වර්තමානයේ  බොහෝ ධර්ම දේශකයන් වහන්සේලා තථාගත බුදු රජාණන්වහන්සේගේ ධර්මය ලොවට බෙදාදීමේදී බහුල වශයෙන් දේශනා කරන සූත්‍රයකි මධුපිණ්ඩික සූත්‍රය.  ධර්මකාමී බොහෝ දෙනාගේ අභිවෘද්ධිය උදෙසා අපගේ ශක්ති ප්‍රමාණයෙන් එම සූත්‍රය විවරණය කරන්නෙමු.

මෙම ලිපි ‌පෙළ පූජ්‍ය කඩුවෙල අතුලඤාණ හිමි විසින් සම්පාදනය කරන ලදී.

1. මධුපිණ්ඩික සූත්‍රයෙහි මූලික අර්ථ විවරණය

භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කපිල වස්තු නුවර නීග්‍රෝධාරාමයෙහි වැඩ වසන සමයේ එක් දිනක් පෙරවරු කාලයේ සිවුරු පෙරවා කපිල වස්තු නුවරට පිඬු පිණිස වැඩි සේක. පසුබත් සමයෙහි දිවා විහරණය සඳහා මහා වනයට පිවිස තරුණ බේලුව වෘක්ෂයක් මුල වැඩ සිටියහ.  දණ්ඩපාණී නම් ශාක්‍ය රජතුමා ජඞ්ඝාවිහාරය පිණිස (කෙණ්ඩා විඩාව දුරු කිරීම පිණිස) ඔබමොබ සක්මන් කරනුයේ භාග්‍යවතුන් වහන්සේ වැඩහුන් ස්ථානයට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමඟ සාමිචි පිළිසඳරෙහි යෙදී තමාගේ අතෙහි තිබුණු දණ්ඩ තමා ඉදිරියෙන් සිටුවා එම දණ්ඩ මුදුනෙහි දෙඅත් තබා තම බාහුවේ ඉහළ කොටස නිකටෙන් හපා සිටගත්තේය. ඉන්පසු මෙම ප්‍රශ්නය ඇසුවේය.

“ශ්‍රමණ තෙමේ කවර දෘෂ්ටියක් ඇත්තෙක්ද ?  කවරක් ප්‍රකාශ කරනේ ද ?”

“ඇවැත්නි, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත දෙවි මිනිසුන් සහිත ප්‍රජාවෙහි යම් බඳු දෘෂ්ටියක් ඇත්තෙක් ලෝකයෙහි කිසිවෙකු හාත් විවාද නොකොට සිටී ද, යම් හේතුවක් නිසා කාමයන්ගෙන් විසංයුක්ත කොට විහරණ කරණ, විචිකිච්ඡා රහිත සිඳනා ලද කුකුස් ඇති කුදු මහත් වූ භවයෙහි පහ වූ තෘෂ්ණා ඇති, ඒ ක්‍ෂීණාශ්‍රව බ්‍රාහ්මණයා වෙත ක්ලේශ සඤ්ඤාවෝ අනුශසනය නොකරන්නාහු ද මම එබඳු දෘෂ්ටියක් ඇත්තෙමි. එබඳු ප්‍රකාශ කරන්නෙක් මි” යැයි ප්‍රති පිළිතුරු දුන් සේක.

මෙසේ වදාළ කල්හි දණ්ඩපාණී ශාක්‍යයා හිස සලා දිව නෙරැ නළවා රැලි තුනක් ඇති නළල් රැළියක් නළලත නංවාගෙන  තමාගේ දණ්ඩ ගෙන එතැනින් පිටත්ව ගියේය.

ඉක්බිති සවස් භාගයයෙහි දී භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි සමාපත්තියෙන් නැගිට නිග්‍රෝධාරමය වෙත එළැඹි සේක. එලඹ තමන් වහන්සේ වෙත පණවන ලද ආසනයෙහි වැඩ හුන්හ. ඉන්පසු දණ්ඩපාණී ශාක්‍යයා සමඟ තමන්වහන්සේ කරනා ලද සංවාදය සඟ පිරිසට සැළ කලේය. මෙසේ සැළ කරන ලද කල්හි එහි වැඩහුන් එක්තරා භික්ෂුවක් “ඇවැත්නි, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත දෙවි මිනිසුන් සහිත ප්‍රජාවෙහි යම් බඳු දෘෂ්ටියක් ඇත්තෙක් ලෝකයෙහි කිසිවෙකු හාත් විවාද නොකොට සිටී ද, යම් හේතුවක් නිසා කාමයන්ගෙන් විසංයුක්ත කොට විහරණ කරණ, විචිකිච්ඡා රහිත සිඳනා ලද කුකුස් ඇති කුදු මහත් වූ භවයෙහි පහ වූ තෘෂ්ණා ඇති, ඒ ක්‍ෂීණාශ්‍රව බ්‍රාහ්මණයා වෙත ක්ලේශ සඤ්ඤාවෝ අනුශසනය නොකරන්නාහු ද මම එබඳු දෘෂ්ටියක් ඇත්තෙමි. එබඳු ප්‍රකාශ කරන්නෙක් මි” යනුවෙන් බුදුරජාණන් වහන්සේගේ පිළිතුරු පිළිබඳව තවදුරත් විමසුවේය.

‘‘යතොනිදානං, භික්‌ඛු, පුරිසං පපඤ්‌චසඤ්‌ඤාසඞ්‌ඛා සමුදාචරන්‌ති. එත්‌ථ චෙ නත්‌ථි අභිනන්‌දිතබ්‌බං අභිවදිතබ්‌බං අජ්‌ඣොසිතබ්‌බං. එසෙවන්‌තො රාගානුසයානං, එසෙවන්‌තො පටිඝානුසයානං, එසෙවන්‌තො දිට්‌ඨානුසයානං, එසෙවන්‌තො විචිකිච්‌ඡානුසයානං, එසෙවන්‌තො මානානුසයානං, එසෙවන්‌තො භවරාගානුසයානං, එසෙවන්‌තො අවිජ්‌ජානුසයානං, එසෙවන්‌තො දණ්‌ඩාදාන-සත්‌ථාදාන-කලහ-විග්‌ගහ-විවාද-තුවංතුවං-පෙසුඤ්‌ඤ-මුසාවාදානං. එත්‌ථෙතෙ පාපකා අකුසලා ධම්‌මා අපරිසෙසා නිරුජ්‌ඣන්‌තී”ති

මහණ, යම් හේතුවක් නිසා පුරුෂයා තුළ තෘෂ්ණා දෘෂ්ටි සඞ්ඛ්‍යාත ප්‍රපඤ්ච කොට්ඨාශයෝ පවත්වත් ද, ඉදින් ඒ දොළොස් ආයතන සංඛ්‍යාත හේතූන්හි මමය මාගේය යැයි අභිනන්දනය කළ යුත්තක්, මමය මාගේය යැයි කිව යුක්කත්, මමය මාගේය යැයි බැසගත යුත්තක් නැත්නම් මෙයම රාග අනුසශයන්ගේ කෙළවරය මෙයම අවිද්‍යා අනුශයන්ගේ කෙළවරය, මෙයම දඬු ගැනීම, සැත් ගැනීම, කලහ, විග්‍රහ, විරුද්ධ කථා, නුඹ නුඹ යැයි කීම, පිසුනු  බස් කීම, මුසාබස් කීම යන මේවාට හේතු වූ චේතනාවන්ගේ කෙළවර  වෙයි. මෙහිම ලාමක වූ අකුශල ධර්මයෝ නිරවශේෂයෙන්ම නිරුද්ධ වෙත්.

මෙසේ වදාළ බුදුරජාණන් වහන්සේ හුනස්නෙන් නැගී විහාරයට වැඩියහ.

  • ප්‍රපඤ්ච යනු කුමක්ද? 

ප්‍රපඤ්ච පදය නිර්වචනය කරනුයේ

ප්‍රමාද කෙරෙත් සත්ව සන්තානයන් සංසාරයෙහි විස්තාරය කෙරෙත්නුයි (පුළුල් කෙරෙත් ) ප්‍රපඤ්ච නමි.

(පපඤ්‌චෙන්‌ති සත්‌තසන්‌තානං සංසාරෙ විත්‌ථාරෙන්‌තීති පපඤ්‌චං, මහාපදානසුත්‌තවණ්‌ණනා – මහාවග්‌ගටීකා). ප්‍රපඤ්ච යන වචනය ප්‍රභව වනුයේ පචි ධාතුවෙනි. එම ධාතුවෙන් පුළුල් කිරීමක්, විස්තාර කිරීමක් අදහස් වේ.

පරමාර්ථ වශයෙන් ප්‍රපඤ්ච යටතට ගැනෙනුයේ තණ්හා, දිට්ඨි.

(පපඤ්‌චසඤ්‌ඤාති තණ්‌හාදිට්‌ඨිපපඤ්‌චසම්‌පයුත්‌තා සඤ්‌ඤා-මජ්ඣිමනිකායට්ඨකථා-මධුපිණ්‌ඩිකසුත්‌තවණ්‌ණනා)

අවශේෂ අකුසල ධර්මයන් සහ කුසල ධර්මයන් නිසා සසර දිගු වන්නේ නමුදු චතුරාර්ය සත්‍යය දේශනාවේ දී දුක ඇති කිරීමට ප්‍රධාන හේතුව ලෙස තණ්හාව දක්වයි.

(තත්‌ථ කතමං දුක්‌ඛසමුදයං අරියසච්‌චං? යායං තණ්‌හා පොනොභවිකා නන්‌දිරාගසහගතා තත්‍රතත්‍රාභිනන්‌දිනී, සෙය්‍යථිදං – කාමතණ්‌හා, භවතණ්‌හා, විභවතණ්‌හා. – විභඞ්‌ගප්‍රකරණය-සච්‌චවිභඞ්‌ගය) එමෙන්ම මෙම සූත්‍රයේදී තණ්හා සහගත චිත්තොත්පාදයේ යෙදෙන තණ්හා,දිට්ඨි ප්‍රපඤ්ච ලෙස දක්වයි. තණ්හා,දිට්ඨි නිසා සසර දිගු වේ. ඒ තණ්හා, දිට්ඨි නිසා රැස් කරන කුසල අකුසල නිසාය.

උදානට්ඨකථාවෙහි රාගය, ද්වේෂය, මෝහය, තණ්හාව, දිට්‌ඨිය, මානය ප්‍රපඤ්ව ලෙස දක්වයි. (රාගො පපඤ්‌චො, දොසො පපඤ්‌චො, මොහො පපඤ්‌චො, තණ්‌හා පපඤ්‌චො, දිට්‌ඨි පපඤ්‌චො, මානො පපඤ්‌චො – උදානට්ඨකථා- පපඤ්‌චඛයසුත්‌තවණ්‌ණනා)

තවද ඒ ඒ ප්‍රපඤ්චය ඇතිවීමට නිමිත්‌තද එහි දැක්වේ. රාග ප්‍රපඤ්චයට සුභසඤ්‌ඤාව නිමිත්‌ත වේ, ද්වේෂ ප්‍රපඤ්චයට ආඝාතවස්තු නිමිත්‌ත වේ, මොහ ප්‍රපඤ්චයට ආශ්‍රවයෝ නිමිත්‌ත වේ, තණ්‌හා ප්‍රපඤ්චයට වෙදනාව නිමිත්‌ත වේ, දිට්‌ඨි ප්‍රපඤ්චයට සඤ්‌ඤාව නිමිත්‌ත වේ, මාන ප්‍රපඤ්චයට විතර්කය නිමිත්‌ත වේ. (රාගපපඤ්‌චස්‌ස සුභසඤ්‌ඤා නිමිත්‌තං, දොසපපඤ්‌චස්‌ස ආඝාතවත්‌ථු, මොහපපඤ්‌චස්‌ස ආසවා, තණ්‌හාපපඤ්‌චස්‌ස වෙදනා, දිට්‌ඨිපපඤ්‌චස්‌ස සඤ්‌ඤා, මානපපඤ්‌චස්‌ස විතක්‌කො නිමිත්‌තං)

  • නිමිත්ත යනු කුමක් ද ? 

නිමිත්ත යන පදය ත්‍රිපිටක පාලියෙහි නොයෙක් අර්ථවල යෙදේ.

  1. ප්‍රත්‍යය අර්ථයෙන් ‘‘සනිමිත්‌තා, භික්‌ඛවෙ, උප්‌පජ්‌ජන්‌ති පාපකා අකුසලා ධම්‌මා, නො අනිමිත්‌තා’’ති එත්‌ථ නිමිත්‌තන්‌ති පච්‌චයස්‌ස නාමං. – “සනිමිත්‌තා, භික්‌ඛවෙ, උප්‌පජ්‌ජන්‌ති පාපකා අකුසලා ධම්‌මා, නො අනිමිත්‌තා” යන මෙහි නිමිත්තං යනු ප්‍රත්‍යය අර්ථයන්ට නාමයකි. 

