වස්සානය ආරම්භ වන්නේ ඇසළ මස පුර පසළොස්වක දිනයෙන් වේ. ඇසළ මස පුරපසළොස්වක දින පටන් ඉල් මස පුර පසළොස්වක දින දක්වා වස්සාන ඍතුව පවතී. ඉන් පළමු තුන් මස බුදුසසුනේ භික්ෂූන් වහන්සේලා වස් එළඹ වාසය කරන කාලය වේ. එම කාලය තුළ උපසම්පදා භික්ෂූන් වහන්සේ නමක් අතිරේක සිකපද කිහිපයකට යටත් වේ. ඒ අනුව වර්ෂයේ සෙසු කාල පරිච්ඡේදය තුළ නිති ආරක්ෂා කරන සිකපදයනට අමතරව අතිරේක වශයෙන් ශීලයක් ආරක්ෂා කරන කාලයක් ලෙස වස්සානය හැඳින්විය හැකි වේ.

බුදුරජාණන් වහන්සේ පළමු රහත් සැට නම ධර්ම දූත සේවයේ පිටත් කර හැරීමේ දී කරන ලද අවවාදය වූයේ

‘චරථ භික්ඛවෙ, චාරිකං බහුජන හිතාය, බහුජන සුඛාය ලොකානුකම්‌පාය අත්‌ථාය හිතාය සුඛාය දෙවමනුස්‌සානං’ යනුවෙනි. එනම් බොහෝ ජනයාට හිත සුව පිණිස, ලෝක සත්වයාට අනුකම්පාව පිණිස දෙව් මිනිසුන්ගේ හිත සුව පිණිස චාරිකාවේ හැසිරෙන ලෙසයි. බුදුරජාණන් වහන්සේ ද භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන තුරිතචාරිකා, අතුරිතචාරිකා ලෙස නිතර චාරිකාවේ හැසිරෙමින් දහම් දෙසූ සේක. දුර සිටිනා වූ ද කිසියම් සත්‍යාවබෝධ කළහැකි පුද්ගලයකු දකින බුදුරජාණන් වහන්සේ වහ වහා වැඩම කිරීම තුරිතචාරිකාව නම් වේ. මහා කාශ්‍යප ස්වාමින් වහන්සේට පෙරගමන් කිරීම වැනි වැඩම කිරීමකි. ගම් නියම්ගම් පිළිවෙලින් දිනපතා යොදුන දෙක පිණ්ඩපාත චර්යාවාදියෙහි යෙදෙමින් ලෝකයාට අනුග්‍රහ කරමින් වැඩම කිරීම අතුරිතචාරිකාව නම් වේ. බුදුරජාණන් වහන්සේ අතුරිතචාරිකාවේ වැඩම කිරීමේ දී භික්ෂූන් වහන්සේ ද ඒ සමඟ වැඩම කළහ. එබැවින් ඇවිදින්නවුන් අතර භික්ෂූන් වහන්සේලා ශ්‍රේෂ්ඨ බව ‘සඞ්ඝො පවජමානානං’ යැයි වදාළ සේක.

