1. හැඳින්වීම 

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස..!!!

ගමනේන න පත්තබ්බෝ – ලෝකස්සන්තෝ කුදාචනං

නච අප්පත්‍වා ලෝකන්තංදුක්‍ඛා අත්‍ථි පමෝචනං

තස්මා හවේ ලෝකවිදූ සුමේධෝලෝකන්තගූ වුසිතබ්‍රහ්මචරියෝ

ලෝකස්ස අන්තං සමිතාවි ඤත්‍වානාසිංසති ලෝකමිමං පරඤ්චාති

පාගමනින් කිසි කලෙකත් ලොව කෙළවරකට පැමිණිය නොහැක්කේය. ලොව කෙළවරට නොපැමිණ දුකින් මිදීමකුත් නැත. එහෙයින් ලොව දන්නා, මහ නුවණැති ලොව කෙළවරට ගිය වැස නිමවූ බඹසර ඇති පව් සංසිඳ වූ පුද්ගල තෙමේ ලොව කෙළවර දැන මෙලොව ද පරලොව ද නොපතයි. (රොහිතස්ස සූත්‍රය)

තථාගත සම්මාසම්බුදුරජාණන් වහන්සේ ‘ලෝකවිදූ’ නම් වන සේක. ‘සබ්බථාපි විදිතලෝකත්තා පන ලෝකවිදූ’ යනුවෙන් විශුද්ධිමාර්ගයේ ලෝකවිදූ ගුණය නිර්වචනය කෙරේ. එහි අදහස වන්නේ සර්වප්‍රකාරයෙන් දන්නා ලද ලෝක ඇති හෙයින් බුදුරජාණන් වහන්සේ ලෝකවිදූ නම් වන බවයි. ඒ භාග්‍යවතුන් වහන්සේ ලෝකය, ලෝක ස්වභාව වශයෙන් ද, ලෝක සමුදය වශයෙන් ද, ලෝක නිරොධ වශයෙන් ද, ලෝක නිරෝධූපාය වශයෙන් ද සර්වප්‍රකාරයෙන් ම දන්නා සේක. එහෙයින් ලෝකවිදූ නම් වන සේක.

ලෝකය යැයි කී විට බොහෝ විට අපගේ සිහියට නැඟෙන්නේ අප ජීවත් වන පෘථිවි ලෝකය පමණක් වේ. එහෙත් ලෝකය යන්න ඊට වඩා පුළුල් අර්ථයක් ඇති දෙයකි. ඒ පිළිබඳ සාමාන්‍ය ජනයාට ඇත්තේ ඉතා අඩු අවබෝධයකි. සෑම සත්වයෙක් ම ලෝකයට අයත් වන අතර ලෝකයේ කොටසක් වේ. එහෙත් සත්වයෝ ලෝකය ගැන හෝ තමන් ගැන නොදනිති. බුදුරජාණන් වහන්සේ ඒ ලෝකය සියල්ලෙන් සියල්ල අවබෝධ කළ සේක. සියල්ල අවබෝධ කරගත් බැවින් බුදුරජාණන් වහන්සේට ‘සර්වඥ’ යැයි කියනු ලැබේ. ලෝකයේ සියලු අවබෝධ කළයුතු දේ සර්වාකාරයෙන් වෙනත් කෙනෙකුගේ උපකාරයකින් තොරව අවබෝධ කළ බැවින් ‘සම්මාසම්බුද්ධ’ යැයි හැඳින්වේ. ලෝකවිදූ ගුණයේ දී බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ දේ ලෙස දැක්විය හැක්කේ ද මේ සියලු ලෝකයට අයත් දේම වේ. එහෙත් ගුණ වශයෙන් බුදුරජාණන් වහන්සේව හඳුනාගැනීමේ දී ලෝකය පිළිබඳ අපට අවබෝධ කරගත නොහැකි දේ අවබෝධ කරගත් අර්ථයෙන් බුදුරජාණන් වහන්සේ ‘ලෝකවිදූ’ යැයි ද හැඳින්වේ.

බුදුරජාණන් වහන්සේගේ ලෝකවිදූ ගුණයේ දී උන්වහන්සේ අවබෝධ කරගත් ලෝකය යන්නෙන් ලෝක තුනක් අදහස් වේ. එනම්, සංස්කාර ලෝකය, සත්වලෝකය සහ අවකාශ ලෝකය වශයෙනි.

  1. සංස්කාර ලෝකය : සත්ව වූ ද සත්ව නොවූ ද (ඉන්‍ද්‍රියබද්ධ වූ ද අනින්‍ද්‍රියබද්ධ වූ ද) සියල්ල සංස්කාර ලෝකය නම් වේ.
  2. සත්වලෝකය : ඉන්‍ද්‍රියබද්ධ වූ සියලුම ස්කන්‍ධ සමූහය හෙවත් සියලුම සත්ව සමූහය සත්වලෝකය නම් වේ.
  3. අවකාශලෝකය : සත්වයන් නොවූ සියලුම ගස්වැල්, මහපොළව ආදිය අවකාශ ලෝකය නම් වේ.

මේ අනුව ලෝකය යන්නට සියලූම සත්වයන් ද, සත්ව නොවූ සියලු දේ ද අයත් වේ. මෙයට නාමරූප දෙක, පඤ්චස්කන්‍ධය, සප්ත විඥානස්ථිති, අෂටලෝකධර්ම, නව සත්තාවාස, දොළොස් ආයතන, අටළොස් ධාතු යනාදි සෑම ආකාරයකින් ම දක්වනු ලබන සියල්ල අයත් වේ. මෙයට අයත් දේ මෙසේ දැක්විය හැකි වේ.

මේ එක් ලෝකධාතුවක හෙවත් එක් සක්වළක ඇතුළත් භූමි තිස් එකක් (31) සඳහන් වේ. එනම් සතර අපාය (4) ය, මනුෂ්‍යලෝකය (1) ය, දිව්‍යලෝක සය (6) ය, රූපාවචර බ්‍රහ්මලෝක දහසය (16) ය, අරූපාවචර බ්‍රහ්මලෝක සතර (4) ය යන මේ තිස්එක් තලය යි. මේ තිස්එක් තලය එක් හිරකින් හා සඳකින් ආලෝකමත් වන බව ධර්මයේ සඳහන් වේ. එසේ එක් හිරකින් හා සඳකින් ආලෝකමත් වන ප්‍රදේශය ලෝකධාතුවක් හෙවත් සක්වළක් ලෙස හැඳින්වේ. එබඳු සක්වළ දහසක් සහශ්‍රී ලෝකධාතුව නම් වේ. එහි හිරු දහසක්, සඳු දහසක්, මහමෙර දහසක් යනාදි ලෙස සියල්ල දහස් ගුණය බැගින් වේ. මෙය සහශ්‍රී චූළනිකා ලොකධාතුව ලෙස ද හැඳින්වේ. සහශ්‍රී චූළනිකා ලෝකධාතු දහසක් ද්විසහශ්‍රී මජ්ක්‍ධිමිකා ලෝකධාතුව ලෙස හැඳින්වේ. ඒ අනුව මෙහි සක්වළ දශලක්‍ෂයකි. එබඳු ද්විසහශ්‍රී මජ්ක්‍ධිමිකා ලෝකධාතු දහසක් තිසහශ්‍රී ලෝකධාතුව නම් වේ. මෙය මහාසහශ්‍රී ලෝකධාතුව නමින් ද හැඳින්වේ. මෙයට කෝටිලක්‍ෂයක් සක්වළ අයත් වේ.

අංගුත්තරනිකාය අට්ඨකථාව දක්වන අන්දමට ශ්‍රාවකයන්ට විෂය වන්නේ සහශ්‍රී ලෝකධාතුවයි. ද්විසහශ්‍රී මජ්ක්‍ධිමිකා ලෝකධාතුව තථාගතයන් වහන්සේලාගේ ජාතික්‍ෂේත්‍රය යි. එනම් බෝසතාණන් වහන්සේගේ ප්‍රතිසන්‍ධිය, උපත, අභිනිෂ්ක්‍රමණය, බුද්ධත්වය, ධර්මචක්‍ර පැවැත්වීම, ආයුසංස්කාර වොස්සජනය, පිරිනිවන් පෑම යන අවස්ථාවන්හි මෙපමණ ප්‍රදේශයක් කම්පා වේ. තිසහශ්‍රී ලෝකධාතුව තථාගතයන් වහන්සේලාගේ ආඥාක්‍ෂේත්‍රය යි. එපමණක් ප්‍රදේශය බුදුරජාණන් වහන්සේගේ අණ පවතී. ඒ නිසා ආටානාටිය සූත්‍රය, ඉසිගිලි සූත්‍රය, ධජග්ග සූත්‍රය, බොජ්ඣඩ්ග පිරිත, ඛන්‍ධපිරිත, මෝරපිරිත, මෙත්තපිරිත, රතනසූත්‍රය යන පිරිත් වල බලය මෙම තිසහශ්‍රී ලෝකධාතුව දක්වා පවතින බව සඳහන් වේ. ඉන් ඔබ්බෙහි සියලු සක්වළ තථාගතයන් වහන්සේලාගේ විෂයක්‍ෂේත්‍රය යි. එහි සීමාවක් නැත. තථාගතයන් වහන්සේලාට සියලු සක්වළට තමන්වහන්සේගේ ආලෝකය පැතිරවිය හැකි වේ. සියලු සක්වළ වැසි සත්වයන්ට ඇසෙන සේ ධර්මය දේශනා කළහැකි වේ. බුදුරජාණන් වහන්සේ මේ සියල්ල අවබෝධ කළ බැවින් ලොකවිදූ නම් වන සේක.

ලෝකය කෙළවරක් නොපෙනෙන සීමා රහිත වූවකි. වරක් රෝහිතස්ස නම් දිව්‍යපුත්‍රයෙක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ කියා සිටියේ පෙර ආත්මභාවයක රොහිතස්ස නමින් මහත් ඍද්ධි ඇති තවුසෙක්ව හිඳ තමන් ලෝකයේ කෙළවර සොයා ගිය බවයි. ඔහුගේ ඍද්ධි බලපරාක්‍රමය අනුව පෙරදිග මුහුදේ එක් පාදයක් තබා අනෙක් පාදය අපරදිග මුහුදේ තබා ගමන් කළ හැකි විය. එසේ එකිනෙක ලෝකයෙන් ලෝකයට පා තබමින් ගොස් ලොව කෙළවරට පැමිණිමේ අදහසින් වසර සියයක් වූ ආයුෂය පුරාවට කෑමබීමාදි අත්‍යවශ්‍ය කටයුතු කරන වේලාව හැර අඛණ්ඩව ගියේ ය. එහෙත් ලෝකයේ කෙළවරට නොපැමිණි බවත්, අතර මඟ දී කලුරිය කළ බවත් ඒ දිව්‍යපුත්‍රයා බුදුරජාණන් වහන්සේට පවසා සිටියේ ය.

මෙහි දී බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළේ ලෝකය පාගමනින් ගොස් කෙළවර කළ නොහැකි බවයි. එසේම ලෝකයේ කෙළවරට නොපැමිණ දුක් කෙළවර කිරීම ද කළ නොහැකි බවයි. එසේ දුක් කෙළවර කිරීම පිණිස කෙළවරට පැමිණිය යුතු ලෝකය ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද්දේ මේ බඹයක් පමණ වූ සිරුරයි.

අපිචාහං ආවුසෝ ඉමස්මිඤ්ඤේව බ්‍යාමමත්තේ කලේබරේ සසඤ්ඤිම්හි සමනකේ ලෝකඤ්ච පඤ්ඤාපේම ලෝකසමුදයඤ්ච ලෝකනිරෝධඤ්ච ලෝකනිරෝධගාමිනිඤ්ච පටිපදං’

ඇවැත්නි, එතකුදු වුවත් මම සංඥා සහිත, සිත් සහිත, බඹයක් පමණ වූ මේ සිරුරෙහි ම ලෝකයත්, ලෝකසමුදයත්, ලෝකනිරෝධයත්, ලොකනිරෝධගාමිනි පටිපදාවත් පණවමි. මෙසේ සත්වයන් විසින් තවමත් අවබෝධ කර නොගත් බැවින් නිවන් නොදුටු ලෝකය පිළිබඳව බුදුරජාණන් වහන්සේ සර්වප්‍රකාරයෙන් ම අවබෝධ කරගත් බැවින් බුදුරජාණන් වහන්සේ ලෝකවිදූ නම් වන සේක. ඒ ලෝකය පිළිබඳව තමන්ට නිසි අවබෝධයක් නොමැති නිසාවෙන් ම මිනිසුන් නොයෙක් වැරදි අදහස් ඇති කරගනිති. එසේම තමන්ට අවබෝධ කරගත නොහැකි අසීමාන්තික ලෝකය පිළිබඳ නොයෙක් විද්‍යාත්මක පරීක්‍ෂණ සිදු කරමින් මස් ඇසට පෙනෙන දේ පමණක්ම ලෝකය යැයි වරදවා ගනිති. එහෙත් මස් ඇසට නොපෙනෙන බොහෝ දේ පවතින බව නුවණින් තේරුම් කරගත යුතු වේ.

උදාහරණයක් ලෙස වේගයෙන් කැරකෙන විදුලිපංකාවක පෙති ඇසට නොපෙනෙන තරමට වේගවත් වූ විටක එතැන කිසිවක් නැත යැයි අදහසක් ඇති කර ගත හොත් එය මිථ්‍යාවකි. එය නුවණින් තේරුම් ගතයුතු වේ. එබැවින් ඇසට නොපෙනෙන, නුවණින් තේරුම් ගතයුතු ලෝකය පිළිබඳව බුදුරජාණන් වහන්සේ නොයෙක් දේශනාවන්හි දේශනා කරන ලද දේ පිළිබඳ පරීක්‍ෂණ සිදු කිරීමට උත්සහවත් වීම නිෂ්ඵල දෙයකි. එය පරීක්‍ෂණයකින් හෝ අවබෝධ කරගැනීමට තරම් තමන්ගේ නුවණ දියුණු වී නැති බව තේරුම් ගතයුතු වේ. එහෙත් ඒ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන දේශනා කරන ලද ලෝකය පිළිබඳ ඒ බුද්ධ දේශනය අනුව විස්තර දැනගැනීම ලෝකයේ ඇති විසිතුරු බව, එය සිතීමෙන් හෝ තර්කයෙන් තේරුම් ගැනීම අපහසු බව, නුවණින් අවබෝධ කරගතයුතු බව වටහා ගැනීමට වැදගත් වේ. එබැවින් ඒ ලෝකය පිළිබඳ බුද්ධ දේශනයන්හි එන තොරතුරු අර්ථකථා ටීකානුසාරයෙන් අපගේ ශක්ති පමණින් මෙසේ දක්වන්නෙමු.

– මහාවිහාරය –

ආශ්‍රිත ග්‍රන්‍ථ

විශුද්ධිමාර්ගය

අර්ථකතා, ටීකා සහිත ත්‍රිපිටක ග්‍රන්‍ථ

අභිධර්ම මාර්ගය – රේරුකානේ චන්‍දවිමල මාහිමි

සූවිසි මහ ගුණය – රේරුකානේ චන්‍දවිමල මාහිමි

චතුරාර්ය සත්‍යය – රේරුකානේ චන්‍දවිමල මාහිමි

අභිධර්ම චන්‍ද්‍රිකාව – මාතර ශ්‍රී ධම්මවංශ මාහිමි

අභිධර්ම ප්‍රකාශය – ආභිධම්මික දොඩම්පහළ කවිධජ මාහිමි

2. ලෝකයේ අන්තර්ගතය 

ලෝකය යන්නට ඇතුළත් දෙය කෙටියෙන්ම කිවහොත් නාම-රූප දෙක පමණකි. එය ස්කන්‍ධාදි වශයෙන් තවත් විස්තර කළහැකි වේ. ඒ සියල්ල ඇතුළත් භූමි වශයෙන් භූමි තිස් එකක් (31) ඇති බව ඉහත දක්වන ලදී. ඒ සියල්ලේම සත්වයන්ගේ උත්පත්තිය කර්මානුරූපව සිදු වන බැවින් පළමුව ඒ උත්පත්ති ක්‍රමය පිළිබඳ දක්වනු ලැබේ.

සත්වයන්ගේ ච්‍යුති-උත්පත්ති ක්‍රමය

අවිද්‍යාව සහ තෘෂ්ණාව සහමුලින්ම නසන ලද රහතන් වහන්සේලා හැර සෙසු සියල්ලෝම මරණින් මතු යළි උත්පත්තිය ලබති. ඒ උත්පත්ති ස්වකීය කර්මානුරූපව සිදුවේ. ඒ ජීවිතයේම හෝ පෙර ජීවිතයක කරන ලද කුසලාකුසල කර්මයක විපාකයක් වශයෙන් සුගති, දුගති ලෝකවල සත්වයන්ගේ උත්පත්තිය සිදු වේ. මේ අනුව මරණින් මතු සත්වයන්ගේ උත්පත්තිය දෙයාකාරයකට සිදු වේ.

  1. සුගතිගාමී උත්පත්ති – මනුෂ්‍ය ලෝකය, දිව්‍යලෝක සය (6) සහ බඹලොව උත්පත්තිය යන මේවා සුගතිගාමී උත්පත්ති වේ. සුගති උත්පත්තියක් සිදු වන්නේ කුසල සිතක විපාකයක් වශයෙන්ම වේ. එබැවින් මිනිස් ලොව හෝ කවරාකාරයේ උපතක් හෝ සකස් වන්නේ කුසල විපාකයකින්ම බව සිහි තබාගත යුතු වේ.
  2. දුගතිගාමී උත්පත්ති – සතර අපාය උත්පත්ති දුගතිගාමී වේ. දුගති උත්පත්තියක් සකස් වන්නේ අකුසල විපාකයක් වශයෙන්ම වේ.

මෙසේ කුසලාකුසල කර්මානුරූපව සත්වයන්ගේ උත්පත්තිය තීරණය වන්නේ මරණාසන්න අවස්ථාවේ තමාට අරමුණු වන දේ අනුව වේ. ඕනෑම පුද්ගලයකුට මරණාසන්න අවස්ථාවේ කර්මය, කර්මනිමිත්ත, ගතිනිමිත්ත යන තුනෙන් එකක් අරමුණු වේ.