‘‘සනිමිත්‌තාති සකාරණා. දුතියාදීසුපි එසෙව නයො. නිදානං හෙතු සඞ්‌ඛාරො පච්‌චයො රූපන්‌ති සබ්‌බානිපි හි එතානි කාරණවෙවචනානෙව.’’ (සනිමිත්‌තවග්‌ගවණ්‌ණනා) – සනිමිත්‌තා යනු කාරණා සහිතය යන්නයි. “දෙවැන්න ආදියෙහිද එම ක්‍රමයමය. නිදානං හෙතු සඞ්‌ඛාරො පච්‌චයො රූපං” යන ඒ සියල්ලම වනාහි කාරණය යන්නට පරියාය වචනයෝමය.

  1. ‘‘අධිචිත්‌තමනුයුත්‌තෙන, භික්‌ඛවෙ, භික්‌ඛුනා පඤ්‌ච නිමිත්‌තානි කාලෙන කාලං මනසිකාතබ්‌බානී’’ති (ම. නි. 1.216) එත්‌ථ කාරණස්‌ස. “මහණෙනි, විදර්ශනාවට පාදකවූ සමාධිය වඩන්නාවූ භික්ෂුව විසින් කලින් කළ කරුණු පසක් මෙනෙහි කළ යුත්තාහුය.”  යන මෙහි කාරණය යන අර්ථය කියන ලදී.

 යෙහි ඵලං නාම යථා උප්‌පජ්‌ජනට්‌ඨානෙ පකප්‌පියමානං විය හොති, තානි නිමිත්‌තානි. තෙනාහ ‘‘කාරණානී’’ති (මූලපණ්ණාස ටීකා – විතක්‌කසණ්‌ඨානසුත්‌තවණ්‌ණනා) යම් ප්‍රත්‍යයක් කරණ කොට උපදනා ඵලය නම්, යම්සේ උපදනා ස්ථානයෙහි පිළියෙළ කළ දෙයක් මෙන් වෙයි. ඒ නිමිත්තයෝය. එබැවින් “කාරණා” යැයි අර්ථකථාවෙහි කීවේය.

  1. ‘‘සො තං නිමිත්‌තං ආසෙවති භාවෙතී’’ති (අ. නි. 9.35) එත්‌ථ සමාධිස්‌ස. – “සො තං නිමිත්‌තං ආසෙවති භාවෙතී” යන මෙහි සමාධියට නිමිත්ත යැයි කියනු ලැබේ.
  1. ‘‘යං නිමිත්‌තං ආගම්‌ම යං නිමිත්‌තං මනසිකරොතො අනන්‌තරා ආසවානං ඛයො හොතී’’ති (අ. නි. 6.27) එත්‌ථ විපස්‌සනාය. ඉධ පන රාගට්‌ඨානියො ඉට්‌ඨාරම්‌මණධම්‌මො ‘‘සුභනිමිත්‌ත’’න්‌ති අධිප්‌පෙතො – ‘‘යං නිමිත්‌තං ආගම්‌ම යං නිමිත්‌තං මනසිකරොතො අනන්‌තරා ආසවානං ඛයො හොති” යන මෙහි විපස්සනාව සඳහා කියන ලදී. මෙහි වනාහි රාගයන්ට හේතු වන ඉෂ්ඨාරම්මණ ධර්මය “සුභනාමිත්තං” යැයි අදහස් කරන ලදී.
  • ආයතන යන්නෙහි අර්ථය 

ඉහත ප්‍රපඤ්ච ඇති වීමට හේතුව ලෙස බුදුරජාණන් වහන්සේ අදහස් කරනුයේ දොළොස් ආයතනයෝය. ආයතන දොළොසකි. එනම් චක්ඛායතනය, රූපායතනය, සෝතායතනය, සද්දායතනය, ඝාණායතනය, ගන්ධායතනය, ජිව්හායතනය, රසායතනය, කායායතනය, පොට්ඨබ්බායතනය, මනායතනය සහ ධම්මායතනයයි.

චක්ෂුරාදි මේ දොළොස කුමක් හෙයින් ආයතන නම් වේද?  ආකාර කිහිපයකින් මෙම පදය විස්තර කෙරේ.

  • “ආයතනතෝ” – චක්ෂු රූපාදීන් කෙරෙහි ඒ ඒ ද්වාරාලම්බණයෙහි හටගන්නා වූ චිත්ත චෛතසික ධර්මයෝ තම තමාගේ අනුභවනාදි කෘත්‍යයෙන් හටගනිත්නුයි නැගිටිත්නුයි ගැටෙත්නුයි උත්සාහකෙරෙත්නුයි ආයතන නම් වෙයි කියන ලදී.   (චක්ඛුරූපාදීසු හි තංතංද්වාරාරම්මණා චිත්තචෙතසිකා ධම්මා යෙන යෙන අනුභවනාදිනා කිච්චෙන ආයතන්ති උට්ඨහන්ති ඝට්ටෙන්ති වායමන්තීති වුත්තං හොති.)
  • “ආයානං තනනතෝ” – ආය නම් රැස් කිරීමයි. ආයසඞ්ඛ්‍යාත වූ ඒ ඒ චිත්ත චෛතසික ධර්මයන් චක්ෂුරාදි දොළොස් ධර්මයෝ තුමූ විස්තර කෙරෙත්නුයි ප්‍රකට කෙරෙත්නුයි ඔවුහු ආයතයෝ නම් වෙති. (තෙ ච පන ආයභූතෙ ධම්මෙ එතානි තනොන්ති විත්ථාරෙන්තීති වුත්තං හොති.)
  • “ආයතස්සච නයනතෝ” – අනවරාග්‍ර සංසාරයෙහි පවතින්නා වූ අතිශයින් දික් වූ සංසාර දුක්ඛය යම් තාක් නොනවත්නේ වේද ඒ තාක් කල් ගෙන යන අර්ථයෙන් මේ දොළොස් ධර්මය ආයතන නම් වෙයි කියන ලදී. (ඉදඤ්ච අනමතග්ගෙ සංසාරෙ පවත්තං අතීව ආයතං සංසාරදුක්ඛං යාව න නිවත්තති තාව නයන්තෙව, පවත්තයන්තීති වුත්තං හොති.)

තවද (1) නිවාසාර්ථයෙන්ද (2) ආකරාර්ථයෙන්ද (3) සමෝසරණර්ථයෙන්ද (4) සංජාතිදේශාර්ථයෙන්ද (5) කාරණාර්ථයෙන්දැයි යන පඤ්ච අර්ථයකින් ආයතන නම් වන බව දත යුතුයි. ලෝකයෙහි ඉස්සරායතනය වාසුදේවායතනය යනාදියෙහි ඒ ඒ දෙවියන්ගේ වාසස්ථානය ආයතන යයි කියන ලදී. ස්වර්ණායතනය රජතායනය යනාදියෙහි රන් රිදී ආදීන්ගේ උපදින ස්ථානය හෙවත් ආකරාර්ථය ආයතන යයි කියන ලදී. මේ උදාහරණ ද්වයම ලෝකයෙහි ව්‍යවහාර මාත්‍රයකි. සාසනයෙහි වනාහි “ම‍නෝරමේ ආයතනේ සේවන්ති නං විහඞ්ගමා” යනාදියෙහි සමෝසරණාර්ථය ඒ ඒ දිගින් අවුත් බැස ගන්නා ස්ථානය ආයතන යයි කියන ලදී. “දක්ඛිණපථෝගුන්නං ආයතනං” යනාදියෙහි සංජාත දේශය ආයතන යයි කියන ලදී. “තත්‍ර තත්‍රේව සක්ඛිභබ්බතං පාපුණාති සති සති ආයතනේ” යනාදියෙහි කාරණයෙහි ආයතන ශබ්දය පවත්නේයි. මේ පඤ්චාර්ථයම චක්ෂුරාදි දොළොසෙහි යෙදෙන්නේයි.

ඒ කෙසේද යත්,

  1. ආයතන්ති නිවසන්ති එත්ථ චිත්තචෙතසිකාධම්මා තදායත්තවුත්තිතායාති ආයතනානි” යන නිර්වචනයට අනුව ඒ චක්ෂු රූපාදීන් කෙරෙහි චිත්ත චෛතසික ධර්මයෝ ආයක්තව පැවතීමෙන් ඔවුන් නිශ්‍රය කොට ගෙන වාසයකරත්නුයි, උපදිත්නුයි ආයතන නම් වෙත්. මෙසේ චක්ෂුරාදීහු චිත්ත චෛතසික ධර්මයන්ට නිවාසස්ථාන වන හෙයින් ආයතන නම් වෙත්.
  2. චක්ෂුරාදීන් කෙරෙහි ඒ චිත්ත චෛතසික ධර්මයෝ ආකීර්ණව (ගැවසීගෙන) පවත්නා හෙයින් ඒ චිත්ත චෛතසික ධර්මයන්ට චක්ෂුරාදීහු ආකරයක් වැනි හෙයින් ආකරාර්ථයෙන්ද ආයතන නම් වෙත්‍.
  3. ඒ ඒ ආයතනයෙහි වස්තුද්වාරාලම්බණ වශයෙන් සමෝසරණය වන හෙයින් හෙවත් බැස ගන්නා අර්ථයෙන් චක්ෂුරාදීහු ඒ චිත්ත චෛතසික ධර්මයන්ගේ බැස ගැනීමට ස්ථානයක් බඳු හෙයින් ආයතන නම් වෙත්.
  4. ඒ නිශ්‍රය ප්‍රත්‍යය ආලම්බන ප්‍රත්‍යභාවයෙන් ඒ ඒ ආයතනයෙහිම උපදනා හෙයින් චක්ෂුරාදීහු ඒ චිත්ත චෛතසික ධර්මයන්ගේ සංජාති දේශාර්ථයෙන් ආයතන නම් වෙත්.
  5. ඒ චක්ෂුරූපාදීන්ගේ අභාවයෙන් චිත්ත චෛතසික ධර්මයන්ගේ හටගැන්මක් නැති හෙයින් චක්ෂුරාදීහු ඒ චිත්ත චෛතසික ධර්මයන්ගේ හටගැනීමට කාරණ (හේතු) වන අර්ථයෙන් ආයතන නම් වෙත්.

මෙසේ නිවාසාර්ථය, ආකරාර්ථය, සමෝසරණර්ථය, සංජාතිදේශාර්ථය, කාරණර්ථය යන පඤ්චප්‍රකාර අර්ථයකින් ආයතන නම් වන බව දත යුතුයි. එහෙයින් යථෝක්තාර්ථයෙන් “චක්ඛුච තං ආයතනඤ්චාති චක්ඛායතනං” යන සමාස විග්‍රහ වශයෙන් චක්ෂුප්‍රසාද වූයේත් හේමය, ආයතන වූයේත් හේමනුයි. චක්ඛායතන නම් වෙයි. සෙසු එකොළොස් ආයතනයන්හිද මෙම නයින් අර්ථ දත යුත්තේය.

ඉහත සූත්‍රයෙහි භාග්‍යවතුන් වහන්සේ දුන් පිළිතුරෙහි “මෙහි ම ලාමක වූ අකුසල ධර්මයෝ නිරවශේෂයෙන්ම නිරුද්ධ වෙත්” යන තැන ‘මෙහි’  යනුවෙන් අදහස් කරනුයේ දොළොස් ආයතනයෝය. කෙළෙස් උපදිනුයේ දොළොස් ආයනයන්හි උපදිත්. මෙසේ යම් තැනක කෙළෙස් උපදනා ලද්දේ ද එහිම නිරුද්ධ වෙත්.