එසේ ලෝකසත්වයාට හිත සුව පිණිස භික්ෂූන් වහන්සේලා නිතර චාරිකාවේ හැසුරුණද බුදුරජාණන් වහන්සේ වස්සානයේ පළමු තුන්මස පමණක් චාරිකාවේ හැසිරීම නොකළයුතු බවත්, ස්වකීය සෙනසුනට වී විවේකසුවයෙන් වාසය කළයුතු බවත් වදාළ සේක. දඹදිව මධ්‍ය දේශයේ වස්සාන ඍතුවේ විශාල වශයෙන් වර්ෂාපතනය ඇති බැවින් මාර්ග වැස්සෙන් තෙමී, ගව කුර වලින් මැඩී, මඩ ගොහොරු බවට පත්වේ. එබැවින් වස්සාන සමයේ චාරිකාවේ හැසිරීම ඉතාම අපහසු වේ. එම කාලයට කුරුල්ලන් පවා කැදලි වලින් පිටතට නොපැමිණ වාසය කරන බව සඳහන් වේ. වස් විසීම අනුදැනීමට පෙර භික්ෂූන් වහන්සේලා මෙම කාලයේ ද චාරිකාවේ හැසිරීම සිදු කළ අතර අන්‍ය තීර්ථකයන් චාරිකාවේ හැසිරීමෙන් වැළකී සිටියහ. එබැවින් මිනිස්සු ‘ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ කුස පුරවා ගැනීමේ හේතුවෙන් ළා තණ පාගමින්, කුඩා ප්‍රාණීන් පාගා මරමින් වස්සානයේ ද චාරිකාවේ හැසිරෙති’ යැයි භික්ෂූන් වහන්සේලාගේ නුගුණ කියන්නට වූහ. මේ හේතුවෙන් බුදුරජාණන් වහන්සේ වස්සානයේ චාරිකාවේ හැසිරීම නොකළ යුතු බවත්, වස් එළඹ වාසය කළ යුතු බවත්

‘අනුජානාමි භික්ඛවෙ, වස්සානෙ වස්සං උපගන්තුං’

යැයි පනවා වදාළ සේක. ඒ අනුව සෑම උපසපන් භික්ෂුවක් ම වස්සානයේ වස් එළඹ වාසය කළයුතු වේ. එසේ නොකළහොත් සිකපදයක් බිඳේ. ඒ පිළිබඳ පැනවීම් සියල්ල විනය පිටකයේ මහාවග්ගපාලි වස්සූපනායික ඛන්ධකයේ දැක්වේ.

මෙම කාලය භික්ෂූන් වහන්සේලාට කිසියම් සෙනසුනක වස් එළඹ, ස්වකීය විවේකයෙන් බණ භාවනා කටයුතු කරගත හැකි කාලයක් වේ. බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ බොහෝ භික්ෂූන් වහන්සේලා වස්සාන සමයේ බුදුරජාණන් වහන්සේ වෙතින් විශේෂයෙන් කමටහනක් අසා දැනගෙන භාවනා කර මගපල නිවන් පසක් කරගත් බව සඳහන් වේ. භික්ෂූන් වහන්සේලාට විශේෂයෙන් ගුණ දහම් පිරීමේ කාලයක් පමණක් නොව මෙම කාලය ගිහි පින්වතුන්ට ද ගුණ දහම් පිරීමට කාලයක් බවට පත් වේ. වස්සානයේ වස් එළඹෙන ස්වාමින් වහන්සේලා විෂයෙහි ඇප උපස්ථාන කරගනිමින් අපමණ පුණ්‍යලාභයන් අත්පත් කරගතහැකි කාලයක් වේ. බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ එසේ වස් එළඹි ස්වාමින් වහන්සේලාට උපස්ථාන කරගෙන, එපමණක් ද නොව තමනුත් විශේෂයෙන් ගුණදහම් පුරාගෙන නිවන් පසක් කරගත් පුද්ගලයන් පිළිබඳව ත්‍රිපිටකයේ සඳහන් වේ.