කර්මය – ඒ ජීවිතයේම හෝ පෙර ජීවිතයක තමා විසින් කරන ලද කුසල හෝ අකුසල කර්ම චේතනාවක් අරමුණු වීමයි. ඒ අනුව තමන්ගේ කුසලචේතනාවක් අරමුණු වන පුද්ගලයාගේ මරණාසන්න මොහොත කුසල පක්‍ෂයට නැඹුරු වේ. ප්‍රාණඝාතාදි අකුසල චේතනාවක් අරමුණු වන පුද්ගලයාගේ මරණාසන්න අවස්ථාව අකුසල පක්‍ෂයට නැඹුරු වේ. ඒ අනුව අදාළ පුද්ගලයාගේ මතු උත්පත්තිය තීරණය වේ. මෙසේ කර්මය අරමුණු වීමේ දී එය මනසට අරමුණු වේ.

උදා: රුවන්වැලි සෑයට මල්පූජා කිරීමක් කර්මය වශයෙන් අරමුණු වන පුද්ගලයාට අදාළ කුසල චේතනාව අරමුණු වේ. තමන් ඒ මොහොතේ රුවන්වැලි සෑයට මල් පූජා කරන්නේ යම්සේ ද එසේ වැටහේ. ප්‍රාණඝාතයක් කර්මය වශයෙන් අරමුණු වන්නේ නම් තමන් ඒ මොහොතේ ප්‍රාණඝාතයක් කරන්නාක් මෙන් අකුසල චේතනාව එල්බගෙන සිටී.

කර්මනිමිත්ත – කිසියම් කුසල හෝ අකුසල කර්මයකට නිමිති කරගන්නා ලද, උපකාර කරගන්නා ලද උපකරණාදියක් අරමුණු වීමයි. එහි දී අරමුණු වන්නේ කුසලාකුසල චේතනාව වශයෙන් නොව එකී කර්මයට උපකාර කරගත් ද්‍රව්‍යයක් සිහිපත් වීම වශයෙනි. මෙය මනසට සිහින පෙනෙන්නාක් මෙන් වැටහීම සිදුවිය හැකි අතර ඇතැම් විට ඇස ආදියට අරමුණු වීමක් ද සිදුවිය හැකිය.

උදා: රුවන්වැලි සෑයට මල් පූජාකළ පුද්ගලයකුට රුවන්වැලි සෑ චෛත්‍යරාජයන් වහන්සේ අරමුණු විය හැකිය. එසේම තමාගේ කිසියම් කුසල කර්මයකට අදාළව චෛත්‍ය, බෝධි, බුද්ධප්‍රතිමා, මල්, පහන් ආදි කිසිවක් අරමුණු විය හැකිය. අකුසල කර්මයක නිමිත්තක් අරමුණු වන පුද්ගලයාට ප්‍රාණඝාතාදියකදී මරණයට පත්කළ සත්වයන්, මැරීමේ උපකරණ, සොරකම් කළ බඩු ආදි කිසිවක් සිහිපත් වේ.

ගතිනිමිත්ත – මතු උපදින භවය පිළිබඳ කිසියම් සංඥාවක් අරමුණු වීම මෙහි දී සිදුවේ. කුසල කර්මයක විපාකයක්

වශයෙන් සුගතියේ උපදින සත්වයන්ට දෙව්ලොව දිව්‍ය රථ, දිව්‍ය විමාන, මල් ගොමු, කල්පවෘක්‍ෂ ආදියක් අරමුණු විය හැකිය. ධම්මික උපාසක මහතාට, දුටුගැමුණු මහරජතුමාට ආදීන්ට දිව්‍ය රථ අරමුණු වූයේ මේ ආකාරයෙන් වේ. මිනිස්ලොව උපදින සත්වයන්ට මාතෘ ගර්භය ගති නිමිත්ත වශයෙන් වැටහේ. නිරයෙහි උපදින සත්වයන්ට ගිනිදැල්, ලෝදිය, යම රාක්‍ෂසයන්, නපුරු සතුන් ආදිය අරමුණු විය හැකිය. තිරිසන් යෝනියේ උපදින අයට සත්වයන්, කැලෑ ආදිය අරමුණු විය හැකිය.

මෙම අරමුණු වීම සෑම සත්වයකුටම සිදු වේ. හදිසි අනතුරකින්, බෝම්බ පිපිරීමකින් ආදියකින් මරණයට පත්වන පුද්ගලයාට පවා ඉතා ක්‍ෂණිකව මෙම අරමුණු වීම සිදු වේ. ශල්‍යකර්මාදියකදී මරණයට පත්වන පුද්ගලයකුට, හදිසි අනතුරු ඒකකයක සිටියදී මරණයට පත්වන පුද්ගලයාට පවා සිය මනසට මෙම අරමුණු වීම සිදුවන බව සැලකිය යුතු.

මේ අනුව මරණාසන්න අවස්ථාවේ අරමුණු වන කර්මය, කර්මනිමිත්ත, ගතිනිමිත්ත අනුව ඔහුගේ මරණාසන්න අවස්ථාව තීරණය වේ. කිසියම් කුසලයකට අදාළව කර්මයක් හෝ කර්මනිමිත්තක් හෝ ඒ අනුව සුගතියේ උපදින ස්ථානය පිළිබඳ ගතිනිමිත්තක් හෝ අරමුණු වන පුද්ගලයාගේ මරණාසන්න චිත්තපරම්පරාව කුසලයට නැඹුරු වේ. අකුසලයකට අදාළව කර්මයක් හෝ කර්මනිමිත්තක් හෝ අපායෝත්පත්තිය පිළිබඳ ගති නිමිත්තක් අරමුණු වන පුද්ගලයාගේ මරණාසන්න චිත්තපරම්පරාව අකුසලයට නැඹුරු වේ.

සත්වයන්ගේ සිත් ඇතිවීම අතීත කර්මයෙන් හටගත් වස්තු රූපය ආධාර කරගෙන සිදුවන අතර ඒ වස්තුරූප පරම්පරාව සිඳී ගියහොත් නැවත ඒ ශරීරය ආධාර කරගෙන සිත් ඇති නොවේ. එවිට මරණය සිදු වූවා නම් වේ. මරණාසන්න අවස්ථාවේ ඒ වස්තුරූප පරම්පරාවන් සිඳී යන්නට ඉතා ආසන්න බැවින් ඒ ශරීරය ආධාර කරගෙන ඇති වන අන්තිම සිත් කිහිපය හෙවත් මරණාසන්න චිත්ත වීථිය ඇති වේ. ඉන්පසු වස්තුරූපය සිඳී යන අතර නැවත ඒ සිරුරේ සිත් ඇතිවීමක් සිදු නොවේ. මේ අවස්ථාවේ චිත්තවේගය ඉතා හීන බැවින් ප්‍රකෘතියෙන් මෙන් ජවන සිත් සතක් (7) ඇති නොවන අතර ජවන සිත් පහක් (5) පමණක් ඇති වේ. මෙම වීථියේ අවසානයට ඇති වන සිත ච්‍යුති චිත්තය නම් වේ. මෙම මරණාසන්න සිත් වලට අරමුණ වන්නේ ඒ මොහොතේ අරමුණු වූ කර්මය, කර්මනිමිත්ත හෝ ගතිනිමිත්ත යන තුනෙන් එකකි. ඒ අනුව මරණාසන්න ජවන් සිත් කුසල හෝ අකුසල සිත් බව තීරණය වේ.

ච්‍යුති සිතෙන් පසු නැවතත් එම ශරීරයේ සිත් ඇති වීමක් සිදු නොවන නමුදු සිත් පරම්පරාව නොසිඳී පවතී. ච්‍යුති සිත නිරුද්ධ වීමත් සමඟම මරණාසන්න අවස්ථාවේ ගත් අරමුණම ගනිමින් විපාක දීමට ඉදිරිපත්ව තිබූ කර්මයාගේ විපාක වශයෙන් වෙනත් තැනක ඊළඟ ජාතියේ පළමුවන සිත හෙවත් ප්‍රතිසන්ධි සිත ඇති වේ. එය සත්වයාගේ නැවත ඉපදීම නම්වේ. ඒ ප්‍රතිසන්ධි සිත වර්තමාන භවයෙන් අනාගතයට ගිය එකක් නොව වර්තමාන සිත් පරම්පරාවටම අයත් අලුත් සිතකි. ඒ ච්‍යුති-ප්‍රතිසන්ධි සිත් දෙක අතර ඇත්තේ චිත්තක්‍ෂණයක කාලය පමණි. එබැවින් මරණයට පත් වූ පුද්ගලයා ඒ මොහොතේම අලුත් භවයක ඉපදීම සිදු වේ. ඒ අතර උපතක් සොයමින් සැරිසරන කාලයක් නැත. මෙසේ සත්වයන් කර්මානුරූපව උපත ලබන සියලුම ස්ථාන සුගති, දුගති වශයෙන් දෙයාකාරයකින් දැක්විය හැකි වේ.

සුගති ලෝක

සත්වයන් මරණින් මතු ස්වකීය පුණ්‍ය ශක්තිය මත සුගතිගාමීව උපත ලබන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරන සේක. ‘ගති’ යනුවෙන් සත්වයන් උපත ලබන ස්ථාන හැඳින්වේ. සු යන උපසර්ගයෙන් යුතු වූ විට මනා ගති හෙවත් සත්වයන්ගේ උපත සිදු වන හොඳ ස්ථාන දැක්වේ. එසේ සුගතිගාමී උත්පත්තියක් සකස් වන ප්‍රධාන සුගති භූමි තුනක් වේ.

  1. කාමසුගති භූමි සත (7) : එනම් මනුෂ්‍ය ලෝකය සහ සදිව්‍ය ලෝකයන්
  2. රූපාවචර භූමි : රූපාවචර බඹලොව දහසය (16)
  3. අරූපාවචර භූමි : අරූපාවචර බඹලොව සතර (4)

3. කාමසුගති ලෝක 

සත්වයන් දානාදි නොයෙක් පින් රැස් කොට මේ එකිනෙක සුගති භූමීන්හි උත්පත්තිය ලබන ආකාරය බුදුරජාණන් වහන්සේ විභඩ්ගප්‍රකරණයේ මෙසේ විස්තර කරන සේක.

දානං දත්‍වා සීලං සමාදයිත්‍වා උපෝසථකම්මං කත්‍වා කත්‍ථ උප්පජ්ජන්ති.

දානං දත්‍වා සීලං සමාදයිත්‍වා පෝසථකම්මං කත්‍වා අප්පේකච්චෙ ගහපතිමහාසාළානං සහව්‍යතං උපපජ්ජන්ති. අප්පේකච්චේ බ්‍රාහ්මණමහාසාළානං සහව්‍යතං උපපජ්ජන්ති. අප්පේකච්චෙ ඛත්තියමහාසාළානං සහව්‍යතං උපපජ්ජන්ති.

අප්පේකච්චේ චාතුම්මහාරාජිකානං දේවානං සහව්‍යතං උපපජ්ජන්ති. අප්පේකච්චෙ තාවතිංසානං දේවානං සහව්‍යතං උපපජ්ජන්ති. අප්පේකච්චෙ යාමානං දේවානං සහව්‍යතං උපපජ්ජන්ති. අප්පේකච්චෙ තුසිතානං දේවානං සහව්‍යතං උපපජ්ජන්ති. අප්පේකච්චේ නිම්මාණරතීනං දේවානං සහව්‍යතං උපපජ්ජන්ති. අප්පේකච්චෙ පරනිම්මිතවසවත්තීනං දේවානං සහව්‍යතං උපපජ්ජන්ති.

දන් දී, සිල් සමාදන්ව, පෙහෙවස් රැක කොතැනක උපදී ද යත්:

දන් දී, සිල් සමාදන්ව, පෙහෙවස් රැක ඇතැම් කෙනෙක් ගෘහපති මහාසාරයන්ගේ (මහත් වූ ධනරාශිය ඇති ගෘහපතීන්ගේ) සහභාවයට පැමිණෙත්. ඇතැම් කෙනෙක් බ්‍රාහ්මණමහාසාරයන්ගේ සහභාවයට පැමිණෙත්. ඇතැම් කෙනෙක් ක්‍ෂත්‍රියමහාසාරයන්ගේ සහභාවයට පැමිණෙත්. ඇතැම් කෙනෙක් චාතුම්මහාරාජික දෙවියන්ගේ සහභාවයට පැමිණෙත්.

ඇතැම් කෙනෙක් තාවතිංස දෙවියන්ගේ සහභාවයට පැමිණෙත්. ඇතැම් කෙනෙක් යාම දෙවියන්ගේ සහභාවයට පැමිණෙත්. ඇතැම් කෙනෙක් තුසිත දෙවියන්ගේ සහභාවයට පැමිණෙත්. ඇතැම් කෙනෙක් නිම්මාණරතී දෙවියන්ගේ සහභාවයට පැමිණෙත්. ඇතැම් කෙනෙක් පරනිම්මිතවසවත්තී දෙවියන්ගේ සහභාවයට පැමිණෙත්.

මේ අනුව දන්දීම් ආදී පින් රැස්කිරීම් හේතුවෙන් මිනිස් ලොව ගෘහපති, බ්‍රාහ්මණ, ක්‍ෂත්‍රිය ආදී කුලයන්හි නොයෙක් ධනධාන්‍යාදියෙන් යුතුව උපත ලබයි.

මනුෂ්‍ය ලෝකය

මනුෂ්‍ය ශබ්දය ග්‍රන්ථාන්තරයෙහි විවරණය කරන ආකාරය අනුව ‘මනස උසස් බැවින් මනුෂ්‍ය නම් වේ’. මනෝ උස්සන්නමස්සාති මනුස්සා. උසස් වූ මනසක් ඔහුට ඇත්තේනුයි මනුෂ්‍ය නම් වේ. සතිසූරභාවබ්‍රහ්මචරියයෝග්‍යතාදිගුණේහි උක්කට්ඨමනතාය මනෝ උස්සන්නං එතේසන්ති මනුස්සා. ශ්‍රේෂ්ඨ ස්මෘතිය, සූරභාවය, ශ්‍රේෂ්ඨ වූ පැවිදි ප්‍රතිපදාවෙහි යෙදීම් ආදි ගුණයන් කරණකොටගෙන ශ්‍රේෂ්ඨ වූ සිත් ඇති බැවින් ඔවුන්ට උසස් වූ මනසක් ඇත්තේය. එහෙයින් මනුෂ්‍ය නම් වෙති.

ජම්බුද්වීපය, පූර්වවිදේහය, අපරගෝයානය, උත්තරකුරු දිවයින යනුවෙන් මනුෂ්‍යවාසයන් සතරක් පිළිබඳ සඳහන් වේ. එයින් ජම්බුද්වීප වැසියන් ශ්‍රේෂ්ඨ ස්මෘති ආදිය හේතුවෙන් උසස් වූ මනසක් ඇති බැවින් මනුෂ්‍ය නම් වේ. මොවුන්ට සමාන රූපඇති බව ආදි හේතු නිසාවෙන් සෙසු මහාද්වීප වැසියන් ද මනුෂ්‍ය නම් වේ.

බුදුරජාණන් වහන්සේ අංගුත්තර නවක නිපාතයේ සඳහන් කරන්නේ ජම්බුද්වීප වැසි මිනිසුන් උතුරුකුරු දිවයින් වැසි මිනිසුන්ට වඩා තුන් ආකාරයකින් උසස් වන බවයි. එනම් සූරබව හෙවත් කුශල ධර්මයන්හි දක්‍ෂභාවයෙන් ද, සතිමත් බවින් ද, මේ සම්බුද්ධ ශාසනයෙහි උපසම්පදා ශීල, සාමණෙර ශීලාදියෙන් විසීම් වශයෙන් ද යන තුන් ආකාරයෙන් ජම්බුද්වීප වැසියන් උතුරුකුරු දිවයින් වැසියන් අභිබවා සිටිති.

ආයු පිරිසිඳීම

ජම්බුද්වීප වැසියන්ගේ ආයුෂ පිළිබඳ නිශ්චිත බවක් නැති අතර පූර්වවිදේහ වැසියන්ගේ ආයුෂ වසර 700ක් බව සඳහන් වේ. අපරගොයාන වැසියන්ගේ අවුරුදු 500ක් ආයුෂ වන අතර උත්තරකුරු වැසියන්ට අවුරුදු 1000ක් ආයුෂ වේ.

ජම්බුද්වීප වැසියන්ගේ ආයුෂ අවුරුදු අසඩ්ඛෙය්‍යයේ පටන් දසඅවුරුද්ද දක්වා ද, අවුරුදු දහයේ පටන් අසඩ්ඛෙය්‍ය දක්වා ද වෙනස් වේ. මේ සඳහා ගතවන කාලය අන්තඃකල්පයක් ලෙස හැඳින්වේ. ජම්බුද්වීප වැසියන් ඇතැම් කාලයක හොඳ ප්‍රතිපත්තියේ පිහිටන අතර ඇතැම් කාල වල නොමනා ප්‍රතිපත්තියේ පිහිටති. එසේ නොමනා ප්‍රතිපත්තීන් අනුගමනය කරන කාලයේ ආයුෂ පිරිහී දස අවුරුද්ද දක්වා අඩු වේ. හොඳ ප්‍රතිපත්ති පුරණ කාලයේ ආයුෂ අසඩ්ඛෙය්‍ය දක්වා වැඩි වේ.

අන්තරකල්පය/සත්ව විනාශය

මිනිසුන්ගේ ආයුෂ වසර දහය දක්වා අඩු වූ කාලයේ ශස්ත්‍ර, රෝග, දුර්භික්‍ෂ යන තුන් ආකාරයෙන් එක්තරා ක්‍රමයකට සත්ව විනාශයක් සිදුවේ.