  • ආයතන සතිපට්ඨාන සූත්‍රය තුළින් 

මෙහි අර්ථය සතිපට්ඨාන සූත්‍රයෙහි දුක්ඛ සමුදය විස්තරයෙහි “මහණෙනි, ඒ මේ තෘෂ්ණාව උපදනේ කොහි උපදී ද? නැවැත නැවැත පවත්නේ (පිහිටනුයේ) කොහි පවතී ද? (පිහිටා ද?) යත්: යමෙක් ලොවැ ප්‍රිය ස්වභාවයෙක් මධුර ස්වභාවයෙක් වේ ද, ඒ තෘෂ්ණාව පහළ වනුයේ මෙහි පහළ වෙයි, පිහිටනුයේ මෙහි පිහිටයි. කිමෙක් නම් ලොවැ ප්‍රිය ස්වභාවයෙක් මධුර ස්වභාවයෙක් වේ ද යත්‍: චක්ෂූස (ඇස) ලොවැ ප්‍රිය ස්වභාවයෙක, මධුර ස්වභාවයෙක. ඒ තෘෂ්ණව උපදිනුයේ මෙහි උපදී, පිහිටනුයේ මෙහි පිහිටයි. ශ්‍රෝතය (කන) … ඝ්‍රාණය (නාසය) … ජිහ්වාව (දිව) … කය … මනස ලොවැ ප්‍රිය ස්වභාවයෙක, මධුර ස්වභාවයෙක. ඒ තෘෂ්ණාව උපදිනුයේ මෙහි උපදී, පිහිටනුයේ මෙහි පිහිටයි. රූපයෝ … ශබ්දයෝ … ගන්ධයෝ … රසයෝ …ස්ප්‍රෂ්ටව්‍යයෝ … ධර්මාලම්බනයෝ ලොවැ ප්‍රිය ස්වභාව ය යැ, මධුර ස්වභාවය යැ. ඒ තෘෂ්ණාව උපදිනුයේ මෙහි උපදී, පිහිටනුයේ මෙහි පිහිටයි

(සා ඛො පනෙසා, භික්‌ඛවෙ, තණ්‌හා කත්‌ථ උප්‌පජ්‌ජමානා උප්‌පජ්‌ජති, කත්‌ථ නිවිසමානා නිවිසති? යං ලොකෙ පියරූපං සාතරූපං, එත්‌ථෙසා තණ්‌හා උප්‌පජ්‌ජමානා උප්‌පජ්‌ජති, එත්‌ථ නිවිසමානා නිවිසති. “කිඤ්‌ච ලොකෙ පියරූපං සාතරූපං? චක්‌ඛු ලොකෙ පියරූපං සාතරූපං, එත්‌ථෙසා තණ්‌හා උප්‌පජ්‌ජමානා උප්‌පජ්‌ජති, එත්‌ථ නිවිසමානා නිවිසති. සොතං ලොකෙ…පෙ.… ඝානං ලොකෙ… ජිව්‌හා ලොකෙ… කායො ලොකෙ… මනො ලොකෙ පියරූපං සාතරූපං, එත්‌ථෙසා තණ්‌හා උප්‌පජ්‌ජමානා උප්‌පජ්‌ජති, එත්‌ථ නිවිසමානා නිවිසති. රූපා … සද්‌දා … ගන්‌ධා … රසා … ඵොට්‌ඨබ්‌බා … ධම්‌මා ලොකෙ පියරූපං සාතරූපං, එත්‌ථෙසා තණ්‌හා උප්‌පජ්‌ජමානා උප්‌පජ්‌ජති, එත්‌ථ නිවිසමානා නිවිසති”) 

ලෙසද, දුක්ඛ නිරෝධය දක්වන කොටසෙහි “ඒ තෘෂ්ණාව ප්‍රහීණ වනුයේ මෙහි ප්‍රහීණ වේ, නිරුද්ධ වනුයේ මෙහි නිරුද්ධවෙයි. කිමෙක් නම් ලොවැ ප්‍රිය ස්වභාව මධුර ස්වභාව වේ ද යත්: චක්ෂුස (ඇස) ලොවැ ප්‍රිය ස්වභාවයෙක, මධුර ස්වභාවයෙක…. ශ්‍රොත්‍රය … ඝ්‍රාණය … ජිහ්වාව … කය … මනස ලොවැ ප්‍රිය ස්වභාවයෙක, මධුර ස්වභාවයෙක. ඒ තෘෂ්ණාව ප්‍රහීණ වනුයේ මෙහි ප්‍රහීණ වෙයි, නිරුද්ධ වනුයේ මෙහි නිරුද්ධ වෙයි.රූපයෝ … ශබ්දයෝ … ගන්ධයෝ … රසයෝ … ස්ප්‍රෂ්ටව්‍යයෝ … ධර්මාලම්බනයෝ ලොවැ ප්‍රිය ස්වභාව යැ, මධුර ස්වභාව යැ, ඒ තෘෂ්ණාව ප්‍රහීණ වනුයේ මෙහි ප්‍රහීණ වේ. නිරුද්ධ වනුයේ මෙහි නිරුද්ධ වෙයි.

(කිඤ්‌ච ලොකෙ පියරූපං සාතරූපං? චක්‌ඛු ලොකෙ පියරූපං සාතරූපං, එත්‌ථෙසා තණ්‌හා පහීයමානා පහීයති, එත්‌ථ නිරුජ්‌ඣමානා නිරුජ්‌ඣති. සොතං … ඝානං … ජිව්‌හා … කායො … මනො ලොකෙ පියරූපං සාතරූපං, එත්‌ථෙසා තණ්‌හා පහීයමානා පහීයති, එත්‌ථ නිරුජ්‌ඣමානා නිරුජ්‌ඣති.රූපා … සද්‌දා … ගන්‌ධා … රසා … ඵොට්‌ඨබ්‌බා … ධම්‌මා ලොකෙ පියරූපං සාතරූපං, එත්‌ථෙසා තණ්‌හා පහීයමානා පහීයති, එත්‌ථ නිරුජ්‌ඣමානා නිරුජ්‌ඣති.)  

යන ක්‍රමයෙන් දොළොස් ආයතනයන්හි උප්පත්තියද නිරෝධයද වදාරන ලදී. තණ්හාව දොළොස් ආයතනයන්හි ඉපිද නිවනට පැමිණ නිරෝධ වූයේ ආයතනයන්හි නැවත හැසිරීමකගේ අභාව වශයෙන් ආයතනයන් තුළම තණ්හාව නිරුද්ධ විය යැයි වදාරන ලදි. මෙසේ මේ සූත්‍රයෙහි ද “මෙහි ම ලාමක වූ අකුශල ධර්මයෝ නිරවශේෂයෙන්ම නිරුද්ධ වෙත්” යන තැන ඒ දොළොස් ආයතනයන්හිම අකුසලයන් නිරුද්ධ වන බව දත යුතුය.  

  • මහා කච්චායන මහරහතන් වහන්සේ 

බුදුරජාණන් වහන්සේ හුනස්නෙන් නැගී විහාරයට වැඩි පසු භික්ෂූන්වහන්සේලාට මෙසේ සිත් වීය. “ඇවැත්නි, අපගේ භාග්‍යවතුන් වහන්සේ සංක්ෂේපයෙන් ධර්මය උදෙසා විස්තර වශයෙන් අර්ථ විග්‍රහ නොකොට විහාරටයට වැඩියහ. භාග්‍යවතුන් වහන්සේ උදෙසූ ධර්මය කවරෙක් නම් අර්ථය විස්තර වශයෙන් බෙදා දක්වන්නේද ?” යනුවෙනි.

ඉන්පසුව උන්වහසේලා හට ශාස්තෘන් වහන්සේ විසින් වර්ණනා කරන ලද ප්‍රශංසා කරන ලද මහා කච්චායන මහරහතන් වහන්සේ හට භාග්‍යවතුන් වහන්සේ කෙටියෙන් උදෙසූ ධර්මය විස්තර කිරීමට හැකි බව සිත්වීය. උන්වහන්සේලා මහා කච්චායන මහරහතන් වහන්සේ වෙත එළඹ බුදු රජාණන්වහන්සේගේ වදාළ  ධර්ම උද්දේශයෙහි අර්ථය විමසූහ.  

චතුපටිසම්භිදා ප්‍රාප්ත මහරතන් වහන්සේ බුදු පියාණන් වහන්සේ වදාල ධර්මය පාඨයෙහි අර්ථය මනාව දන්නේ නමුදු භික්ෂූන් වහන්සේලා ප්‍රශ්නය විමසූ ක්‍ෂණයෙහිම පිළිතුරු නොදුන්හ. දස බලධාරීන් වහන්සේට ගෞරව දැක්වීම පිණිස මෙසේ ප්‍රකාශ කළ සේක.

සෙය්‍යථාපි, ආවුසො, පුරිසො සාරත්ථිකො සාරගවෙසී සාරපරියෙසනං චරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො අතික්කම්මෙව මූලං, අතික්කම්ම ඛන්ධං, සාඛාපලාසෙ සාරං පරියෙසිතබ්බං මඤ්ඤෙය්‍ය; එවංසම්පදමිදං ආයස්මන්තානං සත්ථරි සම්මුඛීභූතෙ, තං භගවන්තං අතිසිත්වා , අම්හෙ එතමත්ථං පටිපුච්ඡිතබ්බං මඤ්ඤථ. සො හාවුසො, භගවා ජානං ජානාති, පස්සං පස්සති, චක්ඛුභූතො ඤාණභූතො ධම්මභූතො බ්‍රහ්මභූතො, වත්තා පවත්තා, අත්ථස්ස නින්නෙතා, අමතස්ස දාතා, ධම්මස්සාමී තථාගතො. සො චෙව පනෙතස්ස කාලො අහොසි, යං භගවන්තංයෙව එතමත්ථං පටිපුච්ඡෙය්‍යාථ. යථා වො භගවා බ්‍යාකරෙය්‍ය තථා නං ධාරෙය්‍යාථ”

ඇවැත්නි, යම්සේ අරටුවෙන් ප්‍රයෝජන ඇති අරටු සොයන අරටු සොයමින් ඇවිදුනා පුරුෂයෙක් නො වැටී සිටුනා හර ඇති මහරුකෙක මුල ඉක්ම කඳ ඉක්ම අතු කොළෙහි අරටු සෙවිය යුතු කොට සලකන්නේ ද, අයුෂ්මත්නට බුදුන් හමු වූ කල්හි ඒ භාග්‍යවතුන් ඉක්ම අප අතින් මේ අර්ථය පිළිවිසිය යුතු යැයි සලකන්නහු නම් මේ කාරණය ද එබඳු නිපැත් ඇතියේ ය. ඇවැත්නි, ඒ භාග්‍යවත් තෙමේ වනාහි දත යුත්ත දනී. දැක්ක යුත්ත දකී. චක්‍ෂුර්භූත ය, ඥානභූත ය, ධර්මභූත ය, බ්‍රහ්මභූත ය, (ධර්ම) වර්තක ය, ප්‍රවර්තකය, අර්ථනිර්නෙතෘ (අර්ථය ගෙණ දෙන්නේ)ය, අමුර්තදාතෘ ය, ධර්මස්වාමී ය, තථාගත යැ. යම් කලෙක භාග්‍යවතුන්ගෙන් ම මේ අර්ථය පිළිවිසින්නහු නම් මේ එයට කල්ම ය. යම්සේ අපගේ භාග්‍යවත් තෙමේ ප්‍රකාශ කරන්නේ නම්, එසේ එය දරවා යි.

නැවත වතාවක් සංඝයා විසින් අර්ථය විග්‍රහ කරදෙන ලෙස ඉල්වූ කල උන්වහන්සේ එහි අර්ථ පැහැදිලි කිරීම ඇරැඹූහ.

‘‘යතොනිදානං, භික්‌ඛු, පුරිසං පපඤ්‌චසඤ්‌ඤාසඞ්‌ඛා සමුදාචරන්‌ති. එත්‌ථ චෙ නත්‌ථි අභිනන්‌දිතබ්‌බං අභිවදිතබ්‌බං අජ්‌ඣොසිතබ්‌බං. එසෙවන්‌තො රාගානුසයානං, එසෙවන්‌තො පටිඝානුසයානං, එසෙවන්‌තො දිට්‌ඨානුසයානං, එසෙවන්‌තො විචිකිච්‌ඡානුසයානං, එසෙවන්‌තො මානානුසයානං, එසෙවන්‌තො භවරාගානුසයානං, එසෙවන්‌තො අවිජ්‌ජානුසයානං, එසෙවන්‌තො දණ්‌ඩාදාන-සත්‌ථාදාන-කලහ-විග්‌ගහ-විවාද-තුවංතුවං-පෙසුඤ්‌ඤ-මුසාවාදානං. එත්‌ථෙතෙ පාපකා අකුසලා ධම්‌මා අපරිසෙසා නිරුජ්‌ඣන්‌තී”ති

මහණ, යම් හේතුවක් නිසා පුරුෂයා තෘෂ්ණා දෘෂ්ටි සඞ්ඛ්‍යාත ප්‍රපඤ්ච කොට්ඨාශයේ පවත්වත් ද, මේ හේතුන් නැති කල්හි මමය මාගේය යැයි අභිනන්දනය කළ යුත්තක්, මමය මාගේය යැයි කිව යුක්කත්, මමය මාගේය යැයි ආලම්බණය කළ යුත්තක් නැත්නම් මෙයම රාග අනුසශයන්ගේ කෙළවරය මෙයම අවිද්‍යා අනුශයන්ගේ කෙළවරය, මෙයම දඬු ගැනීම, සැත් ගැනීම, කලහ, විග්‍රහ, විරුද්ධ කථා, නුඹ නුඹ යැයි කීම, පිසුනු  බස් කීම, මුසාබස් කීම යන මේවාට හේතු වූ චේතනාවන්ගේ කෙළවර  වෙයි. මෙහිම ලාමක වූ අකුශල ධර්මයෝ නිරවශේෂයෙන්ම නිරුද්ධ වෙත්” යැයි භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂේපයෙන් උදෙසූ දහම් පාඨයෙහි අර්ථය විස්තර වශයෙන් මම මෙසේ දනිමි.

‘‘චක්‌ඛුඤ්‌චාවුසො, පටිච්‌ච රූපෙ ච උප්‌පජ්‌ජති චක්‌ඛුවිඤ්‌ඤාණං, තිණ්‌ණං සඞ්‌ගති ඵස්‌සො, ඵස්‌සපච්‌චයා වෙදනා, යං වෙදෙති තං සඤ්‌ජානාති, යං සඤ්‌ජානාති තං විතක්‌කෙති, යං විතක්‌කෙති තං පපඤ්‌චෙති, යං පපඤ්‌චෙති තතොනිදානං පුරිසං පපඤ්‌චසඤ්‌ඤාසඞ්‌ඛා සමුදාචරන්‌ති අතීතානාගතපච්‌චුප්‌පන්‌නෙසු චක්‌ඛුවිඤ්‌ඤෙය්‍යෙසු රූපෙසු”

ඇවැත්නි, ඇස ද රූපයන් ද නිසා චක්ෂුර්විඥානය උපදී. මේ තුන් දෙනාගේ එක්වීමෙන් ස්පර්ශය වෙයි. ස්පර්ශය නිසා වෙදනාව වෙයි. යමක් විඳී ද එය හඳුනයි. යමක් හඳුනා ද එය විතර්කණය කෙරෙයි. යමක් විතර්කණය කෙරේ ද, එය ප්‍රපඤ්චයට පමුණුවයි. යමක් ප්‍රපඤ්චයට පමුණුවා නම් ඒ චක්ෂුරූපාදී කාරණයෙන් (තෘෂ්ණාදෘෂ්ටි) ප්‍රපඤ්චයන්ගෙන් යුක්ත සංඥාකොට්ඨාසයෝ අතීතානාගතවර්තමාන වූ ඇසින් බලා දතයුතු වූ රූපයෙහි ලා පුරුෂයා අභිභවනය කෙරෙත්.

