මහා කාරුණික වූ අප භාග්‍යතුන් වහන්සේ විසි අසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ ඉතා දුක සේ දානාදී සම තිස් පෙරුම්දම් පුරා පරම ගාම්භීර වූ සත්‍යය අවබෝධ කොට ගත් සේක. එම ධර්මය පන්සාලිස් වසරක් මුළුල්ලේ දෙව් මිනිස් ලෝ සත්වයාට දේශනා කළ සේක. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාව ශ්‍රවණය කොට නිවන් ප්‍රත්‍යක්ෂ කළ දෙව් මිනිස් ප්‍රජාව අපමණය. මෙසේ නිවන් මාර්ගයක් වන ධර්ම ශ්‍රවණය සැම කලකදීම නොලැබේ.

සද්ධර්ම ශ්‍රවණයට ප්‍රිය වූ පිණ්ඩපාතික තෙරුන් වහන්සේ එවැනි දුර්ලභ උත්තමයෙකි. ගඞ්ගාවනවාලි අඞ්ගනයෙහි භික්ෂූන් වහන්සේලා තිස් නමක් වස් එළඹුනහ. උන්වහන්සේලා සතර ප්‍රත්‍යය සන්තෝෂය සහිත භාවනාරම්මණතාවයෙන් යුතුව අරිය වංශ ප්‍රතිපදාව අඩමසක් පාසා උපෝසථ දිනයන්හි සාකච්ඡා කරති. පිණ්පාතික තෙරුන් වහන්සේ පසු පසින් පැමිණ පිළිසන් වූ ස්ථානයක හුන් සේක. ඉක්බිති එක් පොළඟකු ඒ තෙරුන් වහන්සේගේ කෙණ්ඩමාංසය අඬුවකින් අල්වා ගන්නාක් මෙන් දෂ්ට කළේය. තෙරුන් වහන්සේ බලනුයේ පොළඟා දැක “අද ධර්ම ශ්‍රවණයට අන්තරායක් නොකරන්නෙමි” යැයි සර්පයා ගෙන පසුම්බියක දමා එහි මුඛය බැඳ නුදුරු ස්ථානයක තබා ධර්මය ශ්‍රවණය කරමින් ම හුන් සේක.

අරුණුග්ගමනය ද, කෙලෙස් විස යටපත් වී තෙරුන් වහන්සේගේ අනාගාමී ඵලයට පත් වීම ද, සර්ප විස දෂ්ට කරන ලද ස්ථානයෙන් බැස පොළවට පිවිසීම ද, ධර්ම දේශක තෙරුන් වහන්සේගේ ධර්ම කතාව අවසානය ද යන කාරණා එක් ක්ෂණයකදී ම සිදු විය. ඉන් පසු තෙරුන් වහන්සේ,

“ ඇවැත්නි, මා විසින් එක් සොරෙකු ගන්නා ලද්දේය ” යැයි පසුම්බිය මුදා සර්පයා මුදා හැරියේය.

භික්ෂූහු එය දැක “ස්වාමීනි, කුමන වේලාවක දෂ්ට කරන ලද්දේ ද ?” යැයි ඇසූහ.

“ඇවැත්නි බොහෝ සවස් වූ විටය” (පෙර දින සවස් යාමයෙහි).

“ස්වාමීනි මෙසේ බැරූරුම් කර්මයක් කෙසේ කළේ ද ?” යැයි භික්ෂූහු නැවත විමසූහ.

“ඇවැත්නි, ඉදින් මම සර්පයකු විසින් දෂ්ට කරන ලද්දේ යැයි කීවෙම් නම් මෙපමණ ආනිසංසයක් (මාර්ග ඵල) නොලැබෙන්නේය” යැයි තෙරුන් වහන්සේ පැවසූ සේක.

තෙරුන් වහන්සේ ධර්ම ගෞරවය උපදවා, ඒ දෙසට සවන් යොමා, අර්ථ මෙනෙහි කරමින් ධර්මය ශ්‍රවණය කළ නිසා මාර්ග ඵල අවබෝධය සිදු කළේය. ධර්මයේ සාන්දෘෂ්ටික බව හේතුවෙන්ම තෙරුන් වහන්සේට ජීවිත අන්තරායකදී වුවද එය මැඩ මාර්ග ඵල ආදිය දක්වා ගමන් කිරීමට භාග්‍යය උදා විය. එනිසා අපත් මෙම ධර්මයේ සාන්දෘෂ්ටික භාවය තේරුම් ගනිමින් ධර්මාවබෝධය සඳහා වෙහෙසීමට අදිටන් කර ගත යුතුය.

සූ.පි. අංගුත්තර නිකාය අට්ඨකථා ඇසුරිණි

සම්පාදක පූජාපිටියේ සුරිය රතන හිමි

 නවතම දහම් ලිපි සඳහා පිවිසෙන්න. www.mahaviharaya.lk