රමයෙන්ම ගෙන බුද්ධඝෝෂ ආචාර්යයන් වහන්සේ විසින් මෙබඳු විරුද්ධ කතාවලින් සාසන පරිහානියක් සිදු නොවන බැවිනුත්, මේ මත පිරිසිදු කරන්නට ක්‍රමයක් නැති බැවිනුත් කියන ලද ක්‍රමයෙන් අර්ථ කතාව ලියන ලදී.

පරමාර්ථ විරෝධී වූවක්ම (මාර්ගාංග 7යි කියයි නම්, ආර්යය සත්‍යය 5යි කියයි නම් යන ආදී වශයෙන්) සූත්‍ර ආදී ක්‍රමයෙන් ශෝධනය කළ යුතුය. අර්ථ කථා මාර්ගයෙන් පැමිණි මෙබඳු කථා පිරිසිදු කළ යුතු නැත.

* මේ අනුව විනය පිටකය දරාගෙන පැමිණියවුන් ගේ මතය වූයේ අංගුත්තර නිකාය භාණකයන්ගේ මතයම බව දත යුතුය.

3. දීඝ නිකාය අට්ඨ කථා

තීණි අන්‌තරධානානි නාම පරියත්‌තිඅන්‌තරධානං, පටිවෙධඅන්‌තරධානං, පටිපත්‌තිඅන්‌තරධානන්‌ති. තත්‌ථ පරියත්‌තීති තීණි පිටකානි. පටිවෙධොති සච්‌චප්‌පටිවෙධො. පටිපත්‌තීති පටිපදා. තත්‌ථ පටිවෙධො ච පටිපත්‌ති ච හොතිපි න හොතිපි. එකස්‌මිඤ්‌හි කාලෙ පටිවෙධකරා භික්‌ඛූ බහූ හොන්‌ති, එස භික්‌ඛු පුථුජ්‌ජනොති අඞ්‌ගුලිං පසාරෙත්‌වා දස්‌සෙතබ්‌බො හොති. ඉමස්‌මිංයෙව දීපෙ එකවාරං පුථුජ්‌ජනභික්‌ඛු නාම නාහොසි. පටිපත්‌තිපූරකාපි කදාචි බහූ හොන්‌ති, කදාචි අප්‌පා. ඉති පටිවෙධො ච පටිපත්‌ති ච හොතිපි න හොතිපි. සාසනට්‌ඨිතියා පන පරියත්‌ති පමාණං. පණ්‌ඩිතො හි තෙපිටකං සුත්‌වා ද්‌වෙපි පූරෙති.

යථා අම්‌හාකං බොධිසත්‌තො ආළාරස්‌ස සන්‌තිකෙ පඤ්‌චාභිඤ්‌ඤා සත්‌ත ච සමාපත්‌තියො නිබ්‌බත්‌තෙත්‌වා නෙවසඤ්‌ඤානාසඤ්‌ඤායතනසමාපත්‌තියා පරිකම්‌මං පුච්‌ඡි, සො න ජානාමීති ආහ. තතො උදකස්‌ස සන්‌තිකං ගන්‌ත්‌වා අධිගතවිසෙසං සංසන්‌දිත්‌වා නෙවසඤ්‌ඤානාසඤ්‌ඤායතනස්‌ස පරිකම්‌මං පුච්‌ඡි, සො ආචික්‌ඛි, තස්‌ස වචනසමනන්‌තරමෙව මහාසත්‌තො තං ඣානං සම්‌පාදෙසි, එවමෙව පඤ්‌ඤවා භික්‌ඛු පරියත්‌තිං සුත්‌වා ද්‌වෙපි පූරෙති. තස්‌මා පරියත්‌තියා ඨිතාය සාසනං ඨිතං හොති. යදා පන සා අන්‌තරධායති, තදා පඨමං අභිධම්‌මපිටකං නස්‌සති. තත්‌ථ පට්‌ඨානං සබ්‌බපඨමං අන්‌තරධායති. අනුක්‌කමෙන පච්‌ඡා ධම්‌මසඞ්‌ගහො, තස්‌මිං අන්‌තරහිතෙ ඉතරෙසු ද්‌වීසු පිටකෙසු ඨිතෙසුපි සාසනං ඨිතමෙව හොති.

තත්‌ථ සුත්‌තන්‌තපිටකෙ අන්‌තරධායමානෙ පඨමං අඞ්‌ගුත්‌තරනිකායො එකාදසකතො පට්‌ඨාය යාව එකකා අන්‌තරධායති, තදනන්‌තරං සංයුත්‌තනිකායො චක්‌කපෙය්‍යාලතො පට්‌ඨාය යාව ඔඝතරණා අන්‌තරධායති. තදනන්‌තරං මජ්‌ඣිමනිකායො ඉන්‌ද්‍රියභාවනතො පට්‌ඨාය යාව මූලපරියායා අන්‌තරධායති. තදනන්‌තරං දීඝනිකායො දසුත්‌තරතො පට්‌ඨාය යාව බ්‍රහ්‌මජාලා අන්‌තරධායති. එකිස්‌සාපි ද්‌වින්‌නම්‌පි ගාථානං පුච්‌ඡා අද්‌ධානං ගච්‌ඡති, සාසනං ධාරෙතුං න සක්‌කොති, සභියපුච්‌ඡා ආළවකපුච්‌ඡා විය ච. එතා කිර කස්‌සපබුද්‌ධකාලිකා අන්‌තරා සාසනං ධාරෙතුං නාසක්‌ඛිංසු.

