සොවාන් ආදී මාර්ගඵල වනාහි ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් තම තම සිත්වල පහළ කර ගත යුත්තක් මිස යම් ත්‍යාගයක් ප්‍රධානය කරන්නාක් මෙන් තව කෙනෙකුට එය ලබාදිය නොහැක. මෙහිදී ඇති වන ගැටළුව නම් මාර්ගඵල ලාභීන් හඳුනාගන්නේ කෙසේද යන්නයි. අතීතයෙහි සිටි රජ දරුවන් පවා තම තමන්ගේ පුහුදුන් භාවයෙහි සිට මෙවැනි මාර්ගඵල ලාභී උතුමන් වහන්සේලා‌‌ගේ මාර්ගඵල පරීක්ෂණයට භාජනය කිරීමට පෙළඹුණි.

සද්ධාතිස්ස මහ රජතුමා, “ස්වාමීනී, මා විසින් වැඳිය යුතු එක් ආර්යයන් වහන්සේ නමක් පවසන්ට” යැයි භික්ෂූන් වහන්සෙලාගෙන් විමසීය.  

“මංගලවාසී කුට්ටතිස්ස තෙරුන් වහන්සේ” යැයි භික්ෂූහු පැවසූහ. රජතුමා මහා පිරිවර සමඟ පස්යොදුන් මඟ කුට්ටතිස්ස තෙරුන් වහන්සේ බැහැ දැකීමට ගියේය.

තෙරුන් වහන්සේ යම් ශබ්දයක් අසා එම ශබ්දය කුමක්දැයි විමසීය. තෙරුන් වහන්සේ බැහැ දැකීමට රජතුමා පැමිණ ඇති බව දැනුම් දුන්නේය. මට මහළු කළ රජගෙදර කවර නම් කර්මයක් සිදුකිරීමට දැයි සිතා තෙරුන් වහන්සේ දිවා ස්ථානයෙහි හැඳක සැතපී බිම ඉරි අඳිමින් හුන්නේය. රජතුමා තෙරුන් වන්සේ ඇති ස්ථානය අසා එතැනට ගොස් තෙරුන් වහන්සේ බිම ඉරි අඳිනු අයුරු දැක “ඛීණාසවයන් වහන්සේලාට හස්ත විකාර ආදිය නැත, මෙම භික්ෂුව ඛීණාසවයන් වහන්සේ නමක් නොවේ” යැයි සිතා නොවැඳම පිටත් විය.

මෙම කුට්ටතිස්ස තෙරුන් වහන්සේ රටෙහි භාරකාරත්වය දරන තැනැත්තා වුවද තමා සමීපයට පැමිණ තමන් හා කුලුපගු වී තමන් වහන්සේගේ විවේකයට බාධා සිද්ධ වීමක් වේය යන සැකය මත රජු අපැහැදෙන ආකාරයට කටයුතු කළේය. රජු තමන් වහන්සේ කෙරෙහි පැහැදුනි නම් නිරන්තරයෙන් විහාරස්ථානයට පැමිණීමත් නිතර රාජමහාමාත්‍යාදීන් සමඟ කටයුතු කරන්නට සිදුවේ. එමගින් තමන් වහන්සේටත් අන්තේවාසිකයන්ටත් මහත් පීඩාවක් වන නිසා මෙසේ හැසිරීම මත දෙපක්ෂයටම ගුණ පුරාගැනීමට ඉඩහසර ලැබිණි.

අන් භික්ෂූහු මෙසේ පැහැදීම් ඇති සද්ධා සම්පන්න රජු කුමකට විපිළිසර කළාහුදැයි තෙරුන් වහන්සේගෙන් විමසූහ. රජුගේ ප්‍රසාදය රුකීම නුඹලාට නොව තමන් වහන්සේට අදාල කටයුත්තක් යැයි තෙරුන් වහන්සේ පැවසීය.

