ශාසනයෙහි පැවිදි වූ කුලපුත්‍රයන්ට සීලය හැර අන් පිහිටක් නැත. ඒ සීලයෙහි අනුසස් කවරෙකුට හෝ කීමට නොහැක. සියලු ලෞකික ලෝකෝත්තර ගුණයන්ගේ මූලය සීලයම වෙයි. එබැවින් එහි වටිනාකම මෙපමණකැයි කිව නොහැක. මෙවැනි සිල්වතුන් දැකීමට ලැබෙන්නේද ඉතාම කලාතුරකිනි. සමහර විට යොදුන් සියගණන් ඈත ප්‍රදේශවලට ගොස් මෙම සිල්වතුන්ගේ ආශ්‍රය ලබා ගැනීමට සිදු වන්නේය.

මෙලෙස කාළවල්ලිමණ්ඩපවාසීමහානාග තෙරුන් වහන්සේගේ ගුණ කථනය අසා පාටලීපුත්ත නගර ද්වාර සාලාවෙහි හුන්නා වූ බ්‍රාහ්මණයෝ දෙදෙනෙක් ‌තෙරුන් වහන්සේ දැකීමට යායුතු යැයි නික්මුණහ. අවාසනාවකට එක් අයෙක් අතර මඟදී කළුරිය කළේය. ඉතිරි වූ අනෙක් බ්‍රාහ්මණ තුමා සමුද්‍ර තීරයට පැමිණ සමුද්‍රය තරණය කොට ලංකා  දීපයට පැමිණ මහාතිත්ථ පටුනෙන් ගොඩබැස අනුරාධපුර ග්‍රාමයට පැමිණ කාළවල්ලිමණ්ඩපය කොහේදැයි විමසීය.

රෝහණ ජනපදයේ එම ප්‍රදේශය පිහිටා ඇතැයි යැයි දැනගැනීමට ලැබිණි. හෙතෙම අනුක්‍රමයෙන් තෙරුන් වහන්සේ වැඩසිටින්නා වූ ස්ථානයට පැමිණ චූලනගර ග්‍රාමයෙහි විහාරස්ථානයට සමීප ස්ථානයක නිවසක් ගෙන තෙරුන් වහන්සේට ආහාර සම්පාදනය කළේය. උදෑසනම නැගිට තෙරුන් වහන්සේ වසන්නා වූ ස්ථානය විමසා එතැන ජනයා රැස්වන ස්ථානයෙහි සිටියේය. තෙරුන් වහන්සේ දුර සිටම පැමිණෙන අයුරු දැක එක් වරක් එහි සිටම වන්දනා කොට නැවත තෙරුන් වහන්සේ වෙත එළඹ පා ගොප් ඇටයන් දැඩිව ගෙන වන්දනා කළේය. එවිට

“ස්වාමීනී, නු වහන්සේ උසස් වූවකු” යැයි බ්‍රාහ්මණ තුමා කීවේය.

එසේ වුවත් තෙරුන් වහන්සේ වඩා උස් නොවූ වඩා මිටි නොවූ මධ්‍යම ප්‍රමාණයේ අයෙකි.

එබැවින් බ්‍රාහ්මණ තුමා නැවත “ නුඹ වහන්සේ බොහෝ උස් (ශරීර උසින් වැඩි) නොවේ, එනමුත් නුඹ වහන්සේගේ ගුණ වර්ණනාව සමුද්‍ර තීරය මත්තෙන් ගොස් සකල ජම්බුද්වීප තලය පුරා පැතිරී පවතී, මම ද පාඨලීපුත්‍ර නගර ද්වාරයෙහි සිටින විට නුඹ වහන්සේගේ ගුණ කථනය ඇසුවේය” යැයි කීවේය.

බ්‍රාහ්මණ තුමා තෙරුන් වහන්සේට භික්ෂාව පූජා කොට තමා උදෙසා තුන් සිවුරු පිළියෙළ කොට තෙරුන් වහන්සේගේ සමීපයෙහි පැවිදි වී තෙරුන් වහන්සේගෙන් අවවාද අනුශාසනා ලබා නොබෝ දිනකින් ම අරහත්වයට පැමිණියේය.

මෙලෙස සිල්වතුන් වහන්සේලාගේ ඇසුර ‌හේතුවෙන් මෙලොව වශයෙන්ද පරලොව වශයෙන්ද සියලු ලෝකයාට සෙත සැලසේ.

අංගුත්තර නිකාය ඒකක නිපාත අට්ඨකථා ඇසුරිණි.

සම්පාදක – පූජ්‍ය පූජාපිටියේ සූරිය රතන හිමි