මීළඟ ලිපියෙන් අපි මෙකී සූත්‍ර පාඨයන්ගේ ගැඹුරු අර්ථ විවරණය, එම තැන්හි පරමාර්ථ වශයෙන් උපදින සිත් සහ එම සිත් චිත්ත වීථි තුළ යෙදෙන අයුරු විස්තර කරන්නෙමු.

2. සූත්‍ර පාඨයන්ගේ අර්ථ විවරණය

පසුගිය ලිපියෙන් අපි මධුපිණ්ඩික සූත්‍රයෙහි මූලික අර්ථ විවරණ ඉදිරිපත් කළෙමු. මෙවර ලිපියෙන් සූත්‍ර පාඨයන්ගේ ගැඹුරු අර්ථ විවරණය, එම තැන්හි පරමාර්ථ වශයෙන් උපදින සිත් සහ එම සිත් චිත්ත වීථි තුළ යෙදෙන අයුරු විස්තර කරන්නෙමු.

ලක්ඛණ, රස, පච්චුපට්ඨාන, පදට්ඨාන 

‘‘චක්‌ඛුඤ්‌චාවුසො, පටිච්‌ච රූපෙ ච උප්‌පජ්‌ජති චක්‌ඛුවිඤ්‌ඤාණං” ඇවැත්නි, ඇස ද රූපයන් ද නිසා චක්ෂුර්විඥානය උපදී.

මෙහි ඇස නම් චක්ඛු ප්‍රසාද රූපයයි.චක්ඛු ප්‍රසාද රූපය කර්මජය. (කර්මය නිසා උපදින්නකි) චක්ඛු ප්‍රසාද රූපය චක්ඛු විඤ්ඤාණය ඉපදීමට නිශ්‍රය භාවයෙන් ප්‍රත්‍යය වේ. එනම් චක්ඛු විඤඤාණය ඉපදීමට පිහිටවීමට උපකාර වීමයි. රූපය නම් කර්ම, චිත්ත, සෘතු, ආහාර යන සතර ප්‍රත්‍යයන් නිසා උපන් රූපයෝය. පරමාර්ථ ධර්මය වර්ණ රූපයයි. එම වර්ණ රූපයද චක්ඛු ප්‍රසාදය ද නිසා චක්ඛු විඤ්ඤාණය පහළ වේ. චක්ඛු  විඤ්ඤාණයෙහි කෘත්‍යය නම් රූපය දැකීමයි. පරමාර්ථ වශයෙන් අකුසල විපාක සහ කුසල විපාක චක්ඛු විඤ්ඤාණ යුගලයයි.

“තිණ්ණං සඞ්ගති ඵස්සො – මේ තුන් දෙනාගේ එක්වීමෙන් ස්පර්ශය වෙයි

ඉහත දැක්වෙන “තිණ්ණං සඞ්ගති ඵස්සො” යන පාඨය සූක්ෂමව විමසා බැලිය යුත්තකි. සූත්‍ර අටුවාවෙහි මෙය විස්තර කරනුයේ ඇස ද, රූපය ද, චක්ඛු විඤ්ඤාණය යන මෙම තුනෙහි සමෝදානයෙන් (රැස්වීමෙන්, එකතුවීමෙන්) ඵස්සය උපදින බවයි. ඵස්සය අරූපී ධර්මතාවකි. චක්ෂුව සහ රූපය රූපී ධර්මතාවන්ය. “සඞ්ගති ” (රැස්වීම, එකතුවීම) යන පාලි පදයෙහි වචනාර්ථයෙන් මේ පිළිබඳ විමසුවහොත් රූපී ධර්මතාවන් සහ අරූපී ධර්මතාවන් එකතුවන්නේ කෙසේදැයි පැනයක් ඇතිවේ. ඉහත ගැටළුවට පිළිතුර සහ ප්‍රායෝගිකව හඳුනාගැන්මට අපහසු ඵස්සය තේරුම් ගැනීමට උපකාරයක් අත්ථසාලිනී නම් ධම්මසංගණී අටුවාවේ පැමිණේ.

පරමාර්ථ ධර්මයක් ලෙස “තිණ්ණං සඞ්ගති ඵස්සො” යන තැන  ‘ඵස්සො’ යනු ඵස්ස චෛතසිකයයි. සිත එකකි. රූප,ශබ්ද, ගන්ධ, රස, ඵොට්ඨබ්බ සහ ධම්ම යන ආරම්මණයෝ අනෙකකි. සිතෙහි කෘත්‍යය අරමුණ දැනගැනීමයි. අරමුණු දැනගැන්මට නම් සිත අරමුණෙහි පැහැසිය යුතු වේ. එම කාර්යය සිදු කරන අරමු‍ණෙහි ස්පර්ෂ වන ආකාරයකින් සිතෙහි උපදනා චෛතසිකය ඵස්සය වේ. විදර්ශනාවේදී පරමාර්ථ ධර්මයක් වටහා ගැනීම පහසුවනු පිණිස ඒ එක් එක් ධර්මය ආකාර සතරකින් පැහැදිලි කරයි.

  1. ලක්ඛණ – ලක්ෂණයයි.
  2. රස – මෙය කෘත්‍යය සහ සම්පත්ති යන දෙයාකාරයට විස්තර වේ.

කෘත්‍යය අර්ථයෙන්  –  ඒ පරමාර්ථ ධර්මය සිදුකරන කාර්යයි.

සම්පත්ති අර්ථයෙන් –  ඒ පරමාර්ථ ධර්මය නිසා වන ඵලයයි.

  1. පච්චුපට්ඨාන – එම පරමාර්ථ ධර්මය වැටහෙන ආකාරය
  2. පදට්ඨාන – එම පරමාර්ථ ධර්මය ඉපදීමට ආසන්න හේතුවයි.

ඵස්සයෙහි ලක්ෂණාදී සතර

  1. ලක්ඛණ – ස්පර්ශ වීම ලක්ෂණයයි (ඵුසනලක්ඛණො) . ඵස්සය අරූප ධර්මයක් වන නමුදු ආරම්මණයන්හි පහසන ආකාරයෙන්ම පවතින නිසා ස්පර්ශවීම ලක්ෂණ කොට ඇත්තේය.
  2. රස – සඞ්ඝට්ටන රසයයි (සඞ්ඝට්ටනරසො).

කෘත්‍යය  අර්ථයෙන් – ඒකදේශයකින් දර කැබලි දෙකක් එකිනෙකට ඇලෙන්නාක් මෙන් නොඇලෙන්නේ නමුදු රූපය චක්ෂුවෙහි ද, සද්දය ශ්‍රෝතයෙහි ද ගැටෙන්නාක් මෙන් සිත සහ ආරම්මණය ගැටෙන නිසා සංඝට්ටන රසයයි.

සම්පත්ති  අර්ථයෙන් –  චක්ඛු සෝතාදී වස්තූන් රූපාදී ආරම්මණය හා ගැටීම නිසා ඵස්සය උපදනා බැවින් සම්පත්ති අර්ථයෙන් ද සංඝට්ටන රසය වේ.

  1. පච්චුපට්ඨාන – ඵස්සය දෙයාකාරයකට වැටහේ. ( සන්නිපාතපච්චුපට්ඨානො , වෙදනාපච්චුපට්ඨානො )

සන්නිපාතපච්චුපට්ඨානො – රැස්වෙන ආකාරයෙන් වැටහේ. “තිණ්ණං සඞ්ගති ඵස්සො” යන ත්‍රික සන්නිපාත සංඛ්‍යාත වූ (චක්ඛු ආදී වස්තු සය, රූපාදී ආරම්මණ සය, චක්ඛු විඤ්ඤාණාදී විඤ්ඤාණ සය) ඵස්සයාගේ  හේතූන් වශයෙන් වැටහේ.

වෙදනාපච්චුපට්ඨානො – වේදනාව උපදවන ආකාරය වැටහීම කොට ඇත්තේය. (ස්පර්ශය හේතුවෙන් වේදනාව උපදින බැවිනි.)

  1. පදට්ඨානය – ආරම්මණය ආපාථගතවීම ආසන්න හේතුවයි. ඒ ඵස්සයට හේතුභූත වූ එක්තැන් කිරීමක් ද ඉන්ද්‍රියන්ගෙන්  වූ (ආපාථගතවිසයපදට්ඨානො) පරමාර්ථ ධර්මය ඉපදීමට ආසන්න හේතුවයි.

එවං පවෙදිතත්‌තා පන තෙනෙවාකාරෙන පච්‌චුපට්‌ඨාතීති සන්‌නිපාතපච්‌චුපට්‌ඨානොති වුත්‌තො. ඵලට්‌ඨෙන පන පච්‌චුපට්‌ඨානෙනෙස වෙදනාපච්‌චුපට්‌ඨානො නාම හොති. වෙදනඤ්‌හෙස පච්‌චුපට්‌ඨාපෙති උප්‌පාදෙතීති අත්‌ථො.

මෙසේ මනාව දැන ගන්නා බැවින් ඒ අයුරින්ම එළඹ සිටිනුයි “සන්නිපාතපච්චුපට්ඨානො” යැයි කියන ලදී. ඵල අර්ථයෙන් වනාහි පච්චුපට්ඨානයෙන් එය වෙදනා පච්චුට්ඨානය නම් වේ. තෙල ස්පර්ශය වේදනාව එළඹවයිද උපදවයි ද යන අර්ථයයි.

“ඵස්ස පච්චයා වේදනා – ස්පර්ශය නිසා වෙදනාව වෙයි.

සුඛ, දුක්ඛ, උපේක්ෂා වශයෙන් ඒ ඒ අරමුණට අනන්‍ය වූ රසයන් ඇත. වේදනාවේ කෘත්‍යය එම රස අනුභවනය කිරීමයි. ඵස්සය වේදනාවට පමණක් නොව සෙසු අරූපී ධර්මතා රාශියකට ප්‍රත්‍යය වේ. එසේ තිබියදී වේදනා වෙන් කොට දක්වනුයේ වේදනාව ඵස්සයෙහි විශේෂ ඵලය නිසාය.

“යං වෙදෙති තං සඤ්‌ජානාති ”  – යමක් විඳිනු ලබන්නේද එය හඳුනා ගනී.

සඤ්‌ජානාති පදයෙන් අදහස් වනුයේ සඤ්‌ඤා චෛතසිකයයි. සඤ්‌ඤා චෛතසිකයෙහි ලක්ෂණය නම් අරමුණ සළකුණු කොට දැනගැනීමයි. නිල්, රතු, සුදු, දිග, උස, පළල ආදී වශයෙන් නානා ප්‍රභේද ඇති ෂඩ් ඉන්ද්‍රියන්ට ගෝචර වන අරමුණු නැවත හැඳින ගැනීමට හැකිවන ආකාරයෙන් සලකුණු කිරීම මෙම චෛතසිකයෙන් සිදු වේ. සඤ්‌ඤා චෛතසිකය සෑම සිතකම පහළ වේ. වේදනාව මගින් යමක් අරමුණු වූයේ ද එම අරමුණ සඤ්‌ඤාව මගින් සළකුණු කොට දක්වයි. වේදනාව නොවේ. (තාය වෙදනාය යං ආරම්‌මණං වෙදෙති, තදෙව සඤ්‌ඤා සඤ්‌ජානාති)

යං සඤ්‌ජානාති තං විතක්කෙති” – යමක් හඳුනා ද එය විතර්කණය කෙරෙයි.

මෙහි විතක්කෙති යන තැන පරමාර්ථ ධර්මය නම් විතර්ක චෛතසිකයයි. විතර්කයෙහි ලක්ෂණය නම් සිත අරමුණ නැංවීමයි. යම් අරමුණක් පිළිබඳව නිල්,රතු සුදු, දිග ආදී වශයෙන් සළකුණු කිරීමක් සිදු කළේ ද එය නැවත නැවතත් සිතට අරමුණු කෙරේ.

“යං විතක්කෙති තං පපඤ්වෙති” – යමක් විතර්කණය කෙරේ ද, එය ප්‍රපඤ්චයට පමුණුවයි.

යම් අරමුණක් විතර්කයට නැංවූයේ ද එය තණ්හා,දිට්ඨි,මාන වශයෙන් ප්‍රපඤ්ච කරයි.