පසුකලෙක අනුපාදිසේස පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවෙන්නා වූ තෙරුන් වහන්සේ තමන් වහන්සේගේ කූටාගාරයෙහි පල්ලංකයක් තබන ලෙසට භික්ෂු සංඝයාට නියම කළේය. එය ඇතිරූ කල්හි මෙම කූටාගාරය රජු විසින් දුටු කාලයෙහිම අන්තරීක්ෂයෙහි නොපිහිටා භූමියට පතිත වෙවා යැයි අධිෂ්ඨාන කොට පිරිණිවන් පෑසේක. කූටාගාරය පස්යොදුනක් ආකාසයෙන් ගමන් කළේය. පස්යොදුනතරෙහි ධජ දැරීමට සමත් වෘක්ෂයෝ ධජ එසවූවාක් මෙන් සිටියහ. පඳුරු ද ලැහැබ් ද කූටාගාරයට අභිමුඛව සිටියහ.

රජුට කුට්ටතිස්ස තෙරුන් වහන්සේ පිරිනිවන් පෑ බවත් කූටාගාරය අහසින් ගමන් කරන බවත් දන්වා පණිවිඩයක් යැවීය. රජතුමා එය විශ්වාස නොකළේය. කූටාගාරය අහසින් ගමන්කොට ථූපාරාමය ප්‍රදක්ෂිණා කොට සිලාචේතිය ස්ථානයට ගියේය. චේතිය සමඟ පූජා වස්තු අහසට පැන නැඟ කූටාගාර මස්තකයෙහි පිහිටි පසු සාධුකාර දහසක් පැවැත්වූහ.

ඒ ක්ෂණයෙහි ලෝවාමහා ප්‍රාසාදයෙහි සත්වැනි කූටාගාරයෙහි සිටි භික්ෂූන් වහන්සේලාගේ විනය කර්මයක් කරමින් සිටි මහාබ්‍යග්ඝ තෙරුන් වහන්සේ ඒ ශබ්දය අසා එම ශබ්දය කුමක්දැයි විමසුවේය. ස්වාමීණී, පිරිනිවන් පෑ වදාල මංගල වාසී තෙරුන් වහන්සේගේ කූටාගාරය පස්යොදුනක් ආකාසයෙන් පැමිණියේය, ඒ සඳහා දුන් සාධුකාරයය යැයි භික්ෂූහු පැවසූහ.

ඇවැත්නි, පින්වතුන් වහන්සේලා නිසාවෙන් අපිත් සත්කාර ලැබෙන්නෙමුයි අන්තේවාසිකයන් සමාකරවාගෙන ආකාසයෙන්ම පැමිණ එම කූටාගාරයට පිවිස දෙවැනි සයනයෙහි අනුපාදිසේස පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවි පෑ සේක. රජතුමා මල්, සුවඳ, සුණු රැගෙන ගොස් ආකාසයෙහි සිටියා වූ කූටාගාරය දැක එයට පූජා කළේය. ඒ ක්ෂණයෙහි කූටාගාරය පොළවෙහි පිහිටියේය. රජතුමා මහා සත්කාර සහිතව සියළු සරීර කෘත්‍යයන් සිදු කරවවා ධාතූන් වහන්සේලා ගෙන චෛත්‍යයක් කළේය.

මෙබඳු කථා ප්‍රවෘත්තිවලින් රහතන් වහන්සේලාගේ ගුණ කදම්බය විදහා දැක්වේ. පුහුදුන් තැනැත්තන් එතුමන්ලාගේ මාර්ගඵල ආදිය නිර්ණය කිරීම කෙතරම් දුර්වල උත්සාහයක්දැයි පෙනේ. රහතන් වහන්සේ නමක් තම මාර්ගඵල ආදිය ප්‍රකට නොකරන හෙයින් ඒවා හඳුනාගැනීමට අපහසුය. එහෙත් එවැනි උතුමන් වහන්සේලා එවැනි මාර්ග ඵලයන් ලෝකයාට විදහා දක්වනුයේ පෙරළා කිසිදු ආමිස ලාභයක් අපේක්ෂා නොකරමිනි. 

 

සූත්‍ර පිටකය අංගුත්තර නිකාය අට්ඨකථා ඇසුරිණි

සම්පාදක පූජාපිටියේ සුරිය රතන හිමි