ද්‌වීසු පන පිටකෙසු අන්‌තරහිතෙසුපි විනයපිටකෙ ඨිතෙ සාසනං තිට්‌ඨති. පරිවාරක්‌ඛන්‌ධකෙසු අන්‌තරහිතෙසු උභතොවිභඞ්‌ගෙ ඨිතෙ ඨිතමෙව හොති. උභතොවිභඞ්‌ගෙ අන්‌තරහිතෙ මාතිකායපි ඨිතාය ඨිතමෙව හොති. මාතිකාය අන්‌තරහිතාය පාතිමොක්‌ඛපබ්‌බජ්‌ජාඋපසම්‌පදාසු ඨිතාසු සාසනං තිට්‌ඨති. ලිඞ්‌ගං අද්‌ධානං ගච්‌ඡති. සෙතවත්‌ථසමණවංසො පන කස්‌සපබුද්‌ධකාලතො පට්‌ඨාය සාසනං ධාරෙතුං නාසක්‌ඛි. පටිසම්‌භිදාපත්‌තෙහි වස්‌සසහස්‌සං අට්‌ඨාසි. ඡළභිඤ්‌ඤෙහි වස්‌සසහස්‌සං. තෙවිජ්‌ජෙහි වස්‌සසහස්‌සං. සුක්‌ඛවිපස්‌සකෙහි වස්‌සසහස්‌සං. පාතිමොක්‌ඛෙහි වස්‌සසහස්‌සං අට්‌ඨාසි. පච්‌ඡිමකස්‌ස පන සච්‌චප්‌පටිවෙධතො පච්‌ඡිමකස්‌ස සීලභෙදතො පට්‌ඨාය සාසනං ඔසක්‌කිතං නාම හොති. තතො පට්‌ඨාය අඤ්‌ඤස්‌ස බුද්‌ධස්‌ස උප්‌පත්‌ති න නිවාරිතා.

තුන් අන්තර්ධානයෝ නම් පරියත්ති අන්තර්ධානය ය, ප්‍රතිවේද අන්තර්ධානයය, ප්‍රතිපත්ති අන්තර්ධානයය. එහි පරියත්ති යනු තුන් පිටකයෝය. පටිවේධෝ යනු චතුරාර්ය සත්‍යය ප්‍රතිවේධය යි. පටිපත්ති යනු ප්‍රතිපදාවයි. එහිලා ප්‍රතිවේධය ද ප්‍රතිපත්තියද පිහිටන්නේද වෙයි. නොපිහිටන්නේ ද වෙයි. එක් කාලයෙක්හි ප්‍රතිවේද කරන්නා වූ භික්ෂූහු බොහෝ වෙත්. අර භික්ෂුව පෘථග්ජනයෙක් යයි ඇඟිල්ල දිගු කොට කිව යුත්තේ වෙයි. මේ දිවයිනෙහිම එක්කලෙක එකදු පෘථග්ජන භික්ෂුවක්වත් නැති කලෙක් විය. ප්‍රතිපත්ති පුරන්නෝද කිසි කලෙක බොහෝ වෙත්. කිසිකලෙක අල්පය මෙසේ ප්‍රතිවේධය ද ප්‍රතිපත්තියද පිහිටන්නේද වෙයි. නොපිහිටන්නේ ද වෙයි. ශාසනය පිහිටීමට වනාහි පරියප්තිය ප්‍රමාණවත්ය. පණ්ඩිත තෙමේ වනාහි ත්‍රිපිටකය අසා සෙසු ප්‍රතිපත්ති, ප්‍රතිවේධ ශාසනද්වය පූරණය කරයි.

යම් සේ අපගේ බෝසතාණන් වහන්සේ ආලාරකාලාමයන්ගේ සමීපයෙහි පඤ්චාභිඥා සත්ත සමාපත්තීහු උපදවා නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තිය පිණිස පරිකර්ම විචාළේය. ආලාරතෙමේ නොදන්නෙමියි කීවේය. ඉක්බිති උද්දකරාමයන්ගේ සමීපයට ගොස් අධිගත විශේෂය සංසන්දනය කොට නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පරිකර්ම විචාලේය. හෙතෙමේ කීවේය. ඔහුගේ වචනයට අනතුරුවම මහාබෝසතාණෝ වහන්සේ ඒ ධ්‍යානය ඉපදවීය. එමෙන්ම ප්‍රඥාවන්ත වූ භික්ෂුව පරියප්තිය අසා සෙසු ශාසනද්වයද පූරණය කරයි. එබැවින් පරියප්තිය පිහිටි කල්හි සාසනය පිහිටියේ වෙයි. යම් කලෙක පරියප්තිය අන්තර්ධාන වෙයි ද එකල්හි පළමුව අභිධර්ම පිටකය නැසෙයි. එහිලා ද සියල්ලට ප්‍රථමයෙන් පට්ඨාන ප්‍රකරණය අතුරුදන් වෙයි. අනුක්‍රමයෙන් සෙස්ස නැසී අවසානයට ධම්මසංගනී ප්‍රකරණය අතුරුදන් වෙයි. ඒ අභිධර්ම පිටකය අතුරුදන් කල්හි සෙසු ද්විපිටකය ඇති කල්හිදු සාසනය පිහිටියේ වෙයි.

