මෝහන්දකාරයට ප්‍රඥා ප්‍රදීපයක් වූ ‘සුමේධ’ සර්වඥයන් වහන්සේ පිරිණිවුණු පසු එම මණ්ඩ කල්පයෙහිම, අපරිමාණ කාලයක් ආයු විඳ සත්වයන්ගේ ආයුෂය පිරිහී ගොස් වසර අනූ දහස දක්වා අඩු වූ යුගයක් වූයේය. මෙම කාලයේ දී ලෝක සත්වයා තුළ වූ කෙළෙස් ගිනි නිවන්නට අමා වැසි වස්සමින් අංගීරස වූ සුජාත සම්බුදු රජාණන්වහන්සේ ලොව පහළ වූ සේක.

සියලු බුද්ධ කාරක ධර්මයන් සපිරූ සුජාත බෝධිසත්වයන් වහන්සේ තුසිත දෙව්ලොව ඉපිද සියලු ආයුෂ වින්දනය කර දේවතාරාධනයෙන් එයින් නික්මී සුමංගල නගරයේ උග්ගත රජුගේ අග බිසව වූ ප්‍රභාවතී නම් දේවියගේ කුසෙහි පිළිසිඳගෙන දසමසක් ඇවෑමෙන් ලෝක සත්වයින් සතුටු කරවමින් මව් කුසින් නික්මුණු සේක. නම් තබන දිනයේ දී දඹදිව් වැසි සත්වයන් හට සැප උපදවමින් උපන් හෙයින් සුජාත යැයි නම් තැබුවේ ය. පුර පක්ෂයේ සඳක් මෙන් දිනෙන් දින වැඩෙන බෝසත් කුමරුවන් හට තරුණ වයසේදී සිරි නන්දා දේවිය සරණ පාවා දුන් අතර සිරි, උපසිරි, නන්ද යන තුන්මහා ප්‍රාසාදයන් හිි විසිතුන් දහසක් පුරඟනන් පිරිවරාගෙන වසර නව දහසක් රජ සැප විඳිමින් කල් ගෙවූහ. සතර පෙර නිමිති දැකීමෙන් සසර කළකිරීමට පත් බෝධිසත්වයන් වහන්සේ තම අග බිසව වූ සිරි නන්දා දේවිය උපසේන නම් තම පුත් කුමරුවන් වැදූ බව අසා හංසවහ නම් උතුම් අසු පිට නැගී මහාභිනික්මන් කොට පැවිදි වූ සේක. එවිට මිනිසුන් කෝටියක් ද පැමිණ බෝධිසත්වයන් වහන්සේ සමීපයෙහි පැවිදි වූහ. ඒ සියලු දෙනා පිරිවරාගෙන ප්‍රධන් වීර්‍ය වැඩූ සුජාතා බෝධි සත්වයෝ වෙසක් පුර පසලොස්වක පොහෝදා සිරිනන්ද නගරයේ සිරිනන්ද සිටු දියණිය පූජා කළ ඉතා මීහිරි මී පැණි මිශ්‍ර කිරි ආහාරය වළඳා සල් වනයේ දිවා විහරණය කර සවස් යාමයේදී සුනන්ද නම් ආජීවකයා විසින් පූජා කරන ලද කුස තණ මිටි අට රැගෙන මඳ සිදුරු ඇති ඝන වූ කදකින් යුතු පරමරමණීය වෙරළුමිණි පැහැ ඇති නිර්මල පත්‍රයෙන් යුත් මහත් ශාඛා ඇතිව මොණර පිල් කළඹක් සේ විහිදී ගිය උතුම් උණ බෝධිය වෙත එලඹ රියන් තිස් තුනක භූමියෙහි කුස තණ මිටි අට අතුරා එය මත වැඩ හිදිමින් හිරු බැස නොගිය කල්හි ම මාර සෙනඟ පරාජය කොට අලුයම කාලයේ සම්මා සම්බුද්ධත්වයට පත් සුගත තථාගතයාණන් වහන්සේ සියලු බුදුවරුන්හට ආවේණික ධර්මතාවයක් වන