  1. ශස්ත්‍රාන්තර කල්පය : සත්වයන්ගේ ද්වේෂය අධික වී නම් ආයුධ වලින් කපා කොටාගෙන සත්වයන් විනාශ වේ. මෙය ශස්ත්‍රාන්තර කල්පය නම් වේ. මෙසේ මිය යන සත්වයන් එකිනෙකා කපාකොටාගෙන මියයන බැවින්, එකිනෙකා කෙරෙහි පවතින වෛරය නිසා බොහෝ සෙයින් නිරයේ උපත ලබති.
  2. රෝගාන්තර කල්පය : සත්වයන්ගේ මෝහය අධික වී නම් රෝග පීඩාදියෙන් විනාශ වේ. මෙය රෝගාන්තර කල්පය නම් වේ. මෙසේ මියයන සත්වයන් එකිනෙකා පිළිබඳව ‘මෙවැනි රෝගයක් අනෙකකුට නොවේවා’ යි මෙත් සිත් උපදවා ගන්නා බැවින් බොහෝ සෙයින් සුගතිගාමී වෙති.
  3. දුර්භික්‍ෂාන්තර කල්පය : සත්වයන්ගේ ලෝභය අධික වී නම් දුර්භික්‍ෂයෙන් විනාශය වේ. මෙය දුර්භික්‍ෂාන්තර කල්පය නම් වේ. මොවුන් ආහාර පිළිබඳ ආශාව ඇතිව මියයන නිසා බොහෝ සෙයින් ප්‍රේත ලෝක වල උපදිති.

අසඩ්ඛෙය්‍ය කල්පය හා කල්ප විනාශය

අන්තඃකල්ප විස්සක් (20) එක් අසංඛෙය්‍ය කල්පයකි. අසංඛෙය්‍ය කල්ප සතරක් (4) මහාකල්පයක් වන අතර අන්තඃකල්ප අසූවකි (80).

සංවර්තය, සංවර්තස්ථායි, විවර්තය, විවර්තස්ථායි යැයි අසංඛෙය්‍ය කල්ප සතරකි. කාමලෝක සහ ඇතැම් බ්‍රහ්මලෝකයන් දීර්ඝ කාලයකට වරක් ගින්නෙන්, ජලයෙන් හෝ සුළඟින් විනාශ වේ. සංවර්තකල්පය යනු ලෝකය නැසෙමින් පවත්නා කාලයයි. සංවර්තස්ථායී යනු ලෝකය විනාශවීමෙන් පසු විනාශවන්නට ගත වූ කාලය තරම් කාලයක් සිස් ව පවතින කාලයයි. විවර්තකල්පය යනු නැවත ලෝකය මඳින් මඳ සැදී සම්පූර්ණ වීමට ගතවන කාලයයි. විවර්තස්ථායී කල්පය යනු ලෝකය සෑදී සම්පූර්ණ වී නැවත විනාශ වීමට පටන්ගැනීම දක්වා කාලයයි.

මෙහි ලා සංවර්තය හෙවත් කල්පය විනාශවීම් ජලයෙන්, ගින්නෙන් සහ වායුවෙන් යැයි ආකාර තුනකි. විනාශ වන සීමා ද ආභස්සරය, සුභකිණ්හය, වේහප්ඵලය යැයි තුනකි. ගින්නෙන් විනාශ වන විට ආභස්සර බ්‍රහ්මලෝකයට යට සියලුම ලෝක දැවී විනාශ වේ. ජලයෙන් විනාශ වන විට සුභකිණ්හයට යට සියලුම ලෝක ජලයෙන් යට වී විනාශ වේ. වායුවෙන් විනාශ වන විට වේහප්ඵලයට යට සියල්ල වායුවෙන් විනාශ වේ.

සදිව්‍ය ලෝක

දන්දීම් ආදි පුණ්‍යසම්පත්තිය මහත් වන විට කාම සුගති භූමි අතරින් දිව්‍යලෝක සයෙහි උත්පත්තිය සිදු වේ. එකී දිව්‍යලෝක සය (6) නම්,

චාතුම්මහාරාජිකය, තාවතිංසය, යාමය, තුසිතය, නිම්මාණරතිය, පරනිම්මිතවසවර්තිය යනුවෙනි. 

  1. චාතුම්මහාරාජික දිව්‍යලෝකය

මනුෂ්‍ය ලෝකයට යොදුන් හතලිස් දෙදහසක් (42,000) ඉහළින් පිහිටා ඇති බව සඳහන් වේ. විභඩ්ගප්‍රකරණර්ථකථාවේ සඳහන් වන්නේ මහාමේරු පර්වතය මැද හෙවත් යුගන්ධර පර්වතයේ පිහිටා ඇති බවයි.

සතරවරම් දෙවිවරුන්ට භක්ති ඇති බැවින් චාතුම්මහාරාජික යන නම් ලැබෙන බව සඳහන් වේ. සතරවරම් දෙවිවරු ලෙස සඳහන් වන්නේ ධතරට්ඨ, විරූළ්හක, විරූපක්‍ඛ, කුවේර යන සතරදෙනා වෙති. මහාසමය සූත්‍රයේ ‘පුරිමං දිසං ධතරට්ඨෝ, දක්‍ඛිණේන විරූළ්හකෝ’ යනාදි ලෙස සඳහන් වන්නේ මොවුන් පිළිබඳව වේ. ගණ්ඩබ්බ, කුම්භණ්ඩ, නාග, යක්‍ෂ යන සතරකොට්ඨාසයන්ට අධිපති දෙවිවරු මේ නම් වලින් දැක්වේ. ඒ අනුව මේ සත්වකොට්ඨාසයන් චාතුම්මහාරාජිකයේ සිටින බව පැහැදිලි වේ.

මෙම චාතුම්මහාරාජික දෙවිවරු භූමස්ථ, ආකාශස්ථ යනුවෙන් දෙයාකාර වේ. එසේම ඛිඞ්ඩාපදූසික, මනොපදූසික, සීතවළාහක, උණ්හවළාහක, චන්‍දිමදෙවපුත්ත, සුරියදෙවපුත්ත යන දෙවිවරු ද චාතුම්මහාරාජිකයට අයත් බව විභඩ්ග අටුවාවේ සඳහන් වේ. ඛිඞ්ඩාපදූසික යනු දිව්‍යලෝකයේ ක්‍රීඩා ලොල්ව නියමිත වේලාවට ආහාර නොගැනීම නිසා චුතවන දෙවියෝය. මනෝපදූසික යනු අන් දෙවිකෙනෙක් කෙරෙහි ද්වේෂයෙන් සිත දූෂණය කරගෙන ඒ නිසාවෙන් චුතවන දෙවියෝය. ශීතල ඇති කරන දෙවි වරු සීතවළාහක නම්වේ. උණුසුම ඇති කරන දෙවිවරු උණ්හවළාහක නම්වේ. චන්‍ද්‍රවිමානයෙහි සිටින දිව්‍යපුත්‍රයා චන්‍දිම දිව්‍යපුත්‍රයා වන අතර සූර්යවිමානයෙහි සිටින්නේ සුරිය දිව්‍යපුත්‍රයා වේ.

මිනිස් ලොව වසර පණසක් (50) චාතුම්මහාරාජික දෙවියන්ට එක් දිවා රැයකි. එබඳු දින තිසක් (30) මාසයක් වන  අතර මාස දොළොසක් වසරක් වේ. එබඳු වසර 500ක් චාතුම්මහාරාජිකයේ ආයුෂ වේ. ඒ අනුව මනුෂ්‍ය වර්ෂ වලින් වසර අනූ ලක්‍ෂයක් (9,000,000) චාතුම්මහාරාජිකයේ ආයුෂ වේ. එහෙත් අල්පෙශාක්‍ය වූ හෝ මහේශාක්‍ය වූ හෝ බූමාටු දෙවියන්ගේ හා විමාන ප්‍රේතාදීන්ගේ ආයුෂ මෙතෙකැයි නිශ්චිත නැත.

  1. තාවතිංස දිව්‍යලෝකය

තෙත්තිංස ජනා තත්‍ථ උපපන්නාති තාවතිංසා’ යනුවෙන් දැක්වෙන බැවින් මඝමානවක තුමා සමඟ තෙතිස් දෙනෙක් එහි උපන් බැවින් තාවතිංස නම්වේ. මෙහි අධිපති වන්නේ ශක්‍ර දෙවේන්‍ද්‍රයායි. මහමෙර මුදුනේ ඇති බව සඳහන් වේ. චාතුම්මහාරාජික දිව්‍යලෝකයේ පටන් යොදුන් හතලිස් දෙදහසක් (42,000) ඉහළින් පවතී. මෙම දෙවිවරු ද පර්වතස්ථ සහ ආකාශස්ථ වශයෙන් සිටී.

මිනිස් ලොව වසර 100ක් තව්තිසා වැසි දෙවියන්ට එක් දිවා රැයකි. එබඳු දින තිසක් (30) මාසයක් වන අතර මාස දොළොසක් වසරක් වේ. එබඳු වසර 1000ක් තාවතිංසයේ ආයුෂ වේ. ඒ අනුව මනුෂ්‍ය වර්ෂ වලින් වසර තුන්කෝටි සැට ලක්‍ෂයක් (36,000,000) තාවතිංසයේ ආයුෂ වේ.

  1. යාම දිව්‍යලෝකය

දිබ්බං සුඛං යාතා පයාතා සම්පත්තාති යාමා’ ලෙස සඳහන් වන පරිදි දිව්‍යමය වූ සැපයට ගියාහු ද පැමිණියාහු ද, සම්ප්‍රාප්ත වූවාහු ද එහෙයින් ඒ දෙවියෝ යාම නම් වෙති. මෙය තාවතිංසයට යොදුන් 42,000ක් ඉහළින් පිහිටා ඇත.

මිනිස් ලොව වසර 200ක් යාම දෙවියන්ට එක් දිවා රැයකි. එබඳු දින තිසක් (30) මාසයක් වන අතර මාස දොළොසක් වසරක් වේ. එබඳු වසර 2000ක් යාමයේ ආයුෂ වේ. ඒ අනුව මනුෂ්‍ය වර්ෂ වලින් වසර දහහතරකෝටි සතලිස් ලක්‍ෂයක් (144,000,000) යාමයේ ආයුෂ වේ.

  1. තුසිත දිව්‍යලෝකය

තුසිත යන පදය විභඩ්ග අටුවාවේ දක්වන්නේ ‘තුට්ඨා පහට්ඨා තුසිතා’ යනුවෙනි. එනම් තුටු පහටු සිත් ඇත්තාහු තුසිත නම් වෙති. තමන්ගේ ශ්‍රී සම්පත්තිය හේතුකොටගෙන ප්‍රීතියට පැමිණි දෙවියන්ගේ වාසස්ථානය යන අර්ථයෙන් ද තුසිත නම්වේ. මෙය යාම දිව්‍යලෝකයේ පටන් යොදුන් 42,000ක් ඉහළින් පිහිටා ඇත.

මිනිස් ලොව වසර 400ක් තුසිත දෙවියන්ට එක් දිවා රැයකි. එබඳු දින තිසක් (30) මාසයක් වන අතර මාස දොළොසක් වසරක් වේ. එබඳු වසර 4000ක් තුසිතයේ ආයුෂ වේ. ඒ අනුව මනුෂ්‍ය වර්ෂ වලින් වසර පණස්හත්කෝටි සැටලක්‍ෂයක් (576,000,000) තුසිතයේ ආයුෂ වේ.

  1. නිම්මාණරතිය

පකතිපටියත්තාරම්මණතෝ අතිරේකේනරමිතුකාමකාලේ යථාරුචිතේ භෝගේ නිම්මිනිත්වා රමන්තීති  නිම්මාණරතී’ යනුවෙන් දැක්වෙන බැවින් ප්‍රකෘතියෙන් පිළියෙළ වූ අරමුණට වඩා වැඩිතරම් අරමුණකින් සිත්අලවනු කැමති කල්හි සිතට රිසි පරිදි වූ භෝගසම්පත්තීන් නිර්මිත කොට සිත්අලවත් ද එහෙයින් ඒ දෙවියෝ නිම්මාණරතී නම් වෙති. එනම් තමන් විසින් නිර්මාණය කරගන්නා ලද ශ්‍රී සම්පත්තියෙහි ඇලෙන බැවින් නිම්මාණරතී නම් වේ. මෙය තුසිතයෙන් යොදුන් 42,000ක් ඉහළින් පිහිටා තිබේ.

මිනිස් ලොව වසර 800ක් නිම්මාණරතී දෙවියන්ට එක් දිවා රැයකි. එබඳු දින තිසක් (30) මාසයක් වන අතර මාස දොළොසක් වසරක් වේ. එබඳු වසර 8000ක් නිම්මාණරතියේ ආයුෂ වේ. ඒ අනුව මනුෂ්‍ය වර්ෂ වලින් වසර දෙසිය තිස්කෝටි සතලිස් ලක්‍ෂයක් (2,304,000,000) නිම්මාණරතියේ ආයුෂ වේ.

  1. පරනිම්මිතවසවර්තිය

චිත්තාචාරං ඤත්‍වා පරේහි නිම්මිතේසු භෝගේසු වසං වත්තෙන්තීති පරනිම්මිතවසවත්තී’ යැයි විභඩ්ග අටුවාවේ කියූ ආකාරයට සිතේ පැවැත්ම දැන අන්අය විසින් නිර්මිත කළා වූ භෝගසම්පත්තීන් තමාගේ වසඟයේ පවත්වන බැවින් ඒ දෙවියෝ පරනිම්මිතවසවර්ති නම් වෙති. මෙය නිම්මාණරතියට යොදුන් 42,000ක් ඉහළින් පිහිටා ඇත.

මිනිස් ලොව වසර 1600ක් පරනිම්මිතවසවර්ති දෙවියන්ට එක් දිවා රැයකි. එබඳු දින තිසක් (30) මාසයක් වන අතර මාස දොළොසක් වසරක් වේ. එබඳු වසර 16,000ක් පරනිම්මිතවශවර්තියේ ආයුෂ වේ. ඒ අනුව මනුෂ්‍ය වර්ෂ වලින් වසර නවසිය විසිඑක්කෝටි සැට ලක්‍ෂයක් (9,216,000,000) පරනිම්මිතවසවර්තියේ ආයුෂ වේ.

ඡ එතේ කාමාවචරා – සබ්බකාමසමිද්ධිනෝ

සබ්බේසං එකසඩ්ඛාතෝ – ආයු භවති කිත්තකෝ

ද්වාදසකෝටි සතං තේසං – අට්ඨවීසඤ්ච කෝටියෝ

පඤ්ඤාස සතසහස්සානි – වස්සග්ගේන පකාසිතා

මෙකී සයක් වූ කාමාවචරයෝ සියලු පඤ්චකාමයෙන් සමෘද්ධ වූවාහු වෙත්. සියලු කාමාවචරයන්හි එක් රැස් කොට පිඬුකළ ආයු ප්‍රමාණය කොතෙක් වෙයි ද යත්, ඒ සයක් කාමාවචර දෙවියන්ගේ ආයුෂ මිනිසුන්ගේ අවුරුදු ගණනින් එක්දහස් දෙසිය විසිඅටකෝටි පණස්ලක්‍ෂයක් (12,285,000,000) යැයි ප්‍රකාශ කරන ලදී.

4. රූපාවචර බ්‍රහ්මලෝක 

යම් පුද්ගලයෙක් ප්‍රථමධ්‍යානාදිය උපදවා එකී ධ්‍යානයෙන් නොපිරිහී කලුරිය කළේ වී නම් මරණින් මතු රූපාවචර බ්‍රහ්මලෝකයක උපදී. එසේ උපත සිදුවන බඹලොව දහසයක් (16) පිළිබඳව සඳහන් වේ. මේවා එකිනෙක ධ්‍යාන භේදය අනුව මෙසේ දැක්විය හැකි වේ.

ප්‍රථමධ්‍යාන භූමි

ප්‍රථමධ්‍යානය වඩා නොපිරිහුණු ධ්‍යානයෙන් කලුරිය කොට උපත ලබන රූපාවචර බ්‍රහ්මලෝක තුනක් වෙති. මේවා සමතලයක පිහිටා තිබේ. එනම් පරනිම්මිතවසවර්ති දිව්‍යලෝකයෙන් මත්තෙහි යොදුන් පණස්පන්ලක්‍ෂ අටදහසක් (5,508,000) ඉහළින් පිහිටා තිබේ. එකිනෙක බ්‍රහ්මයන්ගේ ආයුෂ පමණක් වෙනස් වේ. මේ බඹතල තුනේම උපදනා බ්‍රහ්මයෝ එකම රූපාවචර ප්‍රථමධ්‍යාන විපාක සිතෙන් ප්‍රතිසන්‍ධි ගනී.

  1. බ්‍රහ්මපාරිසජ්ජය

මහාබ්‍රහ්මානං පාරිසජ්ජා පරිචාරකාති බ්‍රහ්මපාරිසජ්ජා’ යනුවෙන් සඳහන් වන ආකාරයට මහාබ්‍රහ්මයන්ගේ පිරිස වූ මෙහෙකරුවන් වූ බ්‍රහ්මයෝ බ්‍රහ්මපාරිසද්‍ය නම් වෙති. විභඩ්ගප්‍රකරණයෙහි සඳහන් වන ආකාරයට ප්‍රථමධ්‍යානය පරිත්ත වශයෙන් (මඳ වූ ඡන්ද, චිත්ත, විරිය, වීමංසාවන්ගෙන් යුතුව) වඩා මෙම බ්‍රහ්මපාරිසද්‍යයේ උපත ලබති. මෙහි ආයුෂ අසංඛ්‍ය කල්පයකින් 1/3 කි.

  1. බ්‍රහ්මපුරෝහිතය

මහාබ්‍රහ්මයන්ගේ පුරෝහිත භාවයෙහි සිටියා වූ බ්‍රහ්මයෝ බ්‍රහ්මපුරෝහිත නම් වෙති. ප්‍රථමධ්‍යානය මධ්‍යම වශයෙන් (මධ්‍යම වූ ඡන්ද, චිත්ත, විරිය, වීමංසාවන්ගෙන් යුතුව) වඩා මෙම බ්‍රහ්මපුරෝහිතයේ උපත ලබති. අසංඛ්‍ය කල්පයකින් 1/2 ක් ආයුෂ වේ.ලෝකවිදූ 22

  1. මහාබ්‍රහ්මය

වර්ණවත් බැවින් ද, දීර්ඝායුෂ්ක වන බැවින් ද මහත් වූ බ්‍රහ්මයෝ මහාබ්‍රහ්ම නම් වෙති. ප්‍රථමධ්‍යානය ප්‍රණීතව (උතුම් වූ ඡන්ද, චිත්ත, විරිය, වීමංසාවන්ගෙන් යුතුව) වඩා මෙහි උපත ලබති. මොවුන් සහස්සබ්‍රහ්ම, ද්විසහස්සබ්‍රහ්ම ආදි වශයෙන් වෙති. සක්වළ දහසකට අධිපති වූවෝ සහස්සබ්‍රහ්ම නම්වෙති. සක්වළ දෙදහසකට අධිපති ද්විසහස්සබ්‍රහ්ම නම් වෙති. අසංඛ්‍ය කල්පයක් ආයුෂ වේ.