එහිලා සූත්‍රාන්ත පිටකය අතුරුදන් වන කල්හි පළමුව අංගුත්තර නිකායේ ඒකාදසක නිපාතයේ පටන් ඒකක නිපාතය දක්වා අතුරුදන් වෙයි. එයට අනතුරුව සංයුක්ත නිකාය චක්‍රපෙය්‍යාලමෙහි පටන් ඕඝතරණ සූත්‍රය දක්වා අතුරුදන් වෙයි. එයට අනතුරුව මජ්ඣිමනිකාය ඉන්ද්‍රිය භාවනා සූත්‍රයෙහි පටන් මූලපරියාය සූත්‍රය දක්වා අතුරුදන් වෙයි. එයට අනතුරුව දීඝනිකාය දසුත්තර සූත්‍රයෙහි පටන් බ්‍රහ්මජාල සූත්‍රය දක්වා අතුරුදන් වෙයි. ගාථා එකක දෙකක පිළිවිසීම් දිගු කාලයක් පවතී. ශාසනය දරාගැනීමට ඒවාට නො හැකි වෙයි. සභිය පිරිවැජියාගේ ආලවකගේ ප්‍රශ්න විචාරීම් වැනිය. කාශ්‍යප බුදුසසුනට අයත් වූ ඒ ගාථාවන්ට බුද්ධාන්තර දෙක අතර ශාසනය දැරීමට නොහැකි වූහ.

එකී ද්විපිටකයන් අතුරුදන් වුවද විනය පිටකය සිටි කල්හි ශාසනය පිහිටා සිටියි. පරිවාර පාළි, චුල්ලවග්ග මහාවග්ග සංඛ්‍යාත ඛන්ධක අතුරුදන් වූ කල්හි උභතෝ විභංගය සිටි කල්හි ශාසනය පිහිටියේ ම වෙයි. උභතෝ විභංගය අතුරුදන් වූ කල්හි මාතිකා ඇති කල්හි ශාසනය පිහිටියේම වෙයි. මාතිකා අතුරුදන් වූ කල්හි පාමොක් පැවිදි උපසම්පදා කිරීම් සිටි කල්හි ශාසනය පිහිටයි. ශ්‍රමණ ලිංගය (ශ්‍රමණ වේශය) දිගුකලක් පවතියි. සුදුවත් හැඳි ශ්‍රමණ වංශය කස්සප බුද්ධ ශාසනයේ පටන් ශාසනය දැරීමට නොහැකි වූහ. ප්‍රතිසම්භිදා ප්‍රාප්තයන් වර්ෂ දහසක් ද, ෂඩ්අභිඥාලාභීන් ඊළඟ වර්ෂ දහසද, ත්‍රිවිද්‍යාලාභීන් ඊළඟ වර්ෂ දහසද, ශුෂ්ක විදර්ශකයින් ඊළඟ වර්ෂ දහසද, පාමොක් දරන්නන් ඊළඟ වර්ෂ දහසද සිටියි. අවසන් චතුරාර්ය සත්‍ය ප්‍රතිවේද කරන්නාගෙන් උපසපන් සිල් රකින අවසන් තැනැත්තාගේ ශීල භේදයෙන් පටන් ශාසනය පසුබැස්සේ නම් වෙයි. එතැන් පටන් අන් බුදු කෙනෙකුගේ ඉපැත්ම නොවළක්වන ලදී.

* මේ අනුව දීඝනිකාය භාණකයන්ගේ පරම්පරාව දරාගෙන පැමිණියේ මුල් වසර දහස තුළ පමණක් ප්‍රතිසම්භිදාප්‍රාප්තයන්, ඊළඟ වසර දහස දක්වා පමණක් ෂඩ්අභිඥාලාභීන්, ඊළඟ වසර දහස දක්වා පමණක් ත්‍රිවිද්‍යාලාභීන්, ඊළඟ වසර දහස දක්වා පමණක් ශුෂ්ක විදර්ශකයින්, අවසන් වසර දහස තුළ පාමොක් දරන්නන්ගේ වශයෙන් සසුන පවතින්නේ යන්නයි.