කොසොල් රට කිසියම් පර්වතයක් පාමුල මාතිකග්‍රාමය නම් ගමක් ඇති අතර බුදුරජාණන් වහන්සේ වෙතින් අරිහත්වය දක්වා කමටහන් උගත් භික්‍ෂූහු සැට නමක් වස් එළඹීමට සුදුසු පහසු ස්ථානයක් සොයමින් එම ගමට පිඬුසිඟා වැඩියහ. එහි ගම් ප්‍රධානියා මාතික නම් වන අතර ඔහුගේ මව (මාතිකා මාතාව) මෙම භික්‍ෂූන් වහන්සේලාට නොයෙක් රස ඇති කැඳ, බත් ආදී පිණ්ඩපාත දානය පිළිගන්වා කොතැනකට වඩින්නේදැයි විමසා බලා වස් වාසයට සුදුසු තැනක් සොයන බව දැනගෙන එම ගමේ වස් එළඹීමට ඇරයුම් කළාය. එම ආරාධනය පිළිගෙන එහි වස් එළඹි භික්‍ෂූන් වහන්සේලාට සුදුසු සෙනසුන් පහසුකම් ලැබුණු අතර ඔවුහු එක් රැස්ව අප්‍රමාදීව ගුණධර්ම පිරීමට අවවාද කරගත්හ. අනවශ්‍ය ලෙස දෙදෙනෙක් එක්ව නොවිසීමටත්, උදෑසන පිණ්ඩපාත වේලාවේ සහ සවස තෙරුන් වහන්සේට උවටැන් කරන වේලාවේ හැර අන් සියලු වේලාවන්හි තනි තනිව ගුණ ධර්ම පිරීමටත් කතිකා කරගත්හ. දිනක් මාතිකා මාතාව සවස්කාලයේ දැසිදැස්සන් ද සමඟ ගිතෙල් ආදී ගිලන්පසද රැගෙන සෙනසුන වෙත ගොස් භික්‍ෂූන් නොදැක ඔවුන් එකිනෙකා කලහයක් ඇතිකරගෙන අමනාප වී දැයි සැක උපදවා ගෙඩිය හැඬවූවාය. එවිට රැස්වූ භික්‍ෂූන්ගෙන් කරුණු විමසා බලා තමතමන්ගේ කුටි සෙනසුන් වල හිඳ කුමක් කරන්නේදැයි විමසූ කළ ‘මහාඋපාසිකාවෙනි, එකිනෙක තැන්හි හිඳ මහණදම් පුරමු’ යැයි කීහ. ‘මහණදම් පිරීම යනු කුමක්දැ’යි උපාසිකාව විමසූ අතර ‘ද්වත්තිංසාකාරය සජ්ඣායනය කරමු. ආත්මභාවයෙහි ඇතිවීම නැතිවීම බලමු’ යැයි පිළිතුරු දුන්හ. එවිට එම උපාසිකාව ‘එය අපට සුදුසු නොවේ දැ’යි විමසා ස්වාමින් වහන්සේලාගෙන් උපදෙස් ගෙන ඒ ස්වාමින් වහන්සේලාටත් පළමුව මගපල නිවන් පසක් කරගත්තාය. එබැවින් වස්සානය යනු භික්ෂූන් වහන්සේලාට පමණක් විශේෂ කාල පරිච්ඡේදයක් නොව ගිහි පින්වතුන්ට ද විශේෂයෙන් ගුණදහම් පුරාගැනීමට සුදුසු කාලයක් වේ.

