මහා සතිපට්ඨාන සූත්‍රය සියලු බුදු රජාණන් වහන්සේලා අත නොහැර දේශනා කරන්නා වූ සූත්‍රයකි. භාග්‍යවතුන් වහන්සේ එම සූත්‍ර දේශනාව කලේ කුරුවැසියන් හටය. උතු සප්පාය ආදිය ලැබීමෙන් භාවනාවට උපකාර වන කාය සුඛයකින් පසුවූ ඔවුහු ප්‍රකෘතියෙන්ම සතිපට්ඨාන භාවනා මනසිකාරයකින් පසුවන්නෝ වූහ. එරට වාසය කළ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා පිරිස පමණක් නොව තිරිසන් සතුන්ද සතිපට්ඨාන භාවනාව වැඩූහ. මේ ඒ පිළිබඳව දැක්වෙන කථා පුවෘත්තියකි.

එක් නාටකයෙක් ගිරවෙකු ගෙන ඒ ගිරවා හික්මවමින් වාසය කළේය. ඔහු භික්ෂුණී ආරාමයක් අසළ වාසයට ගොස් එතැනින් නික්ම යන විට එම ගිරා පැටවා අමතක වී තබා ගියේය. භික්ෂුණී ආරාමයේ වාසය කළ සාමණේරී පිරිස එම ගිරවා ගෙන කවා පොවා හදා වඩා ගත්හ. එම ගිරවා හට ‘බුද්ධ රක්ඛිත තිස්ස’ යැයි නමක්ද දුන්හ. එක් දිනයකදී තමා ඉදිරිපිට සිටි ගිරවා දුටු භික්ෂුණී ආරාමයේ මහා තෙරණිය ‘බුද්ධ රක්ඛිත’ යැයි ගිරවා ආමන්ත්‍රණය කළාය.

‘ආර්යාවෙනි, කිමෙක් ද ?’ යැයි ගිරවා ඇසුවේය. “බුද්ධ රක්ඛිත නුඹට කිසියම් භාවනා මනසිකාරයක් තිබේද?” යැයි තෙරණිය ඇසූ විට ‘නැත’ යැයි ගිරවා පිළිතුරු දුන්නේය.

‘ඇවැත්නි පැවිද්දන්ගේ සමීපයෙහි වසන්නහු විසින් යෝනිසෝමනසිකාරයෙන් තොරව වාසය කිරීමට නුසුදුසුය. කිසියම් මනසිකාරයක් පුහුණු කළ යුතුය නුඹට අන් කිසි දෙයක් කිරීමට නොහැකිය “අට්ඨි අට්ඨි” (ඇටසැකිල්ලක්, ඇටසැකිල්ලක්) යැයි සජ්ඣායනය කරාවා’ යැයි තෙරණිය උපදෙස් දුන්නාය. එම අවවාදයෙහි පිහිටි ගිරා පැටියා “අට්ඨි අට්ඨි” යැයි කියමින් හැසිරුණේය.

එක් දිනක් උදෑසනින්ම විහාරයේ මකර තොරණ මත හිඳ මද හිරුරැස් තපිමින් සිටි ගිරවා, එක් පක්ෂියෙකු විසින් තමාගේ නියවලින් ඩැහැ ගත්තේය. ගිරවා මහ හඬින් කෑ ගැසුවේය. සාමණේරියන් වහන්සේලා ගිරවා දැක “ආර්යාවෙනි, බුද්ධරක්ඛිත පක්ෂියකු විසින් අල්වා ගන්නා ලදී. ඌව මුදා ගනිමු” යැයි ගල් කැට ආදිය ගෙන පක්ෂියා ලුහු බැඳ මුදා ගත්තේය. ඉන්පසු ගිරවා ගෙන මහ තෙරණිය ඉදිරිපිට තැබූහ.

“බුද්ධ රක්ඛිත පක්ෂියා විසින් අල්වා ගන්නා ලද වෙලාවේ නුඹ සිතුවේ කුමක් දැයි” තෙරණිය විචාල සේක. “ආර්යාවෙනි, ඇටසැකිල්ලක් විසින් ඇටසැකිල්ලක් ඔසවාගෙන යයි. කවර තැනක විපිලිසර වම්දැයි කල්පනා කළේය” යැයි ගිරවා පිළිතුරු දුන්නේය. සාදු! සාදු! බුද්ධ රක්ඛිත අනාගතයේදී මෙය නුඹගේ නිවන පිණිස හේතු වන්නේය යැයි තෙරණිය පිළිතුරු දුන්නාය.  

දුර්ලභ වූ බුද්ධෝත්පාද කාලයක මනුෂ්‍යය ආත්මයක් ලබා සිටින අප හට ඉතා වටිනා උපදෙසක් මෙම අටුවා කථා ප්‍රවෘත්තියෙන් ලබා දේ. එනම් සීලයක පිහිටා අප්‍රමාදීව සතිපට්ඨානය වැඩිය යුතු බවයි. එසේ කිරීමෙන් අනුක්‍රමයෙන් නිවන් මාර්ගයෙහි ගමන් කළ හැක. වටිනා බුද්ධශාසනයකින් නිසි ඵල නෙලා ගන්නේ වෙයි.

දීඝනිකායෙ මහාවග්‌ගට්‌ඨකථා ඇසුරිණි.

සම්පාදක පූජ්‍ය කඩුවෙල අතුලඤාණ හිමි