4. සංයුත්ත නිකායට්ඨකථා

අථ සද්‌ධම්‌මස්‌ස අන්‌තරධානං හොතීති අධිගමසද්‌ධම්‌මස්‌ස පටිපත්‌තිසද්‌ධම්‌මස්‌ස පරියත්‌තිසද්‌ධම්‌මස්‌සාති තිවිධස්‌සාපි සද්‌ධම්‌මස්‌ස අන්‌තරධානං හොති. පඨමබොධියඤ්‌හි භික්‌ඛූ පටිසම්‌භිදප්‌පත්‌තා අහෙසුං. අථ කාලෙ ගච්‌ඡන්‌තෙ පටිසම්‌භිදා පාපුණිතුං න සක්‌ඛිංසු, ඡළභිඤ්‌ඤා අහෙසුං. තතො ඡ අභිඤ්‌ඤා පාපුණිතුං අසක්‌කොන්‌තා තිස්‌සො විජ්‌ජා පාපුණිංසු. ඉදානි කාලෙ ගච්‌ඡන්‌තෙ තිස්‌සො විජ්‌ජා පාපුණිතුං අසක්‌කොන්‌තා ආසවක්‌ඛයමත්‌තං පාපුණිස්‌සන්‌ති. තම්‌පි අසක්‌කොන්‌තා අනාගාමිඵලං, තම්‌පි අසක්‌කොන්‌තා සකදාගාමිඵලං, තම්‌පි අසක්‌කොන්‌තා සොතාපත්‌තිඵලං. ගච්‌ඡන්‌තෙ කාලෙ සොතාපත්‌තිඵලම්‌පි පත්‌තුං න සක්‌ඛිස්‌සන්‌ති. අථ නෙසං යදා විපස්‌සනා ඉමෙහි උපක්‌කිලෙසෙහි උපක්‌කිලිට්‌ඨා ආරද්‌ධමත්‌තාව ඨස්‌සති, තදා අධිගමසද්‌ධම්‌මො අන්‌තරහිතො නාම භවිස්‌සති.

පඨමබොධියඤ්‌හි භික්‌ඛූ චතුන්‌නං පටිසම්‌භිදානං අනුච්‌ඡවිකං පටිපත්‌තිං පූරයිංසු. ගච්‌ඡන්‌තෙ කාලෙ තං අසක්‌කොන්‌තා ඡන්‌නං අභිඤ්‌ඤානං, තම්‌පි අසක්‌කොන්‌තා තිස්‌සන්‌නං විජ්‌ජානං, තම්‌පි අසක්‌කොන්‌තා අරහත්‌තඵලමත්‌තස්‌ස. ගච්‌ඡන්‌තෙ පන කාලෙ අරහත්‌තස්‌ස අනුච්‌ඡවිකං පටිපත්‌තිං පූරෙතුං අසක්‌කොන්‌තා අනාගාමිඵලස්‌ස අනුච්‌ඡවිකං පටිපත්‌තිං පූරෙස්‌සන්‌ති, තම්‌පි අසක්‌කොන්‌තා සකදාගාමිඵලස්‌ස, තම්‌පි අසක්‌කොන්‌තා සොතාපත්‌තිඵලස්‌ස. යදා පන සොතාපත්‌තිඵලස්‌සපි අනුච්‌ඡවිකං පටිපදං පූරෙතුං අසක්‌කොන්‌තා සීලපාරිසුද්‌ධිමත්‌තෙව ඨස්‌සන්‌ති, තදා පටිපත්‌තිසද්‌ධම්‌මො අන්‌තරහිතො නාම භවිස්‌සති.

යාව පන තෙපිටකං බුද්‌ධවචනං වත්‌තති, න තාව සාසනං අන්‌තරහිතන්‌ති වත්‌තුං වට්‌ටති. තිට්‌ඨන්‌තු තීණි වා, අභිධම්‌මපිටකෙ අන්‌තරහිතෙ ඉතරෙසු ද්‌වීසු තිට්‌ඨන්‌තෙසුපි අන්‌තරහිතන්‌ති න වත්‌තබ්‌බමෙව. ද්‌වීසු අන්‌තරහිතෙසු විනයපිටකමත්‌තෙ ඨිතෙපි, තත්‍රාපි ඛන්‌ධකපරිවාරෙසු අන්‌තරහිතෙසු උභතොවිභඞ්‌ගමත්‌තෙ, මහාවිනයෙ අන්‌තරහිතෙ ද්‌වීසු පාතිමොක්‌ඛෙසු වත්‌තමානෙසුපි සාසනං අනන්‌තරහිතමෙව. යදා පන ද්‌වෙ පාතිමොක්‌ඛා අන්‌තරධායිස්‌සන්‌ති, අථ පරියත්‌තිසද්‌ධම්‌මස්‌ස අන්‌තරධානං භවිස්‌සති. තස්‌මිං අන්‌තරහිතෙ සාසනං අන්‌තරහිතං නාම හොති. පරියත්‌තියා හි අන්‌තරහිතාය පටිපත්‌ති අන්‌තරධායති, පටිපත්‌තියා අන්‌තරහිතාය අධිගමො අන්‌තරධායති. කිං කාරණා? අයඤ්‌හි පරියත්‌ති පටිපත්‌තියා පච්‌චයො හොති, පටිපත්‌ති අධිගමස්‌ස. ඉති පටිපත්‌තිතොපි පරියත්‌තිමෙව පමාණං.

