සූත්‍ර සත්දහස් සත්සිය සැටදෙකකින් සමන්විත සංයුක්තනිකායේ පළමු සූත්‍රය ඕඝතරණසූත්‍රයයි. දේවතා සංයුක්තයට අයත් මෙම සූත්‍රය භාග්‍යවතුන්වහන්සේ දේශනා කරන ලද්දේ සැවැත්නුවර අනාථපිණ්ඩික සිටුතුමා විසින් කරවූ ජේතවනාරාමයේ වැඩ වාසය කරන කාලයකදීය. නාම වශයෙන්, ගෝත්‍ර වශයෙන් අප්‍රසිද්ධ එක්තරා රූපාවචර දෙවිකෙනෙක් ජේතවනාරාමය හාත්පස බබුළුවාගෙන භාග්‍යවතුන්වහන්සේගේ සමීපයට පැමිණියේය. මෙම දෙවියා භාග්‍යවතුන්වහන්සේගේ සමීපයට පැමිණියේ රාත්‍රියේ මධ්‍යමයාමය ඉක්මවූ පසුවයි. සාමාන්‍යයෙන් භාග්‍යවතුන්වහන්සේ වෙත හෝ බුද්ධශ්‍රාවකයක් වෙත උපස්ථානයට පැමිණෙන දෙවියන් පැමිණෙන්නේ මධ්‍යම යාමයෙහිදීය. එසේ පැමිණෙන දෙවිවරු තමාගේ සාමාන්‍ය වර්ණය හැරදමා වඩාත් අලංකාර විශිෂ්ට වර්ණයක් මවාගෙන පැමිණෙත්. මේ ආකාරයට පැමිණෙන දෙවියන් ඇතැම් විට ඕලාරික කයක් මවා ගනී. කාමාවචර දෙවියන්ගේ ශරීර ඕලාරික බැවින් සෑම විටකදීම එසේ කිරීමට අවශ්‍ය නොවේ. නමුත් රූපාවචර දෙවියන්ගේ ශරීරය අතිසූක්ෂම බැවින් ඕලාරික කයක් මවාගෙනය. එ‌හෙත් භාග්‍යවතුන්වහන්සේ වෙත පැමිණි මෙම දෙවියා රූපාවචර දෙවියෙක් වූ බැවින් ඕලාරික කයක් මවාගෙන පැමිණියේය. දෙවිවරුන් මේ ආකාරයට තථාගතයන්වහන්සේගේ සමීපයට පැමිණෙනුයේ සතරමාර්ග-සතරඵල නිවන් අවබෝධ කර ගැනීම සඳහාය.

එම රාත්‍රියේ තථාගතයන්වහන්සේගේ සමීපයට පැමිණි රූපාවචර දෙවියා ප්‍රශ්නයක් විමසුවේය.

නිදුකාණන්වහන්ස, නුඹවහන්සේ කෙසේ ඕඝය තරණය කළ සේක් ද?

ඕඝ යනු කුමක්ද?

මෙහි අර්ථ දෙකකි. ඕඝ යනු ගලාබසින්නාවූ මහත් සැඩ පහරකි. එබඳු සැඩපහරක් නිසා සත්ත්වයන් එම සැඩපහරෙහි ගිලෙත්. සත්ත්වයන් සංසාරයේ ගිල්වත් බස්වත් යන අර්ථයෙන් ඕඝ යන නම ලැබේ. ඕඝයන්ට හසු වූ සසර සැරිසරන සත්ත්වයන් එම ඕඝයෙන් පහළට ඇද දමත්. සතර අපාය ආදී දුගතිවල ඉපදීමට කරුණු සකස් කරත්. එමෙන්ම නිවන් අවබෝධ කිරීමෙන් සත්ත්වයාගේ දුක් කෙළවර කිරීමට ඉඩ නොදී නැවත නැවත සසරෙහි සුගති-දුගතිවල සැරිසැරීමට කටයුතු සකස් කරයි.

දෙවැන්න නම් රාශි අර්ථයෙනි. අවීචියේ පටන් භවාග්‍රය දක්වා ඕඝයන් මහත්ව පැතිර පවතී. ඒ චතුරාර්යසත්‍යය අවබෝධ නොකළ සත්ත්වයන් තුළය.