ද්විතීයධ්‍යාන භූමි

ද්විතීයධ්‍යානය උපදවා නොපිරිහී කලුරිය කර උපතලබන බඹතල තුනක් සඳහන් වෙති. ඒ අනුව (චතුෂ්ක ක්‍රමයට) රූපාවචර ද්විතීයධ්‍යාන විපාක සිතින් මෙම බඹතල තුනේම ප්‍රතිසන්‍ධි ගනී. ධ්‍යාන පඤ්චක ක්‍රමයට නම් ද්විතීය හා තෘතීය ධ්‍යාන විපාක සිත් දෙකින්ම ප්‍රතිසන්‍ධි ගන්නේ මෙම ද්විතීය ධ්‍යාන බඹතලයන්හි වේ. මේවා ප්‍රථමධ්‍යාන භූමියෙන් යොදුන් පණස්පන්ලක්‍ෂ අටදහසක් (5,508,000) මත්තෙහි සමානතලයක පිහිටා තිබේ. එකිනෙක බ්‍රහ්මයන්ගේ ආයුෂ පමණක් වෙනස් වේ.

  1. පරිත්තාභ (4)

පරිත්තා ආභා එතේසන්ති පරිත්තාභා’ යනුවෙන් සඳහන් වන බැවින් අල්ප වූ ආලෝකයක් ඇති බ්‍රහ්මයන් පරිත්තාභ නම් වෙති. ද්විතීයධ්‍යානය මඳ වශයෙන් උපදවා නොපිරිහී කලුරිය කර මෙම බඹතලයේ උපත ලබති. මහාකල්ප දෙකක් ආයුෂ වේ.

  1. අප්පමාණාභ (5)

අප්‍රමාණ වූ ආලෝකයක් ඇති බ්‍රහ්මයන් අප්පමාණාභ නම් වෙති. ද්විතීයධ්‍යානය මධ්‍යමවශයෙන් උපදවා මෙහි උපත ලබති. මහාකල්ප 4 ක් ආයුෂ වේ.

  1. ආභස්සර (6)

දඬුවැටපහනෙන් ගිනිදැල් විහිදෙන්නාක් වැනි වූ ආලෝකයක් ශරීරයෙන් විහිදෙන්නා වූ බ්‍රහ්මයෝ ආභස්සර නම් වෙති. ද්විතීයධ්‍යානය ප්‍රණීත වශයෙන් උපදවා මෙහි උපත ලබති. මහාකල්ප 8 ක් ආයුෂ වේ.

තෘතීයධ්‍යාන භූමි

රූපාවචර තෘතීයධ්‍යානය උපදවා නොපිරිහී කලුරිය කර උපතලබන බඹලොව තුනක් සඳහන් වේ. ඒ අනුව රූපාවචර තෘතීයධ්‍යාන (පඤ්චක ක්‍රමයට නම් චතුර්ත්‍ථ ධ්‍යානය) විපාක චිත්තයෙන් මෙම බඹතල තුනේම ප්‍රතිසන්‍ධි ගනී. ද්විතීයධ්‍යාන බඹතලයෙන් යොදුන් පණස්පන්ලක්‍ෂ අටදහසක් (5,508,000) මත්තෙහි එකමතලයක මෙම බඹලොව තුනම පිහිටා ඇත.

  1. පරිත්තසුභ (7)

එකඝන වූ නිශ්චල ආලෝකය සුභ නම්වේ. ‘පරිත්තා සුභා එතේසන්ති පරිත්තසුභා’ යැයි සඳහන් වන බැවින් අල්ප වූ එකඝන වූ නිශ්චල ආලෝකයක් ඇති බ්‍රහ්මයන් මෙහි වාසය කරති. රූපාවචර තෘතීයධ්‍යානය මඳ වශයෙන් වඩා මෙහි උපත ලබයි. මහාකල්ප 16 ක් ආයුෂ වේ.

  1. අප්පමාණසුභ (8)

අප්‍රමාණ වූ ඒකඝන නිශ්චල ආලෝකයක් ඇති බ්‍රහ්මයන් අප්පමාණසුභ නම් වෙති. ඔවුන්ගේ වාසභූමිය අප්පමාණසුභය නම් වේ. තෘතීය ධ්‍යානය මධ්‍යම වශයෙන් වඩා මෙහි උපත ලබයි. මහාකල්ප 32 ක් ආයුෂ වේ.

  1. සුභකිණ්හ (9)

සුභ නම් වූ ඒකඝන නිශ්චල ආලෝකයෙන් ගැවසීගත්තා වූ බ්‍රහ්මයන් සුභකිණ්හක නම් වේ. ඔවුහු සිය ශරීරප්‍රභාවෙන් එකඝනව, රන් මඤ්ජුසාවක තබන ලද ඉතා පැහැපත්ව දිලිසෙන රන් පිඬක් සේ සශ්‍රීක යැයි සඳහන් වේ.

එබැවින් සුභකිණ්හක නම් වෙති. රූපාවචර තෘතීයධ්‍යානය ප්‍රණීත වශයෙන් වඩා මෙහි උපත ලබයි. මහාකල්ප 64 ක් ආයුෂ වේ.

චතුර්ථධ්‍යාන භූමි

රූපාවචර චතුර්ථධ්‍යානය (පඤ්චක ක්‍රමයට පඤ්චමධ්‍යානය) උපදවා නොපිරිහී කලුරිය කර උපත ලබන බඹතල තුනක් පිළිබඳ සඳහන් වේ. මේ අතරින් වේහප්ඵලය සහ අසංඥසත්තය තෘතීයධ්‍යාන භූමිය මත්තෙහි යොදුන් පණස්පන්ලක්‍ෂ අටදහසක් (5,508,000) ඉහළින් එකම තලයක පිහිටා තිබේ. ඉන් මත්තෙහි යොදුන් පණස්පන්ලක්‍ෂ අටදහස බැගින් ඉහළට සුද්ධාවාස බඹලොව පස එකිනෙකට උඩින් පිහිටා තිබේ.

  1. වේහප්ඵල (10)

විපුලා ඵලා එතේසන්ති වේහප්ඵලා’ ධ්‍යානානුභාවයෙන් හටගත් මහත් වූ විපාකයෝ මොවුන්ට ඇති බැවින් වේහප්ඵල නම් වෙති. මහාකල්ප 500 ක් ආයුෂ වේ.

  1. අසංඥසත්වය (11)

සංඥා විරහිත වූ සත්වයන්ගේ උත්පත්තිය සිදුවන බඹතලය අසංඥ සත්වය නම් වේ. ඇතැම් කෙනෙක් තීර්ථායතනයන්හි පැවිදිව වායෝ කසිණ භාවනාවෙන් චතුර්ථධ්‍යානය උපදවා එයින් නැගී සිට, ‘සිත නිසාවෙන්ම රාග ද්වේෂ මෝහයන් ඇති වේ’ යැයි සිතේ දොස් දැක ‘අචිත්තක බවම හෙවත් සිතක් නැති බවම සුදුසු යැ’යි ඒ සිත නැති බව මේ ආත්මභාවයේම නිර්වාණය වන්නේ යැයි සිතා සංඥා විරාග භාවනා කරති. ඒ සංඥා විරාග භාවනාවෙන් පඤ්චමධ්‍යානය සමාපත්තිය වඩා මේ අසංඥසත්වයේ උපත ලබති.

ඔවුන්ට උත්පත්තික්‍ෂණයෙහි රූපස්කන්‍ධය පමණක්ම පහළ වේ. එය ද කිසියම් ඉරියව්වකින් පහළ වූයේ නම් මහාකල්ප 500 ක් ඒ ඉරියව්වෙන්ම අචිත්තකව හිඳ චුත වේ. එවිට කාමාවචර සංඥාව ඉපිද මේ කාමභූමියෙහි (මිනිස් ලොව) උපදී. රූපස්කන්‍ධය පමණක් පහළ වන බැවින් මෙම අසංඥ තලය ‘එක වෝකාර භවය’ ලෙස ද හැඳින්වේ.

පංච සුද්ධාවාස

කාමරාග, පටිඝ නැති අනාගාමී සහ අරිහත් ආර්යයන් වහන්සේලා ‘සුද්ධ’ ලෙස හැඳින්වේ. ඔවුන්ගේ ආවාස භූමිය සුද්ධාවාස ලෙස හැඳින්වේ. ඒ අනුව මෙහි උපදින්නේ අනාගාමී ආර්යයන් වහන්සේලා වන අතර එහි දී අරිහත්වයට පත් රහතන් වහන්සේලා ද වාසය කරති. වේහප්ඵලය සහ අසංඥ සත්වයන්ට ඉහළින් මෙම බඹලොව පස පිහිටා ඇත.

  1. අවිහය (12)

අත්තනෝ සම්පත්තියා න හායන්ති න විහායන්තීති අවිහා’ යැයි කියූ බැවින් තමාගේ සම්පත්තිය කෙරෙන් නොපිරිහෙන අර්ථයෙන් මෙම බ්‍රහ්මයන් අවිහ නම් වෙති. ඔවුන්ගේ වාස භූමිය ද අවිහය නම්වේ. සද්ධින්‍ද්‍රිය අධික ආර්යයන් වහන්සේලා මෙහි උපත ලබති. මහාකල්ප 1000 ක් ආයුෂ වේ.

  1. අතප්පය (13)

න කඤ්චි සත්තං තප්පන්තීති අතප්පා’ යි කියූ ආකාරයට කිසිදු සත්වයෙක් නොතවන අර්ථයෙන් මේ බ්‍රහ්මයෝ අතප්ප නම් වෙති. ඔවුන්ගේ වාස භූමිය ද අතප්පය නම් වේ. සතින්‍ද්‍රිය අධික වී නම් මෙහි උපත ලබති. ආයුෂ මහාකල්ප 2000ක් වේ.

  1. සුදස්සය (14)

සුන්දරා දස්සනා අභිරූපා පාසාදිකාති සුදස්සා’ නම් වේ. එනම් සොඳුරු වූ, දැකුම්කළු වූ, විශිෂ්ට රූ ඇත්තා වූ, ප්‍රසාදජනක වූ අර්ථයෙන් මෙම බ්‍රහ්මයන් සුදස්ස නම් වෙති. ඔවුන්ගේ භූමිය සුදස්සය නම් වේ. විරියින්‍ද්‍රිය අධික පුද්ගලයන් මෙහි උපදී. මෙහි මහාකල්ප 4000 ක් ආයුෂ වේ.ලෝකවිදූ 26

  1. සුදස්සිය (15)

සුට්ඨු පස්සන්ති, සුන්දරමේතේසං වා දස්සනන්ති සුදස්සී’ යනුවෙන් මැනවින් දක්නා හෙයින් හෝ සොඳුරු දර්ශනයක් ඇති නිසාවෙන් මෙම බ්‍රහ්මයන් සුදස්සී නම් වෙති. ඔවුන්ගේ භූමිය ද සුදස්සිය නම් වේ. සමාධින්‍ද්‍රිය අධිකනම් මෙහි උපත ලබයි. මහාකල්ප 8000 ක් ආයුෂ වේ.

  1. අකනිට්ඨය (16)

සියලුම ගුණධර්මයන්ගෙන් ද, භව සම්පත්තියෙන් ද ජේෂ්ඨ බැවින්, මේ බඹ ලොවෙහි කනිෂ්ඨයන් නැති අර්ථයෙන් අකනිට්ඨ නම් වේ. ඒ අකනිට්ඨ බ්‍රහ්මයන්ගේ භූමිය ද මේ නමින් හැඳින්වේ. ප්‍රඥා ඉන්‍ද්‍රිය අධික වී නම් මෙහි උපත ලබයි. මහා කල්ප 16000 ක් ආයුෂ වේ.

බුදුවරයෝ දීර්ඝ කාලයක් මුළුල්ලෙහි පහළ නොවී නම් සුද්ධාවාස බඹතල සිස් වේ. අකනිටා බඹතලයේ උපරිම ආයුෂ මහාකල්ප 16000 ක් බැවින් මිනිස් ලොව කල්ප 16000 කින් බුදුවරයෙක් පහළ නොවූයේ නම් සුද්ධාවාස සියල්ල සිස් වේ.

5. අරූපාවචර බ්‍රහ්මලෝක 

අරූපාවචර ධ්‍යාන සමාපත්තීන් සතරක් ඇති අතර ඒ එකිනෙකක් වඩා උපත ලබන භූමි සතරක් පිළිබඳව සඳහන් වේ. මේවායෙහි රූපස්කන්‍ධ පහළ නොවන අතර නාමස්කන්‍ධ පමණක් පහළ වේ. එසේ නාමස්කන්‍ධ සතර පමණක් පහළ වන බැවින් මෙම අරූප භූමි ‘චතුවෝකාර භව’ ලෙස ද හැඳින්වේ.

  1. ආකාසානඤ්චායතනය

ආකාසානඤ්චායතන සමාපත්තිය උපදවා නොපිරිහුණු ධ්‍යානයෙන් යුත් පුද්ගලයා ඒ ආකාසානඤ්චායතන විපාක චිත්තයෙන් මෙහි ප්‍රතිසන්‍ධි ගනී. අනන්ත වූ ආකාශප්‍රඥප්තිය අරමුණු කොට ‘අනන්තො ආකාසො’ යනුවෙන් පරිකර්ම කර ආකාසානඤ්චායතනය උපදවයි. මහාකල්ප 20,000 ක් ආයුෂ වේ.

  1. විඤ්ඤාණඤ්චායතනය

ආකාසානඤ්චායතන චිත්තයේ අනන්ත බව අරමුණු කොට ‘අනන්තං විඤ්ඤාණං’ යැයි පරිකර්ම කිරීමෙන් විඤ්ඤාණඤ්චායතනය උපදවන අතර ඒ විඤ්ඤාණඤ්චායතන සමාපත්තියෙන් නොපිරිහුණු පුද්ගලයා ඒ විපාක සිතෙන් මෙහි උපදී. මහාකල්ප 40,000 ක් ආයුෂ වේ.

  1. ආකිඤ්චඤ්ඤායතනය

කිසිවක් නොමැති බව හෙවත් නාස්තිප්‍රඥප්තිය අරමුණු කර ‘නත්‍ථි කිඤ්චි’ යැයි වැඩීමෙන් ආකිඤ්චඤ්ඤායතනය උපදවන අතර ඉන් නොපිරිහී කලුරිය කර මෙහි උපත ලබයි. මහාකල්ප 60,000 ක් ආයුෂ වේ.

  1. නේවසඤ්ඤානාසඤ්ඤායතනය

ආකිඤ්චඤ්ඤායතන ධ්‍යාන චිත්තයේ ශාන්ත ස්වභාවය අරමුණු කර ‘සන්තමේතං පණිතමේතං’ කියා වැඩීමෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියට සමවැදිය හැකි අතර ඉන් නොපිරිහී කලුරිය කර නේවසඤ්ඤානාසඤ්ඤායතනයේ උපත ලබයි. මෙහි මහාකල්ප 84,000 ක් ආයුෂ වේ.

මෙසේ නොයෙක් ආකාරයෙන් කුසලධර්මයන් රැස්කොට සත්වයන්ගේ උත්පත්තිය සිදු වන සුගති ලෝක පිළිබඳව දේශනා කරන බුදුරජාණන් වහන්සේ දේශනා කරනුයේ ඒ කවරාකාරයේ සුගතියක උපත ලැබුවේ වුව ද නැවතත් දුගතිගාමී වියහැකි බවයි. එබැවින් අභිධර්මපිටකයේ විභඩ්ගප්‍රකරණයේ, ධම්මහදයවිභඩ්ගයේ මෙසේ දේශනා කරන සේක.

උක්‍ඛිත්තා පුඤ්ඤතේජේන – කාමරූපගතිඩ්ගතා

භවග්ගතම්පි සම්පත්තා – පුනාගච්ඡන්ති දුග්ගතිං

(පුණ්‍ය තේජසින් ඔසවා තබන ලදුව මනුෂ්‍යාදි සප්තසුගතිභවවලට සහ එකොළොස් රූපභවයේ පිළිසිඳගන්නා ලද ද, නෙවසඤ්ඤානාසඤ්ඤා සඩ්ඛ්‍යාත භවාග්‍රයට පැමිණියාහු ද පෙරළා දුගතියට පැමිණේ.

තාව දීඝායුකා සත්තා – චවන්ති ආයුසඩ්ඛයා

නත්‍ථි කෝචි භවෝ නිච්චෝ – ඉති වුත්තං මහේසිනා

(කල්ප අසූහාරදහසක් පමණ නමුදු දීර්ඝායුෂ සහිත සත්වයෝ ආයු ගෙවී යාමෙන් ච්‍යුත වෙති. නිත්‍ය වූ කිසිදු භවයක් නොමැති බව මහෙර්ෂි වූ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාරණ ලදී.)

එබැවින් සුගතිගාමී වුව ද නැවතත් දුගතියේ උපත ලැබිය හැකි බැවින් සෑම දෙනා අප්‍රමාදීව කුසලධර්මයන් වඩාගෙන නිවන් සාක්‍ෂාත් කරගැනීමට උත්සහවත් විය යුතු වේ. මෙසේ සුගති ලෝකයන් පිළිබඳ ගෙනහැර දක්වන බුදුරජාණන් වහන්සේ දුගති ලෝකයන් පිළිබඳව ද නොයෙක් සූත්‍රදේශනාදියෙහි දේශනා කළ සේක.