නනු ච කස්‌සපසම්‌මාසම්‌බුද්‌ධකාලෙ කපිලො නාම අනාරාධකභික්‌ඛු ‘‘පාතිමොක්‌ඛං උද්‌දිසිස්‌සාමී’’ති වීජනිං ගහෙත්‌වා ආසනෙ නිසින්‌නො ‘‘අත්‌ථි ඉමස්‌මිං වත්‌තන්‌තා’’ති පුච්‌ඡි, අථ තස්‌ස භයෙන යෙසම්‌පි පාතිමොක්‌ඛො වත්‌තති, තෙපි ‘‘මයං වත්‌තාමා’’ති අවත්‌වා ‘‘න වත්‌තාමා’’ති වදිංසු, සො වීජනිං ඨපෙත්‌වා උට්‌ඨායාසනා ගතො, තදා සම්‌මාසම්‌බුද්‌ධස්‌ස සාසනං ඔසක්‌කිතන්‌ති? කිඤ්‌චාපි ඔසක්‌කිතං, පරියත්‌ති පන එකන්‌තෙනෙව පමාණං. යථා හි මහතො තළාකස්‌ස පාළියා ථිරාය උදකං න ඨස්‌සතීති න වත්‌තබ්‌බං, උදකෙ සති පදුමාදීනි පුප්‌ඵානි න පුප්‌ඵිස්‌සන්‌තීති න වත්‌තබ්‌බං, එවමෙව මහාතළාකස්‌ස ථිරපාළිසදිසෙ තෙපිටකෙ බුද්‌ධවචනෙ සති මහාතළාකෙ උදකසදිසා පටිපත්‌තිපූරකා කුලපුත්‌තා නත්‌ථීති න වත්‌තබ්‌බා, තෙසු සති මහාතළාකෙ පදුමාදීනි පුප්‌ඵානි විය සොතාපන්‌නාදයො අරියපුග්‌ගලා නත්‌ථීති න වත්‌තබ්‌බාති එවං එකන්‌තතො පරියත්‌තියෙව පමාණං.

අථ සද්ධම්මස්ස අන්තර්ධානං හෝති යනු අධිගම සද්ධර්මයේ ප්‍රතිපත්ති සද්ධර්මයේ පරියත්ති සද්ධර්මයේ යන ත්‍රිවිධ සද්ධර්මයේ අතුරුදන්වීම වෙයි. ප්‍රථම සම්බෝධි කාලයෙහි භික්ෂූහු ප්‍රතිසම්භිදා ප්‍රාප්ත වූවාහු වූහ. ඉක්බිති කල්යත්ම ප්‍රතිසම්භිදාවට පැමිණීමට නොහැකි වූහ. ෂඩ්අභිඥා ඇත්තෝ වූහ. ඉක්බිති ෂඩ්අභිඥාවට පැමිණීමට නොහැකි වූවාහු ත්‍රිවිද්‍යාවට පැමිණියහ. දැන් කල්යත්ම ත්‍රිවිද්‍යාවට පැමිණීමට නොහැකි වූවාහු ආසවක්ෂය මාත්‍රයට පැමිණෙන්නාහ. එයද නොහැකි වූවාහු අනාගාමී ඵලයටද, එය ද නොහැකි වූවාහු සකදාගාමී ඵලයට ද, එය ද නොහැකි වූවාහු සෝතාපත්ති ඵලයට ද පැමිණෙන්නාහ. කල්යත්ම සෝතාපත්ති ඵලයට ද පැමිණීමට නොහැකි වන්නාහ. ඉක්බිති යම් කලෙක ඔවුන්ගේ විපස්සනාව මේ උපක්ලේශයන්ගෙන් කිලිටි වූවාහු ඇරඹූ වැර මාත්‍ර ඇතිවම සිටියි. එකල්හි අධිගම සද්ධර්මය අතුරුදන් වූයේ නම් වන්නේය.

ප්‍රථම සම්බෝයෙහි භික්ෂූහු සිව් ප්‍රතිසම්භිදාවන්ට සුදුසු ප්‍රතිපත්ති පිරූහ. කල්යත්ම එය නොහැකි වූවාහු ෂඩ්අභිඥාවටද, එය ද නොහැකි වූවාහු ත්‍රිවිද්‍යාවටද, එයද නොහැකි වූවාහු අරිහත්ඵල මාත්‍රයට ද ප්‍රතිපත්ති පිරූහ. කල්යත්ම අරිහත්වයට සුදුසු ප්‍රතිපත්ති පිරීමට නොහැකි වූවාහු අනාගාමී ඵලයට සුදුසු ප්‍රතිපත්ති පුරන්නාහ. එයද නොහැකි වූවාහු සකදාගාමී ඵලයට, එය ද නොහැකි වූවාහු සෝතාපත්ති ඵලයට ප්‍රතිපත්ති පුරන්නාහ. යම් කලෙක වනාහි සෝතාපත්ති ඵලයට ද සුදුසු ප්‍රතිපදාව පිරීමට නොහැකි වන්නාහු සීල පාරිශුද්ධි මාත්‍රයෙහිම සිටිත්ද එකල්හි ප්‍රතිපත්ති සද්ධර්මය අතුරුදන් වූයේ නම් වන්නේය.