ඉහත සූත්‍ර පාඨය චක්ඛුද්වාරික චිත්ත වීථියකින් 

මෙහි ඵස්ස,වෙදනා, සඤ්ඤා චක්ඛු විඤ්ඤාණ සහජාත (චක්ඛු විඤ්ඤාණය සමග එකට හටගත්) ඒවා වෙත්. විතර්කය චක්ඛු විඤ්ඤාණ සිතට අනතුරුව  උපදින සම්පටිච්ඡන සිතෙහි පටන් සවිතර්ක සිත්වල ඇතිවේ.

(තත්‌ථ ඵස්‌සවෙදනාසඤ්‌ඤා චක්‌ඛුවිඤ්‌ඤාණෙන සහජාතා හොන්‌ති. විතක්‌කො චක්‌ඛුවිඤ්‌ඤාණානන්‌තරාදීසු සවිතක්‌කචිත්‌තෙසු දට්‌ඨබ්‌බො. පපඤ්‌චසඞ්‌ඛා ජවනෙන සහජාතා හොන්‌ති.)

ඉහත චක්ෂුව ද, රූපය ද නිසා උපදින චක්ඛු විඤ්ඤාණයෙහි සම්ප්‍රයෝග වන ඵස්ස චෛතසිකය “තිණ්ණං සඞ්ගති ඵස්සො” යන තැන ඵස්සය වේ. ඵස්සය එම සිතෙහි උපදනා වේදනාවට සහජාත අඤ්ඤමඤ්ඤ ආදී ප්‍රත්‍යවලින් ද, පසුව උපදනා සිතට අනන්තර ප්‍රත්‍යයෙන් ද, ඉන්පසුව උපදනා සිත්වලට උපනිශ්‍රය ප්‍රත්‍යයෙන් ද ප්‍රත්‍යය වේ.

(තං ඵස්‌සං පටිච්‌චසහජාතාදිවසෙන ඵස්‌සපච්‌චයා වෙදනා උප්‌පජ්‌ජති. මජ්ඣිමනිකාය අටුවා, මධුපිණ්‌ඩිකසුත්‌තවණ්‌ණනා; . සහජාතාදිවසෙනාතිචක්‌ඛුවිඤ්‌ඤාණසම්‌පයුත්‌තාය සහජාතඅඤ්‌ඤමඤ්‌ඤාදිවසෙන, අනන්‌තරාය අනන්‌තරාදිවසෙන, ඉතරාය උපනිස්‌සයවසෙන පච්‌චයභාවතොඵස්‌සපච්‌චයාඵස්‌සකාරණාවෙදනා උප්‌පජ්‌ජති.මජ්ඣිමනිකාය ටීකා, මධුපිණ්‌ඩිකසුත්‌තවණ්‌ණනා)

ඵස්සයේ පටන් විතර්කය දක්වා ප්‍රවෘත්තිය මෙසේ වේ. අනුරූප ප්‍රත්‍යයන් ඇති කල්හි, චක්ෂුව ද රූපය ද හේතුවෙන් චක්ඛු විඤ්ඤාණය ද, එම විඤ්ඤාණය සමග ඵස්සය වේදනාව සහ සංඥාවද , ඉන්පසු විතර්කය පහළවීම ඒකාන්ත ධර්මතාවකි. ඉහත වීථි සටහනින් දක්වා ඇත්තේ එම චිත්ත නියාමයයි. කුසල-අකුසල රැස්වනුයේ අනතුරුව පහළවන ජවන සිත්වලින්ය. . රහතන්වහන්සේලා හට ද ඉහත චක්ඛුවිඤ්ඤාණයේ පටන් විතර්කය පහළවුවද වොත්ථපන අවස්ථාවෙන් පසුව  කුසල-අකුසල පහළ නොවේ. උන්වහන්සේලාට පහළවනුයේ ක්‍රියා සිත්ය.

මෙම සූත්‍රය සසර දිගු කෙරෙන තණ්හා,දිට්ඨි, මාන සහගත ප්‍රපඤ්ව පිළිබඳව වූ පරියාය දේශනාවක් නිසා චිත්ත ප්‍රවෘත්තිය විග්‍රහ කළ හැක්කේ ඒකදේශයකිනි .  එනම් ප්‍රපඤ්ව ලෙස ගත හැකි ලෝභ සහගත ජවන් සිත් යොදාගනිමින් පමණකි. එම නිසා සූත්‍රයෙහි නොමුලාවීම පිණිස ජවන සිත්වලට අරමුණු  ගන්නා ආකාර පිළිබඳ පහත විග්‍රහය දක්වන්නෙමු.

ජවන් සිත් වලින් ප්‍රඥප්තිය හා පරමාර්ථ අරමුණු කරන ආකාරය 

නිෂ්පරියාය ලෙස  ගත්කල මුළු ජවන සිත් ගණන 55කි. එසේ වුවද මෙම සූත්‍රයට අදාලව චක්ඛු විඤ්ඤාණය පහළවීම කාමාවචර අවස්ථාවක් නිසා විග්‍රහය කාමාවචර ජවන්  සිත් 29 ට සීමා වේ. ඒවා නම්, අකුසල් සිත් 12 (ලෝභ මූල 08, ද්වේෂ මූල 02, මෝහ මූල 02 ) , හසිතුප්පාද සිත 01, මහා කුසල් සිත් 08 , මහා ක්‍රියා සිත් 08 ය.

ඉහත සිත් විසිනවය මගින් “යං සඤ්ජානාති තං විතක්කෙති” යන තැන සඤ්ඤාවෙන් විද්‍යමාන වූ ද අවිද්‍යමාන වූ ද  අරමුණ යම් සේ හඳුනා ගන්නා ලද්දේ ද එය විතර්ක වශයෙන් පරිකල්පනය කරයි.

(සඤ්‌ඤාය හි යථාසඤ්‌ඤාතං විජ්‌ජමානං, අවිජ්‌ජමානං වා ආරම්‌මණං විතක්‌කවසෙන පරිකප්‌පෙති – මජ්ඣිමනිකාය ටීකා, මධුපිණ්‌ඩිකසුත්‌තවණ්‌ණනා)

පරමාර්ථ වශයෙන් ඇත්තා වූ චිත්ත, ඵස්ස, වේදනා, සඤ්ඤා, චේතනා, පඨවි, ආපෝ යනාදිය සත්‍ය වූ භූත වූ විද්‍යමාන ධර්මතා වේ. පරමාර්ථ වශයෙන් නැත්තා වූ මේසය, පුටුව, වස්ත්‍ර‍ය, ස්ත්‍රිය, පුරුෂයා ආදි අවිද්‍යමාන ප්‍රඥප්ති වේ. ඒවා පරමාර්ථ වශයෙන් විද්‍යමාන නොවන බැවිනි.

ඇතැම් සාවද්‍ය මත 

1. ” දිට්ඨේ දිට්ඨ මත්තං…” දකින ලද දෙය දැකීම් මාත්‍රයක් පමණයි යනුවෙන් කියනුයේ වර්ණ මාත්‍රයක් දැකීමෙන් නැවතීමක් ගැනද…? නොවන්නේද..?

වර්ණ මාත්‍රයක් දැකීමක් යැයි නොකිය යුතු වන්නේ වෙයි..

2. වර්ණ මාත්‍රයෙන් එහාට මව පියා යැයි හඳුනාගැනීම මෝහය නිසා වන්නේද…?

එසේද නොකිය යුතු වන්නේ වෙයි..

3. යමෙක් මෝහය නිසා වනවා යැයි කියයි නම්…?

එසේ වීනම් රහතන් වහන්සේටද මෝහය තිබිය යුතු වන්නේ වෙයි..මන්ද යත් උන්වහන්සේලාද මව පියා වශයෙන් හඳුනාගන්න බැවිණි.එබැවින් එකී කියමන බැහර කළ යුතුය.

4. එසේ නම් කවරක් ” දිට්ඨේ දිට්ඨ මත්තං ” වන්නේද…?

යමක් ඔබ විසින් දක්නා ලද්දේ නම් ඒ හරහා කෙළස් නූපදවාගෙන සිටීමයි..එනම් අනුසය වර්ධනය සඳහා කටයුතු නොකිරීමයි..

5. අරිහත් උතුමන්ට එදිනෙදා ජීවිතය තුළ දකින දෙය හුදු වර්ණ මාත්‍රයක් ලෙස අරමුණු වනේද..?

නොවන්නේ වෙයි..උන්වහන්සේලාද දක්නා දෙය මව පියා ආදී වශයෙන් හඳුනාගනී…බුදුරජාණන් වහන්සේට යමක් දැකීම තුළ ඥාන සම්ප්‍රයුක්ත මහා ක්‍රියා සිත් සතර, රහතන් වහන්සේලාට මහා ක්‍රියා සිත් අටද ලැබෙන්නේ වෙයි.

6. පෘතග්ජන සත්වයාට සහ රහතන් වහන්සේට කෙසේ දිට්ඨේ දිට්ඨ මත්තං වනේද..?

අප විසින් යම් ප්‍රඥප්ති අරමුණක් දකින කළ ප්‍රපංචය ගොඩනගා නොගනීද කෙළෙස් අනුසය වර්ධනය නොකර ගනීද ” දිට්ඨේ දිට්ඨ මත්තං” වන්නේ වෙයි. රහතන් වහන්සේට වනාහී අනුසය කෙලෙස් ප්‍රහාණය වූ බැවින් අනුසය වර්ධනයක් හෝ සක්කාය දිට්ඨි වශයෙන් නොගන්නේ වෙයි. ප්‍රපංච ගොඩනැගීමක් නොවන්නේ වෙයි. එනයින් ” දිට්ඨේ දිට්ඨ මත්තං” වන්නේ වෙයි.

7. යමෙක් වර්ණ සටහනින් නවතා ගැනීමම “දිට්ඨේ දිට්ඨමත්තං” යනුවෙන් කීම කෙසේ අර්ථ විරහිත වේද…?

එසේ කියයි නම් යමෙකුට බුදුරජාණන්වහන්සේ හෝ හඳුනාගත නොහැක.. බුදුරජාණන්වහන්සේටද වර්ණ මාත්‍රය පමණක් අරමුණු වේනම් කිසිවක් කළ නොහැක්කේ වෙයි..” විශාලාව රමණීයයි ” ආදි වශයෙන් හෝ “මේ ගිජුකුළු පව්ව” ආදී වශයෙන් හෝ කිසිවක් කිව නොහැක්කේ වෙයි.

8. දිට්ඨේ දිට්ඨ මත්තං වර්ණ මාත්‍රය නම් ” සුතේ සුත මත්තං” ආදිය කෙසේ කියන්නෙහිද…?

එසේ වීනම් එය සෝත ප්‍රසාදයේ ගැටුණු ශබ්ද රූප මාත්‍රයෙන් නැවතිය යුතුය. එසේ වූවහොත් කිසිවෙක්ට මාර්ගඵල නිර්වාන අධිගමය කරන්නට නොහැක්කේ වෙයි..මන්ද ඔවුන් කියන්නේ මොනවාදැයි හඳුනා නොගන්නා නිසාවෙනි..

එනයින් වර්ණ මාත්‍රයක්, ශබ්ද රූපයක් පමණක් යනාදී වශයෙන් එතැන්හී සියල්ල නවතින්නේ නම් බුදුරජාණන්වහන්සේට වන්නේ කිසිවෙකුට ධර්මය දේශනා නොකොටම පිරිනිවන්නටය.

පරමාර්ථ වශයෙන් සත්ව ප්‍රඥප්තිය අරමුණු කරන ආකාරය 

අකුසල් සිත් 12 මගින් අරමුණු කිරීම.

  1. ලෝභ සිත්වලින් අරමුණු කිරීම ආකාර 03කට සිදුවේ.

i. තණ්හාවෙන් අරමුණු කිරීම (දිට්ඨිගත විප්‍රයුක්ත ලෝභ සිත් 04)

  • තණ්හාවෙන් ආධ්‍යාත්මික වූ හෝ බාහිර වස්තුවක් කෙරෙහි ස්ත්‍රියය, පුරුෂයාය, ඉඩමය, රන්ය, රිදීය, යනාදී වශයෙන් ලෝභය උපදවා ගැනීම උදාහරණය. මෙහිදී පරමාර්ථ වශයෙන් අවිද්‍යමාන වන ස්ත්‍රියය, පුරුෂයාය යනාදී ප්‍රඥප්ති සිතට අරමුණු වේ.
  • පෙර තමා කාම සම්පත්තියක් විඳි අවස්ථාවක තමාගේ සිතෙහි වූ ප්‍රීතිය තණ්හාවෙන් සිහිකිරීම ද උදාහරණයකි. මෙහිදී පරමාර්ථ වශයෙන් විද්‍යමාන වන ප්‍රීතිය සිතට අරමුණු වේ.

ii. දෘෂ්ටියෙන් අරමුණු කිරීම (දිට්ඨිගත සම්ප්‍රයුක්ත ලෝභ සිත් 04)

දෘෂ්ටිය මූලික වශයෙන් ශාස්වත සහ උච්ඡේද ලෙස දෙවැදෑරුම් වේ.