මෙම ලිපියෙන් අප සුගති ‌ලෝකය පිළිබඳ කරුණු ‌ගෙනහැර දැක්වුවෙමු. දුගතිය පිළිබඳ සවිස්තරාත්මකව අප ඊළඟ ලිපියෙන් පළකිරීමට බලාපොරොත්තු වන්නෙමු.

 

 

දුගති ලෝක

නොමනා ගති හෙවත් සත්වයන් මරණින් මතු උපත ලබන නොමනා ස්ථාන දුගති ලෙස හැඳින්වේ. අපාය ලෙස ද හැඳින්වේ. සත්වයන් මරණින් මතු ස්වකීය කිසියම් අකුසල කර්මයක විපාක වශයෙන් උපත ලබන, දුක්ඛිත ජීවිත ගතකරන සත්වයන් වාසයකරන භූමි මින් දැක්වේ. අපාය යන්න අර්ථකථාවෙහි ‘වුඞ්ඪිසඩ්ඛාතස්ස අයස්ස අභාවතෝ අපායෝති වුච්චති’ යනුවෙන් දැක්වේ. එනම් ‘අය’ යනු කුසලධර්මයන්ගේ අභිවෘද්ධියට නමකි. ඒ කුසලධර්මයන්ගේ අභිවෘද්ධිය හෙවත් ‘අය’ නොමැති තැන ‘අපාය’ නම්වේ. ‘අපෙන්ති සම්පත්තියෝ එතේනාති අපායෝ’ යනුවෙන් සම්පත් වලින් බැහැර වන හේතුව අපාය බවද දැක්වේ.
නිරයගත, තිරිසන්ගත, ප්‍රේත විෂයික, අසුරනිකායික සත්වයන් මෙසේ අපාය සත්වයන් ලෙස හැඳින්වේ. අකුශල කර්මයක විපාක වශයෙන් ‘අහේතුක අකුශලවිපාක සන්තීරණ’ චිත්තයෙන් අපාය උත්පත්තිය සිදු වේ. මේ අනුව අපායෝත්පත්ති සතරකි (4)

1. නිරය

2. තිරිසන් අපාය

3. ප්‍රේත අපාය

4. අසුර අපාය යනුවෙනි.

නිරය/නරකය

නිරය හෙවත් නරකය කොටස් අටක් (8) ලෙස දක්වා ඇති අතර එය අටමහා නරකය ලෙස හැඳින්වේ. එනම්, සඤ්ජීවය, කාළසූත්‍රය, සඩ්ඝාතය, රෞරවය, මහාරෞරවය, තාපය, ප්‍රතාපය, අවීචි යනුවෙනි.

1. සඤ්ජීවය

යමපලුන් විසින් එහි උපන් සත්වයන් ගිනියම් වූ පොළොවෙහි පෙරළා කඩ කඩකොට කපද්දීත් ඒ සත්වයන් නැවත නැවත ජීවත් වන බැවින් මෙය සඤ්ජීවය නම් වේ. මෙය මිනිස් ලොවට යොදුන් 15000ක් යටින් පිහිටා ඇති බව පැවසේ. අධික ක්‍රෝධයෙන් හා මානයෙන් අනුන් හා කෝලහල කළ අය ද, දුබලයන් පෙලූ රජවරු හා නිළධාරීහු ද, දිළින්දන් පෙලූ පොහොසතුන් හා මැරයෝ ද මෙහි උපදිති. චාතුම්මහාරාජික දෙවියන්ගේ සමස්ථ ආයු ප්‍රමාණය (වසර 9,000,000) සඤ්ජීවයට එක් දිවා රාත්‍රියකි. එබඳු දින තිසක් මාසයක් වන අතර එබඳු මාස දොළොසක් එක් වසරකි. එබඳු වසර පන්සියයක් සඤ්ජීව නරකයේ ආයුෂ වේ. ඒ අනුව මනුෂ්‍ය වර්ෂ 1,620,000,000,000ක් සඤ්ජීවයේ ආයුෂ වේ.

2. කාළසූත්‍රය

මෙම නරකයේ උපන් සත්වයන් යමපලුන් විසින් නොයෙක් ආවුධයෙන් පහර දෙමින් ලුහුබැඳ ගිනිගෙන දැවෙන පොළොවේ පෙරළා, ගිනිගෙන දැවෙන දැලි නූලක් (කාළසූත්‍රයක්) ගෙන නූල් ගසා ගිනිගෙන දැවෙන පොරවකින් අටමුලු, සොළොස් මුලු කරමින් සසින බැවින් කාළසූත්‍රය නම් වේ. මෙය සඤ්ජීව නරකයට යොදුන් 15000ක් යටින් පිහිටා තිබේ. මව්පියන්ට, මිතුරන්ට හා ගුණවත් මහණ බමුණන්ට අපරාධ කළවුන් මෙහි උපදිති. සංකිච්ච ජාතකයේ සඳහන් වන්නේ කරන ලද කෘත්‍යය ඇති පැවිද්දකු නසා බොහෝ කලක් කාළසූත්‍ර නරකයේ පැසෙන බවයි.

යෝ ච පබ්බජිතං හන්ති – කතකිච්චං මහේසිනං
ස කාළසුත්තේ නිරයේ – චිරරත්තාය පච්චති (සංකිච්චජාතකය)
එසේම යශස, ධනය ලෝභයෙන් පීතෘ ඝාතනය කරන අය ද මෙම කාළසූත්‍ර නිරයේ උපදින බව මෙසේ සඳහන් වේ.

යෝ ලෝභා පිතරං හනති – දෝසා වා පුරිසාධමෝ
ස කාළසුත්තේ නිරයේ – චිරරත්තාය පච්චති (සංකිච්චජාතකය)
තාවතිංසයේ මුළු ආයු ප්‍රමාණය කාළසූත්‍ර නරකයට එක් දිවා රාත්‍රියකි. එබඳු දින තිසක් මාසයක් වන අතර එබඳු මාස දොළොසක් එක් වසරකි. එබඳු වසර දහසක් කාළසූත්‍ර නරකයේ ආයුෂ වේ. ඒ අනුව මනුෂ්‍ය වර්ෂ 12,960,000,000,000ක් කාළසූත්‍රයේ ආයුෂ වේ.

3. සඩ්ඝාතය
මෙම නරකයෙහි උපදින සත්වයෝ ගිනිගෙන දැවෙන නව යොදුන් යකඩ පොළොවෙහි කටිය දක්වා එරී නිශ්චලව සිටිති. අනතුරුව පෙරදිගින් අහස ගුගුරන්නාක් මෙන් මහ හඬ නංවමින් යකඩ පර්වත පෙරළෙමින් විත් ඒ නිරිසතුන් අඹරමින් බටහිර දෙසට ගමන්කරයි. බටහිරින් ද එසේම පර්වතයක් පෙරළෙමින් විත් නිරිසත්වයන් අඹරමින් පෙරදිගට ගමන් කරයි. ඒ පර්වත දෙක එකිනෙකට හමු වී ඒ ඒ තැන සිටින සත්වයන් උක් යන්ත්‍රයකින් උක්දඬු අඹරන්නාක් මෙන් අඹරවයි. මෙය කාළසූත්‍රයට යොදුන් 15000ක් යටින් පිහිටා තිබේ. ඇත්, අස්, ගව ආදී සත්වයන්ට වද දෙමින් වැඩ ගත්තෝ ද සතුන් මැරුවෝ ද මෙහි උපත ලබා නොයෙක් වර්ෂ සියදහස්ගණන් දුක් විඳිති. යාම දෙවියන්ගේ මුළු ආයු කාලය සඩ්ඝාතයට එක් රෑ දවාලකි. එබඳු දින තිසක් මාසයක් වන අතර එබඳු මාස දොළොසක් එක් වසරකි. එබඳු වසර දෙදහසක් සඩ්ඝාතයේ ආයුෂ වේ. ඒ අනුව මනුෂ්‍ය වර්ෂ 103,680,000,000,000ක් සඩ්ඝාතයේ ආයුෂ වේ.

4. රෞරවය
නව වණමුඛයන්ගෙන් සත්වයන්ගේ සිරුරු තුළට පිවිස ඇතුළත දවන්නා වූ නපුරු දුමක් ඇති නරකය රෞරවය නම් වේ. මෙය ධූමරෞරවය යැයි ද හැඳින්වේ. ඇතුළත පිටත දෙකම දවනු ලැබීමෙන් හඬන නිරිසතුන්ගේ හඬ නිරතුරුව ඇසෙන බැවින් එය රෞරවය නම්වේ. මෙය සඩ්ඝාතයට යොදුන් 15000ක් යටින් පිහිටා තිබේ. තුසිත දෙව්යන්ගේ මුළු ආයු ප්‍රමාණය රෞරවයට එක් රෑ දවාලකි. එබඳු දින තිසක් මාසයක් වන අතර එබඳු මාස දොළොසක් එක් වසරකි. එබඳු වසර සාරදහසක් රෞරවයේ ආයුෂ වේ. ඒ අනුව මනුෂ්‍ය වර්ෂ 829,440,000,000,000ක් රෞරවයේ ආයුෂ වේ.

5. මහාරෞරවය
මෙහි කල්පයක් තිස්සේ දැල්වෙන ගිනිදැල් වලින් යුතු වේ. උපදින සතුන්ගේ නව වණමුඛයන්ගෙන් ඒ ගිනිදැල් පිවිස සිරුර දවන අතර ඒ වේදනාවෙන් හඬන නිරිසතුන්ගේ හඬ නිරතුරුව ඇසෙන බැවින් රෞරවය නම්වේ. මෙය ජාල රෞරවය ලෙස ද හැඳින්වෙන අතර සංයුත්තනිකාය අර්ථකථාවේ ජාලරෞරවය යනු අවීචියටම නමක්යැයි ද දැක්වේ. රෞරවයට යොදුන් 15000ක් යටින් පිහිටා තිබේ. ආර්යයන් වහන්සේලාට, ධර්මයට ගරිහා කරමින් හැසිරෙන අනුවණයන් මෙහි උපදින බව සංයුත්තනිකායේ සඳහන් වේ.

යෙ කේචි අරියං ධම්මං – විගරහන්තා චරන්ති දුම්මේධා
උපෙන්ති රෝරුවං ඝෝරං – චිරත්තං දුක්ඛං අනුභවන්ති (පජ්ජුන්නධීතු සූත්‍රය)
එසේම තුණුරුවන්ට හා මාපියන්ට අයත් දේ පැහැරගත් අයද මෙහි උපදින බව පැවසේ. නිම්මාණරතී දෙව්යන්ගේ මුළු ආයු ප්‍රමාණය මහාරෞරවයට එක් රෑ දවාලකි. එබඳු දින තිසක් මාසයක් වන අතර එබඳු මාස දොළොසක් එක් වසරකි. එබඳු වසර අටදහසක් මහාරෞරවයේ ආයුෂ වේ. ඒ අනුව මනුෂ්‍ය වර්ෂ 6,635,520,000,000,000ක් මහාරෞරවයේ ආයුෂ වේ.

6. තාපනය
මෙහි උපදින සත්වයන් තල් කඳක් පමණ වූ ගිනිගෙන දැවෙන යහුල්වල හිඳුවනු ලැබ යටින් දැවෙන පොළොවෙන් නැගෙන ගිනි දැල් වලින් ද ගිනිගත් යහුලෙන් නැගෙන ගිනිදැල් වලින් ද දැවෙමින් සිටී. මහාරෞරවයට යොදුන් 15000ක් යටින් පිහිටා තිබේ. සංකිච්ච ජාතකයේ සඳහන් වන අන්දමට අධර්මයෙහි පිහිටා රට වනසන අය ද, ජනපද තවන්නන් (වෙහෙසවන්නන්) ද තාපන නිරයේ පැසේ. 
යෝ ච රාජා අධම්මට්ඨෝ – රට්ඨවිද්ධංසනෝ චුතෝ
තාපයිත්‍වා ජනපදං – තාපනේ පෙච්ච පච්චති (සංකිච්චජාතකය)
එසේම සතුන් පණපිටින් දවා මැරුවෝ ද, අනුන්ගේ ගෙවල් ගිනි තැබුවෝ ද මෙහි උපදින බව සඳහන් වේ. 

පරනිම්මිතවසවර්තියේ මුළු ආයු ප්‍රමාණය තාපනයට එක් රෑ දවාලකි. එබඳු දින තිසක් මාසයක් වන අතර එබඳු මාස දොළොසක් එක් වසරකි. එබඳු වසර සොළොස්දහසක් තාපනයේ ආයුෂ වේ. ඒ අනුව මනුෂ්‍ය වර්ෂ 53,084,160,000,000,000ක් තාපනයේ ආයුෂ වේ.

7. ප්‍රතාපනය /මහාතාපනය
මෙහි උපදින සත්වයන් ගිනිගෙන දැල්වෙන ආවුධවලින් පහර දී ගිනිගෙන දැල්වෙන යකඩ පර්වතයක නංවනු ලැබෙති. පර්වත මස්තකයෙහි දැවෙමින් සිටින ඔවුන්ගේ කර්මය හේතුවෙන් වාතය හමාවිත් වැදී එහි සිටිය නොහැකිව, හිස පහළට සිටින සේ ඇද වැටෙති. එවිට පොළොවෙන් ගිනිගෙන දැවෙන යවුල් පැන නැගී ඒ යවුල්හි වැදී සිරුර විනිවිද ගොස් දැවෙමින් පැසෙති. මෙසේ බොහෝ සෙයින් පැසෙන බැවින් මහාතාපනය නම් වේ. තාපනයට යොදුන් 15000ක් යටින් පිහිටා තිබේ. බුදුන් නැත, දහම් නැත, සඩ්ඝරත්නය නැත, මරණින් මතු උපතක් නැත යනාදි මිථ්‍යා දෘෂ්ටි ගෙන අකුසලකර්ම කළවුන් මෙහි උපදින බව පැවසේ. අන්තඃකල්පයකින් අඩක් මහාතාපනයේ ආයුෂ වේ.

8. අවීචිය
ගිනිගෙන දැවෙමින් පැසෙන සත්වයන්ගේ දුකෙහි අතරක්, හිඩැසක් නැති අපාය අවීචිය නම් වේ. මෙහි එක් බිත්තියෙන් නැගෙන ගිනිදැල් අනෙක්පස බිත්තියේ හැපී බිත්තිය විනිවිද ඉදිරියට යොදුන් සතක් දක්වා ගමන් කරයි. පොළොවෙන් නැගෙන ගිනිදැල් උඩ පියන්පත දක්වා නගී. පියන්පතින් නික්මෙන ගිනිදැල් පොළොවේ හැපේ. මෙසේ ගිනිදැල් වලින් අතරක් නැති අතර එහි උපදින සත්වයෝ නිතරම සදිසාවෙන් නැගෙන ගිනිදැල් වලින් වෙළී දැවෙමින් සිටී. එහි යොදුන් සියයක් ඇතුළත නිරතුරුව සත්වයන්ගෙන් පිරී පවතී. සිව් ඉරියව්වලින්ම පැසෙන සත්වයන්ගේ ද අතරක් නැත. මහා ප්‍රතාපනයෙන් යොදුන් 15000ක් යටින් පිහිටා තිබේ. 

පඤ්චානන්තර්ය කර්ම කළවුන් ද, බෝසතුන් නැසුවවුන් ද, ගුණවතුන් නැසුවවුන් ද, චෛත්‍ය බින්දවුන් ද, පිළිම බින්දවුන් ද, බෝරුක් සින්දවුන් ද, ත්‍රිවිධරත්නයට අයත් වස්තූන් පැහැරගත් අය ද, මිත්‍රද්‍රෝහීහු ද, භාර්යාවන්ට අපරාධ කළවුන් ද, මිසදිටු ගත්තවුන් ද මෙහි උපදින බව සඳහන් වේ. 

එක් අන්තඃකල්පයක් ආයුෂ වේ. මෙම අපායයන් හි ආයු පරිච්ඡේදයන් මෙසේ දක්වන ලද නමුදු අදාළ සත්වයාගේ කර්ම ශක්තිය ගෙවී ගියේ නම් හෝ වෙනත් පුණ්‍ය බලයක් එල්බාගන සිටියේ නම් අතරෙහි ද චුත වන බව සඳහන් වේ. එබැවින් විභඩ්ග අර්ථකථාවේ සඳහන් වන්නේ බුදුරජාණන් වහන්සේ විභඩ්ගපාළියෙහි සතර අපායගත සත්වයන්ගේ ආයු පරිච්ඡේදයක් දේශනා නොකළ බවයි.

කුඩා නරක/ඔසුපත් නරක
එක් එක් මහා නිරයට පිටින් සතර පැත්තේ එක් එක් දිශාවේ ඒ මහා නිරයට පිරිවර වශයෙන් කුඩා නරක සතර (4) බැගින් ඇත්තේය. ඒවා උස්සද නරක හෙවත් ඔසුපත් නරක නම් වේ. ඒ අනුව එක් මහා නිරයකට සතර පැත්තේ සතර බැගින් ඔසුපත් නරක දහසයක් (16) ඇත. අටමහා නිරයටම ඔසුපත් නරක 128ක් ඇත.