යම්තාක් ත්‍රිපිටක බුද්ධ වචනය පවතීද ඒ තාක් ශාසනය අතුරුදන් වූයේ යැයි කීමට නුසුදුසුය. ත්‍රිපිටකය හෝ තිබෙත්වා, අභිධර්ම පිටකය අතුරුදන් වූ කල්හි සෙසු ද්විපිටක ඇති කල්හිම ශාසනය අතුරුදන් වූයේ යයි නොකිය යුත්තේමය.  ද්විපිටක අතුරුදන් වූ කල්හි විනයපිටක මාත්‍රය සිටි කල්හිදු ඒ විනයපිටකයෙහිලාද ඛන්ධක පරිවාර අතුරුදන් වූ කල්හි උභතෝ විභංග මාත්‍රය ඇති කල්හිදු මහා විනය අතුරුදන් වූ කල්හි උභය ප්‍රාතිමෝක්ෂය පවතින කල්හිදු ශාසනය අතුරුදන් නොවූවේමය.  යම් කලෙක උභය ප්‍රාතිමෝක්ෂයෝ අතුරුදන් වන්නාහුද ඉක්බිති පරියත්ති සද්ධර්මයාගේ අන්තර්ධානය වන්නේය.  ඒ උභය ප්‍රාතිමෝක්ෂය අතුරුදන් වූ කල්හි ශාසනය අතුරුදන් වූයේ නම් වෙයි. පරියප්තිය අතුරුදන් වූ කල්හි ප්‍රතිපත්තිය අතුරුදන් වෙයි. ප්‍රතිපත්තිය අතුරුදන් වූ කල්හි අධිගමය අතුරුදන් වෙයි. කුමන හේතුවක් නිසාද යත්? මේ පරියප්තිය වනාහි ප්‍රතිපත්තිය සඳහා ප්‍රත්‍ය වෙයි. ප්‍රතිපත්තිය අධිගමයට ප්‍රත්‍ය වෙයි. මෙසේ ප්‍රතිපත්තිය කෙරෙන්ද පරියප්තිය ම ප්‍රාමාණිකය. ශාසනය පිහිටීමට ප්‍රමාණවත්ය.

කාශ්‍යප සම්මා සම්බුදුරදුන්ගේ කාලයෙහි පාමොක් දෙසීමට ආරාධනා නොලැබූ කපිල නම් භික්ෂුවක් පාමොක් උදෙසන්නෙමියි විජිනිපත ගෙන ආසනයෙහි හිඳියේ “මේ ස්ථානයෙහි පාමොක් වාචෝද්ගත ව පවත්නා වූ භික්ෂූහු වෙත් දැ“ යි විමසුවේය. ඉක්බිති ඒ කපිල භික්ෂුවට ඇති බිය හේතුවෙන් යම් භික්ෂූන්ට පාමොක් ප්‍රගුණ වූවේද ඔවුහු ද “අපි ප්‍රගුණ වූවාහු වෙමුයි“ නොකියා “ප්‍රගුණ නො වන්නාහු වෙමු“ යි කීහ. ඒ කපිල භික්ෂුතෙම විජිනිපත තබා අසුනින් නැගිට ගියේය. එකල්හි ඒ කාශ්‍යප බුද්ධ ශාසනය පසුබැස්සාහුද යත්? එක්තරා විදියකට සසුන පසුබැස්සේ නමුත් සසුන අතුරුදන් නොවීමට පරියප්තිය වනාහි ඒකාන්තයෙන් ම ප්‍රමාණවත් ය. යම්සේ වනාහි මහත් ජලාශයක දැඩි ව බැඳී බැම්ම හේතුවෙන් දිය නොසිටින්නේ යයි නොකිය යුතුය. දිය ඇති කල්හි නෙළුම් ආදී පුෂ්පයෝ නොපිපෙන්නාහු යැයි නොකිව යුතුය. එමෙන්ම මහා ජලාශයට බැම්ම සමාන වූ ත්‍රිපිටක බුද්ධ වචනය ඇති කල්හි මහා ජලාශයෙහි දිය හා  සමාන ප්‍රතිපත්ති පූරක කුලපුත්‍රයෝ නැත්තාහු යැයි නොකිව යුතුය. ඒ ප්‍රතිපත්ති පූරක කුල පුත්‍රයෝ ඇති කල්හි මහා ජලාශයෙහි නෙළුම් ආදී පුෂ්ප සමාන වූ සෝතාපන්න ආදී ආර්ය පුද්ගලයෝ නැත්තාහු යයි නොකිය යුත්තාහු යයි මෙසේ ඒකාන්තයෙන් පරියප්තියම සසුන පිහිටීම ප්‍රාමාණිකය.

  • සංයුත්ත නිකාය ටීකා

ඉදානි ‘‘භික්‌ඛූ පටිසම්‌භිදාප්‌පත්‌තා අහෙසු’’න්‌තිආදිනා වුත්‌තමෙව අත්‌ථං කාරණතො විභාවෙතුං පුන ‘‘පඨමබොධියං හී’’තිආදි වුත්‌තං. තත්‌ථ පටිපත්‌තිං පූරයිංසූති අතීතෙ කදා තෙ පටිසම්‌භිදාවහං පටිපත්‌තිං පූරයිංසු? පඨමබොධිකාලිකා භික්‌ඛූ. න හි අත්‌තසම්‌මාපණිධියා පුබ්‌බෙකතපුඤ්‌ඤතාය ච විනා තාදිසං භවති. එස නයො ඉතො පරෙසුපි. තදා පටිපත්‌තිසද්‌ධම්‌මො අන්‌තරහිතො නාම භවිස්‌සතීති එතෙන අරියමග්‌ගෙන ආසන්‌නා එව පුබ්‌බභාගපටිපදා පටිපත්‌තිසද්‌ධම්‌මොති දස්‌සෙති.