  • ස්කන්ධ පඤ්චකය ඒකත්වයෙන් ගෙන සත්වයා යන සම්මුතියෙහි පිහිටි කල්හි එම සත්වයා හට මරණින් මතු ආත්මයක් ඇත හෝ නැත යැයි සළකා අවිද්‍යාමාන වූ සත්ව ප්‍රඥප්තිය කෙරෙහි දෘෂ්ටිය උපදී. මෙහිදී පරමාර්ථ වශයෙන් අවිද්‍යමාන වන සත්ව ප්‍රඥප්තිය සිතට අරමුණු වේ.
  • රූප,වේදනා,සඤ්ඤා,සංස්කාර,විඤ්ඤාණ යන ස්කන්ධ පඤ්චකය කෙරෙහි ඇති වන විසි වැදෑරුම් සක්කාය දිට්ඨිය විද්‍යමාන වූ ස්කන්ධයන් කෙරෙහි පහළ වේ.

ඉහත ආකාර දෙක පිළිබඳ සංයුක්ත නිකායේ ඛන්ධවග්ගපාලියේ සමනුපස්සනා සූත්‍රයෙහි පැමිණේ.

‘‘යෙ හි කෙචි, භික්‌ඛවෙ, සමණා වා බ්‍රාහ්‌මණා වා අනෙකවිහිතං අත්‌තානං සමනුපස්‌සමානා සමනුපස්‌සන්‌ති, සබ්‌බෙතෙ පඤ්‌චුපාදානක්‌ඛන්‌ධෙ සමනුපස්‌සන්‌ති, එතෙසං වා අඤ්‌ඤතරං. කතමෙ පඤ්‌ච? ඉධ, භික්‌ඛවෙ, අස්‌සුතවා පුථුජ්‌ජනො අරියානං අදස්‌සාවී අරියධම්‌මස්‌ස අකොවිදො අරියධම්‌මෙ අවිනීතො, සප්‌පුරිසානං අදස්‌සාවී සප්‌පුරිසධම්‌මස්‌ස අකොවිදො සප්‌පුරිසධම්‌මෙ අවිනීතො රූපං අත්‌තතො සමනුපස්‌සති, රූපවන්‌තං වා අත්‌තානං; අත්‌තනි වා රූපං, රූපස්‌මිං වා අත්‌තානං. වෙදනං… සඤ්‌ඤං… සඞ්‌ඛාරෙ… විඤ්‌ඤාණං අත්‌තතො සමනුපස්‌සති, විඤ්‌ඤාණවන්‌තං වා අත්‌තානං; අත්‌තනි වා විඤ්‌ඤාණං, විඤ්‌ඤාණස්‌මිං වා අත්‌තානං’’ 

මහණෙනි, යම් කිසි ශ්‍රමණ කෙනෙක් වෙත්වයි බ්‍රාහ්මණ කෙනෙක් වෙත්වයි දෘෂ්ටි වශයෙන් දක්නාහු අනේකප්‍රකාර ආත්මය දකිත්. ඒ සියල්ලෝ පඤ්චෝපාදාන ස්කන්ධයන් දෘෂ්ටිවශයෙන් දකිති. ඒ පඤ්චෝපාදානස්ඛන්ධ අතුරෙන් අන්‍යතරයක් හෝ දකිත්.කවර පසෙක් යත්:මහණෙනි, මෙලොව අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ ආර්‍ය්‍යයන් නො දක්නාසුලු වූයේ ආර්‍ය්‍යධර්‍මයෙහි අකොවිද (අදක්ෂ) වූයේ ආර්‍ය්‍යධර්‍මයෙහි අවිනීත වූයේ, සත්පුරුෂයන් නො දක්නාසුලු වූයේ සත්පුරුෂධර්‍මයෙහි අකොවිද වූයේ සත්පුරුෂධර්‍මයෙහි අවිනීත වූයේ රූපය ආත්මයයි (ද්‍රෂ්ටිවශයෙන්) දකී. (සෙවණ ඇති රුකක් මෙන්) ආත්මය රූපවත් කොට හෝ, (මලෙහි සුවඳ මෙන්) ආත්මයෙහි රූපය හෝ, (කරඬුයෙහි මැණික මෙන්) රූපයෙහි ආත්මය හෝ දකී. වේදනාව ආත්මීය යි (ද්‍රෂ්ටිදර්‍ශනයෙන්) දකී. ආත්මය වේදනාවත් කොට හෝ, ආත්මයෙහි වේදනාව හෝ, වේදනායෙහි ආත්මය හෝ දකී. සංඥාව ආත්මයයි දකී. ආත්මය සංඥාවත් කොට හෝ, ආත්මයෙහි සංඥාව හෝ, සංඥයෙහි ආත්මය හෝ දකී. සංස්කාරයන් ආත්මය යි දකී. ආත්මය සංස්කාරවත් කොට හෝ, ආත්මයෙහි සංස්කාරයන් හෝ, සංස්කාරයන්හි ආත්මය හෝ දකී. විඥානය ආත්මය යි දකී. ආත්මය විඥනවත් කොට හෝ, ආත්මයෙහි විඥානය හෝ, විඥානයෙහි ආත්මය හෝ දකී.” – ( සංයුත්තනිකාය- ඛන්ධවග්ගපාලි-සමනුපස්සනාසුත්‍රය)

 (පඤ්‌චුපාදානක්‌ඛන්‌ධෙ සමනුපස්‌සන්‌ති එතෙසං වා අඤ්‌ඤතරන්‌ති පරිපුණ්‌ණගාහවසෙන පඤ්‌චක්‌ඛන්‌ධෙ සමනුපස්‌සන්‌ති, අපරිපුණ්‌ණගාහවසෙන එතෙසං අඤ්‌ඤතරං. සංයුත්තනිකායට්ඨකථා- සමනුපස්සනාසුත්තවණ්ණනා; පරිපුණ්‌ණගාහවසෙනාති පඤ්‌චක්‌ඛන්‌ධෙ අසෙසෙත්‌වා එකජ්‌ඣං ‘‘අත්‌තා’’ති ගහණවසෙන. එතෙසං පඤ්‌චන්‌නං උපාදානක්‌ඛන්‌ධානං අඤ්‌ඤතරං ‘‘අත්‌තා’’ති සමනුපස්‌සන්‌ති – සංයුත්තනිකායටීකා- සමනුපස්සනාසුත්තවණ්ණනා)

iii. මානයෙන් අරමුණු කිරීම. (දිට්ඨිගත විප්‍රයුක්ත ලෝභ සිත් 04)

  • අන් පුද්ගලයන් සමඟ සන්සන්දනය කරමින් ඇති වන නවවිධ මානයන් උපදින අවස්ථාවලදී පරමාර්ථ වශයෙන් අවිද්‍යමාන වන සත්ව ප්‍රඥප්තිය සිතට අරමුණු වේ.
  • යමෙක් ධ්‍යානයකට සමවැදී ඉන් නැගිට තමාගේ ධ්‍යානය පිළිබඳව මානය උපදවා ගනී. එවිට සිතට අරමුණු වනුයේ විද්‍යාමාන ධර්මතාවක් වන ඒකාග්‍රතා චෛතසිකයයි.

2. ද්වේශයෙන් අරමුණු කිරීම. (ද්වේෂ මූල සිත් 02)

  • සත්වයෙකු අරමුණ කොට ද්වේශය උපදවා ගැනීම. මෙහිදී පරමාර්ථ වශයෙන් අවිද්‍යමාන වන සත්ව ප්‍රඥප්තිය සිතට අරමුණු වේ.
  • කෝපයට පත්වූ අවස්ථාවක් සිහිකරමින්  පසුතැවෙන අවස්ථාවක පෙර තම  සන්තානයෙහි පහළ වූ ද්වේෂය අරමුණ කරගෙන සිත් උපදී. එවිට සිතට අරමුණු වනුයේ විද්‍යාමාන ධර්මතාවක් වන ද්වේෂ චෛතසිකයයි.

3. මෝහයෙන්ද මේ ආකාරයට අරමුණ කරගත හැක.

4. කුසල් සිත් 08 මගින්

  • සත්වයන් අරමුණු කරගෙන මෛත්‍රිය වැඩීමේදී එම සත්ව ප්‍රඥප්තිය මෛත්‍රීයට අරමුණු වේ. එය අවිද්‍යමාන වූවක් කෙරෙහිය.
  • විදර්ශනා කර විදර්ශනා කරන ලද සිත නැවත විදර්ශනාවට ලක් කිරීම. මෙහි දෙවන වර විදර්ශනාවට අරමුණු වන සිතට අරමුණු වන පළමු විදර්ශනා සිත පර්මාර්ථ වශයෙන් විද්‍යාමාන වන ධර්මයකි.   

5. මහා ක්‍රියා සිත්වලින් අරමුණු කිරීම.

  • රහතන් වහන්සේ සම්මුතිය අරමුණු කරන අවස්ථාවේ දී අවිද්‍යමාන වූ සත්වයන් අරමුණු වේ.
  • රහතන් වහන්සේ විදර්ශනා කරන විටදී උන්වහසේ හට විදර්ශනා සිතට අරමුණු වනුයේ විද්‍යාමාන වූ පරමාර්ථ ධර්මයෝය.

6. හසිතුප්පාද සිත

  • රහතන් වහන්සේ ලෝකීය වූ පුද්ගලයන් අරමුණු කරගෙන සිනහ පහළ කරන අවස්ථාවේදී හසිතුප්පාද සිතට අරමුණුවනුයේ අවිද්‍යමාන වූවකි.
  • බාහිර පුද්ගලයන්ගේ සිත දැන එයට සිනහ පහළ කිරීම් වශයෙන් විද්‍යමාන ධර්මතාවක් වන සිත අරමුණු වේ.

ඉහත දක්වා ඇති අවස්ථා අතරෙන් ප්‍රපඤ්ච සහගත වනුයේ තණ්හා දිට්ඨි වශයෙන් සිත් පහළ වන අවස්ථාවන්ය.

මීළඟ ලිපියෙන් අපි මෙකී ප්‍රපංචයන් ක්‍රියාත්මක වන කාලය, මනෝද්වාරාවර්ජන චිත්ත වීථිය තුළ ප්‍රපඤ්චයන් ක්‍රියාත්මක වන අයුරු සහ ඉතිරි සූත්‍රපාඨ විස්තරද දක්වන්නෙමු.

3. චිත්ත වීථිය තුළ ප්‍රපඤ්චයන් ක්‍රියාත්මක වන අයුරු

පසුගිය ලිපියෙන් අපි මධුපිණ්ඩික සූත්‍රයන්ගේ ගැඹුරු අර්ථ විවරණය, එම තැන්හි පරමාර්ථ වශයෙන් උපදන සිත් සහ එම සිත් චිත්ත වීථි තුළ යෙදෙන අයුරු විස්තර කළෙමු. මෙවර ලිපියෙන් අපි මෙකී ප්‍රපඤ්චයන් ක්‍රියාත්මක වන කාලය, මනෝද්වාරවර්ජන චිත්ත වීථිය තුළ ප්‍රපඤ්චයන් ක්‍රියාත්මක වන අයුරු සහ ඉතිරි සූත්‍රපාඨ විස්තර ද දක්වන්නෙමු.

ඒ අනුව ලෝභ සහගත සිත් 8 න් පමණක් ප්‍රපංච කිරීම සිදු වේ.

එම ප්‍රපඤ්චයන් ක්‍රියාත්මක කාලය ඉන් අනතුරුව දේශනා කෙරේ.

තතො නිදානං පුරිසං පපඤ්‌චසඤ්‌ඤාසඞ්‌ඛා සමුදාචරන්‌ති අතීතානාගතපච්‌චුප්‌පන්‌නෙසු චක්‌ඛුවිඤ්‌ඤෙය්‍යෙසු රූපෙසු.- ඒ චක්ෂුරූපාදී කාරණයෙන් (තෘෂ්ණාදෘෂ්ටි) ප්‍රපඤ්චයන්ගෙන් යුක්ත සංඥාකොට්ඨාසයෝ අතීතානාගතවර්තමාන වූ ඇසින් බලා දතයුතු වූ රූපයෙහි ලා පුරුෂයා අභිභවනය කෙරෙත්

චක්ෂුව, රූපය, චක්ඛු විඤ්ඤාණ, ඵස්ස, වේදනා, සඤ්ඤා, විතර්ක යන හේතූන් නිසා ප්‍රපඤ්ච සිදු කරයි. කවර කාරණයක් නිසාද යත් ත්‍රිවිධ පරිඤ්ඤා  සම්පූර්ණ නොකරන ලද බැවිනි. (තතොනිදානන්‌ති එතෙහි චක්‌ඛුරූපාදීහි කාරණෙහි. පුරිසං පපඤ්‌චසඤ්‌ඤාසඞ්‌ඛා සමුදාචරන්‌තීති තං අපරිඤ්‌ඤාතකාරණං පුරිසං පපඤ්‌චකොට්‌ඨාසා අභිභවන්‌ති, තස්‌ස පවත්‌තන්‌තීති අත්‌ථො.)

ඤාතපරිඤ්‌ඤා , තීරණපරිඤ්‌ඤා, පහානපරිඤ්‌ඤා යනුවෙන් පරිඤ්ඤා 03 කි.

1 නාමරූප ව්‍යවස්ථාපනය ඤාතපරිඤ්‌ඤාවයි.

2 කලාප සම්මර්ෂණයේ පටන් අනුලෝම ඤාණය දක්වා තීරණපරිඤ්‌ඤාවයි.