ගූථනරකය, කුක්කුලනරකය, සිම්බලිවනය, අසිපත්තවනය, වේතරණී නදිය, ලෝහකුම්භි නරකය ආදි නම් වලින් හැඳින්වෙන්නේ මෙම නරකයන් වේ. දේවදූත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනුයේ දීර්ඝ කාලයක් ගතවූ පසු යම් කලෙක ඒ අවීචි මහානිරයේ පෙරදිග දිශාවේ දොර විවරවේ. නිරයේ පැසෙන සත්වයා ඒ දැක ඒ දොරටුවෙන් පිටතට නික්මිමට දිව යයි. එසේ දිව යනවිට ඔහුගේ සිවිය ද, සම ද, මස ද, නහාරු ද, ඇට ද, ඇටමිදුලු ද පිළිස්සේ. එයින් මහත් දුකකට පත් වේ. එහෙත් තමන්ගේ කර්මවිපාකය අවසන් නොවූ බැවින් මරණයට පත් නොවේ. එසේ දිවගොස් පෙරදිග දොරටුවෙන් ඉවතට යන ඒ නිරිසත්වයා ගූථනරකය නම් කුඩා නිරයට වැටේ. එහි හිදිකටු තුඩු බඳු තුඩ සහිත ප්‍රාණීන් ඇති අතර ඔවුහු සිවිය, සම්, මස්, නරහ, ඇට සිඳ පිවිස ඇටමිදුලු කා දමයි. එයින් මහත් දුකකට පත්වේ. එහෙත් අකුසල විපාකය අවසන් වනතෙක් මරණයට පත් නොවේ. ඒ ගූථනිරයේ සිටින සත්වයා එයින් ඊට අනතුරුව ඇති කුක්කුල නිරයේ වැටේ. එහි දී ද නොයෙක් දුක්විඳී. ඒ කුක්කුල නිරයට අනතුරුව සිම්බලීවනය නම් නිරය ඇති අතර එහි සියක් යොදුන් උස ඇති, සොළොස් අඟුල් කටු ඇති, ගිනිගෙන දැවෙන මහත් හිඹුල්ගස් වෙති. ඔහු ඒ හිඹුල්ගස්හි නංවනු ලැබෙයි. එයින් ද මහත් දුකකට පත්වේ. ඒ සිම්බලීවනයට අනතුරුව අසිපත්වනය වේ. ඔහු එහි පිවිසෙයි. ඒ අසිපත් වනයේ ඇති අසිපත් වාතයෙන් සැලී නිරිසත්වයාගේ අත් ද, පා ද, කන්, නාසාදිය ද සිඳියි. එයින් ද මහත් දුකකට පත්වේ. ඒ අසිපත්වනයට අනතුරුව වේතරණී නම් තඹ ලෝදිය නදියක් වෙයි. ඔහු එහි වැටී ඉහළට ද පහළට ද ගසාගෙන යයි. එයින් ද මහත් දුකකට පත්වේ.

එහෙත් කර්මවිපාකය අවසන් නොවන්නේ නම් මරණයට පත් නොවේ. අනතුරුව නිරිපල්ලෝ බිලීකොකු වලින් ඒ සත්වයන් උඩට ගෙන ‘කුමක් කැමති වේ දැ’යි විමසා පිපාසා බව දැන්වූ කල්හි රත් වූ යකඩ අඩු වලින් මුව විවර කොට ලොහොදිය පොවති. මෙසේ දුක් විඳි නමුදු කර්මවිපාකය ගෙවී යන තාක් මරණයට පත් නොවේ. අවසන් නොවන දුක් සමුදායක් පමණක් ම පවතී. තව ද මහාපදාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ නිතර විවරව පවතින්නා වූ යටින් ද පිහිටීමක් නැත්තා වූ ඇස් අඳුරු කරවන ගණ අඳුරක් ඇත්තා වූ ලෝකාන්තරික නිරය නම් නිරයක් ඇති බව දේශනා කරන සේක. ඒ පිළිබඳ අර්ථකථාවේ සඳහන් වන්නේ සක්වල තුනක් අතරෙහි එක් ලෝකාන්තරික නිරයක් ඇති බවයි. එය කරත්ත රොද තුනක් එකිනෙක හපා තැබූ විට මැද ඇති වන අවකාශය වැනි වේ. එය ප්‍රමාණයෙන් යොදුන් අටදහසක් වේ. මව්පියන්ට ධාර්මික ශ්‍රමණබ්‍රාහ්මණයන්ට අපරාධ කිරීම්, දිනපතා ප්‍රාණඝාතාදිය කිරීම් ආදි ඉතා දරුණු වූ අකුසල කර්ම කළවුන් මෙහි උපදින බව සඳහන් වේ. ඔවුන්ගේ සිරුර ගවු තුනක් පමණ වේ. වවුලන්ගේ මෙන් දිගු නිය ඇති අතර ඔවුහු වවුලන් මෙන් නිය වලින් සක්වල ගලේ එල්ලී සිටිති. යම් හෙයකින් තල්ලු වී අනෙක් සත්වයෙක් ළඟට ගිය විට ඔහුට ආහාරයක් ලැබුණේ යැයි අල්ලාගැනීමට තැත් කරන අතර එයින් පෙරළී ලෝකය දරන්නා වූ දියෙහි වැටේ. සුළඟ හමන විට ද එල්ලී සිටිය නොහැකිව ඇදගෙන දියෙහි වැටේ. දියෙහි වැටෙනවාත් සමඟම අතිශය සීතල වූ බැවින් ලුණු දියෙහි පිටිපිඩක් සේ දියවී යයි. තිරිසන් අපාය දේව මනුෂ්‍යයන් මෙන් ඉහළට නොවැඩීමෙන් ගමන් කරන බැවින් තිරච්ඡානගත යන නම ලැබෙන බව පැවසේ. මෙම තිරිසන් අපාය වෙනමම භූමියක පිහිටා නොමැති අතර මනුෂ්‍ය ලෝකයේම පිහිටා තිබෙන බැවින් ඇසට දැකගත හැකි වේ. මොවුන් නොයෙක් ආකාර ඇති බැවින් ඉතා විචිත්‍රය. බුදුරජාණන් වහන්සේ

‘නාහං භික්ඛවේ අඤ්ඤං ඒකනිකායම්පි සමනුපස්සාමි එවං චිත්තං යථයිදං භික්ඛවේ තිරච්ඡානගතා පාණා’ යි

තිරිසන්ගත ප්‍රාණීන් මෙන් විසිතුරු වූ අන් එකදු සත්ව නිකායක් තමන්වහන්සේ නොදකින බව වදාළ සේක. ඇසට නොපෙනෙන තරමේ කුඩා සත්වයන්ගේ පටන් ඉතා විශාල සත්වයන් දක්වා නොයෙක් ප්‍රමාණයන්ගෙන්, නොයෙක් වර්ණයන්ගෙන්, නොයෙක් හැඩයන්ගෙන් තිරිසන්ගත සත්වයන් දක්නට ලැබේ. මේ තිරිසන් ගත සත්වයෝ නිසි පරිදි ආහාරයක් නොලැබීමෙන්, අන් සත්වයන්ගේ ගොදුරු බවට පත්වීමෙන්, අව් වැසි සුළං මැසි මදුරු ආදි පීඩා විඳීමෙන්, මිනිසුන්ගේ තාඩනපීඩන වලට ලක්වීමෙන් ආදි ලෙස නොයෙක් දුක් අනුභව කරති. එසේම ඔවුන්ට දන්දීම්, සිල් රැකීම් ආදි පුණ්‍යසම්පත්තියක් රැස්කරගත නොහැකි බැවින් මරණින් මතු නැවතත් දුගතියට පත්වීමට ඉඩ තිබේ. තමන්ගේ දුකින් අතමිදීම අතිශය දුෂ්කර වේ. ප්‍රේත අපාය සැපයෙන් පහ වූ දුක්ඛිත සත්වකොට්ඨාසයක් ප්‍රේතයෝ ලෙස හැඳින්වේ. මෙම සත්වයන් පියවි ඇසට දැකිය නොහැකි අතර නොයෙක් ප්‍රමාණයන්ගෙන්, නොයෙක් සටහනින්, නොයෙක් ආකාරයන්ගෙන් යුක්ත වෙති. දුටුවන් අප්‍රිය උපදවන්නා වූ අතිශයින් කෘශ වූ, ඇටසැකිලි බඳු වූ, සම මස් කුණුවී ගියා වූ නොයෙක් ආකාරයේ ප්‍රේතයන් පිළිබඳ කථාප්‍රවෘත්තීත් සඳහන් වේ. ප්‍රේතවස්තුවෙහි නොයෙක් ආකාර ප්‍රේතයන් පිළිබඳ විස්තර, ඔවුන්ගේ පූර්ව කර්මයන් ආදිය පිළිබඳව සඳහන් වේ. ඔවුන්ට නිසි පරිදි ආහාරපානාදියක් නොලැබේ. බොහෝ විට මරණාසන්න අවස්ථාවේ ලෝභසහගත අකුසල සිත් උපදවාගෙන ඒවායේ විපාක වශයෙන් ප්‍රේතලෝකයේ උපදින බව සඳහන් වේ. ප්‍රේතයන් ජාති වශයෙන් දොළොස්වැදෑරුම් බව සඳහන් වේ.

එනම්, වන්තාසක, කුණපඛාදක, ගූථඛාදක, අග්ගිජාලමුඛ, සුචිමුඛ, තණ්හට්ටිත, සුනිජ්ඣාමක, සත්‍ථඩ්ග, පර්වතඩ්ග, අජගරඩ්ග, වේමානික, මහිද්ධික යනුවෙනි. කෙළ, සෙම, සොටු, ඩහදිය, කුණු අනුභව කරන ප්‍රේතයන් ‘වන්තාස’ නම් වේ. මිනීකුණු, සත්වකුණු ආදිය අනුභව කරන්නන් ‘කුණපඛාදක’ නම් වේ. අසුචි අනුභව කරන්නේ ‘ගූථඛාදක’ ප්‍රේතයෝ ය. මුඛයෙන් ගිනිදැල් පිටවෙන ප්‍රේතයෝ ‘අග්ගිජාලමුඛ’ නම් වේ. ඉදිකටු මලක් පමණ කටක් සහ මහ සැළියක් පමණ බඩක් ඇති ප්‍රේතයෝ ‘සූචිමුඛ ප්‍රේත’ නම් වේ. දියපිපාසයෙන් හා කුසගින්නෙන් පෙළෙන ප්‍රේතයෝ ‘තණ්හට්ටිත ප්‍රේත’ නම්වේ. දැවීගිය කණුවක් මෙන් වියළීගිය සිරුරු ඇත්තේ ‘සුනිජ්ඣාමක’ නම් වේ. ආයුධ සමාන අත්පා ආදි ශරීරාවයව ඇති, කැපෙන නිය ආදිය ඇති ප්‍රේතයෝ ‘සත්‍ථඩ්ග ප්‍රේත’ නම්වේ. පර්වතයක් බඳු සිරුරු ඇති ප්‍රේතයෝ ‘පබ්බතඩ්ග’ නම්වේ. පිඹුරෙක්වැ නි ශරීරයක් ඇති ප්‍රේතයා ‘අජගරඩ්ග ප්‍රේත’ නම් වේ. විමානයෙහි ඉපිද සැප දුක් දෙකම විඳින ප්‍රේතයෝ ‘වේමානික ප්‍රේත’ නම්වෙති. මහත් ඍද්ධි ඇත්තා වූ ප්‍රේතයෝ ‘මහිද්ධික’ නම් වෙති. එසේම අර්ථකථාවන්හි පරදත්තූපජීවී, ඛුප්පිපාසික, නිජ්ඣාමතණ්හික, කාලකඤ්ජික යනුවෙන් ප්‍රේතයන් ප්‍රධාන කොටස් හතරක් බව සඳහන් වේ.

1. පරදත්තූපජීවී : අනුන් දෙන දෙයින් ජීවත් වන්නෝ මෙසේ හැඳින්වේ. ඔවුන්ට ආහාරපානාදිය ලැබෙන්නේ අනුන් දෙන පින අනුමෝදන් වීමෙනි. මෙසේ උපදින අය ඥාතීන්ගෙන් පින් බලාපොරොත්තු වෙති.

2. ඛුප්පිපාසික : බත්, පැන් නොලැබීමෙන් නිතරම සාගින්නෙන් පෙළෙන ප්‍රේත කොට්ඨාසයක් මෙසේ හැඳින්වේ.

3. නිජ්ඣාමතණ්හික : ශරීරයේ ඇතුළත පිටත දෙකම නිතරම දැවෙන ප්‍රේතකොට්ඨාසයක් මෙසේ හැඳින්වේ.

4. කාලකඤ්ජික : ලේ මස් වියළී ගිය, තුන්ගවු පමණ ශරීර ඇති, කකුළුවන්ගේ මෙන් පිටතට නෙරූ ඇස් හිස් මුදුනේ පිහිටා ඇති, හිස මුදුනේ ම ඉතා කුඩා කටකුත් ඇති, හිස පහත් කොට ආහාර ගන්නා ප්‍රේත කොට්ඨාසයක් බව සඳහන් වේ. මොවුන් අසුරවිශේෂයක් බව ද සඳහන් වේ.

අසුර අපාය

ඓශ්චර්යය, භෝග, යශස ආදියෙන් නොම බැබළෙන බැවින් අසුර නම් වේ. මෙම අසුර ශබ්දය සත්වකොට්ඨාස කිහිපයකට ව්‍යවහාර වන අතර ප්‍රධාන වශයෙන් දේව අසුර, ප්‍රේත අසුර යැයි දෙකොටසකි. එයින් ප්‍රේත අසුරයන් විනිපාතික, කාලකඤ්ජික යැයි දෙකොටසකි. එසේම ඇතැම් පොතක අසුරයන් ප්‍රධාන කොටස් පසක් ලෙස සඳහන් වේ. එනම්,

1. දේව අසුර

2. විනිපාතික අසුර

3. වේමානික අසුර

4. ලෝකන්තරික අසුර

5. ප්‍රේත අසුර යනුවෙනි.

1. දේව අසුර
වේපචිත්ති අසුර, සුබලී අසුර, රාහු අසුර, පහාරාද අසුර, සබ්බරති අසුර යනුවෙන් පස්වැදෑරුම් වේ. මොවුන් මහාමේරුව මුල තාවතිංස දෙවියන් මෙන් සැප අනුභව කරමින් සිටින නිසා තාවතිංස දේව සංඛ්‍යාවට ගැනේ. මොවුන් ‘සුරයන්ට ප්‍රතිපක්‍ෂ බැවින් අසුර’ යැයි ගතයුතු ය.

2. විනිපාතික අසුර
පියඩ්කරමාතා, උත්තරමාතා ආදිහු විනිපාතික අසුරයෝය. මොවුන් චාතුම්මහාරාජික දේව සංඛ්‍යාවට ගැනෙන අතර නොයෙක් රූපකායයන්ගෙන් යුක්ත වේ. එසේම ද්විහේතුක, ත්‍රිහේතුක, අහේතුක වශයෙන් වෙති. පියඩ්කර මාතා ආදී ත්‍රිහේතුක අය නිවන් පසක් කරගනිති. සංයුත්තනිකායේ පියඩ්කර සූත්‍රයේ සඳහන් වන අන්දමට දිනක් අනුරුද්ධ මහරහතන් වහන්සේ ජේතවනාරාමයේ කෙළවර කෝසම්බක කුටියේ සිට රාත්‍රී පශ්චිම යාමයේ අවදිව ධම්මපදයේ අප්‍රමාද වර්ගය සජ්ඣායනා කළේය. එවිට ඒ අසලින් පියඩ්කරමාතාව සිය පුත් පියඩ්කර ඇකයේ හොවාගෙන එතැන්නි ගොදුරු සොයාගෙන යන්නීය. තෙරුන් වහන්සේගේ ධම්මපදය සජ්ඣායනා කරන හඬ අසා ගොදුරු සෙවීම අතහැර එතැන සිට ධර්මය ශ්‍රවණය කර සෝතාපන්න වූවාය.

3. වේමානික අසුර
යමරජ, වෙස්සභූ ආදිහු වේමානික අසුර නම් වෙති. මොවුන් ද ද්විහේතුක, ත්‍රිහේතුක, අහේතුක වෙති. යම රජ ආදීහු තෙමේ මහා ඍද්ධි ඇතිව මහානුභාව ඇතිව නිරයගාමී සත්වයන් කෙරෙහි කරුණාවෙන් නිරය ලෝකයේ ද රජ කරති.

4. ලෝකාන්තරික අසුර
සක්වළ තුනකට අතර වූ ලෝකාන්තරිකයේ වසන්නෝ ලෝකාන්තරික අසුරයෝය. මොවුන් නිරයවාසීන් ලෙස සැලකේ.

5. ප්‍රේත අසුර
කාලකඤ්ජික ප්‍රේතයෝම ප්‍රේත අසුර ලෙස හැඳින්වේ. ඔවුන්ට වෙන් වූ වාසස්ථානයක් නැත. සතර අපායෙන් කොටසක් ලෙස සැලකෙන්නේ මෙම ප්‍රේත අසුරයන්ම වේ.

 

අපාය භය

බුදුරජාණන් වහන්සේ නිරයෙහි ඇති දුක් සහගත බව, කටුක බව මජ්ක්‍ධිමනිකායේ බාලපණ්ඩිත සූත්‍රයේ දී වදාළ සේක. එහි දී බුදුරජාණන් වහන්සේ නිරයේ දුක් සහගත බව උපමාවකින් පැවසිය නොහැකි තරම් බව දේශනා කළ අතර එක්තරා භික්‍ෂුවක් උපමාවක් දක්වන මෙන් ඉල්ලා සිටියේය. එහි දී මෙබඳු උපමාවක් වදාළ සේක. කිසියම් සොරෙක් අල්වාගෙන රජුට ඉදිරිපත් කළ පසු රජ නියම කරනුයේ පෙරවරුවේ ඒ සොරාට කිණිසි පහර සියයක් අනින ලෙසය. රාජපුරුෂයන් විසින් පෙරවරුවේ කිණිසි පහර සියයක් අනින ලද නමුත් මරණයට පත් නොවූ සොරා පිළිබඳ මධ්‍යාහ්නයේ නැවතත් රජුට දන්වනු ලැබේ. එවිට ද නැවතත් කිණිසි පහර සියයක් අනින ලෙස නියම කෙරේ. මධ්‍යාහ්නයේ ද කිණිසි පහර සියයකින් හිංසා කරනු ලැබුව ද මරණයට පත් නොවූ සොරා පිළිබඳ රජුට සවස් යාමයේ දන්වනු ලැබේ. සවස ද නැවතත් කිණිසි පහර සියයක් අනින ලෙස නියම කෙරේ. රාජ පුරුෂයෝ සවස ද නැවතත් කිණිසි පහර සියයක් අනිති. මෙසේ මේ සොරාට කිණිසි පහර තුන්සියයකින් අත්විඳීමට සිදුවන හිංසාව දක්වා බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලා අමතා ඒ සොරා විඳින දුක මහත් දුකක් ද, කුඩා දුකක් දැයි අසන සේක. එවිට භික්‍ෂූන් වහන්සේලාගේ පිළිතුර වූයේ එක් කිණිසිපහරක් නමුදු ඉතා කටුක දුකක් බවයි. එහි දී බුදුරජාණන් වහන්සේ අතට ඉතා කුඩා ගල්කැටයක් ගෙන, එය පෙන්වා හිමාලය හෝ අතේ ඇති කුඩා ගල්කැටය යන දෙකෙන් කුමක් කුඩා දැයි ඇසූහ. භික්‍ෂූන් වහන්සේලාගේ පිළිතුර වූයේ අතේ ඇති ගල් කැටය කුඩා බවයි. බුදුරජාණන් වහන්සේ මෙම උපමාව සසඳමින් දේශනා කරනුයේ තමන් වහන්සේගේ අතේ ඇති ගල් කැටය කුඩා වන්නේ යම් සේ ද, හිමාලපර්වතය විශාල වන්නේ යම් සේ ද එසේම කිණිසි පහර තුන්සියයක් විඳින පුද්ගලයාගේ දුක ඉතා කුඩා දුකකි. නිරා දුක ඉතා විශාල දුකක් බවයි. එබැවින් අකුසල කර්ම සිදු කර සතර අපායේ උපත ලබන සත්වයන් විඳින දුක මෙපමණයි කියා නියම කළ නොහැකි තරම් මහත් වේ. මෙලොව උපත ලබන සෑම සියලු දෙනාම අප්‍රමාණව මෙම අපා දුක් විඳ ඇති බව සිහිපත් කරගත යුතු වේ. මෙහි දී ගෝතම රහතන් වහන්සේගේ ථෙරගාථා වලින් කියවෙන පණිවුඩය වැදගත් වේ. ගෝතම තෙරුන් වහන්සේ සිය ථෙරගාථාවෙහි මෙසේ සඳහන් කරති.