ද්‌වීසූති සුත්‌තාභිධම්‌මපිටකෙසු අන්‌තරහිතෙසුපි. අන්‌තරහිතමෙව අධිසීලසික්‌ඛායං ඨිතස්‌ස ඉතරසික්‌ඛාද්‌වයසමුට්‌ඨාපිතතො. කිං කාරණාති කෙන කාරණෙන, අඤ්‌ඤස්‌මිං ධම්‌මෙ අන්‌තරහිතෙ අඤ්‌ඤතරස්‌ස ධම්‌මස්‌ස අනන්‌තරධානං වුච්‌චතීති අධිප්‌පායො. පටිපත්‌තියා පච්‌චයො හොති අනවසෙසතො පටිපත්‌තික්‌කමස්‌ස පරිදීපනතො. පටිපත්‌ති අධිගමස්‌ස පච්‌චයො විසෙසලක්‌ඛණපටිවෙධභාවතො. පරියත්‌තියෙව පමාණං සාසනස්‌ස ඨිතියාති අධිප්‌පායො.

දැන් “භික්ඛූ පටිසම්භිදප්පත්තා අහේසුං“ යන ආදී ක්‍රමයෙන් කියන ලද්දා වූ අර්ථයම කාරණ වශයෙන් දැක්වීමට නැවත “පඨම බෝධියංහි“ යන ආදිය කියන ලදි. එහි “පටිපත්තිං පූරයිංසු“ යනු අතීතයෙහි කවර කලෙක කවර භික්ෂූහු ප්‍රතිසම්භිදාවට සුදුසු වූ ප්‍රතිපත්ති පිරූවාහු ද? ප්‍රථම සම්බෝධි කාලයෙහි වූ භික්ෂූහුය. මනා ආත්ම ප්‍රණිධියක් පෙර කරන ලද පින් ඇති බවත් හැර එබඳු අධිගම ලැබීමක් සිදු නොවෙයි. මෙයින් මත්තෙහි ද එම ක්‍රමයම ය. “තදා පටිපත්ති සද්ධම්මෝ අන්තරහිතෝ නාම භවිස්සතී“ යනු තෙළ ආර්ය මාර්ගය කෙරෙන් ආසන්නවූම පූර්වභාග ප්‍රතිපදාව ප්‍රතිපත්ති සද්ධර්මය යයි දක්වයි.

ද්වීසු” යනු සූත්‍ර අභිධර්ම පිටක අතුරුදන් වූ කල්හි යන්නයි. “අනන්තර හිතමේව” යනු අධිශීල ශික්ෂාවෙහි පුරන්නහුට සෙසු ශික්ෂාද්වය උපද්දවන බැවිනි. “කිං කාරණා” යනු කුමන කාරණයක් හේතුවෙන්ද යන්නයි. එක්තරා ධර්මයක් නැති කල්හි තවත් එක්තරා ධර්මයක අන්තර්ධානය කියනු ලැබේය යන අදහසයි. “පටිපත්තියා පච්චයො හෝති” යනු අනවශේෂයෙන් ප්‍රතිපත්ති ක්‍රමයේ පරිදීපනය කිරීම් වශයෙනි. “පටිපත්ති අධිගමස්ස” යනු විශේෂ ලක්ෂණ ප්‍රතිවේද භාවයෙන් ප්‍රත්‍යය යන්නයි. “පරියත්ති යේව පමාණං” යනු ශාසනයේ පිහිටීම සඳහා යන අදහසයි.

සංයුක්ත නිකායට්ඨ කථාවෙහි වර්ෂ ගණන් වශයෙන් බෙදීමක් නොදක්වා ප්‍රතිසම්භිදා, ෂඩභිඥා, ත්‍රිවිද්‍යා, ආසවක්ෂය කරන උතුමන්ගේ වශයෙන් පිළිවෙල දක්වා අවසානයට අනාගාමී, සකදාගාමී, සෝතාපන්න ආර්යයන් ලැබෙන බව කීය. අවසානයට ශීල ප්‍රතිපදා මාත්‍රයෙහි පිහිටන බව කීය.

සාරංශය

අර්ථ කථාවන්හි පැමිණි මෙබඳු පරස්පරතා ගෙන අර්ථකථා වැරදි යැයි කියන්නන් මෙකළ ඉතා සුළභය. ශාසනික හරය වන ත්‍රිලක්ෂණය, පටිච්චසමුප්පාදය, ආර්යය සත්‍යය, බෝධිපාක්ෂික ධර්ම වැනි පරමාර්ථ කථාවන්හිම කිසියම් පරස්පරයක් වෙ‌තොත්නම් එය වරදකි. නමුදු අර්ථ කථාවන්හි එබඳු (ත්‍රිලක්ෂණය, පටිච්චසමුප්පාදය, ආර්යය සත්‍යය, බෝධිපාක්ෂික ධර්ම වැනි පරමාර්ථ කථා) පරස්පරතා කිසිදු තැනක දක්නට නැත. එහෙයින්ම විමති විනෝදනී ටීකා චාර්යයන් වහන්සේ