අනෙක ජාති සංසාරං …” යනුවෙන් උදාන ගාථා කියා  අනතුරුව සත් සතිය ගත කිරීමෙන් පසු ලෝක සත්වයාට ධර්මය දේශනා කරනු මැනවිි යැයි කරන ලද බ්‍රහ්මාරාධනය පිළිගෙන කවරෙක් හට මුලින්ම ධර්ම දේශනා කරන්නේදැයි ලොව විමසනුයේ තමන්වහන්සේගේ බාල සොහොයුරු සුදස්සන කුමරුන් හා අග්‍ර පුරෝහිත වරයාගේ පුත්‍රයා යන  කුමාරවරුන් දෙදෙන චතුරාර්යය සත්‍ය  අවබෝධ කිරීමට සමත් බව දැන අහසින් වැඩම කර සුමංගල නගර සමීපයෙහි සුමංගල උයනට බැස උද්‍යාන පාලකයා ලවා තමන්වහන්සේගේ සොහොයුරා හා පුරෝහිත පුත්‍රයාද කැදවා ඔවුන් ඇතුළු සියලු පිරිසට මංගල ධර්ම දේශනය වන ධම්මචක්කප්පවත්තන සුත්‍රය දේශනා කල  සේක. එහිදී ඇසූ කෝටියක් දෙනා ධර්මාවබෝධය ලැබුහ. මෙය පළමු ධර්මාභිසමය වුහ. එක් කලෙක භාග්‍යවතුන්වහන්සේ සුදර්ශන උයන් ද්වාරයේ මහා සාල වෘක්ෂ මූලයේදී යමාමහ පෙළහර පා තව්තිසා දෙව්ලොව වස් එලඹි සේක්ද එකල්හී තිස් සත් දහසක් දෙනා හට ධර්මාවබෝධය  වුහ. මේ දෙවන  ධර්මාභිසමය විය. සුජාත සර්වඥ යන් වහන්සේ තම පියාණන් වහන්සේ වෙත වැඩමකළ අවස්ථාවෙහි හැටලක්ෂයක් ප්‍රාණීන් හට ධර්මාවබෝධය  වුහ. මේ තෙවන  ධර්මාභිසමය විය.

සුධර්මවතී නගරයේ සුධර්ම උයනේ වැඩ හිදිමින් එතැනට පැමිණි මිනිසුන් හට භාග්‍යවතුන්වහන්සේ ධර්මය දේශනා කළ  සේක. එහිදී දම් අසා බුදු සසුනේ පැහැදුනා වූ සැට ලක්ෂයක් දෙනාහට  ඒහි භික්ෂුභාවයෙන් පැවිද්ද හා උපසම්පදාව ලැබුණු අතර එම හැට ලක්ෂයක් භික්ෂු සංඝයා මධ්‍යයේ භාග්‍යවතුන් වහන්සේ ප්‍රාතිමෝක්ෂය දේශනා කළසේක. මෙය ප්‍රථම ශ්‍රාවක සන්නිපාතය විය. යම් කලෙක භාග්‍යවතුන්වහන්සේ දෙව්ලොවින් මනුලොවට වැඩම කරන සේක්ද එතනට පනස් ලක්ෂයක සඟ පිරිසක් රැස් වුහ. මෙය දෙවන ශ්‍රාවක සන්නිපාතය විය. නැවත, සුදර්ශන  කුමරු පැවිදිව  අරිහත්වය ප්‍රතිවේධ කළේය යැයි අසා සුදර්ශන තෙරුන් හමුවට පැමිණි සාර ලක්ෂයක් පිරිස රැගෙන තෙරුන් වහන්සේ ශ්‍රේෂ්ට පුරිස වූ සුජාත සර්වඥයන් වහන්සේ සමීපයට වැඩම කළහ. එවිට භාග්‍යවතුන්වහන්සේ එම පිරිසට ධර්මය දේශනා කර ඒහි භික්ෂු භාවයෙන් පැවිද්ද හා උපසම්පදාව ලබාදුන් අතර සිව්වනක් පිරිස රැස්වූ කල්හි ප්‍රාතිමෝක්ෂය දේශනා කළසේක. මෙය තෙවන ශ්‍රාවක සන්නිපාතය විය.