3 ආර්යමාර්ග සඬ්ඛ්‍යාත ඤාණය පහානපරිඤ්‌ඤාවයි.

(නාමරූපවවත්‌ථානං වා ඤාතපරිඤ්‌ඤා. කලාපසම්‌මසනාදිඅනුලොමපරියොසානා තීරණපරිඤ්‌ඤා. අරියමග්‌ගෙ ඤාණං පහානපරිඤ්‌ඤාති – මජ්ඣිමනිකායට්ඨකථා, මූලපරියායසුත්‌තවණ්‌ණනා)

‘මෙවැනි ප්‍රපඤ්චයන්ගෙන් යුත් සංඥා කොට්ඨාශ අතීත අනාගත වර්තමාන වූ ඇසින් බලා දත යුතු වූ රූපයෙහි ලා පුරුෂයා අභිභවනය කෙරෙත්’ යන්නෙහි අදහස නම් වර්තමානයේ චක්ඛු ද්වාරික ව උපන් ප්‍රපඤ්චය චක්ඛුවද, රූපයන්ද, ඵස්ස, වේදනා, සඤ්ඤා, විතර්ක නිසා උපදනේද අතීත – අනාගත කාලයන්හිද ඇසින් දකින රූපයන්හි මෙම ක්‍රියාවලිය සිදු වූ බව සිදුවන බව දැක්වීමයි.

මෙම ක්‍රමය සෝත, ඝාන, ජීව්හා, කාය යන  ද්වාරයන් සඳහාද යෙදෙන ආකාරය මහාකච්චායන මහරහතන් වහන්සේ මෙසේ දේශනා කරයි.

“සොතඤ්‌චාවුසො, පටිච්‌ච සද්‌දෙ ච උප්‌පජ්‌ජති සොතවිඤ්‌ඤාණං…පෙ.… ඝානඤ්‌චාවුසො, පටිච්‌ච ගන්‌ධෙ ච උප්‌පජ්‌ජති ඝානවිඤ්‌ඤාණං…පෙ.… ජිව්‌හඤ්‌චාවුසො, පටිච්‌ච රසෙ ච උප්‌පජ්‌ජති ජිව්‌හාවිඤ්‌ඤාණං…පෙ.… කායඤ්‌චාවුසො, පටිච්‌ච ඵොට්‌ඨබ්‌බෙ ච උප්‌පජ්‌ජති කායවිඤ්‌ඤාණං…පෙ.… තිණ්‌ණං සඞ්‌ගති ඵස්‌සො, ඵස්‌සපච්‌චයා වෙදනා, යං වෙදෙති තං සඤ්‌ජානාති, යං සඤ්‌ජානාති තං විතක්‌කෙති, යං විතක්‌කෙති තං පපඤ්‌චෙති, යං පපඤ්‌චෙති තතොනිදානං පුරිසං පපඤ්‌චසඤ්‌ඤාසඞ්‌ඛා සමුදාචරන්‌ති අතීතානාගතපච්‌චුප්‌පන්‌නෙසු කායවිඤ්‌ඤෙය්‍යෙසු ධම්‌මෙසු”

“ඇවැත්නි, කණ ද ශබ්දයන් ද නිසා ශොත්‍රවිඥානය උපදී … ඇවැත්නි, නැහැය ද ගඳ ද නිසා ඝ්‍රාණවිඥානය උපදී … ඇවැත්නි, දිව ද රසයන් ද නිසා ජිව්හාවිඥානය උපදී … ඇවැත්නි, කය ද ස්ප්‍රෂ්ටව්‍යයන් ද නිසා කායවිඥානය උපදී … …….මේ තිදෙනාගේ එක්වීමෙන් ස්පර්ශය වෙයි. ස්පර්ශය නිසා වෙදනාව වෙයි. යමක් විඳී ද එය හඳුනයි. යමක් හඳුනා ද එය විතර්කණය කෙරෙයි. යමක් විතර්කණය කෙරේ ද එය ප්‍රපඤ්චයට පමුණුවයි. යමක් ප්‍රපඤ්චයට පමුණුවා නම් ඒ කායස්පර්ෂාදි කාරණයෙන් ප්‍රපඤ්චසංඥා කොට්ඨාසයෝ අතීතානාගතවර්තමාන වූ කයින් දතයුතු වූ ධර්මයන්හි පුරුෂයා අභිභවනය කෙරෙත්.”

ඉන් අනතුරුව මනෝද්වාරයෙහි ප්‍රපඤ්ව සිදුකෙරෙන ආකාරය දක්වයි.

මනඤ්‌චාවුසො, පටිච්‌ච ධම්‌මෙ ච උප්‌පජ්‌ජති මනොවිඤ්‌ඤාණං, තිණ්‌ණං සඞ්‌ගති ඵස්‌සො, ඵස්‌සපච්‌චයා වෙදනා, යං වෙදෙති තං සඤ්‌ජානාති, යං සඤ්‌ජානාති තං විතක්‌කෙති, යං විතක්‌කෙති තං පපඤ්‌චෙති, යං පපඤ්‌චෙති තතොනිදානං පුරිසං පපඤ්‌චසඤ්‌ඤාසඞ්‌ඛා සමුදාචරන්‌ති අතීතානාගතපච්‌චුප්‌පන්‌නෙසු මනොවිඤ්‌ඤෙය්‍යෙසු ධම්‌මෙසු

‘සිත ද ධර්‍මයන් ද නිසා මනෝවිඥානය උපදී. මේ තිදෙනාගේ එක්වීමෙන් ස්පර්ශය වෙයි. ස්පර්ශය නිසා වෙදනාව වෙයි.

මෙහි “මනං” යනු භවාංග චිත්තයයි. “ධම්මෙ” යනු කාම රූප අරූප යන ත්‍රෛභූමික පරියාපන්න වූ ධම්මාරම්මණයයි.

මනෝවිඤ්ඤාණය ආකාර 02කට පැහැදිලි වේ,

(i)  ආවර්ජනය චිත්තය මනෝ විඤ්ඤාණය ලෙස සැලකීම  

ආවර්ජන චිත්තය මනෝ විඤ්ඤාණය ලෙස සැළකූ විට ඵස්සය, වේදනාව , විතර්කය ආවර්ජන චිත්තය සමඟ සහජාත වූ ඒවා වෙත් . ප්‍රපඤ්ච ඉන් අනතුරුව උපදින ජවන සහජාත වූ එවා වේ.

 (ii) ජවන චිත්තය මනෝ විඤ්ඤාණය ලෙස සැළකූ විට ආවර්ජන චිත්තය සහ භවාංග සිත “මනෝ” නම් වේ . ඵස්ස, වේදනා, විතර්ක සහ ප්‍රපඤ්ච ජවන සහ ජාත වූ ඒවා වෙත්.

(ඡට්‌ඨද්‌වාරෙ පන මනන්‌ති භවඞ්‌ගචිත්‌තං. ධම්‌මෙති තෙභූමකධම්‌මාරම්‌මණං. මනොවිඤ්‌ඤාණන්‌ති ආවජ්‌ජනං වා ජවනං වා. ආවජ්‌ජනෙ ගහිතෙ ඵස්‌සවෙදනාසඤ්‌ඤාවිතක්‌කා ආවජ්‌ජනසහජාතා හොන්‌ති. පපඤ්‌චො ජවනසහජාතො. ජවනෙ ගහිතෙ සහාවජ්‌ජනකං භවඞ්‌ග මනො නාම හොති, තතො ඵස්‌සාදයො සබ්‌බෙපි ජවනෙන සහජාතාව.)

මනෝද්වාරයෙහි අතීත, අනාගත, වර්තමාන යන ත්‍රෛකාලික වූ සියළු දෑ අරමුණු කරමින් සිත් උපදී.  

ඉහත සූත්‍ර පාඨය මනෝද්වාරික චිත්ත වීථියකින් (පළමු නය ක්‍රමයෙන්)

‘‘සො වතාවුසො, චක්‌ඛුස්‌මිං සති රූපෙ සති චක්‌ඛුවිඤ්‌ඤාණෙ සති ඵස්‌සපඤ්‌ඤත්‌තිං පඤ්‌ඤාපෙස්‌සතීති – ඨානමෙතං විජ්‌ජති. ඵස්‌සපඤ්‌ඤත්‌තියා සති වෙදනාපඤ්‌ඤත්‌තිං පඤ්‌ඤාපෙස්‌සතීති – ඨානමෙතං විජ්‌ජති. වෙදනාපඤ්‌ඤත්‌තියා සති සඤ්‌ඤාපඤ්‌ඤත්‌තිං පඤ්‌ඤාපෙස්‌සතීති – ඨානමෙතං විජ්‌ජති. සඤ්‌ඤාපඤ්‌ඤත්‌තියා සති විතක්‌කපඤ්‌ඤත්‌තිං පඤ්‌ඤාපෙස්‌සතීති – ඨානමෙතං විජ්‌ජති.”

‘ඇවැත්නි, එකාන්තයෙන් හෙතෙමේ ඇස ඇති කල්හි රූපය ඇති කල්හි චක්ෂුර්විඥානය ඇති කල්හි ස්පර්ශ යැ යි පැනවීමක් කරන්නේ ය (උපදනේය) යන මේ කාරණය විද්‍යමාන වෙයි. ස්පර්ශ යැ යි පැනවීමක් ඇති කල්හි වෙදනා යැ යි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන වෙයි. වෙදනා යැ යි පැනවීමක් ඇති කල්හි සංඥා යැ යි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන වෙයි. සංඥා යැ යි පැනවීමක් ඇති කල්හි විතර්කයැ යි පැනවීමක් කරන්නේය යන මේ කාරණය විද්‍යමාන වේ. විතර්ක යැයි පැනවීමක් ඇති කල්හි ප්‍රපඤ්චසංඥාකොට්ඨාසයන්ගේ පැවැත්ම පිළිබඳ පැනවීමක් කරන්නේය යන මේ කාරණය විද්‍යමාන වේ.’

අර්ථකථාව නොසළකා ‘චක්‌ඛුස්‌මිං සති රූපෙ සති චක්‌ඛුවිඤ්‌ඤාණෙ සති ඵස්ස පඤ්ඤත්තිං පඤ්ඤපෙස්සති’ යන්නෙහි වචනාර්ථ පමණක් සැළකුවහොත් ‘ඇස ඇති කල්හි රූපය ඇති කල්හි චක්ෂුර්විඥානය ඇති කල්හි ස්පර්ෂය යැයි පැනවීමක් කරන්නේය’ යැයි කීමට සිදුවේ. (Counter) නමුත් මින් අදහස් කරනුයේ “ඵස්සය නම් එක් ධර්මයක් උපදීය මෙසේ ඵස්සප්‍රඥප්තියක් පනවන්නේය දක්වන්නේය” යන්නයි. (ඵස්‌සපඤ්‌ඤත්‌තිං පඤ්‌ඤපෙස්‌සතීති ඵස්‌සො නාම එකො ධම්‌මො උප්‌පජ්‌ජතීති එවං ඵස්‌සපඤ්‌ඤත්‌තිං පඤ්‌ඤපෙස්‌සති, දස්‌සෙස්‌සතීති අත්‌ථො.)

“සො වතාවුසො, සොතස්‌මිං සති සද්‌දෙ සති…පෙ.… ඝානස්‌මිං සති ගන්‌ධෙ සති…පෙ.… ජිව්‌හාය සති රසෙ සති…පෙ.… කායස්‌මිං සති ඵොට්‌ඨබ්‌බෙ සති…පෙ.… මනස්‌මිං සති ධම්‌මෙ සති මනොවිඤ්‌ඤාණෙ සති ඵස්‌සපඤ්‌ඤත්‌තිං පඤ්‌ඤාපෙස්‌සතීති – ඨානමෙතං විජ්‌ජති. ඵස්‌සපඤ්‌ඤත්‌තියා සති වෙදනාපඤ්‌ඤත්‌තිං පඤ්‌ඤාපෙස්‌සතීති – ඨානමෙතං විජ්‌ජති. වෙදනාපඤ්‌ඤත්‌තියා සති සඤ්‌ඤාපඤ්‌ඤත්‌තිං පඤ්‌ඤාපෙස්‌සතීති – ඨානමෙතං විජ්‌ජති. සඤ්‌ඤාපඤ්‌ඤත්‌තියා සති විතක්‌කපඤ්‌ඤත්‌තිං පඤ්‌ඤාපෙස්‌සතීති – ඨානමෙතං විජ්‌ජති. විතක්‌කපඤ්‌ඤත්‌තියා සති පපඤ්‌චසඤ්‌ඤාසඞ්‌ඛාසමුදාචරණපඤ්‌ඤත්‌තිං පඤ්‌ඤාපෙස්‌සතීති – ඨානමෙතං විජ්‌ජති.”