සතරක් වූ ඕඝයෝ

  • කාම ඕඝ – පඤ්චකාමයන් කෙරෙහි ඇති ඡන්දරාගයයි.
  • භව ඕඝ – රූපභව සහ අරූපභවවල ඉපදීම සඳහා වන ඡන්දරාගයද, රූප-අරූප ධ්‍යාන කෙරෙහි වන ඇලීම නම් වූ ධ්‍යාන නිකාන්තියයි.
  • දිට්ඨි ඕඝ – දෙසැටක් වූ මිථ්‍යාදෘෂ්ටි
  • අවිජ්ජා ඕඝ – චතුරාර්යය සත්‍යය නොදැනීමයි.

දෙවියා විසින් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු ලෙස ඉහත සතරඕඝයන්  තරණය කළ ආකාරය දක්වමින් භාග්‍යවතුන්වහන්සේ පිළිතුරු දුන් සේක.

‘අප්පතිට්ඨං ඛ්වාහං, ආවුසො, අනායූහං  ඔඝමතරි’න්ති.

“ඇවැත්නි, මම නොපිහිටමින්ද, වෑයම් නොකරමින් ද ඕඝය තරණය කළෙමි.”

නොපිහිටමින් යනු කෙළෙස් වශයෙන් නොපිහිටමින්, නොගිලෙමින් යන්නයි. වෑයම් නොකරමින් යනු කාමාවචර වශයෙන්ද, රූපාවචර වශයෙන්ද, අරූපාවචර වශයෙන්ද භවගාමී කුසල අකුසල රැස් නොකරමින් මධ්‍යම ප්‍රතිපදාව නොඉක්මවමින්, නොගිලෙමින්ය. භාග්‍යවතුන් වහන්සේගේ පිළිතුරෙහි අදහස එසේ වුවත් උන්වහන්සේ එම දෙවියාට ඒ ආකාරයෙන් පිළිතුර දුන්නේ එහි අර්ථය එකවරම වටහා ගැනීමට නොහැකි වන ආකාරයටයි. අර්ථය සඟවා තබාය. එනිසා දෙවියාගේ සිතට මෙබඳු ප්‍රශ්නයක් ඇති වීය.

ඕඝය තරණය කරන බාහිර තවුසන් පිහිටිය යුතු ස්ථානයේ පිහිටමින්ද, තරණය කළ යුතු ස්ථානයේ වෑයම් කරමින්ද ඕඝය තරණය කරත්. භාග්‍යවතුන්වහන්සේ විසින් අවීචියේ පටන් භවාග්‍රය දක්වා ඇති මහත් වූ ක්ලේශ ඕඝයන් නොපිහිටමින්ද, වෑයම් නොකරමින්ද තරණය කළෙමි යැයි දේශනා කරයි“. මෙම පිළිතුරෙහි අර්ථය කුමක්දැයි විමතියට පත් විය.