වස්සාන ඍතුව ආරම්භ වන විට ඇසල පුන්පොහෝ දින චාතුම්මහාරාජික, තාවතිංස දෙදෙව්ලොව දෙවි වරු සුධර්මා දිව්‍යසභාවට රැස් වෙති. සෙට දින භික්ෂූන් වහන්සේලා වස් සමාදන් වන්නේ යැයි එකිනෙක විහාරස්ථානය පිළිබඳව සොයා බලන අතර ‘අසවල් විහාරස්ථානයේ මෙපමණ භික්ෂු පිරිසක් වස් එළඹෙති. අසවල් විහාරස්ථානයේ මෙපමණ පිරිසක්’ යැයි වස් එළඹෙන භික්ෂූන් පිළිබඳ ගණන සුධර්මා දිව්‍ය සභාවේ සාකච්ඡාවට බඳුන් වේ. අනතුරුව එකිනෙක විහාරස්ථානයට ප්‍රමාණවත් පරිදි දිව්‍යතා මණ්ඩලයේ රැකවරණයන් සංවිධාන කරති. එබැවින් වස් එළඹීම යනු බුදුසසුනේ විශේෂ කටයුත්තක් වේ. වස් එළඹීමෙන් පමණක් නොව වස්සානය තුළ ගුණදහම් පිරීමෙන් ද වඩාත් සුවිශේෂී වේ. අංගුත්තර තික නිපාතයේ ලෝකානුවිචරණ සූත්‍රයේ සඳහන් අන්දමට මිනිස් ලොව මව්පියන්ට උවටැන් කරන, මහණ බමුණන්ට වැඳුම් පිදුම් කරන, රහතන් වහන්සේලා පුදන, පෙහෙවස් සමාදන් වන පුද්ගලයන් පිළිබඳව සතරවරම් දෙවිවරු සහ සිය ඇමතිපිරිස නිතර සොයා බලති. ඔවුන්ගේ නම්ගොත් රන්පත් වල ලියා තබති. වස්සාන සමයේ විශේෂයෙන් සෙනසුන් පිළිබඳව දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබෙන බැවින් ඒ වස් එළඹි භික්ෂූන් වහන්සේලා ඇසුරු කරගෙන ගුණදහම් පුරන ගිහි පින්වතුන් පිළිබඳව ද විශේෂයෙන් දෙවිවරුන්ගේ අවධානය යොමු වේ.

මේ අනුව කිසියම් සෙනසුනක වස් එළඹි ස්වාමින් වහන්සේ නමක් ඇසුරු කරගෙන ගුණදහම් පිරීම ගිහි උවැසි උවැසියන් විසින් සිදු කළයුතු වේ. වස්සානයේ දී සෙසු කාලයන්ට අමතරව සිකපද ආරක්ෂා කිරීමක් සිදු වන බැවින් වඩාත් සිල්වත් භික්ෂුවකට උවටැන් කර ගැනීමේ අවකාශය ලැබේ. එසේම වස්සානයේ ස්වාමින් වහන්සේලා විශේෂයෙන් සමථ විදර්ශනා භාවනාවන්හි නියැලෙන බැවින් උන්වහන්සේලා විෂයෙහි කරගනු ලබන උපස්ථානය මහත්ඵල මහානිසංස වේ. එබැවින් දිනපතා නොහැකි නම් දින කිහිපයකට වරක් හෝ අවම වශයෙන් සතියකට වරක් හෝ විහාරස්ථානයට ගොස් වත්පිළිවෙත් කිරීම්, බුද්ධෝපස්ථාන, සංඝෝපස්ථාන කිරීම් වශයෙන් ගුණදහම් පුරාගත යුතු වේ. හැකි නම් මාසයේ පොහොය දින සතරටම හෝ නැතිනම් පොහොය දින දෙකක් හෝ පෙහෙවස් සමාදන්ව ආරක්ෂා කරගනිමින් ගුණදහම් පුරාගත යුතු වේ. ස්වාමින් වහන්සේ නමක් වෙතින් විශේෂයෙන් සමථ විදර්ශනා කර්මස්ථානයක් අසා දැනගෙන හැකි හැකි අයුරින් භාවනා කිරීමෙන් ඉතා ඉක්මනින් මගපල නිවන් සාක්ෂාත් කරගැනීමට උනන්දු විය යුතුය.

එබැවින් වස්සානය යනු ගිහි පැවිදි දෙපිරිසටම ගුණ දහම් පුරාගත හැකි කාල පරිච්ඡේදයක් බවට පත් වේ. එම කාලය අප්‍රමාදීව කුසල් දහම් පුරාගැනීමේ නියැලී, ලැබගත් බුදු සසුන ඉක්මයා නොදී මගපල නිවන් සාක්ෂාත් කරගැනීමට සත්පුරුෂ සියල්ලෝම පෙළගැසෙත්වා…!!!

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී

පූජ්‍ය මහව ඤාණාලෝක හිමි