සංසරං හි නිරයං අගච්ඡිසං – පේතලෝකමගමං පුනප්පුනං
දුක්‍ඛමම්හිපි තිරච්ඡාන යෝනියං – නේකධාහි වුසිතං චිරං මයා
(සසර සැරිසරන්නෙම් පුනපුනා නිරයට ගියෙමි. ප්‍රේතලෝකයට ගියෙමි. ඉවසිය නොහෙන්නාවූ තිරිසන් යෝනින්හි දු මා නොයෙක් අයුරින් බොහෝ කල් විසූ විරූය)

මානුසෝපිච භවෝභිරාධිතෝ – සග්ගකායමගමං සකිං සකිං
රූපධාතුසු අරූපධාතුසු – නේවසඤ්ඤිසු අසඤ්ඤිසුට්ඨිතං
(මිනිසත් බව ද ලබන ලද මම කාමාවචර දිව්‍යකායට ද වරින් වර ගියෙමි. මා රූපභවයෙහි අරූප භවයෙහි නේවසඤ්ඤාානාසඤ්ඤා භවයෙහි අසංඥභවයෙහි සිටි විරූය)

සම්භවා සුවිදිතා අසාරකා – සඩ්ඛතා පචලිතා සදේරිතා
තං විදිත්‍වා මහමත්තසම්භවං – සන්තිමේව සතිමා සමජ්ඣගන්ති.
(අසාර වූ සංඛත වූ අස්ථිර වූ හැම කල්හි කම්පිත වූ කාමභවාදි සම්භවයෝ මොනවට දන්නා ලදහ. මම ආධ්‍යාත්මයෙහි උපන් ඒ සඩ්ඛතයාගේ සම්භවය දැනගෙන මාර්ගප්‍රඥා ස්මෘතියෙන් යුතුව නිවනට ම පැමිණියෙමි)

මෙය සියලුදෙනාට පොදුය. එබැවින් මේ සසරට බිය ඇති කරගෙන නොපමාව කුසල් දහම්හි යෙදිය යුතු වේ. බුදුකෙනෙක් ලොව පහළ වන්නේ ලෝකසත්වයාට මෙම අවවාදය කර සත්වයන් සංසාර දුකින් අතමුදවා ගැනීම පිණිසය. 

මෙසේ කාමසුගති ලෝක 7ත්, රූපාවචර අරූපාවචර බ්‍රහ්මලෝක 20ත්, සතර අපායත් යන භූමි 31 එක් ලෝකධාතුවක් නම් වේ. එයට එක් හිරු සඳු දෙදෙනෙක් ඇති අතර එහි හැඩය ආදිය පිළිබඳ අර්ථකථාදියෙහි එන විස්තර වර්තමානයේ විද්‍යාව ආදියෙන් සනාථ නොවන බැවින් පිළිගැනීමට සමහරු මැළිකමක් දක්වති. එහෙත් එය නියමාකාරයෙන් අවබෝධ කරගැනීමට නම් අඩුම තරමේ දිවැස් නුවණවත් උපදවාගත යුතු වේ. එසේ සාමාන්‍ය පුද්ගලයන්ට දැකගත නොහැකි වූ ලෝකයේ නියමාකාර ස්වභාවය බුදුරජාණන් වහන්සේ සර්වඥතාඥානයෙන් දැන වදාළ සේක. එබැවින් බුදුරජාණන් වහන්සේ ලෝකවිදූ නම් වන සේක.

මෙම ලිපියෙන් අප දුගති ‌ලෝකය පිළිබඳ කරුණු ‌ගෙනහැර දැක්වුවෙමු. ‌ලෝකයෙන් එතෙරව නිවන් අවබෝධය සඳහා කළ යුතු පිළිවෙත සවිස්තරාත්මකව අප ඊළඟ ලිපියෙන් පළකිරීමට බලාපොරොත්තු වන්නෙමු.

සප්ත විඥානස්ථිති

මේ තිස්එක් තලයේ සහ ඉන් එපිට වාසය කරන සියලුම සත්වයන් සත්වලෝකය ලෙස හැඳින්වේ. එම සත්වලෝකය සප්ත විඥානස්ථිතියක් ලෙස බුදුරජාණන් වහන්සේ දක්වා ඇත. විඥානස්ථිති යනු ප්‍රතිසන්‍ධි විඥානය ඇතිවන ස්ථානයෝ ය. ප්‍රතිසන්‍ධි විඥානය ඇතිවන්නේ සත්වයන් කෙරෙහිම බැවින් සත්වයෝ ම විඥානස්ථිති නම් වෙති. ඒවා නම්,

  1. නානත්තකායා නානත්තසඤ්ඤී : කායවර්ණාදියෙන් වෙනස් බව නානත්තකාය නම් වේ. ප්‍රතිසන්‍ධිවිඥානයෙන් වෙනස් බව නානත්තසඤ්ඤී නම් වේ. මනුෂ්‍යයෝ ද දිව්‍යලෝක සයෙහි දෙවියෝ ද, ඇතැම් විනිපාතිකයෝ ද මෙයට අයත් වේ. සියලුම මනුෂ්‍යයෝ කායවර්ණාදියෙන් වෙනස් වන අතර ප්‍රතිසන්‍ධිය අතින් ද වෙනස් වේ. ඇතමෙක් ද්විහේතුකය. ඇතමෙක් ත්‍රිහේතුකය. එබැවින් නානත්තකායා නානත්තසඤ්ඤීහුය. කාමාවචර දිව්‍යලෝක සයෙහි දෙවියෝ ද මෙසේම කායවර්ණාදියෙන් වෙනස් වන නොයෙක් ප්‍රතිසන්‍ධි ඇති අය වෙති. විනිපාතිකයන් ලෙස මෙහි සඳහන් වන්නේ විනිපාතික අසුර ගණයට අයත් වන සත්වයෝය. ඔවුන් ද ද්විහේතුක, අහේතුක වශයෙන් ප්‍රතිසන්‍ධියෙන් ද වෙනස් වන බැවින් නානත්තකාය නානත්තසඤ්ඤී වෙති.
  2. නානත්තකායා ඒකත්තසඤ්ඤී : කායවර්ණාදියෙන් වෙනස් වන නමුදු ප්‍රතිසන්‍ධි විඥානයෙන් සමාන වන සත්වයෝ මෙසේ හැඳින්වේ. ප්‍රථමධ්‍යාන බඹලොව තුනෙහි සත්වයෝ ද, සතරඅපායික සත්වයෝ ද මෙසේ නානත්තකාය එකත්තසඤ්ඤී වෙති. ප්‍රථමධ්‍යාන බඹතලයේ ඇති බ්‍රහ්මපාරිසජ්ජ, බ්‍රහ්මපුරෝහිත, මහාබ්‍රහ්ම යන බ්‍රහ්මලෝක තුනෙහි බ්‍රහ්මරාජයෝ කයෙන් එකිනෙකාට වෙනස් වෙති. එහෙත් එකම ප්‍රතිසන්‍ධිවිඥානයෙන් ප්‍රතිසන්‍ධි ගනී. සතරඅපායික සත්වයෝ ද කායවර්ණාදියෙන් වෙනස් වන නමුදු එකම අහේතුක අකුශලවිපාක සන්තීරණ සිතෙන් ප්‍රතිසන්‍ධි ගනිති.
  3. ඒකත්තකායා නානත්තසඤ්ඤී : එකම කයක් ඇති ප්‍රතිසන්‍ධි විඥානය වෙනස් වන සත්වයෝ එකත්තකාය නානත්තසඤ්ඤී නම් වෙති. පරිත්තාභ, අප්පමාණාභ, ආභස්සර වන ද්විතීයධ්‍යාන භූමි තුනෙහි උපදින සත්වයෝ සමාන ශරීර ඇති අතර ඇතමෙක් පඤ්චක ක්‍රමයට ද්විතීයධ්‍යාන විපාකයෙන් ද, ඇතමෙක් තෘතීයධ්‍යාන විපාකයෙන් ද ප්‍රතිසන්‍ධි ගනිති.
  4. ඒකත්තකායා ඒකත්තසඤ්ඤී : එකම කයක් හා එකම ප්‍රතිසන්‍ධි විඥානයක් ඇති සත්වයෝ මෙසේ හැඳින්වේ. තෘතීයධ්‍යාන තලයේ වසන සත්වයෝ ද වෙහප්ඵල වැසි සත්වයෝ ද මෙයට අයත් වෙති. පරිත්තසුභ, අප්පමාණසුභ, සුභකිණ්හක යන තෘතීයධ්‍යාන භූමි තුනෙහි උපදින සත්වයෝ රූපයෙන් සමාන වෙති. උපදින්නේ එකම රූපාවචර චතුර්ථධ්‍යාන (පඤ්චක ක්‍රමයට) විපාක චිත්තයෙනි. වෙහප්ඵල වැසි බ්‍රහ්මයෝ රූපාවචර පඤ්චමධ්‍යාන විපාකයෙන් උපදින අතර කයෙන් ද සමාන වෙති.
  5. ආකාසානඤ්චායතනූපගා : ආකාසානඤ්චායතනයේ සිටින සත්වයෝ මීට අයත් වෙති.
  6. විඤ්ඤානඤ්චායතනූපගා : විඤ්ඤානඤ්චායතන සත්වයෝ මීට අයත් වෙති.
  7. ආකිඤ්චඤ්ඤායතනූපගා : ආකිඤ්චඤ්ඤායතන සත්වයෝ මීට අයත් වෙති. මේ විඥානස්ථිති විභාගයට අසංඥසත්වයන්, පඤ්ච සුද්ධාවාස වැසියන් සහ නෙවසඤ්ඤානාසඤ්ඤායතන සත්වයන් අයත් නොවේ. එයින් අසංඥ භූමියෙහි ප්‍රතිසන්‍ධි විඥානයක් නොලැබෙන බැවින් මෙයට ඇතුළත් නොවේ. පඤ්චසුද්ධාවාසයේ සැමකල්හිම සත්වයන් නොමැති බැවින් ඇතුළත් නොවේ. එහි වසන රහතන් වහන්සේලා පිරිනිවී ගිය පසු බුදුකෙනෙකුන් පහළ නොවූයේ නම් ඒවා සිස් වේ. සත්වයන් වාසය කරන කාලය පමණක් සලකා එකත්තකාය එකත්තසඤ්ඤී කොටසට ඇතුළත් කිරීමද කළහැකි වේ. නේවසඤ්ඤානාසඤ්ඤායතනයේ ඉතාසියුම් සංඥාවක් පමණක් ඇති බැවින් එහි සත්වයන් ඇත යැයි හෝ නැත යැයි නොකියහැකි බවක් වේ. එබැවින් ඔවුහු ද මෙයට ඇතුළත් නොවේ. මෙසේ සත්වයන්ගේ විඥානය බැසගන්නා ස්ථාන සතක් වශයෙන් ද බුදුරජාණන් වහන්සේ ලෝකය අවබෝධ කරගත් බැවින් ‘ලෝකවිදූ’ නම් වන සේක.

නව සත්තාවාස 

සත්වයන් ජීවත් වන ස්ථාන ‘සත්තාවාස’ ලෙස හැඳින්වේ. ඒ අනුව බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කරන ලද ලෝකය සත්තාවාස නවයක් වේ. ඉහත දක්වන ලද සප්තවිඥානස්ථිතීන්ට අමතරව අසංඥසත්තය ද, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ද සමඟ සත්වයන් සිටින ස්ථාන නවයක් වේ. එනම්,

  1. නානත්තකායා නානත්තසඤ්ඤී
  2. නානත්තකායා එකත්තසඤ්ඤී
  3. එකත්තකායා නානත්තසඤ්ඤී
  4. එකත්තකායා එකත්තසඤ්ඤී
  5. අසඤ්ඤී අප්පටිසංවේදී
  6. ආකාසානඤ්චායතනූපගා
  7. විඤ්ඤානඤ්චායතනූපගා
  8. ආකිඤ්චඤ්ඤායතනූපගා
  9. නේවසඤ්ඤානාසඤ්ඤායතනූපගා යනුවෙනි.

මෙහි විභාගයද විඥානස්ථිතියේ දැක්වූ පරිදිම වේ. බුදුරජාණන් වහන්සේ මෙසේ සත්තාවාස නවයක් ලෙස ද ලෝකය අවබෝධ කළ බැවින් ‘ලෝකවිදූ’ නම් වන සේක.

නව ලෝකයෝ 

බුදුරජාණන් වහන්සේ අවබෝධ කොට වදාළ සමස්ථ ලෝකය, ලෝක නවයක් ලෙස ද දැක්වේ. එනම් කාමභවය, රූපභවය, අරූපභවය යන තුන් ආකාරය ය, සංඥාභවය, අසංඥාභවය, නේවසඤ්ඤානාසඤ්ඤාභවය යන තුන් ආකාරය ය, එකවෝකාරභවය, චතුවෝකාරභවය, පඤ්චවෝකාරභවය යන තුන් ආකාරය ය වශයෙනි.

  1. කාමභවය : කාම තෘෂ්ණාවෙන් යුතු එකොළොස් (11) කාමභූමි මෙයට අයත් වේ.
  2. රූපභවය : රූපාවචර බ්‍රහ්මලෝක 16 මෙයට අයත් වේ.
  3. අරූපභවය : අරූපාවචර බ්‍රහ්මලෝක 4 මෙයට අයත් වේ.
  4. සංඥාභවය : සංඥාවක් සහිත සත්වයන් සිටින ලෝක මෙයට අයත් වේ. එනම් අසංඥ සත්වයන් හා නෙවසඤ්ඤානාසඤ්ඤාගත සත්වයන් හැර ඉතිරි සියල්ලෝම වේ.
  5. අසංඥාභවය : අසංඥසත්වය වේ.
  6. නේවසඤ්ඤානාසඤ්ඤාභවය
  7. එකවෝකාරභවය : පඤ්චස්කන්‍ධයෙන් එක් ස්කන්‍ධයක් පමණක් ඇති සත්වයන් වේ. එනම් අසංඥසත්වයේ උපදින සත්වයන් වේ. ඔවුන්ට ඇත්තේ රූපස්කන්‍ධය පමණකි.
  8. චතුවෝකාරභවය : ස්කන්‍ධ සතරක් පමණක් පහළ වන අරූපාවචර බ්‍රහ්මයන් මෙසේ හැඳින්වේ. ඔවුන්ට රූපස්කන්‍ධයක් නොවන අතර වේදනා, සංඥා, සංස්කාර, විඥාන යන නාමස්කන්‍ධ සතර පමණක් පහළ වේ.
  9. පඤ්චවෝකාරභවය : පඤ්චස්කන්‍ධයම පහළ වන සෙසු සියලුම සත්වලෝකයන් මෙසේ හැඳින්වේ. බුදුරජාණන් වහන්සේ විසින් මේ සියලුම ආකාරයේ ලෝකය අවබෝධ කළ බැවින් උන්වහන්සේ ‘ලෝකවිදූ’ නම් වන සේක.

අෂ්ට ලෝකධර්ම 

ලෝකය පරිවර්තනය වීම සිදුවන කරුණු අටක් (8) බුදුරජාණන් වහන්සේ අෂ්ටලෝකධර්ම ලෙස දේශනා කර තිබේ.

ලාභෝ අලාභෝ අයසෝ යසෝ ච – නින්‍දා පසංසා සුඛං ච දුක්‍ඛං

එතේ අනිච්චා මනුජේසු ධම්මා – අසස්සතා විපරීනාමධම්මා

ලාභය, අලාභය, අයස ය, යස ය, නින්‍දා ය, ප්‍රසංසා ය, සුඛය, දුක්‍ඛ ය යන අනිත්‍ය වූ අශාස්වත වූ මේ ධර්මයෝ මනුෂ්‍යයන් කෙරෙහි පෙරළෙන ස්වභාව ඇතිය හ. (පඨම ලෝකධම්ම සූත්‍රය, අංගුත්තර නිකාය)

සෑමදෙනා කෙරෙහිම වරින්වර මෙම ධර්මයන් පැමිණෙන අතර ඒ නිසාම කිසිවෙකුට සැමකල්හි එකම ආකාරයෙන් වාසය කළ නොහැකි වේ. ආහාර පාන වස්ත්‍රාභරණ මිලමුදල් ආදිය ලැබීම ලාභය වේ. ඒවා නොලැබීම අලාභය වේ. මෙය කලින් කලට සිදු වන බැවින් චක්‍රයක් වැනිය. තමා සමඟ හැසිරෙන පිරිස යසස නම් වේ. එබඳු පිරිවරක් නොමැති බව අයස නම් වේ. මෙයද කලින් කලට මාරු වෙමින් පැවතිය හැකි වේ. ගැරහුම් ලැබීම නින්‍දා නම් වේ. පැසසුම් ලැබීම ප්‍රසංසා නම් වේ. මේ දෙක ද කලින් කලට වෙනස් වේ. සැප සහ දුක දෙක ද මෙසේම කලින් කලට වෙනස් වේ. බුදුරජාණන් වහන්සේ මෙසේ අටලෝ දහම අනුව පෙරළෙන ලෝකය ද සර්වාකාරයෙන් අවබෝධ කළ සේක. එහෙයින් බුදුරජාණන් වහන්සේ ‘ලෝකවිදූ’ නම් වන සේක.