මෙහිදී නැ‍ඟෙන ප්‍රශ්නය නම් තථාගතයන් වහන්සේ සර්වඥතා ඥානය ප්‍රතිවේධ කළේ සත්ත්වයන්ට අවබෝධ නොවන ආකාරයෙන් දහම් දෙසීමට ද යන්නයි. භාග්‍යවතුන්වහන්සේගේ ධර්ම දේශනාවේ ආකාර දෙකකි. භාග්‍යවතුන්වහන්සේ නිග්‍රහ මුඛයෙන්ද, අනුග්‍රහ මුඛයෙන්ද ධර්මය දේශනා කරන සේක. කරුණු නොදැන කරුණු දනිමි යැයි සිතාගෙන සිටින පණ්ඩිතමානී පුද්ගලයන්ට නිග්‍රහ මුඛයෙන් දහම් දේශනා කරන සේක. ඍජු අදහස් ඇති ශික්ෂාකාමී පුද්ගලයන්ට අනුග්‍රහ මුඛයෙන් දහම් දෙසන සේක. මෙම දෙවියා මානයෙන් වැඩී ගිය පණ්ඩිතමානී කෙනෙකි. “මම ඕඝයන් දනිමි. තථාගතයන් වහන්සේ ඕඝයන් තරණය කළ බවද දනිමි. ඕඝය තරණය කළ යුත්තේ කෙසේද යන කාරණය පමණක් නොදනිමි. මා විසින් දන්නා දෙය බොහෝය. නොදන්නා දෙය ස්වල්පය. යම් කරුණක් මම නොදන්නේද භාග්‍යවතුන් වහන්සේ සමඟ කතාකරන මාත්‍රයෙන්ම අවබෝධ කරගැනීමට හැකි වන්නේය” යැයි ඔහුගේ අදහස වීය. “කිළිටි වූ රෙදිකඩක් සායම් පෙවීමට නොහැකි සේ මානය හැරදමන්නේ නැතිව ධර්මය අවබෝධ කරගැනීමට නොහැකිය. පළමුව මෙම දෙවියාගේ මානයට නිග්‍රහ කරමි. ඉන්පසු දෙවියා නීච සිතින් නැවත ප්‍රශ්නය ඇසූ විට පිළිතුර ප්‍රකාශ කරන්නෙමි” යැයි තථාගතයන් වහන්සේගේ අදහස විය. එම නිසා බුදුරජාණන් වහන්සේ දෙවියා හට අර්ථය වටහා ගැනීමට නොහැකි වන සේ අර්ථය සඟවමින් පළමු ප්‍රශ්නයට පිළිතුරු දුන්හ. එවිට දෙවියාගේ මානය නැති විය.

ඉන්පසු කාරණය පැහැදිලි කර ගැනීමට දෙවියා භාග්‍යවතුන්වහන්සේගෙන් දෙවන ප්‍රශ්නය ඇසීය.

නිදුකාණන් වහන්ස, නුඹ වහන්සේ කෙසේ නම් නොපිහිටමින්ද වෑයම් නොකරමින්ද ඕඝය තරණය කළ සේක්ද?

“ඇවැත්නි, යම් කලෙක මම පිහිටා සිටිම්ද එකල්හි ගිලෙමි. ඇවැත්නි, යම් විටෙක මම වෑයම් කළෙම් ද එකල්හි ඉල්ප යමි. ඇවැත්නි, මෙසේ මම නොපිහිටමින්ද වෑයම් නොකරමින්ද ඕඝය තරණය කළෙමි.”

මේ ආකාරයට සිටීමෙහිද වෑයම් කිරීමෙහිද ආදීනව දැක නොපිහිටමින් වෑයම් නොකරමින් ඕඝය තරණය කළෙමි යැයි වදාළ සේක. දෙවියා  මෙම පිළිතුර ඇසූ විගස ම ධර්මය අවබෝධ කරගත්තේය. දහසක් නයින් ප්‍රතිමණ්ඩිත ව උතුම් වූ සෝවාන් ඵලයෙහි පිහිටියේය.  මෙම දෙවියා  උග්ගටිතඤ්ඤු බැවින් මෙසේ ධර්මය අසන මොහොතේ අපහසුවකින් තොරව ඉතා ඉක්මනින් ධර්මය අවබෝධ කරගත් නමුත් විපටිතඤ්ඤු සහ  ඤෙය්‍ය වූ පුද්ගලයන් හට මෙම ගැඹුරු වූ ධර්මපරියාය වටහා ගැනීම්ට දුෂ්කරය. එමනිසා අටුවාවෙහි ක්‍රම සතකින් භාග්‍යවතුන් වහන්සේගේ  අදහස විග්‍රහ කොට දක්වා ඇත

  1. කෙළෙස් සහ අභිසංස්කාර වශයෙන්

යම් කලෙක කෙළෙස් වශයෙන් පිහිටා සිටිමින් කෙළෙස්වල වසඟයට යෑම නිසා වෑයම් නොකිරීමෙන් කෙළෙස් ඕඝයෙහි ගිලෙයි. අභිසංස්කාර නම් සසරෙහි නැවත නැවත ඉපදීමට අවශ්‍යවන භවගාමී කුසල අකුසල රැස්කිරීමයි. යම් කලෙක ඕඝය තරණය කිරීම සඳහා භවගාමී කුසල අකුසල රැස්කිරීම නිසා සසරදුකින් එතෙරවීමට ආර්ය අෂ්ටාංගිකමාර්ගය මනාව ප්‍රතිපත්ති පූරණය කළ හැකි ක්ෂණය ඉක්මවීමට ඉඩදීමෙන් සංසාර ඕඝයෙහි පාවී යයි.

