සසර සැරිසරන සත්වයින් මනුලොව, දෙව්ලොව, බඹලොව ආදී සුගතියෙහිද නිරය ආදී දුගතියෙහිද ඉපදෙමින් මරණයට පත්වේ. ඒ අයුරින් දිව්‍ය ලෝකවල සැපසම්පත් අනුභව කරන අනේකවිධ දෙවි දේවතාවනුත් ඇත. ඒ අයුරින් තමාට අභිමත සම්පත් නිර්මාණය කොට එහි ඇලී අනේක සැප විඳිනා දෙවිවරු “නිම්මානරතී නම් දෙව්ලොව” උපත ලබයි.

නිම්මානෙ රති එතෙසන්ති නිම්මාණරතිනො” චිත්තානුරූපව තමා විසින් මවන ලද දෙව්සිරි සම්පත්හි ඇලීම මේ දෙවියන්ට ඇත්තේ හෙයින් නිම්මානරතී නම් වේ. මෙලෙස අධික සැප සම්පත් සහිතව වාසය කිරීමට මෙම දෙවියන්ට වාසනාව උදාවී ඇත.

භාග්‍යවත් බුදු රජාණන්වහන්සේ කොසඹෑනුවර ඝෝෂිතාරාමයේ  වැඩ වසන සමයෙක්හි, අනුරුද්ධ මහා තෙරුන් වහන්සේ දිවා විහරණයෙන් වැඩවසන වෙලාවක, පූර්වයෙහි තමන් වහන්සේ සක්විති රජකම් කළ භවයෙක්හි භාර්‍යාවරුව සිට දෙව්ලොව උපත ලබාසිටි දේවතාවියන් සමූහයක් තෙරුන් වහන්සේ ඉදිරියෙහි පහල විය. එතනට සපැමිණි දේවතාවියෝ තෙරුන් වහන්සේට වැඳ පසෙකට වූහ. පසෙක සිටි දේවතාවියෝ

වහන්ස, අපි යම්බඳු නෙත් විකසිත කරවන සුළු වර්ණයක් කැමතිවෙත් නම් සැණෙකින් ඒ වර්ණය ලබන්නෙමු. වහන්ස, අපි යම්බඳු මිහිරි වූත් කන්කළු වූත් ස්වරයක් කැමතිවෙත් නම් ඒ ස්වරය සැණෙකින් ලබන්නෙමු. වහන්ස, අපි යම්බඳු ප්‍රණීත වූ සුඛයක් කැමතිවෙත් නම් සැණෙකින් ඒ සුඛය ලබන්නෙමු.” යැයි ප්‍රකාශ කලහ.

            මෙය අදහා ගැනීමට අපහසු කරුණකි. ඉක්බිති අනුරුද්ධ තෙරුන් වහන්සේට මේ, සියලු දේවතාවියෝ නිල් පැහැති වූවෝ වෙත් නම් මැනව යැයි සිත් විය. එවිට සියලු දෙවතාවියෝ නීලාලඞ්කාර විය. ඉන්පසු මේ දෙවතාවියෝ රන්වන් පැහැ (කහ) වූවෝ වෙත් නම් මැනව යැයි සිතක් පහල විය. එවිටද සියලු දෙවතාවියෝ පීතාලඞ්කාර විය. ඉන්පසු මේ දෙවතාවියෝ රතුපැහැ වූවෝ වෙත් නම් යැයි සිතක් පහල විය. එවිටද සියලු දෙවතාවියෝ රක්තවර්ණාලඞ්කාර විය. ඉන් අනතුරුව මේ දෙවතාවියෝ සුදු පැහැ වූවෝ වෙත් නම් යැයි සිතක් පහළ විය. එවිටද සියලුම දෙවතාවියෝ ඕදාතාලඞ්කාර විය.

            ඉන්පසු එක් දේවතාවියක් සිත මනබඳනා අයුරින් ගීත ගැයුවාය. තවත් දේවතාවියක් තම රැගුම් කෞෂල්‍යය එළිදැක්වූවාය. එක් දේවතාවියක් වාදනයේ අඩුවැඩිකම දැක්වීමට පූර්වවාදනයක් කලාය. වාදනයෙහි දක්ෂවූවන් විසින් දිව්‍යමය ආතත, විතත, විතතාත, ඝන, සුසිර යන වාද්‍ය භාණ්ඩයන්ගෙන් ගුවන සැරසූහ. එසේ හෙයින් එම ස්ථානය දිව්‍ය කලා මණ්ඩයපයක අසිරි ගත්තේය.

එවිට අනුරුද්ධ මහතෙරුන් වහන්සේ තම නෙත් යුගල එම දර්ශනයෙන් මුදා බිමට යොමු කළ සේක. මේ ක්‍රියාවනට තෙරුන්වහන්සේ නොසතුටු බව දත් දෙවතාවියෝ එහිම අතුරුදහන් වූහ. ඉනික්බිති සන්ධ්‍යාවේ අනුරුද්ධ මහතෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ බැහැ දැක මෙම පුවත දන්වා වදාළේය.

ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මා අද දිවා විහරණයෙහි යෙදෙන මොහොතේ දෙවතාවියෝ පිරිසක් පැමිණ ඔවුන් සතු සුවිශේෂී කරුණු තුනක් කියා සිටියේය. යම්බඳු පැහැයක් කැමති නම් එම පැහැය සැණෙකින් ලබන්නටත්, යම්බඳු ස්වරයක් කැමති නම් එම ස්වරය සැණෙකින් ලබන්නටත්, යම්බඳු සැපයක් කැමැති එම සැපය සැණෙකින් ලබන්නටත් පුළුවන් බව ඒ දෙවතාවියෝ මට දන්වා සිටියහ.

භාග්‍යවතුන් වහන්ස, එපමණකුත් නොව මා ඒ සියලු දෙවතාවියෝ නිල් පැහැ වුනි නම් මැනව යැයි සිතූ සැණෙකින් ඔවුහු සියල්ලෝම නීලාලඬකාර වූහ. එසේම පීතාලඞ්කාර වීමත්, රක්තාලඞ්කාර වීමත්, ඕදාතාලඞ්කාර වීමත් සිදු වූහ. මෙය මහා ආශ්චර්යෙක. භාග්‍යවතුන් වහන්ස, ඉන්පසු එක දේවතාවියක් ගීත ගයන්නටත්, තවත් දේවතාවියක් රැඟුම් පාන්නටත්, එක් දේවතාවියක් පූර්ව වාදනයට සහය දීමටත්, වැයීමෙහි දක්ෂ වූවහු ගුවන නින්නාද කරන්නටත් පටන් ගත්හ.

ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මෙසේ මනාපකායික දේව නිකායෙහි ඉපැත්මට හේතු මොනවාදැ” යි මහා තෙරණුවෝ බුදුරජාණන් වහන්සේගෙන් විමසුවේය. එවිට භාග්‍යවතුන් වහන්සේ,

(1)  අනුරුද්ධයෙනි, මේ ලෝකයෙහි හිත කැමති දෙමව්පියන් විසින් තම දියණිය යම් ස්වාමියෙකුට පවරා දෙයි නම්, ඒ භාර්යා තෙමේ තම ස්වාමියාට පෙර අලුයම අවදි වේද එමෙන්ම පසුව නින්දට වැටෙයිද එම භාර්යාව මනාපකායික දේව නිකායට පත් වේ.

(2) අනුරුද්ධයෙනි, ස්වාමියාට ගරු කරන, මව, පියා, මහණුන් ආදීන් හට, භාර්යාවද ගරු කරන්නේ නම් උවටැන් කරන්නේ නම් ඒ භාර්යාව මනාපකායික දේව නිකායට පත් වේ.

(3) අනුරුද්ධයෙනි, ස්වාමියාගේ යම් අභ්‍යන්තර කර්මාන්තයක් වේ නම් එම කර්මාන්තයේ දක්ෂව, අනලස්ව, උපායේ දක්ෂව කටයුතු කරනා ඒ භාර්යාව මනාපකායික දේව නිකායට පත් වේ.

(4) අනුරුද්ධයෙනි, ස්වාමියාගේ යම් මෙහෙකරුවෝ කම්කරුවෝ වෙත් නම් ඔවුන් කල නොකල දෑ පිළිබඳව, ඔවුන්ගේ ගිලන් අගිලන් බව ඔවුන්ගේ ආහාර පාන පිළිබඳ සොයා බලන්නාවූ භාර්යාව මනාපකායික දේව නිකායට පත් වේ.

(5) අනුරුද්ධයෙනි, ස්වාමියා සතු යම් ධනයක් වේවා, ධාන්‍යක් ආදී යමක් වේ නම් ඒවා නිසි පරිදි රක්ෂණ ගෝපනාදිය සිදු කරන ඒවා විනාශ නොකරන භාර්යාව මනාපකායික දේව නිකායට පත් වේ.

(6) අනුරුද්ධයෙනි, යම් භාර්යාවක් තුණුරුවන් සරණ ගියේ නම් ඒ උපාසිකාව මනාපකායික දේව නිකායට පත් වේ.

(7) අනුරුද්ධයෙනි, යම් භාර්යාවක් පන්සිල්හි මනාව හික්මේද ඒ සීලවන්තිය මනාපකායික දේව නිකායට පත් වේ.

(8) එමෙන්ම අනුරුද්ධයෙනි, යම් භාර්යාවක් මසුරු මල නැත්තී ත්‍යාගවන්තවන්නීද දාන සංවිධානයේ ඇලුණේ වන්නීද ඒ භාර්යාව මනාපකායික දේව නිකායට පත් වේ.

යැයි මෙකී කරුණු අට වදාලහ. මෙකී කරුණු දත් අනුරුද්ධ මහතෙරුන් වහන්සේ බොහෝ සෙයින් සතුටු විය.

එබැවින් අපද මෙම කරුණු දියුණු කරවාගෙන ලෞකික ජීවිතය සාර්ථක කරගෙන මනාපකායික දේවනිකායෙන් (නිමමාණරතී දෙව්ලොව) නොනැවතී ඝෝර කටුක සසරෙන් එතෙර වීමට ලෝකෝත්තර ධර්මයන්ද දියුණු කරගෙන මෙලොව පරලොව දෙලොව ජයගන්නට උත්සුක වේවා යැයි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු.

කොටුගොඩ නන්ද සීල හිමි

අනුරුද්ධමනාපකායික සූත්‍රය අංගුත්තර නිකාය

මනෝරථපූරණී අර්ථකතාව ඇසුරින්