“තං සබ්‌බං අඤ්‌ඤමඤ්‌ඤවිරුද්‌ධම්‌පි තංතංභාණකානං මතෙන ලිඛිතසීහළට්‌ඨකථාසු ආගතනයමෙව ගහෙත්‌වා ආචරියෙන ලිඛිතං ඊදිසෙ කථාවිරොධෙ සාසනපරිහානියා අභාවතො, සොධනුපායාභාවා ච. පරමත්‌ථවිරොධො එව හි සුත්‌තාදිනයෙන සොධනීයො, න කථාමග්‌ගවිරොධොති…….

ඒ මත සියල්ල එකිනෙකට විරුද්ධ වූයේ ද ඒ ඒ භාණකයන් දරාගෙන පැමිණි මතයෙන් ලියන ලද සිංහල අර්ථ කතාවන්හි පැමිණි ක්‍රමයෙන්ම ගෙන බුද්ධඝෝෂ ආචාර්යයන් වහන්සේ විසින් මෙබඳු විරුද්ධ කතාවලින් සාසන පරිහානියක් සිදු නොවන බැවිනුත්, මේ මත පිරිසිදු කරන්නට ක්‍රමයක් නැති බැවිනුත් කියන ලද ක්‍රමයෙන් අර්ථ කතාව ලියන ලදී. පරමාර්ථ විරෝධී වූවක්ම සූත්‍ර ආදී ක්‍රමයෙන් ශෝධනය කළ යුතුය. අර්ථ කථා මාර්ගයෙන් පැමිණි මෙබඳු කථා පිරිසිදු කළ යුතු නැත.

යයි කියන ලදී. එබැවින් නුවණැතියෝ අර්ථකථාවන්හි පැමිණි මෙබඳු තැන් කෙරෙහි මධ්‍යස්ථ විය යුතු වෙත්.

මේ සියලු අටුවා ටීකා පාඨයන්ගෙන් ඉස්මතු වන කරුණ නම් වසර පන්දහසක් කල් දක්වාම අධිගම සද්ධර්මය හෙවත් ප්‍රතිවේද ශාසනය පවත්නා බවයි. අංගුත්තර නිකායට්ඨකථා පාඨයෙන් වනාහි වසර පන්දහසින් මතු ද ශ්‍රමණ ලිංගය හෙවත් වේශය පවතින බව කීමෙන් කාසාවකණ්ඨකයන්ගේ ශාසනය ලැබෙනුයේ ද වසර පන්දහසක් කල් ඉකුත්ව  ගියාට පසුව බව දත යුතුය. ඒ කාසාවකණ්ඨකයන් කෙරෙහි සංඝයා උදෙසා දුන් දානයෙහි ද මහත්ඵල මහානිසංස ඇති බව වදාළ හෙයින් කුසල් කර ගැනීමට ඇති ශාසන අවකාශය වසර පන්දහසින් මතු ද ඇති බව දත යුතුය.

අධිගම අන්තර්ධානය වසර පන්දහස පිරි කල්හි බව සියළු අර්ථකථාවල නිගමනය හෙයින්,

අථ නෙසං යදා විපස්‌සනා ඉමෙහි උපක්‌කිලෙසෙහි උපක්‌කිලිට්‌ඨා ආරද්‌ධමත්‌තාව ඨස්‌සති, තදා අධිගමසද්‌ධම්‌මො අන්‌තරහිතො නාම භවිස්‌සති.

ඉක්බිති යම් කලෙක ඔවුන්ගේ විපස්සනාව මේ උපක්ලේශයන්ගෙන් කිලිටි වූවාහු ඇරඹූ වැර මාත්‍ර ඇතිවම සිටියි

යන සංයුක්ත නිකාය අට්ඨකථා පාඨයෙන් අධිගම ප්‍රතිවේදයක් නොකරන්නේ නමුදු වසර පන්දහසින් මතු ද විපස්සනා ප්‍රතිපදාව පවතින බවට සැනසිලි මාත්‍රයක් උපදවන බවටද කරුණු පෙනී යන්නේය. කරුණු මෙසේ හෙයින් වසර පන්දහස පිරීමත් සමඟම “බුද්ධ” යන වචනයවත් අසන්නට නොලැබෙන සේ ද සුළඟින් පහන් දැල්ල නිවෙන්නා සේ ද සසුන අන්තර්ධාන වනවා නොව ඉන් මත්තෙහි ද සසුන අධිගම ප්‍රතිවේද නොකොට ක්‍රමයෙන් පිරිහෙමින් පවතින බව දත යුතුය.

එබැවින් ශාසනස්ථිතිකාමීහු පරියප්තිය පූරණය කොට සතර සතිපට්ඨානය සංඛ්‍යා විදසුන් වඩා වහ වහා නිවනට පැමිණීමට වෙර දරත්වා.

– මහා විහාරය –

පරිගණක අකුරු සැකසුම
උපේක්‍ෂා පියරංගිකා මිය

DOWNLOAD AS PDF