  1. තණ්හා-දෘෂ්ටි සහ අවශේෂ ක්ලේශ වශයෙන්

තණ්හාව සහ දෘෂ්ටිය සත්ත්වයා සසරෙහි ගමන් කරවන ප්‍රධාන ධර්ම දෙකකි. තණ්හාව බහුලව ඇති තණ්හා චරිත සහ දෘෂ්ටිය බහුලව ඇති දෘෂ්ටි චරිත, එම තණ්හාවේ සහ දෘෂ්ටියෙහි පිහිටා සිටීමෙන් ඕඝය තරණය කිරීමට වෑයම් නොකිරීමෙන් ඕඝයෙහි ගිලීම සිදු වේ.

අවශේෂ කෙළෙස් වන ද්වේෂය, මෝහය, මානය, විචිකිච්ඡාව, ථිනය, උද්ධච්ඡය, අහිරිකය, අනොත්තප්පය සහ සසර ගමනට හේතුවන කුසල අකුසල රැස්කිරීම් වශයෙන් සංසාර ඕඝයෙහි පාවී යයි.

  1. තණ්හාව සහ දිට්ඨි වශයෙන්

තණ්හාව නිසා පඤ්චකාම ආශ්වාද කිරීමෙන් ඕඝයන්හි ගිලෙයි. දෘෂ්ටිය නිසා සසරදුකින් නිදහස් වන විමුක්තිමාර්ගය නොවන තැනක විමුක්ති මාර්ගය මෙය යැයි දැඩිව අල්ලා ගනී. සසරින් එතෙරවීමට දරන වෑයම වැරදි එකක් නිසා ඕඝයෙහි පාවී යාම සිදු වේ.

  1. ශාස්වත දෘෂ්ටිය සහ උච්ඡේද දෘෂ්ටිය

ශාස්වත දෘෂ්ටිය නම් අතිදීර්ඝ කාලයක් ආයුෂ ඇති රූපලෝක, අරූපලෝක යන ස්ථානවල නිත්‍ය වූ ස්ථිර වූ භවයක් ඇත යනුවෙන් ඇති කරගන්නා භව දෘෂ්ටියයි. මේ නිසා සසර දුකින් එතෙරව නිවන් දැකීම පිණිස ධර්මය දේශනා කරන විට එම ධර්මයෙහි සිත නොපිහිටයි. ශාස්වත දෘෂ්ටිය නිසා ඕඝයන්හි ගිලීම සිදු වේ.

උච්ඡේද දෘෂ්ටිය නම් මරණින් පසු සත්ත්වයෙක් නැතය, ආත්මය විනාශ වන්නේය යනුවෙන් බැසගන්නා විභව දෘෂ්ටියයි. මරණින් මතු භවයක් නැත යන්න අභිනන්දනය කරන බැවින් භවයෙන් මිදීම පිණිස සම්‍යක් ප්‍රතිපදාවේ නොයෙදීම නිසා එම අවස්ථාව ඉක්මවයි. එනිසා ඕඝයන්හි පාවී යෑම සිදුවේ.

  1. ලීන සහ උද්ධච්ඡ වශයෙන්

ලීනභාවය නම් කුසීතභාවයයි. එනිසා නිවන් දැකීමට කටයුතු නොකරයි. එවිට ඕඝයන්හි ගිලී යෑම සිදු වේ. උද්ධච්ඡ බව නම් සිතෙහි පවතින සැලෙන බවයි. සැලෙනබව නිසා සම්මා සමාධිය භාවිත කිරීමට නොහැකි වීමෙන් ඕඝයන්හි පාවීයාම සිදුවේ.