එම සුජාත බුදුන් ලොව පහළ වූ කාලයේ අපගේ බෝධිසත්වයන්වහන්සේ සක්විති රජෙකුු ව ඉපිද ධාර්මිකව රාජ්‍ය පාලනය කරන්නට වූහ. එකල්හිි ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් ලොව පහළ වූයේය යන උතුම් ආරංචිය ලද සක්විති රජ තෙමේ බුදුන් කරා එළඹ බණ අසා බුදු සසුනේ පැහැදී බුදුන් ප්‍රධාන කොට ඇති භික්ෂූ සංඝයා හට සත් රුවන් සහිතව සතර මහා රාජ්‍යයම පූජාකොට බුදු සසුනේ පැවිදි විය. සියලු දිවයින් වාසීන් එක්ව රට වැසියන් ගෙන සියලු ආරාමික කටයුතු කොට බුදුන් ප්‍රධාන මහා සංඝ රත්නය උදෙසා නිබඳ මහා දන් දුන්නාහ. එම කාලයේ දී සුජාත සම්බුදු රජාණන් වහන්සේ ලොව බලා වදාළ සේක

සොපි මං තදා ව්‍යාකාසි – දසසහස්සිම්හි ඉස්සරෝ 

තිංසකප්ප සහස්සම්හි – අයං බුද්ධෝ භවිස්සති

යනුවෙන් මේ භික්ෂුව අනාගතයේ කල්ප තිහක් ගිය තැන ගෞතම නමින් ලොව්තුරා සම්බුද්ධත්වයට පත් වන්නාහ යි විවරණ ලබා දුන් සේක.

සුමංගල නගරයේ රජු වූ උග්ගත රජුගේ පුත් ව ප්‍රභාවතී දේවිය ගේ කුසින් ඉපිද රාජ ශ්‍රී විද තරුණ වියේදි සිරි, උපසිරි, නන්ද නම් වූ මාළිගා තුනෙහි විසිතුන් දහසක් පුරඟනන් පිරිවරාගෙන රජ සැප විදින කල්හී සිරි නන්දා දේවිය උපසේන නම් තම පුතු බිහි කළ දා සතර පෙර නිමිති දැකීමෙන් කලකිරී අභිනික්මන් කර මාර පරාජය කරමින් සම්බුද්ධත්වයට පත් සුජාත සර්වඥයන් වහන්සේ සුදර්ශන, දේව යන අගසව් දෙනමත්, නාරද නම් අග්‍ර උපස්ථායක තෙරුන් වහන්සේවත් මෙන්ම නාගා, නාගසමාලා යන අග්‍ර ශ්‍රාවිකාවන් දෙනමක් ද ඇතිව ඉතා දීර්ඝ කාලයක් ලෝකවාසී සත්වයිනට අමා ඔසු පොවමින් සියලු බුදු කිස නිමවනුයේ වසර අනූ දහසක් ආයු වළදා චන්ද්‍රවතී නගරයේ සීලාරාමයේදී සුජාත බුදුරජාණන් වහන්සේ ලෝක ධර්මතාවය වූ පරිද්දෙන් පිරිනිවන් පෑ සේක.

සම්පාදක : පූජ්‍ය පුවක්පිටියේ සුමංගලරතන හිමි.

“චිරං තිට්ඨතු සද්ධම්මෝ”

(බුද්ධ වංශ අට්ඨකතාව ඇසුරෙන්)

පරිගණක අකුරු : පණ්ඩුක ‌නෙලුවල මහතා