පඤ්චස්කන්‍ධය 

ලෝකයේ ඇති සියලු නාම-රූප ධර්ම ස්කන්‍ධ වශයෙන් සැලකූ කළ ස්කන්‍ධ පසකට අයත් වේ. එනම්,

  1. රූපස්කන්‍ධය : සියලුම ලෝකයන්හි ඇති රූප රූපස්කන්‍ධයක් වේ. එනම් පඨවි, ආපො, තෙජො, වායො යන භූත රූප සතර සහ සෙසු විසිහතරක් වූ උපාදාය රූප වේ.
  2. වේදනාස්කන්‍ධය : මේ සියලු ලෝකයන්හි සත්වයන්ට පහළ වන සියලු සිත් හි සම්ප්‍රයුක්ත වන වේදනාව වේදනාස්කන්‍ධයක් වේ.
  3. සංඥාස්කන්‍ධය : සියලු ලෝකයන්හි සත්වයන්ට පහළ වන සියලු සිත් හි සම්ප්‍රයුක්ත වන සංඥාව සංඥාස්කන්‍ධයක් වේ.
  4. සංස්කාරස්කන්‍ධය : සියලු ලෝකයන්හි සත්වයන්ට පහළ වන සියලු සිත් හි සම්ප්‍රයුක්ත වන සෙසු සියලු චෛතසික ධර්ම සංස්කාරස්කන්‍ධයක් වේ.
  5. විඤ්ඤාණස්කන්‍ධය : සියලු ලෝකයන්හි සත්වයන්ට පහළ වන සියලු සිත් විඤ්ඤාණස්කන්‍ධයක් වේ.

මෙසේ ස්කන්‍ධ පසක් වූ සමස්ථ ලෝකය බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කරන ලද බැවින් බුදුරජාණන් වහන්සේ ‘ලෝකවිදූ’ නම් වන සේක.

ද්වාදසායතන 

ලෝකයේ ඇති සියලු නාම රූප ධර්මයෝ ආයතන වශයෙන් දොළසකට අයත් වේ. ‘ආයතනනතෝ, ආයානං තනනතෝ, ආයතස්සච නයනතෝ, ආයතනනන්ති වේදිතබ්බං’ යැයි විභඩ්ග අටුවාවේ ආයතන ශබ්දය විග්‍රහ කෙරේ. එනම්, ‘ඒ ඒ දොරටුවේ අරමුණු වන රූපාදිය පිළිබඳ චිත්තචෛතසික ධර්මයන් ස්වකීය අරමුණ ආශ්වාද කරමින් ප්‍රයත්න කරන හෙයින් ද, ඒ ඒ දොරටුවට අරමුණු වන අරමුණෙහි පහළ වන්නා වූ චිත්තචෛතසික ධර්මයන් විස්තර කරන හෙයින් ද, දීර්ඝ වූ සංසාර දුකට පමුණුවන හෙයින් ද ආයතන යැයි දත යුතු’ වේ. එවන් ආයතන දොළසකි.

  1. චක්ඛායතනය : චක්ඛුප්‍රසාද රූපය යි.
  2. සොතායතනය : සොතප්‍රසාද රූපයයි.
  3. ඝාණායතනය : ඝාණප්‍රසාද රූපයයි.
  4. ජිව්හායතනය : ජිව්හාප්‍රසාද රූපයයි.
  5. කායායතනය : කායප්‍රසාද රූපයයි.
  6. රූපායතනය : වර්ණ රූපයයි.
  7. සද්දායතනය : ශබ්ද රූපයයි.
  8. ගන්‍ධායතනය : ගන්‍ධ රූපයයි.
  9. රසායතනය : රස රූපයයි.
  10. ඵොට්ඨබ්බායතනය : පඨවි, තෙජො, වායො යන භූතත්‍රය සංඛ්‍යාත ඵොට්ඨබ්බ රූපයයි.
  11. මනායතනය : සිත් 89 යි.
  12. ධම්මායතනය : සුඛුම රූප 16, චෛතසික 52 සහ නිර්වාණයයි.

බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කරන්නට යෙදුණු සමස්ථ ලෝකයේ ඇති සියලු දේ මෙම ආයතන දොළසට අයත් වේ. ඒ ද්වාදසායතන සංඛ්‍යාත ලෝකය අවබෝධ කළ බැවින් බුදුරජාණන් වහන්සේ ‘ලෝකවිදූ’ නම් වන සේක.

අටළොස් ධාතු 

මේ සමස්ථ ලෝකයේ ඇති සියලු නාම රූප ධර්මයන් ධාතු වශයෙන් කොටස් 18 කට බෙදා දැක්විය හැකි වේ. සත්ව පුද්ගලාදි භාවයෙන් ශූන්‍ය වූ ස්වභාවමාත්‍ර සංඛ්‍යාත වූ බැවින් ධාතු නම් වේ. ඒබව විභඩ්ගාර්ථකතාවේ ‘ධාත්‍වට්ඨෝ නාම සභාවට්ඨෝ. සභාවට්ඨෝ නාම සුඤ්ඤතට්ඨෝ. සුඤ්ඤතට්ඨෝ නාම නිස්සත්තට්ඨෝ’ යැයි කියන ලදී. එනම්, ධාත්‍වාර්ථය නම් ස්වභාවාර්ථයයි. ස්වභාවාර්ථය නම් ශූන්‍යාර්ථයයි. ශූන්‍යාර්ථය නම් නිස්සත්ව නිජ්ජීවාර්ථයයි. එබැවින් පරමාර්ථ වශයෙන් ස්වභාවමාත්‍ර වූ, ආත්මභාව කෙරෙන් ශූන්‍යත්‍ව සංඛ්‍යාත වූ, සත්වපුද්ගලජීවයන් කෙරෙන් විනිර්මුක්ත වූ අර්ථයෙන් ධාතු නම් වේ. එවැනි ධාතු දහඅටක් (18) දැක්වේ. එනම්,

  1. චක්ඛු ධාතු : චක්ඛුප්‍රසාද රූපය යි.
  2. සොත ධාතු : සොතප්‍රසාද රූපයයි.
  3. ඝාණ ධාතු : ඝාණප්‍රසාද රූපයයි.
  4. ජිව්හා ධාතු : ජිව්හාප්‍රසාද රූපයයි.
  5. කාය ධාතු : කායප්‍රසාද රූපයයි.
  6. රූප ධාතු : වර්ණ රූපයයි.
  7. සද්ද ධාතු : ශබ්ද රූපයයි.
  8. ගන්‍ධ ධාතු : ගන්‍ධ රූපයයි.
  9. රස ධාතු : රස රූපයයි.ලෝකවිදූ 52
  10. ඵොට්ඨබ්බ ධාතු : පඨවි, තෙජො, වායො යන භූතත්‍රය සංඛ්‍යාත ඵොට්ඨබ්බ රූපයයි.
  11. චක්ඛුවිඤ්ඤාණ ධාතු : චක්ඛුවිඤ්ඤාණ සිත් 02
  12. සොතවිඤ්ඤාණ ධාතු : සොතවිඤ්ඤාණ සිත් 02
  13. ඝාණවිඤ්ඤාණ ධාතු : ඝාණවිඤ්ඤාණ සිත් 02
  14. ජිව්හාවිඤ්ඤාණ ධාතු : ජිව්හාවිඤ්ඤාණ සිත් 02
  15. කායවිඤ්ඤාණ ධාතු : කායවිඤ්ඤාණ සිත් 02
  16. මනෝ ධාතු : සම්පටිච්ඡන සිත් 02, පඤ්චද්වාරාවර්ජන සිත
  17. මනෝවිඤ්ඤාණ ධාතු : ඉතිරි සිත් 76
  18. ධම්මධාතු : සුඛුම රූප 16, චෛතසික 52 සහ නිර්වාණයයි.

මෙම ධාතු අටළොස බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කරන ලද සමස්ථ ලෝකයයි. ඒ සමස්ථ ලෝකය අවබෝධ කළ බැවින් ද බුදුරජාණන් වහන්සේ ‘ලෝකවිදූ’ නම් වන සේක.

ලෝකය අවබෝධ කිරීමේ ආකාර සතර 

මෙසේ නාමරූප දෙකක් වශයෙන් ද, ස්කන්‍ධ පසක් වශයෙන් ද, සත්තාවාස සතක් වශයෙන් ද, අෂ්ට ලෝක ධර්මය අනුව පරිවර්තනය වීම් වශයෙන් ද, ලෝක නවයක් වශයෙන් ද, විඥානස්ථිති නවයක් වශයෙන් ද, ආයතන දොළසක් වශයෙන් ද, ධාතු අටළොසක් වශයෙන් ද වූ සමස්ථ ලෝකය බුදුරජාණන් වහන්සේ විසින් ස්වභාව වශයෙන්, ලෝකසමුදය වශයෙන්, ලෝකනිරෝධ වශයෙන්, ලෝකනිරෝධ උපාය වශයෙන් අවබෝධ කොට වදාළ බැවින් ‘ලොකවිදූ’ නම් වන සේක.

ලෝකස්වභාවය

මේ සියලු ලෝකය ස්වභාව වශයෙන් දුක්ඛ ස්වභාව ඇත්තේය. එහෙයින් බුදුරජාණන් වහන්සේ ‘සඩ්ඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්‍ධා’ යැයි වදාළ සේක. ලෝකෝත්තර මාර්ගඵල චිත්තයන් එහි සම්ප්‍රයුක්ත චෛතසික ධර්මයන් සහ නිර්වාණය හැර සෙසු සියලු සංස්කාර ධර්මයන් සත්වයන් පෙළන බැවින්, රිදවන බැවින් පීළන අර්ථයෙන් දුක්ඛ ස්වභාව වේ. හේතූන්ගෙන් හටගන්නා හෙයින් නැවත නැවත ප්‍රත්‍යයන්ගෙන් ඉපදවිය යුතු බැවින් සඩ්ඛත අර්ථයෙන් දුක්ඛ ස්වභාව වේ. ගින්නකින් මෙන් නැවත නැවත සත්වයන් තවන බැවින් සන්තාපාර්ථයෙන් දුක්ඛ ස්වභාව වේ. නැවත නැවත බිඳි බිඳී යන ස්වභාව හෙයින් විපරිණාමාර්ථයෙන් දුක්ඛස්වභාව වේ. බුදුරජාණන් වහන්සේ සමස්ථ ලෝකය සර්වාකාරයෙන්ම දුක්ඛ ස්වභාව වශයෙන් අවබෝධ කළ හෙයින් ‘ලොකවිදූ’ නම් වන සේක.

ලෝකසමුදය

ඒ මේ ලෝකය තෘෂ්ණාව නිසාවෙන්ම පවතින බව බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ සේක. තෘෂ්ණාවේ ආකාර සතරකින් ලෝකය ඇති වීමේ හේතුව වේ. පඤ්චස්කන්‍ධ සංඛ්‍යාත ලෝකය නැවත නැවත රැස් කරවන, උපදවන, මවන බැවින් ආයූහනාර්ථයෙන් තෘෂ්ණාව ලෝකය ඇති වීමේ හේතුවයි. වර්තමාන ස්කන්‍ධ පඤ්චකය බිඳී මරණය සිදු වනවාත් සමඟම අභිනව ස්කන්‍ධ පඤ්චකයක් ලබා දෙන බැවින් නිදානාර්ථයෙන් තෘෂ්ණාව ලෝකසමුදය වේ. දුකින් මිදී නිර්වාණයට යා නොහැකි වන පරිද්දෙන් ස්කන්‍ධ පඤ්චකය සංඛ්‍යාත දුක්ඛයෙහි සත්වයා තදින් බැඳ තබන බැවින් සංයෝගාර්ථයෙන් තෘෂ්ණාව ලෝක සමුදය වේ. නිවන පමුණුවන්නාවූ පිළිවෙත් පිරීමට බාධා කරන ප්‍රතිපත්තිය බිඳ හෙළන බැවින් පළිබෝධාර්ථයෙන් තෘෂ්ණාව ලෝකසමුදය නම් වේ. මෙසේ බුදුරජාණන් වහන්සේ ලෝකය ඇති වීමේ හේතුව තෘෂ්ණාව යැයි ලෝක සමුදය අවබෝධ කළ හෙයින් ද ‘ලොකවිදූ’ නම් වන සේක.

ලෝකනිරෝධය

යම් තැනක දුක්ඛ ස්වභාව වූ සංස්කාරයන්ගේ නිරුද්ධ වීමක් වේ ද, ඒ නිර්වාණය ලෝක නිරෝධය වශයෙන් බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ සේක. ඒ නිර්වාණය ක්ලේශයන් කෙරෙන් හා දුක්ඛයන් කෙරෙන් මිදුණු බැවින් නිස්සරණාර්ථයෙන් ලෝකනිරෝධය නම් වේ. ඒ නිර්වාණය ක්ලේශයන්ගෙන් හා දුක්ඛයන්ගෙන් සිස් බැවින් විවේකාර්ථයෙන් ලෝකනිරෝධය නම් වේ. පැවතීමට අනුබල දියයුතු බවක් හෝ ආරක්‍ෂා කරගතයුතු බවක් හෝ නැවත නැවත උපදවාගතයුතු බවක් නැති හෙයින් ඒ නිර්වාණය අසඩ්ඛතාර්ථයෙන් ලෝකනිරෝධය වේ. බිඳී අතුරුදන් වීමක් නොමැතිව සැම කල්හිම පවත්නා බැවින් ඒ නිර්වාණය අමතාර්ථයෙන් ලෝකනිරෝධය වේ. මෙසේ බුදුරජාණන් වහන්සේ නිර්වාණය ලෝකනිරෝධය වශයෙන් අවබෝධ කළ බැවින් ද ‘ලෝකවිදූ’ නම් වන සේක.

ලෝකනිරෝධූපාය

ඒ ලෝක නිරෝධ සංඛ්‍යාත නිර්වාණය යම් ප්‍රතිපදාවකින් අත්පත් කරගත හැකි වේ ද, ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය බුදුරජාණන් වහන්සේ ලෝකනිරෝධූපාය වශයෙන් අවබෝධ කළ සේක. යම් පුද්ගලයකුගේ සන්තානයෙහි මෙම ලෝකෝත්තර මාර්ගය ඇති වූයේ නම් ඒ තැනැත්තා සසරින් එතෙරට පමුණුවන බැවින්, පඤ්චස්කන්‍ධ ලෝකයෙන් එතෙර කරවන බැවින් ආර්යඅෂ්ටාංගික මාර්ගය නිය්‍යානාර්ථයෙන් ලෝකනිරෝධූපාය වේ. නිර්වාණාධිගමනයට ඇති පළිබෝධ සිඳලීමෙන් නිවන් ලැබීමට හේතුවන බැවින් හේතු අර්ථයෙන් ලෝකනිරෝධූපාය වේ. ලෝකෝත්තර මාර්ගයේ දී නිර්වාණය හෙවත් ලෝකයෙන් මිදීම ප්‍රත්‍යක්‍ෂ වශයෙන් ම නුවණින් දකින බැවින් දර්ශනාර්ථයෙන් ද ලෝකනිරෝධූපාය වේ. ඒ මේ ලෝකෝත්තර මාර්ගය සත්ව සන්තානයට අධිපතිකම කරන බැවින් ආධිපතෙය්‍ය අර්ථයෙන් ද ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෝකනිරෝධූපාය නම් වේ. මෙසේ බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෝකනිරෝධූපාය වශයෙන් ද අවබෝධ කළ බැවින් ‘ලෝකවිදූ’ නම් වන සේක.

මෙසේ දුක්ඛ ස්වභාව වූ, තෘෂ්ණාවෙන් ඇති වන්නා වූ, නිර්වාණයේ දී නිරුද්ධ වන්නා වූ ලෝකයෙන් එතෙරවීම් සංඛ්‍යාත නිවනට පැමිණීම කැමති අය විසින් ආර්ය අෂ්ටාංගික මාර්ගය නැමති නිරෝධූපාය වැඩිය යුතු වේ. එබැවින් බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක.

තස්මා හි ධීරා නිපකා – නිපුණා අත්‍ථචින්තකා

ජරාමරණමොක්‍ඛාය – භාවෙන්ති මග්ගමුත්තමං

භාවයිත්‍වා සුචිං මග්ගං – නිබ්බාණොගධගාමිනං

සබ්බාසවේ පරිඤ්ඤාය – පරිනිබ්බන්ති අනාසවා‘ති

(එහෙයින් ම ධීර වූ, එළඹසිටි සිහිනුවණ ඇත්තා වූ, නිපුණ වූ, ස්වාර්ථ සිද්ධිය සිතන්නා වූ නුවණැත්තෝ ජරාමරණයන්ගෙන් මිදුණා වූ නිවන පිණිස උතුම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩත්. නිවනට පමුණුවනු ලබන පිවිතුරු වූ ආර්ය මාර්ගය ස්ව සන්තානයෙහි උපදවා කාමාදි සියලු ආශ්‍රවයන් ත්‍රිවිධ පරිඥාවන්ගෙන් දැන ආශ්‍රව රහිත වූවාහු පිරිනිවෙත්)

මේ ධර්මදානමය කුසලය සෑම සියලුදෙනාටම සියලු ආශ්‍රව ධර්මයන් ත්‍රිවිධ පරිඥාවන්ගෙන් පිරිසිඳ, ආශ්‍රව රහිත වූ ලෝක නිරෝධ සංඛ්‍යාත නිර්වාණාධිගමනය පිණිස හේතු වේවා !

සාධූ … සාධූ … සාධූ …!!!