  1. කාමසුඛල්ලිකානුයෝගය සහ අත්තකිලමථානුයෝගය වශයෙන්

කාමසුඛල්ලිකානුයෝගයට බැසගත් තැනැත්තාගේ තණ්හාව නිසා සිත කෙළෙසුනු බැවින් සිතේ සමාධිය නැත. අත්තකිලමථානුයෝගයට බැසගත් තැනැත්තා හටද කය කෙළෙසුනු බැවින් සමාධියක් නැත. මෙම පුද්ගලයන්ගේ සිත සහ කය කෙළෙසීම කරන්නේ තණ්හාව සහ දිට්ඨිය දැඩිවීම නිසාය. එම නිසා තණ්හාව නිසා ඕඝයන්හි ගිලීයාමත් දෘෂ්ටිය නිසා ඕඝයන්හි පාවී යෑමත් සිදුවේ.

  1. අකුසල රැස්කිරීම සහ භවගාමී ලෞකික කුසල රැස්කිරීම් වශයෙන්

අකුසල රැස්කිරීම නිසා ඒවායේ විපාක ලෙස සත්ත්වයන් දුගතිගාමී වේ. එය ඕඝයන්හි ගිලීම නම් වේ. භවගාමී ලෞකිකකුසල කිරීම නිසා දිව්‍යලෝක, මනුෂ්‍යලෝක ආදී උසස් තැන්වල උපත ලබාදෙයි. එවිට සංසාර ඕඝයෙහි පාවීම සිදු වේ.

සෝවාන් ඵලයට  පැමිණ සිටි දෙවියා බුදුරජාණන් වහන්සේ කෙරෙහි තමාගේ සතුට හා ප්‍රසාදය පළකරමින් ගාථාවක් ප්‍රකාශ කළේය.

චිරස්සං වත පස්සාමි – බ්‍රාහ්මණං පරිනිබ්බුතං

අප්පතිට්ඨං අනායූහං – තිණ්ණං ලෝකේ විසත්තිකං

නොපිහිටමින්ද වෑයම් නොකරමින්ද ලෝකයෙහි තෘෂ්ණාව තරණය කළ කෙළෙස් නැසූ බ්‍රාහ්මණයෙකු බොහෝ කලෙකින් දකිමි” යනු එහි අදහසයි.

දීර්ඝායුෂ්ක වූ මෙම දෙවියා කාශ්‍යප බුදුරජාණන් වහන්සේව දැක ඇත. කාශ්‍යප බුදුරජාණන්වහන්සේගේ පරිනිර්වාණයේ පටන් මේ වනතුරු වෙනත් බුදු කෙනෙක් දැක නැත. එනිසා කෙළෙස් නැසූ බ්‍රාහ්මණයෙකු කලෙකින් දකිමි යැයි ප්‍රකාශ කළේය. ඒ ගාථාව තථාගතයන් වහන්සේ විසින් අනුදක්නා ලද සේක. එය තේරුම්ගත් දෙවියා භාග්‍යවතුන් වහන්සේට වැඳ ප්‍රදක්ෂිණා කොට අතුරුදහන් විය.

කෙලෙස් වලට අමතරව භවගාමී කුසල්ද සසර ගමනට හේතුවන බැවින්  කුසල් සිදු කිරීම ද නතර  කළයුතු යයි මෙම  දහම් පරියාය වරදවා නොගත යුතුයි. භවගාමී කුසලයන් නිසා නැවත භවයක් ලැබෙන අතර ඉන් නැවත නැවතත් සත්වයා දුකට පත්වේ. එමනිසා සිදු කරන කුසල ධර්මයන් සසර ගමන නතර කිරීමට උපකාරී වන ආකාරයට  කිරීමට උත්සාහවත් විය යුතුය.  එවිට  භාග්‍යවතුන් වහන්සේ වදාළ මධ්‍යම ප්‍රතිපදාවේ ගමන් කොට සියලූ ඕඝයන් තරණය කොට නිර්වාණය සාක්ෂාත් කරගත හැක.

දේවතා සංයුක්තය ඇසුරිණි.

සම්පාදක පූජ්‍ය කඩුවෙල අතුලඤාණ හිමි