‘ඇවැත්නි, එකාන්තයෙන් හෙතෙමේ කණ ඇති කල්හි ශබ්දය ඇති කල්හි සොතවිඤ්ඤාණය ඇති කල්හි … නැහැය ඇති කල්හි ගඳ ඇති කල්හි ඝානවිඤ්ඤාණය ඇති කල්හි … දිව ඇති කල්හි රසය ඇති කල්හි ජිව්හාවිඤ්ඤාණය ඇති කල්හි … කය ඇති කල්හි ස්ප්‍රෂ්ටව්‍යය ඇති කල්හි කායවිඤ්ඤාණය ඇති කල්හි … සිත ඇති කල්හි ධර්මය ඇති කල්හි මනොවිඤ්ඤාණය ඇති කල්හි ස්පර්ශ යැ යි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන වෙයි. ස්පර්ශ යැ යි පැනවීමක් ඇති කල්හි වෙදනා යැ යි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන වෙයි. වෙදනා යැ යි පැනවීමක් ඇති කල්හි සංඥා යැ යි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන වෙයි. සංඥා යැ යි පැනවීමක් ඇති කල්හි විතර්ක යැ යි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන වෙයි. විතර්ක යැයි පැනවීමක් ඇති කල්හි ප්‍රපඤ්චසංඥාකොට්ඨාසයන්ගේ පැවැත්ම පිළිබඳ පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන වෙයි.’

ආයතන නිරෝධය

ඉහත ධර්ම පාඨවලින් අදහස් කරනුයේ සංසාර වෘත්තයයි. ආයතන ඇති කල්හි ආයතනයන්ගේ ස්වකීය කාර්යය වන සංසාරය දිගු කිරීම නොනවත්වා සිදුවේ .

මෙය ඇතිකල්හි මෙය වේ යැයි ද්වාදසආයතන වශයෙන් සංසාර වෘත්තය දක්වා ඉන් අනතුරුව ද්වාදසආයතන ප්‍රතික්ෂේප කරමින්  විවට්ටය දක්වමින් මෙසේ වදාළ සේක. (එවං ඉමස්‌මිං සති ඉදං හොතීති ද්‌වාදසායතනවසෙන සකලං වට්‌ටං දස්‌සෙත්‌වා ඉදානි ද්‌වාදසායතනපටික්‌ඛෙපවසෙන විවට්‌ටං දස්‌සෙන්‌තො සො වතාවුසො චක්‌ඛුස්‌මිං අසතීති දෙසනං ආරභි.)

‘‘සො වතාවුසො, චක්‌ඛුස්‌මිං අසති රූපෙ අසති චක්‌ඛුවිඤ්‌ඤාණෙ අසති ඵස්‌සපඤ්‌ඤත්‌තිං පඤ්‌ඤාපෙස්‌සතීති – නෙතං ඨානං විජ්‌ජති. ඵස්‌සපඤ්‌ඤත්‌තියා අසති වෙදනාපඤ්‌ඤත්‌තිං පඤ්‌ඤාපෙස්‌සතීති – නෙතං ඨානං විජ්‌ජති. වෙදනාපඤ්‌ඤත්‌තියා අසති සඤ්‌ඤාපඤ්‌ඤත්‌තිං පඤ්‌ඤාපෙස්‌සතීති – නෙතං ඨානං විජ්‌ජති. සඤ්‌ඤාපඤ්‌ඤත්‌තියා අසති විතක්‌කපඤ්‌ඤත්‌තිං පඤ්‌ඤාපෙස්‌සතීති – නෙතං ඨානං විජ්‌ජති. විතක්‌කපඤ්‌ඤත්‌තියා අසති පපඤ්‌චසඤ්‌ඤාසඞ්‌ඛාසමුදාචරණපඤ්‌ඤත්‌තිං පඤ්‌ඤාපෙස්‌සතීති – නෙතං ඨානං විජ්‌ජති.

‘ඇවැත්නි, එකාන්තයෙන් හෙතෙමේ ඇස නැති කල්හි රූපය නැති කල්හි චක්ෂුර්විඥානය නැති කල්හි ස්පර්ශ යැයි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන නො වෙයි. ස්පර්ශ යැ යි පැනවීමක් නැති කල්හි වෙදනා යැ යි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන නො වෙයි. වෙදනා යැයි පැනවීමක් නැති කල්හි සංඥා යැ යි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන නො වෙයි. සංඥා යැ යි පැනවීමක් නැති කල්හි විතර්ක යැයි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන නො වෙයි. විතර්ක යැ යි පැනවීමක් නැති කල්හි ප්‍රපඤ්චසංඥාකොට්ඨාසයන්ගේ පැවැත්ම පිළිබඳ පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන නො වෙයි.’

මෙහි ඇස නැති කල්හි රූපය නැති කල්හි චක්ෂුර්විඥානය නැති කල්හි ස්පර්ශ යැයි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන නො වෙයි යනාදී ලෙස දක්වනුයේ නිර්වාණය අවබෝධ කරගැනීම හේතුවෙන් සසර දිගුකෙරෙන චක්ඛු ආදී ආයතනවල ආයතන කෘත්‍යය නතර වීමෙන් කර්ම රැස් නොවීමයි. සසර ගමන නතර වීමයි. සර්වාකාරයෙන් ආයතන පිරිසිඳ අවබෝධ කරගත් නිසා රහතන්වහන්සේට චක්ඛු ආදිය නිසා ඵස්සය,වේදනාව,සඤ්ඤාව,විතර්කය පහළ වූවද ප්‍රපඤ්ච රැස් නොවේ. යමෙක් හුදු වචනාර්ථයෙහි පිහිටා ඇස, රූපය, චක්ඛු විඤ්ඤාණය නැති කල්හි ඵස්සාදිය නූපදී යනුවෙන් අර්ථ ගතහොත් ද නිවන් දැකීම අඳබිහිරි පුද්ගලයන් හටම සිදුවන්නක් විය යුතුය.

 “සො වතාවුසො, සොතස්‌මිං අසති සද්‌දෙ අසති…පෙ.… ඝානස්‌මිං අසති ගන්‌ධෙ අසති…පෙ.… ජිව්‌හාය අසති රසෙ අසති…පෙ.… කායස්‌මිං අසති ඵොට්‌ඨබ්‌බෙ අසති…පෙ.… මනස්‌මිං අසති ධම්‌මෙ අසති මනොවිඤ්‌ඤාණෙ අසති ඵස්‌සපඤ්‌ඤත්‌තිං පඤ්‌ඤාපෙස්‌සතීති – නෙතං ඨානං විජ්‌ජති. ඵස්‌සපඤ්‌ඤත්‌තියා අසති වෙදනාපඤ්‌ඤත්‌තිං පඤ්‌ඤාපෙස්‌සතීති – නෙතං ඨානං විජ්‌ජති. වෙදනාපඤ්‌ඤත්‌තියා අසති සඤ්‌ඤාපඤ්‌ඤත්‌තිං පඤ්‌ඤාපෙස්‌සතීති – නෙතං ඨානං විජ්‌ජති. සඤ්‌ඤාපඤ්‌ඤත්‌තියා අසති විතක්‌කපඤ්‌ඤත්‌තිං පඤ්‌ඤාපෙස්‌සතීති – නෙතං ඨානං විජ්‌ජති. විතක්‌කපඤ්‌ඤත්‌තියා අසති පපඤ්‌චසඤ්‌ඤාසඞ්‌ඛාසමුදාචරණපඤ්‌ඤත්‌තිං පඤ්‌ඤාපෙස්‌සතීති – නෙතං ඨානං විජ්‌ජති.”

“ ඇවැත්නි, එකාන්තයෙන් හෙතෙමේ කණ නැති කල්හි ශබ්දය නැති කල්හි සොතවිඤ්ඤාණය නැති කල්හි … නැහැය නැති කල්හි ගඳ නැති කල්හි ඝාන විඤ්ඤාණය නැති කල්හි … දිව නැති කල්හි රසය නැති කල්හි ජිව්හාවිඤ්ඤාණය නැති කල්හි … කය නැති කල්හි ස්ප්‍රෂ්ටව්‍යය නැති කල්හි කායවිඤ්ඤාණය නැති කල්හි … සිත නැති කල්හි ධර්ම නැති කල්හි මනොවිඤ්ඤාණය නැති කල්හි ස්පර්ශ යැ යි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන නො වෙයි. වෙදනා යැ යි පැනවීමක් නැති කල්හි සංඥා යැ යි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන නො වෙයි. සංඥා යැයි පැනවීමක් නැති කල්හි විතර්ක යැ යි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන නො වෙයි. විතර්ක යැ යි පැනවීමක් නැති කල්හි ප්‍රපඤ්චසංඥාකොට්ඨාසයන්ගේ පැවැත්ම පිළිබඳ පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන නො වෙයි.”

මෙසේ බුදුපියාණන් වහන්සේ විසින් සංක්ෂේපයෙන් දේශනා කොට වදාළා වූ ධර්මය විස්තර කොට එතැනින් නොනැවතී තම නිහතමානී ගුණය ප්‍රකට කරමින් මහකච්චායන මහරහතන් වහන්සේ මෙසේ සඟ පිරිසට ප්‍රකාශ කළහ.

“ඇවැත්නි, අපගේ භාග්‍යවතුන් වහන්සේ “මහණ, යම් කරුණෙකින් ප්‍රපඤ්චසංඥා කොට්ඨාසයෝ පුරුෂයා තුළ පවතිත් ද, ඉදින් මේ කරුණෙහි (ද්වාදශායතනයන්හි) සතුටුවිය යුත්තෙක් කියා යුත්තෙක් ගිල ගතයුත්තෙක් නැත් නම් මෙය ම (අභිනන්දනාදිය නැති බව ම) රාගානුසයයන්ගේ කෙළවර ය … මේ ද්වාදශායතනයන්හි මේ ලාමක අකුශල ධර්මයෝ නිරවශෙෂයෙන් නිරුද්ධ වෙත්” යන මේ උද්දේශයක් සැකෙවින් උදෙසා විස්තර විසින් අරුත් නො බෙදා හුනස්නෙන් නැගිට විහාරයට වැඩි සේක් ද, ඇවැත්නි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසූ විස්තර විසින් අරුත් නො බෙදූ මේ උද්දෙශයාගේ විස්තර විසින් අර්ථය මෙසේ දනිමි. ආයුෂ්මත්නි, තෙපි කැමතියව්හු නම් භාග්‍යවතුන් වහන්සේ වෙත ම එළඹ මේ අර්ථය පුළුවුස්ව. අපගේ භාග්‍යවතුන් වහන්සේ යම් සේ වදාරනසේක් නම් එය එසේ ධරව යි.”

සඟ පිරිස මහාකච්චායන මහරහතන් වහන්සේ සමඟ කල සාකච්ඡාව බුදුරජාණන් වහන්සේට සැළකල පසුව එම දේශනාවේ විශිෂ්ටත්වය අගයමින් මෙසේ වදාළහ.

‘‘පණ්‌ඩිතො, භික්‌ඛවෙ, මහාකච්‌චානො; මහාපඤ්‌ඤො, භික්‌ඛවෙ, මහාකච්‌චානො. මං චෙපි තුම්‌හෙ, භික්‌ඛවෙ, එතමත්‌ථං පටිපුච්‌ඡෙය්‍යාථ, අහම්‌පි තං එවමෙවං බ්‍යාකරෙය්‍යං යථා තං මහාකච්‌චානෙන බ්‍යාකතං. එසො චෙවෙතස්‌ස අත්‌ථො. එවඤ්‌ච  නං ධාරෙථා’’ති.”

“මහණෙනි, මහාකාත්‍යායන තෙමේ පණ්ඩිතය. මහණෙනි, මහාකාත්‍යායන තෙමේ මහනුවණැත්තේ ය. මහණෙනි, තෙපි මාගෙන් වුවත් මේ අර්ථය පිළිවිසුවහු නම් මහාකාත්‍යායනයා විසින් යම්සේ එය ප්‍රකාශ කරන ලද නම් මම ද තොපට එය එසේ ම ප්‍රකාශ කරන්නෙමි. මෙහි අර්ථය මේ ම ය. එසේ ම දරව.”

මෙසේ වදාළ කල්හි ආනන්ද හිමි භාග්‍යවතුන් වහන්සේට මෙසේ ප්‍රකාශ කළහ.

‘වහන්ස බඩසා දුබල බැවින් පෙළුණු පුරුෂයෙක් මිහිරි කිරීමට අමුතු රස නො ඉසිය යුත් මීපිඬුවක් (බදහත්වටක්) ලබා ද, හෙතෙමේ යම් යම් පසෙකින් (එය) ආස්වාදනය කෙරේ ද (ඒ ඒ පැත්තෙන්) මිහිරි රසයක් ලබන්නේ ම ය. වහන්ස එ පරිද්දෙන් ම සිතන සැහැවි ඇති පණ්ඩිත ස්වභාව ඇති මහණෙක් යම් යම් ලෙසෙකින් මේ ධර්මදෙශනාවගෙ අර්ථය නුවණින් පරීක්ෂා කරන්නේ ද ඒ ඒ ලෙසින් සතුටුබව ලබන්නේ ම ය සිතේ පැහැදී ම ලබන්නේ ම ය වහන්ස, මේ ධර්මපර්යාය ය කිනම් ඇත්තේ ද? ආනන්දය, එසේ නම් තෝ මෙහි ලා මේ ධර්මදෙශනාව මධුපිණ්ඩිකපර්යාය යැ යි දරව යි වදාළ සේක.’

මෙම සූත්‍රයට මධුපිණ්ඩික සූත්‍රය යන නම ලැබුනේ ආනන්ද ස්වාමින්වහන්සේගේ ඉහත ප්‍රකාශය හේතුවෙනි.