පැවිද්දන්ට ඉතාමත්ම හිතවත්, ඉතාම උපකාර පිරිස වන්නේ උපාසිකාවන්ය. මනාසේ පැවිද්ද සිදුකිරීමට ඔවුන්ගෙන් ලැබෙන උපකාරය මහත්ය. පැවිද්දන්ගේ විනාශයටද නොයෙක් විට හේතු වන්නේ ස්ත්‍රීන්මය. මේ සසුනෙහි ස්ත්‍රීන් නිසා විනාශයට පත් පැවිද්දෝ බොහෝ ය.

මහා දාඨිකනාග රජු චෙතියගිරි අම්බලස්ථලයෙහි මහා ස්ථූපයක් කරවවා ගිරිභාණ්ඩ පූජාවක් සිදුකර කාලයෙන් කාලයට අන්තඃපුර ස්ත්‍රීන් පිරිවරා චේතියගිරියට ගොස් භික්ෂු සංඝයාට මහා දන් දෙන්නේය. රජතුමාට දමිළ දේවිය නම් දර්ශනීය පැහැදීම් එළවන සුළු තරුණ රජ මෙහෙසියක් සිටි‌යේය. තවද බොහෝ දෙනා රැස්වන ස්ථානයන්හි නම් මැනවින් සිහිය පිහිටුවා ගැනීමට දුෂ්කරය. මෙසේ රජතුමා ඇතුලු අන්තඃපුර ස්ත්‍රීන් රැස්වන ස්ථානයට පැමිණි චිත්ත නම් මහළු කළ පැවිදි වූ හිමි නමක් ඉන්ද්‍රියය අසංවරයෙන් යුක්තව හැසිරෙන කල්හි රජුගේ අගමෙහෙසිය දුටුවේය. මෙම හිමි නම ඇයගේ රූපාරම්මණයෙහි නිමිති ගත්තේය. මෙසේ ස්ත්‍රී නිමිති ගෙන “දමිළ දේවිය මැනවි, දමිළ දේවිය මැනවි” යැයි උමතුවට පත් ව කියවමින් හැසිරුණේය. ඉන්පසු එම භික්ෂුවට සාමණේරයන් වහන්සේලා (ළමා සාමණේරයන් වහන්සේලා) “උමතු සිත් ඇති චිත්ත තෙරුන් වහන්සේ ” (උම්මත්තකචිත්තථෙරො) යැයි නමක් පට බැන්දහ. නමුත් එම දේවිය නොබෝ කළකින් මිය ගියාය.

භික්ෂු සංඝයා එම දේවියගේ අමුසොහෙනට දමන ලද මළ සිරුර බැලීමට ගියහ. නැවත විහාරයට පැමිණියා වූ එම භික්ෂූහු “ චිත්ත ස්වාමීණී ! යමක් හේතුවෙන් නුඹ වහන්සේ වැළපේද අපි අමු සොහොනට දමන ලද ඒ දේවියගේ මළ සිරුර දැකීමට ගොස් නැවත පැමිණියෙමු ” යැයි පැවසූහ.

තෙරුන් වහන්සේ ඒ පැවසූ දෙය විශ්වාස නොකළේය. එසේ විශ්වාස නොකළ ‌තෙරුන් වහන්සේ “ නුඹලා යම් ඒ මළ සිරුරක් දැකීමට අමුසොහොනට ගියේද නුඹලාගේ මුහුණ දුමෙන් වැසේවා” යැයි නිග්‍රහ කොට උමතු භාවයෙන් කීවේය.

මෙසේ ස්ත්‍රී රූපයක් දැක ව්‍යඤ්ජන අනුව්‍යඤ්ජන ගැනීම් මාත්‍රයෙන්ම පැවිද්දෙකුට හෝ වේවා ගිහි පිංවතෙකුට හෝ වේවා පිරිහීමට හේතු වේ. එබැවින් තථාගතයන් වහන්සේ පිරිනිවීමට ආසන්න කාලයේදී ආනන්ද ස්ථවිරයන් වහන්සේට “ අදස්සනං ආනන්ද ” යනුවෙන් “ආනන්දය, තොපට ස්ත්‍රීන් නොදැකීම යහපති ” යැයි වදාළ සේක.

මෙසේ යමෙකු සිහි නුවණ එළඹවාගෙන චක්ෂුරාදී ද්වාර පසට එළඹෙන්නා වූ ස්ත්‍රී රූපාදී විසභාග ආරම්මණයෝ වළකා ගැනීමට වීර්යය වඩා තමන්ගේ යහපත සලසා ගැනීමට අදිටන් කළ යුතුය.

අ.නි. ඒකක නිපාත අට්ඨකථා ඇසුරිණි.

සම්පාදක – පූජ්‍ය පූජාපිටියේ සූරිය රතන හිමි